Showing posts with label පවුලේ තොරතුරු. Show all posts
Showing posts with label පවුලේ තොරතුරු. Show all posts

Friday, 29 May 2026

තවත් ශෝක ප්‍රකාශයක් - Fading memories



අකාලයේ මිය ගිය අපේ බාප්පා සූරියආරච්චිගේ (සරත්) චන්‍ද්‍රසිරි ගේ අවමංගල්‍යයේ දී ඔහුගේ මිතුරෙකු විසින් ලියා පළ කර බෙදා හරිනු ලැබූ ශෝක ප්‍රකාශයක් මා මීට දින කිහිපයකට පෙර පළ කළෙමි.

මේ මිතුරන් පිරිසක් විසින් පළ කර බෙදා හැරුණු එවැනි ම ශෝක ප්‍රකාශයකි.


පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පරකන්දෙණියේ විසු අප කලණ මිත්
සරත් කුමාර තරුණ මහතාණන්ගේ
හදිසි අභාවප්‍රාප්තිය නිමිත්තෙන් දුක් සුසුම් හෙළන අපි
මෙසේ හඬා වැලපෙමු.

අපගේ නොවක් පියතම හිතවතෙකු ලෙද
දන සිත් දිනාගෙන කටයුතු කරන ලද
හිතවත් සරත් වියොවුණි සදහටම අද
කෙලෙසින් අනේ, සනසාගත හැකිද හද?

ඇසුරට පැමිණි හැමගෙම ආදරය ලැබ
හිත මිතුරනගෙ සිත් කළ හැමවිටම පොබ
සසරෙහි වසන තුරු පිය මිත් සඳුනි ඔබ
අප හා මිතුරු වී ගෙන දෙනු මැනව සුබ

කළ ගුණ හැඳින කටයුතු කළ සියලු සමේ
පැසසුම ලැබී ඔබ හැම දෙනෙකුගෙම ගමේ
හිතවත මිහිර දැනගෙන සිටි මිතුරු පෙමේ
මුළු ගම් පළාතෙම ඔබෙ ගුණ සුවඳ හැමේ

කළ උපකාර දුබලයනට සියලු වෙලේ
ඔබ සිහිවන විට දි දෙනෙතින් කඳුළු සැලේ
පිය මිත් සඳුනි, පෙන්වූ මිත් දහමෙ බලේ
ඔබ ගැන අහෝ හද ඉවසනු බැරිව පාලේ

මිතුරෙක් නොවේ ඔබ ඉටු දෙවියෙකු වැනි ය
මිතුරන් පිරිස අද ඔබ නොමැතිව තනි ය
පැවසූ විහිලු හා රස බස් අම පැණි ය
මොකටද සරත් නොමැතිව පරකන්දෙණිය?

පියතම කලණ මිත සිරිමත දහම රැක
ඉවසා ගන්ට නොහැකිය එන හදෙහි දුක
සදහට මරා මරණය සහ උපත දෙක
සැනසෙනු මැනව අජරාමර නිවන දැක

මේ ශෝකයට පත්,


ජේ. ඒ. අමරසේන      පී. ඒ. විමලසේන
ජේ. ඒ. අබේපාල      ඩබ්ලිව්. ඒ. නන්දසේන
ඩබ්ලිව්. සෝමපාල      ඩබ්ලිව්. ඒ. සෝමපාල
ආර්. ඒ. ඌගිස් අප්පුහාමි

- රසික සූරියආරච්චි

Tuesday, 26 May 2026

ශෝක ප්‍රකාශයක් - Condolences


අපේ චූටි බාප්පා අකාලයේ මිය ගොස් අවමංගල්‍යය පැවැත්වුණු දා ඔහුගේ මිතුරන් විසින් ලියා මුද්‍රණය කළ ශෝකප්‍රකාශ දෙකක් ඔවුන්, බාප්පාට අවසාන ගෞරව දක්වන්නට එහි පැමිණි ඥාතී හිතමිතුරන් අතරේ බෙදා හැරියා.

මේ ඉන් එකක්.


සෝ කඳුළු බිඳෙකි මේ.

