Showing posts with label සුනිල් ආරියරත්න. Show all posts
Showing posts with label සුනිල් ආරියරත්න. Show all posts

Tuesday, 30 May 2017

නෙලා ගන්න බෑ නම් මක්කෙයි කොරන්නේ? - Unequal distribution of factors of production


සුනිල් ආරියරත්න ලියා නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" නම් ගීතය, මා දන්නා ආකාරයට කාරණා තුනක් නිසා, විචාරක අවධානයට ලක් වූවකි.

එයින් මුල් කාරණය නම්, මා ඊයේ ලියා පළ කළ "මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත" නම් සටහනේ සඳහන් වුනු පරිදි, සිංහල සාහිත්‍යයේ දී අප මල් උපමා කරන්නේ කාන්තාවන්ට නිසාත්, මල් නෙලීම යනුවෙන් අදහස් වෙන්නේ කාන්තාවක ගේ ආදරය ලබා ගැනීම පිළිබඳව නිසාත්, නන්දා මාලනී නමැති කාන්තාව මල් නෙලන්නට බැරියෝ කියා දුක් ගීයක් ගැයීමේ තිබෙන යම් නුහුරු බවක් නිසා ඇති වූ මේ ගීතය ලෙස්බියන් සමකාමී ආදරයක් පිළිබඳව ගැයෙන්නක් ද යන අදහසයි.

මගේ අදහස වන්නේ එය එසේ නොව, පිරිමියෙකු පිරිමි සිතකින් ලියූ ගීයක් කාන්තාවක් ගායනා කිරීම නිසා සිදු වූ අවුලක් බවයි. වෙනත් වචනවලින් කියතොත්, ඒ ගීය පද රචක සුනිල් ආරියරත්න ම ගායනා කළා නම්, කිසි අවුලක් නොදැනෙනු ඇත.

දෙවෙනි කාරණය වන්නේ "නෙලා ගන්න බෑ" ගීතය පිළිබඳව මීට සහමුළින් ම වෙනස් වූ විචාරයක් කළ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයෙකු වූ ද, සිංහල භාෂාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ද, සුචරිත ගම්ලත් විසින් ඉදිරිපත් කළ අදහසයි. ඔහු ඒ විචාරය ඉදිරිපත් කරනු මා ඇසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂයෙකු ලෙස දිවි ගෙවූ සමයේ එක්තරා සෙනසුරදාවක අප සහභාගී වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයක දී ය.

පසුව කචල් වී ගියත්, එකල සුසංයෝගයකැයි කියවුනු සුනිල් ආරියරත්න සහ නන්දා මාලනී දෙදෙනා සම්බන්ධ ගී නිර්මාණ සිංහල රසිකයින් අතර, විශේෂයෙන් ම තරුණ පිරිස් අතර, ජනප්‍රිය වීම ඇරඹුණු ඒ කාලයේ දී මේ සම්මන්ත්‍රණය සංවිධානය වී තිබුණේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ (Arts Faculty) ය. ඒ සඳහා සම්පත් දායකත්වය සැපයූවේ, එවකට විශ්වවිද්‍යාලය සේවය අහිමි වී සිටි පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල මහාචාර්යවරයෙකු ලෙස විශ්‍රාම ලැබූ සුචරිත ගම්ලත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මයිකල් ෆ්‍රනාන්දු සහ එම පීඨයේ ම සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු වූ අත්තනායක හේරත් යන තිදෙනා ය.

මෙහි දී, මයිකල් ප්‍රනාන්දු සහ සුචරිත ගම්ලත් අතර සිදු වූ වචන හුවමාරුවක් මිසක, මයිකල් ප්‍රනාන්දු විසින් පවසන ලද කිසිදු කාරණාවක් මගේ මතකයේ රැඳුණේ නැත.

අත්තනායක හේරත් පැවසූ කරුණුවලින් මගේ මතකයේ රැඳුණු එක ම, එක් අතකට පිස්සු පීකුදු, කරුණ වූයේ මෙයයි.

නන්දා මාලනී ගැයූ අම්මාවරුණේ ගීතයට (එය රචනා කර තිබුණේ සුනිල් ආරියරත්න නොව ධර්මසිරි ගමගේ ය) සංගීතය සැපයීම සඳහා ජල තරංග නම් වාද්‍ය භාණ්ඩය භාවිතා කර ඇත. පෘථිවියේ ජීවය ඇරඹුණේ ජලයේ නිසා, සියලු සත්වයින් ගේ ම අම්මා ලෙස සැළකිය හැකි ජලය ආශ්‍රයෙන් බිහිවෙන ජල තරංග වාදනය, අම්මාවරුණේ ගීතයට යොදා ගැනීම සුවිශේෂී කාරණාවකි!

