Friday 31 October 2014

උතුමාණෝ සහ බලු ගැත්තරයෝ - Lords and Peasants


මා ලංකාවේ සේවයේ නියුක්තව සිටි කාලයේ මගේ වේතනයේ විෂමතාවයක් ගැන ආයතන ප්‍රධානියාට ලිපියක් ලියූවෙමි.

කාර්යාල ක්‍රියාපටිපාටියට අනුව මගේ ලිපිය මා සේවය කළ අංශය බාර උප කලමනාකරු හරහා මහ කලමනාකරුට ද, එතැනින් ආයතන ප්‍රධානියාට ද යැවීමට සිදුවේ.

එම පටිපාටියම අනුව, ආයතන ප්‍රධානියා ඒ ලිපියේ සටහනක් කර එය පිරිස් කලමනාකරු වෙතට යවයි.

මුල් ලිපියට සතුටුදායක පිලිතුරක් නොලැබීම නිසා නැවත නැවත එලෙසම ලිපි ලියා යවන්නට සිදුවිය. ඒ හැම ලිපියක්ම පිරිස් කලමනාකරු ගේ හමස් පෙට්ටියේ නතර විය.

මේ ලිපි සියල්ලම මා ලියුවේ ඉංගිරිසියෙනි.

ලංකාවේ එක් රාජ්‍ය භාෂාවක් සිංහල වූවද, මා සේවය කළ රාජ්‍ය ආයතන ද්විත්වයේම, මගේ මට්ටමෙන් ඉහලට සියළු වැඩ කටයුතු, එනම්, ලිපි, චක්‍රලේඛණ, ව්‍යාපෘති වාර්තා, රැස්වීම් සහ ඒවායේ වාර්තා යනාදී සියල්ලම කෙරුණේ ඉංගිරිසියෙන් බව ද කිව යුතුය.

එකම කරුණ ගැන ලිපි තුන හතරක්ම ලියා විසඳුමක් නොලද කල්හි මම ඊලඟ ලිපිය සිංහලෙන් ලිවීමට සිතුවෙමි.

ලිපි ශීර්ෂයේ අඩංගුවන, ලිපිනය, දාතම සහ නම් ආදිය ලියා, ආමන්ත්‍රණය ලියන්නට යෑමේදී මට නොසිතූ විරූ ගැටළුවක මුහුණ දෙන්නට සිදුවිය.

මා වෙනදා ආයතන ප්‍රධානියා අමතන්නේ Dear Vice Chancellor කියාය. අද සිංහලෙන් එය "ප්‍රිය උප කුලපතිතුමනි" කියා ලියවුණි.

මගේ ගැටළුව වූයේ, මෙහි එන "තුමනි" යන්න ආවේ කොහෙන්ද යන්නයි!

එය ඉංගිරිසි ලිපිවල නොතිබුණකි.

ඒ වාගේම මේ ලිපියේ සිංහලෙන් “ප්‍රිය උප කුලපති” කියා විතරක් ලිවුයේ නම් එය නොගැලපෙනවා පමණක් නොව, අපහාස කිරිමක් ලෙස වුවද කෙනෙකුට තර්ක කළ හැක.

නමුත් ඉංගිරිසියෙන් යනුවෙන් Dear Vice Chancellor ඇමතීමේ කිසිදු අඩුපාඩුවක්, අපහාසයක් හෝ තත්වයෙන් බාලගතියක් හෝ නැත.

ඉංගිරිසි Teacher යන්න ගුරුතුමා වන්නේත්, Principal යන්න විදුහල්පතිතුමා වන්නේත්, Doctor යන්න දොස්තර මහත්තයා වන්නේත් එලෙසම ය.

සිංහල භාෂාව භාවිතයේ දී මෙලෙස අනිවාර්යෙන්ම ගරු සැලකිලි දැක්වීමට සිදුවීම, අපේ භාෂාවේ ඇති උතුම් ලක්‍ෂණයක් යැයිද, එයින් සිංහල ජනතාවගේ අති විශිෂ්ඨ වූ සදාචාර සම්පන්න බව ඉස්මතුවෙන්නේ යැයිද හිස් මුදුණින් පිළිගන්නට අප සූදානම් ය.

