Showing posts with label පාන්. Show all posts
Showing posts with label පාන්. Show all posts

Monday, 16 February 2015

පාන් කෑමේ දුසිරිතෙන් ගැලවෙමු! - Limit your carb intake!


කොටින්ම කියනවා නම් දැන් නම් පාන් නො කාපාන් ය!

දැන් මෙන්න දිගින්ම කීම හෙවත් වැඩි විස්තර.

කුඩා කාලයේ සිටම මම පාන් කෑමට ප්‍රිය කළෙමි. ඒ බොහෝ විට උදෑසනට ය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව ටික දිනක් දුක් විඳ පසුව කටට හුරු පුරුදු රසය දෙන පාන් වර්ගයක්සොයා ගත්තෙමි. ඒ කාලයේ මා කැමති ඒ පාන් වර්ගය නිකරුණේ තාංගීක වෙනු දැක සිතට දුකක් ඇතිවුණු කතන්දරයක් ද ඔබට කියා ඇත.

ලංකාවේ දී මා කෑවේ එක්කෝ පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. පෙත්තක් කෑවේ පාන් ගෙඩිය දෙකට කෑපූ විටය. දෙකක් කෑවේ පාන් ගෙඩිය හතරට කැපූ විටය.

ඕස්ට්‍රේලියාවේ දී මා කන පාන් ආණ්ඩුවෙන්ම පෙති කපා පොලිතීන් බෑගයක අසුරා ඇති නිසා අමුතුවෙන් පෙති කැපීමක් අවශ්‍ය නොවේ. ග්‍රෑම් 750 පාන් ගෙඩියක පෙති 16 ක් ඇත. කොන් දෙකේ ඇති තුනී පෙති ද සැළකුවහොත් දහ අටකි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා බොහෝ දිනවල උදෑසන ආහාරය සඳහා කෑවේ පාන් පෙති හතරකි. ඒ මාගරින් සහ ජෑම් තවරාය. මීට අමතරව දිවා ආහාරයට ද සැන්ඩ්විච් කන්නට ද පුරුදු වුණෙමි. එනම්, සතියේ දිනවල මගේ කුස තුළට තවත් පාන් පෙති හතරක් පිවිසෙයි.

හවස කාර්යාලයේ වැඩ රාජකාරී නිමවා නිවසට පැමිණි පසු, කුසගින්නක් දැනුනහොත් තේ කෝප්පයක් සමග තවත් පාන් පෙත්තක් දෙකක් රස විඳීමට ද මම සමහර දිනක පෙළඹුනෙමි.

මෙසේ වසර ගණනාවක් ගත විය.

දිනක් ලේ පරීක්‍ෂාවක් කර, එහි තොරතුරු ගැන වෛද්‍යවරයා සමග කතා කිරීමේදී වැටහුණේ එන පොට හොඳ නැති බවයි. ඇත්තටම කියනවා නම් දැනටම හොඳ නැති බවයි.

හිත හිතා ඉන්නට කාලයක් නැත. වහාම ක්‍රියාත්මක විය යුතු බව මට වැටහිණි.

මා කළේ මෙයයි.

උදෑසනට කෑ පාන් ප්‍රමාණය පෙති හතරේ සිට ශූන්‍යය දක්වා අඩු කළෙමි. දිවා ආහාරයේ පාන් ප්‍රමාණය ද කුඩා පෙති දෙකකට අඩු කළෙමි. එයට සමාන්තරව කාලයක් තිස්සේ රසවිඳි කටට රහ කෙසේ වෙතත් පෝෂණ ගුණයෙන් අඩු සම්මත සුදු පැහැති පාන් වෙනුවට, තිරිඟු පිටි නිවුඩ්ඩ ද අඩංගු පිටිවලින් තනන දුඹුරු පැහැති පාන්වලට මාරු වුණෙමි.

රාත්‍රී ආහාරයේ බත් පිඟානේ බත් ප්‍රමාණය අඩකින් අඩු කර ඒ හිඩැස එළවලුවලින් පිරවූයෙමි.