පරකන්දෙනියේ විසූ සත්ගුණවත්
සරත් කුමාර චන්ද්‍රසිරි සූරියආරච්චි

මිතුරාගේ අභාවය ගැන මගේ හදපතුලෙන් නැගෙන

කණගාටුවයි මේ.

ලෝනා පහන් ගම් පියසම එළිය කෙරූ
පාළුව රජවෙමින් අප නෙත් කඳුළු පිරූ
හිතවත්කමෙන් ආදරයෙන් සෙනෙහේ දැරූ
අවසන් මොහොත ළංවිය අප නොසිතූ විරූ

මුමුණන විටදි පවනින් කෙඳිරිලි ගීත
දොම්නස නැගෙයි හදවත් කරමින් භීත
නොදනිමි ඔබෙ ගමන සිදුවන බව මෑත
පතනෙමු නිවන් සුව එක්කරමින් දෝත

මිතුරෙකු නොවේ ඔබ මාගේ සොයුරෙක් ය
ඒ ගුණ සුවඳ මුසුකල ගම අඳුරේ ය
ඉපදුන සැමට නියතය යන ගමනක් ය
හිතවත නොමැති මේ ගම මට සොහොනක් ය

බුදු බණ වෙතට මොහොතක් යාකරමි සවන්
සිසිලක් දැනේ එතුළින් දුක කරමි තුරන්
මින්මතු අතනොවී බාධක මරණ මෙවන්
අත්වේවා ඔබට දුක නැති අමර නිවන්

මේ ඔබේ කලණ මිතුරු,

චන්ද්‍රසේන රණසිංහ




දැනුත් සමහරවිට මේ ශෝකය ප්‍රකාශකිරීමේ සම්ප්‍රදාය ලංකාවේ අනුගමනය වෙනවා විය යුතුයි.

දෙවෙනි ශෝක ප්‍රකාශය හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

- රසික සූරියආරච්චි

Sunday, 24 May 2026

අකාලයේ මියගිය චූටි බාප්පා - Suriyaarachchige Chandrasiri, my father's youngest brother



මේ ඡායාරූපය සූරියආරච්චිගේ චන්ද්‍රසිරිගේ ය. එනම් සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර හෙවත් අපේ තාත්තාගේ බාල ම සොහොයුරාගේ ය.

අප ඔහු ඇමතුවේ "චූටි බාප්පා" යන නමිනි. ආච්චී ඔහු ගැන කතා කළේ "පොඩි කොලුවා" කියාය. ගමේ මිනිසුන් ඔහු ගැන දැන සිටියේ "සරත් චන්ද්‍රසිරි" කියාය. ඔහු සමහර අවස්ථාවල තමන්ගේ නම ලියා ඇත්තේ "සරත් කුමාර් චන්ද්‍රසිරි" කියාය.

පවුලේ බඩ පිස්සා වූ ඔහු අවාසනාවන්ත ලෙස අවුරුදු තිහේ දී තම ජීවිතය හැර ගියේය. මගේ මතකයට අනුව ඒ මොළයේ නහරයක් පිපිරීම නිසා ඇති වූ යේ අන්තඃ මොළ රක්තපාතය නිසාය.

චූටි බාප්පා සාමාන්‍ය පෙළ සමත් වූ අයෙකු යැයි මම සිතමි. ඔහුට යම් ඉංග්‍රීසි භාෂා දැනුමක් ද තිබුණි. මිය යන විට ඔහු සේවය කරමින් සිටියේ කොළඹ කොටුවේ පිහිටි ජුවෙල් ට්‍රේඩ් ඉන්ටර්නැෂනල් නම් ව්‍යාපාරයේය. එහි හිමිකරු වූයේ අද්දර ආරච්චිගේ සැම්සන් නමැත්තෙකි. ඔහු පසු කාලයේ ලංකාවේ ජනප්‍රිය වූ නළුවෙකුගේ පියා ය.

