මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday, 12 November 2018
"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there
සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කළ "ඔසී රටේ අපේ කතා” ග්‍රන්ථයේ 2018 නොවැම්බර් 11 දින පැවති සිනුවර දොරට වැඩුම උත්සවයේ දී ලේඛක සංසදය වෙනුවෙන් රසික සූරියආරච්චි විසින් කළ දේශනය
දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසානයේ යම්කිසි නිමාවක් සනිටුහන් කරන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය සමග මුල සිටම අද දක්වාම සම්බන්ධව සිටි සම්බන්ධීකාරක හැටියට අදහස් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටක්.
මට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, අසා සිටින ඔබ හැමටත් පීඩාකාරී නොවන ආකාරයට, ඉතාම කෙටියෙන් මා කරුණු තුනක් පිළිබඳව අදහස් දැක්වීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මා මේ කියන්නට යන ඇතැම් කරුණු සිංහල සංස්කෘතික හමුව සහ ලේඛක සංසදය සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරන මගේ සහෘදයින් බොහෝ දෙනෙකු දන්නා නමුත් අද මෙම උත්සවයට සහභාගි වෙන සියලූ දෙනාගේම දැන ගැනීම පිණිසයි මා කතා කිරීමට අදහස් කරන්නේ.
අද දොරට වඩින මෙම "ඔසී රටේ අපේ කතා" කෙටි කතා එකතුව සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය ලෙස අප සලකන්නේ 2012 මාර්තුවේ දී සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් පැවැත්වූ කෙටිකතාකරණය පිළිබඳ වැඩමුළුවයි.
ඒ වැඩමුළුව පිළිබඳව පසුව පැවැත්වූ සාකච්ඡාවක දී ලේඛක සංසදය විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් රචනා කරන කෙටිකතා එකතුකර ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බවට තීරණයක් ගත්තා.
අපි 2013 මුල්භාගයේ දී මාධ්‍ය නිවේදන මගින් මේ යෝජිත කෘතියට තමන් විසින් රචනා කරන ලද කෙටිකතා එවන ලෙස ඉල්ලා සිටියා. අපේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානුවාසි සිංහල ලේඛකයින් විසින් තමන්ගේ සංක‍්‍රමණික අත්දැකීම් මත පදනම් රචනා කරන ලද කෙටිකතා මෙම යෝජිත කෙටිකතා සංග‍්‍රහයට ඇතුළත් කිරීමටයි. අඩු වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී යමෙකු ගෙවන ජීවිතය ගැන යම් හෝ සඳහනක් මේ නිර්මාණ වලට ඇතුළත් විය යුතු බව අපේ අදහස වුණා.
එයට හේතුව තරමක් පැහැදිලි කරනවා නම්, ලේඛකයින්ගේ වෙනත් පරිසරයක දී ලබන ලද අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ අපට ශ‍්‍රී ලංකාව මූලික කොටගත් සිංහල සාහිත්‍යයේ ඇති තරම් දැකීමට ලැබෙන අතර එවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ඇති විශාල පිරිසක් ද ශ‍්‍රී ලංකාවේ වෙසෙනවා. නමුත් නිසැකවම ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් නිර්මාණ බිහි කළ හැකි පිරිස සිටින්නේ අප අතර පමණයි. ඕස්ට්‍රේලියාවට කෙටිකාලීන සංචාර සඳහා පැමිණි අය යම්යම් නිර්මාණ බිහි කළත්, ඒවායේ අන්තර්ගතය තුළින් සංක‍්‍රමණික අපේ ජීවිත එතරම් හොඳින් නිරූපණය වෙනවා යැයි සිතන්නට බැහැ.
එසේම මේ වන විට සිංහල සාහිත්‍යයේ මධ්‍යස්ථානය වන ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිරව විදෙස් රටවල සිටින සිංහල ලේඛකයින් විසින් කරන සාහිත්‍යමය නිර්මාණ, විගාමික සිංහල සාහිත්‍යය නම්, වෙනම සුවිශේෂී ශානරයක් ලෙස සැලකීමට තරම් දියුණු වී තිබෙනවා. මේ කෘති කියවීමෙන් ලංකාවේ වෙසෙන සිංහල පාඨකයාට ලැබෙන්නේ, අප එදා රුසියානු ඇතුළු වෙනත් විදේශීය රටවල් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කෘති කියවීමෙන් ලැබූ මා ”ආගන්තුක චමත්කාරය” ලෙස හදුන්වන සුවිශේෂී රසාස්වාදයට සමාන රසයක්.
අපේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස මෙම යෝජිත කෘතියේ අඩංගු කිරීම පිණිස අපට කෙටිකතා විසි අටක් ලැබුණා. අපේ නිර්නායකයට අනුකූලව අප එයින් කෙටිකතා විසිතුනක් මේ කෘතිය සඳහා තෝරා ගත්තා.
ඒ ලැබුණු කෙටි කතා සංස්කරණය කර මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අප තෝරා ගත්තේ ඉතාමත් කල් ගතවෙන නමුත් ලේඛක සංසදයේ සාමාජිකයින්ට ප‍්‍රයෝජනවත් වෙතැයි සිතන ක‍්‍රමවේදයක්. එනම්, සංසදයේ සාමාජිකයින් රැස්වී කෙටිකතා එකිනෙක සාමූහිකව කියවා ඒවා පිළිබඳ සාකච්ඡුා කොට ඒත් සංස්කරණය කිරීමේ ක‍්‍රමවේදයයි. අපේ ව්‍යාපෘතියේ මේ අදියර ඇරඹුණේ 2013 සැප්තැම්බර් මාසයේදී යි.
මේ සංස්කරණ ලෙසින් සඳහා මුලදී ලේඛක සංසදයේ සාමාජිකයින් හත් අට දෙනෙකු පමණ සහභාගී වූවා. මගේ මතකයට අනුව අප මූලික සංස්කරණ රැුස්වීම් දොළහක් පමණ පැවැත්වූවා. පාලිත ගනේවත්තගේ නිවසේ රැස්වීම් හතරකුත්, ඊළ`ගට පුෂ්පා සූරියආරච්චිගේ නිවසේ දීත්. මේ කර්තව්‍යය සඳහා අපට වසර එකහමාරක් පමණ කාලයක් ගත වුණා.
මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, ලේඛක සංසදයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම කෘති සඳහා තමන්ගේ කෙටිකතා නිර්මාණ ඒවා තිබුණ නිසා අප සංස්කරණය රැස්වීම්වලදී භාවිතා කළේ රචකයාගේ නම නොමැති පිටපත් බවයි. ලේඛක සංසදය විසින් ගන්නා ලද තීරණයක් අනුව එක් එක් කෙටි කතාවේ රචකයා කවුදැයි දැන සිටියේ මේ ව්‍යාපෘතියේ ආරම්භක සම්බන්ධීකාරක වූ මා පමණයි.
කෙටිකතා සංස්කරණයේ දී අප සැලකිල්ලට ගත්තේ, ”නණලළ” ඇතුළු අක්ෂර වින්‍යාසය, පද බෙදීම, පද යෙදීම සහ කෙටිකතාවේ අන්තර්ගතය පාඨකයින්ට සම්පේ‍්‍රෂණය වීම වැනි කරුණු පමණයි.
මේ ආකාරයෙන් කඩදාසි පිටපත් මත සංස්කරණය කරන ලද කෙටිකතා ඊළ`ගට මෘදු පිටපතට නංවා, ලේඛකයින්ගේ අනුමැතිය පිණිස යැවීම කළ යුතුව තිබුණා. මේ කර්තව්‍යය ආරම්භක සම්බන්ධීකාරක වූ මගේ වගකීමක් වූ නිසා, ඒ සඳහා අවාසනාවන්ත ලෙස ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. කෙතරම් දීර්ඝ කාලයක් ගත වුණේ ද යත්, මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මන් කිරීම සඳහා ඥානතිලක හේවාගමගේ ද සම සම්බන්ධීකාරකයෙකු ලෙස ලේඛක සංසදය විසින් පත්කරනු ලැබුවා.
