Friday, 29 May 2026

තහනම් කළ පොතක් - and Tango makes three



මම හැම සතියකම වරක් හෝ දෙවරක් යන නගර සභා පුස්තකාලයේ සතිපතා විශේෂ පොත් වර්ග ප්‍රදර්ශනය කරන තැනක් තියෙනවා.

පසුගිය දිනක එහි ප්‍රදර්ශනය කර තිබූ පොත් එකතුව වූයේ ලෝකයේ විවිධ රටවල විවිධ හේතු නිසා තහනම් කරන ලද පොත්.

මේ එයින් එක පොතක්.

and tango makes three

මෙය පින්තූර සහිත ළමා පොතක් නිසා තහනම් වූයේ කවර හේතුවක් නිසාද කියා දැනගන්න මට එය කියවා බලන්න හිතුණා.

එය කෙටියෙන් කියන්නට පෙර නොදන්නා අයගේ දැනගැනීම පිණිස කියනවා නම් මේ පොතට දී ඇති නමේ අඩංගු ටැංගෝ යන වචනය අදහස් කෙරෙන්නේ දෙදෙනෙකුවේ විසින් කරන ශෘංගාරාත්මක චලනයන්ගෙන් යුතු නැටුමක්. එය තනියම කළ හැකි නැටුමක් ද නොවේ. එනිසාම, It takes two to Tango යනුවෙන්ද කියමනක් තිබෙනවා එහි තේරුම සමාන වෙන්නේ අප්පුඩි ගහන්න අත් දෙකක් ඕනේ යන කියමනටයි.

ඇන්ඩ් ටැන්ගෝ මේක්ස් ත්‍රී ළමා පොතේ අන්තර්ගතය කෙටියෙන් මෙලෙසයි.

එක්තරා සත්වෝද්‍යානයක පෙන්ගුයින් කණ්ඩායමක් ඉන්නවා. මේ අය අතරින් තරුණ පෙන්ගුයින්ලා දෙදෙනෙකු හොඳ මිතුරන්. ඔවුන් හැම විටම පිහිනන්නේ, ඇවිදින්නේ, විවේක ගන්නේ එකට.

මේ දෙදෙනා නිරීක්ෂණය කරනවා තමන් සේම පෙන්ගුවින් දෙදෙනා බැගින් එකතුව සැරි සරන බවත් අවසානයේ ඔවුන්ට පෙන්ගුයින් පැටවුන් එකතු වෙන බව සහ එසේ වන්නේ ඒ පෙන්ගුයින් ලා යම්කිසි ස්ථානයක නොසෙල් වී දින ගණනාවක් සිටීමෙන් පසු බවයි.

මේ දෙදෙනා ද එසේ ම එක් ස්ථානයක නොසෙල්වී දින ගණනාවක් සිටියද එලෙස පැටවුන් ලැබෙන්නේ නැහැ.

මේ පිරිමි පෙන්ගුයින් දෙදෙනාට නොතේරෙන කාරණය තමයි ඒ අනිත් පෙන්ගුයින් යුගල ගෑනු පිරිමි පෙන්ගුයින් ජෝඩු බවත්, ඔවුන් එය කරන්නේ බිත්තර දමා ඒවා රැකීම බවත්.

මේ හැසිරීම නිරීක්ෂණය කරන සත්ව උද්‍යාන පාලකයා කරන්නේ මවක නැති පෙන්ගුයින් බිත්තරයක් මේ දෙදෙනා ස්ථානයේ තැබීමයි.

අවසානයේ පෙන්ගුයින් පැටියෙකු ඉපදෙනවා, and Tango makes three.

- රසික සූරියආරච්චි

තවත් ශෝක ප්‍රකාශයක් - Fading memories



අකාලයේ මිය ගිය අපේ බාප්පා සූරියආරච්චිගේ (සරත්) චන්‍ද්‍රසිරි ගේ අවමංගල්‍යයේ දී ඔහුගේ මිතුරෙකු විසින් ලියා පළ කර බෙදා හරිනු ලැබූ ශෝක ප්‍රකාශයක් මා මීට දින කිහිපයකට පෙර පළ කළෙමි.

මේ මිතුරන් පිරිසක් විසින් පළ කර බෙදා හැරුණු එවැනි ම ශෝක ප්‍රකාශයකි.


පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පරකන්දෙණියේ විසු අප කලණ මිත්
සරත් කුමාර තරුණ මහතාණන්ගේ
හදිසි අභාවප්‍රාප්තිය නිමිත්තෙන් දුක් සුසුම් හෙළන අපි
මෙසේ හඬා වැලපෙමු.

අපගේ නොවක් පියතම හිතවතෙකු ලෙද
දන සිත් දිනාගෙන කටයුතු කරන ලද
හිතවත් සරත් වියොවුණි සදහටම අද
කෙලෙසින් අනේ, සනසාගත හැකිද හද?

ඇසුරට පැමිණි හැමගෙම ආදරය ලැබ
හිත මිතුරනගෙ සිත් කළ හැමවිටම පොබ
සසරෙහි වසන තුරු පිය මිත් සඳුනි ඔබ
අප හා මිතුරු වී ගෙන දෙනු මැනව සුබ

කළ ගුණ හැඳින කටයුතු කළ සියලු සමේ
පැසසුම ලැබී ඔබ හැම දෙනෙකුගෙම ගමේ
හිතවත මිහිර දැනගෙන සිටි මිතුරු පෙමේ
මුළු ගම් පළාතෙම ඔබෙ ගුණ සුවඳ හැමේ

කළ උපකාර දුබලයනට සියලු වෙලේ
ඔබ සිහිවන විට දි දෙනෙතින් කඳුළු සැලේ
පිය මිත් සඳුනි, පෙන්වූ මිත් දහමෙ බලේ
ඔබ ගැන අහෝ හද ඉවසනු බැරිව පාලේ

මිතුරෙක් නොවේ ඔබ ඉටු දෙවියෙකු වැනි ය
මිතුරන් පිරිස අද ඔබ නොමැතිව තනි ය
පැවසූ විහිලු හා රස බස් අම පැණි ය
මොකටද සරත් නොමැතිව පරකන්දෙණිය?

