Wednesday 10 May 2023

රත්මලානේ සිට පලාලි දක්වා ගුවනින් ගිය ගමනක් - ‍My first flight


මේ සටහන මගේ පළමුවෙනි ගුවන් ගමන ගැනයි.

පාසල් ගුරුවරයකු වූ මගේ පියාට රජයේ සේවකයින්ට හිමි වන දුම්රිය ගමන් බලපත්‍ර වරප්‍රසාදය හෙවත් රේල්වේ වොරන්ට්ස් තිබුණු අතර ඒවා උපයෝගී කරගෙන අප අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතර යන දුම්රිය ස්ථාන පිහිටි ප්‍රදේශ කරා චාරිකා කර ඇත්තෙමු.

එවැනි රේල්වේ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කරගෙන එවකට පැවති එව Air Ceylon ගුවන් සේවයේ යානයකින් අපට යාපනය (පලාලි) බලා යාමට හැකි වූ අතර ඒ ගමනේ දී තාත්තා හා ගුරු සේවයේ යෙදෙනු මිතුරන් දෙදෙනකුගේ දරු පවුල් ද අපේ කණ්ඩායමට ඇතුළත් වූහ.

මෙම අභ්‍යන්තර ගුවන් ගමන රත්මලාන ගුවන් තොටුපළෙන් ඇරඹෙන්නේ උදෑසන හතටත් පෙර නිසා, අප එවකට පදිංචිව සිටි ගනේමුල්ල ප්‍රදේශයේ සිට එදින උදෑසනින් එහි යාම අසීරු කරුණක් විය. හොඳ වෙලාවට අපේ එක් පුංචි අම්මා සහ බාප්පා යුවලක් ඒ දිනවල රත්මලානේ පදිංචිව සිටියහ. එනිසා අප කළේ ඊට පෙර දින එහි ගොස් රාත්‍රිය ගතකර පසුව දා උදෑසන ම අවදිව ලකලැහැස්ති වී ගුවන්තොටුපළ කරා යාමයි.

ගුවන් ගමන පිළිබඳව වැඩි විස්තරයක් මගේ මතකයේ නැත. තමන්ගේ ආසන අංකය වූයේ A1 බවත්, කවුළුවෙන් බලද්දි තමන් පුත්තලම සහ මන්නාරම් ප්‍රදේශය සිතියමේ හැඩයට ම දිස්වෙන ආකාරය දුටු බවත්, අම්මා සහ බාල මල්ලී අසුන්ගෙන සිටියේ ගුවන් යානයේ තටුව කෙළින් ම ඇති ආසනවල නිසා ඔවුනට ඒ කිසිදු දර්ශනයක් නොලැබුණු බවත්, ලොකු මල්ලී පවසයි.

මේ සමග අමුණා ඇත්තේ මල්ලී විසින් ඉතා දිගු කාලයක් සුරැකිව තබාගෙන තිබුණු ඒ ගමනේ ටිකට් පත සහ බෝඩිං කාඩ් එකයි.

මගේ මතකයේ රැඳී ඇති එකම සිදුවීම නම් ගුවන් සේවිකාව විසින් බන්දේසියක තබා ඩෙල්ටා ටොෆි අපට පිරිනැමූ බවයි. පැයක් පමණ ගත වූ ඒ කෙටි ගුවන් ගමනේදී බොහෝ විට වෙනත් ආහාරයක් අපට නොලැබෙන්නට ඇත.

පලාලි ගුවන් තොටුපළෙන් ගොඩ බට අප කණ්ඩායම ගුවන් හමුදා ලොරියක් එක නැගී පන්සලක් කරා ගොස් එහි බණ මඩුවේ රාත්‍රී දෙකක් ගත කළෙමු. බස් රථයක නැගී නාගදීපය වැනි ස්ථානයකට ගිය බව ද මතකයේ ඇත.

මල්ලීගේ මතකයට අනුව, අප ඒ දෙදින නැවතී ඇත්තේ පාසලක ය. නමුත් මේ ගමන අප ගොස් ඇත්තේ ජනවාරියක නිසා, එය ද සැක සහිත ය. අප නවාතැන් ගත් ස්ථානයේ පිටුපසින් මුහුද හෝ කලපුවක් පිහිටා තිබුණු බවත්, එය කිසිදු රළ නැගීමක් නැති සන්සුන් මුහුදක් බවත්, වෙරළේ කුඩා ගල් සහ සිප්පි තිබුණු බවත් මගේ මතකයයි. කන්කසන්තුරේ තිස්ස නම් විහාරය (දැන් නම්) පිහිටා ඇත්තේ මුහුදක් හෝ කලපුවක් ආසන්නයේ නොවේ. මෙය යාපනයේ සංචාරයක් ලෙස හැඳින්වුව ද ඇත්තට ම අප යාපනය දුටුවේ රාත්‍රී තැපැල් දුම්රියේ ගොඩ වී ආපසු ගනේමුල්ල බලා එන අතර එය යාපනය දුම්රිය ස්ථානයේ නැවැත්වූ විට දුම්රියේ කවුළු තුළින් පමණි.