ඥානතිලක හා මා දින කිහිපයක් ම මුණ ගැසී, වැඩකටයුතු බෙදාගෙන, එක්වත්, වෙන්වෙන්වත් කටයුතු කළා. අවසානයේ, 2017 ජූලි මාසය වනවිට අපට මේ කෘතියේ අත්පිටපත සම්පාදනය කරගත හැකි වුණා.
කෙටිකතා නිර්මාණය කළ ලේඛකයින්ගේ දෙවන වටයේ අදහස් ද අඩංගු කර ගනිමින් නැවතත් අත්පිටපත සංස්කරණය කර සරසවි ප්රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට ලැබුණේ මෙම වසරේ ජූලි මාසයේදී යි.
සිඞ්නි නගරයට මෙම කෘතියේ පිටපත් ගෙන්වාගැනීමට අප කටයුතු කරන අතරේ ශ‍්‍රී ලංකාවේදී ඔසී රටේ අපේ කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්වුණු බව ඔබ සමහර දෙනා දන්නවා. ඒ කටයුතු සංවිධානය කළේ නිහාල් රූපසිංහ සහ කලක් අප අතර සිට දැන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන ප‍්‍රියන්ත ෆොන්සේකා විසිනුයි.
ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආරියපාල ශ‍්‍රවණාගාරයේ දී යි. එහිදී වියත් පිරිසක් විසින් විගාමික සාහිත්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථයෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳ කරුණු දක්වන්නට යෙදුණා. අපේ කෘතියේ වැදගත්කම පිළිබඳව ධනාත්මක විචාර කිහිපයක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ ලේඛිකාවක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සංජීවනී රූපසිංහ සහ සම්මානලාභී කෙටිකතාකරු කමල් පෙරේරා විසිනුයි.
මා කලින් සඳහන් කළ විගාමික සිංහල සාහිත්‍ය ශානරයට ඔසී රටේ අපේ කතා කෘතිය තුළින් යම්කිසි ප‍්‍රමාණවත් සම්මාදමක් කිරීමට අපට හැකි වූවා තියා මට සිතෙනවා. ආරම්භයේ සිටම මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවලට සහ සංස්කරණයට සහභාගි වූ සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ සාමාජිකයෙකු ලෙස මට ඒ කාරණය පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්.
දැන් මා කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන දෙවැනි කාරණය දෙස යොමු වෙන්නම්.
අද මෙහි දී එළිදක්වෙන ”ඔසී රටේ අපේ කතා” කෘතිය සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් ප‍්‍රකාශිත මුල්ම කෘතියයි. නමුත් අද මේ සිටින බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙය සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කරන්නට යෙදුණු තුන්වැනි කෘතිය වෙනවා.
සංස්කෘතික හමුව වශයෙන් අප විසින් ප‍්‍රකාශයට පත් කළ මුල් කෘතිය වූයේ ”තිරස තරණ” නම් කෙටිකතා එකතුවයි. ”ඔසී රටේ අපේ කතා” කෘතිය ආකාරයෙන්ම සංක‍්‍රමණික සිංහල ලේඛකයින් විසින් තමන්ගේ ඕස්ට්‍්‍රලියානු අත්දැකීම් අළලා ලියැවුණු කෙටි කතා පහළොවකින් යුතු ”තිරස තරණ” කෘතිය එළිදැක්වුණේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී යි. සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරක ලෙස තිරස තරණ කෘතිය සම්පාදනය කිරීමට මට අවස්ථාව ලැබුණා.
ඊළ`ගට සිංහල සංස්කෘතික හමුව මගින් සම්පාදනය කෙරුණේ ඕස්ට්‍්‍රලියාව පිළිබඳව සම්මත ආකෘතියෙන් ලියැවුණු සඳැස් කවි සහිත ග‍්‍රන්ථයක්. සර්ග අටකින් ද, සිව් පදයෙන් යුතු සඳසෙන් බැඳුණු කවි හාරසිය අනූ පහකින් ද, යුක්ත වූ දකුණු කුරු දිව් කව් නම් මෙම කෘතිය දොරට වැඩියේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.
