
මේ ලියන්නේ දාසය වියැති අපේ පුතා ගැනයි.
ඔහු පුදුම කොලුවෙකු බව මට දැන් මාස කිහිපයකට පෙර සිතී, වැටහී, එය සාක්‍ෂි සහිතව ස්ඵුට විය. ඒ සුවිශේෂී අත්දැකීම් දෙක තුනක් මත පදනම් වී මා කරන ප්‍රකාශයකි.
ඉන් මුල් අත්දැකීම මා ලැබුවේ මීට තෙමසකට පමණ පෙර පුතා ගේ පාසලේ අපේ භාෂාවෙන් ස්පෝර්ට්ස් මීට් එක හෙවත් මෙහි යෙදුමෙන් ස්පෝර්ට්ස් කානිවල් එක දවසේ ය.
මේ උත්සවය පැවැත්වුණේ ඔවුන් ගේ පාසල් ක්‍රීඩා පිටියේ නොව, ඊට වඩා පහසුකම් ඇති ජවන හා පිටිය මලල ක්‍රීඩා සඳහා සකසන ලද ක්‍රීඩා පිටියක ය. එය පිහිටියේ පුතා ගේ පාසලේ සිට කිලෝ මීටර් හයක් පමණ දුරිනි.
ඒ ස්ථානයට ළමුන් රැගෙන පාසලෙන් උදේ අටයි හතළිස් පහට බස් රථ පිටත්වෙන බව දන්වා තිබුණත්, නිවසේ සිට පාසල කරා යන අතර මගදී මට වැටහුණේ නියමිත වේලාවට පාසලට යෑමට නොහැකි වෙන බවයි. එනිසා මා ඒ ගමන අමතක කර කෙළින් ම, නියමිත ක්‍රීඩා පිටිය වෙත වාහනය පැදවීමි.
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය යනු, මා ගලහිටියාව මධ්‍යම පාසලේ ඉගෙන ගන්නා කාලයේ අපේ වසරේ ප්‍ර්‍රියතම දිනය විය. ඒ ගැන යටි සිතින් සිතමින් රිය පැදවූ මම, අදාළ ස්ථානයට ළඟා වීමි.
පුතා රියෙන් බැස මගෙන් සමුගෙන ක්‍රීඩාගාරය කරා යන්නට සැරසෙත් ම, මට යමක් හදිසියේ මතක් විය. ඔහුට නවතින්ට කී මම, කලිසමේ පිටුපස සාක්කුවෙන් පසුම්බිය රැගෙන මුදල් නෝට්ටුවක් ගෙන ඔහුට දුන්නෙමි.
"මට එපා!" පුතා කීවේ ය.
"ඇයි, එපා කියන්නේ ගන්න!"
"එපා, මට අම්මා දුන්නු සල්ලි තියෙනවා!" ඔහු කීවේ මා මවිතයට පත් කරමිනි.
මේ හා සමාන සිදුවීමක්, ඊළඟ පාසල් නිවාඩු කාලයේ දී, පාසලේ මිතුරන් සමග, සිනුවර පැවැත්වෙන වාර්ෂික කෘෂිකර්ම ප්‍රදර්ශනය නැරඹීමට යාම පිණිස පුතාව දුම්රිය පොළට හැරලවූ මොහොතේ දී ද සිදුවිය.
ඔහු ගේ වයසේ දී, මේ වැනි අවස්ථාවක් එළැඹුණ හොත් මා නම් කරන්නේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් හෝ වියදම් සඳහා මා අතට දෙන ඕනෑම මුදලක් එපා නොකියා ගැනීමයි.
දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!
හොඳම සිදුවීම වූයේ ඉන් පසු දිනක ය.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කොයි කවුරුත් මෙන් අප ද සාමාන්‍යයෙන් නිවසේ දී පානය කරන්නේ තේ වතුර ය. තේ සාදන සාමාන්‍ය ක්‍රම දෙකෙන් වැඩි පහසුව පිණිස අපි කෝප්පවලට දමන තේ බෑග් භාවිතා කරමු. තේ කුඩු යොදා තේ පෝච්චියට තේ සෑදීම වඩා ප්‍රිය මනාප නමුත් කාලය වැඩියෙන් ගත වීම සහ පසු-පිරිසිදු කිරීම් වැඩිවීම නිසා අප නිවසේ එතරම් නොකෙරේ.
කෝපි සෑඳීම සඳහා නම් ක්‍රම හතරක් ම ඇත. එයින් ද, පහසුව පිණිස අප කරන්නේ ක්‍ෂණික කෝපි කුඩු භාවිතයයි. වසර කිහිපයක සිට ජනප්‍රිය වී ඇති පොඩ්ස් භාවිතය ද, සෑහෙන්න ලේසි පහසු මෙන් ම පසු-පිරිසිදු කිරීම් ද අඩු ක්‍රමයකි.
එතෙක් එළ කිරි හෝ කිරි තේ හෝ බොමින් සිටි අපේ පුතා දැනට මාස කිහිපයක සිට කෝපි කෝප්පයක රස විඳින්නට ද පටන් ගත්තේ ය. සෑදීමේ පහසුව නිසා ම, ඔහු වඩා ප්‍රිය කළේ ක්‍ෂණික කෝපි පානයටයි.
දිනක් සවස නිවසට පැමිණි මා දුටුවේ මා සාමාන්‍යයෙන් මිල දී නොගන්නා වර්ගයක කෝපි කුඩු බෝතලයකි.
"ඇයි ඔයා මේ අපි කලින් බීලා නැති කෝපි ජාතියක් මේ පාර ගෙනාවේ?" මම බිරිඳගෙන් විමසුවෙමි.
"මං නොවෙයි, මං කඩේ ගියේ නෑ!" ඇය කීවා ය.
"මායි ගෙනාවේ!" පුතා වරද පිළිගත්තේ ය.
"ඇයි ඒ?"
"කෝපි බෝතලේ ඉවරවෙලා තිබුණා ඊයේ!"
"ඉතිං ඔයාට කොහෙන් ද සල්ලි?"
"මා ගාව තාත්තා කලින් දවසක දුන්නු සල්ලි ටිකක් ඉතුරු වෙලා තිබුණා, ඉතිං මං ඉස්කෝලේ ඉවර වෙලා එද්දී කඩෙන් ගත්තා!" මා මවිත කරමින් පුතා කීවේ ය.
"ඇයි ඔයාගේ සල්ලිවලින් ගෙනාවේ? කීයක් ගියා ද? ඉන්න මං සල්ලි දෙන්න!" මම වහා කීවෙමි.
"එපා, ඒ මගේ සල්ලි නෙමෙයි නේ, ඔයාලා කලින් දවසක මට දුන්නු සල්ලි නේ."
ඔන්න දැන් කාලේ හැදෙන කොල්ලන් ගේ හැටි!
-රසිකොලොජිස්ට්
(image: http://www.pinsdaddy.com/)
