
තානාපති යනු එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක දී නියෝජනය කරන්නා ය. බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද තානාපති සේවයක් පවතී. මෙය වෛද්‍ය සේවය, පරිපාලන සේවය වැනි වෘත්තීමය රාජ්‍ය සේවයකි. ඒ සේවාවලට මෙන්ම පරිපාලන සේවාවට බඳවා ගන්නේද, විශ්ව විද්‍යාල උපාධීධාරීන්ය. ඒ තරග විභාග සහ සම්මුඛ පරීක්‍ෂණ වැනි කඩඉම් රාශියකින් පසුවය.
ශ්‍රී ලංකා තානපති සේවයේ නියුතු මා දන්නා එක් අයෙක් සේවයට බැඳී වසර කිහිපයක් පුහුණුවකින් පසුව යම් නිලධාරී තනතුරකට මාලදිවයිනට පත්වීම් ලද්දේය. තවත් වසර ගණනාවක් එහි ද, ලංකාවේ ද ගත කිරීමෙන් අනතුරුව ඔහු මදුරාසියේ කොන්සල්වරයා ලෙස පත්විය. ඊටත් වසර ගණනාවකට පසු ඔහු ලන්ඩන් නගරයේ ලේකම්වරයෙකු විය. අවසාන යේ ඔහු තානාපතිවරයෙකු වූයේ තම සේවා කාලය වසර විසි පහක් පමණ ගත කළ පසුය. එය ද, යුධ කලාපයක පිහිටි රටක මිස කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටක නොවේ!
ඒ, කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටවල්වල තානාපති තනතුරුවලට සාමාන්‍යයෙන් පත් කෙරෙන්නේ එක්කෝ පවතින රජයට අනුබද්ධ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණවලට තරග කොට පැරදුණු අයවලුන්ය. නැතිනම් දේශපාලනයෙන් හෝ විවිධ රාජ්‍ය සේවාලින් පැන්ෂන් ගත් අයය. එසේත් නැතිනම්, මේ මෑත කාලයේ ඔඩු දිවූ පරණ තුවාලයකට අනුව, මා ඊයේ ලිපියේ ද සඳහන් කළ පරිදි, දේශපාලඥයින් ගේ ඥාතී හිතවතුන්වය.
මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පසුගිය කාලය තුල පත්වී ආ අය ගැන සඳහන් කරනවා නම් මගේ මතකයට මුලින්ම එන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන බාලපටබැඳිය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.
ඔහුට පෙර එම තතතුර දැරුවේ, හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජානක පෙරේරා ය. ඔහු ගේ දේශපාලන සබඳතාවය හෙලි වුනේ, ආණ්ඩු පෙරලියෙන් පසු ආපසු ලංකාවට කැඳවනු ලැබූවායින් පසු, උතුරු මැද පලාතේ යුඇම්පී සංවිධායකයෙක් බවට පත් වූ විටයි.
ඊට පසු එම තනතුර දෑරුවේ වල්ගම්පිට වැනි නමක් ඇති අයෙකු බව සිහියට එයි. ඒ දිනවල සමරු කලාප යනාදියේ පළවූ ඔහු ගේ ඡායාරූපයේ තුවායක් වැනි යමක් හිසේ දමාගෙන සිටි බවට මතකයක් ඇති නිසා ඔහු නීති අංශයේ අයෙකු වෙන්නට ඇතැයි සිතමි.
දැනට වසර හතරක සිට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර දරන්නේ තිසර සමරසිංහ නම් හිටපු නාවික හමුදා ප්‍රධානියාය.
මුහුණ පුරා විහිදුණු දර්ශීය නාවික රැවුල නිසා ප්‍රතාපවත් පෙනුමක් දරන තිසර සමරසිංහ විටින් විට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවලදී බොහෝ විට "යන්නේ කොහෙද? මල්ලේ පොල්!" වැනි පිළිතුරු ඔහු දෙනු මා දැක තිබුණද, ඒ ශ්‍රී ලංකා රජය නියෝජනය කිරීම නම් ඔහුගේ රාජකාරිය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමක් පමණක් යැයි මම සිතුවෙමි.
නමුත්, ශ්‍රී ලාංකික සරණාගතයින් රුගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ අවස්ථාවකදී මෙන්ම කුමාර් ගුනරත්නම් පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවේ දී ද, තිසර සමරසිංහ කළ ප්‍රකාශවලින් ඔහු ගේ පුකතක්වය ද යම් තරමට හෙළි දරව් වුයේ යැයි මට සිතුණි.
