Wednesday 14 October 2015

කාමේසු මිච්ඡාචාරා යනු කවර නම් පවක්දැයි කෙටියෙන් සරලව කිව හැකි අයෙකු ඕනෑ කර තිබේ! - A century old issue


මාර්ටින් වික්‍රමසිංහ ඉපදී ඇත්තේ දහනමවෙනි සියවසේ අවසාන දශකයේ දී ය. ඔහු තම මඩොල්දූව නවකතාවේ විස්තර කෙරෙන අත්දැකීම් ලැබුවේ විසිවෙන සියවස එළිපත්තේ සිට විය යුතුයි.

එදා සිට අද වෙනතුරු ගත වී ඇති කාලය වසර සියයකට වඩා වැඩිය.

නමුත් මඩොල්දූව නවකතාවේ ප්‍රධාන චරිතය වූ උපාලි ගිනිවැල්ලේට ඇති වූ කාමේසු මිච්ඡාචාරා යනු කුමක්ද යන සරල ප්‍රශ්නයට සරල පිළිතුරක් අදත් අපට නැත!

පොඩි පොඩි අවුල් තිබෙනවා වුව ද,
  • පාණාතිපාතා පැහැදිලි ය.
  • අදින්නාදානය පැහැදිලි ය.
  • මුසාවාදය පැහැදිලි ය.
  • සුරාමේරය පැහැදිලි ය.
නමුත් කාමේසු මිච්ඡාචාරාව අපැහැදිලි ය.

තෙවන සිකපදය නොකඩමි නමින් ගුණදාස ලියනගේ ලියූ කෙටි නවකතාවක් මම කලකට ඉහත කියවා ඇත්තෙමි. මගේ කෙමෙන් මැකීයන මතකයට අනුව එහි කතා වස්තුව වූයේ භික්‍ෂුවක් තමා සමග ලිංගිකව එක්වීමට වෙර දරන කාන්තාවකගෙන් ගැලවීමට තැත් කරන ආකාරයයි. එනම්, ඒ නවකතාවේ තෙවන සිකපදය යනුවෙන් අදහස් කෙරුණේ කාමේසු මිච්ඡාචාරාව නොව අබ්‍රහ්මචරියාවයි!

පසුගිය දිනක මට ෆේස්බුක් හරහා මිතුරු ඇරයුමක් එවූ එක් භික්‍ෂුවක පසුව පන්සිල් හා සම්බන්ධ වීඩියෝවක් තම කාල රේඛාවේ බෙදාගෙන තිබෙනු දුටු මම, එතැන ප්‍රතිචාරයක් දක්වමින් කාමේසු මිච්ඡාචාරා යනු කුමක්දැයි විමසා සිටියෙමි.

මට කෙළින් පැහැදිලි පිළිතුරක් නොලැබුණි. ඒ වෙනුවට ලැබුණේ බුදුසරණ පත්තරයට කවුදෝ ගිහියෙකු ලිවූ ලිපියකට දිගුවක් සහ තවත් යාන් හෑල්ලකි.

අද යමෙකු බෞද්ධයෙකු ලෙස සැලකෙන්නේ තුන් සරණය පිළිගැනීම සහ පන්සිල් රැකීම අනුව නිසා, පන්සිල්වල අරුත සරලව කීමට අපට හැකි විය යුතුය.

කාමේසු මිච්ඡාචාරා පව ගැන ලියවී ඇති මා දුටූ තැන්වල කියවෙන්නේ අහවල් කැටගරියේ කාන්තාවන් සමග අහවල් එක කිරීම පවක් බව පමණි. ඒ අනුව කාන්තාවන් අතින් මේ පව සිදුවීමට ඉඩක් නැති සේ පෙනේ!

කාමාසු මිච්ඡාචාරා පිළිබඳව සාමාන්‍ය සම්මතය ලෙස අප දැනට දන්නේ විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරියට හොර රහසේ තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම මේ සීලය අනුව පවක් බවයි. මෙය සාමාන්‍ය නීතිය යටතේ ද දික්කසාදයට සහ නඩත්තු ගෙවීම්වලට තුඩු දිය හැකි කාරණයකි.

මට අපැහැදිලි කරුණු මේවා ය.
  1. විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරිය දැනුවත්ව තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  2. විවාහයට පෙර දෙදෙනෙකු ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  3. දෙදෙනෙකුට වැඩි පිරිසක් එක්වර ලිංගිකව එක්වීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
  4. විරුද්ධ ලිංගිකයින් අතර ලිංගික එක්වීම ලංකාවේ දැනට නීති ගත සම්මතයයි. එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසීරීම නීතියෙන් තහනම් වෙන්නාක් සේ එය කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවකුත් වේ ද?
  5. ස්වයං වින්දනයේ යෙදීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
ඒ කෙසේ වෙතත්, (6) කුමාරකාමයේ යෙදීම, එනම්, "පන්සල් සූදුව" නොහොත් වැඩිහිටියන් ළමුන් හා ලිංගික ක්‍රියාවන් හි යෙදීම, නම් අනිවාර්යෙන් ම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක් මෙන්ම අබ්‍රහ්මචරියා සීලය කැඩී පාරාජිකා වෙන ආකාරයේ පවක් යැයි සිතමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පන්සල් සූදුව ගැන අදහසක් මේ ලිපියෙන් ලබා ගත හැක!
http://ctkumara.blogspot.com/2012/07/blog-post_24.html

82 comments:

  1. අවුරුදු දාස් ගානක් පරණ දර්ශණයක් අදට අදාල කර ගන්න ගියාම කොහොමත් අවුල්..

    පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕමාර් කයියාම් හරි ඕෂෝ වගේ දර්ශණයක් ගැන හදාරන්න..

    තෙරුවන් සරණයි....!!!

    ReplyDelete
    Replies
    1. ඕමාර් කයියාම් හිටියේත් හැබැයි අවුරුදු දාහකට කලින් තමයි!
      https://en.wikipedia.org/wiki/Omar_Khayy%C3%A1m

      Delete
    2. හැබයි ඒක අදටත් ගැලපෙනවා...

      සායි බා බා උන්නේ අපි ජීවමානව ඉන්දැද්දිම...

      Delete
    3. Learn buddhism before talking about it Mathalan.. You don,t even know the basics of Buddha's teachings but pretend to know ...

      Delete
    4. ඕෂෝ හදාරන්න කලින් ඇත්තෙන්ම මාතලන් බුදු දහම හදාරනවා නම් හොඳයි කියල මමත් හිතනවා - මම දැක්කා පසුගිය දවසක මාතලන් , නිර්වාණය විද්‍යාත්මකව ඔප්පු කළ යුතුයි කියා අමු ගොබ්බ කතාවක් කියනවා

      Delete
  2. මගේ අදහස කාමේසු මිච්ඡාචාරා යනු පඤ්ච කාම වස්තු(රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) වැරදියට පාවිච්චි කිරීමයි. වැරදි කියලා කියන්නේ තමන්ට හානියක් වෙන හෝ අනුන්ට හානියක් වෙන හෝ තමන්ට හා අනුන්ට හානියක් වෙන දේවල්. එහෙම නැතිව මම නම් හිතන්න නෑ කාමේසු මිච්ඡාචාරා යනු ලිංගිකව එක්වීම ගැන විතරක් කියලා. පර පුරුෂ සේවනය හා පර් ස්ත්‍රී සේවනය එක උදාහරනයක් විතරයි. ​

    මම බෞද්ධ ධර්මය ගැඹුරින් හදාරා නැත. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නව නම් නිවැරදි කරන්න​.

    ReplyDelete
    Replies
    1. එහෙම අර්ථයක් ආවොත් පොඩි ගැටලුවක් මතු වෙනවා.මේ සික්ෂාපදයේදි බුදුන් වහන්ස් අවධාරණය කරලා තියෙන්නේ සංසර්ගය ගැන.මම ඒ ගැන යටින් කොමන්ටුවක් දාන්නම්.පංච කාම වස්තු කෙරෙහි නොඇලෙන්න ඉන්ද්‍රිය භාවනාව පෙන්වනවා.කාමේසු මිච්ඡාචාර යන්නට පංච කාම වස්තුන් ඇතුලත් වුනොත් ඇතිවන අනෙත් ගැටලුව තමයි උපෝෂථ සීලය,දස සීලය,සාමනේර සීලයට වඩා පංච සීලය උසස් වෙනවා.වෙනසක් තියනවා කියලා පැහැදිලියි නේද ?

