Showing posts with label මගේ වෘත්තීය දිවිය. Show all posts
Showing posts with label මගේ වෘත්තීය දිවිය. Show all posts

Friday, 22 March 2024

චන්ද්‍රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය - Good bye Professor Chandrasiri Palliyaguru


මා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටියෙමි.

ඒ පුද්ගලයා චන්ද්‍රසිරි පල්ලියගුරු නම් විය.

ඔහුගේ නම අසා දැන තිබීමට එකම හේතුව වූයේ ඔහු විසින් ලියා සනත් නන්දසිරි විසින් ගායනා කර තිබුණු "ඉරා අඳුරු පට" නම් ගීතයයි.

ස්ථායි කොටස සහ අන්තරා කොටස් දෙකේ අච්චුවේ නිෂ්පාදනය වෙන අති බහුතරයක් වූ සිංහල ගීත හා සංසන්දනය කරන විට ඉරා අඳුරු පට යනු අසමසම ගීතයකි. එමෙන්ම විශිෂ්ට ගීතයකි.

විශ්වවිද්‍යාලයේ සේවය අරඹා ටික දිනකින්ම මා දැන හඳුනාගත් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු යනු අතිශය නිර්ව්‍යාජ මනුස්සයෙකි. කැලණියේ වැඩ කරන කාලයේ ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ දී නිතරම මුණ ගැසීමෙන් අප අතර හිතවත්කමක් ඇති විය. ඔහු තමන් ලියූ රසඥතාවය පිළිබඳ පොතකුත් මට තෑගි කළේය.

ඒ කාලයේදී ම ඔහුට සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය තනතුර ලැබුණි.

අපේ දියණිය ඉපදී දිනකින් පමණ ඇයට නමක් තැබීමට උපදෙස් ගැනීම සඳහා ම සිංහල අධ්‍යයන අංශයට ගියෙමි. බිරිඳගේ සහ මගේ නම් එකතු කර දියණියට නමක් අප ඒ වන විටත් නිර්මාණය කරගෙන තිබුණු අතර මට අවශ්‍ය වූයේ ඇගේ දෙවැනි නම සඳහා ග-අකුරෙන් ඇරඹෙන නමක් තෝරා ගැනීමයි.

සිංහල අංශයේ දී මහාචාර්ය පල්ලියගුරු හමු වූ විට ඔහු මා කැඳවාගෙන විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත ගියේය. එහි පරිශීලන අංශයට ගොස් ඔහු අතට ගත්තේ සංස්කෘත සිංහල ශබ්දකෝෂයයි. එහි ගයන්න ඇරඹෙන පිටුව පෙරළා එතැන් සිට උඩට පහළට යමින් පිටු පෙරළමින් ඔහු මා සමග සෑහෙන වේලාවක් ගත කළේ ය. දින කිහිපයකට පසු දියණියගේ උප්පැන්න සහතිකයට ඇතුළත් වූයේ එදා මහාචාර්ය පල්ලියගුරු මට තෝරා දුන් නමයි.

අද 22 මාර්තු 2024 දින, මීට මොහොතකට පෙර, මා මිත්‍ර කුසුම්සිරි විජේවර්ධන විසින් මහාචාර්ය පල්ලියගුරු සමග කරන ලද සාකච්ඡාවක් අනුසාරයෙන් ලියූ සටහනක් පල කර තිබුණි. එය කියවන මොහොතේ මා සිතුවේ පුවත්පත් කලාවේදියෙකුට වන කුසුම්සිරි තම පුවත්පතට ඊයේ පෙරේදා ලියූ ලිපියක් මෙලෙස පල කර ඇති බවයි.

එම ලිපිය කියවද්දී චන්ද්‍රසිරි පල්ලියගුරු කැලණිය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වී ඇත්තේ 1961 වසරේ දී බවත්, විශේෂයෙන්ම ඔහු කැලණියට පැමිණියේ හින්දි භාෂාව ඉගෙනීමට බවත්, ඊට අමතරව සිංහල සහ සංස්කෘත භාෂා ද ඉගෙන ගත් බවත්, හින්දි භාෂාවෙන් සිව් වසරක විශේෂවේදී උපාධියක් කිරීමට විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නොතිබුණු හේතුව නිසා සිංහල විශේෂවේදි උපාධිය සඳහා ලියාපදිංචි වූ බවත් එම ලිපියේ සඳහන් විය.

සිංහල මහාචාර්යවරයා සංස්කෘත ශබ්දකෝෂයක් පරිශීලනය කළේ ඇයි යන්න පිළිබඳව මගේ හිතේ කොනක දිගු කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුර එයින් ලැබුණි.

ඉදිරි දිනක ලංකාවට ගිය වෙලාවක චන්ද්‍රසිරි පල්ලියගුරු හමුවීමට යා යුතු යැයි මම සිතුවෙමි. මා කිසි දිනක ඔහුගේ නිවසට ගොස් නැති වුනත් එය පිහිටා ඇත්තේ කඩවත නිකාඩෝ සමාගම තිබුණු ප්‍රදේශයේ බවට මතකයක් ද අවදි විය.

මහාචාර්යවරයා මියගොස් ඇති බව දැනගත්තේ එම ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර කියවද්දී ය.

දැන් ඉතින් කීමට ඇත්තේ "සුභ ගමන් මිතුර!" කියා පමණි.

"එන්න මගේ ප්‍රිය මිතුරෝ!" යැයි කියමින් ඔහු දිනක මට ද අඬ ගසනු ඇතැයි සිතමි.

------------------------------------------------------

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිලිසෙන පිණි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ
ඉරු රැස් දැඩි වී ඇකිලී ගුලි වී
බොඳවී යාදෝ මිණි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ
ඉර හඳ නැති වී සුළඟ සුසුම්ලන
දවසක් ඇවිදින් උදාගිරෙන්
කඳුළත් සුසුමත් හදින් ගලන තෙක්
එකමුතු වී අපි ඉමු මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ
එන්න මගේ පිය මිතුරෝ

පදමාලාව: චන්ද්‍රසිරි පල්ලියගුරු
සංගීතය: ප්‍රේමසිරි කේමදාස
ගායනය: සනත් නන්දසිරි

මේ 1974 වසරේ තිරගත වූ "අහස් ගව්ව" චිත්‍රපටයේ තේමා ගීතයයි.

(image: Daily News, 22 March 2024)

Saturday, 28 October 2023

වැඩි දෙනෙකුට නොතේරෙන කතාවක් - Perhaps married men will understand this

මේ පහත දැක්වෙන කෙටි සටහන මා ෆේස්බුක් අවකාශයේ පළ කළ විට එය සිය දෙනෙකු පමණ කියවා ඇති බව ද, ඉන් 45 දෙනෙකු විවිධාකරයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව ද මට පෙණුනි.

නමුත් ඒ පිරිස අතරින් මා කියා ඇති කතාව අවබෝධකරගෙන ඇත්තේ අතලොස්සක් බව ද ප්‍රතිචාරවලින් වටහා ගත හැකි විය.

මා දන්නා සිංහල බ්ලොග් කියවන්නන් යනු ෆේස්බුක්වාසීන්ට වඩා වෙනස් පිරිසක් නිසා, මේ පහත සටහන කියවන අයගෙන් නම් බහුතර පිරිසක් එයි අදහස නිවැරදිව වටහා ගනු ඇතැයි සිතමි.



සම්මුඛ පරීක්ෂණ වලදී අසනු ලබන සම්මත ප්‍රශ්න රාශියක් තිබේ. මේ ඉන් එකකි.
ඔබට එකම දිනයේ කර නිමා කළ යුතු වැඩ රාජකාරි රාශියක් ඇති විට ඒවා කළමනාකරණය කර ගන්නේ කෙසේද?

නිසි පරිදි සේවා සපයන ආයතනයක වසර දෙක තුනක් සේවය කර පළපුරුද්ද ඇති අයෙකු මෙයට දිය යුතු නිවැරදි උත්තරය හොඳින් දනී.

කාර්යය නිම කළ යුතු දිනය එළඹ තිබුනත් හදිසි අවශ්‍යතාවක් නැති නිසා සල්ලි ඉල්ලා ගත්ත හැකි දේ හඳුනා ගෙන එය කළමනාකරණය කිරීම

ඉතා වැදගත් අගයකින් යුතු කටයුතු වහා නිමා කිරීම

කාර්යය නිමා කිරීම සඳහා අවශ්‍ය පරිදි අතිකාල සේවය කර නියමිත කාර්යය අවසන් කිරීම

හැකියාව ඇති පරිදි වෙනත් අයට වැඩ පැවරීම (deligation)

අතිරික්ත කටයුතු සඳහා සම්පත් ලබා ගැනීම (sub contract)

ඒ අතර වේ.

ඒ සමගම මා පවසන තවත් කරුණක් නම්, ඔය මොන deadlines, due dates, priorities, contractual obligations තිබුණත් ඒ සියල්ල මැද ආයතනයේ තමන්ට ඉහළින් සිටිනා කළමනාකරුගෙන් යම්කිසි කාර්යයක් පැවරුවහොත් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි.

සති අන්තයේ දිනවල උදෑසන මට මේ අවසානයට දක්වන ලද කළමණාකරන මූලධර්මය ඉතා ප්‍රයෝජනවත් වේ.


බලමු! - රසික සූරියආරච්චි

(image: created using an AI image creator via Bing to celebrate a milestone in my YouTube channel.)

Friday, 16 March 2018

දෙයියා යැදූ විභාගෙ ෆේල් මිතුරා - Oh, these people


පසුගිය දා මා සැලසුම් නොකරම සිදුකළ "දෙයියාගේ පිහිට ලැබෙනාකාරයේ සත පනහේ පිං අතේ වැඩක්" නිසා දිගින් දිගටම දෙයියා ගැන කතා සිහියට නැගෙන්නට පටන්ගෙන ඇත.

මේ තවත් කතාවකි.

මේ කතාව මා යතුරු ලිවීම ඇරඹුවේ එදිනම නමුත් විවිධ හේතු නිසා අවසාන සංස්කරණය කර පළ කිරීම තරමක් පමා කරන්නට සිදුවිය.

මේ කියන කාලයේ මම "පස්තාච්චි කුපාඩි" යැයි සමහරුන් විසින් හැඳින්වෙන පශ්චාත් උපාධියක් හදාරමින් සිටියෙමි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ ය. කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය (industrial engineering and management) පිළිබඳ ඉංජිනේරුපති (Master of Engineering) උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා සිටි තිස් දෙනෙකු පමණ වූ අපේ පිරිසේ ලංකාවේ මැවිසුරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ ආසියාතික රටවලින් පැමිණි සිසුහු වූහ.

ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙකු වූයේ පකිස්ථානු ජාතික කසීම් වලීඩ් අලි ෂා ය. ඒ ආකාරයේ නම්වල පුද්ගල නාමය කුමක් ද, පෙළපත් නාමය කුමක්දැයි හඳුනා ගත නොහැකි නිසා අප පහසුවට ඔහු ඇමතූවේ අලී කියා ය.

වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නිරතු මැවිසුරවෙකු වූ අලී ලාහෝර්වාසියෙකි. ඉතාමත් විනීත ගති පැවතුම් ඇත්තෙකි. උස මහත පාංශු දේහධාරියෙකු වුව ද, කතාවෙන් ශාන්ත පුද්ගලයෙකි. හැමට උදව් කිරීමට ඉදිරිපත් වෙන්නෙකු නිසා සතියකින් පමණ අප කණ්ඩායමේ නියෝජිතයා ලෙස ද නිතරගයෙන් පත්විය.

කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව වූ අපේ පශ්චාත් උපාධියේ මුල් වාරයේ අපට විෂයයන් හතරක් හැදෑරීමට නියමිතව තිබුණි. එයින් නිෂ්පාදන කළමනාකරණය (Production Management), මූලික ප්‍රශස්තිකරනය (Fundamentals of Optimisation) සහ ආර්ථික විද්‍යාවේ මූලධර්ම (Principles of Economics) යන විෂයයන් කෙසේ වෙතත්, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා තිබුණු අප සමහර දෙනෙකුට ද උත්සාහයකින් තොරව වටහා ගැනීමට අසීරු විෂයයක් වූයේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම (Introduction to Probability and Statistics) නම් විෂයය යි.

අලී ෂා ට නම් ඒ විෂයයේ අන්තර්ගතය "අණ්ඩර දෙමළ" හෝ "බොල්චොස්ථාන් උර්දු" වැනි විය. එයට හේතුව ලෙස ඔහු අප සමග කීවේ, ඔහු ඒ සංකල්ප මීට කලින් අසා නැති බවයි. අපේ කණ්ඩායමේ සිටි ලාංකික සිසුන් සිව් දෙනා ම හයේ පන්තියේ සිට ම පාසලේ දී සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගෙන, පසුව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඒ පිළිබඳව තවදුරටත් ඉගෙන තිබුණ ද, ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබුණු අලි ෂා ගේ පාකිස්ථානු ඉංජිනේරු උපාධියට හෝ ඒ විෂයය කරුණු ඇතුළත් වී තිබී නැත.

සති හයකින් පමණ පසු පැවැත්වුණු වාර මැද පරීක්‍ෂණයේ දී, මා ද ඇතුළු සිසුන් බහුතරය සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප විෂයයයෙන් ජාම් බේරාගෙන තිබුණි. නමුත්, අලී ගේ ප්‍රතිඵලය නම් ඉතා දුක්බර එකක් විය. කොටින් ම, අවසාන විභාගයේ දී තම ප්‍රතිඵලය අතිවිශාල වශයෙන් වෙනස් කර ගැනීමට හැකි නොවුණහොත් ඔහුට පාඨමාලාව ඉදිරියට හැදෑරීමට ආයතනයෙන් ඉඩ නොදෙනු ඇති බව පෙනුණි.

අපේ හිතමිතුරාට මේ විෂයය අවබෝධ කර ගැනීමට උදව් කරනු වස්, ඉන්දියාවෙන් පැමිණ සිටි අංජනී කුමාර් ෂර්මා ද, මා ද, අලී ෂා සමග එකතුව අවසාන විභාගය සඳහා සූදානම් වීමට සිතුවෙමු.

මෙවැනි කුඩා කණ්ඩායම් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ කුඩා කාමර පැය කිහිපයකට වෙන් කර ගත හැකිය. කලින් කතා කරගත් ආකාරයට අපි තිදෙනා එක් සවස් වරුවක මේ කාමරයකට රැස් වී විෂයය කරුණු සාකච්ඡා කරමින් අපට නියමිතව තිබුණු පාඨ ග්‍රන්ථය වූ ෂෙල්ඩන් රොස් ගේ (Introduction to Probability) පොතේ එන අභ්‍යාස කිරීම ඇරඹුවෙමු.

එක් මොහොතක තම අත් ඔරලෝසුව දෙස බැලූ අලී කලබලයකින් මෙන් නැගිට්ටේ ය. ඒ වැසිකිළියට යාම වැනි දෙයකට යැයි මට ඒ මොහොතේ සිතෙන්නට ඇත. නමුත් අලී කළේ, වහා ම ඒ කුඩා කාමරයේ එක් කොනකට ගොස් බිම දණගසා මට පෙනුණු ආකාරයට යම් කිසි වන්දනාවක් වැනි දෙයක් කිරීමට පටන් ගැනීමයි.

ඒ දසුනෙන් මා විමතියට පත් වූ බව වටහා ගත් ඉන්දියානු මිතුරා මට සෙමෙන් පවසා සිටියේ ඒ අලී යාඥා කරන බවයි. ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.

මා සිතන ආකාරයට මේ යාඥාව සඳහා විනාඩි පහක් හෝ ඊටත් වඩා කාලයක් ගත වෙන්නට ඇත.

අවසානයේ නැවතත් අප හා එක්වුණු අලී පැවසූයේ තමන් එලෙස දිනකට පස්වතාවක් දෙවියන්ට යාඥා කරන බවයි.

මගේ ඇඟේ ලේ රත් වෙන්නට පටන් ගත්තේ එවිට ය.

"අලී මං උඹට පොඩි අවවාදයක් දෙන්න ද?" මම අලී ඇමතුවෙමි. "එක්කෝ උඹ ඒ විදියට දවසකට යාඥාකරන වැය කරන පැය භාගයටත් වඩා වැඩි කාලයත් ඉගෙනීමට යොදපං, නැතිනම් පස් පාරක් නොවෙයි විසි පස්පාරක් දවසකට දෙයියාට යාඥා කරලා මේ විෂයය පාස් කරලා දෙන්න කියලා ඉල්ලාපං!"

එක්කෝ තමාගේ මහත්මා ගුණය නිසා හෝ නැතිනම් තමන්ට උපකාර කරන්නට කාලය කැපකරමින් සිටින හොඳම මිතුරෙකු අමනාප කර ගැනීමට අකමැති නිසා හෝ එසේත් නැතිනම් මා කී දේ අවබෝධ වූ නිසා හෝ අලී මුවින් නොබැණ සිටියේ ය.

ඉන් පසු දිනවල ද, අපි එක්වී අධ්‍යයන කටයුතු කළෙමු. එසේ වෙතත්, ඒ අවස්ථාවල දී ඔහු යාඥා කරනු මට දක්නට ලැබුණේ නැත. මම ද ඒ ගැන නොවිමසා සිටියෙමි.
විභාගය අවසන් විය.

සතියකින් පමණ ප්‍රතිඵල නිකුත්විය.

කසීම් වලීඩ් අලි ෂා නම් පාකිස්ථානු ජාතික මැවිසුරුවා සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් වූ විෂයය අසමත් වී තිබුණි.

