Showing posts with label ජේ.වී.පී. Show all posts
Showing posts with label ජේ.වී.පී. Show all posts

Wednesday, 13 November 2019

ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවන්නේ කාටද? - My vote, my wish


මේ ලිපියට අවශ්‍ය නම් ජනාධිපති ඡන්දයේ දී ඔබ ඡන්දය දිය යුත්තේ කාටද? යන මාතෘකාව ද යෙදිය හැක. ඒත්, මා ඇත්තටම කියන්නට යන්නේ මගේ මතය මිස, නිරපේක්‍ෂ මතයක් නොවන නිසා මේ යොදා ඇති මාතෘකාව එලෙස ම තබමි.

වැඩි විස්තර කතා කිරීමට පෙර මෙන්න මා ලියා පළ කර ඇති, අද මාතෘකාවට අදාළ, වෙනත් රසිකොලොජි ලිපි කිහිපයක්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


දැන් මෙන්න ප්‍රශ්නයට කෙළින් ම පිළිතුර.

මෙවර ජනාධිපති ඡන්දයේ දී මගේ ඡන්දය හිමිවෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායකට යි.

කුඩා කල සිටම දේශපාලනය උනන්දුක් දැක්වූ, අදත් දේශපාලනව සක්‍රීයව සිටින, මගේ ම දේශපාලන මතයක් ඇති, නිරතුරු දේශපාලන මාතෘකා ගැන අදහස් පළ කරන අයෙකු ලෙස, මට 1984 පමණ කාලයේ සිට ම, ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සමග විවිධ ප්‍රශ්න තිබී ඇත. දැනුදු තිබේ.

ඒ ප්‍රශ්න බොහොමයක් ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව ඔවුන් දිගු කාලයක් තිස්සේ දැරූ ප්‍රතිගාමීත්වයට සම්බන්ධ ඒවා ය. ඊට අමතරව ඔවුන් 1986 දෙසැම්බරයේ දී දයා පතිරණ මරා දමමින් ඇරඹූ මිනීමරු දේශපාලනය ද මට පිළිකුල් ය. ඊළඟට 2010 දී හිටපු ආමිකාරයෙකු බලයට ගෙනෙන්නට කළ කඩේ යෑම ද මට අප්‍රසන්න විය.

එසේ නම්, මෙවර ජනාධිපති ඡන්දයේ දී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ ඡන්දය හිමිවන්නේ ඇයි?

මුලින් ම මෙන්න මගේ ඡන්දය ඉදිරිපත් වී සිටින අනෙකුත් අපේක්‍ෂකයින්ට හිමි නොවීමට හේතු.

දක්‍ෂිණාංශික පක්‍ෂවලට ඡන්දය දීමට නම් මගේ කිසිදු කැමැත්තක් නැත.

ඒ කෙසේ වෙතත්, එක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමක් නියෝජනය කරන හිටපු ආමිකාර ගෝටාබය රාජපක්‍ෂ බලයට පත්වීම යනු ලංකාවේ පුරවැසි නිදහසේ අවසානය යැයි මම සිතමි.

අනෙක් දක්‍ෂිණාංශික පක්‍ෂ කණ්ඩායමේ සජිත් ප්‍රේමදාස යනු රටක නායකත්වයට සුදුසු පරිචයක් ඇති අයෙකු නොවේ. ඔහු තමන් ගේ ඡන්ද ව්‍යාපාරය තුළ කළ කී දේ අතරින් වැදගත්කමක් ඇත්තේ කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳ කළ ප්‍රකාශය පමණි.

වාමාංශික පක්‍ෂ කණ්ඩායම් ගැන සලකා බලන කළ, සමාජ සමානතා පක්‍ෂය කෙරෙහි එදා සිට අද දක්වාම විවේචනාත්මක (එහි සාමාජිකයින්ගේ පොදු චර්යාව ගැන) සහයෝගයක් ඇතත්, ඔවුන්ට ඡන්දය දීමෙන් ඔවුන්ට හෝ සිදුවන කිසිදු යහපතක් නැත. ඇත්තටම එවැනි පක්‍ෂයක් ඡන්දය ඉල්ලන්නේ ඇයි දැයි මට නොතේරේ.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන ද කිව හැක්කේ එය ම ය. හොඳ පොරවල් එහි සිටිති, නමුත් පක්‍ෂයේ බොහෝ දෙනාගේ කතා බහ වෛරයෙන් කරන ඒවා බව මට පෙනී ගොස් ඇත.

ශ්‍රී ලංකා සමාජවාදී පක්‍ෂයේ අපේක්‍ෂිකාව, අජන්තා පෙරේරා, පිළිබඳ යම් ප්‍රසාදයක් ඇතත්, මගේ වටිනා ඡන්දය ඇය වෙනුවෙන් නාස්ති කරගත යුතු නැති යැයි සිතේ.

වාමාංශික හෝ දක්‍ෂිණාංශික හෝ නොවන අපේක්‍ෂකයින් අතරින් වෘත්තිකයින් ගේ නියෝජිතයා ලෙස ඉදිරිපත් වී සිටින මහේෂ් සේනානායක යනු හිටපු ආමිකාරයෙකි. ඔහු මගේ සමකාලීන පාසල් සගයෙකු වීම, ගම්සභා ඡන්දයක දී වැදගත් වීමට ඉඩ ඇත ද, මෙහි දී වැදගත් නැත.

අනෙකුත් අපේක්‍ෂකයින් පිළිබඳව නම්, වචන නාස්ති කර ගත යුතු නැත.

යම් කිසි ලෙසකින් මට මනාප සලකුණු කරමින් ඡන්දය දෙන්නට සිතී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මගේ පළමු මනාපය දුන්නොතින් දෙවන මනාපය අජන්තා පෙරේරාට ද, තෙවෙනි මනාපය දුමින්ද නාගමුවට ද දිය හැකි නමුත්, සුළුතර පක්‍ෂවලට එවැනි මනාප අනවශ්‍ය බව මා 1982 දී සිට දන්නා කාරණයකි.

දැන් මෙන්න ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මා ඡන්දය දෙන්නට තීරණය කිරීමට පැහැදිලි හේතු කිහිපයක්.

ජාතික ජන බලවේගයේ බොහෝ ප්‍රතිපත්ති සමග මට එකඟ විය හැක.

මේ කණ්ඩායම හා එක්ව ඡන්ද ව්‍යාපාරයේ වැඩ කරන අය පිළිබඳව මට ඇත්තේ ප්‍රසාදයකි.

අනුර කුමාර දිසානායක යනු උගත්, දැනුමැති පුද්ගලයෙකු බව ඔහු 2010 දී (ප්‍රථම සහ) අවසන්වරට සිඩ්නි නගරයට පැමිණි අවස්ථාවේ දී කළ කතාවෙන් මට පැහැදිලි විය. මා ඔහුගෙන් ඇසූ ප්‍රශ්න ද්වයට ම ලැබුණු පිළිතුරු සාර්ථක යැයි කිව නොහැකි වුව ද, දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකුගෙන් පක්‍ෂයේ මතයට අමතරව යමක් බලාපොරොත්තු විය නොහැක. (එයට සාපේක්‍ෂව, 2012 දී ප්‍රේමකුමාර් ගුණරත්නම් පැවැත්වූ ප්‍රසිද්ධ දේශනයක් අවසානයේ දී මා ඇසූ ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර බුද්ධිමත් එකක් වූ බව සඳහන් කළ යුතු ය).

ශ්‍රී ලංකාව අද වැටී ඇති අගාධයෙන් ගොඩ නැගීමට නම්, ඒ සඳහා ශක්‍යතාවය ඇති එකම කණ්ඩායම ජාතික ජන බලවේගය යැයි මම අවංකව ම සිතමි. යූඇම්පී හෝ සිරිලංකා හෝ උංට අවශ්‍ය එක රැළක් රට කාගෙන කාගෙන කාගෙන ගොස් නවත්වන තැන සිට රට කාගෙන කාගෙන යන්නට තමන්ගේ රැළට බලය ලබා ගැනීම පමණි.

මා බලාපොරොත්තුවෙන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

අනුර කුමාර දිසානායක = 35%
සජිත් ප්‍රේමදාස රණසිංහ = 33%
නන්දසේන ගෝටාබය රාජපක්‍ෂ = 31%

ජාතික ජනබලවේගයට ජයවේවා.

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙන්න මා ඡන්දය දීම ගැන කලින් ලියූ සටහන් කිහිපයකට සබැඳි නැවතත්.

1. මා 2015 අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html


2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය (2015 අගෝස්තු) නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
http://rasikalogy.blogspot.com/2015/08/please-please-please.html


3. ප්‍රතිගාමී ධනපති පක්‍ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය දූනිමි - My shameful and regrettable behaviour at the 1999 presidential election
http://rasikalogy.blogspot.com/2015/08/my-shameful-and-regrettable-behaviour.html


4. ඡන්ද කාලේ (2015) ඡන්ද කතා - What else is there to talk about?
https://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html


5. මා නොවන මම සහ මගේ ඡන්දය - Why I would still vote for the JVP in 2018
https://rasikalogy.blogspot.com/2018/02/why-i-would-still-vote-for-jvp-in-2018.html


Tuesday, 24 July 2018

කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP


යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත.

එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.

ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම සඳහා, අප දන්නා කාලයේ යෙදුණේ ලෝක ප්‍රසිද්ධ වීම යන්නයි.

සමහරු පවසන ආකාරයට ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තේ නිසා ය. සමහරුන් පවසන්නේ මැණික් නිසා කියා ය.

රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ගත කල, සමහරුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ 2009 දී ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි පැවසෙන ඇල්ටීටීය පරාජය කිරීම නිසා ය. තවත් සමහරුන් පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම වූයේ 2006 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම කියා යි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ගියේ එසේ නැති නම් රටේ සිදුවූ ලෝක ප්‍රසිද්ධියට කෙසේ වෙතත් ලෝක කූප්‍රසිද්ධියට පත් වූ සිදුවීම වූයේ රටේ නමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 1983 ජූලි ජාතිවාදී කලබලය බව මගේ අදහසයි.

මා මේ කෙටි සටහන ලියන්නේ ඒ කුරිරු ජාතිවාදී මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන කතා කිරීමට නොව, ජූලි කලබලයේ අතුරු ඵලයක් ලෙස සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණේ තහනම සහ ඉන් කලකට පසු රටේ ඇති වුණු විනාශකාරී තත්වය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමටයි.

ජූලි ජාතිවාදී ප්‍රහාරවලින් දින දෙකකට පමණ පසුව, එදා බලයේ සිටි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙන කළේ ජනතා විමුක්ති පෙරමුණ ද, කේපී සිල්වා ලේකම් වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ද, වාසු-බාහුගේ නව සමසමාජ පක්‍ෂය ද, ජාතිවාදී කෝලාහල මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළේ ය යන භයානක චෝදනාව යටතේ තහනම් කිරීමයි. ඒ ඒ පක්‍ෂවල නායකයින් සිරභාරයට ගැනීමට නියෝග කරන ලදී.

මුලින් ම පොලිසියට භාර වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය. පැවැත්වුවා යැයි කියන ලද පරීක්‍ෂණයකින් පසුව ඔවුන්ව නිදහස් කර පක්‍ෂ තහනම ඉවත් කරන ලදී.

නව සම සමාජ පක්ෂයේ නායකයින් මාස කිහිපයක් සැඟවී සිට පසුව විජය කුමාරණතුංගගේ මැදිහත්වීම සහිතව එළියට පැමිණි පසු නිදහස් වූ අතර පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී.

නමුත් 1983 ජූලියේ දී ම යටිබිම්ගත වූ ජවිපෙ නායකයින් පසුව ඔවුන්ව මරා දමන තෙක් ම එළියට ආවේ නැත.

ජූලි කලබලවලින් මද කලකට පසුව ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ යම් දේශපාලන කණ්ඩායමකට විරුද්ධව නඩුවක් පැවරුණ ද, ඒ උඩුවරගේ හෙන්රි පෙරේර වැනි පිරිසක් සම්බන්ධව සිටි ජාත්‍යන්තරය තියා ලෝකල්බූවාලාවත් නොදන්නා කණ්ඩායමකට විරුද්ධව මිස ජනතා විමුක්ති පෙරමුණට හෝ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට හෝ නව සමසමාජ පක්‍ෂයට හෝ විරුද්ධව නොවේ!

ජූලි කලබල සම්බන්ධයෙන් හෝ ඒ අව්අස්සේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට හෝ ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැති නම්, විජේවීර සහ ගමනායක වැනි අය හැංගී නොසිට එළියට නොඑන්නේ ඇයි දැයි මා දිනක් රංජිතන් ගුණරත්නම්ගෙන් විමසූ විට ඔහු කීවේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් එළියට ආවොත් ඔවුන්ව මරා දැමීමේ තර්ජනයක් ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිගරුකව එළියට පැමිණ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නැවත දේශපාලනයේ යෙදෙනු වෙනුවට ජවිපෙ නායකයින් කළේ දිගින් දිගටම බිම් ගත ව සිටිමින්, උතුරේ අරගලයට විරුද්ධව බහුතර සිංහල ජනමතය දිනාගැනීම සඳහා මුලින් ජාතිවාදයට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු වැනි සටන් පාඨ, උතුරේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද වැනි පොත්පත්, විජේවීරගේ පණිවිඩ රැගත් කැසට්පට නිකුත් කරමින් සිට පසුව 1987 ශ්‍රී ලංකා-ඉන්දියා සාම ගිවිසුමෙන් පසුව, බැංකු මංකොල්ලකෑම්, ටී-56 සහ ගල්කටස් සටනක් හරහා දස දහස් ගණනකගේ ජීවිත ද සමග විනාශය කරා යාමයි.

මා 1983 සිට 1989 දක්වා ලැබූ අත්දැකීම් මත ජවිපෙට ස්තුතිවන්ත වෙන එක් කාරණයක් තිබෙන බව ද කිව යුතු ය.

එය නම් රට, ජාතිය, මව්බිම, දේශප්‍රේමය වැනි වචන සටන්පාඨ ලෙස ඉදිරිපත් කරන දේශපාලන කණ්ඩායම් සැබැවින් ම අවස්ථාවාදී නරුම භ්‍රෂ්ඨයින් බව සක්සුදක් සේ ඔප්පු කිරීමයි.

එය 1990 සිට ගතවෙමින් තිබෙන පසුගිය දශක තුනක පමණ කාලයේ දී දියෙන් කිරී වෙන්කර හඳුනා ගැනීමට මට ඉතා ප්‍රයෝජනවත් විය.

-රසිකොලොජිස්ට්

Thursday, 31 August 2017

රාජ්‍යය සහ සංස්ථාපිත ආගම් අතර අශුද්ධ සන්ධානය පිළිබඳ සටහනක් - Axis of evil


සංවිධානය වූ ආගම් යනු මූලිකව ම මිනිසුන්ගේ රැවටීම මත ගොඩ නැගී, සවිමත් වී, පැවතෙන කූට ව්‍යාපාර විශේෂයක් ය යන්න ආගමික අන්ධයින්ට හැර අන් සියලු දෙනාට ම සක්සුදක් සේ පැහැදිලි විය යුතු සත්‍යයකි.

එසේ ම, අල්ලාගෙන සිටින රාජ්‍ය බලය රැකගෙන දිගින් දිගට ම පවත්වාගෙන යාම තම ප්‍රධාන පරමාර්ථය ලෙස සලකන දේශපාලුවන්ට ද ඒ සඳහා අවශ්‍යවන්නේ ජනතාව දිගින් දිගම රැවටීමට බව ද අපි දනිමු.

එනිසා, සංවිධානය වූ ආගම් සහ රාජ්‍යය කරන දේශපාලුවන් ඒ එකම අරමුණ උදෙසා එකට කඳවුරු බැඳීමේ කිසිදු පුදුමක් නැති බව පෙනේ.

මේ අශුද්ධ සංධානය අද ඊයේ සිදු වූවක් නොව මිනිස් ශිෂ්ටාචාර ආරම්භයේ සිට ම සිදු වූවකි. බුදුන් සහ ජේසුන් වැනි ආගම් කතුවරු තම දහම රාජ්‍ය බලයෙන් තොරව පැතිරවූයේ වුව ද, ඔවුන්ගේ මරණයෙන් පසු ඒ දහම විකුණමින් බෞද්ධ සහ කතෝලික ආගම් දෙක සංස්ථාපිත වූයේ රජුන් හා එකතුව ජනතාව රැවටීමේ පොදු අවශ්‍යතාවය පෙරදැරී කරගෙන ය. ඒවා අද පැවතෙන්නේ ද, බොහෝ දුරට ඒ ආකාරයෙන් ම බව ද පැහැදිලිව පෙනේ.

ලංකාවේ අද පවතින සියලුම ආගමික සංස්ථා ද මුලින් ඇරඹුණේ, ඒ ඒ කාලවල සිටි රජුන්ට බෝලය බස්සවා, ඇම කවා බව අප අසා ඇත. තමන් නිරතුරු කරන ජඩ වැඩ එළිපිට කරනවාට වඩා ආගමට මුවා වී කිරීම ඊසි-පීසි බව පහසුවෙන් ම වටහා ගත් රජාලා ද, ක්‍ෂණයකින් ම වැඩේට සෙට් වූහ.

මා කියවා නැති වුණත්, මැකියවේලීලා ද, කෞටිල්‍යලා ද, විෂ්ණු ශර්මාලා ද, මේ ආකාරයෙන් පූජකයින් සහ රජය කරන්නන් යන දෙපාර්ශවයට වින්-වින් තත්වයක් උදා කරන ඔවුන් ගේ අශූද්ධ සන්ධානයේ ඇති වැදගත්කම ගැන ලියා තියෙනවාට සැක නැත.

කෙසේ වෙතත් මේ අශුද්ධ සන්ධානය කඩා ආගම සහ රාජ්‍යය වෙන් කිරීම නම්, අර නිර්ධන පන්තියේ ආඥාදායකත්වය උදා කිරීම වැනි, කිසිදාක කළ නොහැකි තරමේ අසීරු කාර්යයක් දෝ යැයි සිතේ.

