Saturday, 8 May 2021

අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees


මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ අම්මා හැඬුවාය.

ගණිත විෂයයන් හැදෑරු මා ලබා තිබුණේ අධි සම්මාන (බී සාමාර්ථ) දෙකක් සහ සම්මාන (සී සාමාර්ථ) දෙකක් පමණි. අම්මලා එච්.එස්.සී. හැදෑරූ කාලයේ නම් මේ වනාහී අති විශිෂ්ට ජයග්‍රහණයකි. එකල, සම්මාන, අධි සම්මාන නොව සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගන්නා ශිෂ්‍යයෙකු පවා විශ්වවිද්‍යාල වරම් ලැබීම අරුමයක් නොවීය.

නමුත් මේ පනහ දශකයේ අග භාගය නොවේ. අසුවේ දශකයේ මුල් කාලයයි. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩි වීමට වඩා ඉහළ වේගයකින් වැඩි වී තිබුණි. ඒ සමගම, සමස්තයක් වශයෙන් අපේ පරම්පරාවේ ඉගෙනුමට ඇති අවශ්‍යතාවයේ, හැකියාවේ, මෙන්ම උනන්දුවේ ද පරිණාමික වර්ධනයක් ද දක්නට ලැබුණි.

මේ පරිණාමික වර්ධනය ගැන උදාහරණයක් දෙන්නේ නම්, අපේ අම්මලාගේ කාලයෙන් දශකයකට පසුව වුවද, සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයක් සමත් වී සම්මාන තුනක් ලබන්නා මහා වීරයෙක් වූ බව කියවේ. ඔහු හෝ ඇය, විෂයයන් දෙකක් ම ගෙඩි පිටින් අසමත් බව කිසිවෙකු නොතැකූහ. එනමුදු මා උසස් පෙළ කරන කාලය වන විට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ අටක් ම ලබා ගන්නෝ සිය ගණනින් බිහිවන්නට පටන් ගෙන සිටියහ.

අම්මා ඇඬූයේ බැලූ බැල්මට ප්‍රමාණවත් නැති යැයි සිතෙන මගේ විභාග ප්‍රතිඵල හෙවත් "B-දෙකයි, C-දෙකයි" නිසා ම නොවේ. උසස් පෙළ විභාගයට "හිතට අරගෙන" වැඩ කරන්නට පටන් ගත් දින සිටම වාගේ ස්වයං-උත්තේජනයකට මෙන්ම ධනාත්මක අභිප්‍රේරණයකට ද මා ලක් කරගන්නට සිතා, කඩදාසියක ඇඳ කාඩ්බෝඩයක අලවා සාදා ගෙන ලියන මේසයේ මා දෙනෙත ඉදිරිපිට හොඳින් පෙනෙන්නට සවිකරගෙන සිටි ඉංගිරිසි "A" අකුරෙන් යුතු පුවරුව ද නිසා ය.

උදේ හවා එකී "A" අකුර සහිත පුවරුව ඉදිරිපිට සිට මා පාඩම් කටයුතු කරනු දැක, උසස් පෙළ විභාගයෙන් සත්‍ය වශයෙන්ම මා "A" සාමාර්ථ හෙවත් විශිෂ්ට සාමාර්ථ හතරක් ම ගනු ඇතැයි ඇය ස්වයං-මායාවකට අසුවී සිටි නිසා ය.

මා ලැබූ ප්‍රතිඵල ගැන මට ද දුකක් නොදැනුණේ නොවේ. අම්මාගේ කඳුළු මුලින් දැක කාමරයට ගිය මා මගේ පෙර කී "A" අකුර සහිත පුවරුව දුටුවේ කඳුළු අතරිනි.

"A" සාමාර්ථ හතරක් කෙසේ වෙතත් යාන්තමින් "A" තුනක් සහ රසායන විද්‍යාවට "A" සම්මාන සාමාර්ථයක් ලැබේ යැයි විභාගයෙන් පසු මා ප්‍රශ්න පත්‍ර සහ අදාළ සටහන් පොත් උඩු යටිකුරු කර සසඳමින් ඇස්තමේන්තු කර තිබුණි.

සැමවිටම මගේ ඇස්තමේන්තු මට වාසියට සිදුවෙන්නට ඉඩ-කඩ ඇති බව සැබවි. එහෙත් එය එසේ වුවද, මට "B" සාමාර්ථ තුනක් හෝ අඩු වශයෙන් ලැබිය යුතුව තිබුණු බව මට වැටහිණ. ලැබී තිබුණේ ඊට වඩා අඩු ප්‍රතිඵලයකි. මේ සියල්ල මැද මට දරාගන්නට නොහැකි වූ පරාජය වූයේ මා විශිෂ්ට සාමාර්ථයක් හෙවත් "A" එකක් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ ව්‍යවහාරික ගණිතය විෂයයට මට ලැබී තිබුණේ "C" සාමාර්ථයක් පමණක් වීමයි.

