Sunday 30 July 2017

ෆේස්බුකයියා - Who is he?


ලොකු දෙයක් නොවුණත්, ෆේස්බුකයියා යනු මා විසින් සයිබරාවකාශයට අද අලුතෙන් හඳුන්වා දෙන සිංහල වචනයකි. මේ ලියන මොහොත වන විට ෆේස්බුකයියා යන්න කිසිදු වෙබ් පිටුවක ඇතුළත්ව නොමැති බව ගූගල් දෙයියා පවසයි.



ෆේස්බුකයියා යන වචනය සෑදෙන්නේ ෆේස්බුක් සහ අයියා යන වචන ද්වය සන්ධි වීමෙන් බව සලකන්න. එනම්, ෆේස්බුක් + අයියා = ෆේස්බුකයියා.

මෙය සිංහල භාෂාවේ එන ස්වර සන්ධියකි.

සන්ධි යනු වචන ද්වයක් එකිනෙක ඇඳී, උච්චාරණය පහසු වෙනත් වචනයක් සෑදෙන ආකාරය විස්තර කෙරෙන පර්යාය පදයයි.

වචන ද්වයක් එකිනෙක සන්ධි විය හැකි ආකාර දහයක් පිළිබඳව සිංහල භාෂා පාඩම්ල දී ඉගැන්වේ. මා සඳහන් කළ ස්වර සන්ධිය යනු ඉන් එකකි.

ස්වර සන්ධිය යනු මුල් වචනයේ අවසානයේ ඇති ව්‍යංජනාක්‍ෂරය දෙවන වචනයේ මුලින් ඇති ස්වරය හා එක් වී වචන ද්වය එකිනෙක හා බැඳීම නොහොත් සන්ධි වීමයි.

එනම්,

ෆේස්බු + ක් + අ + යියා
ෆේස්බු + ක + යියා
ෆේස්බුකයියා

වීමයි.

සන්ධිවූ වෙනත් පද තුනක් ද මේ ලිපියේ මේ වාක්‍යයට පෙර මා භාවිතා කර ඇත. ඒවා නම්, සයිබරාවකාශය, එකිනෙක සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන ද්වයයි.

එයින් එකිනෙක යන වචනය සෑදී ඇත්තේ ද, එකින් සහ එක යන වචන ද්වය ස්වර සන්ධි වීමෙන් බව පෙනේ.

එනම්,

එකි + න් + එ + ක
එකි + නෙ + ක
එකිනෙක

වීමයි.

නමුත් සයිබරාවකාශය සහ ව්‍යංජනාක්‍ෂරය යන වචන සෑදෙන්නේ තරමක වෙනස් ආකාරයකින් බව පෙනේ.

එනම්,

සයිබ + ර් + අ + වකාශය
සයිබ + ර + ආ + වකාශය
සයිබරාවකාශය.

එසේම,

ව්‍යංජන + අක්‍ෂරය
ව්‍යංජන + ආ + ක්‍ෂරය
ව්‍යංජනාක්‍ෂරය

මේ ආකරයේ සන්ධිවීම් හැඳින්වෙන්නේ ස්වරාදේශ සන්ධි වශයෙන් යැයි හඟිමි.

මීට අමතරව සිංහල භාෂාවේ, පූර්වස්වර ලෝප සන්ධිය, පරස්වර ලෝප සන්ධිය, ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය යනාදී වශයෙන් තවත් සන්ධි වර්ග අටක් ඇති බව කියවේ.

https://si.wikipedia.org/wiki/සිංහල_සන්ධි

එලෙස, විවිධාකාර සන්ධි තිබුණ ද, ඒ දක්වා ඇති ලයිස්තුවේ අපර ව්‍යංජන ලෝප සන්ධියක්, එනම්, එකිනෙක එක්වෙන පද දෙකෙන් පසු පදයේ ඇති ව්‍යංජනාක්‍ෂරය ලොප් වී යාමෙන් සෑදෙන සන්ධියක්, ගැන සඳහන් නොවේ.

උදාහරණයක් ලෙස රජය විසින් ෆේස්බුක් පිළිබඳව යම් පනතක් ගෙන ආවායි සිතමු. ෆේස්බුක් + පනත යන්න ෆේස්බුකනත යනුවෙන් ප යන්න ලොප් වී සන්ධි නොවේ!

එනිසා, ෆේස්බුකයියා යන වචනය නිර්මාණයේ දී ඒ ලොවෙත් නැති ව්‍යංජන ලෝප සන්ධියක්, ප-යන්නක් ලොප්වීමක් සිදු වී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ සටහන පළ වී ඔබ කියවන මොහොත වන විට ෆේස්බුකයියා යන අලුත් වචනය සයිබරාවකාශයට එකතු වී ඇත.

දැන් ඉතිං කවර නම් බාධාවක් ද?

මා දන්නා හඳුනන එක්තරා ෆේස්බුකයියෙකු සම්බන්ධ අපූරු සිදුවීමක් තවත් කල් නොඇර වහා අකුරු කර, ඊළඟ රසිකොලොජි සටහනෙන් ම ඉදිරිපත් කරන්නට අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න මේ වන විට ෆේස්බුකයියා යන වචනය පළ වී ඇති තැන්.
Google ෆේස්බුකයියා

ප/ප/ලි:
මේ දිනවල ලියවෙන්නේ ෆේස්බුක් පිළිබඳ සටහන් ය. මෙන්න පසුගිය දිනවල පළ වූ සටහන් කිහිපය.
1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


3. ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I
rasikalogy.blogspot.com/2017/07/facebook-blogging-and-i.html


(image: https://www.dailydot.com/news/montana-facebook-stalking-joshua-james-allen/)

Thursday 27 July 2017

ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I


ටෙලිවිෂනය සිනමා ශාලාවේ මාරයා වූයේ යම් සේ ද, ෆේස්බුක් අවකාශය වනාහී බ්ලොග් ලෝකයේ මාරයා බව අපට වැටහෙන්නට පටන් ගත්තේ මීට කලකට පෙර ය. ඒ, බ්ලොග් ලෝකයේ එකල වැඩ පෙන්නමින් සිටි කිහිප දෙනෙකු, මුලින් ෆේස්බුක් අවකාශයට පොඩ්ඩක් හොම්බ දමා, එය රස විඳ, තලුමරමින් රස විඳ, ඉන්පසු ක්‍රම-ක්‍රමයෙන් එයට ඇබ්බැහී වී, අවසානයේ බ්ලොග් ලෝකයට බූට් එක තබා ෆේස්බුක් අවකාශයේ බින්න බැසීම ඇරඹූ අවදියේ ය.

මේ සඳහා හොඳම උදාහරණය නම් "රියර්-ගේට්" නමින් බ්ලොගයක් ලියූ චාර්මි සෑම් ය.

ඒ කාලයේ මා ලියූ බ්ලොගයේ, මේ බ්ලොග්කරුවන් ෆේස්බුක් පැණි හැලියට වහ වැටී බ්ලොග් ලොවට පිටුපෑම සම්බන්ධව සටහනක් තැබූ බව ද, එකී බ්ලොග් සහෘදයින්ට නැවතත් බ්ලොග් ලෝකය පිළිබඳ සිතා බලන මෙන් එහි දී ඉල්ලීමක් කළ බව ද මගේ මතකයේ ඇත.

නමුත් චාර්මි සෑම්ලා ආපසු පැමිණියේ ම නැත.

මහ මාරයා පමණක් නොව දස බිම්බර මාර සෙනග සහ තණ්හා, රතී, රඟා ද පරදා ජයගත් අය මෙලොව සිට ඇතැයි පැවසෙන නමුදු, අප වැනි පෘථග්ජනයින් ඒ ලොකු හපන්කම් කළ හැකි ද?

අන් බොහෝ දෙනෙකු මෙන් ම, ඒ දිනවල සිට ම මා ඇරඹුවේ ද ෆේස්බුක් මාරයා සමග ගේම ඉල්ලීම නොව, උගෙන් වැඩ ගැනීමයි.

එනම්, ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය යි.

සිංහල නවකතා මිලට ගෙන කියවන පිරිස, නවකතා ලියන පිරිසට වඩා ඉතා විශාල නමුත්, සිංහල කවි පොතක් මිල දී ගන්නා පිරිස සංඛ්‍යාවෙන් නිරතුරු කවි ලියන පිරිසට වඩා ඉතා අඩු බව අප දනිමු.

සිංහල බ්ලොග් පිළිබඳව ද, මේ ආකාරයේ සංසන්දනයක් කළහොත්, සිංහල බ්ලොග් සටහනක් කියවන පිරිස, සාමාන්‍යයක් ලෙස, සිංහල බ්ලොග් ලියන පිරිසට වඩා වැඩි නමුත්, ඒ අති විශාල ලෙස නොවේ යැයි මම සිතමි.

නමුත්, ෆේස්බුක් පාවිච්චි කරන සිංහල දන්නා පිරිස පිළිබඳව සංඛ්‍යාත්මකව පැවසිය යුත්තේ ඔළු ගෙඩි මිලියන්වලිනි.

ඒ ඔළු ගෙඩි මිලියන් කිහිපයෙන් අංශු මාත්‍රයක ප්‍රතිශතයක් හෝ බ්ලොග් කියවීමට ගෙන්වා ගැනීමට ඇති නම්, එය සංඛ්‍යාවෙන් විශාල පාඨක පිරිසක් බව නිසැක ය.

