Tuesday 29 November 2016

ලොකු ළමයෙකු ගේ ලොකු අකුරු - Ransirimal Fernando's blog


පසුගිය දිනවල හෝඩියේ පන්තියේ පොඩි ළමයින් ගැන ලියමින් සිට ඊට පසු "එයා දැන් ලොකු ළමයෙක්" ගැන ලියූ මට මට අද ඊටත් වඩා "ලොකු දෙයක්" ගැන ලියන්නට සිත් විය.

මෙය "ලොකු දෙයක්" වෙන්නේ ලොකු ළමයෙකු ගැන ලියවෙන සටහනක් නිසා පමණක් නොව, මේ කාරණයේ මට ලොකු වැදගත්කමක් ද ඇති නිසා ය.

මේ ලියන්නේ "ලොකු" ගැන ය. කෙටියෙන් ලොකු කියන්නේ මැද පිළිවෙතින් සිරිමල් ගැන ය. දිගට කියනවා නම් රන්සිරිමල් ගැන ය. තවත් දිගට කියනවා නම්, ආන්ජලෝ රන්සිරිමල් ප්‍රනාන්දු නම් සහෘදයා ගැන ය.

මා රන්සිරිමල් යන නම මුලින් ම දුටුවේ ප්‍රාග් යුනිකෝඩ් ගල් යුගගේ දී බිහි වී තිබුණු "සිරිමල් උයන" නම් වෙබ් අඩවිය හරහා ය. අන්තර්ජාලීය සිංහල සාහිත්‍යකරණයේ ඒ ප්‍රමුඛ පියවර ගැන මින් පෙර රසිකොලොජියේ ලිය වී ඇත.

ඉන්පසුව, තරංග ජයසේන හෙවත් කූඹියා ගේ මූලිකත්වයෙන් ඇරඹුණු "බූන්දි" හරහා මට රන්සිරිමල් ගේ නිර්මාණ කියවන්නට ලැබුණි. ඔහු ගේ ප්‍රියම්භිකාව වන මානෙල් ගේ විවිධ නිර්මාණ ද බූන්දිය එකල පැවතුණු ඊ-මේල් වේදිකාව හරහා කියවන්නට ලැබුණි.

අන්තර්ජාලය හරහා එසේ දැන හඳුනාගෙන සිටි ඔවුන් දෙදෙනා මට මුලින් ම මුහුණට මුහුණ හමුවූයේ ඊට කලකට පසු 2009 දී සිඩ්නි නගරයේ දී ය.

ඉන්පසු 2010 ජනවාරියේ දී බූන්දි කණ්ඩායමේ අනුග්‍රහයෙන් කොළඹ දී පැවැත්වුණු ජගත් ජේ එදිරිසිංහ ගේ රාජාලි පියාපත් කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණු උලෙළේ දී මට ඔවුන් දෙපළ මුණ ගැසුණි.

ඊළඟට පසුගිය දෙසැම්බරයේ කොළඹ දී පැවැත්වුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කෘතිය දොරට වැඩීමේ උත්සවයේ දී මට රන්සිරිමල් හමුවිය.

ඉතිං, මගේ සිතට ආ මේ සියලුම කරුණු මෙලෙස මෙහි සටහන් කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ගේ නවතම බ්ලොග් අඩවිය ගැන පවසන්නයි.

ඔහු එය නම් කර ඇත්තේ "ලොකු අකුරු" කියා ය.

https://lokuakuru.blogspot.com/

ලොකු වෙන්නට පෙර කතා, ලොකු වුණාට පසු කතා, ජීවිත කතා, කවි ආදී විවිධ මානයන් ගේ, විවිධාකරයේ ලියවිලි, නිර්මාණවලින් පිරුණු ලොකු ගේ ලොකු අකුරු බ්ලොගය මට රස සාගරයක් ලෙස හැඟුණි.

ලොකු ලියා ඇති ලොකු ගේ තාත්තා ගැන සටහන මගේ නෙතට කඳුළු නැංවුවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකුම ලොක්කා නොහොත් බොසී හමුවෙන්නට ගිය ගමනක් ගැන සටහන මට සිතට නව නළු රසයම ගෙනාවේ ය.

ලොකු ලියා ඇති ලොකු ගේ ලොකු අකුරු ගැන සටහන මට මගේ හෝඩියේ පන්ති සමය සිහි කළේ ය.

ඒ සමගම ලොකු, පොඩි අපට නොහැකි ලොකු ලොකු වැඩ ද කර ඇති බව පෙනුණි.

තවත් ලොකු පොඩි සටහන් බොහෝ ය.

ගොස් කියවන්න!

-රසිකොලොජිස්ට්

ප/ලි:
අමතක වීමට ගිය තවත් කරුණක් මෙසේ ය.

මා හිතන ආකාරයට දැන් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ රන්සිරිමල් පවුල වාසය කරන්නේ කැනඩාවේ ය.

මේ විශ්ව ගම්මානයේ සැරිසරන අපට ඒ අක්‍ෂාංශ දේශාංශ කවරේ ද යන්න එතරම් වැදගත් කරුණක් නොවේ. අපට ඉර පායන්නේ, බහින්නේ වෙනස් කාලවල බව පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ය.

ප/ප/ලි:
තවත් කරුණක්.

මේ ලොකු අකුරුකාරයා මීට කලින් ද බ්ලොගයක් ලියූ බව මගේ මතකයයි. අවාසනාවකට මෙන් ඒ කුමක්දැයි මට සිහිපත් කර ගත නොහැක!

Saturday 26 November 2016

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots


අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.

මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා දිගැති පැණි රසැති බනිස් විශේෂය ඒ කිසිවක් නොව "ගැඩවිල් බනිස්" ලෙස හැඳින්වීමෙනි. මගේ අදහස අනුව ඒ බනිස් වර්ගයේ හැඩයට ඉතා හොඳන් ගැලපෙන්නේ "ගැඩවිල්" යන නාමයයි. මගේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරෙන තර්කයක් කිසිවෙකු මතු කර නොමැත!

ඒ කෙසේ වුවත්, මෙකී ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටිය නිසා මගේ පියා අප කුඩා කාලයේ මා සමග කියූ අති පැරණි රසවත් කතාවක් මගේ සිහියට නැගිණි.

මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ ඒ කතාවේ සාරාංශයයි.

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය

මෙන්න වැඩි විස්තර.

දහ අටවන සියවසේ අග භාගය වන විට ලංකාවේ දකුණු ප්‍රදේශය පැවතී ඇත්තේ ඕලන්ද පාලනය යටතේ ය. ඔවුන් ගේ ප්‍රධාන බලකොටුව ගාල්ල වෙන්නට ඇතැයි සිතමි. නගරයෙන් දුර පළාත්වල පාලනය, කුළුබඩු මිලට ගැනීම, වැට් බදු එකතුව වැනි කටයුතු සඳහා වෙනත් කුඩා බලකොටු ද හෙවත් ඩීආරෝ කන්තෝරු ප්‍රාදේශීියව පිහිටුවා තියෙන්නට ඇත.

ඒ සමයේ දී ලන්දේසීන්ට විරුද්ධව යම් ප්‍රාදේශීය කැරැල්ලක් ඇති වී ඇත. ආයුධ රැගත් දේශප්‍රේමී තරුණයින් ලන්දේසි බලකොටුවකට පහර දී ඇති අතර එය සාර්ථක වී නොමැති බව කියවේ.

ඒ පහර දීමෙන් කුපිත වූ ලන්දේසි රණවිරුවන් කර ඇත්තේ අවට ගම්වලට පැන වැදී තරුණයින් අත් මරා දමන්නට, අත් අඩංගුවට ගන්නට, එළියකන්දට දක්කාගෙන යන්නට, අතුරුදහන් කරන්නට පටන් ගැනීමයි.