      Delete
    2. මම කියුවෙ පංච කාම වස්තු කෙරෙහි නොඇලෙන්න කියලා නෙවෙයි. පංච කාම වස්තු වැරදි විදියට භාවිතා කරන්න එපා කියලා.

      Delete
    3. කාමේසු මිච්ඡාචාරා යනු සුවීශේෂීවම ලිංගිකව එක්වීම තමයි. සංසර්ගයේ නොයෙදිය ්‍රුතු ගෑණුන් ගැන දක්වා තියෙනවා, තමන් ගේ පියා බාරයේ ඇති කාන්තාවන්, මව බාරයේ ඇති කාන්තාවන් යනාදී වශයෙන්.

      Delete
    4. Ima
      මම එතනදි නො ඇලෙන්න කියලා කීවට ඇත්තෙන්ම ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ පංච කාම වස්තු වැරදි විදියට භාවිතා නොකරන්න තමයි..මජ්ජිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවලා බලන්න.

      Delete
    5. කුමාරසිංහ සර් ඉස්කෝලෙදි ඉගැන්වුවෙත් ඔබ කියන අදහසම තමයි...

      Delete
  3. එතකොට අන්තපුර තිබ්බ රජවරු ? මොකෝ නීතියෙන්ම ඒ ස්ත්‍රීන් ඔක්කොම රජුට අයිතියිනේ .

    මා නම් හොඳින් දන්නේ එකම එක දෙයකි , හැබැයි සිංහලබෞද්ධාගමේ හැටියට නම් බ්ලු ෆිල්ම් කොම්පියුටරේ තිබීම කාමේසු ම කාමේසු මිච්චා චාරාය .

    ReplyDelete
    Replies
    1. ඒකත් වරදියි ෆිල්ම් කොම්පියුටරේ තිබීම පාණාතිපාතා

      Delete
    2. ඇත්ත නේන්නම් මටත් වැරදුනා ..

      Delete
    3. සමහර රැජිණියන්ටත් සැමියන් කීප දෙනෙකු සිටියාලු!

      Delete
  4. දෙයක් හරි හෝ වරදි වෙන්නෙ ඒකෙන් ලැබෙන ප්‍රතිපල අනුව​. අපි කරන දෙයකින් කාටවත් හානියක් නැත්නම් ඒක කලාට කමක් නෑ. කාටහරි හානියක් වෙනවනම් ඒක වැරදියි. හැමෝටම හොඳක් වෙනවනම් ඒක නිවැරදියි. අපැහැදිලි දේවල් ඒ විදියට හිතලා බලන්න​....

    ReplyDelete
    Replies
    1. මගේත් අදහස එයයි.
      උදාහරණයක් ලෙස දෙකක් නවාගෙන, සින්දුවක් අහලා, බත් කටක් කාලා නින්දට යෑම. ඒක සුරාමේරය කොලිටියේ පවක් නොවෙයි!

      Delete
    2. සිත,ගත මත් වන ,විකෘති වන දේ ගැනීම සුරාමේරය තමා

      Delete
  5. ආගම ගැන තියන විශ්වාසය සෑහෙන්න තුනී වෙලා තියෙන්නෙ. නමුත් මම හිතන විදියට 'පාපය' කියල දෙයක් තියනව නම් ඊට අයත් වියයුතු නොවියයුතු දේවල් (ලිංගිකත්වය සම්බන්ධව) මෙහෙම වියයුතුයි.

    1.(අංක 6 දක්වා ඇති නීතියට යටත්ව)සියල්ලන්ගේම කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවක් පාපයක් නොවේ. (දෙන්නෙකුගෙ හෝ ගෲප් එකක්)

    2.අකමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවක් පාපයක් වේ.(බිරිඳ අකමැත්තෙන් කරන සංසර්ගයක් තුලින් සැමියාට පාපයක් සිදුවේ)

    3.අංක 1 අනුව සම ලිංගික එක්වීම පාපයක් නොවේ.

    4.අවිවාහකයෙකු ගණිකාවක සමඟ ලිංගික සංසර්ගය පාපයක් නොවේ.(ගණිකාවගේ කැමැත්ත මුදල් දී ලබාගන්නා බැවින් අදාල කාලය තුල ඇය 'තමන්ට අයත් කාන්තාවක්' ලෙස සැලකිය හැකිය)

    5.නීතිය මඟින් බලාත්මක කරන ලද තත්වයන් යටතේ ලිංගික හැසිරීම පාපයක් නොවේ(අංක 4, අන්ත:පුරයක් ඇති රජ කෙනෙක්, විවාහ කිහිපයක් කරගැනීමට අවසර ඇති කෙනෙක්.......)

    6.නීතිය සීමාව ඉක්මවා කරන ලිංගික කාර්ය පාපයක් වේ (එක් අයෙකු පමණක් විවාහ කරගැනීමට ඉඩ ඇති ලංකාවේ විවාහකයෙකු වෙනත් අයෙකු සමග සම්බන්ධය පාපයකි, ලිංගික සම්බන්ධතා පැවැත්වීමට නීතියෙන් ඉඩ නොමැති ළමයින් සමඟ ලිංගික සම්බන්ධය පාපයකි)

    ReplyDelete
    Replies
    1. මේ ගැන මම පැහැදිලි කරන්න හිටියෙත් මේ හා සමාන ආකාරයකට.ඒ නිසා නැවත ඒ කරුනු දැක්වීම අනවශ්‍යයි කියලා හිතෙනවා

      Delete
    2. රාජ් කියන්නේ සාමාන්‍ය නීතිය අනුව කාමේසු මිච්ඡාචාරය සීමා කරගන්න කියා නේද මූලික වශයෙන්.

      විවාහ කීපයක් කර ගැනීමට ආගමික/රාජ්‍ය/නීති බලයක් ඇති අයෙකු නොසලකනවා නම්, සතුන් මැරීම ආගමික ක්‍රියාවක් ලෙසට හෝ සතුන් යණු දෙවියන් විසින් මිනිස් පැවැත්ම උදෙසා මවා ඇති ආහාර කියා සළකන අයෙකු හෝ අයත් වෙන්නේ ඒ ගොඩටම නේද?

      Delete
    3. රසික මතුකරන ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම මටත් මතක් උනා මුල් අදහස ලියද්දි. ඒ ගැන කියන්න තියෙන්නෙ ඒක නිවරදි අදහසක් නොවන බව.
      පාපයන් කියන එක කොටස් දෙකක් තියනව. මූලිකව කවුරු කොහොම කරත් පව් සහ ක්‍රියාවේ ස්වභාවය අනුව පව් කියල.
      සතුන් මැරීම, කේලාම් කීම, සොරකම් කිරීම, බොරුකීම, ආදිය භේදයකින් තොරව කවුරු කලත් පාපයන්.
      ලිංගික එකතුවීම කියන්නෙ සාමාන්‍ය මිනිස් අවශ්‍යතාවයක්. එතනදි පින් හෝ පව් කියන එක තීරණය කරන්න වෙන්නෙ කරන ක්‍රමය අනුව. සතුන් මැරීම ලිංගික සම්බන්ධතා වලින් වෙනස් වෙන්නෙ එහෙමයි.

      Delete
    4. https://en.wikipedia.org/wiki/Zoophilia ????

      Delete
    5. බුදු අම්මෝ ප්‍රා ජේ!

      Delete
  6. (මම මේ ගැන මගේ බිලොග් එකේ ලිපියකුත් පලකලා.ඔබ ඒක බලන්න නැතිව ඇති සමහර විට.)

    අපි මුලින්ම තෙරුම් ගත යුතු කරුනක් තමයි බුදුන්වහන්සේ යමක් දේශනා කිරීමේදි ඒ වනවිට භාරතීය දේශපාලන,ආර්ථික,සමාජීය,ආගමික පසුබිම ගැනත් අවධානය යොමු කලා කියන එක.ඒ වගේම පංචසීලය,උපෝෂථ සීලය කියන දෙකම බුදුන් වහන්සේ පහලවීමටත් පෙර පැවති දේවල්.උන්වහන්සේ එදා පැවති සමහර දේවල් බුදුසමයටත් අනුයෝජනය කලා.පංචසිලයත් එහෙමයි.

