
විශ්වවිද්‍යාලවල දේශපාලන බලය (මා අනුමාන කරන විදිහට) 1976 දී පමණ ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ලංකා ශිෂ්‍ය සංගමයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයට විතැන්වීමේ දී ඒ දෙපිරිස අතර ආරවුල්, කලබල ඇති වූවාදැයි මා නිවැරදිව දන්නේ නැහැ. නමුත් බොහෝවිට එය සාමකාමී බල හුවමාරුවක් වෙන්නට ඇතිය කියා සිතේ.
නමුත් 1977 වසරේ අග භාගයේ දී රටේ දේශපාලන බලය විශාල බහුතරයක් සමගින් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ පසු ඒ පක්ෂයට අනුබද්ධ, ජුන්ටන් ලෙසින් එකල සුරතල් නාමයකින් හැඳින්වුණු, සමවාදී ශිෂ්‍ය සංගමය සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර විශ්වවිද්‍යාල මට්ටමෙන් ගැටුම් ඇතිවුණා. අසූව දශකයේ මුල භාගයේදී ඇතිවුණු මේ ගැටුම්වලින් එවකට සිටි ශිෂ්‍යයින් ගේ අධ්‍යාපන කටයුතුවලට සෑහෙන්න බාධා ද ඇතිවුණා.
රටේ දේශපාලන අති බහුතරය තමන්ට හිමිව තිබිය දී සුළුතරයක් වූ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිස් විශ්වවිද්‍යාලවල බලය හිමිකරගෙන ඉන්නේ කෙසේදැයි යන්න ජුන්ටන්ට දරා ගත නොහැකි වූ දුකක් වෙන්න ඇති.
හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයට සැබෑ අභියෝගය එල්ල වුණේ එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ජුන්ටන්ගෙන් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයෙන්.
ඒ සමගම ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය ද 1984 පමණ වන විට ජාතිවාදී නැඹුරුවක් පෙන්වමින් සිටි සමාජවාදී ශිෂ්‍ය සංගමයට දරාගන්නට බැරිවුණා.
ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමය ද තම තැබූ සැබෑ නිරුවත හෙළි කරමින් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස මැරයින් කණ්ඩායමක් බවට පරිවර්තනය වී තිබුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමුණේ ඉන් අනතුරුවයි.
මේ කණ්ඩායම් දෙක අතර ගැටුම වසර කිහිපයක් (1986-1990) පැවතුණු අතර තරුණ ජීවිත ගණනාවක් බිළිගත්තා.
මා හිතන විදියට 2012 පමණ සිට විශ්වවිද්‍යාලවල දේශපාලන බලය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් සංවිධානයේ බලය හිමිව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන බලවේගයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංවිධානයටයි.
පසුගිය කාලය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මකව තිබෙන්නට ඇති වුණත් ඔවුනට ලොකු දෙයක් කළ හැකි වුණේ නැහැ.
දැන් මේ වනවිට එදා 1977 දී සිදුවූවාක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය දෙන ජාතික ජන බලවේගය රටේ බලයෙන් අති බහුතරයක් හිමි කරගෙන සිටින විට, එදා එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවුණු ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට ඇතිවීමේ පුදුමයක් නැහැ.
දැන් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර විශ්වවිද්‍යාලවල බලය සම්බන්ධයෙන් ගැටුම ඇරඹී තියෙනවා.
මගේ අවංක ප්‍රාර්ථනය ඔවුන්ට මෙය සාමකාමී ලෙස විසඳා ගැනීමට ඉඩ ලැබේවා යන්නයි.
- රසික සූරියආරච්චි
ප/ලි:
1. දයා පතිරණ මරා දැමීම සහ ජේවීපීය
https://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html
2. ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය
https://rasikalogy.blogspot.com/2016/05/challange-to-premakumar-gunaratnam.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.