චූටි බාප්පා ඔහුගේ මිතුරන් අතර ජනප්‍රිය චරිතයක් වී යයි සිතමි. නැන්දලාගේ විවාහ උත්සවවලදී ම නිවසේ සිදු කෙරුණු විවිධ කටයුතුවලට ඔහුගේ මිතුරන් පැමිණ උදව් කරනවා මගේ මතකයේ රැඳී ඇත.

බාප්පාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ මිතුරන් විසින් කවියෙන් ලියා මුද්‍රණය කරන ලද ශෝක ප්‍රකාශ දෙකක් ද කියවන ලදී.

ඒ ශෝක ප්‍රකාශ කරන්න මම මීලගට පළ කිරීමට අදහස් කරමි.

චූටි බාප්පා සුරා පානය කරනවා හෝ දුම් පානය කරනවා හෝ වෙනත් අකටයුත්තක යෙදෙනවා හෝ මා දැක නැත. ඔහු මකුළුවන්ට සහ කැරපොත්තන්ට පවා බය පුද්ගලයෙකි. එසේ නමුත් ඔහු පරිපූර්ණ මිනිසකු ලෙස ජීවත් වූ අයෙකු යැයි මම නොකියමි. අප සියලු දෙනා මෙන්ම ඔහු ගේ ද යම් යම් වැරදි තියෙන්ට ඇත.

ඔහු මිය යන විට මගේ වයස අවුරුදු දොළහක් පමණ නිසා, චූටි බාප්පා පිළිබඳව මගේ මතකය සීමාසහිත එකකි. එසේ වෙතත් විටින් විට ඔහු පිළිබඳව විවිධ රසවත් කතා මගේ සිතට නැගේ.

ඉදිරි කාලයේ දී ඒවා අකුරු කිරීමට බලාපොරොත්තු වෙමි.

- රසික සූරියආරච්චි

Tuesday, 12 September 2017

සිඩ්නි පැත්තේ ඒ-ලෙවල් විභාග විස්තර - My son is entering his last year at school soon!


ෆෙඩරල් රාජ්‍යයක් වන ඕස්ටේ‍ර්ලියාවේ පාසල් අධ්‍යාපනය යනු ප්‍රාන්ත රාජ්‍යවලට අයිති විෂයයකි. එනිසා, සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ මූලික සමානතා තිබුණ ද, එක් එක් ප්‍රාන්තයේ සුළු වෙනස්කම් ද තිබේ.

ඒ සඳහා එක් උදාහරණයක්, එනම් පාසල් අධ්‍යාපනය ඇරඹීම සඳහා ළමුන් සපුරා තිබිය යුතු අවම වයස පිළිබඳ නීතියේ වෙනස පිළිබඳව මම "හතර මහ බැලුම් - පුතා ගැන කෙටි සටහනක් :: A note about my son" ලිපියේ සඳහන් කළෙමි.

තවත් උදාහරණයක් සඳහන් කරතොත්, අප මුලින් ජීවත් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ඒ වන විට ද පැවතියේ ප්‍රෙප් නොහොත් ප්‍රිපෙයාටරි නම් වූ වසරෙන් ඇරඹෙන පාසල් අධ්‍යාපනය එක එල්ලේ වසර දහතුනක් ලැබූ පසු ළමුන්ට ලංකාවේ උසස් පෙළ විභාගයට සමාන වූ වීසීඊ (වික්ටෝරියන් සර්ටිෆිකේට් ඔෆ් එඩියුකේෂන්) නම් වූ විභාගයට පමණක් මුහුණ දෙන්නට සිදුවෙන ක්‍රමයකි.

ලංකාවේ සාමාන්‍ය පෙළ වැනි විභාගයක් කලකට පෙර වික්ටෝරියාවේ දහවෙනි ශ්‍රේණියේ සිසුන්ට සඳහා ද පැවැත්වී ඇති නමුදු ඒ කාලය වන විට එය අහෝසි කර තිබුණි.
ඒ ගැන මා එකල මගේ පර්යේෂණ නියාමක ආචාර්ය ඇන්ඩෘ වර්ත්ගෙන් විමසූ විට ඔහු කීවේ, දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගය අවසානයේ පාසල්වලින් හැලෙන සිසුන් සංඛ්‍යාව, ඒ විභාගය අහෝසි කළ පසු, විශාල වශයෙන් අඩු වූ බවයි. වෙනත් වචනවලින් කිවහොත් දහවෙනි ශ්‍රේණියේ විභාගය අහෝසි කිරීමෙන් පසු දහතුන් වසරක් පුරා පාසල් අධ්‍යාපනය ලබා ගන්නා ප්‍රතිශතය ඉතා ඉහළ ගොස් ඇත.

