Showing posts with label ආසියානු තාක්‍ෂණික ආයතනය. Show all posts
Showing posts with label ආසියානු තාක්‍ෂණික ආයතනය. Show all posts

Wednesday, 20 July 2022

රහසක් නොවූ රහස් ඡන්දය - Election secrets revealed


අද, එනම් 2022 ජූලි මස 20 වැනි දින ලංකාවේ අලුත් ජනාධිපතියෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දය නරඹමින් සිටින විට මෙම පැරණි කතාව සිහිවිය.

මා මේ සටහන ලියා පළ කරන්නේ ඡන්ද ප්‍රතිඵල දැනගෙන නොවේ. ඊට පෙර ය.

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දය රහස් ඡන්දයක් බව කියවේ. මා කියන්නට යන කතාව ද ඡන්දයක් ගැන ය. එසේම එය ද රහස් ඡන්දයක් විය. රහස් ඡන්දයක් යනු අප සැම දන්නා පරිදි, ඡන්දදායකයින් කුමන ඡන්ද අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළා ද යන්න ඡන්දදායකයා මිස වෙනත් අය නොදන්නා ඡන්දයකි.

මේ මා කියන ඡන්දය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අන්තර්ජාතික විද්‍යායතනයක් වන, එවකට පශ්චාත් උපාධි ආයතනයක් වූ, ආසියානු තාක්ෂණික ආයතනයේ ය. ඒ ආයතනයෙන් පැවැත්වෙන කාර්මික ඉංජිනේරු හෙවත් Industrial Engineering and Management පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා මම එහි ගොස් සිටියෙමි.

විවිධ රටවල් වලින් පැමිණ සිටි අපේ කණ්ඩායමේ මා ඇතුළුව ලංකාවෙන් සිසුන් සිව් දෙනෙකු ද, ඉන්දියාවෙන් තිදෙනෙකු ද, බංගලාදේශයෙන් තිදෙනෙකු ද, පකිස්තානයෙන් එක් අයෙකු ද, පිලිපීනයෙන් දෙදෙනෙකු ද, වියට්නාමයෙන් දෙදෙනෙකු ද, තායිවානයෙන් තිදෙනකු ද, බුරුමයෙන් එක් අයෙකු ද, මැලේසියාවෙන් එක් අයෙකු ද, ඉන්දුනීසියාවෙන් එක් අයෙකු ද, සහ තායිලන්තයෙන් හත් අට දෙනෙකු ද වූහ. අප සියලු දෙනාම පාහේ එහි ගොස් සිටියේ ශිෂ්‍යත්ව ලබා ය. මගේ ශිෂ්‍යත්වය ලබා දුන්නේ ජර්මානු ෆෙඩරල් ජනරජයෙනි.

අපේ දේශන ඇරඹූ මුල් සතියේ ම, එක් විෂයයක් ඉගැන්වූ ආචාර්යවරයෙකු කියා සිටියේ යම්කිසි පොතක කොටසක් අප සියලු දෙනාම කියවිය යුතු බවත්, එහි පිටපතක් පුස්තකාලයේ නොමැති නිසා ඔහු සතුව ඇති පිටපත එක් අයකුට ලබා ගෙන අන් සියලු දෙනාටම ඡායාපිටපත් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ය. මේ සඳහා ස්වේච්ඡාවෙන් අප අතරින් අයෙකුට ඉදිරිපත් වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

පකිස්ථානයෙන් පැමිණ සිටි කසීම් අලි ෂා මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු එම කටයුත්ත ද ඉතාමත් කැපවීමෙන් සිදු කළේ ය.

කොහොමටත් අලි ෂා යනු ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඕනෑම අයකු හමු වූ වෙන මොහොතේ දී ම අතට අත දී ගුඩ් මෝනින්, ආෆ්ටර්නූන් යනුවෙන් ආචාර කරයි. වචනයක් දෙකක් කතා කර නැවත වෙන් වී යන විට ද ඒ ආකාරයට ම අතට අත දී ආචාර කරයි.

අප ඉගෙනුම අරඹා දෙවන සතියේ දී අපේ පන්ති කාමරයට පැමිණි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු කියා සිටියේ, ශිෂ්‍ය සංගමයේ දී අපේ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා නියෝජිතයකු පත් කරගත යුතු බවයි. ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අපෙන් එක් අයෙකු පකිස්තානු ජාතික අලි ෂා ගේ නම යෝජනා කළ අතර ඊළඟට නැගී සිටී පිලිපීන ජාතික සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු අනිත් පිලිපීන සිසුවා ගේ නම යෝජනා කළේය.

