Wednesday, 10 May 2023

රත්මලානේ සිට පලාලි දක්වා ගුවනින් ගිය ගමනක් - ‍My first flight


මේ සටහන මගේ පළමුවෙනි ගුවන් ගමන ගැනයි.

පාසල් ගුරුවරයකු වූ මගේ පියාට රජයේ සේවකයින්ට හිමි වන දුම්රිය ගමන් බලපත්‍ර වරප්‍රසාදය හෙවත් රේල්වේ වොරන්ට්ස් තිබුණු අතර ඒවා උපයෝගී කරගෙන අප අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතර යන දුම්රිය ස්ථාන පිහිටි ප්‍රදේශ කරා චාරිකා කර ඇත්තෙමු.

එවැනි රේල්වේ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කරගෙන එවකට පැවති එව Air Ceylon ගුවන් සේවයේ යානයකින් අපට යාපනය (පලාලි) බලා යාමට හැකි වූ අතර ඒ ගමනේ දී තාත්තා හා ගුරු සේවයේ යෙදෙනු මිතුරන් දෙදෙනකුගේ දරු පවුල් ද අපේ කණ්ඩායමට ඇතුළත් වූහ.

මෙම අභ්‍යන්තර ගුවන් ගමන රත්මලාන ගුවන් තොටුපළෙන් ඇරඹෙන්නේ උදෑසන හතටත් පෙර නිසා, අප එවකට පදිංචිව සිටි ගනේමුල්ල ප්‍රදේශයේ සිට එදින උදෑසනින් එහි යාම අසීරු කරුණක් විය. හොඳ වෙලාවට අපේ එක් පුංචි අම්මා සහ බාප්පා යුවලක් ඒ දිනවල රත්මලානේ පදිංචිව සිටියහ. එනිසා අප කළේ ඊට පෙර දින එහි ගොස් රාත්‍රිය ගතකර පසුව දා උදෑසන ම අවදිව ලකලැහැස්ති වී ගුවන්තොටුපළ කරා යාමයි.

ගුවන් ගමන පිළිබඳව වැඩි විස්තරයක් මගේ මතකයේ නැත. තමන්ගේ ආසන අංකය වූයේ A1 බවත්, කවුළුවෙන් බලද්දි තමන් පුත්තලම සහ මන්නාරම් ප්‍රදේශය සිතියමේ හැඩයට ම දිස්වෙන ආකාරය දුටු බවත්, අම්මා සහ බාල මල්ලී අසුන්ගෙන සිටියේ ගුවන් යානයේ තටුව කෙළින් ම ඇති ආසනවල නිසා ඔවුනට ඒ කිසිදු දර්ශනයක් නොලැබුණු බවත්, ලොකු මල්ලී පවසයි.

මේ සමග අමුණා ඇත්තේ මල්ලී විසින් ඉතා දිගු කාලයක් සුරැකිව තබාගෙන තිබුණු ඒ ගමනේ ටිකට් පත සහ බෝඩිං කාඩ් එකයි.

මගේ මතකයේ රැඳී ඇති එකම සිදුවීම නම් ගුවන් සේවිකාව විසින් බන්දේසියක තබා ඩෙල්ටා ටොෆි අපට පිරිනැමූ බවයි. පැයක් පමණ ගත වූ ඒ කෙටි ගුවන් ගමනේදී බොහෝ විට වෙනත් ආහාරයක් අපට නොලැබෙන්නට ඇත.

පලාලි ගුවන් තොටුපළෙන් ගොඩ බට අප කණ්ඩායම ගුවන් හමුදා ලොරියක් එක නැගී පන්සලක් කරා ගොස් එහි බණ මඩුවේ රාත්‍රී දෙකක් ගත කළෙමු. බස් රථයක නැගී නාගදීපය වැනි ස්ථානයකට ගිය බව ද මතකයේ ඇත.