එය අලී විසින් දෙයියා අතහැරීම නිසා සිදුවූවක් ද, එසේත් නැතිනම් දෙයියා විසින් අලී අතහැරීමක් නිසා සිදුවූවක් ද යන්න මම අද ද නොදනිමි.

ඒ කෙසේ වෙතත් අවසානයේ පශ්චාත් උපාධි ආයතනයේ නීතිවලට අනුව මා මිත්‍ර අලීට අපේ පාඨමාලාව අතහැර ආපසු පාකිස්ථානය බලා යාමට සිදුවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔහු අපෙන් සමුගෙන යාමට පෙර දිනයක දී, අලී මට ලීවලින් තැනූ අගනා අඩිකෝදුවක් තෑගි දුන්නේ ය. එය පසුව මා ලංකාවට ද රැගෙන ආවෙමි.

ඔහු මට ඒ ත්‍යාගය දුන්නේ මා ඔහුට සිහිවටනයක් ලෙස ලංකාවෙන් ගෙන ගොස් තිබුණු කුඩා වෙස් මුහුණක් තෑගි දුන් අවස්ථාවේ දී ය.

"බොහොම ස්තුතියි, ඒත් මට මේක මා එක්ක පාකිස්ථානයට ගෙනියන්න වෙන්නේ නෑ!" අලී කීවේ ය.

"ඒ ඇයි?"

"අපිට මේ වගේ සුරුවම් ළඟ තබා ගැනීම තහනම්!" ඔහු දුක්මුසු ස්වරයක් යැයි මට සිතුණු හඬින් කීවේ ය.

අලී විභාගය අසමත් වීම පිළිබඳව මට දෙවෙනි වරටත් දුක සිතුණි!


ප/ප/ලි:
ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.

ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.

ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.

1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html


2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


(image: http://www.alamy.com/stock-photo/sri-lanka.html?cutout=1)

Tuesday, 13 June 2017

පසුගිය දශකය තුළ මගේ වැටුප වෙනස් වූ අන්දම - Sky is perhaps not the limit?


කාන්තාවකගෙන් වයස කීයද කියා අසන්නට ද, පිරිමියෙකුගෙන් වැටුප කීයද කියා අසන්නට ද එපා යැයි කියමනක් ඇත.

නමුත්, රජයේ සේවයේ යෙදෙන අය ගේ වැටුප් විස්තර නම් රහස් නොවේ. උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අයත් ආයතනයක සේවය කරන මගේ වැටුප නම්, අන්තර්ජාලයේ තරමක සෝදිසියකින් සොයා ගත හැක.

එතෙක් කල් මා කළ "තොරතුරු තාක්‍ෂණය" පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාචාර්ය රැකියාවට ආයුබෝවන් කියා, "පර්මනන්ට් හෙඩ් ඩැමේජයක්" (PhD) වෙනුවෙන් ලියමින් සිට අමතක වෙමින් තිබුණු තීසියය ද අලුයම කෙළ පිඬක් මෙන් ඉවත හෙළා අමතක කර, මා රජයේ සේවයේ "බිස්නස් ඇනලිස්ට්" තනතුරකට පැන ගත්තේ මීට වසර දහයකට පෙර ය.

ඇත්තට ම කියනවා නම්, මා එලෙස රැකියාව මාරු කළේ ජීවිතයේ වෙනසක් අවශ්‍ය වූ නිසා ම හෝ නොකෙරෙන පීඑච්ඩී එකකින් ගැලවීමට අවශ්‍ය වූ නිසා ම හෝ පමණක් නොවේ. ඒ රැකියා වෙනස නිසා මගේ වැටුප ද සෑහෙන තරමකින් (>25%) වැඩි වූ නිසා ය.

මා රජයේ සේවය ඇරඹූ කාලයේ තනතුරට හිමි වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව, සේවක-සේවා යෝජක කේවල් කිරීමේ ක්‍රමවේදයේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව 4% කින් ද වැටුප් වැඩි විය.

ඒ රැකියාවේ වසර දෙක හමාරක් පමණ ගත කළ පසු මම, අපේ ආයතනයේ ම වෙනත් අංශයක, "ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු" ලෙස සේවය ඇරඹුවෙමි. ඉන් වසරකට පමණ පසු මා දැනට නිරත "බිස්නස් සිස්ටම්ස් මැනේජර්" තනතුර සඳහා පත්වීමි.

වැදගත් කරුණක් කිව යුතු ය.

මේ කිසි තනතුරක්, කාලයත් සමග ඉබේ කඩා වැටුණු ඒවා නොවේ. නිසි ලෙස සැකසූ අයැදුම්පත් යොමු කිරීම, සම්මුඛ පරීක්‍ෂණ ඇතුළත් දීර්ඝ තරගකාරී තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසු මා දිනාගත් තනතුරු ය.

මගේ වැටුප සම්බන්ධයෙන් ගතහොත්, පසුගිය වසර කිහිපය ඇතුළත සිදුවූ වෙනස්කම් දෙකකි.

මුලින් ම, පැවති කම්කරු පක්‍ෂයේ රජය වෙනුවට දැන් පවතින කන්සර්වේටිව් පක්‍ෂ රජය පැමිණීමත් සමගම සේවකයින් ගේ කේවල් කිරීමේ බලය අඩු වී ගොස් අපේ වාර්ෂික වැටුප් වැඩවීම 4% සිට 2.5% දක්වා අඩුවිය.

දෙවෙනුව, මා එකම රැකියාවේ වසර තුනකට වඩා රුඳුණු නිසා, තනතුරට හිමි වැටුප් වර්ධක ලැබී අවසාන විය. එනිසා මුල් කාලයේ වසරකට දෙවරක් ලැබුණු වැටුප් වැඩිවීම් වෙනුවට දැන් ලැබෙන්නේ වසර මැද ලැබෙන 2.5% පමණි!

දැන් මා සක්‍රීයව වෙනත් රැකියාවක් සොයන නිසා, පසුගිය වසර දහය තුළ මගේ වැටුප වැඩිවුණු ආකාරය විශ්ලේෂණය කර බැලීමට නොබෝදා මට සිත්විය.

පහත ප්‍රස්තාරයෙන් දැක්වෙන්නේ ඒ විශ්ලේෂණය යි.


ඒ අනුව, රජයේ සේවය අරඹන්නට පෙර මා විශ්වවිද්‍යාල සේවයේ දී ලැබූ වැටුපට මෙන් දෙගුණයකටත් වඩා මා වැටුප් ලබන බවත්, එසේ ම රජයේ සේවයේ ද, ලැබූ වෙනත් තනතුරු සහ වාර්ෂික වැටුප් වැඩිවීම් නිසා, වසර දහයක් ඇතුළත 80% කින් පමණ වැටුප් වැඩි වී ඇති බවත් පෙනේ.

මේ සටහන ආරම්භයේ දී මම කාන්තාවන් ගේ වයස ගැන ද, පිරිමින් ගේ වැටුප ගැන ද, සඳහන් කළෙමි. වයස වැඩිවීම ගැන ගැහැණු පිරිමි වෙනසක් නොමැතිව කිසිවෙකු ගේ කැමැත්තත් නැත. එසේ වුව ද, වැටුප තව තවත් වැඩිවීම ගැන නම් අප කිසිවෙකු ගේ අකමැත්තක් ඇති යැයි නොසිතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.lovethispic.com/image/46574/always-be-positive)

Sunday, 11 June 2017

ජොබ් කරන අයට අවවාදයක් හෙවත් කුරුවල්වීම - Rolling stones and moss


රැකියාවක ඇති වැදගත්කම දන්නේ විරැකියාවෙන් පෙළෙන අයයි. සමහර විට සති කිහිපයක් නොව, මාස ගණනාවක් ම, වසර කිහිපයක් ම, විරැකියාවෙන් දුක් විඳින්නට අප සමහරුන්ට සිදුවේ.

මා ද, ජීවිතයේ දෙතුන් වරක් ඒ කට්ට කා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර, මගේ ස්වයං චරිතාපදානයේ කොටස් ලෙස, කෙමෙන් කෙමෙන් ලියවෙනු ඇත.

කෙසේ හෝ දුක් විඳ, රුකියාවක් සොයා ගත් පසු, අර මුලින් කෑ කට්ට පිළිබඳ මතකය කෙමෙන් කෙමෙන් තුනී වී යන්නට පටන් ගනී.

නමුත් චක්කරේ ආපසු කැරකෙන්නට පුළුවන.

චක්කංව වහතෝ පදං!

මේ සටහනේ මාතෘකාවේ දැක්වෙන පරිදි ජොබ් කරන අයට මා දෙන අවවාදය මෙයයි.
එකම රැකියාවේ, එකම කාර්යය කරමින්, අවුරුදු තුනකට වඩා ඉන්න එපා!

හැකි විගස වෙනත් රැකියාවකට යන්න.

ආණ්ඩුවේ රැකියා කරන අය සම්බන්ධයෙන් කියනවා නම්, අඩු වශයෙන් තමන් දැනට කරන රැකියාවට හිමි වාර්ෂික වැටුප් වර්ධක සියල්ල ලැබී අවසාන වූවාට පසු ඒ රැකියාවේ තව දුරටත් රැඳී නොසිට වෙනත් රැකියාවක් සොයා ගන්න.

පුද්ගලික අංශයේ සේවය කරන අයට නම්, මා දන්නා පරිදි, නිත්‍ය වාර්ෂික වැටුප් වර්ධක නැති නිසා, අවුරුදු තුනේ සීමාව උපයෝගී කර ගැනීම වඩා යෝග්‍ය වේ.

මේ අවවාදය මා ඔබට දෙන්නේ දශක කිහිපයක අත්දැකීම් ඇසුරෙන් හොඳින් වටහා ගෙන බව සැබෑවක් නමුත්, නීරෝගී බවේ වැදගත්කම ගැන අපට වැටහෙන්නේ රෝගී වූ විට පමණක් සේ ම, මගේ මේ අවවාදය මට ම වැටහුණේ තරමක් කල් ඉකුත් වූ පසුව ය. එනම්, මට මෙය වැටහුණේ මා දැනට කරන රැකියාවේ සිව් වසරකටත් වඩා ගෙවූ පසු ය.

මෙහි දී, වෙනත් රැකියාවක් සෙවීම යන්නෙන් මා අදහසක් කරන්නේ තමන් සේවය කරන ආයතනයෙන් අස්වී යාම ම නොවේ. ඒ ආයතනයේ ම වුව ද, වෙනත් කාර්යයන් කිරීමයි.

මේ ආකාරයේ වෙනස්කම් නිකම්ම ඇති නොවේ. ඒ සඳහා උත්සාහය, අධිෂ්ඨානය මෙන් ම, තමන් ගේ කුසළතා වර්ධනය කර ගැනීම ද, කුසලතා පරාසය පුළුල් කර ගැනීමට ද අපට අවශ්‍ය වෙනු ඇත.

එනිසා, එවැනි වෑයමක් දැරීම කිසිසේත් ම අපතේ යන්නක් නොව අපේ වෘත්තීමය දියුණුවක් ලෙස සැලකිය හැකිය.

එකම රැකියාවේ වසර දෙක තුනක් ගත කරන විට, අපට අනවශ්‍ය සුරක්‍ෂිතබවක් දැනෙන්නට පටන් ගනියි. ඒ සමගම, අප නොදැනුවත්ව ම අපේ කටයුතු අකාර්යක්‍ෂම වීම ඇරඹේ.

මම මෙය කුරුවල්වීම ලෙස හඳුන්වමි.

තවත් කලක් ගතවෙන විට සිදුවන්නේ අප වෙනස් කම් නුරුස්සන, කල් පැන ගිය, යාන්ත්‍රික රොබෝලා බවට පත් වීමයි.

පුද්ගලිකව මා ගැන පවසනවා නම්, මේ වසරේ ජූනි විසි අට වෙනිදාට මා මේ දැන් කරන රැකියාව අරඹා වසර හතක් සම්පූර්ණ වේ.

ඊට කලින් මම මේ ආයතනයේ ම වෙනත් රැකියාවක වසරක් පමණ සේවය කළෙමි. ඊටත් කලින් මම මේ ආයතනයේ සේවය සඳහා එකතු වූ තනතුරේ වසර දෙක හමාරක් පමණ සේවය කළෙමි.

කල්පනා කර බැලූ විට, මා මීට පෙර, ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ එකම ස්ථානයක එකම රැකියාවක් වසර තුනකට වඩා එක දිගට කර නැත. අතර මගදී කුමක් හෝ සාර්ථක වෙනසක් සිදු වී රැකියාව ඒකාකාරීවීම හෙවත් කුරුවල්වීම නැවතී තිබේ.

මා පෙර සඳහන් කළ ආකාරයට, මේ රැකියාවේ අවශ්‍ය කාලයට වඩා දිගු කලක් මා රැඳී ඇති බව මට ම වැටහුණේ මින් දෙවසරකට පමණ ඉහත දී ය.

එතැන් සිට වුව ද මා සෙවූයේ සෑම අතින් ම දැන් මා කරන රැකියාවට වඩා හැම අතින් ම ඉහළ රැකියාවකි. එය ද දුරාවාරයේ ය. ඒ අතර, වසරකට පෙර ඇරඹුණු ආයතනයේ ප්‍රතිව්‍යුහකරණය වැඩ පිළිවෙළක් නිසා, එලෙස කළ වෙනත් රැකියා සෙවීම ද මම මදකට නතර කර දමා සිටියෙමි.

කෙසේ නමුත්, දැන් මේ තත්වය වෙනස් කිරීමට කාලය පැමිණ ඇතැයි සිතේ.

මට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ලියා, සංස්කරණය කර පළ කිරීමට නියමිත ගොනුවේ බහා දින හිහිපයකට පසුව, පසුගිය ඉරිදා රාත්‍රියේ දී, වෙනත් රැකියාවකට අයැදුම් පතක් යොමු කළෙමි! මේ සති අන්තයේ ද තවත් අයැදුම් පතක් සැකසීමට සිතා සිටිමි.

රැකියා කරන ඔබ ද, කුරුවල්නොවී සිටීමට උත්සාහ ගන්නා මෙන් ආදරයෙන් ඉල්ලමි.

(image: http://lastrada.blogspot.com.au/2011/04/rolling-stone-gathers-no-moss-anzio.html)

Tuesday, 16 May 2017

උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!


"උපන් දා සිට" යනු අපේ මහා සිංහල ලේඛකයා ලෙස සැලකෙන මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද ස්වයං චරිතාපදානය හෙවත් ඔහු ගේ ජීවිත කතාවට ඔහු විසින් දී ඇති නම ය.

ගැටවර වියේ දී ද, මෑතක දී ද, මා කියවූ ඒ මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානයේ සඳහන්ව ඇති කරුණු කිහිපයක් පිළිබඳව විවරණයක් සහිත මා ලියූ ලිපියක් පෙර දිනයක රසිකොලොජියේ පළ කර ඇත.

ස්වයං චරිතාපදානයක් ලෙස සලකා බලන කළ "උපන් දා සිට" යන්න කිසිදු නිර්මාණශීලිත්වයක් ගැබ් වී නැති නමක් බව කිව හැක.

සිංහල සාහිත්‍යයේ අනෙකුත් පතාක යෝධයින් වූ එදිරිවීර සරච්චන්ද්‍ර තම ස්වයං චරිතාපදානය "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" නමින් ද, කේ ජයතිලක තම ස්වයං චරිතාපදානය "පුංචි පැලේ ගස වෙනා" යනුවෙන් ද, මහගම සේකර කොටස් දෙකකින් යුතු වූ තම ස්වයං චරිතාපදානය පිළිවෙලින් "තුංමං හන්දිය" සහ "මනෝ මන්දිර" ලෙස ද නම් කිරීම සලකා බලන කළ "උපන් දා" සිට යන්නේ ඇති අවම නිර්මාණශීලීවය පැහැදිලි වේ.

ඉහත ඡේදයේ සඳහන් කෘති, ඒ ඒ ලේඛකයින් කළ නිර්මාණ මිස, ඔවුන් ලියූ ස්වයං චරිතාපදාන නොවන බවට යමෙකුට අවශ්‍ය නම් තර්ක කළ හැකි බව මම දනිමි. නමුත්, එය සම්පූර්ණ සත්‍යයම නොවේ!

කෙසේ වෙතත්, ඒ "උපන් දා සිට" යන නමෙන් අදහස් වෙන ආකාරයට ම, තමා උපන් දා සිට එම කෘතිය සකසා අවසාන වූ දින දක්වා තමන් ගේ ජීවිතයේ සිදු වූ පොදු රසාස්වාදයට සහ දැනුමට තුඩු දෙන කරුණු මාර්ටින් වික්‍රමසිංහ විසින් තම ස්වයං චරිතාපදානයේ ඇතුළත් කර ඇති බව පෙනේ.

මෙහි දී, කෘතිය සකසා අවසාන වන දින දක්වා යනුවෙන් මා සඳහන් කළේ, ස්වයං චරිතාපදානයක් සැම විට ම අවසන් වන්නේ ලේඛකයා ජීවත් වෙන කාල සීමාවේ දී වීම නිසා ය. යමෙකු ගේ උපන් දා සිට ජීවිතය අවසාන වූ දිනය දක්වා සම්පූර්ණ ජිවීත කාලය පිළිබඳව විස්තර සහිතව ලියවෙන්නේ වෙනත් අය ලියන චරිතාපදාන මිස ස්වයං චරිතාපදාන නොවන බව අමුතුවෙන් කිව යුතු නැත!

