Friday 21 August 2020

ජුකී කෙල්ල හෙවත් සුරඟන කුමරියගේ වාසනාව - Rasika Suriyaarachchi reviews Surangana Kumariya, a novel by Saman Mahanama Dissanayake
























"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් මහානාම දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැක ය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.

-රසික සූරියආරච්චි ප/ලි: සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව https://rasikalogy.blogspot.com/2020/08/2007-rasika-suriyaarachchis-review-of.html

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

Friday 7 August 2020

කෙසෙල් මල් නොපිපේවා - Hoping for the best

තවත් මහ ඡන්දයක් අවසන් විය.

එදා 2015 ඡන්දය වෙනුවෙන් මගේ බලාපොරොත්තුව වූයේ මෙයයි.

එක්සත් ජාතික පෙරමුණ = 81
එක්සත් ජනතා නිදහස් සන්ධානය = 79
ජනතා විමුක්ති පෙරමුණ = 40
ද්‍රවිඩ ජාතික සන්ධානය = 20
මුස්ලිම් පක්‍ෂ = 5

මෙවර ද ඒ බලාපොරොත්තුව වෙනස් වූයේ සුළු වශයෙනි.

ජාතික ජන බලවේගය = 40
සජිත් ප්‍රේමදාස කල්ලිය = 45
රනිල් වික්‍රමසිංහ කණ්ඩායම = 35
රාජපක්ෂ සර්ෆ් පිල = 85
දෙමළ සන්ධානය = 20

ඉන් මා අදහස් කලේ ශක්තිමත් විපක්‍ෂයක් සහිත ආණ්ඩුවකි. එයට හේතුව නම් අසීමිත බලය ඇතිවිට ආණ්ඩු පක්‍ෂයේ උංට රටට කළ හැකි විනාශයක ඉමහත් බව අත්දැකීම් මත දන්නා නිසා ය.

නමුත් ඉතිං මගේ බලාපොරොත්තු ඒ ලෙසම ඉටුවෙනවා නම් මා අද ඉන්නේ මෙතැන නොවේ. ඒ බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ නමුත් ජනතාව විසින් තම ඡන්දය නොහොත් කැමැත්ත ප්‍රකාශ කර ඇත. තමන් නියෝජනය කිරීමට තමන් හා සමානයින් පිරිසක් නොව වෙනත් කණ්ඩායමක් බලයට පත් කර ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් මේ.

තව දින කිහිපයකින් පිහිටුවන ලබන ලංකාවේ අලුත් ආණ්ඩුවේ පාලනය සහ ලංකාවේ අනාගතය පිළිබඳ මගේ අදහස මෙයයි.

අද ලංකාව වැටී ඇත්තේ එදා 1977 දී, ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ යූඇම්පියට තුනෙන් දෙකකටත් වඩා වැඩි හයෙන් පහක බලයක් ලබා දී පත්වුණු ව්‍යවසනයට සමාන තත්ත්වයකට යැයි මට සිතේ.

ජේආර් ගේ ආණ්ඩුවේ මුල් පස් වසර තුළ සිදුවුණු දේ කිහිපයක් මගේ මතකයට අනුව මෙසේ ය.
  1. මිනීමරුවන්ට ජනාධිපති සමාව ලබා දෙන ලදී.

  2. රටේ එතෙක් පැවති ආණ්ඩු ක්‍රමය සහමුලින්ම වෙනස් කර විධායක ජනාධිපති ක්‍රමයක් ඇති කරන ලදී.

  3. පාර්ලිමේන්තුවේ බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාව හිතූ හිතූ පරිදි වෙනස් කරන ලදී.

  4. විටින් විට තැන තැන ජාතිවාදී කෝලාහල ඇති වෙන්න පටන් ගත්තේ ය.

  5. විවිධ හේතු මත උද්ඝෝෂණවල නිරත වෙන අයට කුලු පොලු හමුදාව වෙනුවට බයිසිකල් චේන් වලින් පහර දෙන මැර හමුදා ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ ඇතිවුණි.

  6. මේ ආකාරයේ මැර හමුදාවක් බොරැල්ලේ තරුණ බෞද්ධ සංගම් ශාලාව ඇතුළේ පැවති රැස්වීමකට කඩාපැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට පවා පහර දුන්හ.

  7. පඩි වැඩි කිරිම ඉල්ලා වැඩවර්ජනයක් කළ 40,000 පමණ විශාල පිරිසක් අමානුෂිකව මර්දනය කරන ලදී.