පියතම කලණ මිත සිරිමත දහම රැක
ඉවසා ගන්ට නොහැකිය එන හදෙහි දුක
සදහට මරා මරණය සහ උපත දෙක
සැනසෙනු මැනව අජරාමර නිවන දැක

මේ ශෝකයට පත්,


ජේ. ඒ. අමරසේන      පී. ඒ. විමලසේන
ජේ. ඒ. අබේපාල      ඩබ්ලිව්. ඒ. නන්දසේන
ඩබ්ලිව්. සෝමපාල      ඩබ්ලිව්. ඒ. සෝමපාල
ආර්. ඒ. ඌගිස් අප්පුහාමි

- රසික සූරියආරච්චි

Wednesday, 27 May 2026

නූතන ගඳකිලි පූජාව - New business venture introduced


ශ්‍රමණ වේශධාරීන් පිරිසක් සහ ඔවුනට රැවටුණු දායකයින් පිරිසක් පෙනී සිටින මෙම වීඩියෝව මුලින්ම දුටු වෙලේ මට එහි අන්තර්ගතය නිවැරදිව වැටහුණේ නැහැ.

මං හිතුවේ පන්සලක ආවාසයක කාමරයක් විවෘත කරන දර්ශනයක් කියලායි. පස්සේ තමයි තේරුනේ මිනිසුන් පිරිසක් කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් කාමරයක් සාදා එය ගෘහ භාණ්ඩ ඇඳ ඇතිරිලි පුරවා සකස් වෙනවා කරන ආකාරය බව.

මේ කාමරයට යාබද නාන කාමරයක්ද තියෙන බව ඡායාරූපවලින් පෙනුනා.

මෙවැනි කෝලම් නාට්‍යයක් නම් මම මීට පෙර ජීවිතේටම දැකලා නැහැ.

හිමාල කඳුවැටියේ ජීවත් වෙනවා යැයි සැලකෙන යෙටී නම් හිම මිනිසාට පවා විශාල වෙනු ඇතැයි සිතිය හැකි මෙහි දැක්වෙන ආකාරයේ සෙරෙප්පු කුට්ටමක් නම් මං මීට පෙර දැකලා තියෙනවා කවුදෝ පෘථග්ජන මිනිසෙකු චෛත්‍යයකට පූජා කරනවා.

අප බුද්ධාගම පාඩමට ඉගෙන ගත් බුදු හාමුදුරුවන් ජීවත්වුනු ගඳ කිළිය යන නමත් මොවුන් වෙනස් කරලා සුගන්ධ කුටිය කියා.

මෙහි සිටින කහකඩ පොරවා ගත් කිහිපදෙනාට මම ශ්‍රමණ වේශධාරීන් යැයි කිව්වේ ඔවුන් ඇත්තටම ශ්‍රමණයින්දැයි මේ ක්‍රියාව නිසා හඳුනාගත නොහැකි නිසායි.

අහේතු කාලේන කජ්ජේන පුහුළං!

- රසික සූරියආරච්චි

Tuesday, 26 May 2026

ශෝක ප්‍රකාශයක් - Condolences


අපේ චූටි බාප්පා අකාලයේ මිය ගොස් අවමංගල්‍යය පැවැත්වුණු දා ඔහුගේ මිතුරන් විසින් ලියා මුද්‍රණය කළ ශෝකප්‍රකාශ දෙකක් ඔවුන්, බාප්පාට අවසාන ගෞරව දක්වන්නට එහි පැමිණි ඥාතී හිතමිතුරන් අතරේ බෙදා හැරියා.

මේ ඉන් එකක්.


සෝ කඳුළු බිඳෙකි මේ.

පරකන්දෙනියේ විසූ සත්ගුණවත්
සරත් කුමාර චන්ද්‍රසිරි සූරියආරච්චි

මිතුරාගේ අභාවය ගැන මගේ හදපතුලෙන් නැගෙන

කණගාටුවයි මේ.

ලෝනා පහන් ගම් පියසම එළිය කෙරූ
පාළුව රජවෙමින් අප නෙත් කඳුළු පිරූ
හිතවත්කමෙන් ආදරයෙන් සෙනෙහේ දැරූ
අවසන් මොහොත ළංවිය අප නොසිතූ විරූ

මුමුණන විටදි පවනින් කෙඳිරිලි ගීත
දොම්නස නැගෙයි හදවත් කරමින් භීත
නොදනිමි ඔබෙ ගමන සිදුවන බව මෑත
පතනෙමු නිවන් සුව එක්කරමින් දෝත

මිතුරෙකු නොවේ ඔබ මාගේ සොයුරෙක් ය
ඒ ගුණ සුවඳ මුසුකල ගම අඳුරේ ය
ඉපදුන සැමට නියතය යන ගමනක් ය
හිතවත නොමැති මේ ගම මට සොහොනක් ය

බුදු බණ වෙතට මොහොතක් යාකරමි සවන්
සිසිලක් දැනේ එතුළින් දුක කරමි තුරන්
මින්මතු අතනොවී බාධක මරණ මෙවන්
අත්වේවා ඔබට දුක නැති අමර නිවන්

මේ ඔබේ කලණ මිතුරු,

චන්ද්‍රසේන රණසිංහ




දැනුත් සමහරවිට මේ ශෝකය ප්‍රකාශකිරීමේ සම්ප්‍රදාය ලංකාවේ අනුගමනය වෙනවා විය යුතුයි.

දෙවෙනි ශෝක ප්‍රකාශය හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

- රසික සූරියආරච්චි

Monday, 25 May 2026

පල්ලේගම රතන, පල්ලේගම රතන - The NPP government is about to fail the TEST

ලාබාල ගැහැණු ළමයෙකු කාලයක් තිස්සේ දූෂණය කළා යැයි චෝදනා ලබා සිටින හේමරතන නැමති ජඩ කහකඩයාට අධිකරණයෙන් ඇප ලැබීම සහ ඒ හා සම්බන්ධ කරුණු ගැන මගේ ඩොලර් දෙක මෙසේය.

  1. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ආයතන තුනක් වේ. ඒවා නම්, විධායකය (ජනාධිපති), ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) සහ අධිකරණයයි.
  2. ජනතා ඡන්දයෙන් පත්ව ඇති ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ බලය ඇති ජනතා ඡන්දයෙන් පත්ව ඇති මහජන නියෝජිත කණ්ඩායම විසින් රට ආණ්ඩු කරනු ලැබේ. ඒ සඳහා ඔවුන් රාජ්‍යය හෙවත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්‍තුවල සේවය ලබා ගනිති. ඒ රාජ්‍ය ආයතනවල සිටින්නේ මහජන නියෝජිතයින් නොව සේවකයින් ය.

