Friday, 19 August 2016

මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs


කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා


දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

ගීතයෙන් පැවසෙන කථාවේ හැටියට ඒ ආදර සම්බන්ධයට මුල වී ඇත්තේ යහළු යෙහෙළියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහළ පන්තිවල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන් ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් හොඳින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්නට පටන් ගන්නේ ඉහළ පන්ති වලදී නොව සමහර විට ඉතා පහළ පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිට ම ය.

ඒ ප‍්‍රාථමික විදුහල් ආදර සිතුවිලි අනිවාර්යෙන් ම ඉතා බොළඳ ඒවා ය. ඉහත සඳහන් ගීයේ විස්තර කෙරෙන පරිදි බොහෝ විට අනෙක් සිසුන් ගේ නම් ලියා කවටකම් කරන්නට සිතෙන්නේ ද මේ බොළඳ ආදර සිතුවිලි වල එක් අතුරු ඵලයක් ලෙස යැයි මට සිතේ.

මා කණිෂ්ඨ පාඨශාලවේ උගත් සමයේ ප‍්‍රථමයෙන් ම එලෙස නම් පට බැඳීමකට ලක් වූයේ තුන් වන වසරේ දී යැයි සිතමි.

කොයි ලෙසක ඇරඹිණි දැයි දැන ගත නොහැකි වුණත් එක් වරම අප පන්තියේ සිසු සිසුවින් කොළ කැබලි වල ගැහැණු-පිරිමි නම් යුගලයන් ලියා අතිනත යවන්න ට වූහ. මේ සිද්ධිය අවසන් වූයේ මෙයින් කොළ කැබලි කිහිපයක් මිදුල අමදිමින් සිටි ඉහළ පන්තියක සිසුවියන් කිහිප දෙනෙකු අතින් විදුහල්පති තුමා කරා යොමුවී, අපේ පන්තියේ සිටි දඩබ්බරයෙකු වේවැල් පහර කිහිපයක් කෑමෙනි.

මේ කාලය වන විට මගේ සිතේ ද සම වයසේ දැරිවියන් පිළිබඳව යම් යම් පහන් සංවේග මතු නොවී නොතිබුණා නොවේ. එහෙත් ඒවා, කඩදාසි කැබලි වල නොම ලියවී සිතට පමණක් සීමා වූ ඒවා විය.

එසේ වතුදු, එලෙස ප‍්‍රාටමිකයේ දී ඇරඹි මෙවැනි සිතුවිලි, මධ්‍ය විද්‍යාලය, උසස් විද්‍යාලය සහ විශ්ව විද්‍යාලය හරහා, පසු කාලයක විවාහ සහකාරිය හමු වෙනතුරුම විවිධ කාල වකවානු තුළ දී විවිධ ආකාරයෙන් මතුවිය. ඒ බොහොමයක් සිතුවිලි 50% ක් පමණක් සාර්ථක වූ ඒවා ලෙස උපහාසාත්මකව හැඳින්විය හැකිය. මේ කාල පරිච්ඡේදය තුළ දී, කෙමෙන් කෙමෙන් මේ සිතුවිලි ධාරාවෝ ගද්‍යයටත්, පද්‍යයටත් නැගෙන්නට ද පටන් ගති.

ගැටවර වියේ දී මේ පද්‍යා රසය දෝරේ ගලා ගියේය.

ඒ කවි වට්ටෝරු පමණක්, කාවුන් කෑ අභ්‍යාස පොත් මැද්දේ, අද ද ඉතිරිව ඇත.

ඒ කෙසේ වෙතත්, මගේ කෝෂ්ටාගාරයේ මොන්ටිසෝරි ආදරය යන දෙපදයෙන් අර්ථ දැක්වෙන්නේ නම්, ගැහැණු පිරිමි යුවලක් අතර පවතින, හිතින් මිස ගතින් ලං නොවූ ආදර සම්බන්ධයකි. වෙනත් වචන වලින් කිවහොත්, දෙදෙනෙකු අතර ඇති වී සිප ගැනීමක් කෙසේ වෙතත් අඩු වශයෙන් අතින් ඇල්ලීමකින් හෝ තොරව පැවතෙන ආදර සම්බන්ධයකි.

