Monday, 17 August 2026

​පෑඩ් ගැන අන්තිම කතා දෙක - More about P A de (PAD) Silva

image.png

මහාචාර්ය පෑඩ් ගේ වියෝව පිළිබඳ ආරංචි වූ විට මට ඔහු පිළිබඳව කතා හතරක් සිහියට ආවේය. එයින් දෙකක් මේ වන විට ලියා පළ කර ඇති අතර ඉතිරි කතා දෙක එතරම් වැදගත් ඒවා නොවන නිසා එක සටහනක මෙලෙස කෙටියෙන් ලියා දමමි.

ලංකා වානේ සංස්ථාවේ සභාපති ලෙස 1977 බලයට පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් පත්වීම ලැබූ උග්‍ර යූඇම්පීකාරයෙකු වූ මහාචාර්ය පෑඩ් මොරටුව විශ්වවිද්‍යාලයේ තමන්ගේ රැකියාවෙන් සප්ත වාර්ෂික නිවාඩු ලබා අලුත් තනතුරේ වැඩකටයුතු කර ඇත. එයින් ඔහුට අස්වෙන්නට සිදු වී අවුරුදු ගණනාවකට පසු මට වානේ සංස්ථාවේ රැකියාවක් කිරීමට අවස්ථාව ලැබුණි.

එහිදී මට හමු වූ සමාන වයසේ සිටි මට වඩා අවුරුදු කිහිපයකින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් පිරිසක් විය. ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණ මට සුවිශේෂී කරුණක් ආඩම්බරයෙන් පැවසූහ.

එය නම් ඔවුන් සංස්ථාවේ දීර්ඝ කාලීනව කරන මේ රැකියාව සඳහා කිසි දිනක අයදුම් පත් ඉදිරිපත් කර සම්මුඛ පරීක්ෂණවලට පෙනී නොසිටිය බවයි. මා අසා දැනගත් වැඩිදුර විස්තර අනුව සිදුවී ඇත්තේ මෙයයි.

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගනිමින් සිටි මේ පිරිස වානේ සංස්ථාවට පැමිණ ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අදාළ පුහුණුව ලැබීමට ය. ඒ අවසානයේ ඔවුන්ට සහකාර ඉංජිනේරුවන් ලෙස තාවකාලික රැකියා ලැබී ඇති අතර පසුව ඒ රැකියා ස්ථිර කර ඇත.

අයදුම් පතක් ඉදිරිපත් නොකර සම්මුඛ පරීක්ෂණයකට පෙනී නොසිට මේ ආකාරයට රැකියාවක් ලැබීම පූරුවේ පිනකි. "අපි මේ ජොබ්වලට ඇප්ලයි කරලා, ඉන්ටර්වීව් ගිහිල්ලා ආපු එවුන් නෙමේ" යැයි දෙදෙනෙකුම මට පැවසුවේ උජාරුවෙනි. නමුත් එහි යටි කතන්දරය දන්නෝ දනිති.

ඒ පළමුවෙනි කතාවයි. දෙවෙනි කතාව මෙසේය.

මා සිංහලෙන් බ්ලොග් ලියන්නට පටන්ගෙන ටික කලකට පසු ඒ සයිබර් අවකාශයේම කවිකාරී වැනි ආරූඪ නාමයකින් කාන්තාවක් බ්ලොග් ලිවීම පටන් ගත්තාය. ඊට සමාන්තරව ඇය තමන්ව මහැදුරු බිරිඳක් ලෙස ද හඳුන්වා ගත්තාය. ඇගේ සැමියා වන මහැදුරා සේවය කළේ මොරටුව විශ්ව විද්‍යාලයේ බව ද ඇය ලියූ සටහන්වලින් අපට දැනගන්නට ලැබුණි.

දිනක් ඇය බ්ලොග් සටහනක් ලෙස ලියා තිබුණේ පෑඩ් සිල්වා පිළිබඳව ය.

