Showing posts with label කුණු කතා. Show all posts
Showing posts with label කුණු කතා. Show all posts

Monday, 11 November 2019

ඇමරිකානු ආධාර නිසා එළියට ආ කුණුගොඩවල් - MCC Grant and Rubbish


මේ ලිපියේ අලුත් දෙයක් නැත. මෙහි ඇත්තේ, දින දෙක තුනක සිට කතා බහට ලක් වූ මාතෘකාවක් සහ එනිසා එළියට ආ, මේ වන විට පිළුණු වීමට කිට්ටු වී ඇති, කුණුගොඩවල් දෙකක් ගැන වචන හත්අටසීයක් පමණි.

එකී මාතෘකාව නම් ඇමරිකානු එක්සත් ජනපද රජයේ ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එක විසින් ලංකාවට ප්‍රදානය කර ඇති ඇමරිකානු ඩොලර් මිලියන් 480 ක ආධාරයයි. ලංකා රජය විසින් දශකයටත් පෙර කාලයක සිට ඉල්ලුම් කර ඇති නමුත්, එකල නොලැබුණු, මේ ආධාරය මෙවර අනුමත වී ඇත්තේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විහිදෙන උපායයික වටිනාකමකින් යුක්ත වූ කලාපයේ ඉඩම්, මාර්ග යනාදියේ මූලික සංවර්ධන වැඩකටයුතු කිරීමටයි.

මේ පිළිබඳ සිංහල භාෂාවෙන් ලියවුණු ලිපි දෙකක් පහත දැක්වේ. මේ ලිපි ලියා ඇත්තේ ආර්ථික විද්‍යාඥයෙකු, මැවිසුරුවෙකු සහ විශ්වවිද්‍යාල දේශකයෙකුවන ඉකොනොමැට්ටා විසිනි.

1. අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට! https://economatta.blogspot.com/2019/11/blog-post_4.html

2. දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්! https://economatta.blogspot.com/2019/11/blog-post_6.html

ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවුණු විචාරයක් සහ වැදගත් මූලාශ්‍ර එකතුවක් පහත සටහනෙන් කියවා බලා ගත හැක. මෙය ලියා ඇත්තේ කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉහළ තනුරක් දරණ ශ්‍රී ලාංකික මහැදුරෙකුවන ජනක රුවන්පුර විසිනි.

Projects under MCC https://www.facebook.com/janaka.ruwanpura/posts/10157349834435199

දැන් ලෝකය ගැන යම් කිසි අවබෝධයක් ඇති ඕනැම අයෙකු දන්නා පරිදි, ධනවත් රටවල් මගින් දියුණු වෙමින් පවතින රටවලට ආධාර ලබා දීම සාමාන්‍ය කරුණකි. මා වසන ඕස්ටේ‍ර්ලියාව ද එසේ කරයි. මේ වසරේ එසේ ලබාදෙන ආධාර ප්‍රමාණය ඕස්ටේ‍ර්ලියානු ඩොලර් බිලියනට හතරකට වැඩිබව කියවේ. විකිපීඩියාවට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික විදේශාධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන් 40 කට වැඩිය. මේ යුධ ආධාර නොව සංවර්ධන ආධාර ප්‍රමාණයයි. ලංකාවටත් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන දාහතරක් පමණ විශාල ආධාරයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කෙරෙන බව පැවසේ. මීට අමතරව සුනාමියෙන් පසු නැවත ඉඳිකිරීමේ කටයුතු සඳහා ඩොලර් මිලියන 135 ක් ලබා දී ඇත. මෙයට ආරුමුගම් බොක්කේ පාලම ගොඩනැගීමට කර ඇති ආධාරය ද ඇතුළත් ය.

අප බොහෝ දෙනෙකු කුඩා කළ පාසලේ දී අනුභව කළ ඇදිහැස නම් විස්කෝත්තු ද අපට ලැබුණේ ඇමරිකානු ආධාරයක් නිසා බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.

එසේ නමුදු ඉතිහාසය පුරා සිදුවුණු විවිධ දේශපාලනික බලපෑම් නිසා ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව ලාංකික අප සිත් තුළ විශාල බියක් පැලපදියම් වී ඇත. මේ ඇමරිකානු විරෝධය සමාජවාදී කඳවුරට පක්ෂව සිටි විවිධ සමාජවාදී පක්ෂ මගින් ලංකාවේ ඇති කරන ලද අනියත බියක් පමණක් බව සිතිය හැක්කේ, ලංකාව තමන්ගේ ඊළඟ දියාගෝ ගාර්ෂියාව කිරීමට ඇමරිකානු හමුදා මෙරට ආක්‍රමණය කරන තෙක් අප බලා සිටිය ද, එය තවමත් සිදුවුණේ නැති නිසා ය.

අනිත් අතට, මා කලක් සේවය කළ වානේ සංස්ථාව යනු ඇමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ධනවාදී කඳවුරේ ප්‍රධාන සතුරා වූ රුසියාවෙන් මුළුමනින් ම අපට ලබා දුන් ආධාරයකි. රුසියාව තවත් මේ ආකරයේ කර්මාන්ත ශාලා ලංකාවට ලබා දී තිබුණ ද, එ නිසා ලංකාව රුසියාව විසින් අත්පත් කර ගත්තේ ද නැත.

ධනවත් රටක් දුප්පත් රටකට ආධාරයක් කරන විට, අප පුන්‍යාධාරයක් කර සතුටුවනවාට වඩා වැඩි යමක්, යටි අරමුණක්, එහි ඇතැයි සිතීම සැම විටම අසත්‍යයක් නොවේ. බොහෝ විට ඒ අරමුණ කලාපයේ තමන්ට මිතුරන් සාදා ගැනීම විය හැක. අදාළ රටේ ධනවාදී ආර්ථියක දියුණු කර එමගින්, තම වෙළඳ පොළ දියුණුකර ගැනීම විය හැක. ඇමරිකානු එක්සත් ජනපදය යනු ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළයි. වෙළදාමේ වාසිය ලංකාවේ පැත්තට ය.

එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්දයක දී තමන්ට ඡන්දයක් ලබා ගැනීම විය හැක. පෝක්ලන්ත යුද්ධයේ දී මුළු ලොවම එංගලන්තයට විරුද්ධ වෙද්දී ලංකාව පක්‍ෂපාතීව ඡන්දය දුන්නේ වික්ටෝරියා ජලාශය සැඳීමට දුන් ආධාර නිසා යැයි කියවේ. සමහරුන්ට මෙය කෙළෙහි ගුණ සැලකීමක් ලෙස ද විස්තර කළ හැක.