ඉල්ලුම තරමට සැපයුම නැති ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරීමට සහ එහි දී ද තමන්ට අවශ්‍ය පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමට විභාග ප්‍රතිඵල අනුව අපොහොසත් වේ යැයි සිතන සිසුන් හමුවේ, නැවත වරක් විභාගයට පෙනී සිටීමට අමතරව, ඇති විකල්පයක් වන්නේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමයි.

අපේ වාරයේ දී අගෝස්තුවේ පැවති අපේ උසස් පෙළ විභාගය ඊළඟ වසරේ දී, අප්‍රියෙල් දක්වා ඉදිරියට පමුණුවා තිබුණි. ඒ සඳහා අයැදුම් කිරීමේ අවසාන දිනය ඉතා අසාධාරනව යොදා තිබුණේ, අපේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට මාසයකට පමණ කලිනි. මා ඒ සඳහා ඒ කාලයේ හැටියට විශාල මුදලක් වූ රුපියක් අසූවක් ම ගෙවා මේ වන විට අයැදුම් කර හමාරය. නව නිර්දේශය සඳහා වූ විභාගය අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත වූ බැවින් මගේ සමහර මිතුරෝ එය තම විකල්ප ගැලවුම ලෙස යොදාගෙන සිටියහ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා එක් විෂයයකට ගාස්තුව රුපියල් පනහකි. ව්‍යවහාරික ගණිතය සඳහා මා ලබා තිබූ ප්‍රතිඵලය පිළිබඳව මා සිත තුළ කෙතරම් සැකයක් තිබුණේ වුවද, දෙමව්පියන් ගේ සල්ලිවලින් තවත් රුපියක් පනහක් වැය කිරීමට මට සිත් නොදුනි.

මා ලෙසම හිතුවාට වඩා අඩු ප්‍රතිඵල ලැබූ මා මිතුරෙකුට ඔහුගේ දෙමව්පියන් පවසා තිබුණේ, එක්කෝ විෂයයන් තුනම නැවත සමීක්ෂණයට රුපියක් දෙසීයක් දීමට හැකිය, එසේ නැතිනම්, නැවත විභාගයට අගෝස්තුවේ දී පෙනී සිටීමට විභාග ගාස්තු සහ අනෙක් වියදම් සඳහා ඒ මුදලම දිය හැකිය, නමුත් ඒ කාරණා දෙකටම මුදල් වියදම් කිරීම නම් කිසිසේත්ම කළ නොහැකිය, කියායි.

මේ අවස්ථාවේ දී මගේ පිහිටට ආවේ මගේ මවගේ බාලම නැගණිය හෙවත් මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ය.

"ප්‍රතිඵල වෙනස් වේවි යැයි පුතාට හොඳටම විශ්වාසය ඇති විෂය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කරන්න!" යැයි පවසා ඇය මට රුපියක් පනහක් දුන්නා ය.

මම ඒ මුදලින් ව්‍යවහාරික ගණිතය විෂයය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කළෙමි.

කාලය ගත වී ගියේය. මම අප්‍රියෙල් මාසයේ දෙවන වරටත් උසස් පෙළ සඳහා පෙනී සිටියෙමි. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා මා මුල් වතාවට වඩා හොඳින් විභාගයට මුහුණ දුන්නා යැයි විභාගය අවසානයේ මට වැටහිණි. රසායන විද්‍යාව විෂයය පිළිබඳව නම් මගේ සිත තුළ ඉතිරි වූයේ කුකුසක් පමණි.

විභාගයෙන් පසු මුළු දිවා කාලයම ගලහිටියාව ගම් සභා පුස්තකාලයේ ගතකරමින් පොත් කියවීමටත්, රාතී්‍ර කාලය පුස්කාලයෙන් දිනපතා ගෙන එන පොත කියවීමටත්, ගත කරන්නට පුරුදු වූ මගේ සිතට නිරතුරු වද දුන් ප්‍රශ්නාවලිය වූයේ විභාග ප්‍රතිඵල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයයි.

"B" සාමාර්ථ දෙක සහ "C" සාමාර්ථ දෙක සඳහා මට අවම වශයෙන් ලකුණු දෙසිය හතළිහක් ලැබී තිබිය යුතු වූ අතර, උපරිමය ලෙස ලකුණු දෙසිය හැත්තෑ හයක් ද ලැබී තිබෙන්නට ද ඉඩ ඇත. ඒ වනාහී ලකුණු තිස් හයක දැවැන්ත පරතරයකි.