තත්වය දරුණු අතට හැරුණු නිසා, එකල බද්දේගම නම් සුන්දර ගම්මානයේ නිවැසිව සිටි දේශප්‍රේමී එක් කුස උපන් සහෝදරයින් තිදෙනෙකු කර ඇත්තේ තමන් සතු අවි ආයුධ ද රැගෙන උතුරට පලා යාමයි. සති ගණනාවක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණි ඔවුන් අවසානයේ නතර වී ඇත්තේ කැලණි ගංගාව ද තරණය කළ පසුවයි.

අද බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර-කඩවත ප්‍රදේශයේ වාසය කරන සූරියආරච්චිලා එසේ පැමිණි සහෝදරයින් තිදෙනාගෙන් පැවතෙන අය යැයි මගේ පියා මා සමග පැවසුවේ ය.

එය ඔහුට ඊට පෙර පරම්පරාවෙන් අසන්නට ලැබුණු කතාවකි.

මගේ පියා කුඩා කාලයේ කඩවත, උතුරු පරකන්දෙණිය ප්‍රදේශයේ පිහිටි අපේ සීයා ගේ මහගෙදරට ගිය දිනයක, ඊටත් වසර එකසිය ගණනකට ඉහත කාලයක උතුරට සංක්‍රමණය කළ තම මුතුන් මිත්තන් එදා ඔවුන් රැගෙන ආ ආයුධ වැලලූ ස්ථානය පවා පියා ගේ මහප්පා කෙනෙකු විසින් පෙන්වා දී ඇත.
ඒ දකුණට මගේ ඇති සම්බන්ධයයි.

මගේ ප්‍රිය බිරිඳ ගේ පියා දකුණේ සිට කඳුරටට සංක්‍රමණය කර ඇත්තේ ඊට සම්පුර්ණයෙන් ම වෙනස් වූ, ආර්ථික හේතු නිසා ය.

මාතර ප්‍රදේශයේ ඇල්ගිරියේ උපන් ඔහු, ඒ දිනවල දකුණේ තරුණයින් සිය ගණනක් තරුණයින් කර ඇති ආකාරයට, උඩරට ගොස් ඇත්තේ රැකියාව ලෙස වෙළඳාමෙහි නිරත වීමට ය. කාලයක් තිස්සේ සෑහෙන කට්ටක් කා, යමක් කමක් හරි හම්බ කරගෙන කුඩා ව්‍යාපාර හිමියෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ ද, ඇල්ගිරියම නිජ බිම කරගත් තරුණ ගුරුවරියක හා සමග ය.

මගේ බිරිඳ ගේ හතරවරිගයේ ම ඇයට කලින් පරම්පරාවේ ඇයින් තවමත් සිටින්නේ මාතර-අකුරැහැ ප්‍රදේශයේ ම ය. ඇගේ පරම්පරාවේ අය නම් රටේ ද, ලෝකයේ ද විවිධ ප්‍රදේශවල විසිරී සිටිති.

අප දෙදෙනා ගේ මේ බද්දේගම සහ ඇල්ගිරිය සම්බන්ධය අනුව, අපේ දරු දෙදෙනා ට ද, අපි දකුණේ තමයි, හරිය? කියමින් වත්මන් ෆේස්බුක් ගාලගෝට්ටියට සම්බන්ධ වීමට හැකියැයි සිතමි!

-රසිකොලොජිස්ට්

(http://exploresrilanka.lk/2016/01/prince-of-pastries/)

Thursday 24 November 2016

විමල් කුමාර් ද කොස්තා, මාලනී ෆොන්සේකා සහ එයා දැන් ලොකු ළමයෙක් - Just some goss


ලොකු ළමයෙක් යන යෙදුම ඇසෙන විට ම අපේ සිහියට එන්නේ ගෑල්ළමයින් ගේ මල්වර වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යන නමින් කරුණාරත්න සපුතන්ත්‍රි නම් ලේඛකයා නවකතාවක් රචනා කළේ ය. එය ඉතා ජනප්‍රිය වෙන්නට ඇතැයි සිතමි. ඒ එහි දෙවෙනි කොටසක් ද, "මනමාලි" නමින් ලියවී ඇති නිසා ය. මා බොහෝ විට කියවා ඇති නමුත් නිශ්චිත මතකයක් නැති මේ "දෙවන පරම්පරාවේ" නවකතා තරමක් සරල තරමක් අවුල් පෙම් කතා විය.

මා මෙහිදී "දෙවන පරම්පරාවේ" යන හැඳින්වීමෙන් අදහස් කරන්නේ, "ඉක්බිති සියල්ලෝ ම සතුටින් විසිර ගියහ!" අච්චුවේ වාත්තු කරන ලද, කොල්ලා සහ කෙල්ල ගේ අකලංක ප්‍රේමය සියලු සතුරන් මැඩ, සියලු බාධක සිඳ බිඳ දමා ජයගන්නා සුරංගනා කතා ඇතුළත් වූ "මුල් පරම්පරාවේ" නවකතාවලින් පසුව, කරුණාසේන ජයලත් විසින් රචනා කරන ලද මොන්ටිසෝරි ආදර අන්දරයක අඳෝනාව රැගත් "ගොළු හදවත" නවකතාවෙන් පසු බිහි වූ නවකතා පරම්පරාව ය.

මේ නවකතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. එහි අනෙකුත් නියමුවෝ වූයේ, කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි වැන්නන් බව මගේ අදහසයි. කුමාර කරුණාරත්න ගේ "රතු රෝස" මෙන් ම, එඩ්වඩ් මල්ලවාරච්චි ගේ "සුභා, ප්‍රාර්ථනා සහ සුබ ප්‍රාර්ථනා" ද මා ආශාවෙන් කියවූ නවකතා ය.



කරුණාරත්න සපුතන්ත්‍රි ගේ "එයා දැන් ලොකු ළමයෙක්" සහ "මනමාලී" නවකතා ඉතා ජනප්‍ර්‍රිය වූුවා පමණක් නොව ධර්මසේන පතිරාජා ඒ නවකතා ඇසුරෙන් චිත්‍රපටයක් ද අධක්‍ෂණය කළේ ය. සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස සැලකෙන ධර්මසේන පතිරාජා ගේ චිත්‍රපට අතුරෙන් ඉතා ජනප්‍ර්‍රිය වී ඇත්තේ ද ඒ චිත්‍රපටය වීම යම් ආකාරයක සරදමකිි.

අපේ අම්මා සහ පුංචි අම්මලා එය නැරඹූව ද, "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපට නැරඹීමට මට ඉඩ නොලැබුණි. මා සිතන ආකාරයට එයට හේතුව වෙන්නට ඇත්තේ ස්ත්‍රී දුෂණයක ජවනිකාවක් තිබුණු නිසා එය "වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි" ආකාරයේ ලේබලයක් ඇලවී තිබීම විය හැක.

කෙසේ වෙතත්, මේ චිත්‍රපටයේ නමට ද අදාළව, එහි එන එක් දර්ශනයක මාලනී ෆොන්සේකා වැඩිවියට පත්ව දිය නා ගෙට එන දර්ශනයක් ඇතුළත් වූ ප්‍රචාරක දැන්වීම් ද, බණ්ඩාර කේ විජේතුංග ගේ ගැඹුරු හඬින් "එක් වැසිබර අඳුරු රැයක් තෙක් ඇය පියකරු වතුසුදු මලක්" යනුවෙන් සහ "අවාරෙට කෝපි මලුත් පිපිලා ඇති!" යනුවෙන් මාලනී ෆොන්සේකා ගේ දෙබසක් සහිත රේඩියෝ වෙළඳ දැන්වීම් ද, මගේ මතකයේ ඇත.