මෙහිදී මට සිහිවෙන්නේ ජීවිතයේ මුල සිට කතාව ඇරඹුව ද, අවසාන වන දිනයක් යම් ආකාරයකට හෝ නියම කර, ඒ ආශ්‍රයෙන් නම් තබා ඇරඹූ ස්වයං චරිතාපදානයකි.

ඒ ස්වයං චරිතාපදානය ඇත්තටම බ්ලොගයකි.

මා මේ කියන්නේ දැන් එංගලන්තයේ වෙසෙන, අරුණ පෙරේරා හෙවත් අරූ විසින් කොටස් වශයෙන් ලියමින් සිටි "අවුල් වෙන්නට පෙර" නම් තමන් ගේ ජීවිත කතාවයි.

එහි නම වූ "අවුල් වෙන්නට පෙර" යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහු ලියන්නට ඇරඹූ කතාව අවසාන වෙන දිනය පිළිබඳ ඉඟියකි. එනම්, උපන් දා සිට අරඹා, තම මතකය අවුල් වෙන දින දක්වා ඒ කතාව ලියවෙන බව ඒ නම යෙදීමෙන් අරුණ පෙරේරා පාඨක අපට ඉඟි කළේ ය.

ඇත්තටම එලෙස මතකය අවුල් නොවුණත්, වෙනත් අවුලක් හෝ කලකිරීමක් නිසා අරුණ පෙරේරා තම බ්ලොගය ලිවීම 2017 මාර්තු මාසයේ දී නැවැත්වූයේ පාඨක අප ඉතා කනගාටුවට පත් කරමිනි.

මේ කරුණු සියල්ල මට මෙලෙස සටහන් කරන්ට සිතුණේ විශේෂ හේතුවක් නිසා ය.

බ්ලොග් ලිවීම සහ ඕස්ට්‍රේලියාවේ පළවෙන මාසික සඟරා සඳහා ලිපි ලිවීම ඇරඹූ දා සිට අද දක්වා ම, මා ලියා ඇති එක් දහස් පන්සීයකට වඩා වැඩි කෙටි සටහන් සංඛ්‍යාවෙන් අති බහුතරය ලිය වී ඇත්තේ මගේ ජීවිතයේ මා ලැබූ විවිධාකාර අත්දැකීම් පිළිබඳව ය. නමුත්, ඒවා එක කාල රේඛාවකට අනුව එකට ගොනු වුණේ, මා ලියූ "සිව් වසරක් මරදානේ" සහ "EFacMemories" ග්‍රන්ථ ද්වය සංස්කරණයේ දී පමණි.

"සිව් වසරක් මරදානේ" කෘතියේ වුව ද, දින වකවානු කෙළින් ම සඳහන් කිරීමක් මම නොකළෙමි. ඒ මගේ අත්දැකීම් එක්තරා කාලවකවානුවක හිර කර, පාඨක රස වින්දනයට සීමාවක් පැමිණ වීමට මට අවශ්‍ය නොවූ බැවිනි.

නමුත්, මට මේ ළඟදී දිනයක සිතුණේ, උපන් දා සිට, අවුල් වෙන දිනය දක්වා මගේ ජිවීත අත්දැකීම් කාල රේඛාවක් මත එකට පෙළ ගස්වා ලිවිය යුතු ය කියා ය.

එය ස්වයං චරිතාපදානයක් වැනි වෑයමක් වෙනු ඇත.

දැන් මා සොයමින් සිටින්නේ එයට ගැලපෙන නමකි!

-රසිකොලොජිස්ට්

(image: http://myrating.lk/ ; http://www.kapruka.com/ ; https://www.monaree.com/ ; https://arugeadaviya.wordpress.com/)

Friday, 5 May 2017

ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report


මේ කියන්නේ ශිෂ්‍යයින් ලෙක්චර්ස් කට් කිරීම ගැන නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ලෙක්චර්ස් කට් වීම ගැන ය.

මගේ ජීවිතයේ විශ්වවිද්‍යාලවල ගත කර ඇති කාලය මැනිය යුත්තේ අවුරුදුවලින් නොව දශකවලිනි. එය ප්‍රමාණයෙන් 2.2 ක් පමණ වේ.

එයින් රටවල් තුනක විශ්වවිද්‍යාල හයක ගත කළ ශිෂ්‍ය ජීවිත කාලය අත් හළ විට, පූර්ණකාලීනව කථිකාචාර්යවරයෙකු ලෙස ගත කළ කාලය දශකයකට වඩා මදක් වැඩි ය.

පාසලක ගුරුවරයෙකු කුමක් හෝ හේතුවක් නිසා සේවය සඳහා වාර්තා නොකළ විට, එක්කෝ සිසුනට ෆ්‍රී පීරියඩ් එකක් ලැබේ, නැතිනම්, වෙනත් ගුරුවරයෙක් පැමිණ සිසුන්ට යම් කිසි කාර්යයක් පවරයි.

නමුත්, විශ්වවිද්‍යාල දේශන සඳහා ඒ ක්‍රමය අනුගමනය කළ නොහේ. එක් කථිකාචාර්යවරයෙකු ගේ යම් දිනයකට නියමිත දේශනය කිරීමට හදිසියේ වෙනත් කථිකාචාර්යවරයෙකුට පැවරිය නොහැකි ය.

එනිසා, මා නම් මගේ කථිකාචාර්ය ජීවිතයේ ආදර්ශ පාඨය ලෙස සැලකුවේ "දේශන නොවරද්දා පවත්වමි!" යන්නයි. එසේ ම, මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ගත කළ කාලයේ දී දේශන අවලංගු වූ අවස්ථා තිබුණේ ද නැති තරම් ය.

එසේ නමුත්, ඒ දශකයකට මදක් වැඩි මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ජීවිතයේ දී, මට තෙවරක් ම එදිනට නියමිත දේශනය අවලංගු කරන්නට සිදුවිය.

මේ ඒ අවස්ථා තුනෙන් මුල් අවස්ථාව පිළිබඳ කෙටි විස්තරයකි.

මේ කාලයේ (1994 පමණ) මා සේවය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ (Industrial Management) අධ්‍යයනාංශයේ ය.

එදින මා කෝට්ටේ සිට කැලණිය දක්වා යාමට මගේ නිසාන් මාච් රථයේ නැගී පිටත් වුණේ උදෑසන වාහන බහුල වේලාව මග හැර වුව ද, පාර්ලිමේන්තු පාර නමින් හැඳින්වෙන මාර්ගයේ තරමක තදබදයක් තිබුණි.

වැලිකඩ පොලිසියට පෙර ඇති හන්දියෙන් හරවා බොරැල්ල දෙසට (කොටා රෝඩ්) යෑමට මම නවත්වා ගෙන සිටියෙමි. මා ඉදිරියෙන් වූයේ, මා පසුව දැන ගත් පරිදි, පාසලකට සිසුන් ගෙන ගොස් ආපසු යන පරණ වෑන් රථයකි. වාහන දෙක අතර පරතරය ඉතා අවම විය.

කුමක් හෝ කරුණක් නිසා මගේ අවධානය මොහොතකට වෙනස් වූ පසු ඊළඟ මොහොතේ මට දැනුණේ, මගේ වාහනය ඉදිරියට ඇදී ගොස් පෙර කී වෑන් රථයේ වැදෙන ශබ්දය යි.

මා නොදැනුවත්ව ම තිරිංග බුරුල් වී ඇති අතර කල්ච් එක ද පාගා ගෙන සිටි නිසා වාහනය ඉදිරියට ඇදී ගොසිනි.

ඒය එතරම් විශාල හැප්පීමක් නොවී ය. මගේ වාහනයේ ඉදිරිපස සීරි තිබුණ ද, ඒ පැරණි වෑන් රථයේ සොයා ගත හැකි සීරිමක් පසුව වුව ද නොතිබුණි.

නමුත්, එහි දී සිදුවූයේ ඒ හන්දියේ සේවයේ යෙදී සිටි ට්‍රැෆික් පොලිස්කරුවෙකු පැමිණ පොලීසියට වාහන ගෙන යන ලෙස අපට දැනුම් දීමයි.

දැන් ඉතිං කුමක් කරන්න ද?

මගේ දේශනය තව පැයකින් ඇරඹිය යුතු ය. පොලීසියේ කර්තව්‍යය අවසාන වීමට පැයකට වඩා ගත වෙන බව පැහැදිලි ය.

මා කළේ, වැලිකඩ පොලිසියට ඔබ්බෙන් කෝට්ටේ පාරේ පිහිටි කඩ මණ්ඩියේ (ඒ කාලයේ) තිබුණු කාඩ් දමන දුරකථනයක් වෙත ගොස් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයට පණිවිඩයක් දී දේශනය අවලංගු කිරීමයි.

ඒ දේශනය අපේ කාර්මික කළමනාකරණ පාඨමාලාවේ සිව් වසරක විශේෂ උපාධිය හදාරන සිසුන් දහ දෙනෙකු පමණ පිරිසක් සඳහා පැවැත්වෙන එකක් වූ නිසා, ඒ සතියේ ම දිනක වෙනත් වේලාවක අවලංගු කළ දේශනය පැවැත්වීමට මට හැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟ දේශන අවලංගු කිරීම් දෙකම සිදුවූයේ වසර දහයකට පමණ පසු සිඩ්නි නගරයේ දී ය. ඒ පිළිබඳව පසුව අවශ්‍ය වුවහොත් ලියමි.



(image: https://unimelbadventures.wordpress.com/2013/03/18/attending-lectures-vs-listening-online/)

Tuesday, 7 March 2017

ප්‍රශ්න, ප්‍රශ්න, ප්‍රශ්න (වික්ටර් රත්නායක ගැන නම් නොවේ) - My own problems


රැකියාවක් නැති අයට එය ප්‍රශ්නයකි. අතේ මිල මුදල් නැත. සිතට සහනයක් ද නැත. තමන් ගැන ද, එපමණක් නොව මුළුමහත් සමාජය ගැන ද කලකිරීමක් ඇති වේ.

රැකියාවක් ඇති අයට ඇත්තේ වෙනම ප්‍රශ්න මාලාවකි. පඩි මදි ය. වැඩ වැඩි ය. විවේකයක් නැත. මහමගට ජීවිතය දියවේ. රැකියාවේ උසස්වීම් නැත. ලොක්කා වාතයකි. එකට වැඩ කරන අයගෙන් සමහරු වාත කේස් ය.

පසුගිය කාලය තුළ, මට ද ඉහත ප්‍රශ්න කිහිපයක් ම ඇති වුණි. මට මගේ රැකියාව කෙරෙහි පෙර කල තිබුණු ඇල්ම කෙමෙන් කෙමෙන් අඩු වී යන බව දැනී ඇත.

ඒ සියලු ප්‍රශ්න ගැනත්, ඒ තත්වයට හේතු කාරක වූවේ යැයි මා සිතන කාරණා ගැනත් මේ සටහනේ ලිවීමට අදහස් නොකරමි. ඇත්තටම, ඒ සියල්ල වෙන වෙන ම කොටස් වශයෙන් සටහන් මාලාවක් ලෙස ලියා සාකච්ඡා කළ යුතු තරම් වටී.

ඒ හේතු රාශිය නිසා, අවසානයේ ඇතිවුණු තත්වය නම්, මා කළ යුතු සමහර රාජකාරි කටයුතු කර අවසන් කිරීමට නොව, ඇරඹීමට පවා නොසිතීමයි. අත්‍යාවශ්‍ය නොවන සමහර කටයුතු, මේ ප්‍රශ්නය නිසා ම, කල් අරිමින් සිට අවසාන මොහොතේ කිරීමට මම ක්‍රමයෙන් පෙළඹුණෙමි.

පසුගිය සතියේ දිනක දිවා විවේකයේ දී, සුපුරුදු පරිදි කාර්යාලය අසල ඇති නදී තීරයේ ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටියදී මා සමග සිටි කාර්යාල මිතුරියගෙන් මේ ගැන මම නිකමට මෙන් විමසුවෙමි.

"සාමා, ඔයාට ඔෆිස් එකේ සමහර වැඩ කරන්න තියා පටන් ගන්නත් සමහර වෙලාවට එපා වෙන්නේ නැද්ද?"

"දැන් නම් එහෙම ප්‍රශ්නයක් නෑ රසික, නමුත්, කාලෙකට ඉස්සර නම් මටත් ඔය වගේ අපහසුතා තිබුණා. සමහර දවස්වල උදේ අවදි වුණා ම ඔෆිස් යන්න තියෙනවා කියා මතක් වෙන කොට එපා වෙනවා."

"ඉතිං ඔයා මොකක් ද ඒකට කළේ?"

"සිත ධෛර්මත් කරගෙන සතුටෙන් හැම වෙලේම ඉන්න උත්සාහ කළා. කොටින් ම මං ඒ දවස්වල, මගේ ලොගින් පාස්වර්ඩ් එක විදියට දාගෙන තිබුණේ බී-පොසිටිව්, හෑව්-එ-නයිස්-ඩේ, ටුඩේස්-වර්ක්-ටුඩේ වගේ සිත දිරිගන්වන විදියේ දේවල්!"

මට ක්‍ෂණයකින් සිහිවූයේ, කාර්යාල පරිසරය නිසා මට ඇති වී ඇති ප්‍රශ්නවලට අමතරව, මා ද, මට ම, ප්‍රශ්න නිර්මාණය කරගෙන ඇති බවයි.

"තෑන්ක් යූ සාමා, ඔයා මගේ එක ප්‍රශ්නයක් විසදුවා!" මම සාමා ට කීවෙමි.

ඇය විමතියෙන් මා දෙස බැලුවා ය.

"මොකක්ද ඒ?"

"මේ දවස්වල මගේ පාස්වර්ඩ් එක විදියට මං දාගෙන ඉන්නේ අයි-හේට්-වර්ක් කියලයි. උදේ ම එහෙමයි මං වැඩ අරඹන්නේ. ඉතිං වෙන කුමන කතා ද?"

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න තවත් ඔෆීසියේ කතා කිහිපයක්.

1. විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨයා ගේ අවවාදය - Beat the bugger

2. ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?

3. ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging

Wednesday, 22 February 2017

400. තෙල් ටැංකි වස්තුව සහ අනුකලනය - Mathematics is useful but not for me


මගේ මතකයේ පතුලේ දිගු කලක් සැඟවී තිබී හදිසියේ ම උඩට මතුවුණු මේ කතාවට වෙනදා මෙන් පෙර-පසු සම්බන්ධකම් දැනට නැති නමුත් පසුව අතුරු කතාවක් දෙකක් ලියවෙන්නට ද ඉඩ තිබේ.

මේ සිදුවීමට අදාළ කාලයේ මා සිටියේ රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙස සේවය කරමිනි. ආයතනයේ, අපේ අංශයේ ම සේවය කළ කාන්තාවක් වූ ජයංගනී දිනක් මගෙන් උදව්වක් ඉල්ලා සිටියා ය. ඒ, මගේ මතකයට අනුව කාර්මික අංශයේ කිසියම් වෘත්තියක නිරතව සිටි, ඇගේ සැමියා, සුරංග, වෙනුවෙනි.

සුරංග ගේ සේවා ස්ථානයේ සිලින්ඩ්‍රිකාකාර තෙල් ටැංකියක් තිරස් (Horizontal) අතට පොළොවේ වල ලා තිබේ ලු. බවුසරයකින් අවශ්‍ය පරිදි ගෙන එන තෙල් මෙහි ගබඩා කරන අතර වැඩපොළේ විවිධ කර්තව්‍යයන් සඳහා පොම්පයක් හරහා නිතිපතා තෙල් ලබා ගන්නේ මේ තෙල් ටැංකියෙනි.

ටැංකියේ මතුපිට සිට ගන්නා මිනුමකින් එය කෙතරම් ගැඹුරට හිස්ව ඇත්දැයි දැන ගැනීමට ක්‍රමයක් එහි ඇති අතර ටැංකියේ දිග සහ විෂ්කම්භය ද අදාළ ලේඛනවලින් සුරංග විසින් සොයා ගෙන ඇත. නමුත් නිසි කලට, නිසි ප්‍රමාණයෙන් තෙල් ඇණවුම් කිරීම සඳහා පෙර කී මිනුම සහ ටැංකියේ මූලික දත්ත අනුසාරයෙන් එහි තෙල් ලීටර් කොපමණ ප්‍රමාණයක් තිබේ ද යන්න නිශ්චිතව දැන ගැනීමට ක්‍රමයක් සුරංගට නැත.



ජයංගනී මට කී ආකාරයට, සුරංගට අවශ්‍යව ඇත්තේ තිරස් අතට වල ලා ඇති ටැංකියේ උඩ සිට කොපමණ සෙන්ටිමීටර් ප්‍රමාණයක් හිස්ව තිබේදැයි මැන සොයා ගත් පසු ඒ ප්‍රමාණයට හිස්වූ ටැංකියේ තවත් තෙල් ලීටර් කීයක් ඇති දැයි සොයා ගැනීමට පහසු ක්‍රමවේදයකි.

ටැංකිය වළ ලා ඇත්තේ සිරස් (Vertical) අතට නම්, මෙය තරමක් පහසු වැඩකි. මක් නිසා ද යත්, එවැනි ටැංකියක ඇති තෙල් සැම විටම ගන්නේ සිලින්ඩ්‍රිකාකාර හැඩයක් බැවිනි.

නමුත්, මේ ටැංකිය පිහිටුවා ඇත්තේ තිරස් අතට නිසා, එහි ඇති තෙල් ප්‍රමාණයේ හැඩය සැමවිටම ටැංකිය කොපමණ හිස්ව ඇති ද යන මිනුමට අනුව වෙනස් වෙන්නේ සරල රේඛීයව නොවේ.