  3. බලයට පත්වූ දා සිටම රටේ ජනාධිපති මහජනයා අමතමින් කීවේ,
    (අ) නීතිය හමුවේ සියලු දෙනාම සමානයි, නීතියට උඩින් කිසිවෙක් නැත,

    (ආ) රජයේ දෙපාර්තමේන්තු නිසි ක්‍රමවේදය අනුව තමන්ගේ රාජකාරි කළ යුතු බව සහ ආණ්ඩුව ඒවාට මීට පෙර ආණ්ඩු බලයේ සිටි දේශපාලන බලවේග කළ ආකාරයට ඇඟිලි ගහන්නේ, බලපෑම් කරන්නේ නැති බව, සහ

    (ඇ) අධිකරණයේ ස්වාධීනත්වයට ද මීට පෙර ආණ්ඩු බලයේ සිටි දේශපාලන බලවේග කළ ආකාරයට බලපෑම් කරන්නේ නැති බව ය.

  4. ජඩ කහකඩයා ඇප පිට නිදහස් කළේ උසාවියයි. එනම් ස්වාධීන අධිකරණයයි. මේ අමුතු අධිකරණයක් නොව, චෝදනා ගොනු වූ පසු ඒ පිළිබඳ සලකා ඒ වන විට පුද්ගලික රෝහලක සැඟවී සිටි ජඩ කහකඩයා රිමාන්ඩ් කිරීමට නියෝගය දුන් අධිකරණය ම ය. පුද්ගලික රෝහලෙන් බන්ධනාගාර රෝහලට මාරු කරන්න කියා නියෝගය දුන් අධිකරණය ම ය. අධිකරණය තීන්දු ගන්නේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව මගින් චෝදනා හෝ නඩු ගොනුකරන ආකාරය සහ ඉදිරිපත් වෙන සාක්ෂි අනුව ය මිස හිතුමතේ නොවේ.

  5. මේ සිදුවීම එළිදරව් වූ පසු රජයේ ආයතනයක් වන ළමා හා තාත්තා කාර්ය අංශය විසින් පොලිසියට පැමිණිලි කළ ද, පොලිසිය හැසිරුණේ අලස ආකාරයට බව පෙනුණි. චුදිතයා වහාම අත්අඩංගුවට ගැනුණේ නැත. උසාවි නියෝගයෙන් පසුව පොලිස්පතියා අනවශ්‍ය පරිදි එක් සංඝ නිකායක නායකයා හමුවීමට ගිය බව ද කියැවුණි. එසේම, චෝදනා ඉදිරිපත් වූ දිනයේ සිට චුදිත ජඩ කහකඩයා අත්අඩංගුවට පත්වීමෙන් බේරා ගැනීමට සිවිල් බලය ඇති බොහෝ දෙනකු ද නිර්ලජ්ජිතව ඉදිරියට පැමිණියහ.

  6. මෙහි දී ජඩ කහකඩයාට අධිකරණයෙන් ඇප ලැබීමට හේතුව ලෙස මට නම් පෙනෙන්නේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද, ඇත්තටම නම් නොකරන ලද, දේ නිසා බවයි. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන රාජ්‍යය මිස ආණ්ඩුව නොවේ.

  7. මේ ඇප ලබාදීම නිසා බොහෝ දෙනෙකුට ඇති වී තිබෙන සැකය නම් ආණ්ඩුව එනම් ජනාධිපති සහ ආණ්ඩු පක්ෂය විසින් පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවට තමන්ගේ කාර්යය අතපසු කරන්නට කියා අනියම් අයුරින් හෝ නියෝග දුන්නා හෝ බලපෑම් කළා ය යන්නයි.

  8. ඒ අතර සමහරු ඉදිරිපත් කරන ප්‍රතිතර්කය වන්නේ, රාජ්‍යතන්ත්‍රය ඇතුළේ අදෘශමාන "පාර රාජ්‍යයක්" (deep state) ක්‍රියාත්මක වෙන බවත්, ඔවුන් ඔවුන්ගේ ඇජෙන්ඩාවට අනුව ජඩ කහකඩයාට ඇප ලැබෙන ආකාරයට කටයුතු සිදුවීමට සැලැස්වූ බවයි. මෙය බරපතල තත්වයකි.

  9. එය එසේ නම්, වහාම මේ තත්වයෙන් රාජ්‍ය යාන්ත්‍රණය මුදා නොගතහොත් ජනාධිපති සහ ඔහුගේ ආණ්ඩුවට සොරි ඩොට් කොම් වෙනු ඇති බව පෙනේ.
- රසික සූරියආරච්චි

(image: Facebook)

Sunday, 24 May 2026

අකාලයේ මියගිය චූටි බාප්පා - Suriyaarachchige Chandrasiri, my father's youngest brother



මේ ඡායාරූපය සූරියආරච්චිගේ චන්ද්‍රසිරිගේ ය. එනම් සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර හෙවත් අපේ තාත්තාගේ බාල ම සොහොයුරාගේ ය.

අප ඔහු ඇමතුවේ "චූටි බාප්පා" යන නමිනි. ආච්චී ඔහු ගැන කතා කළේ "පොඩි කොලුවා" කියාය. ගමේ මිනිසුන් ඔහු ගැන දැන සිටියේ "සරත් චන්ද්‍රසිරි" කියාය. ඔහු සමහර අවස්ථාවල තමන්ගේ නම ලියා ඇත්තේ "සරත් කුමාර් චන්ද්‍රසිරි" කියාය.

පවුලේ බඩ පිස්සා වූ ඔහු අවාසනාවන්ත ලෙස අවුරුදු තිහේ දී තම ජීවිතය හැර ගියේය. මගේ මතකයට අනුව ඒ මොළයේ නහරයක් පිපිරීම නිසා ඇති වූ යේ අන්තඃ මොළ රක්තපාතය නිසාය.

චූටි බාප්පා සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකු යැයි මම සිතමි. ඔහුට යම් ඉංග්‍රීසි භාෂා දැනුමක් ද තිබුණි. මිය යන විට ඔහු සේවය කරමින් සිටියේ කොළඹ කොටුවේ පිහිටි ජුවෙල් ට්‍රේඩ් ඉන්ටර්නැෂනල් නම් ව්‍යාපාරයේය. එහි හිමිකරු වූයේ අද්දර ආරච්චිගේ සැම්සන් නමැත්තෙකි. ඔහු පසු කාලයේ ලංකාවේ ජනප්‍රිය වූ නළුවෙකුගේ පියා ය.

චූටි බාප්පා ඔහුගේ මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වී යයි සිතමි. නැන්දලාගේ විවාහ උත්සවවලදී ම නිවසේ සිදු කෙරුණු විවිධ කටයුතුවලට ඔහුගේ මිතුරන් පැමිණ උදව් කරනවා මගේ මතකයේ රැඳී ඇත.

බාප්පාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ මිතුරන් විසින් කවියෙන් ලියා මුද්‍රණය කරන ලද ශෝක ප්‍රකාශ දෙකක් ද කියවන ලදී.