මෙහි මොන්ටිසෝරි යන පදයෙන් අදහස් වන්නේ, අදාළ යුවළගේ වයස් සීමාව නොව, ආදර සම්බන්ධයේ ස්වභාවයයි. මෙවැනි මොන්ටිසෝරි ආදර සංසිද්ධීන් අර්ථ දැක්වීමෙන් ම බාලාංශ මට්ටමේ ඒවා වන බව මෙයින් හැඟේ.

තවදුරටත් මෙම වදනේ මගේ අර්ථය පැහැදිලි කිරීම උදෙසා පහත උදාහරණය ඔබ හමුවේ තබමි.

මා පොඩි අවදියේ සිටම, සිංහල ආදර කතා ඉතිහාසයේ අසිරිමත් මග සලකුණක් ලෙස පතල වී තිබූ, එක්තරා නවකතාවක් ගැන අසා දැන සිටියෙමි. මගේ මතකයේ හැටියට 60 දශකයේ මුල් කාලයේ පමණ ලියවී තිබුණු එම කෘතිය ඉතා සංවේගාත්මක වූ, ශෝකාන්තයක් ලෙස නම් දරා තිබිණි. මා ඇසූ, කියවූ පරිදි මෙම පේ‍්‍රම කතාව ප්‍රථම සිංහල ප්‍රේම ශෝකාන්තය යි. එතෙක් පළවී තිබූ සියලු නවකථාවන් හී පෙම් සටන් සියල්ල ජයග‍්‍රහනයෙන් අවසන් වු, සුඛාන්තයන් වී තිබුණි.

මෙම නවකතාවෙන් ශෝකාන්ත නවකථා රැල්ලක් ඇරඹුණු බව කියනු ලැබේ.

වෙනත් නොයෙකුත් නවකථා, පොත් පත් යනාදිය නිරතුරු කියෙවූවද, අපේ නිවසේ හෝ මා භාවිතා කළ පුස්තකාලයක හෝ මෙම කෘතියේ පිටපතක් නොතිබුණු හෙයින්, උස් මහත් වී වසර ගණනාවක් යන තුරුම මා මෙම කෘතිය කියවා තිබුණේ නැත. කෙසේ වෙතත්, ඒ වන විට මා මේ කෘතියේ දෙවන භාගය යැයි සැලකෙන එම කතුවරයා ගේ ම වෙනත් නවකතාවක් නම් කියවා තිබුණි.

අවසානයේ අහම්බෙන් මෙන් පිටපතක් ලැබී ඉහත කී අසිරිමත් පෙම් කතාව කියවු පසු, ඒ ගැන ලියවී තිබුණු බොහෝ දේ කියවා, බොහෝ දෙනා ඒ ගැන කී කතා අසා, මහා පේ‍්‍රම වෘතාන්තයක් යැයි එම නවකතාව පිළිබඳව මා එතෙක් සිතා සිටි සියලු දේ හුදු විහිළුවක් ම පමණක් නොවේදෝ යැයි මට සිතිණි.

මෙම නවකතාව නම් කරුණාසේන ජයලත් ලියූ "ගොළු හදවත" යි.

කිසි දින ආදරයක් ගැන කතා නොකළා වූ, ආදර බස් නෙම තෙපලූ, සිප ගැනීමක් තබා අතකින් අතවත් ස්පර්ශ නොකළා වූ, සුගත් සහ දම්මි යුවළ ගේ ආදර කතාව යි.

මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත ලිපිය මා කලකට ඉහත මෙල්බර්න් නගරයේ පළ කෙරෙන "පහන" මාසික සඟරාවට ලියන ලද එකකි. මෙහි සඳහන් වන "ගොළු හදවත" නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුනු ප්‍රසිද්ධ ගීත රචකයෙකු වන ප්‍රියානන්ද විජේසුන්දර, මගේ ලිපියට පිළිතුරු ලිපියක්ද ලියූ බච ප්‍රීතියෙන් සඳහන් කරමි!