එනම්, ඕ ලෙවල් පමණක් සමත් වික්ටෝරියානු වැඩිහිටි පිරිස අඩු වී ඇත!

නමුත් අප සිඩ්නි නගරය පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණි පසු දුටුවේ, මෙහි පාසල්වල දහවෙනි ශ්‍රේණිය අවසානයේ පාසල් සහතිකය (ස්කූල් සර්ටිෆිකේට්) නමින් විභාගයක් පැවැත්වෙන බවයි. අපේ දියණියට ද එයට පෙනී සිටීමට සිදුවිය.

පෙර කී හේතුව නිසා ම දෝ, අපේ දියණිය පෙනී සිටි වසරෙන් පසුව ඒ පාසල් සහතිකය විභාගය නැවත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවැත්වුණේ නැත.

ඇත්තටම ඒ පැවති පාසල් සහතික විභාගය කිසි වැදගත්කමකින් යුතු වූ එකක් නොවුනේ එහි ප්‍රතිඵල කිසිදු කාරණයක් සඳහා ඒ වන විටත් උපයෝගී කර ගැනුණේ නැති වීමයි!

විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්ති සඳහා සිසුන් තම විෂයයන් තෝරා ගන්තේ ඒ දහවෙනි ශ්‍රේණියේ පැවති විභාගයේ ප්‍රතිඵල මත නොව තම තමන් ගේ කැමැත්ත අනුව ය. වසර කිහිපයකට පෙර, ඒ දහවැන්නේ ඕ/ලෙවල් විභාගය අහෝසි කළායින් පසුව වුවද, උසස් පෙළ සඳහා දහවැන්නේ දී හැදෑරු විෂයයන් මත පදනම් නොවී තමන්ට කැමති විෂයයන් තෝරා ගත හැක. නමුත්, විෂය නිර්දේශයේ ඇති හැට-හුටහාමරක් වූ සෑම විෂයයක් ම, සෑම පාසලක ම උගන්වන්නේ නැති බව ද කිව යුතු ය.

පුතා ගේ අද වයසේ මා එදා සිටියදී, මගේ අම්මා ගේ කැමැත්ත වූයේ මා උසස් පෙළ සඳහා ගණිතය නොව ජීව විද්‍යා විෂයයන් තෝරා ගැනීම වුව ද, මම ඒ විකල්පය පිළිබඳව දෙවරක් තියා එක් වරක්වත් නොසිතුවෙමි. වෘත්තියෙන් ගුරුවරයෙකු ද, ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වූ, මගේ තාත්තා නම් කීවේ උඹට කැමති දෙයක් උඹ කරපන් කියා ය. ඔවුන් කුමක් කීව ද, උසස් පෙළ සඳහා ගණිතය හැදෑරීමට මා ගෙන තිබුණු තීරණය වෙනස් වෙන්නට ඉඩක් නොතිබුණි.

එනිසා, මගේ පුතා, තම සොහොයුරිය කළ පරිදි ම, විද්‍යා විෂයයන් හැදෑරීම සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීම ගැන මට කිසිසේත් ම ප්‍රශ්නයක් වූයේ නැත.

මා ප්‍රිය බිරිඳ, අද පුතා ගේ වයසේ සිටිය දී මේ උසස් පෙළ විෂයය තීරණය ගන්නට සිදු වුණු අවස්ථාවේ දී, ඇගේ පාසලේ ගුරුවරියන් මෙන් ම, මා අසා ඇති පරිදි ඇගේ දෙමව්පියන් ද පවසා ඇත්තේ, ඇය සාමාන්‍ය පෙළ විභාගයේ දී ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ඇති නිසා, ජීව විද්‍යා විෂයයන් නොව, ගණිතය තෝරා ගන්නා ලෙසයි. කෙසේ නමුත්, ඇය ගේ කැමැත්ත වූයේ ජීව විද්‍යාවයි.

