
ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නම් සම්මානලාභී නවකතාව පිළිබඳ අසම්පූර්ණ විචාරයකි!
මා කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී විකාශන නො තිබුණි. රූපවාහිනී සේවා ලංකාවේ ඇරඹුණු පසුව ද, විදුලි ආලෝකය නොමැති අපේ නිවසට නම් රූපවාහිනියක් වැඩියේ නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනික විනෝදාංශය වූයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවට සවන් දීමයි.
හඳ මාමා, ළමා රංග පීඨය, ලන්දේසි දුපත වැනි ළමා වැඩසටහන් ද, විනෝද සමය, මාසික රැඟුම, මුවන් පැලැස්ස, මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල, විනාඩියක් පමණයි, අම්බිගා ගීතයෙන් ගීතය වැනි පොදු වැඩසටහන් ද එකල අප ආශාවෙන් සවන් දුන් ගුවන් විදුලි වැඩසටහන් අතර විය.
මගේ හෝ අපේ පවුලේ ඇත්තන් ප්‍රායෝගිකව සහභාගී නොවුන ද, අප සවන් දීමට ප්‍රිය කළ තවත් වැඩසටහනක් වූයේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයයි. රුහුණු සේවය ඇරඹුණු පසු එහි මේ වැඩසටන ඔහෙලා ගේ ඉල්ලීම් ලෙසින් නම් කෙරුණු බවට කෙරෙන සරදම බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත!
මෙකල මෙන් දුරකථන පහසුකම් සහ එස්එම්එස් යනාදිය නො තිබුණු එකල, අසන්නන් ගේ ඉල්ලීම් තීරය යනුවෙන් අදහස් කෙරුණේ ගුවන් විදුලි අසන්නන් විසින් තමන් ප්‍රිය කරන ගීත ප්‍රචාරය කරන ලෙස තැපැත් පත් මගින් කරන ඉල්ලීම් ඉටු කෙරෙන ගීතමය වැඩසටහනකි.
මේ ආකාරයට ගීත ඉල්ලා ගුවන් විදුලි සංස්ථාවට තැපැල්පත් යොමු කරන අය ගේ මූලික අභිප්‍රාය වූයේ ඒ ගීත ශ්‍රවණය කිරීම ම නොව තමන් ගේ නම ගුවන් විදුලියෙන් කියවා ගැනීම බව නො රහසකි.
හැටේ දශකයේ පමණ ගුවන් විදුලි සංස්ථාවේ පැවති පක්‍ෂ දේශපාලනයෙන් දුෂිත වූ, කල්ලිවාදී, වාතාවරණය පදනම් කොට ගෙන ගුණදාස ලියනගේ විසින් දෝන කමලාවතී නම් නවකතාවක් ලියා ඇත. එම නවකතාව ඇරඹෙන්නේ ගුවන් විදුලියේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කිරීමට පෙර එය ඉල්ලා එවූ අය ගේ නම් වැලක් කියවෙන අවස්ථාවකිනි.
ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නවකතාවේ ආරම්භය ද අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කෙරෙන අවස්ථාවක් හා සම්බන්ධ ය.
තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ දෝන කමලාවතී පසුව ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳී ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වූවා ය.
ඒ එදා හැටේ දශකයේ වැල්ව් රේඩියෝ සහ මධ්‍යම තරංග යුගයේ දී ය.
මෙදා අසූවේ දශකයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යුගයේ දී තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ කුරුලුගංගොඩ දිනසිරි නම් තරුණයා පසුව අනූවේ දශකයේ එෆ්එම් යුගයේ දී පුද්ගලික ගුවන් විදුලි සමාගමක සේවයට බැඳී, සියල්ල කෙළවර වූයේ ඛේදජනක ලෙසට වුව ද, මුලින් තම ජීවිතය පෙර නො සිතූ විරූ ඉහළ තලයකට නංවා ගත්තේ ය.
කුඹල් කර්මාන්තයේ නියැලීම පාරම්පරික ජීවිකාව වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුලක උපත ලබන දිනසිරි ද, උසස් පෙළ විභාගය අසමත්වීමත් සමග තම ඉගෙනීම අවසාන වූ පසු යොමුවන්නේ ඒ මැටි භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයටම ය. ඒ ඒකාකාරී ජිවිතයේ ඔහු ගේ විනෝදාංශය වෙන්නේ ගුවන් විදුලියට සවන් දීම සහ එහි අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමු කිරීමයි.
එමගින් මවා ගන්නා ෆැන්ටසි ලෝකයේ සිරකරුවෙකු වන ඔහුට, මේ 1980 දශකයේ අග භාගයේ රටේ සිදුවන දේශපාලන විපර්යාස කිසිවක් ඉන්ද්‍රිය ගෝචර නොවේ.
