Showing posts with label ජාතිවාදය. Show all posts
Showing posts with label ජාතිවාදය. Show all posts

Tuesday, 7 May 2024

නලින් ද සිල්වා පිළිබඳව වචනයක් දෙකක් - A wasted life


තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා හෙවත් කවුරුත් දන්නා පරිදි නලින් ද සිල්වා පිළිබඳව වචනයක් දෙකක් ලිවීමට සිතුණි. එයට මූලික හේතුව නම් ඔහුගේ මරණයයි.

මට ඔහු ගැන කීමට ලොකු දෙයක් නැත. නමුත් කීමට තිබෙන සුළු දෙය හෝ කීමට ඉදිරි කාලයේ මීට වඩා හොඳ අවස්ථාවක් ලැබේ යැයි නොසිතන නිසා මෙසේ ලියමි.

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ ආචාර්ය නලින් ද සිල්වා පිළිබඳව මගේ මතකය අසූවේ දශකයේ මුල් භාගය දක්වා දිව යයි. ඒ වෙන විට ජනප්‍රිය මුද්‍රිත ප්‍රකාශනයක් වී තිබුණු දිවයින ඉරිදා සංග්‍රහයේ නලින් ද සිල්වා ලියන ලිපි නිරතුරුවම පළවිය. ඒ ලිපිවලින් ගම්‍යවූ මූලික අදහස්වලට සහ මෙන්ම ඒවායේ සාමාන්‍ය දිශානතිය ද මගේ සිත් ගත් බැවින් ආචාර්ය නලින් ද සිල්වා එක්තරා ආකාරයකට එකල මගේ මෙන්ම, මා වැනි සමාජ දේශපානල කරුණු පිළිබඳ උනන්දුවක් දැක්වූ තරුණ කොටස්වල වීරයෙකු බ බවට පත්විය.

නලින් ද සිල්වා ඒ ලිපි ලියූ භාෂාවේ අඩංගු වී තිබුණු සියුම් උපහාසය ද ඔහුගේ ලිපි අපට රසවත් වීමට එක් හේතුවක් වන්නට ඇත.

ඒ කාලයේ නලින් සිල්වාගේ අදහස් ඉතා ප්‍රගතිශීලී මෙන් ම, ඉදිරිගාමී ද විය. කළ යුතු ආකාරයට ම, පැවතුණු යූඇන්පී ආණ්ඩුව ගැන ඔහු සැම විට ම පෑවේ නිර්දය විවේචනයකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සමාජ විද්‍යා සංගමයේ මා ලේකම් ලෙස කටයුතු කළ අපේ තෙවෙනි වසරේ දී නලින් ද සිල්වාගේ දේශනයක් සංවිධානය කිරීමට ද හේතු වූයේ දිවයින පුවත්පතේ ඔහුගේ ලිපි කියවා තරුණ අපේ සිත් තුල ඇති වී තිබුණු යහපත් හැඟීමයි නිසා බව අමුතුවෙන් කිවයුතු නැත.

මේ දේශනය සඳහා ඔහුට ආරාධනා කිරීමට මම කොළඹ නොගියෙමි. මා කළේ, අපේ ආරාධනය සහ යෝජිත දිනවකවානු සහිත ලිපියක් ලියා තැපැල් කිරීම පමණි . ඔහු අපේ එම ආරාධනය පිළිගෙන අපට ඒ බව දන්වා එවීය.

ඉන්පසු මා කළේ විශ්වවිද්‍යාලයේ කාමරයක් භාවිතා කිරීම සඳහා ශිෂ්‍ය සුභසාධක අංශයෙන් ෆෝර්මයක් පුරවා දී අවසර ගැනීමයි. ඉන්පසු අපි මේ යෝජිත දේශනය ගැන දැන්වීම් කිහිපයක් විශ්වවිද්‍යාලයේ විවිධ තැන්වල පළ කර ඒ සඳහා සූදානම් වීමු.

දේශනය පැවැත්වීමට නියමිත වූයේ සතියේ දිනයක හවස හතර හමාරට ය. ඊට ස්වල්ප මොහොතකට කලින් මා සිතන පරිදි බසයකින් පේරාදෙණිය හන්දියට පැමිණ එතන සිට පයින් ගම්පොළ අලුත් පාරේ ඇවිදගෙන පැමිණි නලින්ද සිල්වා ඉංජිනේරු පීඨයේ පේරාදෙනිය පැත්තේ පිහිටි පඩිපෙළ දිගේ උඩට නැග පීඨය දෙසට එනවා මම දුටුවෙමි.

මා ඔහු මුලින්ම දුටුවේ එදා ය.

ඒ වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජාත්‍යන්තර තරුණ වර්ෂය ලෙස නම් කර තිබුණු නිසා අප ඔහුට යෝජනා කර තිබුණු දේශන මාතෘකාව වූයේ ඒ හා සම්බන්ධ, මගේ මතකය පරිදි නූතන ලාංකික තරුණ පරපුරේ කාර්යභාරය වැනි එකකි. එය කුමක් වුවත්, කළ යුතු පරිද්දෙන්ම, නලින්ද සිල්වා කළේ තමන්ගේ අදහස් රිසි පරිදි කියාපෑමයි.

එදාත් තම දේශණයේ දී නලින්ද සිල්වා පැවසූ එක් කරුණක් පමණක් අමතක නොවන සේ මගේ මතකයේ රැඳී ඇත. දේශනය අවසානයේ දී සභාවෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එද්අඅ ඔහු කීවේ එවකට ලංකාව ආණ්ඩු කළ ජේආර් ජයවර්ධනගේ යූඑන්පී ආණ්ඩුව පරාජය වෙනත් ආණ්ඩුවක් පිහිට වූ වහා ම කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ එක්සත් ජාතික පක්ෂය තහනම් කර දැමීම බවයි.

නලින් ද සිල්වා මට දෙවන වරට මුණගැසුනේ ඊළඟ වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා තිබුණු කාලයේ දී ය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහනුවර නගරයේ ශාලාවක ප්‍රසිද්ධ මහජන සම්මන්ත්‍රණයක් සංවිධානය කෙරුණි. මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වූයේ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු විශ්වවිද්‍යාල සංශෝධන පනතට විරුද්ධව අදහස් ඉදිරිපත් කිරීමයි. ප්‍රගතිශීලී කථිකයකු ලෙස මෙන්ම, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස ද අප දන්නා නලින්ද සිල්වාට ද මෙයට ආරාධනාවක් කෙරුණි. ඒ ද මූලිකව ම ලිපියක් මගිනි.

දින කිහිපයකට පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ රැස්වීමකට සහභාගි වීම පිණිස මම කොළඹ විශ්ව විද්‍යාලයට ගියෙමි. රැස්වීම ඇරඹීමට පෙර මා නලින්ද සිල්වා හමුවීමට, මට මතක විදිහට ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පැවති, ඔහුගේ කාර්යාල කාමරයට ගියෙමි. මා කවුද යැයි හඳුන්වා දුන් පසු ඔහු මට පවසා සිටියේ අපේ යෝජිත සම්මන්ත්‍රණය සඳහා (වෙනත් වැඩරාජකාරි කරුණු නිසා) ඔහුට සහභාගිවීමට නොලැබෙන බවයි.

පෙර දින දෙකේ දී හමු වූ විට මෙන් කතාබහ නොකළ ද මා නලින්ද සිල්වාව තුන්වෙනිවරට දුටුවේ එයින් අවුරුදු හතකට පමණ පසු කැලණිය විශ්වවිද්‍යාලයේ දී ය.

ඒ වන විට මම කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික කළමනාකරණ (ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට්) අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු මෙන් සේවය කරමින් සිටියෙමි. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා සංගමය වැනි ශිෂ්‍ය සංගමයකින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. එහි තේමාව වූයේ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයයි. ආරාධිත ලේඛක දේශකයින් වූයේ නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්නය.

නලින් ද සිල්වාගේ මරණයෙන් පසු ලිය වී තිබුණු සටහන් කිහිපයකින් මා දැන ගත්තේ මේ ආකාරයේ නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්න ද්විත්ව දේශනයෙන් සමන්විත වූ සම්මන්ත්‍රන විශ්වවිද්‍යාල කිහිපයකම එකල සංවිධානය වී ඇති බවයි.

මේ වන විට මගේ මතකයට අනුව නම් නලින් ද සිල්වා මතවාදී ලෙස අර්ධ මරණයකට පත් වී සිටියේය. තවත් කලකට පසුව නාථ දෙයියන් වැනි බහුභූත පැවසීමට තරම් මොලේ කුරුවල් වී ආබාධිත තත්ත්වයෙන් නොසිටිය ද ඔහු ඒ වන විට උග්‍ර ජාතිවාදියෙකු ලෙස පෙනී සිට අයෙකු වූ අතර මා වැන්නන්ගේ අප්‍රසාදයට ලක් වී සිටියේය.

ඊට සාපේක්ෂව, වික්‍රමබාහු කරුණාරත්න යනු ජනවාර්ගික ප්‍රශ්නයේ දී නිවැරදි මතවාදයක් දැරූ, එය නිර්භයව ප්‍රකාශ කරමින් සුළු ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටි අතිශය ප්‍රගතිශීලී විද්වතෙකු විය.

උත්ප්‍රාසයට කරුණ නම් හැත්තෑවේ දශකයේදී නලින් ද සිල්වා සහ වික්‍රමබාහු කරුණාරත්න යනු "එක වල්ලේ පොල්" වීමයි. එනම් ඔවුන් දෙදෙනා ම, මුලින් සමසමාජ පක්ෂයේ තරුණ සාමාජිකයින්ව සිට, පසුව නව සම සමාජ පක්ෂය ආරම්බ කර එහි නායකයින් සහ න්‍යායාචාර්යවරුන් වීමයි.

නලින් ද සිල්වාගේ දෙමළ විරෝධී ජාතිකවාදී මතවාදයේ ම ගැලී සිටි අයෙකු වන ගුණදාස අමරසේකර ගේ "ගමනක ..." ප්‍රබන්ධ කතා මාලාවේ ම එක් කෘතියක සඳහන් වෙන "ත්‍රී ඩොක්ටර්ස් පාටි" යනු මෙම නව සමසමාජ පක්ෂයයි. එහි "ත්‍රී ඩොක්ටර්ස්" යනු ආචාර්ය නලින්ද සිල්වා, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ ආචාර්ය කුමාර් ඩේවිඩ් ය.

එදා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු එම සම්මන්ත්‍රණය දෙපාර්ශවයක් අතර විවාදයක් ම නොවුනත් මේ දෙදෙනාට ඒ සඳහා ආරාධනා කර තිබුණේ ජනවාර්ගික ප්‍රශ්නයේ දෙපාර්ශවයක් නියෝජනය කිරීමට බව කිසිවකුට රහසක් නොවීය. ඔවුන් දෙදෙනා ද තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු දැක්වුවත්, නලින් ද සිල්වාගේ තර්ක ඉතා දුර්වල ඒවා වූ බවත් සහ වික්‍රමබාහු කරුණාරත්න හමුවේ ඔහු නිකමෙකු සහ අවස්ථාවාදී ප්‍රතිගාමියෙකු බවත් පැහැදිලි වූ බව මගේ මතකයයි.

ඊළඟට නලින් ද සිල්වා මගේ නෙත ගැටුණේ තවත් වසරකට පමණ පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සමාජ ශාලාවේ දී ය. එදින මා එහි ගියේ ෆූටා හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයේ රැස්වීමට කැලණිය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරමින් එහි සමලේකම් ලෙස සහභාගි වීමටයි.

