Friday 15 September 2017

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.

මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.

එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී මා පය ලිස්සා ගොස් ඇද වැටුණි. දණහිස් සහ වැළමිටි නිසා හිස ඒ බොරළු පොළොවේ නොගැටී වළක්වා ගත් නමුත්, මා ඊළඟ මොහොතේ නැගිටින විට වැළමිටි දෙකම පතුරු ගොස් තිබුණු අතර දණහිස්වලින් ලේ ගලා එමින් තිබුණි.

ඒ තුවාල නිසා මට දැනුණු වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, ඒ මොහොතේ මා දුටුවේ ඒ අසල සිටි එක් කොලුවෙකු මහ හඬින් සිනාසෙන බවයි. එය මට මහත් ප්‍රහේලිකාවක් විය.

"යකෝ, මං ඇදගෙන වැටිලා, තුවාල වෙලා, ලේ ගලන වෙලේ උඹ ඇයි හිනාවෙන්නේ?" මම ඔහුගෙන් ඇසුවේ කෝපයෙනි.

ඔහු කට වසා ගත්තේ ය.

නමුත්, මේ සිදුවීම දශක ගණනාවකට පසුව ද, මගේ සිතේ නොමැකී පවතී.

මනුෂ්‍යත්වය යනු තවත් අයෙකුගේ දුකක දී, ආපදාවක දී, අඩු වශයෙන් ඒ ගැන කණගාටුවීමයි, හැකි අයුරකින් උපකාරයක් කිරීමයි, ඔවුන් සමග ඒ දුක බෙදා ගැනීමයි.
සිරියාවේ පැවති කලබල නිසා දස දහස් සංඛ්‍යාත පිරිස් පලා යද්දී අප යුරෝපයේ දුටුවේ ඒ මානුෂිකත්වයයි.

එසේ නොමැතිව, වෙනත් අයෙකුගේ ආපදාවකදී සිනාසීම හෝ ඒ පිළිබඳව අවඥාවෙන් කතා කිරීම යනු, වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම, මට ද සිතෙන පරිදි අමානුෂිකත්වයේ ලකුණකි.

මියන්මාරයේ පසුගිය දිනවල මහා ජන සංහාරයක් සිදුවුණු බව අපි සැම දනිමු. රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මැද දහස් සංඛ්‍යාත පිරිස් තමන් ගේ ගම් ප්‍රදේශ හැර දමා පලා යන්නට වූහ. ඔවුන් අද අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් ලෙස අසරණව සිටිති.

දැන් සරනාගතයින්ව තම රටට භාර ගැනීම යනු හැම දේශයකට ම කළ හැකි දෙයක් නොවේ. ලංකාවේ රජයෙන් එවැනි තිරණයක් ගෙන ඇතැයි කියවෙන, ව්‍යාජ යැයි පැවසෙන සංවිධානයක් විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් දුටු විගස අපේ සමහර අයියලා අඳු කොළ දුටු නාගයින් මෙන් පෙණ පුප්පන්නට පටන් ගනු මම දුටුවෙමි.

ඔවුන්ගෙන් ඇතමෙකු සාධාරණ ලෙස කරුණු දක්වා තිබුණ ද, කැබිනට් ප්‍රකාශකයින් ගෝනියක් ම සිටින ලංකාවේ, ව්‍යාජ සංවිධානයකින් නිකුත් කළා යැයි කියවෙන ප්‍රකාශයකින් පමණක් කලබල වීම නම් විහිළුවකි.

ඒ සුළු පිරිස හැර අන් බහුතරය කර තිබුණේ, මේ අගතියට පත් ජන පිරිස පිළිබඳව වෛරී ප්‍රකාශ වැපිරවීමයි.