උදෑසනට පාන් කා පාන් ගේ සිට පාන් නොකාපාන් දක්වා ජීවිතය වෙනස් කරගත් පසු දැන් මගේ උදෑසන ආහාරය වී ඇත්තේ කෙසෙල් ගෙඩියක් සහ වෙනත් පළතුරු, යෝගට් සහ කිරි වේ. මේවා කෙලින්ම ගිල දැමිය හැකි වුවද මා කරන්නේ බ්ලෙන්ඩරයක දමා අඹරා මිශ්‍රකර ස්මූතියක් හෙවත් මෘදු පානයක් සාදා පානය කිරීමයි.

මෙන්න අද උදෑසන මගේ ආහාර විස්තරය සහ එය සාදා ගත් ආකාරය.

ආහාර ද්‍රව්‍ය:
කෙසෙල් ගෙඩියක්
පළතුරු (නිවසේ ඇති ඕනෑම පලතුරක්)
මූස්ලි (Muesli) නම් ධාන්‍ය මිශ්‍රණය
කිරි ස්වල්පයක් (වතුර ද යොදා ගත් හැක)
යෝගට් (අවශ්‍යම නැත)


අවශ්‍ය වෙනත් දේ:
බ්ලෙන්ඩරයක් හෝ එවැනි වෙතන් උපකරණයක්
සාදන ක්‍රමය:
පලතුරු කැබලි කර එය බ්ලෙන්ඩරයේ භාජනය තුලට දමා අවශ්‍ය පරිදි කිරි/වතුර සහ යෝගට් එකතු කර හොඳින් යන්ත්‍රානුසාරයෙන් දියරයක් බවට පත්වෙන තුරු මිශ්‍රකර ගන්න.

මා මේ සඳහා පාවිච්චි කරන උපකරණයේ අදාල භාජනයම මිශ්‍රණය පානය කිරීම සඳහාද යොදා ගත හැක.

කලින් මා කීවාක් මෙන් දැන් ඉතින් උදේට නම් පාන් නො කාපාන් ය.

දවල් කෑම ගැන පසු දිනක ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය මගේ පෞද්ගලික අත්දැකීමක විස්තරයක් මිස සෞඛ්‍යමය අවවාදයක් නොවේ.

(image: http://www.melaniehawksley.com/?tag=low-carb)

Saturday, 14 February 2015

පාන් ගෙඩියකින් තුන්කාලක් ම "තාංගීක" වුණු හැටි! - Bitter Bread?


මින් දශක දෙකකට පමණ පෙර මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීමේ වන්දිය මා ගෙවුවේ, ලංකාවේ දී කෑ රෝස් පාන්, තැටි පාන්, අච්චු පාන් රසය අහිමි කර ගැනීමෙනි. ඒ සාපය ගෙවුණේ තවත් වසර ගණනාවකට පසු මෙහි වෙළඳපොළට ආ "හෙල්ගාස්" නමැති පාන් වර්ගය ලංකාවේ පාන්වල රසයට ඉතා සමාන බව "ට්‍රයල් ඇන්ඩ් එරර්" විධික්‍රමයෙන් හදිසියේම සොයා ගැනීමත් සමගය.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා "හෙල්ගාස්" පාන් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව වූයේ, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා හෙල්ගාස් පාන් දෙගුණයක් තරමට ම මිළ ඉහල වීමයි.

එසේ වුවද, සති දෙක තුනකට වරක් මේ පාන් වර්ගයේ මිළ සතියේ සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ තුනෙන් එකක් පමණ අඩුවෙන නිසා, එතෙක් බලා සිට "හෙල්ගාස්" පාන් මිලයට ගැනීමට මම පුරුදු වුණෙමි. ඊට අමතරව, ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකේ, එනම් "වූල්වර්ත්" සහ "කෝල්ස්", මේ මිල අඩුකිරීම් සිදුවවෙන්නේ වෙනස් සතිවල දී වීම ද මගේ "හෙල්ගාස්" පාන් මිල දී ගැනීම වඩාත් පහසු කළේ ය.