නමුත්, මේ ලිපිය කියවන්නන්ගෙන් කොටසකගේ ලේ කෝප වීමටද, තවත් කොටසකගේ සිතුවිලි ක්‍රියාවලිය උත්තේජනය වීමටද ඉඩ ඇති වුවද, මා මෙහි දී පවසන්නේ එලෙස "තුමා", "මහත්තයා" යනාදී වචන අපට භාවිත කිරීමට සිදුවන්නේ අපේ සමාජය තුල ඇති දීන බව, එනිසාම භාෂාව තුලටද කා වැද්දී, සිංහල භාෂාවේ අති විශාල දුර්වලතාවයක් ඇතිවී ඇති බවයි.

මේ අර අතීතයේ පැවති "පස්වාන් දහසකට බුදුවෙන්න ස්වාමීනී, මේ බලු ගැත්තාට අනුකම්පා කරන්න!" අච්චුවේ ම වත්මන් දීන කමයි!

ඇමෙරිකාවේ Mr President ලංකාවේදී මුලින් "අතිගරු ජනාධිපති උතුමාණෝ" වූයේ ද, පසුව "ශ්‍රීමත් ජනාධිපතිතුමා" වූයේ ද අද වුවද "අතිගරු ජනාධිපතිතුමා" වන්නේ ද මේ දීනකමේ පිළිබිඹුවක් ලෙසිනි.

ඒ තර්කය ඔප්පු කිරීමට තවත් සාධකයක් වන්නේ, එලෙස ලිපි ලිවීමේදී සහ ආමන්ත්‍රණයේ දී අප ආචාරශීලි සහ සදාචාර සම්පන්න වූව ද, අදාල පුද්ගලයින් නොමැති තැන ඔවුන්ට සිතූ සිතූ හැටියට කටේ දිවේ නොගෑවී අපහාස කිරීමට ඒ භාෂාව ම අපිට යොදාගත හැකිවීමයි.

ගුරුතුමා "ගුරා" වන්නේත්, විදුහල්පතිතුමා "පිනා" වන්නේත්, දොස්තර මහත්තයා "දොස්තරයා" වන්නේත් ඒ අනුව ය.

මීට අමතරව අද ලංකාවේ සිදුවෙන තවත් අපරාධයක් නම් රට පිළිගත් කලාකරුවන්ට ද "එතුමා", "එතුමිය" යැයි ඇමතීම යි. මෙය අපරාධයක් වන්නේ මන්ත්‍රීලා, ඇමතිලා වැන්නන් ඇමතීම සඳහා බොහෝ විට භාවිතාවෙන එවැනි වදනකින් කලාකරුවෙකු ඇමතීමෙන් සිදුවන්නේ අපහාසයක් පමණක් ම නිසා ය!

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

(https://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI&noredirect=1)

Wednesday 29 October 2014

ජුඩෝ පන්තිය සහ වලිගය නැති ගොනා ගේ භූමිකාව - It was just a matter of sixty five Rupees!


අප කුඩා කල, එනම් හැත්තෑව දශකයේ දී, ශී‍්‍ර ලංකාවේ කොල්ලන් අතර ඉතා ජනප‍්‍රිය වූ විනෝදාංශයක් වූයේ කරාටේ කී‍්‍රඩාවයි.

සමහර විට බෲස් ලී, ජිම් කෙලී වැනි දක්‍ෂ කරාටේ සටන්කරුවන් නළුවන් ලෙස රඟ පෑ ඉංගී‍්‍රසි චිත‍්‍රපට මේ ජනපි‍්‍රයත්වයේ රහස වන්නට ඇත. නැතිනම්, අන්තර්ජාලය, ජංගම දුරකතන, රූපවාහිනී වැනි අද පවතින විනෝදාංශ නොතිබුණු ඒ යුගයේ තරුණ පරපුර හමුවේ තිබූ එකම ප‍්‍රායෝගික විකල්පය කරාටේ ශිල්පය ප‍්‍රගුණ කිරීම පමණක් වන්නට ඇත.

සමහර විට එය බටහිර විදේශ බලවේගවල කුමන්ත‍්‍රණයක් නිසා සිදුවූවක් වෙන්නට ද ඉඩ ඇත.

කෙසේ නමුත්, කළු පටි, නන්චකු වැනි වදන් ව්‍යවහාරික සිංහල බසට එකතු වූයේ මේ කාලයේදීය. එසේම, එතෙක් කුඩා ළමුන් සහ සංගීතඥයින් හැඳින්වීමට පමණක් යොදා ගත් මාස්ටර් යන ආමන්ත‍්‍රණය ලැබීමට තවත් පිරිසක් සුදුසුකම් ලැබූහ. ඒ, ලංකාවේ බොහෝ ප‍්‍රධාන නගරවල තමන් දන්නා ශිල්ප බෙදා දීම සඳහා අභ්‍යාස පන්ති ඇරඹූ කරාටේ ගුරුවරුන් ය. ලිවේරා, වෙල්ගම, සමරසේකර ආදී මාස්ටර් ලා මෙහිදී මගේ මතකයට එයි.