රසිකොලොජි බ්ලොගය ආරම්භයේ සිට ම, මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ බ්ලොග් ලිපි සඳහා සම්බන්ධතා බෙදා හැරීමට පටන් ගත්තෙමි. බ්ලොග් ලිපි ගැන සම්බන්ධතා බෙදා හැරීමට ම වෙන් වූ ෆේස්බුක් කණ්ඩායම් ද රාශියක් ඇත. මම පුරුද්දක් ලෙස ඒ අවකාශයන් ද රසිකොලොජිය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරමි. ඒත් ඒ කණ්ඩායම්වල සිටින බහුතරයක් දෙනා ද බ්ලොග් ලියන්නන් ම නිසා, ඒ මහන්සියෙන් එතරම් ප්‍රතිඵලයක් ඇති ද යන්න සැක සහිත බව කිව යුතු ය.

බ්ලොග් ලිපිවලට පාර කියා දෙන සටහන් ෆේස්බුක්හි යෙදීමේ දී මා කරන්නේ අදාළ වෙබ් ලිපිනය කෙටි කර සාදා ගැනීමයි. මේ සදහා bitly වැනි සේවා කිහිපයක් ම ඇත. එවැන්නට ගිණුමක් සාදා ගැනීමෙන් පසු, අප බෙදා හරින සටහන ඔස්සේ කී දෙනෙකු බ්ලොගය පැමිණියේ ද යන්න සහ ඔවුන් ආවේ කවර රටේ සිට ද යන්න ද සොයා ගත හැක.

ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සෑහෙන්න සාර්ථක කටයුත්තක් යැයි යන්න මගේ ද අත්දැකීමයි. ඇත්තටම කියනවා නම්, මගේ බ්ලොගයට පිවිසෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක් දැන් එන්නේ ෆේස්බුක් හරහා ය.



එකම ප්‍රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවාට අමතරව, අප ද, ෆේස්බුක් පැණි හැලියට වැටීමට ඇති සම්භාවිතාව ද වැඩි වීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිට පිටම ෆේස්බුක් කචල් පිළිබඳව ලිපි දෙයක් ලියූ පසු නිරායාසයෙන් ලියවුණු සටහනකි මේ. මුල් ලිපි දෙක කියවීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


(image:http://blogs.sch.gr/tgiakoum/files/2011/02/blog-or-facebook.jpg)

Monday 24 July 2017

තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun


ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියකගෙන් මා බඩ පුරා කෑ ආකාරයත්, ප්‍රතිප්‍රහාරක් එල්ල කළ නොහැකි වූ හැටිත් පිළිබඳ කතාව මම මීට පෙර දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

අද මේ කියන්න යන්නේ ද, ෆෙස්බුක් කතාවකි. හැබැයි මෙය මට හෝ එක් පුද්ගලයෙකුට සිදු වූ දෙයක් නොව පොදුවේ ෆේස්බුක් කණ්ඩායම් තුළ දක්නට ලැබෙන තත්වයක සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව විස්තරයක් නොහොත් සමාජ ජාල පිළිබඳව එක්තරා ආකාරයක කේස් ස්ටඩියකි.

මගේ තවත් මිතුරන් දෙතුන් දෙනෙකු ද, මා ද එක්ව, අප සැම භූගෝලීයව අයත් ප්‍රදේශයේ, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත්තෙමු. අපේ කණ්ඩායමේ අරමුණ සහ එහි නම කෙසේ වුව ද, කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව ලියද්දී එහි සාමාජිකත්වය කිසි ලෙසකින් භූගෝලීයව හෝ වෙනත් කිසිදු ආකාරයකින් හෝ සීමා නොකිරීමට අප වගබලා ගත්තෙමු.

එසේ ම, කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීම හෝ සාමාජිකයින් විසින් පළ කරන දේ අනුමත කිරීම හෝ ඒ ආකාරයේ කිසිදු අයුතු බලයක් පරිපාලකයින් විසින් තමන් වෙත රඳවා තබා ගනු නොලැබුණි. ඕනෑ ම සාමාජිකයෙකුට තවත් පිරිස් එකතු කිරීමටත්, අවශ්‍ය දෙයක් පළ කිරීමටත් හැකි විය.

පරිපාලකයින් සතු එක ම බලය වූයේ කණ්ඩායමේ කාරක උපදෙස් මාලාවට අයත් නොවන දෙයක් සිදු වේ නම්, එයට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වීම පමණි.

භූගෝලය, ඉතිහාසය අතින් සමානකම් තිබුණ ද, විවිධ අදහස් ද, විවිධ චර්යාවන් ද, විවිධ අමනකම් ද ඇති පිරිසක් මෙලෙස එකට ගාල් කළ විට බලාපොරොත්තු විය යුතු පරිදි, මේ ෆේස්බුක් කණ්ඩායමේ ක්‍රියාකාරීව හැසිරෙන සුලු සාමාජිකයින් පිරිස අතර ද, කැපී පෙනෙන ලෙස උප කුලක දෙකක් ටික කලකින් ම ඇති විය.

ඉන් එක කොටසක් නම්, ලංකාවේ පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, රණවිරු ලේබලයෙන් හෝ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන පිරිස ය. ඒ පිරිස අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් ද සිටින බව පැහැදිලිව පෙනුණි.

මේ කණ්ඩායමේ පිරිස් නොවරදවා කරන කාර්යයක් වනුයේ, ලංකාවේ සිදු වූ දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියා පිළිබඳ යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථාවල දී වුදිතයින්ට රණවිරු හෝ සිවුරු හෝ ලේබලය අලවමින් ඒ ගැන හොටු පෙරීමයි. ඒ සමගම, වරින් වර ඔවුන් ගේ රජා පැරදීම පිළිබඳ ආඬපාලි නගමින් ඒ සම්බන්ධව අත්සනක් හෝ ගැසූ අයට දොස් නගමින් අන් අයට විනෝද සමය නොඅඩුව සැපයීමයි.

පසුව සඳහන් කිරීමේ පහසුව සඳහා අපි මේ කණ්ඩායම "කුජීත" ලෙස හඳුන්වමු.

දෙවෙන කොටස නම් පොදුවේ පෙර කී කුජීත උප කුලකයට අයත් නොවන සර්වත්‍ර කුලකයේ සියලු දෙනා ය. ඔවුන් අතරින් වැඩි දෙනෙකු නිෂ්ක්‍රීය නිරීක්‍ෂකයින් වූ අතර, සක්‍රීය දායකත්වය සපයමින් ෆේස්බුක් අවකාශයේ නිරතුරු සැරිසැරූ මා වැනි කිහිප දෙනෙක් ද වූහ.

කුජීත උප කුලකයේ සාමාජිකයින් විසින් කළ එක් කුජීත ක්‍රියාවක් වූයේ, තමන්ගේ විවිධ ඇජෙන්ඩාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස, තමන්ගේ මතවාදයට ගැලපෙන මතවාදයෙන් යුතු පිරිස් රොතු පිටින් කණ්ඩායමට බඳවා ගැනීමයි. විශේෂයෙන් මෙය සිදුවූයේ, කුජීත නොවන අයෙකු විසින් සමාජ දේශපාලන කරුණක් පිළිබඳව කුජීතයින්ට නොදිරවන දෙයක් පළ කළ විට ය.

මේ කතා වස්තුවේ කූටප්‍රාප්තිය මෙයයි.

මීට මාස කිහිපයකට කලින් මම මගේ දතක් පිළිබඳව සහ දත් නඩත්තුව පිළිබඳව විවාදාත්මක අදහසක් කණ්ඩායමේ පළ කළෙමි. එයින් කුපිත වූ කුජීත කණ්ඩායමේ අය, මට පෙනුණු ආකාරයට මට සටනක් දීමට සිතා, බුරුතු පිටින් නව සාමාජිකයින් බඳවා ගන්නට පටන් ගති.

මෙසේ කණ්ඩායමට එක් කරගත් පිරිස අතරේ වැඩි වශයෙන් ම වූයේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් බව පැහැදිලිව පෙනුණි.

එහි දී මේ නවක සාමාජිකයින් ඉන්නේ තූත්තුකුඩියේ ද, ටිම්බක්ටුවේ ද, ජිබ්රෝල්ටාවේ ද, අඩිස් අබාබාවේ ද යන්න ද, මේ අයට අපේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථවලට කවර නම් සම්මාදමක් කළ හැකි ද යන්න ද, කුජීතයින් විසින් නොසලකා හැර තිබුණි.

මෙය දුටු මා කියුවේ එක් වැකියක් පමණි. ඇත්තටම එය ප්‍රශ්නයකි. ප්‍රශ්නයක් වූවාට පිළිතුරක් අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි.

දස බිම්බර මාර සෙනග ද ඔය කැඳවන්නේ?

මා දේවදත්තලාට තියා, දස බිම්බර මාර සෙනගට ද බිය නැත්තෙකු බව ඔවුන්ට පසුව වැටහෙන්නට ඇත.

දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.

නමුත් අවාසනාවකට මෙන්, කුජීතයින් විසින් තූත්තුකුඩියෙන්, ටිම්බක්ටුවෙන්, ජිබ්රෝල්ටාවෙන්, අඩිස් අබාබාවෙන් බඳවා ගත් ඒ නවක සාමාජිකයින් අතර සිටියේ මාර ප්‍රත්‍රයින් පමණි.

මර දුවරු නොසිටිය හ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟට අපේ එක්තරා අයියෙකුට ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

(image: https://www.thoughtco.com/the-demon-mara-449981)

Thursday 20 July 2017

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators


"කෑවෙමි" කියා ව්‍යාකරණානුකූලව ලියා ඇත්තේ මේ කතාව මා ගැන, මා කෑ කෑමක් ගැන, නිසා ය.

නමුත් මෙය තත්‍ය ලෝකයේ දී කෑ අත්‍යවශ්‍ය කෑමක් නොව සයිබර් අවකාශයේ, සමාජ ජාලයක දී කෑ, අතත්‍ය අනවශ්‍ය කෑමකි.