ඒ අවමය මට කොළඹ දිස්ත්‍රික්කයෙන් ගණිත ධාරාවේ විශ්ව විද්‍යාල පාඨමාලාවකට ඇතුළුවීමට ප්‍රමාණවත් වේද? ඒ උපරිමය මා බලාපොරොත්තු වූ පරිදි ඉංජිනේරු පීඨයට ඇතුළුවීම සඳහා ප්‍රමාණවත් වේවිද? මගේ ලකුණු ප්‍රමාණය සෑහෙන්නේ විද්‍යා පීඨයට ඇතුළුවීමට පමණක් නම්, ඒ අවස්ථාව ඉවත දමා, මගේ උසස් පෙළ දෙවෙනි උත්සාහයේ ප්‍රතිඵල මත බලාපොරොත්තු තබා ගන්නද? මගේ මනස සැම විටම අවුල් ජාලයක් විය.

මේ තුන් තේරවිල්ලට මුහුණ දී සිටියේ මා පමණක් නොවන බවද, තවත් මා වැනි සිය ගණනක් සිසුන් සිටි බවද, මෙහිදී කිව යුතු ය.

එදා අප මුහුණ දුන් තත්වය ඉන් පසු කාලයට වඩා තවත් අසීරු වීමට හේතුවක් වී තිබුණේ, අපට පෙර වසරවල දී සිසුන් සඳහා ඔවුන් උසස් පෙළ සඳහා ලැබූ නිවරදි ලකුණු ප්‍රමාණය නිකුත් කර නොතිබීමයි. එනිසා, යම් යම් අනුමානයන් මිස ඒ එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය වෙන අවම ලකුණු මට්ටම් පිළිබද ඉතිහාසයක් කිසිවෙකු දැන නොසිටියහ.

මගේ තාත්තා ගේ මිතුරෙක් මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවේ සේවය කළේ ය. තාත්තා ඔහු හමුවීමට ගොස් මේ පිළිබඳව පවසා මගේ විභාග අංකය ඔහුට ලබා දී ඇත. එක් දිනක් රාත්‍රී කාලයේ අප නිවසට ඔහු ගොඩ වැදුණේ මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණය අපට පවසන්නටයි.

"පුතා ට ලකුණු දෙසීය හැත්තෑ හතක් තියෙනවා!" ඔහු කීවේය.

මට මගේ දෙසවන් විශ්වාස කළ නොහැකි විය.

” වෙන්න බෑ. මගේ විභාග ප්‍රතිඵල අනුව මට තියෙන්න පුළුවන් උපරිමය දෙසිය හැත්තෑ හයයි නේ!” මම පවසා සිටියෙමි.

” දෙසිය හැත්තෑ හතක් බව මට විශ්වාසයි, ඇස් දෙකින්ම දැක්කා!” තාත්තාගේ මිතුරා තමා දෙපාර්තමේන්තුවේ දී ලියා ගත් කොළ කැබැල්ල තාත්තා අත තැබීය.

පසුව මට වැටහුණු පරිදි මෙහිදී මගේ තාත්තා ගේ මිතුරා කර තිබුණේ කිසියම් ආකාරයක අයුතු දෙයක් නොවේ. අපේ උසස් පෙළ ලකුණු, මේ සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත පාසල ට එවා තිබුණි. මේ ආකාරයට තමන්ගේ උසස් පෙළ විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව දැනගත් මුල්ම කණ්ඩායම අප විය.

පසුදින මා පාසල වෙත ගියේ සහතිකයක් ලබා ගැනීමටයි. පුස්තකාලයෙන් ”සන්ඩේ ඔබ්සෝවර්” පත්‍රයේ ඇබෑර්තු කියවා රැකියාවක් සඳහා අයැදුම් කරන්නට සැරසී සිටි මට පාසලෙන් යම්කිසි ආකාරයක සහතිකයක් අවශ්‍ය වී තිබුණි.

නම, ශිෂ්‍ය අංකය, උසස් පෙළ ප්‍රතිඵල, බාහිර ක්‍රියාකාරකම් යනාදී විස්තර අයැදුම් පතේ පුරවා විදුහලේ කාර්්‍යාලයට බාර දුන් මම, ඉන් පැය කිහිපයකට පසු නැවත එහි ගොස් නිල ලාංඡනය සහිත මුද්‍රිත කොළයක ටයිප් කර සකසා තිබූ මගේ සහතිකය ලබා ගත්තෙමි.

