Showing posts with label මරණය. Show all posts
Showing posts with label මරණය. Show all posts

Thursday, 8 December 2022

අනිච්චාවත සංඛාරා හෙවත් සුදු සාරියේ ශෝකය - Living according to social norms


ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීයලා ආච්චිලා මැරුණා. ඊ ළඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ.

කොච්චර දුක වුණත්, දවසක අපේ දෙමව්පියන්ට විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.

ඉස්සර මං කල් මරපු වැඩපොළේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් හරි සුදුපාට ස්කර්ට්-බ්ලවුස් සෙට එකක් හරි ඇඳගෙන.

එදා ඉඳං සතියක් දෙකක් විතර ඔන්න සුදු සාරි අඳිනවා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා. එහෙම නැතිනම්, පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සුදුපාට ස්කර්ට්-බ්ලවුස්.

තවත් සතියක් දෙකක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට එහෙම නැතිනම් සුදුපාට ස්කර්ට්-බ්ලවුස්වලට බහිනවා.

තවත් සතියක් දෙකක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට ඇඳුම්වලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි, බ්ලවුස්, ස්කර්ට්" අඳින්න පටන් ගන්නවා.

අන්න එතකොට එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.

ඔන්න අපේ වැඩපොළේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ළඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.

ඉතිං පොරගේ අම්මා මිය ගියා. ගම දුර පළාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.

සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොළේ ගේට්ටුව ළඟදී.

අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් බ්‍රෑන්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.

ඒකටත් එක්ක වයිෆරේ.

සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියේ.

අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති දෙක තුනක් විතර සුදු සාරි ඇන්දා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.

මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුණේ තුන් මාසේ දානෙන් පස්සෙයි.

අන්න නැන්දම්මලාට, ලේලිලා ගේ ආදරේ.

ඒකටත් එක්ක පුතාලා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කතාව ලියා පළ වෙනත් තැනක කළේ මීට අවුරුදු දොළහකට කලින්. අද උදේ ආපහු මතක් වුණා.

Monday, 1 May 2017

විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup


"අසමි, දකිමි, සොයමි" බ්ලොගය පවත්වා ගෙන ගිය විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය පිළිබඳ ආරංචිය මට දන්වමින් සහෘද බ්ලොග්කරුවෙකු එවූ පණිවිඩයක, විචාරක සහ මා අතර කලකට ඉහත දී ඇති වුණු මත ගැටුමක් පිළිබඳව සඳහන් කර තිබුණි.

ඒ බොහෝ මූලික තොරතුරු තවමත් සිංහල බ්ලොග් අවකාශයේ තිබුණ ද, ඇතැම් දේ පුද්ගලික පණිවිඩවල පමණක් සඳහන්ව ඇති නිසා, ඒ සියලු කරුණු එක් කර හැකි තරම් කෙටියෙන් සමාලෝචනයක් ලිවීමට සිත්විය.

මුලින් ජවිපෙ ක්‍රියාකාරිකයෙකු (1971) ලෙස ද, පසුව ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබුණ ද, විචාරක බ්ලොග්කරුවා දිගු කලක් සේවය කර ඇත්තේ ලංකාවේ යුද හමුදාවේ බව අප සැම දන්නා කරුණකි. ඒ නිසා හෝ වෙනත් කරුණක් නිසා, ඔහු සම්බන්ධයෙන් මා නිරීක්‍ෂණය කළ එක් සෘණාත්මක චර්යාවක් වූයේ, නිකරුණේ කලබල වී, කිසියම් වරදක් කළ අයට මෙන් ම, නොකළ අයට ද, එක එල්ලේ බැණ වැදීමයි.

විවිධ විෂයයන් සම්බන්ධයෙන් කරුණු එක් රැස් කර, තමන් පුද්ගලිකව දන්නා කරුණු ද එකතු කර, ඔහු සිංහලෙන් රචනා කළ ඇතැම් ලිපි වෙනත් වෙබ් අඩවිවල අනවසරයෙන් සහ අසමි, දකිමි, සොයමි බ්ලොගය පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිව පළ කළ විට, ඔහු ඒ අඩවිවලට බැණ වැදුණු ආකාරය ඉතා නිර්මාණාත්මක විය. ඒ බැණ වැදුම් ඉතා හාස්‍යජනක වූවා පමණක් නොව ඒවා කියවා අපට අලුතෙන් සිංහල වචන පවා ඉගෙන ගන්නට ලැබුණි.

තවත් එක් හාස්‍යජනක කරුණක් වූයේ බුද්ධි අංශ නිවසට එවනවා යැයි කියමින් ඔහු කළ ප්‍රකාශයි. ඒවා සත්‍ය ලෙස කළ තර්ජන නොව කුඩා දරුවන්ට බිල්ලන් එනවායැයි කීම වැනි දේ ලෙස මම සැලකුවෙමි.

ඒ වරදකරුවන්ට ඔහු කළ, අපට හේතු වටහා ගත හැකි, බැණ වැදීම් ය.

අවාසනාව වූයේ, කිසි වරදක් නොකළ අයට පවා ඔහු ඇතැම් විට වරද පටවමින් බැණ වැදීමයි.

මගේ මතකයට එන එවැනි එක් උදාහරණයක් නම්, කිසියම් තැපැල් කාර්යාලයක දී ඔහුට හමු වූ ළමුන් පිරිසක් (මුදල් ඇණවුමක්, විදුලි පුවතක් හෝ ඒ ආකාරයේ) යම් කිසි කාරණයක් නොදැන සිටි නිසා, ඔහු ඒ අදාළ වයස් කාණ්ඩයේ සමස්ත පරම්පරාවට ම කළ බැණ වැදීමයි.

මට එවැනි දේ පෙනුණේ වැඩිහිටියන් ලෙස අප නොකළ යුතු දේ කියා ය.

විචාරක සහ මා අතර ගැටුම ඇති වුණේ ඔහු විසින් වෙනත් බ්ලොග් අඩවියක දී, පාසලේ දී සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් කළ සඳහනකි. ඔහු පළ කළ ඒ අදහසට අනුව, සාහිත්‍යය විෂයයක් ලෙස ඉගෙන ගෙන නැති අයට (රසිකයින් ලෙස හෝ) ගීතයක් වැනි කලා කෘතියක් පිළිබඳ අදහස් දැක්වීමට අයිතියක් නැත.

මා මීට පෙර ලිපි දෙක තුනක ම සඳහන් කර ඇති පරිදි, පාසල් අධ්‍යාපනය තුළ, සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස ඉගැන්වුවේ 1975 දක්වා පමණි. එය ද, අටේ පන්තියේ පැවති විභාගයෙන් (විද්‍යා හෝ වාණිජ හෝ නොව) කලා විෂයය ධාරාව තෝරා ගත් අය සඳහා පමණක් මිස සමස්ත සිංහල ශිෂ්‍ය ප්‍රජාව සඳහා නොවුණි.

පාසල් අධ්‍යාපනයෙන් පසු 1971 දී ජේවීපි කැරැල්ලට යන්තමින් හෝ සම්බන්ධ වෙන කාලය වන විට විචාරක බ්ලොග්කරුවා පාසලේ දී කලා ධාරාවේ විෂයයක් ලෙස සිංහල සාහිත්‍යය හදාරා සාමාන්‍ය පෙළ විභාගය සමත් වී සිටින්නට ඇතැයි සිතමි. ඔහු තමන් ලද ඒ ඉගෙනීම වැදගත් කොට සැලකුවේ ය. එහි ඇති වරදක් නැත.