නවකතාවේ සුසිලාවතී ගේ චරිතයේ විස්තරය කෙසේ වුව ද, ඒ වන විට තම ජීවිතයේ තුන්වෙනි දශකය පසුකරමින් සිව්වෙනි දශකයේ එළිපත්තේ සිටි මාලනී ෆොන්සේකා, වැඩිවිය පැමිණෙන දැරියක ලෙස රඟපෑමේ යම් විකාර රූපී බවක් තියෙන්නට ද ඇත. හරියට, අබා චිත්‍රපටියේ උන්මාද චිත්‍රා ගේ චරිතය වයස හතළිස් පහක් පමණ වූ සබීතා පෙරේරා රඟපෑවාක් මෙනි!

මාලනී ෆොන්සේකාට අමතරව මේ චිත්‍රපටයේ අන් ප්‍රධාන චරිත නිරුපණය කළේ විජය කුමාරතුංග සහ පසුගිය දා මිය ගිය විමල් කුමාර් ද කොස්තා ය.

චිත්‍රපටයේ කතාවේ සාරාංශය අති සංක්‍ෂිප්තව පවසතොත්, ගැමි කෙල්ලකවන සුසිලාවතී (මාලනී) තම ඥාතියෙකු වන සිරිපාල (කොස්තා) අතින් දුෂණය වී අසරණ වන නමුත්, ඇගේ නිවසේ නවාතැන් ගෙන සිටිනා ග්‍රාමසේවක (විජය) ඇගේ පිහිටට පැමිණේ.

මට මේ සටහන ලියන්නට සිතුණේ විමල් කුමාර් ද කොස්තා ගේ මරණයෙන් පසු ඔහු ගැන ධනංජය කරුණාරත්න විසින් ලියූ විශේෂ ලිපියක විමල් කුමාර් ද කොස්තා සහ මාලනී ෆොන්සේකා අතර හෝඩියේ පන්තියේ සිට පැවති සුවිශේෂී සම්බන්ධතාවයක්, එය 50% ආදරයක් ද විය හැක!, ගැන කියවුූ විට දී ය.

තමන් ඒ වන විට රඟ පා තිබුණු චරිත අතරින් වඩාත් කැමත්ත ඇත්තේ "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට බව ඒ දිනවල විමල් කුමාර් ද කොස්තා පවසනු මා අසා ඇත.



ධනංජය කරුණාරත්න ගේ ලිපියේ අඩංගු කරුණුවලින් හැඟවෙන පරිදි, හෝඩියේ පන්තියේ සිට සිතෙන් තමන් ප්‍රේම කළ නමුත්, විවිධ සමාජ කරුණු නිසා තමන්ට අහිමි වූ ඒ මාලිනි ය, අතාත්වික ලෝකයක දී සුලු මොහොතකට හෝ තමන්ට හිමි කරගන්නට ලැබීම නිසා විමල් කුමාර් ද කොස්තා "එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටයේ සිරිපාල ගේ චරිතයට වඩාත් ප්‍රිය කරන්නට ඇතැයි මට සිතේ.

-රසිකොලොජිස්ට්

(image: https://rateyourmusic.com/film/එයා_දැන්_ලොකු_ළමයෙක්; http://www.silumina.lk/punkalasa/20110306/_art.asp?fn=ar1103069)

Tuesday 22 November 2016

තවත් බලු කොලු කතාවක් - Of dogs and boys


මා පසුගිය සැප්තැම්බරයේ රසිකොලොජියේ නැවත පළ කළ "මිනිස් බල්ලා සහ බලු මිනිසා" නම් වූ මගේ සඟරා ලිපිය ගැන විවිධ අදහස් පළ වුණි.

තම අදහස් දක්වන එක් අයෙකු පුන පුනා පවසා සිටියේ ඒ මා ලියා ඇත්තේ සත්‍ය අත්දැකීමක මතකය මත පදනම් වූ කතාවක් නොව මා නිර්මාණය කළ ප්‍රලාපයක් බවයි.

ඇත්තටම එය සත්‍ය කතාවක් නොව නිර්මාණයක් නම්, මම වඩාත් සතුටුවෙමි. ඒ මන්ද යත්, එවැනි නිර්මාණයක් කිරීම මට නම් ලේසියෙන් නොහැකි නිසා ය. මින් පෙර මා ලියා පළ කර ඇති විවිධාකර අත්දැකීම් පදනම් වූ ලිපි අනුභූති සේ ගෙන කෙටිකතා සීයක් ලියන්නෙමි යැයි මා ඒ කාලයේ ම පවසා සිටිය ද, තවමත් මා අතින් එවැනි එකදු කෙටිකතාවක් හෝ ලියවුණේ නැත!

ගෙදර වැඩ හෝ පැවරුම් යනාදිය පිළිබඳව අප එකල අසා නොතිබුණ ද, උදෑසන පන්තියේ ගුරුවරියට පෙන්වීම සඳහා ගල්ලෑල්ලේ චිත්‍රයක් ඇඳගෙන යාමට, අත් අකුරු පුහුණුව පෙන්වීම සඳහාත්, භාෂාව ඉගෙනීම පෙන්වීම සඳහාත්, වචන හෝ වාක්‍ය හෝ පිළිවෙළට ලියාගෙන යෑමට, මට එකල උපදෙස් ලැබී තිබුණි.

මා ලියාගෙන යන දේ කුමක් වුවද, එයට අති විශාල හරියකින් ප්‍රතිචාර දැක්වීම ප්‍රඥාවතී ටීචර් ගේ ගේ සිරිත විය. අකුරක හැඩයේ වරදක්, වචනයක අක්‍ෂර වින්‍යාසයේ වරදක් හෝ වාක්‍යයක ව්‍යාකරණ වරදක් තිබුණේ නම්, ඇය එය නිවරද කරන්නට ඉඩ තිබුණි. නමුත්, පෙරදා රාත්‍රියේ නිවසේ දී ගල්ලෑල්ලේ ලියා දෙමව්පියන්ට පෙන්වන දෙයක වරදක් පසුදා උදෑසනවන විට තිබෙන්නට ඉඩක් නැත.

අද මා කියන්නට යන හෝඩියේ පන්තියේ බලු කතාව මෙයයි.

එක් දිනයක උදෑසන අවදිව පාසල් යන්නට සූදානම් වෙමින් සිටි මට පෙනුණේ, කුමක් හෝ හේතුවක් නිසා, පෙර දින රාත්‍රියේ මා ගල්ලෑල්ලේ කිසිවක් ලියා නොමැති බවයි.

චිත්‍රයක් අඳින්නට ද වෙලාවක් නොමැත. අපේ නිවසට අල්ලපු වත්තේ විසූ ආනන්ද ජයතිලක සමග මා කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය වෙත පා ගමනින් යාම අරඹන්නේ උදෑසන හතට ය. එය අඩ සැතපුමක පමණ දුරකි.

ලියන්නට වාක්‍යයක් අසා ගන්නට තාත්තා ද නොමැත. බොල්ලතේ පාසලක සේවය කළ රජයේ ගුරුවරයෙකු වූ ඔහු නිවසෙන් පිටත්වන්නේ උදෑසන හයටත් පෙර ය.

නිවසේ කිසියම් කාර්යයක නිරත වෙමින් සිටි අම්මා වෙත ගිය මම, අම්මේ මොනවා හරි කියන්න මට ගල්ලෑල්ලේ ලියා ගෙන යන්න කියා ඇගෙන් ඉල්ලීමි.

අනේ පුතේ, අර නැන්දාගෙන් අහගන්න කෝ! යැයි අම්මා පැවසූයෙන් මම නැන්දා වෙත ගියෙමි.

නැන්දා මට ලියන්නට කීවේ මේ වාක්‍ය යුුගලයි!
බල්ලා බත් කයි.
කොල්ලා හූ කියයි.

