Showing posts with label බයියෝ. Show all posts
Showing posts with label බයියෝ. Show all posts

Wednesday, 28 May 2025

මලගෙවල්වල කතා පැවැත්වීම - The art and craft of funeral orations


මගේ ජීවිත කාලය තුළ මම අවමංගල්‍ය උත්සව තුනක කතා කර ඇත්තෙමි. ඉන් එකක් මට ලැබුණු අවස්ථාවකි, ආරාධනයකි. අනිත් අවස්ථා දෙකම මා මගේ උවමනාව නිසා ලබාගත් අවස්ථා ය.

මුල්ම අවස්ථාව මට ලැබුණේ අප විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු එකහමාරකට පමණ පසු අපේ කණ්ඩායමේ සිටි සගයෙකුගේ වැඩිමහල් සොහොයුරෙකු අවාසනාවන්ත ලෙස මරණය සොයා ගිය පසු ඔහුගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුණු අවස්ථාවේ දී ය.

දෙවනුව මා කතා කළේ මගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දී ය. පවුල වෙනුවෙන් කවුද කතා කරන්නේ යැයි එදා දහවලේ එම සභාව මෙහෙය වූ තැනැත්තා විමසනවා ඇසූ විගස මා කතා කළ යුතු යැයි මට සිතුණු බැවින් ඒ අවස්ථාව මම ලබා ගත්තෙමි. එය මා සිතමින් සිටි දෙයක් නිසා කිව යුතු කරුණු ද මගේ සිතේ ගොනු වී තිබුණි.

තුන්වෙනුව සහ අවසන් වරට මා කතා කළේ මගේ මවගේ අවමංගල්‍යය උත්සවයේ දී ය. එය ද කිසිදු පෙර සූදානමකින් තොරව එහි සිටියදී මංගල්‍ය උත්සවය අවසානයේදී සභාව මෙහෙය වූ තැනැත්තා වෙනත් කවුරුහරි ඉන්නවද කතා කරන්නට යැයි පැවසූ විට මා ලබා ගත් අවස්ථාවකි.

ඒ අවස්ථා තුනේ දී මා කියූ කතාවල සාරාංශය ඉදිරිපත් කිරීම පසුවට තබා සටහන ලිවීමට තුඩු දුන් මූලික කාරණය වූ, මාලිනී පොන්සේකා නම් සිනමා නිලියගේ අවමංගල සභාවේ දී සෞම්‍ය ලියනගේ විසින් කරන ලද කතාව ගැන මගේ අදහස කියනවා නම් එය මෙසේය.

මංගල උත්සවවල දී මෙන්ම, අවමංගල සභාවල දී ද කතා පවත්වෙන්නේ කවුද යන්න තීරණය කිරීමේ පරම අයිතිය ඇත්තේ මියගිය තැනැත්තාගේ ඥාතීන්ටය. බොහෝ අය මියගිය තැනැත්තාගේ හතර පරම්පරාවේ අය නියෝජනය වන පරිදි කතා බෙදා හරිති. සේවා ස්ථානයේ අය වෙනුවෙන්, මිතුරන් වෙනුවෙන් ද කතා ලැබේ.

මා ඉහත සඳහන් කළ මුල් අවස්ථාවේ දී මට කතා කිරීමට ආරාධනා කෙරුණේ මියගිය පුද්ගලයාගේ සොහොයුරා වෙනුවෙනි.

මාලිනී ෆොන්සේකාගේ අවමංගල්‍ය සභාවේ දී සෞම්‍ය ලියනගේ කතා කළේ ඒ පවුලේ අවශ්‍යතාව පරිදිය. ඔහු ඒ පවුලේ ඥාතියකි. එනම් අප බොහෝ දෙනෙකු දන්නා පරිදි සෞම්‍ය ලියනගේ මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක වන සමන්ලී ෆොන්සේකාගේ සැමියාගේ සොහොයුරා ය.

සමනලීගේ සැමියා වන ඉන්ද්‍රචාපා ලියනගේ විසින් මාලිනී ෆොන්සේකාගේ සිරුර දවාලූ සොහොනට ගිනි අවුලනු අවසානයේ අපට පෙනුණි.

ඊළඟ වැදගත් කරුණ නම් මෙලෙස කතාවක් පවත්වන්නට ආරාධනා කළ පසු කිසිවකු "මෙන්න මේවා කියන්න ය, මෙන්න මේවා නම් කියන්න එපා ය" කියා නීති පනවන්නේ නැති බවයි.

මා කතා කළ අවස්ථා තුනේ දී මම ද මට ඕනේ දේ කීවා මිස වෙන අයට අවශ්‍ය දේ කියන්නට හෝ නොකියන්නට හෝ ගියේ නැත. (අවමගුලක දී නොව වෙනත් අවස්ථාවක මට කතාවක් කරන්නට ආරාධනය කළ අයෙකු ඉන් පසුව හැබැයි රසික එක කොන්දේසියක් තියෙනවා යනුවෙන් කියන්නට පටන්ගත් සැණෙන්, මා කළේ අනේ මේ මට අපහාස කරන්නට එපා යැයි කෙළින්ම පවසා සිටීමයි.)

ඉතින් සෞම්‍ය ලියනගේ ඊයේ කතා කිරීම ගැන ඒ පවුලේ අයට නැති ප්‍රශ්නයක් අපට තිබිය යුතු නැත.

එසේම ඔහු එහි දී කීවේ ඔහුට අවැසි දේ මිස ඒ කතාව අසා සිටි එක එක බයි-නොබයි සිපයියන්ට අවශ්‍ය දේ ද නොවේ.

අසා සිටි ඔබ සැමට ස්තුතියි.

- රසික සූරියආරච්චි

Sunday, 2 January 2022

කොළඹ කුලපති කේස් එක සහ විරෝධය පෑම ගැන මගේ ඩොලර් මිලියන් දෙක - Colombo University Protest December 2021


නොබෝදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධිලාභීන් සමහර දෙනෙකු විශ්වවිද්‍යාලයේ අලුතෙන් පත් කෙරුණු උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්දගෙන් උපාධි සහතිකය ලබාගැනීමට ප්‍රතික්ෂේප කරණ උපාධි ප්‍රධාන උත්සවේ වීඩියෝ දර්ශන නැරඹූ අය අතර ඒ පිළිබඳ දක්වන අදහස්වලින් සෑහෙන බෙදීමක් පෙනෙන්නට තිබේ.

මෙහිදී මා නිරීක්ෂණය කළ එක් කරුණක් නම් පොදුවේ අපට වටහාගත හැකි පරිදි මුරුත්තෙට්ටුවේ ආනන්ද නමැත්තා කිසිසේත් ම නුසුදුසු එම තනතුර සඳහා ඔහුව පත් කළ ජනාධිපති ගෝඨාභයට සහය දක්වන බයියන් පිරිස උපාධිධාරීන් විසින් කළ එම විරෝධය හෙළා දකින අතර සාමාන්‍යයෙන් ප්‍රගතිශීලී අදහස් දරන කිහිපදෙනෙකු ද විවිධ හේතූන් නිසා එම ක්‍රියාව වැරදි යැයි පැවසීමයි.

මා දන්නා එක් මිතුරෙකු ෆේස්බුක් අවකාශයේ සටහනක් තබමින් එසේ පවසා ඇත්තේ, සමහර විට ඔහුගේ විශ්වවිද්‍යාල සම්ප්‍රදාය පිළිබඳ ඇති ගෞරවය නිසා, සම්ප්‍රදාය කැඩීමෙන් සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, නොඑසේ නම් උපාධි ප්‍රදානෝත්සවයේ දී විරෝධය පෑමෙන් විශ්වවිද්‍යාලයට සිදුවෙතැයි ඔහු සිතන අගෞරවය, එසේ විරෝධය දැක්වීමට වඩා වැදගත් යැයි සලකන නිසා යැයි මට සිතුණි.

අවුරුදු විසි දෙකකටත් වඩා දිගු කාලයක් තිස්සේ, කොළඹ විශ්වවිද්‍යාලය ද ඇතුළුව, විශ්වවිද්‍යාල රාශියක රස්තියාදු වී ඇති මගේ මේ පිළිබඳ අදහස ද කොහේ හෝ තැනක සටහන් කර තැබිය යුතු යැයි මට සිතුණි.

මගේ අවංක අදහස ඉතා කෙටියෙන් මුලින් ලිව්වොත්, උපාධිධාරීන් විසින් කරන ලද එම විරෝධය අඩංගු වීඩියෝ දෙක තුනක් නැරඹූ මට කිව හැක්කේ ඒ ඉතා සාමකාමී විරෝධය දැක්වීම මෙවැනි අවස්ථාවකට ඉතා උචිත බවයි.

ඊට අමතරව එවැනි විරෝධයක් කිරීමට සුදුසුම අවස්ථාව එය වූ නිසා එසේ නොකර සිටියා නම් සිදුවන්නේ සිදුවීමට නියමිතව තිබුණේ මීට වඩා මීට වඩා විශාල වරදක් සහ නොසලකා හැරීමක් බවයි.

විශ්වවිද්‍යාලයේ ගෞරවය කෙළෙසෙනවා නම් එය සිදු වූයේ පෙරකී විරෝධය නිසා නොවේ. එකී විරෝධයට බඳුන් වූ පුද්ගලයාව එම තනතුරට පත් කළ නිසා ය. එය දිගු කළහොත්, එම පුද්ගලයා එම තනතුරට පත් කළ පුද්ගලයාව, රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ මොහොතේ, ඔහුට ඡන්දය දුන් පිරිස එකල නොදැන සිටියත්, අගෞරවය සිදුවීමේ මූලික පෙරනිමිත්ත සෑදුනි.

නුසුදුසු පුද්ගලයෙකුව තනතුරකට පත් කළ විට, එවැන්නන් නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. එනිසා දැන හෝ නොදැන මෙම වරද, එනම් විශ්වවිද්‍යාලෙට අගෞරව කිරීම, මූලිකවම කර ඇත්තේ හැටනම ලක්ෂයක් වූ බයියන් පිරිසයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද ගේ ද වරදක් නැත. මගේ මතකයට අනුව ඇත්තටම සිදුවූයේ දිගු කලක් තිස්සේ බයියෙකු වී සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද එක්වරම ජනාධිපති, අගමැති ඇතුළු රොත්ත බුරුත්තම විවේචනය කරන්නට පටන් ගත් අතර ඔහුගේ කට වැසීමට පිරිකරක් ලෙස මෙම කුලපති තනතුර ප්‍රදානය කරන ලද බවයි. අල්ලසක් සේ පෙනුණත් එය දානයක් නිසා ප්‍රතික්ෂේප කිරීමට කරුණක් මුරුත්තෙට්ටුවේ ආනන්දට තිබෙන්නට නැත.

මෙම පත්වීම සිදු කළ අවස්ථාවේ දී (3 නොවැම්බර් 2021) මා පවසා සිටියේ මෙයයි
මගේ අත්දැකීම් අනුව නම් විශ්වවිද්‍යාලයක කුලපතිකම යනු පරිපාලනයට සෘජු සම්බන්ධතාවයක් නැති ceremonial තනතුරකි. මා ලංකාවේ විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබා වෙනත් විශ්වවිද්‍යාල දෙකක සේවය කර ඇති නමුත් ඉන් කිසිවක කුලපතිව සිටියේ කවුදැයි එකල දැන සිටියේ නැත. දැන ගැනීමට අවශ්‍යතාවක් ඇති වූයේද නැත. එනිසා යම් විශ්වවිද්‍යාලයක කුලපති ලෙස මිගෙට්ටුවත්තේ ගුණානන්ද සිටිය ද, මුරුත්තෙට්ටුවේ ආනන්ද සිටිය ද, කිරිබත්ගොඩ ඤාණානන්ද සිටිය ද ලොකු වෙනසක් නැත. ඇති එකම වෙනස නම්, ආනන්ද හෝ ඤාණානන්ද ඔය තනතුරට පත් කළ විට අපිට පොඩි ආතල් එකක් ගැනීමට හැකිවීමයි.
නමුත් මෙවැනි තනතුරක් සඳහා පත් කළ යුත්තේ අඩුවශයෙන් උපාධි මට්ටමේ හෝ සුදුසුකම්ක් සපුරා ඇති පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

උපාධි ප්‍රදානෝත්සවයේදී නුසුදුසු කුලපති අතින් තම උපාධි සංකේතය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් විරෝධය පෑ උපාධිධාරීන් පිරිසටත්, එම විරෝධය එලෙස සංවිධානය කළ පිරිසටත් මගේ ප්‍රණාමය පුද කරමි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ ලිපිය ලියුවේ 2021 දෙසැම්බර් 21 වෙනිදා ය. හේතු කිහිපයක් නිසා එය නිසි පරිදි පළ කිරීම අතපසු විය. දිනය වෙනස් නොකර එලෙසම පළ කරමි.

(image: https://www.bbc.com/tamil/sri_lanka/2016/02/160201_mahinda_vihara)

Thursday, 31 October 2019

කාන්තා සනීපාරක්‍ෂක තුවා කතිකාව සහ බයියන් - Slaves have no use of their brain


මේ සටහන ලියවෙන්නේ ඊයේ පෙරේදා සිට කරළියට පැමිණ ඇති කාන්තා සනීපාරක්‍ෂක තුවා සංවාදය ගැන ය.

පසුබිම් කරුණු අමුතුවෙන් විස්තර කළ යුතු නැත. නමුත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි.

ලංකාවේ ඇති පසුගාමී ආකල්ප නිසා කාන්තාවන් තමන්ගේ මාසික ශුද්ධිය හෙවත් ඔසප් ලෙසින් හැඳින්වෙන කාලය තුළ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්නේ දැයි හොඳින් ම දන්නේ කාන්තාවන් ම ය. ඔසප් සමයේ යෝනියෙන් පිටවන රුධිරය සනීපාරක්‍ෂිතව ඉවත් කර ගැනීම සඳහා දැනට පවතින හොඳම ක්‍රමය නම් සනීපාරක්‍ෂක තුවා භාවිතයයි. නිෂ්පාදන වියදම සහ රජයෙන් පනවා ඇති අධික වෙළඳ බදු නිසා රටේ තරුණ ජනගහනයෙන් අඩකටත් වඩා පාවිච්චි කළ යුතු මේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයේ ලංකාවේ සිල්ලර මිල ඉතා ඉහළ අගයක පවතී.

සනීපාරක්‍ෂක තුවා සඳහා පනවා ඇති අධික බදු අඩු කරන ලෙස පසුගිය දිනවල ලංකාවේ විශාල ව්‍යාපාරයක් පැවති නමුදු, එයින් අත්කරගත් ජයග්‍රහණයක් නැත. මූලිකවම මිල අධික වීම සහ වෙනත් සමාජමය කාරණා නිසා, තරුණ කාන්තා ජනගහනයෙන් මේ සනීපාරක්‍ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණ අඩු පිරිසක් බව කියවේ. එනම්, 70% පිරිසක් තම ඔසප් සමයේ අපහසුවට පත්වෙති. ගම්බඳ දිළිඳු තරුණ සිසුවියන් සමහරු පාසල් ද නොයති.

මෙතෙක් කල්, ඡන්ද වේදිකාවේ දී විවිධාකාරයේ විහිළු සපයමින් සිටි යූඇම්පී අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, මේ ප්‍රශ්නය කරලළියට ගෙන එමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ ය.

එහි සාර්ථකත්වය මැනිය හැකි හොඳම ක්‍රමය නම්, බයියන් එයට කුලප්පු වූ ආකාරයයි. නිකම්ම නිකං ගොං බයියන් පමණක් නොවේ, හොඳට දැන උගත් වුවත් වහල් බයිකම ඊට වඩා වැදගත් කොට සලකන අය ද මේ ආකාරයට කුලප්පු වී ඇත.

මට බයියන් ගැන ඇතිවන්නේ ඉතා දුකකි.