වසර 1972 දී, එවකට පැවති රජය විසින් ක්‍රියාත්මක කරණ ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා, හයේ පන්තියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ම (නමය, දහය වසර ද්වය සඳහා විද්‍යා, වාණිජ, කලා ලෙස නොබෙදා) එකම විෂයය මාලාවක් හැදෑරීමට සියලුම සිසුන්ට සිදුවුණු අතර ඒ අනුව සිංහල සාහිත්‍යය විෂයය සිංහල භාෂාව විෂයයේ කොටසක් ලෙස ඉගැන්වීම ඇරඹුණි.

දැන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඉත්තන් වුණු, වසර 1967 හෝ ඉන් පසු තම පාසල් අධ්‍යාපනය ඇරඹු සිසුන් හට, තමන් සිංහල සාහිත්‍යය විෂයයක් ලෙස පාසලේ දී ඉගෙන ගන්නවා ද, නැති ද යන කාරණය පිළිබඳව කවර නම් වගකීමක් තිබුණා ද?

තමන් සිංහල සාහිත්‍යය පාසලේ දී විෂයයක් ලෙස ඉගෙන නොගැනීම යනු ඔවුන් ගේ වරදක් නොවේ.

එනිසා, සිංහල සාහිත්‍යය නූගත් නුතන පරපුරේ අබ්බ ගොබ්බයින් යනුවෙන් සඳහන් කරමින් විචාරක සමස්ත පරම්පරාවකටම කළ අපහාසය මට දිරවූයේ නැත.

ඒ කාරණය පිළිබඳව මගේ අදහස මා ලියා කළ පළ විට, මට ද, පෙර කී ආකාරයේ අති නිර්මාණාත්මක වූ, අලුත් සිංහල වචන ද රැගත්, ලිඛිත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවිය.

ඒ 2014 අප්‍රියෙල් 10 දින දී ය.

ඒ ලිපිය කියවූ මට වැටහුණේ එය, සාහිත්‍යය පාසලේ දී විෂයයක් ලෙස ඉගෙනීම ගැන මා ලියූ ලිපිය තමන් ට පුද්ගලිකව කළ පහරදීමක් ලෙස සලකා, මට මිලිටරි උපක්‍රම භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමක් ලෙස යි. (එසේ කියන්නේ "මොක් ඇටෑක්" සහ "ඇතුළට එන්න දී පහර දීම" වැනි යෙදුම් ඔහු උපයෝගී කරගත් නිසා බව සලකන්න).

ඔහු ගේ පෙර කී අදහස පිළිබඳව මිස, පුද්ගලයෙකු වශයෙන් මට විචාරක සමග අවුලක් නොතිබුණි.

මෙවැනි ආරවුලක් ඇති වුණු පසු, එයින් ජුගුප්සාජනක සතුටක් ලබන්නට තැත් කරන නිර්නාමිකයෝ ද සිටිති. ඔවුන් විවිධ බ්ලොග්වල විවිධ දේ ලියා තිබුණි. ඒවා නිසා, විචාරක තව තවත් වැරදි නිගමනවලට එළැඹෙන බව ද මට පෙනුණි.

එනිසා මා කළේ අප්‍රියෙල් 13 දින ඔහුට පහත ඊ-මේලය යැවීමයි.
හිතවත,

බ්ලොග් ලෝකය යනු අතත්‍ය ලෝකයකි. එහි වෙන වාද විවාද එයටම සීමා වීය යුතුය.

මා විරුද්ධත්වය පෑවේ සිංහල සාහිත්‍යය පිළිබඳ ඔබේ අදහසට පමණි!

මට ඔබ කෙරෙහි කිසිදු තරහක්, ක්‍රෝධයක්, වෛරයක් හෝ අමනාපයක් නැත.

එසේ තිබුණා වුණත් ඒ තරහ මරහ කෝන්තර අවසාන කර දැමීමට සිංහල අලුත් අවුරුද්ද තරම් වෙනත් වෙලාවක් තිබේද?

ඔබට සුබ අලුත් අවුරුද්දක් පතමි.

ප/ලි
ඔබ මොනවා සිතා සිටියත් මා ඔබට හෝ වෙනයම් අයෙකුට එරෙහිව නිර්නාමිකව කිසි දෙයක් කිසි තැනක, බ්ලොගයක හෝ වෙනත් ආකාරයකට පවසා නැති බවද සඳහන් කරමි.
විචාරක මගේ ඊ-මේලයට පහත දැක්වෙන පිළිතුර අප්‍රියෙල් 15 දින එවා තිබුණි.
ඔබේ මේ නව අවුරුදු අදහස පිළිගනිමි. ඔබට යම් සිත් වේදනාවක් ඇතිවුවානම් අවංකවම ඒ ගැන කණගාටුව පලකරමි. සහයෝගයෙන් ඉදිරිරියට යමු. ජයවේවා! ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා. ඔබ දිගු කල මිත්‍රත්වයේ දෑත අල්ලා ගනිමි.
මේ පිළිතුර ලැබෙන විට මම පෙර සැලසුම් කර තිබුණු ආකාරයට අවුරුදු නිවාඩුව සඳහා ලංකාව පැමිණ සිටියෙමි. ඉන් දින කිහිපයකට පසු අප්‍රියෙන් 20 දා බ්ලොග්කරුවන් ගේ අවුරුදු උත්සවයක් ද සංවිධානය වෙමින් තිබුණු අතර එදින වෙනත් වැඩ කටයුතු කිහිපයක් ම යෙදී තිබුණ ද, උත්සවයට සහභාගී වීමට ද මට කැමැත්තක් තිබුණි.

මම විචාරකට පහත පිළිතුර යැව්වෙමි.
පිළිතුරට ඉතා ස්තුතියි.

මට කිසිම සිත් වේදනාවක් නැත. අප සිංහල සාහිත්‍යය ඉගෙන ගෙන නැත්තේ අපේ වරදක් නිසා නොවන බව ඔබට වැටහුණේ නම් යහපති.

දිනක හමු වුණොත් කතා බහ කරමු!
අවුරුදු උත්සවය පැවැත්වුණු දිනට පෙර දා මා රාත්‍රිය ගත කළේ මාතර ඥාතී නිවසක වුවත්, පසුදා උදෑසන බසයක නැගී පිළියන්දල මව ගේ නිවසට පැමිණ එහි තිබුණු පොත් මිටියක් ද රැගෙන උත්සවය පැවැත්වුණු ස්ථානයට යාමට මට හැකි විය.

එහිදී හමු වූ විචාරක ඔහු පැවසූ පරිදිම මා දිගු කළ මිත්‍රත්වයේ දෑත අල්ලා ගත්තේ ය.

"පාසලේ දී සාහිත්‍යය විෂයයක් විදියට ඉගෙන නොගත්තාට මාත් ඔන්න පොතක් ලිව්වා! කියවලා බලන්න" කියමින් මම මා ලියූ සිව් වසරක් මරදානේ පොතේ පිටපතක් ඔහුට දුන් විට ඔහු එය සිනහ මුසු මුහුණින් පිළිගත්තේ ය.



දැන් ඉතින් ඒ සියල්ල මතකයන් පමණි.

එහෙනම් විචාරක, අපි නැවත එහේ දී ම දවසක හමුවෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කෙසේ වෙතත්, විචාරක ගේ ඉක්මන් කෝපය සහ විවිධ පුද්ගලයන් ට කෙරුණු බැණ අඬ ගැසීම් එතැනින් නතර නොවුණු බව ද කිව යුතුය.

මා සිතන ආකාරයට සිංහල බ්ලොග් අවකාශය මනරම් වන්නේ අප එකිනෙකා වැනි විවිධ අදහස් දරණ පුද්ගලයින් එහි සැරිසරමින් අදහස්වලින් ගැටෙන නිසා ය.