මල්ලීගේ මතකයට අනුව, අප ඒ දෙදින නැවතී ඇත්තේ පාසලක ය. නමුත් මේ ගමන අප ගොස් ඇත්තේ ජනවාරියක නිසා, එය ද සැක සහිත ය. අප නවාතැන් ගත් ස්ථානයේ පිටුපසින් මුහුද හෝ කලපුවක් පිහිටා තිබුණු බවත්, එය කිසිදු රළ නැගීමක් නැති සන්සුන් මුහුදක් බවත්, වෙරළේ කුඩා ගල් සහ සිප්පි තිබුණු බවත් මගේ මතකයයි. කන්කසන්තුරේ තිස්ස නම් විහාරය (දැන් නම්) පිහිටා ඇත්තේ මුහුදක් හෝ කලපුවක් ආසන්නයේ නොවේ. මෙය යාපනයේ සංචාරයක් ලෙස හැඳින්වුව ද ඇත්තට ම අප යාපනය දුටුවේ රාත්‍රී තැපැල් දුම්රියේ ගොඩ වී ආපසු ගනේමුල්ල බලා එන අතර එය යාපනය දුම්රිය ස්ථානයේ නැවැත්වූ විට දුම්රියේ කවුළු තුළින් පමණි.

ටිකට් පත:
බෝඩින් පාස් එක:
බෝඩින් පාස් එකේ අනිත් පස:

Tuesday, 9 May 2023

කටුනායක ගුවතොටුපළේ වැසිකිලියක කතාවක් - When do we learn?


මේ විස්තර කරන්නට යන අත්දැකීම මා ලැබුවේ පසුගිය වසරේ එනම් 2022 අප්‍රේල් මාසයේ දී ය.

කෝවිඩ් වසංගතය නිසා සෑම රටකම පාහේ පනවන ලද විවිධ ගමනාගමන තහංචි නිසා ඉන්ටර්නෙට් එක හරහා පමණක් මවගේ දුක සැප සොයා බලමින් සිටි මම එවර ලංකාවට පැමිණියේ හරියටම අවුරුදු දෙකයි මාස හයකට පසුව ය.

එක එල්ලේ පැය 18 ක පමණ කාලයක්, (නිවසේ සිට ගුවන්තොටුපලට යෑමට ගතවූ කාලය, ගුවන්තොටුපොළේ ගත කළ කාලය, ගුවන් ගමන සඳහා ගත වූ කාලය සහ කටුනායක සිට නිවසට කුලී රථයෙන් යාමට ගත වූ කාලය) මුව ආවරණයක් පැළඳ සිටීමේ බරපතල අත්දැකීම ද මම එදින ලැබූවෙමි.

එයින් සති දෙකකට පමණ පසු මම ආපසු නිවෙස කරා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණියෙමි. ගුවන් සමාගමේ "චෙකින්" කවුන්ටරයේ වැඩ කටයුතු නිමවා අත්මල්ල ද රැගෙන ඊළඟට නියමිත ආගමන විගමන කවුන්ටරය වෙත යන අතරතුර මම පහළ තට්ටුවේ ම තිබෙන වැසිකිළිය වෙත පිය නැගුවෙමි.

ලංකාවේ ගුවන්තොටුපලේ වැසිකිළිවල ඇති සුවිශේෂී ලක්ෂණයක් නම් ඒ හැම එකකටම එක් කම්කරුවෙකු බැගින් අනුයුක්ත කර සිටීමයි. වැඩිපුර සෙනග නොගැවසෙන සිල්ලර කඩ පේළිය කඩ කාමර ඉදිරිපිට එහි අයිතිකරුවන් පාරිභෝගිකයින් එනතුරු බලා සිටින පරිදි වැසිකිළියේ දොර ඉදිරිපිටට වී මුත්‍රා බර හෝ කක්කා බර සැදුණු අයෙකු එහි පැමිණෙන තුරු බලා සිටීම ඔවුන්ගේ සිරිත වේ.

යමෙකු පැමිණි වහාම ඔවුන් කරන්නේ ඒ පුද්ගලයා පිටුපසින් වැසිකිළි ප්‍රදේශය ඇතුළට පැමිණ එක්කෝ පොළොව මොප් කිරීම වැනි වැඩක් කිරීමයි එසේ නොමැති නම් එවැනි වැඩක් කරන බව පෙන්වීමයි.

එදා මා පිවිසුණු ඒ වැසිකිළියේ දොරකඩ සිටි සනිපාරක්ෂක කම්කරුවා ද පෙර කී තිර රචනය අනුවම හැසිරෙමින් මා පිටුපසින් ඇතුළට පැමිණ කොස්සක් වැනි උපකරණයක් රැගෙන පොළොව පිරිමදින්නට පටන් ගත්තේ ය.