පසු කලෙක, අසූවේ දශකයේ උදාවත් සමගම මේ කරාටේ මාස්ටර් ලා සමාජ දර්ශනපථයෙන් බොඳ වී ගොස් ඒ වෙනුවට ”ස්පෝකන් ඉංග්ලිෂ්” ටියුෂන් මාස්ටර් ලා ආදේශ වූහ. ඒත්, ලාල් සර්, නිහාල් සර්, සුනිල් සර් යනාදී වශයෙන් මිස ඔවුන් හැඳින්වුනේ මාස්ටර් කියා නම් නොවේ.

උසස් පෙල විභාගය ලියා කල් මරන ගන්ධබ්බ සමයේ දී මා සහභාගී වූ ලාල් සර් ගේ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ ආරම්භක දිනයේ දීම ඔහු කීවේ අද "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තිද ඉස්සර තිබූ කරාටේ පන්ති හා සමාන බවයි. ඒ මක් නිසාද යත්, ආරම්භයේ සිය ගණනක් ශිෂ්‍යයින් සිටින මුත්, ටිකෙන් ටික පිරිස අඩුවී යන බැවිණි. පවත්වාගෙන යන පන්තියකට අළුතින් බැඳීමක් නැති නිසා, ඔහු ට සිදුවෙන්නේ මේ පන්තිය නවතා අළුතින් පන්තියක් ආරම්භ කිරීම බව ලාල් සර් පැහැදිලි කළේය.

මේ කතාව අසා සිටිද්දී එක්වරම මගේ සිහියට ආවේ මා දහවෙනි ශ්‍රේණියේ දී ඇරඹූ ජුඩෝ ඉගෙනීමයි.

කරාටේ ඉගෙනීමට බලවත් ආශාවක් තිබුනද, මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ සිටිය දී ඒ සඳහා නිසි අවස්ථාවක් නොලැබුණි. පන්ති පැවැත්වුණු ගම්පහ නගරයට සවස් කාලයේ මා වැනි දරුවෙකු යාම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවීය. මගේ කරාටේ ලෝකය, ඉඳහිට දුටු බෲස් ලී ගේ ඡායාරූපයකට පමණක් සීමාවිය.

දහවන ශ්‍රේණියේ ඉගෙනීමට මා කොළඹ ආනන්දයට පැමිණි පසු අපේ පන්තියට මුලින් ම පැමිණි ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායම වූයේ රගර් පිලේ කී‍්‍රඩකයින් බව මගේ මතකයයි. ආරුඪ කරගත් එකක් දෝ යැයි මට අද සිතෙන, සැර, දරදඬු ගතියකින් යුතුව කතා කළ ඔව්හූ, අවශ්‍ය නම් අපට රගර් කී‍්‍රඩා කිරීම පුහුණු වීම සඳහා බැඳෙනු හැකි බව පැවසූහ. නමුත් ඒ සඳහා වූ එක් පෙර අවශ්‍යතාවයක් විය. එනම්, පුහුණු වීම් අතරතුරේ දී හෝ කී‍්‍රඩා කරද්දී හෝ අනතුරක් හෝ මරණය හෝ සිදුවුනොත්, ඒ සඳහා පාසල නිදොස් බවට ගිවිසුමක් අත්සන් කළ යුතු වීමයි.

පහලොස් වැනි වියේ පසුවූ අප බහුතරයක් දෙනා විවර වුණු මුවින් යුතුව ඒ කතාව අසා සිටියා මිස, එවන් වාතාවරණයක් මැද රගර් කී‍්‍රඩාවට එකතුවන්නට සිහිනයෙන් හෝ නොපතන්නට ඇත.