අද වන විට නම් "හෙල්ගාස්" වර්ගයේ තවත් පාන් වර්ගයක් "ඇබොට්ස් බේකරි" නමින් ඇත. බොහෝ විට සතියේ විශේෂ මිළ අඩුකීරීම් යටතේ මේ දෙවෙනි වර්ගයේ මිළ අඩුකරන්නේ "හෙල්ගාස්" පාන් මිළ අඩුකර නොමැති සතිවල දී වීම ද අද මට ඇති තවත් වාසියකි.

මේ සතියේ "හෙල්ගාස්" කමි. ඊළඟ සතියේ "ඇබොට්ස් බේකරි" පාන් කමි!

මා සිත ගත් "හෙල්ගාස්" පාන් සම්බන්ධයෙන් මගේ සිතේ නොමැකෙන සේ රැඳී ඇති එක් අපූරු සිද්ධියක් මෙසේය.

මා "හෙල්ගාස්" පාන් හඳුණාගත් මුල් කාලයේ යෙදුණු එක්තරා පාසල් නිවාඩුවක, තවත් මිතුරු පවුල් කීප දෙනෙකු සමග, අපි ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශයක් බලා දින තුනක විනෝද චාරිකාවක ගියෙමු. මෙවැනි ගමන්වලදී අප නතරවෙන්නේ දිනපතා මිළට කුලියට ගත හැකි කුඩා නිවාසවල ය. මිතුරු පවුල් එක ලාගින් ඇති නිවාසවල, සමහර විට එක නිවසක පවුල් දෙක බැගින්, නවාතැන් ගැනීමත්, උදෑසන ආහාරය සහ රාත්‍රී ආහාරය එක්ව ගැනීමත් අපේ සිරිත විය. දිවා කාලයේ අවට සිරි නැරඹීමට යනෙන නිසා නවාතැනේ දී ආහාර ගැනීමක් සිදු නොවේ.

චාරිකාව යාමට පෙර දින, අවශ්‍ය බඩු බාහිරාදිය මිළට ගැනීමට වෙළදසැලට මා රැගෙන ගිය බඩු ලයිස්තුවේ "හෙල්ගාස්" පාන් ද ඇතුලත් විය. නමුත් අවාසනාවට මෙන් ඒ සතියේ "හෙල්ගාස්" පාන් මිල අඩුකර නොතිබුණි. එනිසා, නියමිත මුලූ මුදල ම ගෙවා "හෙල්ගාස්" පාන් මිළට ගැනීමට, ඉතා කණගාටුවෙන් වුවද, මට සිදුවිය.

විනෝද චාරිකාවේ මුල් දින රාත්‍රියේ අප නවාතැන් ගත් කුඩා නිවාස කිහිපය පිහිටා තිබුණේ කුඩා ගංගාවක් අසබඩ උද්‍යානයක් මෙන් දිස්වූ භූමියක ය. රාත්‍රී ආහාරය සඳහා එක නිවසකට එක්ව කා, බී, ගී ගයා සතුටෙන් ගත කළ අප පවුල් කිහිපය පසුදා උදයේ ද එකම නිවසකට එකතු වූයේ පාතරාසය සඳහායි. මා එහි ගියේ මගේ ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩි දෙකක් ද රැගෙන ඉතා උජාරුවෙනි.

උණු, උණු පරිප්පු හොද්දක ගිල්වමින් පාන් පෙති කීපයක් ම මා එදා උදෑසන අතුරුදහන් කළේ හෙල්ගාස් පාන් ලංකාවේ අච්චු පාන්වලට රසයෙන් ඉතා සමාන බවට අපේ මිතුරන්ට සහතික දෙමිනි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් මගේ ඒ නිගමනය කෙතරම් දුරට සත්‍යදැයි වහාම පරීක්ෂණාත්මව සොයා බැලූහ. ටික වේලාවකි දෙවෙනි හෙල්ගාස් පාන් ගෙඩියේ කවරය ද විවර විය.

මේ මොහොතේ දී අප රැස් වී සිටි නිවස ඇතුළත දිව ආවේ, අපේ පවුල්වල කුඩා දරුවන් කිහිප දෙනෙකි.