මගේ කර්තව්‍යය නිමවූ පසු මා කළේ සුපුරුදු පරිදි දෑත සෝදා ගෙන එය වියළා ගැනීම සඳහා වැසිකිළියේ සවිකර තිබෙන උපකරණය වෙත යෑමයි.

එවිටම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූ වැසිකිළි කඩේ අයිතිකරුවා කළේ තමන්ගේ අතක් නිල ඇඳුමේ ඉදිරිපස පොකැට්ටුවට යවා එයින් ටිෂූ කොළයක් ගෙන "සෑර්, ටිෂූ, ටිෂූ" කියමින් මා වෙතට දිගු කිරීමයි.

මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි.

ඒ මක්නිසා ද යත් මේ අප කතා කරන්නේ, දවසට කිහිප වරක් විෂබීජ නාශක දියර යොදා අත සෝදන, මුව ආවරණ පළඳින, හැකි තාක් අතේ දුරින් සිටින කෝවිඩ් සමයේ දී, නිරාවරණය වූ දෑතින් කොස්සක් රැගෙන පොළොව මදිමින් සිටින අයෙකු එම අතින් ම තමන්ගේ කිලිටි නිල ඇඳුමේ සාක්කුවක දෙකට නවා සඟවා ගෙන සිටි ටිෂූ කොළයක්, තත්පර කිහිපයකට පෙර සබන් යොදා අත සේදූ අයෙකුගේ අත පිස දැමීමට ලබා දීම ගැන වීමයි.

විශේෂයෙන්ම රාත්‍රී ගුවන් ගමන්වල දී ගුවන් යානය තුළ දැනෙන අධික ශීතල නිසා මා සාමාන්‍යයෙන් ගුවන් ගමන් සඳහා කබායකින් සැරසෙමි. මේ සේවකයා මා ඇමතූ ආකාරයට ඔහු සමහර විට (ඉන්දියානු වැනි) විදේශීය සංචාරකයෙකු යැයි මට රැවටී ඇති බවට සැකයක් මට ඇතිවුණි. කොහොමටත් මෙවැනි අයෙකු ශත දහයක ටිෂූ එකක් දී රුපියල් සීයක පමණ ටිප් එකක් ලබා ගන්නට උත්සාහයක් දරන්නේ විදේශීය සංචාරකයින්ගෙන් බව සැකයක් නැත.

එනිසා මා කළේ ඒ සැකයේ වාසිය ලබාගෙන, කටට සුද්ද සිංහල වචන කීපය පිට නොකර "නෝ, නෝ" වැනි ශබ්දයක් නගමින් මේ පුද්ගලයාට රවා බලා එතනින් පිටත් වීමයි.

ඔහුට පිටුපා ගමන් කරන මගේ මුහුණට කෝපය මැද්දේ සිනහවක් ද නැගුණි.

ඒ, අපේක්ෂා භංගත්වයට පත් වූ වැසිකිළි අයිතිකරුවා පෙර කී ටිෂූ කොළය තම සාක්කුව තුළට යළිත් ඔබා ගනිමින් ගී පදයක් මුමුණන්නට පටන් ගත් නිසා ය.

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"

-රසික සූරියආරච්චි

Friday, 5 May 2023

ප්‍රීති නූඩ්ල්ස් - One of my favourite instant noodle dishes



අන්තිම කොටුව
අටවෙනි කොටුවනමවෙනි කොටුව
පස්වෙනි කොටුවහයවෙනි කොටුවහත්වෙනි කොටුව
පළමුවෙනි කොටුවදෙවෙනි කොටුවතුන්වෙනි කොටුවසිව්වෙනි කොටුව

පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය
මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය

දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම
පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම

තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ
තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ

සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න
ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න

වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා
හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා

හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි
අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි

නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද
හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද

විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න
නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න

ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි
අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි!

- රසික සූරියආරච්චි

Friday, 17 February 2023

එක සුනඛයෙකු හොඳටෝම සෑහේ! - One dog is more than sufficient!



දිනය 2012 දෙසැම්බර් මස හත්වෙනි සිකුරාදා ය.

ඔෆීසියේ පුටුවක් රත්කරමින්, වාර්තා, ඊ-මේල් සහ සංඛ්‍යා ලේඛන අතර හිරවී සිටින මගේ ජංගම දුරඛතනයට ඇමතුමක් ලැබුණි. ඒ මගේ අම්මාගෙනි.