ටිකට් පත:
බෝඩින් පාස් එක:
බෝඩින් පාස් එකේ අනිත් පස:

Tuesday 9 May 2023

කටුනායක ගුවතොටුපළේ වැසිකිලියක කතාවක් - When do we learn?


මේ විස්තර කරන්නට යන අත්දැකීම මා ලැබුවේ පසුගිය වසරේ එනම් 2022 අප්‍රේල් මාසයේ දී ය.

කෝවිඩ් වසංගතය නිසා සෑම රටකම පාහේ පනවන ලද විවිධ ගමනාගමන තහංචි නිසා ඉන්ටර්නෙට් එක හරහා පමණක් මවගේ දුක සැප සොයා බලමින් සිටි මම එවර ලංකාවට පැමිණියේ හරියටම අවුරුදු දෙකයි මාස හයකට පසුව ය.

එක එල්ලේ පැය 18 ක පමණ කාලයක්, (නිවසේ සිට ගුවන්තොටුපලට යෑමට ගතවූ කාලය, ගුවන්තොටුපොළේ ගත කළ කාලය, ගුවන් ගමන සඳහා ගත වූ කාලය සහ කටුනායක සිට නිවසට කුලී රථයෙන් යාමට ගත වූ කාලය) මුව ආවරණයක් පැළඳ සිටීමේ බරපතල අත්දැකීම ද මම එදින ලැබූවෙමි.

එයින් සති දෙකකට පමණ පසු මම ආපසු නිවෙස කරා යාමට කටුනායක ගුවන්තොටුපලට පැමිණියෙමි. ගුවන් සමාගමේ "චෙකින්" කවුන්ටරයේ වැඩ කටයුතු නිමවා අත්මල්ල ද රැගෙන ඊළඟට නියමිත ආගමන විගමන කවුන්ටරය වෙත යන අතරතුර මම පහළ තට්ටුවේ ම තිබෙන වැසිකිළිය වෙත පිය නැගුවෙමි.

ලංකාවේ ගුවන්තොටුපලේ වැසිකිළිවල ඇති සුවිශේෂී ලක්ෂණයක් නම් ඒ හැම එකකටම එක් කම්කරුවෙකු බැගින් අනුයුක්ත කර සිටීමයි. වැඩිපුර සෙනග නොගැවසෙන සිල්ලර කඩ පේළිය කඩ කාමර ඉදිරිපිට එහි අයිතිකරුවන් පාරිභෝගිකයින් එනතුරු බලා සිටින පරිදි වැසිකිළියේ දොර ඉදිරිපිටට වී මුත්‍රා බර හෝ කක්කා බර සැදුණු අයෙකු එහි පැමිණෙන තුරු බලා සිටීම ඔවුන්ගේ සිරිත වේ.

යමෙකු පැමිණි වහාම ඔවුන් කරන්නේ ඒ පුද්ගලයා පිටුපසින් වැසිකිළි ප්‍රදේශය ඇතුළට පැමිණ එක්කෝ පොළොව මොප් කිරීම වැනි වැඩක් කිරීමයි එසේ නොමැති නම් එවැනි වැඩක් කරන බව පෙන්වීමයි.

එදා මා පිවිසුණු ඒ වැසිකිළියේ දොරකඩ සිටි සනිපාරක්ෂක කම්කරුවා ද පෙර කී තිර රචනය අනුවම හැසිරෙමින් මා පිටුපසින් ඇතුළට පැමිණ කොස්සක් වැනි උපකරණයක් රැගෙන පොළොව පිරිමදින්නට පටන් ගත්තේ ය.

මගේ කර්තව්‍යය නිමවූ පසු මා කළේ සුපුරුදු පරිදි දෑත සෝදා ගෙන එය වියළා ගැනීම සඳහා වැසිකිළියේ සවිකර තිබෙන උපකරණය වෙත යෑමයි.

එවිටම මා ඉදිරියේ ප්‍රාදුර්භූත වූ වැසිකිළි කඩේ අයිතිකරුවා කළේ තමන්ගේ අතක් නිල ඇඳුමේ ඉදිරිපස පොකැට්ටුවට යවා එයින් ටිෂූ කොළයක් ගෙන "සෑර්, ටිෂූ, ටිෂූ" කියමින් මා වෙතට දිගු කිරීමයි.

මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි.