පුදුමයකට මෙන් මගේ උසස් පෙළ ප්‍රතිඵල ලෙස එහි සඳහන් වූයේ ”බී” සාමාර්ථ තුනක් සහ එක් ”සී” සාමාර්ථයකි. මම වහාම කාර්්‍යාලයේ නිලධාරියා ට මේ බව කීවෙමි. ඔහු පවසා සිටියේ ඒ මගේ නිවැරදි නිල ප්‍රතිඵලය බවයි. මගේ නැවත සමීක්ෂණ ඉල්ලීම සාර්ථක වී ව්‍යවහාරික ගණිතය සඳහා වූ ප්‍රතිඵලය ”බී” සාමාර්ථයක් ලෙස වෙනස් වී ඇති වග ඊට පෙර දින පාසලට දන්වා ඇති බව මට දැනගන්නට ලැබුණේ එවේලේ ය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා මා ගෙවූ රුපියල් පනහක මුදල මට ආපසු ලැබුණි ද, නැද්ද යන්න පිළිබඳව නිවැරදි අදහසක් මගේ මතකයේ නැත. ඒ කෙසේ වූව ද මගේ සුනීතා පුංචි අම්මා විසින් සිදු කර ඇති හොඳම රුපියල් පනහක ආයෝජනය එය වන්නට ඇතැයි මට අද ද සිතේ.

මේ ආකාරයට සුබ ලකුණු දැක ගැනීමට ලැබීමෙන් මා සිත අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැති වුවද මෙහි ලියා තැබිය යුතුම ය. ලකුණු දෙසිය හැත්තෑ හතක් ලැබීම යනු මා බලාපොරොත්තු වූ ආකාරයටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවීමට මට හැකිවෙන බවට කෙරුණු සහතිකයි.

ඊටත් වඩා මා උද්දාමයට පත් වූ කාරණය නම්, මගේ නව ප්‍රතිඵලය වූ ”බී” සාමාර්ථ තුනක් සහ ”සී” සාමාර්ථය සඳහා මට ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය වූ දෙසිය අසූ හයට වඩා මා ලබා තිබුණේ ලකුණු නමයක් පමණක් අඩුවෙන් වීමයි. විෂයයන් හතර අතර බෙදන විට එය ලකුණු දෙකක පමණ වෙනසක් පමණි.

මේ දෛවෝපගත දිනයෙන් මාස දෙකක් පමණ ඇතුළත මගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑවිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට යාම සඳහා අවශ්‍ය වූ අවම ලකුණු ප්‍රමාණය දෙසිය හැට නමයක් බව අපට දැනගන්නට ලැබුණි.

මේ අතර, දෙවන වරට මා පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වූ අතර බැලූ බැල්මට වඩාත් හොඳ යැයි සිතෙන ”ඒ” සාමාර්ථ දෙකක්, ”බී” සාමාර්ථයක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සඳහා මා ලබා තිබුණේ ලකුණු දෙසිය හැත්තෑ තුනක් පමණි.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යෑමට ලක ලැහැත්ති වී නිවසින් පිටත් වූ දිනය අද මෙන් මගේ මතකයේ ඇත.

එදා මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ හැඬු අම්මා මෙදා මා දෙස බලා සතුටින් සිනාසුණාය.

රුපියල් පනහක තම ආයෝජනය මගින් සිදුවූ යහපත දැක සුනීතා පුංචි අම්මා ද සිනාසුණාය!

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ එහි මුල් කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ.

(https://www.leftovercurrency.com/exchange/sri-lankan-rupees/withdrawn-sri-lankan-rupees-banknotes/50-rupees-central-bank-of-ceylon-banknote-armorial-ensign-1977/)

4 comments:

  1. සතුටුයි. විශ්ව විද්යාලයේ ඉගනගැනීම් කටයුතු සාර්ථක වේවා! :)))

    ReplyDelete
  2. "how to do a hard assignment without getting stressed" ගැන පුලුවන් නම් ලියන්න . අසයින්මන්ට් එක කරන්න කියල දෙන වීඩියෝ එකම තේරුම් ගන්න ත්ව වීඩියෝ 4ක් බලන්න උනා . study tips , how to handle stress වගේ ඒව මිස්ටර් රසික දන්නවා ඇති නේ . අන්න ඒව ගැන ලියන්න . ඉගෙන ගන්න අයට මොනවා හරි කියලා දෙන්නෙ දේවල් ටිකක් ඇති නේ . අන්න ඒව ලියන්න

    ReplyDelete
  3. මම හිතුවෙ රසික අයියා A4ක් ගත්ත පොරක් කියලා, ඔයා කොහොමත් පොරක් තමයි.

    ReplyDelete
  4. හරිම අනුවේදනීය කතාවක් !

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.