නලින් ද සිල්වා එකල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපතිවරයා විය. එම රැස්වීම පැවැත්වුණු දිනය වෙන විට කොළඹ විශ්වවිද්‍යාලය ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි. ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව වූයේ, ඔහු විසින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් ප්‍රකෝපකාරී කටයුතු සඳහා යොමුකරනවා ය වැනි එකක් යැයි සිතමි. ඒ කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වූයේ පසුව දේශපාලුවෙකු වූ ජී එල් පීරිස් ය.

නලින් ද සිල්වා පිළිබඳ පසුගිය දිනවල සංසරණය වුණු සටහන් කිහිපයකම සඳහන් වූ ආකාරයට ශිෂ්‍යයින් ප්‍රකෝපකාරී කටයුතු සඳහා යොමු කිරීම කෙසේ වෙතත්, පැයක දේශනයකින් ඔහු විෂයය කරුණු ගැන වැය කරන්නේ විනාඩි විස්සක් පමණක් බවත් ඉතිරි කාලය දේශපාලන කරුණු ගැන කෝපයෙන් තම මත ඉදිරිපත් කරමින් බැණ වදින බවත් දැන ගන්නට ලැබුණි.

ෆූටා හෙවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයේ සභාපති විය හැක්කේ එහි සාමාජික විශ්වවිද්‍යාලයක ආචාර්ය සංගමයක සාමාජිකයෙකුට පමණි. විශ්වවිද්‍යාලයක ආචාර්ය සංගමයක සාමාජිකයෙකු වීමට නම් එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන්නෙකු විය යුතුය. නලින් ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයේ සේවයෙන් තාවකාලිකව නෙරපා දමා තිබුණු නිසා, ඔහු එදා එම රැස්වීමට සහභාගී වී සිටියේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සංගමයේ විශේෂ නියෝජිතයෙකු ලෙස බව කියවුණි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සංගම් සමිති සම්මේලනයට අදාල කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සභාපති නලින් ද සිල්වා ගේ වැඩ තහනම ගැන සභාවේ අවධානය යොමුවිය. එහි දී මට වැටහුණේ, ඒ පිළිබඳව ෆූටාව විසින් නිවේදනයක් නිකුත් කිරීම, සාකච්ඡාවක් පැවැත්වීම වැනි දෙයකට අමතර කිසිවක් කිරීමේ අභිලාශයක් නැති බවයි. එදින ෆූටා රැස්වීමට විවෘත විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වී සිටි කථිකාචාර්යවරයා කියා සිටියේ මේ ගැන තමන්ගේ රැස්වීමේ දී සාකච්ඡා කළ බවත් "ද ඔපීනියන් ඔෆ් ද මෙම්බර්ස් වෝස් එ ඩිවයිඩඩ් වන්" බවත් ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ දී මේ කාරණය අප සාකච්ඡා කර නොතිබුණු නිසා, ඒ පිළිබඳව සමලේකම් ලෙස මට හෝ සභාපති ලෙස සරත් අමුණුගමට කිව යුතු දෙයක් නොතිබුණි.

නලින් ද සිල්වා පස්වෙනි සහ අවසානවරට මගේ නෙත ගැටුණේ 2007 හෝ 2008 වැනි වසරක නොවැම්බරයේ දී පියා සහ මව බැලීමට මා ලංකාවට ගිය සමයක මගේ පැරණි සේවා ස්ථානය වූ කැලණිය විශ්වවිද්‍යාලයට ගිය අවස්ථාවේ දී ය. හිතමිතුරන් හමු වී, මා කන්දෙන් පහලට බසිද්දී නලින් ද සිල්වා කන්ද නගිමින් සිටියේ ය. සේවයෙන් නෙරපා දැමූ කාලයේ මලාවි වැනි රටවල ද සේවය කර පසුව යලිත් ලංකාවේ විශ්වවිද්‍යාල සේවයට එක් වී සිටි නලින් ද සිල්වා ඒ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ගණිත අංශයේ මහාචාර්ය පදවියක් දැරූ අතර පීඨාධිපති ලෙස ද කටයුතු කළේ ය. ඔහුගේ මොලේ සම්පූර්ණයෙන් ම කුරුවල් වී, නලින් ද සිල්වා මනුස්ස කමින් මියගියේ මේ කාලයේ දී ය.

ඔහුගේ මරණය අරභයා දිවයින පුවත්පත පළ කර තිබුණු කතුවැකියේ මේ තත්වය ගැන මෙසේ සඳහන් විය. දිවයින යනු ආරම්භයේ දී නලින් ද සිල්වාට තම මතවාදය පතුරවා හැරීමට ප්‍රකාශන අවකාශයක් දුන් පුවත්පත බව සිහිපත් කරමි.
මහාචාර්ය නලින් ද සිල්වා සිය මත ප්‍රචාරය කිරීම සඳහා යොදාගත් ප්‍රමුඛ වේදිකාව වූයේ දිවයින, විදුසර සහ දි අයිලන්ඩ් නමැති පුවත්පත් ය. මේවා මගින් ඔහු දේශනා කළ ධර්මය කොතරම් යථාර්ථවාදී වුවද ඒවායේ ස්වරූපය ඉතාම සාහසික විය. එබැවින් නලින් ද සිල්වා එක ලිපියක් පත්තරේ පළ කරන විට ඊට උත්තර වශයෙන් තවත් ලිපි සීයක් අපට ලැබිණ. ඔහු සතු එකම දුර්වලතාව වූයේ ප්‍රතිවිරුද්ධ මත පිළිගැනීමට වූ නොකැමැත්තය.

පසුකාලයේදී ඔහු ලියන දෑ පුවත්පත්වල පළ කිරීමට නොහැකි තරම් සැඩ පරුෂ විය. ඒවා පත්තරවල පළ නොවුණු කල්හි ඔහු අන්තර්ජාලයට පිවිස බ්ලොග් එකක් හදාගෙන මත පැතිරවීමෙහි නියුතු විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සේවයෙන් පසු විශ්‍රාම ගිය ඔහු එක් වැදගත් ප්‍රකාශයක් කළේ ය. එනම්, තමන් සේවයෙන් විශ්‍රාම යන්නේ Emiratus Professor හෙවත් සම්මානනීය මහාචාර්ය පදවියක් නොලබා නිසා, තමාව තව දුරටත් මහාචාර්ය ලෙස හැඳින්වීම වැරදි බවයි. අවුරුදු අසූවක තම දිවිය හමාර කළ නලින් ද සිල්වා පිළිබඳ මගේ අවංක අදහස මෙසේ එක් කෙටි වාක්‍යයකින් ලිවිය හැක.

අවසානයේ නාස්ති වී ගිය ජීවිතයක්, අපරාදේ!

- රසික සූරියආරච්චි

(ඡායාරූපයෙන් දැක්වෙන්නේ මියගිය තකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර් ද සිල්වා ගේ අවසාන කටයුතු සිදු කෙරුණු Chapel of the Angles - දේවදූතයින්ගේ කුඩා දෙව්මැදුර නම් ස්ථානයයි. ඔහුගේ ආත්මය නාථ දෙව් තුරුලේ සැනසෙනවා ඇතැයි සිතමි.)

(image: Google Street View)

Monday, 3 August 2020

ඔබේ ඡන්දය සහ මනාප මෙන්න මෙහෙම දෙන්න - How to vote and how not to vote


ලංකාවේ මහ ඡන්දයට ඇත්තේ තව දින දෙකකි. ඡන්ද බලය හිමි පුරවැසියෙකු වුව ද විදෙස්ගතව ජීවන වන මට මෙවර කිසිසේත්තම ලංකාවට එන්නට වෙන්නේ නැත.

මා ලංකාවට පැමිණියොත් මගේ ඡන්දය භාවිතා කරන ආකාරය නම් පෙර සේම ය. වෙනත් වී නැත. ඒ ගැන පසුව ලියමි.

එතෙක් මෙන්න මෙවර ඡන්දය දිමට අදහස් කරන ලාංකිකයින්ගෙන් මා කරන ඉල්ලීම.

ඔබේ ඡන්දය දීමේ දී කරුණාකර මෙලෙස කටයුතු කරන්න.

  1. අපව නිවැරදිව ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජනය කළ හැක්කේ අප හා සමාන අයට ය. එනිසා නමින් ඇමතිය හැකි, එසේ නොමැති නම් සහෝදරයා සහෝදරිය කියා ඇමතිය හැකි අයකුට පමණක් ඡන්දය/මනාපය දෙන්න.

  2. ඔබෙන් ඡන්දය ඉල්ලන පුද්ගලයාට ඡන්දයට පෙර සහ නැතිනම් පසුව ඔබ ඇමතිය යුත්තේ මහත්තයා නෝනා හෝ මැතිතුමා තුමිය කියානම් ඔවුන්ට ඔබව නියෝජනය කළ නොහැක. ඔවුන් පාර්ලිමේන්තුවේ දී නියෝජනය කරනු ඇත්තේ ඔවුන් හා සමාන පිරිසකි. එනිසා එවැන්නන්ට ඔබේ ඡන්දය/මනාපය දෙන්න එපා.

  3. යම්කිසි ඡන්ද අපේක්ෂකයෙකු රට, ජාතිය, ආගම, මව්බිම, දේශප්‍රේමය, මාතෘ භූමිය, අම්මගෙ රෙද්ද වැනි වචන භාවිතා කරයි නම් එවන්නන්ට ඔබේ ඡන්දය මනාපය/දෙන්න එපා. ඉතිහාසය පුරාම අපේ අත්දැකීම නම් එවැනි පුද්ගලයින් අතිශය ජාතිවාදී අවස්ථාවාදීන් බවයි.

  4. අපේක්ෂක ලැයිස්තුවල සිටින කාන්තාවකට ඔබ ඡන්දය මනාපය දීමට බලාපොරොත්තු වන්නේ නම්, කාන්තා අයිතිවාසිකම් ගැන හඬ නගන අයකුට පමණක් ඡන්දය දෙන්න. එසේ නොමැතිව, "අනේ අපි කාන්තාවන් ලෙස අපිට හිමි තැන දන්නවා, අපිට උඩ මළුවට, පත්තිරිප්පුවට යන්න ඕනෑ නැහැ" වැනි පසුගාමී ප්‍රකාශ කර ඇති අයට ඔබේ මනාපය ඡන්දය දෙන්න එපා.

  5. සමාජයේ කොටසක් වන සම-රිසි ලිංගිකත්වයක් ඇති (සමලිංගික/හෝමෝසෙක්ෂුවල්) පිරිසට අපහාස කරන හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළි නොගන්නා හෝ කිසිදු අපේක්ෂකයෙකුට ඔබේ ඡන්දය මනාපය දෙන්න එපා.
වෙලාව ඇති නම් මේ වීඩියෝව ද නරඹන්න.



ස්තුතියි.

-රසික සූරියආරච්චි

Tuesday, 24 July 2018

කළු ජූලිය සහ ජවිපෙ - Thanks JVP


යම් කිසි පුද්ගලයෙකු හෝ සිදුවීමක් පිළිබඳ පුවත "ජාත්‍යයන්තරයට යෑමක්" ගැන අද සමහර මාධ්‍යවලින් ඇසේ. ඒ නිසා ම, ඒ යෙදුම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවලට ද බෝ වී ඇත.