චීනයෙන් ලංකාවේ විවිධ කටයුතු සඳහා ආධාර දෙන විට, ඒවා ණය ලෙසත්, වෙළඳ අනුපාතික යටතේ දුන් නිසා මෙවැනි ප්‍රශ්න, එනම් යටි අරමුණු තිබේ ද වැනි, අපේ සිතට ආවේ නැත. අවසානයේ බොහෝවිට සිදුවූයේ සුදු අලි කිහිප දෙනෙකු සහ අධික ණය බරක් උරුම වීම පමණකි.

ඩොලර් මිලියන හාරසිය අසුවක මේ ආධාරය ලංකාව පසුගිය දශකය තුළ ගත් ණය හා සලකන විට ඉතා සුළු එකකි. එසේම, ලෝක විදේශ ආධාර ගැන සලකන විට මෙය ඉතා සොච්චමකි. එයිනුත් සෑහෙන ප්‍රතිශතයක්, මෙම ව්‍යාපෘතිවල සේවය කරන විදේශ සහ දේශීය පුද්ගලයින් ගේ වැටුප්, වාහන සහ කාර්යාල කුලිය සඳහා වැයවෙන බව සිතිය හැකියි.

අපේ සිත්වල පැලපදියම් වී ඇති ඇමරිකානු විරෝධය සහ පොදු අතතිභීතිකාව නිසා, කරුණු කිසිත් නොසොයා, නොබලා, ලංකාවේ බයියන් කිහිප දෙනෙකු, නිසැකවම ඡන්ද වාසි පිණිස, මේ ආධාර වැඩසටහන පිළිබඳ ජනතාව තුළ බිය ඇතිකරන ප්‍රචාර ආරම්භ කරන ලදී.

වීරවංශ වැනි නිසැක බයියන් ගැන සහ ගොමා වැනි බයි සංගම් ගැන බයිට් නාස්ති කිරීම අතහැර ඉහත පිරිසෙන් වෙනස් ආකාරයකින් සුවිශේෂ කුණු ගොඩවල් දෙකක් ගැන මගේ අදහස් කෙටියෙන් මේ ලිපියට ඇතුළත් කරමි.

එයින් නොවැදගත් පුද්ගලයා නම් ජනනායක නම් ටියුෂන්කාරයෙකි. ඔහු ජීවවිද්‍යා ටියුෂන්කාරයෙකු බවත්, අසරණ දෙමව්පියන් දිනකට රුපියල් දහස් ගණනක් ගෙවා ටියුෂන් ගැනීමට මෙකී පුද්ගලයාගේ කඩයට එවන ළමුන්ගේ අගනා කාලයෙන් විනාඩි විස්සක් පමණ ප්‍රමාණයක් මොහු තම සිතැඟි පරිදි බයලොජි වෙනුවට බයි-ලොජි දෙසමින් සිසුන්ගේ මනසට අසූචි පිරවීමට තැත් කරන බව පෙනුණි.

බයලොජි හැදෑරුවේ නැතිවුණද, මම ද උසස් පෙළ සඳහා ටියුෂන් පිහිට පතා ඇත්තෙමි. ඒ රසායන විද්‍යාවටයි. මා හැදෑරු අනෙකුත් විෂයන් තුන සඳහා ද විටින් විට විවිධ කරුණු පිළිබඳ වැඩිදුර දැනුමක් ලබා ගැනීමට ටියුෂන් සරණ ගොස් ඇත්තෙමි. මගේ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා වූ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න හො අන් කිසිවෙකු තමන්ගේ පන්තිය පැවැත්වෙන සතියකට පැය තුනක කාලය තුළ, විෂය කරුණු මිස මේ ආකාරයේ අසූචි කතා නොකියූ බව මට සහතිකව කිව හැක.

ජනනායක වැනි කපටි හොරුන්ට සතිපතා තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදලින් දහසින් බැඳි පියලි පුදන දෙමව්පියන් ඒ ගැන වඩා සැලකිලිමත් විය යුතුව ඇති බව පෙනේ.

මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් එකේ ආධාරය නිසා හෙළිදරව් වූ ප්‍රධානතම කුණු ගොඩ නම් උඩුදුම්බර කාශ්‍යප නම් චීවරධාරියා ය.



මොහු ගැන පැහැදී කලකට පෙර ඔහු ගැන ද, තවත් ඔහු මෙන්ම මැවිසුරු වෘත්තිය අතහැර මහණ දිවියට පිවිසුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉංජිනේරුවෙකු ගැන ද, මා ලියූ ලිපියක් මෙසේ ය.

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones - https://rasikalogy.blogspot.com/2016/02/fake-monks-and-real-ones.html

තම ඉංජිනේරු වෘත්තිය අතැර මහණ දම් පිරීම අරඹා, වනවාසීව වැඩ සිටිමින් අභිධර්මය හදාරා විචිත්‍ර ධර්මදේශකයෙකු සහ බුදු දහම ප්‍රවර්ධනය කරන්නෙකු ලෙස නව ජීවිකාවක් ඇරඹූ උඩුදුම්බර කාශ්‍යප විටින්විට ඕස්ටේ‍ර්ලියාවට පැමිණි අයෙකි.

එවැන්නෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි ආකාරයේ චර්යාවක් පෙන්නුම් කරමින් පෙර කී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ව්‍යාපෘතියට විරෝධය පාමින්, දේශපාලන බළල් අතක් සේ ඔහු උපවාසයක් ඇරඹීම අප බොහෝ දෙනෙකුගේ පුදුමයට හේතු වූ බව අමුතුවෙන් කිව යුතුව නැත.

තම සසර ගමන ඉක්මනින්ම අවසාන කොට ගෙන නිවන වහාම ළඟා කරගැනීමට උඩුදුම්බර කාශ්‍යපට මෙම උපවාසය මගින් අවස්ථාව ලැබේවා යැයි ඉත සිතින් පැතූ අය ද එමට සිටින්නට ඇත.

ඔහු අපේක්‍ෂා කළ ආකාරයට ම තම ජනප්‍ර්‍රියතාව අවභාවිතා කරමින්, දිනක් වැනි කාලයක් ඇතුළත ප්‍රධාන දේශපාලන බලවේග දෙකෙන්ම ලිඛිත හා වාචික පොරොන්දු ලබාගෙන, උපවාසය අවසාන කිරීමට උඩුදුම්බර කාශ්‍යපට හැකි විය.

එපමණක් නොව ඒ ඩීල් එකේ තීන්ත වේලෙන්නටත් පෙර, තම උපවාස කර්මයේ දිට්ඨ ධම්මවේදනීය පලදීමක් ලෙස කොළඹ හතේ ඉඩමක් පිනට ලබා ගැනීමට ද කාශ්‍යපට හැකි විය.