බ්ලොග් කියවන අය තමන් කියවන ඒ බ්ලොග් සටහන් තමන්ගේ අදහස් ප්‍රතිචාර ලෙස දැක්වීම සම්ප්‍රදායයි. ඒ අනුව යමින් මම කළේ මට පෑඩ් පිළිබඳව ඇති මතක කිහිපයක් අකුරු කිරීමයි.

තමාගේ මහැදුරු සැමියාගේ ද ලොක්කෙකු වූ ද, මහා මහැදුරෙකු වූ ද මහාචාර්ය පෑඩ් සිල්වාට මම පෑඩ් යැයි ඇමතීම නිසා මේ බ්ලොග් ලියන්නිය කෝපයට පත්විය.

එය ඇගේ ප්‍රශ්නයක් මිස මගේ ප්‍රශ්නයක් නොවේ.

පසුව ඇය බ්ලොග් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූවා යැයි සිතමි.

- රසික සූරියආරච්චි

Sunday, 16 August 2026

පෑඩ් සහ ජේආර් - PAD Silva and JRJ


අද අවසන් ගමන් ගිය මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව සේවාර්ජිත මහාචාර්ය පී ඒ ද සිල්වා හෙවත් පෑඩ් සිල්වා පිළිබඳව මා ලියූ පෙර ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වන අයකු පෑඩ් මිය ගිය නිසා ඔහුට පෑඩ් යයි කීම අපහාසයක් බවට අප්‍රභංශ කතාවක් ලියා ඇත. මා ඔහුට ප්‍රතිචාර ලෙස කීවේ පෑඩ් යනු මියගිය මහාචාර්යවරයාගේ මුලකුරු බවත්, ඔහු එනමින් හැඳින්වීම සමානවන්නේ ජේ ආර් වැනි ඇමතීමකට හෙයින් එයින් කිසිදු අපහාසයක් සිදු නොවන බවයි.

මේ ආකාරයට මුලකුරු වලින් හැඳින්වෙන තවත් බොහෝ දෙනකු ලංකාවේ විසූහ සහ වසති.

එනිසාම, පෑඩ් පිළිබඳව මා ලියන්නට සිටි කතා හතරෙන් දෙවැන්නේ මාතෘකාව ලෙස පෑඩ් සහ ජේ ආර් යන්න යොදා ගනිමි.

මේ පෑඩ් අප සමග කියූ කතාවකි.

මා මුල් සටහනේ ද කියූ පරිදි පෑඩ් යනු හොඳ යූඇම්පීකාරයෙකි. ජේආර් ගේ ආණ්ඩුව බලයට පැමිණි විගස ඔහුට ලංකා වානේ සංස්ථාවේ සභාපතිකම ලැබුණේත්, ඉන් ඉවත්වන්නට සිදු වූ පසු ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවේ සභාපතිකම ලැබුණේත් එනිසා ය.

එනිසා, ඔහු වැනි ලොක්කෙකු ජේ.ආර්. හමු වී සාකච්ඡා කිරීමේ පුදුමයක් නැත.

පෑඩ් අප සමග පැවසූ පරිදි, ජනාධිපති ජේ.ආර් සමග ඔහු සාකච්ඡාවකට සහභාගී වූ එක් දිනයක එවකට ආණ්ඩුව විසින් ආනයන නීති ලිහිල් කර ප්‍රවර්ධනය කරමින් සිටි මෝටර් සයිකල් ආනයනය කිරීම පිළිබඳව අදහස් දක්වමින්, එය රටට අවාසිදායක බවත්, කළ යුත්තේ එක් අයකු (හෝ දෙදෙනෙකු) පමණක් ගමන් කරන මෝටර් සයිකල් ගෙන්වීම නොව මගීන් රාශියකට ගමන් කර හැකි විශාල බස් ගෙන්වීම බව පවසා ඇත.

ජේ ආර්ට තම අදහස තවදුරටත් පැහැදිලි කිරීමට පෑඩ් ගණිතමය උදාහරණයක් ගෙන ඇත.

