Sunday 24 February 2019

කතුරු මුවාත් - ඔව් ඒ චිත්තරපටියකි :: Sharpen your scissors


මගේ තාත්තාගේ බාලම නැගණිය අප හැඳින්වූයේ චූටි නැන්දා ලෙසිනි. එනිසා ම, ඇය විවාහ වූ පසු ඇගේ සැමියා, අපේ අලුත් මාමා, ධර්මදාස, අපේ චූටි මාමා විය. ඔහු, තමන්ගේ පවුලේ වැඩිමහල්ලා වීම අපට කිසිසේත් ම, අදාළ නොවී ය.

චූටි නැන්දා මා කැටුව "සිදාදියෙන් හයක්" නම් සිංහල චිත්‍රපටය නරඹන්නට ගිය කතාව මම මීට පෙර සටහන් ගත කළෙමි. ඒ, මල් කුමාරයෙකු වීමට මට ලැබුණු එකම අවස්ථාව මගෙන් ගිලිහී ගොස්, රුවන් මල්ලීට ලැබෙන්නට පෙර ය. එලෙස, රුවන් මල්ලීට මල් කුමාරයෙකු වීමට වරම ලැබුණේ අපේ චූටි නැන්දා සහ චූටි මාමා ගේ විවාහ උත්සව දිනයේ දී ය.

චූටි නැන්දා සහ මාමා විවාහ වූයේ එක්කෝ කපුවෙකු විසින් ගෙනෙන ලද එසේ නැතිනම් ඉරිදා පුවත් පතක මංගල දැන්වීමක් අනුසාරයෙන් ලද මංගල යෝජනාවක් මගිනි. නැන්දා ගුරුවරියක බව මම කතුරු මුවාත් සටහනේ දී සඳහන් කළෙමි. චූටි මාමා ද ගුරුවරයෙකු විය.

යෝජනා සම්මත වී, සියල්ල තීරණය වූ පසු, වෙන්ඩ චූටි මාමා සති අන්ත දිනවල නැන්දා බැලීමට අපේ මහගෙදරට එනවා මගේ මතකයේ හොඳින් තිබේ. ඒ ඔහු ඒ ගමන්වල දී අපට චොකලට් ගෙන ආ නිසා විය යුතු ය.

මට පසුව වැටහුණු පරිදි මේ විවාහාපේක්‍ෂිත යුවලට තනිපංගලමේ චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වී ඇත. බොහෝ විට සිදුවෙන්නට ඇත්තේ, වෙන්ඩ චූටි මාමා විසින් මේ යෝජනාව චූටි නැන්දාට කිරීමයි.

චූටි නැන්දා එයට එකඟ වී ඇත.

හැබැයි කොන්දේසි සහිතව ය.

එක් සති අන්තයේ දිනයක, අම්මා ද, නැන්දා ද, මම ද වේලාසනින් ම දිවා ආහාරය ගෙන දොළහමාරේ බසයෙන් නිවසෙන් පිටවුණෙමු. බස් ගමනාවසානයේ දී දුම්රියක නැග ගම්පහ නගරය බලා ගියෙමු.

පබ්ලික් හෝල් නම් සිනමා ශාලාව පිහිටියේ ගම්පහ නගරයේ ය.

එදින අපේ බස් රථය ප්‍රමාද වී, අප යන්නට ඇත්තේ ප්‍රමාද වූ දුම්රියකිනි.

අප තිදෙනා පබ්ලික් හෝල් සිනමා ශාලාවට ළඟා වූ පසු මා දුටුවේ චිත්‍රපට දර්ශනය ඇරඹී ඇති බවත්, වෙන්ඩ චූටි මාමා, නොඉවසිල්ලෙන් මෙන් කොරිඩෝරයේ සිටින බවත් ය.

මාමා විසින් ප්‍රවේශ පත්‍ර මිලට ගත් පසු අපට ශාලාව ඇතුළට යෑමට ලැබුණි.