පසු කලෙක ඇය කළ තවත් එක් වැදගත් තේරීමක් මෙන් ම, උසස් පෙළ සඳහා ජීව විද්‍යා ධාරාව (එනම්, උද්භිද, සත්ව, රසායන සහ භෞතික විද්‍යාව) තෝරා ගැනීම ද, ඉතා නිවැරදි, ජීවිත කාලය පුරා අතිශය සතුටුදායක ප්‍රතිඵල ලබා දෙන තීරණයක් විය.

පුතා විද්‍යා විෂයන් තෝරා නොගැනීම පිළිබඳව ඇයට මද කනස්සල්ලක් ඇති වුණේ යැයි මට සිතේ.

අඩු තරමේ රසායන විද්‍යාවවත්?

අපේ පුතා එච්.එස්.සී නමින් හැඳින්වෙන උසස් පෙළ සඳහා තෝරා ගත් විෂයයන් මෙසේ ය.
ගණිතය (විෂයය ඒකක තුනක්)
භාෂාව (විෂයය ඒකක දෙකක්)
ආර්ථික විද්‍යාව (විෂයය ඒකක දෙකක්)
ඉතිහාසය (විෂයය ඒකක දෙකක්)
සමාජය සහ සංස්කෘතිය (විෂයය ඒකක දෙකක්)
ආගම් අධ්‍යයනය (විෂයය ඒකක එකක් පමණි)
මේ ගෙවෙන්නේ ඔහුගේ එකොළොස් වෙනි ශ්‍රේණියේ අවසන් වාරයේ අවසන් සති දෙකයි. ඔක්තෝබර් දෙවන සතියේ යළි පාසල ඇරඹුණු විට එළැඹෙනු ඇත්තේ පුතාගේ අවසන් පාසල් වසර ය.

ඒ වසරේ අවසානය ඔහුගේ මෙන්ම දෙමව්පියන්වන අපේ ජීවිතවල ද සුවිශේෂී කඩඉමක් වෙනු ඇත!

-රසිකොලොජිස්ට්

(image: )

Wednesday, 6 September 2017

හතර විලිලැජ්ජාවයි හෙවත් අපේ දියණිය උසස් පෙළ සඳහා කලා විෂයයන් තෝරා ගත් කතාව සහ පසු විපරම! - Arts and crafts


මගේ දියණිය උසස් පෙළ විභාගය සඳහා කලා විෂයයන් තෝරා ගැනීම ගැන මීට වසර කිහිපයකට පෙර මා ලියූ ලිපියක සරදම් බසින් මා නෝක්කාඩුවක් ලියූවේ මේ ආකාරයටයි.
මගේ හදවත බරය. සිත දුකෙන් පිරී ඇත. වෙලාවෙන් වෙලාවට හෝස් ගා සුසුමක් පිටවේ. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා සේ දැනේ.

ඒ මදිවාට මගේ නෙත් දෙක ද තෙත් වී ඇත!

අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුණේ?

අපේ දියණියට උසස් පෙළ විභාගයට කලා විෂයයන් ඉගෙන ගැනීමට අවශ්‍ය වී ඇත!

විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරලා!)

අනේ, සෝමලතා සුබසිංහ වටහාගෙන හිටි ඒ සත්‍යය, දූගේ අම්මයි, මායි දෙන්නම හොඳින් වටහාගෙන පිළිපැදපු ඔය සත්‍යය, අනේ, ඒ සත්‍යය අපේ දුවගේ හිතට කා-වද්දන්න.

අනේ දුවේ මේ මොකක්ද ඔයා කරගන්න යන්නේ?

ඔයා පොඩි කාලේ ම, අම්මා ඔයාට සෙල්ලම් කරන්න මෙව්වා එකක් අරං දුන්නා ඔයාට මතකද?