ඒ ශෝක ප්‍රකාශ කරන්න මම මීලගට පළ කිරීමට අදහස් කරමි.

චූටි බාප්පා සුරා පානය කරනවා හෝ දුම් පානය කරනවා හෝ වෙනත් අකටයුත්තක යෙදෙනවා හෝ මා දැක නැත. ඔහු මකුළුවන්ට සහ කැරපොත්තන්ට පවා බය පුද්ගලයෙකි. එසේ නමුත් ඔහු පරිපූර්ණ මිනිසකු ලෙස ජීවත් වූ අයෙකු යැයි මම නොකියමි. අප සියලු දෙනා මෙන්ම ඔහු ගේ ද යම් යම් වැරදි තියෙන්ට ඇත.

ඔහු මිය යන විට මගේ වයස අවුරුදු දොළහක් පමණ නිසා, චූටි බාප්පා පිළිබඳව මගේ මතකය සීමාසහිත එකකි. එසේ වෙතත් විටින් විට ඔහු පිළිබඳව විවිධ රසවත් කතා මගේ සිතට නැගේ.

ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.

- රසික සූරියආරච්චි

Monday, 18 May 2026

සූරියආරච්චිලාට "සූරිය" බලය - Solar power rules



නම සූරියආරච්චි වුණාට ඒ "සූරිය" බලයෙන් මුලින්ම ප්‍රයෝජනයක් ගන්න මට ලැබෙන්නේ හෙටයි.

අපි මේ නිවසට ගෙවැදුනේ 2012 අවුරුද්දේ පෙබරවාරි මාසයේ දී. ඒ දවස්වල ඉඳලම වාගේ විටින් විට නිවසට සූර්ය විදුලි බල පද්ධතියක් සවිකර ගන්න සොයා බැලුවාට ඒක දිනෙන් දිනම කල් ගියා.

ඒකට මූලික හේතුව වුණේ සූර්ය බලය නිපදවන දිවා කාලයේ අපේ ගෙදර විදුලි භාවිතය අවම නිසා අපිට ඒ කරන ආයෝජනයෙන් ලොකු වාසියක් නැතිවීම. අපි විදුලි බලය වැඩියෙන් ම භාවිතා කරන්නේ ශීත කාලයේ රාත්‍රියට ගෙය උණුසුම් කරන්න සහ, ග්‍රීෂ්ම කාලයේ රාත්‍රියට ගේ සීතල කරන්නයි. එනිසා අපි සොයා බැලුවේ විදුලිය ගබඩා කර ගත හැකි බැටරියක් ද ඇතුළත් සූර්ය විදුලි පද්ධතියක්.

මගේ මතකයට අනුව අවුරුදු දොළහකට විතර කලින්, සාමාන්‍ය 6 kW සූර්යය පැනල පද්ධතියක් සවි කරගන්න ඩොලර් හයදාහකින් විතර පුළුවන් වුණාට, ඒකට සරිලන බැටරියක් එකතු කළාම වියදම ඩොලර් විසිදාහක් දක්වා වැඩිවුණා. ඒ කාලේ ඩොලට් 20,000 කියන්නේ ලොකු ගාණක්.

නමුත් පහුගිය අවුරුදු කිහිපය තුළ ඒ වාතාවරණය වෙනස්වුණා.

එක වෙනසක් තමයි දිවා කාලයේ අපේ නිවසේ විදුලි පරිභෝජනය වැඩිවීම. ඊළඟට, අනිත් බඩු භාණ්ඩ හැම එකකම මිල ඉහළ යද්දී, රජයෙන් ලැබෙන දිරි දීමනා යනාදිය නිසා සූර්ය පැනල සහ විදුලි කෝෂවල මිල කාලයට සාපේක්ෂව අඩුවීම.

ඉතින් මාර්තු මාසයේ දී විවිධ විකල්ප සූර්ය විදුලි බල පද්ධති සැලසුම් සංසන්දනය කර බලා, අපි මේ පළාතේ තිබෙන පාරිභෝගික ප්‍රසාදය දිනාගත් සමාගමක් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කළා.

මේ කාලයේ ඕස්ට්‍රේලියාවේ කොතරම් නිවාස සංඛ්‍යාවකට සූර්ය විදුලි බල පද්ධති සවිකරනවා ද කියනවා නම් අපිට දිනය ලැබුණේ මැයි මාසයේ 19 වැනිදාට එනම් හෙට දවසටයි.

මෙන්න හෙට සවිකරන අපේ සූර්ය බල පද්ධතිය පිළිබඳ කෙටි විස්තරයක්.

AIKO Solar Neostar 2S (510W) පැනල් 23 = 11.73 kW

Sigenergy SigenStor-10T-32 ඉන්වර්ටරය 9.99 kW

Sigenergy SigenStor බැටරි පද්ධතිය = 32.24 kWh

ජූනි-ජූලි-අගෝස්තු මාස තුන තමයි අවුරුද්දේ හිරු රශ්මිය අඩු ශීත සමය. ඒ කාලයේ සාමාන්‍යයෙන් දිනකට ඒකක (kWh) 20 - 25 වගේ නිපදවේවි ය කියායි බලාපොරොත්තුව. නමුත් ඒ කාලයේ අපේ දිනක පරිභෝජනය ගිය වසරේ දත්ත අනුව ඒකක 40 ක් පමණ වෙනවා.

එනිසා ඉතුරු මාස නමයේ නම් අපිට තනිකරම මේ සූර්ය විදුලි බල පද්ධතිය මත යැපෙන්න හැකිවේවි කියායි මම හිතන්නේ. වැඩිපුර නිපදවෙන විදුලිය විදුලිබල ජාලයට විකුණලා තුට්ටු දෙකක වාසියක් ගන්නත් හැකිවේවි.

තුට්ටු දෙකක් කිව්වේ වැරදිලා නොවෙයි. දැන් විදුලි ඒකකයක මිල ශත 32 ක් වුණාට, නිවසේ නිපදවෙන සූර්ය විදුලිය ජාලයට දුන්නාම පාරිභෝගිකයින්ට ලැබෙන්නේ ශත හතරක් පමණයි. ඒ කියන්නේ තුට්ටු දෙකකට වඩා ශතයයි වැඩි.

- රසික සූරියආරච්චි

Friday, 15 May 2026

තාත්තාගේ උප්පැන්න සහතිකය - The birth certificate of Suriyaarachchige Jinadasa Harischandra



මෙන්න අපේ තාත්තාගේ උප්පැන්න සහතිකය. මල්ලී සතුව තිබී උඩු ගත කරන ලදුව ජීවිතයේ පළමුවරට මම දුටුවෙමි. මෙය ඇත්තටම මුල් උප්පැන්න සහතික නොව එය අනුසාරයෙන් පසුව නිකුත් කරන ලද එකකි.