ඒ සාහිත්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වීම නිසා මට අසන්නට ලැබුණු ජීවිතයට ම අමතක නොවන කාරණය වූයේ, සුචරිත ගම්ලත් විසින් "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතයේ පදමාලාව දරුණු ලෙස විවේචනයට භාජනය කරමින් කළ වෙනත් ආකාරයක අරුත් දැක්වීමයි.
නෙලා ගන්න බෑ
මගේ අත දිග නෑ
අනේ ඒත් තව මල් පිපියං
කෝටි ගණං තව මල් පිපියං

මට විතරද මල් පිපෙන්නෙ
මං විතරද මල් කඩන්නෙ
අනුං ඇවිත් මල් නෙළුවා වේ
මලේ සුවඳ මට දැණුනා වේ

අතින් නෙලන මල් පිපෙන්නෙ
පෙර පිණටයි මට හිතෙන්නෙ
මුළු ලොවට ම මල් පිපුණා වේ
එ මල් දකින ඇස් ලැබුණා වේ
සුචරිත ගම්ලත් අරුත් දැක් වූ ආකාරයට, මෙහි දී මල් යනුවෙන් අදහස් වෙන්නේ ධනයයි, මල් නෙලීම යනු ධනවාදී ආර්ථිකයේ දී ඒ ඵල නෙලා ගැනීමයි. සම්පත් බෙදී ඇති විෂම ආකාරය නිසා, ඒ මල් නෙලීම කළ හැක්කේ ධනපතියන්ට ම පමණි. නිර්ධනයින්ට ඒ මල් නෙලීමට අත දිග නැත!

ඒ හේතුව නිසා, එලෙස ධනපතියන්ට තව තවත් මල් නෙලා ගැනීමට ඉඩ ලැබේවා කියා ප්‍රාර්ථනය කරන මේ සුනිල් ආරියරත්න ලියූ, නන්දා මාලනී ගැයූ "නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය අන්ත ප්‍රතිගාමී එකකි!

-රසිකොලොජිස්ට්

"නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ" ගීතය පිළිබඳව අපේ අවධානයට ලක් වූ කාරණා තුනක් ඇතැයි මම මේ සටහන ආරම්භයේ දී සඳහන් කළෙමි.

එයින් මේ සටහනට අදාලත්වයෙන් අඩු ම (තෙවන) කාරණය නම්, මේ ගීතයේ තනුව පදනම් කරගෙන, මේ පදමාලාව යම් ආකාරයකට වෙනස් කරමින්, බැඳුණු කුණුහරුප ගීතයයි.

(image: https://anticap.wordpress.com/2015/11/01/wage-labor-and-capital-revisited/)

Monday, 29 May 2017

මල් නෙලීම, මල් කැඩීම සහ ලෙස්බියන් සමකාමී ගීත - Confused?


දේශපාලුවෙකු ගැන ලියවුණු පොතක් සඳහා "සුවඳ හමන මලක්" යැයි නම යොදා තිබුණ ද, මල් යන්න කාව්‍යමය ලියවිලිවල දී නම් සැමවිට ම පාහේ යොදා ගන්නේ කාන්තාව පිළිබඳ වර්ණනා කිරීම සඳහා උපමාවක් ලෙස ය.
සොඳුරු වුවනත ඔබේ සුපිපි මල් කැකුළක් ය
සිතට සොම්නස සඳන මිහිරිතම හැඟුමක් ය
යනුවෙන් මා අවුරුදු දහ අටේ දී සිතින් පෙම් කළ යුවතියක් පිළිබඳ පබැඳුණු කවියක ලියවුණු බව මට සිහිවේ.

අවාසනාවකට මෙන් මට අද අමතක කාරණය නම්, එලෙස මලකට උපමා කෙරුණේ අර දේවිනිය ද, නැතිනම් ආනන්දනිය ද, නැතිනම් විශාකාවිය ද එසේත් නොමැති නම් යසෝදරාවිය ද යන්නයි. මල යන සාමාන්‍ය වචනය නොමැතිව සුවිශේෂී මල්වර්ගයක් උපමාවට ගත්තේ නම්, උදාහරණ ලෙස, පිළිවෙලින්, නිදිකුම්බා, රෝස, උඩවැඩියා සහ ඇන්තූරියම්, මගේ මතකය මීට වඩා හොඳින් සුරුකී තිබෙන්නට ඉඩ තිබුණි.

එලෙස යුවතියන් මල්වලට සම කිරීම නිසා, යුවතියන් කණ්ඩායමක් හැඳින්වීම සඳහා "මල් පාත්තිය" යන "කලෙක්ටිව් නවුන් එක" හෙවත් සමූහ නාම පදය එකල යොදා ගැනුණි. යුවතියන් රැසක් පිරිවරා යනෙන කොල්ලන් ඊර්ෂ්‍යාබර සරදම් බසින් හැඳින්වුණේ මල් පාත්තියේ හිමිකරු වශයෙනි.

