මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Friday, 16 December 2016
සෙංකොට්ටං, මාණික්කාවත, ක්‍ෂණික මෝචනය සහ ප්‍රමාද මෝචනය - Novels by Mahinda Prasad Masimbula
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නම් නවක ලේඛකයෙකු පිළිබඳවත්, ඔහු ලියූ සෙංකොට්ටං නම් සංවේදනාත්මක නවකතාවක් පිළිබඳවත් මට අසන්නට ලැබුණේ ෆෙස්බුක් අවකාශය නිසා ය. සෙංකොට්ටං නවකතාවට ලංකාවේ සාහිත්‍ය සම්මාන කිහිපයක් ම හිමි වී තිබුණි.
ඉන් කලකට පසුව 2014 අප්‍රියෙල් මාසයේ දී සති දෙකක නිවාඩුවකට ලංකාව බලා යාමට අවස්ථාව ලැබුණු නිසා, ඒ නවකතාව (සහ තවත් පොත් කිලෝ විසි එකක් පමණ) රැගෙන එන්නට මට අවස්ථාව ලැබුණි.
මා ෆේස්බුක් හරහා අසා දැන තිබුණාක් සේ ම සෙංකොට්ටං නවකතාව, අතිශය සංවේදනීය සිදුවීම් රැසක් අනුසාරයෙන්, අප නොදන්නා කාලවකවානුවක් පසුබිම කරගෙන ලියවුණු, මූලිකව උසස් රසයක් ලැබෙන විශිෂ්ට ග්‍රන්ථයක් විය.
නමුත් මට වැටහුණු ආකාරයට නම්, ඒ විශිෂ්ට නවකතාව වනාහී සියවසකට පමණ ඉහත කාලයක ලංකාවේ සබරගමුව පළාතේ රදා නමින් හැඳින්වෙන පහත් යැයි සම්මත කුලයක පවුලක් වටා ගෙතුණු සමස්ත සෙංකොට්ටං නවකතාව ම නොවේ.
මගේ නිගමනය අනුව විශිෂ්ට නවකතාව වූයේ මුද්‍රිත සෙංකොට්ටං නවකතාවේ මූල් 80% පමණ කොටස, එනම්, එහි ආ සංකීර්ණ චරිතයක් වූ පොඩිනා නමැත්තියව, ඇයව ලිංගික අපයෝජනයකට ලක් කළ ඉහළ කුලයක මහත්තැන් කෙනෙකු විසින් කෘර ලෙසින් මරා දමන මොහොත වෙනතුරු සිදුවීම් අඩංගු කොටස, පමණි.
ලේඛක මස්ඉඹුල කර තිබුණේ තමා ගේ විශිෂ්ට නවකතාව, පාඨකයා කියවීමේ සුරතාන්තයට පත් වූ ඒ උච්චස්ථානයෙන් නතර නොකොට, තවත් ඉදිරියට ඇදගෙන ඇදගෙන ගොස් එයට සුරංගනා කතාවක අවසානයක් ලබා දී චොර බොර කර දැමීමයි.
පාඨකයා සුරතාන්තයට පත් වෙන මොහොතින් පසු ලේඛකයා දිගින් දිගටම රචනයේ යෙදීම යනු පාඨකයා එතෙක් ලැබූ වින්දනය, එහි උච්චස්ථානයේ සිට අවගමනය කරවන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.
සෙංකොට්ටං කියවූ සමහර බාලාංශ මට්ටමේ පාඨකයින් නම්, සුරංගනා කතාවක් බඳු වූ ඒ දෙවන භාගයට කැමති වන්නට ඇත. එවැනි පිරිස් කියවීමේ සුරතාන්තයට පත්වෙන්නේ සතුරා පැරදී, වීරයා දිනා, කෙල්ල කොල්ලාට හිමි වී, දෙමව්පියන් කටයුත්තට කැමති වී සියල්ල ජොලියෙන් අවසාන වෙන ඉක්බිති සියල්ලෝ ම සතුටෙන් ජීවත් වූහ අච්චුවේ සුඛාන්තයන් හි දී පමණි.