උසස් පෙළ සඳහා ශූද්ධ ගණිතය හදාරා ඇති ඕනෑම අයෙකුට මේ ප්‍රශ්නය විසඳීම සඳහා අනුකලනය (Integration) උපයෝගී කර ගත හැකි බව වැටහෙනු ඇත.

ජයංගනී ගේ ඉල්ලීම ඉටු කිරීමට මා කළේ, ඒ සරල අනුකලන මොඩලය විසඳා, ටැංකියේ ඉතුරු වී ඇති තෙල් පරිමාව ටැංකියේ හිස් බව මනින මිනුමට අනුව සෙන්ටිමීටර් බාගෙන් බාගෙට වෙනස්වන ආකාරය සහිත වගුවක් සැකසීමයි.

මේ කාලයේ අපේ ආයතනයේ පීසී (PC) නමින් හැඳින්වෙන ක්‍ෂුද්‍ර පරිගණක (Micro Computer) නොතිබුණු අතර ගිණුම් කටයුතු සඳහා භාවිතා කළේ Wang නම් මිනි-කොම්පියුටර් පද්ධතියකි (Mini Computer System). එහි බොහෝ වැඩ කටයුතු කෙරුණේ කොබෝල් නමැති පරිගණක භාෂාවකිනි.

මා දන්නා කොබෝලයක් නැත. නමුත්, වාසනාවකට මෙන් මේ මිනි-කොම්පියුටරයේ බේසික් (Basic) නමැති පරිගණක භාෂා කම්පයිලරයක් ද විය.

මම ජයංගනී ගේ සැමියා සුරංග ගේ ගැටලුව විසඳීම සඳහා බේසික් ප්‍රෝග්‍රෑමයක් ලිව්වෙමි. ඒ ප්‍රෝග්‍රෑමය ක්‍ර්‍රියාත්මක කළ විට අදාළ දුර-පරිමා වගුව මුද්‍රණය වෙන ආකාරයට ය.
එලෙස මුද්‍රණය වන වගුවේ අවසාන පේළිය ලෙස මම මේ වගන්තිය ඇතුළත් කළෙමි.

Programmed by: Rasika H. Suriyaarachchi

මා මුද්‍රණය කර දුන් වගුව ජයංගනී ස්තුති පූර්වකව භාර ගත්තා ය.

එදා සේවය නිමවා නිවසට යාමට පෙර කතුරක් අතට ගත් ජයංගනී, මගේ නම ඇතුළත් වගුවේ අවසාන පේළිය සහිත කොටස කපා කුණු බක්කියට දමනු මම නෙත් කොනකින් දුටුවෙමි.

ඇය එසේ කළේ, එදා නිවසට ගොස් මෙන්න මං ඔයා ගේ ප්‍රශ්නය විසඳුවා කියා මා සාදා දුන් වගුව පෙන්වා සැමියාගෙන් ලකුණු ලැබීමට නොව, සුරංග ඒ වගුව ඔහු ගේ සේවා ස්ථානයේ ප්‍රයෝජනය සඳහා ගෙන යෑමට නියමිත නිසා, මගේ නම ඉවත් කිරීමෙන් සුරංගට සේවා ස්ථානයේ දී ලකුණු ලබා ගැනීමට හැකි නිසා යැයි සිතා මම නිහඬව සිටියෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනුකලනය ගැන පරණ කතාවක් සිහිවිය!

උසස් පෙළ ශුද්ධ ගණිතය පන්තියේ දී ලියූ මගේ කවියෙන් කියවෙන අදටත් වලංගු යතාර්ථය - Maths and law, not a good mix? :: https://rasikalogy.blogspot.com/2015/04/maths-and-law-not-good-mix.html

ප/ප/ලි
මේ රසිකොලොජියේ 400 වෙනි ලිපියයි!

(image: http://www.oiltanksolutions.com/dispose-oil-tank/)

Thursday, 8 December 2016

පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල අතර දශක දෙකක සංසන්දනාත්මක අත්දැකීම් - Already outdated


මිණිවන් පී තිලකරත්න ලියූ "කන්දෙන් ලන්දට" නම් නවකතාවේ නම යොදා මා රසිකොලොජියේ පළ කළ "කන්දෙන් ලන්දට - මිණිවන් පී. තිලකරත්න, සරත් විජේසූරිය, ඒ.වී. සූරවීර සහ ලියනගේ අමරකීර්ති :: What's the issue with Sinhala language departments in Sri Lankan Universities?" නම් බ්ලොග් සටහන "ඉරිදා ලක්බිම" පුවත්පත සඳහා වර්ෂ 2009 ජූනි මාසයේ මා ලියූ ලිපියක සංස්කරණයක් විය.

මා ඒ ලිපියට අනුපූරක දෙවන කොටසක් ද ලියූ නමුත් එය එම පුවත් පතේ පළ වී තිබෙනු මම නොදුටුවෙමි. මේ ඒ දෙවන කොටස ඇසුරෙන් සැකසෙන බ්ලොග් සටහනකි.

මා මෙහි දී අදහස් කරන්නේ ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාල ද්වයක් වන පේරාදෙණිය සහ කැලණිය පිළිබඳව සමාජයීය තොරතුරු බිඳක් මගේ සීමිත අත්දැකීම් ඔස්සේ සංසන්දනය කිරීමටයි.

උපහාස කතා කලාවේ ශූරයෙකු අභාවප්‍රාප්ත මහාචාර්ය මිණිවන් පී තිලකරත්න තමා සේවය කල කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය පසුබිම් කරගෙන ලියූ ඉහත සඳහන් "කන්දෙන් ලන්දට" නවකතාවේ කන්ද යනුවෙන් අදහස් කර ඇත්තේ ඔහු අධ්‍යාපනය ලැබූ කන්ද උඩරට පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. ලන්ද යන්නෙන් ඔහු පසුව සේවය කළ ලන්දේ පිහිටි කැලණිය විශ්වවිද්‍යාලය නිරූපණය කෙරුණි. පනහ දශකයේ අගභාගයේ දී විද්‍යාලංකාර (පසුව කැලණිය) විශ්වවිද්‍යාලය ඇරඹුණු සමයේ දී එහි සේවය සඳහා පැමිණි අය අතර පේරාදෙණිය සරසවියේ උපාධිධාරීන් සහ එහි සේවය කළ ආචාර්ය, මහාචාර්යවරුන් බොහෝ වූහ. කන්දේ සිට ලන්දට පැමිණි ඔවුන් ගේ කතාව මෙලෙස කන්දෙන් ලන්දට ලෙස නම් කර තිබුණි. මා ද එලෙස කන්දේ උගෙන ලන්දේ සේවයට පැමිණි අයෙක් මි.

මිණිවන් පී තිලකරත්න ගේ නවකතාවේ එන පනහ දශකයේ චරිත මෙන් ම, කන්දෙන් ලන්දට අනූව දශකයේ පැමිණි අය ද තරමක සංස්කෘතිකමය තිගැස්මකට ලක්වීම සාමාන්‍ය දෙයක් යයි මම සිතමි. මෙයට හේතු වෙන, සමහර විට සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ද තිබිය හැකි, කරුණු කිහිපයකි.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම (unique) වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, ජයතිලක, විජේවර්ධන, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් අභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන, සුවිසල් මහල් ප්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදු කාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, අධ්‍යයන පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්ෂණයන් විදහා දක්වන පරිදි, අති විශාල වියදමක් දරා, අගනා නිමැවුමින් යුතුව සාදා ඇත.

මෙයට හේතු වී ඇත්තේ එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණේ කොරියන් යුද්ධයේ අතුරුඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී්‍ර ලංකාවේ ආර්ථිකය ඉතා සවිමත්ව තිබූ සමයක වීම නිසා බව අසා ඇත්තෙමි.

රබර් බුබුල බිඳී යාමෙන් අනතුරුව රටේ ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වු නිසා, පසු කලෙක බිහිවුණු විද්‍යෝදය, විද්‍යාලංකාර යනාදී විශ්වවිද්‍යාල පේරාදෙණිය විශ්වවිද්‍යාලය තරම් ගාම්භීර මට්ටමෙන් සුවිසල් ලෙස ගොඩ නගන්නට නොහැකි වී ඇත. මෙනිසා කන්දෙන් ලන්ද ට එන්නෙකු ලන්දේ පිහිටා ඇති සාමාන්‍ය මට්ටමේ, පාසලක ස්වරූපය විදහා දක්වන, ගොඩනැගිලි දැක මුලින් ම පුදුමයට පත්වීමට නියමිත ය.

මා ලන්දේ විශ්වවිද්‍යාල භූමියට මුලින්ම පැමිණියේ මා කන්දේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ උගන්නා කාලයේ අපේ ගාන්ධර්ව සභාවේ යම්කිසි කර්තව්‍යයක් සඳහා මා මිතුරු උදය සිල්වා ද සමගිනි. එදින ලන්දේ ශිෂ්‍ය ආපන ශාලාවට ගිය වේලේ, එයට අනුබද්ධව ඇති ලන්දේ ක්‍රීඩාගාරයේ ප්‍රමාණය දැක මම පුදුමයෙන් පුදුමයට පත්වීමි.

මා දැක පුරුදු කන්දේ ක්‍රීඩාගාරය කන්දේ අනෙකුත් ගොඩනැගිලි හා සසඳා බලන කල එහි ඇති එකම අවලස්සන ගොඩනැගිල්ලයි. මෙය පුදුමයක් නොවන්නේ, එය සුවිශේෂීව ගෘහ නිර්මාණය කරන ලද්දක් නොව ඇත්තට ම ගුවන් යානා නවත්වන අංගනයක් හෙවත් හැඟරයක් වීම නිසාය. එනිසාම, එය ප්‍රමාණයෙන් අති විශාල වේ. පැසිපන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, මේස පන්දු ස්ථාන කිහිපයක්, බැඩ්මින්ටන් පිටි කිහිපයක් සහ ජිම්නාස්ටික්, බර ඉසිලීම යනාදී කී්‍රඩා රාශියක් සඳහා මේ එකම ගොඩනැගිල්ල තුළ ඉඩ කඩ තිබේ.

ඒ හා සසඳන කල ලන්දේ ක්‍රීඩාගාරය කුරුමිට්ටෙක් බඳු විය. එය බැඩ්මින්ටන් පිටි දෙකක ප්‍රමාණයට සීමා වී තිබුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පත් බෙදී යාමේ විෂමතාවය හෙවත් කැකිරි-කිරි සංකල්පය උසස් අධ්‍යාපන අංශයට ද පොදු බව මට එදා වැටහිණ.

මින් අනතුරුව ලන්දේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගිය මට දක්නට ලැබුණේ එක ම දෙමහල් ගොඩනැගිල්ලේ, ජීව රසායන විද්‍යාගාර ද, සිංහල ඈ මානව ශාස්ත්‍ර ආචාර්යවරුන් ගේ කාර්යාල ද එකිනෙකට යාබදව පිහිටා තිබෙන බවයි. කන්දේ නොව මා උසස් පෙළ උගත් ආනන්ද විද්‍යාලයේ පවා මෙවැනි නිශ්චල දේපල හිඟයක් නොතිබුණි. කැකිරි-කිරි වර්ගයේ විෂමතාවයේ සකී්‍රය බව තව දුරටත් සාධනය විය.

අද වන විට මේ තත්වය වෙනස් වී ලන්දේ ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ කළමනාකරණ යනාදී පීඨ සඳහා වෙන් වෙන්ට ගොඩනැගිලි ඉඳීවී පවතී.

මෙයින් වසර ගණනාවකට පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැදුණු පසු මම එහි ශිෂ්‍ය ප්‍රජාවේ උප සංස්කෘතිය පිළිබඳව සුවිශේෂී නිරීක්ෂණ දෙකක් කළෙමි.

මින් පළමුවැන්න නම් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසු සිසුවියන් එකිනෙකා අමතන්නේ අයියා, නංගී, අක්කා, මල්ලී ලෙස බවයි. පුද්ගල නාම වලින් එකිනෙකා ඇමතුවේ එකම වසරේ සිසු සිසුවියන් පමණි. බොහෝ විට ප්‍රාදේශීය මට්ටමේ පාසල් වල පවතින මේ චර්යා රටාව ඒ හරහා කැලණිය විශ්වවිද්‍යාලයට ද පැතිරෙන්නට ඇතැයි මම එකල සිතුවෙමි.

මේ තත්වය අර්ථ දැක්විය යුත්තේ පොදුවේ සිංහල සමාජය සතුව පවතින වැදගත් සාරධර්මයක් වන වැඩිහිටියන් ට ගරු කිරීමේ ආචාර ධර්මය හා සමාන්තරව ය. අප හොඳින් දන්නා පරිදි පුද්ගල නාමයෙන් පමණක් වැඩිහිටියන් ඇමතීම නොකටයුතු වේ. නමින් ඇමතිය යුත්තේ සම තත්වයේ අයට පමණි.

විශ්වවිද්‍යාල සිසුන් ද මෙසේ එක පවුලක් සේ තම තමන් හඳුන්වා ගැනීමේ ලොකු වරදක් නැති නමුත් මේ සමගම සහ මෙනිසා ම දැඩි ලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ අසමානත්වය තහවුරු වන බව කිව යුතුය. මිලිටරි පසුබිමක දී නම් මෙවැනි දෘඪ ව්‍යුහයක් අවශ්‍ය වෙන නමුදු විශ්වවිද්‍යාලයක් බඳු සමාජයක මෙය ඇතැම් විට පසුගාමී, සෘණ ප්‍රතිඵල ගෙන දෙන වාතාවරණයක් මැවීමට ද ඉඩ තිබේ.

ලන්දේ වග එසේ නමුත්, මා කන්දේ විශ්වවිද්‍යාලයේ උගන්නා සමයේ දී මෙලෙස අයියා, අක්කා, නංගී, මල්ලී යන ඇමතීමක් කිසි දිනක කර තිබුණේ හෝ අසා තිබුණේ හෝ නැත. ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ කණ්ඩායම් වල සිසුහූ එකිනෙකා නමින් ම ඇමතූහ. අධ්‍යයන කටයුතු සඳහා කාණ්ඩ බෙදීමේ දී සිසුන් ඔවුන් ගේ පෙළපත් නම අනුව ලයිස්තුගත කර තිබුණු බැවින් සිසුවියන් කෙසේ වෙතත් සිංහල සිසුන් බොහෝ විට එකිනෙකා අමතා ගත්තේ එම පෙළපත් නමිනි.

සම්ප්‍රදායානුකූල ලෙස නම් තබා තිබූ බහුතරයක් දෙමළ සිසුන් ගේ මුල් නම තම පියාගේ නම ද දෙවන නම තමා ට තබා ඇති නම ද වන නිසා, ඔවුන් ලයිස්තුගත වී තිබුණේ පොදු අච්චුවේ ලා සලකන විට පෙළපත් නම ලෙස පෙනෙන ඔවුන් ගේ සෑබෑ නමිනි. එනිසා දෙමළ සිසුන් බොහෝ විට ඔවුන්ගේ ම නමින් හැඳින්විණි.

කෙසේ වෙතත් මෙලෙස ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සිසුන් තම තම නමින් එකිනෙකා ඇමතීම සැලකිය යුත්තේ සියලු දෙනා ම සමාන ය, සම මට්ටමේ ය යන සාධාරණ න්‍යාය අනුව විය යුතු නිසා මෙවැනි සහෝදරාත්මක වාතාවරණයක් පසුගාමී බාධකයට වඩා බොහෝ විට ප්‍රගතිශීලී ආශිර්වාදයක් වෙන බවට තර්කයක් ද ගෙන ආ හැක.

(මා එදා අනූව දශකයේ මුල් භාගයේ දී දැන නොසිටි කාරණයක් නම් මා උගත් කන්දේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සමාජය ද මේ ආකාරයේ අයියා-මල්ලී පරිවර්තනයකට බඳුන් වෙමින් පැවති බවයි. මා ඒ බව දැන ගත්තේ 2010 තරම් පසු කාලයක දී ය. මා මේ තත්වය අර්ථ නිරූපණය කරන්නේ හයිරංකාර-බලුගැත්තර තත්වයක් ලෙසයි!)

ලන්දේ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණීමෙන් පසු මා තවත් මෙවැනි ම නිරීක්ෂණයක් කළෙමි. එනම්, එනම් ලන්දේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලයේ අනෙක් සේවක පිරිස් සමග සමීප, කුළුපග සහෝදරාත්මක සම්බන්ධයක් ඇති බවයි.

උදාහරණයක් ලෙස, ශිෂ්‍ය ආපන ශාලාවේ සේවය කළ පිරිසට සිසුන් ඇමතුවේ අක්කා හෝ අයියා කියාය. සේවකයෝ ද, සිසු සිසුවියන් ට මල්ලී, නංගී කියා ඇමතූහ.

එයට සාපේක්ෂකව, කන්දේ විශ්වවිද්‍යාලයේ දී අප ගනුදෙනු කළේ මුදලාලි ලා සමගය. වෙනත් සේවකයින්ට ඇමතූවේ ඔවුන් ගේ නමිනි. ඇතැම් ළාබාල සේවකයෙකුට මල්ලී කියා ඇමතූව ද, එය සහෝදරාත්මක මල්ලී ඇමතුම නොව, එක්තරා මට්ටමක අධිපතිවාදී හඬකින් කරන අර ”මල්ලී...” ආකාරයේ ඇමතුම විය. ඒ අතර, මුදලාලි ද, සේවකයෝ ද සියලු දෙනා අප ඇමතුවේ ”සර්” කියා ය.

එහි දී, පන්ති පරතරය අකුරටම ක්‍රියාත්මක විය!

