Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Tuesday, 21 January 2025

ඩයරියේ ලියූ කතාවක් "ගජ මුතු" - Generation gap

මේ මගේ තරුණ කාලයේ මා සටහන් ලියූ දිනපොත් වලින් ඉතුරු වී ඇති එකම දිනපොතේ ඇති අපූරු කතාවකි.

මේ කාලයේ මගේ වයස අවුරුදු දහඅට හමාරකි. උසස් පෙළ ලියා ප්‍රතිඵල ලැබී විශ්වවිද්‍යාලයට යාමට පෙර කාලයයි.

ඒ සටහන එක්තරා රේඩියෝ නාට්‍යයක කතාව ගැනයි.

ලංකාවේ රූපවාහිනී තිබුණත්, අපේ ගමට විදුලිය ඇවිත් සෑහෙන කාලයක් වුණත්, ගමේ ප්‍රධාන පාරෙන් මද දුරකින් පිහිටි අපේ නිවසට විදුලිබලය නොතිබුණු නිසා අපේ සවස් කාලය ගෙවුණේ ටෝච් බැටරියෙන් වැඩ කළ රේඩියෝව සමගයි.

“ගජ මුතු” නාට්‍යය ඇහුවා. හරි ලස්සනට යනවා ඒක. මම කියන්නේ කතාව අවසානයේ වලව් පරම්පරාවේ “අප්පෝ” සහ පහත් යැයි සම්මත (බෙරකරු?) කුලයේ “මුතුමලී” විවාහ විය යුතුයි.

එතකොටයි කුලභේදයට නියම පහරක් වදින්නේ?

ඒ දෙන්නා විවාහ නොවී කතාව කතාව ඉවරවෙනවා නම් ඔය නාට්‍යයෙන් ඇති වැඩේ මොකක්ද?

ඒත් අම්මාගේ සිතුවිලි වල හැටි?

අම්මා හිතන්නේ නැහැ අප්පෝවයි මුතුමලීවයි එක් කළ යුතුයි කියා. එසේ කරනවා නම් මුතුමලී වෙනින් “හොඳ” පවුලක ඉපදුණු නමුත් මේ “අඩු කුලේ” නිවසේ හැඳුණු දරුවෙක් කරයි ලු!

එහෙම අවසාන කරනවා නම් මේ කතාවේ වැඩක් නැත කියා මම අම්මාගේ අදහස ගැන වාද කරන්න හැදුවහම අම්මා කිව්වා: “එහෙනම් උඹ බැඳගනින් බෙරවායෙකුගේ දුවක්!” කියා.

අම්මාත් ඔය කුලභේදය ඔය තරම් සලකයි කියා මම හිතුවේ නැහැ.

කෙල්ල ලස්සන නම් ඉගෙනගෙන නම් වෙන මොනවාද?

මං ඔය කුලභේදය ගණනකට ගන්නේ නෑ. එසේ වූවත් අම්මලාගේ දුර්මත කැඩීම සඳහා වුවමනාවෙන් සොයාගෙන ගොස් එසේ විවාහ වීමටත් මට අවශ්‍යතාවක් නැහැ.

නමුත් එවැනි අවස්ථාවක් ජීවිතයේ උදාවුණොත් කිසිසේත්ම ඔය භේද මම සලකන්නේ නැහැ.

එය සහතිකයි. මොනතරම් පටු කල්පනා ද ඒවා?

මේ කාලේ අපේ අම්මාගේ වයස අවුරුදු හතළිස් එකහමාරයි. ඒ කියන්නේ ඇගේ ජීවිතෙන් අඩයි.

පසුකාලීනව අම්මාගේ ඒ පැරණි ප්‍රතිගාමී අදහස් වෙනස් වෙන්න ඇති කියා මා හිතනවා.

- රසික සූරියආරච්චි

(image: Rasika Suriyaarachchi)

Sunday, 22 October 2023

අපේ අම්මාගේ සල්ලි වියදම් වූ අයුරු - Some temples are permanently under construction


අම්මා විසින් මකුළුදුව පන්සලේ කුස්සියක් සැදීම සඳහා මෙලෙස මුදල් වියදම් කරන්නට ඇත්තේ තාත්තා පරලොව ගොස් අවුරුදු හයක් පමණ ගත වුණු කාලයේ දී ය.

මා දන්නා කාලයේ නම් පස් පව් නොකළ, (මද කලක් දුම් බිව්වේ වුව ද,) තමන්ගේ මත්පැන් කෝටාව ද පුතණුවන් තිදෙනා සඳහා ඉතිරි කර පරලොව ගිය, අපේ තාත්තාට නිවන් යෑමේ අපේක්ෂාවක් තිබුණා යයි මම නොසිතමි. එසේ තිබුණා නම් ඔහු මගේ ජීවිත කාලය තුළ එක් වරකට වඩා පන්සලකට ගොඩවදිනවා මට දකින්නට ඉඩ තිබුණි.

එදින ද ඔහු පන්සල් ගියේ ඒ අපේ බාප්පා මිය ගොස් හත් දවස ගතවීම වෙනුවෙන් හීල් දානය පිරිනැමීමට සිදු වූ නිසාය. තුන් මාසෙ දානය සඳහා සාදුලා ට ආරාධනා කිරීමට තාත්තා නොගිය අතර ඒ සඳහා කඩේ යෑමට සිදුවූයේ මට ය.

තමන්ගේ තරුණ කාලයේ ඊට වඩා පන්සල් යන්නට ඇතැයි සිතිය හැකි තාත්තා පන්සලෙන් දුරස් වී ඇත්තේ, ඔහු මට දැනුම් තේරුම් ඇති කාලයේ ඔහු වටින් ගොඩින් පැවසූ පරිදි, අපේ ගම අසල පිරිවෙනක පැවැති විභාගයක දී එයින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම පිණිස එක් භික්ෂුවක් විසින් තවත් භික්ෂුවකට ජාපාල ඇට සහිත පානයක් ලබා දුන් සිද්ධියෙන් පසුව ය.

මගේ පියා අයත් වූයේ ගම්බද බෞද්ධ පවුලකට ය. කොටින්ම, මගේ පියාගේ ඥාති සොහොයුරා භික්ෂුවක වූ අතර ඔහු කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) සහ ශාස්ත්‍රපති (MA) උපාධි ලබා ලංකාවේ පිරිවෙනක අධිපති තනතුරද හෙබ වූ අයෙකි.

මෙහි දැක්වෙන දිනයට මාස දෙකහමාරකට පසු දිනක අම්මා එකල විසූ නිවසේ පැවැත්වුණු දානයක් අවසානයේ කතාවක් පැවැත්වූ පන්සලේ සාදු විසින් අම්මා කළ මෙවැනි දේ සඳහා ඇගේ පුතණුවන් තිදෙනාගේ ආධාරය ද ලැබෙන්නට ඇති බවට ඉඟි කළ විගසම මා එම කතාවට බාධා කරමින් වහාම පැවසූයේ මගේ නම් කිසිදු සම්මාදමක් නැති බවයි. මල්ලිලා දෙන්නා ද මේ කටයුත්තට කිසිදු සම්බන්ධයක් නොතිබුණේ යැයි මම සිතමි.

එදින සවස් යාමයේ මගේ බාලම සොහොයුරා මා සමග පැවසූයේ මෙම මුළුතැන් ගෙය ඉදිකරන ලද්දේ පන්සලේ රාත්‍රියට නතර වෙන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වැනි අයට කෑම පිස ගැනීම සඳහා බවය.

මෙම පුවරුවේ ඇති සටහනේ අඩුවක් ඇත.

එනම් අර නන්දාරාම නම් සාදුට යොදා ඇති ශ්‍රාස්ත්‍රවේදී යන උපාධි නාමය මගේ තාත්තා ගේ නමට ඉදිරියෙන් ද යෙදිය යුතුව තිබුණි. මම හිතන විදියට මේ සාදු උපාධිය ලබාගන්න ඇත්තේද මගේ පියා උපාධිය ලබාගත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් විය යුතුය.

මේ පන්සලේ වැඩකිඩ ගැන දුක හිතෙන කතාවක් මෙතැනින් කියවිය හැකිය. වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
https://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html


- රසික සූරියආරච්චි (image: අම්මා හෝ මල්ලී හෝ විසින් 2017 දී මවෙත එවන ලදී.)

Tuesday, 3 January 2023

ගිය වසරේ (2022) මගේ "ඇවිදින අපලේ" - Journeys in 2022


ගිය වසර (2022) මට "ඇවිදින අපලයක්" ම විය.

ඒ කියන්නේ ගෙවුණු 2022 තරම් මට විවිධ නගර ගම්දනව් කරා යන්නට සිදු වූ වෙනත් වසරක් නොමැති බවයි.

වසර ඇරඹුණේ ම, ජනවාරි මස පළමුවෙනිදා, අප සිව්දෙනා කෝවිඩ් සැදී නිරෝධායනයේ එතෙක් සිටි තැස්මේනියාවේ ලොන්සෙස්ටන් නගරයෙන් පිටත්ව මෙල්බර්න් හරහා නිවසට පැමිණීමෙනි.
https://rasikalogy.blogspot.com/2022/01/last-scroll-of-my-omicron-diary.html

ජනවාරි 22-25 දක්වා නිවසින් කිලෝමීටර් 150 පමණ දුරකින් පිහිටි බෙරී නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02HArzEuF868RMurSgXCYmTXME93ukc9EhL9cUZRr1GZ66qagMXaWncqFg7qEpNn77l

මාර්තු මාසයේ 6/7 සති අන්තයේ කැන්බරා නුවර ගත කළෙමු. අප දෙදෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.
https://rasikalogy.blogspot.com/2022/03/ask-me-or-not-ask-me.html

අප්‍රියෙල් මාසයේ 5-21 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ ශල්‍යකර්මයක් සඳහා ය.
https://rasikalogy.blogspot.com/2022/04/once-in-lifetime-opportunity-to-change.html

මැයි මාසයේ 7/8 සති අන්තය නිවසෙන් නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි මේට්ලන්ඩ් නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. අප සිව්දෙනා මංගලෝත්සවයක් සඳහා ගිය ගමනකි.

ජූනි මාසයේ 4-11 දක්වා අප දෙදෙනා සහ පුතාගේ කාලය ගෙවුණේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ්කෝස්ට් නගරයේ ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02jrv6vxFZZtG3iREWPWLk4AEdbzXb7SxTY4wR1LpyHStN92jef7oR7f2iHHbzhnHVl

ජූලි මසයේ 7-10 දක්වා ක්වීන්ස්ලන්තයේ බ්‍රිස්බේන් නුවර ගත කෙළෙමු. අප දෙදෙනා ගිය ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02a2cxVPPMnJpQm8ML8eDEj9s3yyGofMHc2RsrHKX5h6eeDt36gxXNMGTT8TVD7RC8l

ජූලි මාසයෙ 16/17 දින නිවසින් කිලෝමීටර් 60 පමණ දුරකින් පිහිටි කටූම්බා නම් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු. බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02vgDeKqovHQ9F49knr1CM8Yt5HHWiHtF6RCoU1PtbxnkgArH5pFXdzsUoFby6gY4Ql

අගෝස්තු මාසයේ 19-22 දින කිහිපය මෙල්බර්න් නගරයේ පවුලේ නිවාඩුවක් ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02e92Wb3cUFgKUBEPu7T1d3P6M1yuMEELM1aTxLZM1mmJhyXVcjo2mcPVSH9BYqGM3l

සැප්තැම්බර් 9-11 දින නිවසින් කිලෝමීටර් 400 පමණ දුරකින් පිහිටි කූමා නම් නගරයේ සංචාරයක යෙදුනෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

සැප්තැම්බර් මාසයේ 14-27 දක්වා කාලය ගතවුණේ ශ්‍රී ලංකාවේ ය. තනිවම ගිය ගමනකි. අම්මාගේ උපන් දිනය සඳහා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0p2vhG41CRemWzzVhbuwmdvKbwuRzqwhz1BF7C59PQdv6uiNeqvR3XkorVfvWw4cfl

ඔක්තෝබර් 1-9 කාලය බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් සහ බන්බරි ප්‍රදේශයේ සංචාරය කළෙමි. මිතුරන් සමග ගිය ගමනකි.