තාත්තා ඉපදී ඇත්තේ නිවසේ දී ය. ඇත්තටම එය රාජකාරී නිවසකි. බොරැල්ල බන්ධනාගාරයේ ජේලර්ලාගේ නිවසකි.

ඒ කාලයේ දී මගේ තාත්තා ගේ තාත්තා ද, තාත්තාගේ සීයා (අම්මාගේ තාත්තා) ද යන දෙදෙනා ම කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් ගාඩ් ලා ලෙස සේවය කළ අය ය.

එක්කෝ තාත්තා එසේ නැතිනම් තාත්තාගේ අම්මා කියනු මා අසා ඇති කරුණක් මේ උප්පැන්න සහතිකයෙන් ඔප්පු වේ.

දරු උපතෙන් පසු අපේ තාත්තාට නම ලෙස යොදා ඇත්තේ හරිශ්චන්ද්‍ර කියා ය. එය ඉන්දියානු නමකි. එකල ලංකාවේ ජනප්‍රියව තිබුණු බව පෙනේ. එනමින් රජ කෙනකුගේ කතාවක් චිත්‍රපටියක් ලෙස නිර්මාණය වී ලංකාවේ ද ප්‍රදර්ශනය කර ඇත. නමුත්, තාත්තාගේ සීයා විසින් පසුව උපන් වේලාව අනුව කේන්දරයක් සාදන්නට ගිය විට දැනුම් දී ඇත්තේ ජ අකුරෙන් නමක් යොදන ලෙස ය.

ඉතින් තාත්තාට ජිනදාස යන නම ද යොදා ඇත. ඒ අනුව, තාත්තාගේ සම්පූර්ණ නම වූයේ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර යන්නයි.

තාත්තාගේ තාත්තාගේ නම සූරියආරච්චිගේ සුබතේලිස් විය. ජේලර්වරයෙකු ලෙස රජයේ සේවයට බැඳීමේ දී එකල පැවති අමුතු සිරිතක් අනුව ඔහු පෙරේරා යනුවෙන් නමක් රැගෙන සුබතේලිස් පෙරේරා ලෙස පෙනී සිට ඇත.

තාත්තා ගිය අම්මාගේ නම පිය ලිලී එස්ලින් රණසිංහ විය. ඇය අත්සන් කළේ පී එල් ඊ රණසිංහ යනුවෙන් නිසා මම මේ බව හොඳින්ම දනිමි. නමුත් මේ උප්පැන්න සහතිකය රෙජිස්ට්‍රාර්වරිය විසින් ලියා ඇත්තේ Asiline (ඇසිලීන්) කියා බව පෙනේ.

තාත්තා පවුලේ වැඩිමලා විය. ඔහුගේ උපතින් පසු මගේ සීයා සහ ආච්චි තවත් දරුවන් හය දෙනෙකු ලැබූහ.

ඒ වන විට තාත්තාගේ සීයා ජේලර් රැකියාවෙන් විශ්‍රාම සිටි අතර මගේ සීයා ද රැකියාවෙන් ඉවත් වී පරකන්දෙනිය නම් ගමට ගොස් පදිංචි වී ඇත. පසු දරු උපත් සිදුවන්නට ඇත්තේ ගමේ ගෙදර දී ය.

ඒ පවුල පිළිබඳව විස්තර මෙසේය.

සුරියආරච්චිගේ සුබතේලිස් (අවුරුදු අනූවක් ජීවත් විය)
පිය ලිලී එස්ලින් රණසිංහ (අවුරුදු අනූ අටක් ජීවත් වූවාය)
ජිනදාස හරිශ්චන්ද්‍ර (90)
සෝමාවතී (84)
කරුණාදාස (වලිප්පුව නම් රෝගය සෑදී අවුරුදු හතේ දී මියගොස් ඇත)
නන්දාවතී (72)
ධර්මදාස (57)
කරුණාවතී (85)
සරත් චන්ද්‍රසිරි (30)

පොතේ හැටියට නම් ඊළඟට චුත වී යාමට නියමිත තාත්තාගේ ලොකු පුතාවන මා ය.

Thursday, 14 May 2026

සිරිසුමන ගොඩගේ සිහි වී - Godage Bookshop, Maradana



ගල්ලෑල්ලේ සහ ගල්කූරේ සිට ඇක්සයිස් පොත සහ පැන්සලට උසස්වීම ද, එමෙන්ම පැන්සලේ සිට පෑනට උසස්වීම ද අපේ පාසල් ජීවිතයේ සුවිශේෂී වැදගත්කමකින් යුතු වූ සන්ධිස්ථාන ලෙස සැලකිය හැක.

උසස් පෙළ හදාරන සමයේ ද අපේ ජීවිතවල නැවතත් මේ ආකාරයේ වෙනස් වීමක් සිදුවිය. එය නම්, මොනිටර් ඇක්සයිස් පොත්වල පාසල් සටහන් ලිවීමේ සිට ඒ සඳහා හාෆ්ෂීට් භාවිතය දක්වා වූ උසස් වීමයි.

දහයේ පන්තියේ ඉගෙන ගනිමින් මොනිටර් පොත්වල ලියූ කාලයේ සිට ම මම හාෆ්ෂීට්වලට සංක්‍රමණය වීම ගැන සිහින දුටුවෙමි. ඒ දින එනතුරු ඇඟිලි ගැන්නෙමි. ඒ අන් හැම සංක්‍රමණයකින්ම මෙන් මෙයින් ද සිදුවෙන වාසි සලකා ය.

ඇක්සියස් පොත් භාවිතා කරන විට එක් දිනක් හෝ පාසල් ඒම මග හැරුණොත් ඒ අතපසු වූ සටහන් ලිවීම සඳහා අවශ්‍ය ඉඩ ඇස්තමේන්තු කර, එපමණක් හිස්ව තබා නැවත ලිවීම කළ යුතු වේ. හාෆ්ෂීට්වල ලිවීමේ දී මෙවැනි ඉඩ තැබීමේ ප්‍රශ්නයක් නැත. අළුත් දිනක අළුත් කොළයකින් පටන් ගත හැක. ඒ සමගම බරැති මොනිටර් පොත් කිහිපයක් වෙනුවට එදිනෙදා රැගෙන යා යුත්තේ සැහැල්ලු හාෆ්ෂීට් කිහිපයක් පමණි. පෙර දී මෙන් නොව ණයට ගැනීම ද, ණය දීම ද පහසුවෙන් කළ හැකිවිය. මේ සියල්ලටත් වඩා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සටහන් ලියන්නේ ද හාෆ්ෂීට්වල බව අප දැන සිටි නිසා, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සිටි අප ද එලෙසම කිරීමේ යම් කිසි උජාරුවක් ද තිබුණි. එයට අමතරව මේ හාෆ්ෂීට්වල ලියන සටහන් තබා ගත යුත්තේ ෆයිල් කවර වල නිසා, එවැනි ෆයිල් කවර පාවිච්චියටත්, ඒවා රැගෙන ඔබ මොබ යෑමටත් අපට අවස්ථාව ලැබුණි.