රසිකොලොජිස්ට්

ප/ලි
මා වසර දී 2009 ඉරිදා ලක්බිම පුවත් පත සඳහා ලියූ ලිපියේ මේ දෙවන කොටස රසිකොලොජියේ පළ කරන්නට සකස් කර තිබුණ ද, එය අතපසු වී ගිය අතර යළි සිහියට ආවේ සොඳුරු අතීීතයෙන් බිඳක් බ්ලොගයේ ලිපියක සඳහන් වුණු "ස්ටුඩන්ට් මහත්තයා" නම් යෙදුම නිසා ය.

(image: http://www.thepapare.com/university-of-kelaniya-vs-university-of-peradeniya-slug-rugby/)

Thursday, 1 December 2016

මෙන්න අපේ වැඩ කිඩ! - New working conditions in my office


අපේ ආයතනයේ අලුතින්ම හඳුන්වා දී දැන් ක්‍රියාත්මක වන සේවා කොන්දේසි පිළිබඳ මා මේ සටහන ලියන්නේ ඉතා සතුටෙනි!

කලකට ඉහත මා ලියූ "නිවාඩු පාඩුව" නම් ලිපියේ දී, මා මගේ සේවා ස්ථානයේ සේවක-සේවා යෝජක දෙපක්‍ෂය අතර ඇති කරගෙන ඇති සේවා කොන්දේසි, විශේෂයෙන් ම සේවය කළ යුතු කාලය සහ නිවාඩු ආදිය, පිළිබඳව යාන්තමින් සඳහන් කළෙමි.

ඒ කාලයේ මා උදෑසන කාර්යාලයට ළඟා වූයේ පෙරවරු 9:30 ට පමණ ය. දවසේ සේවය නිමා කර ඉන් පිටවූයේ බොහෝ විට සවස හයට ය.

අපේ දිනපතා සේවා කාලය සහ නිවාඩු යනාදිය ඒ සඳහා සකසා ඇති පද්ධතියක සටහන් නිවැරදිව සටහන් කළ යුතු ය.

පෙර කී ලිපියේ විස්තර කෙරුණු පරිදි, දවසේ 9:30 සිට 3:30 දක්වා අවම කාලයක් සේවයේ නිරත වීමත්, පැය පහකට වඩා සේවය කරන දිනවල අඩ පැයක අවම ආහාර වේලාවක් සටහන් කිරීමත්, සතියකට අවමය ලෙස පැය 35 ක් සේවය කිරීමත් අනිවාර්ය කොන්දේසි වී තිබුණි. එසේ නැතිනම් අදාළ පරිදි නිවාඩු ලබා ගත යුතු විය. රාජකාරී ගමන් නොයෙදී ඇති දිනක උපරිම සේවා කාලය වූයේ උදෑසන 7:30 සිට සවස 6:00 දක්වා ය.

අපේ කාර්යාලයේ ස්ථාන මාරුව සහ කාර්යාලේ ඇති කළ "වැඩට-ඉඩ" සැලසුම පිළිබඳව ද මා මීට පෙර ලියා ඇත. ඒ වෙනස්කම් ඇති වූයේ පසුගිය මැයි මාසයේ ය.

ඉන් පසු නොබෝදා, සේවක-සේවා යෝජක එකඟත්වය මත සේවය කරන කාලය පිළිබඳව ලොකු වෙනස්කම් කිහිපයක් ක්‍ර්‍රියාත්මක කරන ලදී.

අපේ අලුත් සේවා කොන්දේසි මෙසේ ය.

1. උදෑසන හතේ හෝරාවේ සිට සවස හතේ හෝරාව දක්වා ඕනෑම වේලාවක අවශ්‍ය පරිදි සේවය කළ හැක. මින් පෙර මේ සීමාව උදෑසන හතහමාරේ සිට සවස හය දක්වා විය.

2. පෙර පැවති උදෑසන 9:30 සිට 3:30 දක්වා වූ අනිවාර්ය කාල සීමාව අහෝසි කර ඇත. දැන් දවසේ ඕනෑම වේලාවක(*) සේවයට වාර්තා කළ හැක.

3. නිවාඩු නොදමා දිනකට සේවය කළ යුතු අවම කාලය පැය පහක් පමණි.

මේ සියල්ල සේවකයා සහ කළමනාකරුවා අතර පෙර එකඟත්වයෙන්, තමන් කරන රාජකාරියට අනුකූලව පමණක් කළ යුතු වේ.

මේ අනුව මට සවස් වරුවේ පුද්ගලික කාර්යයක් යෙදී ඇති නම්, පෙර දී මෙන් නිවාඩු ඉල්ලීම අවශ්‍ය නැත. මට අවශ්‍ය නම් උදෑසන 700ට සේවය අරඹා දවල් 12:00 ට සේවය අවසාන කළ හැක. එවිට දවසේ අවම සේවා කාලය වන පැය පහ සම්පූර්ණ ය.

එසේ නොව, උදේ වරුවේ වෙනත් අවශ්‍යතාවක් යෙදී ඇති නම්, ඒ කටයුතු අවසාන කර පස්වරු 2:00 ට සේවය අරඹා සවස 7:00 වෙනතුරු සේවය කිරීම සෑහේ. වෙනදා මෙන් වරුවක් අනිවාරයෙන් නිවාඩු දමා අපර භාගයේ සේවය ඇරඹීම කිසිසේත් ම අවශ්‍ය නොවේ!

පෙරදා සවස කළ කර්මාන්තයක් නිසා උදෑසනක අවදිවීමට ප්‍රමාදවීම, වාහන තදබදය, දුම්රිය ප්‍රමාදය, සුපුරුදු දුම්රිය වැරදීම වැනි හේතු නිසා කාර්යාලයට යෑමට ප්‍රමාදවීම කියා දෙයක් දැන් නැත. මා එහි යන වේලාව, මා සේවය අරඹන වේලාවයි!

කොහොමද? හොඳයි නේද?

මීට අමතරව, අපට නිකුත්කර ඇති 4G සම්බන්ධතා සහිත ලැප්ටොප් පරිගණක නිසා වීපීඑන් හරහා කාර්යාලයට සම්බන්ධ වී නිවසේ සිට හෝ දුම්රියේ යනෙන විට දී හෝ සේවය කිරීමට ද ඉඩ සැලසී ඇත.

මෙහිදී අමතක නොකළ යුතු කාරණයක් වෙන්නේ දවසකට අවමය පැය පහක් වුව ද, පෙර දී මෙන් ම, සතියකට අවමය ලෙස පැය තිස් පහක් සේවය කළ යුතු බවයි. සතියේ දින පහම උදේ හතේ සිට දහවල් දොළහ දක්වා අවම පැය පහ පමණක් සේවය කර එය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ ම, සෑම රැකියාවක් ම මේ ආකාරයට විවිධ වේලාවලට ඇරඹීමට නොහැකි අතර, එකම කණ්ඩායමේ සියලු දෙනාට ම එකම දිනයේ මේ ආකාරයට සේවය කළ නොහැක.

ඒ සමගම, තමන් විසින් ඉටු කළ යුතු රාජකාරීවලට අමතරව යෙදෙන, පොදු රැස්වීම්, කණ්ඩායම් ක්‍රියාකාරකම් වැනි කටයුතු සඳහා සහභාගී වීමෙන් ගැලවීමට මේ නම්‍ය සේවා සහන නිසා ඉඩ නොලැබේ.

එවැනි ප්‍රායෝගික කරුණු නිසා අනිවාර්යෙන් ම ඇති එවැනි සීමා යටතේ වුව ද, මේ අලුත් සේවා කොන්දේසි නිසා අපට සැලසී ඇති වාසි එමට ය.

උදාහරණයක් ලෙස, පසුගිය සතියේ දිනක සවස 3:00 ට මට විශේෂඥ වෙදෙකු හමුවීමට යෙදී තිබුණු අතර, වෙනදා මෙන් උදෑසන සේවයට ගොස් වරුවක ලෙඩ නිවාඩුවක් වැය කර ඒ සඳහා කලින් කාර්යාලයෙන් නික්ම යනවා වෙනුවට මා කළේ, එදා උදෑසන නමයට සේවය අරඹා සවස දෙකට වැඩ අවසාන කිරීමයි.

මේ වෙනසකම් ඇරඹී දැන් සති හතරක් පමණ ගෙවී ඇති මුත්, අපේ සේවා ස්ථානයේ සගයන් ගේ වැඩට පැමිණීමේ, පිටව යාමේ රටාවේ ලොකු වෙනසක් මා නුදුටුවෙමි.

ඒ කුමක් නිසා යත්, මොන සේවා කොන්දේසි අදාළ වුවත්, වඩා වැදගත් වනුයේ තමන්ට නියමිත කාර්යයන් නිසි පරිදි, නිසි වෙලාවට ඉටු කිරීම හෙයිනි!

-රසිකොලොජිස්ට්

Sunday, 20 November 2016

තේරෙන නොතේරෙන තේරවිල්ලක් (කුණුහරුපයක් නම් නොවේ!) - Can you solve this riddle?


පීටර් ගිබන්ස් යනු මා සමග එක ම ආයතනයේ, එක ම ඩිවිෂනයේ, එක ම දෙපාර්තමෙන්තුවේ, එක ම අංශයේ සේවය කරන මිතුරෙකි. මීට මාස හතකට කලින් අප දෙදෙනා සිටියේ කිලෝමීටර් තිහකට වඩා දුරින් පිහිටි කාර්යාල දෙකක ය. පසුගිය මැයි මාසයේ ඇති වූ සුවිශේෂී වෙනසට පසු දැන් අපේ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකම කාර්යාලයකට වාර්තා කරමු.

එදා පීටර් සහ මා දිවා ආහාරය ගැනීමට අපේ "වැඩට-ඉඩ" සැලසුම සහිත කාර්යාලයේ කුස්සි කෑල්ලට ගියේ එකට ය. මේසය වටා බංකුවල වාඩිවුණු අපි සුපුරුදු පරිදි දිවා ආහාරය අඹරන්නට පටන් ගත්තෙමු.

අඹරන, ගිලින අතර මා කළේ, මේසය මත තිබුණු "සිඩ්නි මෝනිං හෙරල්ඩ්" පුවත් පතේ පිටු පෙරළමින් එහි තිබෙන රූප නැරඹීමයි. පීටර් තම කාර්යාල ජංගම දුරකථනය මත ඔහු ගේ පුද්ගලික ජංගම දුරකථනය ඇලයට තබා යම් කිසි පුවත් අඩවියක් පිරික්සන්නට පටන් ගත්තේ ය.

එක් ජංගම දුරකථනයක් මට තැබූ තවත් ජංගම දුරකථනයක් දුටු මට සිහි වුණේ අප කුඩා කාලයේ ඉගෙන ගත් තේරවිල්ලකි.

"පීටර්, කැන් යූ සොල්ව් දිස් රිඩ්ල්"" මම පීටර් ගිබන්ස්ගෙන් ඇසුවෙමි, "එ ෆෘට් ඔන් එ ට්‍රී, එ ට්‍රී ඔන් එ ෆෘට්!"

මා කුඩා කාලයේ අසා පුරුදු ඒ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" තේරවිල්ල පීටර් පෙර අසා නොතිබුණි.

තේරවිලි යනු අප කුඩා කාලයේ අපේ වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත් ඉතා අපූරු භාෂා ප්‍රයෝග විශේෂයකි.

ඒ අතර පද පෙරළි සහිත "බුදු කුටිය" වැනි තුන් තේරවිලි ද, "දෙකොන දේශනාවට මඩුව මත්වෙලා" වැනි හය තේරවිලි ද ඇත.

මුලින් කියූ "ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්" ආකාරයේ විවිධ සැඟවුණු අරුත් ඇති කියමන් ද ඇත.

මේ පහත දැක්වෙන්නේ ද තේරවිල්ලකි. මෙය මා කලින් අසා ඇති එකක් නොව, වෙනත් අනාගතයේ පළවීමට නියමිත බ්ලොග් ලිපියක හැඳින්වීම ලියද්දී මගේ සිතට ආ මගේ ම අදහසකි. එසේම මෙය කුණුහරුපයක් නම් නොවේ.

මෙන්න විසඳන්න.
  • මේවා ගැහැනුන්ට මෙන් ම පිරිමින්ට ද තිබේ.
  • ගැහැනුන් ගේ ඒවා පිරිමින් ගේ ඒවාට වඩා අනිවාර්යෙන් ම ලොකු ය. අඩු වශයෙන් මා දැක ඇති ගැහැනුන් ගේ ඒවා මගේ එකට වඩා ලොකු ය.
  • සාමාන්‍යයෙන් ගැහැනුන්ට මේවා එකකට වඩා ඇත. පිරිමින්ට බොහෝ විට ඇත්තේ මේවා එකකි.
  • ගැහැනුන් ගේ ඒවා විවිධ ප්‍රමාණයෙන්, විවිධ වර්ණයෙන් තිබේ. සෑම පිරිමියෙකු ගේ ම එක බොහෝ විට අන් පිරිමියෙකු ගේ එක සමාන ය. එසේ ම ඒවා බොහෝ විට එකම වර්ණයේ ය. නැතහොත් ඉතා සමාන වර්ණයන් ය.
මේ කියන්නේ කුමක් ගැන ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිළිතුර සහ මුලින් කී ලිපිය තව දින දෙක තුනකින් පමණ පළ කරමි.

දෙවසරක් තිස්සේ දින දෙකකට වරක් බැගින් රසිකොලොජියේ ලිපි 366 ක් පළ කළ මගේ මේ ඇරඹුණු තුන්වෙනි වසර සඳහා ඉලක්කය ලිපි එකසිය විස්සක් පමණි!

Monday, 14 November 2016

මයි ඩාලින් රසිකා - Rasika, my darling!


මගේ නම රසන්ත නොවී රසික වූ හැටි ගැන මම පසුගිය සතියේ ලියූවෙමි.

ඒ නම් දෙකෙන් මගේ නම කුමක් වූව ද, එසේ නොමැතිව, මගේ නම සුසන්ත, ප්‍රියන්ත, සමන්ත, ජයන්ත, වසන්ත වැනි ත-යන්නෙන් අවසාන වෙන්නක් වූව ද, එක්තරා කාරණයක් සම්බන්ධයෙන් නම් ඇතිවෙන ප්‍රතිඵලය එකම බව කිව හැක.

මේ ඒ ගැන විස්තර කෙරෙන මගේ අත්දැකීම් සහිත පොඩි කතා කෑලි දෙකකි.
මීට වසර පහළොවකට පමණ පෙර, කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් තිබී, ඒ දිනවල අලුතෙන් අන්තර්ජාලයේ පළ කිරීම ඇරඹුණු එක්තරා සිංහල පුවත්පතක් කියවමින් සිටි මට ඒ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ කුඩා ගැටලුවක් ඇති විය. මට මතක ආකාරයට එය පුවත් පතේ පෙර කලාපයක් කියවීම සඳහා යොදා තිබුණු සබැඳියක් බිඳී තිබීම වැනි දෙයකි.

මා එවිට කළේ, ඒ වෙබ් අඩවියේ සඳහන් වූ ඊ-මේල් ලිපිනයක් භාවිතා කරමින් අදාළ වෙබ් මාස්ටර්ට ඒ පිළිබඳව කියා යැවීමයි.

මා බලාපොරොත්තු නොවූ ආකාරයට වහාම මට පිළිතුරු ලැබුණු අතර, අදාළ දෝෂය ද නිවරද කර තිබුණි. එයට ස්තුති කරමින් මා යැවූ පිළිතුරෙන් පසු, මා විමතියට ලක් කරමින්, මට ඒ වෙබ් මාස්ටර්ගෙන් මගේ පුද්ගලික විස්තර විමසන ඊ-මේල් දෙකක් පමණ ලැබුණි.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම නැවත පිළිතුරු නොලියා නිහඬ වී මි.
දෙවෙනි සිදුවීම මෙසේ ය.
ඒ කාලයේ මා සේවය කළ ආයතනයේ, අපේ දෙපාර්තමේන්තුවේ, කාර්යාල තුනක් එකිනෙකින් කිලෝමීටර් හතළිහක් පමණ දුරින් පිහිටා තිබුණි. යම් කරුණක් ගැන බෙදා හැරුණු පොදු ඊ-මේල් පණිවිඩයකට මා පිළිතුරු යැවූ පසු, අපේ දෙපාර්තමේන්තුවේ ම වෙනත් කාර්්‍යාලයක අලුතෙන් සේවයට බැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකුගෙන් මට පුද්ගලික ඊ-මේලයක් ලැබුණි.

තමන් හඳුන්වා දෙමින් අරඹා තිබුණු ඒ ඊ-මේලයෙන් කියවුණේ, ඔහු මා හඳුනා ගැනීමට කැමති බවත්, නුදුරු දිනකදී අපේ කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීමකට සහභාගී වීම සඳහා ඔහු පැමිණෙන බවත් ය. රැස්වීමෙන් පසු කෝපි කෝප්පයක් බොමු ය යන යෝජනාවක් ද ඒ ඊමේලයේ තිබුණි.

මම ප්‍රසාදය පළ කර පිළිතුරක් යැවූවෙමි.

එදා රැස්වීමේ දී, මේ ඉන්දියානුවා අසුන් ගත්තේ, මා කවුදැයි නොදැන, මා අසලින් ම ය. සාකච්ඡාව පැවැත්වෙන වේලේ ඔහු මා කවුරුන්දැයි දැන ගන්නට ඇත. නමුත් ඔහු මා සමග වචනයකුදු කතා නොකළේ ය.

සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගත් නිසා මම ද නිහඬ සිටියෙමි.
මේ කතාංග ද්වයෙන් මා පැහැදිලි කිරීමට උත්සාහ කළ කරුණ මෙසේ ය.