    කාමේසු..සික්ෂාපදයේදි වැඩිපුරම පුරැෂ පාර්ශවය මුල්කරගෙන කරනු පැහැදිලි කරලා තියෙන බවක් පෙන්න තියනවා.හේතුව තමයි ඒ වෙනකොට කාන්තාව ලිංගික භාණ්ඩයක් විදියට සලකා කටයුතු කිරීම.සරලවම ඇය කැමති උනත් නැතත් පුරැෂයන්ගේ ලිංගික ආශාවන් සංසිදුවන්න වුනේ කාන්තාවට.ථෙරිගාථා කියවලා බැලුවොත් හොදින් ඒ බව පැහැදිලි වෙයි.ඒ වගේම රජවරුන්ගේ අන්ත:පුර හින්දා කාන්තාවෝ ගොඩක් අසරණ වුනා.නගරයේ රූමත්ම කාන්තාවන් ඕනම පිරිමියකුට ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට පුලුවන් වෙන විදියට ගණිකාවෝ කලා.මේ සික්ෂාපදය ඔය වගේ බොහෝ කරැනු පදනම්ව පැනවුන එකක්.

    ඒ වගේම පවුල් සංස්ථා දෙදරායාම,දූ දරැ මාපිය සම්බන්ධතා දුරස්වීම,පවුල් සංස්ථාව තුල විශ්වාසය පලුදු වීම,රාගයෙන් අගතියට වැටෙන පුද්ගලයා සමාජවිරෝධි චර්යාවන්ට පෙළඹිම,වගේ තව බොහො කරුනු ගැනත් අවධානය යොමුකරලා තිබෙනවා,බුදුන් වහන්සේ කිසිම දෙයක් එපා කියලා නැ,යමක් කලොත් ඒ කල දේ නිසා මෙවනි ගැටලු,අර්බුධ,හටගෙන පුද්ගලයාට,සමාජයට ඒක බලපානව කියලයි පෙන්වලා තියෙන්නේ.

    ඔබ කෙටි පිලිතුරක් බලාපොරොත්තු වුනාට කරුනු කෙටියෙන් පෙන්වන්න ගියොත් අපහැදිලි වෙන බවක් තිබෙන නිසායි මෙහෙම පැහැදිලි කලේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපි දෙක මීව වඩා පුලුල් සාකච්ඡාවක් ලෙසයි මා දුටුවේ.

      මට අවශ්‍ය මෙන්න මේ ආකාරයේ පිළිතුරක්.

      1. (ඔව්/නැත)
      2. (ඔව්/නැත)
      3. (ඔව්/නැත)
      4. (ඔව්/නැත)
      5. (ඔව්/නැත)
      6. (ඔව්/නැත)

      Delete
  7. කාමේසු මිච්ඡාචාරය කියන එක වචනාර්ථයෙන්නම් කාමයෙහි වැරදි විදියට හැසිරීමයි. වැරදියි කියන්නෙ අනිත් අයට හිරිහැර වෙන විදිහට නම් නෙවෙයි මයෙ හිතේ. වැරදියි කියන්නෙ, දැන දැන ම, අදහස් කරලාම, උපක්‍රමයක් යොදාගෙන, වැරදි දේ කිරීමයි. (වැරදි දේ කියන්නෙ මොකද්ද දන් නෑ - හොයාගෙන කියන්නං ඈ...)

    බෛබලේ නං කෙලිම්ම කියනවා, “පරදාර සේවනය නොකරනු!“ කියලා.

    ReplyDelete
    Replies
    1. පරදාර කිව්වම කල්පනාවුනේ.
      ඕලෙවෙල් කාලෙ සර්ගෙන් එකෙක් අහනව "මොකද්ද සර් පරදාර සේවනය කියන්නෙ" කියල
      සර් කියනව මෙහෙම "පර කියන්නෙ අනුංගෙ,.... එතකොට?"
      "හා හරි සර්.... අනුංගෙ දාරවලට කරන එක තමයි පරදාර කියන්නෙ"

      Delete
    2. අස්වාමික ගැහැණු කෙනෙක් සමග ලිංගිකව එක්වීම පරදාර සේවනය නොවෙයි නේද?

      Delete
  8. පන්සිල් යනු මිනිසුන් සමාජයේ ජිවත් වීමේදි අනුගමනය කලයුතු අනෙකාට, සමාජයට අපහසුවක් ඇතිනොවන මුලික කරුණුය. සියලු ආගම් වලදි මෙන්ම බුදුදහමේද මුලික ශික්ෂණය ඇති කරනුයේ පන්සිල් මගිනි.

    එබැවින් සමාජය තුලදි ආහාරය සදහා මාලු ඇල්ලීම, මදුරුවන් ආදී ලෙඩ බෝකරන සතුන් මරා දැමිම, හමුදාව පොලිසි හා නීතීය භාවිතා කරමින් පොදු පිලිවෙලට බාධාකරන පුද්ගලයින් මරා දැමිම ආදී කරුණු පව් ලෙස සලකන්නේ නැත.

    එලෙසම සමාජයේ පැවැත්ම ආරක්ෂාකර ගැනීම සදහාවන ලිංගික ක්‍රීයාවන් පව් නොවන අතර තමන් සිදු කරනුයේ වරදක් ලෙස තමන් විසින්ම විශ්වාස කරන ලිංගික සබදතා පවත්වාගෙන යාම කාමේසු මිච්ඡාචාරා ලෙස හැදින්විය හැකිය

    පව යනු අනෙකා විසින් අර්ථනිරූපනය කරන දෙයක් නොව තමන් විසින් යම් ක්‍රීයාවක් කල පසු තමන්ට ඒ පිලිබදව ඇතිවන වරදකාරී හැගිමයි

    ReplyDelete
    Replies
    1. /* හමුදාව පොලිසි හා නීතීය භාවිතා කරමින් පොදු පිලිවෙලට බාධාකරන පුද්ගලයින් මරා දැමිම ආදී කරුණු පව් ලෙස සලකන්නේ නැත. */

      හමුදාව සහ පොලිසිය කරන මිනීමැරුම් කවදාද නීතිය භාවිතා කරමින් කළේ?

      Delete
    2. තමන් සිදු කරනුයේ වරදක් ලෙස තමන්ටම වරදකාරී හැගීමක් ඇතිවෙන ලිංගික සබදතා පවත්වාගෙන යාම කාමේසු මිච්ඡාචාරා ලෙස හැදින්විය හැකිය

      Delete
    3. හමුදාව විසින් යුද්ධයකදී කරණු ලබන ඝාතනයන් පිලිබදව ඔවුන්තුල වරදකාරී හැගීමක් ඇති නොවන්නේ ඒ පිලිබදව සමාජයේ ඇති කතිකාව තුල එය වරදක් ලෙස දක්වන්නේ නැති බැවිනි. එහෙත් නිරායුධ පුද්ගලයකු මුහුණට මුහුණලා ගැටුමක් ඇති නොවන අවස්ථාවලදි වද බන්ධනයට ලක්කර මරා දැමීම තුලින් ඔවුන් තුල වරදකාරී හැගිමක් ඇතිවේ.

      හමුදාවන් සහ පොලිසි බෝහෝමයක් ඝාතනයන් සිදු කරනුයේ නීතියට හා සමාජ සම්මතයට යටත්වය. එයට එරෙහිව කරනු ලබන වරදවල් වලදි ඔවුන්ට සාමාන්‍ය තත්වයන් යටතේ දඩුවම් කරනු ලැබේ.
      88 - 90 කාලය තුලදි දකුණේදී 2009ට පෙර උතුරේදී හමුදාවන් සහ පොලිසි විසින් සිදුකල බෝහෝමයක් ඝාතනයන් සමාජය විසින් වරදක් නොවන බවට තිරණය කර ඇති අතර ඒ පිලිබදව වරදකාරී හැගිමක් බොහෝ දෙනකු තුල ඇතිවී නොමැත.