ඒ කෙසේ වෙතත් තිසර සමරසිංහ ගේ නිරුවත හෙලිවූයේ මා ඊයේ පළ කළ තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් නමැති ලිපියේ සඳහන් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොන්සල් කාර්යාලයක් පිහිටවූ දිනවල සිදුවීමකිනි.
ඒ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණි එවකට විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන දෙදෙනා, අර දඹුළු ගිය අය තලගොයිත් මරනවා සේ, මෙල්බර්න් හි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියේ රැස්වීමකටද සහභාගී වූහ.
ඒ රුස්වීමේ ඡායාරූප සන්නස පුවත් පතේ පල වූ විට මා දුටවේ, ඒ දේශපාලන පක්‍ෂ රැස්වීමේ ඉදිරිපස අසුනක සිටින්නේ මහ කොමසාරිස් තිසර සමරසිංහ බවයි.

එය සැබෑ නිරුවත හෙලිවීමක් වෙන්නේ, අප දන්නා පරිදි රාජ්‍ය තනතුරු දරන්නන්ට පක්‍ෂ දේශපාලන කටයුතුවලට සහභාගී විමට නොහැකි නිසාය.
රාජ්‍ය නියෝජිතයෙකු එසේ දේශපාලන පක්‍ෂ රැස්වීමකට ප්‍රසිද්ධියේ සහභාගී වී සිටින විට, ඔහු හෝ ඇය, අන් අවස්ථාවල කරන ප්‍රකාශ සහ ක්‍රියා, රජය නියෝජනය කරමින් කරන ඒවාද, නැතිනම් දේශපාලන පක්‍ෂය නියෝජනය කරමින් කරන ඒවාද යන පැණය නිසඟයෙන් මතුවේ!
ඒ සමගම, තිසර සමරසිංහ පක්‍ෂ දේශපාලනය කරන තානාපති නිලධාරියෙක් මෙන්ම තගෙක් ද බව ඊයේ පල වූ පුවතකින් කියවිණි.
සන්නස ඩොට් නෙට් වෙබ් අඩවියේ පළ වී තිබූ ඒ පුවතින් කියවුනේ, සන්නස පුවත් පතේ පළවූ මා පෙර සඳහන් කළ ඩී.බී කුරුප්පු ලියූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියෙන් ලංකාවේ රජයට අපහාසයක් වුනේ යැයි ද, එවැනි ලිපි මින් පසු පළ නොකල යුතු යැයි ද මහ කොමසාරිස් තිසර සමරසිංහ විසින් සන්නස උපදේශක කතෘ ජගත් ජේ එදිරිසිංහට තර්ජනය කර ඇති බවයි.
තිසර සමරසිංහ මේ තර්ජනය කර ඇත්තේ පසුගිය වසරේ ඔහු මෙල්බර්න් නුවරට පැමිණි දිනක, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට යැයි පණිවිඩයක් යවා ජගත් ජේ එදිරිසිංහව කොන්සල් කාර්යාලයට ගෙන්වා ගෙන, ඉන්පසු එහි කාමරයක තනිකර ගෙනයි.
ලංකාවේ තම හාම්පුතා ඇතුළු නඩය විසින් එහි මාධ්‍යවේදීන්ට කළ තර්ජන, ගර්ජන, බිය වැද්දීම් ඕස්ට්‍රේලියාවේදීත් කළ හැකි යැයි තිසර සමරසිංහ සිතා ඇති බවක් පෙනේ. ඊ ළඟට කරන්නට ඉඩ තිබුණේ ලංකාවේ පසුගිය දශක කිහිපයක් තිස්සේම කෙරුණු මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, පහරදීම්, අඩන්තේට්ටන් කිරීම්, අතුරුදහන් කිරීම් සහ මරා දැමීම් ද?
ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.
ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.
"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."
-රසිකොලොජිස්ට්
ප/ලි:
මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
එකල පැවති සන්නස වෙබ් අඩවිය (sannasa.net) දැන් නොමැති නිසා ඒ පුවත පළවුණු වෙනත් තැනක ලිපිනය දක්වමි.
http://www.lankaenews.com/news/1241/si
(image: http://srilanka-almanac.com/sri_lanka_almanac_navy_commanders_portal/sri_lankan_navy_commanders/sri_lanka_almanac_thisara_samarasinghe_portal/photo_album.html)