නම් යෝජනා කිරීමක් මිස ස්ථිර කිරීමක් අවශ්‍ය වූයේ යැයි මගේ මතකයේ නැත.

දැන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති නිසා රහස් ඡන්දයක් පැවැත්වෙන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයා අපට දැනුම් දුන්නේ ය.

ඔහුගේ මුලිකත්වයෙන් පැවතුණු ඒ රහස් ඡන්දයේදී අප කළ යුතුව තිබුණේ කඩදාසි කැබැල්ලක අප කැමති අපේක්ෂකයාගේ නම ලියා මුලසුනේ සිටි ඔහුට ගෙනැවිත් දීමයි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ විට අපට දැනගන්නට ලැබුණේ අලි ෂා පන්තියේ ඡන්ද වලින් දෙකක් හැර අන් සියල්ලම ලබා ගෙන ඇති බවයි.

විකල්ප අපේක්ෂකයා වූ පිලිපීන ජාතික ශිෂ්‍යයා ලබාගෙන තිබුණේ ඡන්ද දෙකක් පමණි.

ඒ ඡන්ද දෙක කාගේද යන්න කිසිවෙකුට රහසක් නොවී ය.

එනිසා අලි ෂාට ඡන්දය දුන්නේ කව්ද යන්න ද කිසිවෙකුට රහසක් නොවී ය.

රහස් ඡන්දයක්, රහසක් නොවුණු ඡන්දයක් බවට පත් වූයේ එලෙස ය.

අද පැවැත්වෙන ලංකාවේ ජනාධිපතියා තෝරා ගැනීමේ ඡන්දයේ දී ද අනුර දිසානායකට ලැබෙන්නේ ඡන්ද තුනක් පමණක් නම් ඒ කාගේ ඡන්ද ද යන්න පිළිබඳව කිසිවෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

ඡන්ද තුනකට වඩා ලැබුණොත් එය සෑහෙන සාකච්ඡා වලට බඳුන් වෙනු ඇති අතර ලැබුණේ ඡන්ද තුනකට වඩා අඩුවෙන් නම් එය සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙනු ඇත.

-රසික සූරියආරච්චි

ප/ලි: ඡන්ද ප්‍රතිඵල දැන ගත් පසු මෙම සටහන සංස්කරණය කිරීමට අදහස් කළෙමි. සටහන පළ කර් පැය දෙකක් යන්නටත් පෙර ප්‍රතිඵල නිකුත් වූ අතර කිසිදු වෙනසක් කළ යුතු නැති බව පෙනේ.

මීටත් වඩා රහස්, එසේම රහස් මේ ආකාරයට එළිදරව් නොවුණු රහස් ඡන්දයක් ගැන කතාවක් තව දින දෙක තුනකින් ලියා පළ කරමි.

ප/ප/ලි:
ආසියානු තාක්ෂණ ආයතනය හා සම්බන්ධ මා ලියා ඇති වෙනත් සටහන්.

1. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
https://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


2. විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?
https://rasikalogy.blogspot.com/2016/10/what-taste-is-whiskey.html


3. "සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?
https://rasikalogy.blogspot.com/2017/06/what-hell-is-disaster-preparedness.html


(image: Captured for the live telecast by the Paliament of Sri Lanka)

Thursday, 1 June 2017

"සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?


"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන වචනය මා මුලින් ම ඇසුවේ තායිලන්තයේ බැංකොක් නගරාශ්‍රිතව පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ (AIT) ඉගෙනීම ඇරඹූ සමයේ දී ය. සිංහලෙන් ඒ සඳහා "ආපදා පෙර සූදානම" යන්න යෙදිය හැකි ය.