ඔක්තෝබර් 13-19 කාලය මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් සහ උලුරු ප්‍රදේශයේ සංචාරය කළෙමි. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0LaeHQPcEe19Jy4SUpi2FqRwWS9bHSV7XqPyPqXPYQPJKH1ftcH5PkJodqXHLqRtdl

https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02zWniUsxcJHprFagyDR9MEpmjx47z2tmeYA3B8J4xQhoYYEdZdztvNZ6W8fBrhMrDl

ඔක්තෝබරයේ 27-29 අප දෙදෙනා ගත කළේ දින නිවසින් කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි හන්ටර් වැලි ප්‍රදේශයේ ය. මගේ උපන්දිනය වෙනුවෙන් පවුලේ ගමනකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Byt2ha6QwBWaWCvTJCg2oo25yv5kwd8x6LVN3v1Wa1UCY8KKoifeJyEXCpfnR7nzl

නොවැම්බරයේ 3-9 කාලයේ ෆීජී රටේ නන්ඩි නුවර විවේකය ගත්තෙමු. අප දෙදෙනා සහ මිතුරු ජෝඩුවකි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0Hn91npZbE2cY1ocdjRNkjQ8MNXLWETbZfnxvsgeNNg649mwevQVNWCpsRccUxyuml

නොවැම්බරයේ 11/13 කාලය ගතවුණේ නිවසින් කිලෝමීටර් 175 පමණ දුර කොරොබොලොන්ග් ගම්මානයේ ය. පේරාදෙණිය ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ වාර්ෂික සුහද සාදයයි.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid0bhMMJ8DkDvR68DN8MrGD7dzVYqYKmAkcHnMSTuxuqeF62msuyFpFKuFzw4W4hVel

නොවැම්බරයේ 19/20 සති අන්තය කැන්බරා නුවර ගත කළෙමු.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02axTiDJUFU926MNq98fvxb8oayxAHkKz7DNLCoPSATLGFaC6t8ZmJK4CntBRoVa2tl

නොවැම්බරයේ 26 වෙනි දින හදිසියේ ලංකාව බලා ඒමට සිදුවිය. ඒ අම්මාගේ අභාවය නිසා ය.
https://www.facebook.com/suriyaarachchi/posts/pfbid02Fr65ZfJfHXSzyEJEGHZgaGMzwiQMSiQFu5iDEPcxZ3Uw5qZjX4tAzfo4Ks6GdXpsl

ඒ කටයුතු අවසානයේ දෙසැම්බර් 11 දින ලංකාවෙන් පිටත් වී 13 දා නිවසට පැමිණියෙමි. පැය දාහතක් පමණ මැලේෂියාවේ ගුවන් තොටුපළේ ද, අසල හෝටලයක ද රැඳෙන්නට සිදුවිය.
https://www.facebook.com/photo?fbid=10160757260913793&set=a.10150097068108793

එදින සිට වසර අවසානය තෙක් දැහැමෙන් සෙමෙන් නිවසේ ගත කළෙමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
නව වසරේ ගමන් ඇරඹෙන්නේ මේ සති අන්තයේ මෙල්බර්න් බලා මෝටර් රථයෙන් යන ගමනකිනි. සතියක් පමණ මෙම ගමන සඳහා ගත කිරීමට අදහස් කරමු.

Saturday, 8 May 2021

අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees


මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ අම්මා හැඬුවාය.

ගණිත විෂයයන් හැදෑරු මා ලබා තිබුණේ අධි සම්මාන (බී සාමාර්ථ) දෙකක් සහ සම්මාන (සී සාමාර්ථ) දෙකක් පමණි. අම්මලා එච්.එස්.සී. හැදෑරූ කාලයේ නම් මේ වනාහී අති විශිෂ්ට ජයග්‍රහණයකි. එකල, සම්මාන, අධි සම්මාන නොව සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගන්නා ශිෂ්‍යයෙකු පවා විශ්වවිද්‍යාල වරම් ලැබීම අරුමයක් නොවීය.

නමුත් මේ පනහ දශකයේ අග භාගය නොවේ. අසුවේ දශකයේ මුල් කාලයයි. උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවේ වැඩි වීමට වඩා ඉහළ වේගයකින් වැඩි වී තිබුණි. ඒ සමගම, සමස්තයක් වශයෙන් අපේ පරම්පරාවේ ඉගෙනුමට ඇති අවශ්‍යතාවයේ, හැකියාවේ, මෙන්ම උනන්දුවේ ද පරිණාමික වර්ධනයක් ද දක්නට ලැබුණි.

මේ පරිණාමික වර්ධනය ගැන උදාහරණයක් දෙන්නේ නම්, අපේ අම්මලාගේ කාලයෙන් දශකයකට පසුව වුවද, සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ හයක් සමත් වී සම්මාන තුනක් ලබන්නා මහා වීරයෙක් වූ බව කියවේ. ඔහු හෝ ඇය, විෂයයන් දෙකක් ම ගෙඩි පිටින් අසමත් බව කිසිවෙකු නොතැකූහ. එනමුදු මා උසස් පෙළ කරන කාලය වන විට සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ අටක් ම ලබා ගන්නෝ සිය ගණනින් බිහිවන්නට පටන් ගෙන සිටියහ.

අම්මා ඇඬූයේ බැලූ බැල්මට ප්‍රමාණවත් නැති යැයි සිතෙන මගේ විභාග ප්‍රතිඵල හෙවත් "B-දෙකයි, C-දෙකයි" නිසා ම නොවේ. උසස් පෙළ විභාගයට "හිතට අරගෙන" වැඩ කරන්නට පටන් ගත් දින සිටම වාගේ ස්වයං-උත්තේජනයකට මෙන්ම ධනාත්මක අභිප්‍රේරණයකට ද මා ලක් කරගන්නට සිතා, කඩදාසියක ඇඳ කාඩ්බෝඩයක අලවා සාදා ගෙන ලියන මේසයේ මා දෙනෙත ඉදිරිපිට හොඳින් පෙනෙන්නට සවිකරගෙන සිටි ඉංගිරිසි "A" අකුරෙන් යුතු පුවරුව ද නිසා ය.

උදේ හවා එකී "A" අකුර සහිත පුවරුව ඉදිරිපිට සිට මා පාඩම් කටයුතු කරනු දැක, උසස් පෙළ විභාගයෙන් සත්‍ය වශයෙන්ම මා "A" සාමාර්ථ හෙවත් විශිෂ්ට සාමාර්ථ හතරක් ම ගනු ඇතැයි ඇය ස්වයං-මායාවකට අසුවී සිටි නිසා ය.

මා ලැබූ ප්‍රතිඵල ගැන මට ද දුකක් නොදැනුණේ නොවේ. අම්මාගේ කඳුළු මුලින් දැක කාමරයට ගිය මා මගේ පෙර කී "A" අකුර සහිත පුවරුව දුටුවේ කඳුළු අතරිනි.

"A" සාමාර්ථ හතරක් කෙසේ වෙතත් යාන්තමින් "A" තුනක් සහ රසායන විද්‍යාවට "A" සම්මාන සාමාර්ථයක් ලැබේ යැයි විභාගයෙන් පසු මා ප්‍රශ්න පත්‍ර සහ අදාළ සටහන් පොත් උඩු යටිකුරු කර සසඳමින් ඇස්තමේන්තු කර තිබුණි.

සැමවිටම මගේ ඇස්තමේන්තු මට වාසියට සිදුවෙන්නට ඉඩ-කඩ ඇති බව සැබවි. එහෙත් එය එසේ වුවද, මට "B" සාමාර්ථ තුනක් හෝ අඩු වශයෙන් ලැබිය යුතුව තිබුණු බව මට වැටහිණ. ලැබී තිබුණේ ඊට වඩා අඩු ප්‍රතිඵලයකි. මේ සියල්ල මැද මට දරාගන්නට නොහැකි වූ පරාජය වූයේ මා විශිෂ්ට සාමාර්ථයක් හෙවත් "A" එකක් අනිවාර්යෙන් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ ව්‍යවහාරික ගණිතය විෂයයට මට ලැබී තිබුණේ "C" සාමාර්ථයක් පමණක් වීමයි.

ඉල්ලුම තරමට සැපයුම නැති ලංකාවේ විශ්වවිද්‍යාලයකට තේරීමට සහ එහි දී ද තමන්ට අවශ්‍ය පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමට විභාග ප්‍රතිඵල අනුව අපොහොසත් වේ යැයි සිතන සිසුන් හමුවේ, නැවත වරක් විභාගයට පෙනී සිටීමට අමතරව, ඇති විකල්පයක් වන්නේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයැදුම් කිරීමයි.

අපේ වාරයේ දී අගෝස්තුවේ පැවති අපේ උසස් පෙළ විභාගය ඊළඟ වසරේ දී, අප්‍රියෙල් දක්වා ඉදිරියට පමුණුවා තිබුණි. ඒ සඳහා අයැදුම් කිරීමේ අවසාන දිනය ඉතා අසාධාරනව යොදා තිබුණේ, අපේ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට මාසයකට පමණ කලිනි. මා ඒ සඳහා ඒ කාලයේ හැටියට විශාල මුදලක් වූ රුපියක් අසූවක් ම ගෙවා මේ වන විට අයැදුම් කර හමාරය. නව නිර්දේශය සඳහා වූ විභාගය අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත වූ බැවින් මගේ සමහර මිතුරෝ එය තම විකල්ප ගැලවුම ලෙස යොදාගෙන සිටියහ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා එක් විෂයයකට ගාස්තුව රුපියල් පනහකි. ව්‍යවහාරික ගණිතය සඳහා මා ලබා තිබූ ප්‍රතිඵලය පිළිබඳව මා සිත තුළ කෙතරම් සැකයක් තිබුණේ වුවද, දෙමව්පියන් ගේ සල්ලිවලින් තවත් රුපියක් පනහක් වැය කිරීමට මට සිත් නොදුනි.

මා ලෙසම හිතුවාට වඩා අඩු ප්‍රතිඵල ලැබූ මා මිතුරෙකුට ඔහුගේ දෙමව්පියන් පවසා තිබුණේ, එක්කෝ විෂයයන් තුනම නැවත සමීක්ෂණයට රුපියක් දෙසීයක් දීමට හැකිය, එසේ නැතිනම්, නැවත විභාගයට අගෝස්තුවේ දී පෙනී සිටීමට විභාග ගාස්තු සහ අනෙක් වියදම් සඳහා ඒ මුදලම දිය හැකිය, නමුත් ඒ කාරණා දෙකටම මුදල් වියදම් කිරීම නම් කිසිසේත්ම කළ නොහැකිය, කියායි.

මේ අවස්ථාවේ දී මගේ පිහිටට ආවේ මගේ මවගේ බාලම නැගණිය හෙවත් මගේ ආදරණීය සුනීතා පුංචි අම්මා ය.

"ප්‍රතිඵල වෙනස් වේවි යැයි පුතාට හොඳටම විශ්වාසය ඇති විෂය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කරන්න!" යැයි පවසා ඇය මට රුපියක් පනහක් දුන්නා ය.

මම ඒ මුදලින් ව්‍යවහාරික ගණිතය විෂයය නැවත සමීක්ෂණයට ඉල්ලුම් කළෙමි.