පසුගිය වසරේ (2015) දෙසැම්බර් 16 වෙනිදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති පොත් එළිදැක්වීමක දී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල අහම්බෙන් මුණ ගැසුණු වේලේ, මා මේ කාරණාව, එනම් සෙංකොට්ටං නවකතාව නතර කරන්නට තිබුණේ පොඩිනා මියගිය දිනයෙන් බවත්, ඉන්පසු ඔහු එකතු කර තිබුණු පරිච්ඡේද සියල්ලම මූලික කතාව තනුක කරන ඒවා බවත්, ඔහුට කීවෙමි.
සම්මානලාභී ලේඛකයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ලේඛකයා ගේ කාර්යභාරය ද, රසිකයා ගේ සහ විචාරකයා ගේ කාර්යභාරයන් ද හොඳින් දන්නා නිසා, මගේ ඒ විවේචනය සිනහ මුසු මුහුණින් යුතුව පිළිගත්තේ ය.
මා පමණක් නොව වෙනත් පිරිස් ද, මා ඔහුට එදා පැවසූ ඒ අදහස, එනම්, සෙංකොට්ටං නවකතාව අවසාන කරන්නට තිබුණේ පෙර කී සුරංගනා කතාවට පිවිසෙන්නට කලින්, පොඩිනා ගේ මරණයත් සමග බව මහින්ද ප්‍රසාද් මස්ඉඹුලට කියන්නට ඇති බවට සැක නැත.
නමුත්, ඒ වන විට අප ප්‍රමාද වැඩිය!
ලේඛක මස්ඉඹුල ඒ වනවිටත් ඔහුගේ දෙවන නවකතාව වන මාණික්කාවත ලියා, සකසා, ප්‍රකාශයට පත්කර තිබුණි!
මාණික්කාවත නවකතාව ගෙතී ඇත්තේ සියවස් එකහාමරකට පමණ ඉහත කාලයක, කුල හීන තරුණියකට පෙම් කිරීමේ වරදට තමන් ගේ ගමෙන් පන්නා දමනු ලබන කෙටිහාමි නම් දිරිය තරුණයෙකු විසින් සබරගමුවේ කැලෑබද පෙදෙසක ස්ව-ශක්තියෙන් කුඹුරක් අස්වද්දා, ගමක් බිහි කරන ආකාරය අනුභූතිය කරගෙන ය. එය අප එතරම් නොදන්නා අතීතයක සමාජ දේශපාලන වාතාවරණය විවරණය කෙරෙන අපූරු නිර්මාණයකි.
මාණික්කාවත නවකතාව ද, සෙංකොට්ටං නවකතාව මෙන් ම, ඉතා ජනප්‍ර්‍රිය නවකතාවක් බවට පත්විය. කොටින් ම මම මාණික්කාවත පිටපත් තුනක් ම ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට රැගෙන ආවෙමි.
නමුත් අවාසනාවකට මෙන්, මාණික්කාවත නවකතාවේ දී ද, අපේ හිතවත් ලේඛකයා කතාව එහි උච්චස්ථානයේ දී, එනම්, කෙටිහාමි නම් පෙර කී තරුණයා මහලුව මිය යන ඒ යුගයක අවසානය සනිටුහන් වෙන දිනයේ දී හෝ අඩුතරමින් කුඩා කල අනතුරක් නිසා දෘෂ්‍යාබාධිත වූ ගුණාදරී නම් දියණිය මහලුව මිය යන දිනයේ දී හෝ මේ නවකතාව අවසාන නොකොට අනවශ්‍ය පරිදි තවත් යුගයක් කරා ඇදගෙන ඇදගෙන යයි.