"මිලි ලීටර් 125 ඇන්ජිමක් තියෙන මෝටර් සයිකලයකින් යන්න පුළුවන් පෙට්‍රල් ලීටරයකට මිනිස් කිලෝමීටර් හතලිහක් පමණයි. නමුත්, මිනිසුන් හතළිස් දෙනකුට ගමන් කරන්න පුළුවන් ලීටර් හයේ ඇන්ජිමක් තියෙන බස් එකකට ඩීසල් ලීටරයකින් මිනිස් කිලෝමීටර් එකසිය පනහක් විතර යන්න පුළුවන්" යැයි ඔහු පවසා ඇත.

ලීටරයකට මිනිස් කිලෝමීටර් යන සංකල්පය පිළිබඳව මෙලෝ හසරක අවබෝධයක් නැති ජේ.ආර්. එවිට "ඔහේ ඉංජිනේරුවකු නේද? කොයි ලෝකෙද මනුස්සයෝ බස් එකකට ලීටරයකින් කිලෝමීටර් 150 ක් යන්න පුළුවන්?" යයි සමච්චලයට අසා තමන්ගේ ඉල්ලීම කුණු ගොඩට දැමූ බව මහා හඬින් සිනාසෙමින් පෑඩ් අප සමග පැවසීය.

පෑඩ් ගැන කීමට කතා තවත් දෙකක් ඇත. ඒවා එතරම් වැදගත් නොවන නිසා ඒ දෙකම එක සටහනක ඊළඟට පළ කරමි.

රසික සූරියආරච්චි

Saturday, 15 August 2026

පෑඩ් ගැන කතා හතරක් - පළමුවැන්න :: Emeritus Professor P A de Silva - Part 1


මෙහි පෑඩ් (PAD) යනුවෙන් අදහස් කරන්නේ ඊයේ මියගිය මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව සේවාර්ජිත මහාචාර්ය (emeritus professor) පී ඒ ද සිල්වා ය.

මා ඔහු දැක ඇත්තේ, ඔහු කතා කරනවා අසා ඇත්තේ එක දවසකි. ඒ මීට අවුරුදු තිහකටත් වඩා කලින් දිනයක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු අනුකමිටුව මගින් ඔහුගේ විශේෂ දේශනයක් සංවිධානය කළ දින දී ය. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මිතුරන් පෑඩ්, පෑඩ් යයි කියමින් ඔහු ගැන කතා කරනවා මම සෑහෙන වාරයක් අසා ඇත්තෙමි.

මෙන්න කතා හතරෙන් පළමුවෙනි කතාව.

මා සිතන විදිහට පෑඩ් හොඳ යූඑන්පීකාරයෙකි. ජේ ආර් ගේ ආණ්ඩුව 1977 දී පිහිටවූ පසු රජයට අයිතිව තිබූ ලංකා වානේ සංස්ථාවේ සභාපති ධුරයට පෑඩ් පත් කරන ලදී. එතෙක් කල් පිටරටින් ආනයනය කරන වානේ කුට්ටි රත්කර රෝල්කර දඟර වානේ කම්බි සෑදු සංස්ථාව දෙවන අදියර අරඹමින් අබලි වානේ උණුකර වානේ කම්බි සෑදීම ඇරඹුවේ මේ කාලයේ යැයි සිතමි. ආර්ථික හේතු මත පසුව එම දෙවන අදියර නවත්වා දමන ලදී.

වානේ සංස්ථාව පිහිටා තිබුණේ අතුරුගිරියේ ඔරුවල ප්‍රදේශයේ ය. මෙම ගම අයත් වූයේ කඩුවෙල ආසනයටයි. කඩුවෙල ආසනයේ දේශපාලුවා වූයේ වැවිලි කර්මාන්ත ඇමැති ධුරය දැරූ එම් ඩී එච් ජයවර්ධන නමැත්තෙකි. වානේ සංස්ථාව අයත් වූයේ කර්මාන්ත අමාත්‍යංශයට වූ නමුත් ප්‍රදේශයේ දේශපාලුවා ලෙස එම් ඩී එච් ජයවර්ධනට සංස්ථාව ගැන උනන්දුවක් තිබුණි.