      Delete
    4. //තමන් සිදු කරනුයේ වරදක් ලෙස තමන්ටම වරදකාරී හැගීමක් ඇතිවෙන ලිංගික සබදතා පවත්වාගෙන යාම කාමේසු මිච්ඡාචාරා ලෙස හැදින්විය හැකිය//

      මෙන්න මේ කියමනේ වැදගත් වලංගු තර්කයක් තියනවා. අපි සාමාන්‍ය සමාජයේදීත් කියනවා 'උඹ වැරැද්දක් කලාද නැද්ද කියලා උඹේ හිත දන්නවනේ' කියලා.

      බෞද්ධ දර්ශනය අනුව සිත, කය, වචනය යන තුනෙන්ම අකුසල් සිද්ධ වෙනවා. පාරේ යන කාන්තාවක් දෙස බලා සිතෙන් ඇය ගැන රාග නිශ්‍රිත සිතුවිලි ඇතිකරගනීමත් පාපයක්. හස්තෝපක්‍රමයේ යෙදෙන පුද්ගලයකු උත්තේජනය ලබාගැනීම සඳහා කාන්තාවක දෙස, පිරිමි ළමයකු දෙස, එවැනි රූපයක් දෙස බලන්න පුළුවන්, එහෙම නැත්නම් තමා ආසාකරන කාන්තාවක පිරිමි ළමයකු, සිතින් මවාගේම තමා ඔහු ඇය සමහ සංසර්ගයේ යෙදෙන්නේය යන සිතුවිල්ල සිත්හි තබාගෙන හස්තෝපක්‍රමයේ යෙදෙන්න පුළුවන්. එහිදී රාග චෛතසිකය මත පව් සිදුවෙනවා. මේ අනුව ඔබට නොවැටහෙන කරුණු ලෙස දක්වා ඇති කරුණු 5 ට පිළිතුරු මෙසේ දැක්විය හැකියි.

      1. ඔව්. පව් සිදුවෙනවා. ඒ තුන්වැන්නා කාමසේවනය සඳහා පොළඹවා ගැනීම කාම මිත්‍යාචාරයක්.

      2. ඔව් පවක්. ඒ දෙදෙනාට ස්ථිරවම විවාහයට එළඹෙන්නට නොහැකි වන්නට පුළුවන්. ඔවුන් කාම සේවනයට පෙළඹෙන්නේ ආදරය නිසා නොව රාග සිතුවිල්ල නිසයි. එය සිතින් පව් කිරීම වඩා වර්ධනය කරගැනීමක්. ඔවුන් දෙදෙනාම ඉන් පසුව සිතන්නට ඉඩ තිබෙනවා තවත් අය සමග හැසිරී, වෙනසක් තිබේදැයි බලන්නට. ඒ සඳහා ඔවුන් රාග සිතුවිලි නමැති පාපය කරනවා.

      3. ඔව් පවක්. මිනිසා යනු බුධිමත් ජීවියේ. සාමූහික කාම සේවනය ස්වාන්භාව ධර්මය විසින් සත්ව ලෝකය වෙත ලබාදී ඇති ප්‍රපංචයක්. සාමූහික කාමසේවනය සමාජ සම්මතයක් බවට පත්වීම ලිංගික රෝග පැතිරීමටත් හේතුවිය හැකියි. ඊට වඩා එවැනි කාර්යයක් තුලින් හුදෙක් රාග සිතුවිලි පමණක් වර්ධනය වීම නිසා චින්තනය පිරිහෙනවා. රාග සිතුවිලි වැඩීම පවක්.

      4. ඔව් පවක්. මනුෂ්‍ය සන්තතියේ පැවැත්ම සඳහා ස්වභාවධර්මයෙන් අනුමත සංසර්ග රටාව වෙනස්කර විකෘති සංසර්ග රටා මැවෙන්නේ විකෘති රාග සිතුවිලි පහළවීමෙන්. එනම්, කාම මිත්‍යාචාරය හෙවත් විකෘති සේවනය යහපත් යැයි සිතෙන් දැකීමෙන්.

      5. ස්වයංවින්දනයේ යෙදීම සඳහා අපි සිතෙන් රාග සිතුවිලි වඩනවා. ඒ කියන්නේ සිතෙන් කාම මිත්‍යාචාරයේ යෙදෙනවා. ඒ නිසා එය පවක්.

      යමෙකු තම පෙම්වතිය ආශ්‍රය කරන කාලයේ ඇය මතක් කර ස්වයංවින්දනයේ යෙදීම පාපයක්. මන්ද එහිදී රාග සිතුවිලි ඇතිකරගෙන සිත දූෂ්‍ය කරගන්නා නිසා.

      මනෝ පුබ්බංග මා ධම්මා කියන්නේ අන්න ඒ නිසයි. සිතෙන් සිදුකරන කාම මිත්‍යාචාරය ගැන අමතක නොකළ යුතුයි.

      Delete
    5. //තමන් සිදු කරනුයේ වරදක් ලෙස තමන්ටම වරදකාරී හැගීමක් ඇතිවෙන ලිංගික සබදතා පවත්වාගෙන යාම කාමේසු මිච්ඡාචාරා ලෙස හැදින්විය හැකිය//

      වරදකාරී හැඟීම කියන එකම පාපයක් වන්නේ නෑ බුදුදහම අනුව. එසේ නොවීම පාපයක් නොවන්නේද නෑ. පව් සිදුවන ආකාරය අනුව අදාල පිලිවෙල බුදුහාමුදුරුවො කියල තියනව. උදාහරණයක් විදියට මැරීමට,
      පන ඇති සතෙකු වීම, ඒ බව දැනගැනීම, මරණ චේතනාව, උපක්‍රමය, මරණය කියන පහ සම්පූර්ණ වෙනව නං වරදකාරී හැඟීම ඇතත් නැතත් පාපයක් සිදුවෙනව. උදාහරණයක් විදියට සතුන් මැරීම පවක් නොවේ යයි සලකන ආගමක කෙනෙකුට උනත් සතෙක් මැරුවොත් බුදුදහම අනුව පවක් සිදුවෙනව.

      Delete
    6. මෙතන වරදකාරී හැඟීම කියන්නේ, තමා කළේ සමාජ සම්මත කාම සේවනයක් නොවීම, ඒ සඳහා යොදාගත්තේ පිළිගත් ක්‍රමයක් නොව රැවටීමක් වීම, මෙය නොකර සිටින්නට හැකි බව එය කරන්නට පෙර තමන් දැන සිටීම, එම ක්‍රියාවෙන් තමාටත් එයට බැඳුන අනෙක් පාර්ශ්වකරුටත් ශාරීරික හෝ මානසික වශයෙන් පීඩාවක් ඇතිවන බව අවබෝධවීම, කියන කරුණු ගන්න බැරිද?

      Delete
    7. විචාරක ගේ මතයට මට නම් එකඟ වෙන්න බෑ. මා හිතන විිිදියට 1-5 දක්වා පව් නොවේ. එකම පව 6 පමණකි (පන්සල් සූදුව)

      Delete
  9. මේ විදිහට බලපුවහම අපි ටොරන්ට් බාන එක අදින්නා දානා සිල්පදය කැඩුවා වගේ වෙනවා නෙවද ? 

    ReplyDelete
    Replies
    1. අනුන්ගේ දෙයක්, ඔවුන් ගේ අවසරයක් නොමැතිව භාවිතා කිරීම නීතියෙන් වරදකි! පව එන්නේ පසුවය.