"කවට කමට ඔබෙයි මගෙයි නම ලියා" - සීඩී ෆොන්සේකා ගයන ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතය මෙතනින් නරඹන්න.



(image: http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html)

29 comments:

  1. එකේ පන්තියෙි චිත්‍ර ගුරුතුමිය ගැන මොකද හිතන්නේ.. හැක්.. ජය

    ReplyDelete
  2. මටත් "ආදර සිතුවිලි " ඇතිවෙන්නේ දෙකේ- තුනේ පංති වලදී .. මම ඒ කාලේ හැදුනු නම් ගැන ලිව්වා පොස්ට් එකක .. http://helmalu.blogspot.com.au/2015/10/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. බෘංගයෙකු වගේ!
      පොඩි කමට ද වැඩ?

      Delete
  3. මගේ මුල්ම ආදරය ඇති වුයේ ඉපදෙන්නටත් පෙර මවු කුස තුළදීය. ඒ මගේ පින්බර ආදරණීය රට කෙරෙහිය.

    මගේ දෙවන ආදරය ඇති වූයේ වයස අවුරුදු දෙකේදීය. ඒ මගේ ධීර වීර ජාතිය කෙරෙහිය.

    මගේ තෙවන ආදරය ඇති වූයේ මොන්ටිසෝරියේදීය. ඒ මගේ පරම සත්‍ය ආගම කෙරෙහිය.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ආගම (Religion) යනු විජාතික සංකල්පයකි. ඔබේ තුන්වැනි ආදරය බුදු "සමය" පිළිබඳව විය යුතුයි.

      Delete
  4. මොන්ටිසෝරි ආදරයද? මොන්ටිසෝරි ප්‍රේමයද?

    ReplyDelete
    Replies
    1. ඒ වචන දෙකේ ඔබේ නිරුක්ති මම නොදනිමි. මගේ නම් එකිනෙක වෙනසක් නැත!

      Delete
    2. මේ වචන 2හි වෙනස මා පැරණි කළු සුදු සිංහල චිත්‍රපටයකිනි (නමද අමතකය )ඉගෙනගත්තෙ.එහිදී කොල්ලෙක් කෙල්ලට (ප්‍රධාන නිළියට ) කියනව "මා ඔබට ආලය කරමි". පිළිතුර "මට ඔබට ආලය කල නොහැක.මා ඔබට ප්‍රෙම කරමි.ඔබ මා හට සහෝදරයෙක් වැනිය". වැනි එකක්.බොහෝ කාලෙකට කලින් නැරඹූ චිත්‍රපටයක් නිසා නිවැරදිම දෙබස අමතකය.මාගේ අදහස වැරදිදැයි නොදනිමි.නමුත් මේ දෙබස ඇසුරෙන් මට හැඟී ගියේ ආලය හෙවත් ආදරය,සෘංගාරය හා මුසුව පවතින්නක් වන අතර ප්‍රේමය එසේ නොවන බවයි.සෙනෙහස යන්න ඊටත් වඩා වෙනස් අදහසකින් "මව් සෙනෙහස" සම්භන්දව යෙදෙන ලෙසින් භාවිතා වන්නක් බවයි.

      Delete
  5. Oya vindaya 13 list ekata nedda?

    ReplyDelete
  6. තුනේ හෝ හතර පන්තියේ ලුණුගල ගිය ප්‍රාථමික විදුහලේ ගැහැණු ළමයෙක් එක්ක නිතර කතා කලා , සෙල්ලම් කලා . එයාගේ නම මංගලිකා කියල තමා මතක.

    ReplyDelete
    Replies
    1. මංගලිකා මනාලිකා ,ඔබ නොදැකා ඉනු නොහැකා
      සේපාලිකා මලක් වගේ
      යන්න එපා කෝප වෙලා ,ඉන්න වේවි සෝක වෙලා
      ආදර වන්තියේ මගේ

      Delete
    2. ඊට කලින්, මේ ප්‍රාථමිකේ දී නේ!

