Sunday 26 June 2016

අමුවෙන් මැටි පෑගීම සහ ඇනෝනිමස් වැනි බිළින්දා - That was Saturday


ඊයේ අමුතුම අත්දැකීම් දෙකක් ලැබුණි. ඒ මුල් අත්දැකීම, ඇත්තටම කියනවා නම්, අත්දැකීමකට වඩා කකුල් දැකීමකි. එනම්, දෙකකුලෙන් මැටි පැගීමකි.

සිංහල දෙමව්පියන් ගේ ළමුන්ට සිංහල භාෂාව උගන්වන පාසල් කිහිපයක් සිනුවර අවට පිහිටුවා ඇත. මේවා ඇත්තටම ඉරිදා පාසල් ය. එනම් සිංහල පාසල පැවැත්වෙන්නේ ඉරිදා දිනවල උදේ වරුවේ සාමාන්‍ය රජයේ පාසලක ගොඩනැගිලිවල ය. සිංහල පාසල් සඳහා මූලික කටයුතු, එනම් විෂයය අත්පොත් සැකසීම, ප්‍රාන්ත රජය සමග ගනුදෙනු යනාදිය, කෙරෙන්නේ සිංහල සංස්කෘතික හමුව විසින් වන අතර, සිංහල පාසල් කළමනාකරණය කෙරෙන්නේ පාසලේ දෙමව්පියන් ගේ කමිටුවක් විසිනි.

බහු සංස්කිතක රටක් වන ඕස්ටේ‍ර්ලියාවේ ප්‍රතිපත්තිවලට අනුව, මේ පාසල් පවත්වාගෙන යාම සඳහා මූලික ප්‍රතිපාදනයක් ප්‍රාන්ත රජය මගින් ලබා දෙන අතර දෙමව්පියන් විසින් අදාල අනෙකුත් වියදම් දරනු ලැබේ.

මා මුලින් ම සිනුවර සිංහල පාසලකට සම්බන්ධ වූයේ වසර 2002 දී ය. ඒ එවකට පැවති සෙන්ට් මේරීස් සිංහල පාසලට මගේ දියණිය කැඳවාගෙන යමිනි. ඒ පාසල පසුව 2006 දී බ්ලැක්ටවුන් ප්‍රදේශයට ගෙන යන ලද අතර මගේ පුතා ද එයට සහභාගී විය.

මා මුලින් සඳහන් කළ මැටි පෑගීමේ අත් (හෝ කකුල්) දැකීම මට ලැබුණේ ඒ බ්ලැක්ටවුන් සිංහල පාසලට ආධාර පිණිස ඊයේ පවත්වන්නට යෙදුණු වාර්ෂික ප්‍රිය සම්භාෂණය හෙවත් "ඩිනර් ඩාන්ස්" සාදයේ දී ය.

සින්දු වතුර පානය කිරීමෙන් පසු අපට හොඳන් සින්දු කීමට හැකි වීම කෙසේ වෙතත්, අප හොඳින් සින්දු කියනවා යැයි අපට තේරෙන්නට පටන් ගන්නා බව සැබවක් නමුත් සින්දු කීම පිණිස සින්දු වතුර අවශ්‍යම නොවේ. නාන කාමරයේ දී ද, දොර කැඩුණු වැසිකිලිවල දී ද, සමහර විට කුස්සියේ දී ද, තනිවම වාහන පදවන විට දී ද අපට සින්දු වතුර නොමැතිවම සින්දු කීමට හැක.

නමුත්, නැටුම් සම්බන්ධයෙන් නම්, සාමාන්‍ය පුඟුලන් වූ අප සඳහා, එය සත්‍යය නොවේ. එනම්, නැටුම් වතුර නොමැතිව නැටීමට උත්සාහ කිරීම වනාහී අතිශය අසීරු ක්‍රියාවකි.

අමුවෙන් මැටි පාගනවා යැයි මා කීවේ ඒ ගැන ය.

කෙසේ හෝ කොරීන් අල්මේදා සහ පිරිවර විසින් ඉදිරිපත් කරන ලද බයිලා තාලවලට අනුව මම ද පැයක් පමණ වේලා අමුවෙන් ම මැටි පෑගුවෙමි.