එකල පශ්චාත් උපාධි ආයතනයක් වූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" නමින් සුවිශේෂී මධ්‍යස්ථානයක් විය. එක්සත් ජාතීන් ගේ සංගමයේ වාර්තාවක ප්‍රතිඵලයක් ලෙස පිහිටුවා තිබුණු මේ මධ්‍යස්ථානය මගින් සිදු කළ මූලික ම කර්තව්‍යයක් වූයේ ආසියාකරයේ රාජ්‍ය නිලධාරීන් සඳහා මේ විෂය සම්බන්ධයෙන් සති අටක කෙටි පාඨමාලා පැවැත්වීමයි. ඒ පාඨමාලා සඳහා ලංකාවෙන් ද, දිසාපතිලා, උප දිසාපතිලා, ලේකම්ලා සහ වෙනත් නිලධාරීන් සහභාගී වූ බව කියවිණි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" හෙවත් "ආපදා පෙර සූදානම" යන්න එතෙක් මා අසා නොතිබුණු, එසේ ම, අමුතු ආකාරයක යෙදුමක් වූ බැවින් මම එයින් අදහස් කෙරෙන්නේ කුමක්දැයි මදක් සොයා බැලුවෙමි.

මට වැටහුණු ආකාරයට, "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" යන්නෙන් අදහස් කෙරෙනුයේ ආපදාවකට සාර්ථකව මුහුණ දීම සඳහා, කල් වේලා ඇතුව, මනා සේ සූදානම් වීමයි. එමගින් අපේක්‍ෂා කෙරෙන්නේ ආපදාවේ අනිසි ඵල ලෙස අනතුරු ඇතිවීම හැකි උපරිම දුරකට වලක්වා ගැනීම සහ එවැනි අනතුරු නිසා සිදුවන හානිය හැකි උපරිම දුරට අඩු කර ගැනීමයි.

ආපදාවකින් අනතුරු, ජීවිත හානි, දේපල හානි සිදු වූ පසු ඒ තත්වය කළමනාකරණය කිරීම "ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" විෂයයට අදාළ, නමුත්, වෙනස් වැඩ කොටසකි. "ඩිසාස්ටර් මැනේජ්මන්ට්" හෙවත් ආපදා කළමනාකරණය ලෙස හැඳින්වෙන්නේ ඒ විෂයයයි.

ගංවතුර, සුනාමි, ගිනිකඳු, නායයාම්, භූමි කම්පා, ලැව් ගිනි යනාදී ආපදා තත්වයන් උදා කරන ස්වාභාවික ව්‍යවසන ඇති බව අපි දනිමු. එසේ ම, දුම්රිය, ගුවන්යානා අනතුරු, ගිනි තැබීම්, ගිනි ගැනීම් යනාදී අවාසනාවන්ත සිදුවීම් ද, ආපදා තත්වයන් උදා කරයි.

"ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස්" ක්‍රමවේදයෙන් අදහස් කෙරෙන්නේ එසේ ස්වභාවික හෝ මිනිසුන් විසින් ඇති කරන ලද විපත් මගින් අනතුරුදායක තත්වයන් ඇති වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේ ම, නොවැළැක්විය හැකි අනතුරු මගින් සිදුවන ජීවිත හානි, දේපල හානි සහ ජන ජීවිතය අවුල්වීම අඩු කර ගැනීමයි.

වැස්ස අපට නැවතිය නොහැක. අවම කළ නොහැක. කෙටි කාලයක් තුල විශාල වැස්සක් විශාල ප්‍රදේශයකට ඇද හැලුණු විට, ඒ වතුර සාමාන්‍ය ස්වභාවික සහ කෘතිම ජල ප්‍රවාහන පද්ධති පරයා පිටාර ගැලීම ද අපට වැලැක්විය නොහැක. මක් නිසා ද යත්, සෑම පද්ධතියක් ම, උපරිම ධාරිතාවය සහිතව සකසා තැබීම ආර්ථිකවශයෙන් ඵලදායී නොවන ඊටත් වඩා බොහෝ විට ප්‍රායෝගිකව කළ නොහැකි කටයුත්තක් වන නිසා ය.

එසේ නම්, අපට කළ හැක්කේ කුමක් ද?

වර්ෂාව වැටුණු පළියට ම, අප එයට තෙමිය යුතු නැත. එසේ ම, වැරදීමකින් හෝ වැස්සට තෙමුණු පළියට හෙම්බිරිස්සාව හදා ගත යුතු ද නැත. එසේ ම, හැදුණු හෙම්බිරිස්සාව, පසුව නිව්මෝනියාවට පෙරළා ගත යුතු ද නැත. නිව්මෝනියාව සැදුණ ද ඒ හේතුවෙන් මිය යා යුතු ද නැත.