රසික (Rasika) පමණක් නොව රසන්ත (Rasantha), සුසන්ත (Susantha), ප්‍රියන්ත (Priyantha), සමන්ත (Samantha), ජයන්ත (Jayantha), වසන්ත (Vasantha / Wasantha) වැනි සියලුම පිරිමි නම් ද ඉංග්ලිෂ් භාෂාවෙන් ලියූ කළ, ඒවා රසිකා (Rasika), රසන්තා (Rasantha), සුසන්තා (Susantha), ප්‍රියන්තා (Priyantha), සමන්තා (Samantha), ජයන්තා (Jayantha), වසන්තා (Vasantha / Wasantha) යනුවෙන් ද කියවෙන නිසා, නමේ හිමිකාරයා හමු වී නොමැති විට ඒ නම කාන්තාවක ගේ ය කියා රැවටීමකට ලක්වීමට ඉඩ ඇත!

මා ඉහතින් ලියූ කතා කෑලි දෙකේ කියවුණු අත්දැකීම්වලදී මට එය හොඳින් අවබෝධ විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
තිලක / තිලකා, මදුර / මදුරා, මධුර / මධුරා, පුෂ්ප / පුෂ්පා, වැනි නම් ද මේ කී ආකාරයේ ටැපලීම් ඇති කරයි.

නමුත්, ආසිරි, මානෙල්, කුමුදු වැනි නම් හිමිකරුවන් පිළිබඳව වරදවා වටහා ගන්නට නම්, ඒවා ඉංග්ලිෂ් අකුරෙන් ලිවිය යුතු නැත!

(image: http://www.goodreads.com/book/show/14625389)

Wednesday, 26 October 2016

365. පිරිමි අපිට ඇයි කෙනෙහිළි? Black and white men and colourful women


මට මතක ආකාරයට විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානොත්සවයක් හෝ එවැනි වැදගත් ගරු ගාම්භීර උත්වයක් සඳහා හෝ මට ලැබුණු අවසර/ආරාධනා පතේ ඒ උත්සවයට සහභාගීවෙන්නන් ඇඳිය යුතු ඇඳුම් ගැන යම් ඉඟියක් දී තිබුණි. එහිදී පිරිමි පක්‍ෂයට තරමක සීමා පනවා තිබුණු අතර කාන්තාවන් සම්බන්ධයෙන් පවසා තිබුණේ ඔවුන් උත්සවයට "උත්කර්ෂයක්" සපයන ආකාරයේ ඇඳුමෙන් සැරසී එනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

උත්කර්ෂයක් සැපයීම යනු මොන මංගල්‍යමය අරුතක්දැයි සොයා බැලූ මට දැන ගන්නට ලැබුණේ ඒ ආරාධනා පත්‍රයේ කියවුණේ, ඔබ පිරිමියෙකු නම් එක්කෝ සුදු ජාතික ඇඳුම නැතිනම් සුදු කමිසය සහ කළු කලිසම නැතිනම් තද වර්ණයේ යුරෝපීය ඇඳුම පමණක් ඇඳිය යුතු බව ද, නමුත් ඔබ කාන්තාවක නම් වර්ණාවලියේ ඕනෑම වර්ණයක ඇඳුමෙන් සැරසී එන්නට වරම් ලබා දී එලෙස සැරසී එන ලෙස ආදරබර ඉල්ලීමක් ද කර තිබුණු බව ය.

පිරිමි අපට ඇයි කෙනෙහිළි? මට සිතුණි!

මා ලියූ "සුදු කලිසමේ පින්වන්තකම" ලිපියේ සඳහන් කළ පරිදි, පාසල් යන කාලයේ ප්‍රාථමික පාසල් අවධියෙන් පසු, අපට නියමිත තිබුණේ තනිකරම සුදු කමිස සහ සුදු කලිසම් ඇඳීමට ය. නමුත්, උසස් පෙළ සමයේ දී පාසල් ඇඳුම් මස්සවා ගැනීමේ ක්‍රියාවලියේ දී දෙමව්පියන් ගේ තීරණවලට අපට ද යම් බලපෑමක් කළ හැකි වුණු නිසා, යාන්තම් ලා ක්‍රීම් පැහැති ඇඳුම් ඇඳ ෂේප් වීමට අපට ඉඩ කඩ ලැබුණි. පාසලේ සිටි අයිසා, දසයා, ජඩයා, එඩිසා ආකාරයේ ආදරණීය නම්වලින් හැඳින්වුණු විනය පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් නොපෙනුණි. නෑදෑයින්ගෙන් ත්‍යාග ලෙස ලැබුණු මුදලකින් අප මිලට ගත්තේ ම, එක්කෝ සති අන්තයේ ටියුෂන් යෑම සඳහා අවශ්‍ය සුදු පැහැ නොවන ඇඳුම් ය.

එයින් පෙනෙන්නේ පිරිමින් ද විවිධ වර්ණයෙන් සැරසෙන්නට ප්‍රිය කරන බවයි. කොටින් ම, පන්සලකට, මළ ගෙදරකට පවා චාරිත්‍රානුකූලව අඳින සුදු කලිසම් නොඇඳ සිටිය හැකි නම් එසේ කිරීමට අපේ කිසිදු පැකිළීමක් නැත.

මෙහි දී මගේ සිහියට එන්නේ අපේ තාත්තා ය.

රැකියාවට, අවමගුලකට, මංගලෝත්සවයකට, රැස්වීමකට හෝ කුමනාකාරයේ කාරණයක් සඳහා වුව නිවසෙන් පිටතට යන විට තාත්තා ඇන්දේ සුදු ම සුදු ජාතික ඇඳුම පමණි. ඔහු පන්සල් යන්නෙකු වූවා නම් ද එහි කිසිදු වෙනසක් සිදු නොවෙනු ඇත.

තාත්තා වර්ණවත් යමක් ඇන්දා නම්, ඒ නිවසේ දී ඇඳි පිජාමා සරම් පමණකි. ඒ සරම් ද, ඉතා ලා පැහැති ඒවා විය. එනිසා ම, මා වුව ද කිසි දිනෙක ඔහුට බතික් සරමක් හෝ වෙනත් තද වර්ණයක කිසිදු ඇඳුමක් තෑගි දෙන්නට නොසිතූවෙමි.

ලංකාවේ රැකියා කළ සමයේ අපේ සේවා ස්ථානවල පිරිමින් සියලු දෙනා ම පාහේ ඇන්දේ, එක්කෝ අදාළ යුනිෆෝමයයි, නැතිනම්, ලා පැහැති කමිස සහ කළු, දුඹුරු වැනි තද පැහැති කලිසම් ය. කාන්තා පක්‍ෂයට ඒ ආකාරයේ නීති නොතිබුණි. ඔව්හූ විවිධ වර්ණයේ ගවුම් ද, සාය සහ හැට්ට ද, වර්ණාවලියේ සෑම වර්ණයකම සාරි සහ ඔසරි ද කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇන්දහ.

ගුරු සේවය වැනි සමහර වෘත්තීන් හි නිරත කාන්තාවන්ට සාරි මිස ගවුම් ඇඳීම නීති විරෝධී ආකාරයට තහනම් කර තිබීමත් කාන්තාවන් ඒ නීති මීක් නොකියා පිළිපැදීමත් වෙනම ම සාකච්ඡා කළ යුතු කාරණයකි.

ඕස්ට්‍රේලියාවේ මා සේවය කර ඇති, සේවය කරන කාර්යාලවල ද තත්වය ද ලංකාවේ සේ ම ය. පිරිමි අප සියලු දෙනා, ලා පැහැති බොත්තම් සහිත කමිසයෙන් ද, බොහෝ විට කළු හෝ සමහර විට තද පැහැති දිගු කලිසමෙන් ද සැරසී (කාලයට, දේශයට, දීපයට, කුලයට අදාළ පරිදි ටයි සහ කෝට් සහිතව) සේවයට එන්නෙමු.
තද පැහැති කමිසයක් හෝ ටී-ෂර්ටයක් හෝ අඳින්නේ සිකුරාදා නොහොත් "කැෂුවල් ෆ්‍රයිඩේ" දිනයට පමණි.

කාන්තා පක්‍ෂය නම් තමන් රිසි පරිදි විවිධ වර්ණයේ, විවිධ මෝස්තරයේ ඇඳුමින් සැරසී සේවයට එති. අත් දිග, අත් තුන්කාල, අත් කොට මෙන්ම අත් නැති බ්ලවුස් ද, දිග කලිසම්, දිග සාය, කොට සාය යනාදී විවිධාකාරයේ ඇඳුම් ද ඔව්හූ අඳිති.

ළඟ එළැඹෙන ගිම්හාන සමය මේ උත්කර්ෂයේ උච්ඡස්ථානයයි. මේ කාලයේ දී පිරිමින් ගේ ග්‍රීවානුබද්ධ උලුක්කු සෑදීමේ සම්භාවිතාව උපරිම අගය ගන්නා බව කියවේ.

පිරිමි ගැහැණු ඇඳුම් පැළඳුම් ගැන මේ කෙටි සටහන් කිහිපය මා ලියූවේ ලංකා දේශපාලනයට අදාළ එක්තරා හාස්‍යජනක කාරණයක් කියන්නටයි.

ඒ කොටස, මට ද, මගේ රසිකොලොජි බ්ලොගයට ද අදාලව ඉතා වැදගත් දිනයක් වන හෙට දවසේ මෙහි පළවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/popular/black-gold-suits.html)

Tuesday, 25 October 2016

ජැන්ඩියට ඇඳීම සහ ආත්මාභිමානය - You look dandy mate


සිනුවර තද සීතලක් පැවතුනු පසුගිය ශීත සිසිිරයේ මා රාත්‍රියට නිවසේ දී ඇඳ සිටි අත් දිගැති ප්ලැනල් රෙදි කමිස (මේවා ජම්පර් යැයි හැඳින්වේ) සහ එවැනිම රෙද්දෙන් මැසූ දිග කලිසම් යනාදිය ශීත සිසිරය සඳහා ම විශේෂයෙන් නිපදවූ ඇඳුම් ය.

නමුත්, මා රාත්‍රියට සීතල අඩු වසන්ත සහ හේමන්ත කාලයේ මෙන් ම රස්නය වැඩි ගිම්හාන සමයේ නිවසේ දී අඳින ටී-ෂර්ට් යනාදිය නම්, ඒවායේ කලින් ආත්මයේ මා සමග වසර දෙක තුනක් තිස්සේ එළියේ-පහළියේ ගමන් බිමන් ගිය, කාලයත්, සේදීමත් නිසා ඔපය නැති වී පරණ වූ පසු දිවා සමයේ සිට රාත්‍රී කාලයේ නිවසේ දී පාවිච්චිය සඳහා තත්වයෙන් පහළ හෙළන ලද ඒවා ය.

මට අද කවුරු කීවේදැයි නිවැරදිව අමතක අයෙකු මා සමග වරක් කීවේ, ඔහු (හෝ ඇය) පරණ වුණු ඇඳුම් කිසි දිනක නිවසේ ඇඳීම සඳහා යොදා ගන්නේ නැති බවත්, නිවසේ දී අඳින්නේ ඒ සඳහා ම විශේෂයෙන් මිළට ගත් ඇඳුම් බවත් ය.

ඒ ඇයිදැයි ඇසූ විට ඇය (හෝ ඔහු) පවසා සිටියේ නිවසේ දී, සති අන්තයේ, සවස් යාමයේ හෝ රාත්‍රී කාලයේ දී වුව, වසර කිහිපයක් පැරණි ඒවා නොව අලුතින් ම ඒ සඳහාම මිලට ගත් නැවුම් ඇඳුම් ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක්, සතුටක්, ආත්ම විශ්වාසයක් ලැබෙන බවයි.

එවැනි අයෙකු නිතර ඇහැ ගැටෙන නිවසේ අන් අයට ද, ඒ දසුන, එවැනිම වූ ප්‍රසන්න අත්දැකීමක් වන බව සැකයෙන් තොරව අපට සිතිය හැක.

සරත් විජේසූරිය ගේ සුප්‍රකට හුචක්කුව කතාවෙන් කියවුනේ ඒ කාසියේ අනෙක් පැත්ත ගැනයි, එනම්, රෑට අඳින ඇඳුම උඩින් ම හවුස්කෝට් නොහොත් හුචක්කුව පටලවා ගෙන දිවා කාලය ද ගත කරන අර්ධ නාගරික ප්‍රදේශයන්වල වෙසෙන පහළ මධ්‍යම පන්තියේ ගෘහිණියන් ගේ ඒ චර්යාව පිළිබඳව ය.

ඒ කරුණු කෙසේ වෙතත්, ජැන්ඩියට හෙවත් ඩැන්ඩි ලෙස ඇඳ පැළඳ සිටීමෙන් සිතට මහත් ප්‍රීතියක් පමණක් නොව, ධෛර්යක් සහ ආත්මාභිමානයක් ද, ඉමහත් චිත්ත ශක්තියක් ද ලැබෙන බව මම පසුගිය මාස හතරක පමණ කාලයේ දී හොඳින් වටහා ගත්තෙමි.

පසුගිය මැයි මාසයේ දී සිදුවුණු, මා සේවය කරන කාර්යාලය සිනුවර උතුරු ප්‍රදේශයේ සිට අපේ නිවස පිහිටි බටහිර දෙසට කිලෝමීටර් තිහක් පමණ විතැත් වීමත්, ඒ සමගම කෙරුණු "වැඩ-අනුව-ඉඩ" යැයි මා නම් කළ කාර්යාල සැලසුමේ වෙනසත් පිළිබඳව මා මින් පෙර රසිකොලොජියේ ලිපි දෙකක් ම ලියා තිබේ.

ඒ වෙනසත් සමගම, අපේ ප්‍රදේශයට ශීත ශිශිරය ද උදා විය. අලුත් කාර්යාලයේ, අලුත් ජීවිතය වෙනස් ආකාරයකට ඇරඹීමට සිතු මම, සම්පූර්ණ යුරෝපීය ඇඳුමින්, එනම්, ටයි සහ කෝට් ද පැළඳ සේවයට යාම ඇරඹූවෙමි.

මා අවසන්වරට මේ ආකාරයේ ෆුල් සූට්කාරයෙකු ලෙස සේවයට ගියේ මීට වසර දහයකට කලින් බැලරැට් විශ්ව විද්‍යාලයේ සිඩ්නි ශාඛාවේ සේවය කළ සමයේ දී ය.

උසස් අධ්‍යාපන සේවයේ ඒ වෘත්තීය ජීවිතය සදහටම අතහැර දමා, ප්‍රාන්ත රජයේ අධිකාරියක සේවය ඇරඹූු පසු, මුලින් ම 2007 දී ම, කෝට් බෑය අතහැර දැමුවෙමි. ඉන් පසුව 2010 දී එලැඹි ගිම්හාන සමයේ දෙසැම්බරයේ දී ටයි පටිය ද අමතක කර දැමුවෙමි.

යළිත් ටයි පොල්ල බෙල්ලේ ගැට ගසා කෝට් බෑය හැඳගත් පසු ශීත ශිශිරයේ කරදරයෙන් බේරීමට ඉඩ ලැබුණා පමණක් නොව සිතට ද උදෑසනම විශාල ප්‍රබෝධයක් ඇති වී දවසම ඒ සතුට සිතේ පැවතෙන බව මම අත් වින්දෙමි.

මග තොට දී, කාර්යාලයේ දී මා දකින කාන්තා පාර්ශවයේ අයට ද, හුචක්කු විලෝම චින්තා පහල වෙන්නට ඇතුවාට සැක නැත!

කාර්යාලයේ ඇතමුන් මා අසලට පැමිණ "යූ ලුක් ඩැන්ඩි මේට්!" යැයි කියමින් මගේ ඒ පිළිවෙලට ඇඳීමේ වැඩපිළිවෙළට "ප්‍රසංශා" කළහ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ අපට ගෙවෙන්නේ මල්බර වසන්තයයි. තවත් මාසයකින් පමණ රුදුරු ගිම්හානය එළැබීමට නියමිත ය. දැනටමත් කෝට් බෑය අතැර දමා ඇති මම, ටයි පොල්ල ද ගලවන්නට කල් මරමින් සිටිමි. පසුගිය ගිම්හානයේ කළ ආකාරයට අත් දිග කමිසද අතහැර, අත්කොට කමිසයට බසින්නට මට හැකි වෙනු ඇත!

හැබැයි, මා සතුව ඇති එකම සුදු කලිසම නම් තවම මා කාර්යාලයට යෑමේ දී ඇඳ නැත.

Tuesday, 27 September 2016

අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?


අද තම උපන්දින සමරන, ලංකාවේ ප්‍රථම (සහ එකම) වෘත්තීය බ්ලොග්කරු ලෙස විරුදාවලි ලැබ සිටින, W3Lanka බ්ලොග්කරු මා මිත්‍ර අජිත් පැරකුම් ජයසිංහ කලකට පෙර ජනරළ පත්තරයට "සුන්දර ඉංග්‍රීසි" නමින් කොලමක් ලිව්වේ ය. ඔහු ඒ සමගම ඒ ලිපි පෙළ තම බ්ලොගය හරහා ද බෙදා ගත් බැවින් මා වැනි තවත් පිරිසකට ද ඒවා කියවන්නට ඉඩ ලැබුණි.

මගේ රසිකොලොජියේ ද ඉංග්ලිෂ් භාෂාව පිළිබඳව ලිපි කිහිපයක් ම පළ විය.