ඇනෝනිමස් වැනි බිළින්දා මොහොත උදාවුනේ ඒ අතරතුර දී ය.
මා වැනි බිළින්දා
වර වර ලඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා
යනුවෙන් කවියක කියවෙන අදහසේ වෙනත් අර්ථදැක්වීමක් ලබා දෙමින් මැටි පාගමින් සිටි මා අසලට පැමිණි අයෙකු "රසික මම තමයි අර අහවල් ඇනෝ!" යැයි කියා, ඔහු හැඳින්වීමට මා යොදා තිබුණු අන්වර්ථ නාමයක් පවසමින්, තමාව හඳුන්වා දුන්නේ ය.

"ආ මචං උඹ අහවලා නේද?" කියා නමක් ද පවසමින් මම ඒ ඇනෝනිමස් කමෙන්ට්කරුවා ගේ ඇනෝනිමස්කම නැති භංගස්ථාන කර දැමුවෙමි.

තමා රසිකොලොජියේ පමණක් නොව තවත් තෝරාගත් බ්ලොග් කිහිපයකටම නිරතුරු ගොස් පිස්සු කෙලින බවත්, ඒ කරන්නේ හුදෙක් විනෝදය පිණිසම බවත්, වෙනත් අරමුණක් තමන්ට නොමැති බවත් මේ නැටුම් වතුරෙන් හොඳ හැටි සප්පායම් වී සිටි ඇනෝනිමසයා මා සමග ඉතා අවංකව පැවසීය.

මා වැනි රජින්දා
අසලට පැමිණ වැන්දා
දුක සැප කුමන්දා
දොඩන ඇනෝලා වෙන කොයින්දා?

-රසිකොලොජිස්ට්

ප/ලි:
දුරු කතර ගෙවා සිනුවරට පැමිණි මොහොතක මා දැක කතා කිරීම ගැන ඇනෝ මචංට මගේ ස්තුතිය පුද කරමි. ඊයේ සිංහල පාසලේ උත්සවයට සහභාගී වුවද, ඒ පාසල තබා ලංකාවේ අහවල් පාසල පිළිබඳවත් අනවශ්‍ය උණක් නම් මට නැති බව දන්වමි!

27 comments:

  1. රූකාන්ත දිනක්, සඳ බැස ගිය තැන නෑ , කියන ගීතය හඳුන්වා දුන්නේ මෙහෙමයි "මේ ඊළඟ ගීතය සුදුසු ගොද්‍රස ටයි. මොකද මැටි පාගන්න හොඳයි".

    ReplyDelete
    Replies
    1. කුරුලු හදවතේ කුරුලු ගගොඩ ඉල්ලූ ගීයක් ද?

      Delete
  2. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අපිට ලැබුණු උපදෙස..හැංගි හැංගි වෙස් බැන්දට වැඩක් නැහැ. නටන්න වෙන්නේ එළිපිටලු

    ReplyDelete
    Replies
    1. Is this that ano?

      Delete
    2. නැටුවා නම් දැක්කා.

      නැටුම් වතුර බීම ගැන කියා දුන්නේත් චූටි මාමා ද?

      Delete
  3. ඔය හොර ෆේක් ඇනෝ කෙනෙක්, මම සිඩ්නි ගියෙත් නෑ. සිංදු වතුර බිව්වෙත් නෑ. මැටි පෑගුවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහේට වීසා දෙන්නේ නැතිවේවි.

      Delete
  4. අපිත් ෆේමස් ඇනෝලා තමයි.... රසිකව දෙපාරක් මුනගැහිලත් තියෙනවා...... අපරාදෙ ෆොටෝ එකක් බ්ලොග් එකේ දාගන්න තිබ්බ චෑන්ස් එක.....

    ReplyDelete
    Replies
    1. ඔහොම ඉඟි දෙන කොට guess කිරීම පහසු වෙනවා.

      මුල් වර හමුවුනේ නුගේගොඩ දී නේද?

      Delete
    2. නැතුව නැතුව.... ෆොටෝ එකක් එවන්නද?