ප/ප/ලි
විචාරක පිළිබඳව ලියවුණු මා කියවූ වෙනත් ලිපි:

1. 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
https://atampahura.blogspot.com/2017/04/2016-26-2315.html


2. විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


3. මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්
http://kolambagamaya.blogspot.com/2017/04/blog-post_29.html


4. ඔබට සුබ ගමන් විචාරක මාමේ...
http://littleflowerbuds.blogspot.com/2017/04/blog-post.html


5. සුභ ගමන් විචාරකතුමනි.. !!!
http://kalahitha.blogspot.com/2017/04/blog-post.html


6. විචාරක මලා
http://ansathudinapotha.blogspot.com/2017/04/blog-post_74.html


7. විචා...සුබ ගමන් එහෙනම්
https://vibheeshana2.blogspot.com/2017/04/blog-post_30.html


8. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...
http://ranrandil.blogspot.com/2017/04/504-three-of-kindremembrances-of.html


9. ළයාදර හිතවත ඔබට සුබ ගමන්
https://sugv.wordpress.com/2017/04/29/ළයාදර හිතවත ඔබට සුබ ගමන්/


(image: http://airshipdaily.com/blog/03312014-writers-duels)

Sunday, 30 April 2017

විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!


මරණය කාටත් පොදු දෙයකි.

දිනකට ලෝකයේ එක් ලක්‍ෂ පනස් දහසක් තරම් විශාල සංඛ්‍යාවක් මිනිසුන් මිය යති.

නමුත් අපට දුකක් දැනෙන්නේ (තරමක් හෝ) දන්නා හඳුනන අයෙකු මිය ගිය විට පමණි.

ඊට අමතරව, හදිසි මරණ ද, වැළැක්විය හැකි හේතු නිසා සිදුවෙන අකාල මරණ ද සිතට දුක ගෙනෙයි.

"අසමි, දකිමි, සොයමි" නමින් යුතු සිංහල බ්ලොගය රචනා කළ විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය ඔහු ගැන දන්නා සැම දෙනෙකු ගේ මෙන් ම මගේ සිතට ද දුකක් ගෙනාවේ ය.

අද සෙනසුරාදා උදේ පාන්දර පහට පමණ සැලසුම් නොකළ ආකාරයකට අවදි වුණු වෙලේ, ජංගම දුරකථනයෙන් ෆේස්බුක් පිරික්සා බලන විට මුලින් ම ඇස ගැසුණේ දේශක යා නම් බ්ලොග්කරු විසින් තබන ලද විචාරක ගේ මරණය පිළිබඳ කෙටි සටහනකි.

ඊළඟට මා දුටුවේ ලක්මාල් කන්දේවිදාන ගේ සටහනයි.

යළි නින්දට යෑමට තැත් කළ ද එය එතරම් සාර්ථක නොවුණි. දැන් පැය විස්සකට පමණ පසුව මේ සටහන ලියන මොහොත වන විට ද, ඒ ඇතිවුණු "අයියෝ!" සිතුවිල්ල සිතේ හිරවී පවතී!

පසුගිය දිනක සිඩ්නි නගරයේ, ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී පැවති, දහසක් පමණ දෙනා සහභාගී වූ "ඩී.එන්.ඒ. ඔෆ් අන්කන්ඩිෂනල් ලව්" නම් මැයෙන් වූ භාවනා සහ ධම්ම වැඩ සටහනක දී, එය මෙහෙය වූ අජාන් බ්‍රහ්ම් නම් බෞද්ධ භික්‍ෂුව, "ස්නූපි" නම් බලු පැටියෙකු සහ "චාලි බ්‍රවුන්" නම් කොලු පැටියෙකු ගේ ප්‍රධාන චරිත සහිත "පී-නට්ස්" නම් කාටුන් මාලාවේ ආ පහත දැක්වෙන සුප්‍රසිද්ධ කාටූනය පිළිබඳව සඳහන් කළේ ය.



"කවද හරි දවසක අපි සේරම මැරෙනවා ස්නූපී" චාලි බ්‍රවුන් ස්නූපි අමතා පවසයි.

"ඇත්ත!" ස්නූපි පිළිතුරු දෙයි "නමුත්, අනිත් කිසිම දවසක අපි මැරෙන්නේ නෑ නේ!"

මෙය සදාකාලික සර්වශුභවාදී අදහසකි.

අප සැම කළ යුත්තේ ඒ කවදා හරි දවස එනතුරු අප හමුවේ ඇති ඉතුරු දවස් සතුටෙන් ගත කිරීමයි.

අඩියෝස් අමීගෝ විචාරක!

-රසිකොලොජිස්ට්

ප/ලි:
විචාරක පිළිබඳව ලියවුණු මා කියවූ වෙනත් ලිපි:

1. 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
https://atampahura.blogspot.com/2017/04/2016-26-2315.html


2. විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html


3. මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්
http://kolambagamaya.blogspot.com/2017/04/blog-post_29.html


4. ඔබට සුබ ගමන් විචාරක මාමේ...
http://littleflowerbuds.blogspot.com/2017/04/blog-post.html


5. සුභ ගමන් විචාරකතුමනි.. !!!
http://kalahitha.blogspot.com/2017/04/blog-post.html


6. විචාරක මලා
http://ansathudinapotha.blogspot.com/2017/04/blog-post_74.html


7. විචා...සුබ ගමන් එහෙනම්
https://vibheeshana2.blogspot.com/2017/04/blog-post_30.html


8. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...
http://ranrandil.blogspot.com/2017/04/504-three-of-kindremembrances-of.html


9. ළයාදර හිතවත ඔබට සුබ ගමන්
https://sugv.wordpress.com/2017/04/29/ළයාදර හිතවත ඔබට සුබ ගමන්/

Friday, 12 February 2016

මරණ සහතිකය සහ නැවත මැරීම - Dead people and the living


අප ඉපදුණු මේ ලෝකයේ ජීවත්වීම, ඉපදුණු පලියටම නිකම්ම කළ හැකි දෙයක් නොවේ. පුද්ගලික අවස්ථාවන්ගෙන් ඔබ්බට ගිය තැන්වල දී අප අප ම ය කියා හඳුන්වා දීමට නම, ගම කීම ප්‍රමාණවත් නැත. ඒ නම සහ ඔබේ මුණත්තහඩුව සහිත අනන්‍යතා පත්‍රයක් හෝ ගමන් බලපත්‍රයක් හෝ ඉදිරිපත් කළ යුතුය. එවැන්නක් සාදා ගැනීමට අත්‍යවශ්‍ය ලියවිල්ලක් වන්නේ ඔබේ උප්පැන්න සහතිකයයි.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු උපන්නේ නෑ යන්නයි.

ඒ විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

කොටින්ම, උප්පැන්න සහතිකයක් නොමැතිවීම යනු ඔබට මේ ලෝකයේ ජීවත් වීමේ අයිතියක් නැතිය යන්නයි!

ඒ මක්නිසා ද යත්, ඔබ මෙලොව උප්පත්තිය ලබා නැති බැවිනි!

මරණ සහතිකය ද ඒ ආකාරයේ ම අතිශය විහිළුකාර මෙන්ම අතිශය වැදගත්කමක් ද ඇති ලියවිල්ලකි.

මැරුණු අයෙකු ගේ මරණ සහතිකයක් නොමැති වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, ඒ පුද්ගලයා මැරී නොමැති බවයි.

එයද විහිළුවක් නොවේ. සත්‍ය, ප්‍රායෝගික, නෛතික තත්වයයි.

එකම වෙනස වනුයේ උප්පැන්න සහතිකය අවශ්‍ය උප්පත්තිය ලැබූ පුද්ගලයාට වුවද, මරණ සහතිකය අවශ්‍ය වෙන්නේ මැරුණු පුද්ගලයාට නොව ජීවත්වෙන පුද්ගලයින්ට වීමයි.