මෙන්න මා දන්නා හඳුනන උග්‍ර ගෝටාවාදී බයියෙකු ෆෙස්බුක් හි මේ ගැන තැබූ සටහනක්.
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉඳලා සාජිත් පෑඩ් නොමිලේ දෙනව කිව්වම කාන්තා විමුක්තිය ලැබුණා වගේ උත්කර්ෂයට නංවන අයගෙන් අහන්නෙ.
කඩේකට ගිහිං කටක් ඇරල පෑඩ් පැකට්ටෙකක් ඉල්ලන්න පැකිළෙන කාන්තාවො ඉන්නෙ. දැන් පෑඩ් ගෙදරට තැපෑලෙන් එවනවද ? පාරෙ අනවුන්ස් කරන් මොබයිල් සර්විස් එකක් යනවද ? සමූපකාරෙන් සලාක ක්‍රමේට දෙනවද ? නැත්තං බොත්තමක් ඔබල ගන්න පාර අයිනෙ පෑඩ් ඩිස්ට්‍රිබියුෂන් මැෂින් හයි කරනවද?
බෙදන වැඩපිළිවෙළ මොකක්ද?
මෙන්න මා ඔහුට දුන් පිළිතුර
මිතුර, සමාජය වෙනස් විය යුතුයි. මෙය තව දුරටත් ලැජ්ජාවට දෙයක් නොවිය යුතුයි. සනීපාරක්ෂක තුවායක් ගැනීම ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ගැනීම හා සමාන සරල කාරණයක් විය යුතුයි.
මේක අපි සැම දෙනා ගේ උපතට ද සම්බන්ධ කාරණයක්.
පුතාණෝගේ මේ ප්‍රකාශය අති වැදගත් වන්නේ එනිසා යි.
වල්පල් එපා.
කුහක කම නැති අයට ඒ කාරණය වැටහෙනවා.
මේ සමාජ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන ඒම ගැන සජිත් ප්‍රේමදාසට සියලුම කාන්තාවන්ගේ ස්තුතිය හිමිවිය යුතු යැයි සිතමි.

වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස කරළියට ගෙනා කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳව කලබල වී ඇති බයියන් මෙන්ම බැයියන් ද, කියන එක කතාවක් නම්, මුලින් රට දියුණු කළ යුතුය, ඉන් පසු සනීපාරක්‍ෂක තුවා මිලට ගැනීමට සැම දෙනාටම හැකිවෙනු ඇත කියා ය.

එවුන් නොකියා කියන්නේ තව අවුරුදු හැත්තෑවකින් පමණ රට දියුණු වෙනතුරු ලංකාවේ දුප්පත් තරුණියන්, කාන්තාවන් ආවර්ත දරිද්‍රතාවයෙන් දුක් විඳිය යුතු බවය.

ඔවුන් නොදන්නා අනෙක් කාරණය නම්, දියුණු රටවල පවා මේ ආවර්ත දරිද්‍රතාව හෙවත් පවතින බවයි.

මේ ඕස්ටේ‍ර්ලියාවේ (2019) තත්වයයි.
https://probonoaustralia.com.au/news/2019/08/supermarket-giant-vows-to-end-period-poverty-in-australia/

මේ එංගලන්තයේ (2019) තත්වයයි.
https://www.independent.co.uk/life-style/period-poverty-taskforce-government-plan-uk-procter-gamble-penny-mordaunt-a8930721.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඉන්දියාවේ පෑඩ්මෑන් ලෙස විරුදාවලිය ලද අරුණාචලම් මුරුගානන්දන් විසින් කළ කතාවක් අසා 2013 දී ලියවුණු සටහනක්. එහි එම වැදගත් කතාවේ වීඩියෝව ද ඇත.

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
https://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html


ප/ප/ලි:
සනීපාරක්‍ෂක තුවා පහසුවෙන් ලබා ගත හැකි වීමෙන් ම මේ ප්‍රශ්නය අවසාන වන්නේ නැත. රට පුරා පාවිච්චි කළ තුවා ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් ද සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

(image: No one knows who made this poster!)

Thursday, 3 May 2018

ඇස් තැබීම නිසා සිදුවුණු (නැවත) ඇස් විවරවීම - Slave I Remain, Sir


කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති අවුරුදු උත්සවයක දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් නිසා මේ වන විට ෆේස්බුක් අවකාශය ගිනි ගෙන ඇති බව පෙනුණි. එයට තරමක් වියළි පොල් කොළ එකතු කරමින් සිටින අතරතුර මේ සටහන ද ලියා පළ කිරීමට සිදුවිය.

ඒ ගිනි ඇවිලීමට හේතු වී ඇත්තේ මෙකී අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායානුකූල අලියාට ඇස තැබීමේ ක්‍රීඩාව වෙනුවට ඒ සඳහා යොදා ගෙන ඇති බවට පෙනෙන පහත ඡායාරූප ය.



මෙය දුටු මහින්දාගම අදහන බයි වහල් ප්‍රාණකාරයින්ට උණ සන්නිපාත රෝගය සෑදී වියරු වැටී හතර අතේ දෙස් දෙවොල් තබමින් වැලපෙනවා පෙනේ. ඩයරියා ද, වොමිටින් ද ඕසෙට ඇත!

ඔවුනට අනුව, මෙය ආනන්තර්ය පාප කර්මයකටත් එහා යන, එනම් රහත් වූ අයෙකුගේ ලේ සෙලවීමකටත් වඩා දරුණු සාපරාධී ක්‍රියාවකි.

වහල්භාවයෙන් තවමත් මීදීමට නොහැකි වීම නිසා, ඇත්තටම අපේ අනුකම්පාවට භාජනය විය යුතු ඒ උණ සන්නිපාත රෝගීන් හිතා මතාම දෝ අමතක කර ඇති කාරණයක් නම්, ඒ අවුරුදු උත්සවයේ දී ම පහත පෙන්වන නවීකරණිත අලියාට ඇහැ තැබීමේ දෙවෙනි ක්‍රීඩාවක් ද තිබී ඇති බවයි.



මා ඒ සිරිසේනට ඇස් තැබීමේ ක්‍රීඩාවේ ඡායාරූපය දුටුවේ පෙර කී බයි අඳෝනා සටහනේ කොටසක් ලෙස නොවේ. සිහි බුද්ධියක් ඇති අයෙකු ඒ ඡායාරූපය ෆේස්බුකියේ බෙදා හරිමින් අසා තිබුණේ, දැන් 2020 දී ගෝටාබය ජනාධිපති වුණහොත් ඔහුගේ කාටූන් චිත්‍රයක් මේ ආකාරයට ඇහැ තැබීමේ තරගයක් සඳහා භාවිතා කිරීමට හැකි වේද යන්නයි.

ඇත්තටම, මහින්දට ඇස තැබීමේ තරගයේ ඡායාරූපය පිළිබඳව බයි වහල් ප්‍රාණකාරයින් ගේ හැසිරීම දැක සිතුණේ ද එවැනි දෙයකි.

එනම්, අද මරා බලයේ සිටියා නම්, ඔහු කෙසේ වෙතත්, ඔහුගේ අඳබාල වහලුන් කුමකින් කුමක් කරන්නට ඉඩ නොතිබුණේ ද යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බයියන් ගැන වෙනත් කතා
http://rasikalogy.blogspot.com.au/search/label/බයියෝ
(images: Gayan Sayakkara)

Monday, 24 July 2017

තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun


ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියකගෙන් මා බඩ පුරා කෑ ආකාරයත්, ප්‍රතිප්‍රහාරක් එල්ල කළ නොහැකි වූ හැටිත් පිළිබඳ කතාව මම මීට පෙර දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

අද මේ කියන්න යන්නේ ද, ෆෙස්බුක් කතාවකි. හැබැයි මෙය මට හෝ එක් පුද්ගලයෙකුට සිදු වූ දෙයක් නොව පොදුවේ ෆේස්බුක් කණ්ඩායම් තුළ දක්නට ලැබෙන තත්වයක සුවිශේෂී අවස්ථාවක් පිළිබඳව විස්තරයක් නොහොත් සමාජ ජාල පිළිබඳව එක්තරා ආකාරයක කේස් ස්ටඩියකි.

මගේ තවත් මිතුරන් දෙතුන් දෙනෙකු ද, මා ද එක්ව, අප සැම භූගෝලීයව අයත් ප්‍රදේශයේ, අපේ මාධයෙන්, අපට වැදගත්වෙන සමාජ, දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ෆේස්බුක් කණ්ඩායමක් මීට දෙවසරකට පමණ පෙර පිහිටුවා ගත්තෙමු. අපේ කණ්ඩායමේ අරමුණ සහ එහි නම කෙසේ වුව ද, කණ්ඩායමේ කාරක උපදෙස් මාලාව ලියද්දී එහි සාමාජිකත්වය කිසි ලෙසකින් භූගෝලීයව හෝ වෙනත් කිසිදු ආකාරයකින් හෝ සීමා නොකිරීමට අප වගබලා ගත්තෙමු.

එසේ ම, කණ්ඩායමට සාමාජිකයින් බඳවා ගැනීම හෝ සාමාජිකයින් විසින් පළ කරන දේ අනුමත කිරීම හෝ ඒ ආකාරයේ කිසිදු අයුතු බලයක් පරිපාලකයින් විසින් තමන් වෙත රඳවා තබා ගනු නොලැබුණි. ඕනෑ ම සාමාජිකයෙකුට තවත් පිරිස් එකතු කිරීමටත්, අවශ්‍ය දෙයක් පළ කිරීමටත් හැකි විය.

පරිපාලකයින් සතු එක ම බලය වූයේ කණ්ඩායමේ කාරක උපදෙස් මාලාවට අයත් නොවන දෙයක් සිදු වේ නම්, එයට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වීම පමණි.

භූගෝලය, ඉතිහාසය අතින් සමානකම් තිබුණ ද, විවිධ අදහස් ද, විවිධ චර්යාවන් ද, විවිධ අමනකම් ද ඇති පිරිසක් මෙලෙස එකට ගාල් කළ විට බලාපොරොත්තු විය යුතු පරිදි, මේ ෆේස්බුක් කණ්ඩායමේ ක්‍රියාකාරීව හැසිරෙන සුලු සාමාජිකයින් පිරිස අතර ද, කැපී පෙනෙන ලෙස උප කුලක දෙකක් ටික කලකින් ම ඇති විය.

ඉන් එක කොටසක් නම්, ලංකාවේ පැවති මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, ඔවුන් ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, රණවිරු ලේබලයෙන් හෝ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන පිරිස ය. ඒ පිරිස අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් ද සිටින බව පැහැදිලිව පෙනුණි.

මේ කණ්ඩායමේ පිරිස් නොවරදවා කරන කාර්යයක් වනුයේ, ලංකාවේ සිදු වූ දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියා පිළිබඳ යම් නීතිමය ක්‍රියාමාර්ග ගැනෙන අවස්ථාවල දී වුදිතයින්ට රණවිරු හෝ සිවුරු හෝ ලේබලය අලවමින් ඒ ගැන හොටු පෙරීමයි. ඒ සමගම, වරින් වර ඔවුන් ගේ රජා පැරදීම පිළිබඳ ආඬපාලි නගමින් ඒ සම්බන්ධව අත්සනක් හෝ ගැසූ අයට දොස් නගමින් අන් අයට විනෝද සමය නොඅඩුව සැපයීමයි.

පසුව සඳහන් කිරීමේ පහසුව සඳහා අපි මේ කණ්ඩායම "කුජීත" ලෙස හඳුන්වමු.

දෙවෙන කොටස නම් පොදුවේ පෙර කී කුජීත උප කුලකයට අයත් නොවන සර්වත්‍ර කුලකයේ සියලු දෙනා ය. ඔවුන් අතරින් වැඩි දෙනෙකු නිෂ්ක්‍රීය නිරීක්‍ෂකයින් වූ අතර, සක්‍රීය දායකත්වය සපයමින් ෆේස්බුක් අවකාශයේ නිරතුරු සැරිසැරූ මා වැනි කිහිප දෙනෙක් ද වූහ.

කුජීත උප කුලකයේ සාමාජිකයින් විසින් කළ එක් කුජීත ක්‍රියාවක් වූයේ, තමන්ගේ විවිධ ඇජෙන්ඩාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස, තමන්ගේ මතවාදයට ගැලපෙන මතවාදයෙන් යුතු පිරිස් රොතු පිටින් කණ්ඩායමට බඳවා ගැනීමයි. විශේෂයෙන් මෙය සිදුවූයේ, කුජීත නොවන අයෙකු විසින් සමාජ දේශපාලන කරුණක් පිළිබඳව කුජීතයින්ට නොදිරවන දෙයක් පළ කළ විට ය.

මේ කතා වස්තුවේ කූටප්‍රාප්තිය මෙයයි.

මීට මාස කිහිපයකට කලින් මම මගේ දතක් පිළිබඳව සහ දත් නඩත්තුව පිළිබඳව විවාදාත්මක අදහසක් කණ්ඩායමේ පළ කළෙමි. එයින් කුපිත වූ කුජීත කණ්ඩායමේ අය, මට පෙනුණු ආකාරයට මට සටනක් දීමට සිතා, බුරුතු පිටින් නව සාමාජිකයින් බඳවා ගන්නට පටන් ගති.

මෙසේ කණ්ඩායමට එක් කරගත් පිරිස අතරේ වැඩි වශයෙන් ම වූයේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පිරිස් බව පැහැදිලිව පෙනුණි.

එහි දී මේ නවක සාමාජිකයින් ඉන්නේ තූත්තුකුඩියේ ද, ටිම්බක්ටුවේ ද, ජිබ්රෝල්ටාවේ ද, අඩිස් අබාබාවේ ද යන්න ද, මේ අයට අපේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථවලට කවර නම් සම්මාදමක් කළ හැකි ද යන්න ද, කුජීතයින් විසින් නොසලකා හැර තිබුණි.

මෙය දුටු මා කියුවේ එක් වැකියක් පමණි. ඇත්තටම එය ප්‍රශ්නයකි. ප්‍රශ්නයක් වූවාට පිළිතුරක් අපේක්‍ෂා නොකළ ප්‍රශ්නයකි.

දස බිම්බර මාර සෙනග ද ඔය කැඳවන්නේ?

මා දේවදත්තලාට තියා, දස බිම්බර මාර සෙනගට ද බිය නැත්තෙකු බව ඔවුන්ට පසුව වැටහෙන්නට ඇත.

දස බිම්බර මාර සෙනගට අමතරව තණ්හා, රතී සහ රඟා කැඳෙව්වා නම් ඔන්න මා තරමක් හෝ සැලෙන්නට ඉඩ තිබුණු බව කිව යුතුයි.

නමුත් අවාසනාවකට මෙන්, කුජීතයින් විසින් තූත්තුකුඩියෙන්, ටිම්බක්ටුවෙන්, ජිබ්රෝල්ටාවෙන්, අඩිස් අබාබාවෙන් බඳවා ගත් ඒ නවක සාමාජිකයින් අතර සිටියේ මාර ප්‍රත්‍රයින් පමණි.

මර දුවරු නොසිටිය හ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඊළඟට අපේ එක්තරා අයියෙකුට ෆේස්බුක් හි දී මුහුණ දෙන්නට සිදුවුණු කනගාටුදායක සිදුවීමක් ගැන විස්තරයක් බලාපොරොත්තු වෙන්න.

(image: https://www.thoughtco.com/the-demon-mara-449981)

Tuesday, 2 May 2017

ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them


මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවෙකු විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ පසුගිය දිනවල මහා ගාලගෝට්ටියක් ඇති විය.

එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි.

මුවිඳු බිනෝයි ගේ ඒ නිර්මාණය සිය ගණනක් දෙනෙකු විසින් ෆේස්බුක් හි බෙදා හැර තිබුණි. තවත් සිය ගණනක් පිරිස ඒ නිර්මාණය පිළිබඳ ධනාත්මක අදහස් දැක්වූහ. නිර්මාණකරුවා ගේ නිර්මාණාත්ම අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. සහයෝගය ප්‍රකාශ කළහ.

එසේ වුව ද, නිර්මාණකරුවාට අමතරව සිංහලබෞද්ධ තලේබාන්කාරයින්ගෙන් චෝදනා එල්ල වූයේ සමනලී ෆොන්සේකා නම් ප්‍රගතිශීලී කාන්තාවට පමණක් බව පෙනුණි. මේ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් ඇයව පමණක් ඉලක්ක කර ගැනීමෙන් ම, පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ දේශපාලන බයි නිරුවත හෙළිදරව් වූ බව නොරහසකි.