කාලය ගත වී ගියේය. මම අප්‍රියෙල් මාසයේ දෙවන වරටත් උසස් පෙළ සඳහා පෙනී සිටියෙමි. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව යන විෂයයන් සඳහා මා මුල් වතාවට වඩා හොඳින් විභාගයට මුහුණ දුන්නා යැයි විභාගය අවසානයේ මට වැටහිණි. රසායන විද්‍යාව විෂයය පිළිබඳව නම් මගේ සිත තුළ ඉතිරි වූයේ කුකුසක් පමණි.

විභාගයෙන් පසු මුළු දිවා කාලයම ගලහිටියාව ගම් සභා පුස්තකාලයේ ගතකරමින් පොත් කියවීමටත්, රාතී්‍ර කාලය පුස්කාලයෙන් දිනපතා ගෙන එන පොත කියවීමටත්, ගත කරන්නට පුරුදු වූ මගේ සිතට නිරතුරු වද දුන් ප්‍රශ්නාවලිය වූයේ විභාග ප්‍රතිඵල සහ විශ්ව විද්‍යාල ප්‍රවේශයයි.

"B" සාමාර්ථ දෙක සහ "C" සාමාර්ථ දෙක සඳහා මට අවම වශයෙන් ලකුණු දෙසිය හතළිහක් ලැබී තිබිය යුතු වූ අතර, උපරිමය ලෙස ලකුණු දෙසිය හැත්තෑ හයක් ද ලැබී තිබෙන්නට ද ඉඩ ඇත. ඒ වනාහී ලකුණු තිස් හයක දැවැන්ත පරතරයකි.

ඒ අවමය මට කොළඹ දිස්ත්‍රික්කයෙන් ගණිත ධාරාවේ විශ්ව විද්‍යාල පාඨමාලාවකට ඇතුළුවීමට ප්‍රමාණවත් වේද? ඒ උපරිමය මා බලාපොරොත්තු වූ පරිදි ඉංජිනේරු පීඨයට ඇතුළුවීම සඳහා ප්‍රමාණවත් වේවිද? මගේ ලකුණු ප්‍රමාණය සෑහෙන්නේ විද්‍යා පීඨයට ඇතුළුවීමට පමණක් නම්, ඒ අවස්ථාව ඉවත දමා, මගේ උසස් පෙළ දෙවෙනි උත්සාහයේ ප්‍රතිඵල මත බලාපොරොත්තු තබා ගන්නද? මගේ මනස සැම විටම අවුල් ජාලයක් විය.

මේ තුන් තේරවිල්ලට මුහුණ දී සිටියේ මා පමණක් නොවන බවද, තවත් මා වැනි සිය ගණනක් සිසුන් සිටි බවද, මෙහිදී කිව යුතු ය.

එදා අප මුහුණ දුන් තත්වය ඉන් පසු කාලයට වඩා තවත් අසීරු වීමට හේතුවක් වී තිබුණේ, අපට පෙර වසරවල දී සිසුන් සඳහා ඔවුන් උසස් පෙළ සඳහා ලැබූ නිවරදි ලකුණු ප්‍රමාණය නිකුත් කර නොතිබීමයි. එනිසා, යම් යම් අනුමානයන් මිස ඒ එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය වෙන අවම ලකුණු මට්ටම් පිළිබද ඉතිහාසයක් කිසිවෙකු දැන නොසිටියහ.

මගේ තාත්තා ගේ මිතුරෙක් මේ දිනවල විභාග දෙපාර්තමේන්තුවේ සේවය කළේ ය. තාත්තා ඔහු හමුවීමට ගොස් මේ පිළිබඳව පවසා මගේ විභාග අංකය ඔහුට ලබා දී ඇත. එක් දිනක් රාත්‍රී කාලයේ අප නිවසට ඔහු ගොඩ වැදුණේ මගේ උසස් පෙළ ලකුණු ප්‍රමාණය අපට පවසන්නටයි.

"පුතා ට ලකුණු දෙසීය හැත්තෑ හතක් තියෙනවා!" ඔහු කීවේය.

මට මගේ දෙසවන් විශ්වාස කළ නොහැකි විය.

” වෙන්න බෑ. මගේ විභාග ප්‍රතිඵල අනුව මට තියෙන්න පුළුවන් උපරිමය දෙසිය හැත්තෑ හයයි නේ!” මම පවසා සිටියෙමි.

” දෙසිය හැත්තෑ හතක් බව මට විශ්වාසයි, ඇස් දෙකින්ම දැක්කා!” තාත්තාගේ මිතුරා තමා දෙපාර්තමේන්තුවේ දී ලියා ගත් කොළ කැබැල්ල තාත්තා අත තැබීය.

පසුව මට වැටහුණු පරිදි මෙහිදී මගේ තාත්තා ගේ මිතුරා කර තිබුණේ කිසියම් ආකාරයක අයුතු දෙයක් නොවේ. අපේ උසස් පෙළ ලකුණු, මේ සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත පාසල ට එවා තිබුණි. මේ ආකාරයට තමන්ගේ උසස් පෙළ විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව දැනගත් මුල්ම කණ්ඩායම අප විය.

පසුදින මා පාසල වෙත ගියේ සහතිකයක් ලබා ගැනීමටයි. පුස්තකාලයෙන් ”සන්ඩේ ඔබ්සෝවර්” පත්‍රයේ ඇබෑර්තු කියවා රැකියාවක් සඳහා අයැදුම් කරන්නට සැරසී සිටි මට පාසලෙන් යම්කිසි ආකාරයක සහතිකයක් අවශ්‍ය වී තිබුණි.

නම, ශිෂ්‍ය අංකය, උසස් පෙළ ප්‍රතිඵල, බාහිර ක්‍රියාකාරකම් යනාදී විස්තර අයැදුම් පතේ පුරවා විදුහලේ කාර්්‍යාලයට බාර දුන් මම, ඉන් පැය කිහිපයකට පසු නැවත එහි ගොස් නිල ලාංඡනය සහිත මුද්‍රිත කොළයක ටයිප් කර සකසා තිබූ මගේ සහතිකය ලබා ගත්තෙමි.

පුදුමයකට මෙන් මගේ උසස් පෙළ ප්‍රතිඵල ලෙස එහි සඳහන් වූයේ ”බී” සාමාර්ථ තුනක් සහ එක් ”සී” සාමාර්ථයකි. මම වහාම කාර්්‍යාලයේ නිලධාරියා ට මේ බව කීවෙමි. ඔහු පවසා සිටියේ ඒ මගේ නිවැරදි නිල ප්‍රතිඵලය බවයි. මගේ නැවත සමීක්ෂණ ඉල්ලීම සාර්ථක වී ව්‍යවහාරික ගණිතය සඳහා වූ ප්‍රතිඵලය ”බී” සාමාර්ථයක් ලෙස වෙනස් වී ඇති වග ඊට පෙර දින පාසලට දන්වා ඇති බව මට දැනගන්නට ලැබුණේ එවේලේ ය.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා මා ගෙවූ රුපියල් පනහක මුදල මට ආපසු ලැබුණි ද, නැද්ද යන්න පිළිබඳව නිවැරදි අදහසක් මගේ මතකයේ නැත. ඒ කෙසේ වූව ද මගේ සුනීතා පුංචි අම්මා විසින් සිදු කර ඇති හොඳම රුපියල් පනහක ආයෝජනය එය වන්නට ඇතැයි මට අද ද සිතේ.

මේ ආකාරයට සුබ ලකුණු දැක ගැනීමට ලැබීමෙන් මා සිත අමන්දානන්දයට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැති වුවද මෙහි ලියා තැබිය යුතුම ය. ලකුණු දෙසිය හැත්තෑ හතක් ලැබීම යනු මා බලාපොරොත්තු වූ ආකාරයටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුවීමට මට හැකිවෙන බවට කෙරුණු සහතිකයි.

ඊටත් වඩා මා උද්දාමයට පත් වූ කාරණය නම්, මගේ නව ප්‍රතිඵලය වූ ”බී” සාමාර්ථ තුනක් සහ ”සී” සාමාර්ථය සඳහා මට ලබාගත හැකි උපරිම ලකුණු ප්‍රමාණය වූ දෙසිය අසූ හයට වඩා මා ලබා තිබුණේ ලකුණු නමයක් පමණක් අඩුවෙන් වීමයි. විෂයයන් හතර අතර බෙදන විට එය ලකුණු දෙකක පමණ වෙනසක් පමණි.

මේ දෛවෝපගත දිනයෙන් මාස දෙකක් පමණ ඇතුළත මගේ විශ්ව විද්‍යාල සිහිනය සැබෑවිය. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉංජිනේරු පීඨයට යාම සඳහා අවශ්‍ය වූ අවම ලකුණු ප්‍රමාණය දෙසිය හැට නමයක් බව අපට දැනගන්නට ලැබුණි.

මේ අතර, දෙවන වරට මා පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද නිකුත් වූ අතර බැලූ බැල්මට වඩාත් හොඳ යැයි සිතෙන ”ඒ” සාමාර්ථ දෙකක්, ”බී” සාමාර්ථයක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සඳහා මා ලබා තිබුණේ ලකුණු දෙසිය හැත්තෑ තුනක් පමණි.

මා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත යෑමට ලක ලැහැත්ති වී නිවසින් පිටත් වූ දිනය අද මෙන් මගේ මතකයේ ඇත.

එදා මගේ උසස් පෙළ ප්‍රතිඵල දැනගත් මොහොතේ හැඬු අම්මා මෙදා මා දෙස බලා සතුටින් සිනාසුණාය.

රුපියල් පනහක තම ආයෝජනය මගින් සිදුවූ යහපත දැක සුනීතා පුංචි අම්මා ද සිනාසුණාය!

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ එහි මුල් කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ.

(https://www.leftovercurrency.com/exchange/sri-lankan-rupees/withdrawn-sri-lankan-rupees-banknotes/50-rupees-central-bank-of-ceylon-banknote-armorial-ensign-1977/)

Friday, 7 May 2021

අම්මා ඇඬූ දා - My A/L Results


මගේ ලියන මේසය මත ඇති චිමිනි ලාම්පුවේ දීප්තිමත් එළියෙන් අපේ කුඩා කාමරය ආලෝකමත් වී ඇත. ඔහු ගේ මේසය මත ඇති චිමිනි ලාම්පුව නිවා දමා මල්ලී නින්දට ගියේ දැන් මද වේලාවකට කලිනි. මල්ලීටත් මටත් දෙදෙනාටම නිදාගැනීමට ඇති කුඩා ඇඳේ ඔහුගේ කොටසට ගුලි වී ඔහු මේ වන විටත් හොඳ නින්දේ ය.

වේලාව රාත්‍රී දහය ද පන්නා ඇති බව අපේ එලාම් ඔරලෝසුව කියයි. මට නිදිමතක් දැනේ. මම මා කියවමින් සිටි කාබනික රසායනය සටහනෙන් හිස ඔසවා ඈනුමක් යවමි.

ඈනුම අවසානයේ මගේ නෙත් විවර වෙනවාත් සමගම මා දකින්නේ හාෆ් ෂීට් කඩදාසියක ලියා, කාඩ්බෝඩ් පුවරුවක අලවා සකසා මේසය උඩ තබා ඇති පුවරුවකි. බැලූ බැල්මට එහි පෙනෙන්නේ එක් විශාල අකුරකි. ඒ අන් කිසිවක් නොව ඉංගිරිසි අකාරාදියේ මුල් අකුරයි. උසස් පෙළ හදාරන සිසුන් ගේ සිත් සතන් තුළ පැල පදියම් වූ පරමාදර්ශී ශුද්ධ වූ කුසලානයි. ආණ්ඩුවේ විභාගයෙන් ලබාගත හැකි විශිෂ්ටතම සාමාර්ථය නිරූපණය කෙරෙන "A" අකුරයි!

"A" අකුරට අමතරව එම පුවරුවේ ඉංගිරිසියෙන් ලියූ කෙටි වැකි කිහිපයක් වේ.