පසුගිය දශක කිහිපක කාලය තුළ ලංකාවේ දහස් ගණනක පිරිසක් අතුරුදහන් වූ බව අප දනිමු.

ජාතිවාදී, ත්‍රස්තවාදී, විප්ලවවාදී මැරකම් නිසා අතුරුදහන්වූ බොහෝ දෙනෙකු ටයර් චිතකයන් හි අවසන් ගමන් ගියහ. බඩ පලා දැමූ කොන්ක්‍රීට් සහිතව ඈත මුහුදු පතුලේ සදාකාලික නින්දට ගිය අයද ඇති බව කියවේ. වෙනත් ක්‍රම තියෙන්නට ද ඇත. අපි තවමත් ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවුණු දේ නිවැරදිව නො දනිමු.

ඒ ආකාරයට අතුරුදහන්වූවන්ට මරණ සහතික නැත. මක්නිසාද යත්, මේ සඳහා විශේෂයෙන් පත් කර ඇති සුදුසුකම් ලැබූ අය විසින් මරණ සහතිකයක් නිකුත් කෙරෙන්නේ, මළ සිරුර පරීක්‍ෂා කර, එහි අනන්‍යතාවය තහවුරු කරගෙන, මරණයට හේතු සොයා ඒ සියල්ල ඇතුළත් කර වීමයි.

ඒ කාරණා සිදු කළ නොහැකි වූ විට මරණ සහතියක් නිකුත් කළ නොහැකි බව පැහැදිලිය!

මා පෙර කී ආකාරයට අතුරුදහන් වී ටයර් මතින් හෝ මුහුදු පතුලේ හෝ වෙනත් තැන්වල හෝ අවසන් ගමන් ගිය අය සඳහා මරණ සහතික නොමැත්තේ ඒ නිසාය.

මරණ සහිතික නොමැතිවෙන, වෙනත් අවස්ථා ද ඇත.

උදාහරණයක් ලෙස, අසූව දශකයේ මුල් භාගයේ දී මැලේසියාවේ සිට ගුවනින් පැමිණෙද්දී අතුරුදහන් වූ ව්‍යාපාරික උපාලි විජේවර්ධන ඇතුළු පිරිස සම්බන්ධ සිදුවීම දැක්විය හැක. ඔවුන් මියගිය බවට සැක කෙරෙන නමුත්, මළ සිරුරු හමු නොවුණු නිසා, සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ මරණ සහතික නිකුත් කළ නොහැක.

ඒ ප්‍රදේශයේ දී ම අතුරුදහන් වූයේ යැයි කිව හැකි මැලේසියානු ගුවන් යානයේ සිටි අයගේ ද තත්වය එයයි.

තම සැමියා මිය යන විට හොඳ තරුණ වියේ සිටි ලක්මිණි රත්වත්තේ විජේවර්ධන, ලක්මිණි වෙල්ගම වීමට සෑහෙන කලක් ගත වූයේ ද ඒ මරණ සහතිකයේ ප්‍රශ්නය නිසා විය යුතුය.

මේ සියලු කරුණු මගේ සිහියට ආවේ වෙනත් කතාවක් නිසායි.

මගේ මිතුරෙකු ගේ බිරිඳ අවාසනාවන්ත ලෙස අකාලයේ මිය ගියාය. ඇය වෛද්‍යවරියක වීම නිසාත්, ඇගේ මරණයට හේතුව වෙනත් වෛද්‍යවරයෙකු ගේ වෘත්තීමය වරදක් නිසා වීමත් හේතුවෙන්, ඒ මරණයට පුවත්පත් සහ වෙනත් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි.

ඒ මරණය සිදුවූයේ මින් අවුරුදු එක හමාරකට පෙර ය. තවත් නිවැරදිව කියනවානම් 2014 වසරේ අගෝස්තු 12 දා ය.

තම මිය ගිය සොඳුරිය ගේ අවසන් කටයුතු ද, දානමය පුණ්‍යකර්ම ද සිදු කළ මගේ මිතුරා, තම රැකියාවද කරමින්, දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සහ වෙනත් අවශ්‍යතා සඳහා ද වෙහෙසෙමින් පසුගිය වසර එක හමාරක කාලය ගත කළේ කෙතරම් වේදනාවකින් දැයි යන්න මට සිතා ගත හැකි වුවද ඒ අංශු මාත්‍රයකින් පමණකි.

නමුත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ද ඇන්නා සේ ඔවුන්ට අද දක්වාම ජීවත්වෙන්නට සිදුව ඇත්තේ ඒ දුක තවත් වැඩිවෙන ආකාරයේ කලකිරීමක් ද සමගිනි.

මරණය සිදුවී වසර එක හමාරක කාලයක් ගතවී තිබුණ ද, තවමත් ඒ සඳහා මරණ සහතිකයක් නැත!

ඇගේ මරණය හදිසි මරණයක් නිසා, ඒ ගැන රස පරීක්‍ෂ වාර්තාවක් අවශ්‍ය වේ. මරණ සහතිකය ප්‍රමාදවෙන්නේ ඒ වාර්තාව තවමත් ලැබී නොමැති හෙයිනි.

අදාළ රජයේ ආයතනයෙන් මේ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වීම සඳහා විශේෂඥයින් ගේ අඩුවක් හෝ උපකරණවල අඩුවක් හෝ වෙනත් සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා විය හැක. එහෙත්, ඒ වෙනුවෙන් දිනෙන් දිනම අපහසුතාවයට පත්වෙන්නේ තම බිරිඳ වියෝ වූ දුකින් ජීවත්වෙන සැමියා ය. තම මව නොමැති දුකින් ජීවත්වෙන දරු දෙදෙනා ය.

කෙනෙක් මළ පසු මරණ සහතිකයක් කුමන රඹ පුෂ්පයක් සඳහාදැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇත. නමුත් එය එසේ නොවේ.

මා කලින් කීවාක් මෙන් මරණ සහතිකයක් නැති නම්, කිසිවෙකු මැරුණු බව නෛතිකව ඔප්පු කළ නොහැක.

මරණය පිළිබඳ පුවත්පත් වාර්තා, ඡායාරූප, වීඩියෝ වැනි කිසිවක් මරණ සහතිකය වෙනුවට නීතිමය කටයුතුවලදී බාර නොගැනේ.

නමුත්, රස පරීක්‍ෂක වාර්තාව වෙනුවට ඉහත කී සාක්‍ෂි හෝ දිවුරුම් පෙත්සමක් හෝ උපයෝගී කරගෙන තාවකාලික, නමුත් නෛතික තත්වය ඇති, මරණ සහතිකයක් හෝ ලබා දිය නොහැකි ද?

රස පරීක්‍ෂක කාර්යාලයේ ඇති අකාර්යක්‍ෂමතාවට පිළියමක් නැති ද?

තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති අයයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මිතුරා ගේ බිරිඳ මිය ගිය විට ඒ ගැන විස්තර වාර්තා පල කළ පුවත්පත් සහ වෙනත් ජනමාධ්‍යවලට මේ උද්ගතව ඇති තත්වය ගැන ද වාර්තා කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඇතැයි මම සිතමි.

ඒ කෙසේ වෙතත්, පොදු ජනතාවට ද මේ ගැන දැන ගැනීම වැදගත් වේ යැයි සිතමි.

පසු විපරම කෝ?

