Friday 7 May 2021

අම්මා ඇඬූ දා - My A/L Results


මගේ ලියන මේසය මත ඇති චිමිනි ලාම්පුවේ දීප්තිමත් එළියෙන් අපේ කුඩා කාමරය ආලෝකමත් වී ඇත. ඔහු ගේ මේසය මත ඇති චිමිනි ලාම්පුව නිවා දමා මල්ලී නින්දට ගියේ දැන් මද වේලාවකට කලිනි. මල්ලීටත් මටත් දෙදෙනාටම නිදාගැනීමට ඇති කුඩා ඇඳේ ඔහුගේ කොටසට ගුලි වී ඔහු මේ වන විටත් හොඳ නින්දේ ය.

වේලාව රාත්‍රී දහය ද පන්නා ඇති බව අපේ එලාම් ඔරලෝසුව කියයි. මට නිදිමතක් දැනේ. මම මා කියවමින් සිටි කාබනික රසායනය සටහනෙන් හිස ඔසවා ඈනුමක් යවමි.

ඈනුම අවසානයේ මගේ නෙත් විවර වෙනවාත් සමගම මා දකින්නේ හාෆ් ෂීට් කඩදාසියක ලියා, කාඩ්බෝඩ් පුවරුවක අලවා සකසා මේසය උඩ තබා ඇති පුවරුවකි. බැලූ බැල්මට එහි පෙනෙන්නේ එක් විශාල අකුරකි. ඒ අන් කිසිවක් නොව ඉංගිරිසි අකාරාදියේ මුල් අකුරයි. උසස් පෙළ හදාරන සිසුන් ගේ සිත් සතන් තුළ පැල පදියම් වූ පරමාදර්ශී ශුද්ධ වූ කුසලානයි. ආණ්ඩුවේ විභාගයෙන් ලබාගත හැකි විශිෂ්ටතම සාමාර්ථය නිරූපණය කෙරෙන "A" අකුරයි!

"A" අකුරට අමතරව එම පුවරුවේ ඉංගිරිසියෙන් ලියූ කෙටි වැකි කිහිපයක් වේ.

මට "A" සාමාර්ථ හතරක් ගැනීමට අවශ්‍යය!
මා "A" සාමාර්ථ හතරක් ගත යුතුමය!!
ඔව්, මම "A" සාමාර්ථ හතරක් අනිවාර්යෙන් ම ගනිමි!!!

මේ පුවරුව දකින මගේ නිදිමත නැති වී යයි. උදෑසන පහට පමණ අවදි විය යුතු බව, පහයි හතළිස් පහට අප නිවස පසු කරන බසය අල්ලා ගත යුතු බව, ඒ බසයෙන් දුම්රිය ස්ථානයට ගොස් මරදාන බලා යන දුම්රියකට ගොඩ විය යුතු බව මට අමතක වී යයි.

"A" හතරක් ගැනීම යනු, සාපේක්ෂව හොඳින් ජීරණය වන විෂයයන් වන ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ ශුද්ධ ගණිතයට පමණක් නොව තරාදියේ අනෙත් පස ඇති රසායන විද්‍යාවට ද විශිෂ්ට සාමාර්ථයක් ගැනීමයි. මම නැවතත් රසායන විද්‍යා සටහනේ ඇති "ටොලුයීන්" නම් වූ සංයුක්තය "මීතයිල් සැලිසිලෙට්" බවට පරිවර්තනය කිරීම සඳහා ඇති ක්‍රමවේදය දෙස සිත යොමු කරමි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කවදත් සැකසී ඇත්තේ මනාව සකසා ඉදිරිපත් කර ඇති තිර රචනා කිහිපයක් ද සමගිනි. පහේ පන්තියේ විභාගය සමත් වූයේ නම් ගමේ පාසලේ සිට අසල නගරයේ පාසලට යා යුතුය. ඉන් පසු ඇති සාමාන්‍ය පෙළ වැනි විභාගයක් ඉහළින් සමත් වූයේ නම් උසස් පෙළ සඳහා විද්‍යාව හැදෑරිය යුතු වෙන අතර ඊට අතමරව හැකි නම් වඩා හොඳ, ඇතැම් විට අගනුවර හෝ ප්‍රධාන නගරයක ඇති ජාතික මට්ටමේ පාසලකට යා යුතු ය. ගණිතය සඳහා දස්කම් දක්වන්නන් උසස් පෙළ සඳහා භෞතික විද්‍යා විෂයය ධාරාව තෝරා ගත යුතුය. විද්‍යාව සඳහා දස්කම් ඇත්තන් ජීව විද්‍යාව විෂයය ධාරාව තෝරා ගත යුතුය. එතැනින් ඔබ යා යුත්තේ එක්කෝ ඉංජිනේරු පීඨයට ය. නැතිනම් වෛද්‍ය පීඨයට ය.