එසේ වුවත්, ජාත්‍යයන්තර යන වචනයේ අරුත ජාතීන් අතර යන්න නිසා, මේ ජාත්‍යයන්තරයට යෑම යනු නිවැරදි යෙදුමක් නොවන බව භාෂා විශාරදයින් ගේ මතයයි.

ජාත්‍යයන්තරයට යෑම යන්නෙන් අද අදහස් කෙරෙන කාරණයට සමාන තේරුමක් ගෙන ඒම සඳහා, අප දන්නා කාලයේ යෙදුණේ ලෝක ප්‍රසිද්ධ වීම යන්නයි.

සමහරු පවසන ආකාරයට ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ තේ නිසා ය. සමහරුන් පවසන්නේ මැණික් නිසා කියා ය.

රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ගත කල, සමහරුන්ට අනුව ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ 2009 දී ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය යැයි පැවසෙන ඇල්ටීටීය පරාජය කිරීම නිසා ය. තවත් සමහරුන් පවසන්නේ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධියට පත් කළ සිදුවීම වූයේ 2006 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම කියා යි.

නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරට ගියේ එසේ නැති නම් රටේ සිදුවූ ලෝක ප්‍රසිද්ධියට කෙසේ වෙතත් ලෝක කූප්‍රසිද්ධියට පත් වූ සිදුවීම වූයේ රටේ නමට නොමැකෙන කළු පැල්ලමක් එක් කළ 1983 ජූලි ජාතිවාදී කලබලය බව මගේ අදහසයි.

මා මේ කෙටි සටහන ලියන්නේ ඒ කුරිරු ජාතිවාදී මිනීමැරුම්, මංකොල්ලකෑම් ගැන කතා කිරීමට නොව, ජූලි කලබලයේ අතුරු ඵලයක් ලෙස සිදුවුණු ජනතා විමුක්ති පෙරමුණේ තහනම සහ ඉන් කලකට පසු රටේ ඇති වුණු විනාශකාරී තත්වය ගැන මගේ අදහස ඉදිරිපත් කිරීමටයි.

ජූලි ජාතිවාදී ප්‍රහාරවලින් දින දෙකකට පමණ පසුව, එදා බලයේ සිටි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙන කළේ ජනතා විමුක්ති පෙරමුණ ද, කේපී සිල්වා ලේකම් වූ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ද, වාසු-බාහුගේ නව සමසමාජ පක්‍ෂය ද, ජාතිවාදී කෝලාහල මුවාවෙන් රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණය කළේ ය යන භයානක චෝදනාව යටතේ තහනම් කිරීමයි. ඒ ඒ පක්‍ෂවල නායකයින් සිරභාරයට ගැනීමට නියෝග කරන ලදී.

මුලින් ම පොලිසියට භාර වූයේ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් ය. පැවැත්වුවා යැයි කියන ලද පරීක්‍ෂණයකින් පසුව ඔවුන්ව නිදහස් කර පක්‍ෂ තහනම ඉවත් කරන ලදී.

නව සම සමාජ පක්ෂයේ නායකයින් මාස කිහිපයක් සැඟවී සිට පසුව විජය කුමාරණතුංගගේ මැදිහත්වීම සහිතව එළියට පැමිණි පසු නිදහස් වූ අතර පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී.

නමුත් 1983 ජූලියේ දී ම යටිබිම්ගත වූ ජවිපෙ නායකයින් පසුව ඔවුන්ව මරා දමන තෙක් ම එළියට ආවේ නැත.

ජූලි කලබලවලින් මද කලකට පසුව ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ චෝදනා යටතේ යම් දේශපාලන කණ්ඩායමකට විරුද්ධව නඩුවක් පැවරුණ ද, ඒ උඩුවරගේ හෙන්රි පෙරේර වැනි පිරිසක් සම්බන්ධව සිටි ජාත්‍යන්තරය තියා ලෝකල්බූවාලාවත් නොදන්නා කණ්ඩායමකට විරුද්ධව මිස ජනතා විමුක්ති පෙරමුණට හෝ ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට හෝ නව සමසමාජ පක්‍ෂයට හෝ විරුද්ධව නොවේ!

ජූලි කලබල සම්බන්ධයෙන් හෝ ඒ අව්අස්සේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයකට හෝ ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් නැති නම්, විජේවීර සහ ගමනායක වැනි අය හැංගී නොසිට එළියට නොඑන්නේ ඇයි දැයි මා දිනක් රංජිතන් ගුණරත්නම්ගෙන් විමසූ විට ඔහු කීවේ විජේවීර ඇතුළු ජවිපෙ නායකයින් එළියට ආවොත් ඔවුන්ව මරා දැමීමේ තර්ජනයක් ඇති බවයි.

කෙසේ වෙතත්, නීතිගරුකව එළියට පැමිණ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර නැවත දේශපාලනයේ යෙදෙනු වෙනුවට ජවිපෙ නායකයින් කළේ දිගින් දිගටම බිම් ගත ව සිටිමින්, උතුරේ අරගලයට විරුද්ධව බහුතර සිංහල ජනමතය දිනාගැනීම සඳහා මුලින් ජාතිවාදයට කප්පම් නොදෙනු, ජනතාවට අයිතීන් දෙනු වැනි සටන් පාඨ, උතුරේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද වැනි පොත්පත්, විජේවීරගේ පණිවිඩ රැගත් කැසට්පට නිකුත් කරමින් සිට පසුව 1987 ශ්‍රී ලංකා-ඉන්දියා සාම ගිවිසුමෙන් පසුව, බැංකු මංකොල්ලකෑම්, ටී-56 සහ ගල්කටස් සටනක් හරහා දස දහස් ගණනකගේ ජීවිත ද සමග විනාශය කරා යාමයි.

මා 1983 සිට 1989 දක්වා ලැබූ අත්දැකීම් මත ජවිපෙට ස්තුතිවන්ත වෙන එක් කාරණයක් තිබෙන බව ද කිව යුතු ය.

එය නම් රට, ජාතිය, මව්බිම, දේශප්‍රේමය වැනි වචන සටන්පාඨ ලෙස ඉදිරිපත් කරන දේශපාලන කණ්ඩායම් සැබැවින් ම අවස්ථාවාදී නරුම භ්‍රෂ්ඨයින් බව සක්සුදක් සේ ඔප්පු කිරීමයි.

එය 1990 සිට ගතවෙමින් තිබෙන පසුගිය දශක තුනක පමණ කාලයේ දී දියෙන් කිරී වෙන්කර හඳුනා ගැනීමට මට ඉතා ප්‍රයෝජනවත් විය.

-රසිකොලොජිස්ට්

Saturday, 12 May 2018

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983


මෙම ලිපියේ මුල් කොටසින් මා ඔබට කියූ කතාවේ සාරාංශය මෙසේ ය.

සුන්දර පේරාදෙණිය සරසවිය අසුන්දර කරමින්, බුද්ධිමතුන් පරයා මන්ද බුද්ධික ලා ද, සිංහයින් පරයා සිඟාලයින් ද රජ වූ 1983 මැයි 11 දින රාති‍්‍රයේ දී, ඉන් දෙමසකට පසු එළැඹීමට නියමිත කූප‍්‍රකට කළු ජූලියට පුරෝධාවකයක් සේ වෙමින්, සිංහල සිසුන් පිරිසක් විසින් දෙමළ සිසුන් පිරිසකට පහර දුන් බව සහ තම ආරක්‍ෂාව පතා දෙමළ සිසුන් ගම් බිම් කරා ගිය බවත් ය. මේ තිරශ්චීන සිදුවීම පිළිබඳව පසුව එළිදරව් වුණු කරුණු කිහිපයක් අද ඔබ හමුවේ දැක්වීමට මම අදහස් කරමි.

මේ දිනවල දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වන අපට විශ්වවිද්‍යාලය තුළ නේවාසික පහසුකම නොලැබුණු නිසා අප නැවතී සිටියේ ඊරියගම නිවෙසකය. පසු දා, එනම් මැයි 12 දා, උදේ වරුවේ සුපුරුදු පරිදි විශ්වවිද්‍යාලය කරා පැමිණි අපට පෙර දින රාතී‍්‍ර සිදුවීම මාලාව සහ උද්ගත වී ඇති තත්වය සැකෙවින් දැන ගැනීමට ලැබුණි. ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් විශාල ප‍්‍රමාණයක් නිවෙස් බලා පිටත්ව ගොස් හෝ පිටත්ව යමින් සිටියහ.

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ දූරදර්ශී නායකත්වය යටතේ වහා රැස් වූ ශිෂ්‍යයෝ, විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂාකාරී තත්වයක් උදාවී, තම සහෝදර දෙමළ සිසුන් ආපසු පැමිණෙන තුරු සියලූ අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටීමට තීරණය කළහ. අපට සති තුනක පමණ අනියම් නිවාඩුවක් ලැබුණි. මේ කාලයේ දී, අපේ ආචාර්ය මණ්ඩලයේ ද ආශිර්වාදය මේ තීරණයට ලැබුණු බව සඳහන් කළ යුතු ය.

එය එසේ වූවද, විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්, විශේෂයෙන් ම මැයි 11 දින, ඊට පෙර හා පසු දින කිහිපය තුළ කි‍්‍රයාකර ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකට බව මේ සිද්ධින් ඇසින් දුටු සාක්‍ෂිවලට අනුව පැහැදිලි වේ. දෙමළ සිසුන් ට පහර දීම එක්තරා අහඹු සිදුවීමක් නොව යම් මට්ටමක දී සැලසුම් කර මනා ලෙස මුදාහරින ලද්දක් බව ද ඔවුන් ඒ පහරදීම් සැලසුම් හෝ පහරදීම් පිළිබඳව හෝ කලින් දැනුවත්ව සිට ඇති බවට ද සැක ඇතිවේ. මුල් දිනයේ පහර දීමෙන් නොනැවතී, මැයි 12 සහ 13 දෙදින රාතී‍්‍ර කාලවල දී ද විශ්වවිද්‍යාලයෙන් බැහැර නොවී සිටි දෙමළ උපදේශකවරුන් කිහිප දෙනෙකුට පහර දීමට ද, මුල් දිනයේ පහරදීම් මෙහෙය වූ මැර සිසු නායකයින් ට ඉඩ ලැබුණේ ද මේ වගකිව යුතු ආචාර්යවරුන් ගේ කි‍්‍රයාකාරකම් හෝ කි‍්‍රයාවිරහිතභාවය නිසා ය.

මගේ මේ සටහනේ ඇතුළත් සිද්ධීන් පිළිබඳ විස්තර සඳහා පාදක වන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ (යාපනය) සංගමය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති විවිධ වාර්තා ය.