සෙනග පිරී තිබුණු ඒ ශාලාවේ, අම්මා සහ මා එක ස්ථානයක ද, චූටි නැන්දා සහ වෙන්ඩ චූටි මාමා වෙනත් ස්ථානයක ද අසුන් ගත් බව මගේ මතකයයි.

එදා මා නැරඹූ චිත්‍රපටයේ නම කතුරු මුවාත් බව මගේ මතකයේ ඇත.

ඊට අමතරව, සිනමා දර්ශනය අවසානයේ අසල තිබුණු හෝටලයකට ගොස් අප සීනි බනිස් කා තේ පානය කළ බව ද මගේ මතකයේ ඇත.

කතුරු මුවාත්, පිහිය මුවාත් යනුවෙන් ගීතයක් ගයමින් ඩී ආර් නානායක්කාර නම් නළුවා කුඩා කරත්තයක් තල්ලු කරමින් පාරේ ගමන් කරන දර්ශනයක් එහි තිබුණු බව ද මගේ මතකයේ ඇති නමුත්, ඊට අමතරව, කතුරු මුවාත් චිත්‍රපටය පිළිබඳව කිසිවක් මට සිහිපත් කර ගත නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ මා චිත්‍රපට පිළිබඳව ලියූ දෙවන සටහනයි.

ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්න යැයි මේ දිනවල ෆෙස්බුක් හි පැතිරෙන අභියෝගය මට එල්ල කළේ රන්සිරිමල් ප්‍රනාන්දු ය.

පළ කළ හැක්කේ ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය. දිනකට එකක් බැගින් දස දිනක් තිස්සේ මේ කර්තව්‍යය කළ යුතු ය. සෑම දිනම වෙනත් අයෙකුට ද, එම අභියෝගය කළ යුතුය යනාදී වශයෙන් එම අභියෝගයේ නීති මාලාවක් තිබුණි.

මා මුල් සටහනේ ලියූ පරිදි මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඇත්තටම චිත්‍රපට ගැන නොව, ඒවා මාතෘකා කොට ගෙන, ඒ හා බැඳුණු මගේ සිතේ රැඳී ඇති දේ ගැන ය.

(image: http://www.films.lk/kathuru-muwath-sinhala-film-576.html)

Thursday 14 February 2019

පළමුවෙනි චිත්තරපටිය - Six from the town


කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු....

එසේ කීවේ මා නොව ඇන්ටන් ජෝන්ස් නිහාල් නෙල්සන් ය. මට මතක හැටියට හැත්තෑවේ දශකයේ අග හරියේ දී ය. ඒ කුඩු හෙවත් මත්ද්‍රව්‍ය ගැන ගැයෙන බයිලාවකි. ඇන්ටන් ජොන්ස්ලා අද සින්දු නොකියන මුත් කුඩු සහ බයිලා නම් අද ද යහතින් වැජඹේ.

අද කාලේ වසංගත එන්නේ එදා මෙන් නොව ෆේස්බුක් හරහා ය.

ගිය වසරේ අග භාගයේ දී තමන් කැමති පොත් දහයක මුල්කවරවල ඡායාරූප, වරකට එකක් බැගින් ලියා පළ කරන්නට කියා අභියෝගයක් ආවේ ය. හැබැයි කවර පමණි. විස්තර ලියන්නට බැරිය. ඒ මදිවාට, අභියෝගය ඉදිරියට ගෙන යන්නට තම මිතුරෙකු නම් කළ යුතු විය.

රංජිත් පෙරේරා නම් මිතුරෙකු කළ එම අභියෝගය බාර ගත්ත ද, මා නම් ඒ සමග ආ කොන්දේසි කිසිවක් තඹ සතයකට මායිම් නොකළෙමි.

මා පොත් පිට කවර ඡායාරූප පළ කළේ මා ලියූ හෝ සංස්කරණය කළ හෝ පොත් ගැන පමණකි. පිට කවර පමණක් නොව ඒ ඒ පොත් ගැන දීර්ඝ විස්තරයක් ද ලියා පළ කළෙමි. තවත් කොන්දේසියක් කඩමින් කිසිවෙකුට එම අභියෝගය නැවත ලබා නොදුන්නෙමි. එසේ ම, පොත් දහයකින් නතර නොකොට මටම අතපසු වී යන තුරු දිගටම පොත් ගැන ලිවීම කළෙමි.