      Delete
  7. ආදරය කියන්නේ කොහොමත් මොන්ටිසෝරී කේස් එකක් තමයි...

    වයස් කීය උනත් මොන්ටිසෝරි වැඩ තමයි ඒ කාලෙට කොරන්නේ..

    අනික අර ආලය අන්ධයි කියන කතන්දරෙත් සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති.
      අබ කෑ එකා ගේ නහය දනවා ය කියනවානේ!

      Delete
  8. මාතලන්ගේ කතාවට මාත් එකඟයි...

    මොන්ටිසෝරි මට්ටමේ ඉඳන් පශ්චාත් උපාධි මට්ටමට යන්න ගියාම තමයි, උපදින්නත් කලින්ම අහිංසක දරු පැටව් මැරෙන්නේ...ඒ හන්ද ඔය මොන්ටිසෝරි මට්ටමෙන් ග්‍රජුවෙට් වෙන එක පරිස්සමට කරන්න ඕනේ දෙයක්....

    ඔහොම ප්‍රේම කථාවන් නැත්තේම නෑ රසික...විශේෂයෙන්ම පාසැල් කාලේදී...(අද කාලේ නම් දරුවන්ට නිදහස වැඩියි)...ඒවා මොන්ටිසෝරි කියා පැවසීම, එහෙම ප්‍රේම කරන ඈයොන්ට කරන අගෞරවයක් ද මන්ද...මිනිස්සු හිත් වලින් බොහොම ගැඹුරින් බැඳෙන වෙලාවල් තියනවා ජිවිතේ...ඒ දේට ස්පර්ශයක් හෝ සිප ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ...ඒවා නැති උනයි කියල ඒ ප්‍රේමය නැති වෙන්නෙත් නෑ (දැන් ඉතින් මාත් මොන්ටිසෝරි ළමයෙක් වෙයිද දන්නේ නෑ :D )

    ReplyDelete
  9. ආදරේට කියන කතා බොලඳ උනාට
    සාගරේක ගැඹුරදැනෙයි නොවෙද ඔයාට.....

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ රසික ඕක ලිංගික කුතු හලය එනකාලෙ වෙනදයක් කියල. ඔය කාලෙ නේද අඳුරු අහුමුලු වලට ගිහිල්ල දෙන්නගෙ අවයව එහෙම අතගාල බලන්නෙ.

      Delete
    2. ඒ කියන්නේ උඹ අරයගෙ සාගරේ කොච්චර ගැඹුරුද කියලා බලනවා පොල්ල දාලා. රසිකයත් ඕකම තමා කලේ අපි එක්ක පේරාදෙණියේ ඉන්න කාලෙත්.

      Delete
    3. ආං බලන්ටකෝ... ඔයැයිට ඒක තේරුනා... හරකට වගේ.....

      Delete
    4. ආදරය කියන එකට සරල අර්තදැක්වීමක් කරන්න බෑ නේද?
      මට හිතෙන්නේ අන්ධයින් අලියා ගැන විස්තර කරබවා වගේ කේස් එකක්!

      Delete
  10. මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.////// එතකොට කැළුම්ගෙයි දේදුණුගෙයි ආදරේ ?

    ReplyDelete
    Replies
    1. දේදුණු කැළුම් සැලකෙන්නේ බොළඳ කතාවක් විදියටයි. නමුත් සුගත් දම්මී එහෙම නොවෙයි පිවිතුරු ප්‍රේමයක් ලු!
      එතැනයි අවුල!

      Delete
  11. මගේ ආදර කථාව කරුණාසේන ජයලත් විසින් ඍණ මතකයක් ලෙසින් වසර 40 කට පමණ පෙර දැක ඇතැයි සිතමි. මන්දයත් ඔහුට කාලය හරහා අද දක්වා පැමිණීමේ හැකියාව තිබී නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.