බුදු බණ බොරු කළ නොහැක!


-රසිකොලොජිස්ට්

(image: http://www.designindaba.com/sites/default/files/node/news/19851/files/christoph-niemann-xenophobia-hi-res.jpg AND https://www.facebook.com/permalink.php?story_fbid=2459084017671307&id=1960441840868863)

Tuesday, 2 May 2017

ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them


මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවෙකු විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ පසුගිය දිනවල මහා ගාලගෝට්ටියක් ඇති විය.

එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි.

මුවිඳු බිනෝයි ගේ ඒ නිර්මාණය සිය ගණනක් දෙනෙකු විසින් ෆේස්බුක් හි බෙදා හැර තිබුණි. තවත් සිය ගණනක් පිරිස ඒ නිර්මාණය පිළිබඳ ධනාත්මක අදහස් දැක්වූහ. නිර්මාණකරුවා ගේ නිර්මාණාත්ම අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. සහයෝගය ප්‍රකාශ කළහ.

එසේ වුව ද, නිර්මාණකරුවාට අමතරව සිංහලබෞද්ධ තලේබාන්කාරයින්ගෙන් චෝදනා එල්ල වූයේ සමනලී ෆොන්සේකා නම් ප්‍රගතිශීලී කාන්තාවට පමණක් බව පෙනුණි. මේ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් ඇයව පමණක් ඉලක්ක කර ගැනීමෙන් ම, පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ දේශපාලන බයි නිරුවත හෙළිදරව් වූ බව නොරහසකි.

චිත්‍ර, මූර්ති යනාදී කලා නිර්මාණ පිළිබඳව ඒවා රස විඳින රසිකයින් විසින් විවිධාකාර අදහස්, අර්ථ දැක්වීම් කරන බව අපි දනිමු. එවැනි අර්ථදැක්වීම්, ඒ නිර්මාණය බිහි කළ කලාකරුවා විසින් සිහිනයකින්වත් සිතූ දේ නොවූ අවස්ථා ද බොහෝ ය.

තම නිර්මාණය පිළිබඳව මුවිඳු බිනෝයි පවසා තිබුණේ පහතාකාරයේ අදහසකි.
  1. ඔහු කළේ නිර්මාණයකි. මෙය ෆොටෝ ෂොප් මඩ පෝස්ටරයක් නොවේ.
  2. තම නිර්මාණය සඳහා ඔහු ජේතනන දාගැබේ කොටසක් යොදා ගෙන ගත්තේ තමා ද අයත් බහුතර ලාංකික ජන කොටස ඉන් නිරූපණය කිරීමට ය.
  3. ඔහු කළේ දාගැබේ කොටස සහ කුණු කන්ද රූපියකව සමපාත කිරීමකි. ඒ අප රැස් කරන කුසල් සඳහා මෙන් ම නිපදවන කසළ සඳහා ද අප ම වග කිව යුතු බව නිරූපණය කිරීමට ය.
  4. ඒ නිර්මාණය ජේතවන දාගැබේ කුහරයට කසළ පිරවීීමක් ලෙස දැකීම සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි.
ඔහු ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සබැඳියෙන් කියවිය හැක.

https://www.facebook.com/muvindu.binoy/posts/1894495500827290

නිර්මාණකරුවා කළ ඒ ප්‍රකාශය දකින්නට පෙර ඒ නිර්මාණය දුටු මට ආ සිතුවිල්ල මෙසේ විය.
කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක.
මා මේ අදහස සටහන් කළ කල්ට් බ්ලොග් අඩවියේ දී, මතවාදී විරෝධයකට මෙන්ම පුද්ගලික ප්‍රහාරයකට ද මුහුණ දීමට මට ද සිදු විය.

මීතොටමුල්ලේ කුණු කන්දේ ව්‍යවසනය පිළිබඳ තම අදහස නිර්මාණයක් මගින් ඉදිරිපත් කිරීම මුවිඳු බිනෝයි ගේ මූලික ප්‍රකාශන අයිතියකි. එසේම, ඒ නිර්මාණයට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කිරීමට ද ඒ හා සමාන අයිතියක් පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ඇතුළු ඕනෑම අයෙකුට ඇත!

කෙසේ වෙතත්, මේ සටහන ලියන්නට මා මූලිකවම අදහස් කළේ, නිර්මාණය අර්ථ දැක්වීමට හෝ නිර්මාණට විරුද්ධව ද, නිර්මාණකරුවාට සහ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් එක් අයෙකු වූ සමනලී ෆොන්සේකාට විරුද්ධව ද පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් ගෙන යන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව කතා කරන්නට පමණක් ම නොව, මේ සිදුවීමෙන් මතු වූ වෙනත් අදාළ කාරණයක් ගැන කතා කිරීමට ය.

මුවිඳු බිනෝයි ගේ කොලාජ් නිර්මාණය පිළිබඳව තම විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු මෙලෙස විමසති.
"ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?"
ඉන් සමහරු ඒ ප්‍රශ්නාවලියට මෙලෙස ද එකතු කරති.
"ඇයි එහෙම කළොත් සහජීවනේට කෙළ වෙයි කියලා බය ද?"
ඒ සහජීවනය ගැන සඳහන් කරන අය ගේ අරමුණ සහ ඔවුන් ගේ ජාතිවාදී දේශපාලන ස්ථාවරය ගැන අපට නිවැරදිව හිතා ගත හැක. මීට කලින් ඒ පිළිබඳව ලියා ඇති නිසා, ඒ ජාතිවාදී බයි කතාව පිළිබඳව මට අද අමුතුවෙන් කිව යුතු දෙයක් නැත.

මුවිඳු බිනෝයි විසින් තමා ජේතවන දාගැබ තම නිර්මාණය සඳහා යොදා ගත්තේ ඇයි ද යන්න පැහැදිලිව ම කියා ඇතත්, මේ පිළිබඳව මගේ අදහස වන්නේ මෙයයි.

බෞද්ධ පසුබිමක් ඇති අයෙකු පොදු කාරණයක් පසුබිම් කරගෙන නිර්මාණයක් කරන විට ඒ සඳහා යම් ආගමික සංකේතයක් අවශ්‍ය වේ නම්, ඒ සඳහා තෝරා ගත යුත්තේ බෞද්ධ සංකේතයකි. එක්තරා සුවිශේෂී ආගමික කාරණයක් සම්බන්ධයෙන් කෙරෙන නිර්මාණයකට මෙය අදාළ නොවේ.