මා මුලින් කියූ පරිදි මානුෂික ගුණය වන්නේ දුකට පත් අයට වචනයකින් හෝ පිහිට වීමයි. එසේ නොකිරීම කෙසේ වෙතත්, එවැනි අයගේ දුක දැක සිනාසෙන්නෝ, අවඥා කතා කියන්නෝ නම් අමනුෂ්‍යයෝ ම ය.

ඒ අමනුෂ්‍යත්වයට හේතුව, අප කාගේත් සිත්වල ඇති ජාතිවාදයයි. එසේම අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නමින් හැඳින්වෙන අපට ආගන්තුක දේ පිළිබඳව ඇති බියයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුන් සාන් සූ කී පවා, මියන්මාර් ජන ඝාතන පිළිබඳව මුක පූට්ටු කරගෙන සිටියදී, අප වැන්නන් ගැන කවර කතා ද?

මගේ පෝස්ටරයෙන් කියවෙන්නේ එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න සංශෝධිත මෛත්‍රී භාවනාව.

මියන්මාරයේ රොහිංගලා හැර අන් සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, සැපවත්වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා!

21 comments:

  1. පුකත්වයේ දීනත්වය..

    ReplyDelete
  2. මියන්මාරයේ මුස්ලිම්වරුන් ගැන කඳුළු සලන ඇතැම් රටවල් ඉරාකයේ, ඉරානයේ, ඇෆ්ගනිස්ථානයේ , සිරියාව වැනි රටවල මුස්ලිම්වරු ගැන කතා නැත්තේ ඇයි? අඩුම තරමේ සවුදි අරාබියවත් ඒවා ගැන තැකීමක් නැත්තේ ඇයි?

    ඔස්ට්‍රේලියාවේ හමුදාත් මැදපෙරදිග මෙහෙයුම්වල නිරත වෙනවා නේද? එහිදී මුස්ලිම් සංහාර සිදුවන්නේ නැද්ද?

    ReplyDelete
  3. බුකියේ කමෙන්ට් වලට රිප්ලයි කරලා එන්න

    ReplyDelete
  4. මගේ අදහස අති සරළයි. මානුෂිකව සිතීමේ සීමාවක් තියනව. සීතලේ ඉන්න සර්පයා ඔඩොක්කුවේ දාගන්නෙ නෑ.
    අනිත් එක... පහුගිය අවුරුදු දෙක තුන විතර ඇතුලත මම ඉගනගත්ත දෙයක් තමයි මානුෂිකභාවය නිරපේක්ෂ නෑ. මානුෂීය වාදීන් සියල්ලම අවංකත් නෑ!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි රාජ්. මෛත්‍රි භාවනාව වැඩිම පුරුදු කිරීමේදී මුලින්ම මෙත් වඩන්නේ තමන්ට. අන්තිමේදි තමයි සියළු සත්ත්වයෝ නිදුක් වෙක්වා කියලා කියන්නේ

      Delete
    2. එල ඒක හරි මචන්

      Delete
  5. මට තියන ප්‍රශ්නේ ඔය කියන පුකත්වයේ විරුද්ධාර්ථය පෙන්නුම් කරන ක්‍රියාවලිය ඇයි නැත්තේ මුස්ලිම් රටවලට. අපටම විතරක් මොකටද ඔය පුකත්වය ඇප්ලයි කරන්නේ ඔබ.මානුෂිකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා නම් කියන්නකෝ ඔය පුකත්වය ගැන ඉන්දියාවට උනුත් ඔය සෙට් එක පන්නලානේ. ඔය රෝහින්යා සෙට් එක මියන්මාරයේ බෞද්ධ ජනයා මරාදමන කාලයේ කාටද ඔබේ ඔය පුකත්වය ඇප්ලයි කලේ..? අපට අනුන්ගේ පුක තියා ඔබේ පුකත්වයද අවශ්‍ය නැත. ඔබේ ඇන්ටි පුකත්වය ඔබේම පුකේ දැනට ගසාගන්න මන්ද පුකත්වය ගැන කතාකරන්නටද රටක පුක තබාගත යුතු බැවිනි.