(image: http://all4desktop.com/4247647-father.html)

Wednesday, 10 February 2016

මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)


මගේ සීයා, එනම් පියා ගේ පියා, කලකට පෙර මිය ගියේය. ඔහු ගේ සිරුර දැවූ සොහොනේ අළු සහිත මුට්ටිය රුගෙන කුලී කාර් එකකින් කැලණි ගඟ අසබඩ දන්නා හඳුනන ස්ථානයකට රැගෙන ගිය මගේ පියා ඒ අළු මුට්ටිය හිල් කර ගඟේ පා කර යැවීය.

ඔහු ඒ ගමනට මා ද මගේ සොහොයුරෙකු ද එක් කර ගත්තේය. ඒ අප මෝටර් රථයකින් රැගෙන ගොස් සතුටු කිරීමට ම නොවෙන බව පසුව මට වැටහිණි.

එය මට වැටහුණේ මීට වසර පහකට කලිනි. ඒ මගේ පියා මිය ගිය පසුය.

පියා ගේ භෂ්මාවශේෂ රැගෙන මාත් මගේ මල්ලීත්, මල්ලී ගේ පුතාලා දෙදෙනා ද සමග ඔහු ගේ වාහනයෙන් කැලණිය පන්සල අසලට ගියෙමු. පාරුවෙන් ගඟ මැදට ගිය අපි ඒ අළු බඳුන හිල් කර දියේ පා කර හැරියෙමු.

මොහොතකින් තාත්තා ගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය දියේ ගිලී නොපෙනී ගියේය.

දිනෙක මට ද, මගේ මල්ලීට ද අයත් වෙනු ඇත්තේ ඒ ඉරණමයි.

සොහොන් නැත. සැමරුම් නැත.

"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!" යැයි මහගම සේකර ලියා අමරදේව ගැයුවේ ය.

මගේ අදහස නම් සොහොන් කොත් යනු අනවශ්‍ය දෙයක් බවයි. මේ ලෝකයේ ඉපදී මිය යන සියලු දෙනා වෙනුවෙන් සොහොන් කොත් බැන්ඳොත් ලෝකය විනාශ වී යනු ඇත. ඉතුරුවෙනු ඇත්තේ සොහොන් කොත් පමණි.

ඒත් සොහොන් කොත්වල ලියන්නට යැයි පැවසෙන දුක් ගී?

දුක් ගීවල නම් යම් වැදගත්කමක් ඇත. ඒ මිය ගිය පුද්ගලයින්ට නොව, ඔවුන් වෙනුවෙන් දුක් ගී ලියන ජීවත්වන්නන්ට ය.

නමුත්, ඒ ආකාරයට දුක් ගී ලිවීමට සොහොන් කොතක් බැඳීම ම අවශ්‍ය නොවේ!

කෙදිනක හෝ මා මළ පසු මා වෙනුවෙන් දුක් ගී ලියන්නට සිතැති අයගේ ප්‍රයෝජනය පිණිස, සයිබර් දුක් ගී පිටුවක් අරඹන්නට මා සිතුවේ ඒ නිසාය.

එය මේ රසිකොලොජි බ්ලොගයේ ම පිටුවකි. දැනට ම එය සකසා අනාගතයේ දිනයක් සහ වේලාවක් යොදා පළවීමට සලසා ඇත්තෙමි.

දිනෙන් දින ඒ නියමිත දවස කල් දැමීමට අදහස් කරන නිසා, එය ඔබට පෙනෙනු ඇත්තේ යම් දිනක මා මිය ගොස්, එසේ දිනය වෙනස් කිරීමට මට නොහැකි වූ විටය.

කොහොමද මගෙ ටිකිරි මොළේ?

යම් හෙයකින් මගේ මරණයට පෙර මට අකර්මණ්‍ය වී කල් ගත කරන්නට සිදුවුණුහොතින් ඒ පිටුව පළවීමේ අනතුරක් ඇත. එසේම, වෙනත් හේතු නිසා, මට මගේ බ්ලොගර් ගිණුමට පිවීසිමට නොහැකි වුවහොතින් ද එය එසේ සිදුවිය හැකි බව මම දනිමි. නමුත්, ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ අන්තරායන් ය.

එහෙනම්:

මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි
දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු මැනවි


-රසිකලොජිස්ට්

ප/ලි:
මෙය ද කිව යුතුය!

මගේ පියා මිය ගිය විට නම් ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු වෙනුවෙන් දුක් ගී ලියුවේ නැත. කොටින්ම ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු ගේ අවමංගල්‍යයට ද සහභාගී නොවූහ.

ඒ රණ්ඩු, වලි, හිත් අමනාපකම් නිසා නම් නොවේ.

මගේ පියා මිය යන විට ඔහු ගේ මිතුරන් සියලු දෙනාම මිය ගොස් ය!

Monday, 8 February 2016

මැරෙන එක ද පණ යන වැඩකි! - Near death experience of Rasikologist


දස වසරකට පෙර සිදුවීමක් ගැන මා ලියූ කවි පන්තියක් පෙරේදා එහි සංවසත්සරය සමරීම පිණිස රසිකොලොජියේ නැවත පල කළෙමි. ඒ සිදුවීම ගැනම, මා ගද්‍යයෙන් ලියා පල කළ “කතන්දරයක්" ද ඇති බව මතක් වුණු නිසා, එය ද, පොඩි සංස්කරනයකින් පසුව, නැවත පල කළ යුතු යැයි සිතුණි.

මෙය කලින් කියවූ ඇත්තෝ සමාවෙත්වා.

කතන්දරය කියවා එහි යටින් ඇති පැහැදිලි කිරීම ද කියවන මෙන් ඉල්ලමි.

මෙන්න මා 2011 මැයි මාසයේ ලියූ ඒ කතන්දරය.
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුණේ නෑ. බැස්සට ඇවිදින්න හිතුණේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

මං බඩගින්නේ හිටියේ ලේ පරීක්‍ෂාවක් කරන්නයි. ඇගට පණ නැතිකම මං හිතුවේ කලින් දවසේ රෑ නමයට විතර කෑවට පස්සේ තේ එකක්වත් නොබීපු නිසා එන එකක් ය කියලයි.

බැරිම තැන මං ඉස්කෝලේ මිදුලේ තිබුණු පොඩි බංකුවක වාඩි වුණා. එතකොටම බෙල් එක ගහනවා ඇහුණා. මේ පුතා ඉස්කෝලේ යන දෙවෙනි සතිය. කොල්ල බෙල් එක ඇහිල බය වුණා, "යං, යං!" කියල මගේ අතින් ඇද්දා.

මට නැගිටලා ඇවිදගෙන පුළුවන් වුණේ අඩි දෙක තුනයි. මං දැක්කා මගේ කකුල් යටින් තියෙන තණකොළ පදාසය නිකං මොසැයික් කොටු කොටු වේගෙන යනවා. කපල දැම්ම වගේ වැටුණේ ඊළඟටයි.

හැබැයි මාව ඉස්පිරිතාලේට අරං ගිය ගමන මං ගියේ හොඳ සිහියෙන්. යන ගමන් හාමිනේට කෝල් කළා මගේ මොබයිල් එකෙන්.

හාමිනේ මාව බලන්න දුවගෙන එනවා මට මතකයි. වැටිච්ච වෙලේ නහයෙන් ලේ ආපු නිසා, ස්කෑන් එකක් කරන්න ෆෝම් අත්සන් කරනවාත් මට මතකයි.

ඊ ළඟට මං හිටියේ ඇඳක් උඩ වැතිරිලා. "ලෙඩා ගේ හාට් එක නතර වුණා!" නර්ස් කියනව දොස්තරට.

"ඔව්, මටත් තේරුණා ඒක. හරිම සැන්ශේෂණල් ෆීලින් එකක් නේ තියෙන්නේ!" මං නර්ස්ට කිව්වා.

නර්ස් නෝනට ඒක ඇහුණේ නැද්ද, ගණං ගත්තේ නැද්ද අනේ මන්දා.