ඒ සැම එකකින් ම වැලකී සිටීමට ක්‍රම තිබේ. එසේ ම, අනිසි ප්‍රතිඵල අවම කර ගැනීමට ද ක්‍රම තිබේ. අප කළ යුත්තේ ඒවා සොයා බලා, සැළසුම් කර, සූුදානම් ශරීරේ තත්වය උදා කර ගැනීමයි.

එසේම, අනෝරා වැසි වැටුණු පමණින්, ගංවතුර පිටාර ගැලූ පමණින්, කඳු නාය ගිය පමණින් මිනිස් ජීවිත නැති විය යුතු නැත. නිවාස විනාස විය යුතු නැත. ජන ජීවිතය මෙතරම් අඩාල විය යුතු නැත. ඒ සියලු දේ බොහෝ දුරට හෝ වලක්වා ගැනීමට මෙන් ම, සිදුවන ජීවිත හානි සහ දේපල හානි අවම කර ගැනීමට ද ක්‍රම ඇත.

මේ අනුව, ආපදාවක් ඇති වුණු පසු එයින් වැනසෙන අවුල්වෙන සියළු දේ යථාතත්වයට පත් කිරීම සඳහා මනා ආපදා කළමනාකරණය අවශ්‍ය වුව ද, ඊට වඩා වැදගත් වන්නේ, ආපදා පෙර සූදානම බව පැහැදිළි ය.

හරියටම කිවහොත්, ලෙඩ සෑඳී, වැඩ අවුල් වී, ප්‍රතිකාර ගැනීමට පෙර, ලෙඩ නොසෑදෙන පරිදි සෞඛ්‍ය සම්පන්නව සිටීම වැනි ය.

අවාසනාවන්ත තත්වය නම්, ආපදා පෙර සූදානම පිළිබඳව හොඳින් දන්නා අය කිහිප දෙනෙකු හෝ ලංකාවේ සිටිති. තම අමාත්‍යාංශය විසින් ස්වභාවික ආපදාවල දී සිදුවන ජීවිත හානි, යටිතල පහසුකම්වලට සිදුවන හානි සහ ආර්ථියට සිදුවන හානි අවම කර ගැනීමේ වැඩ පිළිවෙලක් පෙළ ගස්වා ඇති බව ආපදා කළමනාකරණ ඇමති, මේ ව්‍යවසනය සිදුවීමට පෙර, අන්තර්ජාතික සමුළුවක දී පුරසාරම් දොඩා ඇති බව ද කියවේ.

නමුත් ප්‍රායෝගිකව ඒ කිසිවක සාර්ථකත්වයක් අපට දක්නට ලැබුණේ නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිබඳව පුද්ගලික මට්ටමෙන් වැදගත් විය හැකි සටහන් කිහිපයක් පහත අඩවියේ ඇත.
http://fluxdesignlabs.com/infographics/disaster/

(image: http://www.uctv.tv/series/Disaster-Preparedness-The-Impact-of-Dealing-with-the-Unexpected-822)

Thursday, 6 October 2016

විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?


වෑන් ෆ්‍රෝසම් සහ වෑන් ඔයුඩියුස්ඩන් නම් බෙල්ජියන් ජාතික ආචාර්යවරුන් ගැන මා ලියූ ලිපි ද්වයේ සඳහන් වුණු, මා පශ්චාත් උපාධියක් ලබාගත් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ආසියානු තාක්‍ෂණික ආයතනය, අද වන විට වසර හැටකට කිට්ටු ඉතිහාසයක් ඇති විශ්ව විද්‍යාලයකි. සියැටෝ ග්‍රැජුවේට් ස්කූල් ලෙස මෙය ඇරඹී ඇත්තේ වසර 1959 දී ය.

සියැටෝ (SEATO) යනු සවුත් ඊස්ට් ඒෂියා ට්‍රීටි ඕගනයිසේෂන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය නම් නේටෝ (NATO) ආකාරයේ ආරක්‍ෂක එකමුතුවකි.

තායිලන්තයේ පිහිටා තිබුණද ආසියානු තාක්‍ෂණික ආයතනය ජාත්‍යන්තර ආයතනයකි.

