Showing posts with label තාත්තා. Show all posts
Showing posts with label තාත්තා. Show all posts

Friday, 15 May 2026

තාත්තාගේ උප්පැන්න සහතිකය - The birth certificate of Suriyaarachchige Jinadasa Harischandra



මෙන්න අපේ තාත්තාගේ උප්පැන්න සහතිකය. මල්ලී සතුව තිබී උඩු ගත කරන ලදුව ජීවිතයේ පළමුවරට මම දුටුවෙමි. මෙය ඇත්තටම මුල් උප්පැන්න සහතික නොව එය අනුසාරයෙන් පසුව නිකුත් කරන ලද එකකි.

තාත්තා ඉපදී ඇත්තේ නිවසේ දී ය. ඇත්තටම එය රාජකාරී නිවසකි. බොරැල්ල බන්ධනාගාරයේ ජේලර්ලාගේ නිවසකි.

ඒ කාලයේ දී මගේ තාත්තා ගේ තාත්තා ද, තාත්තාගේ සීයා (අම්මාගේ තාත්තා) ද යන දෙදෙනා ම කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර් ගාඩ් ලා ලෙස සේවය කළ අය ය.

එක්කෝ තාත්තා එසේ නැතිනම් තාත්තාගේ අම්මා කියනු මා අසා ඇති කරුණක් මේ උප්පැන්න සහතිකයෙන් ඔප්පු වේ.

දරු උපතෙන් පසු අපේ තාත්තාට නම ලෙස යොදා ඇත්තේ හරිශ්චන්ද්‍ර කියා ය. එය ඉන්දියානු නමකි. එකල ලංකාවේ ජනප්‍රියව තිබුණු බව පෙනේ. එනමින් රජ කෙනකුගේ කතාවක් චිත්‍රපටියක් ලෙස නිර්මාණය වී ලංකාවේ ද ප්‍රදර්ශනය කර ඇත. නමුත්, තාත්තාගේ සීයා විසින් පසුව උපන් වේලාව අනුව කේන්දරයක් සාදන්නට ගිය විට දැනුම් දී ඇත්තේ ජ අකුරෙන් නමක් යොදන ලෙස ය.

ඉතින් තාත්තාට ජිනදාස යන නම ද යොදා ඇත. ඒ අනුව, තාත්තාගේ සම්පූර්ණ නම වූයේ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර යන්නයි.

තාත්තාගේ තාත්තාගේ නම සූරියආරච්චිගේ සුබතේලිස් විය. ජේලර්වරයෙකු ලෙස රජයේ සේවයට බැඳීමේ දී එකල පැවති අමුතු සිරිතක් අනුව ඔහු පෙරේරා යනුවෙන් නමක් රැගෙන සුබතේලිස් පෙරේරා ලෙස පෙනී සිට ඇත.

තාත්තා ගිය අම්මාගේ නම පිය ලිලී එස්ලින් රණසිංහ විය. ඇය අත්සන් කළේ පී එල් ඊ රණසිංහ යනුවෙන් නිසා මම මේ බව හොඳින්ම දනිමි. නමුත් මේ උප්පැන්න සහතිකය රෙජිස්ට්‍රාර්වරිය විසින් ලියා ඇත්තේ Asiline (ඇසිලීන්) කියා බව පෙනේ.

තාත්තා පවුලේ වැඩිමලා විය. ඔහුගේ උපතින් පසු මගේ සීයා සහ ආච්චි තවත් දරුවන් හය දෙනෙකු ලැබූහ.

ඒ වන විට තාත්තාගේ සීයා ජේලර් රැකියාවෙන් විශ්‍රාම සිටි අතර මගේ සීයා ද රැකියාවෙන් ඉවත් වී පරකන්දෙනිය නම් ගමට ගොස් පදිංචි වී ඇත. පසු දරු උපත් සිදුවන්නට ඇත්තේ ගමේ ගෙදර දී ය.

ඒ පවුල පිළිබඳව විස්තර මෙසේය.

සුරියආරච්චිගේ සුබතේලිස් (අවුරුදු අනූවක් ජීවත් විය)
පිය ලිලී එස්ලින් රණසිංහ (අවුරුදු අනූ අටක් ජීවත් වූවාය)
ජිනදාස හරිශ්චන්ද්‍ර (90)
සෝමාවතී (84)
කරුණාදාස (වලිප්පුව නම් රෝගය සෑදී අවුරුදු හතේ දී මියගොස් ඇත)
නන්දාවතී (72)
ධර්මදාස (57)
කරුණාවතී (85)
සරත් චන්ද්‍රසිරි (30)

පොතේ හැටියට නම් ඊළඟට චුත වී යාමට නියමිත තාත්තාගේ ලොකු පුතාවන මා ය.

Sunday, 22 October 2023

අපේ අම්මාගේ සල්ලි වියදම් වූ අයුරු - Some temples are permanently under construction


අම්මා විසින් මකුළුදුව පන්සලේ කුස්සියක් සැදීම සඳහා මෙලෙස මුදල් වියදම් කරන්නට ඇත්තේ තාත්තා පරලොව ගොස් අවුරුදු හයක් පමණ ගත වුණු කාලයේ දී ය.

මා දන්නා කාලයේ නම් පස් පව් නොකළ, (මද කලක් දුම් බිව්වේ වුව ද,) තමන්ගේ මත්පැන් කෝටාව ද පුතණුවන් තිදෙනා සඳහා ඉතිරි කර පරලොව ගිය, අපේ තාත්තාට නිවන් යෑමේ අපේක්ෂාවක් තිබුණා යයි මම නොසිතමි. එසේ තිබුණා නම් ඔහු මගේ ජීවිත කාලය තුළ එක් වරකට වඩා පන්සලකට ගොඩවදිනවා මට දකින්නට ඉඩ තිබුණි.

එදින ද ඔහු පන්සල් ගියේ ඒ අපේ බාප්පා මිය ගොස් හත් දවස ගතවීම වෙනුවෙන් හීල් දානය පිරිනැමීමට සිදු වූ නිසාය. තුන් මාසෙ දානය සඳහා සාදුලා ට ආරාධනා කිරීමට තාත්තා නොගිය අතර ඒ සඳහා කඩේ යෑමට සිදුවූයේ මට ය.

තමන්ගේ තරුණ කාලයේ ඊට වඩා පන්සල් යන්නට ඇතැයි සිතිය හැකි තාත්තා පන්සලෙන් දුරස් වී ඇත්තේ, ඔහු මට දැනුම් තේරුම් ඇති කාලයේ ඔහු වටින් ගොඩින් පැවසූ පරිදි, අපේ ගම අසල පිරිවෙනක පැවැති විභාගයක දී එයින් ප්‍රථම ස්ථානය ලබා ගැනීම පිණිස එක් භික්ෂුවක් විසින් තවත් භික්ෂුවකට ජාපාල ඇට සහිත පානයක් ලබා දුන් සිද්ධියෙන් පසුව ය.

මගේ පියා අයත් වූයේ ගම්බද බෞද්ධ පවුලකට ය. කොටින්ම, මගේ පියාගේ ඥාති සොහොයුරා භික්ෂුවක වූ අතර ඔහු කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (BA) සහ ශාස්ත්‍රපති (MA) උපාධි ලබා ලංකාවේ පිරිවෙනක අධිපති තනතුරද හෙබ වූ අයෙකි.

මෙහි දැක්වෙන දිනයට මාස දෙකහමාරකට පසු දිනක අම්මා එකල විසූ නිවසේ පැවැත්වුණු දානයක් අවසානයේ කතාවක් පැවැත්වූ පන්සලේ සාදු විසින් අම්මා කළ මෙවැනි දේ සඳහා ඇගේ පුතණුවන් තිදෙනාගේ ආධාරය ද ලැබෙන්නට ඇති බවට ඉඟි කළ විගසම මා එම කතාවට බාධා කරමින් වහාම පැවසූයේ මගේ නම් කිසිදු සම්මාදමක් නැති බවයි. මල්ලිලා දෙන්නා ද මේ කටයුත්තට කිසිදු සම්බන්ධයක් නොතිබුණේ යැයි මම සිතමි.

එදින සවස් යාමයේ මගේ බාලම සොහොයුරා මා සමග පැවසූයේ මෙම මුළුතැන් ගෙය ඉදිකරන ලද්දේ පන්සලේ රාත්‍රියට නතර වෙන ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වැනි අයට කෑම පිස ගැනීම සඳහා බවය.

මෙම පුවරුවේ ඇති සටහනේ අඩුවක් ඇත.

එනම් අර නන්දාරාම නම් සාදුට යොදා ඇති ශ්‍රාස්ත්‍රවේදී යන උපාධි නාමය මගේ තාත්තා ගේ නමට ඉදිරියෙන් ද යෙදිය යුතුව තිබුණි. මම හිතන විදියට මේ සාදු උපාධිය ලබාගන්න ඇත්තේද මගේ පියා උපාධිය ලබාගත් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් විය යුතුය.

මේ පන්සලේ වැඩකිඩ ගැන දුක හිතෙන කතාවක් මෙතැනින් කියවිය හැකිය. වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
https://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html


- රසික සූරියආරච්චි (image: අම්මා හෝ මල්ලී හෝ විසින් 2017 දී මවෙත එවන ලදී.)

Wednesday, 2 December 2020

තාත්තා එවූ ලිපිය - Nostalgic memories





















අවුරුදු දහඅටයි, මාස එකොළහයි, දින හතක් දෙමව්පියන් සමග නිවසේ ගත කර විශ්වවිද්‍යාලයට යාම සඳහා මා ඔවුන්ගෙන් ඈත්වුණු පසු තාත්තා මට එවා ඇත්තේ, මගේ මතකයට අනුව, ලිපි දෙකකි. ඉන් පළමුවැන්න, මට ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ වසර හතරක් ගත කර අවසාන විභාගයට සූදානම් වෙන කාලයේ දී ය.

මේ කෙටි සටහන ඒ ලිපිය පිළිබඳවයි.

පේරාදෙණියේ ජීවත්වීම ඇරඹූ පසු මා මුල් කාලයේ සෑම සති අන්තයේම, නැති නම් අඩු වශයෙන් මසකට දෙවරක් ම, ගෙදර ගියෙමි. ඇඳුම් සෝදා වේලා ගත්තේ ගෙදර දී ය. කටට රසට කෑමක් කෑවේ ගෙදර දී ය.

නමුත් ටික කලක් ගතවෙන විට සති අන්තයේ ද විශ්වවිද්‍යාලයේ නතර වී සිටිය යුතුම වන ආකාරයේ නොයෙකුත් වැඩ කටයුතු යෙදෙන්නට විය. එනිසා, ගෙදර යාම මසකට වරක් දක්වා සීමා විය. එලෙස මසකට වරක් කෙලෙස හෝ ගෙදර යන්නට හේතුව වූයේ මගේ වියදමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි.

ඒ දිනවල මාසයක් විශ්වවිද්‍යාලයේ වාසය කිරීමට මට රුපියල් හාරසීයක් පමණ වැය විය. එයින් අතිබහුතර කොටස වැය වූයේ ආහාර පාන සඳහා ය.

පාන් බාගයක්, පරිප්පු දීසියක් සහ තේ කෝප්පයකින් යුතු උදෑසන ආහාරය සඳහා රුපියල් දෙකයි ශත පනස් පහක් වැය විය. දිවා ආහාරය වූයේ හරක් මස්, පරිප්පු/මුංඇට හොද්ද සහ මැල්ලුමක් සහිත බත් පිඟානකි. එහි මිල රුපියල් තුනයි ශත විසි පහකි. ඉඳිආප්ප වැනි කෑම වර්ග තිබුණ ද, ඒ සඳහා වැය කළ යුතු මුදල සාපේක්‍ෂව වැඩි වූ නිසා මගේ රාත්‍රී කෑම ද බත් පිඟානක් ම විය.

ඊට අමතරව දිනකට ඉංජිනේරු පීඨ කැන්ටිමෙන් තේ කෝප්ප දෙකක් සඳහා රුපියලයි ශත විස්සක් ද, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් රාත්‍රියේ බොන තේ කෝප්පය සඳහා ශත පනහක් ද වැය විණි. ඉස්පන්චියකට හෝ ඥානකතාවකට හෝ සිත ගිය දවස් ද එහෙන් මෙහෙන් උදා නොවූයේ නොවේ.

අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලෙස තිබුණේ ලිපිද්‍රව්‍ය සඳහා ගිය සුළු මුදලක් පමණි. වසර හතරකම අධ්‍යයන කාලය තුළ අපට එකදු පොතක් හෝ මිල දී ගැනීමට සිදු නොවුණි. පුස්තකාලයේ තිබුණු පොත්, පොත් ආශ්‍රයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ අය සඳහා ප්‍රමාණවත් වූ බව පෙනුණි.

අමතර වියදම් වූයේ, විශ්වවිද්‍යාලයේ දී හෝ ඉඳහිට මහනුවර දී චිත්‍රපටයක් නැරඹීම සහ ඒ හා සම්බන්ධ ගමන් ගාස්තු යනාදියයි. රහමෙර පානයක් සිදුවූවා නම් සාමාන්‍යයෙන් සිදුවුණේ, වාර්ෂික විනෝද චාරිකාව අතරතුර, වසර අවසාන විභාගය අවසානයේ සහ වසර මැද ඊට කලින් වසරේ ප්‍රතිඵල එන දිනයේ දී පමණි.

මගේ වියදම් සඳහා මල්ලිකා පුංචි අම්මා මට රුපියල් සීයක් ලියුම් කවරයක දමා විශ්වවිද්‍යාලයේ ලිපිනයට එව්වා ය. එනිසා, තාත්තාගෙන් ඉල්ලා ගන්නට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ ගත කරන මසකට රුපියල් තුන්සීයක් පමණි.

මා අනිවාර්යෙන් මසකට වරක් නිවසට ගියේ ඒ මුදල ලබා ගැනීම සඳහා ය.

අවසන් වසරේ අවසන් සමයේ දී එය වෙනස් විය.

මා බාර ගත් අවසන් පොදු කටයුත්ත වූ අපේ කණ්ඩායමේ සමූහ ඡායාරූපය (batch photo) පිළිබඳ වැඩ කටයුතු ද අවසන් කොට, අවසානයේ, මගේ මේසය අස්පස් කර, දේශන සටහන් එකතු කරගෙන විභාගයට සූදානම් වීම සඳහා වාඩි වූ මට පෙනී ගියේ විභාගයට ඇත්තේ තව හරියටම දින තිස් හයක් පමණක් බවයි. එතැන් සිට විභාගයට සති දෙකක් පමණ ගතවේ. ඉන් පසුව ද, පාඨමාලාවේ වාර්තා සියල්ල සකසා භාර දීමට තවත් දින කිහිපයක් ගතවෙනු ඇත.

ඒ අනුව ගෙදර ගොස් එන්නට දින දෙකක් ගත කිරීම කළ නොහැකි බව මට පෙනී ගියේ ය.

මම තාත්තාට ලිපියක් ලිව්වෙමි.

එහි මූලිකවම ලියවුණේ මට විභාගය අවසන් වී, ශිෂ්‍ය ජීවිතය අවසන් කර නිවසට එන්නට පෙර වෙනදා මෙන් ඇවිත් යන්නට නොහැකි බවත්, සාමාන්‍ය වියදම්වලට අමතරව කණ්ඩායම් ඡායාරූපය සහ තවත් වියදම් සඳහා ද අමතර මුදල් අවශ්‍ය බැවින් රුපියල් හයසීයක් පමණ මනි ඕඩරයකින් එවන ලෙසත් ය.

සතියකින් පමණ මට තාත්තාගෙන් ලියා පදිංචි කළ ලිපියක් ලැබී තිබුණි.

මා මුලින් සඳහන් කළ පරිදි එය මට තාත්තාගෙන් ලැබුණු මුල්ම ලිපියයි.

"මගේ ආදරණීය පුත්‍රයා වෙත" කියා අරඹා තිබුණු ඒ ලිපියේ ඉතා වැදගත් කරුණක් අඩංගු විය.

ඇත්තටම එය ඉල්ලීමකි.
"පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත්වෙන්න සිතට ගන්න."
ලිපිය සමග වූ මනි ඕඩරය හෙවත් මුදල් ඇණවුම දෙස බැලූ මගේ ප්‍රීතිය ඉහවහා ගියේ ය. තාත්තා මට රුපියල් දාහක් ම එවා තිබුණි!

පන්ති සාමාර්ථයක් සහිතව හෙවත් ක්ලාස් එකක් සහිතව විභාගය සමත්වෙන ලෙස ඉල්ලමින් තාත්තා එවා තිබුණු ඒ ලිපිය මා එදින පුස්තකාලයේ සිට නැවත දෙවරක්ම කියෙව්වෙමි.

එය ඉටු කිරීමට ලෙහෙසි පහසු ඉල්ලීමක් නොවන බව මට වැටහුණ ද, ඒ ලිපිය මට අත්‍යාවශ්‍ය දිරිගැන්වීමක් ලබා දුන් බව මට අද වැටහේ.

තාත්තා මියගොස් අදට දස වසරක් පිරෙයි.

මේ සටහන ලියන්නට සිතුණේ ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා මට එවූ ඒ පළමු ලිපිය මට ලැබුණේ ඔක්තෝබරයේ මුල් සතියේ විය යුතුයි. එයින් මාස දහයකට පමණ පසු අගෝස්තු මස නමවෙනිදා පේරාදෙණියේ තැපැල් කාර්යාලයට ගිය මම තාත්තාට විදුලි පණිවිඩයක් යැවුවෙමි.
සෙකන්ඩ් අපර් එකක් සමග විභාගය සමත්. දින කිහිපයකින් එන්නම්.
-රසික
(ඔව් මාස දහයකට පසුව. පුදුමයි, ඒත් ඇත්තයි. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පරිපාලනයේ කාර්යක්ෂමතාව එතරම් ඉහළ විය!)

ප/ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father https://rasikalogy.blogspot.com/2020/11/remembering-my-father.html

2. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

3. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

4. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

14. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

(image: my father when he was 36 years old)

Wednesday, 11 November 2020

තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father

Mr Suriyaarachchige Jinadasa Harischandra



















ජීවත්ව සිටියා නම් අද මගේ පියාගේ වයස වසර සීයක් වෙනු ඇත.

විසිවෙනි ශත වර්ෂයේ දෙවන දශකය අවසානයේ 1920 නොවැම්බර් මස 11 දින උපත ලබා ඇති ඔහු වසර අනූවක් සහ සති තුනක් පමණ ජීවත් වී අවසන් හුස්ම හෙලුවේ 2010 දෙසැම්බර් මස දෙවෙනි දා ය.

පුතුන් තිදෙනෙකුගේ පියා වූ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර, වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු විය. ඔහු තම වෘත්තීය ජිවිතය අරඹා ඇත්තේ මා අසා ඇති පරිදි වයස අවුරුදු දහනමයේ දී තලල්ල නම් ග්‍රාමයේ පිහිටි රජයේ පාසලෙනි.

පසු කලෙක මීරිගම ගුරු විද්‍යාලයෙන් ද, කාර්මික විද්‍යාලයේ ද පුහුණුව ලබා ඇති ඔහු, පසුව ස්ව-අධ්‍යයනයෙන් උසස් පෙළ සමත්ව, රජයේ සේවයේ සිටිය දී ම, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. කාලයත් සමගම ඔහුට විදුහල්පති විශේෂ ශ්‍රේණිය නම් තනතුරක් සහ වැඩි වැටුපක් ලැබුණු නමුත්, තාත්තා කිසි දිනක පාසලක නිත්‍ය විදුහල්පති තනතුරක් භාර ගත්තේ නැත.

තාත්තා විශ්‍රාම ගියේ ඔහුගේ පනස්අටවෙනි උපන් දිනය දා, එනම් 1978 දී ය. එවකට එකොළොස්වෙනි ශ්‍රේණියේ සිසුවෙකුව සිටි වයස දාසයයි සති දෙකක ගැටවරයෙකු වූ මට ද එදින තාත්තා සේවය කළ බොල්ලත පාසලේ පැවති උත්සවයට සහභාගීවිමට අවස්ථාව ලැබුණි.

ඇත්තටම උත්සව සභා තුනක් පැවැත්වුණි. මුල් උත්සවය පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙනි. පාසල අවසන් වීමෙන් පසු ගුරු මණ්ඩලය විසින් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. හවස තුනට පමණ ගුරුදෙගුරු සංගමය මගින් වැඩිහිටියන් සහභාගී වූ උත්සවයක් සංවිධානය වී තිබුණි. මේ අවස්ථා තුනේ දී ම තාත්තා කතා පැවැත්වීය. මා ඔහු ප්‍රසිද්ධ සභාවක කතා කරනු දැක ඇත්තේ එදින පමණි. තමන් විශ්‍රාම යන විට ද පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින බව දන්නා තාත්තා, විශ්‍රාම දිවියෙන් පසු නිරත වීමට වෘත්තියක් සොයා ගෙන ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ වන විට සපුරාගෙන තිබුණි. ඒ ටියුෂන්කාරයෙකු වෙන්නට නම් නොවේ. නොතාරිස්වරයෙකු වීමට ය.

පවුලේ වැඩිමලා වූ මා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ආරම්භ කරන කාලය වෙන විට ඔහු ගනේමුල්ල නගරය කිට්ටුව මිතුරෙකුගේ නිවසේ සිටි නොතාරිස් රැකියාව අරඹා සුළු මුදලක් උපයා ගැනීම අරඹා තිබුණි. පිළියන්දල නැන්දාගේ නිවසේ සිට මොරටුව විශ්වවිද්‍යාලයට යාම වෙනුවට සාපේක්‍ෂව අධික වියදමක් සහිත විකල්පය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට මට අවශ්‍ය බව මා පැවසූ විට "උඹ පේරාදෙණියට පලයං, මං වියදම් කරන්නම්!" යනුවෙන් නිර්භයව පවසන්නට තාත්තාට හැකිවුණේ ඒ නිසා ය.

එසේම, තාත්තාගේ අවසාන කටයුතු සඳහා මා ලංකාවට යන විට නිවෙස අසල එල්වා තිබූ බැනරයේ ඔහු විශ්‍රාමලත් විදුහල්පති සහ ප්‍රසිද්ධ නොතාරිස් යනුවෙන් හඳුන්වා දී තිබුණේ ද ඒ නිසා ය.

තාත්තා චරිතවත්, යහපත් පුද්ගලයෙකි. ඔහු මත්පැන් පානය නොකළේ ය. තමන්ට මව් උරුමයෙන් ලැබුණු ඉඩකඩම් ද, තම මුදලින් මිල දී ගත් ඉඩකඩම් ද තම දරුවන් වෙනුවෙන් ඉතිරි කළා සේ ම, ඔහු තම මත්පැන් කෝටාව ද දරුවන් වෙනුවෙන් ඉතුරු කර තැබුවේ ය.

තාත්තාගේ ඥාති සොහොයුරෙකු ද වන, දැන් විශ්‍රාමික ඉංජිනේරුවෙකු, මේ ළඟදී දිනක ෆේස්බුක් හි දී මා සමග තාත්තා ගැන කීවේ මෙසේ ය.

"In our very young days we went to your ancestral home to learn arithmetic from your dad, Mr. Harischandra, who was a true gentleman.

As I saw, he was always a thorough gentleman."

රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

2. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

3. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

4. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

5. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

Friday, 1 December 2017

ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise


තාත්තා මිය ගොස් හෙටට (දෙසැම්බර් දෙවෙනි දින) වසර හතක් සම්පූර්ණ වේ.

මිය ගිය අයෙකු පිළිබඳව සිහිකිරීම සිතට දුක ගෙන දෙන කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ මිය ගිය තැනැත්තා අප දන්නා කියන, අපට කිට්ටුවන්තයෙකු අයෙකු නම් දුක වැඩි ය. ඒ සමගම අපේ සිතට දැනෙන දුක සැමවිට ම අප අතර පැවති සමීපකමේ තීව්‍රතාවයට අනුලෝමව සමානුපාතික ශ්‍රිතයකි.

ඒ ශ්‍රිතයට සම්බන්ධ තවත් විචල්‍යයක් වන්නේ කාලයයි. දුක කාලය සමග ප්‍රතිලෝමව වෙනස් වෙන බව අප හොඳින් දන්නා කරුණකි.

වසර හතක් ගතවීත් සමග තාත්තා පිළිබඳ මතකය සිතට ගෙන එන දුක කෙමෙන් තුනී වෙමින් පවතී. දැන් දැන්, තාත්තා පිළිබඳ සමහර මතකයන් සිතට ගෙන එන්නේ සොඳුරු, නොස්ටැල්ජියානු හැඟීම් ය.

එසේ වුවත්, ළඟදී තාත්තාගේ පොත් පත් අතර තිබී හමුවී මල්ලී විසින් ඡායාරූපගත කර එවන ලද ඉහත දක්වා ඇති මුද්‍රිත පත්‍රිකාව කියවන විට නම් සිතට පොඩි දුකක් දැනුණි.

එය ස්තුති පත්‍රයකි.

අපේ තාත්තා කලවාන කොස්වත්තේ ජ්‍යෙෂ්ඨ පාසලේ වසර පහක් ගුරුවරේ‍රකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව ගාල්ල ප්‍රදේශයේ ගෝනගල පාසලට මාරුවක් ලබා යන දිනයේ පාසලේ ගුරු-දෙගුරු සමිතිය විසිනි ඒ ස්තුති පත්‍රය තාත්තාට පිරිනමා ඇත්තේ මීට වසර හැටකට පමණ ඉහත දිනයක දී ය.

එදින ම තාත්තාට තාත්තාට ත්‍යාගයක් ලෙස පිරිනමා ඇති ජොන්සන් පිඟන් කට්ටලක් මට මතක ඇති කාලයේ ද අපේ නිවසේ තිබුණි. ඒවා පසු කලෙක ඉරිතලා පිපිරී ගිය නමුත්, මේ ස්තුති පත්‍රය නම් කාලයේ අභියෝගය ජයගෙන ඇත.

මෙන්න ඒ ස්තුති පත්‍රයේ එන වදන් පෙළ සම්පූර්ණයෙන්.

ආයුබෝවන්

හෙලදිව ඉඹුල්ගොඩ, පැරකුම්දෙණිය ගම් පියස නිජබිම වූ

ඇස්. ජේ. හරිශ්චන්ද්‍ර මහත්මා

රත්නපුර පෙදෙසේ කලවාන කොස්වත්ත රජයේ දෙටු විදුහල පස්වසක සේවයෙන් පසු
ගාලු පෙදෙසේ ගෝනගල රජයේ දෙටු විදුහලට පත්ව යන මොහොතේ කලවාන
කොස්වත්තේ ගුරු දෙගුරු සමිතියෙන් පිරිනැමෙන් දිගාසිරි පත යි.


හිතවත් මහත්මාණෙනි,

මෙම විදුහල ඇදුරු පද පත් දා සිට ඔබ සිසු දරු දැරියන්ට සත් කිරි පෙව්වෙහි ය. එය ඉත සිතින් ම
කෙළෙහි ය. සමාදරයෙන් ම කෙළෙහි ය. එබැවින් මෙම විදුහල් මව දියුණෙහි අන්තිම හිනි පෙත
තෙක් නැංවූවෙහි ය. එයට මේ ගම් පෙදෙස අප ඔබට ණයගැති ය. ගුණ ගණ මිණිබරණ පැළැඳි
ඔබ හෙළන බැල්මත්, යනෙන ගමනත්, නෙතට රසඳුනෙකි. ඔබ වටා හමන සුලඟත් මහත්
සිසිලකි. නිරහංකාර පරවශ නිහතමානී ගුණය හෙල ගුරු පරපුරට සාඩම්බරයකි. රට,
දැය සමයට හිතැති නිදහස් හෙල දැයක් ගොඩනැංවිමෙහි ලා ඔබ වෙත පැවරි
බලය එලෙසම යෙදීම අපේ වාසනාව ය. හෙල ගුරු පරපුරෙහි ඔබ අනගි
මිණිරුවණෙකි.


එබැවින් මහත්මාණෙනි,

හෙල දිවෙහි, හෙල දැයෙහි, තව තවත් සිසු දරු දැරියන් රට දැය සමයට මෙහෙකිරීමට දිරි
ගන්වා යහ මග යෙදීමට ඔබ තෙරුවන් සරණින් බොහෝ කල් නිදුක් නිරෝගී ව
යෙහෙන් වැජඹේවායි දිගාසිරි පතම් හ.


අණ දෙන තෙද විකුම පසු නොබසින ගතිය
මන මෙන යොදන යහපත දියුණුව නිතිය
ගුනගන මිණි බරණ සුපැළඳ ලෙස රුතිය
පිනවන ඔබගෙ යස අප දන තුඩ ඇතිය

ගරුතර දැයට සමයට ලක්මව ගාවා
පුදකර සිය මතය අභිමානෙන් නාවා
කරදර සියලු දුර හැර සිහියට නේවා
එඩිතර මෙ ඔබ නිදුකින් නිති සැරදේවා


තාත්තාට පිං පිණිස අපේ අම්මා ඇය වසන නිවසට නුදුරෙන් පිහිටා ඇති පන්සලට පසුගිය දිනක ගිනිහල් ගෙයක් නොහොත් කුස්සියක් සාදා දී ඇති බවට දැන ගන්නට ලැබුණු වෙලේ මට සිතුණේ එදා සිට අප පැතූ පරිදි තාත්තා යන නිවනක දැන් ගොස් ඇති නිසා තවත් පිං කුමටද කියා යි.



ඒ හැර අපේ තාත්තාගේ නම සඳහන් වෙනත් පුවරුවක් හෝ සොහොනක් හෝ සැමරුමක් හෝ නැත.

තාත්තාගේ සිරුර දවා ඉතුරු වූ අළු ද අපි කැලණි ගඟේ වතුරට මුසු කළෙමු. එසේ නොකළා නම් ඒ අළු ගබඩා කර ආණ්ඩුවේ සංසථාවක සල්ලි යොදා ස්මාරකයක් සාදවා ගන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

Saturday, 13 May 2017

තාත්තා ගේ දුරාචාරය - One bad habit


අද මෙන් නොව අප කුඩා කාලයේ සිගරුට් බීම ලොකු වරදක් ලෙස නොසැලකිණි. බූරුවා ගැසීම සහ මත්පැන් බීම යනු සිගරැට් බීම මෙන් සියක් දහස් ගුණයක පාප කර්ම විය.

කොටින් ම මළ ගෙවල්වලට එන ඥාතී හිතමිත්‍රාදීන්ට අලියා බී සමාගමේ ඔරේන්ජ් බාර්ලි වතුරට අමතරව බුලත් විට සහ සිගරැට්වලින් ද සංග්‍රහ කෙරුණි. මා හත්වෙනි ශ්‍රේණියේ සිටියදී අකල් මරණකට ලක් වූ අපේ බාප්පා ගේ මළ ගෙදරට පැමිණි ගමේ දඩබ්බර කොල්ලන් සිගරැට් හොයනු මට අද මෙන් මතක ය.

මත්පැන් නොබිව් අපේ තාත්තා ගේ එකම දුරාචාරය වූයේ ද දුම් බීමයි.

නමුත්, මා "හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane" ලිපියේ ලියූ පරිදි අපේ තාත්තා පානය කළේ සිගරැට් නොව තම්ෂර් නම් වෙළඳ නමකින් යුතු සුරුට්ටු වර්ගයකි.

පාසල් ගුරුවරයෙකු වූ මගේ තාත්තා ඉගැන්වූ පාසලේ ගුරුවරයෙකු වූ බෞද්ධ භික්‍ෂුවක් ඒ කාලයේ තායිලන්තයේ චාරිකාවක නිරත විය. ඔහු ආපසු එන විට අපේ තාත්තාට ත්‍යාගයක් ලෙස ගෙනැවිති තිබුණේ, ඩියුටී ෆ්‍රී කඩයකින් විස්කි බෝතලයක් නොව, දුම්කොළ දමා බොන පයිප්පයකි.

එතෙක් කල් තම්ෂර් සුරුට්ටු බොමින් සිටි තාත්තා මේ අලුත් උපකරණය පාවිච්චි කර බලන්නට පටන් ගත්තේ එකල දුම්කොළ සමාගමෙන් විකුණු අයිලන්ඩ් ප්‍රයිඩ් නම් පයිප්ප දුම්කොළ යොදා ය.

ඒ දුම්කොළ පිළිස්සෙන විට සිත්ගන්නා සුළු වැනිලා වැනි සුවඳක් හාත්පස පැතිරේ.

මද කලකින් ම තාත්තා, තමන් ම පයිප්ප දුම්කොළ සාදා ගැනීමට පටන් ගත්තේ ය. ඒ තමාට සුපුරුදු තම්ෂර් සුරුට්ටු ඉතා සියුම් ලෙස කපා ගැනීමෙනි.

නමුත්, අර වැනිලා සුවඳ ඒ දුම්කොළ යොදා පයිප්පය උරණ විට ආවේ නැත.

තවත් පයිප්ප බොන අයෙකු ගේ කීමක් අසා බ්‍රැන්ඩි බාගේ බෝතලයක් රැගෙන ආ තාත්තා ඒ දුම්කොළවලට බ්‍රැන්ඩි බිඳක් එක් කිරීම ඇරඹී ය.

මා පෙර කීවා සේ, මත්පැන් බීම යනු ලොකු වරදක් නිසා දෝ, තාත්තා ගේ ඒ බ්‍රැන්ඩි බාගේ බෝතලය වසරකට වැඩි කාලයක් කල් පැවතුණි.

මද කලකට පසු, පයිප්පයේ මිට කැඩී වෙන් වී ගියේය. තාත්තා කළේ, පේර වැනි ගසකින් කඩා ගත් අතු කැබැල්ලකින්, දින ගණනාවක් තිස්සේ මහන්සි වී, තායිලන්ත පයිප්පයේ හිසට සරිලන මිටක් සාදා ගැනීමයි.

හරියටම කවදාදැයි මට නිවැරදිව කිව නොහැකි වුවත්, එක්තරා කාලයකට පසු තාත්තා දුම්බීම නතර කර තිබුණි.

ඒ තම්ෂර් සුරුට්ටු සුවඳ ද, වැනිලා සුවඳ ද, බ්‍රැන්ඩි සුවඳ ද, දැන් සිහිනයෙන් ගෑ සුවඳ සේ ය.

-රසිකොලොජිස්ට්

(image: https://www.aliexpress.com/promotion/regional-products_smoking-pipes-india-promotion.html)

Saturday, 29 April 2017

මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!


අපේ වැඩිහිටි පරම්පරාව පාසල් ගිය කාලයේ ගමේ පාසලේ පහළ ම ශ්‍රේනිය, එනම් කුඩා ළමයෙකු තම පාසල් අධ්‍යාපනය හා හා පුරා කියා අරඹා ආරම්භ කර පුරා වසරක් ගත කරන ශ්‍රේණිය, හැඳින්වී ඇත්තේ හෝඩිය කියා ය. හෝඩිය සමත් වූ පසු සිසුන් පිවිසෙන්නේ පළමුවෙනි ශ්‍රේණියටයි.

"මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්" නම්, ෆෙඩී සිල්වා ගයන විකට ගීතයේ "හෝඩියේ අවුරුදු දහයක් පොල් ගාලයි මං පළවෙනියට ආවේ" යැයි කියවෙන්නේ ඒ කතාවයි.

සමහර වැඩිහිටියන් කියන කතාවලට අනුව නම්, ඔවුන් ගිය පාසල්වල පහළ බාලාංශය සහ ඉහළ බාලාංශය යනුවෙන් පන්ති දෙකක් තිබී ඇත. ඒ පෙර කී හෝඩිය සහ පළමුවෙනි ශ්‍රේනියම යැයි සිතමි.

පළමුවෙනි ශ්‍රේණියෙන් පසු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි යනාදී වශයෙන් වසරක් බැගින් අධ්‍යාපනය ලබා දෙන අප දන්නා සාමාන්‍ය ක්‍රමයට සකස් වී තිබී ඇත.

එසේ පාසල් අධ්‍යාපනය හදාරන සමහර දෙනෙකු එය අවසාන කර ඇත්තේ අටවෙනි ශ්‍රේණියේ දී ය. අටවැන්න සමත් අයට, රජයේ සේවයේ පොලිස් කොස්තාපල්, හමුදා සෙබළ වැනි රැකියාවලට යාමට අවස්ථාව පසු කලක් වන තුරුම තිබී ඇත. පොලිස්කාරයින් සඳහා "අට පාස් කොස්සන්" වැනි පරිභවාත්මක යෙදුම් එකල භාවිතයේ පැවතුණේ ඒ හෙයිනි.

මගේ තාත්තා සහ ලොකු නැන්දා ගේ පරම්පරාවේ වැඩිහිටියන් තම පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ පැවති ප්‍රාරම්භයක් සහ අවසානයක් ගැන මා අසා තිබේ. මේ දෙවසර, පිළිවෙලින් නමවෙනි ශ්‍රේණිය සහ දහවෙනි ශ්‍රේණියට සමාන වෙන්නට ඇතැයි මම සිතමි.

නමුත් ඒ කාලයේ දී මේ ප්‍රාරම්භයට ගොස් අවසානය සමත් වී ඇත්තේ වයස අවුරුදු පහළොවේ කොලු ගැටයින් ගැටිස්සියන් නොව ඊට වඩා වයසැති තරුණ තරුණියන් ය.

ඒ නම්වලින් ම පැවසෙන පරිදි ප්‍රාරම්භයට පසු එළැඹෙන අවසාන වසරේ පැවැත්වෙන අවසාන විභාගයට පෙනී සිටීමෙන් පසු පාසල් අධ්‍යාපනය නිමා වේ. එකල ගම්බද සහ නගරබද වුව, දිළිඳු සිසුන් සඳහා පැවති වර්නකි්‍යුලර් අධ්‍යාපන ක්‍රමයේ අවසානය එය ම වුණි. අවසාන විභාගය සමත් වුණු පසු ශිෂ්‍ය ගුරු පත්වීමක් ලබා පසුව රජයේ උපගුරුවරයෙකු වීමට ඉඩ ලැබුණේ යැයි ද කියවේ.

තාත්තා සහ ලොකු නැන්දා ගුරුවරුන් වී ඇත්තේ ඒ ක්‍රමයටයි. ඒ කාලයේ ලංකාවේ ගම්බද තරුණ තරුණියන්ට රජයේ අධ්‍යාපනය හදාරා ලබා ගත හැකි වූ හොඳම රැකියාව ගුරු පත්වීම බව මම පෙර ලිපියක ද සඳහන් කළෙමි.

අපේ අම්මා සහ චූටි නැන්දා තම පාසල් දිවිය ගැන සඳහන් කරන විට ප්‍රෙප් එක සහ ෆෝම් එක යනුවෙන් හැඳින්වෙන අධ්‍යයන වර්ෂ දෙකක් ගැන සඳහන් කරනවා මා අසා ඇත. මේ සටහන සඳහා අම්මාගෙන් ඒ ගැන දුරකථනයෙන් විමසා බැලූ කළ මට තේරුම් ගියේ, ඒ කියන්නේ ද, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණි පිළිබඳව ම බවයි.

වසර කිහිපයකට පසු කාලයක, සිංහල රාජ්‍ය භාෂාව වූ පසු, දහවෙනි ශ්‍රේණිය අවසානයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ලිපිකරු වැනි වෙනත් රජයේ සුදු කරපටි රැකියා ලබා ගැනීමේ මූලික සුදුසුකම වී ඇත.

ඒ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දී ඇත්තේ විද්‍යා, වාණිජ හෝ කලා නමැති මූලික විෂයය ධාරා තුනෙන් එකකට අදාළ විෂයන් අටක් වසර දෙකක් තිස්සේ, එනම්, නමවෙනි සහ දහවෙනි ශ්‍රේණිවල දී, ඉගෙන ගැනීමෙන් අනතුරුව ය. එලෙස, විද්‍යා, වාණිජ හෝ කලා යන විෂයය ධාරා සඳහා සිසුන් තෝරා ගැනීම සඳහා අටවෙනි ශ්‍රේණිය අවසානයේ දී තරග විභාගයක් පැවැත්වී ඇති අතර මා දන්නා පරිදි මේ විභාගය වර්ෂ 1973 දක්වා ම පැවැත්වී ඇත.

අපේ පාසල් කාලයේ දී රජයෙන් ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා පෙර පැවති අටේ පන්තියේ විභාගය සහ ඉන් පසු දෙවසරක් තිස්සේ කෙරෙන සාමාන්‍ය පෙළ විද්‍යා / වාණිජ / කලා ඉගෙනීමේ ක්‍රමය අහෝසි වී ගියේ ය. හයවෙනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වාම සෑම සිසුවෙකුම එකම විෂයමාලාව හදාරන්නට සිදුවුණේ ඊට පසුව ය.

මේ වෙනස පිළිබඳව විස්තර මා ජැක්සන් ඇන්තනි ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලියූ ලිපියක ද දීර්ඝ වශයෙන් සඳහන් කළෙමි.

-රසිකොලොජිස්ට්

මෙය කියවන ඔබ, ඔබේ වැඩිහිටි පරම්පරාවේ විවිධ වයස් කාණ්ඩවල අයගෙන් ඔවුන් ගේ පාසල් සමය පිළිබඳ මේ ආකාරයේ විස්තර අසා දැන තිබේ ද?

එසේ දැන ගත් විස්තරයක් වෙතොත් මෙහි සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි!

(image: https://www.facebook.com/sonduru.sitha)

Thursday, 12 January 2017

මිරිවැඩි සඟලකට හැඬූ කතාවක් - Poor dad, rich dad


අද තත්වය කෙසේදැයි නොදන්නා මුත්, අප කුඩා කාලයේ නම් ලංකාවේ රජයේ සේවකයින්ට පවුලේ සාමාජිකයින් ද සමග, වසරකට තුන්වරක් දුම්රියෙන් රට තුළ ඕනෑම දුරක ගමනක් නොමිලයේ යාමට ගමන් බලපත්‍ර ලැබුණි. මේවා පොදු භාෂාවෙන් හැඳින්වුණේ "වොරන්ට්ස්" යනුවෙනි.

මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සමයේ තාත්තාත් ඔහු ගේ පාසල් සමයේ මිතුරෙකු මෙන් ම තවත් රජයේ සේවකයෙකු ද වූ සාපින් මාමාත් එකතුව තම සුතනඹුවන් ද කැටුව අනුරාධපුර බලා ගිය ගමන, වොරන්ට් භාවිතා කරමින් අප ගිය මුල්ම චාරිකාවයි.

උදේ රැයින් නැගිට, බත්මුල් ද සාදා ගෙන, නිවසේ සිට චාරප්පු ගේ කඩේ හන්දියට පයින් ගොස්, එතැනින් බස් රථයකින් ගනේමුල්ලට ද, එතැන් සිට සාමාන්‍ය දුම්රියකින් වේයන්ගොඩට ද ගොස්, වේයන්ගොඩ දී අප යාපනය බලා දිවෙන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවෙන විට තවමත් සීතල හිමිදිරි පාන්දර කාලය විය.

දුම්රියේ දී ම, උදෑසන ආහාරය සඳහා සීනි සම්බෝල සමග පාන් කා, තර්මෝස් ප්ලාස්ක්වල දමන ලද ඉගුරු තේ බිව් ආකාරයත්, අතරමග දී දුම්රියට ගොඩවුණු ජංගම වෙළෙන්දෙකුගෙන් රට කජු මිලට ගෙන කෑ හැටිත්, මැදි වයසට ඔසුවක් වෙන අතීතකාමය අවුසමින් මට සිහිපත් කරගත හැක.

අනුරාධපුරයේ දී දුම්රියෙන් බැසගත් අපේ නඩය කෙළින් ම ගියේ ඒ අසල ම පිහිටා තිබුණු නමින් "ස්වර්ණමාලී" ලෙසින් හැඳින්වුණු විශ්‍රාම ශාලාවටයි. එහි කාර්යාලයට පිවිස මද වේලාවක් ගත කළ, තාත්තා සහ සාපින් මාමා, එතැනින් අප කැඳවා ගෙන ගියේ විශ්‍රාම ශාලාවේ එක් පසෙක පිහිටි තරමක ශාලාවකට ය.

එතැන අපේ බඩු බාහිරාදිය තැන්පත් කොට, ගෙදරින් ගෙන ගොස් තිබුණු බත් මුල් ලිහා කා, නටඹුන් සහ වෙහෙර විහාර නරඹා ආපසු පැමිණි පසු, එදා රාත්‍රියේ අපේ නවාතැන වූයේ ඒ ශාලාවයි. නිවසෙන් රැුගෙන ගොස් තිබුණු බෙඩ් ෂීට් එහි සිමෙන්ති පොළොව මත එලා අපි නිදා ගත්තෙමු. නිවසේ සිට ගෙන ගොස් තිබුණු එකම කුඩා කොට්ටය, තවමත් වයස තුනක ළමයෙකු වූ සමන් මල්ලීට හිමි විය.

එතැන් සිට ගතවුණු වසර දහයක කාලය තුළ, තාත්තා ගේ හිතවතුන් වූ, සයිමන් මාමා ගේ, රාජපක්ෂ මාමා ගේ සහ මට නම අමතක තවත් දෙතුන් දෙනෙකු ගේ පවුල්වල අය සමග බදුල්ල, කතරගම, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, නැවතත් අනුරාධපුරය මෙන් ම, එයා සිලෝන් යානයකින් කන්කසන්තුරය දක්වා ද ගොස් විවිධ වැදගත් ස්ථාන රාශියක් නැරඹීමට මගේ සොහොයුරන් දෙදෙනාට මෙන්ම මට ද හැකි වුණේ මා පෙර කී රජයේ සේවකයින්ට හිමිවෙන ඒ වොරන්ට්ස් හෙවත් දුම්රිය ගමන් බලපත්‍ර වල පිහිටෙනි.

මේ සෑම චාරිකාවක දී ම, අප සියලූ දෙනාම රාත්‍රී කාලය ගෙවූයේ අපේ මුල් ගමනේ දී නතර වුණු ස්වර්ණමාලී විශ්‍රාම ශාලාව වැනි ස්ථානවල ය. එසේත් නැතිනම්, මුතියංගණයේ දී සහ කන්කසන්තුරේ දී කළාක් මෙන් පන්සලක බණ මඩුවක ය.

කොටින් ම, මා සිතුවේ මෙවැනි දුර ගමනක් ගිය විට රෙද්දක් පමණක් බිම එලා කොට්ටයක් හෝ නොමැතිව නිදා ගැනීම යනු ඒ ගමනේ ම අනිවාර්ය අංගයක් බවයි.

ඒ කතරගම චාරිකාව ගිය දා තෙක් ය.

එවකට දහවෙනි ශ්‍රේණියේ උගන්නා වසර දාහතර හමාරක පමණ කොලුවෙකු වූ මට වෙනදා මෙන් විශ්‍රාම ශාලාවේ අප සිටිනා පැය කිහිපයේ දී දෙමව්පියන් අසලම ගැවසීම අනිවාර්ය නොවුණෙන්, මම කතරගම අප නතර වී සිටි විශාල කාමරය පිහිටා තිබූ ගොඩනැගිල්ලේ ඔබ මොබ මදක් සැරි සැරුවෙමි. එහි එක් කොරිඩෝරයක් දිගේ ගමන් කරද්දී මා දුටුවේ කාමර පේළියකි. ඇතැම් කාමරයක විවර කර තිබුණු ජනේලයක් තුළින් ඒ කාමර සිවිලිම් පංකාවලින් ද, කොට්ට මෙට්ට සහිත ඇඳන් යනා දී ගෘහ භාණ්ඩ වලින් ද සමන්විත බව දැක මා මුලින් පුදුමයට ද, පසුව දුකට ද පත්වීමි.

මා පුදුම වූයේ, චාරිකාවල යන අප වැනි අය සඳහා එවැනි සුවපහසු කාමර ඇති බව මා ඊට පෙර දැන නො සිටි බැවිනි.

මා දුකට පත් වූයේ, මගේ පියා හෝ අප හා චාරිකාවලට සහභාගී වූ ඔහු ගේ එකදු මිතුරෙකු හෝ ඒ ආකාරයේ කාමරයක් කුලියට නොගෙන සිමෙන්ති පොළොව මත බෙඩ් ෂීට් එලා නිදියන අවම විකල්පය ම, සැමවිටක ම, තෝරා ගෙන තිබුණු නිසා ය. ඒ සුවපහසු කාමර අපට හිමි නැති සුඛෝපභෝගී වරප්‍රසාදයක් ලෙස මට හැඟුණි.

කතරගම ගමනින් පසු අපේ පවුලේ උදවිය මේ ආකාරයේ ගමනක් ගියේ තවත් වසරකින් පමණ පසු ත්‍රිකුණාමලය බලා ය. ඒ ගමනේ දී අප නිවසෙන් පිට ගත කළ රාත්‍රී සමය ගෙවුණේ විශ්‍රාම ශාලාවක් තරම්වත් පහසුකම් ඇති තැනක නොවේ. දුම්රිය සේවක නිවසක අපට නවාතැන් ලැබුණද එය ලයින් කාමරයක් වැනි එකක් වූ නිසා, පිරිමි ළමුන් සහ වැඩිහිටි පිරිමින් ට එදින නිදා ගන්නට සිදුවූයේ නවතා තිබුණු දුම්රියක ආසනවල ය.

ඒ අප කුටුම්බයක් ලෙස ගිය අවසාන විනෝද චාරිකාව වූ නිසා, එවැනි ගමනක මැද විදුලි පංකා සවි කෙරුණු කාමරයක සුවපහසු ඇඳක් මත රාත්‍රිය ගත කිරීම, සැබෑ කර ගත නොහැකි වූ සිහිනයක් ලෙසින් මගේ සිතේ රැඳුණි.

කාලය ගත වී ගියේ ය. මම විවිධ විභාග ද සමත් වී, රැකියාවක් කිරීම ද අරඹා, ලොකු ළමයෙකු ද වී, විවාහපත් වීමි.

තවත් කලෙකට පසු, එකල මගේ පියා කළාක් මෙන්, මිතුරන් හා එක්ව සිය සුතනඹුවන් ද සමග විනෝද චාරිකා යන සමයක් මට ද උදා විය. අප ඒ ගමන් ගියේ දුම්රියෙන් නොව මෝටර් රථවල වුව ද, රාත්‍රිය ගත කිරීම සඳහා මොටේල් කාමරයක, කැරවන් උද්‍යානයක පිහිටි කුඩා නිවසක හෝ එවැනි ස්ථානයක නතර වූ විට, පෙර කී මගේ කතරගම අත්දැකීම සිහියට ඒම වැළැක්විය නොහැකි විය.

තාත්තා ගේ වොරන්ට්ස් උපයෝගී කර ගනිමින් ගිය එක ගමනක දී හෝ අපට අර කොට්ට මෙට්ට පිරි ඇඳන් ඇති, සිවිලිමේ විදුලි පංකා කැරකෙන කාමරයක නතර වීමට නොහැකි වූයේ, ඒ සඳහා තාත්තාට අවශ්‍යතාවක් නොමැති වූ නිසාද, ආර්ථික ශක්තියක් නොමැති වූ නිසා ද යන්න මට නිවැරදිව සිතා ගත නොහැක.

වසරකට එක්වරක් පමණක් නිවසෙන් පිට නතරවෙන අවස්ථාවල දී සුව පහසුව ගැන කරදරවීම අනවශ්‍යයැයි තාත්තා සහ ඔහු ගේ මිතුරන් සිතුවා විය හැක. මේ චාරිකාවල අප නිරත වූයේ ද, මූලිකව ම, රජයේ සේවකයින්ට නොමිලයේ දුම්රියේ ගමන් කිරීමට වොරන්ට්ස් පහසුකම ලැබුණු හෙයින් නිසා, සමහර විට විශ්‍රාම ශාලාවල තිබූ මගේ සිහින කාමරයක් සඳහා එක් රැයකට ගෙවිය යුතු වූ මුදල හෝ දරන්නට තාත්තා ඇතුළු පිරිසට ඇත්තට ම හැකියාවක් නොතිබුණා ද විය හැක.

මා මේ පුවත මගේ හොඳම මිතුරියකට පැවසූයේ මගේ දුක්බර කතාවෙන් ඇය මද වශයෙන් හෝ කම්පාවට පත්වෙතැයි සිතා ගෙන ය. නමුත් මගේ කතාව අවසානයේ ඇය පැවසූ වදනින් මට සිහිවූයේ සුනිල් ආරියරත්න ලියූ ”මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි” ගීතයයි.

"රසික, ඔයා පොඩි කාලේ රට පුරාම පවුලේ අය එක්ක ගිහින් තියෙනවා නේ. මං ජීවිතේට අම්මයි තාත්තයි එක්ක ඔහොම ගමනක් ගිහින් නෑ!"

ඒ ප්‍රකාශයේ ඇති කනගාටුදායක තත්වය වූයේ මෙයයි.

මගේ මිතුරිය ගේ මව රජයේ ගුරුවරියක් වූ අතර ඇය අනිවාර්යෙන් ම වොරන්ට්ස් වරප්‍රසාදය හිමි අයෙකි. ඒ කෙසේ වුවද, ඇගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකු විය. කුඩා කළ සිටම ඔවුන් සතුව මෝටර් රථයක් ද තිබී ඇත.

විශ්‍රාම ශාලාවල, බණ මඩුවල සිමෙන්ති පොළොවේ බෙඩ් ෂීට් මත නිදාගන්නට සිදුවූවා වුව ද, වසරකට එක් වරක් හෝ රට වටා විවිධ ස්ථාන නැරඹීමට යාමට වරම් ලද මගේ සොහොයුරන් දෙදෙනා සහ මා කෙතරම් වාසනාවන්තයින් ද යන්න ඒ මොහොතේ මට පසක් විය.

-රසිකොලොජිස්ට්

(image: http://sannasa.sinhalajukebox.org/2015/Dec/2015Dec_page33.pdf)

Saturday, 26 November 2016

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots


අපි දකුණේ, අපි කොළඹ, අපි නුවර ආදී වශයෙන් ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටියක් ඊයේ පෙරේදා ෆෙස්බුකියේ පැතිර ගියේ ය. තවමත් තරමක හෝ උණුසුමක් පවතී.

මේ සඳහා මා ද කොනකින් සම්බන්ධ වූයේ පිරිසක් "කිඹුලා බනිස්" ලෙස ද, තවත් පිරිසක් "වියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "පියන් බනිස්" ලෙස ද, තවත් පිරිසක් "සීනි කුරුල්ලන්" ලෙස ද, තවත් පිරිසක් "කොකෝ බනිස්" ලෙස ද, හඳුන්වන අප සැම දන්නා දිගැති පැණි රසැති බනිස් විශේෂය ඒ කිසිවක් නොව "ගැඩවිල් බනිස්" ලෙස හැඳින්වීමෙනි. මගේ අදහස අනුව ඒ බනිස් වර්ගයේ හැඩයට ඉතා හොඳන් ගැලපෙන්නේ "ගැඩවිල්" යන නාමයයි. මගේ යෝජනාව නිෂ්ප්‍රභා කෙරෙන තර්කයක් කිසිවෙකු මතු කර නොමැත!

ඒ කෙසේ වුවත්, මෙකී ප්‍රාදේශීයොත්තමවාදී ගාලගෝට්ටිය නිසා මගේ පියා අප කුඩා කාලයේ මා සමග කියූ අති පැරණි රසවත් කතාවක් මගේ සිහියට නැගිණි.

මේ ලිපියේ මාතෘකාවෙන් කියවෙන්නේ ඒ කතාවේ සාරාංශයයි.

අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය

මෙන්න වැඩි විස්තර.

දහ අටවන සියවසේ අග භාගය වන විට ලංකාවේ දකුණු ප්‍රදේශය පැවතී ඇත්තේ ඕලන්ද පාලනය යටතේ ය. ඔවුන් ගේ ප්‍රධාන බලකොටුව ගාල්ල වෙන්නට ඇතැයි සිතමි. නගරයෙන් දුර පළාත්වල පාලනය, කුළුබඩු මිලට ගැනීම, වැට් බදු එකතුව වැනි කටයුතු සඳහා වෙනත් කුඩා බලකොටු ද හෙවත් ඩීආරෝ කන්තෝරු ප්‍රාදේශීියව පිහිටුවා තියෙන්නට ඇත.

ඒ සමයේ දී ලන්දේසීන්ට විරුද්ධව යම් ප්‍රාදේශීය කැරැල්ලක් ඇති වී ඇත. ආයුධ රැගත් දේශප්‍රේමී තරුණයින් ලන්දේසි බලකොටුවකට පහර දී ඇති අතර එය සාර්ථක වී නොමැති බව කියවේ.

ඒ පහර දීමෙන් කුපිත වූ ලන්දේසි රණවිරුවන් කර ඇත්තේ අවට ගම්වලට පැන වැදී තරුණයින් අත් මරා දමන්නට, අත් අඩංගුවට ගන්නට, එළියකන්දට දක්කාගෙන යන්නට, අතුරුදහන් කරන්නට පටන් ගැනීමයි.

තත්වය දරුණු අතට හැරුණු නිසා, එකල බද්දේගම නම් සුන්දර ගම්මානයේ නිවැසිව සිටි දේශප්‍රේමී එක් කුස උපන් සහෝදරයින් තිදෙනෙකු කර ඇත්තේ තමන් සතු අවි ආයුධ ද රැගෙන උතුරට පලා යාමයි. සති ගණනාවක් කැලෑ මාර්ග ඔස්සේ පැමිණි ඔවුන් අවසානයේ නතර වී ඇත්තේ කැලණි ගංගාව ද තරණය කළ පසුවයි.

අද බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ මහර-කඩවත ප්‍රදේශයේ වාසය කරන සූරියආරච්චිලා එසේ පැමිණි සහෝදරයින් තිදෙනාගෙන් පැවතෙන අය යැයි මගේ පියා මා සමග පැවසුවේ ය.

එය ඔහුට ඊට පෙර පරම්පරාවෙන් අසන්නට ලැබුණු කතාවකි.

මගේ පියා කුඩා කාලයේ කඩවත, උතුරු පරකන්දෙණිය ප්‍රදේශයේ පිහිටි අපේ සීයා ගේ මහගෙදරට ගිය දිනයක, ඊටත් වසර එකසිය ගණනකට ඉහත කාලයක උතුරට සංක්‍රමණය කළ තම මුතුන් මිත්තන් එදා ඔවුන් රැගෙන ආ ආයුධ වැලලූ ස්ථානය පවා පියා ගේ මහප්පා කෙනෙකු විසින් පෙන්වා දී ඇත.
ඒ දකුණට මගේ ඇති සම්බන්ධයයි.

මගේ ප්‍රිය බිරිඳ ගේ පියා දකුණේ සිට කඳුරටට සංක්‍රමණය කර ඇත්තේ ඊට සම්පුර්ණයෙන් ම වෙනස් වූ, ආර්ථික හේතු නිසා ය.

මාතර ප්‍රදේශයේ ඇල්ගිරියේ උපන් ඔහු, ඒ දිනවල දකුණේ තරුණයින් සිය ගණනක් තරුණයින් කර ඇති ආකාරයට, උඩරට ගොස් ඇත්තේ රැකියාව ලෙස වෙළඳාමෙහි නිරත වීමට ය. කාලයක් තිස්සේ සෑහෙන කට්ටක් කා, යමක් කමක් හරි හම්බ කරගෙන කුඩා ව්‍යාපාර හිමියෙකු වූ ඔහු විවාහ වී ඇත්තේ ද, ඇල්ගිරියම නිජ බිම කරගත් තරුණ ගුරුවරියක හා සමග ය.

මගේ බිරිඳ ගේ හතරවරිගයේ ම ඇයට කලින් පරම්පරාවේ ඇයින් තවමත් සිටින්නේ මාතර-අකුරැහැ ප්‍රදේශයේ ම ය. ඇගේ පරම්පරාවේ අය නම් රටේ ද, ලෝකයේ ද විවිධ ප්‍රදේශවල විසිරී සිටිති.

අප දෙදෙනා ගේ මේ බද්දේගම සහ ඇල්ගිරිය සම්බන්ධය අනුව, අපේ දරු දෙදෙනා ට ද, අපි දකුණේ තමයි, හරිය? කියමින් වත්මන් ෆේස්බුක් ගාලගෝට්ටියට සම්බන්ධ වීමට හැකියැයි සිතමි!

-රසිකොලොජිස්ට්

(http://exploresrilanka.lk/2016/01/prince-of-pastries/)

Tuesday, 8 November 2016

අම්මාට යන්න නොලැබුණු පුතා ඉස්කෝලේ ගිය මුල් දවස - Some poor mothers miss out


පාසල් ගිය මුල් දවස මතකද?

උපන් දිනයේ සිට දෙමව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් සමග වසර පහක් පමණ කල් ගෙවා අප පාසල් ගිය මුල් ම දිනය යනු අපේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් වන වැදගත් සිදුවීමකි.

"පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ!" යනුවෙන් ඇන්ජලීන් ගුණතිලක ගයන්නේ ඒ දවසේ මවකට දැනෙන සිතුවිලි ගැනයි!

සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිදුවුණු නොවැදගත් සිදුවීම්වල පවා දින වකවානු සහ දෙබස් සමග කිව හැකි තරම් මතකයක් ඇති මට ඒ වැදගත් දිනය පිළිබඳව පුදුමයකට මෙන් කිසිදු මතකයක් නැත.

මා මුලින් ම පාසල් ගොස් ඇත්තේ මගේ අම්මා හෝ තාත්තා හෝ සමග නොව, ආච්චී සමගින් ය යනුවෙන් මා පසු කලෙක දී ඇසූ දවසේ මට තරමක දුකක් දැනුණි.

ඒ දුක දැනුණේ මා වෙනුවෙන් නම් නොවේ. මගේ දෙමව්පියන් වෙනුවෙනි. එයිනුත් විශේෂයෙන් ම මගේ මව වෙනුවෙනි.

මට මා වෙනුවෙන් දුකක් නැත්තේ, එදින ද මට කිසිමාකාරයක දුකක් නොදැනුණු බව ස්ථිර නිසා ය. එදා මට දුකක් දැනුණේ නම්, අද මට ඒ ගැන ඉතා සුළු මතකයක් හෝ තිබිය යුතුයි. එවැනි මතකයක සේයාවක් හෝ නැති නිසා, මා පාසලට ගිය මුල් දිනයේ මා ඉතා සතුටෙන් ඉන්නට ඇතැයි සිතමි.

කෙසේ වෙතත්, මා පාසල් යාමට පටන් ගැනීමට කලින් වසරේ දී, මගේ දෙමව්පියෝ මා නිවස අසල තිබුණු මොන්ටිසෝරියක් වැනි තැනකට යවන්නට තැත් කළ හැටිත් එහි මා ගිය මුල් දිනයේ දී මට කියවන්නට හෝ ලියන්නට ලැබුණු දේ මට පහසුවෙන් කළ හැකි වූ නිසා, මා පසුවදා එහි යෑම ප්‍රතික්‍ෂේප කළ බවත් මගේ මතකයේ ඇත.

ඉතින්, මුලින් ම පාසල් ගිය දිනයේ මට දෙමව්පියන් සමග නොව ආච්චී සමග එහි යාමට සිදුවුණේ ඇයි?

මගේ පියා පාසල් ගුරුවරයෙකු නිසා, ඔහු අලුත් වසරේ ප්‍රථම දිනයේ තම රාජකාරිය ඇරඹීම සඳහා උදෑසන ම නිවසින් පිට වෙන්නට ඇත.

මේ වන විට මගේ බාල ම සොහොයුරා ගේ වයස අවුරුදු දෙකයි මාස දහයක් පමණි. එනම් ඔහු සිටියේ ගමන් බිමන් යන විට වඩාගෙන යන වයසේ ය. අනෙක් බාල සොහොයුරාට නම් වයස අවුරුදු හතර පිරී තිබුණි.

අම්මාට මා කැටුව එදා පාසලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ බාල දරුවන් දෙදෙනා නිසා ය.

තම ප්‍රථම දරුවාට නමක් තබන්නට ගොස් සිදුවුණු අපේක්‍ෂාභංගත්වය ගැන මෙන් ම, ඒ සුපින්වත් කුමරුවා තක්සලාවට ගිය මුල් දිනයේ දී ඒ ගමනට එක්වන්නට නොලැබීම ගැන ද අම්මා දුකෙන් සිහිපත් කරනු මා අසා ඇත.

ඇත්තටම තාත්තා කළ යුතුව තිබුණේ, එදින නිවාඩුවක් දමා, අම්මාත්, මල්ලිලාත් කැටුව ඒ ඓතිහාසික ගමන මා සමග යෑමයි. දරුවෙකු පාසලට ඇතුළත් කිරීමට යාම සඳහා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිවාඩු අනුමත නොවේ යැයි සිතිය නොහැකි ය.

නමුත්, තාත්තා ඔහු ගේ ගුරු රාජකාරිය, තම පවුලේ කාර්යයට වඩා උස් කොට සලකා ඇති බව පෙනේ.

කමක් නැත!

මේ ආකාරයටම, අපේ දියණිය පාසල් ගිය මුල් දිනයේ ඇය කැටුව ගියේ මා පමණි. ඒ දිනවල මෙල්බර්න් තදාසන්නයේ මරුන්ඩා රෝහලේ හදිසි රෝගී අංශයේ සේවය කළ මා බිරිඳට එදින උදෑසන හතට සේවයට වාර්තා කිරීමට තිබුණි.

උදේ රැයෙන් නැගිට කිරිබතක් සෑදු ඇය ඉන්පසු රාජකාරිය සඳහා පිටව ගිය අතර, දියණිය ගේ ජීවිතයේ ඒ සැතපුම් කණුව හා සම්බන්ධ සෑම මොහොතක් ම තනිවම අත් විඳීමට එදා මට වරම් ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල් ම දවස අද වේ - ඇන්ජලීන් ගුණතිලක



(image: http://darkaresgaming.net/index.php?/topic/4221-first-day-of-school/)

Thursday, 3 November 2016

අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!


මගේ පියා ගුරුවරයෙකි. ඔහු වයස දහනමයේ දී ගුරු සේවයට බැඳී වසර තිස් නමයක් සේවය කළේ ය. ඔහු ගේ සොහොයුරියන් දෙදෙනෙකුත්, සොහොයුරෙකුත් ගුරුවරු ලෙස සේවය කළහ. ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහ වූයේ ද ගුරු සේවයේ අය සමග ය.

මගේ මව ගේ දෙමව්පියන් ද, එක් සොහොයුරියක් ද ගුරුවරු ය. මගේ මව ද ගුරු සේවයට යන්නට සිහින මවමින් සිට ඇත ද, වෙනත් සිහිනයක්, එනම් විවාහ සිහිනය, ඊට පෙර සැබෑවීම නිසා ඒ අදහස අත හැරගෙන ඇත.

මගේ බිරිඳගේ පවුලේ ද, ගුරුවර, ගුරුවරියන් වැහි වැහැලා ය. අපේ ඒ වැඩිහිටි පරම්පරාවේ හතර වරිගයේ ළඟ ඥාතීන් සහ දුර ඥාතීන් අතර ගුරු වෘත්තිකයින් ටියුෂන් පන්තියක් පුරවන්නට තරම් සිටියහ.

මා මේ කියන වැඩිහිටි පරම්පරාව යනු පසුගිය සියවසේ මුල් වසර පනහ තුළ උපන් අයයි.

අපේ ඥාතීන් අතර ඒ සා විශාල පිරිසක් ගුරු වෘත්තියේ නිරතව සිට ඇත්තේ ඇයි?

යටත් විජිත සමයේ ලංකාවේ රජයෙන් ලබා දුන් වර්නකියුලර් එනම් ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය යටතේ පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරන අයට රැකියාවක් ලෙස තිබී ඇත්තේ විකල්ප කිහිපයකි.

ඔවුනට එක්කෝ ශිෂ්‍ය ගුරු පත්වීමක් ගෙන ගුරු වෘත්තියට පිවිසිය හැකි විය. එය ගමේ තරුණයෙකුට, තරුණියකට ලබාගත හැකි වුණු රජයේ හොඳ මට්ටමේ එකම රැකියාවයි. මගේ තාත්තා සහ ලොකු නැන්දා ආදීන් කර ඇත්තේ එයයි.

එසේ ගුරුවරයෙකු නොවුනේ නම්, ගම්පහ සිද්ධායුර්වේදය වැනි ආයතනයට බැඳී දේශීය වෛද්‍යවරයෙකු වීමට අවස්ථාව තිබී ඇත. අපේ වෙද මාමා කර ඇත්තේ එයයි.

උදාහරණ නොමැති වුවත්, ඊට අමතරව නොතාරිස්වරයෙකු වීම වැනි විකල්ප ද තිබී ඇති බව පෙනේ. නමුත්, ඒවා ස්වයං රැකියා ය.

රජයේ සියලු වෙනත් රැකියා සඳහා ඉංග්ලිෂ් මාධ්‍යයෙන් විභාග සමත් වී තිබිය යුතුව ඇත. මධ්‍යම විද්‍යාල ඇතිවෙන තුරු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් ඉගෙනීම යනු මුදල් ගෙවා ලබා ගත යුතු අධ්‍යාපනයක්ව තිබී ඇත.

පනහේ දශකයේ දී මගේ නැන්දා කෙනෙකු ඉංග්ලිෂ් මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය නිම කළ ද, ඇය ද අවසානයේ ගුරුවරියක් ම වූවා ය.

ගම්බද පවුල්වල තරුණ තරුණියන් ට, මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා, රජයේ සේවයේ ඉහළ තනතුරුවලට යාමට අවස්ථාව ලැබුණේ රාජ්‍ය භාෂාව වෙනස් කිරීමෙන් අනතුරුව සහ එ නිසා ම පමණි.

ජනගහනයේ වැඩිවීමත් සමගම ප්‍රසාරණය වන ගුරු සේවය වාසනාවට මෙන් තවමත් බොහෝ දෙනෙකු, වෙනත් විකල්පවලට වඩා, ප්‍රිය කරන වෘත්තියකි. මගේ බාල සොහොයුරා ද, ඥාති සොහොයුරියක් ද, ගුරුවරුන් ය.

එසේ නමුත්, අපේ පාසල් කාලයේ මෙන්ම, අදත් ලංකාවේ, ගුරු සේවයේ වැඩි වශයෙන් නිරතවන්නේ කාන්තාවන් බව පෙනේ. ඕස්ට්‍රේලියාවේ තත්වය ද එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ....."

මේ ගී පදයේ ඉතිරි කොටස කෙසේ සම්පූර්ණ කර ගත යුතුදැයි තවමත් සිතා ගත නොහැකි විය.

".......තුන් සිංහලයම අත දරුවෝ?"

(image: http://www.biography.com/news/favorite-tv-teachers)

Sunday, 2 October 2016

කැල්කියුලේටර් පූජාව - Yet another untold story


මා කලකට පෙර ලියා පළ කළ ලිපියකට අන්තර්ගතය සැපයූ "අතහැර දැමූ ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ කතාව" මෙන් මෙතුවක් කල් නොකී රහසක් නොවූව ද මේ අද මා ලියන කැල්කියුලේටරයක් හා සම්බන්ධ සිදුවීම ද මෙතෙක් නොකී කතාවක් ම වේ.

මෙය කියවන ඔබට ශාන්ත රසයක් ම ලැබේ යැයි උදක් ම සිතමි.

සිය නැගෙණියන් තිදෙනාගෙන් වැඩිමහලු නැගෙණිය හෝ විවාහ කර දෙන තුරු සිටි නිසා දෝ, මගේ පියා විවාහ වී ඇත්තේ සිය ජීවිතයේ පස්වෙනි දශකය ආරම්භ වී දින කිහිපයකිනි. පසුව, මා මෙලොවට බිහිවූ දින වෙන විට ඔහු සිට ඇත්තේ සිය ජීවිතයේ හතළිස් දෙවෙනි වසර ද අවසාන කරමිනි. අද තත්වය ඊට වඩා වෙනස් වුවත්, ජීවිතයේ පස්වෙනි දශකයේ දී පියෙකු වීම ඒ කාලයේ සාමාන්‍ය තත්වයක් වෙන්නට ඇතැයි සිතීමට පවා හැකිවෙන තරමේ උදාහරණ රාශියක් මගේ සම වයසේ අය ගේ දෙමව්පියන් අතරින් සොයා ගත හැකි බව ද මෙහි දී කිව යුතුයි.

කෙසේ වෙතත් එහි එක් දුර්විපාකයක් වූයේ, මා එකොළොස්වන ශ්‍රේණියේ සිටිද්දී ම තාත්තා සිය පනස් අටවන උපන් දිනය දා විශ්‍රාම යෑමයි. මා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අරඹන කාලය වෙන විට තාත්තා ගේ ආදායම වූයේ විශ්‍රාම වැටුප සහ විශ්‍රාම ගන්නා විට ලැබෙන දීමනාව බැංකුවේ ස්ථාවර තැන්පතුවක යෙදූ නිසා ඉන් ලැබෙන ආදායම පමණි.

ඒ දිනවල අප පදිංචිව සිටියේ පරකන්දෙනියේ පිහිටි තාත්තා ගේ මහගෙදර නිසා ගෙවල් කුලී යනාදී ප්‍රශ්න නොතිබුණත්, ඒ ආදායමෙන් අප පස් දෙනෙකු ජීවත් වූ ආකාරය, රුපියල් දෙදහස් පන්සීයකින් පවුලකට මසක් ජීවත් වෙන්නට හැකි යැයි කලකට පෙර කියූ බන්දුල ගුණවර්ධන වැනි ආර්ථික විද්‍යා ටියුෂන්කාරයින්ට, හොඳ කේස් ස්ටඩි උදාහරණකි.

අපේ පවුලේ ආර්ථික තත්වය සලකා බලන කල, මට කරන්නට තිබුණු සෙන්සිබල් ම දේ වූයේ මොරටුව විශ්වවිද්‍යාලය තෝරාගෙන, පිළියන්දල නැන්දා ගේ නිවසේ පදිංචි වී බස් රථයෙන් විශ්වවිද්‍යාලයට යෑමයි. නමුත් ගඟ ළඟ පෙම් මග හා බැඳුණු හන්තාන සිහිනයක ඇලී ගැලී සිටි මට අවශ්‍ය වූයේ බොල්ගොඩ ඇලේ පල් ගඳ විඳිමින් අව්වේ වේලෙන්නට නොව මුදු මද නල පහස ලබමින් රොබරෝසියා මල් පියලි මත පා තබන්නටය. එය ඒ කාලයේ මසකට රැපියල් පන්සීයක් පමණ වියදම් වෙන මෝඩකමකි.

"උඹ පේරාදෙණියේ පලයං. මං වියදම් කරන්නම්!" තාත්තා කීවේය.

මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ඇරඹුණු ඒ කාලයේ ලබා දුන් ශිෂ්‍යත්ව කිහිපයෙන් එකක් මට නොලැබුණි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලබා ගත හැකි බැංකු ණය ක්‍රමයක් තිබුණද, මට ඒ සඳහා සුදුසුකම් නැති බව දන්වන ලදී.

මට කලිසම් කමිස කිහිපයක් මිලට ගෙන දුන් මල්ලිකා පුංචි අම්මා හැම මසකම මට රැපියල් සීයක් දෙන්නට පොරොන්දු වූවා ය. අශෝකා පුංචි අම්මා රැපියල් පන්සීයක් දුන්නා ය. සුනීතා පුංචි අම්මා නොයෙකුත් අඩුම කුඩුම මිලට ගෙන දී මුදල් ද දුන්නා ය. නන්දාවතී නැන්දා රුපියල් හත්සීයක් දුන්නා ය. කරුණාවතී නැන්දා ද මුදල් දුන්නා ය.

මම පේරාදෙණියේ ගියෙමි.

මුල් දිනයේ සිට ම මම දිනපොතේ එදිනෙදා සිදුවෙන වියදම් ලියූවෙමි. සතියක දත්ත විශ්ලේෂණය කළ මට මාසයක් ගත කිරීමට රැපියල් හාරසීයක් පමණ අවශ්‍යවෙන බව පෙනී ගියේය. සති අන්තයේ නිවෙසට යෑම යනු බස් ගාස්තු සහ පේරාදෙණියේ කෑම වියදම් අතර වෙනස ලෙස රුපියල් කීපයක් ඉතුරුකර ගැනීමකි. මෙය දරාගත හැකි තත්වයකි.

නමුත් ප්‍රශ්නය වූයේ එදිනෙදා රිකරන්ට් වියදම් නොවේ. විශ්වවිද්‍යාලයේ විවිධ වැඩ කටයුතු සඳහා අවශ්‍ය කැපිටල් ආම්පන්න මිලට ගැනීම සඳහා මුදල් ය.

නැන්දා දුන් මුදල මුළුමනින් ම වැය වූයේ යාන්ත්‍රික ඇඳීම විෂයය සඳහා අවශ්‍ය කවකටු පෙට්ටිය, විහිත චතුරශ්‍ර, කෝදුව සහ අනෙකුත් දේ මිලට ගැනීමටයි. ඊළඟ අවශ්‍යතාවය වූයේ කැල්කියුලේටරයකි. ඒ සඳහා අවශ්‍ය මුදල ද යාන්තමින් සපයා ගැනීමට මට හැකි විය.

අවශ්‍ය වර්ගයේ FX-80 කැෂියෝ කැල්කියුලේටරයක් මහනුවර වෙළඳ ශාලාවකින් රුපියල් 800 කට මිලට ගැනීමට හැකි බව එසේ කළ සහෘද සිසුවෙකුගෙන් අසා දැනගත් මා කළේ, වෙනත් කාර්යයක් සඳහා මහනුවර යන අයෙකුට මුදල් දී එය ගෙන්වා ගැනීමයි. එවකට පැණිදෙණියේ සිට මහනුවරට බස් ගාස්තුව රුපියල් හතරක් විය. තේ කෝප්පයකට යන වියදමත් සහිතව, මා කැල්කියුලේටරය සඳහා වැයවෙන ඕවර්හෙඩ් වියදමෙන් රුපියල් දහයක් ඉතුරු කර ගත්තේ එලෙසිනි.

මා විශ්වවිද්‍යාලයේ තෙවන වසර අරඹන විට මගේ මල්ලී මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබුවේ ය. ඔහු පිළියන්දල නැන්දා ගේ නිවසේ නවාතැන් ගත් නිසා, අවශ්‍ය වියදම තරමක් අඩුවුවත්, මට මෙන් ම අනෙකුත් වියදම් ඔහුට දරන්නට සිදුවී තිබුණි.

යාන්ත්‍රික ඇඳීම් සඳහා මා මිල දී ගත් උපකරණ කට්ටලය, මා සමග ආනන්ද විද්‍යාලයේ දී කලක් එකට ඉගෙනුම ලැබූ මා දෙවන වසරේ සිටියදී පේරාදෙණියට පැමිණි පාලිත ඒකනායකට පාවිච්චි කිරීම සඳහා දී තිබුණි. මල්ලීට දීම සඳහා මා එය ඔහුගෙන් ඉල්ලා සිටි විට පාලිත කියා සිටියේ ඒ සියල්ල කැඩී බිඳී ගිය බවයි. කාලයක් පවතින්නට සැලසුම් කර චෙකොස්ලෝවියාවේ නිෂ්පාදිත සුදු යකඩ උපකරණ දෙවසරක් යන්නටත් පෙර කැඩෙන්නේ කෙසේ දැයි මා පාලිතගෙන් විමසුවේ නැත.

මල්ලීට අලුතෙන් ම කවකටු පෙට්ටියක් සහ අනෙකුත් අදාළ උපකරණ මිලට ගැනීමට මුදල් වැය කිරීමට තාත්තාට සිදු විය.

මට කළ හැකි එකම දෙය වූයේ මා සතුව තිබූ FX-80 කැල්කියුලේටරය මල්ලීට දී, එමගින් තාත්තා ගේ බර තරමක් හෝ සැහැල්ලු කිරීම පමණකි.

පළමු වසරේ යාන්ත්‍රික ඇඳීම සඳහා උපයෝගී කරගන්නා කවකටු පෙට්ටියේ උපකරණ අවශ්‍ය වෙන්නේ පළමු වසරේ දී පමණි. මගේ උපකරණ පාලිතට දීමට මට හැකි වූයේ එනිසා ය.

නමුත්, කැල්කියුලේටරය යනු හැම වසරකදී ම විවිධ අධ්‍යයන කටයුතු සඳහා නිරතුරුවම අත්‍යවශ්‍ය වෙන උපකරණයක් වේ. කැල්කියුලේටරයක් නොමැතිව තවත් වසර දෙකක්ම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නට මා ගත් තීරණයට ඒ කරුණ නිසා වැඩි වැදගත්කමක් එක් වේ යැයි සිතමි.

මේ වෙන විට මා පදිංචිව සිටියේ විශ්වවිද්‍යාලය ඇතුළේ ම පිහිටි නේවාසිකාගාරයක් අපේ කණ්ඩායමේ තවත් විශාල පිරිසක් සමග වීමත් අප එකිනෙකාට සාමාන්‍ය දිනවල දී කැල්කියුලේටරයක් අවශ්‍ය වූයේ එකම වේලාවට නොවීම නිසාත්, මට ජාම් බේරාගත හැකි විය. තෙවන වසරේ විභාගය සඳහා පෙනී සිටීමට මා කැල්කියුලේටරයක් ඉල්ලා ගත්තේ අවසන් වසරේ සිසුවෙකු වූ රංජිත් ඒකනායකගෙනි.

ටික දිනකින්ම සිදු වූයේ නොසිතූ විරූ දෙයකි. මොරටුව විශ්වවිද්‍යාලයේ තුළ දී මල්ලීට දුන් ඒ කැල්කියුලේටරය අස්ථානගත විය. අලුතෙන් කැල්කියුලේටරයක් මිලට ගැනීම සඳහා තාත්තා මල්ලීට මුදල් ලබා දුන්නේ ය. මේ වෙන විට තාත්තා ද නොතාරිස්වරයෙකු ලෙස තරමක හෝ අමතර ආදායම් මාර්ගයක් සාදා ගෙන තිබුණි.

තාත්තා ගේ වියදම් අඩු කිරීම සඳහා මා කළ ඒ මහා කැල්කියුලේටර් කැප කිරීම අවසානයේ දී ගඟට ඉනි කැපුවා වැනි වූයේ එලෙසිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ජීවිතයේ අවසානය දක්වා ම ණයට ගත් කැල්කියුලේටර්වලින් ජාම් බේරා ගත් මා, නැවත කැල්කියුලේටරයක් මිලට ගත්තේ තවත් වසර තුනකට පමණ පසුව පශ්චාත් උපාධි සමයේ දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෙන්න කැල්කියුලේටරයක් ළඟ ඇති අයට අප එකල කාලය මැරීම සඳහා භාවිතා කළ පැරණි අභියෝගයක්.

කැල්කියුලේටරය පණ ගැන් වූ වහාම දර්ශන තලයේ දිස්වන්නේ 0 අංකයයි. මෙතැනින් අරඹා, අංක කිසිවක් භාවිතා නොකර, විවිධ ශ්‍රිත පමණක් උපයෝගී කරගෙන, අංක 1 සිට 9 දක්වා වරකට එක් අංකයක් බැගින් එහි දර්ශනය කරවීමට ඔබට හැකි ද?

(http://electricimage.deviantart.com/art/Casio-fx-80-calculator-116310807)

Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

Wednesday, 15 June 2016

දත් වහල්ල මැදීම - Show me your teeth please!


මේ ළඟදී දිනයක මට "සෙන්සෝඩයින්" නමැති දත් බෙහෙත් හෙවත් ටූත් පේස්ට් වර්ගයේ කුඩා ප්‍රමාණයේ ටියුබයක් හමුවිය. එයින් මදක් දත් බුරුසුවකට දමා දත් මදින්නට පටන් ගෙන ස්වල්ප වේලාවකින් මට සිතුණේ මේ කටට දැනෙන රසය නම් තරමක් හෝ හුරු පුරුදු එකක් බවයි.

නමුත්, ඒ කුමක්දැයි සිතා ගැනීමට එක්වරම නොහැකි විය. එය වචනයේ අර්ථපරිසමාප්ථාර්ථයෙන් ම හරියට "මේ දිව අගම තියෙනවා, තියෙනවා, වගේ, නමුත් එළියට එන්නේ නෑ!" වැනි තත්වයක් විය.

දත් වහල්ල මැද අවසාන වෙන මොහොතේ මගේ සිහිය සැපත් විය.

ගෝපාල්!

ගෝපාල් යනු අප කුඩා කාලයේ ගමේ ගොඩේ කඩවල විකිණීමට තිබුණු දත් බෙහෙත් කුඩු වර්ගයකි. දහයියා මද පමණින් පුළුස්සා, එයට කිසියම් රසකාරයක් යොදා, රෝස පැහැයෙන් වර්ණ ගන්වා සාදා තිබුණු මේ දත් කුඩු පැකට්ටුවක් විකිණුනේ ශත පහක් වැනි මුදලකට ය.

ඊට අමතරව, දන්තමුක්ත නමින් ද, පැරකුම්බා නමින් ද තවත් දත් බෙහෙත් කුඩු වර්ග දෙකක් තිබුණු බව පසුව ෆේස්බුක් හරහා කියවූ මිතුරන් ගේ ප්‍රතිචාර හරහා මතකයට නැගුණි. දන්තමුක්ත සහ පැරකුම්බා යනු අරළු, මූණමල් වැනි ශාක කොටස් එකතු කර සාඳන ලද දත් බෙහෙත් වර්ග බව කියවුණි. පෙර කී ගෝපාල් තරම් රසයක් නොතිබුණු නිසා මම මේ දෙවර්ගයට ප්‍රිය නොකළෙමි!

කෙසේ නමුත්, ගෝපාල් යනු අපේ අම්මා නිවසට මිලට ගත් අත් බෙහෙත් කුඩක් නොවේ. මට ගෝපාල් රසය විඳින්නට ලැබුණේ එක්කෝ නන්දාවතී නැන්දා ගේ නිවසේ දී හෝ නැතිනම් සරත් බාප්පා මිලට ගෙන තිබුණු විට දී යැයි සිතමි.

අපේ අම්මා පුරුදුව සිටියේ දත් බුරුසුවකට එකල පැවති, සිග්නල්, එස්ආර් හෝ පෙප්සොඩන්ට් වැනි දත් බෙහෙත් වර්ගයක් යොදා දත් මැදීමටයි. ඇය තරුණ කාලයේ කෝල්ගේට් නම් දත් බෙහෙත් වර්ගයක් ද තිබුණු බව සහ එකල රේඩියෝවේ වෙළඳ සේවයේ කෝල්ගේට් අනුග්‍රහයෙන් ජනප්‍රිය ගීත වැඩසටහනක් ද ප්‍රචාරය වුණු බව ද ඇය මා සමග පවසා ඇත.

දිනපතා එලෙස දත් මැදි අම්මා ගේ දත් වැඩි හරියක් පසු කලෙක දිරා කැඩී, බිඳී, ගැලවී ගියේ ය. දැන් ඇය කෘතිම දත් ඇන්දක් ද භාවිතා කරයි.

මගේ තාත්තා නම් මිය යන කාලය වන විටත් ඔහු ගේ දත් සෑහෙන්න හොඳ තත්වයේ තිබුණි. එකම ප්‍රශ්නය වූයේ ඒවායේ බැඳී තිබුණු බුලත් කහට ය.

මෙහිදී කිව යුතු වැදගත්ම කරුණ නම්, අපේ තාත්තා මට මතක ඇති කාලයේ සිටම දත් මැදීම සඳහා භාවිතා කළේ හනසු අඟුරු වීම ය.

තාත්තා හනසු අඟුරු සාදන්නේ මෙසේ ය.

වත්තෙන් අහුලා ගන්නා ලද හොඳ ප්‍රමාණයේ හනස්සක් ලිපට දමා එහි මුල් කොටස හොඳින් දැල්වුණු පසු කුස්සියේ ම ඇති ලුණු පොල්කට්ටට එය දමනු ලැබේ. එවිට ගින්දර නිවී හනසු අගුරු යම් ප්‍රමාණයක් ලැබේ. සෑහෙන්න ලුණු පොඟන තුරු පොල්කට්ටේම තියෙන්නට ඉඩ අරින ඒ අගුරු කැබලි තාත්තාට දින කිහිපයකට සෑහේ.

හනසු අඟුරුවලින් දත් මැදීම සඳහා පළමුව අගුරු කැබැල්ලක් මුව තුළට ගෙන එය විකිය යුතුයි. ඉන් පසු එක්කෝ ඇගිල්ලෙන් හෝ දත් බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම කළ හැක.
හනසු අඟුරු වෙනුවට සමහරු කරුංකා අඟුරු ද යොදා ගත් බවට මගේ මතකයක් ඇත.

අඟුරුවලින් හෝ ගෝපාල් වැනි දත් බෙහෙතක් සමග ඇඟිල්ල උපයෝගී කරගෙන දත් මදින්නේ දත් වල බැඳෙන බුලත් කහට වැනි දේ ඉවත් කිරීමට මිස දත් අස්සේ රැඳී ඇති ආහාර කැබලි ඉවත් කිරීමට නොවන බව කුඩා කල සිටම අප දැන සිටියත්, හනසු අඟුරු හෝ ගෝපාල් කුඩ සමග ඇඟිල්ලෙන් දත් මැදීමට මම ප්‍රිය කළෙමි.

-රසිකොලොජිස්ට්


(image: facebook & https://www.instagram.com/p/ua3QPkmEek/?taken-by=gopaltoothpowder)

Thursday, 19 May 2016

හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane


මා කුඩා කාලයේ අපේ තාත්තා හවසට සුරුට්ටුවක් බොන්නට පුරුදු වී සිටියේ ය. දිගැටි දුඹුරු පැහැති මේ සුරුට්ටු වර්ගයේ වෙළඳ නාමය තම්ෂර් වැනි එකක් බව මගේ මතකයයි. ඒ තම්ෂර් සුරුට්ටු අසුරා තිබුණේ වැනිස්ට්‍රා වැනි තුනී ලෑලි වර්ගයකින් තැනූ හුරුබුහුටි පෙට්ටිවල ය.

සුරුට්ටු පෙට්ටියක් ම නොව, තාත්තා එක් වරෙකට මිල දී ගන්නේ සුරුට්ටු කිහිපයක් පමණක් වුවද, ඒ සුරුට්ටු කිහිපය පෙට්ටියේ අවසාන ඒවා වූ විට තාත්තාට ගනේමුල්ලේ සුරුට්ටු කඩේ මුදලාලිගෙන් නොමිලේ ම ලැබුණු නිසා දෝ, අපේ නිවසේ ඒ වර්ගයේ හිස් සුරුට්ටු පෙට්ටි කිහිපයක් ම තිබුණි.

තාත්තා ගේ විනෝදාංශ වූ කැඩුණු ෆවුන්ටන් පෑන් සෑදීම, කැඩුණු කණ්ණාඩි රාමු සෑදීම වැනි කටයුතුවලට අවශ්‍ය වූ පරණ පෑන් කැබලි යනාදිය බහා තිබුණේ ඒ පෙට්ටි කිහිපයේ ය.

දිනක් පාසලේ සේවය නිමවා නිවසට එන අතරතුර සුරුට්ටු කඩයට ගිය තාත්තා දැක ඇත්තේ, කඩේ මුදලාලි තම්ෂර් සුරුට්ටු ඔතා දෙන්නේ අප බොහෝ දෙනෙකු දන්නා හඳුනන ඉංග්ලිෂ් ප්‍රකාශනයක් යැයි මා සිතන රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා පිටපත්වලින් කඩා ගන්නා කොළවල බවයි.

රීඩර්ස් ඩයිජෙස්ට් යනු කලක් සිංහලෙන් පළවුණු මනහර නම් සඟරාව මෙන් කුඩා හුරුබුහුටි ප්‍රමාණයේ එකකි. මනහර සේ ම විවිධ විෂයයන් හා සම්බන්ධව ලියවුණු ලිපි ලේඛනවලින් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව සමන්විත විය. බොහෝ විට මනහර සඟරාවේ පළවුනේ රීඩර්ස් ඩයිජෙස්ට් හෝ ඒ ආකාරයේ වෙනත් ඉංග්ලිෂ් සඟරාවල පළවුණු ලිපිවල පරිවර්තන විය යුතු යැයි මම සිතමි.

මේ ගැන කඩේ මුදලාලිගෙන් මදක් විපරම් කළ තාත්තාට දැන ගන්නට ලැබී ඇත්තේ කාගේ දෝ නිවසකින් විකුණු පරණ පත්තර ගොඩක රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා එකතුවක් තිබී ඇති බවත්, ඒ සඟරාවල අප දන්නා හුරුබුහුටි ප්‍රමාණය තම්ෂර් සුරුට්ටු ඔතන්නට අපූරුවට ගැලපෙන නිසා මුදලාලි ඒ සඟරා තොගය ම කිලෝ ගණනට රුපියල් දී මිලට ගත් බවත් ය.

අපේ තාත්තා එදා ගෙදර ආවේ තම ජාතික ඇඳුමේ පැත්තේ සාක්කුවේ දැමූ තම්ෂර් සුරුට්ටු කිහිපයක මිටිය සහ එක් අතකින් ගුණසිරි කඩෙන් ගත් කුළු-බඩු, හාල්මැස්සන්, කරවල රැගත් සිමෙන්ති උර ප්‍රතිචක්‍රීකරණය කර සෑදූ බෑගය පමණක් නොව, අනෙක් අතෙන්, කිලෝ ගණනට රුපියල් දී තම්ෂර් සුරුට්ටු කඩේ මුදලාලිගෙන් මිලට ගත් රීඩර්ස් ඩයිජෙස්ට් සඟරා විශාල තොගයක් එක පිට එක තියා කොහු ලණුවකින් බඳින ලද මිටියක් ද රැගෙනයි.

මා මුලින්ම රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවක් ලෙස දැක්කේ ඒ ගනේමුල්ලේ තම්ෂර් සුරුට්ටු කඩෙන් කිලෝ ගණනට ගෙනා ඒවා ය.

මනහර සඟරාව බිහිවුණේ මීට වසර කිහිපයකට පසුව යැයි සිතමි. අපේ තාත්තා මනහර මිලට ගත්තේ නැත. තම්ෂර් සූරුට්ටු කඩේ මුදලාලි ට මනහර සඟරා නොලැබුණි. එසේ නමුත්, මනහර සඟරාවේ පිටපත් කිහිපයක් අපේ ඥාතියෙකු ගේ නිවසේ තිබී, නිවාඩු කාලයකට එහි ගිය විටෙක මා කියවා තිබේ.

මනහර සඟරාවට වඩා රීඩර්ස් ඩයිජස්ට් සඟරාවේ තිබූ එක් වෙනසක් වන්නේ සඟරාවේ අන්තර්ගතයට කෙරෙන පාඨක සම්මාදමයි. පාඨකයින් විසින් ලියා එවන කුඩා විහිළු-තහළු යනාදිය සඟරාවේ තැනින් තැන ලිපිවල අග ඉතුරු වී ඇති ඉඩ පුරවන්නට ද, ඊට අමතරව "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංගවල ද දකින්නට ලැබුණි.

අපේ තාත්තා ගේ තම දරුවන්ට ඉගැන්වීමේ ප්‍රතිපත්තිය වූයේ "උඹලට ඕනෑ නම් ඔය පොත් කියවහල්ලා, අමාරු වචනයක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා නම් මගෙන් අහපල්ලා!" යන්න නිසා, ඒ රීඩර්ස් ඩයිජස්ට් සඟරාවලින් මා කියවා ඇත්තේ පෙර කී විහිළු-තහළු පමණකි. ඒ ද, කොන්දේසියක් ලෙස, එක් වාක්‍යයක අමාරු වචන තුන හතරකට වඩා නැත්තේ නම් පමණි. ඇවිදින ඉංගිරිසි-සිංහල ඩික්ෂණරියක් බඳු තාත්තා සිටියද, වාක්‍යයක ඇන්ඩ්, එ, ද, ආ, බට් වැනි වචන හැර අන් සියලුම වචන අමාරු වචන වන විට කියවීම එපා වේ!

මනහර සඟරාව නම් පසු කලෙක අභාවප්‍රාප්ත විය. එයට හේතුව එහි අයිතිකරු වූ මූ අරුක්ගොඩ අතුරුදහන් වීම යැයි මා අසා තිබේ. මුතුහර නමින් ද පෙර කී හුරුබුහුටි තම්ෂර් ප්‍රමාණයේ සඟරාවක් බිහි වී තිබුණි. එයට කුමක් වූවාදැයි මම නොදනිමි.

රීඩර්ස් ඩයිජස්ට් සඟරාව නම් අද ද පළ වේ. එහි ඕස්ටේ‍ර්ලියානු ප්‍රකාශනය ඇතැම් සුපිරි සිල්ලර කඩවල කවුන්ටර් අසල විකිණීමට ඇතත්, මා දන්නා විදියට එය බොහෝ දෙනෙකු මිලට ගන්නේ වසරකට පමණ කාලයකට කලින් මුදල් ගෙවා ලියා පදිංචි වී තෑපෑලෙන් ගෙන්වා ගෙන ය. ඒ සඳහා විශාල අලෙවිකරණ වැඩ සටහනක් ද ඇත.

දොස්තර හමුවීමට ගොස් වේලාව එනතුරු පුටු රත් කරන ශාලාවේ සිටින ඇතැම් දිනයන් හි දී මම එහි ඇති රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාව පෙරළා බලමි. නමුත්, මා අද ද කියවන්නේ ඒ සඟරාවේ ලිපි අග ඇති ඉඩ පිරවීමට පළ කර ඇති විහිළු-තහළු සහ "ලාෆ්ටර් ද බෙස්ට් මෙඩිසින්", "ඕල් ඉන් එ ඩේස් වර්ක්" යනාදී නමින් යුතු නිත්‍ය විශේෂාංග ද පමණි.

තවත් එක් කරුණක් කිව යුතු ය.

මේ ලිපිය ලියන අද දවසේ, දුම්බීම යනු වැරදි වැඩක් බවට සාමාන්‍ය පිළිගැනීමක් තියෙන නිසා, දවසට එකක් වුව ද තම්ෂර් සුරුට්ටු බිව් තාත්තා වැරදි වැඩක් කළ අයෙකු යැයි තරමක චකිතයක් ඇතිවීම වැළැක්විය නොහැක. නමුත්, මා මේ කියන කාලය යනු පුවත්පත්වල පිටු ගණන් සිගරැට් දැන්වීම් පළ වුණු, රට හැම තැනම සිගරැට් දැන්වීම් රැගත් කටවුට් සවි කර තිබුණු, දුම්කොළ සමාගම් විසින් ක්‍රීඩාවලට අනුග්‍රහය දැක්වූ, කොටින් ම ප්‍රේමසර ඈපාසිංහ විසින් ඉදිරිපත් කරන ලද බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු අප සාමාන්‍යයෙන් අසන ගුවන් විදුලි වැඩ සටහනක් වූ කාලයයි.

මා දන්නා කාලයේ එලෙස දිනකට එක් තම්ෂර් සුරුට්ටුවක් පමණක් බිව් අපේ තාත්තා, පසුව එය ද කෙමෙන් අඩු කොට අන්තිමට සහමුලින් ම නතර කළේ ය.

මගේ සොහොයුරන් හෝ මා හෝ දුම්බීමට පුරුදු නොවුනේ, අපේ තාත්තා ඒ ආකාරයට සුළු වශයෙන් හෝ දුම් බිව් නිසා යැයි මට සිතේ.

නමුත්, අපේ තාත්තා කෙදිනකවත් මත්පැන් පානය කරනු මා දැක නැත.

තාත්තා පාවිච්චි නොකර ඉතුරු කළ ඒ මත්පැන් කෝටාව මට තනිකරම අයිති නොවූ බව පවසන්නේ ඉතා කණගාටුවෙනි!

-රසිකොලොජිස්ට්

(images: http://www.hitc.com/en-gb/2012/07/25/bottoms-up-stodgy-magazine/ and http://www.readersdigest.co.uk/health/health-centre/break-habit-smoking-cigarettes)

Saturday, 14 May 2016

පුතාගෙන් අතීතය දැකීම - Back to the future


කාලය ගත වෙන ඉක්මන!

මගේ පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම පසුගිය සතියේ යෙදුණි. දැන් ඔහු ඉගෙනුම ලබන්නේ දහවෙනි ශ්‍රේණියේ ය. ඔහු මෙලොව උපත ලද කාලය නම්, තරමක් අතීතයේ බව හැඟෙතත්, පුතා මුලින් ම පාසල් ගිය කාලය නම් මට අද ඊයේ මෙනි. මා කලින් දිනයක ලියූ සටහනක දී කියූ පරිදි මා අද ජීවත්ව සිටින්නට එක හේතුවක් ද ඔහු යැයි මට සිතේ!

මම මගේ පුතා දෙස බලා මගේ අතීතය දකිමි. මා මෙන් ම බොහෝ පියවරුන් ද මේ අත්දැකීම ලබනවා විය හැක.

අප පොඩි කාලයේ අද මෙන් දිනපතා, සතිපතා, මාස් පතා තියා වසරකට වරක්වත් ඡායාරූප ගැනීමක් නොතිබුණු ද, මා සතුව ඇති මගේ ළමා කාලයේ ඡායාරූප කිහිපයේ දකින්නට ඇති මගේ රැවත්, මගේ පුතා ගේ හැඩරුවත් අතර බොහෝ සමානකම් මම දකිමි. ඉහත ඇත්තේ එවැනි පුතා සහා තාත්තා ගේ සම වයසේ ඡායාරූප සන්සන්නදයකි.

එසේම, අද ඔහු සිතන පතන ආකාරය ගැන යම් ආකාරයක හැඟීමක් ලබා ගන්නට අවශ්‍ය නම් මා කරන්නේ අතීත පටු මග ඔස්සේ මගේ සිත නමැති ඩ්‍රෝනය මෙහෙයවා මේ වයසේ දී ඒ දිනවල මා කළ කී දෑ, සිතූ පැතූ අයුරු ගැන මදක් මෙනෙහි කිරීමයි. කාලය පමණක් නොව දීපය සහ දේශය ද වෙනස් වී ඇති නිසා, සම වයසේ දී මගේ සිතුම් පැතුම්, අදහස් උදහස්, හැසිරීම්වලට වඩා පුතා ගේ සිතුම් පැතුම් අදහස් උදහස්, හැසිරීම් සෑහෙන තරමකට වෙනස් බව සැබවක් නමුත්, මා කරන ඒ අභ්‍යාසයේ යම් ප්‍රයෝජන නැත්තේ නොවේ.

හොඳින් සලකා බලන විට මා සහ පුතා ගේ ළමා දිවිය අතර කාලයේ, දීපයේ, දේශයේ පමණක් නොව කුලයේ සහ මව ගේ ද වෙනස් කම් ඇත. මගේ මව නිවසේ රැඳී කුටුම්බය රැකබලා ගත් කාන්තාවකි. මගේ පුතා ගේ මව, විශාල වගකීම් සහිත වෘත්තියක නිරත, අතිශය කාර්ය බහුල තැනැත්තියකි.

කුලය වෙත් පියා ගේ රැකියාව ද දැන් නම් වෙනස් ය. මගේ පියා රජයේ ගුරුවරයෙකි. මගේ පුතා මෙලොව උපත ලබන කාලයේ දී නම් මා ද විශ්ව විද්‍යාලයක දේශකයෙකු වූ නමුත්, ඔහු ගේ ජීවිතයේ හයවන වසර වන විට මම ඒ ගුරුකුලයෙන් ඉවත්ව දවසෙන් අඩක් නිවසෙන් බැහැරව දිවි ගෙවන රාජපුරුෂයෙකු වීමි.

මව සහ පියා ගේ දවස ගෙවෙන ආකාරය ද, දරුවෙකු ගේ ජීවිතයට බලපාන බව කිව යුතු නොවේ.

උදාහරණයක් ලෙස, මා (සම මගේ බාල සොහොයුරන් දෙදෙනා) ඒ දිනවල පාසල නිමවී නිසට එන විට අපේ මව, දිවා ආහාරය පිළියෙල කොට අප එනතුරු නිවසේ බලා සිටී. පාසල නිමවී පියා ද, තවත් පැයකින් පමණ නිවසට පැමිණේ.

නමුත්, මේ දිනවල අපේ පුතා සවස තුනයි විස්සට තම පාසල නිමවූ පසු හතරට පමණ නිවසට පැමිණියත්, ඔහු තම මව දකින්නේ බොහෝ විට තවත් පැය දෙකකට පසුව ය. සවස හයට කාර්යාලයෙන් පිටවෙන මා නිවසට එන විට රාත්‍රී හත හමාර පසු වේ. පවුලේ බාලයා වූ පුතා ගේ හවස් වරුව ගෙවෙන්නේ තනිවම පරිගණක තිරයක් ඉදිරිපිට ය.

මා මුලින් කියූ ආකාරයට පුතා ගේ පහළොස්වෙනි උපන් දිනය දා මා සිහි කළේ මා ඒ වයසේ දී කළ කී දෑ ගැන සහ සිතූ පැතූ ආකාරය ගැනය.

අප කුඩා කාලයේ කළ ආකාරයට, ගස් නගින්නට, මිදුලේ ක්‍රීඩා කරන්නට, වත්ත පිටුපසට ගොස් චූ කරන්නට, කඩේ ගොස් බඩු ගෙනෙන්නට, පාසලට පයින් ඇවිඳගෙන යන්නට ඔහුට හැකියාවක් නැති නමුත් ඔහු මට වඩා පුළුල් දැනුමක් සහ නිවැරදි ලෝක දෘෂ්ටියක් ඇති කොලු ගැටයෙකු බව මට පසක් විය. මගේ දියණිය ද, තම මලණුවන් ගේ පුළුල් දැනුම සහ නිවැරදි දෘෂ්ටිය ගැන පැවසූයේ ඉතා ප්‍රසාදයෙනි. මල්ලී තමන් ඒ වයසේ දී සිටි තත්වයට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව ඇය පැවසුවාය.

ඉතින්, කුමක් නිසා මා සමග සන්සන්දනයක් කරන්නද?

නමුත්, මට ඇති එකම ප්‍රශ්නය මෙයයි.

මේ වයසේ බොහෝ පිරිමි ළමයින් මෙන් මගේ පුතා ගේ පොත් කියවීම ද ඉතා අඩුය. එනිසා, ඔහු පොතක් ලියාවි යැයි සිතීම තරමක් අපහසු ය. ඒ සමගම, ඔහු අකුරු ලිවීම කරන්නේ ද ඉතා අඩුවෙනි. එනිසා, පුතා ගේ අත් අකුරුවල කිසි ප්‍රිය මනාප බවක් මට නොපෙනේ.

මෙයින් අපට පෙනෙන්නේ ඔහු දැනුම ලබා ගන්නේ අප මෙන් පොත් හරහා ම නොවන බවත්, අනාගතයේ දී ඔවුන් ගේ සන්නිවේදන මාර්ගවලට අද අප මෙන් අකුරු උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් ය.

මම ද, අද මගේ මගේ පුතා මෙන් මේ වයසේ දී, දහවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. සම වයසේ ගෑල්ළමයින් පිළිබඳව අමුතු සිතුවිලි වඩාත් තදින් සිතට දැනෙන්නට වූයේ ඒ වයසේ සිටය.

පහත දැක්වෙන්නේ මා ලියූ මගේ ප්‍රථම පෙම් ගීයයි. එය ලියූ දිනපොත තවමත් මා සතුව ඇති නිසා, එදින මගේ වයස හරියටම දාසයයි මාසයයි බව කිව හැක!

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය
ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය


-රසිකොලොජිස්ට්

Thursday, 28 April 2016

ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life


මගේ තාත්තා අපූරු මිනිසෙක් විය. රැකියාවෙන් පාසල් ගුරුවරයෙකු වුවද, ඔහු තම දරුවන් ට ගෙදරදී ටියුෂන් පන්ති දැම්මේ නැත. ඔහු ගේ අදහස වූයේ අප නොදන්නා දෙයක් තිබේ නම් පමණක් ඔහුගෙන් අසා ඉගෙනගත යුතු බවයිි.

ගමේ කණිෂ්ඨ පාසලෙන් ඇරඹුණු මගේ පාසල් දිවියේ ගමන් මග තීරණය වූයේ ද මා ඒ ඒ විභාග සමත් වූ ආකාරයට මිස, අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි තාත්තා ගේ මිතුරන් හෝ ගෝලයින් ගේ පිහිටාධාර ඇතුව නොවේ.

මා කිසි දිනෙක තාත්තා ඉගැන්වූ පාසලක උගත්තේ නැති නිසා, ඔහු තම සිසු සිසුවින් ට සැර වැර කරන්නෙක් වූයේ ද, කරුණාවෙන් සලකන්නෙක් වූයේ ද යන්න ගැන නිවරද අදහසක් නොමැත. නිවසේදී නම්, අපේ ඇතැම් ක්‍රියාකාරකම් දැක කිපෙන ඔහු අපට බැණ වැදීම සාමාන්‍ය සිද්ධියක් විය. මා කළ ඇතැම් නොපනත්කම් නිසා කිහිපවරක් මට ඔහු ගේ ගුටි පූජාවලට මුහුණ දෙන්නට ද සිදුවිය.

මා අවසන් වරට තාත්තාගෙන් ගුටි කෑවේ, අටවැනි ශ්‍රේණියේ සිසුවෙකු ලෙස ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේ ය. මේ ඒ කතාවයි.

අපේ පාසලේ හයවැනි ශ්‍රේණියේ සිට, උසස් පෙළ දක්වා සිසුන්ට පන්ති පැවැත්වුණු අතර, අපේ සිටි පන්තිවල පිරිමි සිසුන් කිහිප දෙනෙකු පමණක්, ශිෂ්‍යභට කණ්ඩායමේ සහ බාලදක්ෂ පෝතක කණ්ඩායමේ වැඩවලට සහභාගී වූහ. බහුතරයක් පිරිමි සිසුහු ද, ගැහැණු සිසුන් සමස්තයම ද කිසිදු අමතර ක්‍රියාකාරකමක නිරත නොවුනහ. වසරකට වරක් පැවැත්වෙන නිවාසාන්තර මලල ක්‍රී්‍රඩා තරගයට අමතරව වෙනත් කිසිදු සංවිධානාත්මක ක්‍රීඩාවක් ද පාසලේ නොපැවැත්වුණි.

පාසලක තිබෙන ඉහළ පෙළේ රාජකාරි කටයුතු වූ ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක, නිවාස නායක තනතුරු දැරුවෝ ද, තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවෝ ද උසස් පෙළ සිසුවෝ ය.

උසස් පෙළ සිසුන් සහභාගී වූ තවත් අමතර ක්‍රියාකාරකමක් වූයේ පාසල් මට්ටමේ කෙටි වේදිකා නාට්‍ය ලියා, නිපදවා, රඟ දැක්වීමයි. එකල, අධ්‍යාපන දිස්ත්‍රික්ක මට්ටමෙන් පාසල් නාට්‍ය තරගාවලියක් විය. එය සමස්ත ලංකා තරගාවලියක කොටසක් ද වූ බව මගේ මතකයයි.

ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැත්වුණු තරගාවලියට අපේ විදුහලේ නියෝජනය තෝරා ගැනීමට වෙනම ම තරගයක් ද පාසල් මට්ටමින් මෙකල පැවැත්වුණි.

මේ දිනවල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් නාට්‍ය රඟ දැක්වූවන් අතර කලා ශිල්පී ජැක්සන් ඇන්තනි, ගායිකා කුමාරි මුණසිංහ මෙන්ම, ජනප්‍රිය රූපවාහිනී ප්‍රහසනයක් වන ”ඇන්-කොම්පැනි”යේ විපක්ෂ නායක තනතුර රඟපාන උපතිස්ස බාලසූරිය ද වූහ.

ඒ වසරේ, අපේ පාසලේ නිපදවුණු එක් නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ උපතිස්ස බාලසූරියයි. පවුලක පුතුන් දෙදෙනෙක් අතර ඇතිවන ගැටුමකුත්, මවගේත්, සොහොයුරාගෙත් බස් නො අසා, අනෙක් සොහොයුරා නොමග යන අයුරුත් එයින් කියවිණි. මෙහි හොඳ පුතා ගේ චරිතය උපතිස්ස ට ද, මවගේ චරිතය කුමාරි ට ද හිමිවී තිබුණු අතර, ජැක්සන් ඇන්තනි රඟපෑවේ නරක පුතා නොමගට යොමුවීම විස්තර කෙරුණු නාට්‍යමය ජවනිකාවේ දී, එක් දුසිරිතක් නිරූපණය කරන යක්ෂයෙකු වශයෙන් සුළු චරිතයක් පමණි.

දිස්ත්‍රික්ක තරගයේ දී පාසල නියෝජනය කිරීමට හොඳම නාට්‍යය තේරීමේ තරගය පවත්වන ලද්දේ පාසල් වේලාවේ දී ම ය. තවත් හොඳ මට්ටමේ නාට්‍ය කීහිපයක් ම තිබුණ ද, ඒ තරගයෙන් ජයගත්තේ උපතිස්ස බාලසූරිය ගේ නාට්‍යයයි.

මින් දින කිහිපයකට පසු එක් දිනක පාසලේ දී මට අසන්නට ලැබුණේ, ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පාසල් නාට්‍ය තරගයේ මූලික වටය පැවැත්වෙන්නේ ද අප පාසලේ බවයි. මේ වන විට මද පමණක නාට්‍ය ලෝලියෙකු වී සිටි මට මෙය සුබ ආරංචියක් ම විය.

අවට පාසල් කීපයකින් ඉදිරිපත් වුණු නාට්‍යයන් මෙහිදී රඟ දැක්වීමට නියමිත බැවින්, නාට්‍ය තරඟය නරඹා මිස නිවසට නොයෑමට මම තීරණය කළෙමි. එකම ප්‍රශ්නය වූයේ දවල් වරුවේ ඇරඹි නාට්‍යය රඟ දැක්වීම සාමාන්‍යයෙන් පාසල් නිමවන වේලාව වන විට අවසන් වී නොතිබීමයි.

දැවි, දැවී එන කුසගින්න ඇල්වතුරෙන් නිරතුරු නිවා ගනිමින් මා එදින සියලුම නාට්‍යයන් රඟ දක්වා අවසාන වන තුරු ම පාසලේ රැඳී සිටියෙමි.

පාසලේ සිට අප නිවසට දුර ප්‍රමාණය සැතපුමක් පමණ විය. පාසල් නාට්‍ය තරඟයේ උසස් නිර්මාණ රස විඳ, නව නළු රසයෙන් කුල්මත් වූ සිතැතිව ද, ඇල්වතුරෙන් තව දුරටත් රැවටිය නොහැකි වූ කුසගින්නෙන් දැවෙන සිරුරින් ද යුතුව මා එදින නිවසට ළඟා වූයේ සවස හතරට පමණ ය.

මේ වන විට, මා එන මගට පෙර ගමන් කරමින් සිටියේ, සේවය නිමවා නිවස බලා විත්, ඒ වනතුරුත් මා පාසලේ සිට නිවසට පැමිණ නැති බව දැන, මා සොයා යමින් සිටි මගේ පියා ය.

යාන්තමින් ගොනු කර ගත් නිදහසට කරුණු තටම තටමා කටින් පිට කර හමාර කරන්නටත් පෙර මා ලම්බ-කර්ණයෙක් බවට පත්වෙන්නේ ය යන සංවේගාත්මක හැඟීම ද, එතැන් සිට ගැහෙමින් නිවසට ළඟා වූ වහාම කෝටු පහර කිහිපයක් තට්ටම හරහා හමා යන වේදනාත්මක දැනීම ද, මට නොඅඩුව ලැබුණි.

ඒ තාත්තා මට එලෙස දඩුවම් කළ අන්තිම දිනයයි.

වේදිකා නාට්‍ය පිළිබඳ ඇල්ම පසකෙ තබා මම එතැන් පටන් ගණිතය වැනි සුන්දර විෂයයන් කෙරෙහි මගේ අවධානය යොමු කරන්නට පටන් ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

(image: https://en.wikipedia.org/wiki/Galahitiyawa_Central_College)

Tuesday, 22 March 2016

එන්න සූරාලා බලන්න, සූරාලා බලන්න! - Scratchies


මා කුඩා කාලයේ දී මගේ පියා එවකට මාස්පතා දිනුම් අදිනු ලැබූ ජාතික සම්පත නම් ලොතරැයිය මිලට ගත්තේය. ඒ එක් ටිකට්පතක වටිනාකම රුපියලක් විය. ප්‍රථම ත්‍යාගය වූයේ රුපියල් ලක්‍ෂයක් හෝ මෝටර් රථයක් සහ ඉතුරු මුදල් ය.

සතිපතා දිනුම් අදින ශත පනහක වටිනාකමින් යුතු ලොතරැයියක් ද විය. එහි නම මහජන සම්පත යැයි සිතමි.

ඉඳහිට රීප්පයක, ටින්ටස් ඇණවලින් ලොතරුයි කිහිපයක් රඳවාගත් මිනිසෙකු මග තොටේ දී හමුවුණද, ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක රථයක් ගනේමුල්ලට මසකට වරක් පමණ පැමිණියේ වුවද, ඒ ලොතරැයි යනු ජන ජීවිතය හා එතරම් බැඳුණු ප්‍රංචයක් නොවීය.

සියල්ල වෙනස් වූයේ අසූවේ දශකයේ මුල් කාලයේ දී සංවර්ධන ලොතරැයිය හෙවත් හූරණ ලොතරුයි ලංකාවට හඳුන්වා දීමත් සමගය.

විවෘත ආර්ථිකය සමගම අත්වැල් බැඳගෙන සමාජගත වූ, නොනිමෙන පරිභෝජන අවශ්‍යතාවය, උද්ධමනය, මුදලට ඇති ආශාව වැනි දේ නිසාත්, ඒ සියල්ලටමත් වඩා, මෙකී හූරණ ලොතරැයියක දිනුමක් වේදැයි දැන ගැනීමට දින ගණනක් සිටීමට අවශ්‍ය නොවීමත්, දිනුමක් ලද විට එය ක්‍ෂණයකින් ලබා ගත හැකි වීමත් හේතුවෙන් සංවර්ධන ලොතරැයි ඉතා ඉක්මනින්ම ලංකාවේ ජන ජීවිතයේ කොටසක් බවට පත් විය.

අඩු ආදායම් ලබන ජනතාවට පැනවූ වක්‍ර බද්දක් බඳු වූ සංවර්ධන ලොතරැයිය ලංකාවේ ආරම්භයේ දී සම්බන්ධව සිටි අයෙකු ලෙස මගේ මතකයට එන්නේ එවකට අමුම අමු යූඇම්පීකාරයෙකු වූ තිලක් රත්නාකර නම් ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල දේශකයා ය.

සඟරා කතුවරියක් වූ ශ්‍රියා රත්නාකර ගේ සැමියා වූ තිලක් මා දන්නා ආකාරයට වඩාත් ප්‍රසිද්ධ වූයේ 1977 දී එතෙක් පැවති සිරිලංකා ආණ්ඩුව පැරදවීම සඳහා ඉහළ සම්මාදමක් ලබා දුන් හත් වසක ශාපය නම් මඩ පොත් මාලාව සම්පාදනය කළ තැනැත්තා ලෙසට ය.

ජේ.ආර්. ගේ මුල් ආණ්ඩුව කාලේ, පෙර නොවූ විරූ ආකාරයට බඩු මිල ඉහළ ගොස් අඩු ආදායම් ජනතාව ආර්ථික පීඩනයට පත් වූ සමයේ, රුපියලේ අගය අඩු වී ඇති බවට විපක්‍ෂයෙන් නැගෙන චෝදනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින්, එදත් රුපියලට ශත සීයයි, අදත් රුපියලට ශත සීයයි, එනිසා රුපියල බාල්දු වී නැත යන කූප්‍රකට ඉකොනොමැටි න්‍යායය ගෙන ආවේ ද ඔහු ය.

සුනිල් අංකල් ලියා, නන්දා නැන්දා ගැයූ සමාධි බුදු පිළිමයේ නෙතින් කඳුළු වැගිරෙනවාය වැනි අරුතක් තිබුණු ගීතයට විරුද්ධව විචාරයක් ලියමින්, සුනිල් ලිවිය යුත්තේ සහ නන්දා ගායනා කළ යුත්තේ වික්ටෝරියා බැම්මේ ඩබල්-ආච් නිමැවුම වැනි දේ ගැනය කියා කීවේ ද ඔහුය.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙසද කටයුතු කලක් සේවය කර ඇති ඔහු රජයේ සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව, පසුගිය දිනවල මාධ්‍ය හරහා ජනප්‍ර්‍රිය වුණු, සී ෂෙල්ස් නම් රාජ්‍යයේ ආර්ථික උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටියදී මිය පරලොව ගිය බව ආරංචි විය.

මේ හූරණ ලොතරැයි සංකල්පය අගමැති ර. ප්‍රේමදාස ද තම නිවාස සම්බන්ධ ව්‍යාපාර සඳහා මුදල් හොයා ගැනීමට පාවිච්චි කළේය. සෙවණ නමින් හැඳින්වුණු ඒ හුරන ලොතරැයියක මිල රුපියල් පහක් පමණක් වූ බව මගේ මතකයයි.

කුඩා කල සිටම, ලොතරැයිවලට මගේ කිසිම කැමැත්තක් නොතිබුණි. විශේ්ෂයෙන් ම, සංවර්ධන ලොතරැයිය වැනි හූරණ ලොතරුයි හරහා සමහර මිනිසුන් නිතිපතා තම තුට්ටු දෙක විනාශ කර ගන්නා අයුරු මා දැක තිබුණු නිසා, මට ඒ පිළිබඳව තිබුණේ එක්තරා ආකාරයක කෝපයකි.

එනිසා, විශ්ව විද්‍යාලයෙන් පිටවී රැකියාවක් කිරීම අරඹා මුදල් අතේ ගැවසුනද, මා ලොතරැයි මිල දී ගත්තේ නැත.

නමුත් එක් දිනයක, කුමක්දැයි මට අද අමතක හේතුවක් නිසා, මට රුපියල් දහයය් වැය කර හුූරණ ලොතරැයියක වාසනාව උරගා බලන්නට සිතුණි.

සමහර විට ඒ මොහොතේ මා කුමක් හෝ කාර්යයක් සඳහා නියමිත කාලය උදාවෙන තුරු වෙනත් කරන්නට දෙයක් නොමැතිව, කල් මරමින් සිටියා විය හැක. සමහර විට ලොතරැයි විකුණූ පුද්ගලයා කෙරෙහි මට යම් ක්‍ෂණික අනුකම්පාවක් ඇති වෙන්නට ඇත.

කෙසේ වෙතත්, මේ ඓතිහාසික සිදුවීම වූයේ නුවරඑළිය ප්‍රධාන වීදියේ දී බව මගේ මතකයේ ඇත.

තුනේ පන්තියේ දී මා ලියා මිහිර පත්‍රයට යොමු කළ මගේ පළමු කවිය එහි පළවූ ආකාරය සිහිකරමින් රුපියල් දහයක් දී මා මිලට ගත් මුල්ම හූරණ ලොතරුයියෙන් මට රුපියල් විස්සක මුදලක දිනුමක් හිමිවිය!

ඒ රුපියල් විස්ස මට ඉන් ස්වල්ප මොහොතකට පසු අහිමි වූ බව ද, ඉන් පසු විටින් විට කීප ගුණයක මුදලක් මා අතින් නාස්ති වී ගිය බවද වෙනම කාරණාය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
උද්ධමනයක් නැත, රුපියලට ශත සීයමය යනාදී මැටි කතා කියූ තිලක් රත්නාකර සම්බන්ධව සිටි නිසා දෝ, ලංකාවේ ලොතරැයිවල මිල නම් දශක දෙක තුනක්ම ඉහළ නොගොස් රුපියල් දහයේම පැවතුණි!

කොහොමද වැඩේ?



(image: https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgV4CfT3Dcig1s1Fce53uoEnUD6AlP0vUvY4rVVdWmcYFtMwKOqdk2JwyulLdyI6sg4qtYaaz0HmLvi-Vm7W_aSrFUfeSKkhd8SXyPlwHGpBxvzvuKfdpQndyrNhGkYMkNCw_r2-fpP1Fc/s1600/IMG_0186.jpg)

Friday, 18 March 2016

දෙකේ කොලේ කතාවක් - My lottery win


මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.

ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි.

පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා එහි ගියේ මගේ මල්ලීත් බොහෝ විට අල්ලපු ගෙදර ආනන්ද ජයතිලකත් සමග පයින් ඇවිදගෙන ය.

අපට බස් රථයකින් ගමන් කිරීමට ලැබුණේ මසකට පමණ වරක් අම්මා සමග ගමේ පාරේ දිවෙන 218 බසයෙන් ගනේමුල්ලට යන විට පමණි.

අම්මා අපව ගනේමුල්ලට රැගෙන ගියේ කොණ්ඩය කැප්පවීමටයි.

කොස්සින්න පාසලට නුදුරින් පිහිටි කුඩා කඩ පේළියේ සුදාලැගෙ කඩේ සහ උප තැපැල් කන්තෝරුව අතර සිසිර සැලූන් (බදාදා දිනයන් හි වසා ඇත!) නම් බාබර් සාප්පුවක් තිබුණ ද අප කිසිදා එහි ගොස් නැත.

කොණ්ඩය කැපීම යනු අප ඒ දිනවල මහා කරදරයක් සේ සැලකූ කාරණයක් වුව ද, ගනේමුල්ලට ගිය බොහෝ දිනවලදී දුම්රිය මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි මට අද නම අමතක හෝටලයෙන් සීනි බනිසක් කා තේ බොන්නට ලැබෙන නිසා, මේ ගමන අපට ගෙන දුන්නේ තරමක් දුරට හෝ ප්‍රීතියකි.

සීනි බනිස් කා ප්ලේන්ටියක් බීමට මා ප්‍රිය කළ අනෙත් ස්ථානය නම් කඩවත 223 මාර්ගය කොළඹ නුවර පාරට සම්බන්ධ වූ ටී-ජන්ශනයේ පිහිටා තිබු ජන්ශන් හෝටලය නම් තේ කඩයයි. කඩවත ජන්ශනය විශාල වීමත් සමග පසු කලෙක ඒ ජන්ශන් හෝටලය බ්ලාස් වී ගියා යැයි සිතමි.