මේ මොහොතේ ද, මට එවැනි අභියෝගයක් නැවතත් ලැබී ඇත. ඒ තමන්ගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට දහයක නිශ්චල ඡායාරූප දහයක්, දිනකට එකක් බැගින් පළ කරන්නට ය. ඡායාරූප පමණි, විස්තර ලියන්ට බැරි ය.

මට මේ අභියෝගය කළේ රන්සිරිමාල් ප්‍රනාන්දු විසිනි.

ඉතින් මා මේ සැරසෙන්නේ ඒ අභියෝගය ද බාර ගෙන නැවතත් ඒ සමග පනවා ඇති කොන්දේසි කඩන්නටයි.

මා ලියන්නේ මගේ ජීවිතයට බලපෑමක් ඇති කළ චිත්‍රපට ගැන නොවේ. ඇත්තටම, ඒ ආකාරයේ චිත්‍රපට තිබුණාදැයි මට මතක නැත. චිත්‍රපටයක් නරඹා දුක් වෙන්නට ද, සිත පිනා යන්නට ද ඉඩ ඇති නමුත්, ජීවිතයට අනිසි බලපෑමක් ඇති කර ගන්නේ ඇයි?

මා ලියන්නට යන්නේ මගේ ජීවිතයට සම්බන්ධ කිසියම් හෝ හේතුවක් නිසා මගේ මතකයේ රැදී ඇති චිත්‍රපට ගැන ය. ඔව්, ඡායාරූප පමණක් නොව විස්තරයක් ද ලියමි. හැබැයි චිත්‍රපටය ගැන නොවේ. මගේ මතකයේ රැඳී ඇති, ඒ චිත්‍රපය නැරඹීම හා ආශ්‍රිත සිදුවීම් ගැන ය.

ඒ සමගම මගේ සටහන මුලින් රසිකොලොජි බ්ලොගයේ පළ කර පසුව ෆේස්බුක් හි බෙදා හරිමි. එසේම, මෙවර, මා කිසිදු විස්තරයක් නොදන්නා, අහඹු ලෙස තෝරා ගන්නා ෆේස්බුක් මිතුරෙකුව නම් කීරීමට ද අදහස් කරමි.

දැන් මෙන්න පළමුවෙනි චිත්තරපටිය.

නම: සිදාදියෙන් හයක්

මෙන්න මගේ මතකය.

චූටි නැන්දා යනු මගේ තාත්තාගේ බාල නැගණියයි. අගේ නම කරුණාවතී ය. වෘත්තියෙන් ගුරුවරියකි. මා කුඩා කළ ඇය අමුතු අකුරින් සටහන් ලියනු මා දැක ඇත. ඒ හින්දි භාෂාව ද ලියන්ට උපයෝගී කර ගන්නා දේවනාගරී අක්‍ෂර බව මම අසා දැන ගත්තෙමි. නැන්දා ලියමින් හිටියේ හින්දි නොවේ, සංස්කෘත භාෂාවයි. ඒ ඇය ජී.ඒ.කිව්. නම් විභාගයක් සඳහා ඉගෙන ගනිමින් සිටි විෂයයකි.

නැන්දා ඉගැන්වීම කළේ සපුගස්කන්ද මහා විද්‍යාලයේ ය. එහි ගුරුවරියක ලෙස සේවය කළ එදිරිසිංහ නම් කාන්තාව නැන්දාගේ මිතුරියක විය. ඒ සතිශ්චන්ද්‍ර සහ සුනිල් ගේ අක්කා ය.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ නම් එවකට නැගී එන නළුවා රඟ පෑ "සිදාදියෙන් හයක්" චිත්‍රපටය නරඹන්නට නැන්දාට හිතුණේ ඒ ඇඳුනුම්කම නිසා විය යුතු ය.