චිත්‍ර, මූර්ති යනාදී කලා නිර්මාණ පිළිබඳව ඒවා රස විඳින රසිකයින් විසින් විවිධාකාර අදහස්, අර්ථ දැක්වීම් කරන බව අපි දනිමු. එවැනි අර්ථදැක්වීම්, ඒ නිර්මාණය බිහි කළ කලාකරුවා විසින් සිහිනයකින්වත් සිතූ දේ නොවූ අවස්ථා ද බොහෝ ය.

තම නිර්මාණය පිළිබඳව මුවිඳු බිනෝයි පවසා තිබුණේ පහතාකාරයේ අදහසකි.
  1. ඔහු කළේ නිර්මාණයකි. මෙය ෆොටෝ ෂොප් මඩ පෝස්ටරයක් නොවේ.
  2. තම නිර්මාණය සඳහා ඔහු ජේතනන දාගැබේ කොටසක් යොදා ගෙන ගත්තේ තමා ද අයත් බහුතර ලාංකික ජන කොටස ඉන් නිරූපණය කිරීමට ය.
  3. ඔහු කළේ දාගැබේ කොටස සහ කුණු කන්ද රූපියකව සමපාත කිරීමකි. ඒ අප රැස් කරන කුසල් සඳහා මෙන් ම නිපදවන කසළ සඳහා ද අප ම වග කිව යුතු බව නිරූපණය කිරීමට ය.
  4. ඒ නිර්මාණය ජේතවන දාගැබේ කුහරයට කසළ පිරවීීමක් ලෙස දැකීම සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි.
ඔහු ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සබැඳියෙන් කියවිය හැක.

https://www.facebook.com/muvindu.binoy/posts/1894495500827290

නිර්මාණකරුවා කළ ඒ ප්‍රකාශය දකින්නට පෙර ඒ නිර්මාණය දුටු මට ආ සිතුවිල්ල මෙසේ විය.
කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක.
මා මේ අදහස සටහන් කළ කල්ට් බ්ලොග් අඩවියේ දී, මතවාදී විරෝධයකට මෙන්ම පුද්ගලික ප්‍රහාරයකට ද මුහුණ දීමට මට ද සිදු විය.

මීතොටමුල්ලේ කුණු කන්දේ ව්‍යවසනය පිළිබඳ තම අදහස නිර්මාණයක් මගින් ඉදිරිපත් කිරීම මුවිඳු බිනෝයි ගේ මූලික ප්‍රකාශන අයිතියකි. එසේම, ඒ නිර්මාණයට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කිරීමට ද ඒ හා සමාන අයිතියක් පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ඇතුළු ඕනෑම අයෙකුට ඇත!

කෙසේ වෙතත්, මේ සටහන ලියන්නට මා මූලිකවම අදහස් කළේ, නිර්මාණය අර්ථ දැක්වීමට හෝ නිර්මාණට විරුද්ධව ද, නිර්මාණකරුවාට සහ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් එක් අයෙකු වූ සමනලී ෆොන්සේකාට විරුද්ධව ද පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් ගෙන යන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව කතා කරන්නට පමණක් ම නොව, මේ සිදුවීමෙන් මතු වූ වෙනත් අදාළ කාරණයක් ගැන කතා කිරීමට ය.

මුවිඳු බිනෝයි ගේ කොලාජ් නිර්මාණය පිළිබඳව තම විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු මෙලෙස විමසති.
"ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?"
ඉන් සමහරු ඒ ප්‍රශ්නාවලියට මෙලෙස ද එකතු කරති.
"ඇයි එහෙම කළොත් සහජීවනේට කෙළ වෙයි කියලා බය ද?"
ඒ සහජීවනය ගැන සඳහන් කරන අය ගේ අරමුණ සහ ඔවුන් ගේ ජාතිවාදී දේශපාලන ස්ථාවරය ගැන අපට නිවැරදිව හිතා ගත හැක. මීට කලින් ඒ පිළිබඳව ලියා ඇති නිසා, ඒ ජාතිවාදී බයි කතාව පිළිබඳව මට අද අමුතුවෙන් කිව යුතු දෙයක් නැත.

මුවිඳු බිනෝයි විසින් තමා ජේතවන දාගැබ තම නිර්මාණය සඳහා යොදා ගත්තේ ඇයි ද යන්න පැහැදිලිව ම කියා ඇතත්, මේ පිළිබඳව මගේ අදහස වන්නේ මෙයයි.

බෞද්ධ පසුබිමක් ඇති අයෙකු පොදු කාරණයක් පසුබිම් කරගෙන නිර්මාණයක් කරන විට ඒ සඳහා යම් ආගමික සංකේතයක් අවශ්‍ය වේ නම්, ඒ සඳහා තෝරා ගත යුත්තේ බෞද්ධ සංකේතයකි. එක්තරා සුවිශේෂී ආගමික කාරණයක් සම්බන්ධයෙන් කෙරෙන නිර්මාණයකට මෙය අදාළ නොවේ.

වෙනත් වචනවලින් කියනවා නම්, "ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?" යැයි බෞද්ධ පසුබිමක් ඇති මුවිඳු බිනෝජ්ගෙන් ඇසීම, එහි ඇති අධම දේශපාලන යටි අරමුණ කුමක් වෙතත්, හුදෙක් අතාර්කික අනුවණ විහිළුවක් පමණි.

වෙනත් පසුබිමක් සහිතව ලියවුණු "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද?" යන සටහනේ දී ද මා සඳහන් කළේ මේ අදහසට සමාන්තර අදහසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ද කියවන්න-
ජාතික හෙළ උරුමයෙන් බෞද්ධයන්ට මාරාන්තික අපහාසයක් ::
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/8495-2017-04-29-08-19-19


ප/ප/ලි:
මේ ඩුප්ලිකේට් ජේතවනාරාමයයි. මා දන්නා පරිදි දෙමටගොඩ වැනි පෙදෙසක ද ජේතවන විහාරක් තිබේ!

ඔරිජිනල් ජේතවනාරාමය යනු බුදුන් වැඩ සිටි අනේකපිණ්ඩිකස්ස ආරාමයයි. එය බෞද්ධයින් අතර සුපතල වී ඇත්තේ විවිධ සූත්‍රවල සඳහන් වෙන නිසා ය.

ජේතවනාරාමේ අති රමණී, ජේතවනාරාමේ!



(image: https://www.facebook.com/muvindu.binoy/photos/a.1532937753649735.1073741829.1530307377246106/1892139821062858/)

Tuesday, 14 March 2017

ෆේස්බුක් විනෝද සාගරේ - Facebook: Entertainment Galore


"ෆෙස්බුක් තියෙන්නේ පොඩි ෆන් එකක් ගන්නනේ අපෙ හාමුදුරුවනේ!" වැනි ප්‍රකාශයක් එක්කෝ මහාබයියා විසින් හෝ නැතිනම් වෙනත් අයෙකු විසින් හෝ කියන වීඩියෝවක දර්ශනයක් මීට වසර දෙකහමාරකට පමණ පෙර මා දුටු බවට මතයක් තිබේ.

එය සත්‍යයකි. සත්‍යයක් මිස වෙනකක් නොවේ. කොටින් ම, ෆෙස්බුක් යනු විනෝද සාගරයකි.

ඒ බව සනාථ කරවන, මා නොබෝදා ලැබූ, අපූරු අත්දැකීමක් අද ඔබ සමග බෙදා ගැනීමට සිතුවෙමි.

මේ කතාවේ ඇති උත්ප්‍රාසය නම්, ඒ "ෆේස්බුක් යනු රස සාරයකි!" යන්න මට හොඳින් පෙන්වා දුන්නේ ද, පෙර කී මහබයියා ගේ අනුගාමිකයින් වීම යි.

හැබැයි, ඒ ඔවුනුත් ෆන් එකක් ගනිමින් නම් නොවේ. ඒ වෙනුවට, ඔවුන් සිටියේ කෝපයෙන් දැවෙමින්, ලේ රත්කර ගනිමින්, කක්කා බර හදා ගනිමින් බව පහත විස්තරය කියවන ඔබට ද පැහැදිලි වෙනු ඇත.

පසුගිය දින කිහිපය බෝ ගස් පිළිබඳව අපේ අවධානය යොමු වූ කාලයක් බව අපි හොඳින් දනිමු.

මුලින් ම, තම පියා, වික්ටර් රත්නායක, ගේ දෙවන විවාහය කඩාකප්පල් කිරීම සඳහා බෝධි පූජා පවත්වන ලෙස ඔහු ගේ කනිටු පුත් ලෙලුම් ඉල්ලා සිටියේ ය.

ඒ සමගම බෝධි පූජා සම්බන්ධයෙන් මට අසන්නට ලැබුණු අතුරු කතා දෙකතුනක් පිළිබඳව ද මම ලිපියක් ලියා පළ කළෙමි.

බෝධි පූජා සම්බන්ධව ඒ ආකාරයේ එක් කතාවක් වූයේ, W3Lanka බ්ලොග්කරු අජිත් පැරකුම් ජයසිංහ විසින් මතු කරන ලද, "බෝගස්වලට ආදරේ කිසිවෙකු තමන්ගේ වත්තේ හෝ බිත්තියක හෝ බෝ ගසක් පැළ වීමට නො දෙන්නේ ඇයි?" යන බඩ කොරවෙන ප්‍රශ්නය යි.

ඇත්තටම, එලෙස කළා නම්, අප සැමට නිවසේ සිට ම විමධ්‍යගත මොඩලයේ බෝධි පූජා දිනපතා ම හෝ දිනකට කිහිප වරක් හෝ පවත්වා දැහැමෙන් සෙමෙන් රෝගාබාධයෙන් තොරව කල් ගත කළ හැකි වෙනු ඇත.

මේ ආකාරයේ අදහස් ෆේස්බුක් හි සඳහන් වුණු තැන් කිහිපයකට ම, මම මෙලෙස පැවසීමි.

මං දවසක බුදුවුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.

මම මේ අදහසම, තැඹිලි ගසක ඡායාරූපයක් ද සමගින් මගේ ම ෆේස්බුක් කාල රේඛාවේ ද පළ කළෙමි.

"අපෙ හාමුදුරුවනේ, ෆෙස්බුක් කියන්නේ රස සාගරයක්!" බව මට තේරුණේ එයින් පසුවයි.

මෙන්න පළමුවෙනි උදාහරණය.
(https://www.facebook.com/apjayasinghe/posts/10155031104789326)



මෙන්න දෙවෙනි උදාහරණය.
(https://www.facebook.com/nadeesha.chandrasena/posts/10210385872178023)


මට ප්‍රණීත වචනයෙන් සංග්‍රහ කරමින් සටහන් තබා, ෆේස්බුක් යනු රස සාගරයක් බව ස්ඵුට කළ ඒ පින්වතුන් දෙදෙනා ම හිටපු රජා ගේ අමු වහල් බයියන් බව ඔවුන් ගේ ෆේස්බුක් කාල රේඛා දෙස බැලීමෙන් මට වැටහිණි.

බයියන් ෆෝම් කිරීම රස උල්පතක් බව මා පෙර සිටම දැන සිටියත් මේ අත්දකින්නට ලැබුණේ නම් බලාපොරොත්තු නොවූ බෝනස් රසයකි.

ඔබටත් ෆන් බෝ වේවා!

-රසිකොලොජිස්ට්

(image: http://www.strippedpixel.com/ten-thousand-buddhas-hong-kong/)

Saturday, 4 March 2017

පියා ගේ විවාහය ගැන ලෙලුම් රත්නායක කියන කතාවෙන් මතුවෙන ලාංකික අමනකම - Love? WTF is that?


වික්ටර් රත්නායක ගේ කණිටු පුත් ලෙලුම් රත්නායක අද සයිබර් අවකාශයට මුදා හැර ඇති වීඩියෝව නරඹන අවස්ථාවේ එහි කියවුණු යම් යම් කරුණු පිළිබඳව සිත තරමක් හෝ හැඟුම් බර වුණ ද, ඔහු කී එක්තරා අමන කතාවක් නිසා මගේ මුවට නැගුණේ සිනාවකි.

ඒ අමනකම අදත් ලංකාවේ කීප දෙනෙකු හෝ පෙළෙන අමනකමක් බව වැටහීම සිනහව අතරින් දුකක් ද ජනිත කළේ ය.

නෑ, නෑ, මේ ඔබ සිතන අමනකම නොවේ. මේ වෙන එකකි.

ඒ ගැන කියන්නට පෙර මුලින් ම මෙයට අදාළ කරුණක් කිව යුතුයි.

සැත්තෑ පස් වියැති වැන්දඹු වික්ටර් රත්නායක වයස තිස් තුනක කාන්තාවක් හා විවාහ වීම යනු මේ වසරේ ලංකාව තදින් ම හෙල්ලූ සිද්ධිය බව පැහැදිලි ය.

ඒ ගැන මා මීට කලින් ලියූ ලිපියේ කෙටියෙන් කතා කළේ, වික්ටර් ගේ විවාහය නිසා ඉස්මතු වෙන විවාහක පිරිමින් ගේ ප්‍රශ්නය බවයි.

මේ ගැන මා ලියූ අදහස කියවා සමහරු අසා තිබුණේ අර සුපුරුදු ප්‍රශ්නය ම යි. එනම්, "හා උඹේ දුවක් ඔය වයසෙදී නාකි මිනිහෙකු හා කසාද බැන්ඳොත් උඹ ඔහොම කියයි ද?" යන්නයි. එසේ අසන අයට තියෙන්නේ ලෙලුම් රත්නායකටත් එහා ගිය ප්‍රශ්නයක් බව කිව යුතු නැත. ඔවුන් හිතන්නේ වැඩිවියට පත් ගැහැනුන් සහ පිරිමින් තමන් ගේ පුද්ගලික කටයුතු කළ යුත්තේ තම කැමැත්ත පරිදි නොව පවුලේ අයට අවශ්‍ය විදියට බවයි!

දැන් ලෙලුම් රත්නායක ගේ වීඩියෝ පණිවිඩය දෙස අවධානය යොමු කළහොත්, එහි දී ඔහු දෙතුන් විටක් ම තම පියා ගේ ආදරය දිනාගත් තරුණිය පිළිබඳව කියන කතාව මතක ද?

ලෙලුම්ට අනුව, වයස හැත්තෑ පහේ වික්ටර් රත්නායකට මේ වයස තිස්තුනේ තරුණිය විසින් වශී ගුරුකමක් කර, ඔහු ගේ සිත වශී කරගෙන ඇත!

ලෙලුම් ඒ කියන්නේ වසර පනහකටත් වඩා කාලයක් තුළ දහසක් පෙම් ගී ගැයූ වික්ටර් රත්නායකට ඇත්තට ම නැවතත් කාන්තාවකට ආදරය කිරීම් හැකියාවක් නැත, මේ ආදරය ඉනාවක් කැවීම, වශී ගුරුකමක් කිරීම වැනි බ්ලැක් මැජික් එකක් නිසා ඇතිවුණු කෘතිම එකකි යන්නයි.

ඊටත් වඩා ඔක්කාරය ඇති කරවන කාරණය නම්, ලෙලුම් රත්නායක වැනි තරුණයෙකු මේ ඉනා, වශී ගුරුකම් වැනි දේ විශ්වාස කරනවා ය යන්නයි.

වසර සීයකට පෙර, බහුතර ලාංකික ජනතාව අතර අවිද්‍යාව රජ කළ සමයේ තරුණයෙකු මෙසේ සිතුවා නම් එක අතකට කම් නැති යැයි සිතිය හැක.

නමුත් මේ අද, 2017 දී?

අවාසනාව නම් ලෙලුම් රත්නායක මෙහි දී තනි වී නැති වීමයි.

එනම්, මේ ආකාරයේ "බ්ලැක් මැජික්" තිබේ යැයි විශ්වාස කරන බයියෝ තවත් රටේ එමට සිටිති යන කාරණයයි.

පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

ලෙලුම් රත්නායක ගේ වීඩියෝ ප්‍රකාශයේ අඩංගු වූ ඊළඟ විහිළුව කුමක්දැයි දන්නවා නේද?