ඒ කිහිපයෙන් මා ඉතා ප්‍රිය කරන්නේ, අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් ආකාරය ගැන කියවෙන ලිපියටයි.
http://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html


මේ තවත් ඉංග්ලිෂ් භාෂාව හා සම්බන්ධ කතාවකි.

මෙය "අසුන්දර ඉංග්ලිෂ්" ලෙස වර්ගීකරණය කරමි!

මේ කතාවට වස්තු බීජය සැපයූවේ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Dirk Van Oudheusden) ය. ඔහු, මා පෙර ලිපියක ලියූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මෙන් ම, මා පශ්චාත් උපාධියක් හැදෑරූ ආසියානු තාක්‍ෂණික ආයතනයේ සේවය කළ බෙල්ජියන් ජාතික කථිකාචාර්යවරයෙකි. ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් මගේ උපාධි තීසීසය සඳහා මා කළ පර්යේෂණයේ උපදේශකයා ද විය.

ආසියානු තාක්‍ෂණ ආයතනය (Asian Institute of Technology) 1959 දී තායිලන්තයේ අරඹා ඇත්තේ ආසියානුකරයට ම පොදු අන්තර්ජාතික පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් ලෙසිනි. එය පවත්වාගෙන යාමට විවිධ යුරෝපීය සහ ආසියානු රටවලින් විශාල ලෙස අරමුදල් ලැබුණි. ඒ ප්‍රතිපාදනවල ම කොටසක් ලෙස අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය සඳහා ද යුරෝපීය රටවලින් උගතුන් අනුයුක්ත කර තිබුණි.

අපට ඉංග්ලිෂ් භාෂාවෙන් තම විෂයයන් ඉගැන්නුව ද, වෑන් ෆ්‍රෝසම් ගේ මෙන් ම, වෑන් ඔයුඩියුස්ඩන් ගේ ද මුල් භාෂාව ඩච් මිස ඉංග්ලිෂ් නොවේ. මා දන්නා පරිදි ඔවුන් කුඩා කළ සිටම ඩච් භාෂාවට අමතරව මූලිකව ෆෙන්ච්, ජර්මන් යනාදී යුරෝපීය භාෂා උගත් අය වෙති. එනිසා, ඔවුන් ගේ ඉංග්ලිෂ් භාවිතය තරමක් වෙනස් විය. අප කරනවාක් මෙන්, මුලින් තම මව් භාෂාවෙන් සිතා, දෙවනුව එය ඉංග්ලිෂ් භාෂාවට සිත ඇතුළේ දී පරිවර්තනය කර එළියට දමන ආකාරය තරමක් හෝ පෙනුණි. ඔවුන් දෙදෙනා ගේ ඉංග්ලිෂ් උච්චාරණය ද සුවිශේෂී විය.

ආසියානු තාක්‍ෂණ ආයතනයේ පශ්චාත් උපාධිය නිමවා ආපසු ලංකාවට පැමිණි මම, මා පෙර සේවය කළ රාජ්‍ය ආයතනයේ (වානේ සංස්ථාව) ම සේවය ඇරඹූවෙමි. මද කලක් එසේ සේවය කරන අතරතුර, ඉදිරියටත් අධ්‍යාපන කටයුතු සහ පර්යේෂණ කිරීමට කැමැත්තක් මගේ සිත තුළ ඇති වූ නිසා, මට ලංකාවේ විශ්ව විද්‍යාලයක බැඳී සේවය කිරීමට කැමැත්තක් ඇති විය.

ඒ බව සඳහන් කළ ලිපියකින්, ආචාර්ය ඔයුඩියුස්ඩන් ඇමතූ මම, ඒ සඳහා විශ්වවිද්‍යාලයක සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවීමක් ලැබුණහොත් ඉදිරිපත් කිරීම සඳහා මට රෙකමදාරු ලිපියක් එවන ලෙස ඉල්ලා සිටියෙමි.

සති දෙකකින් පමණ මට ඔහුගෙන් ලිපියක් ලැබුණි.

ආසියානු තාක්‍ෂණ ආයතයේ දී මා කළ අධ්‍යාපන කටයුතු ගැන විස්තරයක් ද සහිතව ආචාර්ය ඔයුඩියුස්ඩන් ඔහු විසින් ලියා තිබුණු ඒ ලිපියේ සඳහන් වුණු එක් වගන්තියක් මගේ සිත ගත්තේ ය.

අයි සස්පෙක්ට් රසික කැන් ටීච් වෙල් (I suspect Rasika can teach well).

මා සිතන පරිදි, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්ට මෙහි දී කියන්ට අවශ්‍ය වූයේ, මා ආසියානු තාක්‍ෂණ ආයතයේ දී අධ්‍යයන කටයුතු මිස ඉගැන්වීමේ කටයුතු නොකළ නිසා ඔහු ඒ සඳහා මගේ ඇති හැකියාව ගැන නොදන්නා නමුත්, මට ඉගැන්විය හැකිය කියා ඔහු සිතන බවයි, එසේ නැතහොත් උපකල්පනය කරන බවයි.

සස්පෙක්ට් යන ඉංග්ලිෂ් පදයේ නිරුක්තිය මෙසේ වේ.



මෙහි දී, ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන්, "සස්පෙක්ට්" යන වචනය යොදාගෙන ඇත්තේ ඒ මුල් අරුතින් විය යුතුය.

නමුත්, අප පුරුදු වී ඇත්තේ "සස්පෙක්ට්" යන ඉංග්ලිෂ් වචනය නරක දෙයක් සඳහා සැක කරනවා ය යන සෘණාත්මක අරුත ගෙන එන්නට භාවිතා කිරීමටයි. ඒ, "සස්පෙක්ට්" යන වචනය නාමපදයක් ලෙස භාවිතා වෙන විට එය ලබා දෙන අරුත (සැකකරු) නිසා යැයි සිතමි.

එසේ නැතිනම්, "අයි සපෝස්" යනුවෙන් ලියනු වෙනුවට ඔහු "අයි සස්පෙක්ට්" යැයි කියන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ වසර අවසානයේ දී මට විශ්වවිද්‍යාලයක රැකියාවක් ලැබුණු අතර එය, 1977 දී යූඇම්පීයට රට ගියා සේ, දාහත් වසරක සාපයක් ම විය!

ඒ විශ්වවිද්‍යාල රැකියාවේ දී මා ලද අපූරු අත්දැකීම් ගැන රසවත් විශ්වවිද්‍යාල කතා කිහිපයක් ම ලිවිය හැක.

අයි සස්පෙක්ට් අයි කැන් බ්ලොග් වෙල්?

(image: https://www.mech.kuleuven.be/en/cib/about/news/emeritaatdvo)

Wednesday, 1 June 2016

රතඹලා, දං සහ බ්ලැක්බෙරි - Sour grapes


අප කුඩා කල විසූ මගේ පියා ගේ මහගෙදර පිහිටා තිබුණේ පරකන්දෙණිය නම් ග්‍රාමයේ තරමක වපසරියක් ඇති ඉඩමකය. නිවසෙන් වම් පැත්තේ පහළට විහිදුණු කොටසේ ප්‍රධාන වශයෙන් ම තිබුණේ පොල් ගස් සහ කජු ගස් ය. මේ කොටසේ අතරින් පතර රතඹලා සහ දං පදුරු වැවී තිබුණි.

රතඹලා යනු පියකරු මල් වර්ගයක් ද පිපෙනා කුඩා ගස් වර්ගයකි. ප්‍රමාණයෙන් කුඩා රතඹලා ගෙඩි රතු පැහැයට හොඳින් ඉදුණු පසු රසවත් පලතුරක් ද වේ.

රතඹලා ගෙඩියට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල මෙන්ම වඩා රසවත් පලතුරක් වූ දං ගෙඩිවලට ඒ නම ලැබී ඇත්තේ අනිවාරයෙන් ම, ඉදුණු දං ගෙඩිවල දම් පැහැය නිසා විය යුතු ය.

රතඹලා තියා දං ගෙඩියක් දශක ගණනාවකින් රස බලා නැති මා ඒ සමාන පලතුරක් අනුභව කර ඇත්නම්, ඒ වෙනත් ශාක කුලකයකට අයිති යැයි සිතෙන, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි සහ බ්ලූබෙරි ය. මේවා මම විටින් විට මගේ දියරමය උදෑසන ආහාරය සඳහා එක් කරමි.

බ්ලැක්බෙරි කියන්නේ ද ඒ ආකාරයේ පලතුරක් වුවත් මා ආහාරයට ගෙන නැත. ඒ බ්ලැක්බෙරි පලතුරට වඩා මා සිත ගත්තේ බ්ලැක්බෙරි ලෙස නම් කර තිබුණු ජංගම දුරකථන මොඩලයයි.

මා බ්ලැක්බෙරි මොඩලයේ ජංගම දුරකථනයක් සමීපව දුටුවේ සහ එහි ඇති සේවා සහ ප්‍රයෝජන ගැන දැන ගත්තේ මීට වසර නමයකට වඩා ඉහත සමයක විවිධ හේතු නිසා විශ්ව විද්‍යාල සේවය හැර දමා, ප්‍රාන්ත රජයේ රැකියාවට ගිය විටය.

මගේ කළමනාකරුවා වූ ගැවින් හිල් භාවිතා කළේ ඒ වර්ගයේ දුරකතනයකි. එය ඔහුට අපේ ආයතනය මගින් ලබා දී තිබුණු පහසුකමක් විය.

ගැවින් ගේ බ්ලැක්බෙරිය හා සසදන විට එවකට පොදු භාවිතයේ තිබුණු මගේ නොකියාව හෝ ඒ ආකාරයේ ජංගම දුරකථන සිහි කළේ නවදැලිහේන්වල සිටිනා වැඳිරියන් බව කීම අතිශයෝක්තියක් නොවේ!

බොත්තම් දොළහකින් පමණ යුතු සාමාන්‍ය දුරකථනයක යතුරු පුවරුව වෙනුවට බ්ලැක්බෙරියේ සම්පූර්ණ QWERTY යතුරු පුවරුවක් තිබුණි. පේළි දෙක තුනක වපසරියකින් යුතු සාමාන්‍ය දුරකථනයට තිරය වෙනුවට බ්ලැක්බෙරි මුහුණතේ ඉතිරි අඩ පුරා විහිදුණු වර්ණ තිරයක් විය.

ඊටත් වඩා වැදගත් කාරණය වූයේ බ්ලැක්බෙරි දුරකථන සඳහා ඉන්ටර්නෙට් සම්බන්ධතා තිබීමයි. ුය කාලයටත් වසර දෙකකට පෙර මා මගේ බිරිඳට තෑගි දුන් මෝටරෝලා දුරකථනයේ ද ඉන්ටර්නෙට් සම්බන්ධතා ද, ඊට අමතරව වීඩියෝ ඇමතුම් පහසුකම් ද තිබුණු නමුත්, බ්ලැක්බෙරියේ ඊට වඩා වෘත්තීයමය පෙනුමක් තිබුණි. ඒ මොඩලය භාවිතා කළේ නිතරම ඊ-මේල් සහ දුරකථන සබඳතා පවත්වා ගත යුතු වූ, රාජකාරි දිනපොත රැස්වීම්වලින් පිරී තිබුණු වෘත්තිකයින් විසිනි.

උදාහරණයක් ලෙස ගැවින් හිල් මසකට දෙතුන් වරක් ප්‍රාන්තයේ විවිධ කාර්යාලවලට ද, වෙනත් ආයතනවලට ද රාජකාරි කටයුතු සඳහා යන්නෙකි. සේවයට යාම ඒම සඳහා ද, මටත් වඩා කාලයක් දුම්රියේ ගත කරන්නෙකි. ගුවන් තොටුපොළ විවේකාගාරයේ, දුම්රියේ, ටැක්සියේ සිට අවේලාවේ ඔහු අපට තම බ්ලැක්බෙරියෙන් ඊ-මේල් එවීම සාමාන්‍ය දෙයක් වී තිබුණි. මේවා, කුඩා පණිවිඩ නොවේ. දීර්ඝ විස්තර සහ උපදෙස් රැගත් ඒවාය. ඔහු තම අවුට්ලුක් මෘදුකාංගයේ දිනපොත ද භාවිතා කළේ බ්ලැක්බෙරිය හරහා ය.

බ්ලැක්බෙරියේ යතුරු පුවරුව ද, විශාල තිරය ද, ඉන්ටර්නෙට් සබඳතාව ද මේ සඳහා ඉතා ප්‍රයෝජනවත් විය.

එනිසා, එවකට පෙර ගෙවුම් සබඳතාවක් සහිත අඩු මිල නොකියා ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටි මට බ්ලැක්බෙරියක් හිමි කර ගැනීමේ පෘථග්ජන ආශාවක් ඇති වීම පුදුමයක් නොවේ.

ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස මගේ රැකියාව ගැවින් හිල් මෙන් තැන තැන යෑමට අවශ්‍ය නොවූ බොහෝ දුරට එක කාර්යාලයක සිට කළ යුතු වූ එකක් විය. එනිසා, කාර්යාලීය දුරකථනයක් සපයා ගැනීම සඳහා අවශ්‍ය බිස්නස් කේසයකට මට කරුණු නොතිබුණි. මට තිබුණේ විකල්ප දෙකකි.

එක්කෝ අත් පිට මුදලට බ්ලැක්බෙරියක් මිලට ගෙන, මා එවකට කළා මෙන් පෙර ගෙවුම් සම්බන්ධතාව පවත්වා ගත යුතුය. නැතිනම්, මාසයකට නිශ්චිත මුදලක් ගෙවීමට වසර දෙකක ගිවිසුමකට එළැඹිය යුතුය. නිවැරදි ම අගයන් මගේ මතකයේ නොමැති වුවත්, ඒ ක්‍රම දෙකෙන් එකක් සඳහාවත් යන වියදම සාධාරණීකරණය කිරීමට හැකි සාධක, එනම් මුදලේ හැටියට අවශ්‍යතා, මට නොතිබුණි.

මම මගේ පැරණි නොකියාවිය සමග දිගටම කාලය ගෙව්වෙමි. මගේ ජංගම දුරකථන භාවිතය, කතා බහේ යෙදීමටත්, එස්එම්එස් ගනුදෙනු සඳහාත් පමණක් සීමා විය.
ඒ වසර 2010 මාර්තුවේ දිනයක, බ්ල්ක්බෙරියක හැඩරුව ද, පහසුකම් ද ඇති අලුත් මොඩලයේ නොකියාවියක, ඉතා හොඳ ගිවිසුමක් යටතේ ලබා ගත හැකි බව දුටු මොහොත තෙක් ය.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/BlackBerry_Bold)

Wednesday, 25 May 2016

ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa?


මීට පෙර දෙවසරක පමණ කාලයක් ඇතුළත හතර පස් වරක් රාජකාරි රැස්වීම්වලදී හමුවුණු අවස්ථාවලදී සහ දුරකථනයෙන් කතා බස් කර හඳුනන මගේ රාජකාරි සගයෙකු, මීට සතියකට පෙර අපේ ආයතනයේ සිදුවුණු කාර්යාල ස්ථාන මාරුව නිසා, දැන් දිනපතා ම පාහේ මුණ ගැසේ.

මම මෙහිදි ඔහුව ජෝර්ජ් කියා හඳුන්වන්නෙමි. එය ඔහු ගේ සැබෑ නම වීමට ඉඩ ඇත. එක්සත් රාජධානියෙන් සංක්‍රමණය කළ හෝ එසේ සංක්‍රමණය කළ අයගෙන් පැවත එන බොහෝ ඕස්ටේ‍ර්ලියානු පිරිමින්ට ඇත්තේ ජෝන්, මාක්, පීටර්, ලූක්, ඩේවිඩ් හෝ ජෝර්ජ් වැනි මුල් නමක් නිසාත්, මේ කථාවේ කිසිදු අවකැපෙන දෙයක් නැති නිසාත්, එහි අවුලක් නැත.

රාජකාරී කටයුතු සඳහා මුණ ගැසෙන විට මෙන් නොව, ඕනෑම අයෙකු දිනපතාම පාහේ මුණ ගැසෙන විට එදිනෙදා කරුණු පිළිබඳව සුහද කතාබහක යෙදෙන්නට අවස්ථාව ලැබෙන බව නොරහසකි. එනිසා, ජෝර්ජ් සහ මා අතර අලුත් සේවා ස්ථානයේ අප ගතකළ හැම දිනකම සුලු-සුලු කතාබහ ඇති විය.

"වැඩට-ඉඩ" ක්‍රමයට සේවය කරන අපේ කාර්යාලයේ ඊයේ දවසේ අප දෙදෙනා පාවිච්චි කළ සේවා මේස පිහිටියේ දුරින් වුවද, තේ කෝප්පයක් බීමට මා කුස්සි කෑල්ල පැත්තේ ගිය මොහොතක ජෝර්ජ් මා කතාවට වැටුණේය.

"උඹලා ගෙදර සමෝසා හෙම හදනවා ඇති නේද? ඒවා මාර රහයි. හැදුවාම දවසක ගෙනෙං ඔෆීසියට!" ජෝර්ජ් කීවේ ය.

නොදන්නා අය සිටීනම් ඔවුන් ගේ පහසුව පිණිස කිව යුත්තේ සමෝසා යනු ඉන්දියානු කෑමක් බවයි. මේවා මැදට එළවළු, අල, මස් හෝ මාළු දමා සාදන පේස්ටී්‍ර හෝ පැටිස් හෝ වැනි වර්ගයකි.

"මං සමෝසා ගැන දන්නවා. නමුත් ඒක ඉන්දියන් කෑමක්. මම ශ්‍රී ලංකාවෙන් ආවේ. අපේ ගෙවල්වල සමෝසා හදන්නේ නෑ ඕයි!" මම කීවෙමි.

