රහසක් නොවූ රහස් ඡන්දයකින් පත්වුණු පන්ති නායකයෙකු ගැන සටහනක් මං ලියා පළ කළේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උං එකතුවෙලා පැනලා ගිය එකා වෙනුවට අලුත් ජනාධිපතියෙකු පත් කරගන්න රහස් ඡන්දයක් පවත්වපු වෙලාවෙයි.
අපි හුඟ දෙනෙකු හිතුවට වඩා ඒ ඡන්දේ රහස් ඡන්දයක් වුණා. අනුර දිසානායකට ඡන්දේ දුන්නු අය කවුද කියන එක විතරයි රහසක් නොවුනේ. නමුත් පස්සේ අර හදිසි නීතිය ගැන විවෘත ඡන්දයක් තිබුණු වෙලේ නම් සමහර රහස් එළි වුණා මගෙ හිතේ.
ඒ කෙසේ වෙතත්, මේ සටහන ලියන්න පටන් ගත්තේ එදා කියපු පකිස්ථානු-පිලිපීන රහස් ඡන්දයට වඩා රහසිගත් වූ ඡන්දයක් ගැන ලියන්නයි. නමුත් ඒක පසුවට කල් දාලා මේ ලියවෙන්නේ ඒ කතාවට පසුබිම සපයන වෙනත් කතාවක්.
ලංකාවේ ඉන්නේ ලොක්කන් මිස නායකයින් නොවේ ය කියා දිගු කාලෙකට ඉස්සර හාමුදුරුකෙනෙකු කියා තිබුණා. ඒක නිවැරදියි. නමුත් එයට ලොකුම හේතුව තමයි මහජනයා වෙන අපි ඡන්දය හෙවත් අපේ කැමැත්ත ලබා දෙන්නේ ලොකුකම අනුව වීමයි. එහෙම නැතුව නායකත්ව ගුණ හෝ සුදුසුකම් සලකා නොවීමයි. එච්චර දැනුමක් අපට නෑ. තිබුණා නම් ඉතිං මේ වගේ කෙලවෙන්නේ නෑනේ!
නායකයින් කියා අපි මුලින් ම දැන ගන්නේ පන්ති නායකයින් ගැනයි. ඊළඟට ශිෂ්‍ය නායකයින් ගැන. හැබැයි, ඒ බෝහෝ දෙනෙකුත් ටීචර්ලා විසින් තමන්ගේ කැමැත්ත අනුව පත් කරන අය මිස ශිෂ්‍යයින්ගේ සැබෑ නායකයින් නොවෙයි. ඔවුන්ගේ රාජකාරි වෙන්නේ, හුනුකුරු සම්පත් කළමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම වගේ නායකයන්ගේ වැඩ නෙමේ.
මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි.
මේ දවස්වල මං ගියේ ගමේ තිබුණු කණිෂ්ඨ විදුහලටයි. ගමේ කිව්වට ඇත්තටම ඒක අපේ අල්ලපු ගම. අපේ තාත්තාගේ මහගෙදර තිබුණේ අපේ ගමේ පරිධියේ. අල්ලපු වැට, අල්ලපු ගම.
මේ කණිෂ්ඨ විදුහලේ හිටියේ ප්‍රින්සිපල් හෙවත් විදුහල්පති කෙනෙක් නොවේ, ඒ දවස්වල හැටියට හෙඩ්-මාස්ටර් හෙවත් ලොකු මහත්තයෙක්. පස්සේ මං දැන ගත්තු විදියට මිනිහා වාමාංශික දේශපාලනයේ යෙදුණු කෙනෙක්.
ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් මේ කියන ලොකු මහත්තයා පන්තියට කඩාගෙන වැදුණා. මේ වෙන කොට අපි හොඳට දන්නවා මෑන් යන යන තැන තමන්ගේ ජාතික ඇදුමේ දකුණු අත අස්සෙ දිග වේවැලක් හංගාගෙන යන බව. තත්පරයක් ඇතුළත ඒ වේවැල එළියට අරගෙන ළමුන්ට පහර දීමේ සමසමාජ ක්‍රමයක් මිනිහා ප්‍රගුණ කරලා තිබුණා.
ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස් වුණා, මීයො වගේ.
මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.
ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර රූපසිංහ ටීචරුත් ආව පන්තියට.
"මං බලාගෙන හිටියේ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුවා.
"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව.
කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට ඒ මොහොතේ නාලන්දව පන්ති නායක කමට පත්කළා!
"කෝ කවුද ඒ?"
නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!
අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!
"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙළකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එළියට ආවෙ නෑ, ඇති යංතං!
නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ? අලව් යකා සිල්ගත්තා වගේ ය කියමු.
ඒ අද්භූත ආකාරයටයි නාලන්ද පියතිලක අපේ හතරේ පන්තියේ අද්භූත පන්ති නායකයා වුණේ.
ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
- පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
- ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්. කොටින්ම එදා උදේ වෙනකල්, පන්තියේ සිසුන් වුණු අපි තියා, නාලන්ද පියතිලකවත් දැනගෙන හිටියේ නෑ තමන් පන්තියේ නායකයා ය කියලා.
- පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ උදෑසන් රැස්වීමට යන එක සහ රැස්වීම ඉවර වෙලා ආපහු එන එක බලාගන්න එක යි.
-රසික සූරියආරච්චි
(image: https://twitter.com/paperboatdrinks/status/795469066198609920)
හේ හේ , මම පහේ පන්තියේ විතරක් නෙමේ මුළු ඉස්කෝලෙම නායකයා වුනා (ඒ ඉස්කෝලේ පහේ පන්තිය වෙනකන් විතරයි. පොඩි ඉස්කෝලයක් ) ගණන් ප්‍රශ්න කොපි කරගන්න දීල. පහේ පන්තියේදී කියල බ්ලොග් ලිපියක් ලීවා ඒ ගැන. ඊට කලින් ගිය ලුනුගල ඉස්කෝලේ ටීචර් නැවතිලා හිටිය ගෙදර ළමය තමා පන්ති නායකයා.
ReplyDeleteලංකාවේ නායකයො ඉන්නවා, උප්පත්තියෙන්ම එහෙම වෙන
ReplyDeleteමාත් එහෙම එකෙකිය කියලා දැන් කියන්න වෙනවා පෙරට පැන
ඒත් අනේ රටකට වින කටිනා නායකයන් ගැන බලනු මැන
උන් වැඩි හරියක් ඒකනායකල - පිළිල වගේමයි කරන වින
හයේ හිටියට පස්සෙ මම උසස් පෙළ අවුරුදු දෙකේදිම පංති නායකය වෙලා තිබ්බ. මටනං තිබුනෙ උදේට නාමලේඛනේ ඔෆිස් එකෙන් අරං එන එක විතරයි. (අපේ උං කොහොමත් උදේ රැස්වීමට යන්නෑ) හොඳම වැඩේ කියන්නෙ ඒක ආපහු ඔෆිස් එකෙන් ගිහින් තියල තියෙන්නෙ ගෙනාපු වාර ගානට වඩා සෑහෙන අඩු වාර ගානක්.
ReplyDelete