අයවැය දෙවන කියවීමේ දී එක් එක් අමාත්‍යංශයේ වැය ශීර්ෂ සාකච්ඡා කෙරෙන විට අමාත්‍යාංශවලට අයත් ආයතන, සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු යනාදියේ ලොක්කන් සියලු දෙනාම පාර්ලිමේන්තුවට යෑම සම්ප්‍රදායයි. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය ගැන පාර්ලිමේන්තුවේ කතාවෙන දිනයේ දී පෑඩ් ද පාර්ලිමේන්තුවේ සිට ඇත.

මෙහිදී එම් ඩී එච් ජයවර්ධන කතා කරමින් වානේ සංස්ථාව පිළිබඳව හෝ එහි සභාපතිවරයා පිළිබඳව හෝ යම්කිසි නෝක්කාඩු කතාවක් කියා ඇත. අදාළ දිනයේ හැන්සාඩ් වාර්තාවල මේ පිළිබඳ සත්‍ය තොරතුරු තිබිය යුතුය.

ගැලරියේ සිට මෙය අසා සිටි පෑඩ්ට අම්බානකට තද වී ඇති බව කියැවේ.

ඔහු කර ඇත්තේ, තේ පානය සඳහා සභාව නතර කළ විට ඇමතිවරයා හා වලියකට යෑමයි.

අවසානයේ සිදුවී ඇත්තේ පාර්ලිමේන්තු පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමයි.

තමා අත්අඩංගුවේ සිටි සුළු කාලය තුළ ඒ අත්දැකීම ඇසුරෙන් සිව්පද කවියක් ද ලියූ බව මා පෙර කී දේශනය අවසානයේ සුහද හමුව අතරේ දී අප සමග පැවසූ පෑඩ් මතකයෙන් ඒ කවිය ද අප සමග පැවසීය.

මා සිතන විදියට මේ සිද්ධියෙන් පසු පෑඩ්ට වානේ සංස්ථාවේ සභාපතිකමෙන් ඉවත්වන්නට සිදුවූ අතර ඔහු යක්කල ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලදී.

පළාතේ දේශපාලූවා වූ එම් ඩී එච් ජයවර්ධන ද ඔහුගේ ලොක්කා වූ ජේ ආර් ජයවර්ධන සමඟ දේශපාලන ආරවුලක් ඇතිකර ගත් අතර එම් ඩී එච්ට ඇමතිකමෙන් ද, දේශපාලනයෙන් ද ඉවත්වන්නට සිදුවිය.

එදා ජයවර්ධන සහ පෑඩ් අතර ආරවුලට අදාළ හේතුව කුමක්ද යන්න පිළිබඳව මා විසින් මොහොතකට පෙර අසන ලද එක් කතාවක් මෙසේය.

එම් ඩී එච් ජයවර්ධන තම කතාවේ දී "මේ සංස්ථාවල සභාපතිලා ලෙස අපි පත් කරන්න ඕනෑ කන බොන මිනිස්සු" යැයි කිව්වා ලු. උග්‍ර බෞද්ධයකු වන පෑඩ් මත්පැන් නොබන නිර්මාංශිකයෙක් ලු.

පෙර සඳහන් කළ පරිදි තේ විවේකයේ දී පෑඩ් ඇමතියාට බැණවැදී ඇත්තේ "යකෝ මං මස් මාළු කන්නෑ තමයි, හැබැයි ඔන්නං උඹේ මාළු උනත් කන්න පුළුවන්" කියා ලු.

මෙය මොරටුවේ ඉගෙනගත් කොල්ලන්ගේ කඩප්පුලි කතාවක් යැයි සිතමි.

ඉතුරු කතා පසුව පළ කරමි.

- රසික සූරියආරච්චි

(image: https://uom.lk/mech/emeritus-professor-p-de-silva)