මා වසන ඕස්ට්‍රේලියාව යනු සෑහෙන දුරකට ආගම සහ රාජ්‍යය වෙන්කර පවත්වාගෙන යන රටකි. උදාහරණ කිහිපයක් සඳහන් කළහොත්, රජයේ පාසල් ආරම්භයේ දී පන්සිල් ගැනීම් වැනි ආගම් සිහි කිරීමක් නැත. පාසල අවසානයේ දී "යෝවද තම්පව" හෝ "රෝමනු ජේසු" හෝ කීමක් නැත. රජයේ වියදමෙන් පාසල්වල ආගම උගන්වනු නොලැබේ. අවශ්‍ය අය සඳහා හැමට පොදු පාඩමක් ඇති අතර, දෙමව්පිය කැමැත්ත මත අපේ ළමුන් කළාක් මෙන් ඒ වෙලාවේ පුස්තකාලයට යාමට හැක. විෂයයක් ලෙස සංසන්දනාත්මක ආගම් ගැන උසස් පෙළ සඳහා ඉගෙන ගැනීමට නම් පහසුකම් සැපයෙතත් ආගම් සඳහා පොදු බදු මුදල් වැය කිරීමක් ගැන අසන්නට නැත.

තත්වය එසේ නමුත්, තවමත් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹෙන අවස්ථාවේ දී දෙවියන්ට යාඥාවක් කියනු ලැබේ. මෙය වසර සියයකටත් ඉහත කාලයක දී ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව ඇරඹූ කාලයේ සිට පැවත එන, තවමත් ඉවත් කර නැති, සම්ප්‍රදායකි.

ඒ හැර ආගම් සහ රාජ්‍යය අතර සම්බන්ධයක් ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි තරම් ය.

පාසල් ආරම්භයේ දී මෙන් ම, වෙනත් රාජ්‍ය උත්සව ආරම්භයේ දී ද, පන්සිල් ගැනීම ආදී ආගමික කටයුතු කෙරුණ ද, ලංකාවේ පාර්ලිමේන්තුවේ නම් සිල් ගැනීම් හෝ වෙනත් ආගමික කටයුතු නොකෙරෙන බව මගේ විශ්වාසයයි. කොහොමටත්, පාර්ලිමේන්තුවේ ඉන්නා බහුතරයක් හොරුන් සහ බොරුකාරයින් බවත්, තවත් පිරිසක් බඩුකාරයින් සහ අනියම් මිනීමරුවන් බවත්, ඒ මිස පන්සිල් රකින්නන් නොවන බවත්, අමුතුවෙන් කිව යුතුව නැත.

ලංකා පාර්ලිමේන්තුවේ ආගම් ඇදහීමක් නොවුණත්, රාජ්‍යයේ කටයුතුවලට ආගම්වල බලපෑම ඉතා විශාල බව බැලු බැල්මට ම පෙනේ.

මෙහි දී මුලින් ම අපට පෙනෙන්නේ, සංස්ථාපිත ආගම් ප්‍රෝඩාව රාජ්‍ය මට්ටමෙන් ද පවත්වා ගෙන ගොස් ජනතාව දිගින් දිගටම මුළා කිරීමේ ව්‍යාපෘතිය සඳහා, රජය විසින් ආරම්භ කර විශාල පිරිවැයක් දරමින් පවත්වාගෙන යන බුද්ධ ශාසන, ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගමික කටයුතු සහ මුස්ලිම් ආගමික කටයුතු යනා දී අමාත්‍යාංශ ගොන්නයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්‍ෂාව, නීතිය හා සාමය වැනි කරුණු නම් රාජ්‍යයේ විෂයය පරාසයට ඇතුළත් විය යුතු බව පැහැදිලි වුවත්, අතිශය පුද්ගලික කාරණයක් වූ ආගමික කටයුතු සඳහා අමාත්‍යාංශ අවශ්‍යවන්නේ ඇයි දැයි මට නම් නොතේරේ.

බෞද්ධ කටයුතු සඳහා ඇමතියෙකු පත් කරන ලෙසත්, ප්‍රතිපාදන සපයන ලෙසත්, බුදුන් කිසි දිනයක කොසොල් රජාගෙන් හෝ, සුද්දෝධනගෙන් හෝ ලිච්ඡවිලා සෙට් එකෙන් ඉල්ලූ බවක් මා නම් අසා නැත.

ලෝකයේ ඇති අනෙකුත් ආගම්වන ෂින්ටෝ, යුදෙව්, සීක්, බහායි වැනි ආගම් ලංකාවේ නැත්තේ රටේ අයවැයේ යහපතට බව පෙනේ.

බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් ලංකාවේ වැරදීමකින් හෝ බිහිවුණු දිනයක මේ ආගමික අමාත්‍යාංශ සියල්ල විසුරවා දමනු ඇතැයි සිතා සැනසීම හැර අපට කළ හැකි අන් දෙයක් තියේ ද?

සංස්ථාපිත ආගම් සහ රාජ්‍යය අතර ඇති මේ අශුද්ධ සන්ධානය නිසා ලංකාවේ සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින ව්‍යවසනයන් බොහෝ ය. ඒ බොහොමයකට හේතුව වී ඇත්තේ, රාජ්‍යය සමග තමන් අයිති සංස්ථාපිත ආගමේ ඇති අශුද්ධ සංධානයේ බලයෙන් මත් වෙන ආගමික නියෝජිතයින් ඉන් පසු රාජ්‍යයේ කටයුතුවලට අයුතු ලෙස බලපෑම් කරන්නට යෑම නිසා ය.

සඟ බලවේගය කරට ගෙන රජ පුටුවට ගිය සොලමන් බණ්ඩාරනායකට වූ දෙය ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වේ.

මේ කරුණු සියල්ල මගේ සිතට නැගුණේ පසුගිය දිනවල, විශේෂයෙන් ම ෆේස්බුක් හරහා, අසන්නට ලැබුණු සංස්ථාපිත ආගම් ලොක්කන්ගේ පිස්සු කෙළි කිහිපයක් නිසා ය.

විවිධ හේතු මත අනවශ්‍ය කළල ගබ්සා කිරීමට නීතියෙන් අවසර දීමට ඇති සැලසුම පිළිබඳව කතෝලික පල්ලිය විසින් නගා ඇති විරෝධය ඉන් එක් කරුණකි.

අන් බොහෝ දෙනෙකු පවසා තිබුණාත් මෙන් ම, මේ සම්බන්ධයෙන් මගේ අදහස ද වන්නේ, කතෝලික පල්ලියට තමන් අවශ්‍ය නම් තම අනුගාමිකයින්ට නීති පනවා ගන්නවා මිස, රටේ පොදු නීති සම්පාදනයට බලපෑම් කරන්නට අයිතිවාසිකමක් නැති බවයි. මෙය මීට කලින් ඔවුන් සාර්ථකව කර ගත් ආකාරයේ ඩාවින්චි කෝඩ් පොත හෝ චිත්‍රපටය තහනම් කිරීම වැනි සරල කාරණාවක් නොවේ.

ඒ ආකාරයේ දෙවන සිද්ධිය වූයේ, කතරගම පැත්තේ දේවාලයක වුණු කලබගෑනියයි. බුද්ධිමත් රාජ්‍ය නායකයෙකු සහ රජයක් අද ලංකාවේ වැරදීමකින් හෝ බිහිවී තිබුණා නම් මේ අවස්ථාවේ දී සිදුවිය යුතුව තිබුණේ ඒ මහා ප්‍රෝඩාව සදහටම නතර කර දැමීමයි.

ඒ වෙනුවට සිදුවුණේ, මෝඩයින් හැත්තක ගේ මුදල් කපටියන් කිහිප දෙනෙකු අතර කෙසේ බෙදී යා යුතුද වැනි අදින්නාදාන පාපයක් සම්බන්ධ මේ කුණු ගොඩ නිරාකරණය කර ගැනීම සඳහා හොරකම පවක් ලෙස සලකන බුද්ධාගම තම දඩමීමා කරගෙන සිටින බුද්ධ ශාසන අමාත්‍යාංශය මැදිහත් වීමයි!

තුන් වෙනි කාරණය ගැන ෆේස්බුක් හි ආරංචිය පැතුරුණේ ඊයේ ය. පොළොන්නරුවේ කවුදෝ ගනින්නාන්සේ කෙනෙකු පෝයදාට කඩ වහන්නට යැයි කියා නගරයේ ව්‍යාපාරික ස්ථානයකට ලිපියක් යවා ඇත.

බබා ස්වරයෙන් ලියා තිබුණද, එහි අන්තර්ගතයේ ඇති තර්ජනය ඉතා පැහැදිලි වේ. කොටින් ම, දැන් සති කිහිපයකට කලින් පුවත් මැවූ භාවනා කරපං ඩෝ *රියා සහ යනවද නිවන් නැතිනම් අපි අරින්ඩ ද ආකාරයේ මහා කාරුණික ඉල්ලීමකි.

වසර තිහකට කලින් භීම සමයේ ජවිපෙ බළල් අතක් වූ කුඩහපොළ බලකාය වැනි ත්‍රස්තවාදීන් මේ ආකාරයේ කඩේ වහපිය ඩෝ සෙනෙහෙ කොළ යැවූ අතර, ඒවා පිළි නොපදින බුලත් තට්ටුකාරයින් පවා ජවිපෙ මිනීමරු අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරා දමන ලදී. ඒ ඉන්දු ලංකා ගිවිසුම දඩමීමා කරගත් ජාතිවාදී ව්‍යාපාරයක ක්‍රියා ය.

කාලයක් තිස්සේ ජඩ වැඩ කරමින් රට ගඳ ගැස්සවූ නානසාර නිහඬ වී ඇති මේ මොහොතේ සිදුවුණු මේ ගනින්නාන්සේගේ ක්‍රියාව ප්‍රාදේශීය ආගමික ත්‍රස්තවාදයක පෙරනිමිත්තක්දැයි සැකයක් ඇති වීම සාධාරණ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සංස්ථාපිත ආගම්වලට රැවටී ඉන්නා අයගේ සහයෝගය ලබා ගැනීම පිණිස ලංකාවේ රාජ්‍යය විසින් කර ඇති එකම අකටයුත්ත මා පෙර සඳහන් කළ අමාත්‍යාංශ පිහිටුවා මහජන මුදල් නාස්ති කිරීම පමණක් නොවේ.

ඊට අමතරව, ව්‍යවස්ථාවේ බුද්ධාගම සුරැකීමක් ගැන නොමනා සඳහනක් කිරීම, පෝය නිවාඩු දහතුනක් රජයේ නිවාඩු දින ලෙස නම් කර රටේ ඵලදායීතාව අඩු කිරීම, "ගනිං ඩෝ පන්සිල්" න්‍යායෙන් පෝය දිනවල මත්පැන් අලෙවිය තහනම් කිරීම, පන්සල් සහ පල්ලිවලට ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පරිසරය දුෂණය කරන්නට ඉඩ දීම, ආගමික දිනයන් හි දී, බැනර් දැමීමට, ගොඩනැගිලි ආලෝකමත් කිරීමට මහජන මුදල් නාස්ති කිරීම යනාදිය ද දැක්විය හැකි ය.


(image: )

Sunday, 14 May 2017

ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties


අද නිවැරදි "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය උදා වෙන්නට පෙර මට ගිය සතියේ "නෝ බොඩීස් ඩේ" හෙවත් කාගෙවත් නොවන දිනයක් උදා වුණු හැටි ගැන සිතෙන් සිනාසෙමින් සිටියදී මගේ සිතට ආවේ ලංකාවේ දේශපාලන පක්‍ෂ ද "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කළොත් ඒ කොයි ආකාරයට වේ ද යන්න ය.

මේ ඓතිහාසික කරුණු පිළිබඳ තරමක අධ්‍යයනයකින් පසුව පිළියෙල කළ "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දින සුබ පැතුම් කිහිපයකි.



ආදරණීය ලංකා ජාතික සංගම් අම්මේ,

අද ඔබ අප අතර නැති වුවත් මම ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා යැයි පතමි!

මේ ඔබේ ආදර දියණිය,

එක්සත් ජාතික පක්‍ෂය



ආදරණීය එක්සත් ජාතික පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය




ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය

ප/ලි:
මගේ එක්සත් ජාතික පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.



ආදරණීය ශ්‍රී ලංකා මහජන පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

බහුජන නිදහස් පෙරමුණ

ප/ලි:
මගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ලංකා කොමියුනිස්ට් පක්‍ෂය



ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

නව සමසමාජ පක්‍ෂය




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය,

සමාජ සමානතා පක්‍ෂය

ප/ලි:
අනේ මගේ අම්මා විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය අද ජීවතුන් අතර සිටියා නම්!

ප/ප/ලි:
මේ මං විප්ලවවාදී කොමියුනිස්ට් සංගම් මිනිපිරිය හොඳේ. මං නම වෙනස් කළා ආච්චී!



ආදරණීය ලංකා කොමියුනිස්ට් පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය

ජනතා විමුක්ති පෙරමුණ

ප/ලි:
අනේ මගේ අම්මා ලංකා කොමියුනිස්ට් පක්‍ෂ චීන පිල අද ජීවතුන් අතර සිටියා නම්!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ජාතික නිදහස් පෙරමුණ

ප/ලි:
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ නංගී සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!



ආදරණීය ජනතා විමුක්ති පෙරමුණු අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

ප/ලි:
ජාතික නිදහස් පෙරමුණ අක්කා සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

හෙළ උරුමය

ප/ලි:
මේ මං සිහල උරුමය දියණිය හොඳේ. මං නම වෙනස් කළා අම්මේ!

ප/ප/ලි:
මට තවත් අම්මලා ඉන්නවා ද මන්දා?




තවත් සුබ පැතුම් යැවෙන්නට ඇත. ඔබට හැකි නම් එක් කරන්න.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/explore/family-tree-templates/)

Sunday, 7 May 2017

එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others


මේ සටහන ලියන්නට සිතුනේ ඉහතින් දක්වා ඇති Meme නොහොත් සයිබර් පෝස්ටරය දුටු විට ය.

මේ මෙමේය දුටු විට මට දැනුනේ හාස්‍ය රසයකි. මුවගට නැගුනේ සිනාවකි.

එයට හේතුව නම්, මෙයි එන "අනුර අයියා" නම් ඇමතුමයි.

අප දන්නා පරිදි සම්ප්‍රදානුකූලව වාමාංශික පක්‍ෂවල සාමාජිකයින් එකිනෙකා අමතන්නේ සහෝදරයා හෝ සහෝදරිය කියා ය. ඒ ආකාරයේ ඇමතුමකින් නිතැනින් ම හැඟෙන්නේ එලෙස එකිනෙකා අමතා ගන්නා පිරිස, එකිනෙකා හා සමානයින් ය යන්නයි.

එක එල්ලේ ම, නිවැරදි අරුත ගෙන නොදුන්නේ වුව ද, සහෝදරයා / සහෝදරිය යන සිංහල ඇමතුම යොදා ගන්නේ "කොම්රේඩ්" යන ඉංග්ලිෂ් වචනය වෙනුවටයි.

එකම කාමරයක් බෙදා හදා ගන්නා වැනි අරුතක් සහිතව මුලින් ම භාවිතා වී ඇති බව පෙනෙන "කොම්රේඩ්" යන වචනය එකිනෙකා හා සමානයින්, එකම කර්තව්‍යයක නිරතවෙන අය, යන සාමාන්‍ය අරුත දෙන පදයකි. එනිසා, එලෙස ආමන්ත්‍රණය කර ගන්නේ ද ඒ ආකාරයෙන් එකිනෙකා හා සමාජ සම්බන්ධතා ඇති අයයි.

විශේෂයෙන් ම, ලොක්කන් සහ සොක්කන් නොව, තම සාමාජිකයින් එකිනෙකා හා සමානයින් යැයි සළකන සමාජවාදී පක්‍ෂ සහ වෘත්තීය සමිති කොම්රේඩ් යන වචනය භාවිතා කරන්නේ එනිසා ය.

මෙය කියවන සමහරෙකුට "රසික, ඔබ ඒ කියන්නේ සමාජවාදී පක්‍ෂ ගැන ය, නමුත් මේ කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන ය!" යනුවෙන් සරදමක් කිරීමට සිතුණොත් එය ලොකු පුදුමයක් නොවේ.

ඒ සරදම් කෙසේ වෙතත්, "අනුර සහෝදරයා" නොකියා "අනුර අයියා" කියා කරන මේ ඇමතුමෙන් අපට පෙනෙන්නේ අයියලාට බාල මල්ලිලා (සහ නංගිලා) ද සිටින බවයි.

එනම්, ජනතා විමුක්ති පෙරමුණේ අද සිටින්නේ එකිනෙකා හා සමාන සහෝදරයන් නොව, ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා බවයි.

සමහර විට, හයිරංකාර ලොකු අයියලා සහ අතපල්ලෙන් වැටුණු චුට්ටං මල්ලිලා ලෙස තවත් දරුණු තත්වයක් තියෙනවා විය හැක.

වාසනාවකට මෙන් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර පිළිබඳ සඳහන් කෙරෙන තැන්වල අද ජනතා විමුක්ති පෙරමුණේ මේ ලොකු අයියලා විසින් තවමත් "ආදරණීය රෝහණ සහෝදරයා" යනුවෙන් කියනු මා අසා ඇත.

නමුත් මේ අනුර අයියා ප්‍රවනතාවය ඉදිරියටම පැවතිය හොත්, "ආදරණීය රෝහණ සහෝදරයා" යන යෙදුම වෙනුවට, "රෝහණ ලොක්කයියා", "රෝහණ මාමා", "රෝහණ සීයා", "රෝහණ කිරිකිත්තා" යනාදී යෙදුම් ද අපේ ජීවිත කාලය තුළදී ම අසන්නට ලැබෙනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කාරණය ජනතා විමුක්ති පෙරමුණේ ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකුගෙන් මම මෙලෙස විමසුවෙමි.
"මොකක්ද මේ අයියා කතාව?
එක පවුලේ නොවෙයි නේද?
සහෝදරයා (කොම්රේඩ්) කියන එකට මොකද වුනේ?"
ඔහු කියා සිටියේ මෙයයි.
"ඒක තියෙනවා ☺☺
සම වයසේ නොවන අයට අයියා කියලා කවදත් කිවුවා. සිරි අයියා කිවුවෙ සෝමවංශ සහෝදරයාට. සහෝදරයා කියන්නේ පොදුවේ. ව්‍යාපාරය තුල ඉන්න සම වයසේ කෙනාටත් සහෝදරයා කියනව."
එය අසා, ජෝර්ජ් ඕවල් ගේ "ඇනිමල් ෆාම්" කෘතියේ මා කියවා ඇති සිංහල පරිවර්තනය සිහි වී මම මෙලෙස පිළිතුරු බලාපොරොත්තු නොවන පැණයක් නැගුවෙමි.