වෙනත් වචනවලින් කියනවා නම්, "ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?" යැයි බෞද්ධ පසුබිමක් ඇති මුවිඳු බිනෝජ්ගෙන් ඇසීම, එහි ඇති අධම දේශපාලන යටි අරමුණ කුමක් වෙතත්, හුදෙක් අතාර්කික අනුවණ විහිළුවක් පමණි.

වෙනත් පසුබිමක් සහිතව ලියවුණු "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද?" යන සටහනේ දී ද මා සඳහන් කළේ මේ අදහසට සමාන්තර අදහසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ද කියවන්න-
ජාතික හෙළ උරුමයෙන් බෞද්ධයන්ට මාරාන්තික අපහාසයක් ::
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/8495-2017-04-29-08-19-19


ප/ප/ලි:
මේ ඩුප්ලිකේට් ජේතවනාරාමයයි. මා දන්නා පරිදි දෙමටගොඩ වැනි පෙදෙසක ද ජේතවන විහාරක් තිබේ!

ඔරිජිනල් ජේතවනාරාමය යනු බුදුන් වැඩ සිටි අනේකපිණ්ඩිකස්ස ආරාමයයි. එය බෞද්ධයින් අතර සුපතල වී ඇත්තේ විවිධ සූත්‍රවල සඳහන් වෙන නිසා ය.

ජේතවනාරාමේ අති රමණී, ජේතවනාරාමේ!



(image: https://www.facebook.com/muvindu.binoy/photos/a.1532937753649735.1073741829.1530307377246106/1892139821062858/)

Saturday, 22 April 2017

කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged


බ්ලොග් අවකාශයේ ද, ෆේස්බුක් එකේ ද, පසුගිය දිනවල කුණු ඇවිස්සෙනවා දුටුවත්, කුණු කේස් ගැන අලුතෙන් දෙයක් ලියන්න මා නම් නොසිතුවේ කලින් කුණු ගැන සටහන් කිහිපයක් ම ලියා තිබුණු නිසා ය.

නමුත් ඊයේ වෙනත් තැනක සටහනක් තබද්දී ලියවුණු පහත කාරණය රසිකොලොජියේ ද පළ කරන්නට සිතුවෙමි.

මේ ලිපියේ අමුතු හෝ අලුත් දෙයක් නැති බව මුලින් ම පවසමි.

කතාව කෙටියෙන් මෙය යි.

නගර සභාවෙන් හෝ පාරේ ඇති හිස් ඉඩමකින් හෝ පාරේ පාළු වංගුවකින් හෝ කිසිදු උදව්වක් නොමැතිව අපට අපේ කුණු අප ඉන්නා නිවස පිහිටි ඉඩමේ දී ම කළමනාකරණය කර ගත යුතුව ඇතැයි සිතන්න.

දැන් මෙය අප කරන්නේ කෙසේ ද?

කුණු යනු කුණුවෙන කුණු සහ කුණු නොවන කුණු ලෙස මූලිකව ම කොටස් දෙකකි. එනිසා අප මුලින් ම කළ යුත්තේ මේ කුණු වර්ගීකරණය කර ඒ ආකාරයට බෙදා එකතු කිරීමයි. ඉන් පසුව ඒ වෙන් කර ගත් කුණු සහ නොකුණු ඒ ඒ වර්ගවලට යෝග්‍ය ආකාරයට කළමනාකරණය කිරීමයි.
  1. කුණු නොවන කුණුවලින් කොටසක් කෙළින් ම නැවත පාවිච්චි කළ හැකි ඒවා ය.
  2. කුණු නොවන කුණුවලින් තවත් කොටසක් නැවත නිෂ්පාදන ක්‍රියාවලියක දී අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කළ හැකි ඒවා ය.
  3. කුණු නොවන කුණුවලින් තවත් කොටසක් ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතු වෙනු ඇත.
  4. කුණු නොවන කුණුවලින් ඉතිරි කොටස ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
  5. කුණු වෙන කුණුවලින් මූලිකවම පොහොර සෑදිය හැක.
  6. එසේ පොහොර සඳහා භාවිතා කළ නොහැකි කුණු වෙන කුණු ද, එක්කෝ ආරක්‍ෂාකාරී ලෙස පුළුස්සා දැමිය යුතුය, නැතහොත් ආරක්‍ෂාකාරී ලෙස වළලා දැමිය යුතුය.
ගමේ කුණු, නගරයේ කුණු, පළාතේ කුණු සහ රටේ කුණු කළමනාකරණය කළ යුත්තේ ද ඉහත ආකාරයට ම ය.

ඒ කුණු කළමනාකරණයට යන වියදම, භාණ්ඩ පරිභෝජනය කරන්නන් විසින් ඒ ඒ භාණ්ඩයේ මිලේ කොටසක් ලෙස ගෙවීම වඩාත් සාධාරණ ක්‍රමය වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා 2015 වසරේ ලියූ කුණු කතා කිහිපය මෙසේ ය.

1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html


2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html


3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html


4. අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish
https://rasikalogy.blogspot.com/2015/06/local-rubbish.html


(image: http://media.gettyimages.com/photos/sri-lankan-man-walks-past-a-poster-bearing-portraits-of-president-picture-id459409154)

Friday, 12 June 2015

අන්තිම කුණු කෑලි දෙක (ලෝකල් ඒවාය, ෆොරීන් නොවේ!) - Local rubbish


කුණු කතා මාලාව අවසන් කිරීමට හොඳ කුණු කෑලි දෙකක් ලිවීමට සිත් විය.

මින් පළමුවැන්න කලකට පෙර සිදුවූ එකක් බැවින්, මා අතින් වෙනත් තැනක ලියවී, පාඨක ඔබ කලින් කියවා, තරමක් පිළුණු වී ඇති එකක් වෙන්නට ඉඩ ඇති නමුත් දෙවැන්න නම් දැන් අවුරුද්දකට පෙර දිනයක සිදුවුණු එකක් නිසා තවමත් කුණු වී නැත.

මීට වසර හතකට පමණ පෙර කෙටි නිවාඩුවකට මම ලංකාවට ගියෙමි. ඒ කාලයේ මුල් දින කිහිපය ඇතුළත දී මා මහ මග අතරමං වූ අවස්ථාවක තරමක් දන්නා හඳුනන අයෙකු මට යම් උපකාරයක් කළේය.

ඔහු නැවත හමුවී ස්තුති කිරීමට අවශ්‍ය වූ නිසා පසුදා සවස් යාමයේ මම පොඩි පහේ තෑග්ගක් ද දවටාගෙන ඔහු ගේ නිවසට ගියෙමි. ඒ පවුලේ පාසල් යන වයසේ කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බව මා දැන සිටි නිසා, ඔවුන් සඳහා හන්දියේ කඩෙන් සාමාන්‍ය ප්‍රමාණයේ චොකලට් පෙති දෙකක් ද මිලට ගත්තෙමි.