එවෙලේ හදිසියෙන් ඒ වාක්‍ය දෙක ගල්ලෑල්ලේ ලියාගෙන පාසලට ගිය මට ප්‍රඥාවතී ගුරුවරිය ගෙන් ගල්ලෑල්ල පුරා විසිරී ගිය විශාල හරියක් ලැබෙන්න ඇත.

මා මුලින් ම නිර්මාණාත්මක ලියවිල්ල ඉගෙන ගත්තේ එදා යැයි පසු කාලයක මේ සිදුවීම ගැන සිතන විට මට වැටහී ගියේ ය.
  • කොල්ලා බත් නොකා බල්ලා බත් කෑවේ ඇයි?
  • බල්ලා හූ නොකියා කොල්ලා හූ කීවේ ඇයි?
  • බල්ලා කෑවේ කොල්ලා ගේ බත් ටික ද?
  • කොල්ලා හූ කීවේ, ඒ දැක කෝපයෙන් ද?
නැන්දා ගේ ඒ වාක්‍ය යුගල නිර්මාණයේ තෝතැන්නකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මේ කතාව ද, සත්‍ය සිදුවීමක් නොව මවිසින් කරණ ලද නිර්මාණයක් යැයි නොකියන්න.

මේ ලිපිය මා අලුතෙන් ලියූවක් වුව ද, මෙහි විස්තර කෙරෙන සිදුවීම නම් මීට වසර කිහිපයකට කලින් බස් රේඩියෝව සඳහා කරන ලද වැඩ සටහනක දී මම විස්තර කර ඇත්තෙමි.

(image: https://commons.wikimedia.org/wiki/File:A_boy_and_a_dog.jpg)

Sunday 20 November 2016

තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle?


පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු.

එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ "වැඩට-ඉඩ" සැලසුම සහිත කාර්යාලයේ කුස්සි කෑල්ලට ගියේ එකට ය. මේසය වටා බංකුවල වාඩිවුණු අපි සුපුරුදු පරිදි දිවා ආහාරය අඹරන්නට පටන් ගත්තෙමු.

අඹරන, ගිලින අතර මා කළේ, මේසය මත තිබුණු "සිඩ්නි මෝනිං හෙරල්ඩ්" පුවත් පතේ පිටු පෙරළමින් එහි තිබෙන රූප නැරඹීමයි. පීටර් තම කාර්යාල ජංගම දුරකථනය මත ඔහු ගේ පුද්ගලික ජංගම දුරකථනය ඇලයට තබා යම් කිසි පුවත් අඩවියක් පිරික්සන්නට පටන් ගත්තේ ය.

එක් ජංගම දුරකථනයක් මට තැබූ තවත් ජංගම දුරකථනයක් දුටු මට සිහි වුණේ අප කුඩා කාලයේ ඉගෙන ගත් තේරවිල්ලකි.

"පීටර්, කැන් යූ සොල්ව් දිස් රිඩ්ල්"" මම පීටර් ගිබන්ස්ගෙන් ඇසුවෙමි, "එ ෆෘට් ඔන් එ ට්‍රී, එ ට්‍රී ඔන් එ ෆෘට්!"

මා කුඩා කාලයේ අසා පුරුදු ඒ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" තේරවිල්ල පීටර් පෙර අසා නොතිබුණි.

තේරවිලි යනු අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් ඉතා අපූරු භාෂා ප්‍රයෝග විශේෂයකි.

ඒ අතර පද පෙරළි සහිත "බුදු කුටිය" වැනි තුන් තේරවිලි ද, "දෙකොන දේශනාවට මඩුව මත්වෙලා" වැනි හය තේරවිලි ද ඇත.

මුලින් කියූ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" ආකාරයේ විවිධ සැඟවුණු අරුත් ඇති කියමන් ද ඇත.

මේ පහත දැක්වෙන්නේ ද තේරවිල්ලකි. මෙය මා කලින් අසා ඇති එකක් නොව, වෙනත් අනාගතයේ පළවීමට නියමිත බ්ලොග් ලිපියක හැඳින්වීම ලියද්දී මගේ සිතට ආ මගේ ම අදහසකි. එසේම මෙය කුණුහරුපයක් නම් නොවේ.

මෙන්න විසඳන්න.
  • මේවා ගැහැනුන්ට මෙන් ම පිරිමින්ට ද තිබේ.
  • ගැහැනුන් ගේ ඒවා පිරිමින් ගේ ඒවාට වඩා අනිවාර්යෙන් ම ලොකු ය. අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය.
  • සාමාන්‍යයෙන් ගැහැනුන්ට මේවා එකකට වඩා ඇත. පිරිමින්ට බොහෝ විට ඇත්තේ මේවා එකකි.
  • ගැහැනුන් ගේ ඒවා විවිධ ප්‍රමාණයෙන්, විවිධ වර්ණයෙන් තිබේ. සෑම පිරිමියෙකු ගේ ම එක බොහෝ විට අන් පිරිමියෙකු ගේ එක සමාන ය. එසේ ම ඒවා බොහෝ විට එකම වර්ණයේ ය. නැතහොත් ඉතා සමාන වර්ණයන් ය.
මේ කියන්නේ කුමක් ගැන ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිතුර සහ මුලින් කී ලිපිය තව දින දෙක තුනකින් පමණ පළ කරමි.

දෙවසරක් තිස්සේ දින දෙකකට වරක් බැගින් රසිකොලොජියේ ලිපි 366 ක් පළ කළ මගේ මේ ඇරඹුණු තුන්වෙනි වසර සඳහා ඉලක්කය ලිපි එකසිය විස්සක් පමණි!

Thursday 17 November 2016

අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක සහ රසික ඔබ! (හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ) - WARNING: Not for general consumption


ඉංග්ලිෂ් භාෂාවෙන් සර් කියන්නේ මහත්මයා යන්නටයි. සැවොම එකිනෙකා "මේට්" වශයෙන් හෝ මුල් නමින් අමතන ඉගලිටේරියන් සමාජයක් ඇති ඕස්ට්‍රේලියාවේ දී වුව, සේවා සපයන ස්ථානයකට ගිය හෝ දුරකථනයෙන් එවැනි සේවාවකට ඇමතූ හෝ ඒ වැනි අවස්ථාවලදී මේ සර් පදයෙන් අමතනු අසා ගත හැකි ය.

ලංකාවේ දී බොහෝ විට සර් කියා අමතන්නේ පාසල් සිසුන් විසින් තම ගුරුවරුන්ට බව අපි දනිමු. ගුරුවරුන් අතර ද එකිනෙකා ඇමතීමට ද සර් යන පදය භාවිතා කෙරෙනු මා අසා ඇත.

ඊට අමතරව, සේවා ස්ථානවල, සේවා සැපයෙන ආයතනවල, දුරකථනයෙන් පාරිභෝගික කටයුතු සඳහා කතා කරද්දී වැනි අවස්ථාවලදී සර් වචනය භාවිතා වේ.

මීට මාසය කිහිපයකට පෙර නන්දා මාලනී සහ වික්ටර් රත්නායක ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් සිනුවර දී පැවැත්වුණු අතර, ඉතා කණගාටුවෙන් වුව ද, මට එයට සහභාගීවීමට සිදුවිය.

ඒ ප්‍රසංගයේ දී නන්දා මාලනී, අමරදේව පිළිබඳව සඳහන් කළ දෙතුන් වතාවේ දී ම ඔහු හැඳින්වූයේ "අමරදේව සර්" යනුවෙනි. මීට පෙර නන්දා මාලනී ගේ සංගීත ප්‍රසංග නැරඹීමට මා ගිය තෙවතාවේ දී ම (2000, 2005 සහ 2010) ඇය අමරදේව පිළිබඳව සඳහන් කළේ "අමරදේව සර්" යනුවෙන් බව මගේ මතකයයි.