"ඒ කියන්නේ පක්ෂයේ සියළු දෙනාම සමාන සහෝදරවරු නමුත් සමහර සහෝදරවරු සෙසු අයට වඩා ලොකු සහෝදරවරු ය කියන එකද?"

ප/ප/ලි:
ඉකොනොමැට්ටා විසින් ලියා ඇති මේ ලිපියෙන් අපූරු කතාවක් කියවේ!
http://economatta.blogspot.com/2017/05/blog-post_7.html

(image: https://www.facebook.com/photo.php?fbid=1193540444107616&set=pb.100003550150915.-2207520000.1494078154)

Friday, 28 April 2017

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others


මෙය පැරණි රසාංගයකි. මුලින් පළ කළ විට කියවූ අය ද බොහෝ දෙනෙකු සිටිය හැක.

කෙසේ වෙතත්, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන එක්තරා කාරණයකට මේ කතාවේ මූලික සම්බන්ධයක් ඇති නිසා, කලින් කියවා ඇති අයට නැවත කියවීම පිණිසත්, කලින් කියවා නැති අය ගේ දැන ගැනීම පිණිසත්, කතන්දර කීමේ භාෂා රටාවෙන් සම්මත ලේඛන රටාවට සංස්කරණය කර මේ ලිපිය නැවත පළ කරන්නට සිතුවෙමි.

මේ මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ ලද අත්දැකීමකි. ඒ වසරේ පැවැත්වුණු අපේ වාර්ෂික ෆැකල්ටි ඩේ උත්සවයේ රාත්‍රී ප්‍රිය සම්භාෂණය සඳහා සංගීතය සැපයීමට සංගීත කණ්ඩායමක් හෙවත් බෑන්ඩ් එකක් සොයා ගැනීමට අපට අවශ්‍ය විය.

උදෑසන සම්මන්ත්‍රණයකින් ද, සවස් වරුවේ විවිධ ක්‍රීඩාවලින් ද, රාත්‍රී ප්‍රිය සම්භාෂණයෙන් ද සමන්විත වූ මේ ෆැකල්ටි ඩේ ඉවෙන්ටුව සංවිධානය කෙරුණේ ඉංජිනේරු ශිෂ්‍ය සංගමය (Engineering Students' Union) විසිනි. ඒ වසරේ මා එහි සභාපතිවරයා වීමි.

ඒ දිනවල මහනුවර ප්‍රදේශයේ එක් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූයේ, මගේ මතකයට අනුව, හීසොනයිට් කණ්ඩායමයි. ඔවුන් සාමාන්‍යයෙන් සංගීතය සැපයූවේ නුවර වැවට ඉහළින් දිවෙන මාර්ගය අසල පිහිටා ඇති හොටේල් සුයිස් හි ය.

අපේ ප්‍රිය සම්භාෂණය සඳහා හීසොනයිට් කණ්ඩායම ගෙන්වා ගැනීමට අපට අවශ්‍ය විය. මේ ගැන සාකච්ඡා කිරීමට, සංගීත කණ්ඩායම සමග යම් හැඳුනුම් කමක් තිබුණු මගේ බැච්මේට් සගයෙකු සමග මම එහි යාමට තීරණය කළෙමි.

පැණිදෙණියෙන් බස් රථයක නැගී මහනුවරට ගිය අපි නුවර වැව පාර දිගේ හොටේල් සුයිස් දිශාවට ඇවිද යාමට පටන් ගත්තෙමු. වේල්ස් උද්‍යානය අසලින් කන්ද නැග වමට හැරී යන විට දකුණු අත පැත්තෙන් ඇත්තේ, ජේවීපීකාරයින් ද ඇතුළු අපේ සියලුම දේශපාලුවන් නිතරම යන එන සහ එනිසා ම අප රූපවාහිනියේ ද, මුද්‍රිත මාධ්‍යවලින් ද දකිනා මල්වතු මහා විහාරයයි.

මා මේ පන්සලට කිසි දිනක ගොස් නැත. නමුත් මා දන්නා පරිදි මෙය නිකංම නිකං පන්සලක් නොවේ. මෙය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මූලස්ථානය නොහොත් හෙඩ් ක්වාටර්ස් එකයි. නිකාය පාර්ශවයේ නායක හාමුදුරුවරුන් ගේ කාර්යාල සහ ආවාස පිහිටා ඇත්තේ මේ ස්ථානයේ විය යුතු ය. ඊට අමතරව මෙහි පිරිවෙනක් ද ඇති යැයි සිතමි.

වැව පාරේ ඇවිදින අපට පන්සල් භූමියේ ඇති විශාල ගොඩනැගිලි පෙනේ.

මේ ගොඩනැගිලි දුටු මා සමග ගමන් කරමින් සිටි සගයා මෙසේ පැවසීය.

"යකෝ, බලපංකෝ මේ පන්සලේ බිල්ඩින්වල ලොකු! මිනිස්සු දුක් විඳිනවා. හාමුදුරුවරු සුර සැප විඳිනවා!"

දැන් මෙය අප කලින් අසා නැති අමුතු කතාවක් නොවේ.

සමාජයෙන් දානමාන පිළිගැනීම මිස සමාජයට කෙරෙන ආගමික නොවන සමාජ සේවා සඳහා පන්සල් ප්‍රසිද්ධ නැති බව අප දනිමු.

සුනිල් ආරියරත්න ද මේ කාරණා පිළිබඳව ගීත කිහිපයක් ම ලියා ඇති අතර මන්දා නාලනී නැන්දා අප සිත් පුබුදාලමින් ඒවා ගායනා කරන්නී ය.

එසේ වුවද මට මගේ සගයා ගේ පෙර කී කතාවේ පොඩි අවුලක් දැනුණි.

එක්වරම ඒ අවුල කුමක්දැයි මට සිතා ගත නොහැකි වුවත්, තත්පර කිහිපයකින් අවුල නිරවුල් විය.

අවුල වූයේ මෙයයි.

මල්වතු විහාර පිළිබඳව පෙර කී විවේචනය කළ මගේ ගමන් සගයා බුද්ධාගමිකයෙකු නොව කතෝලිකයෙකි.

පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ වෙනත් ආගමක අයෙකු බුද්ධාගං වැඩ විවේචනය කිරීම අතර ලොකු වෙනසක් තිබේ යැයි මට සිතේ.

ඒ වාගේ ම පරම්පරාවෙන් බුද්ධාගංකාරයෙක් බුද්ධාගං වැඩ විවේචනය කිරීම සහ ඔහු හෝ ඇය ම වෙනත් ආගමක වැඩ විවේචනය කිරීම අතරත් ඒ ආකාරයේ ම ලොකු වෙනස තිබේ!

මේ නියමයේ කොරොලරිය මෙයයි.

"තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න බැරි අයට අනුන්ව විවේචනය කරන්න අයිතියක් නැත!"

-රසිකොලොජිස්ට්

ප/ලි:
"මචං, මේ නිකං පන්සලක් නොවෙයි එක නිකායක හෙඩ් ක්වාටර්ස් එක. ඇයි බං ගිහිං බලපංකෝ උඹලාගේ බිෂොප්ලා ඉන්න පල්ලි ගොඩනැගිලි හෙම පොඩි ගවලෙන් වගේ ඒවා ද කියලා!" යැයි කියා මම මගේ මිතුරා නිහඬ කළෙමි.

ප/ප/ලි
මේ ලිපියේ අන්තර්ගතය සමග මූලික සම්බන්ධයක් ඇති, මේ දිනවල සයිබර් අවකාශයේ කතා බහට ලක්වෙන කාරණය සම්බන්ධව මගේ අදහස හෙට රසිකොලෙජියේ පළ වෙනු ඇත.

http://www.jvpsrilanka.com/old/images/stories/2014/September/mal1.jpg

Saturday, 24 September 2016

අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward?


දින දෙක තුනකට ඉහත දී මම ජයලත් මනෝරත්න විසින් ලියා, අධ්‍යක්‍ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟ පෑ "ගුරු තරුව" නම් වේදිකා නාට්‍යය ගැන ලියූ ලිපියක "ගුරු ගීතය" නම් පරිවර්තන කෘතිය ගැන යන්තමින් සඳහනක් කළෙමි.

"ගුරු ගීතය" පරිවර්තන කෘතිය පිළිබඳව මම ඊට පෙර ලිපියක ද සඳහන් කර ඇති බව ඒ මොහොතේ මට සිහිවිය. ඒ පෙර අවස්ථාව වූයේ හිටපු පාසල් ගුරුවරයෙකු වන සමන්ත විද්‍යාරත්න නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරු ගීතයේ ආ ප්‍රධාන චරිතයේ පුද්ගල නාමය උපයෝගී කර ගෙන ඇරඹූ "දුයිෂෙන් ගේ අඩවිය" නම් බ්ලොගය හඳුන්වා දීම උදෙසා රසිකොලොජියේ පළ කළ ලිපියයි.

සමන්ත විද්‍යාරත්න යනු මා සිත දිනා ගත් දේශපාලන චරිතයක් බව මුළින් ම කිව යුතුය. මා කිසි දිනෙක ඔහුව සැබැවින් දැක නැති නිසා, ඒ පැහැදීමට හේතුව මුළුමණින් ම සයිබර් අවකාශය හරහා මා දැක ඇති ඔහු ගේ කතා, දේශන සහ විවාද ආදිය බව පැහැදිළිය.

පසුගිය මහ ඡන්ද සමයේ තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි.

http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම, මා ද දුක් වීමි.

කරුණු එසේ හෙයින්, ගුරු ගීතය නවකතාවේ ප්‍රධාන චරිතයවන දුයිෂෙන් ගේ නම ආරූඪ කර ගෙන සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලොවට පිවිසෙන බවට ලැබුණු ආරංචිය සිත තුළ ඇති කළේ සතුටකි.

බ්ලොග් ලියමින් සිට පූර්ණකාලීන දේශපාලනයට ගිය අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන වැන්නන් ගැන මා දැන සිටිය ද, දුයිෂෙන් ගේ ආගමනයේ දී සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි, එනම්, පූර්ණකාලීන දේශපාලකයෙකු බ්ලොග් ලොවට පිවිසීමයි.

එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි.

සමන්ත විද්‍යාරත්න ඇරඹූ දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගය ගැන ඇති වූ මා පෙර කී ඒ සතුට සමගම මගේ සිතේ යම් කිසි ආකාරයක කුකුසක් ද ඇති විය.

එනම්, කුමක් හෝ දේශපාලන පක්‍ෂයට බැඳී තම හෘද සාක්‍ෂිය ඒ පක්‍ෂයට පාවා දී පක්‍ෂයේ මතය අකුරට ම අනුගමනය කරමින් ජීවත්වීමත්, සාහිත්‍යමය කර්තව්‍යයක් වන බ්ලොග්කරනයේ නිරතවීමත් එකට කළ හැකි කාර්යයන් ද්වයක් නොවන බව මට එදා ම සිතුණි.

දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගයේ පළ කළ මුල්ම ලිපිය වූ "දුයිෂෙන් ගේ පන්නරය ලැබූ ගුරු ජීවිතය" නම් සටහනෙන් සමන්ත විද්‍යාරත්න තමන් ගේ වෘත්තීය ජීවිතය ඇරඹුණු හැටි අපූරුවට විස්තර කළේ ය.

මේ ඒ ලිපිය කියවා එදා මා තැබූ තැබූ ප්‍රතිචාරයයි. ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මම ය.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.

මගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
පසුව ඔහු කවුදැයි හොඳින් දැන ගත් පසු මෙසේ පැවසුවෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි. මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්ෂියක් නැතුව යනවා.

කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.

ජයවේවා!
මේ ඔහු එදා එයට දුන් පිළිතුරයි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
මා මෙන් ම, ඒ ආකාරයේ සහ ඒ හා සමාන ප්‍රශ්න නැගූ අය බොහෝ දෙනෙකු වූහ. මේ ලියන්නේ පක්‍ෂයෙන් අවසර අරගෙනදැයි සමහරු කෙලින්ම ඇසූහ.

දුයිෂෙන් ඒ සැම දෙනාටම ලබා දුන්නේ එක සමාන ඇල්වතුර (එනම් සංවර) පිළිතුරකි.

සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගයේ ඒ මුල් ම ලිපියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. බ්ලොග් අවකාශයේ ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි බොහෝ දෙනෙකු මෙන් ම මම ද සිතුවෙමි.

ඔහු ගේ දෙවෙනි ලිපිය ගම්බද දිළිඳුකම තුරන් කිරීමට ක්‍රියාත්මක කළ හැකි බොහෝ දුරට සිල්ලර වුවත් කෙටි කාලීනව ප්‍රායෝගික විය හැකි එක් විසඳුමක් පිළිබඳව විය.

මා හිතන පරිදි දුයිෂෙන් ගේ අඩවියේ අවගමනය ඇතිවුණේ බ්ලොගය අරඹා මසකට පමණ පසු එහි සිව්වෙනි ලිපිය ලෙස පළ වූ ඌව පළාතේ තිබුණා ය කියවෙන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ලියවුණු ලිපියත් සමග ය. මෙය සමන්ත විද්‍යාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්‍ෂගේ මධුසමය පැවති 2005-2009 කාලයේ ලියවුණු එකක් විය යුතුය යනුවෙන් විවිධ හේතු මත මා පසුව නිගමනය කළෙමි.

ඒ ලිපිය කියවන විට මට සිතුණේ, මා කියවා නැති, ප්‍රව්ඩා, ගැන්මා සහ පීපල්ස් ඩේලි පුවත්පත්වල ලිපි මේ ආකාරයේ ඒවා විය යුතු නේද කියායි!

ලස්සන වචනවලින් වසා තිබුණද, කිසිදු වැදගත් ප්‍රගතිශීලි අන්තර්ගතයක් නොතිබුණු එය එතරම්ම පුස් ලියවිල්ලක් විය.

ලිපියේ අන්තර්ගතය පිළිබඳ පාඨකයින් නැගූ එකදු ප්‍රශ්නයකටවත් සාධනීය පිළිතුරක් සැපයීමට සමන්ත විද්‍යාරත්න අපොහොසත් විය. ඒ වෙනුවට ඔහු, අන්තර්ගතය වර්ණනා කරමින් අලගපත් තැබූ අයගේ ප්‍රතිචාරයෙන් ඔකඳ වෙමින් සිටිනවා දෝ යි මට සිතුණි.

මගේ අදහස වූයේ සමන්ත විද්‍යාරත්නලා කළ යුත්තේ කැප්පෙටිපොළ, කුඩහපොළ, කීර්ති විජබාහු වැනි චරිත සහ ඒ අදාල ඉතිහාසයේ ඇලී ගැලී සිටීම නොව, රටේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාදෙන සැළසුම් ඉදිරිපත් කිරීම බවය.

මා ඒ බව මෙසේ ප්‍රතිචාරයක් මගින් කීවෙමි.
ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!

ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය....

ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිට ම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!
සමන්ත ගේ පිළිතුර මෙසේ විය.
ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.

ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව.
කෙසේ වෙතත්, දැන් සෑහෙන කාලයකින් දුයිෂෙන් ගේ අඩවිය යාවත්කාලීන වී නැත. නැගගෙන ආ තරුව බැසගෙන ගොස් දැයි මට සැක සිතේ.

එසේ නොවන්නේ නම් හොඳ ය.

මා ගුරු ගීතය පරිවර්තිත නවකතාව කියවා නැති වුණත්, එනමින් යුතු චිත්‍රපටය නරඹා ඇති බව මුළින් සඳහන් කළෙමි. එය නරඹද්දී මට හිතුණේ, අවසානයේ දුයිෂෙන්ට හෝ අල්තීනාට අත් වූ සුගතියක් නෑ නොවේ ද යන්නයි.

චිත්‍රපටයේ දැක්වුණු ආකාරයට නම් අවසානයේ අල්තීනා වියපත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කල් යවයි. දුයිෂෙන් නම් ආගිය අතක් නැත.

එහි නම් උත්ප්‍රාසයක් නැත. ඇත්තේ අභාග්‍යයක් පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි (28 September 2016, 01:25pm AEST):
කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.

මේ සැමට පොදු පිළිතුරකි.

ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.

වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.

මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.

මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.

එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!

ස්තුතියි!

(https://en.wikipedia.org/wiki/Pied_Piper_of_Hamelin)

Sunday, 29 May 2016

දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinion


තණ බිමක හරකුන් දෙදෙනෙකු තණ කමින් සිටි අතර ඉන් එකෙකුට තණකොළ අස්සේ තිබී මොනවා දෝ යමක් තදට හැපුණි. මූ කම්මැලි හරකෙකු වූ නිසා, ඒ මොනවාදැයි හරියට විපරම් කර නොබලා ඔහේ ගිල දමන්නට වූයේ පසුව වමාරා කන වේලේ දී, එය අනවශ්‍ය කෑමක් නම් ඉවත් කර දමන්නෙමි යන සිතුවිලේලෙනි.

නමුත්, මේ තණකොළ සමග හැපෙන ද්‍රව්‍යය හැපීම තරමක් අසීරු වූ නිසා, මේ හරකා දෙඇස ඇර ඒ මොනවාදැයි විපරම් කර බැලීය. තමා මේ කන්නේ සිනමා පටයක සෙලෝලයිට් කෑලි බව ඌ දුටුවේ එවිටය.

මේ බව දුටු එතැන සිටි අනෙක් හරකා "කොහොමද සහෝදරයා චිත්‍රපටිය හොඳද?" කියා විමසුවේ සරදමට ය.

"වරදක් නෑ මචං, හැබැයි මේකේ නවල් එක නං මීට වඩා හොඳට දැනුණා!" මුල්හරකා පිළිතුරු දුනි.