මා නිවසට ගොඩ වදිනවාත් සමගම කුඩා දරුවන් දෙදෙනා නිවසේ විසිත්ත කාමරය පැමිණි බැවින් මා කළේ "මෙන්න බබාලාට පොඩි රහ බඩුවක්!" කියමින් අර චොකලට් පෙති දෙක බහා තිබූ කඩදාසි මල්ල ඉන් වැඩිමහලු දරුවා ගේ අතට දීමයි.

මේ දරුවන් දෙදෙනා කළේ කුමක්දැයි සිතා ගත හැකිද?

කඩදාසි බෑගය බිමට අත හැරිණි.
චොකලට් පෙති දෙක දෙදෙනා අතරේ බෙදුනි.
චොකලට් දවටන දෙක වේගයෙන් ඉරී කැබලි ලෙස බිම පතිත විය.
දරුවෝ දෙදෙනා තම තමන් ගේ චොකලට් පෙත්ත එක කොනක සිට වේගයෙන් කාගෙන කාගෙන යන්නට වූහ.

මේ සිදුවීම දිග හැරුණු ආකාරය දැක මා තරමක් හෝ කම්පනයකට ලක්වුණා යැයි ඇත්ත වශයෙන් ම කිව හැක.

මම මේ දරුවන් ගේ පියා දෙස බැලුවෙමි. ඔහු කිසිත් සිදු නොවෙණා අයුරින් නිෂ්ක්‍රීය බැල්මක් හෙළී ය.

මගේ සිතේ පැන නැගුණු ප්‍රධානම ප්‍රශ්නය නම් මේ කුඩා දරුවන් දෙදෙනා ග්‍රෑම් 150ක, 200ක විතර ඒ චොකලට් පෙති එක හුස්මට කා දමා අසනීප වේ ද කියායි. නමුත් මගේ සිතේ කම්පනයක් ඇති කළ අනෙක් වැදගත් කාරණය වූයේ ඔවුන් චොකලට් ගෙන ආ බෑගය සහ කෑලිවලට ඉරන ලද චොකලට් දවටන සිටි තැනම බිම අත හැරිය දසුනයි.

ඒ සමගම, දරුවන් ගේ පියා එය නොදැක්කා සේ සිටීම කම්පාවකට වඩා කලකිරීමක් ඇති කළ කාරණයක් විය. සමහරවිට එසේ නිහඬව සිටීමට හේතුව වෙන්නට ඇත්තේ සාලයේ කුණු ගොඩ අස් කරන්නට සිදුවෙන්නේ ඔහුට නොව බිරිඳට වීම විය හැක.

ඒ අනුව බලන කල, නිවසෙන් පිට පොදු ස්ථානවල, අනුන් ගේ ඉඩම්වල කුණු කසළ දැමීම සුලු දෙයක් නොවේද? බිරිඳ පවා එය කරනවා විය හැක.

මේ දරුවන් වැඩිහිටියන් වූ කල තමන්ගේ පියා මෙන් කටයුතු කළහොත් එහි ද කිසි පුදුමයක් නොමැත.

* * *

දැන් මෙන්න දෙවෙනි කුණු කෑල්ලේ කතාව.

පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ මා ලංකාවට පැමිණි අවස්ථාවේ සිය පවුල ද සමග මට කොළඹින් බැහැරව යාමට සිදු විය. ඒ සඳහා මා කළේ ගම් පළාතේ කුලී වාහන සපයන සේවාවකට දුරකතන ඇමතුමක් දී මෝටර් රථයක් ගෙන්වා ගැනීමයි.

මා ඉදිරි පෙළ අසුනේ ද, බිරිද සහ පුතා පසුපස අසුනේ ද වාඩි වී ගමන ආරම්භ කළෙමු. නිට්ටඹුව පමණ පසුවන විට අපේ පුතා ට, මේ වයසේ දරුවන්ට සාමාන්‍යයෙන් සිදුවෙනවා සේ, කුමක් හෝ යමක් කෑමට අවශ්‍යතාවයක් ඇති විය.

කුඩා චොකලට් පෙති රාශියකින් යුතු බෑගයක් විවර කළ බිරිඳ පුතාට ඉන් කීපයක් දී ඇය ද එක් චොකලට් පෙත්තක් ගෙන බෑගය ම මට දුන්නේ මට කෑමට මෙන් ම අපේ කුලී රථයේ රියදුරාට දීම ද සඳහායි.

රියදුරා තනි අතින් ඉන් එක චොකලට් පෙත්තක් ගත් අතර මම ද එකක් ගෙන දවටනය ඉවත් කර කටේ රුවා ගත්තෙමි.

මෙවැනි අවස්ථාවලදී මා සාමාන්‍යයෙන් කරන්නේ මෝටර් රථයේ දී ඉතුරු වෙන ටොෆී චොකලට් දවටන, දොඩම් ලෙලි, ඇපල් ගෙඩියේ මැද කොටස වැනි දේ, නිවසට ගිය පසු නිසි පරිදි කුණු භාජනයට දමන තෙක්, වාහනයේ ඉදිරි පස ආසන දෙක අතර සාදා ඇති විශේෂ ස්ථානයට දැමීමයි.

නමුත් අප මේ ගමන් ගන්නේ අපේ වාහනයක නොවෙන නිසා මා කළේ චොකලට් දවටනය මගේ කමිසයේ සාක්කුවට රුවා ගැනීමයි.

ඒ සමගම මා දුටුවේ, ස්වයංක්‍රීයව තමන් ගේ පැති වීදුරුව පහත් කළ රියදුරු තරුණයා, දවටනය මහ මහට විසි කර දමන අයුරුයි.

මා ඒ බව දැක ඔහු දෙස විශ්මයෙන් බලද්දී රියදුරා තම දැස නැවත ඉදිරිපස මහා මාර්ගය දෙස යොමු කළේය. මම මුවින් නො බැණ සිටියෙමි.

කෙසේ වෙතත්, අපේ කුලී රථයේ රියදුරා ඒ ගමනේ දී කෑ එකම චොකලට් පෙත්ත එය විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා මාලාවේ පෙර ලිපි-

1. බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html

2. පරණ කුණු කතා - Latter day litter, later!
http://rasikalogy.blogspot.com/2015/06/latter-day-litter-later.html

3. ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයින් බිහිවෙන හැටි - - Garbage regime in Australia
http://rasikalogy.blogspot.com/2015/06/blog-post.html

(image: http://www.r2icorner.com/2015/02/swachh-bharat-just-dream.html)

Wednesday, 10 June 2015

ඕස්ට්‍රේලියාවේ කුණු රෙජීමයෙන් හොඳ ළමයි බිහිවෙන හැටි - Garbage regime in Australia


මා වෙසෙන ගම, නගරය හෝ රට යනු කිසිසේත් ම කුණුවලින් මුළුමනින් ම තොර සුපිරි පරිසරයක් නොවේ.