"අම්මී, අම්මී, ඩක්ස් ලා ඉන්නවා, ඩක්ස් ලා ඉන්නවා. අපිට ඩක්ස්ලාට කන්න දෙන්න දෙයක් දෙන්න, ප්ලීස් ප්ලීස්!"

ඔවුන් උද්දාමයට පත් වී සිටියේ උද්‍යානය අසල කුඩා ගං ඉවුරට රැස් වී සිටි තාරා රංචුව දැකීමෙනි. වැඩිහිටියන් ආහාර ගනිමින් සිටි මේසය උඩ තිබූ පාන් බෑග් දෙස ඔවුන් ගේ නෙත් ඇදී ගියේ ය.

"අපිට දෙන්න පාන්, ඩකීස්ලට දෙන්න පාන්!"

ඔවුනතරින් එක් දරුවෙක් මේසය උඩ තිබුණු සාමාන්‍ය වර්ගයක පාන් බෑගයකට අත තැබුවේ ය.

එවිටම කතා කළේ එහි සිටි එක් මවකි.

"පුතාලා මෙන්න මේ පාන් ටික අරන් යන්න ඩකීස් ලා ට දෙන්න!:

ඇය දරුවන් අත තැබුවේ පෙති කිහිපයක් පමණක් කෑමෙන් පසු ඉතුරු වී තිබූ මා ගෙනා දෙවෙනි "හෙල්ගාස්" පාන් බෑගයකි.

"අනේ මේ අලූත් පාන් ජාතිය නිකං ඇඹුල් රහයි, ලූනු රහයි විතරයි. මට නං කන්න බෑ, අපි තාරාවන්ටවත් කන්න දෙමු!" ඇය ඒ සමගම පැවසුවා ය.

මගේ පපුව හෝස් ගා දැවී ගියාක් මෙන් දැණුනි. ඒ තාරා කෑම ලෙස ගර්හිත කරණු ලැබුවේ මා ප්‍රියතම "හෙල්ගාස්" පාන් ගෙඩියකි. වෙනදා කන "හෙල්ගාස්" පාන් නම් කම් නැත, මේ සල්ලි, සල්ලි කියා නොබලා නියමිත මුලූ මුදලම ගෙවා මා පෙර දා මිළට ගත් "හෙල්ගාස්" පාන් ගෙඩියකි.

කෙතරම් දැඩි වුවද, ඒ දුක උසුළාගෙන මම මුවින් නොබැන සිටියෙමි.

වසර දොළහක් ගෙවී තිබුණ ද අද පවා "හෙල්ගාස්" පාන් ගෙඩියක් දුටු විට මගේ සිහියට නැගෙන්නේ මේ සිදුවීමයි.

ඉන් මා අද ද ලබන වින්දනය, "හෙල්ගාස්" පාන් ගෙඩියකින් තුන් කාලක් ම තාරා හීල් දානය සඳහා "තාංගීක" වෙනු දැක එදා මා ලද සංතාපයට වඩා බලවත් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංඝයාට දෙන දානය සාංඝීක වෙනවාක් සේ, තාරාවන් ට දෙන දානය "තාංගීක" බව දත යුතුයි.


(image: http://www.trendzified.net/random-thoughts/)

Friday, 13 February 2015

ඕස්ට්‍රේලියාවේ හෙල්ගා අක්කා ගේ පාන් ගෙඩිය! - Is the bread Helga's?


මා කුඩා කාලයේ සිට ප්‍රිය කළේ උදාසන පාතරසය සඳහා පාන් අනුභව කිරීමටයි. රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි රෝස් පාන්, රෝස් ගේ වැඩිමහල් සොයුරිය තැටි පාන් සහ තරබාරු අක්කා අච්චු පාන් කමින් සිටි මගේ ලෝකයට ප්ලාස්ටික් කවරවල බහා ලු ප්‍රීමා පාන් වැඩියේ අනූව දශකයේ මුල හරියේ දී මා ප්‍රාදේශීය සභාවක සිට මහ නගර සභා බල ප්‍රදේශයක පදිංචියට ගිය පසුයි.