නමුත්, ඉහත ප්‍රසංගයේ දී මෙන් ම, 2005 දී ද, වික්ටර් රත්නායක විසින් අමරදේව පිළිබඳව කතා කළේ ඔහුව "අමරදේව සූරීන්" ලෙස හඳුන්වමිනි.

නන්දා මාලනී ගේ "අමරදේව සර්" හැඳින්වීම, මා හඳුනා ගත්නේ, ඇය අමරදේව ගුරු තනතුරෙහි ලා සැලකීමක් ලෙසයි. එනම්, මෙහි දී සර් යන වචනය භාවිතා වෙන්නේ එහි මූලාශ්‍ර ඉංග්ලිෂ් තේරුම වන මහත්මයා යන අරතෙන් නොව ගුරුවරයා යන සිංග්ලිෂ් අරුතෙන් බවයි.

පාසල් දැරියක ලෙස ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වල ගීත ගායනා කිරීමට පැමිණි නන්දා මාලනීගේ ගායන කුසලතාව ඔප් නංවා ගැනීමට, එවක ගුවන් විදුලියේ වාද්‍ය මණ්ඩල ප්‍රධානියා වූ අමරදේව විවිධ අවස්ථා උදා කර දුන් අයුරුත්, අවසානයේ අමරදේව විසින් සංගීත අධ්‍යක්‍ෂණය කළ රන්මුතුදූව චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනා කිරීමට තෝරා ගත් අයුරුත් නන්දා මාලනී විසින් විවිධ අවස්ථාවල කෘතවේදීව සඳහන් කර තිබන අයුරු මම කියවා ඇත්තෙමි.

එසේම, නන්දා මාලනී යනු අමරදේව ගේ ගුරු කුලයට අයත් ගායිකාවක් බව තවත් ස්ථිර කෙරෙන උදාහරණයක් ද ඇත.

එය නම්, අන් ගායක ගායිකාවන්ට සාපේක්‍ෂව අමරදේව සහ නන්දා මාලනී දෙදෙනා සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන ආකාරයයි.

මා කිහිප විටක් අසා ඇති පරිදි වික්ටර් රත්නායක සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගවලදී ශ්‍රාවකයින් අමතන්නේ "රසික රසිකාවියන්" කියා ය.

"නංගිලා, මල්ලිලා, නැන්දලා, මාමලා" යනාදී වශයෙන් තමන් ගේ සනුහරයට ගී ගයන අය හැර අන් බොහෝ ගායක ගායිකාවන් ද භාවිතා කරන්නේ මේ "රසික රසිකාවියන්" යන යෙදුම යි.

නමුත්, අමරදේව මෙන් ම නන්දා මාලිනී ද මෙහි දී භාවිතා කරන්නේ "රසික ඔබ" යනුවෙනි. මෙහිදී "රසික" යන වචනය ඔවුන් යොදා ගන්නේ නිර්ලිංගික එනම් ජෙන්ඩර් නියුට්‍රල් ආකාරයට බව පෙනේ.

නමුත් නමින් රසික වන මට, ඇගේ ඒ "රසික ඔබ" යන කියමන ඇසෙන්නේ, දැනෙන්නේ මට ම කෙරෙන ඇමතුමක් ලෙස ය.

මා සහභාගී වූ නන්දා මාලනී ගේ පෙර ප්‍රසංගයවල දී ඇය "රසික ඔබ" යැයි පවසනු ඇසී එය මතකයේ රැඳී තිබුණු හෙයින් මම 2010 ප්‍රසංගයේ දී, මා හඳුනන කිහිප දෙනෙකුට, ඔන්න අද නන්දා මාලනී මා වෙනුවෙන් ගීතයක් ගයනවා යැයි පැවසීමි.

එය ඒ ලෙසම සිදුවිය.

ඇය දෙතුන් විඩක් ම "ඊළඟ ගීතය මා තෝරා ගත්තේ රසික ඔබ වෙනුවෙන්" යැයි කියා ගී ගැයුවා ය.

එපමණක් නොව මෙවර 2016 ප්‍රසංගයේ දී, "මීළඟ ගීතය ගායනා කිරීමේදී මා හා එක්වන ලෙස රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා සිටිනවා" යැයි කී වෙලේ, "අන්න රසික ඔයාට කතා කරනවා!" යැයි අවට සිටි කිහිප දෙනෙකු මට කී නිසා මට අසුනෙන් නැගිට වේදිකාවට යන්නට ද මොහොතකට සිතුණි.

නමුත්, අමරදේව ගේ ප්‍රසංගයක දී (2005) සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.

"පීනමුකෝ කළු ගඟේ" නම් ගීතය ගයන්නට පෙර ඒ ගැන යාන් හෑල්ලක් කියන්නට පටන් ගත් අමරදේව, එය ඇරඹුවේ මෙසේ කියමිනි.

"රසික ඔබට මතක ඇති වර්ෂ 1945 දී කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වුණා ස්වර මේලා නම් සංගීත ප්‍රසංගයක්. ඒ සඳහා තමයි මා මුලින් ම...."

මගේ සැබෑ වයස අමරදේව නිසා හෙළි වූයේ එලෙස ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මුලින් ම කී පරිදි, මේ සටහන හැම දෙනාගේ ම කියවීම පිණිස නොවේ.

මා ලියා ඇති මේ පොදුවේ නොවැදගත් යැයි පෙනෙන කාරණා නිවැරදිව තේරුම් ගැනීමට හැක්කේ තවත් රසික නමැත්තෙකුට ම පමණක් යැයි සිතමි.

(images: various sources)

Monday 14 November 2016

මයි ඩාලින් රසිකා - Rasika, my darling!


මගේ නම රසන්ත නොවී රසික වූ හැටි ගැන මම පසුගිය සතියේ ලියූවෙමි.

ඒ නම් දෙකෙන් මගේ නම කුමක් වූව ද, එසේ නොමැතිව, මගේ නම සුසන්ත, ප්‍රියන්ත, සමන්ත, ජයන්ත, වසන්ත වැනි ත-යන්නෙන් අවසාන වෙන්නක් වූව ද, එක්තරා කාරණයක් සම්බන්ධයෙන් නම් ඇතිවෙන ප්‍රතිඵලය එකම බව කිව හැක.

මේ ඒ ගැන විස්තර කෙරෙන මගේ අත්දැකීම් සහිත පොඩි කතා කෑලි දෙකකි.
මීට වසර පහළොවකට පමණ පෙර, කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් තිබී, ඒ දිනවල අලුතෙන් අන්තර්ජාලයේ පළ කිරීම ඇරඹුණු එක්තරා සිංහල පුවත්පතක් කියවමින් සිටි මට ඒ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ කුඩා ගැටලුවක් ඇති විය. මට මතක ආකාරයට එය පුවත් පතේ පෙර කලාපයක් කියවීම සඳහා යොදා තිබුණු සබැඳියක් බිඳී තිබීම වැනි දෙයකි.

මා එවිට කළේ, ඒ වෙබ් අඩවියේ සඳහන් වූ ඊ-මේල් ලිපිනයක් භාවිතා කරමින් අදාළ වෙබ් මාස්ටර්ට ඒ පිළිබඳව කියා යැවීමයි.