එනිසා ම, භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳින්නට, අඬු-පඩු කඩා ගන්නට, හොම්බ-කට සමතලා කර ගන්නට, සිදු නොවුණි.

එසේ නමුත්, මා කවදත් "වලියට බර නැති" අයෙකු නිසා, තත්‍ය ලෝකයේ දී වුව කිසි දිනක භෞතික වශයෙන් කිසිදු ගැහැටක් විඳ, අඬු-පඩු කඩා ගෙන, හොම්බ-කට සමතලා කර ගෙන නොමැති බව ද කිව යුතු ය.

අතත්‍ය ලෝකය සම්බන්ධයෙන් මේ අත්දැකීම හරහා මා උගත් පාඩම නම්, වලියට බර වුවත්, වලියෙන් විසි වීමට ඉඩ ඇති බව ය.

කතාව කෙටියෙන් මෙසේ ය.

සිව් පද කවියට මගේ යම් කැමැත්තක් ඇත. දිනක් මා ෆේසක්බුක් හි සැරි සරන මොහොතක දුටුවේ නිතර සිව්පද කවි බඳින මගේ මිතුරෙකු, තමන් සාමාජිකයෙකු වන ෆෙස්බුක් කවි කණ්ඩායමක පළ කළ සිව් පද කවියක් තම ෆේස්බුක් කාල රේඛාවේ ද බෙදා හැර ඇති බවයි.

ඒ හරහා එකී ෆෙස්බුක් කවි කණ්ඩායමේ අවකාශයට ගිය මට පෙනුණේ එහි කෙරෙන කවි සංවාදයන්ට සහභාගීවීමට නම් මුලින් එහි සාමාජිකයෙකු විය යුතු බවයි.

ෆෙස්බුක් කණ්ඩායමක සාමාජිකයෙකු වීම යනු එක ක්ලික් කිරීමක මහන්සිය පමණක් නිසා මම වහාම ඒ කණ්ඩායමට එක් වීමට අයැදුම් කළෙමි. එය කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් අනුමත විය යුතු බවට ක්‍ෂණික පණිවිඩයක් එහි පළවුණි.

පසු දා උදෑසන මා දුටුවේ, මට ෆේස්බුක් හරහා ඒ කණ්ඩායමේ ඇඩ්මින්ගෙන් (ඇත්තටම මේ ඇඩ්මිනියකි!) පණිවිඩයක් ලැබී ඇති බවයි.

"ඔබේ ඉල්ලීම සලකා බැලීමට මා ඔබේ ෆෙස්බුක් අවකාශයට ගොස් බැලුවා, නමුත් කවි නම් දුටුවේ නෑ. ඔබ ඇත්තටම කවි ලියන්නෙකු ද? විස්තර දන්වන්න!" යනාදී වශයෙන් එහි පැවසී තිබුණි.

"මේ කොහේවත් තියෙන කණ්ඩායමකට බැදෙන්නට සී.වී. දාන්නේ ඇයි ද?" කියාත් මුලින් සිතුණු නමුත්, මා පසුව කළේ මා ලිවූ සිව්පද කවි පළ වී තිබුණු (රසිකොලොජිය, බූන්දි වෙබ් අඩවිය වැනි) විවිධ තැන් කිහිපයක විස්තර ඇයට යැවීම යි.

ඇය ඒවා කියවන්නට ඇත. පසු දා වන විට මගේ සාමාජිකත්වය ඇඩ්මිනිය විසින් අනුමත කර තිබුණි.

මේ පියවර කිහිපය සඳහා දින දෙකක් ගත වීමට හේතුව නම්, මා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර (හෙවත් සිනුවර) සිටීමටත්, මෙකී ඇඩ්මිනිය යුරෝපියානු රටක සිටීමත් ය.

එදින සවස මා කළේ, මා ලියා "දකුණු කුරු දිව් කව්" ග්‍රන්ථයේ පළ වී තිබුණු සිනුවර වැනුම නම් සිව් පද කවි පන්තිය මේ කවි කණ්ඩායමේ ෆේස්බුක් අවකාශයේ පළ කිරීමයි. ඒ සමගම අදාළ කවි පොතේ පිටකවරයේ ඕස්ට්‍රේලියාව නිරූපණය වන චිත්‍ර සටහනක් තිබුණු නිසා ඒය ද එකතු කළෙමි.

මා පසුදා උදෑසන අවදිවන විට දුටුවේ, තම කණ්ඩායමේ නීති අනුව සිව්පද කවි මිස චිත්‍ර හෝ රූ සටහන් පළ කිරීම කළ නොහැකි බව කියමින් එය වහා ම ඉවත් කර ගන්නා ලෙස, ඇඩ්මිනිය විසින් මට මුලින් එක් පණිවිඩයක් එවා ඇති බවයි.

යුරෝපය සහ සිනුවර අතර කාලය වෙනස නිසා, ඇය අණ කළ ආාකරයට මා රූපය ඉවත් කර නොගත් බව පවසමින්, මා නින්දේ සිටියදී ම, ඊළඟට ඇය ඒ රූපය සහිත කවි පන්තිය ම ඉවත් කර දා තිබුණි.

පින්තූරයක් නිසා කවි පන්තියක් ඉවත් කිරීම වනාහී "මුහුණ ගැන ඇති අකමැත්ත නිසා නහය කපා ගැනීමක්" වැනි ය. ඒ ගැන මට ඇති වූ අප්‍රසාදය නිසා ම, තත්‍ය ලෝකයේ දී ප්‍රායෝගික වලියට බර අයෙකු නොවූ මට ද, කවියෙන් වලියක් ඇදීමට සිත් විය.

මා කළේ පහත කෙටි කවිය ෆේස්බුක් කණ්ඩායමේ පළ කිරීමයි.
නීති රීති ගැන ම තකා
කවියේ ගුණ දොස් නොතකා
කවි පන්තිය ඇති ය මකා
පුදන කොට ම කාපි යකා

කණ්ඩායමේ ඇඩ්මිනිය ඒ කවියේ ආ යකා යන ඇමතුම තමන්ට ආදේශ කර ගත්තා විය හැක.

සිනුවරට පසු දා උදාවෙන විට, මගේ ඒ දෙවෙනි කවිය ද මකා, මා කණ්ඩායමෙන් ද නෙරපා දමා තිබුණි.

ඇරඹෙන්නටත් පෙර ම වලිය නිමවිය. සිතේ ඇතිවුණු අප්‍රසාදය ද, වලියක් ඇද ගැනීමේ අවශ්‍යතාව ද එලෙස ම ය. ඒත් කළ හැකි දෙයක් නැත!

ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් මා නොසෑහෙන්න කෑවේ ඒ අයුරිනි.

-රසිකොලොජිස්ට්

(image: https://www.spreadshirt.com/devil+woman+gifts)

Monday 17 July 2017

දිනන්නෝ දිනන්නෝ ය (කෙටිකතා නිර්මාණයකි) - Winner takes it all (A short story)


"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?"

අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි. මම නිරුත්තරව සිටිමි.

නුවරඑළිය නම් වූ අපේ කුඩා නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය පිහිටා තිබුණේ තුරග තරග පිටියට ආසන්නයේ ය. "ඉස්සර ඔය රේස් කෝස් එකේ ඇත්තටම අස්ස රේස් තිබුණා!" මගේ පියා කියනු මා අසා ඇත.

ඔහු නිතරම අපට අතීත කාලයේ, එනම් බ්‍රිතාන්‍යය විසින් ලංකාව පාලනය කළ කාලයේ, සිදු වූ දේ පිළිබඳව කතා කියා දුන්නේ ය.

"ඒ දවස්වල හැම දේ ම තිතට සිද්ධ වුණා. සුද්දෝ හොඳට හිතලා බලලා, ප්ලෑන් කරලා, හරි වෙලාවට, ටක්කෙට ම වැඩ කළා. ඒ රේස් අස්සයෝ හරි ම ලස්සන සත්තු, ඔය දැන් මෙහේ ඉන්න පෝනි වගේ නොවෙයි."

"අස්ස රේස් කාලෙට රටේ හැම පැත්තෙන් ම ලොකු ලොකු ඈයෝ එනවා නුවරඑළියට. නුවර එළියේ ස්ප්‍රිං කානිවල් ඒකට ගහන්න උත්සවයක් රටේ වෙන තිබුණේ නෑ!" ඔහු ආශාවෙන් ඒ අතීතය සිහිකරයි.

සාමාන්‍යයෙන් නිදිබරව සිටින මේ ක්‍රීඩා පිටිය නව පණක් ලබන්නේ අපේ පාසලේ ක්‍රීඩා උත්සවයත් සමග ය. එදිනට පෙර දිනයේ ම පිටිය වටා කූඩාරම් ඉඳිවේ. කොඩි ගස් හිටවේ. පාසලේ නිවාස තුන නියෝජනය කරන රතු, කොළ සහ කහ පැහැති කොඩි සුළඟේ ලෙළ දෙන්නේ එකිනෙකා හා තරගයට මෙන් ය.

මෙවර ක්‍රීඩා උත්සවය තීව්‍ර තරගයක් වෙනු ඇතැයි මට සිතේ. ඉසව් වැඩි සංඛ්‍යාවකින් ජයගන්නා නිවාසයට අවසාන ජයග්‍රහණය හිමිවෙනු ඇත.

මේ වන විට අප මාසයක පමණ කාලයක සිට පුහුණු කටයුතු කර තිබේ. මේ වසරේ හොඳම පාසල් කාලයයි. පාසලේ වැඩ අඩු ය, ගෙදර වැඩ ඇත්තේ ම නැත. ක්‍රීඩා පිටිය වටා ඇති තුරු පෙළ සෙවණේ වාඩි වී සිටිමින්, උස පැනීම, දුර පැනීම, දිවීම, දැල් පන්දු වැනි ඉසව් සඳහා පුහුණුවීම පිණිස ඉඳහිට අපට කෙරෙන බාධා කිරීම්වලට පමණක් යටත්ව, මිතුරියන් හා කතා බහේ නිරත වීම මට ඉතා ප්‍රීතිජනක කාර්යයක් විය.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් තිබුණි.