මැයි 11 රෑ පහරදීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිල්ඩා ඔබේසේකර ශාලාවේ ද, ජේම්ස් පීරිස් ශාලාවේ ද, මාර්ස් ශාලාවේ ද එකම කාල පරාසයක දී ඇරඹිණ. හිල්ඩා ශාලාවේ දී මුලින්ම පහර දීමට ලක්වූවේ බාලසූරියන් නම් ඉංජිනේරු පීඨ පළමු වසරේ සිසුවෙකි. යකඩ පයිප්ප කැබලි සහ පුටු කකුල් වලින් සන්නද්ධ වූ සිංහල මැර සිසු පිරිසක් එදින රාති‍්‍රයේ ඔහු සොයා පැමිණියහ. පසුව ඔහුට පවසන ලද පරිදි ඔහුට විරුද්ධව තිබූ චෝදනාව වූයේ දෙමළ භාෂාවෙන් මුදි‍්‍රත විවිධ පොත් පති‍්‍රකා ඔහුට තැපෑලෙන් පැමිණීමයි. එනිසාම ඔහු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් විය. විශේෂයෙන්ම හිල්ඩා ඔබේසේකර ශාලාවේ එවකට ශාලාධිපති ධූරය දැරූ ආචාර්යවරයාට නම්, ඒ එක් සඟරාවක මුල් පිටුව සැරසූ චිත‍්‍රය ම බාලසූරියන් ගේ ත‍්‍රස්තවාදීකම ගැන තීරණාත්මක සාධකයක් විය. මෙම චිත‍්‍රය වනාහී අන් කිසිවක් නොව එවකට සාමය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රචාරක කටයුතු වලදී ජාත්‍යයන්තර ක්‍ෂමා සංවිධානය පවා භාවිතා කළ, කූඩුවක සිර කළ පරවියෙකු ගේ චිත‍්‍රයයි. කූඩුව තුළ හෝ පරවියාට ඉගිලෙන්නට නොහැකිවන ලෙස උගේ පාද යදමකින් විශාල යකඩ බෝලයකට සවිකර තිබේ. බාලසූරියන් මේ මුල් පිටුව සහිත සඟරාවේ සම සංස්කාරකයෙකු විය. මෙයට අමතරව ඒ වන විට කවියකු ලෙස ද තරමක ප‍්‍රසිද්ධියක් ලබා සිටි බාලසූරියන්, මේ ලිපි ලේඛන නිසා ම කොටියෙකු බවට පත්විය. ඒ අපේ තාත්තලා ගේ කාලයේ ඕනැම නිදහස් සමාජ සංශෝධන මතධාරියෙකු සමසමාජ කාරයෙකු ද, අපේ කාලයේ එවැන්නෙකු ජේ.වී.පී කාරයෙකු වූවා සේමය.

මෙහි උත්ප‍්‍රාසජනක සත්‍යය නම්, එවකට එල්.ටී.ටී.ඊ. යනාදී සන්නද්ධ සංවිධාන අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියට ප‍්‍රතිවිරුද්ධ වාමාංශික අදහස් දැරූ බාලසූරියන්, පසුව ජූලි කලබල වලින් පසු සිය ඉගෙනීම් කටයුතු තාවකාලිකව නැවතුණු කාලයේ දී පවා එකතු වූයේ වාමංශික දේශපාලනමය සංවිධානයකට වීමයි.

මැර සිසු නායකයින් සහ ඔවුන් ගේ උසි ගැන්වීමට අවනතවූ කණ්ඩායම පුටු කකුල් යනාදියෙන් බාලසූරියන් ට සෑහෙන වෙලාවක් පහර දුන් පසු, ඔහු වෙත පැමිණි ශාලාධිපති ඔහුව කාර්යාලයට රැගෙන ගොස් ඇත. බාලසූරියන් ට තැපෑලෙන් පැමිණි සහ ඔහුගේ කාමරයේ තිබූ පති‍්‍රකා, සඟරා යනාදියේ චිත‍්‍ර සහ කාටූන් පමණක් (මේ සඟරා යනාදිය දෙමළ භාෂාවෙන් පල වූ ඒවා ය) ඒ වන විටත් අධ්‍යයනය කර සිටි ශාලාධිපති, උප කුලපති ගේ ද අනුදැනුම ඇතුව මුලින් විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයට ද, එතැනින් පොලිසියට ද භාර දුන්නේ ය. මෙම ප‍්‍රකාශන රහස් ප‍්‍රකාශන නොව ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන බවත් දෙමළ කියවීම දන්නා සහ බාලසූරියන්ව සඟරා සංස්කාරකවරයෙක් සහ කවියෙක් ලෙස හඳුනන සිවසේකරම් ඇතුළු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ගේ ඉල්ලීම් ද නොතැකුනි. පහර කා සිටි බාලසූරියන්, පොලිසියේ ද, කූප‍්‍රකට හතරවන තට්ටුවේ ද සංග‍්‍රහ දින දෙකක් විඳ චෝදනා විරහිතව නිවෙසට ගියේ ය.

මෙම පහරදීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා මැර සිසුවන් විසින් මුලින් ම උපයෝගී කොට ගත්තේ අපූරු නිමිත්තකි. මැයි 11 දින සවස් වරුවේ විශ්වවිද්‍යාලයට ඇතුළුවන ප‍්‍රධාන මාර්ගය අසල පිහිටුවා තිබූ පුවරුවේ සිංහල අකුරු උඩින් සිමෙන්ති වැනි උකු දියරයක් ගා තිබුණි. මෙය දෙමළ සිසුන් විසින් කරන ලද්දක් බවත්, ඔවුන් ට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බවත් මැර සිසු නායකයින් විසින් ප‍්‍රචාරය කරන ලදී. සරදමකට මෙන්, මෙය 1956 ශී‍්‍ර අකුරේ තාර ගෑ බවට සිදු කල ප‍්‍රචාර සහ ඉන් අනතුරුව මුදා හළ ප‍්‍රචණ්ඩත්වය සිහි ගන්වයි.

මා මුලින් සඳහන් කළ පරිදි, මැයි 11 රාති‍්‍රයේ දී, නේවාසිකාගාර තුනක දී දෙමළ සිසුන්ට පහර දෙන ලදී. විශ්වවිද්‍යාල බලධරයන් ගේ උදාසීනත්වය මෙම සිදුවීම් වලට වක‍්‍රාකාර අනුබලයක් දුන් අතර එය වඩාත් පැහැදිලි වන්නේ නිවෙස් කරා නොගොස් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල තනිකඩ ආචාර්යවරුන් සඳහා ඇති කාමරවල නැවතී සිටි ආචාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට 12 දා රාති‍්‍රයේ පහර දීමත්, ඉන් පසුදා විශ්වවිද්‍යාලයෙන් බාහිරව පිහිටා තිබෙන රෝහලේ දී ද මෙවැනි පහර දීම් සිදුවීමත් හේතුවෙනි. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් වූ, ප‍්‍රධාන මැර නායකයින් දෙදෙනා ගේ ශිෂ්‍ය භාවය තාවකාලිකව අත්හිටුවීම පවා සිදුවූයේ මේ ප‍්‍රධාන පහරදීමෙන් සති තුනකටත් වඩා ගතවී, ඒ වන විට නැවත අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි දෙමළ සිසුන් පිරිසකට මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් පහර දීමෙන් ද පසුව ය.

එදා මැයි 11 රාත‍්‍රියේ දී දෙමළ සිසුන්ට කළ පහර දීම, රටේ පාලයින්ගේ අනුදැනුම ඇතුව කාලයක් තිස්සේ සැලසුම් කර මුදා හළ ප‍්‍රචණ්ඩත්වයක් බවට සැක කිරීමට පැහැදිලි හේතු තිබේ. සමහර විට එය, ඉන් දෙමසකට පසුව රටපුරා මුදාහල ජාතිවාදී ප‍්‍රහාරයන් සඳහා කළ ලිට්මස් පරීක්ෂාවක් ද විය හැකිය.

පාලක එක්සත් ජාතික පක්ෂය හා එයට සම්බන්ධව විශ්විද්‍යාලය තුළ ක‍්‍රියාත්මක වූ සමවාදී ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකලාපය ඒ අනුව තීරණය කළ හැකි වුවත්, අප පුදුමයට පත් කළ කාරණයක් වූයේ එවකට පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ බලයේ සිටි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ පහරදීම් පිළිබඳව දැක්වූ නිෂ්ක‍්‍රිය ආකල්පයයි.

දෙමළ සිසුන් ආපසු විශ්වවිද්‍යාල භූමියට එනතුරු පන්ති වර්ජනයක නිරතවූයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පමණි. සිංහල, දෙමළ සහ සියලූ සිසුන්ට පොදු දේශන සහිත පාඨමාලා පැවැත්වුණු වෛද්‍ය, කෘෂි විද්‍යා, පශු වෛද්‍ය වැනි පීඨවල ද එවැනි පියවරක් ගැනීමට කිසිදු යෝජනාවක් හෝ මහා ශිෂ්‍ය සංගමයෙන් ඉදිරිපත්වූයේ නැත. ඔවුන් මුනිවත රුක්කහ.

ජනතා විමුක්ති පෙරමුණේ ඒ නිහඬතාවය කුමක් නිසාදැයි අපට හෙළිවූයේ ජාතිවාදී සටන් පාඨ සහිතව ඔවුන් 1984 දී යටිබිම්ගතව සිටිමින් මුදාහල ප‍්‍රචාරක ව්‍යාපාරයයි.

මේ පහරදීම් ගැන සොයන්නට සුපුරුදු පරිදි කමිටුවක් පත්කරන ලදී. කෙනත් ලැනරෝල් ගේ සභාපතිත්වයෙන් සහ කල්නායිඩු හා ඒකනායක ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් කමිටු වාර්තාව කියවූ පිරිස ගේ ප‍්‍රසංසාවට ලක්වුණ ද විශ්වවිද්‍යාල බලධාරීන් විසින් කිසි දිනක ප‍්‍රසිද්ධියේ එළිදක්වන නොලදී. මෙම වාර්තාව උපුටා දක්වන මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වාර්තාව පවසන්නේ පේරාදෙණියේ මේ සිදුවීම් මාලාව හුදෙකලා අහඹු සිදුවීමක් නොව රටේ දේශපාලන අවශ්‍යතාවයක් මත ඇති කරන ලද්දක් බවයි.

ලැනරෝල් වාර්තාවෙන් නම් කල මැරයන් සහ මැර සිසුවන් 18 ක් දෙනාට ලබා දුන් දඬුවමක් නම් මගේ මතකයේ නැත. මෙයින් වැඩි දෙනා රටේ පාලක දේශපාලන පක්‍ෂයට කෙළින්ම හෝ අනියම් ව හෝ සම්බන්ධතා තිබුණු අය බව ද කියවේ. මේ පිරිසෙන් 17 දෙනෙක් ම වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ විද්‍යා සිසුන් වීම ද විශේෂයකි. විශ්වවිද්‍යාල උගතුන් ගේ බුද්ධිමත් කම ගැන තවත් අවශ්‍ය කවර නම් සාධක ද? තුලසි වික්‍රමසිංහ නම් එයින් එක් මැර නායකයෙක් පසු කලෙක අයින්ස්ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන විශ්වවිද්‍යාල දේශකයෙක් විය. උගත්කම හා බුද්ධිමත්කම අතර ඇති හීන සහසම්බන්ධතාවය ගැන ඔහු හොඳම උදාහරණයැයි මම සිතමි.

කම්මල යැයි ආදරයෙන් හැඳින්වුණු මා උගත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තෝතැන්න වූයේ අපේ කලා කවයේ බිත්ති සඟරාවයි. මැයි 11 කළුවර රැයෙන් ටික දිනකට පසුව එහි පළ වූ කවකින් කියවුණේ එවර විශ්වවිද්‍යාලයේ වෙසක් සැරසිලි වලින් ඉස්මතු වන නව අරුතක් ගැනයි. වෙනත් රටක වෙනත් ජාතිකයෙකු වූ බුදුන් ගේ ලේ වෙනත් පාටක් දැයි එමගින් අසා තිබුණේ ජාතිවාදයේ නිෂ්ඵල බව කියා පෑමටය. මෙම නිසඳැස් කවිය හෙන්රි වර්ණකුලසූරිය ගේ නිර්මාණයක් විය.

