Sunday 5 June 2016

අද ඉරිදා, හොඳ ඉරිදා! - All in a days work


වදුරන් සහ විලියම් ශේක්ස්පියර් කෘති පිළිබඳ කතාව අසා තිබේද?

මෙය ඇත්තටම ප්‍රමේයයක් හෙවත් තියරම් එකකි.

මේ ප්‍රමේයයට අනුව, යතුරු පුරුවක අහඹු ලෙස වරකට එක් යතුර බැගින් ඔබන වඳුරෙකු, අනන්ත වාරයක් එසේ කිරීමේ දී, විලියම් ශේක්ස්පියර් විසින් රචිත කෘති සියල්ලම ලියවෙන්නට මුළුමනින් ම පාහේ ඉඩ ඇත.

බැලු බැල්මට විශ්වාස කිරීමට අපහසු ලෙස පෙනෙන ඒ ප්‍රමේයයේ රහස නම් අනන්ත වාරයක් යන්නයි.

මෙහි විලෝමයට සමාන පරීක්‍ෂණයක් සලකා බලමු.

එනම්, උදාහරණයක් ලෙස එකම වස්තු බීජයක් අනන්ත සංඛ්‍යාවක් වූ රචකයින් අතට පත් කළ විට ඔවුන් ඒ අනුසාරයෙන් නිර්මාණය කරන කෘති දෙකක් අකුරෙන් අකුර එක හා සමාන වීමට මුළුමනින් ම පාහේ ඉඩ තිබේ.

මට මේ කරුණ සිහිවූයේ, අද සවස පැවති කවි පොතක් එළි දැක්වීමේ උලෙළක් මෙහෙය වීම සඳහා සූදානම් වීමේ දී ය.

පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ නම් ප්‍රකට කියමනක් ඇත. මා දන්නා පරිදි මේ දෙපදය ඇත්තේ පුරාණ සිංහල කාව්‍ය සංග්‍රහයක් වන කව් සිළුමිණ නම් ග්‍රන්ථයේ ය. එය රචනා කළේ දෙවැනි (පණ්ඩිත) පරාක්‍රමබාහු රජු බව කියවේ.

ඒ කවි දෙපදයෙන් කියවෙන්නේ කවියක රස විඳ ගැනීමට සමත් අය ලොව ඉතා හිඟ බවයි.

ලූලන් හිඟ සිනුවර දී, කවි පොත් එළි දක්වන හෝ ඒ ආකාරයේ කවි හා සම්බන්ධ උත්සව මෙහෙයවීම සඳහා මට ආරාධනය ලැබෙන අවස්ථාවල දී, ඒ පඬි වදන උපයෝගී කර ගැනීම කලක සිට මගේ පුරුද්දයි. ඒ බොහෝ විට උත්සවය ආරම්භයේ දී මා ගායනා කරන කවිය ලෙසයි.

මේ පහත දැක්වෙන්නේ ඒ ආකරයට උත්සව අවස්ථා ත්‍රිත්වයක් සඳහා ඒ එකම අදහස උපයෝගී කරගනිමින් මවිසින් පබැඳ ගායනා වුණු කවි ත්‍රිත්වයකි.

සිනුවර සිංහල ලේඛක සංසදය විසින් සංවිධානය කෙරුණු පටිගත කරන ලද කවි මඩු නැරඹීමේ අවස්ථාව:

කවි පදයක රසය විඳිනට නිසි ලෙසිනා
හැකි නෙත් දුලබ බව පඬි වදනක යෙදුණා
එවදන් සරි කරන පිරිසක් මෙහි සිටිනා
ප්‍රිය දසුනකිය මිතුරනි ඔබ සියලු දෙනා


පාලිත මංචනායක කවියා විසින් සම්පාදිත අන්තර්ජාල කවි සංවාද කෘතියේ දොරට වැඩුම දින:

කවි පදයක රැඳුණු නෙක සිරිරස විඳිනා
දෙනෙතා ඉතා දුලබය එය පඬි වදනා
එය බොරු කරන පිරිසක් අද මෙහි සිටිනා
මම හිස නමමි, පිළිගමි, ඔබ සියලු දෙනා


ඥානතිලක හේවාගමගේ කවියා ගේ ඇවිලිණි කුමරි බඹසර කෘතිය ජනගත කෙරුණු දින:

කවියේ රස හොඳින් විඳගන්නට කියවා
හැකිකම ඇති දෙනෙත් දුලබ ය පැවසෙනවා
අද මෙහි පැමිණි ඔබ සැම ඒ බස් බිඳවා
පිළිගමි සාදරෙන් මම අත් දෙක ඔසවා


අනන්ත වාරයක් බලා නොසිට මීළඟ කවි පොත එළිදැක්වීමේ උත්සවයේ දී ම, වෙනත් පඬි වදනක් අල්ලා ගන්නට මම අදහස් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හැකි අයෙකු වෙතොත්, ඒ "පෙදෙහි රස හව් විඳිනා, දෙනෙතා ඉතා දුලබෝ" යන අදහස අන්තර්ගත කර, කවි පිළිබඳ උත්සවයක දී ගායනා කළ හැකි පිළිගැනීමේ කවියක් ඉහත කවි තුන ලියා ඇති විරිතෙන්ම ලියන මෙන් සුහද අභියෝගයක් කරමි.

(image: http://fisherynation.com/)

15 comments:

  1. හුරේ පෝන් සීරීස් එක ඉවරයි, මල වදේ.

    ReplyDelete
    Replies
    1. මගේ ජංගම ජාතකයේ ඉදිරි කොටස් සඳුදා සිට නැවත ඇරඹෙන බව සතුටින් දැනුම් දෙමි!

      Delete
    2. හුටා!

      Delete
    3. හැක්.. හැක්..

      Delete
  2. ඒක හොඳයි.
    නැත්තම් එකම කවිය ආපහු තව තැනක කියලා සමහර විට අහුවෙන්නත් ඉඩ තියෙනවා..
    අනන්තෙට කලින් අලුත් කවියක් හොයා ගන්න පුළුවන් වෙන්න කියලා රසික ට මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. තව දෙතුන් පාරක් මේ අදහසම ප්‍රතිචරක්‍රීකරණය කරන්න බැරිකමක් නෑ!

      Delete
    2. කවි ප්‍රතිචක්‍රීකරණය ත් නරකම නැහැ. බොහොම ප්‍රයෝජනවත්...

      Delete
  3. දැන් ඔය විභාග දෙපාර්තමේන්තුවේ කට්ටිය එහෙම ඉන්ෆයිනයිට් මන්කි තියරම් එක දන්නෙ නැතුව ඇති. නැත්නම් අහිංසක ළමයි කොපි කළා කියල ලෙඩ දමාවියැ.

    ReplyDelete
    Replies
    1. ඇයිත ටියුෂන් ගුරුවරුත් කලින් දෙන්නේ ප්‍රශ්න පත්තරේ කොටස්?

      Delete
  4. කාටද පුලුවන් ලියන්න ඒ කියපු අදහස තියෙන්න ඔය විරිතෙන්ම සඳැස් කවියක්?

    ReplyDelete
  5. මන්කි තියරි එක..අනන්ත වාරයක් පේපර් වලට උත්තර ලිවොත් පේපරේ හදන එකා තරමටම උත්තර ලියන්න පුළුවන්.ළමයින්ට අයිඩියාව දාන්ඩ ඕන.ඒත් මොඩ්ල් පේපර් අනන්තයක් කොහෙන් හොයන්ඩද

    ReplyDelete
    Replies
    1. උසස් පෙල ව්‍යවහාරික ගණිතය සඳහා වූ අපේ කාලයේ විෂයය නිර්දේශය ආවරණය කරන්නට නම් ප්‍රශ්න 140 කින් හැකි බවයි අප අසා තිබුණේ. ඉට අමතරව එන ඕනෑඟ ප්‍රශ්නයක් පෙර ප්‍රශ්ණයකින් කොටසක් හෝ එකතුවක් හෝ කොටස්වල එකතුවක්!

      Delete
  6. වඳුරෙක් අනන්ත කාලයක් සසරේ මැරෙමින් ඉපදෙමින් ගමන් කළොත් ශේක්ස්පියර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඔය තියරම් එකෙන් අපෝහනය කරන්න බැරිවෙයිද?

    ReplyDelete
  7. ඒ වදුරා තමයි ක්‍ෂේස්පියර් වුණේ...

    වික්‍රමසිංහ ගේ මඩොල්දූවට අතිශයින් සමාන ගද්‍යයක් ඩොස්ටොවුස්කි ලියා ඇති බව අසා තබේ.

    ReplyDelete
  8. අනන්තවාරයක් එබුවොත් මටත් කවියක් ලියාගන්න බැරිවෙන එකක් නෑ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.