  8. විජය කුමාරතුංග වැනි විපක්ෂ නායකයින් පිරිසක් සිරගත කරන ලදී.

තමන්ගෙ ආණ්ඩු කාලය අයුතු ලෙස තුනෙන් දෙකේ බලය ද සමගින් දීර්ඝ කර ගැනීමට කූප්‍රකට ජනමත විචාරණය පැවැත්වුණේ ඉන්පසුවයි.

එතැන් සිට තත්වය තව තවත් දරුණු අතට හැරුණි. උතුරේත් දකුණේත් තරුණ ජිවීත විශාල සංඛ්‍යාවක් විනාශ විය.

එදා 1977 සිට වසර දාසයක්, එනම් 1993 මැයි දක්වා ලංකාවේ පැවතුණු, භිෂණය, දුෂණය, ජඩකම්, මැරකම්, පාදඩකම් කිසිවක් අද සිට එළඹෙන අවාසනාවන්ත අනාගතයේ දී අපට අසන්නට නොලැබේවායි අවංකව ම ප්‍රාර්ථනය කරමි.

මගේ ඡන්ද බලාපොරොත්තු කඩවුණ ද, මේ ප්‍රාර්ථනය ඉටුවේ යැයි සිතමි. -රසික සූරියආරච්චි

ප/ලි:

ජේආර්ගේ ආණ්ඩුවේ එක් ප්‍රෝඩාවක්.
(image: https://www.wisegeek.com/what-is-a-banana-flower.htm)

Monday 3 August 2020

ඔබේ ඡන්දය සහ මනාප මෙන්න මෙහෙම දෙන්න - How to vote and how not to vote


ලංකාවේ මහ ඡන්දයට ඇත්තේ තව දින දෙකකි. ඡන්ද බලය හිමි පුරවැසියෙකු වුව ද විදෙස්ගතව ජීවන වන මට මෙවර කිසිසේත්තම ලංකාවට එන්නට වෙන්නේ නැත.

මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.

එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.

ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.

  1. අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න.

  2. ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.

  3. යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.

  4. අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.

  5. සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.
වෙලාව ඇති නම් මේ වීඩියෝව ද නරඹන්න.



ස්තුතියි.

-රසික සූරියආරච්චි

Saturday 1 August 2020

සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English


මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ දී චිත්‍රපටියක් නැරඹූ බවයි.

ඔහු ඇතුළු මිතුරන් පිරිස එදා විභාගයේ දී ලබා ගත් ප්‍රතිඵල පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. එකල අප පැවසූ පරිදි ලයිට් කණු ය.

ඊට වසර කිහිපයකට පෙර මා විභාගයට පෙනී සිටි අවස්ථාවේ දී ද, මගේ පන්තියේ සිටි පිරිමි ළමුන්ගෙන් එකෙකු හැර අන් සියලු දෙනාම ඉංග්ලිෂ් විෂයය සඳහා ලබා ගත්තේ ලයිට් කණු ය.

මා මුලින් සඳහන් කළ පුද්ගලයාට පසුව, එදා පාසල් සමයේ පිළිකුල් කළ එම විෂයය ම ඉගෙනගෙන පාසල් ඉංග්ලිෂ් ගුරුවරයෙකු ලෙස ජීවිකාව සොයා ගැනීමට සිදුවීම දෛවයේ සරදමකි.

වෙනස් අදහස් අතින් මෝඩ ගති පෙන්නුම් කළ ද, සජිත් ප්‍රේමදාස මේ වීඩියෝවේ පවසන අදහස එදා මෙදා සිසුන් සියලු දෙනාටම හොඳ අවවාදයකි. ආදර්ශයකි.


සජිත් මෙහි දී අප හොඳින් දන්නා වැදගත් කරුණක් කියයි. එනම් අප නොනවත්වා ම, දිගින් දිගටම ඉගෙන ගත යුතු බය ය.

ඊට අමතරව ඔහු මේ කතාවේ දී පවසන මා අගය කරන දෙය නම්, තමන් සියල්ල දත් ඉංග්ලිෂ් භාෂාවේ පරතෙර ගිය අයෙකු බව නොකියා, තවමත් වාහනයේ තිසෝරස් පොතක් තබාගෙන නිතරම ඉංග්ලිෂ් වචන ඉගෙන ගන්නා බව අවංකවම පැවසීමයි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න එදා විශිෂ්ඨ සාමාර්ථයක් සමගින් ඉංග්ලිෂ් විෂය සමත්වූ මට ටික දිනකින් ම සිදුවුණු මහා අකරතැබ්බයක්.