තණ මත වාඩි වී සිටින අතරතුර අප ඉතා පරිස්සමෙන් සෝදිසියෙන් සිටිය යුතු විය.

එක්වරම මට මගේ දකුණු කකුලේ කුමක් දෝ ඇනෙන වේදනාවක් දැනේ. මම කෑ ගසමින් උඩ පනිමි. එහෙත් හිතාමතා ම, වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"ඇයි කුසුම් මොකද, මොකද?" අල්ලපු කූඩාරම අසල සිටි මාලිනී මට උදව් වීමට දිව එයි. මම තවමත් වේදනාව දැනෙන පෙදෙස දෙස නොබලා සිටිමි.

"අනේ මගේ දකුණු කකුල බලන්න. මොකක්ද ඇනුණා වගේ වේදනාවක් දැනෙනවා" මට යාන්තම් මුමුණා ගත හැක.

"ආ, මේ කූඩැල්ලෙක් නේ! මං නං මුන්ට බය නෑ!" මාලනී කූඩැල්ලා ඇද පොළොව මතට විසි කරයි.

"තෑන්ක් යූ මාලනී" ආපසු තම කූඩාරම දෙසට දිව යන ඇයට මා කියන දේ නෑසේ. "අනේ මටත් මාලනී වගේ කූඩැල්ලන්ට බය නැතිව ඉන්න පුළුවන් නම්?" මම දුකෙන් සිතමි.

ග්ලුකෝස් බෙදන්නට පටන් ගෙන ඇත. හැම ක්‍රීඩකයෙකුට ම තරගවලට පෙර ශක්තිය වර්ධනය කර ගැනීමට ග්ලූකෝස් දෙනු ලැබේ. මා ඒ රසයට ඉතා කැමති ය. අපේ අත්ල මතට හැන්දකින් බෙදනු ලබන ඒ සියුම් කුඩු, අප ඒවා දිවෙන් කා දැමූ පසුවත්, අත්ලේ ඇලෙන සුළුබවක් ඉතුරු කරයි.

"වයස පහළොවෙන් පහළ මීටර් සීයේ කාන්තා ඉසව්ව....." මීළඟට මගේ ඉසව්ව සඳහා සූදානම් වීමට නිවේදනය නිකුත් වේ.

"ඕල් ද බෙස්ට් කුසුම්" අපේ නිවාසය භාර ගුරුවරිය මට සුබ පතයි. "අංක 60 ඔයාට සුබයි" මගේ ඇඳුමේ ඉදිරිපසින් සහ පිටුපසින් අමුණා ඇති අංක 60 සලකුණ දෙස බලමින් ඇය මට පවසයි.

මට අපේ ඉසව්වට සහභාගී වන අනෙකුත් තරගකාරියන්ව පෙනේ. මාලනී ඇගේ නිවාසය නියෝජනය කරයි. මම ඇය දෙස ඕනෑකමින් බලමි. ඇයට නැවතත් ස්තුති කළ යුතුය. නමුත් තරග ඉසව්වට සූදානම් වෙමින් සිටින ඇය මා දෙස නොබලන්නී ය.

"සැරසේන්!" ඇරඹුම් සංඥාව දෙන ගුරුවරයා කෑ ගසයි.

මම පෙනහලු වාතයෙන් පුරවා ගනිමි. මේ රේස් එක මං දිනනවා මම දැඩි අධිෂ්ඨානයකින් යුතුව සිතමි.

ඇරඹුම් සංඥා වෙඩි හඬ සමග ම අපේ මීටර් සීය දිවීමේ තරගය ඇරඹේ. හැම අතකින් ම නැගෙන ඔල්වරසන් හඬ දැඩි ය. තම දරුවන්ට දිරි දීමට දෙමව්පියෝ විශාල පිරිසක් ද උත්සවයට පැමිණ සිටිති. නමුත් අද අම්මා ඇය උගන්වන පාසලේ ක්‍රීඩා තරගය නිසා කාර්යබහුල වී ඇත. තාත්තා නම් ඔහු ගේ ග්‍රොසරියේ වැඩවලට හිර වී ඇත.

මට මද සුළඟ හොඳින් දැනේ. සම වයසේ තරගකරුවන්ට වඩා උසින් වැඩි වීම මට වාසියකි. සුළඟ මැඩලමින් මම ඉදිරියට දිව යමි. මට තරගයේ අවසානය දක්වන රේඛාව හොඳින් පෙනේ. තව තත්පට කිහිපයකින් මම පළමුවැන්නා ලෙස අවසාන රේඛාව පසු කරමි. ඔල්වරසන් හඬ තවත් තීව්‍ර වේ.

තරගය විනිශ්චය කරන ගුරුවරියන් දෙදෙනෙක් අප කරා දිව එති.

"මං හිතන්නේ නොම්මර 60 දිනුවා!" එක් ගුරුවරියක් මා පෙන්වමින් කියයි.

"මට නං ෂුවර් නෑ, මං හිතන්නේ නොම්මර 68 තමයි දිනුවේ!" දෙවෙනි ගුරුවරිය මාලනී පෙන්වමින් කියයි.

සිදු වී ඇති අවුල මට වැටහේ. මා දිනූ බව මට හොඳටම විශ්වාස ය.

ගුරුවරියන් දෙදෙනා අපේ අදහස දැන ගැනීමට මෙන් අප දෙස බලති.

මම මාලනී දෙස බලමි. ඇය දුකෙන් සිටින බව පෙනේ.

"මාලනී තමයි මුලින් ම ලයින් එක ක්‍රොස් කළේ" මා කියනු මට ඇසේ.

මම මගේ නිවාසයේ සිසුන් ගේ ඔල්වරසන් ගඟ මැද කුඩාරම දෙසට පිය නගමි. සුබ පැතුම් හැම දෙසින් ම ගලා එයි. "කන්ග්‍රැජුලේෂන්ස් කුසුම්, වෙල්ඩන් කුසුම්."

"රිසල්ට්ස් එනවුන්ස් කරන තුරු ඉන්න!" කියා කීමට මට අවශ්‍ය ය.

නමුත් මගේ මුවෙන් ඒ වචන පිට නොවේ!

මම අපේ නිවාසයේ කූඩාරම තුළට පිවිසෙමි.

"දෙන්නම කරට කර දිව්වා. ඒත් මට නම් පෙනුණේ කුසුම් ඔයා තමයි දිනුවේ. ඇත්තට ම මොකද වුණේ?" අපේ නිවාසය භාර ගුරුවරිය මුහුණේ ප්‍රශ්නාර්ථයකින් යුතුව විමසයි.

මම නිරුත්තරව සිටිමි.

දිනන්නෝ දිනන්නෝ ය.

-පුෂ්පා කුමාරි රණවක
පරිවර්තනය: රසික සූරියආරච්චි

ප/ලි
වෙනත් අයෙකු විසින් ලියන ලද්දක් වුව ද, මෙලෙස කෙටිකතාවක් රසිකොලොජියේ පළ කිරීමට ලැබීම සතුටකි. මා කෙටිකතා ලියන්නට ගත් මෙතරම් සාර්ථක නැති උත්සහායන් කිහිපයක නටඹුන් පහත සබැඳි හරහා කියවිය හැකි ය.
  1. සම්බෝල කෙටිකතාවකට එක වස්තු බීජයක් - Those were the days!
    https://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html
  2. පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny
    https://rasikalogy.blogspot.com/2017/06/destiny.html
  3. වීරවංශ මහතාගේ කතා වස්තුව හෙවත් "මරණ බිය දැනුණු විට" - A short story
    http://rasikalogy.blogspot.com/2017/06/short-story.html
  4. වීරවංශ නම වෙනස් කරයි - A day begins for Mr Harris Chandrasuriya
    http://rasikalogy.blogspot.com/2017/06/day-begins-for-mr-harris-chandrasuriya.html
(image: http://www.thepapare.com/four-new-meet-records-on-the-first-day-of-sir-john-tarbet/)

Friday 14 July 2017

අවසාන රෝස මල පිපී ඇත....! - It all begins now


උෂ්ණත්වය ඍණ අගයන්ට නොගිය ද, යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, රුසියාවේ, උතුරු චීනයේ, ජපනායේ මෙන් හිම කඩා නොවැටුන ද, සිඩ්නි නුවර හෙවත් කෙටියෙන් සිනුවර අවට මේ දිනවල ඇත්තේ දැඩි සීතලකි.

නිවසේ ගරාජයේ මගේ අඩ ලට්ට-ලොට්ටවලින් පිරී ඇති නිසා, මා දුම්රිය පොළට යාමට ඒමට භාවිතා කරන වාහනය නවතා ඇත්තේ නිවස ඉදිරිපිට මිදුලේ "ඩ්‍රයිව්-වේ" නමැති කොන්ක්‍රීට් තීරුව මත ය.

උදෑසන ම අවදි වුව ද, කම්මැලිකමින් නිවස තුළ කල් ගෙවා, කාර්යාලයට යන්නට නිවසෙන් පිටතට පැමිණි මා දුටුවේ මේ සීතල සිසිර සෘතුවේ මධ්‍යම කාලයේ ද රතු රෝස මලක් පිපී ඇති ආකාරයයි.

මෙය මේ සීතල සිසිරයේ පිපෙන අවසාන රෝස මල වෙනු ඇත. නැවතත් රෝස මලක් ගෙමිදුලේ දක්නට ලැබෙනුයේ මාස තුන හතරකට පසුව ය.