කෙසේ වෙතත්, අවිවාහක තරුණියක තනිවම චිත්‍රපටයක් නැරඹීමට යාමේ සිරිතක් අද මෙන්ම එදා තිබුණේ ද නැත. එනිසා, නැන්දා ඇයගේ අයියාගේ ලොකු පුතා වූ මා කැටුව ගියා ය.

නැන්දා සමග "සිදාදියෙන් හයක්" නම් චිත්‍රපටය නැරඹූ බව මට මතක නමුත් එහි අන්තර්ගතය ගැන මෙලෝ අල බෝලයක් මගේ මතකයේ අද නැත. එසේ නමුදු මෙය බටහිර චිත්‍රපටයක කොපියක් හෝ අනුකාරක නිර්මාණයක් වෙන්නට ඉඩ ඇති බව සිතේ.

සිදාදියේ නොව ගමේ හය දෙනෙකු ගැන නම් මම දනිමි. ඒ මගේ තාත්තා සහ ඔහුගේ සොහොයුරු සොහොයුරින් පස් දෙනා ය. ඒ ගමේ හය දෙනාගෙන් මෙලොව ඉතිරිව ඉන්නේ නැන්දා පමණි.

පසුගිය වසරේ අසනීපවී ලෙඩ ඇඳේ පසුවන නැන්දාගේ දැන් වයස අවුරුදු අසූ හතරකි. "සිදාදියෙන් හයක්" චිත්‍රපටයේ අන්තර්ගතය ගැන ඇගේ මතකයේ තොරතුරු රැඳී තියෙන්නට ඇති ඉඩකඩ අඩු ය. තිබුණ ද, ඒවා වචන බවට පෙරළන්නට ඇයට දැන් නොහැකි ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
නැන්දාගේ මිතුරිය, එදිරිසිංහ නම් ගුරුවරියගේ නිවසට ද මම ඒ දිනවල ගොස් ඇත්තෙමි.

මෙන්න ඒ ගැන මා ලියූ මතක සටහන.

http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html
මල් කුමාරයා - Oh, no!


(image: https://www.films.lk/sidadiyen-hayak-sinhala-film-565.html)

Tuesday 12 February 2019

සදා ඔබෙයි මා - හේමාල් ජයවික‍්‍රම ගීත සමුච්චය :: I am yours for ever


සංගීතඥයින් කිහිප දෙනෙකුගේ ම නිජබිම වූ කඩුගන්නාව තම ගම් පියස වූව ද, නුගවෙල මධ්‍යම විද්‍යාලයේ දී හින්දි ගී ගයමින් "ලෝකල් රාෆි" ලෙස මිතුරන් අතරේ නමක් දිනා ගත්ත ද, හේමාල් ජයවික‍්‍රමගේ සිත මුලින් ම ඇදී ගියේ ගණිතයටයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා සිවිල් ඉංජිනේරුවෙකු ලෙස දිගු කලක් ශ‍්‍රී ලංකාවේ සේවයෙන් පසු, 1996 දී ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය කළ හේමාල්, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත රජයේ සේවයේ යෙදෙන අතරතුර ලැබෙන හැම අවස්ථාවක දී ම, සිනුවර පැවැත්වෙන සංස්කෘතික ප‍්‍රසංගවල සිංහල මෙන් ම, හින්දි ගීත ද ගැයුවේ ය.

හේමාල් ජයවික‍්‍රම ගායකයාට තම සංගීත දිවිය අරුත්බර කරගන්නට අවකාශ ලැබුණේ ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්නගේ සිනුවර ආගමනයට පසුවයි. වසර හතරක් ෂෙල්ටන් පේ‍්‍රමරත්න ගාන්ධර්වයා යටතේ සංගීතය ප‍්‍රගුණ කළ හේමාල් පසුව නටරාජ් නර්තන කලා සහ සංගීත ආයතනයට බැඳී සංගීතඥ අවිජිත් සර්කාර් යටතේ හින්දුස්ථානි රාගධාරී සංගීතය හදාරමින් ඉන්දීය ප‍්‍රසංගවල හින්දි ගීත ගායනය ද ඇරඹීය.