ප්‍රීමා නමැති ඒ මැටි පහන් වර්ගය මට වරක් කෑ පමණින් එපා විය. නමුත් හන්දියේ බේකරියේ බක්කරේලා අවුරුදු නිවාඩුවට ගමේ යන සතියක පමණ කාලය තුල නම් මට ප්‍රීමා සරණං ගච්ඡාමි හැර අන් සරණක් නොතිබුණි.

එසේ ලංකාවේ දී විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි. කඩේ පිලේ දක්නට ලැබුණු හැම පාන් වර්ගයක්ම පෙති කපා ප්ලාස්ටික් බෑග්වල අසුරා තිබුණි.

රෝස් පාන්, අච්චු පාන්, තැටි පාන් සොයා හඬා වැටුණු මගේ පන්සීයක් රස නහරවලට යන්තම් හෝ සහනයක් ලැබුණේ, මා නතර වී සිටි කාර්නගී නම් ගමේ ග්‍රීක් එළවලූ කඩයේ පමණක් විකිණීමට තිබුණු රාත්තලේ පාන් වර්ගයකිනි. ප්‍රීමා පාන් ගෙඩිය මෙන් ප්ලාස්ටික් දවටනයකින් වැසී තිබුණ ද, රසයෙන් මේ පාන් ප්‍රීමා ට වඩා තරමක් ඉදිරියෙන් සිටියෙන් මට යාන්තමට හෝ උදැසන කුස පුරවා ගන්නට හැකිවිය. නමුත්, ඒ පෙරදා පරිදි පරිප්පු, අල හොඳි හෝ මා ප්‍රියතම කිරි මාලු සමග නොවේ. නිකම්ම නිකං මෙඩෝ ලී මාගරින් සහ ස්ට්‍රෝබෙරි ජෑම් සමගය. ඒ මදිවාට, මේ පාන් කෑමට නම් මුලින් ටෝස්ටරටක දමා කර කර ගත යුතු ද විය!

මේ සමගම, බේකර්ස් ඩිලයිට් නම් සුවිශේෂී පාන් කඩ ද, සුවිශේෂී වෙළඳ සලකුණැති පාන් වර්ග ද කඩපොලේ දකින්නට තිබුණු නමුත්, ක්‍රය ශක්තිය පිළිබඳ ප්‍රශ්නය නිසා ද, ඒ පාන් සියල්ලම පොලිතීන් බැග්වල අසුරා ඇති නිසා ප්‍රීමා සිහි කරවූ නිසාද, ඒවා අත්හදා බැලීමට නොසිතුණෙන්, ග්‍රීක් කඩේ පාන් ගෙඩියෙන් ඔබ්බට ගිය ලංකාවේ පාන්වල රසය නම් තවදුරටත් මට තවත් ගව් ගණනක් දුරවිය.

ටික දිනකින්ම මා දැන ගත්තේ මේ සෑම පාන් ගෙඩියක් ම පොලිතීින් ආවරණයක ලා ඇත්තේ සනීපාරක්‍ෂාව පිළිබඳ ඕස්ට්‍රේලියානු නීති රීති නිසා බවයි. එසේ ආවරණය නොකරන ලද පාන් වර්ග ලෙස තිබුණේ කුඩා බ්‍රෙඩ් රෝල්ස් වර්ග සහ දිගැටි පාන් විශේෂයක් පමණි. ඒවා ද අප අතට ලැබෙන්නේ අතින් නොව අඬුවකින් අල්ලා කෙලින්ම බෑගයක් තුළට බහා ලූ පසුවයි.

වසර දෙකකට පමණ පසු අප ග්‍රීක් කඩේ පිහිටි ගමෙන් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගිය හෙයින් නිවස අසල නගරයේ තිබූ "සේෆ්වේ" සහ "කෝල්ස්" වැනි සුපිරි ග්‍රොසරිහල්වල විකුණන්නට තිබූ "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි පොලීතින් කොලිටියේ පාන් මිලට ගැනීමට අපට සිදුවිය.

පෙනුම කෙසේ වෙතත්, මේ පාන් වර්ග අපේ ප්‍රීමා කොලිටියට වඩා ඉතා හොඳ බව රස බැලූ විට මට වැටහිණි. සමහර විට මේ වන විට අපේ දිවේ රස පිරික්සුම් පද්ධතිය පරිසරයට අනුව හැඩ ගැසී තියෙන්නට ඇත.