එනිසා ම, සිතේ ඇති වුණේ සතුට මුසු ප්‍රබෝධයකි. දුම්රියේ දී මේ පහත දැක්වෙන පද පෙළ ලියවුණි. සංස්කරණයක් නොකර, එලෙස ම, පළ කරන්නට ද සිතුණි.

අවසාන රෝස මල පිපී ඇත!

මේ සීත සිසිරයේ
අවසාන රෝස මල
කොළ හැළුණු, කටු පිරුණු
රෝස පඳුරේ කොනක
දුබල අතු රිකිල්ලක
පිපී ඇත!

අවසාන රෝස මල පිපී ඇත!

එකාකාරිව ඔහේ ගෙවී යන ජීවිතේ
මිටට ගත් වැලි පොදකි
සදාකාලික සතුට
කිසි දිනෙක හිරු නොදුටු සිහිනයකි

මහලු හිරු අද සවස
නොමැරුණ ද කම් නැති ය
හෙට උදේ හිරු නැවත
නොආවද කම් නැති ය

උදාසීන ය, රළු ය, ගොළු ය හද
බදා ගත් දුක සමග නිදි ය සිත

ඒ සියලු ගැහැට මැද
රෝස මල පිපී ඇත

අවසාන රෝස මල පිපී ඇත

තුසර බිඳු කෙඳිරිල්ල
අගුළු ලූ සවනතට
කොවුල් නද සිහිවේ ය
වසත් උණුසුම සොයන
විඩාබර සිත වෙතට
සුසුම් වුව සරණකි ය

අවසාන රෝස මල පිපී ඇත


-රසිකොලොජිස්ට්

Wednesday 12 July 2017

කෙළින් මිනිහා! - In memory of Don Baldwin Kuruppu


දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ඞී බී කුරුප්පු ලේඛකයා ගේ මරණය අසා මට ඇති වූයේ අමුතුම ආකාරයක, එනම් දුක වැඩියෙන් ද, ඒ අස්සේ තරමක හෝ සතුටක් ද එකට මිශ‍්‍ර වූ හැඟීමක් බව මුලින් ම පවසමි.

මෙල්බර්න් නගරයට පැමිණි දිනයක එක් වරක් හෝ ඔහු හමු වී මුහුණ බලා කතා කර තිබුණු නිසා ද, දින කිහිපයක් ම දුරකථනයෙන් ද කතා කර තිබුණු නිසා ද, ඊටත් වඩා වසර විස්සක් පමණ කාලයක් තිස්සේ ඔහු විසින් රචිත කොටස් කිහිපයකින් යුතු ඔහුගේ ජීවිත කතාව, පරිවර්තන සහ විවිධාකරායේ වෙනත් කෘති මෙන් ම, "කස්තිරම", "පූච්චානම්", "පූරනීතෙ", "ලියෝ රූ" යනා දී විවිධ මාසික පුවත්පත් කොළම් ද කියවා ඔහු සමග දැඩි සාහිත්‍යමය හිතවත්කමක් ද ඇති වී තිබුණු නිසා ද, ඞී බී කුරුප්පු ගේ මරණය ගැන මට අසා දුකක් ඇති වීම නම් පුදුමයක් නොවේ.

එහෙත් මේ මරණය ගැන ලැබුණු ආරංචිය මගේ සිතේ යම් ආකාරයක සතුටක් ද ජනිත කළේ ඇයි?

ඞීබී කුරුප්පු සාහිත්‍යධරයා විසින් ලියන ලද ලේඛන උනන්දුවෙන් කියවා ඇති, ඒ පිළිබඳ හොඳ ධාරණ ශක්තියක් ද ඇති අයෙකුට වැටහෙනු ඇති පරිදි, මගේ ඒ මද සතුටට හේතුව නම්, අපේ ආදරණීය ලේඛකයා මෙලොවින් නික්ම ගියේ තව දුරටත් මෙහි ඉඳීම අනවශ්‍ය බව තමන්ට හැඟුණු නිසා බව මා තරයේ විශ්වාස කරන නිසා ය.

ඔහු ලියූ එක ම ප‍්‍රබන්ධය ලෙස මා දන්නා "එක්තරා පේ‍්‍රම කතාවක්" කෙටි නවකතාවේ දී ඞී බී කුරුප්පු එහි ප‍්‍රධාන චරිතය වූ "සිරිල්" හරහා අපට පවසා සිටියේ එයයි.

අසනීපයෙන් සිටින මහලු ඥාතියෙකු බැලීමට රෝහලට යන සිරිල් (පිටු 46-47) රෝගියාගෙන් අහන්නේ "කොහොම ද? දැන් යන්න ලෑස්ති ද?" කියා ය. එතෙක් මේ ප‍්‍රශ්නයට කෙළින් මුහුණ නොදී සිටි ඥාතීහූ ද, ඔවුන් නිසා නිහඬව සිටි රෝගියා ද, සිරිල් ගේ ඒ මැදිහත් වීම නිසා පියවි ලොවට පිවිසෙන අතර, මහලු රෝගියා එදින රාත‍්‍රියේ සුව නින්දේ දී ම අවසන් ගමන යයි.

අප පෙර දිනක මෙහි ආවා නම්, මතු දිනක චුත වී යාමට ද නියමිත ය. එය අද විය හැක. හෙට විය හැක. වෙනත් දිනයක් විය හැක. මෙය අප හොඳින් ම දන්නා පරම සත්‍යයකි. එකම ප‍්‍රශ්නය වන්නේ, ඒ නික්ම යාම සිදුවන්නේ කොයි දින දැ යි අප කලින් නොදැන සිටීම පමණි.

මේ සම්බන්ධයෙන් මා සිතන්නේ අප තවත් එක් දිනක් වැඩිපුර ජීවත්වීම සඳහා දැරිය යුතු ප‍්‍රයත්නය, ඒ දිනය ජීවත්වීමෙන් අපට ලැබිය හැකි ප‍්‍රයෝජනයට වඩා වැඩි නම්, ඒ අමතර දිනය ජීවත්වීමෙන් පලක් නැති බවයි.

ඞී බී කුරුප්පු තමන් නික්ම යා යුතු ඒ දිනය තමන් ම තෝරා ගත්තා යැයි සිතන්නට මා කැමති ය. එය ඔහුට කරන ගෞරවයක් ලෙස මම සලකමි.

දැන් මදක් අතීතයට යමු.

මීට දශක දෙකකට පමණ පෙර මා මෙල්බර්න් නගරාසන්නයේ ජීවත් වූ සමයේ එක් ඉරිදාවක සිංහල ගුවන්විදුලි සේවයකින් ඇසුණු පුවතක් වූයේ මෙල්බර්න් හි වෙසෙන ලේඛකයෙකු "ලංකාවක් වගේ පුංචි" නමින් ග‍්‍රන්ථයක් රචනා කර ඇති බවයි. මේ ලේඛකයා යනු, මා අටවෙනි ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ ත්‍යාගයක් ලෙස ලැබී කියවා, දිගින් දිගටම රස විඳි, "මැංචෝසන් චාරිකා" නම් අපුරු ග‍්‍රන්ථයේ පරිවර්තකයා බව දැනගත් විට මට ඔහු ගේ මේ අලූත් කෘතිය කියවන්නට ආශාවක් ඇති විය. දින කිහිපයකට පසු මා එය ක්ලේටන් හි පිහිටි ”ඒෂියන් ෆුඞ් සෙන්ටර්” කඩයෙන් මිලට ගනිද්දී, මට කලින් භාණ්ඩයක් මිලට ගෙන කඩයෙන් නික්ම ගිය පුද්ගලයා පෙන්වමින් එහි සිටි පද්මිණී මා සමග කීවේ ඒ පිටව ගියේ මා මිලට ගන්නා "ලංකාවක් වගේ පුංචි" කෘතියේ රචකයා බවයි.

එදා එලෙස "කෙස් ගසෙන් මිස් වුණු" ඔහු සමග මුහුණට මුහුණ දී කතා කිරීමේ අවස්ථාව අවසානයේ දී මට ලැබුණේ ඉන් වසර දොළහකටත් වඩා ගෙවුණු පසුව 2010 මැයි මාසයේ දී ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලේ කාලේ" කෘතිය (සහ තවත් නිර්මාණ) දොරට වැඩූ අවස්ථාවේ දී ය.

නමුත්, ඒ වන විට මා ඔහු ගේ ස්වයංචරිතාපදානයේ කොටසක් වන "හැන්දෑවට පායන හිරු" සහ වෙනත් කෘති කිහිපයක් ද කියවා තිබුණු අතර, මා දැන් වාසය කරන සිඞ්නි නගරයේ සිට ඔහු සමග දුරකථනයෙන් ද කතා බහ කර තිබුණු නිසා ඒ හමුවීමේ තිබුණේ හොඳ හුරු පුරුදු බවකි.

එසේ ම, ඒ කාලය වන විට සන්නස සඟරාවට විවිධ ලිපි ලියමින් සිටි මගේ අංකුර ලේඛක ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූයේ තමා විසින් ලියන ලද "සරල සිංහල වියරණ විධි" නම් ග‍්‍රන්ථයේ පිටපතක් ඞී බී කුරුප්පු විසින් මගේ නිවසට තැපෑලෙන් එවනු ලැබීමයි. මා සන්නසට ලියමින් සිටි "පමා නොවී එමි අකුරට" තීරු ලිපි මාලාව තමන් ආශාවෙන් කියවන බව ද කියවෙන සටහනක් ද ඒ සමග එවන්නට තරම් ඔහු නිහතමානී වී තිබුණි.