රජයේ කාර්යාලවල වැඩකරන සමහරුන් ගේ දරුවනට නම් හාෆ්ෂීට්වලින් ස්වයංපෝෂිතවීමට බොහෝ ඉඩකඩ තිබේ. මට නම් තිබුණු එකම විසඳුම, ඊට පෙර ඇක්සයිස් පොත් ගත්තා සේම, පොත් කඩයකට ගොස් අවශ්‍ය පරිදි හාෆ්ෂීට් මිලට ගැනීමයි.

මෙහි දී එක් අතුරු කතාවක් කියනවා නම්, මේ කාලයෙන් වසර දොළහකට පසු මා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරන කාලයේ දිනක් ගම්පහ පොත් සාප්පුවකින් මා හාෆ්ෂීට් මිටියක් මිලට ගන්නවා දුටු එම අවස්ථාවේ එහි සිටි එම විශ්වවිද්‍යාලයේම සේවය කරන අයෙකු දැඩි ලෙස විමතියට පත්වී, “ආ, හාෆ්ෂීට් කඩෙන් ගන්නවා ද?” යැයි විමසීය.

අප දන්නා පරිදි නිෂ්පාදනය කෙරෙන ස්ථානයේ දී ම හාෆ්ෂීට් 500 බැගින් බණ්ඩලවලට ඇහිරේ. පොත් කඩවලට ඒවා එන්නේ එවැනි බණ්ඩල කිහිපයක් ම ඇහුරූ පෙට්ටි වශයෙනි. එසේ වූව ද, අද මට නිරවුල්ව වටහා ගත නොහැකි කරුණක් නිසා මම පාසල් සමයේ කිසි දිනක දී හාෆ්ෂීට් 500 ක් අඩංගු බණ්ඩලයක් එකවර මිල දී ගන්නට නොසිතීමි. ඒ වෙනුවට සෑමදාම මා මිල දී ගත්තේ හාෆ්ෂීට් 100 ක් පමණි. ඒ කොළවල ලියා අවසාන වූ පසු තවත් 100 ක් මිල දී ගත්තෙමි. මෙය අනිවාර්යයෙන්ම වියදම් වැඩි ක්‍රමයක් විය. හාෆ්ෂීට් 100 ක් විකිණීම සඳහා ඒවා එකින් එක ගණං කිරීමට ද සිදුවෙන නිසා වැඩි මිලක් ගෙවන්නට වීම පුදුමයක් ද නොවේ.

ඒ තර්ක කෙසේ වූවද, ආනන්දයේ උසස් පෙළ ඉගෙනුම ලැබූ මට හාෆ්ෂීට් මිලට ගැනීම සඳහා තිබූ ආසන්නම ස්ථානය වූයේ මරදානේ “ගොඩගේ” පොත් කඩයයි.

එදා හැත්තෑවේ දශකයේ අග දී මරදාන බොරුල්ල පාර සහ ආනන්ද මාවත මංසන්ධියේ පිහිටා තිබුණේ අද දක්නට ලැබෙන සිව්හලින් යුතු සුවිසල් ගොඩගේ පොත් මැදුර නොව, මගේ මතකයේ හැටියට, කුඩා පොත් කඩයකි. එහි ඉදිරිපස ම ප්‍රදර්ශක අල්මාරි යනාදිය තිබුණු අතර, අයිතිකරු (පසුව මා දැනගත් පරිදි සිරිසුමන ගොඩගේ) එයින් පිටුපස නිරතුරු වාඩි වී සිටියේය. වර්ණවත් කපු ගවුමෙන් සැරසුණු කාන්තාවක හෝ කාන්තාවන් දෙදෙනකු ද වෙළඳ කටයුතු සඳහා සහයට එහි සිටියහ.

මම කඩයට ගොඩ වී හාෆ්ෂීට් 100 ක් ඉල්ලමි. කාන්තාවක් බණ්ඩලයකින් කොළ ගෙන ගණං කරයි. නියමිත මුදල සිරිසුමන ගොඩගේට ගෙවා කොළ මිටිය ෆයිල් කවරයේ දා ගන්නා මම නික්ම යමි.

දිනක් පාසලට ගොස් හාෆ්ෂීට් මිටිය දෙවරක්ම ගණං කර බැලූ මට පෙනී ගියේ, එහි ඇත්තේ කොළ 98 ක් පමණක් බවයි. මගේ මතකයේ හැටියට, මෙය එකල ශත දහයක පමණ පාඩුවකි. මම ඉවසා සිටියෙමි. අද පවා බැංකුවෙන් සල්ලි කොළ මිටියක් හෝ කඩයකින් ඉතුරු සල්ලි හෝ ලැබුණු විට එය එතනම ගණං කර නිවරැදි දැයි බැලිය යුතු වේ. නමුත්, හාෆ්ෂීට් මිලට ගෙන එසේ කිරිම ප්‍රායෝගික නොවේ.

වරද මගේ ය. මම පාඩුව දරා ඉවසා සිටියෙමි.

මසක් පමණ ගත වී, එදා ගත් හාෆ්ෂීට් මිටියේ අවසාන කොළ කිහිපයට ළඟා වූ කල, මම යළිත් ගොඩගේ පොත් කඩේට ගියෙමි. එහි සිටි කාන්තාව සුපුරුදු පරිදි මා වෙනුවෙන් හාෆ්ෂීට් 100 ගණං කරද්දී “ගිය මාසේ ගත්තු ගොඩේ තිබුණේ කොළ 98 යි” යැයි මම නිකමට මෙන් ඇයට පැවසුවෙමි.

ඒ වදන් ඇසී මා දෙස එක් වරක් බැලූ කැෂියර් පුටුවේ වාඩිවී සිටි සිරිසුමන ගොඩගේ, වෙළඳ සේවිකාව අමතා “කොළ දෙකක් වැඩිපුර දෙන්න” යැයි නියම කළේ ය.