    ReplyDelete
  6. මමත් නිහඬයි. මේ නිසා.
    රසික මම මුලින්ම වීඩියෝ එකක් දැම්මා රෝහින්ගියා සරණාගතයෝ රටින් යන එකට. බුකියේ. හරියට දෙමල මිනිස්සු අර යුද්ධේ කාලේ තැන් තැන් වල ගිය වගේ. නමුත් ඊට පස්සේ හදිසියේ ඇතිවුණු අවබෝධයක් නිසා නිහඬ වුණා. ඒ මෙහෙමයි.
    මගේ කාර්යාලයේ වැඩ කරන බංග්ලාදේශ ජාතිකයෙක් දැන් අවුරුදු කිහිපයකට කලින් බංගලා දේශයේ බෞද්ධ විහාර වලට පහර දෙද්දී කිව්වා ඒ බෞද්ධ කට්ටිය තායිලන්තේ හරි බුරුමයට හරි ගියා නම් ඉවරයි. බංග්ලාදේශ් කියන්නේ මුස්ලිම් රටක් කියල. මිනිහගේ නම ශාස්. මම ඒකට විරුද්ධ වුණා . බෞද්ධ නිසා නෙමේ ලංකාවේ දෙමළ මුස්ලිම් අය ගැනත් හිතල.9මිනිහව මම යහළු කමිනුත් අයින් කලා.)
    රෝහින්ගියා අන්තවාදී ගෘප් දෙකක් 2012 ජූනි වල බෞද්ධයන්ට ගහල මාරුව. එහිදී එවකාට් තිබූ බුරුම රජය ඇමෙරිකන් විරෝධී එකක් නිසා කිසිම විදේශ මාධ්‍යක් ඒ ගැන පල කලේ නැහැ. මිනිස්සු පැත්ත ගත්තේ එහෙමයි. කවුරු කරත් වැරදියි.
    දෙවෙනි එක එයාවත් බුකියේ ඉන්න හුඟක් අය වත් අයිසිස් එකෙන් යාසිඩි ගැහැණු දුෂණය කරද්දී, උන්ව සමුලඝාතනය කරද්දී, කුර්දි මිනිසුන් ගැහැනුන් මරද්දී මම දාපු එක පෙටිෂන් එකකට එක පෝස්ට් එකකටවත් මුකුත් කිව්වේ නැහැ. අමු දරුණු නිහඬතාවයක් මේ අයගේ තිබුන.
    වරක් කාර්යාලයේ කතාවකදී පකිස්තානු අයෙක් හා එම බංග්ලාදේශ් අයත් දෙදෙනාම අයිසිස් කරන ක්‍රියාවත් සවුදිය යේමනයට බෝම්බ දාන එක ගැනවත් මුකුත් නොකිය හිටිය. මම කෙලින්ම ඇහුවම කීවෙත් ඇමෙරිකාවේ වැරැද්ද. හරි ඇමෙරිකාව වැරදියි තමයි. ප්‍රශ්න ඇති කලේ ඔවුන් ඉරාකයට ලිබියාවට ගහල. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අයිසිස් එකට අහිංසක මිනිස්සු මරන්න පුළුවන් කියල.
    රෝහින්ගියා මිනිසුන් මරනවට මම විරුද්ධයි. හැබැයි මම නිහඬයි. මුස්ලිම් සහෝදරවරුන්ට කියන්න තියෙන්නේ අර මාටින් නීමොලර් ගේ කීම.
    (අවසන් එක. අර රෝහින්ගියා වල මැරුණයි කියල දාල යන බුකියේ ෆොටෝ වල එක ෆොටෝ එකක් මුල්ලිවයික්කාල් වල මැරුණ දෙමල තරුණියකගේ. දැක්කද ඒක. )