"පුතේ කලබල වෙන්න එපා. ඊයේ සමන්ත මෝටර් සයිකලෙන් වැටිලා. ඉස්පිරිතාලෙ ලු!"

"ආ! කවුද කිව්වේ?"

"රුවන්තිකා කෝල් කරලා කිව්වා."

"ඉතිං හුඟක් තුවාලයි ලු ද?"

"දණහිස ළඟ තුවාලයි, ඒත් අමාරුවක් නෑ කියලයි රුවන්තිකා කිව්වේ. මං සමන්තගේ මොබයිල් එකට කෝල් කරන්න බැලුවා. ගන්නම බෑ. ඔයාත් ට්‍රයි කරලා බලන්න."

සමන්ත යනු මගේ බාල සොහොයුරා ය. රුවන්තිකා යනු ඔහුගේ බිරිඳයි.

"ඉස්පිරිතාලේ හින්දා මොබයිල් එක ඕෆ් කරලා ඇති. මං කෝල් කරලා බලන්නම්."

මම වහා මල්ලීගේ ජංගම දුරකතනයට ඇමතුම් කළෙමි. දෙතුන් විටක් උත්සාහ කළ පසු ඔහු හා කතා කිරීමට හැකිවිය.

"ආ, අයියේ?" ඔහුගේ කට හඬ ඇසෙයි.

"තමුසේ මොකක්ද මේ කරගත්තේ?"

"බයිසිකලෙන් වැටුණ ඕයි! දණහිස තුවාල වෙලයි තියෙන්නේ. තුවාලේ නං ලොකු නෑ. නමුත් ලිගමන්ට් ඉරිලා හින්දා රිදෙනවා, ඇවිදින්න බෑ."

"මොකක්ද වුණේ?"

"ඊයේ හවස මෝට සයිකලයේ යනකොට ඉස්සරහට බල්ලෙක් පැන්නා ඕයි. මං වැටුණා!"

සයිකලේ ඩැමේජ් දැයි මම නොඅසමි. එය මෙවෙලේ එතරම් වැදගත් කරුණක් නොවේ.

මගේ සිත අතීතයට ඇදී යයි.

උසස් පෙළ අවසානයේ එළැඹුණ ගන්ධබ්බ සමයේ දී මම මගේ අංකල් කෙනෙකුගේ හොණ්ඩා 125 මෝටර් සයිකලය පදවන්නට ඉගෙන ගතිමි. ඒ එක් දිනක රත්වුණු සයිලන්සරයට මගේ කකුල පිළිස්සුණු බවද මට මතක ය.

ඉන්පසු මා මෝටර් සයිකලයක් පදවා ඇත්තේ එකෝම එක වරකි. ඒ මා විශ්ව විද්‍යාලයෙන් පිටවී වසර පහකට පමණ පසු දිනයක අරවින්දන් අපේ නිවසට පැමිණි දිනයක දී ය.

මා කිසිදිනක මුදල් එකතු කරගෙන මෝටර් සයිකලයක් ගන්නට පෙරුම් නොපිරුවෙමි. සමහර රෝහල් වාට්ටු ඒ දිනවල හැඳින්වූයේ හොණ්ඩා වාට්ටු යනුවෙන් යැයි මම අසා තිබුණෙමි.

මා අවසානයේ ගත්තේ කාර් එකකි.

රැකියාවට ගොස් ටික කලකින්ම මෝටර් සයිකලයක් ගත් සමන්ත මල්ලී නම් අද පවා දරු පවුල නැතිව කෙටි ගමන් බිමන් යද්දී තවමත් එය භාවිතා කරයි.

මෝටර් සයිකලයක් යනු රෝද දෙකකින් පමණක් පොළෙව මත රුඳෙන අසමතුලිත වාහනයකි. එය සමතුලිත කරගෙන පැදවීමට මනා සංයමයක් සහ පළපුරුද්දක් අවශ්‍ය වේ.

රෝද හතරක් මත දිවෙන සමතුලිත වාහනයක් වන මෝටර් රථයක් වුවද අප කොයි තරම් සංයමයකින් යුතුව, මාර්ග නීති ගරු කරමින් ධාවනය කළද, එක් අනුවණයෙකු ගේ වැරදි ක්‍රියාවකින් ඒ සියල්ල නිෂ්ඵල විය හැකි බව මම පසුගිය දිනයක කතන්දරයකින් පැවසූවෙමි.