එදා මා ගොඩගේ පොත් හලෙන් නික්ම ගියේ සිත පිරී ගිය සතුටකින් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ කොළ දෙකේ පාඩුව පිරිමැසී ගිය නිසා ඇති වූ සතුටක් පමණක් නොවේ. දහසය වසරක් වයසැති පාසල් සිසුවෙකු වූ මගේ වචනයක් අන් අයෙක් එක හෙළා පිළිගත් හෙයින් හටගත් චිත්තප්‍රමෝදය ශත දහයට වඩා සිය ගුණයක් වටනේ විය.

පාසල් කාලයෙන් පසු මා සිරිසුමන ගොඩගේ මහතා දෙවරක් දැක ඇත්තෙමි.

මුල් අවස්ථාව පාසල් සමයෙන් වසර දහයක්ට පමණ පසු මා කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේ දී ය. ඔහු එදින විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ පොදු කාමරයේ සිංහල අංශයේ මහැදුරු මිණිවන් තිලකරත්න සමග සිටිනු මම දැක්කෙමි. නමුත් මා ඔහු හා කතාබහකට ගියේ නැත.

දෙවෙනි අවස්ථාව කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී 2019 සැප්තැම්බරයේ දී පැවැත්වුණු කමල් පී අලහකෝන්ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී ය. එදින ඔහු හා කෙටි කතාබහක යෙදෙන්නටත්, මේ කතාව ඔහු හා පවසන්නටත්, ඡායාරූපයක් ලබාගන්නටත් මට අවස්ථාව ලැබුණි.

- රසික සූරියආරච්චි

(image: Rasika Suriyaarachchi)

Tuesday, 12 May 2026

කළු සුදු ඡායාරූපයක කතාව - Third year blues



පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලසුම් කර ගොඩනගා ඇත්තේ අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩල මෙන්ම ශිෂ්‍යයින් ද විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පදිංචිව සිටින නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙසිනි.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි වෙද්දී නේවාසික පහසුකම් ඒ පරිමාණයෙන් වැඩි නොවුණු නිසා කලකට පසු ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයෙන් පිටත නවාතැන් පහසුකම් සොයා ගැනීමට සිදුවී ඇත.

අප විශ්වවිද්‍යාලයට ඇතුල් වන විට යථාර්ථය වී තිබුණේ දුර-බැහැර පළාත්වල සිට පැමිණෙන සිසුන්ට පළමුවැනි වසරේ නේවාසික පහසුකම් ලැබුණත් පිරිමි සිසුන්ට දෙවැනි වසරේ විශ්වවිද්‍යාලෙන් පිටත නවාතැන් සොයා ගැනීමට සිදුවීමයි. නැවත තුන්වෙනි වසරේ නවාතැන් ලැබේ. අවුරුදු හතරේ පහේ පාඨමාලා කරන ශිෂ්‍යයින්ට ඉතිරි වසරවල ද නේවාසික පහසුකම් ලැබේ. කාන්තා සිසුවියන්ට මුළු අධ්‍යයන කාලය තුළම විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම නොකඩවා ලැබුණි.

මේ අනුව අප දෙවන වසරේ විශ්ව විද්‍යාලයෙන් පිට විසුවෙමු. ඒ පේරාදෙණිය හන්දියේ තුසිත සිනමා ශාලාව අසලින් ඉහළට යන පටු පාරේ ටික දුරකින් වෙල අසල පිහිටි කුඩා නිවසක ය. වසර අවසාන විභාගයෙන් පසු පිටවී යාමට පළමු ඊළඟ වසරේ, එනම් අපේ තුන්වෙනි වසරේ, විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම් සඳහා අයැදුම් කළෙමු.

අවාසනාවකට මෙන් ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට ටික දිනකට පෙර නිවසට ලැබුණු ලිපියකින් දැනුම් දී තිබුණේ තුන්වන වසරේ ද අපට නේවාසික පහසුකම් සැපයෙන්නේ නැති බවයි.

අප ඊට කලින් වසරේ නේවාසිකව සිටි ස්ථානය ඒ වන විටත් දෙවන වසරේ සිසුන් කණ්ඩායමකට කුලියට දී තිබුණු අතර අපට වෙනත් තැනක් සොයා ගැනීමට සිදුවිය.

ඉල්ලුම වැඩි වී ඇති නමුත් සැපයීමේ වෙනසක් සිදු වී නොමැති නිසා නවාතැනක් සොයා ගැනීම ලේසි කරුණක් නොවීය. පළමුවෙනි මාසය තුළම අපට තුන්වෙනි ස්ථානයක් දක්වා යාමට සිදු විය.

මේ වන විට රටේ අනෙකුත් විශ්වවිද්‍යාලවල මෙන්ම පේරාදෙණියේ ද ශිෂ්‍ය සංගම් තහනම් කර තිබුණු නිසා මේ වෙනුවෙන් පරිපාලනය සමඟ සාකච්ඡාවක් කිරීමට හෝ ක්‍රමයක් නොතිබුණි.

මේ ගැන සහ වෙනත් කාරණා සාකච්ඡා කිරීමට තුන්වෙනි වසරේ අපේ කණ්ඩායම රැස් වූ විට, අපේ කණ්ඩායමේ සගයෙකු (පාලිත අබේකෝන්) යෝජනා කළේ විශ්වවිද්‍යාල සිසුන් විඳින් දුක කියවෙන ලිපියක් එවකට ජනප්‍රිය පුවත්පතක් වූ ඉරිදා දිවයිනට ඔහුගේ මිතුරෙකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු හරහා යොමු කළ හැකි බවයි.

ඒ ලිපිය ලිවීමේ කර්තව්‍ය මට භාර වූ අතර, ලිපිය සඳහා අවශ්‍ය ඡායාරූප ගැනීමේ කටයුත්ත අපේ කණ්ඩායමේ ඡායාරූප විශේෂඥයෙකු වන ක්‍රිෂාන්ත ජයරත්නට පැවරුණි. මේ සඳහා අවශ්‍ය වූයේ කළු සුදු ඡායාරූප වූ අතර ඒවා මුද්‍රණය කිරීම සඳහා අඳුරු කාමර සහ රසායන පහසුකම් ද ඔහුගේ නිවසේ තිබුණි.

මේ සමග පළ කර ඇත්තේ පහසුකම් නොමැති නවාතැන්වල දුක් විඳින සිසුන්ගේ ඡායාරූප ගන්නා අතරේ ක්‍රිෂාන්ත විසින් ගන්නා ලද ඡායාරූපයකි.

මෙහි සිටින්නේ අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ පාලිත අබේකෝන්, ප්‍රේමලාල් ද සිල්වා සහ ජෝන්ස්ගේ චන්දාස සහ මා ය.