මෙයින් තවත් වසර කිහිපයකට පසු කාලයක දී, පරණ පුරුදු ලාංකික පාන් රසයට බොහෝ සමාන රස වින්දනයක් ඇති පාන් විශේෂයක් මට ඕස්ටේ්‍රලියාවේ දී රස විඳින්නට ලැබුණි.

එහි වෙළඳ නාමය වූයේ "හෙල්ගාස්" ය.

හෙල්ගාස් මුලින්ම රූපවාහිනියේ ප්‍රචාරණය කෙරුණු වෙළඳ දැන්වීම අර ඉස්සර ලංකාවේ දී අප දුටු "තුල්ටෙක්ස්" හෝ "සන්ලයිට්" දැන්වීමක් සේ දැනුදු මගේ මතකයේ ඇත.
ගුවන් යානයක ගමන් කරන පිරිසකි. ගුවන් සේවිකාවක කෑම බෙදමින් එන්නීය. එක් මිනිසෙක් ඒ කෑම ප්‍රතික්‍ෂේප කර "මගේ සැන්ඩ්විච් එක මට හොඳයි!" යැයි පවසයි.

විෂ්මිත වූ මුහුණකින් යුතුව පහත් වී ඒ සැන්ඩ්විච් එක දෙස බලන ගුවන් සේවිකාව පසුව අසන්නේ "ඔය පාන් වර්ගය හෙල්ගාස් ද?" කියායි.

"නැචුරලි!" මිනිසා සිනා සෙමින් පිළිතුරු දෙයි.
මුලින්ම හෙල්ගාස් පාන් රස විඳි දිනයේ ම මට එහි ලංකාවේ පාන්වලට ඇති සමීපබව වැටහිණි. "ට්‍රැඩිෂනල් වයිට්, හෝල්මීල්, ලයිට් රයි, ට්වෙල්ව් සීඩ්ස්" යනාදී වර්ග කිහිපයකින්ම වෙළඳ පොලට එන හෙල්ගාස් පාන්වලින් මා කැමතිම වූයේ "ට්‍රැඩිෂනල් වයිට්" වර්ගයටයි.

මේ සොයා ගැනීම කෙතරම් ප්‍රීතිමත් එකක් වුවද, දිනපතා හෙල්ගාස් කෑම නම් තරමක ප්‍රශ්ණයක් විය. එය හේතුව නම්, කඩපොලේ ඇති "ටිප්ටොප්", "වොන්ඩර් වයිට්" වැනි සාමාන්‍ය ලේබල් පාන් වර්ගවලට වඩා "හෙල්ගාස්" පාන් දෙගුණයක් තරමටම මිල ඉහල වීමයි. අද වන විට "හෙල්ගාස්" පාන් ගෙඩියක (ග්‍රෑම් 700) සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් තුනයි ශත පනහක් පමණ වේ. දැනට මාස කිහිපයකට පෙර මේ පාන් ගෙඩියක සාමාන්‍ය විකුණුම් මිළ ඩොලර් හතරයි පනහක් පමණ විය.

"හෙල්ගාස්" පාන් පිළිබඳ රස රහසක් මීළඟ කොටසින්!

ඒ සමගම ඔබ "තාංගීක" යන වචනය මීට පෙර අසා නොමැති නම්, එහි අර්ථ දැක්වීම ද හෙට බලාපොරොත්තු වන්න!

-රසිකොලොජිස්ට්

(image: http://www.shellethics.com/diet-food/vegan-bread/)

Thursday, 12 February 2015

පාන් කා පාන් - All about Bread


ලේ බොමින්, තිරුවාණා ගල් කන මිනිසුන් පිරිසක් ලංකාද්වීපයට ගොඩ බැසි දින සිට මේ වන විට වසර පන්සියයකටත් වඩා ගෙවී ඇති අතර, ලේ බීම කෙසේ වෙතත්, ඒ තිරුවාණා ගල් කෑම නම් තවත් සහශ්‍රක කිහිපයක් ගියත් නොවෙනස්ව පවතින ලෙසට ලාංකික සංස්කෘතිය තුළට ඇතුළු වී ඇති බව අවිවාදාත්මක ය. ලේ පැහැති මුද්‍රිකපානය වෙනුවට අද අප සමහරු බොන්නේ තේ වතුර පැහැති වෙනත් පානයන් ය.