අපේ පීඨයේම අඩු වශයෙන් එක් අයෙක් මෙයින් කිපුණි. ඔහු ඊළඟ කලාපයට පිළිතුරක් එවීය. එය පිළිතුරකටත් වඩා වස් කවියක් බව සමහරෙකු ගේ අදහස විය.

හෙන්රි වර්ණකුලසූරිය ද ප්‍රතිපිළිතුරක් ලියූ නමුත්, ශිෂ්‍ය සටන්, උපවාස සහ ප‍්‍රාණ ඇපකරුවන් මැද විශ්වවිද්‍යාලය වැසී ගියෙන් කවි සටන එයින් නැවතුණි.

ඉන් පසුව එළැඹියේ කූප‍්‍රකට කළු ජූලියයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
ලිපියේ මුල් කොටසට පිවිසුම
http://rasikalogy.blogspot.com/2018/05/ten-weeks-before-black-july-1983.html

(image: https://www.flickr.com/photos/55560337@N06/5147525341/)

Friday, 11 May 2018

මැයි එකොළහ කළුවර රෑ - Ten weeks before black July 1983




වර්ෂ 1983 පිළිබඳව සිහි කෙරෙන විට නිතැනින් ම අපේ මතකයට එන්නේ දකුණේ ජාතිවාදී කලබල ඇති වූ 1983 කළු ජූලියයි. ඒත් ඒ කූප‍්‍රකට කළු ජූලියට දෙමසකට කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ජාතිවාදී කලබලය ගැන දන්නේ රටේ ජනතාවගෙන් ඉතා අඩු ප‍්‍රතිශතයකි. මේ සටහන ඒ පිළිබඳව ය.

විභාග සමත් කළ හැකි උගතුන් වූ පමණින් ම කිසිවකු බුද්ධිමතෙකු නොවන බව අප කවුරුත් අසා පුරුදු කියමනකි. අහන්නන් වාලේ මෙය අසා තිබෙන නිසා ම අදහනු වෙනුවට එහි නිවරද තේරුම අත්දැකුමෙන් ම මනා ලෙස අවබෝධ කරගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා ඇති ප‍්‍රත්‍යක්‍ෂතම මාර්ගය වන්නේ උසස් පෙළ විභාගය සමත් වී ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන පිරිස් පිළිබඳ සමාජ සමීක්‍ෂණයක් කර බැලීමයි. ඉහත කියමන සනාථ කරවන උදාහරණ සපයන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පමණක් නොවේ. එහි ඇදුරෝ ද, තම සැබෑ බුද්ධි මට්ටම ප‍්‍රදර්ශනයේ ලා අති දක්‍ෂයෝ ය.

මේ නිසා ම විශ්වවිද්‍යාලීය සමාජය, රටේ පොදු සමාජයේ නිවරැදි පැතිකඩක් නිරූපණය කෙරේ යැයි ඉඳුරාම කිව හැකි වේ. බුද්ධිමත්හු මෙන් ම මන්දබුද්ධිකලා ද, ඥානවන්තයෝ මෙන් ම මහදැණමුත්තෝ ද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ මෙන් ම සියල්ල දත්තෝ ද, ඒ සමගම සිංහයෝ මෙන් ම සිංහ වෙස්ගත් සිඟාලයෝ ද රටේ ප‍්‍රතිශතයන් ට නොඅඩුව විශ්වවිද්‍යාලවල ද වෙසෙති. ඉදින්, රටේ කෙරෙන නොපනත්කම් ඒ අයුරින් ම විශ්වවිද්‍යාලය තුළ ද සිදුවීම අරුමයක් නොවේ. එසේම, විශ්වවිද්‍යාලයේ සිටින්නන් විභාග සමත් වූවන් වන නිසා, සමහර විට රටේ යම් නොපනත් කමක් වීමට පෙරාතුව ම එය කිරීමට සහ හැකිනම් එය ඊටත් වඩා තිරශ්චීන ලෙසින් කිරීමට, ඔවුන් සමත් වනු ඇත.

මේ දිගු හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, 1983 කළු ජුලියට පුරෝධාවකයක් වෙමින් ඊට මාස දෙක හමාරකට පෙර, මැයි 11 දින, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ අශෝභන, තිරශ්චීන සිදුවීම් කිහිපයක් සහ ඒ සම්බන්ධ වෙනත් කරුණු, මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ගේ දැන ගැනීම පිණිස සටහන් කිරීමටයි.

අවට පරිසරය, තුරු ලතා, ගොඩනැගිලි යනාදිය ගැන සලකන කල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල අතර අසමසම වේ. එයට තවත් හේතුවක් වන්නේ, පේරාදෙණිය නේවාසික විශ්වවිද්‍යාලයක් වීමයි. උතුර, දකුණ, වම, දකුණ යනාදී රටේ සෑම දිශාවකින් ම පැමිණි ශිෂ්‍යයෝ, වචනයේ සැබෑ අරුතෙන් ම එක හැලියේ බත් කමින් තුන් හතර වසරක් මෙහි ජීවත්වෙති. ඔවුන් ගේ වාසය සඳහා අරුණාචලම්, රාමනාදන්, හිල්ඩා ඔබේසේකර, අක්බාර්-නෙල් යනාදී පුද්ගල නාමයෙන් නාමාභිෂේක කොට තිබූ, නේවාසිකාගාර ශාලා යනුවෙන් පොදුවේ හැඳින්වෙන සුවිසල් මහල් ප‍්‍රාසාද තනවා තිබේ. ඒවා ද, ඊට අමතරව ගොඩනගා තිබෙන සනාතන මන්දිරය ඇතුළු වෙනත් පොදුකාර්ය විශ්වවිද්‍යාල ගොඩනැගිලි ද, පීඨ ගොඩනැගිලි සංකීර්ණයන් ද යනාදිය, ඓතිහාසික සිංහල ගෘහ නිර්මාණ ලක්‍ෂණයන් විදහා දක්වන පරිදි මනා නිමැවුමකින් යුතුව සාදන්නට හැකිවී ඇත්තේ කොරියන් යුද්ධයේ අතුරු ඵලයක් ලෙසින් රබර් මිල ඉහළ යාම නිසා ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය සවිමත්ව තිබූ සමයක එවකට කොළඹ තිබූ ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙනියන්නට පිඹුරුපත් සැකසුණු නිසා බව කියවේ.

පරිසරයේ සොඳුරු බව කෙසේ වූව ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ජීවිතය නම් දුෂ්කර වූ ද, කටුක වූ ද එකක් බව නන්දා මාලිනිය ගැයූ සුනිල් ආරියරත්න ගේ "හන්තාන අඩවියේ - පේ‍්‍රමයේ සුවඳ නොවේ" පදමාලාවෙන් මොනවට කියැවේ.

පුරා සිව් වසරක් ඒ හන්තාන අඩවියේ මා ගත කළ දිවියෙන් මගේ ජීවිතයට වූ යහපත කුමක්දැයි කිසිවෙකු මගෙන් විමසුව හොත් මා දෙන උපහාසාත්මක පිළිතුර නම්, ඒ වෙන කිසිවක් නොව අක්බාර්-නෙල් ශාලාවේ භෝජනාගාරයෙන් කොළ ගෝවා මැල්ලූම, මුං ඇට හොදි සහ මස් බොර සමග ලොකු ඇට හාලේ බත් රස ගුණ නොබලා ගිල දැමීම නිසා දශක දෙකකට පසුවත් අදත් මට ඕනෑම කුණු ගොඩක් ගිල නොවමාරා දිරවා ගන්නට ඇති හැකියාව බවයි.

ඒ සරදම් කෙසේ වෙතත්, මගේ පේරාදෙණිය සිව් වසරක ජීවිතයෙන් මා ලැබූ වටිනාම අත්දැකුම වන්නේ උතුරෙන්, නැගෙනහිරෙන් පැමිණි දෙමළ සිසුන් ඇසුරු කිරීමට ලැබීමයි. අපේ ඉංජිනේරු පීඨ කණ්ඩායමේ දළ වශයෙන්, සිංහල සිසුන් 125 ක් පමණ ද, දෙමළ සිසුන් 100 ක් පමණද, මුස්ලිම් සිසුන් 25 ක් පමණ ද වූහ. ඒ දෙමළ, මුස්ලිම් සිසුවෝ ද මා කලින් සඳහන් කළ ලොකු ඇට හාලේ බත්, ගෝවා කොළ මැල්ලූම සමග කෑහ. එසේ හෙයින්, අප වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන් ම එක හැලියේ බත් කෑ අය වෙමු. මේ නම් මා මහත් භාග්‍යයක් කොට සලකන සුවිශේෂ වූ අත්දැමීමක් ම විය. එය මා පාසැල් සමයේ දී සිංහලෙන් කතා කළ බෞද්ධ දෙමළ සිසුවෙකු වූ සෙල්වකුමාර් සමග කළ ඇසුරෙන් ලද අත්දැකීම් වලට වඩා සැම අතින්ම වෙනස් එකක් විය.

උතුරු-නැගෙනහිරෙන් පැමිණෙන සිසුවෝ අති මහත් බහුතරයක් සිංහල බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන පේරාදෙණියට පැමිණෙති. සමස්ත සිංහල සිසු පිරිසම එලෙස ම දෙමළ බස ලිවීම, කියවීම හෝ කතා කිරීම හෝ හසරක් නොමදැන එහි පැමිණෙති. අපේ සන්ධාන භාෂාව වන්නේ, පිඨයේ උපදේශක භාෂාව ද වන ඉංග්ලිෂ් ය. පේරාදෙණියේ වාසය කිරීමට ලිවීම කෙසේ වෙතත්, සිංහල තරමක් කතා කරන්නටත්, බස් රථ පුවරුවක් වත් කියවා ගන්නට හැකි තරමට සිංහල කියවීමේ දැනුමකුත් අවශ්‍යවේ. නවක සිසුන් සැම දෙන සඳහා ඉංග්ලිෂ් කඩිනම් පාඨමාලා පැවැත්වෙන අතර ක‍්‍රමවත් වැඩ පිළිවෙළක් නොතිබුණ ද නවක දෙමළ සිසුන් ට ජ්‍යෙෂ්ඨ දෙමළ සිසුන් විසින් කඩිනම් සිංහල කතාබහ පාඨමාලා සංවිධානය කෙරේ. මේ අතර තුර සිංහල දෙමළ සිසුන් දෙපිරිස අතර කතාබහ, මුල දී කණ්ඩායම් පැවරුම් විද්‍යාගාර කි‍්‍රයාකාරකම් වැනි අත්‍යාවශ්‍ය අධ්‍යාපනික කරුණු අරභයා ද, පසුව ඊට අමතරව විහිළු තහළු සහ අනෙකුත් සමාජමය කරුණු අරඹයා ද, බැරි බැරි ගාතේ ඉංග්ලිෂ්වලින් පටන්ගෙන පසුව ඉංග්ලිෂ්වලින් සහ හැකි පරිදි සිංහලෙන් ද සිදුවීම ඇරඹේ. මේ හේතුවෙන් දෙපිරිස අතර අනෝන්‍ය අවබෝධයක් මෙන්ම සුහදතාවක් ද ඇතිවේ. මෙය නම් වෙන කිසි තැනෙක නොලැබෙන සැබෑ භාග්‍යයකි.