සීයාගේ වයස මගේ වයස වගේ දෙගුණයයි. ඔයා ගේ වයස මගේ වයසෙන් හතරෙන් එකයි. තව අවුරුදු දහයකින් සීයා ගේ වයස ඔයාගේ වයස වගේ කී ගුණයක්ද? වගේ ගණං ප්‍රශ්න අහලා මං ඔයා ගේ හිතේ ගණිතයට තියෙන උනන්දුව වැඩි කරන්න හැදුවා මතකද?

මෙගා ෆැන්ටා බෝතලේ දාන්න ඕනෑ, ෆ්‍රිජ් එකේ දොරේ කොයි කෙළවරේද, හැන්ඩ්ල් එක තියෙන පැත්තේද, සරනේරුව තියෙන පැත්තේද? වගේ එදිනෙදා සරල ගැටලු ගැන කතා කරලා මං ගූර්ණය වගේ භෞතික විද්‍යා සංකල්ප ඔයාට වටහලා දෙන්න හැදුවා මතකද?

ඉස්සෙල්ලා තාත්තා වගේ කැම්පස් යනවා, ඊට පස්සේ අම්මා වගේ හොස්පිටිතාලේ යනවා කියලා ඔයා පොඩි කාලේ කියනවා අහලා අපේ බබාත් අපි වගේමයි හිතන්නේ පතන්නේ කියලා ඔයාගේ අම්මත් මාත් කොච්චරක් කියලා සතුටු වුණාද?

"තාත්තේ, මට ජර්නලිස්ට් කෙනෙක් වෙන්න ඕනෑ!" ය කියලා මේ ළඟදී දවසක ඔයා කිව්වහම මං මුලින්ම හිතුවේ ඔයා නිකං විහිළුවක් කරනවා කියලයි.

ඒත් අවස්ථාව ලැබුණු ගමන් ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වගේ විෂයයන් ඔයා අලුයම ඉවත ලූ කෙළ පොදක් වගේ බැහැර කරද්දී මට තේරුණා වැඩේ කපෝතියි කියලා දුවේ.

මේ සුව පහසු කොට්ටේ ඉන්නේ නැතුව කූඩැල්ලෙක් වගේ ඉවතට ඇදිලා යන්නේ ඇයි දුවේ?

අඩු තරමේ වාණිජවත්?

ප/ලි
සෝමලතා සුබසිංහ ඇය ගේ ඉහත ගීතයේ කෙලෙස ලිව්වද අන්තිමේ දී ඇගේ දුව කෞෂල්‍යා ෆර්නැන්ඩු ඉගෙන ගත්තේ කලා විෂයයන් ය. ඒ මදිවාට නියමිත අවුරුද්දේ උසස් පෙළ විභාගය නොකළ ඇය ඒ වෙනුවට සුගතපාල ද සිල්වා ගේ මරාසාද් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාන්නට ගියා ය. ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ගියේ ඉන් පසුවයි. ප්‍රසන්න විතානගේ ගේ ආකාස කුසුම චිත්‍රපටයේ රඟපානවා දුටු පසු මා ඇය දැක නැත.

ප/ප/ලි
මගේ පියා ජීවත්ව සිටියා නම් ඔහු තම ලොකු මිනිපිරිය තමා මෙන් ඉතිහාසය, භාෂාව වගේ කලා විෂයයන් ඉගෙන ගැනීම ගැන සතුටු වෙනු නොඅනුමාන ය.
ඒ එදා මා පළ කළ ලිපියේ ව්‍යාකරණ සඳහා සංස්කරණය කළ පිටපතකි.

-රසිකොලොජිස්ට්

පසු විපරම

ලිපියේ අන්තර්ගතය ගැන
මා එදා ඉහත දැක්වූ ලිපිය ලිව්වේ සරදම් ස්වරයෙනි. නමුත්, එය කියවූ කිහිප දෙනෙකු ම අපේ දියණිය උසස් පෙළ සඳහා ගණිතය හෝ විද්‍යාව හෝ තෝරා නොගැනීම ගැන මා ඇත්තටම දුක් වෙනවා යැයි සිතා මගේ සිත සැනසීමට විවිධ ප්‍රතිචාර දක්වා තිබුණි.