ඒ කථාවෙන් කියවෙන්නේ අප දන්නා සිංහල හෝ හොලිවුඩ් සිනමාවේ පමණක් නොව මා සිතන විදියට විශ්ව සිනමාවේම ඇති පොදු ප්‍රශ්නයක් පිළිබඳව සරදම් කතාවකි. ඒ ප්‍රශ්නය නම්, මුද්‍රිත නවකතාවක් හෝ කෙටිකතාවක් ආශ්‍රයෙන් සිනමා කෘතියක් නිපදවුණු විට ඒ සිනමා නිර්මාණයෙන් මුල් කෘතියේ රසය නොමරා ඉදිරිපත් කර ඇති ද යන්නයි.

අපට බොහෝ විට අසන්නට ලැබෙන්නේ, සිනමා අධ්‍යක්‍ෂක විසින් නවකතාව භක්‍ෂණය කර ඇතැයි යන මැසිවිල්ලයි.

මේ තත්වයට බොහෝ විට හේතුව වන්නේ සිනමා නිර්මාණය නැරඹීමට යන බොහෝ දෙනෙකු තමන් කියවූ නවකතාවෙන් ලද තෘප්තිය, ආස්වාදය නිසා සිනමා පටය නැරඹීමට යාමත්, එහිදී, සිනමාව යනු මුද්‍රිත කෘතියකට වඩා වෙනස් වූ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බවත්, එනිසා ම මුද්‍රිත කෘතිය සේම එය ද ස්වාධීන නිර්මාණයක් බවත් අමතක කිරීමත් ය.

නවකතාවේ තමා ගේ කියවීම, තමන් ගේ සිතේ මැවුණු චරිත ලක්‍ෂණ, හැසිරීම් සිනමා නිර්මාණයේ නොදකින මොව්හූ මුසප්පු වෙති.

මේ මා වෙනත් අය ගැන කරන දෝෂාරෝපණයක් නොවේ. මා ද, බැද්දේගම වැනි සිනමා පට නරඹද්දී, මේ තත්වයට පත් වී ඇත්තෙමි.

තමන් නොකියවූ නවකතාවක් ඇසුරෙන් නිමවුණු සිනමා පටය නැරඹීමේ වැදගත් වන්නේ ඒ නිසා ය.

දුයිෂෙන් නම් ගුරුවරයෙකු ද, අල්තීනා නම් කෙල්ලක ද, පොප්ලර් ගස් දෙකක් ද සම්බන්ධ ගුරු ගීතය නම් රුසියානු නවකතාවක සිංහල පරිවර්තනයක් ගැන මා මුලින්ම ඇසුවේ මීට වසර දෙක තුනකට පමණ පෙර ෆේස්බුක් හරහා ය. විශේෂයෙන් ම එහි ගොඩ නැගී ඇති සාර්ථකම කණ්ඩායමක් වන "පොත් කියවන අය" නම් සංවාද මණ්ඩපයේ දී ය.

මේ ගුරු ගීතය නම් පරිවර්තන කෘතියේ අන්තර්ගතයට වශී වූ අය දක්වන ප්‍රතිචාර මෙන්ම මේ කෘතිය සෝවියට් ප්‍රචාරකවාදී කඩමාල්ලක් ලෙස පිළිකෙව් කෙරෙන ප්‍රතිචාර ද මම පොත් කියවන අය කණ්ඩායම හරහා දැක ඇත්තෙමි. කෙසේ වෙතත්, රුසියානු පරිවර්තන කෘති විශාල සංඛ්‍යාවක් කියවා ඇති මා, ලංකාවේ බොහෝ දෙනෙකු කියවා ඇති මේ කෘතිය කියවා නොතිබීම ගැන මට ඇති වුණේ පුදුමයකි.

වසර කිහිපයකට පෙර ලංකාවට ගිය අවස්ථාවක දී, ගුරු ගීතය පොත් පිටපතක් මා රැගෙන ආවේ එනිසා ය.

එසේ නමුත්, එය තවමත් එකදු වචනයක් නොකියවී මගේ පොත් අල්මාරියක කොහේ හෝ කොනක නිරුපද්‍රිතව තිබේ!

ගුරු ගීතය ඇසුරෙන් සිනමා පටයක් නිපදවෙන බව ද මට දැන ගන්නට ලැබුණේ අන්තර්ජාලය හරහා ය. ඒ සිනමා නිර්මාණය මා වසන ඕස්ටේ‍ර්ලියාවේ සිනුවර ප්‍රදර්ශනය කෙරෙන බව දැන ගන්නට ලැබුණු විගස එය නොවරදවා නැරඹිය යුතු යැයි මම තීරණය කළෙමි.

ගුරු ගීතය පොත මා තවමත් කියවා නැති නිසා මා දන්නේ සිනමා පටය ගැන පමණි. නිර්මාණයක් ලෙස සෑහෙන දුර්වලකම් තිබුණු ඒ සිනමා පටයේ නැරඹීමෙන් නම් කිසිවෙකු දුයිෂෙන් ගේ චරිතයට වශීවෙනු හෝ අල්තීනා ගේ චරිතය ගැන දුක්වෙනු හෝ ඇතැයි මම නොසිතමි.

කෙසේ වෙතත් මා මේ ලිපිය ලියන්නේ ගුරු ගීතය සිනමා නිර්මාණය ගැන විචාරයක් කිරීමට නොවේ.

සිනුවර ගුරු ගීතය සිනමා දර්ශනය සංවිධානය කළේ මා මිත්‍ර ජගත් බණ්ඩාර විසිනි. එයින් ලැබෙන ලාභය ඔහු සම්බන්ධ සංවිධානයක් විසින් පියාපත් යන නමින් ආරම්භ කර ඇති ලංකාවේ ළමුන්ට ශිෂ්‍යත්ව ලබාදෙන අරමුදලකට යොමු කරන බව කියවුණි. ටිකට් පත සඳහා මා වැය කළ ඩොලර් විසිපහෙන් ශාලා වියදම් හැර ඉතිරිවෙන සුලු මුදලෙන් යම් ප්‍රයෝජනයක් සිදුවෙන බවට දැනගත් මට ඇති වුණේ සතුටකි.

ජගත් බණ්ඩාර යනු එවකට සිඩ්නි නගරයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයා විය. යුද්ධය පැවති සමයේ මානෙල් මල් විකුණුවේ ද ඔහු ය. අනුර කුමාර දිසානායක 2010 අග භාගයේ සිනුවරට පැමිණ පැවැත්වූ සම්මන්ත්‍රණ සභාවේ මූලාසනය ගත්තේ ද ඔහු ය. ජගත් බණ්ඩාර ඒ දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ මහා සමුළුව අමතන ඡායාරූප ද මම දැක ඇත්තෙමි.

කෙසේ වෙතත්, සිනුවර යනු ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැයික්කියයි. එනිසා, වසර 2012 දී සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණ බෙදී යාමේ දී සිනුවර බලය හිමිවූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයටයි. අත් අඩංගුවෙන් මිදී, ලංකාවෙන් පිටුවහල් කරනු ලැබූ ප්‍රේමකුමාර් ගුණරත්නම් මුලින්ම ප්‍රසිද්ධව කතා කළ රැස්වීමේ මුලසුන හෙබවූයේ ද ජගත් බණ්ඩාර ය.

ඒ කරුණු වැදගත් වන්නේ වෙනත් මෙයටම අදාළ කරුණක් නිසා ය.

ගුරු ගීතය පරිවර්තිත නවකතාවේ එන දුයිෂෙන් නමැති පරමාදර්ශී ගුරුවරයා ගුරුකොට තම ජීවිතය හැඩ ගස්වා ගත් පොඩි දුයිෂෙන් කෙනෙකු ඊයේ බ්ලොග් ලෝකයට පිවිස ඇති බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඒ ලංකාවේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තරුණ වාමාංශික දේශපාලකයෙකු බව ද තව දුරටත් රහසක් නොවේ.

මා සිනමා නිර්මාණය තුළින් පමණක් දුටු ගුරු ගීතයේ දුයෂෙන් ගැන මට කිව හැක්කේ, ඔහු ක්‍රියා කළේ තමන් ගේ හෘද සාක්‍ෂියට අනුව වුවත්, ඒ එහිදී තමන් ගේ පක්‍ෂයෙන් නොහොත් රජයෙන් තමන්ට ලැබුණු නියෝගය සහ ඔහුගේ අවංක බලාපොරොත්තුව සමපාත වූ නිසා බවයි. සිනමා නිර්මාණයට අනුව පක්‍ෂයෙන් අණ ලැබුණු පසු ඔහු යුද බිමට ගොස් ඇත්තේ ද ඒ අනුව ම ය.

බ්ලොග් ලෝකයට සම්ප්‍රාප්ත වූ අපේ දුයිෂෙන් ගැන මට කීමට ඇති දේ මා මේ ආකාරයට "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ සටහන් කළෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි.

මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා.

ප්‍රේමකුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්‍ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්‍ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්‍ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්‍ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.
ඔබ මේවන විටත් "දුයිෂෙන් ගේ අඩවිය" බ්ලොගයේ පදනම සැපයෙන මුල් ලිපිය කියවා නැති නම්, එය අනිවාර්යෙන් ම කියවන මෙන් මම නිර්දේශ කරමි.

http://duishengeadawiya.blogspot.com/2016/05/blog-post.html

-රසිකොලොජිස්ට්

Friday, 20 May 2016

කොට කලිසම ඉනේ බැඳං ගෙදර දොරේ වැඩපල කළ සකලබුජං මතකද? - Who can relate to this?

මීට දොළොස් වසරකටත් ඉහත කාලයක, මගේ දියණියව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහය සහිතව ඒ දිනවල සිඩ්නි බටහිර තදාසන්න නගරයක් වූ සෙන්ට් මේරීස් හි පවත්වාගෙන ගිය සිංහල භාෂා පාසලට රැගෙන යන ඉරිදා දිනවල දී, මිතුරන් සමග කතා බහේ යෙදීම, වූල්වර්ත් සුපිරි සිල්ලර බඩු කඩයට ගොස් සතියක පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනිම, අයිවන් අප්පුහාමි ගේ ලංකා කුළුබඩු කඩයට ගොඩ වැදී කතා බහ කිරීම වැනි කටයුතුවලට අමතරව ඉතුරු වෙන වේලාවේදී මෝටර් රථයේ පිටුපස ආසනයට වී පොත් පත්තර කියවීමට මම පුරුදු වී සිටියෙමි.

මෙවැනි එක් දවසක, මට ආ සිතුවිල්ලක් කවියක් ලෙසින් ලියවුණේ මෙලෙස ය.

සකලබුජං

වයස හතේ අටේ පටං
කොට කලිසම ඉනේ බැඳං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං
අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මා පාසල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං
අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං, දර පලපං
හැම දේට ම සකලබුජං
නිදිමැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං
තිස් වසකට පෙර සමයක
අපේ අතින් වුණු වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං


මේ කවිය ඊට පසු කලෙක, මෙල්බර්න් නගරයේ, මා සිතු ආකාරයට, ජවිපෙට සම්බන්ධ සංවිධානයක් මගින් අරඹා කෙටි කලක් පවත්වාගෙන යනු ලැබූ "දිවැස" නම් සතිපතා පුවත්පතට යොමු කරන ලදුව එහි පළ විය.

අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ගැන ද සිතා මා ගෙතූ ඒ කවියට හොඳ ඉතා ප්‍රතිචාර ලැබුණි.

ඒ ප්‍රතිචාර කළ අය අතරින් සමහරු මා මේ කවිය ලියන්නට ඇත්තේ මා කුඩා කාලයේ අපේ නිවසේ මෙහෙකාරකමට සිටි ළමයෙකු සම්බන්ධයෙන් මගේ පුද්ගලික අත්දැකීම් ද මුසු කර යැයි අනුමාන කර ඇති බව පෙනුණි.

එයට විශේෂයෙන් ම හේතුව වූයේ, කවියේ අවසන් පද කිහිපයයි.

මට ප්‍රතිචාරයක් එවූ එක් රසිකාවියක්, අනේ රසිකයියේ, අපේ ගෙදර වැඩට සිටි ළමයෙකු සිහි වී මට දැඩි දුකක් දැනුණා. අපිට ඒ පොඩි කාලේ මේවා තේරුණේ නෑනේ! යැයි ඊ-මේලයකින් කියා එව්වා ය.

නමුත්, සත්‍යය නම්, අපේ නිවසේ හෝ අපේ ඥාතියෙකු ගේ නිවසක හෝ කිසිදු බාලවයස්කරුවෙකු හෝ බාලවයස්කාරියක කිසිදා මෙහෙකාරකමක නොසිටි බවයි.

මා ඒ කවිය ලීවේ මුළුමනින් ම ශිරෝමී ප්‍රනාන්දු ගේ කූප්‍රකට සකලබුජං ගීතයේ පදමාලාව සහ ඒ ගීතය ඇසීමෙන් මා ලද අත්දැකීම අනුසාරයෙනි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සකලබුජං කවියේ පසුබිම එසේ වෙතත්, මා මෙතෙක් ලියා ඇති විරහ කවි සහ ගී සියල්ල ම මගේ ම අමු ම අමු අත්දැකීම් වේ!

Tuesday, 12 April 2016

ප්‍රේමකුමාර් ගුණරත්නම් (යාන්තමට) සම්බන්ධ පැරණි මතක සටහනක් - Революция и контрреволюция


ශ්‍රී ලංකාවේ ආගමන නීති කඩ කිරීම පිළිබඳව නැගුණු චෝදනාවට වරදකරු වී පසුගිය දා වසරක සිර දඬුවමක් ලද ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව අජිත එදිරිසිංහ, අජිත් පැරකුම් ජයසිංහ සහ හෙන්රි වර්ණකුලසූරිය වැනි මිතුරන් සයිබර් අවකාශයේ ලියූ විවිධ සටහන් නිසා මගේ පැරණි මතකයක් අවදිවිය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් මගේ මේ මතකයේ ගෑවී ඇත්තේ යාන්තමට පමණක් වුවද, එහි යම්කිසි වැදගත්කමක් ඇතැයි මම සිතමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ මා අතර අසමානකම් ඉතා විශාල සංඛ්‍යාවක් ඇති බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

උදාහරණයක් ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් දේශපාලන ප්‍රශ්නයක් නිසා විදේශගත වූ නීත්‍යානුකුල ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවසරයක් අවශ්‍ය වේ.

මම පුද්ගලික කැමැත්ත මත විදේශගත වුණු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙක් මි. මට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා අවශ්‍ය නැත.

ඒ ආකාරයේ දහසක් වෙනස්කම් මැද, ප්‍රේමකුමාර් ගුණරත්නම් හා මා අතර සමානකම් ද අඩු වශයෙන් තුන හතරක් ඇති බව මට පෙනේ.

ඉන් පළමුවැන්න අප දෙදෙනාම එකම විශ්වවිද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම ලැබීමට වරම් ලද්දන් වීමයි. ඒ සිව් වසරක පරතරයක් ඇතිවය.

දෙවෙනි සමානකම නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ බිරිඳ ද, මගේ බිරිඳ ද, දෙදෙනාම, එකම විශ්වවිද්‍යාලයේ එකම පීඨයේ ඉගෙනුම අවසන් කළ අය වීමයි. ඒ වසරක පරතරයක් ඇතිවය.

තුන්වෙනි සමානකම නම් මගේ බිරිඳට සහ මට වැඩිමහල් දුවක සහ බාල පුතෙකු සිටින අතර, චම්පා සෝමරත්න සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් යුවලට සිටින්නේ ද වැඩිමහල් දුවක සහ බාල පුතෙකු ය.

ඒ සමානකම් තුනටම වඩා මට නම් වටින්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහ රසික සූරියආරච්චි යන දෙදෙනාම කොණ්ඩය නැට්ටටම බූ ගා ස්කින් හෙඩ් නමැති පියකරු කේශ විලාසිතාවෙන් සැරසී සිටීමට දක්වන කැමැත්තයි!

ප්‍රේමකුමාර් ගුණරත්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ කාලය වන විට මම එහි සිව් වසරක අධ්‍යාපනය හමාර කොට අවසන් පරීක්‍ෂණයට පෙනී සිටිමින් සිටියෙමි. මට වඩා වසරක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු සිට ඉගෙනුම ලබමින් ද, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්වවද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් ද සිටි රංජිතම් ගුණරත්නම් ගේ බාල සොහොයුරා ලෙස ප්‍රේමකුමාර් ගුණරත්නම් වරක් හෝ දෙවරක් ඒ කාලයේ දී මගේ ඇස ගැටී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි, එනම් අද භාෂාවෙන් ජෙප්පන් ලෙස හැඳින්විය හැකි, ශිෂ්‍යයින් අතලොස්ස මගේ නිර්ණායකට අනුව කොටස් දෙකකට බෙදිය හැක.

ඉන් මුල් කොටස වන්නේ හොඳ ජෙප්පන් ය. ඔවුන් සාධාරණව, තාර්කිකව කතා කළහ. සාධාරණව තම කටයුතු කළහ. පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ එකල උගත් ආනන්ද ඉඩමේගම සහ රංජිතම් ගුණරත්නම් මා වර්ගීකරණය කරන්නේ මේ ආකාරයේ හොඳ ජෙප්පන් යනුවෙනි.

මගේ වර්ගීකරණයේ දෙවෙනි කොටස වූයේ නරක ජෙප්පන් ය. ඔව්හූ තම අරමුණු ඉටුකර ගැනීම ගැන මිස, සාධාරණය ගැන සිතුවෝ නොවූහ. ඔවුන් සමග තර්කයෙන් වැඩක් නැත. මත මතය අනුන් මට බලෙන් ආරෝපණය කිරීමට ඔවුන් නොපැකිළුණහ.

අපේ කාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙකු වූ මොහොමඩ් නිස්මි මා දමන්නේ මේ ගොඩටයි. ඒ කාලයේ ම, වෛද්‍ය පීඨයේ උගත් ජයශ්‍රී ද මේ වර්ගීකරණයේ නිදර්ශකයක් ලෙස මම හඳුන්වමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම්ව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනයට බඳවා ගෙන ඇත්තේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ දේශපාලනය මූලිකව ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ද්විතිකව ද කටයුතු කරමින් සිටි ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ වැඩිමහල් සොහොයුරු රංජිතම් ගුණරත්නම් නොව වෙනත් අයෙකු බව කියවේ.

