Thursday 17 October 2024

එදා පාසල්, එදා සිසුන් සහ දෙමව්පියන් - System changed?


මිතුරෙකු සමග ෆේස්බුක් සංවාදයක පැටලීම නිසා මට සිහිවුණු කරුණු කිහිපයක් වෙනම ලියන්නට සිත්විය. මෙහි ඇති වැදගත්කම නම් කාලය සමඟ කොයි තරම් දේ වෙනස් වන්නේ ද යන්නයි.

මම පාසල් තුනක අධ්‍යාපනය ලබා ඇත්තෙමි.

මා පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා වසර පහක් අධ්‍යාපනය ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කනිෂ්ඨ විද්‍යාලයට මගේ පියා හෝ මව හෝ කිසි දිනයක පැමිණ නැත. පාසල් ගුරුවරයෙකු වූ මගේ පියා උදේ පාන්දරම නිවසෙන් පිටත්වී ගොස් ආපසු පැමිණෙන්නේ හවස හතරට පමණ වන අතර මගේ බාල සොහොයුරාගේ වයස අවුරුදු තුනටත් අඩු නිසා මා මුල් දවසේ පාසලට ගියේ ද ආච්චි සමග ය. ඉන්පසු අහල පහල සම වයසේ සිසුන් සමග මම පාසලට ආවෙමි, ආපසු ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල නොවුණි.

මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට මා ගිය මුල් දවසේ මගේ මව සහ පියා දෙදෙනා ම මා සමග වූහ. එයට එක් හේතුවක් වූයේ එදින පුටුවක් සහ මේසයක් ගැනීමට පාසලට මුදලක් ගෙවීමට තිබීමයි. එය අවසානයේ තාත්තා බසයක නැගී සැතපුම් කිහිපයක් දුරින් තිබුණු ඔහු සේවය කළ පාසලට ගිය අතර, අම්මා එදින යෙදී තිබුණු වෙනත් ගමනක් ගියාය. දෙවෙනි දිනයේ සිට අපේ පදිංචිය වෙනස් වෙනතුරු මම ගමේ සිට බස් එකේ පාසලට ගියෙමි. ගනේමුල්ලේ පදිංචියට පැමිණීමෙන් පසුව පා ගමනින් පාසල් ගියෙමි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි.

දහවෙනි ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම සඳහා මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තාත්තා තීරණය කළ අතර ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු මා කැටුව එක්තරා සෙනසුරාදා දිනයක කොළඹ මරදානේ පාසැලට පැමිණියේය. ඔහු වැනි දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් එදින පැමිණ සිටියහ. පාසල් යෑම ඇරඹුණු පසු මම මගේ පාඩුවේ පාසැල් ගියෙමි. තාත්තාට පාඩුවක් වූයේ නැත. එකල මගේ වයස අවුරුදු දාහතරයි මාස පහකි.

පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි. එනිසා මම මගේ පන්තියේ සිටි සහෝදර සිසුන්ගේ දෙමව්පියන් ලෙස දැක ඇත්තේ හදිසි අවස්ථාවල දී දරුවන් හමුවීමට පැමිණි තාත්තලා දෙදෙනෙකු පමණි.

පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වෙනි ශ්‍රේණියේ අවසානය දක්වා අවුරුදු දොළහයි මාස අටක් මා පාසල් ගොස් තිබුණ ද, මගේ අවාසනාවට මෙන්ම දෙමව්පියන්ගේ වාසනාවට, ඒ කාලය තුළ ඒ පාසල් තුනෙන් එකකවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් හෝ පැවැත්වුණේ නැතිවීම ද මගේ දෙමව්පියන්ට පාසලට පැමිණීමට අවශ්‍යතාවක් නැතිවීමට තවත් හේතුවක් විය.

අද තත්ත්වය කෙතරම් වෙනස් ද?

මාසයකට අඩු වශයෙන් දිනයක් හෝ කුමක් හෝ කාරණයක් සඳහා දෙමව්පියන්ට පාසලට යාමට සිදුවන බව කියැවේ.

- රසික සූරියආරච්චි

(image: generated using meta.ai)