ඉදින් මෝටර් සයිකලයක් ගැන කවර කතාද?

මල්ලීට සිදුවුණු මේ අකරතැබ්බයෙන් අපට වැටහෙන පරිදි, මෝටර් සයිකලයක් අසමතුලිත කර, එය පදවන්නා පොළොව මතට හෙළා, ඔහුගේ කකුලක් කඩා දැමීමට අවශ්‍ය වන්නේ එකම එක සුනඛයෙකු පමණකි!

මෙය මෝටර් සයිකල් සඳහා පමණක් නොව තාත්වික සහ අතත්‍ය ලෝකවල බොහෝ අවස්ථාවලට පොදු වූ සාධකයකි.

-රසික සූරියආරච්චි

ප/ලි:
රෝහලේ දින දෙකක් ගත කළ මල්ලී පසුව නිවසට පැමිණියේ ය. වම් කකුලේ වැඩි හරියක් වසා විහිදුණු ප්ලාස්ටරයක් බහා ලූ කකුලද සමග ඔහු ඇඳ මත සිටිනු දැක මට ඇති වුණේ කනගාටුවකි. ඔහුට මේ ලෙස පුරා මාස දෙකක්ම සිටින්නට සිදු විය. කකුල නැවතත් 100% යථා තත්වයට පැමිණියේ යැයි නොසිතමි.

බල්ලෙකු ගේ බලය!

ප/ප/ලි:
කලින් ලියා පළ කළ කතාවකි. අයිතිකරුවන් නැති, පාරේ රස්තියාදුවෙන බල්ලන්ට කෑම දෙන පිරිසක් ගැන මේ දිනවල (පෙබරවාරි 2023) ෆේස්බුක් එකේ ඇති සංවාද දැක සිහි වී නැවත පළ කරන්නට යෙදුණි.

(Image by Ralph from Pixabay)

Friday, 6 January 2023

ලබ්බ, දත, දතේ පන්සල සහ වෙනත් කතා - Here comes one of the "other stories" first


මෙන්න ඒ වෙනත් කතාවක්. මේ කතාව මා කලකට පෙර ලියා පළ කළ රජ කාලේ කතන්දරයක් පිළිබඳ කතාවකි.

වෙනත් කතාවට තුඩු දුන් රජ කාලේ කතන්දරය මෙලෙස විය.
දුටුගැමුණු තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං පොර ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ. ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් පොර ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2,300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් පොර ගැනම විතරක් නෙමේ. කැලණිතිස්සල, ගෝටයිම්බරලත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවට ම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලියකාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇති වුණු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුන නේ.

තමන්ගෙ තාත්ත එළාරට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊළඟට, ඌව වෙල්ලස්සයි, මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුණෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කළා. අපේ ලව් සික්කාරයෝ සාලිය වීරයෙකු විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල.

කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුණෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුණ නෙ, අද වගේ යැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුණෙ, අයි ඩෝන්ට් නෝ වයි!

මේ කතාව පළ කළ පසු එය කියවූ බහුතරයක් දෙනා මා ලියූ දේ රස විඳි බව පෙනුණි. නමුත් මා බලාපොරොත්තු නොවූ පරිදි, කිහිප දෙනෙකු කිපුණහ. ඒ කිපී තිබුණේ මා දුටුගැමුණු නම් රජාට පොර කියා ලියා තිබුණු නිසා බව පෙනුණි. සාලියට සත්‍ය ප්‍රේම භෘංග රාජයා කීවාට නම් කිපෙන්නට හේතුවක් නැත.

ඉන් තිදෙනෙකුගේ ප්‍රතිචාර මෙලෙස විය.

......අපේ ඉතිහාසෙ ලියවිලා තියෙන ලංකාවෙ ශ්‍රේෂ්ඨ පාලකයන්ව දෙකේ කොලේට නොවැටෙන ආකාරයට ඔය කතන්දර කියන්න..... 00තමුං දන්නව ඇත්තටම දුටුගැමුණු රජතුමා මොනතරං ශ්‍රේෂ්ඨද කියල......

වැදගත් චරිතවලට අපහාස වෙන විදිහේ කතා ලියන්න එපා. ඒක හොඳ නෑ. දුටුගැමුණු කියන්නේ කවුද කියලා හොඳට දන්නවානේ නේ.