මා බලාපොරොත්තු නොවූ ආකාරයට වහාම මට පිළිතුරු ලැබුණු අතර, අදාළ දෝෂය ද නිවරද කර තිබුණි. එයට ස්තුති කරමින් මා යැවූ පිළිතුරෙන් පසු, මා විමතියට ලක් කරමින්, මට ඒ වෙබ් මාස්ටර්ගෙන් මගේ පුද්ගලික විස්තර විමසන ඊ-මේල් දෙකක් පමණ ලැබුණි.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම නැවත පිළිතුරු නොලියා නිහඬ වී මි.
දෙවෙනි සිදුවීම මෙසේ ය.
ඒ කාලයේ මා සේවය කළ ආයතනයේ, අපේ දෙපාර්තමේන්තුවේ, කාර්යාල තුනක් එකිනෙකින් කිලෝමීටර් හතළිහක් පමණ දුරින් පිහිටා තිබුණි. යම් කරුණක් ගැන බෙදා හැරුණු පොදු ඊ-මේල් පණිවිඩයකට මා පිළිතුරු යැවූ පසු, අපේ දෙපාර්තමේන්තුවේ ම වෙනත් කාර්්‍යාලයක අලුතෙන් සේවයට බැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකුගෙන් මට පුද්ගලික ඊ-මේලයක් ලැබුණි.

තමන් හඳුන්වා දෙමින් අරඹා තිබුණු ඒ ඊ-මේලයෙන් කියවුණේ, ඔහු මා හඳුනා ගැනීමට කැමති බවත්, නුදුරු දිනකදී අපේ කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමකට සහභාගී වීම සඳහා ඔහු පැමිණෙන බවත් ය. රැස්වීමෙන් පසු කෝපි කෝප්පයක් බොමු ය යන යෝජනාවක් ද ඒ ඊමේලයේ තිබුණි.

මම ප්‍රසාදය පළ කර පිළිතුරක් යැවූවෙමි.

එදා රැස්වීමේ දී, මේ ඉන්දියානුවා අසුන් ගත්තේ, මා කවුදැයි නොදැන, මා අසලින් ම ය. සාකච්ඡාව පැවැත්වෙන වේලේ ඔහු මා කවුරුන්දැයි දැන ගන්නට ඇත. නමුත් ඔහු මා සමග වචනයකුදු කතා නොකළේ ය.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම ද නිහඬ සිටියෙමි.
මේ කතාංග ද්වයෙන් මා පැහැදිලි කිරීමට උත්සාහ කළ කරුණ මෙසේ ය.

රසික (Rasika) පමණක් නොව රසන්ත (Rasantha), සුසන්ත (Susantha), ප්‍රියන්ත (Priyantha), සමන්ත (Samantha), ජයන්ත (Jayantha), වසන්ත (Vasantha / Wasantha) වැනි සියලුම පිරිමි නම් ද ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ කළ, ඒවා රසිකා (Rasika), රසන්තා (Rasantha), සුසන්තා (Susantha), ප්‍රියන්තා (Priyantha), සමන්තා (Samantha), ජයන්තා (Jayantha), වසන්තා (Vasantha / Wasantha) යනුවෙන් ද කියවෙන නිසා, නමේ හිමිකාරයා හමු වී නොමැති විට ඒ නම කාන්තාවක ගේ ය කියා රැවටීමකට ලක්වීමට ඉඩ ඇත!

මා ඉහතින් ලියූ කතා කෑලි දෙකේ කියවුණු අත්දැකීම්වලදී මට එය හොඳින් අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තිලක / තිලකා, මදුර / මදුරා, මධුර / මධුරා, පුෂ්ප / පුෂ්පා, වැනි නම් ද මේ කී ආකාරයේ ටැපලීම් ඇති කරයි.

නමුත්, ආසිරි, මානෙල්, කුමුදු වැනි නම් හිමිකරුවන් පිළිබඳව වරදවා වටහා ගන්නට නම්, ඒවා ඉංග්ලිෂ් අකුරෙන් ලිවිය යුතු නැත!

(image: http://www.goodreads.com/book/show/14625389)

Friday 11 November 2016

ඉස්කෝලේ ගිය කාලේ තවත් කතාවක් - How to draw an umbrella


හෝඩියේ පන්තියේ දී ගල්ලෑල්ලක අඳින ලද මිනිස් බල්ලෙකු සහ බලු මිනිසෙකු ගැන ලියවුණු ලිපියේ මා සඳහන් කළ අත්දැකීම ලැබූ කාලයේ මගේ වයස අවුරුදු පහමාරක් පමණ විය.

ඒ ලිපියට මා ලද ඇතැම් ප්‍රතිචාරවල ලියවී තිබුණු ආකාරයට, වයස අවුරුදු පහක් යනු බලි රූප චිත්‍ර අඳින, අකුරු හකුරු සේ ලියන ළමා කාලයක් යැයි සමහරු නොදැනුවත්කම නිසා දෝ සිතන බව පෙනුණි.

එවැනි නොදැනුවත්කමකට හේතුව, සමහර විට ස්මරණ ශක්තියේ අඩුවක් නිසා, තමා ගේ ජීවිතයේ ඒ කුඩා කාලය මේ වන විට අමතක වී ගොස් තිබීම විය හැක. එසේ නොමැතිනම්, ඒ ලිපියේ සඳහන් සිදුවීම සත්‍යයක් නොව, මා කළ නිර්මාණයකැයි පුන පුනා තර්කයේ නිරතවෙන අය ගේ ළමා කාලය මගේ ළමා කාලය තරම් සාර්ථක ඒවා නොවන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ බලු මිනිස් රූපවල ඓතිහාසික පසුබිම ගැන ද මම පසුව ලියුවෙමි. ලියූ තවත් කථාවක් පළ කරන්නට ද ඇත.

එදා හෝඩියේ පන්තියේ දී අප අකුරු ලීවේ, චිත්‍ර ඇන්දේ ගල්ලෑල්ල නම්, මෙකල ඇති "අයි-පෑඩ්" යනාදී ඉලෙක්ට්‍රොනික මෙවලමේ මුල් අදියරේ උපකරනක් මත, ගල්කූර නමැති, මෙකල "ස්ටයිලස්" නමින් හැඳින්වෙන මෙවලමේ මුල් අදියරේ, උපකරනයෙනි. ඉලෙක්ට්‍රොනික පෑඩයක් මත ස්ටයිලසයකින් රේඛා චිත්‍රයක් ඇඳීම පහසු වැඩකි. නිසි උපදෙස් ලද විට, එවැනි චිත්‍ර අපට එකල ගල්ලෑලි මත ගල්කූරෙන් ඇඳිය හැකි විය.

හෝඩියේ පන්තියේ සිත්තරාවිය කථාවේ මා කීවේ ද එවැනි චිත්‍ර පාඩමක් ගැනයි.

කාගෙන් උගත්තේ දැයි අද මට අමතකමුත්, මා එකල ආශාවෙන් ඇඳි තවත් එක් චිත්‍රයක් වූයේ කුඩයකි. රේඛා කිහිපයක් මගින් සරලව ඒ චිත්‍රය අඳින්නේ මෙසේ ය.

මුලින් ම අර්ධ වෘත්තයක් ඇඳ එය කොටස් කිහිපයකට බෙදෙන ලෙස චාප කිහිපයක් අඳින්න.


දැන් ඒ චාප යනු කුඩයේ නන ලෙස සලකා, කුඩ රෙද්ද අඳින්න.


ඊළඟට, කුඩයේ මිට ඇතුළු අනෙකුත් කොටස් ඇඳ සම්පූර්ණ කරගන්න.


එදා ගල්ලෑල්ලේ ගල්කූරෙන් අඳින විට කළ නොහැකි වුව ද, අද පෑඩයක් මත, ස්ටයිලසයකින් අඳින විට හෝ මා මෙහි දී කළ ආකාරයට පරිගණක තිරය මත මූසිකයක් ආධාරයෙන් අඳින විට දී හෝ ඔබට අවශ්‍ය නම් මේ කළු කුඩය, පාට පාට කුඩයක් බවට පත් කර ගත හැක!