ධාවන පඨ ඉතා සරල ය. අපට ඇත්තේ පිටපත අනුගමනය කිරීම පමණි.

එක් කුඩා ප්‍රශ්නයකට තිබුණේ, පිටපතේ විදියට රඟපා අපේක්ෂිත පරිදි ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට හෝ යෑමට නම් උසස් පෙළ විභාගය ඉතා ඉහළින් ම සමත් වීමට සිදුවීමයි. එය තිර රචනය කියවද්දී නම් ඉතා ලෙහෙසි දෙයක් ලෙස පෙනෙන නමුත් ප්‍රායෝගිකව ඉතා අසීරු කර්තව්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අසීරු ඉලක්කය කරා හඹා යන ගමන ආරම්භ වීමත් සමගම පාහේ ඒ සඳහා මගේ උනන්දුව සැමදා නො අඩුව තබා ගැනීමට මා මෙහිදී අනුගමනය කළේ ඉතා සරල අභිපේ්‍රරණ විධික්‍රමයකි. එය නම්, උසස් පෙළ විභාගයෙන් ලැබිය හැකි හොඳම ප්‍රතිඵලය හෙවත් විශිෂ්ට සම්මාන හතරක්, "A" හතරක්, ගැනීමට සැලසුම් කිරීමයි. එම සැලැස්ම නිතර දෙවේලේ, මවිසින්, මට ම, සිහිපත් කරවා ගැනීමයි.

මට්ටකුණ්ඩලී ගේ පියා පිළිස්සූ කරවල කැබැල්ලක් තම නැහැය ඉදිරියේ තබා ඒ සුවඳ විඳිමින් අමු අමුවේ බත් කෑ බව කියවේ. නීරස වූ රසායන විද්‍යා පාඩම් රසවත් සේ ගිල දැමීමට මෙන්ම, අන්තර්ගතය එතරම් ප්‍රශ්නයක් නොවූ නමුත් කාලය පිළිබඳව සැමවිටම අභියෝග මැවූ, භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය විෂයයන් ගේ අත ගැසෙන මානයේ වූ සියලුම උදාහරණ, ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න සහ අභියෝග හැදෑරීමට ද මට උපකාරී වූයේ පෙර විස්තර කෙරුණු පරිදි අපේ කාමරයේ මගේ ලියන මේසය ඉදිරියේ පුටුවේ මා අසුන් ගත් කළ, මූණට පොල්ලෙන් ගැසුවාක් සේ නොවැරදී පෙනෙන්නට තබා තිබුණු "A" අකුරේ සටහනය.

මේ පුවරුව මගේ මවගේ දැඩි ඇගයුමට ද, සොහොයුරන් ගේ සරදමට ද ලක්වූ බව කිව යුතු ය. කෙසේ වුවද, අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ අවසානයත් සමගම මට වැටහුණේ, මගේ උත්සාහය මුළුමනින්ම නිෂ්ඵල නොවී, ”ඒ” හතරක් කෙසේ වෙතත්, යාන්තමින් හෝ "A" සාමාර්ථ තුනක් සහ "B" සාමාර්ථයක් ලබාගන්නට මට ඉඩ කඩ ඇති බවකි. "B" සාමාර්ථය ගණිතය ධාරාවේ උසස් පෙළ සිසුන්ගේ බියකරු සිහිනය වූ රසායන විද්‍යාව සඳහා ය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීමත් සමගම විභාග පටිපාටිය ද වෙනස් වෙමින් පැවතුණු නිසා අපේ සුවිශේෂී උසස් පෙළ විෂයය නිර්දේශය සඳහා වූ ඊළඟ වසරේ විභාගය නියමිත වූයේ අප්‍රියෙල් මාසයට ය. ඒ සඳහා මුදල් ගෙවා අයැදුම් කරන්නට දිනය අත ළඟටම පැමිණියේ වුවද, අගෝස්තුවේ පැවැත්වූ අපේ විභාගයේ ප්‍රතිඵලය නම් නිකුත් කරන සේයාවකුදු නොවී ය. සිදුවෙමින් පැවතියේ මහා අසාධාරණයකි. එහෙත්, ශී්‍ර ලංකාව වැනි රටක මේ ගැන කාට නම් පැමිණිලි කරන්නද? කණගාටුවෙන් මෙන් මා ඇතුළු, පෙර ලියු පිටපතට අනුව ඉංජිනේරු සහ, වෛද්‍ය පීඨයන්ට යාමට සිහින මවමින් සැදී පැහැදී සිටි, එනමුත් තම විභාග ප්‍රතිඵල පිළිබඳ සියයට සීයක ස්ථිරත්වයක් නැති, බොහෝ දෙනෙකුට සිදුවූයේ නැවතත් විභාගයට පෙනී සිටීමට අයැදුම් කිරීමටයි.