යමෙක් සීහල උත්තම රජවරුන්ට අපහාස කරයි නම් එය මහා නිවට මෝඩ ක්‍රියාවකි. එබැවින් යමක් ලියන්නට පෙර හොඳ හැටි සොයා බලන්න.

ඒ ළපටි කතා ගැන මට ඇතිවුණේ පුදුමයකි. ඒ සමගම දුකකි.

මට මුලින් ම ආ අදහස නම්, "ඇයි, දුටුගැමුණු පොරක් නොවේ ද?" යන්නයි.

ඉන් පසු මා ලියා එක් කළ පහත වාක්‍ය කිහිපය ඔවුන් සැමටම පොදු පිළිතුරක් ලෙස සැලකිය හැක.

ඉතිහාසය කියා ඔබ මා දන්නේ ද අපට කියා ඇති කතන්දර මිස අන් කිසිවක් නොවේ. ඔබ ඒ කතන්දර මත අනවශ්‍ය බැඳීමක් ගොඩ නගා ගෙන ඇති බව පෙනේ. මෙය කුඩා කල අප කාටත් පොදු දෙයකි. කෙසේ වෙතත් ඔබ හා ඔබ වැනි ළමයින් තරහ කර ගැනීම මගේ අරමුණ නොවේ.

ඒ සිදුවීම වූයේ මීට වසර දහතුනකට පෙර කලක ය.

අද කාලයට පැමිණිය හොත්, දුටුගැමුණුලා ගැන ලියවුණු කතන්දරයක් ගැන ඒ තරමට වද වෙන අයඑදා අටවෙනි මහින්ද සමයේ සිටියා නම්, දතේ පන්සල (temple of the tooth) සහ දත (tooth) ගැන කතා කරන විට අද මේ මානවම්ම සමයේ අපේ අයියලාට ඌරු ජුවල් නැගීම පුදුමයක් ද?

දතේ පන්සල ගැන කතාව ඊළඟ රසිකොලොජි බ්ලොග් සටහනෙන් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image by Jason Goh from Pixabay)

Tuesday, 3 January 2023

ගිය වසරේ (2022) මගේ "ඇවිදින අපලේ" - Journeys in 2022


ගිය වසර (2022) මට "ඇවිදින අපලයක්" ම විය.

ඒ කියන්නේ ගෙවුණු 2022 තරම් මට විවිධ නගර ගම්දනව් කරා යන්නට සිදු වූ වෙනත් වසරක් නොමැති බවයි.

වසර ඇරඹුණේ ම, ජනවාරි මස පළමුවෙනිදා, අප සිව්දෙනා කෝවිඩ් සැදී නිරෝධායනයේ එතෙක් සිටි තැස්මේනියාවේ ලොන්සෙස්ටන් නගරයෙන් පිටත්ව මෙල්බර්න් හරහා නිවසට පැමිණීමෙනි.
https://rasikalogy.blogspot.com/2022/01/last-scroll-of-my-omicron-diary.html

ජනවාරි 22-25 දක්වා නිවසින් කිලෝමීටර් 150 පමණ දුරකින් පිහිටි බෙරී නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02HArzEuF868RMurSgXCYmTXME93ukc9EhL9cUZRr1GZ66qagMXaWncqFg7qEpNn77l

මාර්තු මාසයේ 6/7 සති අන්තයේ කැන්බරා නුවර ගත කළෙමු. අප දෙදෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.
https://rasikalogy.blogspot.com/2022/03/ask-me-or-not-ask-me.html

අප්‍රියෙල් මාසයේ 5-21 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ ශල්‍යකර්මයක් සඳහා ය.
https://rasikalogy.blogspot.com/2022/04/once-in-lifetime-opportunity-to-change.html

මැයි මාසයේ 7/8 සති අන්තය නිවසෙන් නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි මේට්ලන්ඩ් නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. අප සිව්දෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.