ළමා කාලයේ මෙවැනි චිත්‍රයක් ඇඳීමට හැකිවීම යනු උස් මහත් වූ විට රටේ ලෝකේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු වීමේ පෙර නිමිත්තක් ලෙස වරදවා වටහා ගත යුතුව නැත.

අතීතයේ අප දැක ඇති කුමන දෙයක් වුව ද චිත්‍රයට නැගුවත්, අපට කළ නොහැකි දෙයක් වනුයේ අනාගතය චිත්‍රයට නැගීමයි.

එදා මට මුහුදු වෙරළක දර්ශනයක් සහ චීත්ත මෝස්තරයක් යන චිත්‍ර ඇඳීමට ඉගැන්වූ ගෑල්ළමයා අද විශේෂඥ වෛද්‍යවරියකි.

ඇගෙන් ඉගෙන ගෙන හෝ හැකි පමණින් චිත්‍ර ඇඳි මම, උදේ සවස දුම්රියේ යනෙන විට පරිගණකයක අකුරක් දෙකක් කොටා බ්ලොග් ලියනා අර්ධකාලීන බ්ලොග්කරුවෙක් මි. එසේ ම, කාර්යාලයක පුටුවක වාඩිවී භගන්දරා මල් වවමින්, පරිගණක තිරයකට අනිමිසලෝචන පූජා පවත්වන පූර්ණකාලීන මැවිසුරුවෙක් මි.

-රසිකොලොජිස්ට්

(image: http://www.objectlessons.org/childhood-and-games-victorians/school-slate--pencil-victorian-original/s67/a1016/)

Tuesday 8 November 2016

අම්මාට යන්න නොලැබුණු පුතා ඉස්කෝලේ ගිය මුල් දවස - Some poor mothers miss out


පාසල් ගිය මුල් දවස මතකද?

උපන් දිනයේ සිට දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් සමග වසර පහක් පමණ කල් ගෙවා අප පාසල් ගිය මුල් ම දිනය යනු අපේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් වන වැදගත් සිදුවීමකි.

"පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ!" යනුවෙන් ඇන්ජලීන් ගුණතිලක ගයන්නේ ඒ දවසේ මවකට දැනෙන සිතුවිලි ගැනයි!

සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිදුවුණු නොවැදගත් සිදුවීම්වල පවා දින වකවානු සහ දෙබස් සමග කිව හැකි තරම් මතකයක් ඇති මට ඒ වැදගත් දිනය පිළිබඳව පුදුමයකට මෙන් කිසිදු මතකයක් නැත.

මා මුලින් ම පාසල් ගොස් ඇත්තේ මගේ අම්මා හෝ තාත්තා හෝ සමග නොව, ආච්චී සමගින් ය යනුවෙන් මා පසු කලෙක දී ඇසූ දවසේ මට තරමක දුකක් දැනුණි.

ඒ දුක දැනුණේ මා වෙනුවෙන් නම් නොවේ. මගේ දෙමව්පියන් වෙනුවෙනි. එයිනුත් විශේෂයෙන් ම මගේ මව වෙනුවෙනි.

මට මා වෙනුවෙන් දුකක් නැත්තේ, එදින ද මට කිසිමාකාරයක දුකක් නොදැනුණු බව ස්ථිර නිසා ය. එදා මට දුකක් දැනුණේ නම්, අද මට ඒ ගැන ඉතා සුළු මතකයක් හෝ තිබිය යුතුයි. එවැනි මතකයක සේයාවක් හෝ නැති නිසා, මා පාසලට ගිය මුල් දිනයේ මා ඉතා සතුටෙන් ඉන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්, මා පාසල් යාමට පටන් ගැනීමට කලින් වසරේ දී, මගේ දෙමව්පියෝ මා නිවස අසල තිබුණු මොන්ටිසෝරියක් වැනි තැනකට යවන්නට තැත් කළ හැටිත් එහි මා ගිය මුල් දිනයේ දී මට කියවන්නට හෝ ලියන්නට ලැබුණු දේ මට පහසුවෙන් කළ හැකි වූ නිසා, මා පසුවදා එහි යෑම ප්‍රතික්‍ෂේප කළ බවත් මගේ මතකයේ ඇත.

ඉතින්, මුලින් ම පාසල් ගිය දිනයේ මට දෙමව්පියන් සමග නොව ආච්චී සමග එහි යාමට සිදුවුණේ ඇයි?

මගේ පියා පාසල් ගුරුවරයෙකු නිසා, ඔහු අලුත් වසරේ ප්‍රථම දිනයේ තම රාජකාරිය ඇරඹීම සඳහා උදෑසන ම නිවසින් පිට වෙන්නට ඇත.

මේ වන විට මගේ බාල ම සොහොයුරා ගේ වයස අවුරුදු දෙකයි මාස දහයක් පමණි. එනම් ඔහු සිටියේ ගමන් බිමන් යන විට වඩාගෙන යන වයසේ ය. අනෙක් බාල සොහොයුරාට නම් වයස අවුරුදු හතර පිරී තිබුණි.

අම්මාට මා කැටුව එදා පාසලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ බාල දරුවන් දෙදෙනා නිසා ය.

තම ප්‍රථම දරුවාට නමක් තබන්නට ගොස් සිදුවුණු අපේක්‍ෂාභංගත්වය ගැන මෙන් ම, ඒ සුපින්වත් කුමරුවා තක්සලාවට ගිය මුල් දිනයේ දී ඒ ගමනට එක්වන්නට නොලැබීම ගැන ද අම්මා දුකෙන් සිහිපත් කරනු මා අසා ඇත.

ඇත්තටම තාත්තා කළ යුතුව තිබුණේ, එදින නිවාඩුවක් දමා, අම්මාත්, මල්ලිලාත් කැටුව ඒ ඓතිහාසික ගමන මා සමග යෑමයි. දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යාම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත නොවේ යැයි සිතිය නොහැකි ය.

නමුත්, තාත්තා ඔහු ගේ ගුරු රාජකාරිය, තම පවුලේ කාර්යයට වඩා උස් කොට සලකා ඇති බව පෙනේ.

කමක් නැත!

මේ ආකාරයටම, අපේ දියණිය පාසල් ගිය මුල් දිනයේ ඇය කැටුව ගියේ මා පමණි. ඒ දිනවල මෙල්බර්න් තදාසන්නයේ මරුන්ඩා රෝහලේ හදිසි රෝගී අංශයේ සේවය කළ මා බිරිඳට එදින උදෑසන හතට සේවයට වාර්තා කිරීමට තිබුණි.

උදේ රැයෙන් නැගිට කිරිබතක් සෑදු ඇය ඉන්පසු රාජකාරිය සඳහා පිටව ගිය අතර, දියණිය ගේ ජීවිතයේ ඒ සැතපුම් කණුව හා සම්බන්ධ සෑම මොහොතක් ම තනිවම අත් විඳීමට එදා මට වරම් ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ - ඇන්ජලීන් ගුණතිලක



(image: http://darkaresgaming.net/index.php?/topic/4221-first-day-of-school/)

Sunday 6 November 2016

රසික උපත නොහොත් පොඩි කතාවක් දෙකක් - In the beginning there was light....!


මගේ අම්මාට අවශ්‍ය වී ඇත්තේ තමන් මෙලොවට බිහිකළ සුපින්වත් පුත් කුමරුවා "රසන්ත" යනුවෙන් නම් කරන්නට ය. නමුත්, මගේ චූටි නැන්දා, එනම් තාත්තා ගේ බාල නැගෙණිය යෝජනා කර ඇත්තේ "රසික" යන නමයි.

ඒ යෝජනා දෙක සලකා බලමින්, දරු උපත ලියාපදිංචි කිරීම සඳහා, දි සොයිසා රෝහලේ කාර්යාලයට ගිය තාත්තා කර ඇත්තේ අදාළ ෆෝර්මයේ ළමයා ගේ නම යන ස්ථානයේ "රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි" කියා ලිවීමයි. "හරිශ්චන්ද්‍ර" යනු මගේ පියා ගේ මැද නම ද වේ.