හැමෝම බලං ඉන්නේ ඇඳ උඩින් පැත්තක හයි කරල තියෙන ඊ.සී.ජී. මොනිටර් එක දිහා. මාත් ඒක දිහා තමයි බලං ඉන්නේ.

පොඩ්ඩක් ඉන්න. මං කොහොමද ඒ මොනිටර් එක දිහා මේ විදියට බලං ඉන්නේ. එතකොට අර ඇඳේ දිගාවෙලා ඉන්නේ මං නේද? ඒ මං නං, එතකොට කොහෙමද මට මාව ම පේන්නේ?

හාට් එක නැවතෙනවා කියන්නේ මගේ කාලේ හරිද? මට යන්න වෙලාද?

නෑහ්, දැන්ම යන්න බෑ!

දැන්ම ගිහිල්ලා කොහොමද? පොඩි කාලේ ඉඳලා කවි ලිව්වට, තාම බැරිවුණා පොතක් අච්චු ගහන්න. දැම්ම ගිහින් කොහොමද ඒක කරන්නේ?

ඊටත් වඩා, මං දැම්ම යන්න ගියොත් තාම අවුරුදු පහක්වත් නැති පුතා ලොකු වෙනකොට ඌට තාත්ත කෙනෙක් නෑ නේද? මාව කොල්ලගේ මතකයේවත් තියෙන එකක් නෑ.

නෑහ්, දැන්ම යන්න බෑ!

ඔන්න මං යනවා හෙලිකොප්ටරයක. මාව වෙන ඉස්පිරිතාලෙකටවත් අරං යනවද මන්දා?

හෙලිකොප්ටරේ දොර ඇරුණා. දොරෙන් එහා පැත්ත පුදුමාකාර එළියයි. ඉර දෙකක්, තුනක් පායලා වගේ.

"යන්න, පුතා යන්න". හෙලිකොප්ටරේ හිටිය දෙන්නගෙන් එක්කෙනෙක් මට කියනවා. මට පොරව දැකල පුරුදුයි වගේ. මේ අර මාව ඉස්කෝලේ ළඟ ඉඳලා ඉස්පිරිතාලෙට ගෙනාව මනුස්සයා නේද? එකම වෙනස මෙයා ගේ උඩුරුවුලයි, එළු රුවුලයි දෙකම සුදුම සුදුයි!

මං හෙලිකොප්ටරෙන් බැහැල පයින්ම ඇවිදගෙන යනවා ඉස්සරහට. කිසිම දෙයක් පේන්නේ නැති තරමට ආලෝකය හැම තැනම.

මං දොරක් ඇරගෙන ඇතුළත ගියා. නර්ස් කෙනෙක් වාඩිවෙලා ඉන්නව. මොනවද කෙරෙන්න ඕනෑ? එයා මගෙන් අහනව.

"ඉස්සෙල්ලාම මට ඉඳගන්න පුටුවක් දෙන්න!"

මේ මරණාසන්න අත්දැකීම මගේ සත්‍ය මතකයයි. මට සිහිය එව විට මා ඇත්තටම සිතුවේ හෙලිකොප්ටර් ගමනෙන් පසුව මා ඉන්නේ වෙනත් රෝහලක බවයි.

මේ කතාවේ ඇති යම් යම් සිදුවීම්, මා මීට පෙර අසා ඇති මේ ආකාරයේ කතාවල ආ ආකාරයේ ම වීමේ පුදුමක් නැත. මක් නිසා ද යත්, මා දන්නේ මා අසන, දකින, කියවන, අත්දකින දේ පමණක් බැවිනි.

ජයවේවා.

-රසිකොලොජිස්ට්

Saturday, 6 February 2016

අවුරුදු දහයකුත් ගියා එහෙනම්? - A decade old memory...!


හෙට, පෙබරවාරි හත්වෙනිදා, මගේ ජීවිතයේ එක්තරා සංවත්සරයකි.

මේ විවාහ සංවත්සරය නොවේ. එය මැයි විසි අටවෙනිදා ය. උපන් දිනය ද නොවේ. එය ඔක්තෝබර් විසි හත්වෙනි දා ය. නමුත් මේ සංවත්සරය උපන් දින සංවත්සරයකට බොහෝ දුරට සමාන එකකි.

මේ සංවත්සරයට අදාල මුල් සිදුවීම සැමරීම පිණිස ඒ කාලයේ ම ලියා, දෙතුන් සැරයක් විවිධ තැන්වල පළ කළ කවි පන්තියක් නැවත රසිකොලොජියේ ද පළ කිරීමට සිතුවෙමි.

"හන්තාන අඩවියේ ගීතයේ" තාලයට මා ලියූ "ඝණ්ඨාර ශබ්දයෙන් ගීතයේ" අරුත සමහර දෙනාට නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි වුවද, මේ සරල කවි පන්තිය ගැන එවැනි ප්‍රශ්න ඇතිවේ යැයි නොසිතෙමි.

කෙසේ වෙතත්, නොරේරෙන තැනක් තියේ නම් කරුණාකර අසනු මැනවි. පසුව පහදා දෙමි.

දවස තාමත් තරුණයි

කපා දැමූ රඹ කඳ මෙන් වැටුණි ඇද
දපා එලෙස සිටියෙමි තණ පිටිය මැද
සැපා කියා දිය කෙළි විඳි කටක රද
තොපා දුන් ඔවා මට මිත අකැප විද

බඳවා රැහැන් ඉඳිකටු ලා දුබල ගතේ
හඬවා සයිරනය ඉගිලුනි ගිලන් රතේ
කැඳවා යන්න ආ මරුවා සිනාසෙතේ
වඩවා විරිය ගත දිරි ඉපිදවිමි සිතේ

නහර තුළ බැඳුණු කාරම් බලය දිදී
නතර කළා හදවත ගත සිසිල සැදී
වැතිර සිටි මගෙ ම රුව නිසසලව බැඳී
අතර තුර බැලූවෙමි සිට අහසෙ රැඳී

සිව් සාලිස් වසක ගතවෙන දිවි මගෙහී
ලිව් කවි මිසක කළ පොතකුදු නැති සඳෙහී
පව්! පුතු සිතෙන් යයි පිය මතකය ගිලිහී
එව් සිතුවිලි රැසින් ඇතිවිය දිරි සිතෙහී

එන් නට බැහැ තවම දාතම පැමිණ නැත
යන් නට පෙර කළ යුතු වැඩ අපරිමිත
සන් කර මරු යවා ආපසු එලොව වෙත
සන් සුන් ගත තුළට යළි වැද ගතිමි මිත

වැතිර ඇඳක දැඩි සැලකුම් ඒකකයේ
වයර ලා අතේ නාසයෙ ගෙලේ ළයේ
නිතර සිහින මැද ඔසු බල දරා කයේ
සසර කළ පවද ඒ ලෙස ගෙවී ගියේ


ඔබ සැමට නීරෝගී සැප පතමි. ජයවේවා!

-රසිකොලොජිස්ට්

Thursday, 4 February 2016

මරණය ගැන "ඒවං මේ සුතං" විහිළු කතා දෙකක් - Two funny stories about death


උපන්නොත් මිය යාම නියත නමුත් එලෙස තමන් මිය යන්නේ කවදාද යන්න සැමදා සැම දෙනාට ම රහසකි. එනිසාම, ඒ දිනය දැන ගැනීමට අපට ඇත්තේ කුතුහලයකි.

මේ කාරණය ඔස්සේ ගෙතුණු කතා දෙකක් මතකයේ යට ස්තරයක තිබී හදිසියේ උඩට මතුවිය.

මෙන්න එයින් පළමුවෙනි කතාව.