සමහර විටෙක මග දෙපස හිස් බෝතල්, කෑන්, සිගරට් කොට, චොකලට් දවටන යනාදිය දක්නට ලැබේ. මා මේ සටහන ලියන මොහොතේ දුම්රියේ ආසන දෙස බැලූ විට පෙනේන්නේ, සමහරු තමන් කියවමින් සිටි පුවත්පත් (බොහෝ විට මේ නොමිලයේ දෙන සවස පුවත්පතයි) යනාදිය ආසන මත තබා ගොස් ඇති බවයි.

නමුත් මෙහි ඇති වෙනස නම්, පරිසරය අපවිත්‍ර නොකොට නිසි ලෙස කුණු බැහැර කිරීමට ක්‍රම සාදා තිබීමත්, ඊටත් වඩා තමන් ගේ කුණු නොමිලයේ ම අනුන් ගේ කුණු බවට පත් කරන්නට සිතන්නන් ඉතා අඩුවීමත් ය.

මා කලින් ලිපියක ලියූ පරිදි අපේ ගමේ නිවාසවල එකතුවෙන කුණු රැගෙන ගොස් එවා නිසි පරිදි කළමනාකරණය කිරීම නගර සභාවේ රාජකාරියයි. ඒ සඳහා ද, නගර සභාවෙන් කෙරෙන අනෙකුත් පොදු සේවා සැපයීම සඳහා ද අපි හැම කාර්තුවක ම මුදල් ගෙවමු.

අපේ ප්‍රදේශයේ හැම නිවසකටම නගර සභාවෙන් කුණු එකතු කරන විශාල ප්ලාස්ටික් භාජන තුනක් දී තිබේ. අප කළ යුත්තේ ඒවාට කැළි කසළ පුරවා සතියේ නියමිත දිනයේ නිවස ඉදිරිපිට පාර අයිනේ තැබීමයි. නගරසභා කුණු ලොරියෙන් ඒවා ඉවත් කෙරේ.

නිවසේ එකතුවෙන දිරා යන දේ (කුස්සියේ එළවළු පොතු, මස්, මාළු කැබලි යනාදී අපද්‍රව්‍ය සහ වත්තේ පිටියේ තණකොළ යනාදී කොම්පෝස්ට් කළ හැකි දේ) අප එකතු කළ යුත්තේ කොළ පාට භාජනයටය. මෙහිදී කුස්සියේ අපද්‍රව්‍ය දැමීම සඳහා දිරා යන සුවිශේෂී කොම්පෝස්ට් මලු වර්ගයක් ද අප හට සපයා තිබේ. මේ කොළ පැහැති භාජනයේ අපද්‍රව්‍ය නගර සභාව මගින් සෑම සතියකම නියමිත දිනයේ දී ඉවත් කරනු ලැබේ.


ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීදුරු, ටින්, ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් සහ කඩදාසි යන අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ කහ පැහැති භාජනයටයි. මෙය ඉවත් කෙරෙන්නේ දෙසතියකට වරකි.

අනෙකුත් සියලුම අපද්‍රව්‍ය, විශේෂයෙන්ම ප්ලාස්ටික් මළුවල දැමූ අපද්‍රව්‍ය අප එකතු කළ යුත්තේ රතු පැහැති භාජනයට ය. එහි එකතුවන දෑ සෑම සති දෙකකට ම වරක් ඉවත් කෙරේ.

මෙහි දී යම් පාපෝච්චාරණයක් කළ යුතුව ඇත.

දිරා යන අපද්‍රව්‍ය තෝරමින් සුවිශේෂී මලුවලට දමා කොළ පැහැති භාජනයට දැමීම තරමක අමතර කර්තව්‍යයකි. එනිසා මා නම් එසේ කිරීමට පෙළඹෙන්නේ ඕනෑම කුණු ගොඩක් දැමිය හැකි රතු පැහැති කුණු භාජනය හිස් නොකරන සතිවල දී පමණි.

නිවසෙන් ඉවත් කෙරෙන ගෘහ භාණ්ඩ, විශාල පෙට්ටි යනාදිය හෝ ගෙවත්තෙන් ගස්වලින් ඉවත් කෙරෙන විශාල ප්‍රමාණයේ අතු යනාදිය වෙතොත්, හැම කාර්තුවකටම වරක් අපට විශේෂ කුණු ඉවත් කිරීමක් යොදා ගත හැකිය.

ගමක්, නගරයක් අපිරිසිදු වෙන්නේ නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය නිසා නොවේ. එක්කෝ නොසැලකිලිමත්කම නිසා හෝ හිතා මතා හෝ කෙරෙන අනිසි දේ නිසාය. එවැනි දේ වළකා ගත හැක්කේ ජනතාව ගේ සහභාගීත්වයෙන් පමණි. ඒ සඳහා ප්‍රජාවක සාමාජිකයින් තමන් ගේ යුතුකම් ගැන වැටහීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

එය කුඩා කාලයේ සිටම අපේ චින්තනය තුළට ඇතුළත් විය යුතු සාරධර්මයකි. තැන නොතැන නොබලා, කිසිදු වගකීමකින් තොරව, යන යන හැම තැනම කුණු දමන්නට පුරුදු වූ පසු එයින් ගැලවීම පහසු නැත.

"ක්ලීන් අප් ඕස්ටේ‍ර්ලියා ඩේ" නමින් තමන් අවට වට පිටාව පිරිසිදු කිරීමේ සුවිශාල එක් දින ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කෙරෙන්නේ ඒ සාරධර්මය ගැන යම් අදහසක් හෝ අපේ සිත් තුළට ඇතුළු කරන්නටයි.

එක් කුඩා කථාවකින් මේ ලිපිය අවසන් කරමි.

මීට වසර කිහිපයකට පෙර මම එවකට ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මගේ දියණිය සමග නිවස කරා පයින් ගමන් කරමින් සිටියෙමි. ඇවිදින මං තීරුව අසලම තණකොළ මත්තේ කුඩා ප්‍රමාණයේ හිස් බියර් බෝතලයක් තිබෙනු පෙනුණි.

මේ බොහෝ විට ඊයේ රාත්‍රීයේ කොලු ගැටයෙකු කර තිබූ හපන්කමකි.