ඒ මහා කාව්‍යය සඳහා කවියන් තිස්තුන් දෙනෙකු ගේ සම්මාදම ලබා ගන්නට අපට හැකි වුණා. ”දකුණු කුරු දිව්” කව් ග‍්‍රන්ථය සංස්කරණය කළේ හෙන්රි කුමාරප්පෙරුම සහ මා විසිනුයි.
ඕස්ට්‍රේලියාව පිළිබද තත්කාලීන සහ ඓතිහාසික තොරතුරු අඩංගු ගද්‍ය කෘතියක් ද සිංහලෙන් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡුාවක් ඇති වුණ ද එය ක‍්‍රියාත්මක වුණේ නැහැ.
කෙසේ නමුත් ඉදිරි කාලයේ දී සංස්කෘතික හමුවේ ලේඛක සංසදයට තවත් විවිධාකාරයේ ග‍්‍රන්ථ සම්පාදනය කිරීමට ලැබේය කියා මා විශ්වාස කරනවා. ඒ සඳහා මා දැනට දෙවරක් ම, යෝජනා කර තිබෙන්නේ අපේ ලේඛකයින් විසින් රචනා කරන ලද ප‍්‍රශස්ත සිංහල කෙටිකතා ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් සහ මූලිකව ම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවෙන ලාංකික සංක‍්‍රමණිකයින්ගේ නිර්මාණයක එතුවක් බිහි කිරීමේ ව්‍යාපෘතියකුයි. මේ යෝජනා සඳහා තවමත් ලේඛක සංසදයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවත්, තව වසරකින් හෝ දෙකකින් පමණ ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යැයි මා සිතනවා.
අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද මේ පැවැත්වෙන උත්සවය වැනි පොත් දොරට වැඞීමේ උත්සව පිළිබඳවයි.
පොතක් ප‍්‍රකාශයට පත් වුණු පසු, එම කෘතිය ජනගතකිරීම, දොරට වැඞීම, එළිදැක්වීම, යනාදී විවිධාකාරයෙන් හැඳින්වෙන මේ ආකාරයේ උත්සවයක් හරහා, පාඨකයින් වෙත ප‍්‍රදානය කිරීම ලොව දසතම සිදුවෙන කාර්යයක්.
සිංහලෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් මුලින්ම සිඞ්නි නගරයේ දී ඒ ආකාරයට දොරට වැඞීමක් සිදු වුණේ කවදාදැයි මා නිශ්චිතවම දන්නේ නැහැ. මා අනුමාන කරන විදිහට, අප අතර සිටින ලේඛකයෙකුගේ කෘතියක් ඒ ආකාරට සිඞ්නි නගරයේ දී මුලින් ම එළිදක්වනු ලැබුවේ 2004 වර්ෂයේ දී විය යුතුයි. නමුත් ඒ සඳහා සිංහල සංස්කෘතික හමුවේ සම්මාදමක් තිබුණා යයි මා සිතන්නේ නැහැ.
අප අතර වෙසෙන ලේඛකයින් විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන ග‍්‍රන්ථ මෙන්ම අනෙකුත් කලාකරුවන් විසින් නිර්මාණය කරන සංයුක්ත තැටි වැනි කලා කෘති දොරට වැඞීම සඳහා සංස්කෘතික හමුව විසින් සෘජුවම මැදිහත් වී සහයෝගය දිය යුතු යැයි 2006 වසරේ අගෝස්තු මස පැවති සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි ගමන පිළිබඳ වූ වැඩමුළුවක දී මා යෝජනා කළා. ඉන්පසු සංස්කෘතික හමුවේ කමිටු සභා රැස්වීමකට ඉදිරිපත් වුණු ලිඛිත යෝජනාවක් සාකච්ඡුාවේ සභා සම්මත වීමෙන් පසුව මුල්වරට මෙවැනි පොත් එළිදැක්වීමක් සංවිධානය කෙරුණේ 2006 වසරේ දෙසැම්බර් මස පැවති සංස්කෘතික හමුවේ වාර්ෂික සාමාජික සාදය සහ නත්තල් උත්සවය අතරතුරයි. එහිදී දොරට වැඩියේ පාලිත ගනේවත්ත විසින් රචනා කරන ලද ”ඇවිත් නොරටක” නම් නවකතාවයි.