මට "A" සාමාර්ථ හතරක් ගැනීමට අවශ්‍යය!
මා "A" සාමාර්ථ හතරක් ගත යුතුමය!!
ඔව්, මම "A" සාමාර්ථ හතරක් අනිවාර්යෙන් ම ගනිමි!!!

මේ පුවරුව දකින මගේ නිදිමත නැති වී යයි. උදෑසන පහට පමණ අවදි විය යුතු බව, පහයි හතළිස් පහට අප නිවස පසු කරන බසය අල්ලා ගත යුතු බව, ඒ බසයෙන් දුම්රිය ස්ථානයට ගොස් මරදාන බලා යන දුම්රියකට ගොඩ විය යුතු බව මට අමතක වී යයි.

"A" හතරක් ගැනීම යනු, සාපේක්ෂව හොඳින් ජීරණය වන විෂයයන් වන ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව සහ ශුද්ධ ගණිතයට පමණක් නොව තරාදියේ අනෙත් පස ඇති රසායන විද්‍යාවට ද විශිෂ්ට සාමාර්ථයක් ගැනීමයි. මම නැවතත් රසායන විද්‍යා සටහනේ ඇති "ටොලුයීන්" නම් වූ සංයුක්තය "මීතයිල් සැලිසිලෙට්" බවට පරිවර්තනය කිරීම සඳහා ඇති ක්‍රමවේදය දෙස සිත යොමු කරමි.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කවදත් සැකසී ඇත්තේ මනාව සකසා ඉදිරිපත් කර ඇති තිර රචනා කිහිපයක් ද සමගිනි. පහේ පන්තියේ විභාගය සමත් වූයේ නම් ගමේ පාසලේ සිට අසල නගරයේ පාසලට යා යුතුය. ඉන් පසු ඇති සාමාන්‍ය පෙළ වැනි විභාගයක් ඉහළින් සමත් වූයේ නම් උසස් පෙළ සඳහා විද්‍යාව හැදෑරිය යුතු වෙන අතර ඊට අතමරව හැකි නම් වඩා හොඳ, ඇතැම් විට අගනුවර හෝ ප්‍රධාන නගරයක ඇති ජාතික මට්ටමේ පාසලකට යා යුතු ය. ගණිතය සඳහා දස්කම් දක්වන්නන් උසස් පෙළ සඳහා භෞතික විද්‍යා විෂයය ධාරාව තෝරා ගත යුතුය. විද්‍යාව සඳහා දස්කම් ඇත්තන් ජීව විද්‍යාව විෂයය ධාරාව තෝරා ගත යුතුය. එතැනින් ඔබ යා යුත්තේ එක්කෝ ඉංජිනේරු පීඨයට ය. නැතිනම් වෛද්‍ය පීඨයට ය.

ධාවන පඨ ඉතා සරල ය. අපට ඇත්තේ පිටපත අනුගමනය කිරීම පමණි.

එක් කුඩා ප්‍රශ්නයකට තිබුණේ, පිටපතේ විදියට රඟපා අපේක්ෂිත පරිදි ඉංජිනේරු පීඨයට හෝ වෛද්‍ය පීඨයට හෝ යෑමට නම් උසස් පෙළ විභාගය ඉතා ඉහළින් ම සමත් වීමට සිදුවීමයි. එය තිර රචනය කියවද්දී නම් ඉතා ලෙහෙසි දෙයක් ලෙස පෙනෙන නමුත් ප්‍රායෝගිකව ඉතා අසීරු කර්තව්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මේ අසීරු ඉලක්කය කරා හඹා යන ගමන ආරම්භ වීමත් සමගම පාහේ ඒ සඳහා මගේ උනන්දුව සැමදා නො අඩුව තබා ගැනීමට මා මෙහිදී අනුගමනය කළේ ඉතා සරල අභිපේ්‍රරණ විධික්‍රමයකි. එය නම්, උසස් පෙළ විභාගයෙන් ලැබිය හැකි හොඳම ප්‍රතිඵලය හෙවත් විශිෂ්ට සම්මාන හතරක්, "A" හතරක්, ගැනීමට සැලසුම් කිරීමයි. එම සැලැස්ම නිතර දෙවේලේ, මවිසින්, මට ම, සිහිපත් කරවා ගැනීමයි.

මට්ටකුණ්ඩලී ගේ පියා පිළිස්සූ කරවල කැබැල්ලක් තම නැහැය ඉදිරියේ තබා ඒ සුවඳ විඳිමින් අමු අමුවේ බත් කෑ බව කියවේ. නීරස වූ රසායන විද්‍යා පාඩම් රසවත් සේ ගිල දැමීමට මෙන්ම, අන්තර්ගතය එතරම් ප්‍රශ්නයක් නොවූ නමුත් කාලය පිළිබඳව සැමවිටම අභියෝග මැවූ, භෞතික විද්‍යාව, ව්‍යවහාරික ගණිතය සහ ශුද්ධ ගණිතය විෂයයන් ගේ අත ගැසෙන මානයේ වූ සියලුම උදාහරණ, ගැටලු, පසුගිය විභාග ප්‍රශ්න සහ අභියෝග හැදෑරීමට ද මට උපකාරී වූයේ පෙර විස්තර කෙරුණු පරිදි අපේ කාමරයේ මගේ ලියන මේසය ඉදිරියේ පුටුවේ මා අසුන් ගත් කළ, මූණට පොල්ලෙන් ගැසුවාක් සේ නොවැරදී පෙනෙන්නට තබා තිබුණු "A" අකුරේ සටහනය.

මේ පුවරුව මගේ මවගේ දැඩි ඇගයුමට ද, සොහොයුරන් ගේ සරදමට ද ලක්වූ බව කිව යුතු ය. කෙසේ වුවද, අගෝස්තු මස පැවති උසස් පෙළ විභාගයේ අවසානයත් සමගම මට වැටහුණේ, මගේ උත්සාහය මුළුමනින්ම නිෂ්ඵල නොවී, ”ඒ” හතරක් කෙසේ වෙතත්, යාන්තමින් හෝ "A" සාමාර්ථ තුනක් සහ "B" සාමාර්ථයක් ලබාගන්නට මට ඉඩ කඩ ඇති බවකි. "B" සාමාර්ථය ගණිතය ධාරාවේ උසස් පෙළ සිසුන්ගේ බියකරු සිහිනය වූ රසායන විද්‍යාව සඳහා ය.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් වීමත් සමගම විභාග පටිපාටිය ද වෙනස් වෙමින් පැවතුණු නිසා අපේ සුවිශේෂී උසස් පෙළ විෂයය නිර්දේශය සඳහා වූ ඊළඟ වසරේ විභාගය නියමිත වූයේ අප්‍රියෙල් මාසයට ය. ඒ සඳහා මුදල් ගෙවා අයැදුම් කරන්නට දිනය අත ළඟටම පැමිණියේ වුවද, අගෝස්තුවේ පැවැත්වූ අපේ විභාගයේ ප්‍රතිඵලය නම් නිකුත් කරන සේයාවකුදු නොවී ය. සිදුවෙමින් පැවතියේ මහා අසාධාරණයකි. එහෙත්, ශී්‍ර ලංකාව වැනි රටක මේ ගැන කාට නම් පැමිණිලි කරන්නද? කණගාටුවෙන් මෙන් මා ඇතුළු, පෙර ලියු පිටපතට අනුව ඉංජිනේරු සහ, වෛද්‍ය පීඨයන්ට යාමට සිහින මවමින් සැදී පැහැදී සිටි, එනමුත් තම විභාග ප්‍රතිඵල පිළිබඳ සියයට සීයක ස්ථිරත්වයක් නැති, බොහෝ දෙනෙකුට සිදුවූයේ නැවතත් විභාගයට පෙනී සිටීමට අයැදුම් කිරීමටයි.

අවසානයේ විභාග ප්‍රතිඵල නිකුත් විය. මා එදා පාසලේ සිට නිවස බලා ආයේ කැළඹුණු සිතින් ද, දැවෙන හදවතින් ද, යුතුව බව කිව යුතු ය.

මා ගෙට ගොඩවත්ම අම්මා හා තාත්තා මා ඉදිරියට පැමිණියහ.

"කොහොමද? මොනවද ප්‍රතිඵල?" අම්මා ගේ දෑස් දැඩි උනන්දුව නිසාම ප්‍රභාමත් වී ඇති අයුරු මම දිටිමි.

"බී දෙකයි, සී දෙකයි" බිඳුණු හඬින් මා පැවසූයේ අම්මා හෝ තාත්තා හෝ දෙස නොබලා ම ය.

තාත්තා නිසොල්මන්ව බලා සිටියේය. අම්මා ගේ මුහුණේ ඇඳී ගියේ අමුතුම ආකාරයක හිනාවකි.

"ඔයා ඔය බොරු නේද කියන්නේ? ඇත්ත කියන්නකෝ ළමයෝ විහිළු නොකර?"

"බොරු නෙමේ අම්මේ මේ ඇත්ත තමයි. බී දෙකයි, සී දෙකයි මට ඇවිත් තියෙන්නේ."

අම්මා ගේ කඳුළින් පිරුණු දෙනෙත දුටු මට ඇතිවූයේ බලවත් සංකාවකි.

"කමක් නෑ අම්මේ, මං මේ අප්‍රියෙල්වල ආපහු විභාගේ කරනවා, කොහොමටත් ඇප්ලිකේෂනුත් දාල නේ තියෙන්නේ" මම අමාරුවෙන් වචන ගලපා ගතිමි.

"උඹ ආයේ විභාගේ කරපන්" තාත්තා සුපුරුදු එඩිතර හඬින් පැවසීය.

කාමරයට ගිය මම ඇඳ මත දිගාවී මගේ ලියන මේසය දෙස බැලූවෙමි.

"A" අකුර සහිත පුවරුව මගේ දෙනෙතට අසුවිය. කෙමෙන් තෙත් වී ගෙන ගිය මගේ දෑසෙන් ඒ රුව බොඳවී යන්නට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.

(දෙවන කොටස: අම්මා සිනාසුණා ය - The best use of 50 Rupees
https://rasikalogy.blogspot.com/2021/05/best-use-of-50-rupees.html
)

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ සටහන සහ දෙවන කොටස මා ලියා පළ කළ "සිව් වසරක් මරදානේ" කෘතියේ අඩංගු වේ. (image: )

Tuesday, 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්

Saturday, 29 April 2017

මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!


අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ ගමේ පාසලේ පහළ ම ශ්‍රේනිය, එනම් කුඩා ළමයෙකු තම පාසල් අධ්‍යාපනය හා හා පුරා කියා අරඹා ආරම්භ කර පුරා වසරක් ගත කරන ශ්‍රේණිය, හැඳින්වී ඇත්තේ හෝඩිය කියා ය. හෝඩිය සමත් වූ පසු සිසුන් පිවිසෙන්නේ පළමුවෙනි ශ්‍රේණියටයි.

"මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්" නම්, ෆෙඩී සිල්වා ගයන විකට ගීතයේ "හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි මං පළවෙනියට ආවේ" යැයි කියවෙන්නේ ඒ කතාවයි.

සමහර වැඩිහිටියන් කියන කතාවලට අනුව නම්, ඔවුන් ගිය පාසල්වල පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය යනුවෙන් පන්ති දෙකක් තිබී ඇත. ඒ පෙර කී හෝඩිය සහ පළමුවෙනි ශ්‍රේනියම යැයි සිතමි.

පළමුවෙනි ශ්‍රේණියෙන් පසු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි යනාදී වශයෙන් වසරක් බැගින් අධ්‍යාපනය ලබා දෙන අප දන්නා සාමාන්‍ය ක්‍රමයට සකස් වී තිබී ඇත.

එසේ පාසල් අධ්‍යාපනය හදාරන සමහර දෙනෙකු එය අවසාන කර ඇත්තේ අටවෙනි ශ්‍රේණියේ දී ය. අටවැන්න සමත් අයට, රජයේ සේවයේ පොලිස් කොස්තාපල්, හමුදා සෙබළ වැනි රැකියාවලට යාමට අවස්ථාව පසු කලක් වන තුරුම තිබී ඇත. පොලිස්කාරයින් සඳහා "අට පාස් කොස්සන්" වැනි පරිභවාත්මක යෙදුම් එකල භාවිතයේ පැවතුණේ ඒ හෙයිනි.

මගේ තාත්තා සහ ලොකු නැන්දා ගේ පරම්පරාවේ වැඩිහිටියන් තම පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ පැවති ප්‍රාරම්භයක් සහ අවසානයක් ගැන මා අසා තිබේ. මේ දෙවසර, පිළිවෙලින් නමවෙනි ශ්‍රේණිය සහ දහවෙනි ශ්‍රේණියට සමාන වෙන්නට ඇතැයි මම සිතමි.

නමුත් ඒ කාලයේ දී මේ ප්‍රාරම්භයට ගොස් අවසානය සමත් වී ඇත්තේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයින් ගැටිස්සියන් නොව ඊට වඩා වයසැති තරුණ තරුණියන් ය.

ඒ නම්වලින් ම පැවසෙන පරිදි ප්‍රාරම්භයට පසු එළැඹෙන අවසාන වසරේ පැවැත්වෙන අවසාන විභාගයට පෙනී සිටීමෙන් පසු පාසල් අධ්‍යාපනය නිමා වේ. එකල ගම්බද සහ නගරබද වුව, දිළිඳු සිසුන් සඳහා පැවති වර්නකි්‍යුලර් අධ්‍යාපන ක්‍රමයේ අවසානය එය ම වුණි. අවසාන විභාගය සමත් වුණු පසු ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා පසුව රජයේ උපගුරුවරයෙකු වීමට ඉඩ ලැබුණේ යැයි ද කියවේ.

තාත්තා සහ ලොකු නැන්දා ගුරුවරුන් වී ඇත්තේ ඒ ක්‍රමයටයි. ඒ කාලයේ ලංකාවේ ගම්බද තරුණ තරුණියන්ට රජයේ අධ්‍යාපනය හදාරා ලබා ගත හැකි වූ හොඳම රැකියාව ගුරු පත්වීම බව මම පෙර ලිපියක ද සඳහන් කළෙමි.

අපේ අම්මා සහ චූටි නැන්දා තම පාසල් දිවිය ගැන සඳහන් කරන විට ප්‍රෙප් එක සහ ෆෝම් එක යනුවෙන් හැඳින්වෙන අධ්‍යයන වර්ෂ දෙකක් ගැන සඳහන් කරනවා මා අසා ඇත. මේ සටහන සඳහා අම්මාගෙන් ඒ ගැන දුරකථනයෙන් විමසා බැලූ කළ මට තේරුම් ගියේ, ඒ කියන්නේ ද, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණි පිළිබඳව ම බවයි.

වසර කිහිපයකට පසු කාලයක, සිංහල රාජ්‍ය භාෂාව වූ පසු, දහවෙනි ශ්‍රේණිය අවසානයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ලිපිකරු වැනි වෙනත් රජයේ සුදු කරපටි රැකියා ලබා ගැනීමේ මූලික සුදුසුකම වී ඇත.

ඒ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දී ඇත්තේ විද්‍යා, වාණිජ හෝ කලා නමැති මූලික විෂයය ධාරා තුනෙන් එකකට අදාළ විෂයන් අටක් වසර දෙකක් තිස්සේ, එනම්, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවල දී, ඉගෙන ගැනීමෙන් අනතුරුව ය. එලෙස, විද්‍යා, වාණිජ හෝ කලා යන විෂයය ධාරා සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා අටවෙනි ශ්‍රේණිය අවසානයේ දී තරග විභාගයක් පැවැත්වී ඇති අතර මා දන්නා පරිදි මේ විභාගය වර්ෂ 1973 දක්වා ම පැවැත්වී ඇත.

අපේ පාසල් කාලයේ දී රජයෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා පෙර පැවති අටේ පන්තියේ විභාගය සහ ඉන් පසු දෙවසරක් තිස්සේ කෙරෙන සාමාන්‍ය පෙළ විද්‍යා / වාණිජ / කලා ඉගෙනීමේ ක්‍රමය අහෝසි වී ගියේ ය. හයවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාම සෑම සිසුවෙකුම එකම විෂයමාලාව හදාරන්නට සිදුවුණේ ඊට පසුව ය.

මේ වෙනස පිළිබඳව විස්තර මා ජැක්සන් ඇන්තනි ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලියූ ලිපියක ද දීර්ඝ වශයෙන් සඳහන් කළෙමි.

-රසිකොලොජිස්ට්

මෙය කියවන ඔබ, ඔබේ වැඩිහිටි පරම්පරාවේ විවිධ වයස් කාණ්ඩවල අයගෙන් ඔවුන් ගේ පාසල් සමය පිළිබඳ මේ ආකාරයේ විස්තර අසා දැන තිබේ ද?

එසේ දැන ගත් විස්තරයක් වෙතොත් මෙහි සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි!

(image: https://www.facebook.com/sonduru.sitha)

Tuesday, 8 November 2016

අම්මාට යන්න නොලැබුණු පුතා ඉස්කෝලේ ගිය මුල් දවස - Some poor mothers miss out


පාසල් ගිය මුල් දවස මතකද?

උපන් දිනයේ සිට දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් සමග වසර පහක් පමණ කල් ගෙවා අප පාසල් ගිය මුල් ම දිනය යනු අපේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් වන වැදගත් සිදුවීමකි.

"පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ!" යනුවෙන් ඇන්ජලීන් ගුණතිලක ගයන්නේ ඒ දවසේ මවකට දැනෙන සිතුවිලි ගැනයි!

සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිදුවුණු නොවැදගත් සිදුවීම්වල පවා දින වකවානු සහ දෙබස් සමග කිව හැකි තරම් මතකයක් ඇති මට ඒ වැදගත් දිනය පිළිබඳව පුදුමයකට මෙන් කිසිදු මතකයක් නැත.

මා මුලින් ම පාසල් ගොස් ඇත්තේ මගේ අම්මා හෝ තාත්තා හෝ සමග නොව, ආච්චී සමගින් ය යනුවෙන් මා පසු කලෙක දී ඇසූ දවසේ මට තරමක දුකක් දැනුණි.

ඒ දුක දැනුණේ මා වෙනුවෙන් නම් නොවේ. මගේ දෙමව්පියන් වෙනුවෙනි. එයිනුත් විශේෂයෙන් ම මගේ මව වෙනුවෙනි.

මට මා වෙනුවෙන් දුකක් නැත්තේ, එදින ද මට කිසිමාකාරයක දුකක් නොදැනුණු බව ස්ථිර නිසා ය. එදා මට දුකක් දැනුණේ නම්, අද මට ඒ ගැන ඉතා සුළු මතකයක් හෝ තිබිය යුතුයි. එවැනි මතකයක සේයාවක් හෝ නැති නිසා, මා පාසලට ගිය මුල් දිනයේ මා ඉතා සතුටෙන් ඉන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්, මා පාසල් යාමට පටන් ගැනීමට කලින් වසරේ දී, මගේ දෙමව්පියෝ මා නිවස අසල තිබුණු මොන්ටිසෝරියක් වැනි තැනකට යවන්නට තැත් කළ හැටිත් එහි මා ගිය මුල් දිනයේ දී මට කියවන්නට හෝ ලියන්නට ලැබුණු දේ මට පහසුවෙන් කළ හැකි වූ නිසා, මා පසුවදා එහි යෑම ප්‍රතික්‍ෂේප කළ බවත් මගේ මතකයේ ඇත.

ඉතින්, මුලින් ම පාසල් ගිය දිනයේ මට දෙමව්පියන් සමග නොව ආච්චී සමග එහි යාමට සිදුවුණේ ඇයි?

මගේ පියා පාසල් ගුරුවරයෙකු නිසා, ඔහු අලුත් වසරේ ප්‍රථම දිනයේ තම රාජකාරිය ඇරඹීම සඳහා උදෑසන ම නිවසින් පිට වෙන්නට ඇත.

මේ වන විට මගේ බාල ම සොහොයුරා ගේ වයස අවුරුදු දෙකයි මාස දහයක් පමණි. එනම් ඔහු සිටියේ ගමන් බිමන් යන විට වඩාගෙන යන වයසේ ය. අනෙක් බාල සොහොයුරාට නම් වයස අවුරුදු හතර පිරී තිබුණි.

අම්මාට මා කැටුව එදා පාසලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ බාල දරුවන් දෙදෙනා නිසා ය.

තම ප්‍රථම දරුවාට නමක් තබන්නට ගොස් සිදුවුණු අපේක්‍ෂාභංගත්වය ගැන මෙන් ම, ඒ සුපින්වත් කුමරුවා තක්සලාවට ගිය මුල් දිනයේ දී ඒ ගමනට එක්වන්නට නොලැබීම ගැන ද අම්මා දුකෙන් සිහිපත් කරනු මා අසා ඇත.

ඇත්තටම තාත්තා කළ යුතුව තිබුණේ, එදින නිවාඩුවක් දමා, අම්මාත්, මල්ලිලාත් කැටුව ඒ ඓතිහාසික ගමන මා සමග යෑමයි. දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යාම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත නොවේ යැයි සිතිය නොහැකි ය.

නමුත්, තාත්තා ඔහු ගේ ගුරු රාජකාරිය, තම පවුලේ කාර්යයට වඩා උස් කොට සලකා ඇති බව පෙනේ.

කමක් නැත!

මේ ආකාරයටම, අපේ දියණිය පාසල් ගිය මුල් දිනයේ ඇය කැටුව ගියේ මා පමණි. ඒ දිනවල මෙල්බර්න් තදාසන්නයේ මරුන්ඩා රෝහලේ හදිසි රෝගී අංශයේ සේවය කළ මා බිරිඳට එදින උදෑසන හතට සේවයට වාර්තා කිරීමට තිබුණි.

උදේ රැයෙන් නැගිට කිරිබතක් සෑදු ඇය ඉන්පසු රාජකාරිය සඳහා පිටව ගිය අතර, දියණිය ගේ ජීවිතයේ ඒ සැතපුම් කණුව හා සම්බන්ධ සෑම මොහොතක් ම තනිවම අත් විඳීමට එදා මට වරම් ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ - ඇන්ජලීන් ගුණතිලක



(image: http://darkaresgaming.net/index.php?/topic/4221-first-day-of-school/)

Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

Wednesday, 15 June 2016

දත් වහල්ල මැදීම - Show me your teeth please!


මේ ළඟදී දිනයක මට "සෙන්සෝඩයින්" නමැති දත් බෙහෙත් හෙවත් ටූත් පේස්ට් වර්ගයේ කුඩා ප්‍රමාණයේ ටියුබයක් හමුවිය. එයින් මදක් දත් බුරුසුවකට දමා දත් මදින්නට පටන් ගෙන ස්වල්ප වේලාවකින් මට සිතුණේ මේ කටට දැනෙන රසය නම් තරමක් හෝ හුරු පුරුදු එකක් බවයි.

නමුත්, ඒ කුමක්දැයි සිතා ගැනීමට එක්වරම නොහැකි විය. එය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම හරියට "මේ දිව අගම තියෙනවා, තියෙනවා, වගේ, නමුත් එළියට එන්නේ නෑ!" වැනි තත්වයක් විය.

දත් වහල්ල මැද අවසාන වෙන මොහොතේ මගේ සිහිය සැපත් විය.

ගෝපාල්!

ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

ඊට අමතරව, දන්තමුක්ත නමින් ද, පැරකුම්බා නමින් ද තවත් දත් බෙහෙත් කුඩු වර්ග දෙකක් තිබුණු බව පසුව ෆේස්බුක් හරහා කියවූ මිතුරන් ගේ ප්‍රතිචාර හරහා මතකයට නැගුණි. දන්තමුක්ත සහ පැරකුම්බා යනු අරළු, මූණමල් වැනි ශාක කොටස් එකතු කර සාඳන ලද දත් බෙහෙත් වර්ග බව කියවුණි. පෙර කී ගෝපාල් තරම් රසයක් නොතිබුණු නිසා මම මේ දෙවර්ගයට ප්‍රිය නොකළෙමි!

කෙසේ නමුත්, ගෝපාල් යනු අපේ අම්මා නිවසට මිලට ගත් අත් බෙහෙත් කුඩක් නොවේ. මට ගෝපාල් රසය විඳින්නට ලැබුණේ එක්කෝ නන්දාවතී නැන්දා ගේ නිවසේ දී හෝ නැතිනම් සරත් බාප්පා මිලට ගෙන තිබුණු විට දී යැයි සිතමි.

අපේ අම්මා පුරුදුව සිටියේ දත් බුරුසුවකට එකල පැවති, සිග්නල්, එස්ආර් හෝ පෙප්සොඩන්ට් වැනි දත් බෙහෙත් වර්ගයක් යොදා දත් මැදීමටයි. ඇය තරුණ කාලයේ කෝල්ගේට් නම් දත් බෙහෙත් වර්ගයක් ද තිබුණු බව සහ එකල රේඩියෝවේ වෙළඳ සේවයේ කෝල්ගේට් අනුග්‍රහයෙන් ජනප්‍රිය ගීත වැඩසටහනක් ද ප්‍රචාරය වුණු බව ද ඇය මා සමග පවසා ඇත.

දිනපතා එලෙස දත් මැදි අම්මා ගේ දත් වැඩි හරියක් පසු කලෙක දිරා කැඩී, බිඳී, ගැලවී ගියේ ය. දැන් ඇය කෘතිම දත් ඇන්දක් ද භාවිතා කරයි.

මගේ තාත්තා නම් මිය යන කාලය වන විටත් ඔහු ගේ දත් සෑහෙන්න හොඳ තත්වයේ තිබුණි. එකම ප්‍රශ්නය වූයේ ඒවායේ බැඳී තිබුණු බුලත් කහට ය.

මෙහිදී කිව යුතු වැදගත්ම කරුණ නම්, අපේ තාත්තා මට මතක ඇති කාලයේ සිටම දත් මැදීම සඳහා භාවිතා කළේ හනසු අඟුරු වීම ය.

තාත්තා හනසු අඟුරු සාදන්නේ මෙසේ ය.

වත්තෙන් අහුලා ගන්නා ලද හොඳ ප්‍රමාණයේ හනස්සක් ලිපට දමා එහි මුල් කොටස හොඳින් දැල්වුණු පසු කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ. එවිට ගින්දර නිවී හනසු අගුරු යම් ප්‍රමාණයක් ලැබේ. සෑහෙන්න ලුණු පොඟන තුරු පොල්කට්ටේම තියෙන්නට ඉඩ අරින ඒ අගුරු කැබලි තාත්තාට දින කිහිපයකට සෑහේ.

හනසු අඟුරුවලින් දත් මැදීම සඳහා පළමුව අගුරු කැබැල්ලක් මුව තුළට ගෙන එය විකිය යුතුයි. ඉන් පසු එක්කෝ ඇගිල්ලෙන් හෝ දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම කළ හැක.
හනසු අඟුරු වෙනුවට සමහරු කරුංකා අඟුරු ද යොදා ගත් බවට මගේ මතකයක් ඇත.

අඟුරුවලින් හෝ ගෝපාල් වැනි දත් බෙහෙතක් සමග ඇඟිල්ල උපයෝගී කරගෙන දත් මදින්නේ දත් වල බැඳෙන බුලත් කහට වැනි දේ ඉවත් කිරීමට මිස දත් අස්සේ රැඳී ඇති ආහාර කැබලි ඉවත් කිරීමට නොවන බව කුඩා කල සිටම අප දැන සිටියත්, හනසු අඟුරු හෝ ගෝපාල් කුඩ සමග ඇඟිල්ලෙන් දත් මැදීමට මම ප්‍රිය කළෙමි.

-රසිකොලොජිස්ට්


(image: facebook & https://www.instagram.com/p/ua3QPkmEek/?taken-by=gopaltoothpowder)

Saturday, 14 May 2016

පුතාගෙන් අතීතය දැකීම - Back to the future


කාලය ගත වෙන ඉක්මන!

මගේ පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම පසුගිය සතියේ යෙදුණි. දැන් ඔහු ඉගෙනුම ලබන්නේ දහවෙනි ශ්‍රේණියේ ය. ඔහු මෙලොව උපත ලද කාලය නම්, තරමක් අතීතයේ බව හැඟෙතත්, පුතා මුලින් ම පාසල් ගිය කාලය නම් මට අද ඊයේ මෙනි. මා කලින් දිනයක ලියූ සටහනක දී කියූ පරිදි මා අද ජීවත්ව සිටින්නට එක හේතුවක් ද ඔහු යැයි මට සිතේ!

මම මගේ පුතා දෙස බලා මගේ අතීතය දකිමි. මා මෙන් ම බොහෝ පියවරුන් ද මේ අත්දැකීම ලබනවා විය හැක.

අප පොඩි කාලයේ අද මෙන් දිනපතා, සතිපතා, මාස් පතා තියා වසරකට වරක්වත් ඡායාරූප ගැනීමක් නොතිබුණු ද, මා සතුව ඇති මගේ ළමා කාලයේ ඡායාරූප කිහිපයේ දකින්නට ඇති මගේ රැවත්, මගේ පුතා ගේ හැඩරුවත් අතර බොහෝ සමානකම් මම දකිමි. ඉහත ඇත්තේ එවැනි පුතා සහා තාත්තා ගේ සම වයසේ ඡායාරූප සන්සන්නදයකි.

එසේම, අද ඔහු සිතන පතන ආකාරය ගැන යම් ආකාරයක හැඟීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මා කරන්නේ අතීත පටු මග ඔස්සේ මගේ සිත නමැති ඩ්‍රෝනය මෙහෙයවා මේ වයසේ දී ඒ දිනවල මා කළ කී දෑ, සිතූ පැතූ අයුරු ගැන මදක් මෙනෙහි කිරීමයි. කාලය පමණක් නොව දීපය සහ දේශය ද වෙනස් වී ඇති නිසා, සම වයසේ දී මගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, හැසිරීම්වලට වඩා පුතා ගේ සිතුම් පැතුම් අදහස් උදහස්, හැසිරීම් සෑහෙන තරමකට වෙනස් බව සැබවක් නමුත්, මා කරන ඒ අභ්‍යාසයේ යම් ප්‍රයෝජන නැත්තේ නොවේ.

හොඳින් සලකා බලන විට මා සහ පුතා ගේ ළමා දිවිය අතර කාලයේ, දීපයේ, දේශයේ පමණක් නොව කුලයේ සහ මව ගේ ද වෙනස් කම් ඇත. මගේ මව නිවසේ රැඳී කුටුම්බය රැකබලා ගත් කාන්තාවකි. මගේ පුතා ගේ මව, විශාල වගකීම් සහිත වෘත්තියක නිරත, අතිශය කාර්ය බහුල තැනැත්තියකි.

කුලය වෙත් පියා ගේ රැකියාව ද දැන් නම් වෙනස් ය. මගේ පියා රජයේ ගුරුවරයෙකි. මගේ පුතා මෙලොව උපත ලබන කාලයේ දී නම් මා ද විශ්ව විද්‍යාලයක දේශකයෙකු වූ නමුත්, ඔහු ගේ ජීවිතයේ හයවන වසර වන විට මම ඒ ගුරුකුලයෙන් ඉවත්ව දවසෙන් අඩක් නිවසෙන් බැහැරව දිවි ගෙවන රාජපුරුෂයෙකු වීමි.

මව සහ පියා ගේ දවස ගෙවෙන ආකාරය ද, දරුවෙකු ගේ ජීවිතයට බලපාන බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, මා (සම මගේ බාල සොහොයුරන් දෙදෙනා) ඒ දිනවල පාසල නිමවී නිසට එන විට අපේ මව, දිවා ආහාරය පිළියෙල කොට අප එනතුරු නිවසේ බලා සිටී. පාසල නිමවී පියා ද, තවත් පැයකින් පමණ නිවසට පැමිණේ.

නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.

මා මුලින් කියූ ආකාරයට පුතා ගේ පහළොස්වෙනි උපන් දිනය දා මා සිහි කළේ මා ඒ වයසේ දී කළ කී දෑ ගැන සහ සිතූ පැතූ ආකාරය ගැනය.

අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

ඉතින්, කුමක් නිසා මා සමග සන්සන්දනයක් කරන්නද?

නමුත්, මට ඇති එකම ප්‍රශ්නය මෙයයි.

මේ වයසේ බොහෝ පිරිමි ළමයින් මෙන් මගේ පුතා ගේ පොත් කියවීම ද ඉතා අඩුය. එනිසා, ඔහු පොතක් ලියාවි යැයි සිතීම තරමක් අපහසු ය. ඒ සමගම, ඔහු අකුරු ලිවීම කරන්නේ ද ඉතා අඩුවෙනි. එනිසා, පුතා ගේ අත් අකුරුවල කිසි ප්‍රිය මනාප බවක් මට නොපෙනේ.

මෙයින් අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය.

මම ද, අද මගේ මගේ පුතා මෙන් මේ වයසේ දී, දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. සම වයසේ ගෑල්ළමයින් පිළිබඳව අමුතු සිතුවිලි වඩාත් තදින් සිතට දැනෙන්නට වූයේ ඒ වයසේ සිටය.

පහත දැක්වෙන්නේ මා ලියූ මගේ ප්‍රථම පෙම් ගීයයි. එය ලියූ දිනපොත තවමත් මා සතුව ඇති නිසා, එදින මගේ වයස හරියටම දාසයයි මාසයයි බව කිව හැක!

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය


-රසිකොලොජිස්ට්

Friday, 18 March 2016

දෙකේ කොලේ කතාවක් - My lottery win


මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.

ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි.

පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා එහි ගියේ මගේ මල්ලීත් බොහෝ විට අල්ලපු ගෙදර ආනන්ද ජයතිලකත් සමග පයින් ඇවිදගෙන ය.

අපට බස් රථයකින් ගමන් කිරීමට ලැබුණේ මසකට පමණ වරක් අම්මා සමග ගමේ පාරේ දිවෙන 218 බසයෙන් ගනේමුල්ලට යන විට පමණි.

අම්මා අපව ගනේමුල්ලට රැගෙන ගියේ කොණ්ඩය කැප්පවීමටයි.

කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත.

කොණ්ඩය කැපීම යනු අප ඒ දිනවල මහා කරදරයක් සේ සැලකූ කාරණයක් වුව ද, ගනේමුල්ලට ගිය බොහෝ දිනවලදී දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි මට අද නම අමතක හෝටලයෙන් සීනි බනිසක් කා තේ බොන්නට ලැබෙන නිසා, මේ ගමන අපට ගෙන දුන්නේ තරමක් දුරට හෝ ප්‍රීතියකි.

සීනි බනිස් කා ප්ලේන්ටියක් බීමට මා ප්‍රිය කළ අනෙත් ස්ථානය නම් කඩවත 223 මාර්ගය කොළඹ නුවර පාරට සම්බන්ධ වූ ටී-ජන්ශනයේ පිහිටා තිබු ජන්ශන් හෝටලය නම් තේ කඩයයි. කඩවත ජන්ශනය විශාල වීමත් සමග පසු කලෙක ඒ ජන්ශන් හෝටලය බ්ලාස් වී ගියා යැයි සිතමි.

අප ජන්ශන් හෝටලයට ගියේ කඩවත නගරයේ කිරිබත්ගොඩ අන්තයටත් එහා පිහිටි ගුණතිලක දොස්තර ගේ ඩිස්පෙන්සරියට ගිය ගමන්වල දී ය. ඔහු, මුල් කාලයේ සිංහල සිනමාවේ සිටි නිර්මාණකරුවකු වූ පී.කේ.ඩී. සෙනවිරත්නගේ බාල සොහොයුරා බව කියවුණි.

ගනේමුල්ලේ දී ළමුන් ගේ කොණ්ඩා කප්පවා, සීනි බනිස් සමග තේ ලබා දුන් පසු අම්මා බොහෝ විට යන්නේ සේන කඩේටයි.

සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි.

අනෙක ඩේ‍රපරි හෙවත් රෙදි පිළි කඩයකි. අම්මා සමහර විට ඒ කඩේට ගොඩ වෙයි. නමුත් ඇය රෙදි මිලදී ගැනීම සඳහා බොහෝ විට ගියේ කඩවත නගරයටයි. කෙළවරේම තිබුණේ අපේ පවුලට අවශ්‍ය සීනි රාත්තලේ, තේ කොළ රාත්තල් බාගේ පත්තර කඩදාසි ගොටුත්, පත්තර කොලවලම එතූ තෝර කරවල, කීරමින්, හාල්මැස්සන් යනාදියත් සිමෙන්ති උරවලින් සෑදූ කඩදාසි බෑගයක දමා මිලට ගත හැකි, අද භාෂාවෙන්, ග්‍රොසරියයි. මේ කඩයේ නම ගුණසිරි ස්ටෝර්ස් වැනි එකකි.

තාත්තාට කියා සතියේ දිනක ගුණසිරි ස්ටෝර්ස් එකෙන් වියළි මිරිස්, කොත්තමල්ලි යනාදිය ගෙන්වා ගන්නා අම්මා, ඒවා සෝදා වියළා සකස් කොට ගෙන මේ මසකට වරක පමණ කෙරෙන ගමන්වලදී ගනේමුල්ලට ගෙන එයි. එහි තිබුණු ඇඹරුම් හලෙන් ඒ ද්‍රව්‍ය ඇඹරී තුන පහ, මිරිස් කුඩු බවට පත්වෙයි.

බිම වැටී තිබුණු රුපියල් දෙකේ කොළයක් මගේ නෙත ගැටුණේ මා පෙර සඳහන් කළ එක් ස්ථානයක දී ය.

දෙකේ කොලේට දැමීම යනු යමක් පහත් කොට සැලකීමයි. එයට හේතුව ඒ කාලයේ මුදල් නෝට්ටු අතරින් අගයෙන් අඩුම නෝට්ටුව වූයේ දෙකේ කොළය වීමයි. අපේ තාත්තා නම් ඊට කලකට රුපියලේ කොළ ද තිබුණු බව මා සමග කියා ඇතත්, මම එවැන්නක් කිසි දිනයක දැක නැත්තෙමි.

දෙකේ කොලේට දැමීමේ කතාව කෙසේ වෙතත්, විවේක කාලයේ පාසල අසල කඩල විකුණූ කඩල ආච්චිගේ කඩල ගොට්ටක මිල ශත පහක් වූ එකල රුපියල් දෙකේ යනු මට නම් ඉතා විශාල මුදලක් විය. බිම වැටී තිබුණු ඒ නෝට්ටුව දැක මා තරමක් තැති ගත්තේ එබැවිනි.

තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා වයසේ සිසුවෙකුට එවැනි තිගැස්මක් ලැබෙන්නට නම් බිම වැටී තිබෙනු දැකිය යුත්තේ අඩු වශයෙන් රුපියල් දෙදාහේ නෝට්ටුවක් බව මම සිතමි.

මේ දෙකේ කොළය යූ.බී. වන්නිනායක මුදල් ඇමති ලෙස සහ විලියම් තෙන්නකෝන් මහ බැංකුවේ අධිපති ලෙස අත්සන් කර තිබුණු, පරාක්‍රමබාහු රජු ගස්ලබු කෑල්ලක් කන ප්‍රතිමාවේ රූපයකින් සැරසුණු දෙකේ කොළයක් විය.

මුදල් ඇමති ද, මහ බැංකුවේ අධිපති ද නෝට්ටුවල අත්සන් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. පසු කලෙක ලංකාවේ සර්වබලධාරී ජනාධිපතිලා තමන් ම මුදල් ඇමතිකම අයිති කර ගත්තේ, ඒ අත්සන ගැන ඇති වූ කෑදරකමක් නිසා බව මගේ අදහසයි.

එතැනිනුත් එහාට ගිය ර. ප්‍රේමදාස සහ ම. රාජපක්‍ෂ තම රූපය ද, පිළිවෙලින් කාසියකට සහ නෝට්ටුවකට යොදා ගත්තෝය.

තැති ගත් සිතින් යුතුව මා කළේ හෙමින් සීරුවේ පාත් වී ඒ රුපියල් දෙකේ නෝට්ටුව ගෙන කොට කලිසමේ සාක්කුවකට දා ගැනීමයි.

සමහර විට එය නිෂ්ඵල කාර්යයක් වෙන්නට ඉඩ තිබුණත් මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය.

නමුත් මේ ගැන මා අම්මාට පවා කීවේ දින කිහිපයකට පමණ පසුව එක් රාත්‍රි කාලයක ඇය කුස්සියේ උයන වේලාවක රහසක් ලෙසිනි.

"දැන් ඉතිං අයිතිකාරයා හොයන්න පුළුවනියැ, එහෙනං ඔය සල්ලි ඔයා ගේ පොතට දාමු!" අම්මා කීවාය.

ඇය එහිදී පොත යනුවෙන් අදහස් කළේ මගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාස්පොත නොහොත් එමගින් ගනුදෙනු කළ හැකි බැංකු ගිණුමයි.

රුපියලක් ගෙවා, ගමේ උප තැපැල් කාර්යාලයේ දී වුවද අරඹා පවත්වාගෙන යා හැකිවූ ඒ ආකාරයේ ගිණුමකට පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද ඇතුළත් විය. ශත විසි පහක් අතේ ඇතිනම් එයින් පෙර කී මුද්දරයක් රැගෙන කාඩ් පතේ ඇලවිය හැකිය. කාඩ්පත සම්පූර්ණ වූ පසු එහි ඇති මුද්දරවල අගය ඉතිරි කිරීමේ ගිණුමට බැර කරවා ගත හැක.

අභ්‍යාස පොතක එකිනෙක ඇලවූ පිටු දෙකක් අතරේ සඟවා තිබුණු තැනින් රුපියල් දෙකේ කොළය ඉවතට ගත් මම පසු දින එය කොස්සින්නේ උප තැපැල් කාර්යාලය වෙතට ගෙන ගොස් බැංකු පොතේ තැන්පත් කළෙමි.

මා මුලින්ම මේ ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ පසු කලෙක උසස් පෙළ සමයේ දී දිග කලිසමක් මැසීමට රෙදි කැබැල්ලක් හෙවත් පීස් එකක් හෙවත් ලෙන්ත් එකක් මිලට ගැනීම සඳහාය.

මාස කිහිපයකට පසුව මා දෙවෙනි වරට ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ ද, ඇඳුම් සඳහාය. එවර මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිස දෙකක් මිලට ගත්තෙමි. ඒ පුංචි අම්මා ගේ මංගල උත්සවය දිනයේ ඇඳීමටයි.

උද්ධමනය යන වචනය අපේ එදිනෙදා වාග්මාලාවට ඇතුළත් වී තිබුණු මේ කාලය වෙන විට, මා තුනේ පන්තියේ දී අහුලාගත් දෙකේ කොළය, කමිසයක බොත්තම් කිහිපය තරම්වත් නොවටිනා මුදලක් බවට පත් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජියේ පළ වූ ලිපි දෙක තුනකක් ඔස්සේ යමින් ඒ කරුණු වෙනත් ඉහල මානයකට ගෙන යන ලිපි ලියා තම බ්ලොගයේ පළ කළ ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.

(image: http://www.delcampe.net/page/item/id,312127316,var,Sri-Lanka-Ceylon-Ceylan-19680110-Parakramabahu-Two-Rupees-Rs-2-Crisp-Note,language,E.html)

Wednesday, 16 March 2016

අයියයි නංගියි කසාඳ බැඳලා? - What the F?


මා කුඩා කාලයේ අපේ නිවස අසල ජීවත් වූ එක් කාන්තාවක් මගේ මව ඇමතුවේ මවගේ නමින් හෝ අක්කා නංගී වැනි වචනයකින් හෝ නොව "සමන්ලා ගේ අම්මා" කියා බව මට අද මෙන් මතක ය.

සමන් යනු මගේ අම්මා ගේ කණිෂ්ඨ පුත්‍රයා ය.

ඒ ඇමතුම මට විමතියක් ගෙන දුන්නේ ඇය අපේ අම්මාට "රසිකලා ගේ අම්මා" යැයි නොකී නිසා නොවේ. එම යෙදුමේ ඇති උසුළු-විසුළුබව නිසා ය.

ඒ කාන්තාව කතා බහේ දී තම සැමියා ගැන සඳහන් කළේ, "රූපසිංහලා ගේ තාත්තා" කියායි. රූපසිංහ යනු ඇගේ පුත්‍රයා ගේ නම විය. ඇය, තම සැමියා මුහුණට ඇමතුවේ ද එලෙසම යැයි සිතමි. එය නම් යම් කිසි ආකාරයක සොඳුරු තහවුරු කිරීමක් විය හැක.

මේ ආකාරයට "ළමයින් ගේ තාත්තා" හෝ "ළමයින් ගේ අම්මා" කියා එකිනෙකාව හඳුන්වා ගන්නා අඹු සැමියන් ද ඇති බව මා අසා ඇත්තෙමි.

විශේෂයෙන් ම නොරට සිටින දෙමව්පියන් අතර මා දැක ඇති ඇමතීමේ ක්‍රමයක් නම් කෙළින් ම අම්මී, තාත්තී කියා එකිනෙකා අමතා ගැනීමයි. මේ ගැන විවේචනාත්මක ලිපියක් මේ වන විට කඩේ වසා ඇති ඔටුකතා නමැති බ්ලොගයේ ද පළ වී තිබුණි. ඔටුකතා රචකයා ඒ සඳහා භාවිතා කළ ඡායාරූප ගැන දරුණු විවේචනයක් ද එල්ල වී තිබුණු බව මගේ මතකයයි.

මේ අම්මී තාත්තී ඇමතීමට හේතුව වන්නේ, ඒ ඔටුකතාවේ ඡායාරූප මගින් කියන්නට උත්සාහ කළ කතාව නොවේ. මා නිරීක්‍ෂණය කර ඇති අන්දමට, මෙහි දී සිදුවන්නේ තම දරුවාට සිංහල කතා කිරීමට ඉගැන්වීම පිණිස වෙර දරන දෙමව්පියන් දරුවාගේ වචනවලින් කතා කිරීමට පෙළඹීම නිසා ඒ පුරුද්ද අල්ලා සිටීමකි. කොටින්ම මේ ළමයින් ගේ තාත්තා කේස් එකේ වඩාත් හොඳ භාවිතයයි.

ඒ ආකාරයට ම දරුවන් කිහිප දෙනෙකු සිටින දෙමව්පියන් ඒ දරුවන්ට අයියා, අක්කා, නංගී, මල්ලී ලෙස, දරු බසෙන්, අමතනු ද දැකිය හැක.

මගේ පියා සහ ඔහු ගේ මා දන්නා මිතුරන් එකිනෙකාව හඳුන්වා ගත්තේ මහත්තයා යන පදය සහිතවයි. මෙය ගුරු සේවයේ දිගු කලක් යෙදීමේ දී, පාසල් ළමුන් ගේ බසින් හඳුන්වා ගැනීම නිසා සිදුවූවක් යැයි සිතමි. පාසලේ දී "හරිශ්චන්ද්‍ර මහත්තයා" වූ මගේ පියා ගමේ දී නම් "චන්දර මහත්තයා" විය.

මට පුදුමය ගෙන දුන් කාරණයක් වනුයේ, මා දන්නා කාලයේ දී විවාහ වීම නිසා අපේ පවුලට ඥාති සම්බන්ධතා ඇති වූ මාමාවරුන් දෙදෙනාටත් මගේ පියා මහත්තයා ලෙසින් ඇමතීමයි. අයියා, මල්ලී ආමන්ත්‍රණයක් ඔවුන් අතර නොතිබුණි. ඒ අනුව යමින් මගේ මවට ද ඔවුන්ව, වෙද මහත්තයා සහ ධර්මසේකර මහත්තයා යනුවෙන් හැඳින්වීමට සිදුවිය.

කොහොමත් මගේ මව මගේ පියා ඇමතුවේ මහත්තයා කියාය. එසේ වුවද, පියා මව ඇමතීමට නෝනා යැයි කියනවා නම් මා කෙදිනක හෝ අසා නැත. ඒ වෙනුවට ඔහු කළේ එක්කෝ නාමපද ආමන්ත්‍රණයෙන් තොරව ඇමතීමයි, නැතහොත් "ඕයි" වැනි සුරතල් ආමන්ත්‍රණයක් භාවිතා කිරීමයි!

මීට වඩා පුදුම සහහත ඇමතීමක් ද මා අසා ඇත.

අපේ ආච්චී ගේ නිවසට ආ ගිය එක් කාන්තාවක්, ආච්චීව ඇමතුවේ මිසිස් කියාය. ඒ ආච්චීව ඇය සේවය කළ පාසලේ දී හැඳින්වුණු "මිසිස් ගුණතිලක" යන නාමය කෙටි කර ගැනීමෙන් තනාගත් ඇමතුමක් ලෙස මම පසුව දැන ගතිමි.

වයස හෝ විවාහ අවිවාහක තත්වය නොබලා කාන්තාවන්ට මිස් කියා කෙරෙන ඇමතීම නම් අද පවා දක්නට ලැබුණත්, මේ ආකාරයේ මිසිස් පමණක් කියා ඇමතීමක් මා ලංකාවේ වෙනත් තැනකදී අසා නැත.

සිනුවර ප්‍රදේශයේ නම් සමහර පරම්පරානුගත ඕස්ට්‍රේලියානු විවාහක පිරිමි තමන් ගේ බිරිඳ ගැන කරන හැඳින්වීම්වල දී මිසිස් යන පදය භාවිතා කරති.

මේ ආකාරයේ විවිධාකාර ඇමතුම්වලින් අති පුදුමාකාර ඇමතුම නම්, සමහර විවාහකයින් එකිනෙකා හඳුන්වා ගන්නා සිංහබාහු-සිංහසීවලි නම් ඓතිහාසික ආකාරයයි.

මින් වසර හතරකට පමණ පෙර දිනක, මට ඕස්ට්‍රේලියාවට අලුතෙන් සංක්‍රමණය කළ යුවලක් මුණ ගැසුණි. පසු දිනක මා ඔවුන් ගේ නිවසට දුරකතනයෙන් ඇමතා යමක් විමසූ විට පිළිතුරු දුන් සැමියා, "අයියේ මං නංගිගෙන් අහලා කියන්නම්!" වැනි අප්‍රබංශ කතාවක් කීවේය.

මා ඔහුට ඇමතුවේ ඔහු ගේ මුල් නමින් රොහාන් කියා වුවද, ඔහු ගේ පිළිතුරේ කියවුණු අයියා යනු මා බව පැහැදිලි ය. නමුත් මේ නංගී කවරෙකු ද? ඒ නිවසේ සිටින්නේ මේ යුවළ සහ පිරිමි දරුවා පමණි.

තම බිරිඳට නංගී යැයි සැමියෙකු අමතනු මා මුලින්ම ඇසුවේ එදා ය!

මා අත්දැකීම් අඩු අයෙකු ලෙස මෙය කියවන ඔබට සිතේ නම්, ඒ සිතුවිල්ල තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා, මෙය ද පවසමි.

බිරිඳක් තම සැමියා, අයියා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වනු මා මුලින් ම ඇසුවේ පසුගිය දෙසැම්බරයේ තරම් මෑත කාලයක දී පොතක එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එසේම, වෙන වෙනම මේ කතාව අසා තිබුණ ද, යුවලක් එකිනෙකාට අයියා සහ නංගී ලෙස අමතනු මා ඇසුවේ මේ වසරේ මාර්තු මස මුල සතියේ ය.

මේ විකාරරූපී ඇමතුමට හේතුව, විවිධ සමාජ ආයතනවලදී මුණ ගැසී අයියා නංගී ලෙස සහෝදරත්වයෙන් මිතුරු වුණු තරුණ පිරිස් විවාහ වීමෙන් පසුව ද, ඒ පුරුදු අත නොහැරීම ලෙස මා වටහා ගත්තෙමි.

නමුත් මෙහිදී ද, මා නිවැරදි නොවන බව මගේ මිතුරියක මට ඊයේ පහදා දුන්නී ය.

ඇය පැවසූ අන්දමට වයස තිස් ගනංවලදී හමු වී, විවාහ වුණු ඇය දන්නා යුවලක් ද, එකිනෙකා හඳුන්වා ගන්නේ අයියා සහ නංගී ලෙස ලු!

"සිංහබාහු-සිංහසීවලි" පමණක් නොව, "ජීවහත්ත-දිසාලා" අතීතයක් ද අපට ඇති බව ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa1509109)

Thursday, 3 March 2016

බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English


සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද, සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බැණ වදින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංගිලිසිය දෝරේ ගලමින් තිබුණු බවයි. හැම ළමයෙකුට ම ඉංගිලිසියෙන් ඉගෙන ගන්නට හෝ අඩු වශයෙන් ඉංගිලිසි ඉගෙන ගන්නට හෝ පහසුකම් තිබුණු බවයි.

නමුත් මා මගේ පියාගෙන් අසා දැනගෙන ඇති ආකාරයට ඔහු පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංගිලිසියෙන් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වී ඇත්තේ සිංහල භාෂාවයි.

ගුණදාස අමරසේකර ලියූ ගමනක නවකතා මාලාවේ කොලොප්පං අඩු මුල් කොටස් කියවීමේ දී නගරයේ කොලීජියකට ඇතුළු වී මුල සිටම ඉංගිලිසි ඉගෙනීම යනු සල්ලිය බාගේ තරමක් හෝ ඇති පවුලක දරුවන්ට පමණක් තිබුණු වරප්‍රසාදයක් බව පැහැදිලි වෙනු ඇත.

මගේ පියා ගේ කාලයේ ඒ ගම්බද වර්නකියුලර් ඉගෙනීම අවසානයේ දී ලබාගත හැකි වූ ඉහළම රැකියාව වූයේ එක්කෝ උප ගුරු තනතුරකි, නැතිනම් පසුව වෙනත් අධ්‍යාපනයක් ලබා ආයුර්වේද වෙදකමකි. එසේත් නැතිනම් නොතාරිස් තනතුරකි. ගම් මුලාදෑනි තනතුර පැවතියේ පරම්පරා උරුමයක් ලෙසයි.

ඒ අනුව යමින් සිංහලෙන් ගමේ අධ්‍යාපනය ලබා, පාසල් ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹුවද, ස්වෝත්සාහයෙන් ඉංගිලිසිය ඉගෙන මගේ පියා අධ්‍යාපනයෙන් ඉහළට ගිය ආකාරය වෙනම ම ලියා තැබිය යුතු කතාවකි.

මගේ මව ගේ කාලය වන විට, ලංකාවේ ස්ථාන අතළොස්සක සෙන්ට්‍රල් කොලීජි හෙවත් මධ්‍ය විද්‍යාල ගොඩ නැගී ඒවායේ ඉංගිරිසි මාධ්‍යයෙන් ද හයවෙනි ශ්‍රේණියේ සිට හෝ ඉගෙනීමට ඉඩ ලැබී තිබුණි.

කලවාන පාසලේ ඉගෙන ගනිමින් සිටි ඇගේ දෙමව්පියන් විසින් ඉංගිලිසියෙන් ඉගෙන ගැනීම සඳහා මගේ මව රත්නපුර ජේසු දරුවා ගේ කන්‍යාරාමයට ඇතුළත් කළ විට ඇයව පන්ති දෙකක් පහළට දමා ඇත්තේ එතෙක් ගමේ පාසලේ දී ඇය ලබා තිබුණු ඉංගිලිසි දැනුමට සාපේක්‍ෂවයි. කෙසේ නමුත්, යාන්තම් තෙමසක් ගත වූ පසු, ආර්ථික ප්‍රශ්න සහ නවාතැන් ප්‍රශ්න යනාදී විවිධ හේතු නිසා ඇයට එතැනින් ආපසු ගමට ඒමට සිදුවී ඇත.

පසුව අටවැන්නේ විභාගය ඉහළින් සමත්ව ඇයට ඉංගිලිසියෙන් ඉගෙනීම සඳහා කරවිට මධ්‍ය විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ ලැබී ඇත. නමුත්, එහි දී ද තම ඉංගිරිසි දැනුම තවත් අඩු බව වැටහුණු නිසා අවසානයේ දී සාමාන්‍ය පෙළ විභාගය සඳහා කොස්වත්තේ විද්‍යාලයට පල්ලම් බැසීමට ඇයට සිදුව ඇති අතර ඇගේ ඉංගිලිසියෙන් ඉගෙනීම ඒ අනුව අඩාල වී ඇත.

මගේ මව සිංහල මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 1957 දී, එනම්, සිංහල රාජ්‍ය භාෂාව වෙන්නට දෙවසරකට පමණ කලින් ය. එසේම, ඒ රජයේ සියලු පාසල්වල ස්වභාෂා මාධයෙන් ඉගැන්වීම අරඹන්නට පස් වසරකට පමණ පෙර කාලයයි.

බණ්ඩාරනායක රජය සමයේ දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් නොවී, පසුව ස්වභාෂා මාධයෙන් රජයේ සියලු පාසල්වල ඉගැන්වීම ආරම්භ නොවී තිබුණේ වුවද, ගම්බද ප්‍රදේශවල ඉංගිරිසි භාවිතයේ අදට වඩා වැඩි වෙනසක් සිදු වෙන්නට ඉඩ තිබුණේ යැයි මට නම් කිසිසේත්ම නො සිතේ.

ඒ සමගම පැවසිය යුතු මේ පිළිබඳ මගේ මතය වෙන්නේ, අප වරද්දා ගත්තේ ඉංගිලිසියෙන් ඉගෙනීම සහ ඉංගිලිසි භාෂාව විෂයයක් ලෙසින් ඉගෙනීම වෙන් කර හඳුනා නොගැනීම නිසා බවයි.

ඉංගිලිසි මාධයෙන් ඉගෙනීමේ සිට සිංහල මාධ්‍යයට මාරු වීම යනු, විෂයයක් ලෙස ඉංගිලිසි භාෂාව ඉගෙනීමට අත් හැරීමට හේතුවක් නොවේ.

නමුත්, මගේ මවගෙන් පසු පරම්පරාවල ඇත්තන් බහුතරයක් කර ඇත්තේ ද එයම ය.

අපේ විශ්ව විද්‍යාල කාලයේ ද පළමු වසර ශිෂ්‍යයින්, ඉතාමත් ලෙහෙසියෙන් මග හැරියේ ඉංගිරිසි පන්තියයි.

-රසිකොලොජිස්ට්

(image: BBC video)