පාන් යනු කුඩා කල සිටම මගේ ප්‍රියතම ආහාරය විය. පාන් කෑල්ලක් දෙකක් කොටා බාන්නට අද මෙන් ටෝස්ටරයේ දමන්නට සහ ඉන් පසුව ජෑම් බටර් තවරා ගන්නට එදා අපට අවශ්‍ය නොවිණි. පරිප්පු, සම්බෝල, කිරට උයන ලද මාලූ පමණක් නොව සීනි ස්වල්පයක් සමග ද, එසේත් නැත්තං අමු අමුවේ ද, පාන් කන්නට අපි පුරුදු වී සිටියෙමු.

නමුත් එදා මා කෑවේද අද මෙන් එක්කෝ එක පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. එකම වෙනස නම් මෙයයි. එදා අප එක පාන් පෙති දෙකක් කෑවේ පාන් ගෙඩියක් පෙති හතරකට කපා ය. එක පෙත්තක් පමණක් කන්නට සිතුනු දිනවල අප කළේ පාන් ගෙඩිය හරි මැදින් සමාන ප්‍රමාණයේ පෙති දෙකකට කැපීමයි.

පාන් යනු ලක්ෂරි කොමොඩිටියක් වූ හැත්තෑව දශකයේ සංවෘත ආර්ථික දුර්භික්ෂ සමයේ දී, එක් අයෙකුට එක් දිනයක් සඳහා ලැබුණු පාන් කාලක සලාකයෙන් කුඩා අපි සැනසුනෙමු. ශත තිස් පහක් වූ පාන් ගෙඩියක මිළ ද ක්‍රමක්‍රමයෙන් වැඩිවුණි.

මින් වසරකට දෙකකට පමණ පසුව එක් දිනක, එකල බොහෝ විට ගුල්ලන් නමැති ප්‍රෝටීන විශේෂයද එක් කර තනන "මැටි පාන්" නමැති පාන් වර්ගයෙන් ගෙඩියක් ශත හැත්තෑ පහක් ගෙවා ලබා ගන්නට මම පැය කිහිපයක් ගණේමුල්ලේ ජන්ෂන් හෝටලය සහ බේකරිය අසල පෝලිමේ ද සිට ඇත්තෙමි. සන්ධ්‍යා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව හෝටලයේ රේඩියෝවෙන් ප්‍රචාරය වූ ප්‍රජා නිවේදනයක් ඔස්සේ එක් එක් ප්‍රදේශවලට රජයේ ආහාර දෙපාර්තමේන්තුව මගින් බෙදා හරින ලද පාන් පිටි ටොන් ගණං හිලව් අසමින් මා එසේ පාන් පෝලිමේ සිටියදී තාත්තා පැමිණ මා නිවසට කැඳවාගෙන ගිය අයුරු තවමත් අද මෙන් මගේ මතකයේ රැඳී තිබේ.

"සත්වසක සාපය" නමින් විරුදාවලිය ලද රටේ දුර්භික්ෂයෙන් පසුව එළැඹුණු මගේ උසස් පෙළ සමයේ දී, උදේ පාන්දරින් ම නිවසින් පිටත්වන්නට සිදුවූ නිසා, බොහෝ සතියේ දිනවල මගේ පාතරසය වූයේ රොටියකි. උදේට යාන්තම් හෝ පාන් කියාගන්නට ලැබුණේ පෙරදා හවස ටවුමේ කඩයකින් පාන් ගෙඩියක් ගෙනා දිනයක පමණි.