ඊළඟට ඔහු කළේ, ඒ ආකාරයේ ම ලිපි මාලාවක් පහන සඟරාවට ද ලියන්නට හැකිදැයි හේමමාලා හේරත් හරහා මගෙන් විමසීමයි. ඒ අනුව මා ලියූ "කොලූ කාලේ" ලිපි මාලාවේ සෑම කොටසක් ම, ඔහු විසින් කියවා බලා අනුමත කළ බව මම දනිමි.

එපමණක් නොවේ, එතැන් පටන් ඔහු විසින් ලියා මුද්‍රණය වූ කෘති විශාල සංඛ්‍යාවක් ද ඞී බී කුරුප්පු ලේඛකයා විසින් මට ත්‍යාග ලෙස තැපෑලෙන් එව්වේ ය. ඒ අතරට ඔහු කළ විශිෂ්ටත ම පරිවර්තනය වූ "අර්බත් දරුවෝ" නම් දීර්ඝ නවකතාවේ කොටස් හත ම ඇතුළත් වීම සුවිශේෂී වේ.

විශ්ව සාහිත්‍ය පරිවර්තන කෘති සහ තම අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කතාංග සහිත ග‍්‍රන්ථයන්ට අමතරව, ඞී බී කුරුප්පු ලේඛකයාගෙන් විශේෂයෙන් ඕස්ටේ‍්‍රලියානු සිංහල සමාජයට ලැබුණු වැදගත් ම ලේඛන දායාදය වූයේ තමන් ගේ දශක අටක ජීවිතය මෙන්ම, එයින් මෙල්බර්න් නුවර ගත කළ කාලයේ දී කරනු ලැබූ සූක්ෂම සමාජ නිරීක්ෂණ ඇසුරෙන් ලියන ලද තීරු ලිපි මාලා ය.

ඒ ලිපිවල ගැබ්වූ දේශපාලන අදහස් නිවහල් ය. සමාජමය නිරීක්ෂණ නිරවුල් ය. අන්තර්ගතය මෙන් ම ඉදිරිපත්කිරීම ද සැම අතින් ම විශිෂ්ට ය. වරද දුටු තැන කිපී ඔහු ලියන දේ සෑම විට ම එක එල්ලේ දිවෙන හී සර මෙන් දරුණු ය. අතිශය උපහාසාත්මක ය.

මෙහි ලා, සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, අපේ ආදරණීය ලේඛකයා ගේ ලේඛන කලාවේ තිබූ එක් අද්විතීය ලක්ෂණයක් වූයේ තමන්ට කිව යුතු දෙය, කවරෙකුට රිදෙයි ද, කවරෙකු අමනාපවේ ද යන්න නොව, තම අදහස පැවසීමේ ඇති වැදගත්කම පමණක් සලකා, එක එල්ලේ ලිවීම බවයි.

ලේඛන කලාව පිළිබඳව මා ඔහුගෙන් උගත් හොඳ ම පාඩම ද එයයි.

ඞී බී කුරුප්පු විසින් ලියන ලද "කපුටන්ට ආප්ප අරගෙන දීම" නම් ලිපිය නිසා කෝප වී ලංකාවේ පුරුද්දට ඕස්ටේ‍්‍රලියාවේ ලේඛකයින්ට තර්ජනය කළ රාජපුරුෂයින් ගේ නිරුවත පසුව හෙළි වූ බව අපි දනිමු. ඔවුන් පමණක් නොව, විවිධ අවස්ථාවල විවිධ පටු අරමුණු සහිතව මාධ්‍ය සංදර්ශන පවත්වනවුන් ගේ ද, ලංකාවෙන් මෙහි පාත්වන සාහිත්‍යධරයන් යැයි කියා ගන්නා උදවියගේ ද, සිවුරු පොරවාගත් පුද්ගලයින් ගේ ද, සැබෑ ප‍්‍රතිබිම්බය හෙළි කිරීමට ඔහු ගේ ලිපිවලට හැකිවිය. ඔහුට වැරදුණු තැනක් වුණි නම්, ඒ ඕස්ටේ‍්‍රලියානු මෑත දේශපාලන ඉතිහාසයේ එක් කඩඉමක් අරඹයා "ලේතමාගමනය" නමින් ලියවුණු ලිපිය පමණක් බව මගේ අදහසයි.

ඞී බී කුරුප්පු හා මගේ සාහිත්‍යමය මිත‍්‍රත්වය ගැන සිතන විට මගේ සිතට දුකක් ඇතිවන එක් කාරණයක් ඇත. ඔහු මට එවූ වෙළුම් හතකින් යුතු "අර්බත් දරුවෝ" දීර්ඝ නවකතාව කියවීම ඇරඹීමට ම මට වසරක් පමණ කල් ගත විය. එය සහමුලින් ම කියවා අවසාන කිරීමට මට ඊටත් වඩා කාලයක් ගත විය. මා ඔහු ලියූ "දානයේ ආනිසංස" නම් වූ කෘතිය පිළිබඳව හැකි පමණින් විචාරයක් ලියූ අතර එය සන්නස පුවත්පතේ ම පළ වූ නමුත්, මේ අති දීර්ඝ "අර්බත් දරුවෝ" පිළිබඳව මට එසේ කිසිවක් කළ නොහැකි විය. පසුව, ඞී බී කුරුප්පු විසින් ම ලියන ලද ලේඛනයකින් මා දැන ගත් පරිදි, ඔහු තමන්ගේ ඒ ප‍්‍රශස්ත ම පරිවර්තනයේ පිටපත් යවා ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිට ලියන කියන අප කාගේත් සිහිනයක් වන සිංහල සාහිත්‍යය ලෝකයට විවර කිරීමේ ශක්‍යතාවය ඇතැයි ඔහු සිතන අයට ය. දිගු කලක් ගතවීත්, ඒ කිසිවෙකු අඩු වශයෙන් ඒ පොත් කියවූ බව හෝ සඳහන් නොකිරීම ඔහු ගේ කනස්සල්ලට හේතු වී තිබුණි. වහා දුරකථනයෙන් ඔහු ඇමතූ මම, කාලයක් ගත වූවද, තවත් තිදෙනෙකු ද, මා ද ඒ පොත් සියල්ලම කියවූ බව පවසා සිටියෙමි. පසුව, සිඞ්නි නගරයේ විකාශයවන මධුර සිංහල ගුවන් විදුලි වැඩ සටහනේ දී මා ඒ පොත් පිළිබඳව යම් හැඳින්වීමක් කළෙමි.
ඒ ගුවන් විදුලි හඬපටය සොයා ඔහුට තැපෑලෙන් යවන්නෙමි යැයි සිතා සිටිය ද, එය අවසානය දක්වාම කළ නොහැකි වීම, මා පෙර සඳහන් කළ දුකට කාරණයයි.

මේ ලිපියේ ඉහළින් ම මා, ඞී බී කුරුප්පු ලේඛකයා හඳුවා දී ඇත්තේ "කෙළින් මිනිසා" යනුවෙනි. ඒ ඔහු තමන් ලියූ සෑම මාතෘකාවක් ගැනම තම අවංක අදහස එක එල්ලේ පවසන්නට මැලි නොවූ අයෙකු බව මා නිරීක්ෂණය කර ඇති නිසා ය.

මේ සඳහා මා දුටු මෑත කාලීන උදාහරණයක් වන්නේ, මේ වසරේ මාර්තු මාසයේ දී මෙලොව හැර ගිය සේනාධීර පියසේන ජ්‍යෙෂ්ඨ ලේඛකයා පිළිබඳව "පහන" සඟරාවේ අප‍්‍රියෙල් කලාපයට ඞී බී කුරුප්පු ලියූ ලිපියේ අවසාන කොටසයි.
"නොබෝ දා උත්සවාකාරයෙන් දොරට වැඩම වූ ආචාර්ය රනිල් වික‍්‍රමසිංහ ගේ චරිතාපදානය ගැන ඇසූ මට හිතුණේ එස් පියසේන වැනි වියතෙකු ගේ චරිත කතාව දේශපාලකයෙකු ගේ හෝ ආගමික නායකයෙකු හෝ කතාවට වඩා රටටත් ජනතාවටත් වැඩදායක නොවන්නේ ද යන අදහස ම ය. මා තුළ හටගත් ඒ කාංසාව දුරු කිරීමට සමත් සත්ක‍්‍රියාවක් පෙබරවාරියේ ශ‍්‍රී ලංකාවට ගිය ”සිහ නඳ” සංස්කාරක විල්ෆ‍්‍රඞ් සිරිවර්ධන විසින් කියනු ලැබී ය.

මාධ්‍යවේදී දයා ලංකාපුර අල්ලාගෙන තමා පියසේන චරිතාපදානය සම්පාදනය කිරීමේ වගකීම ඔහුට පැවරීම ය ඒ. ඒ පොතේ පිටපත පියසේන මහතා මිය යාමට පෙර අනුමත කිරීම ද අපේ වාසනාවක් ම ය.

ලක්ෂ්මන් වික‍්‍රමසිංහ පියතුමාගේ ඥාතිපුත‍්‍ර බෞද්ධ ලේඛක රනිල් වික‍්‍රමසිංහ ගැන ලියූ චරිත කතාවට ඇතුළත් නොවූ නම් දෙකක් ඇති බව මට කිව හැකි ය. 'බටලන්ද' සහ 'ගෝනවල සුනිල්' යන මේ දෙක ය.