ඒ ගැන කිසි තැකීමක් නොකළ මා කළේ එතැනින් යන අතර එයට පයින් පහරක් දී පාරේ අයිනට තල්ලු කිරීමයි. නමුත් මගේ දියණිය ගේ ප්‍රතිචාරය සහමුලින් ම වෙනස් එකක් විය.

"බලන්න තාත්තී මේ සමහර නෝටී මනුස්සයින් තමන් ඉන්නා පරිසරය ගැන කිසිම තැකීමක් නැති හැටි, අයියෝ! මේ බියර් බෝතල් පාරේ දාලා ගිහින්!" කියමින් ඇය ඇත්තට ම අඬන්නට පටන් ගත්තා ය.

"හරි, හරි, ඉන්න අපි හරි දේ කරමු!" යනුවෙන් කියූ මා කළේ, බියර් කුප්පිය අහුලා ගෙනවිත් අපේ නිවසේ ප්‍රතිචක්‍රීයකරණ භාජනයට දැමීමයි.

මා හොඳ ළමයෙකු වූයේ ඒ ආකාරයට ය!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුණු කතා කිහිපයක් ම එක දිගට ලියූවෙමි. තව ඇත්තේ එකක් පමණි.

Monday, 8 June 2015

පරණ කුණු කතා - Latter day litter, later!


මගේ ජීවිතයේ මුල් වසර හතර පමණ ගෙවූ කුලී නිවස ගැන මගේ මතකය ඉතා අඩුය. නමුත්, ඒ නිවස පිහිටා තිබුණේ අක්කරයක දෙකක පොල් වගාවක් මැද බවත්, නිවස අසල වතුර බොන ළිඳක් ද, අනිත් පස වැසිකිළියක් ද, වත්තේ පිටුපස මායිමේ හොඳින් වතුර ගලන දොළ පහරක් සහ කුඹුරු යායක් ද තිබුණු බව මගේ මතකයේ රැඳී ඇත.

එතැනින් අපේ තාත්තා සිය දරු පවුල රැගෙන ගියේ සිය දෙමව්පියන් සහ සොයුරු සොයුරින් ජීවත් වූ මහගෙදරටයි. එය ද විශාල බිම් කඩක එක් පසෙකින් තනා තිබූ නිවසක් විය.

ඉන් වසර අටකට පමණ පසු අපි වසර තුනක පමණ කාලයක් කුලී නිවසක ජීවත් වුණෙමු. ටවුමට අතේ දුරින් පිහිටියේ වුව ද, එම නිවස ද, අක්කර දෙකක පමණ පොල්, කොස් වගාවක් අතරේ පිහිටි නිවාස දෙකකින් එකක් විය.

විශ්‍රාම ගැනීමෙන් පසු කලෙක තාත්තා තමන්ගේ ම නිවසක් සාදා ගත්තේ ද ඊට වසර විස්සකටත් වඩා පෙර කාලයක ඉඩම් මිල සාපේක්‍ෂව ඉතා අඩු සමයේ මිලට ගෙන තිබූ අක්කරයක පමණ වපසරියක් ඇති ඉඩමකයි.

මේ හැම නිවසකටම පොදු ලක්‍ෂණය කිහිපයක් ම තිබුණි. ඉන් එකක් වූයේ නිවස පිහිටි භූමියේ ම සකසා ගෙන තිබුණු වතුර බොන ළිඳයි.

ඊටත් වඩා මේ ලිපියට අදාළ කරුණ නම් මේ හැම නිවසක්ම අසලින් එකත්-පසෙකට වෙන්නට සාදා සකසා ගෙන තිබුණු කුණුවලයි. එදිනෙදා නිවසෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය කෙළින්ම යොමු කෙරුණේ මේ කුණුවලට ය.

ඒ සමයේ අද මෙන් ප්ලාස්ටික් බෑග් යනාදිය බහුලව භාවිතා නොවුණි. කඩෙන් බඩු ඔතා දුන්නේ පරණ පත්තර කොළවල වූ අතර, ඒවා නිවසට ගෙනෙන ලද්දේ එක්කෝ පන් මල්ලක හෝ නැතිනම් පරණ සිමෙන්ති උරවලින් සාදා තිබුණු කවරවල දමා ගෙනය. එවැනි අපද්‍රව්‍ය මෙන් ම, කුස්සියේ ක්‍රියාවලියෙන් ඉවත දැමෙන ද්‍රව්‍ය ද, මිදුලෙන් උදලු ගෑ තණකොළ ද, ගේ අවට අතුපතු ගා එකතුවෙන කොළ රොඩු ද සදාකාලිකව සැතපෙන්නට ගියේ මෙකී කුණුවලේ තුරුලට ය.

කලින් කලට තාත්තා එක්කෝ කුණුවලේ කොළ රොඩුවලට ගිනි තබයි, නැතිනම් ඊට උඩින් පස් කපා දමයි. එක් කුණුවලක් වැසෙන විට ඊට නුදුරින් තවත් එකක් කැපේ. තාත්තා ගේ මහගෙදර තිබූ කුණුවල නම්, ඇත්තටම කලකට ඉහත කපා විශාල කළුගලකින් අවසන් වීම නිසා අතහැර දමනු ලැබූ පාළු ළිඳක් වූ නිසා, අප ඒ නිවසේ පදිංචිව සිටි දශක දෙකක පමණ කාලයේ දී එය නොවැසුණි.

කුණු සම්බන්ධව මගේ ජීවිතය ඉහත ආකාරයට වඩා සහමුලින් ම වෙනස් වූයේ විවාහ වී කෝට්ටේ පදිංචියට ගිය පසුය. නිවස පිහිටි පර්චස් දොළහක වපසරියෙන් ඉතුරු වී තිබූ කොටසේ කුණුවලකට කොහෙත්ම ඉඩකඩ නොතිබුණි. හැරත්, නිවසට වතුර ජල ප්‍රවාහන මණ්ඩලයෙන් ද, විදුලිය විදුලිබල මණ්ඩලයෙන් ද ලැබෙනවා සේ, කුණු කසළ ඉවත් කිරීමේ සේවය භාරව තිබුණේ නගර සභාවට ය.

අපට තිබුණේ අපේ කුණු කසළ නගර සභාවේ කුණු කසළ බවට පත් කිරීම පමණි.

කුස්සියේ තැබූ ප්ලාස්ටික් භාජනයක ලූ තවත් ප්ලාස්ටික් මල්ලකට නිවසේ කුණු කසළ එකතු කරන අප, රාත්‍රී සමයේ දී කරන්නේ ඒ කුණු පිරි මල්ල රැගෙන ගොස් මහා මාර්ගය අයිනේ තැබීමයි. මගේ මතකයට අනුව සතියට කිහිපවරක් මෙලෙස එකතුවෙන කුණු කසළ ඉවත් කිරීම නගර සභා සේවකයින් විසින් සිදු කරණ ලදී.