පසුව, 2009 වසරේ නොවැම්බරයේ දී සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ව ලේඛක සංසදය ආරම්භ කළ පසු මේ ආකාරයේ ග‍්‍රන්ථ එළිදැක්වීම් වලට සහයෝගය දී සංවිධානය කිරීම ලේඛක සංසදය විසින් ඇරඹුවා. පසුගිය වසර හත අටක කාලය තුළ එවැනි උත්සව විශාල සංඛ්‍යාවකට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණා.
අද මෙම පැවැත්වෙන උත්සවයේ සුවිශේෂිත්වය වන්නේ මෙය පෙර අප සංවිධානය කළ ආකාරයේ අපේ එක් සාමාජිකයෙකුගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයක් නොව, අපේ සාමාජිකයින් විශාල පිරිසකගේ සම්මාදමෙන් යුතු ග‍්‍රන්ථයක දොරට වැඞීමේ උත්සවයක් වීමයි.
ඔසී රටේ අපේ කතා ග‍්‍රන්ථය පිළිබඳව කිවයුතු තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙහි එන කෙටිකතා අතරින් කිහිපයක් ම, ඒ ඒ රචකයින් ගේ ග‍්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන මුල්ම කෙටිකතා නිර්මාණ වීමයි. එය ලේඛක සංසදයේ පිහිටුවීමේ අපේ මුඛ්‍ය අරමුණක් සාක්ෂාත් කරගැනීමක් ද වෙනවා.
ඔබ සැමට ස්තුතියි.
-රසික සූරියආරච්චි
ප/ලි:
සරසවි ප්රකාශනයක් ලෙස 2018 වසරේ ජූලි මාසයේ දී වෙළඳපොළට නිකුත්වුණු ඔසී රටේ අපේ කතා කෘතියේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. වට්ටම් සහිතව සරසවි පොත්හල ශාඛාවකින් රුපියක් 390 කට පමණ මිලට ගත හැක.
ප/ප/ලි
මෙන්න වීඩියෝව. පිටපතට වඩා එහෙන් මෙහෙන් වෙනස්.
(image: By Pushpa Suriyaarachchi)
Subscribe to:
Post Comments (Atom)
රසික සූරියආරච්චි, අජිත් පැරකුම් එක්ක ගුවන් විදුලි සංස්ථාවේ සාකච්චාවට ගිහිං සති දෙකක් ගියේ නෑ පැරාගේ රස්සාව නැති උනා එකේ.
ReplyDeleteමේ රසික කියන මිනිහා හෙන මුසල ඩයල් එකක්නි බලං ගියාම.
පැරා කළ වැඩසටහන ස්වේඡ්චා සේවයක් මිස රැකියාවක් නොවෙන බවයි මා හිතන්නේ. එහි අවසාන වැඩසටහන තියෙන්න ඇත්තේ ඔක්තෝබර් 26 වෙනිදා විය යුතුයි නේද?
Deleteමා එහි ගියේ සැප්තැම්බර් 29 වෙනිදායි. එහි ටැබ් එකකින් කළ පටිගත කිරීමක් මා සතුව ඇත. පසුව පළ කරමි!
ප/ලි:
Deleteරේඩියෝවලට යන්නේ කෙහොමටත් රේඩියෝ මූණූ ඇති අයයි. හොඳ මූණූ ඇති අය යන්නේ ටීවී චැනල්වලටයි!
නණලළ බේද, පද බෙදීම් හදාගන්න පුලුවන් වැරදි. ඒ කියන්නේ වෙන කෙනෙකුට උනත් සෝදු පත් බලන්න පුලුවන්. නමුත් කතාවක අදහසයි හැමෝටම හදන්න බැරි. මාත් හෙන අමාරුවෙක් කතාව ඇහුවේ. මොන පහසුවක්ද? හැක්
ReplyDeleteසංසදයට ජය වේවා
Melbourne walata kohomada genna ganne?
ReplyDeleteඔසී රටේ අපේ කතා දොරට වඩිනවා
ReplyDeleteඒ ගැන සතුටක් හදතුල පිබිදෙනවා
අපේ රටේ අපේ කතා ලොව කලඹනවා
රට ගැන සිහිවී කඳුලක් නෙතට උනනවා