එනම්, පාඨකයා ගේ කියවීමේ සුරතාන්තය එළැඹී පාඨක සුවය අවසාන වුව ද, බොහෝ විට එය වටහා නොගන්නා, ලේඛකයා තව දුරටත් ලේඛන සුවය ම විඳියි.
නොදන්නා අය (සිටී නම් ඔවුන්) ගේ දැන ගැනීම පිණිස කියන්නේ නම්, මනුෂ්‍ය ජීවින් දෙදෙනෙකු අතර ඇතිවන ආදරයේ අවසාන ඵලය වන ලිංගික එක්වීමෙන් දෙදෙනා උපරිම වින්දනය ලබන මොහොත සුරතාන්තය නම් වේ. ප්‍රශස්ත ලිංගික එක්වීමක් සඳහා සුරතාන්තය උදාවීම ප්‍රමාද විය යුතු බව මෙන් ම, දෙදෙනාට ම එක්වර සුරතාන්තය ලැබිය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි.
එසේ නොවී එක් අයෙකුට සුරතාන්තය ඉක්මනින් ලැබෙන කළ, ඒ තත්වය හැඳින්වෙන්නේ ක්‍ෂණික මෝචනය නමින් ය.
ලිංගික එක්වන දෙදෙනාගෙන් එක් අයෙකුට ක්‍ෂණික මෝචනය වුවහොත්, එනම්, අනෙකා ලිංගික සුරතාන්තයට පත්වෙන්නට පෙර තමන් ගේ සුරතාන්තය ලදහොත්, අනෙකාට උපරිම ලිංගික වින්දනය නොලැබෙනු ඇත.
ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්වය වනුයේ එක් සහකරුවෙකුට සුරතාන්තය ළඟා වූ පසුවත් අනෙකාට දිගින් දිගටම ලිංගික කර්තව්‍යයේ යෙදීමට අවශ්‍ය වීමයි. මෙය දෙදෙනාට ම අපහසුදායක, අසහනකාරී සමහර විට වේදනාකාරී තත්වයකි.
ක්‍ෂණික මෝචනයට සහමුලින්ම විරුද්ධාර්ථය වූ මේ සංසිද්ධිය ප්‍රමාද මෝචනය ලෙසින් හැඳින්විය හැක.
පාඨක අපේ පැත්තෙන් සලකා බලන කළ, සෙංකොට්ටන් හි දී මෙන් ම මාණික්කාවත නවකතාවේ දී ද සිදුවන්නේ ලේඛකයා ගේ ප්‍රමාද මෝචනයයි. පාඨකයා ගේ සුරතාන්තය ළඟා වී තවත් කාලයක් තිස්සේ නවකතා ද්වයම ඇදි ඇදී යන්නේ ඒ නිසා ය.
නමුත් ලේඛකයා ගේ පැත්තෙන් සලකා බලන කළ, වරද පාඨකයා ගේ ය. ලේඛකයා ගේ සුරතාන්තය උදාවෙන්නට පෙර පාඨකායා ට ක්‍ෂණික මෝචනය සිදු වී ඇත.
-රසිකොලොජිස්ට්
ප/ලි:
දිගු කලකට පෙර ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "රූපණ" නම් සාහිත්‍යමය වැඩ සටහන් මාලාවේ එක් වැඩසටහනක දී කුලසේන ෆොන්සේකා ගේ "පාලම යට" නම් නවකතාව පිළිබඳව සුචරිත ගම්ලත් දැඩි විවේචනාත්මක විචාරයක් කළේ ය. ඒ විචාර ක්‍රමය එතැන් සිට "දෙඤ්ඤං බැටේ!" විචාර කලාව ලෙසින් හැඳින්වුණි.
අද මා කරන මේ විචාරයට ඒ ආකාරයේ සුවිශේෂී නමක් අවශ්‍ය නම් ඒ සඳහා "මෝචන විචාරය" යන්න සුදුසු බව මගේ අදහසයි.