තමා මිය යන දිනය නිශ්චිත කවදාද යන්නත්, ඒ මිය යන්නේ නයෙකු දෂ්ට කර බවත් අතීතයේ විසු එක් පුද්ගලයෙකුට පේන කියන්නෙකු විසින් පවසන ලදී.

කරන්නට වැඩ රාශියක් තිබියදී එලෙස මිය යන්නට කැමති කවුරුන්ද?

මේ මිනිසා කළේ, ඒ කියවුණු දිනයේ නැවක නැගී මුහුදට යාමයි. මුහුදේ මැද පාවෙන නැවක සිටින විට නයෙකු දෂ්ට කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නැව තුළ කිසිදු සර්පයෙකු නොමැති බව සැක හැර දැනගත් නිසා, මරණයෙන් බේරිමට කළ තම සැලැස්ම සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන බවට අපේ කතානායකයාට සැකයක් තිබුණේ නැත.

ඒ දිනය කෙමෙන් ගෙවී යද්දී, තමා මරණයෙන් ගැලවීමේ ප්‍රීතිය ඔහු නැවේ සිටි අන් අය සමග බෙදා ගන්නට පටන් ගත්තේය.

දිනය ගෙවී යන්නට විනාඩි ගණනාවක් තිබිය දී, කයිවාරුවක් ගසමින්, නැව් බඳේ නයෙකු ගේ රුවක් ඇඳි ඔහු, "මෙන්න මේ වගේ එකෙක් දෂ්ට කරලා තමයි මගේ මරණය සිද්ධ වෙනවා කීවේ!" යැයි කියමින් ඒ නයි රූපයේ පෙණයට ඇඟිල්ලෙන් ඇන ඇත.

ඔහු නොදැන සිටි කාරණක් වූයේ ඒ නයි රූපයේ පෙණය ඇදුණු ස්ථානයේ මලකඩ කෑ පරණ යකඩ ඇණයක් තිබුණු බවයි.

ඒ මල බැඳුණු ඇණය ඇනීම නිසා, පිටගැස්ම වැළඳුණු කතා නායකයා එයින් ම මළේ ය.

අනාවැකිය සත්‍යය විය!

පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.

මෙන්න දෙවෙනි කතාව.

මුල් කථාවේ ආකාරයටම එක් පුද්ගලයෙකුට ඔහු මිය යන දිනය නිශ්විතව ම, තම ජ්‍යොතිෂවේදි සුමනදාසගෙන් දැන ගන්නට ලැබුණි.

නමුත් පෙර කථාවේ සිදුවූ ආකාරයට මෙන් නොව, පැන්ෂන් යන වයසට ළංවී සිටින්නෙකුට තමා සේවය කරන සමාගමෙන් වන්දි ගෙවා සේවකයින් අස්කරන බව දැන ගන්නට ලැබුණු විට සිදුවෙන්නාක් මෙන් මේ අවස්ථාවේ දී සිදුවුණේ මේ පුද්ගලයා ඒ අනාවැකිය පිළිගෙන මිය යන්නට සූදානම් වීමයි.

ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා යන උපදෙස සහමුලින්ම අනුගමනය කරන්නෙකු වූ ඔහු කළේ එදින සිට සුරා, සූදූ, අවල කෙළි, වැනි තාවකාලික ජොලියක් ලැබෙන එනමුත් මුදල් වැයවෙන විනෝදාංශවල නිරත වීමයි. තම මුදල් සහ දේපල අවසාන වූ පසු ඔහු කළේ මේ විනෝද කටයුතු සඳහා විශාල වශයෙන් ණය තුරුස් වීමයි.

අවසානයේ මරු එන දා එළැඹියේ ය.

දවස ගෙවී ගොස් ඊළඟ දිනය උදා වීම ද ළංවිය.

අපේ කතා නායකයා මිය යන ආකාරයක් නොපෙනුණි.

තම මුදල්, දේපල විනාශ කරගෙන, ඊට අමතරව විශාල ණයකරුවෙකු ද වී සිටි ඔහුට පසු දින ජීවත්වීමට හැකියාවක් නොතිබුණි.

ඉතින්, ඔහු කළේ සිය දිවි නසා ගැනීමයි!

පේන කීමේ ඇත්ත නැත්ත කෙසේ වුණත්, මේ කථාවෙන් ද අපට කියන්නේ මැරෙන්න තියෙන දිනයේ මැරෙන බවයි.

මෙය ලෝවැඩ සඟරාවේ කවියක පැවසෙන්නේ මෙලෙසය.
කොතැන වුණත් නැත මරු හට බාදා
විඳින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සිනා දා

කරුණාරත්න අබේසේකර විසින් රී-කන්ඩිෂන් කළ ඉහත අදහස අමරදේව ගයන්නේ මෙලෙස ය.
කුමන නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආ දා
යන්නට සිදුවන්නේ
ඉන්නට බැරි වෙන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ, යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
නොතිර සසර සාගරේ

-රසිකොලොජිස්ට්

(image: http://srudut.com/death-inevitable/)

Sunday, 31 January 2016

සින්දු කවි කිරීම සහ ජීවිතයේ ගීතය ද කවියක් කිරීම - This is life mate!


දේශපාලනය ගැනම බ්ලොග් ලියන්නෝ පවා විටින් විට කවි ලියා පළ කරනවා දැක තියෙනවා නේද?

මේ වචන කිහිපය නිකමට මෙන් ලියවුණු ඒවා ය. වැඩිපුර සිතිය යුතු කරුණක් නොවේ.

එසේ වුව ද සංවත්සරයක් ළඟම එයි.

ජීවිතය

නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ
ලොවේ කොයි කාටත් නොදන්වා
ඉබේටම වාගේ
නිවී යන්නට ළංවෙලා ඇති
පහන් සිළුවක් දෝ

උපන් දා සිට ඇවිලිලා ගොස්
පහන් තිරය ද කෙටිය දැන්
එලෙස ඇවිලෙන්ට ජවය දී
තෙල් සිඳී ගොස් ඇතිය දැන්

නිවී යන්නට තවත් කෙතරම්
කල් තිබේ දැයි කීව හැකි නම්
නිවෙන්නට මොහොතකට හෝ පෙර
එළිය විහිදමි මුලු ලෝකෙට ම
අවසාන තෙල් බින්දුවෙන්!


-රසිකොලොජිස්ට්

ප/ලි
දේශපාලන බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා පළ කරන ලද කවියක් මෙන්න.
අලුත් කුරුල්ලෙක් ඇවිදින් - http://www.w3lanka.com/2016/01/blog-post_24.html

Friday, 22 January 2016

ගොක් කොළ පෙනීම - When are you leaving?


"තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ"
මොහිදීන් බෙග් එසේ ගැයුවේ ය.
කුමක්ද මරණය?
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දීමයි

නන්දා මාලනී ගැයුවේ එසේ ය.

මරණය අනිවාර්ය දෙයකි. වයසට ගොස් සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකැයි හැඳින්වෙන ආකාරයට එය සිදුවුණහොත් කිසි අවුලක් නැත. අප දැක ඇති පරිදි වයසක අයගේ මළගම්වල අඬන අය වුවද ඉතා හිඟය.

නමුත් අකල් මරණ එසේ නොවේ. ළබැඳියන්ට දුක වැඩිය. ජීවත්වෙන අයට පොදුවේ ගෙන දෙන්නේ අසහනයකි. මා දකින විදියට එයට හේතුව නම්, අපේ ජීවිත ද මෙලෙස අකාලයේ නැති වෙන්නට ඉඩ ඇති බව අපට ඉබේ ම මෙනෙහි වීම විය යුතුයි.