පලමුවැනි ශ්‍රේණියේ සිට නමවැන්න දක්වා ගමේ උගෙන අළුතින් නගරයේ පාසලට පැමිණි අප පසෙකට වී මුළුගැන්වී සිටීම ද, අධ්‍යාපන කටයුතුවලට විතරක් සිත යොමුකොට බාහිර ක‍්‍රියාකාරකම් අමතක කිරීම ද හොඳ නැහැ නොවැ? ටික දිනකට පසු අපේ පන්තියට පැමිණි ගලප්පත්ති ගුරුවරයා කළ නිවේදනය අසා ජුඩෝ ඉගෙනීම සඳහා බැඳෙන්නට මා තීරණය කලේ එබැවිණි.

එකල මා ප‍්‍රාණපි‍්‍රය මිත‍්‍රයා වූ සමුද්‍ර වීරවසම් ද ඒ තීරණයම ගැණීම මා සතුටට හේතු විය.
පන්ති පැවැත්වුනේ තරුණ බෞද්ධ සංගමයේ අනුග‍්‍රහයෙන් කොටුවේ වයි.එම්.බී.ඒ. ශාලාවේ දී ය. අපේ ගුරුවරයා වූයේ, තනාකා වැනි නමක් තිබූ, ජපන් ජාතිකයෙකි. සතියට දින දෙකක් හවස පහේ සිට හය දක්වා පැවැත්වුණු මේ ජූඩෝ පන්ති සඳහා මාසික ගාස්තුව වූයේ රුපියල් පහකි. පාන් ගෙඩියක් ශත හැටක් වූ මේ යුගයේ එය තරමක විශාල මුදලක් විය.

සමහර දිනවල මම පාසල නිමවුනු විගසම පිටත් වී ගෙදර ගොස් කා බී, වෙනත් ඇඳුමකින් සැරසී යලි දුම්රියෙන් කල් වේලා ඇතිව කොටුවට පැමිණියෙමි. නමුත් අපේ වඩාත් සිත්ගත් කාර්්‍යය වූයේ, ගෙදරින් ගෙනෙන රොටියක් වැනි යමක් ගිල දමා, වතුර ටිකකින් පිපාසය සන්සිඳුවාගත් පසු දුම්රියෙන් කොටුවට ගොස් ජූඩෝ පන්තිය ඇරඹෙනා තෙක් රස්තියාදු ගැසීමයි.

ආරක්‍ෂක සේවකයින්, ජාතික හැඳුණුම්පත්, බෝම්බ යනාදිය ආගන්තුක සංකල්ප පමණක් වූ ඒ හැත්තෑවේ දශකයේ අග කාර්තුවේ දී කොළඹ කොටුවේ සැරි සෑරීම පසුකලෙක උදා වූ තත්වය මෙන් කිසිසේත් ම කරදරකාරී කි‍්‍රයාවක් නොවුණි.

අපේ ජුඩෝ මාස්ටර් ජපන් ජාතික තනාකා මිටි මහත පුද්ගලයෙක් විය. අළුතින් එකතු වූ අපේ තිදෙනා හැරෙන්නට තවත් දහ පාලොස් දෙනෙකුගේ කණ්ඩායමක් මේ පන්තියේ සිටියහ. මේ අතර සිටි සිහින් සිරුරැති නමුත් උසැති චීන ජාතික ගැටවරයා මට අද මෙන්ම මතකය. ඔහු ජුඩෝ පුහුණු වූයේ උපැස් යුවල නොගලවා වීම විශේෂයකි.

ශාරීරික අභ්‍යාස, විවිධ ජූඩෝ ගැට, පෙරලීම්, බේරීම් සහ කකුල් මාට්ටු වලට අමතරව මෙහිදී අප ඉගෙන ගත් එක් වැදගත් කි‍්‍රයාවක් වූයේ ජපන් ක‍්‍රමයට එකිනෙකාට කඳ නමා ආචාර කිරීමයි.

මාස තුනක් පමණ මෙලෙස අප සතුටින් ජූඩෝ ඉගෙන ගන්නට ඇත. ඒ කාලය ඇතුලත ජයගත යුතු වූ කඩඉම වූයේ රුපියක් පනහක් පමණ වැයවෙන ක‍්‍රීඩා ඇඳුම් කට්ටලයක් ගැනීමේ ඉසව්වයි. ඝණ රෙද්දෙන් මැසූ ඒ බාච්චු කලිසම, ලෝගුව සහ බඳ පටිය මිලට නොගෙන, ජුඩෝ ගැට පුහුණුවීම සඳහා අවම අවශ්‍යතාවය වූ උරිස් පටියක් ගෙදරදීම නිමවා ගෙන මම එය සමතික‍්‍රමණය කළෙමි.