චරිත කතාවකින් පලක් ලද හැක්කේ හොඳ නොහොඳ දෙකම විග‍්‍රහයට ලක් කළහොත් පමණි."
අපේ ආදරණීය ලේඛක ඞී බී කුරුප්පු, "කෙළින් මිනිහා", තමන් ගේ ජීවිත කතාව කොටස් කිහිපයකින් ලියා පළ කොට ඇති බව අපි දනිමු. මුලින් සකස් කළ අත්පිටපත් සැර වැඩිය කියා ඉවතට දමා අලූතෙන් ම ලියා තිබුණ ද, රනිල් වික‍්‍රමසිංහ ගේ පළ වූ චරිතාපදනය මත පදනම්ව, ඉදිරියේ දී පළ වීමට නියමිත සේනාධීර පියසේන ගේ චරිතාපදානය සඳහා අවවාදයක් ලෙස ඞී බී කුරුප්පු ලේඛකයා පවසා ඇති ඉහත සඳහන් ඒ වැදගත් කාරණය, එනම් චරිත කතා ලිවීමේ දී හොඳ නොහොඳ දෙකම එක සේ විග‍්‍රහ කළ යුතු බව සහ "බටලන්ද", "ගෝනවල සුනිල්" වැනි නම් සැාගවිය නොයුතු බව, තම ස්වයංචරිතාපදාන ග‍්‍රන්ථකරණයේ දී ඔහු ම අනුගමනය කරන්නට ඇතැයි මම සිතමි.

ඔහු ගේ අභීත රචනා ශෛලියට කවදත් දැඩි කැමැත්තක් දැක් වූ මට, ඞීබී කුරුප්පු ගැන ලියවෙන මේ ලිපියට එසේ ඇතුළත් නොකර සිටිය නොයුතු නම් දෙකක් නොව එකක්වත් සිතා ගත නොහැකි වූ බව අවසාන වශයෙන් පවසමි.

-රසික සූරියආරච්චි

සන්නස මාසික සඟරාව සඳහා ලියූ ලිපියකි.
1. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page39.pdf
2. http://sannasa.sinhalajukebox.org/2017/Jul/2017Jul_page41.pdf

Monday 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

Saturday 8 July 2017

කොච්චර නැරඹුවත් එපා නොවෙන නොන්චි කෝලම


ශ්‍රී ලංකාවෙන් විප්‍රවාසීව ඩයස්පෝරික ජීවිත ගෙවන අපට එදා මෙන් නොව අද, අවශ්‍ය නම් ලංකාවේ විකාශයවන රූපවාහිනී නාලිකා කිහිපයක හෝ සජීවී දසුන් නැරඹිය හැකි ය. දිනපතා රූපවාහිනී සංස්ථාවෙන් විකාශය කෙරෙන අඩ පැයේ ප්‍රවෘත්ති වැඩසටහන නම්, පසුවදා දහවලේ ඕස්ට්‍රේලියාවේ විශේෂ විකාශන සේවාව හෙවත් එස්බීඑස් (SBS) ඔස්සේ නැරඹිය හැකි අතර, අවශ්‍ය වෙලාවට (on demand) නැරඹීම සඳහා දින හතක් යනතුරු සංරක්‍ෂිතව ද පවතී.

නමුත් ලංකාවේ ප්‍රවෘත්ති සඳහා පුවත්පත් සහ වෙනත් වෙබ් අඩවි මත යැපෙන මා රූපවාහිනී නාලිකා නරඹන්නේ එක්කෝ දන්නා කියන අයෙකු පෙනී සිටිනවා නම් හෝ නැතිනම් රුචියක් ඇති මාතෘකාවක් සාකච්ඡා වෙනවා නම් පමණි.

මෑතක දී මා නැරඹූ එවැනි රූපවාහිනී වැඩසටහන් වූයේ අපේ වෘත්තිය බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ පෙනී සිටි වැඩසටහන්, මාර්තුවේ විකාශය වුණු නෙළුම් යාය පිළිබඳ වැඩසටහන් සහ කලාතුරකින් කිසිවෙකු රෙකමදාරු කළ දේශපාලන විවාද සහිත වැඩසටහනක් දෙකක් පමණි.

එසේ ම, ඒ සියල්ල මා නැරඹුවේ ද එක් වරක් පමණි. දේශපාලන විවාද වැඩසටහන් නම් සැමවිට ම පාහේ නැරඹුවේ පසුව නිසා, නීරස තැන් වේගයෙන් ධාවනය කරමින් කාලය විශාල වශයෙන් ඉතිරි කරගන්නට ද අවස්ථාව ලැබුණි.

ඒ කෙටි හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, දිගු කලකට පසු පස් හය වතාවක් ම ඉතා උනන්දුවෙන් රස විඳිමින් නැරඹූ වැඩ සටහනක් පිළිබඳව පවසන්නයි.

මෙය මා කලින් ද විවිධ වේදිකාවල දී දැක ඇති ආකාරයේ කෝලම් රංගනයකි. නමුත්, රොඩ්නි වර්ණකුල සහ තවත් නළුවන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන මේ රංගනය නම් මේ ප්‍රවර්ගයේ මා දැක ඇති සුපිරිතම ඉදිරිපත් කිරීමකි.

මේ වීඩියෝව මා පස් හයවතාවක් නැරඹීමට හේතුව වූයේ එහි ගී පදවල අරුත මෙන් ම, කෝලම් සම්ප්‍රදායේ රැඟුම ද මා සිත් ගත් නිසා ය.

මෙන්න ගී පද.

කප්පරක් ගෑනු උන්නත් මේ වගේ ළඳක්
කොයි ඉසව්වකින් ආව ද මේක හීනයක්
කංකරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්
නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්

රන් කඳක් වගෙයි මේකිගෙ මූණ රත්තරන්
"දෙන තකත්" අගෙයි හරියට මක්කදෝ වගේ
හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් (රිඟතම්)
තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරං

තුං පොළේ අඩව් ඉල්ලන නොංචිගේ කටේ
සවුදමෙන් ටිකක් බේරිල ඉන්න මේ වගේ
(මේ වගෙ), පිං කඳක් ලඟින් මට ඇලවෙන්න නෑ පිනක්
(අම්මප), නොංචිලා දහක් පරදන මේක රං කඳක්

එක දෙකක් වුනේ මෙන්න මෙ අවුෂදේ බලෙන්
දෙක වුනත් ඉතිං හතරක් වෙන්නේ මේවයින්
තුන් පැයක් වදෙන් බේරිල නොංචි කෝලමෙන්
(ඇත්තමයි), මං උනත් ඉතිං ඉන්නෙ මෙ අවුෂදේ බලෙන්

නොංචිගේ කටින් කවදත් ඇහැව්වෙ නෑ හොඳක්
ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක්
මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්
(මුන්දැගෙ), මේ වදෙන් අනේ අම්මප නෑ තොලොංචියක්

පැනි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ
වළඳනා කෙනෙක් ඇත්තං දෝස නෑ අපේ
මේ පණික්කලෙත් ඕව රුන්ද ගති ගතං
(ඒ වුනත්), නොංචිගේ කනේ වැටුණොත් කම්මුතුයි මමත්

තුන් හිතෙන් හිතුවෙ නෑ මං මේ වගේ දෙයක්
බීමතින් යමක් කිව්වද මට සමාවෙයං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතිං
මගෙ නොංචි රං කඳේ
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
අනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනිකට මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
කැරකිල මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
වරෙං මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
හනෙ හනෙ මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං
ඇහහා, මගෙ නොංචි රං කඳේ
අපි දැං ගෙදර යන්න යං!

මෙන්න වීඩියෝව.



මේ ආකාරයෙන් කිහිප වතාවක් නැවත නැවත මා නැරඹූ වීඩියෝවක් ලෙස මගේ මතකයේ ඇත්තේ විරුදු ගායක සහන් ජයශාන්තගේ "මම කැමතියි නෑනට" නම් විරුදු පෙළ රැගත් වීඩියෝවයි.

එය ද නැවතත් රස විඳින්න.



-රසිකොලොජිස්ට්

(image: https://plus.google.com/+sltvideomedia)

Thursday 6 July 2017

දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි! - Generation gap?


මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනයි.

ඔහු පුදුම කොලුවෙකු බව මට දැන් මාස කිහිපයකට පෙර සිතී, වැටහී, එය සාක්‍ෂි සහිතව ස්ඵුට විය. ඒ සුවිශේෂී අත්දැකීම් දෙක තුනක් මත පදනම් වී මා කරන ප්‍රකාශයකි.

ඉන් මුල් අත්දැකීම මා ලැබුවේ මීට තෙමසකට පමණ පෙර පුතා ගේ පාසලේ අපේ භාෂාවෙන් ස්පෝර්ට්ස් මීට් එක හෙවත් මෙහි යෙදුමෙන් ස්පෝර්ට්ස් කානිවල් එක දවසේ ය.

මේ උත්සවය පැවැත්වුණේ ඔවුන් ගේ පාසල් ක්‍රීඩා පිටියේ නොව, ඊට වඩා පහසුකම් ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා සඳහා සකසන ලද ක්‍රීඩා පිටියක ය. එය පිහිටියේ පුතා ගේ පාසලේ සිට කිලෝ මීටර් හයක් පමණ දුරිනි.

ඒ ස්ථානයට ළමුන් රැගෙන පාසලෙන් උදේ අටයි හතළිස් පහට බස් රථ පිටත්වෙන බව දන්වා තිබුණත්, නිවසේ සිට පාසල කරා යන අතර මගදී මට වැටහුණේ නියමිත වේලාවට පාසලට යෑමට නොහැකි වෙන බවයි. එනිසා මා ඒ ගමන අමතක කර කෙළින් ම, නියමිත ක්‍රීඩා පිටිය වෙත වාහනය පැදවීමි.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය යනු, මා ගලහිටියාව මධ්‍යම පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපේ වසරේ ප්‍ර්‍රියතම දිනය විය. ඒ ගැන යටි සිතින් සිතමින් රිය පැදවූ මම, අදාළ ස්ථානයට ළඟා වීමි.