Subscribe to:
Post Comments (Atom)
මටත් හිතෙනව සෙංකොට්ටං වලත් මානික්ඛාවත ටිකක් දිගට ඇදෙනව වැඩියි කියල. ඇත්තටම සෙංකොට්ටං වලනම් අවසාන කරන්න තිබුනෙ පොඩින මැරිච්ච දවස් වල තමයි.මටත් හි
ReplyDeleteදුඛාන්ත රසය සුඛාන්ත රසයට වඩා වැඩියි කොහොමටත්!
Deleteපසුගිය දශකය තුල පළවුණු නවකතා කියවාම නැති තරම්ය. මෙවැනි සටහනක් කියවන විට ඒ අඩුවෙන් ඉතාම කුඩා ප්‍රමාණයක් හෝ පිරේ.
ReplyDeleteලංකාවට ගියා ම පොත් ගෙන්නේ නැද්ද?
Deleteමේ නවකතා දෙකම මා කියවා නොමැත - එහෙත් කියවීමට අදහස් කරමි - මාතෘකාවට අනදාළ කරුණක් කතා කරන්නේ නම් ක්ෂණික මෝචනය ලෙස හඳුන්වන්නේ (පිරිමියෙක් සම්බන්ධයෙන් ගත් කළ) සංසර්ගය ඇරඹී මිනිත්තුවක් ඇතුළත කාලසීමාවේදී සුරතාන්තයට පත්වීමයි. ///There is no uniform cut-off defining "premature", but a consensus of experts at the International Society for Sexual Medicine endorsed a definition including "ejaculation which always or nearly always occurs prior to or within about one minute".[1]////
ReplyDeleteක්‍ෂණික මෝචනය පිළිබඳ වැඩි අත්දැකීම් නැති අතර ඒ ගැන මේ ලිපිය සඳහාවත් සොයා බලා ද නැත. කාල සීමාවක් යෙදීමට වඩා ප්‍රායෝගික වෙන්නේ ලිංගික සහකරු/කාරියට සාපේක්‍ෂව එය ක්‍ෂණික ද නැද්ද යන්න තීරණය කිරීම යැයි මේ ලිපිය සඳහා සිතුවෙමි.
Deleteමේ මෝචන විචාරයේ යම් සංශෝධනයක් අවශ්‍ය බව ඔබේ අදහස් දැක්වීම නිසා සිතුණි.
ස්තුතියි ලක්‍ෂාන්!
තවමත් ග්‍රාමීය රෝහල් වල සෙංකොට්ටංලා රෙදි සෝදති. ඔවුන් රෝගී සුවයේ ඉතා වැදගත් රාජකාරියක් කලද සමාජය ඔවුන් ව කොන් කරති. අපගේ සමාජය වැඩවසම් ය. මේ තත්වය කවදා වෙනස්වේද කියා මම නොදනිමි.
ReplyDeleteසුඛාන්තයකින් අවසාන කිරීමේ තවත් වරදක් එය වේ!
Deleteපොතක් කියවපු කාලයක් මතක නෑ. මෝචනය නං ඉතිං....
ReplyDeleteඅන්න අන්න පොත පෙරලනවා!
Deleteනවකතා දෙකම මාද කියවා නැත.හැබැයි කියවන්න ආසාවක් ඇති කෙරුවා රසික ගේ මේ විස්තරය.මොකද රසිකම කිව්වා "ආගන්තුක චමත්කාරය" මේ පොතේ ඇතැයි හැඟෙන නිසා.
ReplyDeleteඔව් ඒ චමත්කාරය තියෙන්නේ අප නොදන්නා ඓතිහාසික කොටසේ යි. කතා දෙකම වත්මනට ඈඳීමට කර ඇති දිගු නිසා වැඩේ කුරුවල් වී තියෙනවා!
Deleteමස්ඉඹුල වෙනුවට කටුඉඹුල කියලා නම තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැ.
ReplyDeleteනොදනිමි!