තම පියා මේ ඉනාවෙන් බේරා ගන්නට ආගමික වශයෙන් කටයුතු කරන ලෙසත්, යාඥා කරන ලෙසත්, බෝධි පූජා පවත්වන ලෙසත් ඔහු අපෙන් ඉල්ලා සිටී!

අම්මෝ, මට කලන්තේ වගෙයි.

සින්දුවක්වත් අහලා බලමු!



-රසිකොලොජිස්ට්

ප/ලි:
මා මීට පෙර ලියූ ලිපියට පාර මෙසේ ය:

වික්ටර් රත්නායක ගේ විවාහයෙන් හෙළිවෙන පිරිමින් ගේ කඳුළු නොපෙනෙන දුක! - Secret men's business :: https://rasikalogy.blogspot.com/2017/03/secret-mens-business.html

(image: https://www.facebook.com/photo.php?fbid=128251634358516&set=a.128251717691841.1073741826.100015210405009)

Monday, 6 February 2017

xxන්න නිදහස - Exercising your freedom to think


ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.

සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.

ෆෙස්බුක් හි කෙටි සටහනක් තබන බ්ලොග්කරු මෞර්ය රාජ් "මොනවා නැතත් හිතන්න නම් නිදහස අවශ්‍ය තරම් ඇත!" යැයි කියා තිබුණි.

"හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න" යැයි වෙනකෙකු එයට පිළිතුරු දී තිබුණි.

ලංකාවේ නිදහස් සැමරුම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ඊයේ පැවැත්වුණි. සාමාන්‍යයෙන් මේ උත්සවය සිනුවර පැවැත්වෙන්නේ පෙබරවාරි හතරවෙනිදා ම නොව, ඊට නුදුරුම සෙනසුරාදා දිනයේ ය. වසර ගණනාවකට පසු ඊයේ පෙබරවාරි හතර වෙනිදා සෙනසුරාදාවක් වී තිබුණි.

උත්සවය සංවිධානය කෙරුණේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහභාගීත්වය ඇතුව සහ සංක්‍රමණික ලාංකික ජනතාව විසින් සිඩ්නි ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇති ප්‍රජා සංවිධාන කිහිපයක එකමුතුවෙනි. සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග ද, නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් ද උත්සවයට සහභාගී වී සිටියහ.

ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ"" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

ඇත්තටම මා මගේ මිතුරාට කිව යුතුව තිබුණේ "මා සමරන්නේ ලංකාවෙන් ගැලවීමේ නිදහස ය" කියා ය. එසේ නම් එය සැමරිය යුත්තේ පෙබරවාරි නොව අප්‍රියෙල් මාසයේ මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ දිනයේ ය.

නමුත්, ඇත්තට ම මා එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි.

මෙන්න උදාහරණයක්.

ඊයේ ෆෙස්බුක් සමූහයක තම අදහස් දක්වන මිතුරෙකු මෙලෙස පවසා තිබුණි.
යාළුවෙක් එක්ක තේකක් බොන අතරෙ පොඩි චැට් එකක් දාන ගමන් ඌ මගෙන් ඇහුවා ලංකාවෙ උන් ජාතිවාදීන් විදියට පිල් බෙදිල මරාගන්න හදන එක නවත්වන මොකද්ද කරන්න ඕන කියල.

ඉතින් මම ඌට මෙන්න මෙහෙම කිව්ව.

"මචං, ලංකාවෙ මිනිස්සු ජාතිවාදය අවුස්සන් පිල් බෙදිල මරාගන්න හදන එක නවත්තන්නනම් උන්ට තේ බොන හැටි අලුතින්ම උගන්නන්න ඕන.

කොටින්ම සුහදත්වය ඇතිකරගන්න තේ කෝප්පෙකට තියන පවර් එක ගැන උන්ට කියල දෙන්න ඕන. සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් උන් එකට එකතු වෙලා තේ බොන සංස්කෘතියක් රටේ ඇති කරන්න ඕන. උන්ට තේකක් බොන ගමන් එකිනෙකා හඳුන ගන්න, අවබෝධ කරගන්න,අනෙකා තේරුම් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. ඔය හිත්වල තියන කහට කැපිල යන්නත් එක්ක ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තත් වරදක් නෑ.
ඒ සමගම ඔහු ඒ අදහස ඇතුළත් පහත චිත්‍රය පළ කර තිබුණි.


මෙවැනි දේ දැකීම ඊනියා ජාතිකවාදී බයියන්ට "නයාට අඳුකොළ" මෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත චිත්‍ර සටහන දැක මට මුලින් ම සිහිවුනේ කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා විසින් ලංකා ජාතික කොඩිය ජාතිවාදීන් විසින් දකින අයුරු පෙන්වමින් ඉදිරිපත් කර තිබුණු පහත චිත්‍රයයි.

සිංහයා තේ සාදන චිත්‍රය දැක කුපිත වූ ඊනියා ජාතිකවාදීන් විසින් ජාතික කොඩියට අපහාස කර ඇති බවට ලොකු ගාලගෝට්ටියක් කරද්දී ඇති වූ අදහස් හුවමාරුවේ දී වෙනත් මිතුරෙකු විසින් පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කර තිබුණි.

නරඹා සතුටුවෙන්න.


(https://www.facebook.com/photo.php?fbid=10154203730717703&set=p.10154203730717703&type=3&theater)


(https://static1.squarespace.com/static/567c18b105f8e2f75c69a9eb/t/567dc63bd82d5e8736669835/1451091809819/Skiz's+original+logo.jpg)


(http://www.shawfundraising.com/wp-content/uploads/2016/01/shaw_widget3.png)


(http://www.währungsrechner.org/images/flags/lk.png)


http://images.clipshrine.com/wheel/medium-Flag-of-Sri-Lanka-0-106534.png


(https://thumb9.shutterstock.com/display_pic_with_logo/1425809/203317378/stock-vector-swimsuit-lettering-seascape-sun-inscription-summer-landscape-painted-on-a-bathing-suit-203317378.jpg)

ඔබටත් සියලු බැමිවලින් නිදහස ලැබේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
xxන්න නිදහස යනු හිතන්න නිදහස ය.

හිත වෙනුවට xx යෙදුවේ මට ඒ සඳහා නිදහස ඇති බැවිනි. වැරදි වැටහීම් ඇති වූවා නම් කනගාටුවෙමි!

ප/ප/ලි:
ජාතික කොඩිය ගැන මේ ජාතික චින්තනවාදීන් සහ ජාතිවාදීන් මෙතරම් කළබළ වෙන්නේ ඇයි කියා දන්නවා ද?

ඔවුන් තම මානසික නිරුවත වසා ගන්නේ මේ රෙද්දෙනි. එනිසා කිසිවෙකු ඒ රෙද්ද කඩනවාට උං කැමති නැත!

Tuesday, 31 January 2017

"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017


"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු මස පැවැත්වෙන බව එහි එක් සංවිධාකයෙකුවන අජිත් ධර්මකීර්ති විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ පසු ගිය වසරේ පැවැත්වුණු උත්සවයේ අඩුපාඩු තම නැණ පමණින් පෙන්වා දෙමින් හෙන්රි වර්ණකුලසූරිය විසින් ලිපියක් පළ කොට තිබුණි.

ඒ සමගම "නෙළුම් යායේ" කෙටි ඉතිහාසය පුරා ම මේ කර්තව්‍යයට හූල්ලමින්, ශාප කරමින්, ඇනුම් පද කියමින්, අපහාස කරමින්, ගේම ඉල්ලමින් කල්ගත කළ පිරිස් ද, තම නමින් ද, නිර්නාමිකව ද සුපුරුදු ක්‍රීඩාව අරඹා ඇති බව පෙනේ.

සිංහලෙන් බ්ලොග් ලිවීම පිළිබඳ මගේ අත්දැකීම වසර දොළහක අතීතයට, එනම් 2005 අප්‍රියෙල් දක්වා ඇදී යන නමුත්, මා දන්නා පරිදි මුලින් ම සිංහල බ්ලොග් සඳහා සම්මාන උලෙළක් සංවිධානය කෙරුණේ වසර 2009 දී කොළඹ රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගිනි. තෙවසරකට පසුව අහෝසි වී ගිය ඒ උත්සවයට, ජනාධිපති කාර්යාලය, මයික්‍රොසොෆ්ට් ආයතනය, ජාතික තොරතුරු තාක්‍ෂණ ආයතනය වැනි ප්‍රමුඛ පෙළේ අනුග්‍රහය ලැබී තිබුණි.

"නෙළුම් යාය" උත්සවය පිළිබඳව ලියවුණු විවේචනාත්මක ලිපියකින් ඇරඹුණු සාකච්ඡාවේ දී සඳහන් වීී තිබුණු එක්තරා අසත්‍ය, අපහාසාත්මක චෝදනාවක් පිළිබඳව ද සඳහන් කෙරෙමින් ලියවී කිහිප දෙනෙකු අතරේ සංසරණය වුණු ඊ-මේලයකට පිළිතුරු ලෙස මා ලියූ සටහනක සඳහන් කළ කරුණු කිහිපයක් පොදු පරිභෝජනය සඳහා ද යෝග්‍ය යැයි සිතුණු බැවින්, මේ ලිපිය මෙලෙස සකසා පළ කරන්නට සිත්විය.

සිංහල බ්ලොග් ලියන පිරිස මෙන්ම කියවා අදහස් දක්වන පිරිස ද, වයස දහසයේ සිට අසූව දක්වා ද, උතුරු ඇමරිකාවේ සිට දකුණු ඕස්ටේලියාව දක්වා ද, දහයේ පන්තියේ සිට පීඑච්ඩී දක්වා ද, ගෝත්‍රවාදී වහල් බයියා ගේ සිට කූල්ටූර් නිරාගමික ටොයියා දක්වා ද, එක් එක් මානයන් හි විශාල පරාසයක විසුරුණු පිරිසක් බව පැහැදිලි සත්‍යයකි.

ඒ වෙනස්කම් නිසා සහ ඊට පරිබාහිර වෙනත් හේතු නිසා ද, තමන්ට වඩා විරුද්ධ අදහස් දරන අය සමග මත ගැටුමක පමණක් නොයෙදී ඒ විරුද්ධවාදීකම් පුද්ගලික මට්ටමට ගෙන ඒමට ද ඇතමුන් පෙළඹීම ආරම්භයේ සිටම සිංහල බ්ලොග් අවකාශයේ දක්නට ලැබුණු තත්වයකි.

මා 2005 දී පළ කළ "පෙම් ගී" බ්ලොගයේ දී කෙසේ වෙතත් පසුව 2009 දී පමණ වෙනත් බ්ලොගයක් ලියන අවදියේ මුලින් ම මේ විරෝධතා නැගුණේ මා දුටුගැමුණු ගැන කළ සඳහනක දී, ඔහුට පොර කියා දෙතුන් තැනක ලිවීම නිසා ය. එය දුටු රටේ සහ ජාතියේ ස්වයං පත්වීම් ලබා ඇති අයිතිකරුවෝ මට එරෙහිව අවි අමෝරා ගත්හ.

මා එවිට කළේ දුටුගැමුණු පොරක් නොවේ කියා දෙවෙනි ලිපියක් ලිවීමයි.

කෙසේ වෙතත්, එයින් පසු අද භාෂාවෙන් බයියන් යැයි හැඳින්වීමට හැකි පිරිසක් මා හා පුද්ගලිකව වෛර බැඳගත් බව පෙනුණි.

එදා සිට මා හා වෛර බැඳගත් අන් අය අතර, ටෙම්පල් ඔෆ් ද ටූත් යන්න සිංහලෙන් දතේ පන්සල කියා ලිවීම වැනි දේ නිසා උරණ වූ තලේබාන් බෞද්ධයින් ද, මා සිව් වසරක් ගත කළ ආනන්ද විද්‍යාලය ගැන ලියූ සටහනකින් පාසලට අපහාස වුණා යැයි කියා කෝපවුණු ස්වයං පත්වීම් ලබා සිටින පාසලේ අයිතිකරුවන් ද, මා බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය ගැන ලියූ නිසා තැතිගත් සිංහල ජාතිවාදීන් ද වෙති.

මීට අමතරව, රසිකොලොජිය ඇරඹුණු මුල් දිනවලම සිට මා ලියා පළ කළ ලංකාවේ දේශපාලනය පිළිබඳව වූ විවිධාකාරයේ ලිපිවල අන්තර්ගතය නිසා මා හා පුද්ගලිකව වෛර බැඳගෙන ඇති පිරිසක් ද ඇති බව පැහැදිලිවම පෙනේ.

මේ සියලු දෙනා විවිධ අවස්ථාවල දී මට විරුද්ධව නොයෙකුත් අපහාස කළ ද, මා තවමත් අනුගමනය කරන වාරණ විරෝධී ප්‍රතිපත්ති නිසා, ඒ ගැන අනවශ්‍ය ලෙස කරදර නොවුණෙමි.

ඒ සමගම එලෙස අපහාස කරන කිසිවෙකු පිළිබඳව කෝපයක් ද ඇති කර නොගත්තෙමි.

එසේ ම සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ මොනාකාරයේ මත ගැටුම් සිදු වුව ද, මා කිසි දිනක, කිසිදු ආකාරයකින්, නිර්නාමිකව හෝ ආරූඪ නමකින් හෝ කිසිම පුද්ගලයෙකුට අපහාසාත්මක දෙයක් ලියා නැති බවයි.

ඒ සත්‍යය පිළිගැනීමට සමහරුන් අසමත් වීම නම් කනගාටුවට කරුණකි.

අජිත් ධර්මකීර්ති සහ "නෙළුම් යාය" සම්බන්ධයෙන් ද සිදු වී ඇත්තේ මෙවැනි තත්වයකි.

රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි.

දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය.

ඔවුන්ගෙන් සමහරෙකු සංවිධානාත්මකව හෝ තනි තනිව, මරා විරෝධී බ්ලොග්කරුවන්ට විරුද්ධව කටයුතු කරන බව පැහැදිලි ය. මරා විරෝධීන් එකිනෙකා හා කෙටවීම ද ඒ ව්‍යාපාරයේ කොටසක් යැයි, පසුගිය වසරේ සිංහල බ්ලොග් අවකාශයේ සිදුවූ යම් යම් දේ නිසා මට හැඟී ගියේ ය.

සිරිලංකා, යූඇම්පී, ජේවීපී, පෙසපෙ වැනි කුමන පක්‍ෂයකට වුව ද වහල් වී ජීවත් වෙන අයගෙන් තමන්ට ප්‍රතිවිරෝධී අදහස් දරන අයට එරෙහිව මේ ආකාරයේ වෛරයක් ඇති වීම අපේක්‍ෂා කළ යුත්තකි. ඒ අයගෙන් සමහරෙකු එළිපිට හෝ නිර්නාමිකව විවිධ අපහාස කිරීම ද එලෙස ම අපේක්‍ෂා කළ යුත්තකි.

"ලංකානිව්ස්වෙබ්" හා "නෙළුම් යාය" හා ඔහු ගේ ඇති සෘජු සම්බන්ධය නිසා අපහාසකරන්නන්ට අමතරව, පාසල් සමයේ මොන්ටිසෝරි වලි නිසා අජිත් ධර්මා (සහ සමාන පිරිසක්) සමග පුද්ගලිකව පොදුවේ වෛර බැඳ ගෙන සිටින අය ද සිටින බව මට පෙනී ගොස් ඇත. මා ඒ බව හොඳින් ම දන්නේ එවැනි එක් පුද්ගලයෙකු මා අහම්බෙන් මුණ ගැසුණු දිනයේ දී කෙළින් ම ඒ බව මා සමග කී නිසා ය.

සත්‍යය කවදා හෝ ජය ගනී, යුක්තිය ඉටුවේ යනුවෙන් අප කුඩා කල සිට විශ්වාස කරගෙන ඇති දේ සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීමට තවමත් මට නොහැකි නිසා මට සියලු මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ මඩ ප්‍රහාර හමුවේ තවදුරටත් නොසැලී සිටින ලෙසයි.