මා දන්නා කියන ජ්‍යෙෂ්ඨ හිතවතෙකු මේ සතිය ආරම්භයේ දී මිය ගියේය. ඒ මා මීට පෙර ලියා පල කළ ලිපියේ සඳහන් වූ වකුගඩු රෝගයෙන් පීඩා විඳි තැනැත්තා ය. ඔහු තමන්ට කළ වකුගඩු බද්ධය සාර්ථක නොවුණු නිසා රුධිර කාන්දු පෙරීම හෙවත් ඩයලසිස් නමින් හැඳින්වෙන ප්‍රතිකර්මය නිරතුරු ලබමින් ද, තවත් සංකීර්ණ රෝගී තත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් ද වසර කිහිපයක් තිස්සේ ජීවත් වෙමින් සිටි අයෙකි.

මිය යන විට ඔහු ගත කරමින් සිටියේ ජීවිතයේ හැට අටවෙනි වසර බව මට පසුව දැන ගන්නට ලැබුණි.

හැට අටක් යනු මැරෙන වයසක් නොවේ. ඔහු කලක් රෝගාතුර වී සිටිය ද, ජීවත්වීමට ඇති කාලය කෙටි බව දැන සිටිය ද මෙය අකල් මරණයකි. එ නිසා ම දුක්බර මරණයකි.

මා කලින් කී පරිදි, බද්ධ කළ වකුගඩුව ප්‍රතික්‍ෂේප වී ඉවත් කළ පසුව ඔහු ජීවත් වූයේ කාන්දු පෙරීම (ඩයලසිස්) නමැති ප්‍රතිකාරය මත යැපෙමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ සිරුරේ ඇති රුධිරය බාහිර යන්ත්‍රයක් හරහා යවා පෙරීමයි. නිරතුරු අසා තිබුණද, මේ ක්‍රියාවලිය සිදු කෙරෙන හැටි මුලින් ම දුටු දිනයේ මා සිත සලිත වී ගිය බව ද පැවසිය යුතුය.

හිතවතා ගේ මරණයෙන් පසු ඒ ගැන සඳහන් කරමින් ඊ-මේලයකින් අප ඇමතු ඔහු ගේ දියණිය විස්තර කර තිබුණු ආකාරයට මරණයට දින කිහිපයකට පෙර තව දුරටත් ඩයලසිස් නොකරන බවට ඔහු තීරණයක් ගෙන ඇත.

එය හොඳ සිහියෙන් ගත් ධෛර්යමත් තීරණයකි. එසේම ඉතා තර්කාන්විත එකකි.

මේ වනාහී අප සැමටම ජීවිතයේ මතු යම් දිනයක දැනුවත්ව හෝ නොදැනුවත්ව ම ගන්නට සිදුවෙන තීරණයක් බව කිව යුතුය.

එනම්, තව එක් දිනක් ජීවත්වීමට අප ආයෝජනය කළ යුතු ශක්තියට වඩා, ඒ දින ගත කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජනයේ වටිනාකම අඩු වූ විට, ඒ ජීවත්වීමෙන් අපට පලක් නැති වේ.

මෙය අප කා හටත් වටහා ගත හැකි සත්‍යයක් යැයි සිතමි.
එදින අප යා යුතු ය.
තනිවම යා යුතු ය.
අස්ථිර සුසුමක් නැවත නොගන්නට සුළඟට දන් දිය යුතු ය.

-රසිකොලොජිස්ට්

(imae: http://www.rivershealingarts.com/death_midwifery.php)

Wednesday, 6 January 2016

සුබ ගමන් මිතුර - Adios Ananda Liyanage


මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දෙවන වසර, විශ්ව විද්‍යාලයේ ද රටේ ද විවිධ හැලහැප්පීම්වලින් බහුල වූ කාලයක් විය.

එකල පැවති එක් ශිෂ්‍ය ප්‍රශ්නයක් විසඳා ගැනීමට මාරාන්තික උපවාසයක් ද පැවැත්වුණි. අරඹා දින පහකට පමණ පසුව අවසන් වූ මේ උපවාසය සහ ඒ හා සම්බන්ධ තවත් කරුණු කිහිපයක් ගැන සිය "තෝරාගත් මතකයන්" කිහිපයක් හෙන්රි වර්ණකුලසූරිය විසින් පසුගිය දිනක තම නොකී කතා බ්ලොගයේ ද ලියා තිබුණි.

එදා ඒ උපවාසයට සහභාගී වුණු මගේ බැචෙකු වූ ආනන්ද ලියනගේ අද අකාලයේ සිය අවසන් ගමන යයි.

උපවාසයේ යෙදීමේ වරදට ආනන්ද ලියනගේ ගේ ශිෂ්‍යභාවය අහෝසි කරනු ලැබීය. ඒ සමගම ශිෂ්‍ය සභාව ද තහනම් කර සියලුම ශිෂ්‍ය නියෝජිතයින් ගේ ද ශිෂ්‍යභාවය අහෝසි කරන ලද නිසා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට උදා වුණේ අඳුරු සමයකි.

මේ මා ඒ ගැන, ඒ කාලයේ ලියූ සටහනකි.

උපවාසයේ වීරයින් සමරමු!

අයුක්තිය ලොව කිරුළ දරණ සඳ
අසාධාරණය සැම තැනම විය
වැළලුණු සාධාරණය වෙනුවෙන්
යුක්තිය සත්‍යය වෙනුවෙන්
අප වෙනුවෙන්

නොබියව නොපැකිල
විහිළුවකටවත් කිසිවෙකු නොසිතන
තීරණයක් ගෙන
ඔබ උන්නා
දින ගණනාවක් එක සේ නොසැලී
ඉන්ද්‍ර ඛීලයක් සේ

හමන සුළඟ ඔබ වෙහෙසන්නට ඇති
වැටුණු වැස්ස ඔබ රිදවන්නට ඇති
දැඩිවූ හිරුගෙ රුදු කිරණ කැරලි ඔබ
මඩවන්නට ඇති

ඒ සේරම දේ ඉවසා සිටියත්
හිස්වූ කුසෙන් නැගෙන සා ගින්දර
ඔබ නොමරාමෙන් මරවන්නට ඇති

ඒ කිසිලෙසකින්
නොසැලී නොපැකිල
තිර අදිටනකින් සිතේ ධෛර්්‍යයෙන්
ඔබ වෙනුවෙන් නොව
අප වෙනුවෙන්
ඒ දුක් ගින්දර ඔබ උහුලන්නට ඇති

කුරිරු ලෝකයේ නෙළුම් පිපී නැත
සාධාරණයේ හිරු පායා නැත
අප වෙනුවෙන් සටනට වැදි ඔබ අද
අප අතරේ නැත

අදත් එදා මෙන්
මහවැලි ජලකඳ සරසවි භූමිය
දෙකට ඉරාගෙන ගලා බසිනවා
තෙත්වුණු ඇස් ඇති හන්තානේ කඳු
අනුකම්පාවෙන් බලා සිටිනවා
ඔබ නැති පාළුව ලොවට කියාගෙන
වෙනදා සීතල මිහිදුම් නලරැළි
උණුසුම් සැඩ සුළඟක්ව හමනවා
මැලවුණු මල්පෙති බිමට ඬැටෙනා
යුක්තිය සත්‍යය නිදියන සොහොනේ
සැමරැම් කොත මත
කපුටන් වවුලන් වසුරු හෙලනවා

අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය


(1984)

මෙහි අවසන් පද කිහිපය ගැන වැඩි විස්තර පසුගිය දා මා රාවය පුවත්පතට ලියූ ලිපියේ සඳහන් කළෙමි.

ඒම දුකකි,
යාම දුකකි,
ඒම, යාම අතර දුකකි!

ආනන්ද ලියනගේ, මිතුර ඔබට සුබ ගමන්!

-රසිකොලොජිස්ට්