සතියකට පමණ පසු උප්පැන්නය තැපෑලෙන් නිවසට ලැබුණු විට සිදු වී ඇති දෙය දැනගත් මගේ අම්මා, අපේක්‍ෂා භංගත්වයෙන් ඉතා දුක් වී ඇත.

තවත් සති කිහිපයකට පසු අම්මාට ආරංචි වී ඇත්තේ ඇගේ දුක තවත් වැඩි වෙන කාරණයකි. එනම්, තම සුපින්වත් පුත්‍ර රත්නය සඳහා අම්මා යෝජනා කළ "රසන්ත" යන නම, චූටි නැන්දා විසින් තාත්තලා ගේ පරකන්දෙනියේ මහගෙදර සිටි පුස් පැටියෙකුට යොදා ඇති බවයි!

මට අවුරුදු හතරහමාරේ දී පමණ අප ද ඒ මහගෙදරට පදිංචිව ගිය මුත්, ඒ නිවසේ "රසන්ත" වැනි නමක් ඇති සිටි පූසෙක් සිටි බවට මට කිසිදු මතකයක් නැති නිසා, මට සිතෙන්නේ රසන්ත නම ලද ඒ බිළාලයා වසර කිහිපයක් තුළ මිය ගොස් ඇති බවයි.

මම නම්, තවමත් යහතින් ජීවත් වෙමි.

කෙසේ වෙතත්, බල්ලන්ට, පූසන්ට මෙන් ම කොල්ලන් සඳහා ද "රසන්ත" යන නම මෙන්ම "රසික" යන නම ද එකල අලුත් පන්නයේ දුලබ නම් වී ඇත. කණිෂ්ඨ විද්‍යාලයේ මගේ පන්තියේ සිටි අනෙක් සිසුන් ගේ නම් වූයේ, ආනන්ද, සිසිර, ගාමිණී, නිමල්, ලයනල්, නිහාල්, හේමචන්ද්‍ර, ප්‍රේමසිරි, සරත්, සුගත් වැනි සුලභ ඒවා ය.

ඇත්තටම, මට වඩා වයසැති, "රසික" නමැති වෙනත් අයෙකු මට මෙතෙක් හමු වී නොමැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ පියා මගේ උපත ලියා පදිංචි කර වසර තිස් එකකට පසුව මම ද, ඒ රෝහලේ දී ම, අපේ දියණිය ගේ උපත ලියා පදිංචි කළෙමි.

නමුත්, මා නම් එදා අදාළ ෆෝර්මයේ, ඇලපිල්ලක, පාපිල්ලක, ඉස්පිල්ලක වෙනසකින් තොරව, බිරිඳත්, මාත් එකඟ වී සිටි ආකාරයට ම, අපේ දියණිය ගේ නම ලීවෙමි.

Thursday 3 November 2016

අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!


මගේ පියා ගුරුවරයෙකි. ඔහු වයස දහනමයේ දී ගුරු සේවයට බැඳී වසර තිස් නමයක් සේවය කළේ ය. ඔහු ගේ සොහොයුරියන් දෙදෙනෙකුත්, සොහොයුරෙකුත් ගුරුවරු ලෙස සේවය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහ වූයේ ද ගුරු සේවයේ අය සමග ය.

මගේ මව ගේ දෙමව්පියන් ද, එක් සොහොයුරියක් ද ගුරුවරු ය. මගේ මව ද ගුරු සේවයට යන්නට සිහින මවමින් සිට ඇත ද, වෙනත් සිහිනයක්, එනම් විවාහ සිහිනය, ඊට පෙර සැබෑවීම නිසා ඒ අදහස අත හැරගෙන ඇත.

මගේ බිරිඳගේ පවුලේ ද, ගුරුවර, ගුරුවරියන් වැහි වැහැලා ය. අපේ ඒ වැඩිහිටි පරම්පරාවේ හතර වරිගයේ ළඟ ඥාතීන් සහ දුර ඥාතීන් අතර ගුරු වෘත්තිකයින් ටියුෂන් පන්තියක් පුරවන්නට තරම් සිටියහ.

මා මේ කියන වැඩිහිටි පරම්පරාව යනු පසුගිය සියවසේ මුල් වසර පනහ තුළ උපන් අයයි.

අපේ ඥාතීන් අතර ඒ සා විශාල පිරිසක් ගුරු වෘත්තියේ නිරතව සිට ඇත්තේ ඇයි?

යටත් විජිත සමයේ ලංකාවේ රජයෙන් ලබා දුන් වර්නකියුලර් එනම් ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරන අයට රැකියාවක් ලෙස තිබී ඇත්තේ විකල්ප කිහිපයකි.

ඔවුනට එක්කෝ ශිෂ්‍ය ගුරු පත්වීමක් ගෙන ගුරු වෘත්තියට පිවිසිය හැකි විය. එය ගමේ තරුණයෙකුට, තරුණියකට ලබාගත හැකි වුණු රජයේ හොඳ මට්ටමේ එකම රැකියාවයි. මගේ තාත්තා සහ ලොකු නැන්දා ආදීන් කර ඇත්තේ එයයි.

එසේ ගුරුවරයෙකු නොවුනේ නම්, ගම්පහ සිද්ධායුර්වේදය වැනි ආයතනයට බැඳී දේශීය වෛද්‍යවරයෙකු වීමට අවස්ථාව තිබී ඇත. අපේ වෙද මාමා කර ඇත්තේ එයයි.

උදාහරණ නොමැති වුවත්, ඊට අමතරව නොතාරිස්වරයෙකු වීම වැනි විකල්ප ද තිබී ඇති බව පෙනේ. නමුත්, ඒවා ස්වයං රැකියා ය.

රජයේ සියලු වෙනත් රැකියා සඳහා ඉංග්ලිෂ් මාධ්‍යයෙන් විභාග සමත් වී තිබිය යුතුව ඇත. මධ්‍යම විද්‍යාල ඇතිවෙන තුරු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් ඉගෙනීම යනු මුදල් ගෙවා ලබා ගත යුතු අධ්‍යාපනයක්ව තිබී ඇත.

පනහේ දශකයේ දී මගේ නැන්දා කෙනෙකු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ද, ඇය ද අවසානයේ ගුරුවරියක් ම වූවා ය.

ගම්බද පවුල්වල තරුණ තරුණියන් ට, මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා, රජයේ සේවයේ ඉහළ තනතුරුවලට යාමට අවස්ථාව ලැබුණේ රාජ්‍ය භාෂාව වෙනස් කිරීමෙන් අනතුරුව සහ එ නිසා ම පමණි.

ජනගහනයේ වැඩිවීමත් සමගම ප්‍රසාරණය වන ගුරු සේවය වාසනාවට මෙන් තවමත් බොහෝ දෙනෙකු, වෙනත් විකල්පවලට වඩා, ප්‍රිය කරන වෘත්තියකි. මගේ බාල සොහොයුරා ද, ඥාති සොහොයුරියක් ද, ගුරුවරුන් ය.

එසේ නමුත්, අපේ පාසල් කාලයේ මෙන්ම, අදත් ලංකාවේ, ගුරු සේවයේ වැඩි වශයෙන් නිරතවන්නේ කාන්තාවන් බව පෙනේ. ඕස්ට්‍රේලියාවේ තත්වය ද එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ....."

මේ ගී පදයේ ඉතිරි කොටස කෙසේ සම්පූර්ණ කර ගත යුතුදැයි තවමත් සිතා ගත නොහැකි විය.

".......තුන් සිංහලයම අත දරුවෝ?"

(image: http://www.biography.com/news/favorite-tv-teachers)