Deleteසෙංකොට්ටං කියෙව්වා. මටත් රසිකගේ අදහසම ආවා කියවලා ඉවරවුනාම. අවසාන කොටස්වලින් රසයට පොඩි කැප් එකක් වැටුනා.
ReplyDeleteඅරූ කලින් ම පාඨක සුරතාන්තයට පත්වෙලා!
Deleteසෙන්කොට්ටං එක්ක බලද්දී මානික්කාවත චොර.විදේශවල ඉන්න අපි කියවන කතාපොත් ලංකාවෙ ඉන්න අයට ගන්න නැතුවවත්ද?
ReplyDeleteමේ පොත් දෙකම ලංකාවේ ඉතා ජනප්‍රිය ඒවා!
Deleteසෙංකොට්ටන් අදත් කියෙව්වා.රසික කියපු කතාව කල්පනා කර කර ඉන්නකොට තමයි පෝස්ට් එක දැක්කෙ.පොතේ කොල ගාන වැඩි කරගන්න ඒ ටික ලිව්වද මංදා කියල හිතුනා.ඕනම නං කොල්ලව මාම ලඟට යවන තැනින් වත් නැවැත්තුවා නම් 'වේදනාවක්' දැනෙන්නැතිවෙයි.හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
ඒ වැඩිපුර කොටස් වැඩි දියුණු කරලා වෙනම පොතක් විදියට ලියන්න තිබුණා කියායි මට හිතෙන්නේ!
Deleteමට නම් හිතෙන්නෙ සෙන්කොට්ටන් වල වැදගත්ම අග කොටස කියලයි. රසය අඩු බව නම් ඇත්ත. ඒත් වැඩවසම් ක්‍රමය බිදවැටී, නව අද්යාපන, රැකියා අවස්තා ලැබීම නිසා පීඩිත පන්තියට ඉදිරියට යන්නට ලැබුන ආකාරය ඒ කොටසින් තමයි පැහැදිලි වෙන්නෙ.නිදහස් අඩ්යාපනයෙ අගය පැහැදිලි වෙන්නෙ.තව තවත් පොඩිනලා බිහිවීම අද්යපනය නිසා වැලකෙන හැටි පැහැදිලි වෙන්නෙ.
ReplyDeleteඒවා තමයි මං සුරංගනා කතා කෑලි කියා හැඳින්වුවේ!
Delete"සෙංකොට්ටං කියවූ සමහර බාලාංශ මට්ටමේ පාඨකයින් නම්, සුරංගනා කතාවක් බඳු වූ ඒ දෙවන භාගයට කැමති වන්නට ඇත. එවැනි පිරිස් කියවීමේ සුරතාන්තයට පත්වෙන්නේ සතුරා පැරදී, වීරයා දිනා, කෙල්ල කොල්ලාට හිමි වී, දෙමව්පියන් කටයුත්තට කැමති වී සියල්ල ජොලියෙන් අවසාන වෙන ඉක්බිති සියල්ලෝ ම සතුටෙන් ජීවත් වූහ අච්චුවේ සුඛාන්තයන් හි දී පමණි."
සෙංකොට්ටං පොතනම් කියවල තියනවා, මාත් ඒකෙ අවසානයට කැමති නෑ.නොගැලපෙන අවසානයක්.
ReplyDeleteඅන්නේකයි.
Deleteමාණික්කාවත ද එසේ ම ය!
මා්චන විචාරය කියවූවෙමි.
ReplyDeleteඒ බව දැන්වීම පිළිබඳව ස්තුතියි!
Delete//මගේ ඒ විවේචනය සිනහ මුසු මුහුණින් යුතුව පිළිගත්තේ ය.//
ReplyDeleteඑම ප්‍රතිචාරය 100% නිවැරදිය. ඔහු ලියන්නේ ඔහුට ඕනෑ දෙයය. ඔබට හෝ මට උවමනා විදියට ඔහු ලියන්නට සූදානම් නැත. ඒ එසේ කලහොත් ඔහු ඔබ හෝ මා මිසක් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල නොවන නිසාය.
