
ෆෙඩරල් රාජ්‍යයක් වන ඕස්ටේර්ලියාවේ පාසල් අධ්‍යාපනය යනු ප්‍රාන්ත රාජ්‍යවලට අයිති විෂයයකි. එනිසා, සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික සමානතා තිබුණ ද, එක් එක් ප්‍රාන්තයේ සුළු වෙනස්කම් ද තිබේ.
ඒ සඳහා එක් උදාහරණයක්, එනම් පාසල් අධ්‍යාපනය ඇරඹීම සඳහා ළමුන් සපුරා තිබිය යුතු අවම වයස පිළිබඳ නීතියේ වෙනස පිළිබඳව මම "
හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son" ලිපියේ සඳහන් කළෙමි.
තවත් උදාහරණයක් සඳහන් කරතොත්, අප මුලින් ජීවත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වන විට ද පැවතියේ ප්‍රෙප් නොහොත් ප්‍රිපෙයාටරි නම් වූ වසරෙන් ඇරඹෙන පාසල් අධ්‍යාපනය එක එල්ලේ වසර දහතුනක් ලැබූ පසු ළමුන්ට ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන වූ වීසීඊ (වික්ටෝරියන් සර්ටිෆිකේට් ඔෆ් එඩියුකේෂන්) නම් වූ විභාගයට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන ක්‍රමයකි.
ලංකාවේ සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කලකට පෙර වික්ටෝරියාවේ දහවෙනි ශ්‍රේණියේ සිසුන්ට සඳහා ද පැවැත්වී ඇති නමුදු ඒ කාලය වන විට එය අහෝසි කර තිබුණි.
ඒ ගැන මා එකල මගේ පර්යේෂණ නියාමක ආචාර්ය ඇන්ඩෘ වර්ත්ගෙන් විමසූ විට ඔහු කීවේ, දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගය අවසානයේ පාසල්වලින් හැලෙන සිසුන් සංඛ්‍යාව, ඒ විභාගය අහෝසි කළ පසු, විශාල වශයෙන් අඩු වූ බවයි. වෙනත් වචනවලින් කිවහොත් දහවෙනි ශ්‍රේණියේ විභාගය අහෝසි කිරීමෙන් පසු දහතුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රතිශතය ඉතා ඉහළ ගොස් ඇත.
එනම්, ඕ ලෙවල් පමණක් සමත් වික්ටෝරියානු වැඩිහිටි පිරිස අඩු වී ඇත!
නමුත් අප සිඩ්නි නගරය පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි පසු දුටුවේ, මෙහි පාසල්වල දහවෙනි ශ්‍රේණිය අවසානයේ පාසල් සහතිකය (ස්කූල් සර්ටිෆිකේට්) නමින් විභාගයක් පැවැත්වෙන බවයි. අපේ දියණියට ද එයට පෙනී සිටීමට සිදුවිය.
පෙර කී හේතුව නිසා ම දෝ, අපේ දියණිය පෙනී සිටි වසරෙන් පසුව ඒ පාසල් සහතිකය විභාගය නැවත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වුණේ නැත.
ඇත්තටම ඒ පැවති පාසල් සහතික විභාගය කිසි වැදගත්කමකින් යුතු වූ එකක් නොවුනේ එහි ප්‍රතිඵල කිසිදු කාරණයක් සඳහා ඒ වන විටත් උපයෝගී කර ගැනුණේ නැති වීමයි!
විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති සඳහා සිසුන් තම විෂයයන් තෝරා ගන්තේ ඒ දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගයේ ප්‍රතිඵල මත නොව තම තමන් ගේ කැමැත්ත අනුව ය. වසර කිහිපයකට පෙර, ඒ දහවැන්නේ ඕ/ලෙවල් විභාගය අහෝසි කළායින් පසුව වුවද, උසස් පෙළ සඳහා දහවැන්නේ දී හැදෑරු විෂයයන් මත පදනම් නොවී තමන්ට කැමති විෂයයන් තෝරා ගත හැක. නමුත්, විෂය නිර්දේශයේ ඇති හැට-හුටහාමරක් වූ සෑම විෂයයක් ම, සෑම පාසලක ම උගන්වන්නේ නැති බව ද කිව යුතු ය.