කොටින් ම එකල මේ ආයතනයේ සේවය කළ විදෙස් රටවලින් පැමිණි කාර්ය මණ්ඩලයට තීරු බද්දෙන් තොර මත්පැන් පවා මිලට ගත හැකි විය. ආයතනය තුළ පිහිටුවාගෙන තිබුණු අපේ ශ්‍රී ලාංකික සංවිධාධනය විසින් අධ්‍යයන වාරයකට දෙවරක් සංවිධානය කළ, පිළිගැනීමේ සාදය සහ සමුගැනීමේ සාදය යන උත්සව ද්වයට තමන් ගේ තීරු බදු රහිත කෝටාවෙන් ලබා ගන්නා විස්කි බෝතලයක් දෙකක් පරිත්‍යාග කිරීමට අධ්‍යයන මණ්ඩලයේ සිටි ශ්‍රී ලාංකික ආචාර්යවරු ත්‍යාගශීලි වූහ.

ලංකාවේ දී පොල්, ඕල්ඩ්, මෙන්ඩිස් යනාදී අරක්කු වර්ග සහ බියර් පමණක් පානය කර තිබූ මා මුලින් ම විස්කි පානය කළේ ආසියානු තාක්‍ෂණික ආයතනයේ දී ය. ඒ බැලන්ටයින් නම් ස්කොට්ලන්තයේ නිෂ්පාදිත විස්කි වර්ගයයි.

ඒ කඩඉම් අත්දැකීමෙන් අද මගේ මතකයේ රැඳී තිබෙන්නේ, අයිස් සහ කෝකා කෝලා සමග පානය කළ මුල් ම විස්කි වඩියේ මට දැනුණේ "පිදුරු රහක්" බව පමණකි.

දැන් ඔබ ඒ ප්‍රශ්නය මගෙන් අසන්නට පෙර ම අදාළ පිළිතුරු දෙනවා නම්, එදා බැලන්ටයින් විස්කි වඩිය බිව් දිනයට කලින් හෝ ඊට පසු හෝ මා පිදුරු අනුභව කර හෝ පිදුරුවලින් නිපදවනු ලැබූ දෙයක් පානය කර හෝ නොමැත.

මෙහිදී, බැලන්ටයින් විස්කි වඩියේ පිදුරු රසයක් දැනුණා ය යන්නෙන් මා අදහස් කරන්නේ අපේ ආච්චී තමන් ගේ කුඹුරු ලියදි කිහිපය විකුණන්නට පෙර මා ළමා කාලයේ දී වසරකට දෙවරක් මුලින් ම කමත පිහිටි බදුවත්තේත්, පසුව බැත නිවසට ගෙනා පසු නිවස පුරාත් පැතිරුණු, අපූරු සුවඳ එහි තිබුණු බව ය.

ආසියානු තාක්‍ෂණික ආයතයේ උපාධිය නිමවා, සමුගැනීමේ සාදයේ දී ද විස්කි වඩියක් පානය කර පෙරළා ලංකාවට පැමිණි පසු, යළිත් -සියරට දේ සිරි සැප දේ- යන්න අකැමැත්තෙන් නමුත් පිළිපදින්නට වීම නිසා ඒ ස්කොට්ලන්ත විස්කි රස මට ක්‍රමක්‍රමයෙන් අමතක ම වී ගියේ ය.

යළි ඒ නැවුම් "පිදුරු රසය" විඳගන්නට මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණේ තවත් වසර තුනකට පමණ පසුව ය.

එය වෙනම ම ලිවිය යුතු කතාවක් හෙයින් අදට මෙයින් නවතිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පාරිභෝගික අවවාදය.
  • මත්පැන් බීම ශරීර සෞඛ්‍යට අහිතකර ය.
  • ස්කොට්ලන්ත විස්කි බීම බැංකු ගිණුම් ශේෂයට අහිතකර ය.

ප/ප/ලි:
විස්කි වර්ග ගැන කතා කරන විට මේ යර්ස් මිනිස්ටර් කතාංගය අමතක කරන්න බෑ!