එමෙන්ම වටහා ගතයුතු සත්‍යය නම් ඔබ හා මාද කරන්නේ ඒ දේම යන වගය.
කවුරු කෙසේ කීවත් සියලු දෙනා (මෙහිදී අපි ලේඛකයන් පමනක් සලකමු) කරන්නේන් මේ දේමය. ඒවා වැළඳගන්නවාද නැද්ද යන්න පාඨකයාගේ තීරණයකි.
කිසිවෙකු ඔවුන්ගේ පොත් මිලදී ගන්නැයි කිසිවෙකුට බල කරක්නේ නැත. පොත් වලට මාකටින් කිරීමක් මා දැක නැත. පොත් කඩවල පොතක පිිටු කීපයක් (මම දන්නා මරදානේ පිහිටි සමහර පොත් කඩවලනම් පසකටවී මුළු පොතම කියවූවත් කිසිවක් කියන්නේ නැත) කියවා බලා එය මිලදීගැනීමට ඉඩ සලසා ඇත්තේ එබැවිනි. පොතේ මුල මැද අග කියවා බලා මිලදීගැනීම වටනේද යන්න තීරණය කර හැක. එම තීරණය ඔබේ පෞද්ගලික තීරණයක් මිසක් එය සමස්ථ පාඨක වර්ගයාගේම තීරණයක් නොවේ. එය එසේ සිතීමද සදාචාරාත්මක නොවේ.
කෙටියෙන් කිවහොත් විවිධාකාර ලේඛකයන් සිටිය යුතුය. මාටින් වික්‍රමසිංහ,සයිමන් නවගත්තේගම මෙන්ම සුජීව ප්‍රසන්නආරච්චිද පොත් ලිවිය යුතුය. මන්ද ඒවා ඒ ඒ විදියට වැලඳගන්නා විවිධ ස්ථරවල පාඨකයන් සිටින බැවිනි.
විවිධත්වය ආශ්වාදනය කිරීමට පුරුදු වන්න.
ඔබට මේ පහත වාක්‍යාංඩය මග හැරුණේ නෑ නේද?
Delete/* ....ලේඛකයා ගේ කාර්යභාරය ද, රසිකයා ගේ සහ විචාරකයා ගේ කාර්යභාරයන් ද හොඳින් දන්නා .... */
එසේම නැවතත් කියනවා නම් මා මේ කර ඇත්තේ පොත් දෙකක් පිළිබඳ විචාරයකි.
එනිසා, ඔබ කියා ඇති කරුණු සියල්ලම පාහේ මෙතැනට අදාල නැත!
පට්ට මෝඩ විචාර කරන්නත් බ්ලොග් තියෙනවානේ නේද? රසික.
ReplyDeleteතියෙනවා ඇති, නමුත් මට අදාල නැත. ඒවා (පට්ට මෝඩ විචාර) ලියවෙන්නේ ඔබ වෙනුවෙන් විය යුතු ය!
Deleteසෙංකොට්ටං වලත් මානික්ඛාවත යන දෙකෙහි ඔබ කියන කාරනාව සැබෑ ලෙසම ස්මතුවේ.මාණික්ඛාවතෙහි එය කලින්ට වඩා දක්නට තිබේ යැයි මට හැගේ.නමුදු එ පරිකල්පනය සුපිරියි
ReplyDeleteපොත් දෙකේ ම අවසාන කොටස් මගින් මුල් විභවය දියාරු කර යවා ඇත!
Deleteපොත් දෙකම කියවල නැහැ. ඒ නිසා අදහසක් දෙන්න අමාරුයි. ක්ෂණික මෝචනය හෝ ප්‍රමාද මෝචනය වෙන වෙලාවට පෙම්වතා හෝ පෙම්වතිය ටත් නැවත සුරතාන්තයකට උදව්වක් දෙන්න පුළුවන්නේ. සමහරවිට කතුවරයා එහෙම කලාද දන්නේ නැහැ.