මාර්තු මස පැවැත්වෙන තුන්වෙනි "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයට මගේ සුබ පැතුම් එක් කරමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය වසරේ පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙළ පිළිබඳ කෙටි වීඩියෝ වාර්තාවක් මෙන්න.



(image: http://nelumyaya.com/?p=7272)

Monday, 23 January 2017

"කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forward

Bay of fire, Tasmania, Australia
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.


(http://www.divaina.com/2017/01/23/news11.html)

කරුණාකර, අනං-මනං නොකියන්න.

ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.

ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.

දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
ඇයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට

එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්

Tuesday, 13 December 2016

රණවිරු බයි ආතල් නැවත වරක් කුඩු වෙයි! - People's Patriotic Army


රණවිරු යන සක්ක පදය ඒ දිනවල වාත්තු කර ගෙන නොතිබුණ ද, අසූවේ දශකයේ අග භාගය වෙන විට දේශයේ මුර දේවතා එළි ගැන ලොකු ප්‍රසාදයක් රටේ දකුණේ ඇති වී තිබුණි. විශේෂයෙන් ම, පොලීසියේ විශේෂ කාර්ය හමුදාවේ නොහොත් එස්ටීඑෆ්ෆෙකේ නැගනෙහිර වික්‍රමයන් ගැන විවිධ යාං හෑලි අපට අසන්නට ලැබුණි.

ඒ ආතල් කුඩු වෙන්නට පටන් ගත්තේ දේශප්‍රේමී බැටළු හමෙන් සැරසුණු ජාතිවාදී ජවිපෙ, සිංහල හරක් ගාලට කඩා වැදුණු 1987 දී, ඒ තත්වය මැඩලන්නට රජය විසින් හමුදාව යොදා ගත් විට ය.

දේශයේ මුර දේවතා එළිවලින් දකුණේ දී නිවී ගියේ ජවිපෙ මැටි පහන් පමණක් නොවේ. අහිංසකයින් දහස් ගණනක් ද නිරපරා දේ රටට අහිමි විය. උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී නිකරුණේ පැහැර ගෙන යනු ලැබූ තම බාල සොයුරා ගේ එක් පාදයක් ටයර් සෑයක දැවෙමින් තිබෙනු දැකීමේ වේදනාවෙන් පෙළෙමින් සිටි මගේ හිතවතෙකු ගේ මුවින් පිටවුණු වදන් පෙළ මට අද ද එදා මෙන් මතකය.

මචං, එදා මුං මඩකලපුවේ දෙමළුන්ට වැඩේ දෙනකොට අපි මෙහේ හුරේ දැම්මා. අපේ උං අපිටම මෙහෙම කරනවා නම්, දෙමළුන්ට කොහොම අමානුෂික විදියට සලකන්න ඇති ද කියලා දැන් තමයි තේරෙන්නේ!

ඒ එකල එනමින් නොහැඳින්වුණේ වුව ද, රණවිරු බයි ආතල් කුඩු වුණු මුල් යුගයේ අවස්ථාවකි.

ජවිපෙ ජාතිවාදය ගත් අවියෙන් ම නැසී ගිය පසු අතීතය අමතක කළ අපි නැවත ක්‍රමයෙන් රණවිරු ආතල් ලැබීම ඇරඹුවෙමු. එහි හිරිකිත ම යුගය වූයේ මානෙල් මල් සමය යි.

ආතල් වැඩි වීමේ වේගය හෙවත් ත්වරණය ද එන්න එන්න ම වැඩි වුණු අතර, 2009 වසරේ මැද භාගයෙන් පසු එය එක්ස්පොනෙන්ෂල් ශ්‍රිතයක හැඩය ගත්තේ ය. පාලකයින් ද එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අයුරු පෙනී ගියේ ය.

ඒ රණවිරු පූජාව වැරදි ලෙස අර්ථ දක්වා ගත් සරත් ෆොන්සේකා, පැවති රෙජීමයට අහියෝග කිරීමත් සමගම රණවිරු ආතලයට කෙළ වීම ඇරඹුණි. ෆොන්සේකා ඇතුළු සමහර රණවිරුවන් දඟගෙට ගාල් කෙරුණේ කංකෙටිවලින් බිම දිගේ ඇද ගෙන ගොස් ය.

රණවිරුවන් අතර සමහර රණවිරුවන් පහත් බවත්, සමහර රණවිරුවන් උසස් බවත් පාලකයෝ අපට පෙන්වා දුන් හ. එනිසා රණවිරු ආතල් තව දුරටත් වැඩි ආපදාවකින් තොරව පැවතුණි.

එකල සිංහල බ්ලොග් ලෝකයේ පෙරළිකාර පෙර ගමන්කරුවෙකු වූ ටැබූ නම් බ්ලොග්කරුවා දැන් සොල්දාදුවා කරෙන් බිම තබන්නට කාලයයි වැනි මාතෘකාවකින් සටහනක් තැබුවේ ය.

එතැන් සිට සිදුවුණු රණවිරු ආතල් කුඩු වීම් මෙසේ ය.
  • එළවළු වෙළදාම
  • මාර්ගස්ථ කුණු අස් කිරීමේ සේවා
  • නිදහස් වෙළඳ කලාපයේ උද්ඝෝෂණයට පහර දී රොෂේන් ශානක රත්නසේකරව මරා දැමීම
  • හලාවත ධීවර උද්ඝෝෂණයට පහර දී ඇන්තනි ප්‍රනාන්දුව මරා දැමීම
  • රතුපස්වල ජනතා උද්ඝෝෂණයට පහර දී නිලන්ත පුෂ්පකුමාර, අකිල දිනේෂ් ජයවර්ධන සහ රවිශාන් පෙරේරා මරා දැමීම
  • ආබාධිත විශ්‍රාමික සොල්දාදුවන් ගේ උද්ඝෝෂණයට පහර දීම
ඒ දීර්ඝ ලයිස්තුවට එක්වෙන අලුත්ම ආතල් කුඩු වීම නම් පසුගිය දා මාගම්පුර වරායේ දී පැවැත්වුණු කම්කරු උද්ඝෝෂණයට කල නාවික හමුදා පහර දීමයි!

පාලිතයා කවුද, පාලකයා කවුද, රාජපුරුෂයා ඉන්නේ කොයි පැත්තේ ද යන්න මතු දිනෙක අපට වැටහෙනු ඇත.

බාලගිරි අද නොවෙයි හෙට?

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ කතාව ද වැදගත් ය.

(image: https://en.wikipedia.org/wiki/Tank_Man)

Wednesday, 29 June 2016

ඒ දිනවල ජීවිතේ සහ මේ දිනවල ජීවිතේ හෙවත් "කොහොමද වෙනස සැපයි ද"? - One jungle to another


"කොහොමද වෙනස සැපයි ද?" යන්න බයියන් විසින් මූලිකවම ටොයියන්ගෙන් සහ සමහර විට පොදුවේ බයියන් නොවෙන සැමගෙන් සමහර විට අසන බයියන්ට සැනසිලි ත්‍යාගයක් බඳු වී ඇති ප්‍රශ්නයකි.

අපේ ඔෆීසියේ ස්ථාන මාරුව සහ ඇක්ටිවිටි බේස්ඩ් වර්කින් හෙවත් වැඩට-ඉඩ ක්‍රමයට මාරුවීම නිසා එදිනෙදා ජීවිතයේ සිදුවී ඇති වෙනස්කම් කවරේදැයි දුම්රියේ නිවසට යන අතරතුර කල්පනා කර විශ්ලේෂණය කර බැලීමි.

ඒ කවුරුන් හෝ "කොහොමද වෙනස සැපයි ද?" යනුවෙන් මගෙන් විමසුවොත් පිළිතුරු දීම සඳහා ය.

ජීවිතේ නම් මගේ ම බව සැබෑ ය. නමුත් පොඩි පොඩි වෙනස්කම් සිදුව ඇත, නැතිනම් වෙනස්කරම් කර ගන්නට සිදුවී ඇත.

වෙනදා උදෑසන හත පමණ වෙනතුරු නිදා ගත් මම, දැන් මගේ එලාමය තබාගෙන ඇත්තේ හිමිදිරි පාන්දර හයට නාද වන ලෙස ය. වදෙන් පොරෙන් හත පසුවී විනාඩි පහළොවක් ගත වන විට ඇදෙන් නැගිට නාන කාමරය වෙත ඇදෙමි. කෙසේ හෝ උදෑසන හතට පෙර දුම්රිය ස්ථානයට ළඟාවීම මගේ අරමුණයි.

නාන කාමර කර්තව්‍යයන් ගේ වෙනසක් නැත. මා ඒ දිනවල ද දිනපතා රැවුල නොකැපුවෙමි. දැන් ද එසේ ම ය. කැලේ වෙනස් වූ පලියට පුල්ලි වෙනස් කර ගන්නේ ඇයි?

ඇඳ පැළද ගැනීමේ දී සිදු වී ඇති එක් වෙනසක් නම්, වෙනදා කළාක් මෙන් ස්මාරට් කැෂුවල් ඇඳුම් එනම් අත් දිග කමිසය සහ කලිසම නොව දැන් මා ඊට අමතරව ටයි පැළඳ, කෝට් ද ඇඳ ජැන්ඩියට සැරසීමයි. එය මා විසින් උවමනාවෙන් ම ඇති කර ගත් වෙනසකි. සිනුවර දැන් ගිලී ඇති ශීත සිසිරය ද එයට හේතුවකි.

වෙනදා මෙන්ම එක අතකින් තේ දැමූ ට්‍රැවල් මග් එක ද, අනෙත් අතෙන් ලැප්ටොප් පරිගණකය, උදෑසන පාතරසය ලෙස ගන්නා නිවසේ සැදූ පලතුරු සුමුදු බීම බෝතලය සහ පොත් පත් සහිත බෑගය ද රැගෙන වාහනයට නගින්නේ බොහෝ විය හයයි හතළිස් පහට පමණ ය. අලුත් කාර්යාලයට ඒන්නට පෙර සමයේ නිවසෙන් මීට පැයකට පමණ පසුව පිටවූ කාලයේ දී මුහුණ දෙන්නට සිදුවුණාත් මෙන් අතරමග රථවාහන නිසා ප්‍රමාදයක් දැන් ඇති නොවේ.

එකම වරද නම්, දුම්රිය ගමන විනාඩි තිහකට පමණක් සීමා වීමයි. ලැප්ටොප් පරිගණකය දිග හැර වචන දෙතුන් සීයක් කොටන්නට පෙර ගමනාන්තය ළඟා වේ. ඉතින්, මුලින් කොන්ට්‍රොල් එස් ගසා, ඉන්පසු ලැප්ටොප් පරිගණකය වසා බෑගය ඇතුළට දමා ගනිමි.

උදෑසන හත පසුවී විනාඩි හතළිහ වන විට මා කාර්යාලයේ ය. වෙනදා මා සේවය ඇරඹුවේ බොහෝ විට උදැසන නමයයි තිහට ය.

එහි ගිය විගස මා කරන්නේ ඒ දවසේ මගේ වැඩ-ස්ථානය ලෙස භාවිතා කිරීමට තැනක් තෝරා ගැනීමයි. මා මේ දක්වා ගතවුණු සති හතරකට වඩා වැඩි කාලය තුළ එකම ස්ථානයක දෙවරක් අසුන් ගෙන ඇත්තේ දෙතුන් වරක් පමණි. උදෑසනම කාර්යාලයට යෑමේ ඇති වාසිය එයයි.

බෑගය එහි තබා, මගේ ලොකර් කබඩය වෙත ගොස් එය හැර මගේ කාර්යාලීය ලැප්ටොප් පරිගණකය සහ අනෙකුත් අඩුම-කුඩුම රැගෙන නැවත තෝරාගත් මේසය වෙත එමි.

ලැප්ටොප් පරිගණකය එහි ඇති ඩොකින් පුවරුවට සවි කර ගත් පසු කාර්යාලයේ වැඩ කටයුතු වෙනදා මෙන් කළ හැක.

ඊළඟට කිව යුතු විශාලම වෙනස නම් සවස හතරට පෙර දවසේ වැඩ කටයුතු නිමවා මට කාර්යාලයෙන් පිටත් විය හැකි බවයි. ආපසු යන ගමනේ දී බොහෝ විට එදින උදෑසන ඇරඹූ රසිකොලොජි ලිපිය අවසාන කළ හැකි වෙන අතර සවස පහේ හෝරාවට පෙර නිවසට ළඟා වී තේ කෝප්පයක් ද පානය කළ හැකි වේ.

එපමණක් ම නොවේ.

ඒ වන විට පාසල නිමවා නිවසට පැමිණ සිටින පුතා සමග ගමේ පාරක ඇවිඳින්නට, කඩයට පිලට යන්නට, ව්‍යායාම කරන්නට, කොක්ටේල් බීමක් සාදන්නට, බිරිඳ නිවසට එන්නට පෙර අවශ්‍ය පරිදි හොද්දක් බතක් උයන්නට ද මට දැන් වේලාව ඇත.

කොහොමද වෙනස සැපයි ද?

ඔව්, සැපයි තමයි ඕයි!

ඇයි අවුල් ද?

-රසිකොලොජිස්ට්

(image: http://ravaya.lk/?p=7565)

Saturday, 18 June 2016

මට වෙන වැඩ හෙවත් I O Sirisena


නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයක් අද (ජූනි 18 සෙනසුරාදා) සිනුවර දී පැවැත්වෙන බවත්, නළාකාරයින් ගේ ලයිස්තුව පරීක්‍ෂා කිරීමෙන් පසු මා එය නැරඹීමට යාමට මට ලැබුණු ආරාධනාවක් පිළිගත් බවත්, ඊයේ මා ලියා පළ කළ "යනවා නම් යනවා නම් (යන දීපංකරේක / තොලොංජි වෙලා / මකබෑවිලා) යන්න රත්තරං!" නම් ලිපිය ආරම්භයේ සඳහන් කළෙමි.

මා හොහොමටත් ශාලාවක් ඇතුළේ සිරවී පුටුවක වාඩි ලා ගෙන ශ්‍රවණය කරන්නට වෙන සංගීතයට ප්‍රිය නැත. මා වඩාත් ප්‍රිය කරන්නේ, එක්කෝ නිවසේ සෝපාවක පහසුව වැතිරී කොත්තමල්ලි වතුර බොන අතර තුරේ හෝ නැතහොත් අධිවේගී මාර්ගයක වාහනයක් පදවාගෙන යද්දී හෝ සංගීතයට ඇහුම්කන් දීමටයි. ඒ ඒ අවස්ථාවල දී මා අසන්නේ ඊට ගැලපෙන සංගීතය බව කීමට අත්‍යාවශ්‍ය නැති වුණත් සඳහන් කර තබමි.

ලංකාවේ සිට පැමිණෙන සිංහල ගායක ගායිකාවන් සහභාගී වෙන සංගීත ප්‍රසංග වසරකට කිහිපයක් ම සිනුවර සංවිධානය කෙරෙන අතර මා ඒවා නරඹන්නට යන්නේ බොහෝ විට ඒ ප්‍රසංගයෙන් ලැබෙන අරමුදල් යොදවන්නේ ලංකාවේ කවරාකාරයේ සුභසාධක වැඩ සටහනකට ද කියා සොයා බැලීමෙන් පසුවයි.

එසේ මගේ තේරීම් පටිපාටියට අදාළ ප්‍රසංගය නොගැලපේ නම් මා කරන්නේ, අදාළ ප්‍රසංගය සඳහා වියදම් කරන ඩොලර් පනහක් පමණ මුදලෙන් සංයුක්ත තැටි කිහිපයක් මිලට ගෙන මා කැමති ආකාරයට නැවත නැවත රස විඳීමයි.

ඒ සමගම, මෑතකදී මා නිරීක්‍ෂණය කළ කාරණාවක් නම්, දැන් දැන් පැවැත්වෙන ඇතැම් සංගීත ප්‍රසංග සුභසාධක වැඩ සඳහා නොව සංවිධාකයින් ගේ ප්‍රීතිය සහ බඩ රස්සාව උදෙසා ම සඳහා සංවිධානය වෙන බවයි!