      Delete
  10. බුද්ධ දර්ශණය මේ ලෝකයේ ජීවත් වන ආඅකරය කියා දීමට ඇතිවූ දර්ශණයක් නොවේය යන්න මගේ හැඟීම. මනෝ කිව්වා වාගේ එකල සමාජයට අවශ්‍ය යැයි සිතූ අංග එකතුකර එය ආගමක් ලෙස විකාශණය වී ඇත්තේ එහි ඇති මූලික හරය සමහර අයට නොපෙනෙන කුඩා කොටසක් බවට පත්කරමිනුයි. දර්ශණයේ එක් එක් කොටස් ගැන ක්ශුද්‍ර (micro) මට්ටමේ විවාද වලට නොයා එහි විශාල (macro) අදහස දෙස බැලීම කළ යුතුයි යන්න මගේ වැටහීමයි. එවිට කුඩා කොටස් ගැන වැටහීමක් ඉබේම ලැබීමට ඉඩ ඇත. ඒ සඳහා වෙලාවක් ඕනෑකමක් මෙම ලිපිය ඇත්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. //මනෝ කිව්වා වාගේ එකල සමාජයට අවශ්‍ය යැයි සිතූ අංග එකතුකර එය ආගමක් ලෙස විකාශණය වී ඇත්තේ එහි ඇති මූලික හරය සමහර අයට නොපෙනෙන කුඩා කොටසක් බවට පත්කරමිනුයි. //

      හොඳ පැහැදිලි කිරීමක්

      Delete
    2. මෙවැනි මයික්‍රෝ ඇනලසිස් අවශ්‍ය වෙන්නේ, බුද්ධාගම ආගක් නොව ජීවන දරශනයක් යැයි පැවසෙන නිසාත්, පන්සිල් යනු එදිනෙදා ජීවිතයේ කරුණුවලට කෙලින්ම සම්බන්ධ දෙයක් නිසාත් ය.

      Delete
  11. මුලින්ම කියන්නම්කෝ උත්තර මං දන්නෙත් නැහැ.ආගම් කියන්නේ නිතිය නෙමෙයිනේ.කැඩුවට උසාවිවත් දාන්නැහැ. අනික ඉතින් ඕක දර්ශනයක්නේ.
    කාමේසු මිච්චය විනය පිටකයේ විස්තර කර තියෙන බව අහලා තියෙනවා.
    හාමුදුරුවරු ඔය ප්‍රස්න ආවම උත්ත ගන්න යන ගිහියෙක්ව දන්නවා. එයා මං හිතන්නේ යර්ස් නෝ උත්තර දෙනවා සරලව කියනවා.
    ඒත්, ඉතින් මහායානේ කාමේසු මිච්චෙයි තේරවාදේ කාමේසුමිච්චෙයි. වගේම ක්‍රිස්තියානි කාමේසුමිච්චෙයි කතෝලික කාමේසුමිච්චෙයිත් සමාන නැහැ මගේ හිතේ.
    ඒ ඒ රටවල ඒඒ වකවානුවලට ගැලපෙන විදියටයි ඕවා වෙනස්වෙන්න ඇත්තේ.හරියට රටේ හැටියට නීති හැදෙනවා වගේ.
    උදාහරණ ගන්නවානම්, දරුවෙක් බිහිවිමට නුසුදුසු කාළගුණික තත්ව වලදි ස්ත්‍රි පාර්ශ්වයට ඩිම්බ මෝචනය වෙන්නැහැ/අඩුයි.අධික ශිත කාලය/ගිම්හානය/කාන්තාරවල ජීවත්වීමේදි. ඉතින්,එවැනි පරිසරවල ඒ“ ඒ දේසේ හැටියට බාසා “ බිහිවෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බුද්ධාගමේ තියෙන හොඳම දේ තමයි, අන්ධානුකරණයෙන් අනුගමනය නොකර ප්‍රශ්න කරලා වටහා ගන්න යනුවෙන් කියලා තියෙන එක.

      Delete
  12. ලිපියත් කියෙව්වා. කොමනේටුුත් කියෙව්වා............... බලන් ගියාම ඒ සිල්පදේ රකින එකත් හැබෑම අමාරු වැඩක් නේහ්............. කරන්න ඕනි දේ හරියටම නොදැන රකින්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සිල් රැකීම අනවශ්‍යයයි.
      හිතට අවංකව ජීවත් වීම තමයි වැදගත් දේ!

      Delete
  13. මට හිතෙන්නේ මෙහෙමයි..
    1. විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරිය දැනුවත්ව තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    පි. දැනුවත්ව කියුවම පොඩි අවුලක් තියෙනවා.. එකඟතාවය ඇතුව නම් අවුලක් (පවක්?) වෙන්නේ නැතිවෙයි.
    2. විවාහයට පෙර දෙදෙනෙකු ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    පි. දෙදෙනාගේම කැමැත්තෙන් අනෙකාට මානසික, සමාජීය හෝ ශාරීරික හිංසනයක් නොවෙනවානම් ගැටළුවක් (පවක්?) නැතුව ඇති.
    3. දෙදෙනෙකුට වැඩි පිරිසක් එක්වර ලිංගිකව එක්වීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    පි. හැමෝගෙම එකඟතාවයෙන් නම් කේස් එකක් (පවක්?) නැතුව ඇති.
    4. විරුද්ධ ලිංගිකයින් අතර ලිංගික එක්වීම ලංකාවේ දැනට නීති ගත සම්මතයයි. එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසීරීම නීතියෙන් තහනම් වෙන්නාක් සේ එය කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවකුත් වේ ද?
    පි. සහකරු/ සහකාරිය ලෙස මිස ලිංග බේදය සැළකිය යුතු නොවේ.
    5. ස්වයං වින්දනයේ යෙදීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද? මේකනම් ප්‍රශ්නයක් (පවක්?) හෙහ් හෙහ්.. ඒ වෙලාවට කවුරු ගැන හිතනවද දන්නේ නෑනේ.. :p

    ReplyDelete
    Replies
    1. අපේ අදහස් බොහෝ දුරට සමානයි. අනිත් අන්තයේ අදහස් දරන බව පේන්නේ තාම විචාරක විතරයි.

      Delete
  14. 1.තමන්තුල වරදකාරී හැගීමක් ඇති නොවන බැවින් එය වරදක් නොවේ. ( තමන් කරණුයේ වරදක් නොකලයුතුව තිබුණු දෙයක් හෝ එම ක්‍රීයාව සිදු කිරීම තුලින් තමන්ගේ හෝ පවුලේ හෝ අනෙකාගේ හෝ ජිවිතයට සමාජයෙන් බලපෑමක් ඇති නොවේනම් වරදක් නොවේ. එනම් බහු භාර්යා සේවනය සියල්ලන්ට සමානව සලකන්නේනම් පවක් නොවේ)
    2.පවක් නොවේ. එහෙත් විවහා නොවි රුවටීමට ලක් කිරීමේ චේතනාවෙන් කරන්නේනම් පවකි. ලිංගික සබදතා පවත්වා පසුව ඇතිවන ගැටලුන් නිසා විවාහ නොවිම නිසා පවක් සිදු නොවේ
    3.මෙය පවක් නොව මානසික රෝගයකි.
    4.පවක් නොවේ. ලිංගික සබදතා පැවත්විය යුත්තේ විරුද්ධ ලිංගිකයින් අතරම පමණක් නොවේ
    5.පවක් නොවේ. ස්වයං වින්දනය ලැබීම මගින් සමාජයට හෝ පුද්ගලයකුට හානියක් සිදු නොවේ.

    ReplyDelete
    Replies
    1. අංක 3 සඳහා ඔබේ පිළිතුර පරස්පරයි.
      මානසික රෝගීන් යනු නීතියෙනුත් දඬුවම් නොලබන පිරිසකි. ඒ නිසා ඔබේ තර්කයටම අනුව අංක 3 (ඕර්ගි) කාමේසු මිච්ඡාචාරාක් නොවෙයි?

      Delete
  15. රසිකගේ ප්‍රශ්නවලට වැල්වටාරම් නැති උත්තර මෙන්න:

    1. මෙම ක්‍රියාව යම් සමාජයකට නොපිළිගත හැක්කක් නම් එය පවක්; මෙම ක්‍රියාව යම් සමාජයකට පිළිගත් හැක්කක් නම් එය පවක් නොවේ.

    2. පවක් නොවේ.

    3. පවක් නොවේ.

    4. පවක් නොවේ.

    5. පවක් නොවේ.

    ReplyDelete
  16. මෙන්න මාගේ පැහැදිළි කිරීම:

    පාලියෙන් කාම යන වචනයේ තේරුම කැමැත්ත යන්නයි. නමුත් කුඩා කාලයේ සිට කනට ඇසෙන කාම චිත්‍රපටි, කාම සූත්‍ර යනාදී වචන නිසා කාම වචනය ඇසෙත්ම අපට හැඟෙන්නේ ලිංගිකත්වයට අදාළ අදහසක්ය.