ඒ හේතුව නිසා දෝ, මට පසුව හැඟී ගියේ ප්‍රේමකුමාර් ගුණරත්නම් විශ්වවිද්‍යාලයේ දී අයත් වූයේ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සහ ඉංජිනේරු පීඨයේ මොහොමඩ් නිෂ්මි අයත් වූ මගේ වර්ගීකරණ කණ්ඩායමට බවයි.

ඇත්තටම කියනවා නම්, දශක කිහිපයකට පසු කාලයක ඕස්ට්‍රේලියාවේ සිනුවර දී මුණ ගැසුණු තුන් වතාවට කලින් මා ප්‍රේමකුමාර් ගුණරත්නම්ව අවසාන වතාවට දුටුවේ ඔහු පෙර කී වෛද්‍ය පීඨයේ ජයශ්‍රී සමග සිටින මොහොතක දී ය.

ඒ වන විට මා විශ්වවිද්‍යාලයෙන් පිටවී වසරක් ගත වී තිබුණි. මා එදින විශ්වවිද්‍යාල භූමියට පැමිණයේ පසුදා පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමටයි. මට ජයශ්‍රී සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් කට්ටුව මුණ ගැසුණේ එදින රාත්‍රිය මා ගත කළ මාර්ස් ශාලාව ඉදිරිපිට දී ය.

මා ලියූ දයා පතිරණ ලිපි මාලාවේ විස්තර කළ පරිදි මේ කාලය වන විට ජනතා විමුක්ති පෙරමුණ මගින් තමන්ට අනුබද්ධ සම්ප්‍රදායික සමාජවාදී ශිෂ්‍ය සංගමය වෙනුවට විශ්ව විද්‍යාල කේන්ද්‍රස්ථානය කරගෙන මිලිටන්ට් ස්වභාවයක් ගත් දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය පිහිටුවමින් තිබුණු අතර කොළඹ විශ්ච විද්‍යාලය තුළ දී දයා පතිරණ නායකත්වය දුන් ස්වාධීන ශිෂ්‍ය සංගමය ඒ ක්‍රියාවලියට විරුද්ධව දැඩි ලෙස කටයුතු කරමින් තිබුණි.

මා ඡන්ද බලය හිමි තරුණයෙකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය දේශපාලනයට ද කලක් හිතවත්ව සිටි නමුත්, පසු කලෙක ඔවුන් දේශප්‍රේමයේ සළුවෙන් වසා ගෙන ආ ජාතිවාදී සටන් පාඨ නිසා, ඒ තත්වය කෙමෙන් වෙනස් විය.

මගේ වර්ගීකරණයට අනුව නරක ජෙප්පෙකු වූ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම අතාර්කික දර්ශනයට අනුව සිතන්නට ඇත්තේ මා ද නියෝජනය කරන්නේ දයා පතිරණ නායකත්වය දුන්, කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මතවාදය බවයි.

මාර්ස් ශාලාවේ දොරකඩ දී ප්‍රේමකුමාර් ගුණරත්නම් සමගින් සිටි වෛද්‍ය පීඨයේ ජයශ්‍රී, එහි යමින් සිටි මා දැක කට කොනකට සරදම් සිනාවක් නගා ගෙන මා ඇමතුවේ ඒ සිතුවිල්ල ඇතුව විය යුතුය.

"ආ, කොහොමද, සහෝදරයා? කොහොමද ඔහෙලා ගේ විප්ලවය?"

ඔහු ගේ ඒ කථා විලාශයත්, හැසීරීමත් මට අරුමයක් ම විය.

වසරකට පෙර විශ්වවිද්‍යාලයේ දී නිරතුරු මුණ ගැසුණු විට දී හෝ ඊට මාස හයකට පමණ පෙර හදිසියේ නුවරඑළියේ දී මුණ ගැසුණු අවස්ථාවේ දී හෝ නොතිබුණු පසමිතුරුබවක් ඒ කථා විලාසයේ සහ අංග චලනයේ ගැබ් වී තිබුණි.

මද සිනාවක් නැගීමට අමතරව, වෙනත් කිසිවක් කීමට මට නොහැකි වූයේ ඒ විමතිය නිසාය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් ද මද සිනාවක් සහිතව පසෙකට වී සිටියේය.

"ඔහෙලා විප්ලවය කරන දවසට අපිටත් කියන්නකෝ, ආසයි දැන ගන්න!" වෛද්‍ය පීඨයේ ජයශ්‍රී තම උපහාසාත්මක හඬින්, මෙවර පෙරට වඩා උස් හඬින්, කීවේ මගේ මද සිනහව යම් ආකාරයක බියගුලුකමක් ලෙස සලකා විය යුතුය.

ක්‍ෂණයකින් මා සිතට ආ අදහසක් වචනයට නගමින් ඔහු නිහඬ කරවීමට මා කීවේ මෙපමණකි.

"අපි විප්ලවය කරන දවස ගැන අමුතුවෙන් ඔහෙලාට කියන්න ඕනෑ නෑනේ ජයශ්‍රී, මොකද ඔහෙලා එදාට ම නේ ඔහෙලා ගේ ප්‍රතිවිප්ලවය පටන් ගන්නේ!"

මොහොතකින් අපි වෙන් වී දෙපසට ගියෙමු.

පසුදා උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූ මා දින දෙකකට පසු පේරාදෙණියෙන් නික්ම නිවසට පැමිණියෙමි.

තවත් දින දෙකකට පසු මා පුවත්පතකින් කියවූයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දමා ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ අභිනව දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය වැඩ අරඹා ඇති බව ඉන් මට පැහැදිලි විය.

ඒ සමගම, දින කිහිපයකට පෙර මා අත් විඳි, වෛද්‍ය පීඨයේ ජයශ්‍රී ගේ ප්‍රහාරාත්මක හැසීරීම, පිළිබඳව ද මට කරුණු පැහැදිලි විය.

මොහෙමඩ් නිශ්මි සහ වෛද්‍ය පීඨයේ ජයශ්‍රී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ශිෂ්‍ය සංගමයේ නායකයින් ලෙස කටයුතු කළ බව මම දනිමි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් එකල කටයුතු කළේ ද ඔවුන් ගේ නායකත්වය යටතේ ය.

ජනතා විමුක්ති පෙරමුණත්, ඒ හා අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය යනාදී විවිධ කඩතුරා සංවිධානත්, ඉන්දියානු විරෝධයක් මත පදනම්ව, දේශප්‍රේමයට මුවාවී, දේශයේ දේපල විනාශ කරමින් දැඩි ලෙස කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නට පටන් ගත්තේ ඊළඟ වසරේ මැද භාගයේ සිටය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රේමකුමාර් ගුණරත්නම් සිනුවර දී මුණ ගැසුණු දිනය පිළිබඳ සටහනක් මීළඟට බලාපොරොත්තු වන්න.

ප/ප/ලි (17/04/2016):
ඒ සටහන ලියා පල කිරීම තවමත් නිවාඩුව ගත කරන නිසාත්, අත්‍යවශ්‍ය ඡායාරූපයක් මේ මොහොතේ මගේ පරිගණකයේ නොමැති නිසාත් පසුවට කල් තබමි.

(image: https://www.pinterest.com/pin/545850417310229147/)

Sunday, 10 April 2016

පශ්චාත්-සුනාමි පුනරුත්තාපනය සහ ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් අදිසි මිනිසා - අජිත එදිරිසිංහ ගේ මතක සටහන් : Post-Tsunami reconstruction and Premakumar Gunaratnam alias invisible man


මා හිතවත් අජිත එදිරිසිංහ විසින් ලියා ෆේස්බුක් අවකාශයේ බෙදා හැර තිබුණු මේ සටහන රසිකොලොජියේ අවසර සහිතව පළකරන්නට සිතුවේ එහි ඇති වැදගත්කම නිසාය.

මේ සටහනට ප්‍රධාන වස්තු බීජය වී ඇති, මා ද තරමක් හඳුනන, ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ වත්මනෙහි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයා, ඕස්ටේ‍ර්ලියානු ඒකල පුරවැසියෙකු ලෙස ලංකාවට පැමිණ තම වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ වරදට හසුවී දැන් වසරක සිර දඬුවමක් විඳිමින් සිටියි.

මුලින්, අපි අජිත එදිරිසිංහ ගේ සටහන කියවමු.


හිමි නමකගේ අලුත් මුද්‍රාවක් සමග යන සංවාදය කදී කිසිවෙකු කුමාර් ගුණරත්නම් සිහි කොට පල් හොරා නමින් අමතා තිබෙනු දැක මා හට බලවත් කම්පාවක් ඇතිවුනි.

සුනාමි අනතුර හමුවේ ධිවර අමාත්‍යාංශය ධීවරයාට නැතිවූ ජිවිත හැර සියලු අනිකුත් දේ නැවත ලබාදීමට කටයුතු කළ අතර සාර්ථකව එම කාර්යය ඉටුකිරීමේ පිටුපස සිටි මහා සංවිධානකරු කුමාර් ය. ඔහු කල කාර්යය හෙළි කිරීමට හැක්කේ ඔහුටම පමණි. මන්ද ඔහුත් සමග එම කාර්යට සහාය වූ කිසිවෙකු ඔහු ගැන සඳහන් කිරීමට ඉදිරිපත් නොවන නිසාය. මම ඉතාම අල්පයක් දනිමි. කුමාර් ගැන නොදන්නා ඔහුට ද්වේශ කරන්නන් හමුවේ එය්නුත් අල්පයක් ඉදිරිපත් කරමි.

ගුණරත්නම් ගැන දන්නා ටිකක්.

ඒ 2004 දෙසැම්බර් 26 සවස 2.00 ට පමණ ඇති. ලංකාවම උඩු යටිකුරු කල සුනාමි රල බැස ගියා පමණි. සියල්ලෝම අන්ද මන්ද වී සිටි මොහොතක්. මම අම්බලන්ගොඩ වැල්ලේ සිදුවූ විනාශය දෙස සන්ත්රාශයෙන් බලා සිටි මොහොතක්. මගේ ජංගම දුරකථනය නාද දුනි. "අජ්ජෝ වහාම ධිවර අමාත්‍යංශයට වරෙන්" ඒ මා මිත්‍ර ගුන්ඩා ගෙනි. එකල ජවිපෙ ධිවර අමාත්‍යංශයේ වගකීම් භාර ගෙන සිටි සමයයි. මම ද ධිවර අමාත්යංශය යටතේ වූ ආයතනයක වගකිව යුතු තනතුරක් දරමින් සිටියෙමි.

ලැබූ නියෝගය ධිවර අමාත්‍යංශයේ අදිසි බලවතාගෙනි. වහාම ගමනට පිටත් උනෙමි මුහුදු බඩ මාර්ගය අවහිර වී ඇත. අභ්‍යන්තර මාර්ග තුලින් අමාත්‍යංශයට යනවිට රාත්‍රී 8.00 පමණ වන්නට ඇති. ඒ වනවිට, ධිවර සංස්ථා සභාපති (ඉංජිනේරු) නෙවිල් (දැන් ජිවතුන් අතර නැත), ධිවර වරාය සභාපති (ඉංජිනේරු) ගාල්ලගේ, එම විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) සේනක (දැන් ජිවතුන් අතර නැත), ධිවර සංස්ථා විධායක අධ්‍යක්ෂ (ඉංජිනේරු) CW සමග ධිවර අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ, පව්ද්ගලික ලේකම් නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් සමග ගුණරත්නම් ද පැමිණ සිටියහ. ඒ මම ගුණරත්නම් ධිවර අමාත්යංශය තුලදී දුටු මුල් දවසයි. ධිවර අමාත්‍යාංශය ගුණරත්නම් ගේ ස්රිජු අධීක්ෂණය යටතේ පවතී බව දැන සිටි නමුත් ඔහු අමාත්‍යාංශය තුලට ආව ගිය කෙනෙකු නොවිය.

රැස්වීම ඇරඹුණි. එතන සිටියේ අමාත්‍යාංශය තුල වූ දේශපාලන අධිකාරිය පමණි. කිසිම නිලධාරියෙක් නොවිය. අමාත්‍යවරයා ගේ මුලාසනය ගුණරත්නම් ගේ විරෝධය මැද උවද ඇමති විසින් ගුණරත්නම්ට භාරදී ඇමති අප අතරට එක් වුනි. නිසි බලධරයා පළමු වරට හෙළිවිය. සුපුරුදු පරිදි වය්ද්‍යා නලින්ද ජයතිස්ස ලේකම් කාර්යයේ යෙදුනි. රැස්වීම ඉතාම කෙටි විය ඇමතුවේ ගුණරත්නම් පමණි.

"සහෝදරවරුනි අප මුහුණ දී සිටින ඛේදවාචකය පිලිබඳ අපට කිසිම පුර්ව අත්දැකීමක් නොමැත. මෙයට මුහුණදෙන්නේ කෙසේදැයි සොයාගත යුත්තේ අපි අපිම විසිනි. මෙතන රැස්වී සිටින ආයතන ප්‍රධානින් සියලුම දෙනා ක්සේශ්ත්රයේ පළපුරුදු බොහෝ සමාජ සම්බන්ධකම් ඇති ඉංජිනේරුවන්. ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ වහාම ඛේදවාචකය තුලට ගොස් ඔබගේ සම්බන්ධකම් ඇසුරෙන් ගතයුතු පියවරයන් ගන්නා ගමන් මේ පිලිබන්ධව ඔබ ලබන අත්දැකීම් තුලින් යෝජනා තව දින දෙකකින් නැවත මෙවැනි රැස්වීමක් සවස 6:00 පවත්වනවා එදිනට රැගෙන එන ලෙස. එහිදී ඔබ ගන්නා සියලු පියවර වල වගකීම අමාත්‍යාංශය බාරගන්නා බැවින් උපරිම වගකීම ගෙන ආපදාවට පත්වූ ජනතාවට සහන සලසන්න ක්‍රියාත්මක වන්න."

ඉන්පසු ලහි ලහියේ වගකීම් පැවරීම සිදුවිය. සිදුවූ විනාශයේ සැබෑ තක්සේරුව විනාශවූ, ධිවර ජිවිත නිවාස, යාත්‍රා, මෙවලම් පිළිබදනිවැරදි සංගණනයක් පැවැත්වීම අමාත්‍යාංශය හා ධිවර දෙපාර්තුමේන්තුව භාරව කටයුතු කරන අමාත්‍ය වගකීම් තුල දෙපාර්තුමේන්තු නිලධාරින් මගින් කිරීමටද, සුන්බුන් වූ ධිවර පරිසරය හැකිතාක් යථා තත්වයට පත්කිරීම, අනාථවූ පිරිස් සුභ සාධන, අහාරපාන බෙදාදීම් සඳහා ජවිපෙ පක්ෂ යාන්ත්රණය මගින් ද, තාවකාලික ධිවර නිවාස ඉදිකිරීම් හැකිතාක් ඉක්මනට නැවත ධිවර වරායන් ගේ බිඳ වැටි ඇති සැපයුම් සලසා දීම ධිවර වරාය හා ධිවර සංස්ථා ව මගින් ද, විනාශ වූ ධිවර යාත්‍රා සහ ධිවර ආම්පන්න අලුත්වැඩියාව ආදිය සඳහා කටයුතු කිරීම ධිවර අමාත්යංශය යටතේ වූ සිනොර් ආයතනය මගින්ද සිදුකිරීමට ද තීරණය විය. අදාළ සැලසුම් දින දෙකක් තුල රැගෙන ආ යුතුය. මෙහෙයුමේ නියමුවා කුමාර් ය. රැස්වූ සුළු පිරිස හැර වෙන කිසිවෙකු එය නොදනිති. මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ධිවර ඇමති චන්ද්‍රසේන විජේසිංහ හරහාය.

ඇත්තටම ඒ වචන තුලින් තමයි අපිටත් තේරුනේ ධිවර ජනතාවට අදාළ සියලුදේ කලයුත්තේ අපි බව. ගිය පාරෙන් රෑම ගෙදර ආවෙමි. මා භාරයේ තිබුනේ සිනොර් ආයතනයයි. විනාශවු ධිවර යාත්‍රා සහ මෙවලම් දැල් ආම්පන්න නැවත පිළිසකර කරදී ධීවරයා රැකියාවට පිටත් කිරීම මගේ වගකීම් අතර විය. 27 උදේම ගියා හික්කඩුව ධිවර වරායට. මාස 6, 7 ක් පමණ ආයතනයේ සේවය කිරීම තුල බොහෝ ධිවර මුදලාලිලා (බෝට්ටු හිමියන්) මා ඒ වනවිට හඳුනා සිටියා. ධිවර වරාය තුල බෝට්ටු විශාල ප්‍රමණයක් ගිලි තිබුනා. සමහර ඒවා අනිත් පැත්ත පෙරලිලා පාවෙමින් තවත් සමහර ඒවා රලත් සමග ගොඩට ඇවිත් පෙරලි තිබුනා. මා ධිවර වරායට ගිය විගස මා දන්නා හඳුනන ධිවර මුදලාලිලා සමග ධිවරයින් සියලු දෙනා මා වටකර ගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් වුවේ:

"අනේ සර් අපේ බෝට්ටු ටික ගොඩට අරන් දෙන්න"

"මේ පෙරලිච්ච බෝට්ටු ටික කෙලින් කරලා රෙපෙයාර් කරගන්න පුළුවන් විදිහට කොට උඩ තියල දෙන්න"

මේ ඉල්ලීමට අවශ්‍ය ක්‍රෙන් එකක් (දොඹකරයක්) මගේ පරන සේවා ස්තාන්යේ (වැලිගම) හිටපු මා මිත්‍ර පිලානවිතාන මහතා භාරයේ තිබු දොඹකර දෙකක් පැය දෙකක් තුල එතනට ගෙන්වා ගන්න පුළුවන් උනා. දැන් මිනිස්සුන්ගේ රණ්ඩුව මුලින්ම ගන්න බෝට්ටු ගැන. සියලු දෙනාගේ සැක සංකා ඉවත් කරා සියලුම බෝට්ටු ගොඩ දා දෙන බවට. සියල්ලෝම එකෙනේකාට උදව් කරමින් සහයෝගයෙන් වැඩේ කලයුතු බවට දේශනයකුත් කරා, දුර තිබෙන බෝට්ටු ලඟට ඇදගෙන එන්න බෝට්ටු කිහිපයකුත් යෙදෙව්වා. මොබයිල් ක්‍රෙන් වලට වැල්ලේ යන්න අවශ්‍ය ලෑලිත් මිනිස්සුම ගෙනාවා. ක්‍රෙන් වලට අවශ්‍ය ඩිසල් බෝට්ටු වලින්ම ගත්තා. දැන් යමරෙට වැඩ.