ඒ හේතුව නිසා ද, මා නැරඹීමට යන ප්‍රසංග සංඛ්‍යාව මෑත කාලයේ ඉතා අල්ප විය.

ඊළඟට පසුගිය වසරේ එළි දැක්වුණු කූප්‍රකට නළාකරායින් ගේ ලයිස්තුව නිසා, මගේ තේරීමේ පටිපාටියෙන් සුභසාධක කටයුතු යන්න ප්‍රමුඛතාවෙන් පහළට දැමුණි.

ඔය සියලු කාරණා අනුව මා සද්භාවයෙන් යුතුව අද පැවැත්වෙන නන්දා නැන්දා සහ විට්ටර් අංකල් ගේ ද්වි පුද්ගල සංගීත ප්‍රසංගයට සහභාගී වෙන්නට සිටියෙමි.

නමුත් ඊයේ රාත්‍රියේ මා ෆේස්බුක් අවකාශයේ දී දුටු ඡායාරූපයකින් වැටහුණේ මේ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවේ කුප්‍රකට දේශපාළුවෙකු වන ප්‍රසන්න රණතුංග සහභාගී වෙන බවයි.

එය දැන ගත් මොහොතේ සිට මා සිත තුළ ඇතිවුණු අප්‍රසන්න හැඟීම් තවමත් පහවී නැත. පහවී යන සේයාවකුදු නැත.

මා කළ යුත්තේ කුමක් ද?

මේ ප්‍රසංගය නැරඹීමට මා ඇය සමග යන බවට බිරිඳට දුන් පොරොන්දුව කඩ කළ නොහැක. නමුත්, ප්‍රසන්න රණතුංග වැන්නෙකු ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන සංගීත ප්‍රසංගයක වුව අසුන් ගැනීමට මට සිත් නොදේ.

කුමක් කරන්නදැයි සිතා ගත නොහැක.

අයියෝ සිරිසේන!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ප්‍රසන්න රණතුංග මගේ බ්ලොගයේ කාඩ් එක රැගෙන මේ ලිපිය බැලීමට අධිෂ්ඨාන කළ මොහොත.




(image: http://rs1102.pbsrc.com/albums/g447/TheISZ/Emoticons/Ew%20Yuk%20Gross%20Vomit/vomit-boy01-vomit-puke-sick-smiley-emoticon-000652-facebook.gif~c200)

Sunday, 20 March 2016

අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money


චූටි කිව්වාට චූටිමත් නැත.

ඒ කුමක් නිසා ද යත්, මේ මා ලියන්නට යන කතාව දැන් හරියටම හතළිස් වසරක් පැරණි එකක් නිසාය.

මා දින දෙකකට පෙර ලියා පළ කළ රුපියල් දෙකේ කතාව ලිපියේ සඳහන් කළාක් මෙන් ඒ කාලයේ රුපියල් දෙකේ නෝට්ටුවක් යනු අද රුපියල් දෙදාහක නෝට්ටුවක් තරමට බලසම්පන්න එකක් විය.

"ටයිම් වැලිවු ඔෆ් මනි" නමැති සංකල්පය දන්නාවුන්ට අවශ්‍ය නම් ඉහත උපකල්පනය මත පදනම්ව දශක හතරක් තුළ මුදලේ අගයේ ඇතිවූ වෙනස සඳහා ඒකීය දර්ශකයක් ගණනය කර ගත හැකිය.

මා විස්තර කරන්නට යන මේ සිදුවීමේ කාල නීර්ණය අපහසුවකින් තොරව ඔබටත් මටත් කළ හැක්කේ එය මාතෘකාවේ නම සඳහන් අමරදේව ගායකයා ගේ එකල සංගීත ක්‍ෂේත්‍රයේ හොඳම සුසංයෝගී සගයා වූ මහගම සේකර ගේ මළගම හා සම්බන්ධ හෙයිනි.

සිංහල කවියේ අවිවාදාත්මක පතාක යෝධයා වූ මහගම සේකර, සුවහසක් රසික ජනතාව ගේ සිත් සතන් කම්පනය කරමින්, කපා හෙළුෑ රඹ කඳක් මෙන් ඇද වැටුණේ 1976 ජනවාරියේ ය.

ඔහු ගේ අවසාන කටයුතු සිදුකර ඒ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නට හිත මිතුරු, රසික ජනතාව රදාවාන ග්‍රාමයට රැස්වුණි.

අද පරිසර විද්‍යාඥයෙකු ලෙස විදෙස් රටක සේවය කරන මගේ එක් මිතුරෙකු, පහසුව සඳහා මා ඔහුව කේමචන්ද්‍ර කියා හඳුන්වමි, එදා කුඩා දරුවෙකු ලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වි තිබුණේ, මූලිකවම ඒ ඔහුගේ ද ගම් ප්‍රදේශය වූ නිසාය.

නමුත් තම වැඩිමහල් සොහොයුරා ද සමග කේමචන්ද්‍ර මහගම සේකර ගේ අවමංගල්‍ය උත්සවය දිනයේ එහි ගොස් ඇත්තේ, "අද ඔතැනට අමරදේව නම් අනිවාර්යෙන් ම එනවා!" යැයි ඔවුන් ගේ නිවසේ කතා බහ වූ හෙයිනි.

ගුවන් විදුලියෙන් ගීත අසා තිබුණද, කෙදිනක හෝ දැක නැති තම ප්‍රියතම ගායකයා දැක ගැනීමට පොඩි පහේ උණක් මේ දෙසොහොයුරන්ට ඇති වී ඇත.

වෙලෙන් ගොඩවී, තවත් සැතපුමක් පමණ පයින් ගොස් මළ ගෙදරට ගොඩ වැදුණු ළමුන් දෙදෙනා, ආචාර සමාචාර නිමා කර නිවසේ මිදුලට වී බලමින් සිට ඇත්තේ අමරදේව සිටී ද කියායි.

රූපවාහිනී නොතිබුණු ඒ කාලයේ කලාතුරකින් පුවත්පතක පළ වූ කළු-සුදු ඡායාරූපයක් දැක තිබුණු පමණින් අමරදේව එහි සිටීද, සිටීනම් ඒ කවුද යනුවෙන් සොයා ගන්නට මේ දෙදෙනාට හැකි වී නොමැත.

ආපසු නිවසට යම්දෝ, නොයම්දෝ යැයි සිතමින් සිටිනා මොහොතේ වාසනාවකට මෙන් ඔවුන්ට වටිනා රාජකාරියක් පැවරී ඇත. එය නම්, මල් වඩම් රැගෙන අවමංගල පෙරහැරේ ගමන් කිරීමයි.

තමා මල් වඩමද රැගෙන පෙරහැරේ ගියේ දෙවන ස්ථානයේ බව කේමචන්ද්‍ර මොහොතකට පෙර මා සමග පැවසීය.

අවමගුල් පෙරහැර මහහගම සේකර නිවසේ සිට සැතපුම් දෙකක් පමණ ගෙවා රදාවාන හන්දියට ළඟාවන විට ඒ ස්ථානය එකම හිස් ගොඩක්ව පැවත ඇත. නමුත් කේමචන්ද්‍රත්, වැඩිමහල් සොයුරාත් මල්වඩම් රැගෙන යමින් සිටි නිසා, චිතකය අසලටම කරදරයකින් තොරව යාමටත්, අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු කෙරෙන අවස්ථාවේ, මහගම සේකර පවුලේ ඥාතීන් සිටි ස්ථානයට සහ ගුණකතන පැවැත්වුණු ස්ථානයට ඉතා නුදුරෙන් රැඳීමටත් ඔවුනට ඉඩ ලැබී ඇත.

තමන්ගේ ප්‍රියතම ගායකයා කවුදැයි කේමචන්ද්‍ර දැක ඇත්තේ ලැබුණු ආරාධනයට අනුව ගුණකතනය කිරීමට අමරදේව මයික්‍රෆෝනය අසලට ගිය විටයි.

ඒ මහා ගායකයා ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු බව දැක තරමක පුදුමයකටත් පත්වුණු බව කේමචන්ද්‍ර පවසයි.

අයියෙ, අන්න අමරදේව කියා තම සොහොයුරාට අමරදේව ගායකයාව පෙන්වද්දී කේමචන්ද්‍ර ගේ නෙත ගැටී ඇත්තේ, අමරදේව ගේ සුදු ජාතික ඇඳුමේ කමිස සාක්කුව තුළ ඇති බව ඉදිරිපසට හොඳින් දෘශ්‍යමාන වූ මුදල් නෝට්ටුවකි.

ඒ මුදල් ඇමති යූ බී වන්නිනායක ද, මහ බැංකුවේ අධිපති විලියම් තෙන්නකෝන් ද අත්සන් කළ ලංකාණ්ඩුව විසින් නිකුත් කරණ ලද, මහා පරාක්‍රමබාහු රජු ගස් ලබු කෑල්ලක් අනුභව කරන ප්‍රතිමාවේ ඡායාරූපයකින් සමන්විත වූ රුපියල් දෙකේ නෝට්ටුවකි.

මේ නෝට්ටුව අනිවාර්යෙන්ම සාක්කුව තුළ තියෙන්නට ඇත්තේ දෙකට නැමූ ආකාරයෙන් වුව ද, නෝට්ටුවේ අසමසම වර්ණය නිසා සාක්කුවේ ආවරණයට පිටතින් වුවද ඒ කුමක්දැයි එක් වරම හඳුනා ගැනීමට කේමචන්ද්‍ර සමත් වී තිබුණි.

මහගම සේකර අවසන් ගමන් ගියේය.
අමරදේව ගයන "මා මළ පසු සොහොන් කොතේ" ගීතය අති ජනප්‍රියත්වයට පත් විය.
මා අසා ඇති තරමින් ඔහුගේ සොහොනේ අමුතු ගීතයක් ලියවී නො තිබුණි.
සොහොන ද කාලයා ගේ ඇවෑමෙන් වල් වැදී ගියේය.

පසුගිය දිනක, රදාවාන ගමේ පාසලේ ළමයෙකුගෙන් "මහගම සේකර අඳුනනවාද?" කියා විමසූ විට "ඔය කියන්නේ අර කඩයක් කරන කෙනා නේද?" යැයි පිළිතුරු ලැබී ඇත.

ඒ කුමන විපර්යාස සිදුවුණත්, කේමචන්ද්‍ර ගේ සිතෙන් අර අමරදේවගේ සාක්කුවේ තිබුණු රුපියල් දෙකේ කොළයේ දර්ශනය සිතෙන් බැහැර නොවිණි.

අමරදේවගේ ගීතයක් අසන විට, ඔහුගේ රුව මුද්‍රිතව හෝ රූපවාහිනී තිරයක් තුළින් දකින විට කේමචන්ද්‍ර ගේ සිහියට මුලින්ම ආවේ ඒ රුපියල් දෙකේ කොළයේ කතාවයි.

දිගු කලකට පසු කේමචන්ද්‍ර තම ආචාර්ය උපාධිය සඳහා පැරබෝලීය ගස් කියුබාකාර කරමින් පර්යේෂණවල නිරත වෙමින් සිටි කාලයේ දී, අමරදේව ගේ විදේශ සංචාරයක් ඒ නගරයේ පැවැත්වුණි. ඒ ප්‍රසංගයකට පසු දිනයේ විශ්ව විද්‍යාල මිතුරන් සමග අමරදේව ඇතුළු පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන්නට කේමචන්ද්‍ර මූලිකව කටයුතු කළේය.

මෙහිදී එළැඹුණු ප්‍රශ්න ඇසීමේ වාරයේ දී ප්‍රශ්නයක් අසන මුවාවෙන් මේ දෙකේ කොලේ මතකය ද අමරදේව හා බෙදා ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණි.

පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ නැවතත් ජනාධිපති ලෙස පත් කරන්නට ඡන්දදායකයින්ගෙන් ඉල්ලමින් පුවත්පත්වල පළකර තිබුණු දැන්වීමක මුලටම සිටියේ අමරදේව ය.

ඒ දැන්වීම දුටු විට, අමරදේව ගේ වටිනාකම එදා රුපියල් දෙකක් නොව අද රුපියල් දාහක් පමණ බව මට වැටහිණි.

-රසිකොලොජිස්ට්

(http://mahagamasekera.blogspot.com.au/p/blog-page_9195.html)

Saturday, 8 August 2015

ඡන්දෙ කාලේ ඇසෙන නව ප්‍රබන්ධ සින්දු - New wine in old bottles


දේශපාලන ඡන්ද රැස්වීමවල කතා අතරට සින්දු යොදන්නට පටන් ගත්තේ අසූවේ දශකයේ පමණ යූඇම්පී මැයි දින වේදිකාවලට ඉන්දියානු ගායකයින් ඉම්පෝටර්ට් කරන්නට පටන් ගත් කාලයේ බව මගේ මතකයයයි.

මුලින් එක වේදිකාවේ ම සංගීත භාණ්ඩ කට්ටලය සෙට් කර අපට මාරුවෙන් මාරුවට ගායක, ගායිකාවන් ගේ ගීත ද, දේශපාලුවන් ගේ බයිලා ද අහන්නට සැලැස්වූ නමුත්, පසුව මේ සඳහා ද්විත්ව වේදිකා ද බිහිවිය. මෑත කාලයේ දී නම් දේශපාලුවන් ද ගීත කවි කරනවා ද විටින් විට ඇසුණි.

ප්‍රසිද්ධ ගීතවලට දේශපාලන අරුතක් එන ආකාරයට වෙනත් පද බැඳීමද අද ඊයේ ඇති වූ දෙයක් නොවේ. එසේ නමුත්, පසුගිය දින කිහිපය තුළ මා ෆේස්බුක් අවකාශයේ සැරිසරද්දී ඇස ගැටුණු එවැනි නව පදමාලා නිර්මාණ කිහිපයක් මගේ සිත ඇද ගත්තේය.

මේ පෝස්ටුව පල කරන්නට සිතුණේ මා රස විඳි ඒ ප්‍රතිනිර්මාණ කීපයක් බෙදා හදා ගන්නටයි. මේ නව පදමාලාවන්ගේ රචකයා ඉන්දික ගුණවර්ධන නම් වේ!

මෙන්න ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුවෙන් ගීත කිහිපයක්.


ඇතුගල්පුර නුඹ ඉන්නා ඉසව්වේ
හොර නඩයක් කැරකෙනවලු නිදැල්ලේ
පච කෙළියට නොවැටී මං මුලාවේ
මැදමුලනෙව ගෙදර යවමු ඇසිල්ලේ

චීනුන්ගෙන් සල්ලි අරන් වියදම් කෙරුවාලූ
ගහපු ගැහිලි සිහිවෙනකොට උහුලන්නට බෑලූ
භාතීය සන්තුෂ් දම්මලා විගඩම් නැටුවාලූ
උන්ට ගෙවපු කෝටී ගණන් අපේ බදු සල්ලී ලූ

ආණ්ඩුවේ මැති ඇමතියෝ පෝසත් කෙරුවාලූ
කුඩු ගෙන්නන ලියුම් ගැහුවෙ අගමැති පඹයාලූ
බූරූවංශ ටොම් පචයා කොටි පෙන්නවාලූ
සෙල්ලම් දැම්මට මුලනෙට මෙදා ඇපත් නෑලූ


මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා
මුලනෙ නිසයි අපි කහින්නෙ තවත් කිච වෙලා

රටේ උපන් හොර හාදයා මැර හාදයා මුලනෙම හන්දා
ඇමති කමට කොමිස් වලට කව්රුත් ලොබ බැන්දා
පුංචි අපට කොමිස් කෑලී පගා කැලී ටුවර් කෑලී සෙට්වෙන හින්දා
මුලනේ අරන් අපි එනවට ඔබ කැමතිද මන්දා...

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා....

අහල පහල ටොයියලාට අය්යලාට ගෙදර අයට පචයක් කෙලලා
මැද මුලනෙට ඡන්දෙ දෙන්න ඔබ එනවද මැණිකා...
උදේ හවස මීටිං වල ටීවී වල තැන්තැන්වල මම බෙරිහන් දෙන්නම්
මුලනේ එක්ක එකතුවෙලා රට ජාතිය කන්නම්

මා.. උඩ පනින්නේ පච කෙලින්නේ හඩ නගා...


මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා

විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා

මුලනේ හරිම මැර පාටයි...මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම කටකාරයි... ප්ලග් ගලවන්නැති පාටයි
හෝ.... අතන මෙතන පන්සල්වල තඩි බේගල් අරිනවා
ඒ මදිවට උදේ හවා කොටි එන බව කියනවා...
විමලෙ නිකං බය්යා වගේ හොයන්නෙ රජ සැප තමයි
ඔහොම නිකං හිටියෝතින් අපි දෙන්නට බඩු තමයි...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රටකන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා...
හතර අතේ නඩු හබ මට තියනවා
මුලනේ හරිම මැර පාටයි.. මහ මැතිවරණෙත් නා ගයි
විමලේ හරිම පච පාටයි... රට කොටවන්නැති පාටයි..

හෝ.... ඉදින්න ඡන්දේ එනකං කරවන්නම් හොද වැඩක්
ගෙදර යන්නෙ මම විතරද උඹටත් දැන් නෑ ඇපත්
මම නෑ බයවෙන්නෙ මුලනෙ බයි රැළ මම ඇන්ඳුවා
බය්යෝ ආදරෙයිනේ මට මොනව කරත් මුළනෙලා...

මුලනේ ටිකක් එන්නකෝ ඇවිදින් රට කන්නකෝ
පුංචි පගාවක් ගහන්න තියනවා...
පුංචි පගාවක් ගහන්න තියනවා
විමලෙ නිකං ඉන්නකෝ..මට ඉන්නට දෙන්නකෝ
හතර අතේ නඩු හබ මට තියනවා
හතර අතේ නඩු හබ මට තියනවා


බන්ධුල කියපං උඹෙ නොම්මරේ
ඡන්දෙම දෙන්නම් අපි මේ සැරේ
කච පච ගෑවත් බොරු චක්කරේ
ජනතාව දන්නවා උඹෙ විස්තරේ

ජප බෝල මිරිකන මුලනේ මරා
අවුරුදු දහයක් රට කෑ හොරා
නාහෙන් ඇඩුවත් දැන් හොටු පෙරා
මේ පාර ඇප නැතිවෙනවා සිරා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

විමලගෙ සද්දෙත් දැන් අඩුවෙලා
කොටි කොටි කිව්වත් නෑ කික් වෙලා
බැංකුවෙ ප්ලග් එක දැන් ගලවලා
පිටිපස්සෙ ගහගන්නකො කැරකිලා
චීනෙන් කොමිස් ගහපු මහ හොරා
තුප්පහි රැළ වටකරගෙන ජරා
ජාතිය ආගම රට කිර කිරා
දවසෙම ගිලදමනවා තලු මරා

මෙහමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..මෙහෙමත් කෑදරේ..ටපර ටපං...

එන්න බයියෝ එන්න බය්යෝ සෙට්වෙලා
මෙන්න බයියෝ මෙන්න බයියො පච කතා
ගල් බාගේ අරන් යන්න - කෑම පැකට් අරන් යන්න
එන්න බයියෝ එන්න බයියෝ සෙට්වෙලා
එන්න බයියෝ එන්න බයියෝ හැඩවෙලා
දහඅට අපි එකට අඩමු හොටු පෙරා
ලෝකේ තියන හොඳම ජොලිය
වහල්ලුන්ගේ වහල් සොමිය
ගන්න බය්යො ගන්න බය්යෝ සෙට්වෙලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා...

එතනෝල්වලින් රට හොල්ලපු ඇමතිලා
කන්ටේනරෙන් කුඩු ගෙන්නපු දුමියලා
සුදු වාහනේ වට හතරක් කරකලා
නොමිලේ ටුවර්ස් එක්කන් ගියේ ගෝඨා ලා
ගෙම්බෙක් වගේ පැන පැන යන ගම්පිලා
සීය සීය එකතුකරලා කිච වෙලා
මේ ඡන්දෙන් ගෙදර ගිහින් පැරදිලා
නිවලා බොන්න හොදට වතුර නටවලා

රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා
රටම රටම රටම රටම රටම රටම තොපි කෑවා


මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්
දෙනෙත පියාගෙන කියන්න මුමුණා
මම මහ රජු බව ගැඹුරු හඩින්...
අගමැති කම වත් නැත හිමි වෙන්නේ
මන්තී‍්‍රකමටයි මෙහෙම මැරෙන්නේ..

අරලිය මැදුරෙදි මුලින්ම දුටු දා
මගෙ කටු ලෙව කෑ රංගන ඇත්තා
අදත් එදා මෙන් දකින්න ඇත්නම්
වංශකතා කිව් මහදැන මුත්තා

මා දැන් මළකුණ ලෙස ද පෙනෙන්නේ....
පුරුදු ලෙසින් ඇයි කඩේ නොයන්නේ....

මම නම් ආසයි අහන්න ජැක්සන්....
මේ පොඩි කාලෙත් ඔහේ ගෙවෙද්දෙන්
මේ ඡන්දෙත් මා පැර දී යද්දෙන්
මැදමුලනෙට මා සීමා වෙද්දෙන්

කේ පී මුදලින් මා සැනසෙද්දෙන්
වාසියටම ඇයි ජැක්සක් උන්නේ....
ආයෙත් ඇවිදින් මට ම කහින්නේ....
මම නම් ආසයි අහන්න ජැක්සන්
ඉස්සර වාගේ ඔබේ මුවින්


මේ රචනා කියවූ මට ද එවැනි ප්‍රතිනිර්මාණයක් කරන්නට සිතක් පහළ වුණි. ඒ සඳහා මා දන්නා සිංහල සින්දුවලින් අඩුම වචන සංඛ්‍යාවක් ඇති ගීතය (දන්නවා නේද?) තෝරාගෙන උත්සාහයක් කළ ද එය බිහිවූ පදවැල එතරම් සාර්ථක එකක් නොවීය.

එයින් ම ඉන්දික ගුණවර්ධන ගේ හැකියාව මට සක් සුදක් සේ පැහැදිලි විය.

දේශපාලන මාතෘකා ගැන පබැඳුණු ඔබ දන්නා මෙවැනි ප්‍රතිනිර්මාණ තිබේ නම් කරුණාකර මෙහි ඒවා සටහන් කරන මෙන් (හෝ සබැඳි ලබාදෙන මෙන්) කරුණාවෙන් ඉල්ලා සිටිමි.

-රසිකොලොජිස්ට්

ඉන්දික ගුණවර්ධන ගේ ෆේස්බුක් පිටුව මෙන්න. එහි තවත් මෙවැනි ප්‍රතිනිර්මාණ රාශියක් තිබේ!
https://www.facebook.com/indika.gunawardena


(image: https://www.facebook.com/photo.php?fbid=10154001539194688&set=a.10151182676134688.548603.598564687)

Monday, 3 August 2015

ජඩයින් එපා - Please, please, please...!!!


තව සති දෙකකින් පැවැත්වෙන මහ ඡන්දය කාලයේ මා ලංකාවට පැමිණියහොත් ඡන්දය පාචිච්චි කරන්නට අපේක්‍ෂා කරන්නේ කෙලෙසදැයි පැහැදිලි කෙරෙන ලිපියක් මම සෙනසුරාදා ලියුවෙමි. ඒ සමගම මා එහි සඳහන් කළේ මගේ ප්‍රායෝගික බලාපොරොත්තුව ලෙස සැලකිය හැකි අවසාන ඡන්ද ප්‍රතිඵලයයි. ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වුනහොත්, කිසිදු පක්‍ෂයකට බහුතරයක් හිමි නොවී, කෙලෙසක හෝ ආණ්ඩුවක් පිහිටවන කණ්ඩායමට කලින් කණ්ඩායම රට කාගෙන කාගෙන කාගෙන ගොස් නැවැත්වූ තැන සිට පටන්ගෙන රට කාගෙන කාගෙන කාගෙන යෑමට ලේසියෙන් ඉඩ නොලැබෙනු ඇතිය යන්න මගේ විශ්වාසයයි.

ඩ්‍රයි ජුලයි මාසයේ තාවකාලිකව නවත්වා පිං අතේ වැඩ කරමින් සිට නැවතත් බ්ලොග් ලිවීම අරඹා ලියූ ඒ ලිපිය පල වූ පසු මම අම්මාට දුරකථනයෙන් කතා කළෙමි. ඇගේ සුවදුක් විමසීමට අමතරව මගේ අනෙක් අරමුණ වූයේ ඇය ඡන්දය පාවිච්චි කරන්නට යන්නේ කවර ආකාරයෙන් ද යන්න දැන ගැනීමයි.

සාමාන්‍යයෙන් යූඇම්පීකාරියක වූ ඇයව මගේ කැමැත්තට නම්මා ගන්නට බැරි බව හොඳින් අවබෝධ වූ පසු මා ඉල්ලා සිටියේ එහෙනං හොරුන් දූෂිතයින් අත හැර ඕනෑ එකෙකුට දෙන්න කියායි. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නම් මේ දක්වා කිසිම ඇමතිකමක් දරා නොමැති එකෙකුට මනාපය දීම බව මම අම්මාට පැහැදිලි කළෙමි.

මා ඊළඟට දුරකථනයෙන් කතා කළේ අම්මා ගේ එක් නැගෙනියකටයි. ඇය පරම්පරානුගතව නොවුණත් කාලයක සිට සිරිලංකාකාරියෙකි. ඇය මුලින්ම කීවේ කාටවත් දෙන්නේ නැත කියාය. මම මගේ පැත්තට ඇය නම්මා ගැනීමට පොඩි උත්සාහයක් දැරුවත් එය අසාර්ථක විය. එහෙනම් ගිහින් කටුගාලා එනවා යැයි ඇය එවර කීවාය.

එවෙලේ පැවතෙමින් තිබුණු 20-20 තරගයේ ලංකා කණ්ඩායම ගුටිකමින් සිටි නිසා "එහෙනං අහවල් අයියාට දෙන්න!" මම පැවසුවෙමි. පුංචි අම්මා "අපෝ බෑ, මං එහෙනං ඒ අයියාගේ මල්ලීට දෙන්නම්!" යැයි පැවසුවාය. අවසානයේ පරාජය පිළිගත් මම ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාම අමතක කර "එහෙනම් අර මුලින් කීවාක් සේ ඡන්දේ අමතක කර සිටින්න!" යැයි කීවෙමි. බැරි වෙලාවක්වත් දුන්නොත් හොරෙකුට, දූෂිතයෙකුට ඡන්දය නොදෙන ලෙස ද ඉල්ලීමක් කළෙමි.

ප්‍රධාන පිල් දෙකට විකල්ප පිලකට ඡන්දය දෙන්නට සිත හදාගන්නට බැරි අය සඳහා දිය හැකි හොඳම උපදෙස වනුයේ පෙර කී පරිදි හොරුන්ට, දුෂිතයින්ට නම් ඡන්දේ දෙන්න එපා යැයි කීමයි.

මේ අදහස විවිධ සංවිධාන මගින් දැන් කලක සිට ජනතාව අතරට ගෙන යමින් තිබේ. මාසයකට පමණ පෙර ඒ ගැන දියත් වුණු ජනතා පෙත්සමකට සියලු දේශපාලන පක්‍ෂ අත්සන් තැබුවත්, නාමයෝජනා දෙන දිනය වෙන විට ඔවුන් ගෙන් බොහෝ දෙනෙකුට ඒ පොරොන්දුව අමතක වී දූෂිතයින් රැසක් තම අපේක්‍ෂක කණ්ඩායම්වලට එකතු කරගෙන ඇති බව සැලවේ.

කොටින්ම කුඩු ජාවාරම්වලට චෝදනා ලැබූ විසිපස්දෙනෙකු ම මෙවර ඡන්ද අපේක්‍ෂක ලයිස්තුවල සිටින බව කියවේ.

ෆේස්බුක් සමාජ ජාලයේ ක්‍රියාත්මක වෙන "ජඩයින් එපා!" නම් කණ්ඩායම විසින් මෙවර ඡන්දයේ දී ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ යුතු අපේක්‍ෂකයින් ගේ ලැයිස්තුවක් සකසමින් පවතින බව මට ආරංචි වුණේ දැන් ටික දිනකට පෙරයි. මේ වන විට ඔවුන්, ඒ දුෂිත ඡන්ද අපේක්‍ෂකයින් නම් වශයෙන් දැක්වෙන බැනරයන් හතරක් නිකුත් කර ඇත.

දූෂණය, හොරකම පිටු දකින සිතැති අයට තම ඥාතී හිතමිතුරන් හා බෙදා ගැනීම සඳහා ඒ ලයිස්තු මෙහි පළ කරමි.






එහෙනං, ජඩයින් පැරදේවා! ජනතාවට ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජඩයින් එපා ෆේස්බුක් පිටුවේ කණ්ඩායම විසින් පහත සඳහන් පැහැදිළි කිරීම මා වෙත ෆේස්බුක් පණිවිඩයක් මගින් එවා තිබේ.

ලබන 17 වෙනිදා පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරු 200+ ගණනින් එහි සිටීමට සුදුසු මන්ත්‍රීවරු සිටිය හැක්කේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන් බව අපි දනිමු. එම නිසා මෙවර චන්ද අපේක්ෂයින් ජඩයින් රොත්තට ඇතුළු කරන්නේ නම් එයට ඕනෑ තරම් සිටිය හැක. එහෙත් අපේ වෑයම වූයේ පක්ෂ පාට භේදයකින් තොරව පාර්ලිමේන්තුවට නුසුදුසු යැයි අපි වැඩියෙන්ම දන්නා අය පමණක් හෙළිදරව් කිරීමයි. එහි දී එහි වැඩි ප්‍රමාණයක් මහින්දවාදීන් හෙවත් පසුගිය ආණ්ඩුවේ ඇමති වරුන් සිටීම ස්වභාවික ය. අපට ඇති මෑතකම උදාහරණ ඔවුන් නිසා හා එවැනි මහා පරිමානයේ දූෂණ අපරාධ ලංකා ඉතිහාසය තුළ නොතිබූ නිසාවෙන්. එජාපයේ මෙන්ම ජවිපෙ ගැනද අප විස්වාශයක් නො තබමු. එජාපයේ (යහපාලනය ද ඇතුළු) පරණ හොරු මෙන්ම බලය ලැබුණහොත් ජවිපෙ “විය හැකි“ හොරු ගැනද අපට අවබෝධයක් ඇති නමුදු අපගේ උත්සාහය වූයේ අප හොඳින් ම දන්නා එවුන් පළවා හැරීම ය.

අපට වැරදි සිදුවිය හැක. එහෙත් ඒවා "මෙයාත් හිටිය නම් හොඳයි" වැරදි හැර "ඇයි මෙතන මෙයා ඉන්නෙ" වර්ගයේ වැරදි නොවේ. එබැවින් මේ ජඩයින් රොත්ත එළවීමට ලැබෙන ඔබගේ සහයෝගය අගය කරමු.

සරත් ෆොන්සේකා ගැන සදහන් කළ යුත්තේ ඔහුගේ හොද නරක විමසීමක් නැතිව ඔහුව මේ ජඩයින් රොත්තට ඇතුළු කළේ හමුදා නිලධාරීන් පාර්ලිමේන්තුව තුළ සිටිය යුතු නැත යන අවබෝධයෙනි. හමුදා නිලධාරීන් සිවිල් නායකයින් කර ඒ වගේම හමුදා නිලධාරීන් සිවිල් කටයුතු වල නිරත කර ඒවායන් ලැබුනු දරුණු ප්‍රතිපල ලෝකයේ ඕනෑ තරම් ඇත. පබා ගැන සදහන් කළ යුත්තේද එයමය. ටෙලි නාට්‍යය වල රඟපෑවා හැරෙන්න කළ වෙනත් ජඩ වැඩ ඇයට නැත. එහෙත් ඇය වැනි අය පාර්ලිමේන්තුවට නොයා යුතු බව අපගේ හැඟීමයි.