    කාමයේ වරදවා හැසිරීම නම් අන්සතු හෝ අපට අයිතියක් නැති, අපට නොලැබෙන යම් දෙයක් අප සතු කරගැනීම හෝ එසේ අයිති කරගැනීමට උත්සාහ කිරීම වේ.

    මෙය අපට අයිති නැති භාණ්ඩයකට හෝ ක්‍රියාවකට කැමති වීම මෙන්ම එවැනි දෙයක් අප සතු කරගැනීම ද විය හැක.

    අන්සතු කාන්තාවක් හෝ පුරුෂයෙක් සමඟ ඇයගේ හෝ ඔහුගේ කැමැත්ත නොමැතිව ලිංගික ක්‍රියා වල යෙදීම කාමයේ වරදවා හැසිරීම යටතට එන එක් ක්‍රියාවක් පමණක්ය යන්න මගේ අදහසයි. සාමාන්‍ය නීතිය අනුව මෙය සාපරාධි අපරාධයක් ද වෙයි. (පපුරුෂයන් කාන්තාවන්ට බලහත්කාරකම් කිරීම මෙන්ම පුරුෂයන් තවත් පුරුෂයන්ට බලහත්කාරකම් කිරීම (ඔව් හැලප කතාවකද කොහෙද තිබ්බ වගේ කෝච්චියේදී පොරවල් කොල්ලන්ගේ කකුල් මිරිකන එකත් කාමේසු තමා) නම් නිතර දෙවේලේ අසන්නට ලැබුනත් එහි විලෝමය මට අසන්නට ලැබී ඇත්තේ එක් වරක් පමණි). සමහරවිට පුරුෂයන් කාන්තාවන්ගෙන් තමන්ට අතවර වෙනවාට ඉතා කැමති වනවා වන්නටද ඇත.

    මෙසේ නැතිව දෙදෙනාගේම කැමැත්තෙන් හෝ සියල්ලන්ගේ ම (ඕගියක් නම්) කැමැත්තෙන් ලිංගික ක්‍රියාකාරකමේ යෙදීම තුන්වන සිල්පදය කැඩීමක් නොවන බව මගේ අදහසයි. කෙසේ වෙතත් එවන් දේ කිරීමට කැමති එහෙත් එය නොලැබෙන කෙනෙකුට එය ලබාදීම කාමේසු කෙසේ වෙතත් මහත් කුසලයක් බවද මම සිතමි!

    ReplyDelete
    Replies
    1. /* එවන් දේ කිරීමට කැමති එහෙත් එය නොලැබෙන කෙනෙකුට එය ලබාදීම කාමේසු කෙසේ වෙතත් මහත් කුසලයක් බවද මම සිතමි! */

      ඒ කෑල්ල නම් මරු!

      සමාජ සේවයක්!!!

      Delete
  17. මගෙ හිතට ආව ප්‍රශ්නය......
    මොකක්ද පවක් කියන්නෙ කියල ඉස්සෙල්ලම ලිහා ගනිමුද? උත්තර හොයන්න කලිං.

    ReplyDelete
    Replies
    1. පව යනු අනුන්ට කරදරයක් වීමයි.
      තමන්ට අවැඩක් කර ගැනීම ඇතුළත් විය ්‍රුතු යැයි නොසිතමි.

      Delete
    2. එතකොට පිං...? පව යනු අනුන්ට කරදරයක් වීම නං පිං කියන්නෙ කරදරයක් නොවීමද ?
      මට නං ඔය අර්ථකතනයෙ අවුලක් දැනෙනව.

      Delete
  18. පලමුව පව හා පින යන්නද නිසි ලෙස අර්ථ දැක්විය යුතුය.
    දුප්පත් හා මධ්යම පන්තික ජනයාව ශිෂ්ඨ යයි කියන සම්මතයකින්
    බැඳ දැමීමට ගෙනෙන ලද උප්පරවැට්ටි නීතියකි.
    කෙසේ හෝ ඒ සම්මත විසින් කරන ලද කාර්‍යය භාරය
    අවසන් වෙමින් යනබව පෙනී යයි.
    මව සහ පියා කොම්පැනියේ/සමාගමේ දේපලවල උරුමය
    බෙදාගැනීමට කාමේසු මිච්ඡාචාරා වේරමනී වීම වැද්ගත්ය.
    බුද්ධාගමේ නීතිවල තිබෙන වලංගුභාවය හා භූමිකාව අවලංගුවෙමින් පවතී.
    සමාජය ඒ තත්වයන් පසුකොට බොහෝ ඉදිරියට පැමින ඇත.
    බෞද්ධ දර්ශනයේ අගය වැඩිවෙමින් ඇත.
    බහු භාර්යාසේවනය ආගම්වලින් නැතිනම් ගෝත්‍රික හා වෙනත්
    සිරිත් වලින් ආර්ක්ශා කෙරෙන සමාජයන් ඒවායින් දුරස් වන
    බවක් පෙන්වයි.(උදා; එක ගෙයි කෑම මෙකල අසන්නට නොලැබේ)
    කෙසේ හෝ වේවා විරුද්ධ ලිංගිකයින්ගේ
    ආකර්ෂනය හිත් බැඳීම බිඳීම වැලක්වීමට සමත්
    සිල් පදයක් සොයා ගැනීමට අලුත් ලෝකයට භාරය.

    ReplyDelete
    Replies
    1. එක ගෙයි කෑම පවක් නොවෙයි නේ. ඒක කරන්නේ තිදෙනා ගේ ම කැමැත්තෙන්

      Delete
    2. පවක් බව මං කියා නැත.
      අනෙක් අතට
      පවක් නොවේ නම් පිනක්ද?
      දෙකටම නැති දෙයක්ද?

      Delete
  19. පෝය දවසක් පහු වුනාද? :P

    කාමේසු මිච්චාචාරේ ගැන කතා කරන්ට පිරිමි ගොඩයි...:D

    ReplyDelete
  20. පානාතිපාතා, අදින්නාදානා සිද්ධ වෙන හැටි පැහැදිලි කරලා තියනවා වගේ කාමේසුමිච්ඡාචාරයට එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම තිබේ. මම බුදු දහමේ තරම් ලිංගික නිදහස ගැන දක්වා ඇති තවත් දහමක් නැතැයි තේරුම් ගත්තේ එතැනින්.

      Delete
    2. පැහැදිලිවම තිබේ. මම බුදු දහමේ තරම් ලිංගික නිදහස ගැන දක්වා ඇති තවත් දහමක් නැතැයි තේරුම් ගත්තේ එතැනින්.

      Delete
  21. 1. නැත
    2. නැත
    3. නැත
    4. නැත
    5. නැත
    6. ඔව්
    ඉහත පිළිතුරු මගේ මතයට සහ මම බුදුදහම තේරුම්ගත් ආකාරය අනුව බව සලකන්න

    ReplyDelete
  22. IMHO
    1. නැත
    2. නැත
    3. නැත
    4. නැත
    5. නැත

    ReplyDelete
  23. බොදු දහමට අනුව මේවා විසඳෙන්නේ මෙහෙමයි. කලින් කිව යුතු දෙයක් තිබේ. බුදු දහමේ තරම් තරම් ලිංගික නිදහස ලබා දී ඇති තවත් ධර්මයක් නැති තරම් ය.

    1. ඔබ මතු කරණ පළමු කාරණය කාමයේ වරදවා හැසිරිමකි. හේතුව බුදු දහමේ කියන්නේ තමුන්ගේ ජීවිතය ගැන මිසක් අනුන්ගේ ගැන නොවේ. අනුන් දැන සිටියාද නැද්ද යන්න අදාල නැත. සහකරුවෙක්/සහකාරියක් සිටීනම් තුන්වැන්නෙකු සමග එක් වීම වැරැද්දකි.

    2. මෙම කාරණය බොහෝ විස්තර කර ඇත.

    මෙහි ලිංගිකව එක්වෙන දෙදෙනා ස්වාදීනව වාසය කරයි නම්, වැඩිහිටියන්ගෙන යැපෙන්නේ නැතිනම් එය කාමයේ වරදවා හැසිරීමක් නොවේ. උදා- විවාහක පිරිමියෙක් විවාහ නොවූ එහෙත් කාගෙන්වත් නොයැපෙන කාන්තාවක් හා ලිංගිකව එක් වුනොත් කාමයේ වරදවා හැසිරීමේ පව එක්තු වන්නේ විවාහක පිරිමියාට පමණි.