(image: https://www.linkedin.com/pulse/whisky-ballantines-shirley-yuan)

Thursday, 14 July 2016

ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum


ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මට හමුවුණේ මා තායිලන්තයේ බැංකොක් නගරයෙන් උතුරු දිසාවේ පැතුම්තානි දිස්ත්‍රික්කයේ රන්සිට් නගරය අසල පිහිටුවා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරන්නට ගොස් සිටි කාලයේ දී ය. රවුම් මුහුණක් ද, නළල සහ දෙකන් වැසෙන්නට සකසන ලද කිරි කෝපි පැහැති බීට්ල්ස් පන්නයේ කොණ්ඩයක් ද, තරමක් ස්ථුල සිරුරක් ද හිමි බෙල්ජියන් ජාතිකයෙකු වූ වෑන් ෆ්‍රෝසම් එවකට වයස තිස් දෙකක් පමණ වූ සාපේක්‍ෂව ඉතා තරුණ ආචාරයවරයෙකු විය.

ආර්ථික විද්‍යාව පිළිබඳ පීඑච්ඩී උපාධිධාරියෙකු වූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම්, ඔහු ගේ ප්‍රධානත ම විෂයය වූයේ ආර්ථිකමිතිය (Econometrics) වුවද, අපේ පශ්චාත් උපාධි පාඨමාලවේ මුල් වාරයේ දී අපට සම්භාවිතාව සහ සංඛ්‍යානය ඉගැන්වී ය.

මේ විෂයය සඳහා අපට නියමිත පාඨ ග්‍රන්ථය වුනේ ෂෙල්ඩන් රොස් විසින් රචිත Probabilistic Models නම් තවමත් මුද්‍රණය වන පොතකි. අප කණ්ඩායමේ සියලු දෙනා ම ඒ පොතේ ඡායා පිටපත බැගින් මුල් සතියේ ම සකසාගත්ත ද, ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඔහු ගේ ම දේශන සටහන් සහිත මුද්‍රණය කර ස්පයිරල් බැම්මෙන් බඳින ලද පොතක් ද අපට බෙදා දුන්නේ ය.

මේ වෑන් ෆ්‍රෝසම් සටහන් පොත කියවද්දීත්, දේශන ශාලවේ දී ඔහු කොළ-ලෑල්ලේ (ඒවා කළු පැහැති කළුලෑලි නොවීය!) ලියූ වචන කියවීමේ දී ද, අපට ඇතිවුණු මූලික ගැටලුවක් වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඉංග්ලිෂ් වචන, අප පසුව වටහාගත් පරිදි ජර්මන් (හෝ ඩච්) ආකාරයට ලිවීමයි.

උදාහරණයක් ලෙස ඔහු coefficient of correlation යන්න ලියන්නේ coefficientofcorrelation කියා ය. එසේම, chi square test යන්න ලියන්නේ chisquaretest යැයි කියා ය.

මෙය මුලදී අපට විමතියට සහ විහිළුවට කාරණයක් වුවත්, ටික දිනකින් ම අප එයට පුරුදු වීමූ.

තම අමුතු ආකාරයේ ලිවීම ගැන කනගාටුව පළකරමින් ආචාර්යවෑන් ෆ්‍රෝසම් කියා සිටියේ, තමන්ගේ මව් භාෂාව ඩච් (Dutch) බවත්, ඊට අමතරව ප්‍රංශ, ජර්මානු සහ ඉංග්ලිෂ් භාෂාවලින් තමන් වැඩ කටයුතු කරන බවත් ය, සමහර වචන ලියන විට පෙර කී ආකාරයේ කුඩා අත්වැරදීම් වන්නේ ඒ නිසා බවත් ය.

ඔහු එතරම් සංඛ්‍යාවක් භාෂා දැන සිටීම ගැන අප පුදුමය පළ කළ විට ආචාරය වෑන් ෆ්‍රෝසම් වැඩි දුරටත් කියා සිටියේ තමන් ඉංග්ලිෂ් ඉගෙන ගත්තේ නම් පාසලේ දී වුවත්, බෙල්ජියමේ ඔහු ගේ ගම් ප්‍රදේශයේ ජීවත්වෙන ඕනෑම කුඩා දරුවෙකුට පවා පෙර කී භාෂා කිහිපයක් ම හැසිරවීමට හැකි බවයි.

මා කලින් දිනයක ලියා පළ කළ "(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish" නම් ලිපියේ දී මා සඳහන් කළේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් කියූ මේ කතාවයි.

එනම්, කුඩා කාලයේ දී දරුවෙකුට භාෂා තුන හතරක් එක සේ කතා කිරීමට ඉගෙන ගැනීම ඉතා පහසු කටයුත්තක් බවයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.linkedin.com/)