ජඩයින් එපා කණ්ඩායම



Saturday, 1 August 2015

මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote


දශක දෙකක පමණ කාලයක සිට නොරටක ජීවත්වෙන ලාංකිකයෙකු වන මම විටින් විට ලංකාගමනය කරමි. ඒ කාල වකවානු තීරණය වෙන්නේ හුදෙක්ම පුද්ගලික කාරණා මතය. ලංකාවේ මැතිවරණ පවත්වන දින තීරණය කෙරෙන ග්‍රහචාර, මට බටකොළ කවන සෙනසුරු මාරු හා සම්බන්ධයක් නොමැති නිසා, ලංකාවේ මා ගත කරණ සති කිහිපය ඇතුළත ඡන්ද විමසීමක් පැවතීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය.

එවැනි එකෝ ම එක අවස්ථාවක් 1999 දී උදා වූ අතර, එය මගේ ජීවිතයේ සන්ධි ස්ථානයක් ද විය. ඒ ගැන රසවත් විස්තරය පසුවට තබමි.

ඊයේ කල්‍යාණ මිත්‍ර ලියන කලාහිත බ්ලොගයේ පල වී තිබී මා කියවූ අපූරු ලිපියක් නිසා, මට මේ මස දාහත්වෙනි දා ඡන්දය පාවිච්චි කීරීමට ලංකාවට යන්නට ඇති ඉඩකඩ ගැන මම සිතින් සොයා බැලුවෙමි.

එහි දී මට පෙනී ගියේ, ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලංකාවට යාමට වැය කළ යුතු වෙන කාලය, ශ්‍රමය හා ධනය සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්නයට වඩා වඩා පිළිතුරු සොයා ගැනීමට අසීරු ප්‍රශ්නය නම් ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ කවර පක්‍ෂයට හෝ කණ්ඩායමට ද, එයිනුත් කවර අපේක්‍ෂකයින්ට ද යන්න බවයි.

මට ඇත්තේ උභතෝකෝටිකයකි. සමහර විට මෙය "චතුස්කෝඨිකයක්" ලෙස ද මට අර්ථ දැක්විය හැක.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු හොර නඩය නැවත අඩු වශයෙන් දස වසරකට පසුව මිස බලයට පත් වෙනවාට මගේ කිසිදු කැමැත්තක් නැත. මීට දශක දෙකකට පමණ පෙර කාලයේ තරමක හෝ ප්‍රගතිශීලී අදහස් කෙටි කාලයකට හෝ දැරූ සිරිලංකා පක්‍ෂය පසුගිය කාලය තුළ විනාශ වී ගිය ආකාරය කනගාටුදායක ය. මගේ අදහසට අනුව ඔවුන් නැවත බලයට පත් කළ යුත්තේ 2015 දක්වා පක්‍ෂයේ තනතුරු, ඇමතිකම්, උප ඇමතිකම්, මන්ත්‍රීකම් දැරූ සියලු දෙනාම පක්‍ෂයෙන් ඉවත් වූ පසුව පමණි. ඔවුන් වෙනුවට නායකත්වයට පත්විය යුතු කවුරුන්දැයි කියන්නට මට මේ මොහොතේ සිරිලංකා පක්‍ෂයේ දෙවෙන පෙළ නායකත්වය ගැන අදහසක් නැත.

වසර 1977 සිට 1994 දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂයේ පාලන ක්‍රමය ගැන මම හොඳින් දනිමි. එදා පොඩි එකෙකු ලෙස යුඇම්පිය ඡන්දෙන් දිනන බවට ඔට්ටුවක් අල්ලා රුපියක් පහක් දිනුවද, මා ජීවිතේට ඒ පක්‍ෂයට ඡන්දය දී නොමැත. දෙන්නට අදහසක් ද නැත. ඔවුන් බලයේ සිටි ඒ කාලයේ ලංකාව අගාධයට දැමූ, දුෂණයට, භීෂණයට වගකිව යුතු පිරිස් සහ ඔවුන් ගේ ප්‍රතිපත්ති ද මොනවාද ඉදිරියට ගෙන යනවා යැයි කියන එවුන් තවමත් යූඇම්පියේ සිටිති. ඔවුන් වෙනුවට අජිත් පී පෙරේරා, විජේදාස රාජපක්‍ෂ, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි පිරිසක් යුඇම්පියේ නායකත්වයට පත්විය යුතු බව මගේ අදහසයි.

ජනතා විමුක්ති පෙරමුණ ගැන ද මගේ පරිපූර්ණ පැහැදීමක් නැත. ජේවීපී ය යනු මා දේශපාලනය ගැන සැබෑ උනන්දුවක් ඇති කරගත් කාලයේ ඉතා හොඳ දැක්මක් තිබුණු පක්‍ෂයක් වුව ද, පසුව ඔව්හූ ජනප්‍රිය ජාතිවාදී මඩ ගොහොරුවේ ගිලී ගියහ. මහින්ද රාජපක්‍ෂ වැනි දුෂණ චෝදනා ලබා ඇති අය සමග ද, සරත් ෆොන්සේකා වැනි දුෂණවලට වරදකරුවෙකු වූ, මිලිටරිකාරයින් සමග ද සභාගයට ගොස් අසූචි ස්නානය කළහ. ජේවීපීය තුළ පෙර තිබූ ජීව ගුණය තව දුරටත් තිබේ දැයි මම නොදනිමි. කෙසේ නමුත්, සමන්ත විද්‍යාරත්න වැනි අය පිළිබඳව නම් මගේ ඇත්තේ ප්‍රසාදයකි.

ජේවීපියෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසේ මා දන්නා ප්‍රතිපත්ති සහ දර්ශනය පිළිබඳව යම් තරමක ධනාත්මක සිතුවිල්ලක් මට ඇතත් ඔවුන්ට මේ මැතිවරණයේ දී හුදු විරෝධයකින් ඔබ්බට ගිය බලපෑමක් ඇති කළ හැකි යැයි මම නො සිතමි.

මේ කරුණු අනුව, මා බොහෝ විට තීරණය කරනු ඇත්තේ ජේවීපියට ඡන්දය දෙන්නටයි.

දැන් මට ඇති ප්‍රශ්නය නම් ඒ සඳහා දින දෙකක් ගමනට වැයකොට, අඩු වශයෙන් සතියක් පමණ නිවාඩු අහිමි කරගෙන, ඩොලර් දෙදහසක් පමණ වැය කරගෙන ලංකාවට එනවාද නැති නම් විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නවා ද යන්නයි. ලංකාවට ආවත් මගේ ඡන්දය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නිසා සමන්ත විද්‍යාරත්නට මනාපය පල කරන්නට මට ඉඩ නැත.

එසේ නම් ඒ වෙනුවට මා කළ යුත්තේ කල්‍යාණ මිත්‍ර බ්ලොග්කරුවාට බදුල්ලට ගොස් සමන්ත විද්‍යාරත්නට ඡන්දය පාවිච්චි කරන්නට උනන්දු කිරීමයි.

මගේ සැබෑ අපේක්‍ෂාව කෙසේ වෙතත්, රටේ මිනිසුන් ඡන්දේ දෙන්නේ මට අවශ්‍ය ආකාරයට නොවන නිසා, ප්‍රායෝගිකව සිතා බැලූ විට මා දැකීමට අදහස් කරන අවසාන ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය.

එක්සත් ජාතික පෙරමුණ = 80
එක්සත් ලංකා ජනතා සන්ධානය = 80
ජනතා විමුක්ති පෙරමුණ = 40
දෙමළ ජාතික සන්ධානය = 20
මුස්ලිම් කොන්ග්‍රසය = 5

-රසිකොලොජිස්ට්

(image: http://the-mystery-case-files.wikia.com/wiki/Donkey(Shrek))

Wednesday, 24 June 2015

වාසුදේව නානායක්කාර ගැන කුණුහරුප නැති කතාවක් - Vasudeva Nanayakkara, 1982 presidential election and left-of-the-centre alliances


හේමකුමාර හෝ යසපාලිත යන නම්වලට වඩා වාසුදේව යන පුද්ගල නාමයේ සෑහෙන වෙනසක් ඇත. මුල් නම් යුගල නිසැකව ම සිංහල යැයි පැවසිය හැකි වුවද වාසුදේව යනු කෙළින් ම ඉන්දියානු නමකි.

පුරාණ හින්දු ග්‍රන්ථවලට අනුව වාසුදේව යනු යමුනා ගංතෙර ළපලු ලතා යහනේ රාධා සමග පෙම් කෙළිමින් සිටි ක්‍රිෂ්ණා ගේ පියා ය. වාසු යන පදයේ තේරුම හොඳ යන්න ලු! ඒ අනුව වාසුදේව හොඳ දෙවියෙකි. මෙකී ඉන්දියානු වාසුදේව පප්පා ජීවත්ව සිටි කාලය තුළ කිසිදු බොරුවක් නො කියා සත්‍යවාදීව ජීවත් වූ අයෙකු ලෙස භගවත් ගීතය වැනි ග්‍රන්ථවල සඳහන් වී ඇති බව කියවේ.

දේවාරූඩයක් ඇති නිසා වාසුදේව යන්න ඉන්දියාවේ හින්දු භක්තිකයින් අතර ජනප්‍රිය නමක් විය යුතුය. එහෙත්, උප්පැන්නයේ ළමයා ගේ නම යන කොටුවේ වාසුදේව යන්න සඳහන් වී ඇති අය ලංකාවේ නම් එතරම් සුලභ නැති බව කිව හැක.

ඒ සමගම, අනාගතයේ වාසුදේව නාමය උප්පැන්නයක ළමයා ගේ නම කොටුවේ ලියවෙන්නට ඇති ඉඩකඩ ද අවම බව මගේ අදහසයි.

මා දන්නා වාසුදේවලා ඉන්නේ දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙක් කොළඹ විශ්ව විද්‍යාලයේ උගත් ඇම්බීබීඇස් උපාධිධාරියෙකි. ඔහු අද කොතැන සිටී දැයි මම නොදනිමි.

මා දන්නා දෙවෙනි වාසුදේව ළමයා ගැන නම් මෙය කියවන ඔබ ද හොඳින් දනී. ඒ අද ලංකාවේ දී වාසුදේව කියා කියූ පමණින් සිහියට එන හිටපු විප්ලවවාදී, හිටපු ඇමති, පැහුණු වට්ටක්කා ගෙඩි නාමලාභී ගරු වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මිස වෙනකෙකු නොවේ.

මම වාසුදේව නානායක්කාරව ජීවිතයේ දෙවරක් දැක ඇත්තෙමි.

දෙවෙනි වරට මා ඔහු දුටුවේ නවසමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් 1982 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ගනේමුල්ලේ දුම්රිය ස්ථානය අසලදී මහජන රැළියක් ඇමතු අවස්ථාවේ දී ය.

එදා ඔහු ඉදිරිපත් කළ කරුණු, ඔහු ගේ චතුර කථිකත්වය කෙතරම් මා සිත ඇද බැඳ ගත්තේ ද යත්, වාසුදේව නානායක්කාරට මගේ දෙවෙනි මනාපයවත් දෙන්නට මට සිතුණි.

ඇත්තට ම කියනවා නම්, ඊට පසු දිනයක මා නැරඹීමට ගිය ලංකා සමසමාජ පක්‍ෂයේ ජනාධිපතිවරණ රැස්වීමේ දී අපේක්‍ෂක කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා කළ කතාව ඇසුවායින් පසුව ද මට එවැනිම සිතුවිල්ලක්, එනම් කොල්වින්ට මගේ තෙවන මනාපය දිය යුතුය කියා, ඇතිවුණි. මට එසේ සිතුණේ මගේ අවංක කැමැත්ත හෙවත් මනාපය ඒ ආකාරයේ නිසා මිස ඒ ජනාධිපති ඡන්දයේ දී මනාප ක්‍රමය උපයෝගී වෙන ආකාරය ගැන නිවැරදි වැටහීමක් ඇතුව නොවේ.

නමුත් එදා කොල්වින් ආර් ද සිල්වා පැහැදිලිව ම කියා සිටියේ තමන්ට අවශ්‍ය පළමු මනාපය මිස දෙවන තුන්වන මනාප නොවන බවත්, තමාට පළමු මනාපය දී දෙවෙනි මනාපය "කන්ට්‍රැක්ටර්" කොබ්බෑකඩුවට දිය යුතු බවත්ය.

ඒ කතාව ඇසූ මට මෙකී මනාප ක්‍රමය ගැන කරුණු වැටහුණු අතර ඒ අවබෝධයේ ප්‍රතිඵලය වූයේ කොල්වින් ආර් ද සිල්වාට තමන්ට හිමිවෙන්නට තිබුණු මගේ තුන්වෙනි මනාපය අහිමි වූවා පමණක් නොව, වාසුදේව නානායක්කාරට තමන්ට හිමිවීමට නියමිතව තිබුණු මගේ දෙවන මනාපය ද අහිමි වීමයි!

මා එදා මගේ මංගල ඡන්දය ලකුණු කළේ මනාප කිසිවක් සහිතව නොව කෙළින්ම කතිරයකිනි!

මුල්වරට මා වාසුදේව නානායක්කාරව දුටුවේ දෙවනවර ඔහුව දකින්නට වසර දෙකකට පමණ පෙර පැවැත්වුණු ඥාතියෙකු ගේ විවාහ මංගලෝසවයක දී ය. ඔහු එහි පැමිණ සිටියේ මනමාල මහතා ගේ මිතුරෙකු ලෙසින් යැයි සිතමි. එදා විවාහයට එක් සාක්‍ෂිකරුවෙකු ලෙස අත්සන් කළේ ද එවකට වසර කිහිපයකට කලින් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී අලුතින් පිහිටුවනු ලැබූ නවසමසමාජ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස පරාජය පත්වී සිටි හිටපු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ය.

වාසුදේව සමග ඒ විවාහයේ අනෙක් සාක්‍ෂිකරුවා වූයේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම ය. ඔහු මා කලින් සඳහන් කළ ලංකා සමසමාජ පක්‍ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වා ගේ දියණිය මනෝරි ගේ ස්වාමි පුරුෂයා විය.

නව සමසමාජ පක්‍ෂය යනු ලංකා සමසමාජ පක්‍ෂයෙන් කැඩී ගිය ඇමීබා පක්‍ෂයකි. එසේම ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ මුල් තිබුණේ ද ලංකා සමසමාජ පක්‍ෂයේ ය. වසර 1970 සිට බලයේ සිටි සමගි පෙරමුණ ආණ්ඩුවේ මේ පක්‍ෂ දෙක සභාගයක සිටිය නමුත් මේ මංගල්‍යය පැවැත්වෙන කාලය වෙන විට ඒ සභාගයන් කැඩී ගොස් තිබුණි. ඒ සභාග බිඳී යාමට මූලිකම හේතු වූයේ පක්‍ෂ අතර තිබූ මතවාදී නොගැලපීම් යැයි සිතමි.

අවාසනාවට මෙන් මේ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සරත් මුත්තෙට්ටුවේගම සහ නව සමසමාජ පක්‍ෂයේ වාසුදේව නානායක්කාර සාක්‍ෂියට අත්සන් කළ විවාහයට සිදුවුණේ ද ඒ සමගි පෙරමුණ සභාගයට සිදු වූ දෙය ම ය.

විවාහය මාස තුනකින් පමණ කැඩී ගියේ ය!

ඒ දිනවල මතවාදී කරුණු මත වාමාංශික සභාග මෙන් ම වාමාංශික දේශපාලන පක්‍ෂ ද කැඩී ගිය ද, 1988 දී පමණ ඇරඹුණු මේ සමසමාජ-කොමියුනිස්ට් වාමාංශික පක්‍ෂ යුගලේ විවාහය අද දක්වාම පැවතෙනු දැකිය හැකිය.

එයට හේතුව අද ඔවුන් ගේ මතවාදය වී ඇත්තේ මාක්ස්-ලෙනින්-ට්‍රොට්ස්කි වාදය නොව බඩගෝස්තරවාදය නිසා විය හැකි බව සිතේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
වාසුදේව නානායක්කාර සහ අපේ මියගිය ආච්චී ගැන මා ලියූ ලිපිය කියවා තිබේද?
http://rasikalogy.blogspot.com.au/2015/05/verbal-incontinence.html

(Image: https://scontent.xx.fbcdn.net/hphotos-xaf1/t31.0-8/11402281_10153398163973988_6214977310146290409_o.jpg)