එතන තවත් කීපදෙනෙක් මම ලඟට ආවා. සර් අපේ ක්‍රෙන් එකත් තියනවා. ජි එම් මහත්තයට කියල අවසර අරන් දෙන්න අපිත් උදව් කරන්නම්.

ඔයගොල්ල කව්ද ?

අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ. අපි ක්‍රෙන් එක අරන් ආවේ පැරෑලියේ පෙරලිච්ච කෝච්චිය කෙලින් කරන්න. එතනට යන්න බැහැ වතුර. තව මිනි අස්කරලත් ඉවර නැහැ. අපිත් කැමතියි මේ මිනිස්සුන්ට උදව් කරන්න.

එයාල දුන්න GM ගේ නම්බර් එකට මම කතාකලා. අදාළ ගෙවීම් අවශ්‍ය නම් ධිවර අමාත්‍යාංශයෙන් කරන්නම් කිව්වම එයා බය නැතුව අවසර දුන්න.

දිනක් ඇතුලත ක්‍රෙන් තුනක් යොදවලා හික්කඩුව ධිවර වරායේ පෙරලුනු ගිලුණු සේරම බෝට්ටු ගන්න පුළුවන් උනා. එතනට ආපු ධිවර අමාත්‍යංශ නිලධාරීන් භාර්කලා එතැන් සිට වෙරල දිගේ ගාල්ලට සියලුම පෙරලුනු බෝට්ටු ගොඩ ගන්න සහ කෙලින් කරලා ගන්න. ඔවුනුත් කැපවීමෙන් භාරගත්තා.

සවස මම් ගියා දොඩන්දුවේ වල්ලම් තොටුපොළට. වල්ලම් බොහොමයක් රල සමග ගොඩට ඇවිත් කැඩිලා බිඳිලා තුවාල වෙලා. වල්ලම් වල තිබුණු ධිවර දැල් සියල්ලම නැවත ලිහාගන්න බැරි තරමට පැටලිලා වැලි කුණු ගොඩවල් අස්සේ. එතනත් ප්‍රධාන ධිවරයින් කිහිපදෙනෙක් මම අඳුනනවා. ඒ වගේම සිනොර් ආයතනයේ අලෙවි ප්‍රවර්ධන ප්‍රසාද් මහතා වසර 20 ක් පමණ ධිවරයින් සමගම කටයුතු කල කෙනෙක් ඔහු දිගටම එතනින් එහාට මාත් එකක්ම රැඳී හිටිය තවත් ධිවර නිලධාරීන් කිහිපදෙනෙක්ම අපිත් සමග එකතු උන නිසා ධිවරයින් ලෙහෙසියෙන්ම අප හඳුනාගෙන අපේ ලඟට ආවා.

දොඩන්දුවේ ධීවරයින්ගේ තිබුනේ වෙනත් ඉල්ලීමක්.

"සර් අපේ වල්ලම් හදාගන්න ෆයිබර් බඩු නයට දෙන්න. තියනවනම් දැල්නුත් නයට දෙන්න"

ඇත්තටම ඒ වෙලාවේ මිනිස්සුන්ටවත් අපිට වත් අදහසක් තිබුනේ නැහැ ආධාර ලැබෙන විදිහක්. නිකන් බඩු දෙන්න පුළුවන් විදිහක්. ඒ උනාට ගුණරත්නම් දුන්නු වගවිමේ පණිවිඩය මට ඕනෑම තීරණයක් ගන්න බය නැති කරලා තිබුනේ.

එත් තීරණ ගත හැකි ඉහල ආයතන තිබියදී අත පුච්චා නොගන්න වසර 10 ක පමණ රජයේ සේවය මට අත්දැකීම් දීල තිබුණ. මම ධීවරයින්ගේ අවශ්‍යතාවය ධිවර ඇමතිට දැනුම් දුන්නා. "ඉන්න අජිත අපි තාම රැස්වීමේ මම කුමාර සහෝදරයට දෙන්නම්". අපිට රැස්වීම ඉවර උනාට කුමාර සැමෝටම රැස්වීම ඉවරකරලා නැහැ. ඔව්න් තවමත් අදාළ කාර්යයන් සඳහා පිරිස් යොමු කරනවා. සැලසුම් හදනවා.

මගේ දවසේ ප්‍රගතිය ගැන කුමාර දැඩි ලෙස තෘප්තිමත් උනා. ප්‍රශ්නයක් නොවන විදිහට අදාළ නම් ගම් රැගෙන අවශ්‍ය කටයුතු කරන්න. කුමාර උත්තර දුන්න.

උපදෙස් ප්‍රමාණවත් ........

ෆයිබර් බඩු අවශ්‍ය ප්‍රමාණයන් සහ නම් ලිස්ට් එක හදලා ආයතනේ ගබඩාවට දැනුම් දුන්න අදාළ බඩු වහාම ලිස්ට් එක අනුව නිකුත් කරන්න කියලා. ආයතනයේ ලොරියෙන්ම පහුවදා උදේම බඩු බෙදුවා. මිනිස්සුම තම තමන්ගේ අලුත් වැඩියා කල හැකි ප්‍රමාණයේ වල්ලම් අලුත්වැඩියා කරගත්තා. ගොඩක් ආපදාවට පත්වූ වල්ලම් අලුත්වැඩියා කරන්න ආයතනේ ෆය්බර් කරුවන් ගෙන්නුවා. නිලධාරියෙක් සමග හදිසි ජංගම ෆයිබර් අලුත්වැඩියා පොලක් දැම්ම.

මේවා කරන්න පුළුවන් උනේ මානසිකව නොවැටී සිටිය ගෙදර දොර ජිවිත අහිමිවීම් නැතුව සිටි ධිවරයින් සඳහා නමුත් බිමටම සමතලා උණු අන්ත අසරණ බොහොමයක් හිටියා තමන්ගේ එකම යාත්‍රාව පවා සුන් බුන් වී ගිය. ඒ අය වෙනුවෙන් ක්‍රියා කල යුතු විදිහ ගැන අදහසක් මට ලැබෙමින් තිබුනා ප්‍රායෝගිකව ගත් මේ මැදිහත් වීම තුල.

බේරුවල මිගමුව තංගල්ල වැනි ධිවර වරයන් වල ඔය කාර්යම කිරීමට ඊළඟ දවසේ නිලධාරීන්ට පැවරුවා. අදාළ ක්‍රෙන් ලබාදුන්න සමහර පුද්ගලික ආයතන වලින්නුත් ගත්තා දෙන්නම් කාසි වලට. නැගෙනහිර පැත්ත අන්තිම බරපතලයි. මීගමුවෙන් උඩට ප්‍රශ්නයක් තිබුනේ නැහැ.

ප්‍රසාද් අවශ්‍ය විස්තර සිය සම්බන්ධකම් මගින් ලබාගත්තා. විනාශ වූ ධිවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා වැඩ පිළිවෙලක දල සැලැස්මක් සාදා ගත්තා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවංක, බරපතල කැපකිරීමකට සුදානම් ෆය්බර් මෝටර්,එන්ජින් අලුත් වැඩියාව ගැන දන්න පිරිසක් එකතු කර ගත යුතුය්. පේරාදෙණියේ ඉංජිනේරු අවසන් වසර ව්භාග අවසන් වෙලා තිබුන එයින් යාන්ත්‍රික ඉංජිනේරු කොල්ලෝ ටිකක් එකතු කරගත්තොත් ෆය්බර් තාක්ෂනය ගැන පොඩි පුහුණුවක් දීලා වැඩේට ගන්න පුළුවන්. ඔය අදහස් හාෆ් ෂීට් එකකට අරන් පසුවදා රැස්වීමට ගියා.

රැස්වීමට පැමිණෙන්න හිටියේ එදා පිටව ගිය ආයතන ප්‍රධානින් කීප දෙනා විතරයි. අනිත් සේරම එදා ඇදපු ඇදුම් වලින්ම තවමත් රැස්වීම් කටයුතුවල. නලින්ද හිටියේ බාගෙට මැරිලා. ඇමතිතුමා ඇතුළු පිරිස දින දෙකක් එක දිගට නිදිමරමින් කාර්යයේ යෙදී සිටි බව අහන්න දෙයක් තිබුනේ නැහැ. කට්ටියට එතරම්ම වෙහෙසයි. නමුත් කුමාර් එදා උද්යෝගයෙන්ම ධ්‍ය්ර්ය සම්පන්නව වැඩෙහි යෙදී සිටියා. මගේ යෝජනා ඔහු හොඳින් කියවා බැලුවා. එවලේම කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (නම පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් එයත් එකල ජවිපෙට අයත් අමාත්‍යාංශයක ආයතනයක්) සභාපතිව සිටි පේරාදෙණිය ඉංජිනේරු පිටයේ අචාර්ය අලහකෝන් අමතා අපට අවශ්‍ය නවක යාන්ත්‍රික ඉංජිනේරුවන් 12 ක් ලබාදෙන ලෙස දන්වා සිටියා. එදා එළිවෙනකම් රැස්වීම අවසානයේදී කලයුතු කාර්යයන් සදහා අවශ්‍ය සැකැස්ම මෙහෙයුම කෙරෙනා විධිය වගකිව යුතු අය ආදී වශයෙන් ජාතික වැඩපිළිවෙලක් සාදා ගත්තා. සිදුවූ විනාශයේ තොරතුරු සහ මෙහෙයුමේ මුල්‍ය විශාලත්වය ගැන තවමත් තිබුනේ දල අදහසක් . අවශ්‍ය නිවරදි වාර්තා ලබාදීම සදහා අමාත්‍යංශ නිලධාරින් සති දෙකක කාලයක් ඉල්ලා තිබුනා.

එම සති දෙක අපගේ සැලසුම් සදහා යාන්ත්‍රනය සකසා ගත්තා. ඉන්පසු සියලු දෙනාම තම තමන්ට භාරවූ කාර්යයන්හි බරපතල ලෙස කාර්යය බහුල වූ බැවින් හදිසි කෙටි රැස්වීම් මිස පොදු දීර්ඝ රැස්වීම් පැවැත්වුනේ නැහැ. කුමාර් නිතරම පසු විපරම් කරමින් අපගේ කාර්යයන් පහසු කළා.

මාගේ වගකීමට අයත්වූ හානිවූ ධිවර යාත්‍රා සහ ආම්පන්න පිලිබඳ නිවැරදි විස්තර නම් ගම් අදාළ ධිවර නිලධාරි බලප්‍රදේශය සහිතව සති දෙකකින් මට ලැබුනා. ලංකාව පුරාම එකවර ක්‍රියාත්මක වන යාත්‍රා අලුත්වැඩියා කිරීමේ තාවකාලික වැඩපොළවල තිහක් පමණ අරඹා කාර්යය කළමනාකරණය කිරීම අපහසු නොවුනේ සියලුම කාර්යයන් මුලසිටම නිවැරදිවම සැලසුම් කරගැනීමට හැකි වූ නිසයි. එම වැඩපොලවල් මිගමුව මට්ටක්කුලිය, පානදුර, බේරුවල, බලපිටිය, හික්කඩුව, දොඩන්දුව, ගාල්ල, වැලිගම, මිරිස්ස ආදී දකුණු පළාතේ සිට කන්කසන්තුරේ, කොකිලාය්, සල්ලිසාම්පල්තිව්, ත්‍රිකුණාමල, ඔට්ටමාවඩි, මඩකලපු, එරාවුර්, නින්දවූර්, පොතුවිල්, පානම ආදී උතුරු නැගෙනහිර පළාත් දකවාම සියලුම ධිවර වරායයන් නැංගුරම් තොටුපල වල් ක්‍රියාත්මක උනා. සියලුම ධිවරයින් ධිවර අමාත්යංශය සමග ලියාපදිංචි වී සිටින බැවින් කිසිවෙකු මගහැරුනේ නැහැ.

ඊළඟට ආවේ ආධාර සුනාමියයි. ධිවර අම්මත්යාංශය ට අදාළ කාර්යයන් සදහා ලැබූ ලෝක අහාර සහ කෘෂිකර්ම (World Food and Agriculture Organization)සංවිධානයේ ආධාර, ජපන් ආධාර, වෙනත් රටවල මෙන්ම හා වගකිව යුතු දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් වැල නොකැඩි එන්න පටන් ගත්තා. ඒවා හසුරවපු හැටි ඇත්තටම කතා නොකර බැහැ. මුලින්ම ආවේ WFAO නියෝජිතයා දේශීය නියෝජිතයා සමග. එම බොහෝ රැස්වීම් වලට සුනාමියෙන් විපතට පත් වූ ධිවරයින් නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විදිහට මමත් සහභාගී උනා. WHO එක ඩොලර් මිලියන 2 ක ආධාර මුලික වටයේදී කඩිනමින් දෙන්න ඉදිරිපත් උනා. අපි බොහොම සතුටු උනා. නමුත් ඒගොල්ලෝ ඒක කෙලින්ම අමාත්‍යංශයට දෙන්න එකඟ උනේ නැහැ. ඔවුන් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළා සුනාමියට හසුවූ ප්‍රදේශ කලාප 8 කට බෙදා ඔවුන්ගේ කාර්යාල 8 ක් මගින් හානි වූ ධිවරයින්ට සහන දෙනවා කියල. WFAO එකේ දේශීය නියෝජිත මහතා ඒවා අපුරුවට පොතක් හදල විස්තර සහිතව ඉදිරිපත් කළා. ඩොලර් මිලියන දෙකෙන් 1.7 ක්ම යන්නේ කාරයාල වල නිලධාරි සේවක වාහන ආදී වියදම් ධිවර යට දශම 3 යි. අපි එයට තදින් විරුද්ධ උනා. අපි දැනටමත් මහපොළවේ ස්ථානගත කරමින් තියෙන අපේ වැඩ පිළිවෙලට දෙනවා නම් දීපන් නැත්නම් මේ විහිලු ආධාරය අපි භාර නොගන්නා බව තදින්ම කියා සිටියා. දේශීය නියෝජිතයා දුර්මුක උනා. WFAO නියෝජිත අපේ සැලැස්ම එතන ඉඳන්ම කියෙව්වා ඔහු ගෙන් ආවේ සාධනීය පිළිතුරක්. ඔහු යෝජනා කළා කාර්යාල 8 වෙනුවට එක ප්‍රධාන කාර්යාලයකුත් අපගේ අලුත්වැඩියා කටයුතු සඳහා WFAO ආධාර නිසිලෙස ක්‍රියාත්මක වන බව පෙන්වන පසු විපරම් වැඩ පිලිවෙලකුත් අධික්ෂණ නිලධාරින් කිහිප දෙනෙකුත් සමග එක ප්‍රධාන කළමනාකරුවෙක් සමග අදාළ ආධාර මුදල ලබාදෙන්න. ධිවර ඇමති වහාම ඉදිරිපත් උනා අවශ්‍ය ප්‍රධාන කාර්යාලයට ඉඩ කඩ ධිවර අමාත්‍යාංශය තුලින්ම දෙන්න.

එය අපිට විශාල පෙරහුරුවක් උනා ආධාර කළමනාකරණය කර ගන්නා අයුරු අවබෝධ කර ගැනීමට. ඉන්පසු සියලුම ආධාර කණ්ඩායම් සමග වැඩ කලේ එහෙමයි. ක්‍රියාකාරකම් සහ ආධර සියල්ලම ධිවර අමාත්‍යංශය සකස් කල ජාතික වැඩ පිළිවෙල තුලින් ක්‍රියාත්මක කරන ලෙස ධිවර අමාත්‍යාංශය තදින් කියා හිටියා. එසේ නොවන්නේ නම් එම ආධාර සුනාමියෙන් හානියට පත් ධිවරයින් වෙනුවෙන් ලංකාවට ලැබුණු බවට අමාත්යංශය කිසිම සහතිකයක් නොදෙන බව දන්වා සිටියා.

ඒ අනුව ඉන්පසු ආපු ආධාර කණ්ඩායම් එක්කෝ අපේ වැඩ පිළිවෙලට ආධාර කළා නැත්නම් අපේ වැඩ පිලිවලේ කොටසක් එයාල අරගෙන ක්‍රියාත්මක කලා. එහෙමත් නැත්නම් අපගේ වැඩපිළිවෙලේ කොටසක් අපි ලවා ක්‍රියාත්මක කරන්ගමන් එයාලා අධික්ෂණය කරමින් ආධාර කළා. එසේ කල එක ස්ථානයක තමයි ගාල්ලේ උණවටුනේ ඉදිකළ අංග සම්පුර්න බහුදින යාත්‍රා නිපදවීමේ යාත්‍රාඟනය. කුරියර් ඒඩ්ස් ඔස්ට්‍රියා කියල NGO එකක් ආධාර කලේ. එම යත්රාන්ගනය තුලින් පමණක් එකක් ලක්ෂ 40 කට වඩා වටිනාකමින් යුතු බහුදින යාත්‍රා 50 ක් පමණ නිෂ්පාදනය කොට අලුත්ම බුක් එන්ජිම සහිතව එයත් ලක්ෂ 7 ක් විතර ඇති සමාන යාත්‍රා සම්පුරන්යෙන්ම විනාශ වී අහිමි වූ ධිවරයින්ට බෙදා දුන්නා. ගාල්ලේ අයට එම යාත්රාන්ගනය මතක ඇති. දැන් ඒක සම්පුර්ණයෙන්ම විනාශ කරලා ගාල්ල නගරය අලංකාර කරනවා කියල.

වසරකට යෝජනාවූ සුනාමියෙන් හානි වූ ධිවර යාත්‍රා අලුත් වැඩියා කිරීමේ සහ දැල් ඇතුළු ධිවර ආම්පන්න නැවත ලබාදීමේ වැඩ පිලිවල මාස 8 ක් ඇතුලත නිම උනා. 80% කට වඩා විනාශ වූ ධිවර කර්මාන්තය සම්පුර්ණයෙන්ම නැවත ගොඩ නැගුවා. සුනාමිය ආවා කියල ධිවර කර්මාන්තය සම්පුරන්යෙන් විනාශ වුවා උනත් එක දවසක් හෝ ලංකාවේ මිනිස්සුන්ට මාළු නැතුව බත් කන්න සිද්ද උනේ නැහැ නේද කියල මතක් කරලා බලන්න. මේ මහා කර්තව්‍ය පිටුපස හිටි අයෝමය පුරුෂයා තමයි කුමාර් ගුණරත්නම්. එහෙව් මිනිහට තමයි මේ උඩක් පළලක් දන්නැති අමනයෝ පල් හොරා කියන්නේ.

