
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලසුම් කර ගොඩනගා ඇත්තේ අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩල මෙන්ම ශිෂ්‍යයින් ද විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පදිංචිව සිටින නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙසිනි.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි වෙද්දී නේවාසික පහසුකම් ඒ පරිමාණයෙන් වැඩි නොවුණු නිසා කලකට පසු ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලයෙන් පිටත නවාතැන් පහසුකම් සොයා ගැනීමට සිදුවී ඇත.
අප විශ්වවිද්‍යාලයට ඇතුල් වන විට යථාර්ථය වී තිබුණේ දුර-බැහැර පළාත්වල සිට පැමිණෙන සිසුන්ට පළමුවැනි වසරේ නේවාසික පහසුකම් ලැබුණත් පිරිමි සිසුන්ට දෙවැනි වසරේ විශ්වවිද්‍යාලෙන් පිටත නවාතැන් සොයා ගැනීමට සිදුවීමයි. නැවත තුන්වෙනි වසරේ නවාතැන් ලැබේ. අවුරුදු හතරේ පහේ පාඨමාලා කරන ශිෂ්‍යයින්ට ඉතිරි වසරවල ද නේවාසික පහසුකම් ලැබේ. කාන්තා සිසුවියන්ට මුළු අධ්‍යයන කාලය තුළම විශ්වවිද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම නොකඩවා ලැබුණි.
මේ අනුව අප දෙවන වසරේ විශ්ව විද්‍යාලයෙන් පිට විසුවෙමු. ඒ පේරාදෙණිය හන්දියේ තුසිත සිනමා ශාලාව අසලින් ඉහළට යන පටු පාරේ ටික දුරකින් වෙල අසල පිහිටි කුඩා නිවසක ය. වසර අවසාන විභාගයෙන් පසු පිටවී යාමට පළමු ඊළඟ වසරේ, එනම් අපේ තුන්වෙනි වසරේ, විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම් සඳහා අයැදුම් කළෙමු.
අවාසනාවකට මෙන් ඊළඟ අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට ටික දිනකට පෙර නිවසට ලැබුණු ලිපියකින් දැනුම් දී තිබුණේ තුන්වන වසරේ ද අපට නේවාසික පහසුකම් සැපයෙන්නේ නැති බවයි.
අප ඊට කලින් වසරේ නේවාසිකව සිටි ස්ථානය ඒ වන විටත් දෙවන වසරේ සිසුන් කණ්ඩායමකට කුලියට දී තිබුණු අතර අපට වෙනත් තැනක් සොයා ගැනීමට සිදුවිය.
ඉල්ලුම වැඩි වී ඇති නමුත් සැපයීමේ වෙනසක් සිදු වී නොමැති නිසා නවාතැනක් සොයා ගැනීම ලේසි කරුණක් නොවීය. පළමුවෙනි මාසය තුළම අපට තුන්වෙනි ස්ථානයක් දක්වා යාමට සිදු විය.
මේ වන විට රටේ අනෙකුත් විශ්වවිද්‍යාලවල මෙන්ම පේරාදෙණියේ ද ශිෂ්‍ය සංගම් තහනම් කර තිබුණු නිසා මේ වෙනුවෙන් පරිපාලනය සමඟ සාකච්ඡාවක් කිරීමට හෝ ක්‍රමයක් නොතිබුණි.
මේ ගැන සහ වෙනත් කාරණා සාකච්ඡා කිරීමට තුන්වෙනි වසරේ අපේ කණ්ඩායම රැස් වූ විට, අපේ කණ්ඩායමේ සගයෙකු (පාලිත අබේකෝන්) යෝජනා කළේ විශ්වවිද්‍යාල සිසුන් විඳින් දුක කියවෙන ලිපියක් එවකට ජනප්‍රිය පුවත්පතක් වූ ඉරිදා දිවයිනට ඔහුගේ මිතුරෙකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු හරහා යොමු කළ හැකි බවයි.
ඒ ලිපිය ලිවීමේ කර්තව්‍ය මට භාර වූ අතර, ලිපිය සඳහා අවශ්‍ය ඡායාරූප ගැනීමේ කටයුත්ත අපේ කණ්ඩායමේ ඡායාරූප විශේෂඥයෙකු වන ක්‍රිෂාන්ත ජයරත්නට පැවරුණි. මේ සඳහා අවශ්‍ය වූයේ කළු සුදු ඡායාරූප වූ අතර ඒවා මුද්‍රණය කිරීම සඳහා අඳුරු කාමර සහ රසායන පහසුකම් ද ඔහුගේ නිවසේ තිබුණි.
මේ සමග පළ කර ඇත්තේ පහසුකම් නොමැති නවාතැන්වල දුක් විඳින සිසුන්ගේ ඡායාරූප ගන්නා අතරේ ක්‍රිෂාන්ත විසින් ගන්නා ලද ඡායාරූපයකි.
මෙහි සිටින්නේ අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ පාලිත අබේකෝන්, ප්‍රේමලාල් ද සිල්වා සහ ජෝන්ස්ගේ චන්දාස සහ මා ය.
ඔබට මා හඳුනාගැනීමට අපහසු නම් කළ යුත්තේ ඡායාරූපයේ සිටින සිව් දෙනාගෙන් උසැති, කඩවසම් තරුණයා සොයා ගැනීමයි.
- රසික සූරියආරච්චි
(image: D K Jayaratne)
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.