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මා වැනි සරල සමාජවාදියෙක්යැයි මා සිතා සිටි පුද්ගලයයෙකුගෙන් වැටේ යැයි මා නොසිතූ පරිණත කොමෙන්ටුවක් මේ

      Delete
    2. /අජිත් ධර්මා වැනි සරල සමාජවාදියෙක්යැයි මා සිතා සිටි// හා හා දැන් ඔය නිර්ණායකය හදා ගත්තේ කොහොමද? සරල සමාජවාදියා යන යෙදුම ? ඇහුවමයි? සමාජවාදයට විරුද්ධව කතා කලොත් පරිනතද යන ගැටලුව මතු වෙනවා මේ ප්‍රතිචාරයෙන්. මම හැම දෙයක් දිහවම විවේචනාත්මකව බලනවා විතරයි. කිසිම වාදයක එල්ලිලා ඉන්න කැමැත්තක් නැහැ.

      Delete
    3. මම දැන් හිතනවා මම තරමක් දුරට වැරදියි කියල. මෙහෙ ඉන්න මේ මෝඩ මුස්ලිම් මිනිස්සු කොපමණ ජරා විධිහට හැසිරුනත් බුරුම හමුදාවේ මේ ක්‍රියා අනුමැත කරන්න අපට බැහැ.
      http://www.independent.co.uk/news/world/asia/rohingya-crisis-latest-baby-thrown-fire-burma-refugees-horror-stories-military-atrocities-aung-san-a7995836.html

      Delete
  7. ශ්‍රී ලංකාවට කොහෙවත් යන සරණාගතයින් බාර ගැනීමට ශක්තියක් නැත. සරණාගතයින් බාර ගත යුත්තේ ඔස්ට්‍රේලියාව වැනි ඛනිජ ඉල්ලම් ද අවශ්‍ය තරම් හිස් බිම්ද ඇති රටවල්ය.

    හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැටෙනවා මෙන් දැනටත් ලොව වටේ හිඟා කමින් සිටින, ජන ඝනත්වය ඉතාම අධික, කාන්තාවන් වහල් සේවයට විකුණා කුසීත රජයේ සේවකයින්ට පඩි ගෙවන රටකට සරණාගතයන් එනවා යයි කියන්නෙත් මහා භය හිතෙන කතාවකි. ඒ නිසා මිනිස්සු බොරු කතාවකට හෝ බයවීම අසාධාරණ නෑ.

    අනික ඔය කියන සරනාගතයිනුත් එසේ මෙසේ එවුන් නොව, යුධ පුහුණුව ඇති වසර කිහිපයකට පෙර මියන්මාරයේ ත්‍රස්තවාදී භීතිය වැපිරූ සරනාගතයින්ය. එක යුද්ධයකින් බැට කෑ මිනිසුන් ඊට බයවෙන්නේ නිකම් නොවේ. අනික සරණාගතයින් ලෙස නොර්වේ වැනි රටවලට රිංගා ගත් අපේ අයියලා යුද්ධය ඉවර වුනත් ආයේ නොයනවා මෙන් ඔය එන එවුන්ද ආවොත් එලවගන්න ලේසි වෙන්නේ නැත. ඒ නිසා මිනිස්සු බොරු කතාවකට හෝ බයවීම අසාධාරණ නෑ.

    රසිකගේ ගෙදර අසල සරණාගත කදවුරක් දමන්නට ගියා නම් රසිකගේත් හැසිරීම බලාගන්නට පුළුවන් විය හැකිය.

    යුරෝපයේ මනුස්සකමට බාරගත් සරණාගතයින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පෙන්වන අපූරු කලගුණ සැලකීම දැක දැක නැවත මුස්ලිම් සරණාගතයින් බාර ගන්න නම් රටක පාලකයින්ට අං තට්ටු 3 වත් තිබිය යුතුය.

    තල වැපිරූ අයට තලත් මුං වැපිරූ අයට මුං නුත් ලැබී තිබේ.