කුමාර් ගේ වැඩ පිළිවෙල නැත්නම් සුනාමි ආධාර වලින් බෝට්ටු ලැබෙන්නේ මුද දැකපු වත් නැති එවුන්ට. එකාට පහ හය නොවෙය් විස්ස තිහ ලැබිල තියෙයි. ආපදාවට පත්වූවන්ට හුලන් තමයි. සුනාමියට ලැබුණු ආධාර මිලියන සිය දහස් ගණන් ගසා කාපු එවුන් ට මහරජා කියල වැඳ වැටෙන මුන් සත පහක වංචාවක් නොකළ යුග මෙහෙවරක් සදහා දායක උණු අසමාන මානුෂිකත්වය ට සලකන හැටි අපුරුය්.

මේ විස්තරය අද වඩාත් වැදගත් වෙන්නේ එහි පැසසුමට ලක්වෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් නිසාය. ඊට අමතරව මට මෙහි ඇති වැදගත් කාරණා කිහිපයකි.
  1. ප්‍රේමකුමාර් ගුණරත්නම් එළිපිට නොව යටිබිම්ගතව ක්‍රියාත්මක වෙන අදිසි හස්තයක් ලෙස වැඩ කිරීම.
    මට හිතෙන ආකාරයට, තවමත් ටිල්වින් ද සිල්වා ලා, අනුර කුමාර දිසානායකලා ගෙන යන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් නම් කෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ නොමැතිය යනුවෙන් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් රැස්වුණු දේශපාලන මණ්ඩලය වැනි පක්‍ෂ සංවිධානයක් ගෙන ඇති තීරණයට අදාල ලයින් එකයි!
  2. ප්‍රේමකුමාර් ගුණරත්නම් ධීවර අමාත්‍යාංශයේ අදිසි නිසි බලධාරියා ලෙස (සුනාමි සහන වැඩසටහනට පෙර පවා) ක්‍රියාත්මක වී ඇති "විනිවිද නොපෙනෙන" ආකාරයේ ක්‍රියාව.
    මෙහිදී විස්තර කෙරෙන පරිදි සුනාමි සහන වැඩ පිළිවෙල ඔහු මෙහෙයවා ඇති ආකාරය අගය කළ යුතු නමුත්, ඔහු කළ අන් වැඩ අප නොදන්නා නිසා, ඒ අතර යම් කිසි පක්‍ෂග්‍රාහී වැඩකටයුතු, අකටයුතු සිදුවුනේදැයි අපට සිතා ගත නොහැක. ඔය කාලයේ ජවිපේ සිටි වීමලසිරි ගම්ලත් වැන්නවුන් ගේ ක්‍රියා හෙළිදරව් වුනේ පසු කාලීනව බව සළකන විට ඟෙය ඉතා වැදගත් කාරණයකි.
  3. ජවිපෙ වුවද, සභාගයට එක්වී ඇමතිකම් ගෙන කර ඇත්තේ තමන්ගේ පාක්‍ෂිකයින් සංස්ථා සභාපතිකම්වලට, ක්‍රියාකාරී අධක්‍ෂක තනතුරුවලට පත් කිරීම බව.
    මෙහි නම් සඳහන් කිහිප දෙනෙකුම මා පුද්ගලිකව දන්නා අය ය. පෙර කාලයේ විශ්ව විද්‍යාලයේ සමවාදී ශිෂ්‍ය සංගමයේ වැඩ කළ අයට යුඇන්පීයෙන් මෙවැනි තනතුරු පිණිනැමිණි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ අපේ මිතුරන්ටද, එලෙසම තනතුරු ලැබී ඇත.
  4. අවසාන වශයෙන් ගෝත්‍රික මනසකින් යුතුව කිව යුත්තේ මෙයයි.
    කොහොමද, පේරාදෙනියේ ඉංජන්ගේ වැඩ?
    ;-)

-රසිකොලොජිස්ට්

(image: https://hollywoodhatesme.wordpress.com/2012/07/16/the-invisible-mans-best-pickup-line/)

Wednesday, 13 January 2016

අනුර කුමාර දිසානායක, අර්ජුන රණතුංග සහ ජනාධිපතිලාව ගොං රජාට ඇන්දවීම - History repeats


අතීතය අමතක අයට මදකට සිහිපත් කරනවා නම්-

යුද්ධය හමාර වීමෙන් පසු රජකමක් ආරූඪ කරගත් මහින්ද රාජපක්‍ෂ තම පළමු සේවා කාලය අවසන් වෙන්නට වසර දෙකකට පමණ පෙර 2010 දී ජනාධිපති ඡන්දයක් පැවැත්වීය.

යුධ ජයග්‍රහණයේ අනිත් පොල්මහඃකාර අයිතිකාරයා වූ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත්විය.

ජයගත් මහින්ද රාජපක්‍ෂ සිය බලය තහවුරුකරගත් අතර, පැරදුණු සරත් ෆොන්සේකා විවිධ අපරාධ චෝදනා වෙනුවෙන් අත් අඩංගුවට පත්ව, පසුව වරදකරු වී සිර දඬුවම් ලද්දේ ය.

මහින්ද රාජපක්‍ෂට ලංකාවේ නැති රජකමක් පවරා සින්නක්කරව ලබාදීමට මූලිකවම උපයෝගී කරගත්තේ සුනිල් ආර් ගමගේ ලියා, සමන්ත පෙරේරා සංගීවත් කර, සහෙළි ගමගේ නම් තරුණ ගායිකාවක විසින් ගයන ලද "ආයුබෝවේවා, මහරජාණෙනී" නම් ගීයයි.

ඒ කූප්‍රකට ගීය අසා නැත්තෙකු ඇති යැයි නොසිතමි!

මෙන්න ඒ ගීතය: https://youtu.be/S5OZNrTPLEk



එතැන් සිට කතාව මෙලෙස ය.

සිරබත් කන සරත් ෆොන්සේකා බේරා ගැනීමේ අරමුණ ඇතිව ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාන්තවාදී පක්‍ෂය විසින් එකල ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ ව්‍යාපාරය නම් සංවිධානයක් අරඹන ලදී. මෙහි නායකත්වය ගත්තේ අනුර කුමාර දිසානායක සහ අර්ජුන රණතුංග දෙදෙනා ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ සම්මන්ත්‍රණ මාලාවක් වසර 2010 ඔක්තෝබරයේ දී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල පවත්වන ලදී. සිඩ්නි නගරයේ දී එය සංවිධානය කළේ එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ප්‍රධාන සංවිධායකවරයා වූ ජගත් බණ්ඩාර සහෘදයා ය.



සභාවේ පෙනෙන්නට නො සිටිය ද, පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පෙරටුගාමී පක්‍ෂයේ දේශපාලන මංඩල සභික ප්‍රේමකුමාර ගුණරත්නම් ද ඒ සම්මන්ත්‍රණයට සහයෝගය දැක්වූ බව අපට උපකල්පනය කළ හැක.

ජගත් බණ්ඩාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ සිඩ්නි ශාඛාව ම, පසුව ප්‍රේමකුමාර ගුණරත්නම් සමග පෙරටුගාමී පක්‍ෂයට එක් වූ බව පෙනී ගියේ, සිව් වසරකට පසුව අනුර කුමාර දිසානායක නැවතත් ඕස්ටේ‍ර්ලියාවේ සංචාරය කළ ද, සිඩ්නි නුවරට නොපැමිණි බැවිනි!

සිඩ්නි තදාසන්නයේ ග්‍රැන්විල් හී ඕස්ට්‍රේලියානු නිෂ්පාදන කම්කරු සංගම් (AMWU) ශාලාවේ පැවති පෙර කී සම්මන්ත්‍රණයට සහභාගී වීමට මම ද ගියෙමි.

ශාලාවට ඇතුළු වූ මට දකින්නට ලැබුණේ එහි තිබූ විශාල රූපවාහිනී තිරයේ පහත වීඩියෝව ප්‍රචාරය වෙන අන්දමයි.

https://youtu.be/Q4XQeFKKhpU



මගේ බඩ දඟලන්නට පටන් ගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊට වඩා බඩ දැඟීලීම් ඉවසා පුරුද්ද ඇති නිසා, අසීරුවෙන් නමුත් සම්මන්ත්‍රණය අවසානය තෙක් එහි රැඳී සිට, දේශකයින්ගෙන් ප්‍රශ්න ඇසීමේ වාරය එළැඹුණු පසු මම අනුර කුමාර දිසානායකගෙන් මෙලෙස විමසුවෙමි.
"අනුර, දැන් මෙතනදී අපට අසන්නට ලැබුණේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වී ගොස් වැඩවසම් රාජාණ්ඩුවක් කරා යමින් තිබෙන බවයි. නමුත් මේ සම්මන්ත්‍රණය ආරම්භයේ දී මට දකින්ට ලැබුණේ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ගැයුණු ආයුබෝවේවා මහරජාණෙනී නමැති ගීතය සරත් ෆොන්සේකා ගේ රූප රාමු සහිත වීඩියොවක් ලෙස සකසා ප්‍රචාරය කරන ආකාරයයි.

ඔබ ලංකාවේ නැති වී ගොස් ඇතැයි කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ගෙන එන්නට යන්නේ එක රජෙකු වෙනුවට මෙලෙස වෙනත් රජෙකු ආදේශ කිරීමෙන් ද?"
මෙය අනුර කුමාර දිසානායකට පමණක් නොව එදා ඔහු එහි සිටියේ නම්, ප්‍රේමකුමාර් ගුණරත්නම්ට වුවද කට උත්තර නැතිකරවන ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත් මට ඒ බව හරිහැටි දැන ගන්නට ඉඩ නොලැබුණේ, එතැන සිටි අර්ජුන රණතුංග මල්ලියා අනාරාධිතව ම මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වී බයිලාවක් ගැයූ බැවිනි!

මේ පුරාවෘතය මට සිහිවූයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව රජාට ඇන්ද වූ වීඩියෝ ගීතයක් කළ එළි බැස තිබෙනු පසුගිය සතියේ දී දුටු විටයි.

රජවරු ගී ගයමින් නැටුවේ පැරණි නාඩගම්වල බව අපි දනිමු.

ඒ අර්ථයෙන් පමණක් නොව සෑම අරුතකින් ම මේවා නාඩගම් ම වේ.

-රසිකොලොජිස්ට්

ප/ලි
මෛත්‍රීපාල සිරිසේනව ගොං රජාට අන්දන වීඩියෝ ගීතයේ දැනට ඉතිරිව ඇති පිටපතක් මෙන්න. මෙයට බුද්ධිමය අයිතිය ඇති සමාගම විසින් කරනු ලබන පැමිණිළි නිසා මේ වීඩියෝවේ පිටපත් ක්‍රම ක්‍රමයෙන් පොදු අවකාශයෙන් ඉවත් වෙමින් පවතී.

https://youtu.be/yvN-RjsW6ow

Sunday, 27 December 2015

ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana


කැමති අයගේ කියවීම සඳහා මා රාවය පුවත් සඟරාවේ පල වූ ලිපියක් කොටස් වශයෙන් බ්ලොගය හරහා මෙලෙස මුදා හරිමි.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

අද පස්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්ව විද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්වවිද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

තර්ක විතර්ක කෙසේ වූවද, මේ සියල්ලටම මුලික හේතුව වූයේ විශ්වවිද්‍යාල තුළ බල අරගලයට වඩා ඒ වන විට ජ.වි.පෙ. විසින් උතුරේ ප‍්‍රශ්නය මුල් කරගෙන ගෙන ගිය දේශපාලන මතවාදය හා වැඩ පිළිවෙළ සහ උතුරේ ජනතාවගේ ස්වයංනීර්ණය වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණලා ගේ දේශපාලනය අතර තිබූ මත අරගලය බව මම සිතමි.

මින් සුළු කාලයකට පසුව මා විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය නිම කල අතර හුදු ශිෂ්‍ය ප‍්‍රශ්න ගැන සටන් කළා මිස කිසි කලෙක කිසිදු පිටස්තර පක්‍ෂ දේශපාලනයක නිරත නොවුන බැවින් මගේ කි‍්‍රයාකාරී දේශපාලනය එතැනින් අවසන් විය.

ඊළඟ වසරේ දී (1986) ජ.වි.පෙ., ඔවුන් ට අනුබද්ධව සමාජවාදී ශිෂ්‍ය සංගමයට සමාන්තරව, දේශපේ‍්‍රමී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවන ලදී. අද දක්‍ෂිණාංශික දේශපාලනයක යෙදෙන ඇමතිවරයෙකු වන චම්පක රණවක ද මේ දිනවල සහ ඉන් පසුව එළැඹුණු භීෂණ සමය තුළ මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස කි‍්‍රයාකාරී ශිෂ්‍ය දේශපාලනයේ යෙදුණු බව 1990 දී ඔහු දිවයින පුවත් පතේ පළ කළ ලිපි මාලාව මගින් එළිදරව් කළේ ය.

දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පොදු සටන් පාඨය වූයේ බෙදුම්වාදීන්ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු! සහ ඊට සමගාමී වූ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව ජ.වි.පෙ. මතවාදයයි.

මේ කාලය වන විට, ලංකාවේ අනෙකුත් වාමාංශික පක්‍ෂ වට මේස සාකච්ඡා යනාදිය තුලින් පොදුවේ යොමුවෙමින් තිබුණේ බලය බෙදා හැරීම මත පදනම් වූ විසඳුමක් කරා ය. දයා පතිරණලා ට අමතරව, මේ රේඛාවෙන් අනිත් පස අන්තයේ මත දැරූ වෙනත් දේශපාලන කණ්ඩායම් ද තිබුණි. මෙයින් එක් කණ්ඩායමක් වූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ යම් පදනමක් ගොඩ නංවාගෙන තිබුණි.

අවසාන කොටස: දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...! :: https://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html

-රසිකොලොජිස්ට්

(image: source unkown, copied from w3lanka.com)

Wednesday, 23 December 2015

දයා පතිරණ පිළිබඳ මතකය - Forcing the sun to rise at mid-night


පසුගිය ඉරිදා රාවය පුවත් සඟරාවේ මගේ ලිපියක් පළවිය. එය මගේ විශ්වවිද්‍යාල ජීවිතය හා බැඳුණු එකකි. හැබැයි එහි ප්‍රධාන නළුවා මා නොව, ජනතා විමුක්ති පෙරමුණ / සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මරා දැමූ බවට සැක කෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ දයා පතිරණ ය.

මගේ ලිපිය දිග වැඩි වීම නිසා එහි අවසාන පරිච්ඡේද කිහිපය රාවයෙන් හැලී ගොස් තිබුණු බැවින් මුළු ලිපියම (කොටස් කිහිපයකින් යුතුව) රසිකොලාජියේ පල කිරීමට සිතුවෙමි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය ගැන උනන්දුවවක් ඇති ඇත්තෝ කියවත්වා!

-රසිකොලොජිස්ට්

දයා පතිරණ සහ බලෙන් හිරු නංවීම
දයා පතිරණ ඝාතනයේ විසිනමවෙනි සංවත්සරය නිමිත්තෙනි

අසූව දශකයේ මැද භාගයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ සහෝදරයාව කපා කොටා ඝාතනය කර දමා තිබුණේ අදින් වසර විසි නමයකට පෙර 1986 දෙසැම්බර් මස 15 වන දිනට යෙදුණු උදුවප් පුර පසළොස්වක පොහෝ දා ය.

ඉන් වසර දෙකහමාරකට උඩ 1984 ජූනි මාසයේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පද්මසිරි අබේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක ශිෂ්‍යයන් දෙදෙනා රාජ්‍ය සේවයේ වෙඩි උන්ඩයෙන් මිය ගොස් තිබුණු බැවින් තවත් සරසවි සිසුවෙක් මරා දමා තිබීම එවකට රටේ මහජනතාව අතර විශාල කලබගෑනියක් ඇතිවීමට හේතුවක් නොවීය. නමුත් දයා පතිරණ ගේ මරණය එසේ සතුරු වෙඩි උණ්ඩයකින් සිදුවූවක් නොව මිතුරු ලෙසින් පැමිණි මාරයාගෙන් ලැබුණු පිහි පහරින් සිදු වූ එකක් වීම විශේෂයකි.

දයා පතිරණ ඝාතනයට මුලික ම හේතුව ලෙස මතුපිටින් පෙනුණේ කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය පිළිබඳ බල අරගලය වූව ද, සැබෑ වූ හේතුව වූයේ උතුරේ යුද්ධය සහ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබදව වූ වඩා පුළුල් මතවාදී ගැටුමක් ඔඩුදුවා යෑම බව මගේ හැඟීමයි. එ නිසා ම මෙම ඝාතනය, පසු කාලයේ ලංකාව තුළ උතුරු නැගෙනහිරින් බාහිරව සිදු වූ මහා ජීවිත විනාශයේ සමාරම්භක මිනිස් බිල්ල ලෙස කෙරෙන හඳුන්වා දීම ඉතා වැදගත් වේ.

දයා පතිරණ (ඔහු ගේ මුළු නම හේවා පතිරණගේ දයානන්ද පියසිරි විය) මට මුලින්ම හමුවූයේ 1984 අගෝස්තු මාසයේ දිනයක කඩවත සූරිගම පන්සලක පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩල (අවිශිබම) රැස්වීමේ දී ය. ඔහු ගේ මරණයෙන් පසුව මා දැනගත් පරිදි දයා පතිරණ මාතර ප‍්‍රදේශය තම නිජබිම කරගත්තෙකි. ඔහු පාසැලේ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වූ බව ද කියවුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අප "අවිශිබම"ය හැදින්වූයේ "අයි.යූ.එස්.එෆ්." යන මුලකුරු වලින් වුවද එය අනෙකුත් විශ්වවිද්‍යාලවල ජනපි‍්‍රය වූයේ "අන්තරය" යන නමිනි. අවිශිබමයේ කැඳවුම්කරු ලෙස එවකට කි‍්‍රයා කළේ පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වූ උපාලි ජයවීර ය. ඔහුට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙම රැස්වීමට මහජන පක්‍ෂයට, ශී‍්‍රලනිපයට සහ නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නියෝජිතයන් ද, එදින කුමන පක්‍ෂයක් නියෝජනය කළේ දැයි මා අදත් නොදන්නා, පසුව 1994 දී ශී‍්‍ර.ල.නි.ප.යෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු, ඩිලාන් පෙරේරා ද සහභාගී විය.

ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.

රැස්වීමට සහභාගීවූවන් බහුතරය එක්කෝ ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයින් හෝ නැතිනම් ජ.වි.පෙ. අනුගාමිකයින් (එනම් විශ්වවිද්‍යාලයට පරිබාහිර ජ.වි.පෙ. දේශපාලනයට ද යම් ලෙසකින් දායක වෙන්නන්) හෝ නැතිනම් ජ.වි.පෙ. හිතවාදීන් (එනම් එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජ.වි.පෙ. කි‍්‍රයාකාරීත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්න නැත්තන් - සමහරවිට ඩිලාන් පෙරේරා මේ ගොඩට වැටුණා විය හැක) බව කැපී පෙනුණි. කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල ද අඩු වැඩි වශයෙන් නියෝජනය වී තිබුණු අතර යාපනය සහ නැගෙනහිර සරසවිය ප‍්‍රායෝගික කරුණු මත අවිශිබමයේ කොටසක් නොවී ය.

එදා රැුස්වීමට පැමිණ සිටි අය අතර සිහින් සිරුරකින් ද බොකුටු කොණ්ඩයකින් ද යුතු කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ කැපී පෙනුණි. ඔහු ජ.වි.පෙ. හිතවාදියෙක් නොවන බව ක්‍ෂණයකින් පැහැදිලි වූයේ ඔහු කවුරුදැයි රැස්වීමේ කැඳවුම්කරු ද ඇතුළුව සභාවෙන් ප‍්‍රශ්න නැගුණු විට ය. තමා කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන බවත්, පසුගිය දිනක පැවති ජල බදු විරෝධී රැුලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නියෝජනය කරමින් කතා කළ තමා ට මෙම අවිශිබම රැස්වීමට සහභාගීවීමට අයිතියක් තියෙන බවත් දයා පතිරණ ස්ථිරසාරව ප‍්‍රකාශ කළේ ය.

කූප‍්‍රකට භීෂණ සමය මේ වන විට ලංකාවේ තවමත් ආරම්භ වී නොතිබුණ ද මෙම අවිශිබම රැස්වීම පැවැත්වූ කාලය ද විශ්වවිද්‍යාල සිසුන් ට නම් එක්තරා ආකාරක භීම සමයක් විය. පෙර සඳහන් කළ පරිදි පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් වෙඩි තියා මරා දමා ඒ වන විට ගතවී තිබුණේ යාන්තම් මසක් පමණ කාලයක් පමණි. මේ රෝහණ රත්නායක ශිෂ්‍යයා දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වී යැයි සිතමි.

මේ වන විට විශ්වවිද්‍යාල සියල්ල ම වසා දමා තිබුණු අතර අප එදා රැස්වුණේ ශිෂ්‍ය විරෝධය ඉදිරියට ගෙනයාමත්, විශ්වවිද්‍යාල නැවත විවෘත කරගැනීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ එවකට පිහිටුවා තිබූ පොලිස් ස්ථානය ඉවත්කරවා ගැනීමත් පිළිබඳ සාකච්ඡා කිරීමටය. මගේ මතකයට අනුව රැස්වීම අවසාන වූයේ, පොලීසිය එතැනින් ඉවත් කරන ලෙස රජයට බල කිරීම පිණිස, පොදු ජන පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග ය.

දෙවෙනි කොටස: කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students :: https://rasikalogy.blogspot.com.au/2015/12/jvp-vs-independent-students.html.

-රසිකොලොජිස්ට්

Tuesday, 4 August 2015

ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?


"ජඩයින් එපා!" වත්පොත් කණ්ඩායම විසින් ප්‍රසිද්ධියට පත්කරන ලද මෙවර මහ ඡන්දයේ දී ජනතාව විසින් තම මනාපය පළ කළ නො යුතු ලයිස්තුව දැක කීප දෙනෙකු කලබල වී ඇති බව ඊයේ මට පෙනුණි.

හොරු ගැන කතා කරන විට කලබල වෙන්නේ හොරු ය, හොරුන් ගෙන් යැපුණු, හොරුන් ගේ චිරාත්කාලීන පැවැත්ම අපේක්‍ෂා කරන්නන් ය. ජඩයින් ගැන කතා කරන විට කලබලවන අයට කුමක් කියන්නදැයි නොදනිමි. ඔවුන්ට ජඩයින් කීම හරි නැත. ගැත්තන් හෝ වහලුන් හෝ එසේත් නැති නම් පසුගිය සමයේ දේශපාලන පාරිභාෂික ශබ්ද මාලාවට ඇතුළත් වුණු බයියන් යන වචනය වඩා යෝග්‍ය යැයි සිතමි.

"ඩ්‍රයි ජුලයි" මාසයේ වෙලෙමින් තිබුණු රසිකොලොජි බ්ලොගය යළි ඇරඹූ දින මා එලෙස සැළසුම් නොකළේ වුවද, මේ මාසයේ මුල් සති දෙක හමාර තුළ, දේශපාලනයට අදාළ දේ පමණක් ලියා පළ කරන්නට මට ඊයේ සිතුණි. දවසකට දුම්රියේ ගත කරන පැය දෙකක පමණ කාලය මට ඒ සඳහා සෑහෙනු ඇත.

මේ ලියන්නේ කරුණු තුනක් ගැන කතා කරන්නටයි.

1. මා හිතන්නේ ඡන්දදායකයින් ලෙස අප දැඩි මතවාද වල ගැලී නොසිට වඩාත් නම්‍යශීලී විය යුතු බවයි
ඡන්දය සම්බන්ධයෙන් ගත් කළ, ලංකාවේ අද පවතින ලොකුම ප්‍රශ්නය ලෙස මා දකින්නේ ඡන්දදායකයින් සෑහෙන ප්‍රතිශතයක් කැපුවත් යූඇම්පී, කැපුවත් සිරිලංකා වැනි දැඩි මතධාරීන් වීමයි. මෙය අනම්‍යකමකට වඩා අමනකමක් යැයි සිතමි. මේ දැඩි මතධාරීන් ගේ ප්‍රතිශතය අඩු වෙන්නේ පවතින රජය දැඩි මර්දනකාරී රෙජීමයක් දක්වා වර්ධනය වූ අවස්ථාවල දී පමණි. රටේ යහපත පිණිස සිදුවිය යුත්තේ පවතින තත්වය ගැන සලකා බලා තම ඡන්දය පාවිච්චි කරන ඡන්දදායකින්, එනම් පාවෙන ඡන්දදායකියන්, ගේ ප්‍රතිශතය අති බහුතරය බවට පත් වීමයි.

2. ආණ්ඩුමාරු වීම ඉක්මනින් සිදු කළ යුතුයි
ඡන්දදායකින් ගේ කැමැත්ත අනුව තවත් සිදු විය යුතු වෙනසක් වන්නේ වසර කිහිපයකට වරක් ආණ්ඩු මාරු වීමයි. මා අධ්‍යයනය කර ඇති ආකාරයට 1947 සිට 1970 දක්වා කාලය තුළ රටේ ආණ්ඩු මාරු සාමාන්‍ය ක්‍රමයට ඇති විය. මේ කාලය තුළ රටේ අදට සාපේක්‍ෂව හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණු බව මගේ අදහසයි. වසර පහකින් තමන් මහජනතාව ගේ කැමැත්ත නැවත දිනාගත යුතු බව සිහිවෙන විට ඕනෑම දේශපාලයෙකුට තරමක් හෝ ජනතාවාදීව කටයුතු කිරීමට සිදුවේ. මේ පස්වසරක කාලය ද දිගු වැඩිය. එය වසර හතරක් වෙන්නේ නම් වඩාත් යහපත් වේ.

3. ශක්තිමත් තුන්වෙනි බලවේගයක් අවශ්‍යවේ
ඊළඟට සිදුවිය යුතු වෙනස නම්, ශක්තිමත් තුන්වෙනි බලවේගයක ඇති වීමයි. එසේත් නැතිනම්, පවතින රජයට සාමාන්‍ය බහුතරයක් මිස, අසීමිත බලයක් නොලැබීමයි.
මා පෙර සඳහන් කළ 1970 දක්වා තුන්වෙනි දේශපාලන බලවේගය ලෙස ලංකාවේ පැවතුණු වාමාංශික පක්‍ෂ, සිරිලංකා පක්‍ෂය සමග මැතිවරණය සඳහා සභාගගත (අද වචනයෙන් සන්ධානගත) වීම නිසා ඒ වසරේ පිහිටවූ ආණ්ඩුවට අසීමිත බලයක් ලැබුණි.

රටේ දේශපාලන සමතුලිතබව වෙනස් වූයේ එතැන් සිටයි. පසු කලෙක, ඒ සමතුලිතබව සඳහට නැතිවෙන පරිදි නීති සම්පාදනය වූ අතර හරිහැටි විශ්ලේෂණය කර ගත නොහැකි ආකාරයක මඩ ගොහොරුවක රට ගිලී ගියේ ය.

මේ තත්වය ඇති කළේ දේශපාලකයින් බව සැබෑවක් නමුත්, ඔවුන්ව පත් කළේ ඡන්දදායකයින් නිසා, මේ මඩ ගොහොරුවෙන් ගොඩ එන තත්වයක් ඇති කිරීමේ ශක්තියද ඇත්තේ ඡන්දදායකයින්ට ම ය.

තව සති දෙකකින් පත් කරගන්නා පාර්ලිමේන්තුව කිසිදු එක් පක්‍ෂයකට අති බහුතර බලයක් හිමි නොවෙන ආකාරයේ එකක් වේවායි මා කලින් ලිපියක බලාපොරොත්තුව පළ කළේ ඒ නිසා ය.

මෙන්න නැවතත් මා සිතන පරිදි සිදුවිය යුතු වෙනස් කම් කිහිපය.

1. ඡන්දදායකින් බහුතරයක් නම්‍යශීලි දේශපාලන මත දරන්නන් වීම
2. ආණ්ඩුවක කාලය වසර හතර දක්වා අඩුවීම සහ ආණ්ඩු මාරුව නිරතුරු සිදුවීම
3. එක් පක්‍ෂයකට අසීමිත බලයක් නොව ශක්තිමත් විපක්‍ෂයක් නැතිනම් ශක්තිමත් තුන්වෙනි බලවේගයක් ඇති වීම

ඔවුන් ගේ පරණ මෝඩකම්, මැරකම් සහ දුෂ්ට ක්‍රියා කෙසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නොත් හොඳ නේදැයි මට සිතෙන්නේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ පසුගාමී ද වේ. මක්නිසා ද යත් පෙරටුගාමීන් වෙනම සිටින බැවිනි!

(image: http://njpokeronline.net/2883/midterm-election-online-poker-and-gambling-coverage/)

Saturday, 1 August 2015

මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote


දශක දෙකක පමණ කාලයක සිට නොරටක ජීවත්වෙන ලාංකිකයෙකු වන මම විටින් විට ලංකාගමනය කරමි. ඒ කාල වකවානු තීරණය වෙන්නේ හුදෙක්ම පුද්ගලික කාරණා මතය. ලංකාවේ මැතිවරණ පවත්වන දින තීරණය කෙරෙන ග්‍රහචාර, මට බටකොළ කවන සෙනසුරු මාරු හා සම්බන්ධයක් නොමැති නිසා, ලංකාවේ මා ගත කරණ සති කිහිපය ඇතුළත ඡන්ද විමසීමක් පැවතීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය.

එවැනි එකෝ ම එක අවස්ථාවක් 1999 දී උදා වූ අතර, එය මගේ ජීවිතයේ සන්ධි ස්ථානයක් ද විය. ඒ ගැන රසවත් විස්තරය පසුවට තබමි.

ඊයේ කල්‍යාණ මිත්‍ර ලියන කලාහිත බ්ලොගයේ පල වී තිබී මා කියවූ අපූරු ලිපියක් නිසා, මට මේ මස දාහත්වෙනි දා ඡන්දය පාවිච්චි කීරීමට ලංකාවට යන්නට ඇති ඉඩකඩ ගැන මම සිතින් සොයා බැලුවෙමි.

එහි දී මට පෙනී ගියේ, ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලංකාවට යාමට වැය කළ යුතු වෙන කාලය, ශ්‍රමය හා ධනය සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට වඩා වඩා පිළිතුරු සොයා ගැනීමට අසීරු ප්‍රශ්නය නම් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කවර පක්‍ෂයට හෝ කණ්ඩායමට ද, එයිනුත් කවර අපේක්‍ෂකයින්ට ද යන්න බවයි.

මට ඇත්තේ උභතෝකෝටිකයකි. සමහර විට මෙය "චතුස්කෝඨිකයක්" ලෙස ද මට අර්ථ දැක්විය හැක.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු හොර නඩය නැවත අඩු වශයෙන් දස වසරකට පසුව මිස බලයට පත් වෙනවාට මගේ කිසිදු කැමැත්තක් නැත. මීට දශක දෙකකට පමණ පෙර කාලයේ තරමක හෝ ප්‍රගතිශීලී අදහස් කෙටි කාලයකට හෝ දැරූ සිරිලංකා පක්‍ෂය පසුගිය කාලය තුළ විනාශ වී ගිය ආකාරය කනගාටුදායක ය. මගේ අදහසට අනුව ඔවුන් නැවත බලයට පත් කළ යුත්තේ 2015 දක්වා පක්‍ෂයේ තනතුරු, ඇමතිකම්, උප ඇමතිකම්, මන්ත්‍රීකම් දැරූ සියලු දෙනාම පක්‍ෂයෙන් ඉවත් වූ පසුව පමණි. ඔවුන් වෙනුවට නායකත්වයට පත්විය යුතු කවුරුන්දැයි කියන්නට මට මේ මොහොතේ සිරිලංකා පක්‍ෂයේ දෙවෙන පෙළ නායකත්වය ගැන අදහසක් නැත.

වසර 1977 සිට 1994 දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාලන ක්‍රමය ගැන මම හොඳින් දනිමි. එදා පොඩි එකෙකු ලෙස යුඇම්පිය ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියක් පහක් දිනුවද, මා ජීවිතේට ඒ පක්‍ෂයට ඡන්දය දී නොමැත. දෙන්නට අදහසක් ද නැත. ඔවුන් බලයේ සිටි ඒ කාලයේ ලංකාව අගාධයට දැමූ, දුෂණයට, භීෂණයට වගකිව යුතු පිරිස් සහ ඔවුන් ගේ ප්‍රතිපත්ති ද මොනවාද ඉදිරියට ගෙන යනවා යැයි කියන එවුන් තවමත් යූඇම්පියේ සිටිති. ඔවුන් වෙනුවට අජිත් පී පෙරේරා, විජේදාස රාජපක්‍ෂ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි පිරිසක් යුඇම්පියේ නායකත්වයට පත්විය යුතු බව මගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණ ගැන ද මගේ පරිපූර්ණ පැහැදීමක් නැත. ජේවීපී ය යනු මා දේශපාලනය ගැන සැබෑ උනන්දුවක් ඇති කරගත් කාලයේ ඉතා හොඳ දැක්මක් තිබුණු පක්‍ෂයක් වුව ද, පසුව ඔව්හූ ජනප්‍රිය ජාතිවාදී මඩ ගොහොරුවේ ගිලී ගියහ. මහින්ද රාජපක්‍ෂ වැනි දුෂණ චෝදනා ලබා ඇති අය සමග ද, සරත් ෆොන්සේකා වැනි දුෂණවලට වරදකරුවෙකු වූ, මිලිටරිකාරයින් සමග ද සභාගයට ගොස් අසූචි ස්නානය කළහ. ජේවීපීය තුළ පෙර තිබූ ජීව ගුණය තව දුරටත් තිබේ දැයි මම නොදනිමි. කෙසේ නමුත්, සමන්ත විද්‍යාරත්න වැනි අය පිළිබඳව නම් මගේ ඇත්තේ ප්‍රසාදයකි.

ජේවීපියෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසේ මා දන්නා ප්‍රතිපත්ති සහ දර්ශනය පිළිබඳව යම් තරමක ධනාත්මක සිතුවිල්ලක් මට ඇතත් ඔවුන්ට මේ මැතිවරණයේ දී හුදු විරෝධයකින් ඔබ්බට ගිය බලපෑමක් ඇති කළ හැකි යැයි මම නො සිතමි.

මේ කරුණු අනුව, මා බොහෝ විට තීරණය කරනු ඇත්තේ ජේවීපියට ඡන්දය දෙන්නටයි.

දැන් මට ඇති ප්‍රශ්නය නම් ඒ සඳහා දින දෙකක් ගමනට වැයකොට, අඩු වශයෙන් සතියක් පමණ නිවාඩු අහිමි කරගෙන, ඩොලර් දෙදහසක් පමණ වැය කරගෙන ලංකාවට එනවාද නැති නම් විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා ද යන්නයි. ලංකාවට ආවත් මගේ ඡන්දය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා සමන්ත විද්‍යාරත්නට මනාපය පල කරන්නට මට ඉඩ නැත.

එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.

මගේ සැබෑ අපේක්‍ෂාව කෙසේ වෙතත්, රටේ මිනිසුන් ඡන්දේ දෙන්නේ මට අවශ්‍ය ආකාරයට නොවන නිසා, ප්‍රායෝගිකව සිතා බැලූ විට මා දැකීමට අදහස් කරන අවසාන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

එක්සත් ජාතික පෙරමුණ = 80
එක්සත් ලංකා ජනතා සන්ධානය = 80
ජනතා විමුක්ති පෙරමුණ = 40
දෙමළ ජාතික සන්ධානය = 20
මුස්ලිම් කොන්ග්‍රසය = 5

-රසිකොලොජිස්ට්

(image: http://the-mystery-case-files.wikia.com/wiki/Donkey(Shrek))