
අද අවසන් ගමන් ගිය මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව සේවාර්ජිත මහාචාර්ය පී ඒ ද සිල්වා හෙවත් පෑඩ් සිල්වා පිළිබඳව මා ලියූ පෙර ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වන අයකු පෑඩ් මිය ගිය නිසා ඔහුට පෑඩ් යයි කීම අපහාසයක් බවට අප්‍රභංශ කතාවක් ලියා ඇත. මා ඔහුට ප්‍රතිචාර ලෙස කීවේ පෑඩ් යනු මියගිය මහාචාර්යවරයාගේ මුලකුරු බවත්, ඔහු එනමින් හැඳින්වීම සමානවන්නේ ජේ ආර් වැනි ඇමතීමකට හෙයින් එයින් කිසිදු අපහාසයක් සිදු නොවන බවයි.
මේ ආකාරයට මුලකුරු වලින් හැඳින්වෙන තවත් බොහෝ දෙනකු ලංකාවේ විසූහ සහ වසති.
එනිසාම, පෑඩ් පිළිබඳව මා ලියන්නට සිටි කතා හතරෙන් දෙවැන්නේ මාතෘකාව ලෙස පෑඩ් සහ ජේ ආර් යන්න යොදා ගනිමි.
මේ පෑඩ් අප සමග කියූ කතාවකි.
මා මුල් සටහනේ ද කියූ පරිදි පෑඩ් යනු හොඳ යූඇම්පීකාරයෙකි. ජේආර් ගේ ආණ්ඩුව බලයට පැමිණි විගස ඔහුට ලංකා වානේ සංස්ථාවේ සභාපතිකම ලැබුණේත්, ඉන් ඉවත්වන්නට සිදු වූ පසු ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවේ සභාපතිකම ලැබුණේත් එනිසා ය.
එනිසා, ඔහු වැනි ලොක්කෙකු ජේ.ආර්. හමු වී සාකච්ඡා කිරීමේ පුදුමයක් නැත.
පෑඩ් අප සමග පැවසූ පරිදි, ජනාධිපති ජේ.ආර් සමග ඔහු සාකච්ඡාවකට සහභාගී වූ එක් දිනයක එවකට ආණ්ඩුව විසින් ආනයන නීති ලිහිල් කර ප්‍රවර්ධනය කරමින් සිටි මෝටර් සයිකල් ආනයනය කිරීම පිළිබඳව අදහස් දක්වමින්, එය රටට අවාසිදායක බවත්, කළ යුත්තේ එක් අයකු (හෝ දෙදෙනෙකු) පමණක් ගමන් කරන මෝටර් සයිකල් ගෙන්වීම නොව මගීන් රාශියකට ගමන් කර හැකි විශාල බස් ගෙන්වීම බව පවසා ඇත.
ජේ ආර්ට තම අදහස තවදුරටත් පැහැදිලි කිරීමට පෑඩ් ගණිතමය උදාහරණයක් ගෙන ඇත.
"මිලි ලීටර් 125 ඇන්ජිමක් තියෙන මෝටර් සයිකලයකින් යන්න පුළුවන් පෙට්‍රල් ලීටරයකට මිනිස් සැතැප්ම 40 ක් පමණයි. නමුත්, මිනිසුන් හතළිස් දෙනකුට ගමන් කරන්න පුළුවන් ලීටර් හයේ ඇන්ජිමක් තියෙන බස් එකකට ඩීසල් ලීටරයකින් මිනිස් කිලෝ මීටර් එකසිය පනහක් විතර යන්න පුළුවන්" යැයි ඔහු පවසා ඇත.
ලීටරයකට මිනිස් කිලෝමීටර් යන සංකල්පය පිළිබඳව මෙලෝ හසරක අවබෝධයක් නැති ජේ.ආර්. එවිට "ඔහේ ඉංජිනේරුවකු නේද? කොයි ලෝකෙද මනුස්සයෝ බස් එකකට ලීටරයකින් කිලෝමීටර් 150 ක් යන්න පුළුවන්?" යයි සමච්චලයට අසා තමන්ගේ ඉල්ලීම කුණු ගොඩට දැමූ බව මහා හඬින් සිනාසෙමින් පෑඩ් අප සමග පැවසීය.
පෑඩ් ගැන කීමට කතා තවත් දෙකක් ඇත. ඒවා එතරම් වැදගත් නොවන නිසා ඒ දෙකම එක සටහනක ලියා ඊළඟට පළ කරමි.
රසික සූරියආරච්චි
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.