අපේ පිඨයේ වැඩි ශිෂ්‍ය දේශපාලනයක් නොතිබුණි. ඒ කෙසේ වෙතත්, දෙමළ සිසුන් මේ අරභයා අනුගමනය කළේ නිශ්කී‍්‍රය පිළිවෙතකි. එයට හේතුව සරලය. අපේ තාත්තලා ගේ කාලයේ යම් ප‍්‍රගතිශීලි අදහසක් දැරුවෙක් වෙත්නම් ඔහු සමසමාජ කාරයෙක් සේ හංවඩු ගැහුණා සේම, අපේ කාලයේ යම් සමාජ ප‍්‍රතිගාමී කි‍්‍රයාවන් ට විරෝධතාවයක් දැක්වූයෙක් වූයේ නම් ඔහු ජේවීපී කාරයෙක් වූවා සේ ම, එවැන්නෙක් දෙමළ වූයේ නම්, ඒ 1983 ජූලියට පෙර සමයේ පවා ඔහු එල්ටීටීඊ කාරයෙක් බවට සැකයට භාජනය වන්නට ඉඩ තිබුණු බව දෙමළ සිසුන් හොඳින් දැන සිටින්නට ඇත. පසුව මා විස්තර කරන්නට අදහස් කරණ පරිදි සිදුවුණේ ද එයයි.

අප ඒ සුන්දර පේරාදෙණිය පරිසරයේ, අන්තර් ජනවාර්ගික සාමකාමී සහජීවනයේ යෙදෙමින් සිටි මේ සමයේ උතුරේ සටන, එහි මුලික හේතුව වූ ජනවාර්ගික ප‍්‍රශ්නය යටපත් කරමින්, බිම්බෝම්බ රැගත් දෙමළ ත‍්‍රස්තවාදයෙන් ද, පුස්තකාල ගිනිතැබීම්, අතුරුදහන් වීම් යනාදිය පෙරටු කොට ගත් රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් ද, ඉන්ධන ලබමින් හොඳින් ගිනිගන්නට පටන් ගෙන තිබුණි. මෙසේ කාලය ගත වෙද්දී, මගේ මේ ලිපියට උදෘත වී ඇති මැයි 11 දිනය උදාවිය.

බුද්ධිමතුන් පරදා මන්දබුද්ධික ලා රජ වූහ. ඥානවන්තයන් වෙනුවට මහදැනමුත්තෝ උපදේශක ලා වූහ. සිංහයන් වෙනුවට සිංහ වෙස්ගත් සිඟාලයින් පෙරට ආහ. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංහතියටම නින්දා කෙරිණ. පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන කැළලක් ඇතිවිය. සැලසුම් සහගතව කෙරුණා යැයි සැක සිතෙන තරමට සුක්‍ෂම ලෙස කුඩා පිරිසක් විසින් අරඹන ලදුව, ඔවුන් ගේ උසිගැන්වීමෙන්, සිංහල සිසුවෝ පිරිසක් විසින් දෙමළ සිසුන් කිහිපදෙනෙකුට පහර දුන්නෝ ය. නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දුන්නෝ ය. මැයි එකොළහ රැය කෑලි කැපිය හැකි ඝනදුරෙන් යුතු තිත්ත කළුවර රැයක් විය.

මෙහි දී කැපී පෙනෙන සිදුවීමක් වූයේ, මේ තිරශ්චීන සිදුවීම් මාලාව ගැන, සාක්‍ෂි මත පදනම්ව, ලියවී ඇති ලිපිවලට අනුව, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ට නිසි මග පෙන්වීමට සිටි ආචාර්ය මහාචාර්යවරුන් ඇතමෙක්, එසේ උපදෙස් දීම කෙසේ වෙතත්, මේ අමානුෂික කි‍්‍රයාවලට වක‍්‍රාකාරයෙන් හෝ සහය දීමයි.

තම ආරක්‍ෂාව පිළිබඳ බැරෑරුම් ප‍්‍රශ්න මතුවීම නිසා බියට පත් දෙමළ සිසුවෝ පසුවදා ම විශ්ව විද්‍යාලය අතරහැර තම ගම් බිම් බලා ගියහ.

මැයි එකොළහ කළුවර රෑ ආමනුෂික සිද්ධීන් පිළිබද වැඩි විස්තර මා මේ සටහනේ දෙවන කොටසෙන් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මේ සිද්ධීන් හා සම්බන්ධයෙන් එතෙක් කිව යුතු ධනාත්මක කරුණු දෙකක් ඇත.

මින් පළමුවැන්න නම්, නිවෙස් බලා ගිය තම දෙමළ සගයින් ගේ ආරක්‍ෂාව තහවුරු වී ඔවුන් යළි විශ්ව විද්‍යාලයට පැමිණෙන තෙක් ම, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ පැසසුම් සහගත දුරදර්ශී නායකත්වය යටතේ, ඉංජිනේරු සිසුන් දේශන සහ අනෙකුත් අධ්‍යාපන කටයූතු වලට සහභාගී වීමෙන් වැළකී සිටි බවයි. උගතුන් අතර බුද්ධිමතුන් ද, මහදැනමුත්තන් අතර ඥානවන්තයින් ද සිටිනා බව මට පසක් විය.

දෙවැන්න නම්, එදා දෙමළ සිසුන්ට අඩන්තේට්ටම් කිරීමට ගිය මැරයන් ගැයූවායැයි පැවසුණු "කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනූ" යනාදී ජාතිවාදීන්ට උඩ ගෙඩි සැපයෙන ගීත නිර්මාණයෙන් සුනිල් ආරියරත්නයෝ ද, නන්දා මාලිනිය ද ඉන් පසු සහමුලින් ම පාහේ වැළකුණු බවයි. ඔහු ඉන් පසු ලියූවේ, ඇය ඉන්පසු ගැයූවේ, "උරය පලා සැතකින් බලන් රුහිරූ, එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරූ" වැනි ගීත ය.

මින් මාස දෙකහමාරක් ගතවෙන්නටත් පෙරාතුව කූප‍්‍රකට කළු ජූලිය එළැඹිණ. ඒ නරුම දේශපාලන ප‍්‍රවාහය මදක් අත් විඳ සැලීගිය සිතකින් යුතුව මා ලියූ පහත කවෙන් මේ මැයි එකොළහ කළුවර රෑ ලිපියේ පළමුවන කොටස අවසන් කරමි.

ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහිණ
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවින!

"මැයි එකොළහ කළුවර රෑ" සටහනේ දෙවන කොටසින් යළි හමුවෙමු.

-රසික සූරියආරච්චි

මැයි එකොළහ කළුවර රැයෙන් පසු කතාව - Aftermath of racial violence at Peradeniya University on 11 May 1983
http://rasikalogy.blogspot.com/2018/05/aftermath-of-racial-violence-at.html


(image: https://www.flickr.com/photos/charithmania/33688270383)

Friday, 15 September 2017

අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නිසා නැති වී යන අපේ මිනිස්කම - Arseholedness


මා ඊයේ නිර්මාණය කර ෆෙස්බුක්හි පළ කළ ඉහත පෝස්ටරය පිළිබඳ විස්තර කරන්නට පෙර යම් අතීත කතාවක් කිව යුතුය.

මා අටවැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ, සවස් වරුවේ රබර් බෝල ක්‍රිකට් ගැසීමට එක් වීමට පුරුදු වී සිටියෙමු. ඇත්තටම මේ ස්ථානයේ පැවතුණේ ටියුෂන් පන්තියකි. නමුත්, අප එහි යාමේ මූලික අරමුණ වූයේ සම වයසේ මිතුරන් සමග කරන ක්‍රිකට් ක්‍රීඩාවයි.

එක් දිනක් මේ පරිශ්‍රයේ දුවද්දී මා පය ලිස්සා ගොස් ඇද වැටුණි. දණහිස් සහ වැළමිටි නිසා හිස ඒ බොරළු පොළොවේ නොගැටී වළක්වා ගත් නමුත්, මා ඊළඟ මොහොතේ නැගිටින විට වැළමිටි දෙකම පතුරු ගොස් තිබුණු අතර දණහිස්වලින් ලේ ගලා එමින් තිබුණි.

ඒ තුවාල නිසා මට දැනුණු වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නමුත්, ඒ මොහොතේ මා දුටුවේ ඒ අසල සිටි එක් කොලුවෙකු මහ හඬින් සිනාසෙන බවයි. එය මට මහත් ප්‍රහේලිකාවක් විය.

"යකෝ, මං ඇදගෙන වැටිලා, තුවාල වෙලා, ලේ ගලන වෙලේ උඹ ඇයි හිනාවෙන්නේ?" මම ඔහුගෙන් ඇසුවේ කෝපයෙනි.

ඔහු කට වසා ගත්තේ ය.

නමුත්, මේ සිදුවීම දශක ගණනාවකට පසුව ද, මගේ සිතේ නොමැකී පවතී.

මනුෂ්‍යත්වය යනු තවත් අයෙකුගේ දුකක දී, ආපදාවක දී, අඩු වශයෙන් ඒ ගැන කණගාටුවීමයි, හැකි අයුරකින් උපකාරයක් කිරීමයි, ඔවුන් සමග ඒ දුක බෙදා ගැනීමයි.
සිරියාවේ පැවති කලබල නිසා දස දහස් සංඛ්‍යාත පිරිස් පලා යද්දී අප යුරෝපයේ දුටුවේ ඒ මානුෂිකත්වයයි.

එසේ නොමැතිව, වෙනත් අයෙකුගේ ආපදාවකදී සිනාසීම හෝ ඒ පිළිබඳව අවඥාවෙන් කතා කිරීම යනු, වෙනත් බොහෝ දෙනෙකුට මෙන්ම, මට ද සිතෙන පරිදි අමානුෂිකත්වයේ ලකුණකි.

මියන්මාරයේ පසුගිය දිනවල මහා ජන සංහාරයක් සිදුවුණු බව අපි සැම දනිමු. රජයේ හමුදාවන්ගේ ප්‍රහාර මැද දහස් සංඛ්‍යාත පිරිස් තමන් ගේ ගම් ප්‍රදේශ හැර දමා පලා යන්නට වූහ. ඔවුන් අද අසල්වැසි බංග්ලාදේශයේ සරණාගතයින් ලෙස අසරණව සිටිති.

දැන් සරනාගතයින්ව තම රටට භාර ගැනීම යනු හැම දේශයකට ම කළ හැකි දෙයක් නොවේ. ලංකාවේ රජයෙන් එවැනි තිරණයක් ගෙන ඇතැයි කියවෙන, ව්‍යාජ යැයි පැවසෙන සංවිධානයක් විසින් නිකුත් කරණ ලද ප්‍රකාශයක් දුටු විගස අපේ සමහර අයියලා අඳු කොළ දුටු නාගයින් මෙන් පෙණ පුප්පන්නට පටන් ගනු මම දුටුවෙමි.

ඔවුන්ගෙන් ඇතමෙකු සාධාරණ ලෙස කරුණු දක්වා තිබුණ ද, කැබිනට් ප්‍රකාශකයින් ගෝනියක් ම සිටින ලංකාවේ, ව්‍යාජ සංවිධානයකින් නිකුත් කළා යැයි කියවෙන ප්‍රකාශයකින් පමණක් කලබල වීම නම් විහිළුවකි.