      Delete
  5. රසික . එතෙර සිටින්නවුන් , තම අනන්‍ය සංස්කෘතිය නොමරා පවත්වා ගෙන යාමට දරන උත්සාහය ගැන මට වෙනස් කියවීමක් තියෙනවා . මෙය කරන්නේ ලාංකිකයන් පමණක් නොවේ . එය හරිද වැරදිද කියා නොව , මොකක්දෝ අවුලක් දැනෙනවා . මට වෙලාවකට හිතෙනවා , සංක්‍රමනියන් ගේ සංස්කෘතියක් ඇතිවීම ඒ නිසා පමා වෙනවද කියලා .

    ReplyDelete
    Replies
    1. දිගු පිළිතුරක් අවශ්‍ය ප්‍රශ්නයක්.....

      Delete
    2. අනේ මන්ද අපේ ජපානෙ ඉන්න අය්යල අක්කලත් දන්සැල් පවා දෙනවා.
      මටත් තේරෙන්නෙ නෑ ආයුබෝං

      Delete
    3. කෙටියෙන් කියතොත් මෙය ලාංකික හෝ සිංහල ජනතාවට සීමා වූ හැසිරීමක් නොව සමස්ත මිනිස් ප්‍රජාවේ ලාක්ෂණිකයකි.

      Delete
    4. But we get annoyed when other entities do so.

      Delete
  6. රසික පුතේ, පුතා ඊයේ හමු වීම ගැන සතුටුයි. ටිකක් වැඩි වී සිටි වෙලාවේ කී දේවල් එතරම් ගණන් නොගන්නා සේ ඉල්ලමි. පුතා වැනි දේශප්‍රේමීන් කරන සේවය තව දුරටත් අගය කරමි. (මට ගම්න් වියදම් දුන් ඩොලර් දහයටත් නැවත ස්තූතියි.)

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. රත්මලානේ එයාපෝට් එකෙන් ද ආවේ?

      Delete
    2. රත්මලානෙන් ඕස්ට්‍රෙලියාවට ප්ලේන් යන්නෙ නෑ
      ඒක නිසා මං ආවා කටුනායකින් ගුවන් ගත වෙලා
      ඕස්ට්‍රෙලියාවෙ වීර පුත්තු බලන්නමයි ආවේ
      රට දැය රකින පුත්තු ගොඩයි ඕස්ට්‍රේලියාවේ

      ඕස්ට්‍රෙලියාවෙ පුත්තු ෆේසබුක් එකේ නොලීවා නම්
      දැනටම මේ රට හම්බයටයි දෙමළටයි ගිහිල්ලා
      චටුර වැල්ලගේ රනිල්ගේ කුක්කා අපේ රට කනවා
      ඕස්ට්‍රේලියාවෙ පුත්තු ෆේසබුක් එකේ ලියලා රට දැය රැක ගන්නවා

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. රත්මලානෙන් ඕස්ට්‍රෙලියා යන්න ප්ලේන් නෑනේ
      ඒකයි මම කටුනායකින් ඕස්ට්‍රෙලියා ආවේ
      දේශ ප්‍රේමී අපට බොහෝ දෙනා කැමති නෑනේ
      අපේ ගෝටා ආ දා රටට සමුර්ධිය එන්නේ

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
  7. මම ඊයේ බ්ලැක්ටවුන් සිංහල පාසලට යනකොට තට්ටයෙක් හිටියා. ඌ තට්ටේ අත ගගා මගේ දිහා බලං හිටියා. ඊට පස්සේ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනික් අතින් මට කතා කළා. මං තට්ටයා එක්ක කතා කළා. මං තට්ටයාගේ තට්ටේ අත ගෑවා. තට්ටයා පුර්ර් පුර්ර් ගෑවා.

    ReplyDelete
  8. අත්දෑකීම් වලට වඩා කකුල්දෑකීම් ප්‍රියජනකයි.

    ReplyDelete
  9. ඇනෝලත් අවස්ය කට්ටිය, ඒ අය ඉන්නකොට පොඩි චැලෙන්ජ් එකකුත් තියෙනව

    ReplyDelete
  10. දකුණට කි.මී. 1000 විතර දුර ගමනක් ගිය ඇනෝ කෙනෙක්, මට හිතෙන්නේ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.