විරැකියාව යනු ලංකාව වැනි දියුණුවන රටවල් පමණක් නොව, දියුණු යැයි සම්මත පළමුවන ලෝකයේ රටවල් ද පීඩනයට ලක් කරන ලෝක තලයේ ප්‍රශ්නයකි. ලංකාවේ ගම්බද තරුණයින් ගේ විරැකියා ප්‍රශ්නයට අපූරු විසඳුමක් අපේ වැඩිහිටි කාලයේ ඝනත්ව ස්වායත්ත සාධකයක් ලෙස පැන නැගුණි.
ඒ, සුචරිත ගම්ලත් ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ වචනවලින් කියනවා නම්, වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු වීම හෙවත් ආණ්ඩුවේ හමුදාවට බැඳීමයි.
ඒ ඛේදවාචකය පදනම් කරගෙන මා ලියූ, දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ අටවන පිටුවේ පළ වූ කවියක දෙපදයක් මෙසේ විය.
මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී
පීඩාකාරී කුල පසුබිමක් සහිත කුඹල් කර්මාන්තයේ දිගටම යෙදෙනු වෙනුවට, එකල තරුණයින් සඳහා නිර්මාණය වී තිබුණු හමුදා සෙබළ තනතුරක් සඳහා අයැදුම් කිරීමට කුරුලු හදවතේ කතානායක දිනසිරි කුරුලුගංගොඩ කිහිප වතාවක් ම සැරසෙන නමුත්, ඒ හැම අවස්ථාවක දී ම අවසාන මොහොතේ හෝ ඔහු එයින් වැළකී සිටීමට තීරණය කරයි.
හාස්‍යයජනක කාරණය නම්, දිනසිරි ගත් ඒ තීරණයට, එනම් නැවතත් සුචරිත ගම්ලත් ගේ අසූවේ දශකයේ වදන්වලින් වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු නොවී සිටීමට, හේතුව වෙන්නේ යුද්ධයේ ඇති නිෂ්ඵලබව හෝ විනාශකාරීබව හෝ වටහා ගැනීම නොව, තමා යුද භටයෙකු වූ පසු, තවදුරටත් ගුවන් විදුලියට සවන් දීමටත්, අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් යොමු කර එ මගින් තමන් ගොඩ නගා ගත් දිනසිරි කුරුලුගංගොඩ යන රට සුපතල නම දිගටම පවත්වා ගැනීමටත්, ඉඩ නො ලැබේ ය යන සිතුවිල්ල (පිටුව 83) නිසා වී ම ය.
මෙය කුරුලු හදවත නවකතාවේ හැරුම් ලක්‍ෂයයි. භ්‍රමණ කේන්ද්‍රයයි. එනම් නවකතාවේ සම්පූර්ණ සැකිල්ලම ගොඩ නැගී ඇත්තේ දිනසිරි කුරුලුගංගොඩ ගන්නා ඒ තීරණය මත ය.
කුමන හේතුවක් මත පදනම්ව හෝ දිනසිරි විසින් ගන්නා ලද ඒ යුද්ධය වර්ජනය කිරීමේ තීරණය තුළින් මෙන් ම, ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-89 කාලයේ දී ජාතිවාදී පදනමක පිහිටා ලංකාව භීෂණයේ ගිල්වමින් ගෙන ගිය නිෂ්ඵල විනාශකාරී කැරැල්ල ප්‍රතික්‍ෂේප කිරීම තුළිනුත්, ලේඛක ලියනගේ අමරකීර්ති ඉස්මතු කරන දේශපාලනය පිළිබඳව කුරුලු හදවත කියවන මා සිත තුළ ඇති වූයේ ඉමහත් ප්‍රසාදයකි. එසේ වුව ද, දිනසිරි ගේ යුද භටයෙකු නොවීමේ තීරණයට පදනම් වූ සිතුවිල්ල සහමුලින් ම වැරදි වැටහීමක් මත ඇති කරගත් එකක් බව මට ක්‍ෂණයකින් වැටහී ගියේ ය.
එදා ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තිකයින් වූ ලැම්බට් පෙම්මාවඩු, ප්‍රේමකීර්ති ද අල්විස්, සුමනා නෙල්ලම්පිටිය වැනි අයගේ නම් සමගම, අසන්නන්ගේ ඉල්ලීම් තීරය තුළින් ගීත ඉල්ලා එවන පුද්ගල නාම ලයිස්තුවක්ද කුරුලු හදවත කතා සැකිල්ල එකලස් කිරීමේ දී ප්‍රධාන ඇණ මුරිච්චි ලෙස අමරකීර්ති විසින් භාවිතා කර ඇත.
ඒ අසන්නන් ගේ නම් කිහිපයක් මෙලෙස වේ.
මගුලාගම මල්ලිකා දිසානායක,
බෝයගනේ පර්ල් අයිරින්,
ගම්පහ පත්මාවෝ මහේෂ්වරී සහ රේඛාවෝ ඊශ්වරී,
හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ
ඒ නම් කිසිවක් නවකතාකරුවා විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. අදාළ කාලයේ ගුවන් විදුලියට නිරතුරු සවන් දුන් බොහෝ දෙනෙකුට ඉතා හුරුපුරුදු බවට සැක නැති ඒ නම් ලයිස්තුව ලංකාවේ ජීවත් වූ, අද ද ජීවත්වෙන සෑබෑ පුද්ගලයින් පිරිසක ගේ ය.
මෙහිදී ලියනගේ අමරකීර්ති කර ඇති වරද නම් මේ ඇතැම් පුද්ගලයින් ගේ නම් තරමක් දෝෂ සහිතව සඳහන් කිරීම ම නොවේ. ඊට වඩා කුරුලු හදවත නවකතාවේ කථා වස්තුවට සහ එහි තාත්විකත්වයට අතිශය වැදගත් කරුණක් වෙන්නේ ඉහත නම සඳහන් එක් අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ශ්‍රාවකයෙකු වන ගාමා ගාමිණී සුබසිංහ නමැත්තා, මා දන්නා පරිදි, තමා හැඳින්වීමට බොහෝ විට යොදා ගත් මෝදර රොක් හවුස් කඳවුරේ යන්න මෙහි දී යොදා නොගැනීමයි.
බැලු බැල්මට අතිශය නොවැදගත් කාරණයක් සේ පෙනෙන මේ නිමිත්තේ පසුබිම මෙසේය.
ගාමා ගාමිණී සුබසිංහ යනු හබරාදූවේ වැසියෙකු බව සැබෑවකි. මා අසා පුරුදු නැති වුවද, ඔහු තමන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයට යොමු කරන ලද තැපැල්පත්වල හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ යනුවෙන් ද සඳහන් කළා විය හැක. එහෙත් විශ්‍රාම යන විට
වෘත්තියෙන් යුද හමුදාවේ මේජර්වරයෙකු වූ ඔහු මා ඒ නම ගුවන් විදුලියෙන් අසා ඇති සෑම විටෙක ම තමාව හඳුන්වා දුන්නේ, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වශයෙනි.
මෝදර රොක් හවුස් කඳවුර නම් ස්ථාන නාමය දිනසිරි කුරුලුගංගොඩට නෑසුණේ ඇයි දැයි කියා මට සිතා ගත නොහැක. කුරුලු හදවත නවකතාවේ දෙතැනක ම සඳහන් වෙන (20 සහ 97 පිටු) ගාමා ගාමිණී සුබසිංහ යනු යුද හමුදාවේ මේජර්වරයෙකු බව දිනසිරි දැන ගත්තා නම්, ඔහු හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම මුලින් ලද ලිපිය වලං පෝරණුවට නොදමනු ඇත, දෙවනවර හමුදා සේවයට යාම සඳහා පාසලෙන් ලබා ගත් චරිත සහතිකයෙන් බෝට්ටුවක් සාදා වෙල්ල දිගේ පා කර නොයනු ඇත, ඒ වෙනුවට හමුදාවට බැදෙනු ඇත, පූනරීන් සිට අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් ලියනු ඇත.
ඒ අනුව, අප කියවූ කුරුලු හදවත කතාව නො ලියවෙනු ඇත!
කුරුලු හදවත නවකතාව ප්‍රබන්ධයකි. නමුත්, එය සත්‍ය සිදුවීම් පසුබිම් කරගෙන, ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වෙන විවිධ පුද්ගලයින් ගේ නම් ඇතුළත් කර ලියවුණු එකකි. එවැනි සිදුවීමක, නමක සුලු දෝෂයක් තිබීම නොසැලකිය හැකි කරුණක් වුවත්, කථාවේ අන්තර්ගතයට සෘජුවම බලපාන කරුණක් මෙසේ කතුවරයාගේ මතකයෙන් ගිලිහී යෑම කනගාටුවට කරුණකි.
-රසිකොලොජිස්ට්
ප/ලි:
කුරුලු හදවත නවකතාව මා මිලට ගත්තේ 2014 අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය දිනවලයි. එය 2014 අගෝස්තුවේ දී කියවූ පසු මට ඇතිවුණු මේ ප්‍රශ්නය මම ඊ-මේලයක් මගින් ලියනගේ අමරකීර්තිට යොමු කළෙමි. මා ඔහුගෙන් විමසූවේ, ගාමා ගාමිණී සුබසිංහ හමුදා මේජර්වරයෙකු බව ඔහු දැන නොසිටියා ද, නැතිනම්, එය දැන සඳහන් නොකර සිටියා ද යන්නයි.
තමා ඒ ගැන දැන නො සිටි බව ඔහු මට ලියා එව්වේ ය.
ප/ප/ලි
මේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!