    ත්‍රස්තවාදයට කිරි පෙවූ ත්‍රස්තවාදයට උල්පන්දම් දුන් හැමෝම ඒ ත්‍රස්තවාදයෙන්ම බැට කෑ බවට උදාහරණ ඕන තරම් තිබේ.

    උතුරු කොරියානු ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන උන්දලාට වෙන්නේ ද ඒ ටිකම ද නැද්ද කියන එකත් කාලය පෙන්වාවි.

    ReplyDelete
  8. ඇප්ගනිස්ථානයේ මෙහෙයුම් වල නිරත ඇමරිකන් හමුදාවට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete
  9. මේ ප්‍රශ්නය අපි ගැටළුවක් කර ගන්න ඕනේ නැති බව මගේ හැඟීමයි.ඒ වගේම රෝහින්ගියා සරණාගතයින් ලංකාවේ රැකවරණ පැතීමත් පලක් ඇති දෙයක් නොවේ.අපි කොහොමත් සරණාගතයින් භාර ගන්න බැඳී ඉන්න රටක් නෙමේ.අනිත් කාරණාව ලංකාව තුලත් ඇති තරම් සරණාගතයින් ඉන්නවා කිසිම රැකවරණයක් නැතිව.මුලින්ම රට ඇතුලේ ප්‍රශ්න විසඳා ගත යුතුයි ජාත්‍යන්තර ගැටළු විසඳන්න පෙර.

    ReplyDelete
  10. රසික මේ සිදුකර ඇත්‍තේ වැඩි සොයා බැලීමකින් තොරව ප්‍රශ්නය අති සරල කොට බලා කරන ලද බොළඳ ප්‍රකාශයකි - 2012 දී මමත් රසික මෙන්ම බටහිර මාධ්‍ය කිවූ දේ අනුව ඔය ප්‍රශ්නය දෙස බැලූ බව සැබෑවක් -

    ReplyDelete
  11. ඇත්තටම රසිකලා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ, ඔය වගෙ දියුණු රටවල ඉන්න අපේ අය
    ඉද හිට ලංකාවට එනව සල්ලි ගොඩක් අරන්, ඒක ඉන්න ටික දවසට වියදම් කරල සනීපෙන් සැප අරන් කාපට් දාපු පාරවල් වල, හයිවේ වල ගිහින් අම්මේ ලංකාව කොච්චර දියුනුද දැන් කියල චූන් වෙලා ආපහු යනව.. ඊට පස්සෙ කොම්පියුටරේ ගාව වාඩිවෙලා ඒකෙන් ලංකාව ගැන නිවුස් බලල එක එක ටෝක් දෙනව..ඇත්ත තත්වය මේ අය දන්නෙත් නෑ දැනගන්න ඕනත් නෑ
    සරණාගත ප්‍රශ්නය බැලුවොත් ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් සරණාගතයන් වැද්ද ගන්නෙ නෑනේ..මුස්ලිම් අයියලාතටත් කිව්ව වගේ මතකයි උඹලාට අපි එන්න කිව්වෙ නෑ කැමතිනම් ඒ විදියට ඉදපල්ලා කියල..එතකොට රසිකලා ඕස්ට්‍රේලියාවෙ පුකත්වය ගැන කතා කරේ නෑ නොවැ..මොකද ඉතිං සරණාගතයෝ ඕස්ට්‍රේලියාවට ආවොත් ඉතිං රසිකලාගෙ ආතල් කැඩෙනවානේ.. එන එන සරණාගතයෝ හරවල යනවන එකයි කදවුරැ වලට දාන එකේ පුකත්වය රසිකලාට පේන්නේත් නෑ..මොකද ඇත්තටම ඕස්ට්‍රේලියාව රසිකගේ රට..ඒක වණකරගෙන බෑනේ..
    ඕස්ට්‍රේලියාවෙ රජය සරණාගතයෝ එන එක වලක්වන එක මොකවත් නොකියා..හිත යටින් කැමැත්තක් ඇතිනේ.. ඒ රටවල ප්‍රතිපත්ති වල ආරක්ෂාව ලබන ගමන් අපේ පුක්තවය ලෙවකනව..
    ඕස්ට්‍රේලියාව වගේද ලංකාව නේ..
    ලංකාව..හා හා එහෙම කොහොමද ලංකාව සරණාගතයෝ ගන්ඩම ඕන ඔව්..
    නේද රසික???