    3. මෙම කාරණයට පලමු කොටසේ පිලිතුර ඇත.

    4. මෙම කාරණයට දෙවනන කොටසේ පිලිතුරු ඇත.

    5. ස්වයං වින්දනය කාමයේ වරදවා හැසිරීමක් නොවේ. විවාහකයෙකු තමන්ගේ සහකාරිය/සහකරුට හොරෙන් වෙනත් සහකරු/සහකාරියක් සමග සිතින් ලිංගිකව එක් උනත් ඒය කාමයේ වරදවා හැසිරීමක් නොවේ. මොකද එතන පුද්ගලයෙක් නෑ. නමුත්,
    සිතින් සිතා වචනයෙන් කර අකුසල්,
    සිතින් සිතා සිතින් කරන අකුසල්,
    සිතින් සිතාක්‍රියාවෙන් කරන අකුසල් වලින් දෙවන කොටසට අයත් අකුසලයක් වෙනවා. එච්චරයි.

    6. මෙය නම් ඉතා සරළයි. ඇතැම් තැන් වල නිල ඇදුමට විසේෂ වරප්‍රසාද තිබුනට චීවරය ඇන්ද පුද්ගලයෙකුට වරදකට විශේෂ වරප්‍රසාද නැත.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. 1.විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරිය දැනුවත්ව තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    2.විවාහයට පෙර දෙදෙනෙකු ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    3.දෙදෙනෙකුට වැඩි පිරිසක් එක්වර ලිංගිකව එක්වීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
    4.විරුද්ධ ලිංගිකයින් අතර ලිංගික එක්වීම ලංකාවේ දැනට නීති ගත සම්මතයයි. එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසීරීම නීතියෙන් තහනම් වෙන්නාක් සේ එය කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවකුත් වේ ද?
    5.ස්වයං වින්දනයේ යෙදීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?

    Dharmaye dakwenne mehemai.

    " Yam kenek Thamata wife/Husband lesa pawara dee nomathi, Enam, Thawa ayekuge wife/Husband, Demapiyan/Wadihitiyan yatathe poshanaya wena, Wachikawa ho wenath ayekuta pawaru, ho Thamata wife/Husband lesa pawara dee nomathi (By written or verbal agreement) onama ayek samaga, e ayage kamaththen ho akamaththen lingikawa ekwima ho pelambaweema kameshu michchacharayai."

    Eya kaikawa ho manasikawa wiya haka.( Chethanawama karmaya wana bawin)

    Me sil padaya magin balaporiththu wanne indriya sanwarayai.
    Enam Asa, kana, nasaya, diwa, kaya, manasa kam sapa wideemen seema kirimai.
    E sapaya thama bharyawata ( ho bharyawanta ) pamanak seema kirimai. (Ekala Bahu barya kramaya legal wa pawathuni.)
    E nisa 5 da pawaki. E manasika sanwaraya bida damima nisa, raga sithuwili / sannga (&‘ïÀ$<) athi weema saha poshanaya weema nisai.
    (Very Sorry. My Sinhala typing is very bad. So i used singlish)

    ReplyDelete
  26. Rerukane hamuduruwange "බවුද්දයගේ අත්පොත" ඕවට උත්තර තියේ. බලන්න

    ReplyDelete
  27. මේ බ්ලොග් සටහන අදයි දැක්කේ.ඉහත ගැටලුව ගැන මටත් යම් ගැටලු තිබුනා. නමුත් අද වෙනකොට මම දන්න විදියට බුදුහාමුරුවෝ දේශනා කරපු ශීලය කියන එක හැම වෙලේම ප්‍රඥ්ඥාව සමග බැදුනු දෙයක්. ඒ කියන්නේ යමකින් යම් කිසිවක් නිසා යම් දුකක් ඉදිරියේදී විදින්න සිදු වෙනවානම් ඒ දෙයින් ඈත්වීමට හේතුව වන දේ ශීලයෙන් සිදුවිය යුතුයි. එහෙම නැතුව මිනිස්සුන්ට ශීල වෘත රක්කන්නට තමන් වහන්සේ නොපැමිනි බව පැහැදිලිවම දේශනා තිබෙනවා. ප්‍රාණ ඝාතයෙන් වැලකීම මෛත්‍රිය වඩා ගැනීඹට සිදු විය යුතුයි. ආසාව තියාගෙන බලෙන් තද කර ගෙන හිදීමම නෙමෙයි. සොරකම් කිරීමත් මෙහෙමමයි. තමුන්ට සහ අනුන්ට සිදුවන ආදීනව මෙනෙහි කරමින්. නැතුව නීතිය නිසා නෙමෙයි. කාමේසුම්ච්ඡාචාරය වගේ දේ ගත්තොත් බොහෝ දෙනෙකුට අත ඇර ගන්න අමාරුම දේ තමයි ලිංගික ආශාව. ගෑනු වේවා පිරිමි වේවා මේක පොදුයි. තමුන් මෙයින් කුමන හෝ ආකාරයකින් වෙන්වීඹක් වෙනවද ඒ තුල මෙහි ආදිනව වටහා ගැනීඹ හා එහි ප්‍රතිපල බුද්ධ දේශනාව අනුවම යොදා ගනිමින් තමුන්ගේ ප්‍රඥ්ඥාව වඩවා ගත යුතුයි. බුදුන්වහන්සේ දේශනා කලේ හැකිතරම් මේ ජීවිතයේදීම නිවන් දකින්න කියලයි. ඒ සංසාරයේ භයානක බව නිසා. කාමයන්ගේ එක් වීමෙන් ඇති වන භයානක ප්‍රතිපල නිසා. එහෙම නැතුව ආසාවල් තියාගෙන සිල් රැක්කා කියල මැරිල යන එකක් බුදු දහමේ නැහැ.

    ස්වයිං වින්දනයේ යෙදීම පවා සැලකිය යුත්තේ අපායේ වැටීමක් ලෙස නොවෙයි. එහි වින්දනය හරහා තමුන් තව තවත් අල්ලා ගැනීම් සිදු කරන නිසා. වැල බැලුවත් එහෙමයි. අපායේ වැටෙන්නේ නැහැ. නමුත් දීර්ඝ වැඩීඹ තුල ඒ සදහා වන හේතුවලට මුල් විය හැකියි. එම නිසා තම තම ණැන සිහියෙන් සහ ප්‍රඥ්ඥාවෙන් සිල් රැකීම සිදුකල යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. එකගයි.මගේ වැටහීමත් ඕකම තමා

      Delete
  28. ඔබ මේ කරුණු තේරුම් අරගෙන නෑ. ඔබේ ප්‍රතිචාර දැක්කම ඒ බව වැටහෙනවා. සමාජයේ මැදහත් භාවයට සහ සාමයට කරුණු වන දේවල් සදාචාර සහ අනෙක්ව මිච්ඡාචාර නම් වෙනවා. ඔබ නීතිය ගැන කතා කරනවා. එතැනදී ගත්තම පලවෙනි කරුණ වැරදියි නීතිය අනුව බැලුවම. මන්ද නීතිය අනුව විවාහ විය හැක්කේ එක් අයෙක් සමග. එතනදී ලිංගිකව හැසිරිය හැක්කේ නීතිය අනුව ඒ කාන්තාව සමහ පමණයි. එසේ නොවුවහොත් දික්කසාද කිරීමට නීතියට පිළිවන්. නීතිය ධර්ර්මයට ඉහලින් යන්නේ නෑ. ඔබේ අරමුණු එඑඅ ඉහලින් යනවා. ඔබේ අරමුණ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිට පැනීම නම්, සමාජයට එයින් වෙනසක් වනවා නම් එය මිච්ඡාචාරයක්. ඔය කරුණු වලින් එසේ වන්නේ කොතනදීද නොවන්නේ කොතනදීද යන්න සාර්වත්රව අත්දැකීම් අනුව බලා තීරණය කරන්න. බුදුදහම යනු opinion based එකක් නොවේ. :)

    ReplyDelete
  29. කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය – උපක්‍රමය – සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
    එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..