ජූනි මාසයේ 4-11 දක්වා අප දෙදෙනා සහ පුතාගේ කාලය ගෙවුණේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ්කෝස්ට් නගරයේ ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02jrv6vxFZZtG3iREWPWLk4AEdbzXb7SxTY4wR1LpyHStN92jef7oR7f2iHHbzhnHVl

ජූලි මසයේ 7-10 දක්වා ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් නුවර ගත කෙළෙමු. අප දෙදෙනා ගිය ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02a2cxVPPMnJpQm8ML8eDEj9s3yyGofMHc2RsrHKX5h6eeDt36gxXNMGTT8TVD7RC8l

ජූලි මාසයෙ 16/17 දින නිවසින් කිලෝමීටර් 60 පමණ දුරකින් පිහිටි කටූම්බා නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02vgDeKqovHQ9F49knr1CM8Yt5HHWiHtF6RCoU1PtbxnkgArH5pFXdzsUoFby6gY4Ql

අගෝස්තු මාසයේ 19-22 දින කිහිපය මෙල්බර්න් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02e92Wb3cUFgKUBEPu7T1d3P6M1yuMEELM1aTxLZM1mmJhyXVcjo2mcPVSH9BYqGM3l

සැප්තැම්බර් 9-11 දින නිවසින් කිලෝමීටර් 400 පමණ දුරකින් පිහිටි කූමා නම් නගරයේ සංචාරයක යෙදුනෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

සැප්තැම්බර් මාසයේ 14-27 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ උපන් දිනය සඳහා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0p2vhG41CRemWzzVhbuwmdvKbwuRzqwhz1BF7C59PQdv6uiNeqvR3XkorVfvWw4cfl

ඔක්තෝබර් 1-9 කාලය බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් සහ බන්බරි ප්‍රදේශයේ සංචාරය කළෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

ඔක්තෝබර් 13-19 කාලය මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ උලුරු ප්‍රදේශයේ සංචාරය කළෙමි. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0LaeHQPcEe19Jy4SUpi2FqRwWS9bHSV7XqPyPqXPYQPJKH1ftcH5PkJodqXHLqRtdl

https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02zWniUsxcJHprFagyDR9MEpmjx47z2tmeYA3B8J4xQhoYYEdZdztvNZ6W8fBrhMrDl

ඔක්තෝබරයේ 27-29 අප දෙදෙනා ගත කළේ දින නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි හන්ටර් වැලි ප්‍රදේශයේ ය. මගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Byt2ha6QwBWaWCvTJCg2oo25yv5kwd8x6LVN3v1Wa1UCY8KKoifeJyEXCpfnR7nzl

නොවැම්බරයේ 3-9 කාලයේ ෆීජී රටේ නන්ඩි නුවර විවේකය ගත්තෙමු. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Hn91npZbE2cY1ocdjRNkjQ8MNXLWETbZfnxvsgeNNg649mwevQVNWCpsRccUxyuml

නොවැම්බරයේ 11/13 කාලය ගතවුණේ නිවසින් කිලෝමීටර් 175 පමණ දුර කොරොබොලොන්ග් ගම්මානයේ ය. පේරාදෙණිය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ වාර්ෂික සුහද සාදයයි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0bhMMJ8DkDvR68DN8MrGD7dzVYqYKmAkcHnMSTuxuqeF62msuyFpFKuFzw4W4hVel

නොවැම්බරයේ 19/20 සති අන්තය කැන්බරා නුවර ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02axTiDJUFU926MNq98fvxb8oayxAHkKz7DNLCoPSATLGFaC6t8ZmJK4CntBRoVa2tl

නොවැම්බරයේ 26 වෙනි දින හදිසියේ ලංකාව බලා ඒමට සිදුවිය. ඒ අම්මාගේ අභාවය නිසා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02Fr65ZfJfHXSzyEJEGHZgaGMzwiQMSiQFu5iDEPcxZ3Uw5qZjX4tAzfo4Ks6GdXpsl

ඒ කටයුතු අවසානයේ දෙසැම්බර් 11 දින ලංකාවෙන් පිටත් වී 13 දා නිවසට පැමිණියෙමි. පැය දාහතක් පමණ මැලේෂියාවේ ගුවන් තොටුපළේ ද, අසල හෝටලයක ද රැඳෙන්නට සිදුවිය.
https://www.facebook.com/photo?fbid=10160757260913793&set=a.10150097068108793

එදින සිට වසර අවසානය තෙක් දැහැමෙන් සෙමෙන් නිවසේ ගත කළෙමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
නව වසරේ ගමන් ඇරඹෙන්නේ මේ සති අන්තයේ මෙල්බර්න් බලා මෝටර් රථයෙන් යන ගමනකිනි. සතියක් පමණ මෙම ගමන සඳහා ගත කිරීමට අදහස් කරමු.