ඒ සුළු පිරිස හැර අන් බහුතරය කර තිබුණේ, මේ අගතියට පත් ජන පිරිස පිළිබඳව වෛරී ප්‍රකාශ වැපිරවීමයි.

මා මුලින් කියූ පරිදි මානුෂික ගුණය වන්නේ දුකට පත් අයට වචනයකින් හෝ පිහිට වීමයි. එසේ නොකිරීම කෙසේ වෙතත්, එවැනි අයගේ දුක දැක සිනාසෙන්නෝ, අවඥා කතා කියන්නෝ නම් අමනුෂ්‍යයෝ ම ය.

ඒ අමනුෂ්‍යත්වයට හේතුව, අප කාගේත් සිත්වල ඇති ජාතිවාදයයි. එසේම අතිථිභීතිකාව හෙවත් සෙනෆෝබියාව නමින් හැඳින්වෙන අපට ආගන්තුක දේ පිළිබඳව ඇති බියයි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අවුන් සාන් සූ කී පවා, මියන්මාර් ජන ඝාතන පිළිබඳව මුක පූට්ටු කරගෙන සිටියදී, අප වැන්නන් ගැන කවර කතා ද?

මගේ පෝස්ටරයෙන් කියවෙන්නේ එයයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න සංශෝධිත මෛත්‍රී භාවනාව.

මියන්මාරයේ රොහිංගලා හැර අන් සියළු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා, සැපවත්වෙත්වා, දුකෙන් මිදෙත්වා, නිවන් දකිත්වා!

Tuesday, 2 May 2017

ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them


මුවිඳු බිනෝයි නම් ග්‍රැෆික්ස් නිර්මාණකරුවෙකු විසින් සකසා ෆේස්බුක් අවකාශයට මුදා හරින ලද කොලාජ් රූපයක් පිළිබඳ පසුගිය දිනවල මහා ගාලගෝට්ටියක් ඇති විය.

එය තමන් අදහන බුඩ්ඩාගමට අවමානයක් බව ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් පවසා තිබුණි.

මුවිඳු බිනෝයි ගේ ඒ නිර්මාණය සිය ගණනක් දෙනෙකු විසින් ෆේස්බුක් හි බෙදා හැර තිබුණි. තවත් සිය ගණනක් පිරිස ඒ නිර්මාණය පිළිබඳ ධනාත්මක අදහස් දැක්වූහ. නිර්මාණකරුවා ගේ නිර්මාණාත්ම අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ. සහයෝගය ප්‍රකාශ කළහ.

එසේ වුව ද, නිර්මාණකරුවාට අමතරව සිංහලබෞද්ධ තලේබාන්කාරයින්ගෙන් චෝදනා එල්ල වූයේ සමනලී ෆොන්සේකා නම් ප්‍රගතිශීලී කාන්තාවට පමණක් බව පෙනුණි. මේ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් ඇයව පමණක් ඉලක්ක කර ගැනීමෙන් ම, පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ගේ දේශපාලන බයි නිරුවත හෙළිදරව් වූ බව නොරහසකි.

චිත්‍ර, මූර්ති යනාදී කලා නිර්මාණ පිළිබඳව ඒවා රස විඳින රසිකයින් විසින් විවිධාකාර අදහස්, අර්ථ දැක්වීම් කරන බව අපි දනිමු. එවැනි අර්ථදැක්වීම්, ඒ නිර්මාණය බිහි කළ කලාකරුවා විසින් සිහිනයකින්වත් සිතූ දේ නොවූ අවස්ථා ද බොහෝ ය.

තම නිර්මාණය පිළිබඳව මුවිඳු බිනෝයි පවසා තිබුණේ පහතාකාරයේ අදහසකි.
  1. ඔහු කළේ නිර්මාණයකි. මෙය ෆොටෝ ෂොප් මඩ පෝස්ටරයක් නොවේ.
  2. තම නිර්මාණය සඳහා ඔහු ජේතනන දාගැබේ කොටසක් යොදා ගෙන ගත්තේ තමා ද අයත් බහුතර ලාංකික ජන කොටස ඉන් නිරූපණය කිරීමට ය.
  3. ඔහු කළේ දාගැබේ කොටස සහ කුණු කන්ද රූපියකව සමපාත කිරීමකි. ඒ අප රැස් කරන කුසල් සඳහා මෙන් ම නිපදවන කසළ සඳහා ද අප ම වග කිව යුතු බව නිරූපණය කිරීමට ය.
  4. ඒ නිර්මාණය ජේතවන දාගැබේ කුහරයට කසළ පිරවීීමක් ලෙස දැකීම සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි.
ඔහු ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සබැඳියෙන් කියවිය හැක.

https://www.facebook.com/muvindu.binoy/posts/1894495500827290

නිර්මාණකරුවා කළ ඒ ප්‍රකාශය දකින්නට පෙර ඒ නිර්මාණය දුටු මට ආ සිතුවිල්ල මෙසේ විය.
කසළ යනු ක්ලේශයන් ය. කසළ කන්ද සමතික්‍රමණය කරන අපට ඒ හා සමවන කුසල් කන්දක් රැස් කර ගත හැක.
මා මේ අදහස සටහන් කළ කල්ට් බ්ලොග් අඩවියේ දී, මතවාදී විරෝධයකට මෙන්ම පුද්ගලික ප්‍රහාරයකට ද මුහුණ දීමට මට ද සිදු විය.

මීතොටමුල්ලේ කුණු කන්දේ ව්‍යවසනය පිළිබඳ තම අදහස නිර්මාණයක් මගින් ඉදිරිපත් කිරීම මුවිඳු බිනෝයි ගේ මූලික ප්‍රකාශන අයිතියකි. එසේම, ඒ නිර්මාණයට විරුද්ධව තම අදහස් ප්‍රකාශ කිරීමට ද ඒ හා සමාන අයිතියක් පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් ඇතුළු ඕනෑම අයෙකුට ඇත!

කෙසේ වෙතත්, මේ සටහන ලියන්නට මා මූලිකවම අදහස් කළේ, නිර්මාණය අර්ථ දැක්වීමට හෝ නිර්මාණට විරුද්ධව ද, නිර්මාණකරුවාට සහ නිර්මාණය ෆෙස්බුක් හි බෙදා ගත් සියක් දෙනා අතරින් එක් අයෙකු වූ සමනලී ෆොන්සේකාට විරුද්ධව ද පෙර කී ලංකාව ම බෞදියක් කරන්නට කැස කවන සිංහලබෞද්ධ තලේබාන්කාරයින් විසින් ගෙන යන විරෝධතා ව්‍යාපාරය පිළිබඳව කතා කරන්නට පමණක් ම නොව, මේ සිදුවීමෙන් මතු වූ වෙනත් අදාළ කාරණයක් ගැන කතා කිරීමට ය.

මුවිඳු බිනෝයි ගේ කොලාජ් නිර්මාණය පිළිබඳව තම විරෝධතාවය දක්වන බොහෝ දෙනෙකු මෙලෙස විමසති.
"ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?"
ඉන් සමහරු ඒ ප්‍රශ්නාවලියට මෙලෙස ද එකතු කරති.
"ඇයි එහෙම කළොත් සහජීවනේට කෙළ වෙයි කියලා බය ද?"
ඒ සහජීවනය ගැන සඳහන් කරන අය ගේ අරමුණ සහ ඔවුන් ගේ ජාතිවාදී දේශපාලන ස්ථාවරය ගැන අපට නිවැරදිව හිතා ගත හැක. මීට කලින් ඒ පිළිබඳව ලියා ඇති නිසා, ඒ ජාතිවාදී බයි කතාව පිළිබඳව මට අද අමුතුවෙන් කිව යුතු දෙයක් නැත.

මුවිඳු බිනෝයි විසින් තමා ජේතවන දාගැබ තම නිර්මාණය සඳහා යොදා ගත්තේ ඇයි ද යන්න පැහැදිලිව ම කියා ඇතත්, මේ පිළිබඳව මගේ අදහස වන්නේ මෙයයි.

බෞද්ධ පසුබිමක් ඇති අයෙකු පොදු කාරණයක් පසුබිම් කරගෙන නිර්මාණයක් කරන විට ඒ සඳහා යම් ආගමික සංකේතයක් අවශ්‍ය වේ නම්, ඒ සඳහා තෝරා ගත යුත්තේ බෞද්ධ සංකේතයකි. එක්තරා සුවිශේෂී ආගමික කාරණයක් සම්බන්ධයෙන් කෙරෙන නිර්මාණයකට මෙය අදාළ නොවේ.

වෙනත් වචනවලින් කියනවා නම්, "ඇයි උඹ මේකට බෞද්ධ සංකේතයක් වන දාගැබක් ම යොදා ගත්තේ? ඇයි, මුස්ලිම් පල්ලියක්, කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් යොදා නොගත්තේ?" යැයි බෞද්ධ පසුබිමක් ඇති මුවිඳු බිනෝජ්ගෙන් ඇසීම, එහි ඇති අධම දේශපාලන යටි අරමුණ කුමක් වෙතත්, හුදෙක් අතාර්කික අනුවණ විහිළුවක් පමණි.

වෙනත් පසුබිමක් සහිතව ලියවුණු "බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද?" යන සටහනේ දී ද මා සඳහන් කළේ මේ අදහසට සමාන්තර අදහසකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සටහන ද කියවන්න-
ජාතික හෙළ උරුමයෙන් බෞද්ධයන්ට මාරාන්තික අපහාසයක් ::
http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/8495-2017-04-29-08-19-19


ප/ප/ලි:
මේ ඩුප්ලිකේට් ජේතවනාරාමයයි. මා දන්නා පරිදි දෙමටගොඩ වැනි පෙදෙසක ද ජේතවන විහාරක් තිබේ!

ඔරිජිනල් ජේතවනාරාමය යනු බුදුන් වැඩ සිටි අනේකපිණ්ඩිකස්ස ආරාමයයි. එය බෞද්ධයින් අතර සුපතල වී ඇත්තේ විවිධ සූත්‍රවල සඳහන් වෙන නිසා ය.

ජේතවනාරාමේ අති රමණී, ජේතවනාරාමේ!



(image: https://www.facebook.com/muvindu.binoy/photos/a.1532937753649735.1073741829.1530307377246106/1892139821062858/)

Tuesday, 6 September 2016

පෝලීන් හැන්සන් යනු කවුද? - Pauline Hanson and her influence on Sri Lankan politics


මා මේ ලියන සටහන "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලිපියේ ඇරඹුණු දිගු කථාවෙන් පැන නැගුණු "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නම් අත්තේ දෙවන පුරුක යි. එහි අවසාන අතු රිකිලි පසුව දළුලනු ඇත.

ඕස්ට්‍රේලියාව පාලනය වන හැටි සහ එහි ඡන්ද ක්‍රමය ගැන මම මීට පෙර ලිපි කිහිපයක් ම, ලියා ඇත්තෙමි. ඒ සමගම, පසුගිය ජූලි මාසයේ ෆෙඩරල් රජය පිහිටුවීම සඳහා පැවැත්වුණු මහ ඡන්දය ගැන ද, මම ලිපි දෙකක් ලියූවෙමි.

මා මුලින් ම ඕස්ට්‍රේලියාවේ දී දුටුවේ ද ෆෙඩරල් මහ ඡන්දයක් පැවැත්වෙන ආකාරය යි. ඒ 1996 මාර්තුවේ දී ය. එවකට මා මෙරටට සංක්‍රමණය කර වසරක්වත් ගත වී නොතිබුණි. මා ද්විත්ව පුරවැසියෙකු වීමට ලංකාංඩුවෙන් ගාස්තු ගෙවා අවසර ගෙන ඕස්ට්‍රේලියානු පුරවැසිබව හිමි කර ගත්තේ වසර 1998 වසරේ ජනවාරි යේ දී ය.