උසස් පෙළ සමත් වූ වරදට පේරාදෙනියේ සිව් අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටියදී නම් පාසල් කාලයේ ඇරියසයත් පොලී සමගින් පියවා ගන්නට හැකි වෙන පරිදි හිතේ හැටියට, ඇති පදම් පාන් කන්නට මට වරම් ලැබුණි. මේ වෙන විට පාන් ගෙඩියක මිල රුපියල් තුනයි ශත පහක් විය. පාන් (ගෙඩිය දෙකට කපන ලද) පෙත්තක් සහ අගසව් පරිප්පු වතුර පිාගානක් ක්‍රමාංකුංචනය කරන්නට මට වැය වූයේ රුපියල් දෙකයි ශත විසි පහක් පමණි.

පාන් ගෙඩිය මතු බුදුවෙන දින පරිප්පු එක අග සව්වෙක් වෙද්දී අනෙත් අගසව්වා වෙන්නට පෙරුම් පුරන්නේ ගෝවා බව කියවේ. නමුත් ගෝවා සමග පාන් කෑම යනු මට නම් ”අරහං” දෙයකි. ඒ වෙනුවට, කිරට පිසින ලද තලපත් මාලූ සමග පාන් පෙත්තක් (හෝ දෙකක්) කන්නට ලැබීම නම් මට පණ පිටින් නිවන් යෑමක් වැනිය.

රසට හැපෙන කෙට්ටු හුරුබුහුටි "රෝස් පාන්", රෝස් ගේ වැඩිමහල් සොයුරු "තැටි පාන්" සහ තරබාරු "අච්චු පාන්" ලෝකයට අනූවේ දශකයේ පැමිණි විදේශික සංක්‍රමණිකයා වූයේ "ප්‍රීමා පාන්" ය. එකම උසට මහතට හැඩය සැදී, එකම ප්‍රමාණයේ පෙතිවලට කැපී, ප්ලාස්ටික් උරයකින් සැරසී උජාරුවෙන් බංගලා හන්දියේ කඬේ ෂෝ කේසයේ වැඩ සිටි ප්‍රීමා පාන් කුමරියෝ, රසයෙන් මට සිහි කළේ පෙර කී හැත්තැවේ දුර්භික්ෂ සමයේ ගිල දැමූ "නවදැලි හේන් ලකුණ දරණ මැටි පාන්" ම ය. එකම වෙනස වූයේ මෙදා මැට්ට හොඳින් වේලී තිබීමයි.

"ප්‍රීමා පාන්" යනු, සාමාන්‍ය මාතර බේකරියේ පාන් මෙන්, නිපදවා එක් දිනකින් කල් ඉකුත්වන ආහාරක් නොවී ය. එහි අඩංගුකර තිබූ කුමක් හෝ අමුද්‍රව්‍යයක් නිසා ප්‍රීමා ගෙඩියක් දිනක් දෙකක් පමණ කල් තබාගෙන වුව ද කෑමට හැකිවිය. ඒ දීර්ඝායුෂ ලැබීමේ පවට කර ගසන්නට වී තිබුණේ, ප්‍රීමා පාන්වල රසටයි. ඇත්තටම කියනවා නම් නීරසටයි.

මුල්වරට "ප්‍රීමා පාන්" ගෙඩියකට කළ ආයෝජනය බොල් වූ පසු ආයේ මා ප්‍රීමා දෙස නෙත් හැර බැලූවේ, බේකරි බාස් ලා සිංහල අවුරුද්දට ගමට ගොස් තාවකාලිකව ගල් වෙන සති දෙකක පමණ කාලයේ දී පමණි.

මෙසේ විවිධාකාරයේ ශ්‍රී ලාංකික තිරුවාණා ගල් රසවිඳිමින් සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ මට දක්නට ලැබුණේ ප්‍රීමාකාරයේ නීරස පෙනුමැති පාන් මිස වෙනත් පාන්වර්ගයක් මෙහි නැති බවයි.

ඒ විස්තර වෙනම ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මා සන්නස මාසික සඟරාවට ලියන අපේ කාලේ කතන්දර තීරු ලිපි මාලාවේ ජනවාරි ලිපියේ මුල් කොටසයි. මේ ආකාරයේම තවත් ලිපියක් මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/02/unbelievable-for-some.html

(image: http://newsfirst.lk/english/tag/all-ceylon-bakery-owners-association)