ඇත්තටම කියනවා නම්, අපේ නිවස අසල පදිංචි අය ගේ කුණු කසළ එකතු කෙරුණේ අපේ නිවස ඉදිරිපිට නොව පාරෙන් එහා පැත්තේ ස්ථානයක ය. හරියටම අපේ නිවස පිහිටි ස්ථානයේ දී කෝට්ටේ පාර ඉතා පටු විය. එ නිසා, ඉඳහිට දිනක පාර හරහා නො පැන, මේ පැත්තේ සිටම පාරේ අනිත් පැත්තේ අදාළ ස්ථානට කුණු පිරි ප්ලාස්ටික් බෑගය එල්ල කරන්නට ද මා පෙළඹුණෙමි.

උසස් පෙළ ව්‍යවහාරික ගණිතයේ දී උගත් ප්‍රක්‍ෂිප්ත සිහිපත් කරමින් මගේ අතින් ගිලිහී අහසින් ගොස් කුණු ගොඩට පතිත වෙන ප්ලාස්ටික් බෑගය, ඒ අවස්ථාවේ දී පුපුරා යන්නේ ද යන කරුණ මට අදාළ එකක් නොවී ය.

ඒ මීට වසර විස්සකට පෙර කතාවකි.

කුණු කන්දල් සම්බන්ධයෙන් ගත් කල දැන් නම් මා ඉතා හොඳ ළමයෙකු බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
මේ ලිපිය කිවේවාද?
බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged
http://rasikalogy.blogspot.com/2015/06/rubbish-must-be-garbaged.html



(image: http://www.123rf.com/stock-photo/garbage.html)

Saturday, 6 June 2015

බයියන් ගේ මානසිකත්වය හෙවත් කුණුම කුණු කතාවක් - Rubbish must be garbaged


පසුගිය දා නිවාඩු පාඩුවේ නිවසේ ගත කළ දිනයක උදෑසන මා ජිවත්වෙන ගමේ පොඩ්ඩක් කරක්-ගැසුවේ ව්‍යායාමය පිණිසයි.

අපේ ගමේ වාහන යනෙන මාර්ග දෙපස ද, කුඩා ජලාශ සහ වන රොදවල් අසලින් ද, පයින් ගමන් කරන්නන් ගේ සහ බයිසිකල්වලින් යන්නන් සඳහා මාවත් සකසා ඇත. මේවා සාදන්නට ඇත්තේ පැරණි ගොවිපළක් කොටස්වලට කඩා මේ ගම ගොඩ නැගූ ඉඩම් සමාගම වුවද, ඒවා අද නඩත්තු කෙරෙන්නේ අප ගෙවන වරිපනම් මුදලින් අපේ ගම අයිති නගර සභාව විසිනි.

එහි දී ගත් ඡායාරූප කිහිපයක් ඇවිදින අතරතුරම ෆේස්බුක් ජාලයේ පළ කළෙමි.

මේ ප්‍රදේශ අමුතුවෙන් පිරිසිදු කිරීමක් කෙරෙනවා මා දැක නැති වුවද කැළි-කසළින් තොරව පිරිසිදුව තිබෙනවා ඒ ඡායාරූපවලින් හොඳින් පෙනුණි.

මේ ඡායාරූපවලට අදාළව ෆේස්බුක්හි පැවති කෙටි අදහස් හුමාරුවක දී, ලංකාවේ කොළඹ නගරය අවට පිහිටවා ආරක්‍ෂක හමුදාවල සේවයෙන් නඩත්තු කරන්නට යෙදුණා යැයි කියවුණු ඇවිදින මංතීරුවල අද තත්වය ගැන තොරතුරු හෙළිවුණි. එහි දී දැන ගන්නට ලැබුණේ ඒ නොමිලේ සැපයුණු නඩත්තු කටයුතු දැන් සිදු නොවන බැවින් ඒ පෙදෙස් ක්‍රමයෙන් ජරාජීර්ණ වී ඇති බවයි.

මෙයට හේතුව ගෝටා නම් චරිතයක් දැන් සේවයේ නොමැති කම බවද කියවිණි.

මට වැටහුණු පරිදි මේ තත්වය සම්බන්ධයෙන් සමහරුන් ගේ අදහස කෙටියෙන් මෙසේය.

  1. අපට යන යන තැන රිසි රිසි ලෙස කැළිකසළ විසි කිරීමේ නිදහස තිබිය යුතුය.
  2. තවත් පිරිසක් තම රාජකාරියේ කොටසක් ලෙස ඒ කුණු ඉවත් කළ යුතුය.
  3. ඒ පිරිසිදු කිරීමේ සේවාව නොමිලයේ සැපයිය යුතුය. එනම්, ඒ සඳහා ආරක්‍ෂක හමුදා තම කොස් කොටන කඩු යොදා ගත යුතුය.
  4. අපට ඒ පිරිසිදු කිරීම් සම්බන්ධව ප්‍රජා වගකීමක් දැරීමට හෝ මූල්‍යමය සම්මාදමක් කිරීමට හෝ නොහැකිය.
  5. ගෝටා නමැති චරිතය නැවත කරළියට ගෙන ආ විට සියල්ල ඉටුවෙනු ඇත.

මගේ අවසාන නිගමනය වූයේ, මේ ගෝඨා ගැන මැසිවිලි නගන අයට සිදු වී ඇත්තේ ඔවුන් ගේ බුද්ධිය වසා ගෙන බයි-කම ඉස්මතු වීම බවයි.

මෙය ඉතා කනගාටුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතුව නැත.

කලකට පෙර බුද්ධිය වසා ගෙන ජාත්‍යාලය පෙරට ගත් දස දහස් ගණනක පිරිසක ගේ ජීවිත නිරපරාදේ විනාශ වී යනු අපි දුටුවෙමු.

වාසනාවට මෙන් බුද්ධිය වසාගෙන බයි-කම මතු වූ විට ඒ ආකාරයේ විනාශයක් නම් සිදු නොවෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ කුණු කන්දල් තිබිය යුත්තේ කුණු බක්කියේ ම බවයි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉදිරි සතියේ කුණු කතා කීපයක් ලිවීමට අදහස් කරමි. මේ සම්බන්ධයෙන් සජ්ජාගේ පඩංගුව බ්ලොගයේ පළ වූ බොක්කෙන් ම ලියන ලද අපූරු ලිපියකට පාර මෙන්න.
http://padanguwa.blogspot.com/2015/05/blog-post_14.html