ඒ කාලයේ ව්‍යවහාරය අනුව, "මලක් නෙලා ගැනීම" යනු යුවතියක ගේ කැමැත්ත දිනා ගැනීම විය.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
කියා කරුණාරත්න අබේසේකර ලියා, මිල්ටන් පෙරේරා ගැයීය.

එයින් කියවෙන්නේ තමන්ට හිමි කර ගැනීමට නොහැකි තරුණියක ගේ ප්‍රේමය ගැන දුකින් තැවෙන පිරිමියෙකු ගේ ශෝකාලාපයයි.

පසු කලෙක, සුනිල් ආරියරත්න ලියා, නන්දා මාලනී ගැයූ ගීතයක මෙසේ කියවෙයි.
නෙලා ගන්න බෑ, මගේ අත දිග නෑ
ඒත් අනේ තව මල් පිපියන්
කෝටි ගණං තව මල් පිපියං!
මා මුලින් සඳහන් කළ පරිදි මල් යනුවෙන් උපමා කෙරෙන්නේ කාන්තාවට වීම සහ මල් නෙලීම යනු කාන්තාවක ගේ ආදරය දිනා ගැනීම වීම නිසා, මේ නන්දා මාලනී ගයන්නේ ලෙස්බියන් සමකාමී ආදර ගීතයක් දෝ යි කුකුසක් ඇති වීම ස්වභාවික ය.

ඒ කෙසේද යත්, විමල් අභයසුන්දර ලියා වසන්තා සඳනායක මුලින් ගයා පසුව නන්දා මාලනී විසින් ම දෙවන වරට ගයා තැටිගත කළ පහත ගීතය ලෙස්බියන් සමකාමී ගීයක් යැයි සිතීම හා සමාන ආකාරයෙනි.
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
සිනා පපා ටිකිරි නගා
ඇයි නෑවේ සීත සැඳෑ යාමේ
තෙත කොණ්ඩේ බේරෙයි දිය බිංදු පුරා
නැලවී නැලවී සීතේ ගී තාලෙන්
කරුණාරත්න අබේසේකර ලියා නාරද දිසාසේකර (මල්ලිකා කහවිට සමග) ගැයූ ගීයක පහත පද සමග ඉහත විමල් අභයසුන්දර ගේ අදහස අපූරුවට සමපාත වේ.
චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරීමලී නාලා වගේ
නමුත් මෙය නම් අනිවාර්යෙන් ම තරුණයෙකු විසින් තරුණියක් පිළිබඳව කරන ආදරබර වර්ණනාවකි.

පෙර කී "නෙලා ගන්න බෑ" ගීතය මෙන් ම "දොළ ළඟ ගුරු පාර දිගේ" ගීතයේ දී ද අවුල ඇති වන්නේ, පිරිමි සිතෙන් ලියූ ගී පද, කාන්තාවන් විසින් ගායනා කිරීම නිසා බව පෙනේ. ඒ ගී පදමාලා ද, නාරද දිසාසේකරට ම දුන්නා නම් මේ අවුල ඇති නොවෙනු ඇත!

නළ කුමරු පිළිබඳව දමයන්ති කුමරිය ගයන, පිරිමියෙකු වර්ණනා කෙරෙන "සීත කඳුකර හිමව් අරණේ" නම් පෙම් ගීය, පිරිමියෙකු (මහගම සේකර) විසින් ලියන ලදුව පිරිමියෙකු (අමරදේව) විසින් ම ගැයීම නිසා සිදු වී ඇත්තේ ද, මේ ආකාරයේ ම අවුලකි.

කාලයත් සමගම, මල් නෙලීම හෙවත් මල් කැඩීම යන ක්‍රියා පදය ලිංග භේදයෙන් තොර වී ගොස් ඇති බව පෙනේ. අද ව්‍යවහාරික භාෂාවෙන් මල් කැඩීම යන්න යොදා ගන්නේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම තම සිත් ගත් අය සමග, විශේෂයෙන් ම ජංගම දුරකථන හරහා, අල්ලාප සල්ලාප කිරීම හැඳින්වීම සඳහා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම යනු මල් නෙලීම හෝ මල් කැඩීමට වඩා හාත්පසින් ම වෙනස් කටයුත්තකි. වාසනාවට හෝ අවාසනාවට මට මල් මල් එතීම සහ මල් ගැසීම හෙවත් මල් ඉරීම පිළිබඳ කිසිදු අත්දැකීමක් නැත!

සුනිල් ආරියරත්න / නන්දා මාලනී ගීත පිළිබඳව සුචරිත ගම්ලත් ගේ විචාර පිළිබඳ මගේ මතකයන් ඊළඟට ලියමි.