මේ අතරතුර කාලයේ එක් දිනක අප පුහුණු වීම් කරමින් සිටින අතරතුරදී, ප‍්‍රතිමල්ලවයා පෙර කතාකරගත් පරිදි මා ඔසවා බිම දමන විට නිසි පරිදි කැරකී එය වලකා ගැනීමට මට නොහැකිවිය. නමුත් ඒ අනතුරෙන් සැළුනේ මා නම් නොවේ. දිගින් දිගටම ජූඩෝ ක‍්‍රීඩාව කිරීම මගේ එකම අරමුණ විය.

නමුදු ඉක්බිතිව එළැඹුනේ මහා අභාග්‍යයකි.

අපේ ජුඩෝ පන්තිය තරුණ බෞද්ධ සමිති ශාලාවේ සිට තරුණ ක‍්‍රිස්තියානි සමිති ශාලාව දක්වා ගෙන යන ලද අතර මෙහි පන්ති සඳහා සහභාගී වන්නන් අනිවාර්යයෙන් ම රුපියක් හතලිහක් ගෙවා තරුණ ක‍්‍රිස්තියානි සමිතියේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත යුතු බව අපට දැනුම් දෙන ලදී. ඒ සමගම, මෙතෙක් කල් ජූඩෝ පුහුණුව ලබමින් සිටි ශිෂ්‍යයින්ව පරීක්‍ෂා කොට ශ්‍රේණිගත කළ යුතුව ඇති බවත්, ඒ පරීක්‍ෂණ සඳහා ගාස්තු ලෙස රුපියල් විසිපහක් අවශ්‍ය බවත් පැවසුණි.

ඒ සමගම නිම වූයේ රුපියල් පහේ ජුඩෝ පාඩම් ලබා මතු දිනයක කරාටේ කී‍්‍රඩාවේ බෲස් ලී මෙන් ජූඩෝවල ජගතෙක් වෙන්නට මා සිත කොනක තිබූ සිහිනයයි.
තාත්තා පැන්ෂන් ගෙන සිටි අපේ පවුලට රුපියල් හැට පහක් යනු මහා ධන නිධානයකි. එය දැන දැනම, එවන් මුදලක් දෙමව්පියන්ගෙන් ඉල්ලන්නට මා සිත් නොදුන්නේය.

පෙර දිනයක පුහුණු වීමේ දී මුහුණ පාන්නට වූ භයානක අනතුරුදායක තත්වය මත වර පටවමින් මම ජූඩෝ පන්තියට ආයුබෝවන් කීවෙමි.

එදා මා දිගටම ජූඩෝ ඉගෙන ගත්තේ නම් අද වලිගය නැති ගොනෙක් මැස්සන් ට බැට දෙන්නට විදින වදය හා සමාන වදයක් විඳිමින් විටින් විට ලිඛිත වචනයෙන් පමණක් සතුරන් පරදවන්නට තැත් කීරීමට මට සිදු නොවෙනු ඇත.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
මේ මතක සැමරුම මා ලියූ සිව් වසරක් මරදානේ කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.

(image: http://fr.wikipedia.org/wiki/Judo)

Monday 27 October 2014

ඉතිං අපට පාන් ද? - Off we go...!



මගේ ප්‍රිය බිරිඳ හා මා විවාහ වූයේ මැයි මස විසි අටවැනිදාවක ය.

"ඉතිං මට පාන් ද?" කියා ඔබට සිතුණා ද?

විවාහ වී හරියටම වසර බැගින් ගෙවෙන දිනය, එනම් මැයි මස විසි අටවැනිදාව, මා ප්‍රිය බිරිඳගේත්, මගේත් "විවාහ සංවත්සර" දිනයයි. ඉංගිලිසියෙන් මෙය "වෙඩින් ඇනිවර්සරි"යයි. අපි මෙයට "වෙඩින් ඩේ" හෙවත් "විවාහ දිනය" යැයි නොකියමු.

මා උපන්නේ ඔක්තෝබර් මස විසි හත්වෙනිදාවක ය.

එසේ නම්, අද මගේ "උපත සංවත්සර දිනය" යි. එය ඉංගිලිසියෙන් කියූ විට "බර්ත් ඇනිවර්සරි ඩේ" වේ.

නමුත් සාමාන්‍යයෙන් කවුරුත් කියන්නාක් සේ "උපන් දිනය" යැයි නොකියා ඒ වෙනුවට "උපත සංවත්සර දිනය" යැයි කියූ විට දැනෙන්නේ අමුත්තකි.