"ආ ඇත්තද? ඉතිං ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි නිකං සේම් සේම් නොවෙයිද?" ජෝර්ජ් ඇසුවේ ය.

"අපෝ නෑ, අපි වෙනස් බං!"

"එතකොට, ලංකාවේ නැද්ද ඒ වගේ කෑමක්?"

සමෝසාවල රසයට සමාන රසයක් ඇති ලංකාවේ කෑම ලෙස මට හිතා ගත හැකිවූයේ කට්ලට්, පැටිස්, රෝල්ස් සහ වඩේ වැනි දේ ය. නමුත් ඒවා තනිකරම ශ්‍රී ලාංකික යැයි කිව හැකිද?

කියුබාකාර, ප්‍රිසමාකාර, පිරමීඩාකාර ආදී විවිධාකාරයෙන් සැදෙන එළවළු රොටී, මස් රොටී මෙන්ම මාළු පාන් ගැන ද ඒ පැනය ම නැගේ.

හැලප, අග්ගලා, වැලිතලප ගැන මට සිහිවුණු නමුත්, ඒවා රසකැවිලි මිස කුළුබඩු යෙදූ එළවළු හෝ මාංශ සහිත අතුරු කෑම නොවේ.

ජෝර්ජ්ට දිය හැකි නිසි පිළිතුරක් ගැන මම තවමත් සිතමි.

ආප්ප, ඉදිආප්ප පමණක් නොව අවුරුදු මේසය සරසන කැවුම්, කොකිස් වැනි රසකැවිලි වර්ග ද විදේශීය මූලාශ්‍ර ඇති ඒවා වන කල්හි, මුළුමනින් ම ශ්‍රී ලාංකික වූ සමෝසා වැනි කෑමක් ඇති යැයි සිතීම විහිළුවක් පමණක් ද?

-රසිකොලොජිස්ට්

Tuesday, 10 May 2016

ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්‍ෂක කියයි - IGPs secret of interview sucess is out...!


කාලයකට පෙර සන්ලයිට් සබන් අලෙවිය පිණිස ප්‍රචාරය වුණු රේඩියෝ වෙළඳ දැන්වීමක් මෙසේ විය.

මෙය සුනිල් සහ නිමල් නම් මිතුරන් දෙදෙනෙකු අතර කවියෙන් කෙරෙන දෙබසකි.

එන්න නිමල් වාඩි වෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස්වීමට සිදුවුයෙ මොනවාදැයි අහන්න
ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනේ සිද්ධ වුණේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුණේ
මොකද, මොකද ලොක්ක කිවේ?
දක්‍ෂකම ම විතරක් මදි
උසස් ම තනතුරු ලබන්න
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න
ඒ කතාව ඇත්ත තමයි!
කතාව නම් ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොපමණ හේදුවත් නෑ නෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ
මේ විරිදු කතා බහේ, මට වචන අමතක, ඊළඟ කොටසින් හෙළිවන්නේ නිමල් ගේ මිතුරා සුනිල් ගේ රෙදි කිරි සුදෙන් බබළන්නේ ඔහු සන්ලයිට් සබන්වලින් රෙදි සෝදන නිසා බවයි.

පසුව නිමල් ද, සන්ලයිට් සබන්වලින් රෙදි සෝදා, තම උසස්වීම ලබා ගනියි.

ඒ එදා ය.

පසුගිය දා පත්වූ නවක මහ පොලිස් පරීක්‍ෂක (Inspector General of Police) පූජිත ජයසුන්දර තම උසස්වීම ලබා ගැනීම සඳහා අනුගමනය කර ඇති ක්‍ර්‍රියා මාර්ගය මෙසේ ය.



බුදු සාදුට පවා වෙනත් ආගමකට යාමට සිතෙන ආකාරයේ ඒ විහිළු-තහළු වීඩියෝව දුටු මට මුලින් ම සිතුණේ "නොදකින්!" කියා ය.

නමුත් පසුව, නවක මහ පොලිස් පරීක්‍ෂක පුජිත ජයසුන්දර ගැන අනුකම්පාවක් ද, ඒ සමගින් ම, ඇත්තටම පහන් සංවේගයක් ද ඇති විය.

ඒ මක්නිසාද යත්, මෙවැනි ධර්මරාජයෙකු මහ පුටුවේ ඉන්නා ලංකා පොලීසිය ද, තම භටයින් ගේ උරහිස පැළඳි ධර්මචක්‍ර ලාංඡනයෙන් නිරූපණය වෙන ආකාරයට, තම ආදර්ශ පාඨය වන "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" යන්නෙන් කියවෙන ආකාරයට, ධාර්මික පුන්‍ය ආයතනයක් වීමට හොඳටම ඉඩ ඇති බව වැටහුණු නිසා ය.

මීට කලින් සිටි පොලිස්, හමුදා ලොක්කන් උග්‍ර සායිබාබාවාදීන් වූ බව මම අසා ඇත්තෙමි. ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටූ හොරෙකු සරණ ගිය ඒ උන්දැලා හා සලකන කල, මේ නවකයා මට නම් හොඳ ය.

සාධු, සාධු, සාධු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
නවක මහ පොලිස්කාරයා ගේ මේ කතාව ඇසූ මා මිත්‍ර සත්‍යප්‍රසාද් ප්‍රකාශයක් කරමින්, වසර අවසානයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා ගැනීම සඳහා අද හෙටම තමන් ගේ වට වන්දනාව ආරම්භ කරන බව කියා ඇත.

මම පසුගිය සිකුරාදා ඉහළ තනතුරක ඇබෑර්තුවක් සඳහා අයැදුම් පතක් යොමු කළෙමි. මට ඒ තනතුර ලැබුණොත්, ලබන සතියේ සිට අඩුවීමට නියමිත ගමන් කාලය පෙරටත් වඩා වැඩිවෙනමුත්, පඩි පැකට්ටුව නම්, 30% කින් පමණ වැඩිවේ.

එ නිසා, මට අදාළ සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමක් ලැබුණොත්, ග්ලෙන්මෝ පාර්ක් හි පිහිටි අපේ නිවසේ සිට, සිනුවර ලංකාරාමය දක්වා පා ගමනින් වන්දනාවක යෙදීමට මගේ සිතේ අදහසක් ඇතිවිය.

ඔය තනතුර සඳහා අයැදුම් කර ඇති අන් අය, එවැනි වන්දනාවක යෙදීමට ඇති ඉඩකඩ අවම නිසා, මට උසස්වීම ලබා ගැනීමට හොඳටම අවස්ථාව ඇති බව පෙනේ.

අයැදුම්පත යොමු කිරීමට පෙර මේ ආකාරයේ වන්දනාවක් කළා නම්, සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීම ද අනිවාර්යෙන් ම ලබා ගැනීමට ඉඩ තිබුණා නොවේ දෝ යි කියා ද මට සිතේ.

දැන් ඉතිං, සම්මුඛ පරීක්‍ෂණයක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සායිබාබාටවත් භාර කළ යුතුය!

(image: http://www.police.lk/index.php/vision-a-mission)

Thursday, 5 May 2016

අපේ ඔෆීසියේ මහ වැස්සක පෙර නිමිති - Activity Based Working (ABW), WTF?


කාර්යාලයක කෙරෙන හැම රැකියාවකට ම නිත්‍ය මේසයක් සහ පුටුවක් හිමි නැත.

විශේෂයෙන් ම, කළමනාකරණ මට්ටමේ රැකියාවක් වුව ද, එය සේවා මුරයකට අදාළ නම්, එකම මේසය සහ පුටුව දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ විසින් දවසේ වෙනස් කාල වකවානුවලදී භාවිතා කෙරෙනු ඇත. ඊට අමතරව මහජනයා සමග ගනුදෙනු කරන ආයතනවල ඒ හා අදාළ රැකියාවන් කරන අය තමන් ඒ ඒ දිනයේ සේවය කරන ස්ථානය එකම කාර්යාලය තුළ වුව ද වෙනස් වීමට ඉඩ ඇත.

කෙසේ නමුත්, තමන්ටම වෙන් වූ, මේසයක් සහ පුටුවක් තියේනම්, ඒ ස්ථානය තමන්ට රිසි පරිදි සකසා ගන්නටත්, තමන්ගේ පුද්ගලික උපකරණ වැනි දේ එතැන තබා ගැනීමටත් හැකිවේ.

උදාහරණයක් ලෙස මගේ වත්මන් කාර්යාලීය මේසය මත සහ කබඩ් ලාච්චුවල, මගේ රැකියාවට අදාළ ලිපි ගොනු මෙන්ම, මගේ තේ පැකට් එකතුව, පුද්ගලික පොත්පත්, ඡායාරූප සහ වෙනත් විවිධාංග රැසක් ඇත. මේවා පසුගිය වසර නමයක් තුළ මා මේ ආයතනයේ සේවය කළ කාලයේ දී එක් රැස්වුණු ඒවා ය.

මේ, ඒ සියලු දෙයට ද, මගේ ම කියා ඇති මේසයට සහ පුටුවට ද, සිස්කෝ ටෙලිෆෝනයට ද සමු දෙන්නට නියමිත කාලයයි!

මා මීට පෙර ලිපියේ සඳහන් කළ පරිදි, මැයි මස තුන්වෙනි සතියේ සිට අපේ කාර්යාලය දැනට පවත්වාගෙන යන උතුරු සිඩ්නි ප්‍රදේශයෙන්, පැරමටා නම් උප නගරයට ගෙන යාමෙන් පසු පුද්ගලිකව මට සිදුවෙන ගමනාගමනය පිළිබඳ වෙනස්කම්වලට අමතරව, මට මෙන්ම අප කාර්යාලයේ සේවය කරන සිය ගණනක් අයට මුහුණ දීමට සිදුවෙන කටුක සත්‍යය මෙයයි.

අපේ නව කාර්යාලයේ දී කිසිවකුට නිත්‍ය මේසයක් හෝ පුටුවක් හෝ ස්ථානයක් හෝ දුරකථනයක් හෝ පරිගණකයක් හෝ හිමි නොවනු ඇත.

ඇත්තටම කියනවා නම් අලුත් කාර්යාලයේ තිබෙනු ඇත්තේ නියමිත සේවක සංඛ්‍යාවෙන් 80% කට පමණක් ප්‍රමාණවත් මේස ප්‍රමාණයක් පමණි!

මේ මා පවසන්නේ "ඇක්ටිවිටි බේස්ඩ් වර්කින්" (Activity Based Working) හෙවත් "වැඩ අනුව ඉඩ" නම් සංකල්පයට අනුව සැකසුණු කාර්යාලයක් ගැනයි.

මේ සංකල්පයේ පදනම මෙසේ ය.

සතියේ ඕනෑම වැඩකරන දිනයක, යම් හෝරාවක් සැලකූ කළ සේවකයින්ගෙන් සුළුතරයක් නිවාඩු පිට ය. තවත් කොටසක් රාජකාරි සඳහා වෙනත් කාර්යාලවලට ගොස් ය. තවත් පිරිසක්, මේ කාර්යාලයේ ම රැස්වීම් ශාලාවල ය. තමන්ට නියමිත මේසයේ සහ පුටුවේ රැඳී ඉන්නේ 80% කට අඩු පිරිසකි.

එනිසා, අපේ මේසය සහ පුටුව තිබිය යුත්තේ, අප ඒ ඒ මොහොතේ කරන කාර්යයට අදාළ ස්ථානයේ මිස, නිත්‍ය ස්ථානයක නොවේ.

මේ වෙනස ඒ නිසා ය!

අලුත් කාර්යාලයේ නිත්‍ය මේස පුටු නැත. ස්ථිර දුරකථන නැත. ජාලගත පරිගණක නැත. ලැප්ටොප් යන්ත්‍ර පමණි. ඒ සමගම, අපේ ආයතනයේ දැන් කලට සිට පැවතෙන නීති රීතිවලට අදාළව නිවසේ සිට සේවය කිරීම ද තව දුරටත් කළ හැකි වෙනු ඇත.

එසේම, අලුත් කාර්යාලයේ ඇති සියලුම මේස එකම ආකාරයේ ඒවා ද නොවේ.

තනි තනිව නිස්කලංකයේ කිරීමට වැඩ ඇති අය සඳහා ශාලාවේ කොන්වල තැබූ තනි සේවා ස්ථාන එහි තිබේ. දෙදෙනා, තිදෙනා, සිව් දෙනා බැගින් එක් වී වැඩ කිරීමට හැකි ආකාරයේ විශේෂ හැඩතල ඇති මේස ද තිබේ. බහුතරයක් සේවා ස්ථාන එකක් අනෙකට යාබදව පිහිටි එකට වැඩ කළ හැකි ඒවා ය. ඒ හැම ස්ථානයක ම, පරිගණක තිර දෙකක් සහිත තමන් ගේ ලැප්ටොප් යන්ත්‍රය සවිකළ හැකි ඩොකින් පහසුකම් තිබෙනු ඇත.

කිහිප දෙනා වශයෙන් රැස්වීම් පැවැත්විය හැකි කාමර ද අලුත් කාර්යාලයේ තිබේ. මීට අමතරව, සාමාන්‍ය කාර්යාල සැකසුමෙන් වෙනස් ලෙස සැකසුණු, තමන් ගේ පාඩුවේ ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කළ හැකි තැන් ආහාර ගන්නා ප්‍රදේශයේ ද, විවේක ගන්නා ප්‍රදේශවල ද පිහිටුවා තිබෙනු ඇත. මේ පසුව කියවුණු ස්ථාන සඳහා අපේ ලැප්ටොප් යන්ත්‍රයට සබඳතා සැපයෙනු ඇත්තේ කාර්යාලීය වයි-ෆයි ජාලය මගිනි.

ඒ සේවය කිරීම සඳහා කාර්යාලයට ගොස් වාඩිවීමේ දී ඇතිවෙන වෙනස්කම් ය. නමුත්, සිදුවෙන වෙනස්කම් එපමණක් නොවේ.

දැන් කාර්යාලයේ දී අපට තනිව හිමි මේස, ලාච්චු කට්ටුව සහ කබඩය වෙනුවට අපට හිමි වෙන්නේ දිග, පළල සහ උස එකතුව මීටරයක් වන කුඩා ලොකරයක් පමණි. අපේ සියලුම රාජකාරී සහ පුද්ගලික දේ එහි බහාලන පෙට්ටියක ගබඩා කළ යුතුය. මේ නිසා, අද අප බොහෝ දෙනෙකු කරන ආකාරයට රාජකාරී ලිපි ගොනු පවත්වාගෙන යෑමට, තමන් ගේ රාජකාරියට අදාළ විවිධ ලිපි ලේඛන එක් රැස්කර තබා ගැනීමට හෝ තමන් ගේ පුද්ගලික ද්‍රව්‍ය සේවා ස්ථානයේ තබා ගැනීමට ඇති ඉඩකඩ අතිශය සීමාවෙනු ඇත.

සියලුම ලිපි ලේඛන කටයුතු කළමනාකරණය කළ යුත්තේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් පමණි.

එසේම නිත්‍ය මේසයක් නොමැතිව, නිත්‍ය දුරකථනක් තබා ගත නොහැකි නිසා, අපේ වත්මන් සිස්කෝ දුරකථන වෙනුවට මැයි මස 16 දින සිට අපට කතා බහ සඳහා යොදා ගන්නට සිදුවන්නේ ලැප්ටොප් යන්ත්‍රය හරහා දිවෙන වොයිස්-ඕවර්-අයිපී සම්බන්ධතාවක් සහ කන රඳවන ගැජට්ටුවකි.

ලබන 16 දා සිට අප කළ යුතු වන්නේ උදෙන් ම කාර්යාලයට ගොස් අපේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම සහිත පෙට්ටිය ලොකරයෙන් ගෙන හිස් මේසයකට පැන ගැනීමයි. පැය දෙකකට වඩා දිගු රැස්වීමකට හෝ වෙනත් කාර්යාලයක රැස්වීමකට යන විට මේසය අස් කළ යුතුය. හවස් වරුවේ ලැප්ටොප් යන්ත්‍රය සහ අනෙක් අඩුම කුඩුම පෙට්ටිය අඩුක් කර ලොකරයේ දමා නිවසට යා යුතුයි!

මේ කරුණු සියල්ල එක්කොට සැලකූ විට සිදුවෙන්නට යන්නේ අති විශාල වෙනසක් බව පෙනෙනු ඇත.

නමුත් මේ ආකාරයේ කාර්යාල තවත් ලෝකයේ කාලයක සිට ඇති නිසාත්, මේ ආකාරයට සේවය කිරීම දැනටමත් අරඹා ඇති අප ආයතනයේ අන් අයගෙන් නව ක්‍රමය පිළිබඳව සෘණාත්මක තොරතුරු වැඩි වශයෙන් ලැබී නැති නිසා බිය වීමට කාරණක් නැත. ඒ වුණත්, ලොකු වෙනසක් සිදුවීමට පෙර සිතේ ඇතිවෙන චකිතය නම් නොඅඩුව මේ දිනවල දැනෙමින් පවතී.

බලමු, බලමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉහත සඳහන් සියලු වෙනස්කම්වලට සිය ගණනක් වූ අපේ ආයතනයේ අයට, එකට, එක ම දිනයේ දී, මුහුණ දෙන්නට සිදුවෙන නිසා, මේ සිදුවන්නේ ග්‍රහයින් මාරුවීමක් නිසා ඇතිවෙන වෙනස්කම් යැයි කීමට කිසිවෙකුට ඉඩක් නැති බව පෙනේ!

(image: https://www.linkedin.com/pulse/how-scale-activity-based-working-environments-alla-delion)