පුතා රියෙන් බැස මගෙන් සමුගෙන ක්‍රීඩාගාරය කරා යන්නට සැරසෙත් ම, මට යමක් හදිසියේ මතක් විය. ඔහුට නවතින්ට කී මම, කලිසමේ පිටුපස සාක්කුවෙන් පසුම්බිය රැගෙන මුදල් නෝට්ටුවක් ගෙන ඔහුට දුන්නෙමි.

"මට එපා!" පුතා කීවේ ය.

"ඇයි, එපා කියන්නේ ගන්න!"

"එපා, මට අම්මා දුන්නු සල්ලි තියෙනවා!" ඔහු කීවේ මා මවිතයට පත් කරමිනි.

මේ හා සමාන සිදුවීමක්, ඊළඟ පාසල් නිවාඩු කාලයේ දී, පාසලේ මිතුරන් සමග, සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය නැරඹීමට යාම පිණිස පුතාව දුම්රිය පොළට හැරලවූ මොහොතේ දී ද සිදුවිය.

ඔහු ගේ වයසේ දී, මේ වැනි අවස්ථාවක් එළැඹුණ හොත් මා නම් කරන්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ වියදම් සඳහා මා අතට දෙන ඕනෑම මුදලක් එපා නොකියා ගැනීමයි.

දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!

හොඳම සිදුවීම වූයේ ඉන් පසු දිනක ය.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය. තේ සාදන සාමාන්‍ය ක්‍රම දෙකෙන් වැඩි පහසුව පිණිස අපි කෝප්පවලට දමන තේ බෑග් භාවිතා කරමු. තේ කුඩු යොදා තේ පෝච්චියට තේ සෑදීම වඩා ප්‍රිය මනාප නමුත් කාලය වැඩියෙන් ගත වීම සහ පසු-පිරිසිදු කිරීම් වැඩිවීම නිසා අප නිවසේ එතරම් නොකෙරේ.

කෝපි සෑඳීම සඳහා නම් ක්‍රම හතරක් ම ඇත. එයින් ද, පහසුව පිණිස අප කරන්නේ ක්‍ෂණික කෝපි කුඩු භාවිතයයි. වසර කිහිපයක සිට ජනප්‍රිය වී ඇති පොඩ්ස් භාවිතය ද, සෑහෙන්න ලේසි පහසු මෙන් ම පසු-පිරිසිදු කිරීම් ද අඩු ක්‍රමයකි.

එතෙක් එළ කිරි හෝ කිරි තේ හෝ බොමින් සිටි අපේ පුතා දැනට මාස කිහිපයක සිට කෝපි කෝප්පයක රස විඳින්නට ද පටන් ගත්තේ ය. සෑදීමේ පහසුව නිසා ම, ඔහු වඩා ප්‍රිය කළේ ක්‍ෂණික කෝපි පානයටයි.

දිනක් සවස නිවසට පැමිණි මා දුටුවේ මා සාමාන්‍යයෙන් මිල දී නොගන්නා වර්ගයක කෝපි කුඩු බෝතලයකි.

"ඇයි ඔයා මේ අපි කලින් බීලා නැති කෝපි ජාතියක් මේ පාර ගෙනාවේ?" මම බිරිඳගෙන් විමසුවෙමි.

"මං නොවෙයි, මං කඩේ ගියේ නෑ!" ඇය කීවා ය.

"මායි ගෙනාවේ!" පුතා වරද පිළිගත්තේ ය.

"ඇයි ඒ?"

"කෝපි බෝතලේ ඉවරවෙලා තිබුණා ඊයේ!"

"ඉතිං ඔයාට කොහෙන් ද සල්ලි?"

"මා ගාව තාත්තා කලින් දවසක දුන්නු සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා, ඉතිං මං ඉස්කෝලේ ඉවර වෙලා එද්දී කඩෙන් ගත්තා!" මා මවිත කරමින් පුතා කීවේ ය.

"ඇයි ඔයාගේ සල්ලිවලින් ගෙනාවේ? කීයක් ගියා ද? ඉන්න මං සල්ලි දෙන්න!" මම වහා කීවෙමි.

"එපා, ඒ මගේ සල්ලි නෙමෙයි නේ, ඔයාලා කලින් දවසක මට දුන්නු සල්ලි නේ."

ඔන්න දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!

-රසිකොලොජිස්ට්

(image: http://www.pinsdaddy.com/)

Monday 3 July 2017

ඕස්ට්‍රේලියාවෙන් හොඳ ප්‍රවෘත්ති කිහිපයක් - Good news and better news


පසුගිය සතියේ ඕස්ට්‍රේලියාවෙන් හොඳ යැයි කිව හැකි ප්‍රවෘත්ති කිහිපයක් ම මතුවිණි.

ඉන් ප්‍රධානතම පුවත වූයේ, ඕස්ට්‍රේලියානු කතෝලික පල්ලියේ ලොකුම ලොක්කා වූ, මේ වන විය රෝමයේ වතිකානුවේ පෝප් යටතේ ඉහළ තනතුරක් දරන ජෝර්ජ් පෙල්ස් නම් පූජකයාට එරෙහිව පොලිසිය විසින් ළමා අපචාර චෝදනා ගොනු කිරීමයි. මා හිතන පරිදි මේ චෝදනා කෙළින්ම අපචාර සම්බන්ධයෙන් නොව, මීට දශක කිහිපයකට පෙර කතෝලික පල්ලියේ ප්‍රාදේශීය ලොක්කෙකු ලෙස සේවය කරන කාලයේ ළමා අපචාර සඳහා චෝදනා ලද පූජකයෙකු පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු නොකර ගොඩින් බේරා දැමීම වැනි කරුණු අරභයා, ගොනු කෙරෙනු ඇත.

ජෝර්ජ් පෙල් ලොක්කාට මේ ආකාරයට චෝදනා ලැබීම, වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ළමා ලිංගික අපචාර පිළිබඳව කෙරෙන රාජකීය කොමිසම් විමර්ශන එක් ප්‍රතිඵලයක් පමණි.

ලංකාවේ ද, පන්සල්, පල්ලි වැනි ලිංගික ආතතියකින් කල් ගත කරන්නට සිදු වී ඇති ආගමික නියෝජිතයින් සිටින ස්ථානවල, මේ ආකාරයේ විවිධාකාරයේ ලිංගික අපචාර සිදුවී ඇති බවටත්, තව දුරටත් සිදුවෙන බවටත් සැකයක් නැත. ඒ අකටයුතු සම්බන්ධයෙන් ද, නුදුරු දිනයක දී ම, නිසි ක්‍රමවේදයක් මගින් විමර්ශනයක් කළ යුතුව ඇත.

ගිය සතියේ ම, ඕස්ට්‍රේලියාවෙන් මතුවුණු දෙවන හොඳ පුවත තිබුණේ, පසුගිය වසරේ පවත්වන ලද ජන සංගණනයේ ප්‍රතිඵල අතර ය.

උප්පැන්න සහතිකයේ නැති, සංගණනයකදී පමණක් ප්‍රශ්න කෙරෙන කාරණයක් වූ ආගමික නැඹුරුව ගැන ඇසූ ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු අනුව අනාවරණය වී ඇත්තේ රටේ ජනගහනයෙන් 30% ප්‍රමාණයක් නිර්ආගමික බවයි. වසර පහකට වරක් පවත්වන සංගණනවලදී මේ ප්‍රතිශතය 2006 දී 19% ක් ද, 2011 දී 22% ක් ද වී ඇත. එනම්, නිර්ආගමිකයින් සංඛ්‍යාවේ වැඩිම ඉහළ යාම සිදු වී ඇත්තේ පසුගිය වසර පහක කාලය තුළ ය.

මේ ප්‍රවෘත්තියේ වැදගත් ම කොටස නම්, ජනගහනයේ ඉතුරු 70% පිරිස පිළිපදින ආගම් වෙන් වෙන් වශයෙන් සලකා බලන කළ, ඉන් ඉහළ ම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කතෝලික ආගම සඳහා වූ නමුත් එය නිර්ආගමික ප්‍රතිශතයට වඩා අඩු අගයක් එනම්, 22.6% පමණක් වීමයි.

මේ ප්‍රවණතාවය දිගටම පැවතුනහොත් තවත් වසර පහළොවක් පමණ කාලයකින් ඕස්ට්‍රේලියාවේ බහුතරයක් ජනතාව නිර්ආගමිකයින් වෙනු ඇති බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කතෝලික සහ ක්‍රිස්තියානි සියලු ප්‍රභේද එක් කළ විට ජනගහනයෙන් 52% ක් තවමත් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. ඒ අතර බෞද්ධ යැයි තමන් හඳුන්වා ගන්නා පිරිස ජනගහනයෙන් 2.4% කි.

ප/ප/ලි:
ඇත්තෙන්ම ගිය සතියේ තවත් වැදගත් ආරංචියක් පැතිරිණි. ඒ, වත්මන් ඔසී රජයේ බලයේ සිටින ලිබරල් පක්‍ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුමක් පිළිබඳව ය. මේවන විට සාමාන්‍ය මන්ත්‍රීයෙකු ලෙස කටයුතු කරන ලිබරල් පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු අගමැති ටෝලි ඇබට් විසින් ලිබරල් පක්‍ෂයේ වත්මන් නායක සහ අගමැති මැල්කම් ටර්න්බුල් ගේ නායකත්වයට එළිපිට ම කෙනෙහිළි කරන්නට පටන් ගෙන තිබේ.

වත්මන් රජය බලයේ සිටන්නේ පාර්ලිමේන්තුවේ එක් වැඩි ඡන්දයකින් බව සලකන විට මෙය හොඳ ප්‍රවණතාවයකි.

(image: http://churchleaders.com/pastors/pastor-articles/170132-john-eldredge-poison-of-religion.html)