අවසානයේ විභාග ප්‍රතිඵල නිකුත් විය. මා එදා පාසලේ සිට නිවස බලා ආයේ කැළඹුණු සිතින් ද, දැවෙන හදවතින් ද, යුතුව බව කිව යුතු ය.

මා ගෙට ගොඩවත්ම අම්මා හා තාත්තා මා ඉදිරියට පැමිණියහ.

"කොහොමද? මොනවද ප්‍රතිඵල?" අම්මා ගේ දෑස් දැඩි උනන්දුව නිසාම ප්‍රභාමත් වී ඇති අයුරු මම දිටිමි.

"බී දෙකයි, සී දෙකයි" බිඳුණු හඬින් මා පැවසූයේ අම්මා හෝ තාත්තා හෝ දෙස නොබලා ම ය.

තාත්තා නිසොල්මන්ව බලා සිටියේය. අම්මා ගේ මුහුණේ ඇඳී ගියේ අමුතුම ආකාරයක හිනාවකි.

"ඔයා ඔය බොරු නේද කියන්නේ? ඇත්ත කියන්නකෝ ළමයෝ විහිළු නොකර?"

"බොරු නෙමේ අම්මේ මේ ඇත්ත තමයි. බී දෙකයි, සී දෙකයි මට ඇවිත් තියෙන්නේ."

අම්මා ගේ කඳුළින් පිරුණු දෙනෙත දුටු මට ඇතිවූයේ බලවත් සංකාවකි.

"කමක් නෑ අම්මේ, මං මේ අප්‍රියෙල්වල ආපහු විභාගේ කරනවා, කොහොමටත් ඇප්ලිකේෂනුත් දාල නේ තියෙන්නේ" මම අමාරුවෙන් වචන ගලපා ගතිමි.

"උඹ ආයේ විභාගේ කරපන්" තාත්තා සුපුරුදු එඩිතර හඬින් පැවසීය.

කාමරයට ගිය මම ඇඳ මත දිගාවී මගේ ලියන මේසය දෙස බැලූවෙමි.

"A" අකුර සහිත පුවරුව මගේ දෙනෙතට අසුවිය. කෙමෙන් තෙත් වී ගෙන ගිය මගේ දෑසෙන් ඒ රුව බොඳවී යන්නට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.

(දෙවන කොටස: අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees
https://rasikalogy.blogspot.com/2021/05/best-use-of-50-rupees.html
)

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ දෙවන කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ. (image: )

3 comments:

  1. අම්මලා සහ තාත්තලාගේ හැටි එහෙම තමයි. අම්මාගේ බලාපොරොත්තු කඩ වුන තැන මටද දුක හිතුනා. ආශාවෙන් කියවූ ලිපියක්.

    ReplyDelete
  2. මට මේක හරියටම කියවන්න සෙට් උනේ කම්මැළි වෙලා ඉන්න වෙලාවක , මම මේක කියවලා ඉවර වෙලා මගේ නිදාගන්න කාමරෙයි වැඩකරන මේසෙ ඉස්සරහින් GPA එකයි subjects වලට මට ගන්න පුලුවන් කියල හිතෙන උපරිම ලකුනුයි ගහගත්තා . මේ ඔන්ලයින් උගන්නන නිසා දැණ් එක්සෑම් ගොඩක් අමාරුයි . ලමයි ව කොහොම හරි ෆේල් කරලා දාන්න තමා බලන්නේ (ප්‍රයිවට් නේ....). කොහොම හරි මට මේක කියවලා වැඩ කරන්න උනන්දුවක් ලැබුනා . තෑණ්ක්ස් . එහෙනම් අපි ගියා වැඩ කරන්න . බයි බායි...

    ReplyDelete
  3. මා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
    පිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.