අප ජන්ශන් හෝටලයට ගියේ කඩවත නගරයේ කිරිබත්ගොඩ අන්තයටත් එහා පිහිටි ගුණතිලක දොස්තර ගේ ඩිස්පෙන්සරියට ගිය ගමන්වල දී ය. ඔහු, මුල් කාලයේ සිංහල සිනමාවේ සිටි නිර්මාණකරුවකු වූ පී.කේ.ඩී. සෙනවිරත්නගේ බාල සොහොයුරා බව කියවුණි.

ගනේමුල්ලේ දී ළමුන් ගේ කොණ්ඩා කප්පවා, සීනි බනිස් සමග තේ ලබා දුන් පසු අම්මා බොහෝ විට යන්නේ සේන කඩේටයි.

සේනලාට හෙවත් ගුණසිරිලාට කඩ තුනක් විය. එකක යකඩ බඩු ය. එහි ගියේ නම් ඒ තාත්තා පමණි.

අනෙක ඩේ‍රපරි හෙවත් රෙදි පිළි කඩයකි. අම්මා සමහර විට ඒ කඩේට ගොඩ වෙයි. නමුත් ඇය රෙදි මිලදී ගැනීම සඳහා බොහෝ විට ගියේ කඩවත නගරයටයි. කෙළවරේම තිබුණේ අපේ පවුලට අවශ්‍ය සීනි රාත්තලේ, තේ කොළ රාත්තල් බාගේ පත්තර කඩදාසි ගොටුත්, පත්තර කොලවලම එතූ තෝර කරවල, කීරමින්, හාල්මැස්සන් යනාදියත් සිමෙන්ති උරවලින් සෑදූ කඩදාසි බෑගයක දමා මිලට ගත හැකි, අද භාෂාවෙන්, ග්‍රොසරියයි. මේ කඩයේ නම ගුණසිරි ස්ටෝර්ස් වැනි එකකි.

තාත්තාට කියා සතියේ දිනක ගුණසිරි ස්ටෝර්ස් එකෙන් වියළි මිරිස්, කොත්තමල්ලි යනාදිය ගෙන්වා ගන්නා අම්මා, ඒවා සෝදා වියළා සකස් කොට ගෙන මේ මසකට වරක පමණ කෙරෙන ගමන්වලදී ගනේමුල්ලට ගෙන එයි. එහි තිබුණු ඇඹරුම් හලෙන් ඒ ද්‍රව්‍ය ඇඹරී තුන පහ, මිරිස් කුඩු බවට පත්වෙයි.

බිම වැටී තිබුණු රුපියල් දෙකේ කොළයක් මගේ නෙත ගැටුණේ මා පෙර සඳහන් කළ එක් ස්ථානයක දී ය.

දෙකේ කොලේට දැමීම යනු යමක් පහත් කොට සැලකීමයි. එයට හේතුව ඒ කාලයේ මුදල් නෝට්ටු අතරින් අගයෙන් අඩුම නෝට්ටුව වූයේ දෙකේ කොළය වීමයි. අපේ තාත්තා නම් ඊට කලකට රුපියලේ කොළ ද තිබුණු බව මා සමග කියා ඇතත්, මම එවැන්නක් කිසි දිනයක දැක නැත්තෙමි.

දෙකේ කොලේට දැමීමේ කතාව කෙසේ වෙතත්, විවේක කාලයේ පාසල අසල කඩල විකුණූ කඩල ආච්චිගේ කඩල ගොට්ටක මිල ශත පහක් වූ එකල රුපියල් දෙකේ යනු මට නම් ඉතා විශාල මුදලක් විය. බිම වැටී තිබුණු ඒ නෝට්ටුව දැක මා තරමක් තැති ගත්තේ එබැවිනි.

තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා වයසේ සිසුවෙකුට එවැනි තිගැස්මක් ලැබෙන්නට නම් බිම වැටී තිබෙනු දැකිය යුත්තේ අඩු වශයෙන් රුපියල් දෙදාහේ නෝට්ටුවක් බව මම සිතමි.

මේ දෙකේ කොළය යූ.බී. වන්නිනායක මුදල් ඇමති ලෙස සහ විලියම් තෙන්නකෝන් මහ බැංකුවේ අධිපති ලෙස අත්සන් කර තිබුණු, පරාක්‍රමබාහු රජු ගස්ලබු කෑල්ලක් කන ප්‍රතිමාවේ රූපයකින් සැරසුණු දෙකේ කොළයක් විය.

මුදල් ඇමති ද, මහ බැංකුවේ අධිපති ද නෝට්ටුවල අත්සන් කිරීම ලොව පිළිගත් සම්ප්‍රදායයි. පසු කලෙක ලංකාවේ සර්වබලධාරී ජනාධිපතිලා තමන් ම මුදල් ඇමතිකම අයිති කර ගත්තේ, ඒ අත්සන ගැන ඇති වූ කෑදරකමක් නිසා බව මගේ අදහසයි.

එතැනිනුත් එහාට ගිය ර. ප්‍රේමදාස සහ ම. රාජපක්‍ෂ තම රූපය ද, පිළිවෙලින් කාසියකට සහ නෝට්ටුවකට යොදා ගත්තෝය.

තැති ගත් සිතින් යුතුව මා කළේ හෙමින් සීරුවේ පාත් වී ඒ රුපියල් දෙකේ නෝට්ටුව ගෙන කොට කලිසමේ සාක්කුවකට දා ගැනීමයි.

සමහර විට එය නිෂ්ඵල කාර්යයක් වෙන්නට ඉඩ තිබුණත් මා එදා කළ යුතුව තිබුණේ, ඒ නෝට්ටුව අම්මාට පෙන්වා, ඇය ලවා එතැන සිටි පිරිසගෙන් එය ඔවුන්ගේ දැයි විමසීම ය.

නමුත් මේ ගැන මා අම්මාට පවා කීවේ දින කිහිපයකට පමණ පසුව එක් රාත්‍රි කාලයක ඇය කුස්සියේ උයන වේලාවක රහසක් ලෙසිනි.

"දැන් ඉතිං අයිතිකාරයා හොයන්න පුළුවනියැ, එහෙනං ඔය සල්ලි ඔයා ගේ පොතට දාමු!" අම්මා කීවාය.

ඇය එහිදී පොත යනුවෙන් අදහස් කළේ මගේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාස්පොත නොහොත් එමගින් ගනුදෙනු කළ හැකි බැංකු ගිණුමයි.

රුපියලක් ගෙවා, ගමේ උප තැපැල් කාර්යාලයේ දී වුවද අරඹා පවත්වාගෙන යා හැකිවූ ඒ ආකාරයේ ගිණුමකට පොතක් පමණක් නොව විශේෂ ආදායම් මුද්දර වර්ගයක් ඇලවිය හැකි කාඩ් පතක් ද ඇතුළත් විය. ශත විසි පහක් අතේ ඇතිනම් එයින් පෙර කී මුද්දරයක් රැගෙන කාඩ් පතේ ඇලවිය හැකිය. කාඩ්පත සම්පූර්ණ වූ පසු එහි ඇති මුද්දරවල අගය ඉතිරි කිරීමේ ගිණුමට බැර කරවා ගත හැක.

අභ්‍යාස පොතක එකිනෙක ඇලවූ පිටු දෙකක් අතරේ සඟවා තිබුණු තැනින් රුපියල් දෙකේ කොළය ඉවතට ගත් මම පසු දින එය කොස්සින්නේ උප තැපැල් කාර්යාලය වෙතට ගෙන ගොස් බැංකු පොතේ තැන්පත් කළෙමි.

මා මුලින්ම මේ ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ පසු කලෙක උසස් පෙළ සමයේ දී දිග කලිසමක් මැසීමට රෙදි කැබැල්ලක් හෙවත් පීස් එකක් හෙවත් ලෙන්ත් එකක් මිලට ගැනීම සඳහාය.

මාස කිහිපයකට පසුව මා දෙවෙනි වරට ගිණුමෙන් මුදල් ආපසු ගත්තේ ද, ඇඳුම් සඳහාය. එවර මරදානේ ජිල්/මයුරා සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිස දෙකක් මිලට ගත්තෙමි. ඒ පුංචි අම්මා ගේ මංගල උත්සවය දිනයේ ඇඳීමටයි.

උද්ධමනය යන වචනය අපේ එදිනෙදා වාග්මාලාවට ඇතුළත් වී තිබුණු මේ කාලය වෙන විට, මා තුනේ පන්තියේ දී අහුලාගත් දෙකේ කොළය, කමිසයක බොත්තම් කිහිපය තරම්වත් නොවටිනා මුදලක් බවට පත් වී තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
රසිකොලොජියේ පළ වූ ලිපි දෙක තුනකක් ඔස්සේ යමින් ඒ කරුණු වෙනත් ඉහල මානයකට ගෙන යන ලිපි ලියා තම බ්ලොගයේ පළ කළ ඉකොනොමැට්ටා මේ ලිපිය සම්බන්ධයෙන් හෝ, එසේ නොමැති නම්, මා ඊලඟ ඉරිදා පළ කරන්නට බලාපොරොත්තුවෙන ලිපිය ගැන හෝ එසේම කරනු ඇතැයි සිතමි.

(image: http://www.delcampe.net/page/item/id,312127316,var,Sri-Lanka-Ceylon-Ceylan-19680110-Parakramabahu-Two-Rupees-Rs-2-Crisp-Note,language,E.html)

Monday, 14 March 2016

අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation


විසිවෙනි සියවසේ සිව්වෙනි දශකයේ අග භාගයේ දී, කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ කොකිස්කඩේ හන්දියෙන් කොස්සින්න දෙසට දිවෙන මාර්ගයේ සතියකට වරක් හිමිදිරි පාන්දර ඇවිද යන සුවිශේෂී පුද්ගලයෙකි.

කලිසම්, කමිස, ටයි, කෝට් යනාදියෙන් සැරසී, හිසට තොප්පියක් සහ පයට පාවහන් පැළඳ, එක අතකින් බෑගයක් ද, අනෙත් අතෙන් කුඩයක් ද රැගෙන මේ යන්නේ, එකල ඒ ප්‍රදේශයේ ටික්-ටොක් මහත්තයා නමින් ප්‍රකටව සිටි තැනැත්තාය.

විදුලි පහන් කණු නොමැති ඒ මාර්ගය අඳුරු ය. පොළොව හා ගැටෙන ඔහුගේ පාවහන් ටික්-ටොක්, ටික්-ටොක් ආකාරයේ හඬක් නිකුත් කරයි. ඒ හඬින් අවදිවෙන බල්ලෝ ටික්-ටොක් මහත්තයාට බුරා වැටෙති.

ඒ කිසිවක් නොතකා තම ගමනාන්තයට ළඟාවෙන ඔහු, හරියටම පාන්දර පහට මගේ පියා ගේ මහ ගෙදර දොරට තුන්වරක් තට්ටු කර, එක් වරක් "හරිශ්චන්ද්‍ර" යැයි අමතයි.

මේ පැමිණ සිටින්නේ මගේ පියා ගේ ඉංග්ලිෂ් ටියුෂන් මාස්ටර් ය.

මා මීට කලින් ලියා පළ කළ පළමු ලිපියේ (බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English) සඳහන් කළ පරිදි 1956 දී බලයට පත්වුණු රජය සිංහල රාජ්‍ය භාෂාව කළා යැයි ද, එනිසා සිංහලෙන් ඉගෙන ගන්නට සිදුවුණා යැයි ද කියමින් සොලමන් බණ්ඩාරනායකට කුණුහරුපයෙන් බනින සම-හරක් සිතාගෙන සිටින්නේ ඊට පෙර කාලයේ සමස්ත ඉල්ලංකාවේ ම ඉංග්ලිෂ් දෝරේ ගලමින් තිබුණු බවයි.

නමුත් මගේ පියා පාසල් අධ්‍යාපනය ලැබූ කාලයේ ඉංග්ලිෂ් මීඩියම් ඉගෙන ගැනීමට නම් නගරයේ මුදල් අය කරන පාසලකට යා යුතු වී ඇත. ගමේ ගොඩේ පාසල්වල පැවති වර්නකියුලර් අධ්‍යාපන ක්‍රමයේ මාධ්‍යය වූයේ සිංහල භාෂාවයි. ඒ ගමේ අධ්‍යාපනය අවසානයේ ලබා ගත හැකි හොඳම රැකියාව වූයේ රජයේ උපගුරු තනතුරයි. මගේ මව් පිය දෙපාර්ශවයේ ම, ඥාතීන් අති බහුතරයක් ගුරුවරු වී ඇත්තේ එහෙයිනි.

ඒ අතුරු කතාව කෙසේ වෙතත්, ටික්-ටොක් මහත්තයා ටක්-ටුක් කියා නිවසේ දොරට තට්ටු කරන මොහොත වන විට, එවකට ගැටවර වයසේ පසුවූ මගේ පියා අවදි වී, ලක ලැස්ති වී, චිමිනි ලාම්පුව පත්තු කර, පාඩම් පොත් සාලයේ මේසය උඩ දිග හැර තබා, දොර අසලට වී සිටිය යුතුය. තුන්වරක් කෙරෙන තට්ටු කිරීම සහ ඒ සමග කෙරෙන ඇමතීම ඇසුණු ක්‍ෂණයකින් නිවසේ දොර විවර නොවුණහොත් වහා ආපසු හැරෙන ඉංග්ලිෂ් මාස්ටර් පසු පස නොබලා පිටවී යනු ඇත.

මේ ඉංග්ලිෂ් පාඩමේ මූලික ක්‍රමවේදය වී ඇත්තේ, කටපාඩම සහ ඩික්ටේෂන්, පාඩම් හඬ නගා කියවීම, පිටපත් කිරීම, ක්‍රියාපද වර නැගීම යනාදියයි.

මෙලෙස ඉංග්ලිෂ් තරමක් කට ගා ගත් මගේ පියාට ඊළඟට උපදෙස් ලැබී ඇත්තේ ඉංග්ලිෂ් සහ සිංහල ලියවිලි සන්සන්දනයෙන් ඉංග්ලිෂ් භාෂාව ඉගෙන ගැනීමටයි. මේ සඳහා උපකාරක මෙවලම වී ඇත්තේ දිනපතා නිකුත්වෙන ලේක්හවුස් ප්‍රකාශනයන් වූ දිනමිණ සහ ඩේලි නිවුස් පුවත්පත් දෙකයි.

ඒ කාලයේ මේ පුවත්පත් දෙකේ ම කතුවැකි යනු ඇත්තෙන් ම එකම ලියවිල්ලකි. ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ ඩේලි නිවුස් පත්‍රය සඳහා රනිල් වික්‍රමසිංහ ගේ සීයා ගේ අනුමැතිය සහිතව ලියවෙන කතුවැකිය, සිංහලට පරිවර්තනය වී, දිනමිණ පුවත් පතේ පළ වීමයි.

සිංහලෙන් පළවූ බොහෝ පුවත් සහ ප්‍රධාන ලිපි ද මේ ආකාරයේ පරිවර්තන වී ඇත. එනිසා, සිංහල පුවත්පත් කලාවේදියෙකු වීමට මූලික සුදුසුකම වී ඇත්තේ සිංහලෙන් නිර්මාණාත්මකව ලිවීමේ හැකියාව ම නොව, ඉංග්ලිෂ් සිංහල පරිවර්තන හැකියාවයි.

දිනපතා කොළඹ-නුවර පාරේ කොකිස් කඩේ හන්දියට ඇවිද යන මගේ පියා, පෙර ඇණවුම් කර තිබෙන ඩේලි නිවුස් සහ දිනමිණ පුවත්පත් දෙක ලබා ගනී. ඊළඟට ඔහු ගේ දවසේ වැඩි හරියක් ගතවෙන්නේ පෙර කී කතුවැකි යුගල කියවමින්, සන්සන්දනය කරමින්, ශබ්දකෝෂය පරිශීලනය කරමින් අභ්‍යාසයේ නිරත වීමයි.

ගොවිතැන් බතින්, බුලත් පුවක් පොල් ආදී ගෙවතු ආදායමින් ජීවත් වූ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු ගම්බද ගොවි පවුලක වැඩිමහල් දරුවා වූ මගේ පියා ගේ මේ ඉංග්ලිෂ් ඉගෙනීම සඳහා, ගුරුවරයාට ගෙවිය යුතු ශත පනහක් වැනි මුදලද, දිනපතා පත්තර දෙක සඳහා ශත දහයක් හෝ පහළොවක් වැනි මුදලක් ද, ඔහු ගේ දෙමව්පියන් ඉතිරිකරගෙන ඇත්තේ ඉතා අසීරුවෙනි.

මේ ආකාරයෙන් ඉංග්ලිෂ් ඉගෙනීම එතරම් කාර්යක්‍ෂම වී යැයි මම නොසිතමි. නමුත්, එය මගේ පියාට හොඳ ආරම්භයක් ඵලදායී ආකාරයට ලබා දී ඇත.

එකල ගැමි ජනතාවට හිමිවුණු වර්නකියුලර් ක්‍රමයේ අධ්‍යාපනය ලබා, රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය ඇරඹූයේ වුවද, පසු කලෙක ස්වඋත්සායෙන් උගෙන ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමටත්, අනතුරුව උසස් පෙළ, ජී.ඒ.කිව්. යනාදී විභාග සමත් වී වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙසින්, ඒ වන විට ලංකාවේ ආරම්භ වී තිබුණු, විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගන්නටත්, ඒ ඉංග්ලිෂ් ඉගෙනුම ඔහුට අනිවාර්යෙන් ම ප්‍රයෝජනවත් වෙන්නට ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ මාතෘකාව යටතේම මම මීට කලින් වෙනත් ලිපි දෙකක් පළ කළෙමි.

1. බණ්ඩාරනායක මුවහම සහ ඉංගිලිසි (ඉංගිරිසි/ඉංග්‍රීසි) ඉගෙනීම - Studying English Vs studying in English

2. එදා බමුණු කුලය බිඳ වැටීම ගැන අදත් දුක් වෙන්නෝ - la revolución de 1956

ඒ හා සම්බන්ධ සාකච්ඡාවකදී මිතුරෙකු තවත් මිතුරෙකු කී දෙයක් උපුටා දැක්වූයේ මෙලෙසය.

"අපේ අයට ඉංග්ලිෂ් බැරි වීම ගැන අපට බණ්ඩාරනායක මුවහමට තඩි බාලා බේරෙන්න පුළුවනි. නමුත් ගණිතය අසමත් වීම ගැන ඒ විදියට කාට දොස් කියන්නද?"