අපේ දියණිය ද උසස් පෙළ සඳහා විෂයයන් තෝරා ගත්තේ මගේ බිරිඳ සහ මා අප ඒ වයසේ දී කළ ආකාරයට ම, තම කැමැත්ත අනුව යි.

මගේ දියණිය
ඇය උසස් පෙළ සඳහා හැදෑරූ විෂයයන් මෙසේ ය.

භාෂාව (ඒකක හතරකි)
ඉතිහාසය (ඒකක තුනකි)
නාට්‍යය (ඒකක දෙකකි)
සංසන්දනාත්මක ආගම් (එක් ඒකකයකි)

ඇය ඒ විභාගයේ දී මගේ මිම්මට අනුව අති විශිෂ්ට ප්‍රතිඵල (එනම් විෂයය ඒකක දහයෙන් එකකය පමණක් 88% ක් ද, අන් සියල්ලටම 90%ට වඩා ද ලබා ඒටාර් (ATAR) නම් ඕස්ට්‍රේලියානු තෘතියික අධ්‍යාපන රෑන්කයේ 97.45) ලබාගත් බව සඳහන් කළ යුතු ය.

සන්නිවේදනය (Communications) පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (Bachelor of Arts) හදාරන කාලයේ ම, මුලින් අර්ධකාලීනව ග්‍රීන්පීස් (Greenpeace) ආයතනයේ ඩිජිටල් මාධ්‍ය සහායක (Digital Assistant) තනතුරක සේවය ඇරඹූ ඇය පසුව පුර්ණ කාලීනව සේවය කරමින් ම පසුගිය වසරේ අග දී උපාධිය නිම කළා ය. ඇය දැන් යුනිසෙෆ් (UNICEF Australia) ආයතනයේ ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදක (Digital Content Producer) ලෙස සේවය කරයි. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇය වෘත්තීය බ්ලොග් ලියන්නියකි.

මෙන්න ඇය ලියූ බ්ලොග් ලිපි කිහිපයක්.

ග්‍රීන්පීස් ආයතනය: https://www.greenpeace.org.au/blog/author/rsuriyaa/#.WaipX8ax9OQ

යුනිසෙෆ් ඕස්ට්‍රේලියා: https://www.unicef.org.au/blog?author=3e024094-1069-4696-9d22-744a2aa15735

කෞෂල්‍යා ප්‍රනාන්දු
ආකාස කුසුම චිත්‍රපටයෙන් පසු මා ඇය බොරදිය පොකුණ චිත්‍රපටයේ ද, මීට වසර දෙකකට පමණ පෙර කොළඹ දී මා නැරඹූ දුටු තැන අල්ලනු වේදිකා නාට්‍යයේ අධ්‍යක්‍ෂකවරිය ලෙසින් ද දුටුවෙමි.

තාත්තා
මගේ පියා ජීවත්ව සිටියා නම් තම මිනිපිරිය තමා මෙන් කලා විෂයයන් තෝරා ගැනීම ගැන සතුටු වෙන්නට ඉඩ තිබුණේ ඔහු ගේ යටි සිතෙනි.

මා එසේ කියන්නේ මක් නිසා ද යත්, ඔහු කිසි දිනක මගේ මල්ලිලා දෙදෙනාට හෝ මට හෝ ඔහු මෙන් කලා විෂයයන් ඉගෙන ගන්නට යැයි කියා නැති හෙයිනි. එසේ කීවා නම්, මුලින් ජීව විද්‍යාව හදාරා පසුව භාෂා, නීතිය සහ පුරා විද්‍යාව කරා යොමු වුණු මගේ සමන් මල්ලී අධ්‍යාපනයට ගත කළ කාලය මීට වඩා ඵලදායීවන්නට ඉඩ තිබුණි.

තාත්තා මිය ගොස් මේ වසරේ දෙසැම්බරයට වසර හතකි!


(image: https://www.youtube.com/watch?v=jyyPTOEpcH8)