    ReplyDelete
  12. රසික ඇයි දැන් ලිපි ලියන්නේ නැත්තේ ඔබගේ ජිවිත අත්දැකීම් ඇසුරින් ලියන මෙම බ්ලොග් අඩවිය අප දිනපතා කියවනවා.

    ReplyDelete
  13. රසික සහෝ,
    ලිපි නැත්තේ මොකෝ ?????

    ReplyDelete
  14. මා දැනට දශකයක් තිස්සේ මැදපෙරදිග ජිවත් වන අයකු විදිහට අරාබි ජාතිකයන්ගේ හැසිරීම ගති පැවතුම් හොඳින් අත්විඳ ඇත !

    සරණාගතයින් ලෙස යුරෝපයට පැන්න අරාබි වැසියන් යුරෝපීය ජාතිකයින් හට හොඳින් සලකන දවස වැඩි ඈතක නැත. (මට වැරදුනාද මන්ද :) දැනටමත් සලකන්න පටන් අරගෙන තියෙන්නෙ ! (ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු තවත් යුරෝපීය රටවල වෙන ත්‍රස්තවාදී ක්‍රියා)

    මේ පැමිණෙන රෝහින්ජාවරුන්ගේ පසුබිමත් සමග අරාබි සරණාගතයන් කළ දෙයම ඔවුන් නොකරාවි කියන දේ ගැන කිසිම සහතිකයක් නැත.

    මේ ගැටලුව ගැන මා සිතන අයුරු වැරදි වී හැක, නමුත් මා හිතන්නේ ගැටලුව සහමුලින් විසඳෙනු ඇත්තේ හැම විටම එක පාර්ශවයක් ජයග්‍රගණය ලැබීමෙනි, හැම විටම සාමය ගෙන එන්නේ ජයග්‍රාහකයාය, ජයග්‍රාහකයෙක් නැති තැන සාමයක් නැත !

    එමෙන්ම අපේ කැමත්ත අකමැත්ත කෙසේ වෙතත් ඒ ජයග්‍රහණයේ මාවත බෙහෙවින් රතු පාටය, සිරි ලංකාවේදී සිදු වූයේද මීට කිසිසේත් වෙනස් දෙයක් නොවේ !

    ඒ තිත්ත ඇත්ත !

    ඒ අතින් බලනකොට :

    ඇමරිකානු සහ යුරෝපීය සහය ඇතිව පලස්තීන වැසියන් අහවර කළ විට ඊශ්‍රායල් - පලස්තීන ප්‍රශ්නය ඉවරයි !

    සවුදි අරාබිය සහ එකසත් අරාබි එමීර් රාජ්‍යය අල්හූති ගරිල්ලන් රටේ ජනතාවත් සමගම සුන්නදූලි කල දිනක - යේමනය නිදහස් !

    අසාද් විසින් තමන්ට විරුද්ධ වන අය ඇතුළු අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදීන් නැති කළදාට - සිරියාවට සිරියාවයි !

    රෝහින්ජා සරණාගතයින් බංගලාදේශයට පළා ගිය පසු - ඒ ප්‍රශ්නෙත් ඉවරයි !

    ReplyDelete
  15. මෙන්න මෙකත් ඔය කියන මයිත්තීයෙන්ම කියවල බලපල්ලා https://kasikabal.blogspot.com/2017/10/blog-post_54.html?m=0

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.