පුතා ගේ අද වයසේ මා එදා සිටියදී, මගේ අම්මා ගේ කැමැත්ත වූයේ මා උසස් පෙළ සඳහා ගණිතය නොව ජීව විද්‍යා විෂයයන් තෝරා ගැනීම වුව ද, මම ඒ විකල්පය පිළිබඳව දෙවරක් තියා එක් වරක්වත් නොසිතුවෙමි. වෘත්තියෙන් ගුරුවරයෙකු ද, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වූ, මගේ තාත්තා නම් කීවේ උඹට කැමති දෙයක් උඹ කරපන් කියා ය. ඔවුන් කුමක් කීව ද, උසස් පෙළ සඳහා ගණිතය හැදෑරීමට මා ගෙන තිබුණු තීරණය වෙනස් වෙන්නට ඉඩක් නොතිබුණි.
එනිසා, මගේ පුතා,
තම සොහොයුරිය කළ පරිදි ම, විද්‍යා විෂයයන් හැදෑරීම සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීම ගැන මට කිසිසේත් ම ප්‍රශ්නයක් වූයේ නැත.
මා ප්‍රිය බිරිඳ, අද පුතා ගේ වයසේ සිටිය දී මේ උසස් පෙළ විෂයය තීරණය ගන්නට සිදු වුණු අවස්ථාවේ දී, ඇගේ පාසලේ ගුරුවරියන් මෙන් ම, මා අසා ඇති පරිදි ඇගේ දෙමව්පියන් ද පවසා ඇත්තේ, ඇය සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති නිසා, ජීව විද්‍යා විෂයයන් නොව, ගණිතය තෝරා ගන්නා ලෙසයි. කෙසේ නමුත්, ඇය ගේ කැමැත්ත වූයේ ජීව විද්‍යාවයි.
පසු කලෙක ඇය කළ තවත් එක් වැදගත් තේරීමක් මෙන් ම, උසස් පෙළ සඳහා ජීව විද්‍යා ධාරාව (එනම්, උද්භිද, සත්ව, රසායන සහ භෞතික විද්‍යාව) තෝරා ගැනීම ද, ඉතා නිවැරදි, ජීවිත කාලය පුරා අතිශය සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන තීරණයක් විය.
පුතා විද්‍යා විෂයන් තෝරා නොගැනීම පිළිබඳව ඇයට මද කනස්සල්ලක් ඇති වුණේ යැයි මට සිතේ.
අඩු තරමේ රසායන විද්‍යාවවත්?
අපේ පුතා එච්.එස්.සී නමින් හැඳින්වෙන උසස් පෙළ සඳහා තෝරා ගත් විෂයයන් මෙසේ ය.
ගණිතය (විෂයය ඒකක තුනක්)
භාෂාව (විෂයය ඒකක දෙකක්)
ආර්ථික විද්‍යාව (විෂයය ඒකක දෙකක්)
ඉතිහාසය (විෂයය ඒකක දෙකක්)
සමාජය සහ සංස්කෘතිය (විෂයය ඒකක දෙකක්)
ආගම් අධ්‍යයනය (විෂයය ඒකක එකක් පමණි)
මේ ගෙවෙන්නේ ඔහුගේ එකොළොස් වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ අවසන් සති දෙකයි. ඔක්තෝබර් දෙවන සතියේ යළි පාසල ඇරඹුණු විට එළැඹෙනු ඇත්තේ පුතාගේ අවසන් පාසල් වසර ය.
ඒ වසරේ අවසානය ඔහුගේ මෙන්ම දෙමව්පියන්වන අපේ ජීවිතවල ද සුවිශේෂී කඩඉමක් වෙනු ඇත!
-රසිකොලොජිස්ට්
(image: )