ReplyDeleteකතුවරයා දෙපාරකට ගත යුතු වින්දනය එක දිගට ගන්න ගිහින්!
Deleteමගේ වාසනාව. සෙංකොට්ටං නවකතාවේ ඔය කියන පාඨක සුරතාන්තයට ඔන්න මෙන්න තිබියදී (මම හිතන හැටියට) මට එම පොත කියවීම අවසන් කරන්නට සිදු වුනා. මා ලැබූ වින්දනය සදාකාලිකය. ඒ, මට තවදුරටත් සුරතාන්තය පරිකල්පනය කරමින් වින්දනය ලැබිය හැකි නිසාය.
ReplyDeleteඒත්, ඇතැම් සිදුවීම් ලේඛකයා විසින් විස්තර කර තිබුනු අයුරු සිහිපත් කරන විට ඔහු කතාවේ අවසානයට පසු පරිච්ඡේද දෙක තුනක්වත් ලිවීමේ ප්‍රවනතාවක් තිබුනු බව මට එදා නොසිතුනද අද සිතට නැගේ.
මාණික්කාවතත් කියවන්න. එහි අවසාන කොටස් දෙක පමණ හැර අන් සියල්ලම ඉතා හොඳයි!
Deleteකකා දැන් මෙහෙමනේ සීන් එක සමහර වෙලාවට පබ්ලිසර් කාරයත් පොඩ්ඩක් මැදිහත් වෙනවාලුනේ .ඉතින් පබ්ලිසර්ට ඔනෑ හැපී එන්ඩිං නං කතුවරයාටත් වෙනවා හැපි එන්ඩිමක් ලියන්න . නැත්තං කෝමද පොත එලියට දාන්නේ ..? ලිපේ දාන්ඩ තමා වෙන්නේ ..
ReplyDeleteඑහෙම පොතුත් ඇති. හැබැයි මේ පොත් ඒ ආකාරයට මාකට්ටෙක බලා ලියපු ඒවා නොවෙයි කියායි මට නම් හිතෙන්නේ!
Deleteකියවා බලන්න!
මාණික්කාවතනං තාම කියවල නෑ. බලමු සෙංකොට්ටං ආයෙ පාරක් කියෝල කොයි වෙලාවෙද මෝචනය වෙන්නෙ කියල. හැක්..
ReplyDeleteප්‍රසන්නගෙන් මෝචන විචාරයක් බලාපොරොත්තු වෙමි!
Deleteරසික එක්ක 1000% එකඟයි. මෙතෙක් මහින්ද ප්‍ර්‍රසාද් ගේ පොත් ගැන කෙනෙක් කරපු හොඳම විචාරය මේක වෙන්න පුලුවන්. විශේෂයෙන් සෙංකොට්ටන් ගැන.. මාණික්කාවත මහින්ද පළ කරන්නෙ සෙංකොට්ටන් වල අග භාගය කියවලා තෘප්තිමත් වෙච්ච පාඨකයන් දැකලා තමන් ලබා ගත්තු ස්වයං වින්දනයක් උඩ ඉඳන්
ReplyDeleteරසික එක්ක 1000% එකඟයි. මෙතෙක් මහින්ද ප්‍ර්‍රසාද් ගේ පොත් ගැන කෙනෙක් කරපු හොඳම විචාරය මේක වෙන්න පුලුවන්. විශේෂයෙන් සෙංකොට්ටන් ගැන.. මාණික්කාවත මහින්ද පළ කරන්නෙ සෙංකොට්ටන් වල අග භාගය කියවලා තෘප්තිමත් වෙච්ච පාඨකයන් දැකලා තමන් ලබා ගත්තු ස්වයං වින්දනයක් උඩ ඉඳන්
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete