Showing posts with label යුද්ධය. Show all posts
Showing posts with label යුද්ධය. Show all posts

Thursday, 2 January 2025

ඇතුලත්මුදලි සහ කොබ්බෑකඩුව ගැන තහවුරු කළ නොහැකි කතාවක් - Useless story


සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි.

නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තුනෙන් ප්‍රසිද්ධ චරිත දෙක ඇර තුන්වැන්නා ගේ මරණය පසුගිය සතියේ ආරංචි වූ නිසා ය.

කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධියක් නැති පුද්ගලයාගේ නම සඳහන් නොකර ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනාගේ නම් සඳහන් කරමින් මේ කතාව කීමේ අවුලක් නැතැයි සිතමි.

පසුගිය සතියේ මිය පරලොව ගිය නම එතරම් නොදන්නා පුද්ගලයා මා හඳුනා ගත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා සේවය කළ ස්ථානයකට ඔහු සේවයට පැමිණි විටය. නමුත් ඔහු නවකයෙකු නොවිණි.

මා සිතන විදිහට ඔහු උසස් පෙළ කරන්නට ඇත්තේ හැටේ දශකයේ අග භාගයේ දී ය. ඒ මක්නිසාදයත් 1970 පැවති මහ චන්දයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයකු ලෙස සහභාගි වූ බව මා සමග පවසා ඇති නිසයි.

එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එදා පැවති ඡන්දයෙන් එවකට ද ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු වූ චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඔවුනට අනුභව කිරීම සඳහා මාලු පාන් වැනි ද්‍රව්‍යයක් ද සමග තේ රැගෙන දුන් බව ඔහු මා සමග පැවසීය.

මෙකී චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඊට අවුරුදු හතරකට පමණ පසු මිය ගිය අතර, එනිසා ඒ ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් ද පැවැත්වුණු බව ඔහුගේ නම සඳහන් නොකර මෙහි සටහන් කරමි.

මෙන්න අපේ කතානායකවරයා මා සමග පැවසූ මේ ලිපිය ලිවීමට මූලික වූ කරුණ.

තරුණ කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ බව පෙනෙන මේ පුද්ගලයා වරෙක මා සමග පැවසූයේ ඔහු යූඑන්පී ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ගේ චරිතාපදානය ලිවීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබ සිටි බවක් ඒ සඳහා තොරතුරු ලබා ගැනීම පිණිස ඇමතිවරයා හමුවීමට නිරන්තරයෙන්ම සවස් යාමයේ ඔහුගේ නිවසට කාලයක් මුළුල්ලේ ගිය බවත් ය.

මේ 1989 වර්ෂයට පෙර, ජයවර්දෙන ජනාධිපති සමයේ දී විය යුතුයි.

මක්නිසාදයත් පසුව ඊට පසුව ර. පේමදාස ජනාධිපති සමයේ දී ජාතික ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ 1991 දී බෝම්බයක් වැදී මිය ගිය රන්ජන් විජේරත්න නම් පුද්ගලයා වීමයි.

එක්තරා දිනයක අපේ කතානායකයා ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ගොස් ඇතුලත්මුදලිගේ ජීවන චරිතය ප්‍රශ්න අසමින් සටහන් කර ගනිමින් සිටයේය.

කතානායකයා මට පැවසූ ආකාරයට, ඒ මොහොතේ එවකට රජයේ හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් ඉහළ නිලයක සිටි ආමිකාරයා ඇතුලු කිහිපදෙනෙකු එහි පැමිණ ඇත. තම චරිතාප්‍රදාන රචකයා සමඟ සාකච්ඡාව මඳකට නතර කරන ලලිත් ඇතුලත්මුදලි ආමිකාරයා සමඟ සාකච්ඡාව ඇරඹීය.

එහි දී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ යුද සැලසුමයි.

මෙහිදී ඇමතියා විසින් යම් යම් උපදෙස් එහි සිටි කොබ්බෑකඩුව ඇතුළු පිරිසට ලබා දී ඇත.

ඒ නියෝග ඇසූ කොබ්බෑකඩුව පවසා ඇත්තේ සර් එහෙම කළොත් විශාල මනුෂ්‍ය විනාශයක් වීමට නියමිතයි කියාය.

මෙහිදී ඇමතිවරයාගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ “සෝ වට්?” යන්නයි. “We have to expect some casualties in any war” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙය අසා කොබ්බෑකඩුව ආමිකාරයා දුක්බර වූ බව පෙනුණු බවත් ඇමති ඇතුලත්මුදලි තම ස්ථාවරේ ම සිටි බවත් මා දන්නා හඳුනන පුද ගලයා චරිතාප්‍රදාන ලියන්නා මා සමග පැවසීය.

ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ කොබ්බෑකඩුව යනු සංවේදී සිතක් ඇති අයෙකු බව සහ ඇතුලත්මුදලි යනු අසංවේදී සිතක් ඇති පුද්ගලයකු බව යැයි සිතමි.

මක්නිසාද යත්, ඔහු මේ කතාව මා සමග පවසන කාලය වන විට කොබ්බෑකඩුව බිම් බෝම්බයකින් මියගොස් සිටි අතර, ඇතුලත්මුදලි නම් ඇමතියා එවකට පැමිණි පැවති යූඇම්පී ආණ්ඩුවෙන් වෙන් වී යූඑන්පී ආණ්ඩුවේ නායක ජනාධිපති ර පේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂයක්ද අටවාගෙන මහා දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.

අපේ කතා නායකයා තවදුරටත් උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස සිටියේ යැයි සිතමි.

එනිසා, මේ කතාව ඔහු අල්ලේ පැළ කළ එකක් වීමට ද ඉඩ ඇත. ඒ හා සම්බන්ධ කතාවක් ඊළගට ලියමි.

ඒ සමගම ඔහු ලලිත් ඇතුලත්මුදලි ගේ ඔය කියන චරිතාපදානය ලියා අවසාන කළ බවක් කීවේ නැත.

මෙයින් තවත් ටික කලකට පසු ලලිත් ඇතුලත්මුදලි ද වෙඩි පහරක් වැදී මිය ගියේ ය.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot)

Saturday, 20 May 2017

පරාක්‍රම ගේ කවි සහ මගේ කවි - Continuing on the same theme


පැරකුම් සහ පරාක්‍රම යනු එකම නමේ වෙනස් යොදා ගැනීම් දෙකකි. හරියටම ගැමුණු සහ ගාමිණී වගේ ය.

මට පැරකුම් නම් මිතුරෙකු ද, පරාක්‍රම නම් මිතුරෙකු ද දෙදෙනෙකු ම සිටිති.

පැරකුම් මා දැන හඳුනා ගෙන වසර හතක් පමණ වේ. නමුත්, මා පරාක්‍රම දන්නේ දශක දෙක හමාරකටත් වඩා පෙර කාලයක සිට ය.

පැරකුම් කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

පරාක්‍රම ද කවි ලියයි. කවි පරිවර්තනය ද කරයි.

කෙසේ වෙතත්, මාතෘකාවේ සඳහන් වෙන පරිදි මා ලියන්නට යන්නේ පරාක්‍රම ගැන මිස පැරකුම් ගැන නොවේ.

එසේ ම, පරාක්‍රම ගේ කවි කියා කීවාට මේ කියන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රසිද්ධ කවියා ගැන ද නොවේ.

මේ කියන්නේ පරාක්‍රම කුරුප්පු නම් මා හිතවත් කවියා ගැන ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් මැවිසුරුවෙකි.

විශ්ව විද්‍යාල සමයේ දී මා ඔහු ලියූ කවි කියවා තිබේ. එයින් පසු අප දෙමගක ගිය හෙයින් ඔහු ගේ පසු කාලීන කවි මා කියවා නොතිබුණි.

පසුව ඊ-මේල් මගින් අප හමු වුව ද ඔහු ලියූ කවියක් මට මුලින් ම කියවන්නට ලැබුණේ මීට වසර අටකට මදකට අඩුවෙන් ඉහත කාලයක දී ය. ඒ කවි කියවූ මම ද එයට යම් එකතු කිරීමක් කළෙමි.

මේ සටහන ඒ ගැන ය.

අපේ කවි හුවමාරුව සිදුවුණේ, මානුෂික යුද්ධය නිමා වී, සියල්ල අවසාන වූ පසුව ය. දස දහස් සංඛ්‍යාත පිරිසක් අනාථ කඳවුරුවල රඳවා තිබුණි.

පරාක්‍රම කුරුප්පු මෙසේ ලියා එවී ය.

කලකදි රස වෙයි කලකදී වස ලූ
එකෙකුගෙ ලෙල්ලම එකෙකුට විහිළුෑ
දිලුණත් වටපිට කරමින් එකළුෑ
පහන් කණුව පා මුල කළුවර ලූ

මරණ තුනක් මැද අතරමංව හිඳ
මරු එයි අද අද හිතමින් ගිනි වැද
අතකින් ගත් දඬුවැල් බෑ මී වද
මිනිසුනි සිත් සන්තොසින් බුඳිනවද

ලිප ගිනි මෙලවෙන තෙක් දිය කෙළිමින
රෑ නොවැටුණු වල දවාලෙ වැටෙමින
සුරා පිරූ විත සුරතේ දරමින
ගිනිකන එළියේ රඟති මෙපුර දන

මී පුප් සෙව්වෙමි ගිනිගත් කතරේ
දරුවන් මග හැරුණිය ඝන අඳුරේ
මී පුප් මතුවුණු මහ වැහි අතරේ
දරුවෝ සැඟවුණි දෝ ගං වතුරේ


ඔහු ඒ කවි නම් කර තිබුණේ නූතන ජන කවි ලෙස ය.

නමුත් ඒ කවියේ විරිත, අප දන්නා ජන කවියේ විරිත නොවන බවත්, ජනකවියක් ලෙස ලියූවොත්, එහි මුල් කවිය මෙලෙස විය යුතු බවත් මම පරාක්‍රමට ලියා යැවූයෙමි.

කලකදි රස ලු කලකදී වස වෙනවා ලූ
එකෙකුගෙ ලෙල්ලමක් එකෙකුට වෙයි විහිළුෑ
දිලුණත් වටපිටාව ම කරමින් එකළුෑ
පහන් කණුව පාදය මුල කළුවර ලූ


ඒ කවි තමන් හිතා මතා ම ලියූවේ මාත්‍රා දහසයේ ජනකවි විරිතෙන් වෙනස් කර බව පරාක්‍රම මට දන්වා එව්වේ ය.

ඔහු ඉන් පසු ලියා එවූ කවිය මෙසේ විය. මේ කවි ජනකවි විරිතෙන් රචනා වී ඇත.

රජකම් කළත් දවසක පිරිවර අතරේ
මිය යයි තවත් දවසක ගොර මඩ වගුරේ
එකෙකුගෙ මිනිය යට කළ රළු වැලි කතරේ
තවෙකෙකු ගේ සිහසුන ඉදිවෙයි නුදුරේ

දෙපසින් අමෝරා සිටි අවි අතර සිට
සැම දා මුහුණ දී හිඳ රුදු මරණයට
සියක් දහක් මිය ගිය මළ ගමක සිට
අයෙක් නටත් තවෙකෙක් මළ සතුට පිට

විසි හය වසක් යුද ගිනි ඇවිලුණු රටක
නිසි රිසි අහර නොලබන දරුවන් රැසක
කුස ගිනි නිවන්නට බත් හැළියක් මිසෙක
කිරිබත් කුමට සිය දහසක් මළ තැනෙක?


පරාක්‍රම ගේ ජනකවියට මගේ එකතු කිරීම මෙලෙස විය.

ආවුද ගත් එවුන් ආයුදයෙන් මැරෙතී
කළ කම් ඒ විලස දිනයක පල දරතී
පෙර දින ඇසූ දුටු කියමන් සැබෑ වෙතී
පෝලිම මෙයින් ඉවරයි නම් කමක් නැතී

මනස නොඋස් වූ පෙර වානර යුගයේ
යුදට වැද සතුරු මැඩ පැණ විසඳූයේ
මනස උසස් වී මිනිසුන් වූ දිනයේ
වඳුරු ගති ඇරී නැති හැටියකි දුටුයේ

මිනිස් පලිහ ලෙස නම් කල පෙරදාක
සිය දහසක් දෙනා ගැන දුක් වී නේක
මිනිස් මෙහෙයුමින් මුදවා ගත් සේක!
ඇයි අද කොටු කරන් උන් හැම කඳවුරක?


මට ද නූතන ජනකවි ලියන්නට සිතුණේ, පරාක්‍රම කුරුප්පු මිතුරා ගේ නූතන ජනකවි කියවූ පසු ය.

ඇත්තෙන් ම, මේ ඉහත පළ කර ඇති කවි පිළිබඳව මගේ කිසිදු මතකයක් නොතිබුණි. වාසනාවකට මෙන් මා රසිකොලොජියේ පළ කළ, "නූතන ජන කවි" සහ "පොල් ගස තාල වර්ගයේ" මුලින් ම ඉන්ටර්නෙට් හි පළ වූයේ කවදාදැයි සොයා බලන අවස්ථාවේ දී බූන්දි වෙබ් අඩවියේ තිබී මේ කවි වසර ගණනාවකට පසු යළි තෙන ගැටුණි!

-රසිකොලොජිස්ට්

(image: https://sugarvenom88.wordpress.com/)

Friday, 19 May 2017

පොල් ගස ද, තල් ගස ද, ගස් වර්ග දෙක ම, තාල වර්ගයේ ය - I only like war when it is made in Hollywood


ලංකාවේ පැවති මානුෂික යුද්ධය මතක ද?

මා මේ කියන්නේ ඩෙංගි මදුරුවන් සහ කීටයින් සමූල ඝාතනය කිරීම පිණිස රසායනික අවි සහ බර අවි භාවිතයෙන් කළ මෙහෙයුම් පිළිබඳව නම් නොවේ.

මා මේ කියන්නේ ජාති හෝ ආගම් හෝ වෙනසකින් තොරව, අවිගත් හෝ අවි නොගත් හෝ වෙනසකින් තොරව, ලාංකික මිනිසුන් දස දහස් ගණනින් මිය ගිය මානුෂික යුද්ධය ගැන ය.

ලංකා ඉතිහාසයේ ඒ අඳුරු පරිච්ඡේදය ගෙවෙන අතරතුර, 2009 ජනවාරියේ දී, මම ඒ මානුෂික යුද්ධය ගැන කවියක් ලිව්වෙමි.

මෙය මානුෂික යුද්ධයක් ගැන ලියවුණු අමානුෂික කවියකි.

එය මෙසේ විය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුණු ලුණු රස වේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් ඇඹුල් වේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ඒවිද?
සැකයි යාළුවේ!


වසරකට පමණ පසු කාලයක, මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව මගින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කෙරුණු ගීත එකතුව සඳහා ඒ කවිය අනුසාරයෙන් සැදුණු පදමාලාවක් මම ඉදිරිපත් කළෙමි.

සංගීත විශාරද ඉන්දු ප්‍රේමතිලක ගේ සංගීතයට අනුව, එකල ළමා ගායක තිසල් පාදුක්ක විදාන විසින් ගායනා කෙරුණු මගේ පදමාලාව සහිත ගීතය රුවැත්තියේ නම් සංයුක්ත තැටියට ඇතුළත් කෙරිණි.

ගීයේ පිටපතක් පසුව එකතු කරමි. ගී පදවැලේ අවසානය කවියට වඩා මදක් වෙනස් වේ.

හම්බන්තොට ලේවායේ ලුණු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුණු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ


-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කවිය ලියා මාස පහක් යන්නට පෙර ඓතිහාසික කිරිබත් කෑමක් සිදුවුණ ද, මා ලියූ පරිදි හම්බන්තොටින් ලුණු ද, කිලිනොච්චියෙන් දෙහි ද, යාපනයෙන් මිරිස් ද ගෙන සෑදූ ලුණුමිරිසක් සමග පොළොන්නරුවේ හාලෙන් ඉවූ කිරිබතක් මුළු රටම එකට කෑ දිනයක් ඉන් පසුව හෝ පැමිණියා ද කියා මම නොදනිමි.

(image: https://www.lankapropertyweb.com/; http://acrustours.com/jaffna-district/)

Thursday, 18 May 2017

රීසයිකල් නූතන ජන කවි - Lest we forget


මාස දෙකක් පමණ සිතෙහි කැරකෙමින්, එකතුවෙමින්, හැඩ ගැසෙමින් තිබුණු අදහස් ගොන්නක් පහත දැක්වෙන කවි පන්තියේ ස්වරූපයෙන් මා අතින් ලියවුණේ 2009 වසරේ මැද භාගයේ ජූලි මාසයේ දී පමණ ය.

ඒ කාව්‍ය නිර්මාණය විවිධ ස්ථානවල, විවිධාකාරයෙන් පළ වුණි.

මේ එසේ පළ වූ තැන්වලින් අද සොයා ගත හැකි තැන් කිහිපයකි.

ජූනි 2009 බූන්දි-ඔන්-ලයින් බ්ලොග් අඩවියේ:
http://boondionline.blogspot.com/2009/06/blog-post_06.html

ජූනි 2009 කැටපත්පවුර බ්ලොග් අඩවිය
http://ketapathpawra-blog.blogspot.com/2009/06/blog-post_06.html

මාර්තු 2010 බුන්දි වෙබ් අඩවියේ:
http://www.boondi.lk/article.php?ArtID=426


නිමවී වසර අටකට පමණ පසු, අද මේ කවි නැවත පළ කරන්නට සිතුණේ, යම් කිසි ආකාරයක පසු විපරමක් ද සහිතව ය.

මා මේ කවි පන්තිය නූතන ජනකවි කියා නම් කළේ, ඒ කවිවල අන්තර්ගතයට පසුබිම සපයන ජනවහරේ එන විවිධ යෙදුම් සඳහා එදා 2009 වාතාවරණය තුළ මා අලුත් අර්ථදැක්වීම් කිහිපයක් ම එකතු කර ඇති නිසා ය.

මා යොදා ගෙන ඇති ඒ ජනවහරේ එන ආත්තෝපදේශ කිහිපය මෙසේ ය.
  • වක්කඩේ හකුරු හැංගුවා වගේ!
  • රට වටකර වැට බැන්දත්, කට වැටකර වැට බැඳිය හැකි ද?
  • ලෝක ධර්මය වළක්වන්න බෑ!
  • අවි ගත්තෝ අවියෙන් ම නසිති!
  • යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
  • මීයක් කන්නේ අත ලෙවකන්නද?
  • ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ!
  • ඔරුව පෙරලූනාම ඒ පැත්ත හොඳයි කිව්වලු!
  • ලබ්බට තියපු අත පුහුලටත් නොතියාවිද?
  • වෙහෙර ගිලපු යකාට අග්ගලා කජ්ජක්ද?
අද ප්‍රතිචක්‍රීකරණය වෙන, මා එදා 2009 ජූලි මාසයේ දී ලියූ, නුතන ජන කවි මෙසේ ය.

මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
පුදුමාතලන් වෙරළේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වළකනු හැකිවෙද, මිතුරූ?

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුද ගින්නේ දැවුණු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එළවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?


මළබෙර හඬ මැද කිරිබත් කෑව ද, මරණ ලයිස්තුව එයින් නිම නොවූ බවත්, පොලොස් පමණක් නොව පැහුණු හෙරලි පවා කඩු පහරට ලක් වූ බවත්, කඩා ගත් මීවද කඩා ගත් උං දිගටම කෑ බවත්, ඉගුරු ද සැර බවත්, කෙම්බිම ළඟාවීම කෙසේ වෙතත්, යකා පුහල් ගෙඩිය පමණක් නොව වෙහෙර ද ගිල්ල බවත් ගතවුණු වසර කිහිපය තුළ අපි හොඳින් වටහා ගත්තෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බ්ලොග් වසන්තෙ නැතුව පාලුයි!

(image: http://www.galeriemagazine.com/picassos-famous-anti-war-painting-guernica-celebrates-80-years-in-madrid/)

Friday, 24 March 2017

එළිසමය, මංගල සමරවීර සහ නන්දිකඩාල් - What a mix!


සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, ඔබේ සිහියට එන්නේ කවරාකාරයේ කවියක් ද?

ඔබ කුඩා කාලයේ මා වැනි හොඳ ළමයෙකුව සිටියා නම් එය බෝහෝ විට මෙවැනි කවියකි.
සෙත්   සිරි දෙන මහ ගුණ   මුහුදාණන්
සත්   හට වන බව දුකට   වෙදාණන්
තිත්   ගණඳුුර දුරලන   දිනිදාණන්
සිත්   සතොසින් නමදිම්   මුනිදාණන්
ඒ ලෝවැඩ සඟරාවේ එන කවියකි.

කුඩා කාලයේ සිංහල සාහිත්‍යයට ආශාවක් තිබුණා නම්, මේ ආකාරයේ කවියක් සිහිවීමට ඉඩ ඇත.
සුර රද   සමන් සමගින් සුරඟන    එවර
පැහැනද   මදාරා පරසතු මල්    පතර
කර පුද   වඳින මුනි සිරි පා    තඹර
සකි සඳ   පෙනේ සමනොළ ගිර    නැගෙනහිර
ඒ සැළලිහිණි සංදේශයේ එන කවියකි.

අඩු වශයෙන් පහත ආකාරයේ ජනකවියක් හෝ සිහිවිය යුතු ය.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ    පැටියා
බෙල්ල දිගයි තල්ලේ ගෝමර    කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන    හිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ    පැටියා
එකක් අනෙකට වඩා සාහිත්‍යමය ගුණයෙන් අඩු වැඩි වුණත්, මා ඉහත උදාහරණ ලෙස දැක්වූ ඒ කවි සැමෙකම ඇති පොදු ලක්‍ෂණයක් නම් ඒවා පද හතරකින් යුතු, එළිසමය සහිත, සඳැස් කවි වීමයි.

මෙහි දී එළිසමය යනුවෙන් අදහස් කෙරෙන්නේ කවියේ පද හතරම එකම ආකාරයෙන් අවසන් වීමයි.

එසේම එහිදී සඳැස් යනුවෙන් අදහස් කෙරුණේ ඡන්දසක් නොහොත් විරිතක් ඇති, එනම් තාලයකට ගායනා කළ හැකි යන්නයි.

ඉහත කවි සියල්ලේම විරිත නොහොත් තාලය මාත්‍රා දහසයකින් සමන්විත වූ සමුද්‍රඝෝෂ නම් වේ.

මීට අමතරව මුල් කවි ද්වයේම දැකිය හැකි පොදු ලක්‍ෂණයක් නම් එ කවියක සෑම පදයකම මුල් වචනය (සෙත්, සත්, තිත් සහ සිත් ලෙස) එකම ආකාරයේ නැතහොත් එකම තාලයේ වීමයි. මෙය එළිවැට ලෙස හැඳින්වේ.

වත්මන් ලංකාවේ ප්‍රබුද්ධම සිංහල කවියන් ලෙස සැලකෙන්නේ 1974 දී මියගිය මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, ආරියවංශ රණවීර වැන්නන් ය. ඔවුන් ලියූ බොහෝ කවි පෙර කී සඳැස් කවි මෙන් එළිසම, එළිවැට, සිව්පද සහ විරිත්වලින් සීමා වූ ඒවා නොව නිදහස්ව ලියවුණු ඒවා ය.

නමුත්, මා පෙර කී පරිදි, සිංහල කවියක් කියන්නැයි යමෙකු ඔබෙන් ඉල්ලා සිටියොත්, මහගම සේකර ගේ හෝ රත්න ශ්‍රී විජේසිංහ ගේ හෝ කවියක් සිහියට එන්නේ කීයෙන් කී දෙනෙකු ගේ ද?

සමහර විට ඔවුන් ගේ කවි වෙනුවට, ඔවුන් විසින් ලියූ ගී පදමාලා නම් සිහියට එනු ඇත!

මා මේ කියන්නට අදහස් කරන්නේ ප්‍රබුද්ධ, සම්භාව්‍ය, ජනතා පාදක, පීචං කතා කෙසේ වෙතත්, කවි වශයෙන් නම් වී දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, මා උදාහරණ දැක් වූ ආකාරයේ සිව් පදයෙන් සමන්විත, සදැස්, එළිසමයෙන් යුතු කවි බවයි.

එළිසමයෙන් යුතු සඳැස් සිව්පද කවි ගැන ඇති ප්‍රධාන චෝදනාව නම්, ඒ ආකාරයේ කවි රචනා කිරීමේ දී, අන්තර්ගතයට වඩා ආකෘතියට මුල් තැන දීම නිසා, කවි රසය මැරෙන බවයි.

ඒ චෝදනාව පදනම් විරහිත නොවේ.

නමුත්, උසස් කවි රසයෙන් යුක්තව මෙන්ම විශේෂයෙන් ම හාස්‍ය රසය මවමින් ද, සිව්පද සඳැස් කවි අද ද ලියවෙනු මා නිරතුරු දැක තිබේ.

එසේම, මා හොඳින් දන්නා එක් කරුණක් නම්, සඳැස් කවියක් ලිවීම පහසු කාර්යයක් නොවන බවයි. පෙර කී එළිවැට රැකීම නොව එළිසමය සකසා ගැනීම ද අසීරු කාර්යයකි.

එයට හේතුව එකම ආකාරයට ශබ්ද කළ හැකි, එකම අකුරෙන් අවසාන වන ඇත, නැත, සිත, බත, හෝ සුසුම, කුසුම, පැතුම, සිතුම වැනි වචන සීමා සහිත වීමයි.

මේ නිසා බොහෝ අංකුර සිව්පද කවියන් කරන්නේ, වා-යන්නෙන් හෝ නේ-යන්නෙන් හෝ එවැනි අකුරකින් අවසාන වන වචන සහිතව කවි ලිවීමයි.

එසේම සිඩ්නි වැනි වචන කවියේ යොදා ගැනීම අසීරු නිසා, සිනුවර වැනි වචන නිර්මාණය කරන්නට ද, කවි පදයේ මාත්‍රා සම්පුර්ණ කිරීම සඳහා සක්ක පද යැයි හැඳින්වෙන, අරුතක් එක් නොකරන, වචන යොදා ගැනීමටත් සිදුවේ.

මේ සියල්ල මට සිහිවූයේ ළඟදී දිනයක විදේශ ඇමති මංගල සමරවීර කළ කථාවක කොටසක් අසන්නට ලැබුණු වෙලේ ය.

මෙන්න ඒ කථාව.

https://youtu.be/1CDUwo_aQTM?t=160

මට ක්‍ෂණයකින් සිහිවූයේ, මංගල සමරවීර එහි දී යොදාගත්, නන්දිකඩාල්, හන්දිකඩාල්, ගෙවල්කඩාල් සහ කකුල්කඩාල් යන වචන හතර යොදා එළිසමය සහිතව හොඳ සිව්පද කවියක් ලිවිය හැකි බවයි.

මෙන්න මා ලියූ ඒ කවිය.
යමු ඉදිරියට, මග දිගටම    හන්දිකඩාල්
හන්දිය අවට ඇති සියලුම    ගෙවල්කඩාල්
ගෙවල්වල ඉන්න උං ගේ    කකුල්කඩාල්
අවසානයේ ජයගත්තෙමු    නන්දිකඩාල්
කොහොමද හොඳඳ?

මගේ ඊළඟ ප්‍රයත්නය ඉහත වචන උපයෝගී කරගෙන එළිසමය පමණක් නොව එළිවැට ද යොදා සිව්පද කවියක් ලිවීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර අප අතර පැවති කවි සංවාදයක දී, කවි ලියන විට එළිසමය රැකීම ගැන කතා බහක් ඇති විය.

මේ මා එතැන දී ලියූ කවියකි.
ඇත   පිහිනා   එතෙර පැදි නදි  සුකුමාලී
නැත   දැනිලා   වෙහෙස, හති,  බැඳ පද පේලී
සිත   පිරිලා   ඇතොත් කිති කැවෙනා  කෑලී
අත   හැරලා   නොයන් එළිසම  හද ලෝලී

ප/ප/ලි:
මංගල සමරවීර ගේ කතාවේ තවත් කොටස්-


(image: https://www.yamu.lk/blog/7-sinhala-books-we-read-as-kids)

Monday, 23 January 2017

"කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forward

Bay of fire, Tasmania, Australia
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.


(http://www.divaina.com/2017/01/23/news11.html)

කරුණාකර, අනං-මනං නොකියන්න.

ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.

ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.

දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
ඇයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට

එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්

Tuesday, 1 September 2015

කුරුලු හදවතේ හිලක් - Hole in the heart


ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නම් සම්මානලාභී නවකතාව පිළිබඳ අසම්පූර්ණ විචාරයකි!

මා කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී විකාශන නො තිබුණි. රූපවාහිනී සේවා ලංකාවේ ඇරඹුණු පසුව ද, විදුලි ආලෝකය නොමැති අපේ නිවසට නම් රූපවාහිනියක් වැඩියේ නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනික විනෝදාංශය වූයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝවට සවන් දීමයි.

හඳ මාමා, ළමා රංග පීඨය, ලන්දේසි දුපත වැනි ළමා වැඩසටහන් ද, විනෝද සමය, මාසික රැඟුම, මුවන් පැලැස්ස, මොණරතැන්න, ගුවන් විදුලි රඟ මඩල, විනාඩියක් පමණයි, අම්බිගා ගීතයෙන් ගීතය වැනි පොදු වැඩසටහන් ද එකල අප ආශාවෙන් සවන් දුන් ගුවන් විදුලි වැඩසටහන් අතර විය.

මගේ හෝ අපේ පවුලේ ඇත්තන් ප්‍රායෝගිකව සහභාගී නොවුන ද, අප සවන් දීමට ප්‍රිය කළ තවත් වැඩසටහනක් වූයේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයයි. රුහුණු සේවය ඇරඹුණු පසු එහි මේ වැඩසටන ඔහෙලා ගේ ඉල්ලීම් ලෙසින් නම් කෙරුණු බවට කෙරෙන සරදම බොහෝ දෙනෙකු අසා ඇති බවට සැක නැත!

මෙකල මෙන් දුරකථන පහසුකම් සහ එස්එම්එස් යනාදිය නො තිබුණු එකල, අසන්නන් ගේ ඉල්ලීම් තීරය යනුවෙන් අදහස් කෙරුණේ ගුවන් විදුලි අසන්නන් විසින් තමන් ප්‍රිය කරන ගීත ප්‍රචාරය කරන ලෙස තැපැත් පත් මගින් කරන ඉල්ලීම් ඉටු කෙරෙන ගීතමය වැඩසටහනකි.

මේ ආකාරයට ගීත ඉල්ලා ගුවන් විදුලි සංස්ථාවට තැපැල්පත් යොමු කරන අය ගේ මූලික අභිප්‍රාය වූයේ ඒ ගීත ශ්‍රවණය කිරීම ම නොව තමන් ගේ නම ගුවන් විදුලියෙන් කියවා ගැනීම බව නො රහසකි.

හැටේ දශකයේ පමණ ගුවන් විදුලි සංස්ථාවේ පැවති පක්‍ෂ දේශපාලනයෙන් දුෂිත වූ, කල්ලිවාදී, වාතාවරණය පදනම් කොට ගෙන ගුණදාස ලියනගේ විසින් දෝන කමලාවතී නම් නවකතාවක් ලියා ඇත. එම නවකතාව ඇරඹෙන්නේ ගුවන් විදුලියේ අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කිරීමට පෙර එය ඉල්ලා එවූ අය ගේ නම් වැලක් කියවෙන අවස්ථාවකිනි.

ලියනගේ අමරකීර්ති ලියූ කුරුලු හදවත නවකතාවේ ආරම්භය ද අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ගීතයක් ප්‍රචාරය කෙරෙන අවස්ථාවක් හා සම්බන්ධ ය.

තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ දෝන කමලාවතී පසුව ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳී ජීවිතයේ නොයෙකුත් හැලහැප්පීම්වලට ලක්වූවා ය.

ඒ එදා හැටේ දශකයේ වැල්ව් රේඩියෝ සහ මධ්‍යම තරංග යුගයේ දී ය.

මෙදා අසූවේ දශකයේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ යුගයේ දී තම නම අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ප්‍රචාරය වෙනු ඇසූ කුරුලුගංගොඩ දිනසිරි නම් තරුණයා පසුව අනූවේ දශකයේ එෆ්එම් යුගයේ දී පුද්ගලික ගුවන් විදුලි සමාගමක සේවයට බැඳී, සියල්ල කෙළවර වූයේ ඛේදජනක ලෙසට වුව ද, මුලින් තම ජීවිතය පෙර නො සිතූ විරූ ඉහළ තලයකට නංවා ගත්තේ ය.

කුඹල් කර්මාන්තයේ නියැලීම පාරම්පරික ජීවිකාව වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුලක උපත ලබන දිනසිරි ද, උසස් පෙළ විභාගය අසමත්වීමත් සමග තම ඉගෙනීම අවසාන වූ පසු යොමුවන්නේ ඒ මැටි භාණ්ඩ නිපදවීමේ කර්මාන්තයටම ය. ඒ ඒකාකාරී ජිවිතයේ ඔහු ගේ විනෝදාංශය වෙන්නේ ගුවන් විදුලියට සවන් දීම සහ එහි අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල්පත් යොමු කිරීමයි.

එමගින් මවා ගන්නා ෆැන්ටසි ලෝකයේ සිරකරුවෙකු වන ඔහුට, මේ 1980 දශකයේ අග භාගයේ රටේ සිදුවන දේශපාලන විපර්යාස කිසිවක් ඉන්ද්‍රිය ගෝචර නොවේ.

විරැකියාව යනු ලංකාව වැනි දියුණුවන රටවල් පමණක් නොව, දියුණු යැයි සම්මත පළමුවන ලෝකයේ රටවල් ද පීඩනයට ලක් කරන ලෝක තලයේ ප්‍රශ්නයකි. ලංකාවේ ගම්බද තරුණයින් ගේ විරැකියා ප්‍රශ්නයට අපූරු විසඳුමක් අපේ වැඩිහිටි කාලයේ ඝනත්ව ස්වායත්ත සාධකයක් ලෙස පැන නැගුණි.

ඒ, සුචරිත ගම්ලත් ගේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ වචනවලින් කියනවා නම්, වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු වීම හෙවත් ආණ්ඩුවේ හමුදාවට බැඳීමයි.

ඒ ඛේදවාචකය පදනම් කරගෙන මා ලියූ, දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ අටවන පිටුවේ පළ වූ කවියක දෙපදයක් මෙසේ විය.

මරණ සහතිකය අත්සන් කරතී
වන්දි ලබා ඉන් දිවි ගැට ගසතී

පීඩාකාරී කුල පසුබිමක් සහිත කුඹල් කර්මාන්තයේ දිගටම යෙදෙනු වෙනුවට, එකල තරුණයින් සඳහා නිර්මාණය වී තිබුණු හමුදා සෙබළ තනතුරක් සඳහා අයැදුම් කිරීමට කුරුලු හදවතේ කතානායක දිනසිරි කුරුලුගංගොඩ කිහිප වතාවක් ම සැරසෙන නමුත්, ඒ හැම අවස්ථාවක දී ම අවසාන මොහොතේ හෝ ඔහු එයින් වැළකී සිටීමට තීරණය කරයි.

හාස්‍යයජනක කාරණය නම්, දිනසිරි ගත් ඒ තීරණයට, එනම් නැවතත් සුචරිත ගම්ලත් ගේ අසූවේ දශකයේ වදන්වලින් වර්ගවාදී යුද්ධයේ ඉත්තෙකු නොවී සිටීමට, හේතුව වෙන්නේ යුද්ධයේ ඇති නිෂ්ඵලබව හෝ විනාශකාරීබව හෝ වටහා ගැනීම නොව, තමා යුද භටයෙකු වූ පසු, තවදුරටත් ගුවන් විදුලියට සවන් දීමටත්, අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් යොමු කර එ මගින් තමන් ගොඩ නගා ගත් දිනසිරි කුරුලුගංගොඩ යන රට සුපතල නම දිගටම පවත්වා ගැනීමටත්, ඉඩ නො ලැබේ ය යන සිතුවිල්ල (පිටුව 83) නිසා වී ම ය.

මෙය කුරුලු හදවත නවකතාවේ හැරුම් ලක්‍ෂයයි. භ්‍රමණ කේන්ද්‍රයයි. එනම් නවකතාවේ සම්පූර්ණ සැකිල්ලම ගොඩ නැගී ඇත්තේ දිනසිරි කුරුලුගංගොඩ ගන්නා ඒ තීරණය මත ය.

කුමන හේතුවක් මත පදනම්ව හෝ දිනසිරි විසින් ගන්නා ලද ඒ යුද්ධය වර්ජනය කිරීමේ තීරණය තුළින් මෙන් ම, ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-89 කාලයේ දී ජාතිවාදී පදනමක පිහිටා ලංකාව භීෂණයේ ගිල්වමින් ගෙන ගිය නිෂ්ඵල විනාශකාරී කැරැල්ල ප්‍රතික්‍ෂේප කිරීම තුළිනුත්, ලේඛක ලියනගේ අමරකීර්ති ඉස්මතු කරන දේශපාලනය පිළිබඳව කුරුලු හදවත කියවන මා සිත තුළ ඇති වූයේ ඉමහත් ප්‍රසාදයකි. එසේ වුව ද, දිනසිරි ගේ යුද භටයෙකු නොවීමේ තීරණයට පදනම් වූ සිතුවිල්ල සහමුලින් ම වැරදි වැටහීමක් මත ඇති කරගත් එකක් බව මට ක්‍ෂණයකින් වැටහී ගියේ ය.

එදා ගුවන් විදුලියට සම්බන්ධ වෘත්තිකයින් වූ ලැම්බට් පෙම්මාවඩු, ප්‍රේමකීර්ති ද අල්විස්, සුමනා නෙල්ලම්පිටිය වැනි අයගේ නම් සමගම, අසන්නන්ගේ ඉල්ලීම් තීරය තුළින් ගීත ඉල්ලා එවන පුද්ගල නාම ලයිස්තුවක්ද කුරුලු හදවත කතා සැකිල්ල එකලස් කිරීමේ දී ප්‍රධාන ඇණ මුරිච්චි ලෙස අමරකීර්ති විසින් භාවිතා කර ඇත.

ඒ අසන්නන් ගේ නම් කිහිපයක් මෙලෙස වේ.

මගුලාගම මල්ලිකා දිසානායක,
බෝයගනේ පර්ල් අයිරින්,
ගම්පහ පත්මාවෝ මහේෂ්වරී සහ රේඛාවෝ ඊශ්වරී,
හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ

ඒ නම් කිසිවක් නවකතාකරුවා විසින් නිර්මාණය කරන ලද ඒවා නොවේ. අදාළ කාලයේ ගුවන් විදුලියට නිරතුරු සවන් දුන් බොහෝ දෙනෙකුට ඉතා හුරුපුරුදු බවට සැක නැති ඒ නම් ලයිස්තුව ලංකාවේ ජීවත් වූ, අද ද ජීවත්වෙන සෑබෑ පුද්ගලයින් පිරිසක ගේ ය.

මෙහිදී ලියනගේ අමරකීර්ති කර ඇති වරද නම් මේ ඇතැම් පුද්ගලයින් ගේ නම් තරමක් දෝෂ සහිතව සඳහන් කිරීම ම නොවේ. ඊට වඩා කුරුලු හදවත නවකතාවේ කථා වස්තුවට සහ එහි තාත්විකත්වයට අතිශය වැදගත් කරුණක් වෙන්නේ ඉහත නම සඳහන් එක් අසන්නන් ගේ ඉල්ලීම් තීරයේ ශ්‍රාවකයෙකු වන ගාමා ගාමිණී සුබසිංහ නමැත්තා, මා දන්නා පරිදි, තමා හැඳින්වීමට බොහෝ විට යොදා ගත් මෝදර රොක් හවුස් කඳවුරේ යන්න මෙහි දී යොදා නොගැනීමයි.

බැලු බැල්මට අතිශය නොවැදගත් කාරණයක් සේ පෙනෙන මේ නිමිත්තේ පසුබිම මෙසේය.

ගාමා ගාමිණී සුබසිංහ යනු හබරාදූවේ වැසියෙකු බව සැබෑවකි. මා අසා පුරුදු නැති වුවද, ඔහු තමන් විසින් ගුවන් විදුලි සංස්ථාවේ අසන්නන්ගේ ඉල්ලීම් තීරයට යොමු කරන ලද තැපැල්පත්වල හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ යනුවෙන් ද සඳහන් කළා විය හැක. එහෙත් විශ්‍රාම යන විට වෘත්තියෙන් යුද හමුදාවේ මේජර්වරයෙකු වූ ඔහු මා ඒ නම ගුවන් විදුලියෙන් අසා ඇති සෑම විටෙක ම තමාව හඳුන්වා දුන්නේ, මෝදර රොක් හවුස් කඳවුරේ ගාමා ගාමිණී සුබසිංහ වශයෙනි.

මෝදර රොක් හවුස් කඳවුර නම් ස්ථාන නාමය දිනසිරි කුරුලුගංගොඩට නෑසුණේ ඇයි දැයි කියා මට සිතා ගත නොහැක. කුරුලු හදවත නවකතාවේ දෙතැනක ම සඳහන් වෙන (20 සහ 97 පිටු) ගාමා ගාමිණී සුබසිංහ යනු යුද හමුදාවේ මේජර්වරයෙකු බව දිනසිරි දැන ගත්තා නම්, ඔහු හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම මුලින් ලද ලිපිය වලං පෝරණුවට නොදමනු ඇත, දෙවනවර හමුදා සේවයට යාම සඳහා පාසලෙන් ලබා ගත් චරිත සහතිකයෙන් බෝට්ටුවක් සාදා වෙල්ල දිගේ පා කර නොයනු ඇත, ඒ වෙනුවට හමුදාවට බැදෙනු ඇත, පූනරීන් සිට අසන්නන් ගේ ඉල්ලීම් තීරයට තැපැල් පත් ලියනු ඇත.

ඒ අනුව, අප කියවූ කුරුලු හදවත කතාව නො ලියවෙනු ඇත!

කුරුලු හදවත නවකතාව ප්‍රබන්ධයකි. නමුත්, එය සත්‍ය සිදුවීම් පසුබිම් කරගෙන, ලංකාවේ ජීවත් වූ සහ ජීවත්වෙන විවිධ පුද්ගලයින් ගේ නම් ඇතුළත් කර ලියවුණු එකකි. එවැනි සිදුවීමක, නමක සුලු දෝෂයක් තිබීම නොසැලකිය හැකි කරුණක් වුවත්, කථාවේ අන්තර්ගතයට සෘජුවම බලපාන කරුණක් මෙසේ කතුවරයාගේ මතකයෙන් ගිලිහී යෑම කනගාටුවට කරුණකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කුරුලු හදවත නවකතාව මා මිලට ගත්තේ 2014 අප්‍රියෙල් මාසයේ ලංකාවට ගිය දිනවලයි. එය 2014 අගෝස්තුවේ දී කියවූ පසු මට ඇතිවුණු මේ ප්‍රශ්නය මම ඊ-මේලයක් මගින් ලියනගේ අමරකීර්තිට යොමු කළෙමි. මා ඔහුගෙන් විමසූවේ, ගාමා ගාමිණී සුබසිංහ හමුදා මේජර්වරයෙකු බව ඔහු දැන නොසිටියා ද, නැතිනම්, එය දැන සඳහන් නොකර සිටියා ද යන්නයි.

තමා ඒ ගැන දැන නො සිටි බව ඔහු මට ලියා එව්වේ ය.

ප/ප/ලි
මේ කරුණ කලින් ලිවීමට අතපසු විය. මේ ලිපිය පළවෙන්නේ, අදින් ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙනි!

Thursday, 4 June 2015

මෙතුවක් නොකී ම නොකී කතාවක් - Some stories are never told fully!


මට ද "නොකී කතා" තිබේ. ඒ මා පමණක් දන්නා දේ ය. මා හැර වෙනත් එක් අයෙකු පමණක් දන්නා කතා ද ඇත. ඒ ආකාරයට වෙනත් එක් අයෙකු හෝ දන්නේ නම් ඒ කතා තව දුරටත් නොකී කතා නොවේ.

මා මේ කියන්නට යන කතාව ඒ ආකාරයට සලකා බැලූ කල නොකී කතාවක් ම නොවේ. නමුත් මේ කථාවේ මුල් කොටස දන්නේ ඉතා කීප දෙනෙකි. මගේ දෙමව්පියන්, සොහොයුරන් හෝ ඥාතීන් දන්නේ නැත. බිරිඳ ද නො දනී.

කථාවේ මුල් කොටස දන්නා අය දෙදෙනෙකු පමණ සිටිය ද අවසානය නම් අද වෙනතුරු දන්නා අය මා හැර කිසිවෙකු නැත.

මේ 1987 වසරේ දෙවෙනි කාර්තුවයි. එනම් ජුූලි මසින් පසුව ය, නමුත් ඔක්තෝබරයට කලිනි. මා ඒ වෙන විට රජයේ සංස්ථාවක මැවිසුරුවෙකු ලෙසින් සේවයේ නිරතව සිටියෙමි.

මේ මැවිසුරු වෘත්තිය වනාහී පිළිවෙලින් විභාග පෙළ සමත් වීම නිසා ඔහේ පාවී ගොස් උපාධිය ලැබුණාට කරනවා විනා මා සිත ගත් එකක් නම් නොවීය. ඇත්තටම කියනවා නම් මා විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු දෙවරක් ම සේවයට ගියේ කළමනාකරණ පුහුණුවකට (Management Trainee) මිස මැවිසුරු තනතුරකට නොවේ.

තවමත් වයස විසිපහක්වත් නොපිරුණු තරුණ වයසේ උපරිමයේ සිටි නිසා වීර වික්‍රමයන් කරන්නට සිතේ දිරිය හා ආශාව තිබුණි. ඊට අවුරුද්දකට පෙර යුද හමුදාවේ නිලයකට බැඳීමට ද සිතුවිල්ලක් ඇති වී තිබුණි. මේ සම්බන්ධයෙන් තිබූ දැන්වීමේ සඳහන් බැට්මෑන් දීමනාව යනු කුමක්දැයි අපේ ගමේ සිට හෝමාගම කඳවුරේ සිවිල් රැකියාවකට ගිය අයෙකුගෙන් ඇසුවා ද මතකය. නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසුරිය ඇතුළු පිරිසක් ද මේ වෙන විට නාවික හමුදා සේවයට බැඳී සිටියෝ ය.

මගේ හිත ගියේ ගුවන් හමුදාවටයි.

සන්ඩේ ඔබ්සර්වර් වැනි පුවත්පතක දුටු දැන්වීමකට අනුව ගුවන් හමුදාවේ යම් නිලධාරී තනතුරක් සඳහා මම අයැදුම්පතක් යොමු කළෙමි. ඒ දෙමව්පියන්ට හෝ වෙනත් කිසිවෙකුට නොකියා ය. මා එවකට පදිංචිව සිටියේ බෝඩිමක නිසා, සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම ලැබුණු ලිපිය ගැනද නිවසෙන් දැන ගත්තේ නැත.

මා සමග සේවය කළ මිතුරන් දෙදෙනෙකුට පමණක් මේ බව පැවසීමි.

ඉන් එක් අයෙකු වූ සුනිල් වහා පැවසූ දෙයින් මගේ සිත තරමක් කැලඹිණි.

ඔහු කීවේ - "අඩෝ දැන් දෙමළ උන් එක්ක යුද්දේ ඉවර වෙලා හමුදාව අපේ උන්ට වැඩේ දෙන්න පටන් ගත්තු හින්දා ද උඹට ආමි එකට බැඳෙන්න හිතුණේ?" කියාය.

"දෙමළුන් එක්ක යුද්දේ ඉවරය" කීමෙන් ඔහු අදහස් කළේ, 1987 ජූලි මාසයේ දී ඉන්දියානු සාම සාධක හමුදාව උතුරු-නැගෙනහිරට පැමිණ, ආණ්ඩුවේ හමුදාව බැරැක්කවලට සීමා වි සිටීමයි.

"අපේ උන්ට වැඩේ දීම" යනුවෙන් අහස් කෙරුණේ එදා ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කළ දා එයට විරුද්ධව කොළඹ දී විරෝධතා පැවැත්වූ අයගෙන් එකසිය පනහක පමණ පිරිසක් ඝාතනය කළ ආණ්ඩුවේ පොලීසිය සහ හමුදා මේ වෙන විට ඒ විරෝධතා පසුපස සිටි ජවිපෙ වෙස්මුහුණක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග යුද ප්‍රකාශ කර තිබුණු බැවිනි.

සම්මුඛ පරීක්‍ෂණය යෙදී තිබුණේ දිවා කාලයේ බව මගේ මතකයයි. එ දින මුලු දවස සඳහා ම නිවාඩු අනුමත කරවා ගත් මා බෝඩිමෙන් පිටත් වූයේ නමයට පමණ ය. කටුනායක බසයක නැගීමට කොටුවට යාම සඳහා හයිලෙවල් පාරේ බස් රථයක ගමන් කරද්දී දිගින් දිගටම මට සිහි වූයේ මා මිතුරු සුනිල් කී ඒ කරුණයි.

සිතේ දෙගිඩියාව තවදුරටත් දරාගත නොහැකි වූ තැන අවසානයේ මා කළේ, නුගේගොඩින් බසයෙන් බැස ආපසු බෝඩිමට යාමයි.

මගේ වීර වික්‍රමාන්විත වෘත්තීය ජීවිතය ලත් තැනම ලොප් වූයේ එලෙසය.

එදා මා කටුනායක ගොස් පියාසර ලුතිතන් (හෝ එවැනි?) තනතුරකට ගුවන් හමුදාවට බැඳුණේ නම්, මගේ ජීවිතය කෙතරම් වෙනස්වන්නට තිබුණේ ද?

අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොකී කථාවේ, අද ද මා නොකියූ, නොකී ම නොකී කොටසක් ද ඇති බවයි.

ඒ කොටස නම් සදහට ම "නොකී ම නොකී" වී තිබෙනු ඇත!

-රසිකොලොජිස්ට්

(image: http://etheet.deviantart.com/art/Flying-High-163565058)

Tuesday, 19 May 2015

එක් සැමරුමක් සහ ගීත ද්වයක් - One country, two languages


මුවන්පැලැස්ස යනු, මා කුඩා කාලයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයකි. ඉංගිරිසි පාලන සමයේ කෑලෑබද නොදියුණු ගම්මානයක වාසය කළ චරිත සමූහයක ගේ ජීවිත ආශ්‍රයෙන් ගොඩ නැගුණු ඒ නිර්මාණය එකල ලංකාවේ සාමාන්‍ය ජනතාව ගේ ජීවන ප්‍රශ්ණ ගැණ සාකච්ඡා නොකළ ද, සතියකට අඩ පැයක් හෝ නව නළු රසයෙන් සැනසීමට අවස්ථාවක් ලබා දුන් බව කිව යුතුය.

මුවන් පැලැස්ස නාට්‍යයේ දුෂ්ඨ චරිතය වූයේ ගම පාලනය කළ ආරච්චිලයි. ගමේ චණ්ඩි වීරයා වූ කදිරාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවශ්‍ය වූ අතර ඒ සඳහා වෙනකෙකු ලවා පැමිණිල්ලක් ලබා ගැනීමට ආරච්චිල වැඩ පිළිවෙලක් සැකසුවේ ය.

මේ පැමිණිල්ලේ මුල් වාක්‍යය අරඹුණේ "කදිරා වනාහී..." කියාය. නමුත් එතැණින් පසු කුමක් ලිවිය යුතුදැයි ගලපා ගැනීමට ආරච්චිලට නොහැකි විය. මෙහිදී, ආරච්චිල ගේ ලියන්නා ලෙස කටයුතු කළ උක්කු බණ්ඩා නම් ගමේ පෙම්වතා, ආරච්චිලට මතක් කර දුන්නේ ඔහු පාසලේ ඉගෙන ගත් "වනාහී" යන වචනය යෙදුණු එකම වාක්‍යය වූයේ "පොල් ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි" යන්න බවයි.

එහෙනම්, ලියා ගනිං "කදිරා වනාහී තාල වර්ගයට අයිති ගසකි. කියලා!" ආරච්චිල කීවේය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි, තාල් වර්ගයට අයිති ගස් යනු, අතු නොබෙදී කෙලින්ම ඉහලට ඇදෙන ගස් ය. ලංකාවේ බහුලව වැවෙන තාල වර්ගයේ ගස් වනුයේ පොල් සහ තල් ගස්ය.

තල් ගස් සාමාන්‍යයෙන් වැවෙන්නේ රටේ උතුරුකරයේ ය. පොල් ගස යනු ප්‍රධාන වශයෙන් දකුණුකරයට අයිති ගසකි.

නාමිකව උතුර-දකුණ අතර සිදුවුණා යැයි සරලව සැලකිය හැකි ලංකාවේ පැවති සිවිල් යුද්ධය ගැන ලියවුණු මේ පහත ගීතයේ පොල් ගස් සහ තල් ගස් පිළිබඳව කියවේ.

මානුශික යුද්ධය ගැන ලියවුණු අමානුශික ගීතය

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

තනුව සහ සංගීතය - විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය- ළමා ගායක තිසල් පාදුක්කවිදාන
පද රචනය- රසික සූරියආරච්චි

ඒ ගීතයේ පද මාලාව වසර 2009 දී ලියවුණු අතර ගීතයක් ලෙසින් නිමවූ ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ නිෂ්පාදනයක් ලෙස 2010 දී එළිදැක්වුණු රැවැත්තියේ සංයුක්ත ගී තැටියට අඩංගු විය.

මෙතනින් අසන්න.


මෙතනින් බා-ගන්න.
http://www.divshare.com/download/14815982-217

ඒ මානුෂික යුද්ධය නිමවී වසර හයක් සිපිරෙන අද දවසේ, එය සැමරීම වස් නිර්මාණය වුණු විශිෂ්ඨ ගීතයක් අද උදැසන මට අසන්නට ලැබුණි.

මේ ගීතය ෆේස්බුක් ජාලය හරහා බෙදා හැරුණු නිසා ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා තියෙන්නට ඉඩ ඇත. එසේ වුවද, කීප වරක් නැවත නැතව ඇසීමට සුදුසු නිසා මෙසේ බෙදා ගැනීමට සිතුවෙමි.

සහෝදරත්වයේ ගීතය - ஒற்றுமை பாடல் - Song of Unity

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

ஒரே தேசத்தில்
ஒரே நட்புத் திரள்
ஒரே வாழ்வில்
ஒரே உயிர்த்துளி

එක කඳුළු බිඳක් - එක හසරැල්ලක්
සෙනෙහස හඳුනන -එක මිනිස් කැලක්

ஒரே கண்ணீர் துளி
ஒரே புன்னகை அலை
அன்பை அறியும்
மனிதக் கடல்

එකම දුකක් - නිවන සුසුමක්
එකම හෙටක් - ගැන සුබ පැතුමක්

ஒரே துன்பத்தை
துடைத்தெறியும்
வாழ்த்து மடல்.

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

නිර්මානය: අලුත් පරපුර කණ්ඩායම
ගායනය: ඉන්ද්‍රචාප ලියනගේ, නිලුක්‍ෂණී ජයවීරසිංහම්
පදමාලාව: චිනතන ධර්මදාස
සංගීතය: කසුන් කල්හාර

https://www.facebook.com/AluthParapura/videos/875778855827208/

-රසිකොලොජිස්ට්

(images: https://www.flickr.com/photos/gavinkwhite/4788842739/ & http://humanityashore.com/ha/archives/271)

Sunday, 17 May 2015

සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්‍ෂ, ආනන්ද විද්‍යාලය, පැන්ෂන් අංකල් සහ ඊ-මේල් සුසිරිත - Nothing better to write about...?


අපේ ගම් පළාතේ පැන්ෂන් ගත් අංකල් කෙනෙක් සිටී. ඔහු හොද මනුස්සයෙකු බවට මට සැකයක් නැත. නමුත්, දැන් ඉතිං පැන්ෂන් සුවයෙන් සිටින නිසා දෝ මේ අංකල්ට නොයෙකුත් සමාජ සේවා වැඩ කිරීමේ අමාරුවක් වැළදී ඇත.

එහි කිසි වරදක් මම නොදකිමි.

මුලින් ම, පැන්ෂන් ගොස් නිකං පඩික්කම් පුරවනවාට වඩා මොකක් හෝ වැඩක නිරත වීම ශරීර සෞඛ්‍යයට හිතකරය. දෙවනුව, මේ අංකල් කරන කියන වැඩ කරන්නට කවුරුන් හෝ උවමනාවේ, එසේත් නැති නම්, සමාජයේ "ජෙනරල් ඊක්විලිබ්‍රියමය" සඳහා මෙවැනි අංකල්ලා ද ඇවැසි ය.

අංකල් ගේ සහ මගේ එකම සම්බන්ධය වන්නේ අප දෙදෙනා ම එකම පාසලේ ටික කළක් හෝ අධ්‍යයනය ලබා ඇති වීමයි. අංකල් ඒ පාසලේ කෙතරම් කළක් සිටිියේදැයි මම නොදනිමි. මා දන්නා කාරණය වනුයේ, මා ඒ පාසලට මුලින්ම ගිය දින සිට අස්වීමේ සහතිකය ගත් දින දක්වා වසර හතරයි මාස කිහිපයක් ගත කළ බවයි. කෙටියෙන් කිවහොත් "සිව් වසරක් මරදානේ" ය. ඒ, මේ අංකල් ගේ කාලයෙන් පරම්පරා බාගයකට පමණ පසු කලෙක යැයි සිතමි.

අංකල් ලඟ මේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගෙන් අපේ ගම් පළාතේ ඉන්නා අය ගේ ඊ-මේල් ලිපින ලයිස්තුවක් ඇත. ඔහු ගේ එක් විනෝදාංශයක් වනුයේ තමන් සහභාගී වෙන විවිධ වැඩ කටයුතු හා සම්බන්ධ විස්තර විටින් විට මේ ඊ-මේල් ලයිස්තුවට එවීමයි.

පිරිසකට ඊ-මේල් යෑවීමේ දී අපට අනුගමනය කළ හැකි ක්‍රම තුනක් ඇත. ඉන් පළමුවැන්න නම් සියළු දෙනාගේ ම ඊ-ලිපිනයන් සමානව සළකා ඊ-මේලයේ "වෙත" (To) කොටුවට යෙදීමයි. මෙ මගින් ඒ ඊ-ලිපිය ලබන සියළු දෙනාට ම, එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකවම දැන ගත හැකි වේ.

දෙවෙනි ක්‍රමය වෙනුයේ එක් අයෙකුට ඊ-මේලය යොමු කොට, එනම් ඔවුන් ගේ ඊ-ලිපිනය "වෙත" (To) කොටුවේ යොදා, අන් සියළු දෙනාටම ඒ ඊ-මේලයේ පිටපත් යැවීමයි, එනම් ඔවුන් ගේ ඊ-මේල් ලිපිනයන් "කාබන් පිටපත" (CC) කොටුවේ යෙදීමයි. මෙ මගින් ද ඊ-ලිපිය ලබන සියළු දෙනාටම එහි පිටපත් යවනු ලැබුවේ කාටද යන වග නිසැකව ම දැන ගත හැකි වේ.

තුන්වෙනි ක්‍රමය නම්, ඊ-ලිපියේ පිටපත් සියළු දෙනාට ම එකිනෙකාට හොර රහසේ යැවීමයි, එනම්, ඒ පිටපත් යැවෙන පිරිස ගේ ඊ-ලිපියනයන් ඊ-මේලයේ "අන්ධ කාබන් පිටපත්" (BCC) කොටුවේ යෙදීමයි.

එකිනෙකා නාඳුනන පිරිසකට පොදු ඊ-ලිපි යැවීමේ දී අනුගමනය කෙරෙනුයේ මේ තෙවෙනි ක්‍රමයයි.

ඔබට ඉහත පළමුවෙනි හෝ දෙවෙනි ආකාරයේ ඊ-ලිපියක් ලැබුණු පසු එයට පිළිතුරක් ලිවීමේ දී අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් ඇත. ඉන් එකක් නම්, ඊ-ලිපිය එවා ඇති පුද්ගලයාට පමණක් පිළිතුරු ලිවීමයි.

වඩාත් සුදුසු, සහ මා අනුගමනය කරන ඊ-ලිපි සුසිරිත් ක්‍රමය නම්, මා ඊ-ලිපිය එවූ තැනැත්තාට යොමු කරන පිළිතුර, සියළු දෙනාටම පිටපත් කිරීමයි. එනම්, (Reply to all) නම් විකල්පය යොදා ගැනීමයි.

මට ලැබෙන ඊ-ලිපියක අන්ධ පිටපත් යැවෙන අය කවුදැයි මා නොදන්නා නිසා, ඔවුනට මගේ පිළිතුරක් පිටපත් කිරීමේ ක්‍රමයක් කිසිසේත් ම නැත.

දැන් යලිත් කතාවට බටහොත්, අපේ අංකල් මා ඇතුළු පාසලේ ආදි සිසු පිරිසට ගිය වසරේ දී පොදු ඊ-ලිපියක් එවා තිබුණි. එහි සඳහන් ප්‍රවෘත්තියේ යම් අකටයුත්තක් තිබේ යැයි මට හැඟී ගිය නිසා මා එයට පිළිතුරක් ලියා, ඒ ගැන දැන ගත යුතු පිරිසකට එය යොමු කළෙමි. ඒ අදාළ පුද්ගලයෙකු එවා තිබූ මට එවා තිබූ පිළිතුර ඔහු විසින් ඔහුට අදාල තවත් කීප දෙනෙකුට ඉහත කී දෙවෙනි ක්‍රමයට පිටපත් කර තිබුණි.

මා එයට ලියුූ ප්‍රති පිළිතුර, මගේ ඊ-මේල් සුසිරිත (eMail etiquette) අනුව ඒ සියළු දෙනාටම පිටපත් යැවෙන පරිදි යොමු කරන ලදී.

පසුදා මා එතෙක් නොදන්නා කෙනෙකු ගෙන් මට ලැබුණු පිළිතුරකින් කියවුනේ මගේ ඊ-මේල් මින් පසු ඔහුට යොමු නො කළ යුතු බවයි. මා ඔහුට අමුතුවෙන් ඊ-ලිපි නොලියූ බවත්, මා කළේ මට ලැබුණු ඊ-ලිපියක සැමට පිළිතුරු එවීම පමණක් බවත්, එනිසා, ඔහුට මගේ පිළිතුරු නොලැබීමට නම් කළ යුත්තේ, ඔහුව මේ සංවාදයට ඈඳාගත් පුද්ගලයාට ඒ බව පැවසීම බවත් කියා මා ඔහුට පිළිතුරක් යොමු කළෙමි. එය මුල් පුද්ගලයාට ද යොමු කළෙමි.

පසුව මට ඒ මුල් පුද්ගලයාගෙන් මගේ මුල් පිළිතුරට ප්‍රති-පිළිතුරක් ලැබුණු නිසා, මා යළිත් කළේ එයට මා ලියූ පිළිතුර ද සියළු දෙනාටම පිටපත් යැවෙන සේ යොමු කිරීමයි. එහි පිටපතක් ද මගේ ඊ-ලිපි අනව්‍යයැයි කියූ තැනැත්තාට ලැබී ඇති බව මා දැන ගත්තේ ඔහුගෙන් කෝපාන්විත පිළිතුරක් ලැබුණු පසුවයි.

මා යළිත් කළේ, ඒ ඉල්ලීම මට එවන පිළිතුර ඔහුට ද පිටපත් කරන පුද්ගලයාට යොමු කරන ලෙස ඉල්ලා ඊ-මේලයක් යැවීමයි. එයින් ඔහුගේ කෝපය තවත් මුවහත් වුණු බව මට ලැබුණු තර්ජනාත්මක පිළිතුරෙන් පෙනුණි.

ඒ සිද්ධිය එතැනින් යටපත් වී කාලය ගත වී ගියේය.

දැනට සති දෙකකට පමණ පෙර මට අපේ අංකල්ගෙන් නැවත ඊ-ලිපියක් ලැබුණි. එහි ඇතුලත් වූයේ නොබෝ දිනකින් අපේ ගම් පළාතේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා පැවැත්වෙන රැස්වීමක් පිළිබඳ පුවතකි. මෙය එවා තිබුණේ අප පාසලේ ආදි සිසුන් පිරිසට බව ඒ ප්‍රවෘත්තියට අපේ අංකල් එකතු කර තිබුණු වැකි කිහිපයෙන් පැහැදිළි වුණි.

මේ ප්‍රවෘත්තිය හා පාසල හා ඇති සම්බන්ධය වඩාත් පැහැදිළි කර ගැනීම පිණිස මා අංකල්ට පිළිතුරක් ලීවෙමි. එහි අඩංගු වූයේ එක් වැකියක් පමණි. එනම්,

ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද?

මගේ ඊ-ලිපි සුසිරිත අනුව මගේ පිළිතුර අංකල් ගේ ඊ-ලිපි ලයිස්තුවේ සිටි සියළු දෙනාටම පිටපත් කරන ලදී, එනම් මා යොදා ගත්තේ (Reply to all) විකල්පයයි.

මා නොදැන සිටි කාරණය නම් මට ඔහුට ඊ-ලිපි නොඑවන ලෙස මාස කිහිපයකට කලින් තර්ජනාත්මකව මට කියූ පුද්ගලයා ගේ ඊ-ලිපිනය ද අංකල් ගේ ඊ-ලිපිය යොමු වුණු ආදී ශිෂ්‍යයින් ගේ ලයිස්තුවේ තිබී ඇති බවයි.

මෙවර ඔහුගෙන් ලැබුණු පිළිතුරේ අසැබිවදන් ද, අපහාසාත්මක පද ද කෝපගින්නෙන් දැවෙන්නෙකු දොඩන වහසි බස් ද සමග ඇතුළත් කර තිබුණි!

කරුණු වටහා ගැනීම පිණිස මා යොමු කළ, ෆොන්සේකා ගේ පිළේ අය ද, ගෝඨාභය ගේ පිළේ අය ද? පැණය ඔහුට අජීර්ණ වී ඇති බව ඒ වචන කුලකය දෙස බැලු බැල්මට පෙනෙන්නට තිබුණි.

මා කළේ, ඔහුගේ පිළිතුර අංකල් ඇතුළු පිරිසට යවා, ඒ පුද්ගලයා පෙළෙන රෝගයෙන් සුවය වෙන තෙක් ඔහුව අංකල් ගේ ලයිස්තුවෙන් අයින් කරන ලෙස ඉල්ලීමයි.

ඒ සමගම, අංකල් ඔහුගේ ලැයිස්තුවට එවන ලද පෙර කී රැස්වීම පිළිබඳ ලිපිය, කෙලින්ම පාසලේ වැඩ කටයුත්තක් නොවන බවත්, අද ලංකාවේ රණවිරුවන් ප්‍රධාන කොටම බෙදී ඇති කොටස් දෙකට නායකත්වය දෙන පාසලේ කුප්‍රකට ආදී සිසුවන් දෙදෙනා ගේ නම් මා අංකල්ට යැවූ ඊ-ලිපියේ සඳහන් කළේ අඩු වශයෙන් එවිටවත් ඒ ඊ-ලිපිය පාසලට අදාළ වෙන නිසා බවත් මා ඔහුට දන්වා යැවුවෙමි.

වහාම මේ උද්ගත වූ තත්වය විසඳන බවට අංකල් සියළු දෙනාටම එවූ පිළිතුරක් මගින් දන්වා එවා තිබුණි.

ඒ දින දහයකට පෙර දිනයක ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
ජනාධිපති ඡන්දයට පෙර දිනයක, එවකට බලයේ සිටි ජනාධිපති ගේ කෙතරම් දුෂණ සහ අකටයුතු තිබුණ ද යළි ඔහුව ම බලට පත් කර ගත යුතු යැයි අපේ අංකල් ලියූ ඊ-ලිපියකට පිළිතුරක් යවමින් ඒ ගැන ප්‍රශ්ණ කිහිපයක් යොමු කළ, මට පරම්පරාවකට පසුව පාසලේ ඉගෙන ගත් සිසුවෙකට, හැකි විගස දීර්ඝ පිළිතුරක් එවන බවට අංකල් පොරොන්දු වූ නමුත්, දැන් මාස හතරක් ගතවීත් ලැබුණු පිළිතුරක් නැති බවත් මට පසුව දැන ගන්නට ලැබුණි.


(image: http://michaelhyatt.com/angry-email.html)

Friday, 8 May 2015

මැයි දින පෙළපාලි සහ රැස්වීම් පිළිබඳ තවත් එක් මතකයක් - m’aidez, m’aidez, m’aidez...!!!


මා ජීවිතයේ මුල් වරට මැයි දින පෙළපාලියක් නැරඹීමට ගිය ආකාරය ගැන විස්තරයක් පසුගිය ලිපියක සඳහන් කළෙමි.

එලෙස ඇරඹුණු මැයි දිනයේ පෙළපාලි සහ රැස්වීම් නැරඹීමට ඇති මගේ ආශාව, රටෙන් පිටව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන තුරු ම එක සේ පැවතුණි.

මැයි දිනයන් හි දී දිවා ආහාරයෙන් පසුව කොළඹ බලා යන මගේ අභිප්‍රාය වූයේ හැකි තරම් පෙළපාලි සංඛ්‍යාවකුත්, අඩු වශයෙන් එක රැස්වීමක් හෝ නැරඹීමටයි. කලින් දින පුවත්පතකින් ඒ ඒ පක්‍ෂවල පෙළපාලි ඇරඹෙන ස්ථානය සහ රැලි පැවැත්වෙන ස්ථාන සොයා ගන්නා මා කරන්නේ නැරඹීමට අවශ්‍යම පෙළපාලි කිහිපය බැලීමට සුදුසු ස්ථාන සොයා ගැනීමයි. එහි දී ප්‍රශස්ත (අවම) කරන්නට වෙර දරන ශ්‍රිතය වනුයේ එක පෙළපාලියක් මුල සිට නරඹා අනිත් පෙළපාලියක් මැද සිට හෝ නරඹන්නට යාමට පයින් ගමන් කළ යුතු දුරයි.

මෙලෙස මා නැරඹීමට ගිය මැයි දින පෙළපාලි සහ රැස්වීම් ගැන මට රසවත් මතකයයන් රැසක් පසුගිය මැයි දින සැමරුම ගැන ප්‍රවෘත්ති කියවන විට මගේ මතකයට ගලා ආවේ ය.

එයින්, පොදු රසාස්වාදයට නැංවිය හැකි සිදුවීම් කිහිපයක් හෝ රසිකොලොජියේ ලියා පළ කරන්නට සිතුවෙමි.

වසර 1991 දී පමණ මා නැරඹීමට ගිය "ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ" මැයි පෙළපාලියක් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. මේ පෙළපාලිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයෙනි.

"ශ්‍රී ලංකා මහජන පක්‍ෂය" යනු, 1982 දී පැවති ජනාධිපතිවරණයෙන් පසු "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ" දෙවෙනි කැඩී යාම නිසා ඇතිවුණු දේශපාලන පක්‍ෂයයි.

මුලින්ම කැඩී ගියේ මෛත්‍රීපාල සේනානායක, එස්.කේ.කේ සූරියආරච්චි ඇතුළු පිරිසකි. ඔවුන් කලක් යූඇම්පීයට පක්‍ෂව හිඳ, 1982 ජනමත විචාරණයේ දී ජේ.ආර් ගේ වේදිකාවල පෙනී සිට, පසුව ආපසු මහ ගෙදරටම ආපසු ආහ.

ටී.බී. ඉලංගරත්න, වී.ටී.ජී. කරුණාරත්න, විජය සහ චන්ද්‍රිකා කුමාරතුංග, ඔසී අබේගුණසේකර, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක් සිරිලංකා එකෙන් කැඩී ගොස් "මහජන පක්‍ෂය" පිහිටවූයේ 1984 දී පමණ යැයි සිතමි. ඒ, නැක්සලයිට් ත්‍රස්ත්‍රවාදී චෝදනා ලැබ විජය කුමාරතුංග ඇතුළු පිරිසක් සිරබත් කා නිදහස් වීමෙන් මද කලකට අනතුරුවයි.

පක්‍ෂයේ උප සභාපති වැනි තනතුරු දැරූ විජය සහ චන්ද්‍රිකා දෙපල පසු කාලයක ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සොයන්නට පද්මනාභ, උමා මහේෂ්වරන් ඇතුළු පිරිසක් මුණ ගැසෙන්නට මදුරාසියට ගිය පසු, පක්‍ෂයේ නාමික සභාපතිත්තවය දෑරූ ටීබී ඉලංගරත්න ඉල්ලා අස්විය. ඉන්පසු, මහජන පක්‍ෂයේ අසහාය නායකයා වූයේ විජය කුමාරතුංගයි.

ජාතිවාදීන් විසින් විජය මරා දැමීමෙන් පසු, චන්ද්‍රිකා ජීවිතාරක්‍ෂාව පතා එංගලන්තය බලා ගිය අතර මහජන පක්‍ෂයේ නායකයා ලෙස ලංකාවේ කටයුතු කළේ ඔසී අබේගුණවර්ධන නම් පුද්ගලයා යි. වයි.පී. සිල්වා නමැත්තෙක් ද යම් නිලයක සිටිය බවට මට මතකයක් ඇත.

මා මේ කියන මැයි පළමුවෙනිදා දිනයේ, වැල්ලවත්තේ කුරේ ක්‍රීඩාංගනයට ගියේ මහජන පක්‍ෂයේ පෙළපාලිය ආරම්භයේ දී ම එය නරඹා අවසාන කොට, ඊළඟට මගේ ලැයිස්තුවේ ඇති තැනට යාමට සිතාගෙනයි. මා එහි යන විට පෙළපාලියක් තව සෑහෙන වේලාවකට ඇරඹෙන තත්වයක් නොතිබුණි.

පිටියේ එක් පසෙක තිබූ පැවීලියනයේ දම් පැහැ වර්ණ කමිසයෙන් සැරසුණු පිරිසක් (දම් පැහැය මහජන පක්‍ෂය විසින් තෝරාගෙන තිබුණු වර්ණයයි) කෑ කෝ ගසමින් සිටින අයුරු දුටු මම ඒ දෙසට ගියෙමි. එහි දී මට දැක ගන්නට හැකි වුණේ, එක් පුද්ගලයෙකු වට කරගත් පිරිසක් සටන් පාඨ කියමින් ඔහු වටා නටන බවයි.

ඒ පුද්ගලයා ඔසී අබේගුණවර්ධන ලෙස මම හඳුණා ගතිමි. මා ඔහුව ඊට පෙර දැක තිබුණේ 1984 දී පමණ මහනුවර පැවති රැස්වීමක දී කතාවක් පවත්වද්දී ය.

ඔසී අබේගුණවර්ධනව වටකරගත් පිරිස කියමින් සිටි සටන් පාඨවල මට "වේසි" යන වචනය හොඳින් ඇසුණි. ඔවුන් ඒ වචනයෙන් අමතමින් සිටියේ කාවදැයි මට මොහොකින් පසක් විය.

ඇතිවුණු පිළිකුල සමගින් එතැනින් නික්මුණු මා ඊලඟට ගියේ දම් පාට ලෝකයෙන් රතුපාට ලෝකයක් කරා ය. ඒ කැම්බල් පිටියෙන් (හෝ එවැනි තැනකින්) ඇරඹී, හැව්ලොක් පිටිය දෙසට ගමන් කරමින් සිටි ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය සහ තවත් පක්‍ෂ කිහිපයක ඒකාබද්ධ මැයි දින රැලිය නැරඹීමටයි.

එදා ඔසී අබේගුණසේකර සිනාවෙමින් බලා සිටියදී ඔහු වටකරගත් ඔහුගේ අනුගාමිකයින් පිරිස "වේසි වේසි" යනුවෙන් සටන් පාඨ කීමට හේතුව ටික දිනකදී හෙළි විය. ඔසී මහජන පක්‍ෂයේ නායකයා වී, ටික දිනකින් ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපක්‍ෂ නායකයා ලෙස, එවකට ජනාධිපති ර. ප්‍රේමදාස ගේ තුරුළට ගිය අතර, මහජන පක්‍ෂයෙන් ඉවත් වූ, චන්ද්‍රිකා කුමාරතුංග සහ රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් "බහුජන නිදහස් පෙරමුණ" නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවන ලදී.

ඒ පක්‍ෂ සියල්ල ම තවමත් නාමිකව හෝ පවතී!

-රසිකොලොජිස්ට්

Tuesday, 28 April 2015

යුද්ධය උත්කර්ෂයට නැංවීම අවැඩකි - Don't glorify evil war


පළමුවෙනි ලෝක යුද්ධයේ දී, එවකට මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සංධානය වෙනුවෙන් යුද වැදුණු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බල ඇණි, තුර්කියේ ගැලිපොලි නම් ස්ථානයට කඩා වැදීම සිහිපත් කරන ඇන්සැක් දිනය (ANZAC Day) නම් වූ සැමරුම අප්‍රියෙල් 25 දා ඕස්ට්‍රේලියාව පුරා නගරවලදී ද, තුර්කියේ පිහිටි ඒ ඓතිහාසික යුද බිමේදී ද පැවැත්වුණා. මේ ඇන්සැක් දිනය ඕස්ට්‍රේලියාවේ නිවාඩු දිනයක්. මෙවර පැවති මේ උත්සව මාලාව වැදගත් එකක් වූයේ, මේ වසරේ දී, ගැලිපොලි සටනට හරියටම වසර සීයක් පිරීම නිසායි.

ඒ ගැලිපොලි ආක්‍රමණයේ අරමුණ වී ඇත්තේ කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගෙන, ජර්මනිය හා පැවතුණු යුද්ධයට තවත් ප්‍රහාරක මාර්ගයක් විවර කරගැනීමයි.

නමුත්, මාස අටක් පුරා පැවති යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පිලේ බල ඇණි පසු බැස තියෙන්නේ දෙපිරිසෙන් ම ලක්‍ෂයකට වඩා මිනිස් ජීවිතවල විනාශයත් සමගයි.

බ්‍රිතාන්‍ය කොලනි කිහිපයක් ලෙස වෙනම ආණ්ඩු කෙරුණු වත්මන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත එකතු කරමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය බිහිවී ඇත්තේ වසර 1901 දී යි. ඒකීය රාජ්‍යයක් ලෙසින් ඕස්ට්‍රේලියාව මුලින්ම සහභාගී වූ ප්‍රධානතම යුද මෙහෙයුම ලෙසින් සැලකෙන මේ ගැලිපොලි සටන නිසා එක් රටක් ලෙස ජාතිමාමතව්‍යයත්, අසල්වැසි නවසීලන්තය සමග එක පෙරමුණක යුධ වැදීම නිසා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයකුත්, ඇති වුණු බව සාමාන්‍ය පිළිගැනීමයි.

ඉන් පසු ඕස්ට්‍රේලියාව රටක් හැටියට, දෙවන ලෝක යුද්ධයට සහභාගී වුණා. ඒ බ්‍රිතාන්‍යයේ මූලිකත්වය තිබූ මිත්‍ර පාර්ශවයෙන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වී තියෙනවා. ඕස්ට්‍රේලියාවට එවැනි ගිවිසුමක් වැදගත් වුනේ ජපානය වැනි රකට ආක්‍රමණයක් හමුවේ සහාය ලබා ගැනීම සඳහායි.

නමුත් මේ දක්වා ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවුණු කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්ථාන් යුද්ධය වැනි ඇමරිකාව මූලිකත්වය ගත් යුද මෙහෙයුම්වලට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට සිදුවීමයි.

වියට්නාම් යුද්ධයේ දී, එයට විරුද්ධව රටතුළ ඇති වුණු විරෝධය නිසා යුද්ධය සැමරීම කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ ඉහළින් සිදු කෙරුණු දෙයක් වී නෑ. නමුත් පසුකාලීනව සිදුවුණු ඉරාක යුද්ධය වැනි දේශපාලනික කරුණු මත සිදුවුණු යුද මැදිහත්වීම් නිසා, ඒ ගැන ඇතිවෙන විරෝධය එක් ආකාරයකට යටපත් කරන්නට දෝ, යුද කටයුතු සැමරීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩු මගින් කෙමෙන් කෙමෙන් වැඩිවෙන අවධානයක් යොමු කර ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

පළමු ලෝක යුද්ධයේ ගැලිපොලි සටනට වසර සියයක් සැමරුණු මේ වසරේ එලෙස යුද්ධය උත්කර්ෂයට නැංවීම උපරිමව කෙරුණු බව හොඳින් පෙනුණා.

මෙහි සෘණාත්මක කූටප්‍රාප්තිය වුණේ, තම ට්විටර් ගිණුම හරහා යුද්ධයට සහ "සෝ-කෝල්ඩ්" රණ විරුවන්ට දැඩි ලෙස සරදම් කෙරුණු සටහන් කිහිපයක් තමන්ගේ 30,000 ක පරිජනයාට බෙදා හැරි රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු සේවයෙන් පහ කිරීමයි.

ඒ නාලිකාව රජයෙන් යම්කිසි ප්‍රමාණයක වාර්ෂික ආධාර ලබන, නමුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මුදල් උපයන, ස්වාධීනව පවත්වාගෙන යන ආයතනයක්. එසේ වෙතත්, ඒ ට්විටර් පණිවිඩ ගැන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සන්නිවේදන ඇමති, අදාළ බලධාරීන්ට පැමිණිලි කළ බවත්, සේවයෙන් පහ කිරීම සිදුවුණේ ඉන් පසුව බවත් කියායි කියවෙන්නේ.

මෙය හොඳ පෙරනිමිත්තක් නොවන බවයි අද මේ ගැන පැවති වෙනත් නාලිකාවක සාකච්ඡාවක දී කතා කළ කිහිප දෙනෙකුම පැවසූයේ. මගේ අදහසත් එසේමයි.

යුද්ධය යනු උත්කර්ෂයට නැංවිය යුතු දෙයක් නොවේ. රටක් යුද වැදිය යුත්තේ, එය නොකර සිටීම කළ නොහැකි ම නම් පමණයි.

-රසිකොලොජිස්ට්

ඕස්ට්‍රේලියාවේ එස්බීඑස් සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී ස්කොට් මැකින්ටයර් ගේ සේවය අහිමි කළ ඒ ට්විටර් පණිවිඩ මෙසේය.

1. The cultification of an imperialist invasion of a foreign nation that Australia had no quarrel with is against all ideals of modern society (ඕස්ටේ‍ර්ලියාව සමග කිසිදු ආරවුලක් නොතිබුණු විදේශික රටක් අධිරාජ්‍යවාදීන් ලෙස ආක්‍රමණය කිරීමේ ක්‍රියාව වන්දනාමාන කිරීම නූතන සමාජයේ ඇති සියලුම පරමාදර්ශයන්ට එරෙහිව යන්නකි!)

2. Wonder if the poorly-read, largely white, nationalist drinkers and gamblers pause today to consider the horror that all mankind suffered (පොතක් පත්තරයක් කියවා නැති, මුළුමනින්ම වාගේ සුදු හම ඇති, ජාතිකවාදී බේබද්දන් සහ සූදු අන්තුවන් පිරිස අද සමස්ත මිනිස් ප්‍රජාවටම මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීම ගැන අද එක මොහොතක් හෝ නැවතී සිතා බලාවිද?)

3. Remembering the summary execution, widespread rape and theft committed by these "brave" Anzacs in Egypt, Palestine and Japan (මේ අභීත ඇන්සැක් ලා ඊජිප්තුවේ දී, පලස්තීනයේ දී සහ ජපානයේ දී සිදු කළ නඩු නැති දිවි තොර කිරීම්, සැමතැනපතල ස්ත්‍රී දූෂණ සහ සොරකම් සිහිකරමු!)

4. Not forgetting that the largest single-day terrorist attacks in history were committed by this nation & their allies in Hiroshima & Nagasaki. (එක් දිනක් තුළ සිදුවුණු ඉතිහාසයේ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරන ලද්දේ මේ රට සහ ඔවුන්ගේ මිත්‍රපක්‍ෂ විසින් හිරෝෂිමාවේ දී සහ නාගසාකි හි දී බව අමතක නොකරමු!)

5. Innocent children, on the way to school, murdered. Their shadows seared into the concrete of Hiroshima (පාසල් යමින් සිටි කුඩා දරුවන් මරා දමන ලදී. ඔවුන් ගේ සෙවනැලි හිරෝෂිමාවේ කොන්ක්‍රීට් තුලට කා වැදී ගියේය.) https://pbs.twimg.com/media/CDa-S6MUEAESLXV.jpg


(image: http://www.peace-calendar.org/)