    ReplyDelete
  30. ත්‍රිපිටකයේ තියෙනවා විවාහයට පෙර ලිංගික එක්වීම වැරදියි කියලා.
    සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන තුන් පිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාව. ඒ දේශනාවෙ මෙහෙම කියනවා.

    "ගෘහපතියෙනි, තුන් පරිද්දෙකින් කයින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. වචනයෙන් සතර ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. සිතින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වෙයි. ගෘහපතියෙනි කෙසේ කයින් තුන් ආකාරයකින් අධර්‍ම පැවතුම් විෂම පැවතුම් වේද? ගෘහපතියෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රෞදූ වූයේ, ලෙයින් තෙමුණු අත් ඇත්තේ, අන්‍යයන් පෙලීමෙහි, නැසීමෙහි යෙදුනේ, සත්ත්වයන් කෙරෙහි දයාවක් නැතිව ප්‍රාණගාත කරන්නේ වෙයිද, සොරකම් කරන්නේ වෙයිද, ගමෙහිද, ආරණ්‍යයෙහිද, අන් සතු යමක් වේද, එය සොර සිතින් පැහැර ගන්නේ වෙයිද, කාමයන්හි වරදවා හැසිරෙන්නේ වෙයිද, මව විසින් රක්නා ලද්දාවූද, පියා විසින් රක්නා ලක්දාවූද, මව්පියන් විසින් රක්නා ලද්දාවූද, සොහොයුරා විසින් රක්නා ලද්දාවූද, ගොත්‍රයෙන් රකින ලද්දාවූද, කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද, හිමියන් සහිතවූද, (අසුවල් ස්ත්‍රිය වෙත ගියහොත් දඩයයි නියම කරනලද) දඩුවම් සහිතවූද, යටත් පිරිසෙයින් (මැය මගේ භාර්යාව වන්නීයයි පිරිමියෙකු විසින්) මල්දමක් දමනු ලැබුවාවූද, යම් ඒ ස්ත්‍රීහු වෙත්ද, එබදු ස්ත්‍රීන් සමග හැසිරීමට පැමිණියේ වෙයිද, ගෘහපතියෙනි, මෙසේ වනාහි කයින් සිදුවන්නාවූ අධර්‍ම පැවතුම් විෂම පැවතුම් තුන් ආකාර වෙයි".

    ඒ කියන විදිහට;
    1. මාතු රක්‌තා – මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌තා – පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌තා – මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    4. භාතු රක්‌තා – සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌තා – සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. ඥාති රක්‌තා – නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    7. ගොත්තරක්‌තා – සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය හෝ කුල චාරිත්‍ර ධර්‍මයෙන් රකින ලද්දාවූද.
    8. ධම්ම රක්‌තා – ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා – පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා – දඬුවමට බැඳුන තැනැත්තිය.

    ඔන්න ඔය කියන කරුණු 10 න් එක කරුණක් හෝ අන්තර්ගත ස්ත්‍රීයක් සමග එක්වීම කාමය වරදවා හැසිරීමක් වෙනවයි කියලා කියනවා. එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් ඉහත කරුණු 10 න් 1, 2, 3,4,5,6 කියන එකෙන් එකක් අනිවාර්‍යයෙන් කැඩෙනවා. දැන් ඒ සහෝම කිව්වොත් එහෙනම් කාත් කවුරුත් නැති තනියම ජීවත් වෙන කාන්තාවක් එක්ක එහෙම දෙයක් කලොත් කියලා 7 වෙනි කරුණ බිඳ වැටෙන නිසා තුන් වෙනි සික්ශා පදය කැඩෙනවා.. වැඩිහිටි අනුදැනුමකින් තොරව කියන වචනය මම මෙතන විශේෂයෙන් පාවිච්චි කලේ හේතුවක් ඇතිව. ඒක අන්තිමට කියන්නම්.

    ReplyDelete

  31. තවද, ත්‍රිපිටකයේ සූත්‍ර පිටක කොටසේ ඇතුලත් දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ”කාමේසු මිච්ඡාචාරා වේරමණී” යන්න විවරණය කරන' දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය, පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,

    1. ධනක්‌තා – මිලයට ගන්නා ලද්දී.
    2. ඡන්වාසිනී – කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී – සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී – වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී – අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා – ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා – දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා – කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා – යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා – තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

    එහෙනම් විවාහයට පෙර ලිංගික එකතුවීම කියන කරුණ ඉහත කරුණු 10 සමඟ සන්සඳනය කරද්දි 2,3,4 කියන කරුණු වලින් කැඩෙනවා නේද සහෝ? දැන් කියන්න එපා විවාහ උනාමත් එහෙම දේවල් වෙනවනේ කියලා විවාහක කාන්තාවක්ට එම දේවල් ලබා දීම යුතුකමක් කියලා සිඟාලෝවාද සූත්‍රය මට මෙතන මතක් කරලා දෙන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

    උඩ කිව්ව සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ සඳහන් "සාලෙය්‍යක සූත්‍රය" කියන දේශනාවේ අදාල කරුණු 10 ගැන කියද්දි එහෙනම් විවාහයට පෙර තීන්දු වෙච්ච මගුලක හෝ වැඩිහිටි අනුදැනුමකින් තොරව ලිංගිකව එක්වුනොත් කියලා කෑල්ලක්.. ඒ කිව්වේ මේ නිසයි බැරි වෙලාවත් ඒ කියන විදිහට කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, ඡ්ඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. ඒ බව මජ්ඣිම නිකායේ "ජීවක සූත්‍රයේ" සඳහන් වෙනවා..

    අපි නොදන්න චෙස් අපේ උන් අවසර අරගෙනම කො‍ටු පනී කියලා තමයි බය.

    රජවරුන්ගේ අන්තප්පුර වගේ සිද්ධි බෞද්ධ විග්‍රහයකට අදාල නැති නිසා එව්වා ගාවගත්තේ නැහැ. මොකද මිනිස්සුන්ව අපිට හදන්න බැරි නිසා අපි හරියට හැදිලා ඉන්න එක හොඳයි කියලා මම ඉගෙනගෙන තියෙන නිසා..

    ReplyDelete
    Replies
    1. විවාහ වීමට පෙර පිරිමියෙකු සමග සංසර්ගයේ යෙදීමෙන් පසු එම කාර්ය සඳහා යම් මුදලක් අය කරන්නේනම් කාමේසුම්ච්චාචාරය කැඩෙනවාද... විවාහක කාන්තාවක් නම් වෙනත් පිරිමියෙකු සමග සංසර්ගයේ යෙදීමෙන් පසු එම කාර්ය සඳහා යම් මුදලක් අය කරන්නේනම් කාමේසුමිච්චාචාරය කැඩෙනවාද... එයට අදාල අවයවය පාවිච්චි නොකර වෙනත් අවයව පාවිච්චි කර ලිංගික සේවනය කිරීමෙන් කාමේසුමිච්චාචාරය කැඩෙනවාද.. පහදා දෙන්න...

      Delete
  32. ස්තුති මෙවැනි සංවාද වලට .blog එකෙන් සහ කොමන්ටු වලින් යමක් දැනගත්ත.

    ReplyDelete
  33. කාමේසු මිච්ඡුාචාරා කියන සිල් පදය ධර්මයේ තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින්
    රකින්නා වූ යම් ස්ත‍්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත‍්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත‍්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත‍්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත‍්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත‍්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත‍්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත‍්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත‍්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත‍්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත‍්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුනාද, එබඳු ස්ත‍්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි 'කාමේසු මිච්ඡුාචාරා'!!
    - මගේ ගුරු හාමුදුරුවෝ, පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.
    My Only Trusted source!!!

    ReplyDelete
  34. සමාජ රෝග වලක්වා ගැනීමට හොදම මග බුදු දහමයි....මෙයට ලිපි තබේ නම් දාන්න.ලොකු උදව්වක්.මේක thesis ekata

    ReplyDelete
  35. මවුපිය අනුදැනුම හා ආශිර්වාදය ඇතිව විවාහ ගිවිසගත් යුවළක් සිටිති. ඔවුන් විවාහය ට පෙර ලිංගික ව එක්වීම වරදක් ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.