ඒ මක්නිසා ද යත් මේ අප කතා කරන්නේ, දවසට කිහිප වරක් විෂබීජ නාශක දියර යොදා අත සෝදන, මුව ආවරණ පළඳින, හැකි තාක් අතේ දුරින් සිටින කෝවිඩ් සමයේ දී, නිරාවරණය වූ දෑතින් කොස්සක් රැගෙන පොළොව මදිමින් සිටින අයෙකු එම අතින් ම තමන්ගේ කිලිටි නිල ඇඳුමේ සාක්කුවක දෙකට නවා සඟවා ගෙන සිටි ටිෂූ කොළයක්, තත්පර කිහිපයකට පෙර සබන් යොදා අත සේදූ අයෙකුගේ අත පිස දැමීමට ලබා දීම ගැන වීමයි.

විශේෂයෙන්ම රාත්‍රී ගුවන් ගමන්වල දී ගුවන් යානය තුළ දැනෙන අධික ශීතල නිසා මා සාමාන්‍යයෙන් ගුවන් ගමන් සඳහා කබායකින් සැරසෙමි. මේ සේවකයා මා ඇමතූ ආකාරයට ඔහු සමහර විට (ඉන්දියානු වැනි) විදේශීය සංචාරකයෙකු යැයි මට රැවටී ඇති බවට සැකයක් මට ඇතිවුණි. කොහොමටත් මෙවැනි අයෙකු ශත දහයක ටිෂූ එකක් දී රුපියල් සීයක පමණ ටිප් එකක් ලබා ගන්නට උත්සාහයක් දරන්නේ විදේශීය සංචාරකයින්ගෙන් බව සැකයක් නැත.

එනිසා මා කළේ ඒ සැකයේ වාසිය ලබාගෙන, කටට සුද්ද සිංහල වචන කීපය පිට නොකර "නෝ, නෝ" වැනි ශබ්දයක් නගමින් මේ පුද්ගලයාට රවා බලා එතනින් පිටත් වීමයි.

ඔහුට පිටුපා ගමන් කරන මගේ මුහුණට කෝපය මැද්දේ සිනහවක් ද නැගුණි.

ඒ, අපේක්ෂා භංගත්වයට පත් වූ වැසිකිළි අයිතිකරුවා පෙර කී ටිෂූ කොළය තම සාක්කුව තුළට යළිත් ඔබා ගනිමින් ගී පදයක් මුමුණන්නට පටන් ගත් නිසා ය.

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"

-රසික සූරියආරච්චි

Friday 5 May 2023

ප්‍රීති නූඩ්ල්ස් - One of my favourite instant noodle dishes



අන්තිම කොටුව
අටවෙනි කොටුවනමවෙනි කොටුව
පස්වෙනි කොටුවහයවෙනි කොටුවහත්වෙනි කොටුව
පළමුවෙනි කොටුවදෙවෙනි කොටුවතුන්වෙනි කොටුවසිව්වෙනි කොටුව

පළවෙනි කොටුවෙන් පේන්නේ මා ප්‍රිය නූඩල් ජාතිය
මිරිස් රසට බිත්තරයක් සමගින් කෑමයි ප්‍රීතිය

දෙවෙනි කොටුවෙ මා කරන්නේ නූඩල් පොඩියට කැඩීම
පැකට් එකේ ඇතුලේදිම හරි පහසුයි එය කිරීම

තායි රසය ගෙන එන පොඩි පැකට් ජාති තුනක් ඇතේ
තුන්වෙනි, සිව්වෙනි කොටුවල ඒ තතු විස්තර කෙරෙතේ

සාස්පාන ලිපේ තියා වතුර ටිකක් රත් කරන්න
ඒ ගැන නොම දන්නා අය පස්වෙනි කොටුවෙන් බලන්න

වතුර නට නටා එන කොට නූඩල් ටික එයට දමා
හයවෙනි කොටුවේ විදියට තම්බා ගත්තොත් කදිමා

හත්වෙනි කොටුවේ පෙනෙන්නේ එතකු කරපු බිත්තරයයි
අටවෙනි කොටුවේ විදියට කවලම් කරගත යුතුමයි

නමවෙනි කොටුවෙන් පෙනෙන්නේ රසකාරක යොදපු හොද්ද
හොඳ හැටි කවලම් නොකලොත් එතන වෙන්නේ වස වැරැද්ද

විනාඩි දෙක ගත වුණු පසු දිසියකට දමා ගන්න
නිවිල අවුල් වෙන්න කලින් උණු උණුවෙම රස විඳින්න

ක්‍ෂණිකව නූඩල් හදනා තොරණේ විස්තර එහෙමයි
අසා සිටිය ඔබ සැමටම මහ රජ්ජුරුවන් සරණයි!

- රසික සූරියආරච්චි