ඔබට මා හඳුනාගැනීමට අපහසු නම් කළ යුත්තේ ඡායාරූපයේ සිටින සිව් දෙනාගෙන් උසැති, කඩවසම් තරුණයා සොයා ගැනීමයි.

- රසික සූරියආරච්චි

(image: D K Jayaratne)

Monday, 11 May 2026

දෘශ්ථි ප්‍රයෝගයක්? - A thousand word of bullshit?



එක් ඡායාරූපයක වචන දහසකින් කිවයුතු අදහසක් ගැබ් වී ඇති බව කියවේ.

මේ ඡායාරූපයේ ඉන්නේ සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවීණ ගීපද රචකයා සහ රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි ආධුනිකයා යන දෙදෙනා ය.

බැලු බැල්මට පේන්නේ රසික නමැති යෝධයා ළඟ සුනිල් සරත් පෙරේරා කුරුමිට්ටෙක් විදියට නේද? නමුත් එය එසේ නොවන බව ඔබ දනී.

ඊළඟට මෙහි අප දෙදෙනාගේ සාපේක්ෂ ස්ථානගතවීම සහ දෙදෙනා අතර යමක් හුවමාරු වෙන බව පේන නිසා ඒ අනුව කිව හැක්කේ කුමක් ද?

යම් කිසි උත්සවයක රසික සූරියආරච්චිට තෑග්ගක් ලැබෙනවා, එය ඔහුට දෙන්නේ ඒ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ සුනිල් සරත් පෙරේරා ය කියා හිතෙනවා නේද?

මෙන්න විස්තරය කෙටියෙන්.

මට මතක විදියට මීට දිගු කලකට පෙර, සුනිල් සරත් පෙරේරා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට පැමිණි අවස්ථාවක (ඔහුගේ දරුවෙකු එහි ජීවත්වෙනවා විය යුතුය) මා වසන සිඩ්නි නගරයට හෙවත් සිනුවරට ද පැමිණියේ ය.

ඒ බව ආරංචි වූ පසු අපේ ලේඛක සංසදය විසින් ඔහුට ආරාධනා කර සාහිත්‍ය සැඳෑවක් පවත්වන ලදී. මාතෘකාව වූයේ ගීත සාහිත්‍යය බව මගේ මතකයයි.

එහි දී ඔහු යම් ගොම්පාට් කතාවක් කියූ බව ද, සාකච්ඡාව මෙහෙයවීමේ දී ද යම් කිසි ගොම්පාට් සිදුවීමක් වූ නමුත් මා එයින් ගැලවී සිටි බව ද කිව යුතුය. ඒ ගැන අයෙකුට වැඩි විස්තර අවශ්‍ය නම්, පසුව ලිවීමට හැක.

කෙසේ වෙතත් සාහිත්‍ය සැඳෑව අවසාන යේ, ලේඛක සංසදයේ අපෙන් සුනිල් සරත් පෙරේරාට ත්‍යාගයක් පිරිනැමුණි.

ඒ ත්‍යාගය වූයේ මගේ සංස්කරණ සම්මාදමෙන් ප්‍රකාශයට පත් වූ පහත කෘති ද්වයයි.

1. තිරස තරණ - ඕස්ට්‍රේලියාවේ සිංහල සංක්‍රමණික අත්දැකීම සහිත කෙටිකතා එකතුව

2. දකුණු කුරු දිව් කව් - ඕස්ට්‍රේලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහය

ඒ ග්‍රන්ථ ද්වයට මගේ ඇති සම්බන්ධය නිසා, සුනිල් සරත් පෙරේරාට ඒ ත්‍යාගය ප්‍රදානය කිරීමේ කර්තව්‍යය මට පැවරුණි.

ඡායාරූපයක වචන දහසකින් කිවයුතු අදහසක් ගැබ් වී ඇති බව කියවෙන නමුත් ඒ සත්‍යය කියවෙන වචන සේ ම, අසත්‍යයක් හැඟවෙන වචන ද විය හැකිබව මෙයින් පෙනේ.

- රසික සූරියආරච්චි

(image: රොබින් බොස්කෝ)

Sunday, 10 May 2026

අම්මෝ ඒ නමේ දිග - Rasika Vs Arnold



මං මගේ Facebook ප්‍රොෆයිල් එකේ හෙම මගේ මැද නමත් එක්ක සම්පූර්ණ නම දාලා තිබුනට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ මුල් නම සහ වාසගම හෙවත් පවුලේ නම විතරයි. ඒ කියන්නේ Rasika Suriyaarachchi.

ළඟදි නම් මට මේ අත්දැකීම ලැබිලා නැහැ, නමුත් මීට අවුරුදු තිහකට කලින් මම ඕස්ට්‍රේලියාවට ආපු කාලේ හත් අට පාරක් ම අහන්න ලැබුණා මගේ සර්නේම් එක දිගයි කියන කතාව.

මුල් දෙපාර හිනාවෙලා නිකන් හිටියට ඊළඟට මට හොඳ අදහසක් ආවා.

තුන්වෙනි පාර මගේ නම දිගයි කියපු කෙනාට මම කිව්වේ මෙච්චරයි.

Yes, you're correct.
I am going to change it to
SCHWARZENEGGER.

ඊළඟ පාර මම ඒකට තව කෑල්ලක් එකතු කළා.

ඒක තමයි කටහඬ පොඩ්ඩක් ගැඹුරු කරලා මෙන්න මෙහෙම කියනවා.

And, I will be back.

ඒ හුඟ දෙනෙකුට මගේ විහිළුව තේරෙන නිසා අපි දෙන්නාටම ඊට පස්සේ හිනාවෙලා සතුටින් විස්තර යන්න පුළුවන්.

ඒකෙ නියම ජොලි කෑල්ල තමයි මෙන්න මේක.

RASIKA SURIYAARACHCHI
ARNOLD SCHWARZENEGGER

දෙන්නාගේ නම් දෙකේම අකුරු ගාන සමානයි. (මගේ නම ටිකක් පොඩියට පේන්නේ අයි අකුරු හින්දයි).

දැන් ඔය අත්දැකීම වැඩියෙන් නොලැබෙන්නේ හුඟක් වෙලාවට වැඩ කෙරෙන්නේ online නිසායි. අනිත් එක තමයි ඒ දවස්වල නම් දිගයි කියපු මිනිස්සු කොටසක් දැන් පැන්ෂන් ගිහිල්ලා අනිත් අය දිග නම් වලට පුරුදු වෙලා. ඒ එක්කම දැන් ඒ වගේ දිග නම් තියෙන අයත් reception වල ඉන්නවා නේ.

- රසික සූරියආරච්චි
(image: Wikipedia)