ඇතමෙක් මේ "උපත සංවත්සර දිනය" යෙදුමට උපහාසයෙන් සිනාවෙන්නට ද ඉඩ ඇත.

ඉතිං මට පාන් ද?

මගේ උපත සංවත්සර දිනයට පෙර දින, එනම් ඊයේ, රාත්‍රියේ ම මා එළැඹෙන නව වසර සඳහා එක්තරා අදිටනක් කළෙමි. ඒ අදිටන මුදුන්පත් කරවාගන්නට අවශ්‍ය ප්‍රධාන පියවර තබන්නට මට තව වසරක් ඉඩ ඇත.

ඒ සමගම, අද දිනය සමරන්නටද කුමක් හෝ අලුත් දෙයක් කරන්නට ඕනෑ යැයි සිතුවිල්ලක් මට ඇති විය. කෙළින්ම මගේ සිත යොමු වුණේ ජාල සටහනක් එනම් බ්ලොගයක් අරඹන්නටයි.

අද ඇරඹෙන මේ රසිකොලොජි බ්ලොගය ඒ සිතුවිල්ලේ ප්‍රතිඵලයයි!

කෙසේ වෙතත් බ්ලොග් යනු මට අලුත් දෙයක් නම් නොවේ. මා මුලින්ම බ්ලොගයක් ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය. ඒ ගී පදමාලා අච්චුවෙන් මා ලියූ කවි පළකරන්නට සැදූ පෙම් ගී බ්ලොග් අඩවියයි.

යුනිකෝඩ් සිංහල භාවිතයේ නොතිබුණු ඒ යුගයේ පැවති තාක්‍ෂණ සීමා ඇතුළත සිටිමින් මා කළේ, මුලින් මා දන්නා පරිදි කපුටා අකුරෙන් කවි යතුරු ලියනය කොට, ඊළඟට ඒවා ජේපෙග් ආකාරයේ රූප බවට පෙරළා, අනතුරුව පිකාසා සේවය ඔස්සේ ඒ රූප බ්ලොගර් අඩවියට උඩුගත කරවා පළකිරීමයි.

ඒ මුල් අවදියෙන් පසු යාවත්කාලීන නොවුනද, පොඩි වෙනස්කම් කීපයක් සමග මගේ ඒ පෙම් ගී බ්ලොගය දස වසරකට පමණ පසුවද නිරුපද්‍රිතව තවමත් ඒ ආකාරයෙන් ම පවතී!

දැන් රසිකොලොජි බ්ලොගය ගැන කතා කරමු.

මුලින්ම රසිකොලොජි යන නම ගැන කිව යුතුය. මෙය බයොලොජි, සූලොජි, මීටියරොලොජි, ජියලොජි ආකාරයේ යෙදුමකි. රසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට හැකි වේ යැයි සිතමි.

රසිකොලොජි බ්ලොගය හරහා මා අන්තර්ජාලයට මුදා හරින්නට අදහස් කරන්නේ කුමන ආකාරයේ දේ දැයි ඊළඟට සඳහන් කළ යුතුය.

මේ බ්ලොගයේ අන්තර්ගතය මගේ අතීත අත්දැකීම් ගැන ලියවුණු විත්ති කතා විය හැක.
මා කියවා ඇති පොත පත පිළිබඳ මගේ අදහස් විය හැක.
මා වසන ප්‍රදේශය පිළිබඳ නොයෙකුත් විස්තර විය හැක.
ඉඳහිට හෝ කවියක් ලියවුනොත් එය ද රසිකලොජියේ පලවෙන්නට ඉඩ ඇත.
කොටින්ම මගේ සිතට එන ඕනෑම මට වැදගත් යැයි සිතෙන දෙයක් රසිකලොජියේ පළවෙනු ඇත.

"ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් ඔබට සිතෙනවා ද?

ඔබට එසේ නොසිතේ නම් හෙට සිට රසිකොලොජිය කියවන්නට නිතිපතා මෙහි එන්න.

අවාසනාවට මෙන් ඔබට "ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් සිතේ නම්, ඒත්, නිතිපතා මෙහි විත් රසිකොලොජිය කියවන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
රසිකලොජි නමින් මුලින් තැබූ බ්ලොගයේ නම රසිකොලොජි වශයෙන් පසුව වෙනස් කළෙමි.

(image: http://farul.org/new-blog-by-rbya/)