හේමාල් ජයවික‍්‍රම සංගීතවේදියා ස්වතන්ත‍්‍ර නිර්මාණකරණයේ යෙදෙන්නට පටන් ගත්තේ මීට දශකයටත් එපිට කාලයක ය. ඔහු සිනුවර නිපදවුණු සංගීත තැටි කිහිපයක් ම සඳහා, ගායනයෙන්, තනු නිර්මාණයෙන් සහ පද රචනයෙන් සම්මාදම් වී ඇත. එසේ දිගු කාලයක් තිස්සේ තමන් නිර්මාණය කළ ගීතාවලිය, "සදා ඔබෙයි මා" නමින් සංයුක්ත තැටියක් ලෙසින් එළි දක්වන්නට හේමාල් ජයවික‍්‍රම සූදානම්ව සිටී.

"සදා ඔබෙයි මා" සංයුක්ත තැටියේ අඩංගු ගී පහළොවෙන් දොළසක ම තනු නිර්මාණය හේමාල් ජයවික‍්‍රමගෙනි. එක් ගීතයක පදමාලාව ද රචනා කර ඇති හේමාල්, ගීත එකතුවේ අඩංගු ගී නවයක් ගායනා කරයි.

"සදා ඔබෙයි මා" ගීත එකතුව සඳහා නිර්මාණ දායකත්වය සපයා ඇති අනෙකුත් නිර්මාණකරුවන් නම්, සංගීත නිර්මාණයෙන් සහ ශබ්ද සංකලනයෙන් විශාරද ඉන්දු පේ‍්‍රමතිලක, ශ‍්‍රී ලංකාවේ වාද්‍ය වෘන්දය මෙහෙයවීමෙන් මහින්ද බණ්ඩාර, ගී පද රචනයෙන් පුජ්‍ය කුඩාගල කෝවිද, රසික සූරියආරච්චි, ඇනට් ගුණසේකර, ප‍්‍රසාදිනී වෙත්තසිංහ, නිහාල් රූපසිංහ, මෛත‍්‍රී පනාගොඩ සහ මලී දිසානායක, ගායනයෙන් දිනාලි සෝමවීර, රංගිකා මයුරපානී සහ ඉන්දු පේ‍්‍රමතිලක, යුග ගායනයෙන් ශශිකා නිසංසලා, ලංකා ප‍්‍රියංගනී, සමනලී ජයසූරිය, ඉරේෂා ගුණසේකර සහ රුවී නිම්නදී වේ.

"සදා ඔබෙයි මා" ගී සමුච්චය මාර්තු මස තුන්වෙනිදා, ඉරිදා, සවස පෙනන්ට් හිල් ප‍්‍රජා ශාලාවේ දී එළි දැක්වෙනු ඇත. උත්සවය සංවිධානය කරනු ලබන්නේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි.

මේ සංගීත සන්ධ්‍යාවට සහභාගී වෙන මෙන් සංගීතකාමී ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමු.

[සන්නස මාසික සඟරාව, 2019 පෙබරවාරි කලාපය, 48 පිටුව]

-රසික සූරියආරච්චි

ප/ලි:
හේමාල් ජයවික්‍රම පිළිබඳ වැඩි විස්තර සඳහා:
Facebook fan page: https://www.facebook.com/Hemal-Jayawickrama-338010029873227/
Facebook profile: https://www.facebook.com/hemal.jayawickrama

ප/ප/ලි:
මෙම ගී එකතුවේ එන සදා ඔබේ මා යනු මා 2005 වසරේ ප්‍රකාශයට පත් කළ "පෙම් ගී" බ්ලොග් අඩවියේ පළ කෙරුණු පදමාලාවක් ඇසුරෙන් නිර්මාණය වූ ගීයකි. [http://pemgee.blogspot.com/]

(image: www.sannasa.com.au)