මේ කරුණු නිසා මට ඒ 1996 ඕස්ට්‍රේලියානු මැතිවරණය ගැන තිබුණේ තරමක උනන්දුවක් පමණි. මා දැන සිටියේ එවකට පැවතියේ අගමැති පෝල් කීටින් ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්‍ෂයේ රජයක් බවත්, විපක්‍ෂය වූයේ ජෝන් හාවඩ් නායකත්වය දැරූ ලිබරල් පක්‍ෂය හා ඔවුන් සංධානගතව සිටි නැෂනල් පක්‍ෂය බව වැනි සරල කාරණා කිහිපයක් පමණි.

කම්කරු පක්‍ෂය ඒ වන විට බලයට පැමිණ වසර දහ තුනක් පමණ ගෙවී තිබුණු අතර ෆෙඩරල් පාලනයේ තට්ටු මාරුවකට කාලය එළැඹී තිබුණු බව රට හැම අතින් ම ලැබෙන ප්‍රවෘත්තිවලින් දිස්වුනි.

මේ ඡන්දය සඳහා ලිබරල්-නැෂනල් සන්ධානයෙන් ක්වීන්ස්ලන්තයේ ඉප්ස්විච් නම් ඡන්ද කොට්ඨාශය සඳහා නාම යෝජනා ලැබී තිබුණේ පෝලීන් හැන්සන් නම් කාන්තාවකටයි. ඇය එවකට කඩයප්පම් කඩයක හිමිකාරියක වූ අතර නගර සභා මැම්බර්වරියක් ලෙස අර්ධකාලීන දේශපාලනයට ද පිවිස තිබුණි.

දුර බැහැර පළාතකින් ඡන්දයට මුල්වරට ඉදිරිපත්වන ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයෙකුට වුව ද ජාතික තලයේ ප්‍රචාරයක් සාමාන්‍යයෙන් නොලැබේ. විශේෂයෙන් ම, මේ ඔක්ස්ලි ආසනය කම්කරු පක්‍ෂය විසින් ඉන් පෙර ඡන්දයේ දී දිනාගෙන තිබුණේ 12% පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් නිසා, එය සැලකුණේ ආරක්‍ෂිත කම්කරු පක්‍ෂ ආසනයක් ලෙසයි.

එසේ නමුත්, පෝලීන් හැන්සන් ඡන්දයේ ප්‍රචාරක සමයේ කළ එක්තරා කැළඹුම්කාරී ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා, ඇයට තරමක ප්‍රසිද්ධියක් ලැබුණි.
ඇය කළ ඒ ආන්දෝලනාත්මක ප්‍රකාශය වූයේ ඕස්ට්‍රේලියාවේ ආදිවාසික ජනතාව රජයෙන් දෙන ශුභසාධන දීමනා අන් ජන කොටස්වලට වඩා වැඩියෙන් භුක්ති විඳිමින් වංචා සහගතව ජීවත්වෙන බවයි.

ඒ ප්‍රකාශය ජාතික මාධ්‍ය හරහා ප්‍රසිද්ධවීමත් සමගම ඇයට විරුද්ධව විශාල විරෝධයක් රට සතර අතින් නැගුණි. ඒ විරෝධයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලිබරල් පක්‍ෂ ප්‍රතිපත්තියට එරෙහි ප්‍රකාශ කිරීමේ වරදට, නායක ජෝන් හාවඩ් විසින් පෝලීන් හැන්සන් අපේක්‍ෂිකාවට දුන් පක්‍ෂ සහයෝගය ඉවත් කිරීමයි.

එසේ නමුත් ඡන්දයේ දී සිදුවූයේ ජෝන් හාවඩ් ප්‍රමුඛ ලිබරල් පක්‍ෂය හෝ අන් ප්‍රදේශවල ජනතාව හෝ අපේක්‍ෂා නොකළ දෙයකි. පෝලීන් හැන්සන් ඔක්ස්ලි ඡන්ද කොට්ඨාශයේ මන්ත්‍රීවරිය ලෙස තේරී පත්වූවා ය.

ඒවන විට රටේ විවිධ පළාත්වලින් යම් යම් අති දක්‍ෂිණාංශික ප්‍රතිගාමී බලවේග ද ඇය වටා එක්රොක්වන්නට පටන් ගෙන තිබුණි.

ඒ වසරේ අලුත් පාර්ලිමේන්තුව රැස්වූ පසු, තම මංගල පාර්ලිමේන්තු කතාවේදී පෝලීන් හැන්සන් පෙරටත් වඩා ආන්දෝලාත්මක ප්‍රකාශයක් කළා ය. එංගලන්ත ජනපද එක්කොට 1901 දී ඕස්ට්‍රේලියාව නම් රාජ්‍යය පිහිටවූ දිනවල ම සිට වාගේ රටේ පැවතුණු සුදු ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය කෙමෙන් අතහැර දමමින් හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ක්‍රියාත්මක කරන්නට යෙදුණු ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කරමින් කතා කළ පෝලීන් හැන්සන් පවසා සිටියේ සංක්‍රමණය සහ ජනගහන වර්ධනය අනුව රට ඉතා ටික කාලයකින්ම ආසියානුවන් ගේ රටක් බවට පත්වීමට නියමිත බවයි.

එහිදී ආසියානුවන් ලෙස හැඳින්වුණේ සාමාන්‍යයෙන් චීන සහ කොරියන් වැනි සම්භවයකින් යුතු ජන කොටස් ය.

ප්‍රායෝගිකව සිදුවෙන බවට කිසිසේත් ම ඔප්පු කර පෙන්විය නොහැකි ඒ ප්‍රකාශය ගණිතඥයින් ගේ ද, සමාජ විශ්ලේෂකයින් ගේ ද, ප්‍රගතිශීලී ඕස්ට්‍රේලියානුවන් ගේ ද, සරදමට භාජනය වුවත්, රටේ විවිධ ප්‍රදේශවල පිරිස් එය විශ්වාස කරන්නට ඇත.

සමහර විට වික්ටොරියා ප්‍රාන්තයේ, නෝබල් පාක් ගම්මානයේ පන්සලක සිටි ලාංකික භික්‍ෂුවක් ද එය විශ්වාස කරන්නට ඇත.

විශ්වාස කරනවා පමණක් නොව එය තමන්ට කොයි ආකාරයකට පාවිච්චි කළ හැකි ද කියාත් ඔහු එදා සිතා බලන්නට ඇත!

ඒ විස්තර ද දිනක ලිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

(http://www.whaleoil.co.nz/2014/10/sure-channelling-pauline-hanson-winner-jacinda-dear/)

Wednesday, 31 August 2016

ගංගොඩවිල සෝම සහ දෙයියෝ - Once upon a time


අදින් වසර ගණනාවකට ඉහත, මගේ මතකයේ හැටියට 1997 වසරේ දී පමණ, එක් දිනක මම එවකට අප පදිංචිව සිටි මෙල්බර්න් තදාසන්නයේ පිහිටි තට්ටු නිවාසයේ සාලයේ කවිච්චියේ හරිබරි ගැසී රූපවාහිනිය නැරඹීමට පටන් ගතිමි. එවෙලේ ඕස්ට්‍රේලියානු විකාශන සංස්ථාව (Australian Broadcasting Corporation) හෙවත් ඒබීසී චැනලයේ ප්‍රචාරය වෙමින් තිබුණේ ලෝක සාමය සංහිඳියාව වැනි බරපතල කාරණයක් සම්බන්ධයෙන් වූ සර්ව ආගමික පූජකයින් සහභාගී වූ සාකච්ඡාමය වැඩසටහනකි.

එය සජීවී වැඩසටහනක් නොව පෙර පටිගත කරන ලද්දක් වූ අතර, විකාශය වූ දිනය සහ වේලාව සලකා බලන කළ බොහෝ දුරට නැවත ප්‍රචාරයක් වෙන්නට ඇතැයි මට සිතේ.

ඒ සාකච්ඡාවට සහභාගීවූවන් අතර කතෝලික, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ලිම්, හින්දු පුජකයින් මෙන් ම, ලංකාවේ අයෙකු යැයි හැඟෙන බෞද්ධ භික්‍ෂුවක ද සිටින බව මට පෙනුණි.

මොහොතකට පසු කතාව ඇරඹූ එහි සිටි එක් පූජකයෙකු, තියොලොජිකලි යම් යම් වෙනස්කම් තිබුණත්, මෙහි සිටින අප සියලු දෙනාම යම් දෙයියෙකු විශ්වාස කරන ආගම් නියෝජනය කරන අය නොවේද, එනිසා අපට අහවල් කාරණය පිළිබඳ යම් මූලික එකඟතාවකට පත්විය හැකි නොවේදැයි පවසමින් ඒ අහවල් කාරණය විස්තර කිරීමට පටන් ගත්තේ ය.

එවිට කතා කළ ඒ සාකච්ඡා සභාවේ සිටි බෞද්ධ භික්‍ෂුව පවසා සිටියේ පුජකයා ගේ ඒ කතාව සාවද්‍ය බවත්, අන් අය කෙසේ වෙතත්, තමන් නියෝජනය කරන බුදු සමය නම් කිසිසේත් ම දෙයියෙකු විශ්වාස කරන දේව ආගමක් නොවන බවත් ය.

අදහන මැවුම්කාර දෙයියෙකු නොමැති වීම, බුදු සමය අන් ආගම්වලින් අතිශය පැහැදිලිව වෙන් කරන මූලික ම කරුණක් බවත් ඒ බෞද්ධ භික්‍ෂුව වැඩි දුරටත් ප්‍රකාශ කළේ පෙර කී පූජකයා නිරුත්තර කරමිනි.

එදා ඒ රූපවාහිනී සාකච්ඡාවට සහභාගී වූ බෞද්ධ භික්‍ෂුව වනාහී ගංගොඩවිල සෝම හිමියන් බව මම පසුව දැන ගතිමි. ඔහු, එවකට මෙල්බර්න් තදාසන්නයේ නෝබල් පාක් ග්‍රාමයේ පිහිටුවා තිබුණු සිංහල-බෞද්ධ පන්සලේ නේවාසික භික්‍ෂුවක් වූ බව ඒ පන්සලේ සාමාජිකයෙකු වූ මා මිත්‍ර අජිත් මාම්පිටිය පසු දිනක මා සමග පැවසී ය.

එදා මට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳව ඇතිවුණේ ඉමහත් ප්‍රසාදයකි.

නොබෝ කලකින් ම ඕස්ටේ‍ර්ලියාව හැරදා ලංකාව කරා ගිය ගංගොඩවිල සෝම හිමියන්, ලංකාවේ පන්සල් සංස්ථාවල පිළිලයක් සේ ඔඩු දා පැතිර ගොස් තිබුණු මිථ්‍යාදෘෂ්ටික දේවාගමට එරෙහිව රූපවාහිනීයෙන් ද, වෙනත් මාධ්‍ය මගින් ද බොදු ජනයා ගේ නුවණැස පාදා අඳුරෙන් එළියට ගෙන ඒම අරමුණු කරගත් ව්‍යාපාරයක් අරඹා ඇති බව අන්තර්ජාලය හරහා ද, දුරකථන ඇමතුම් හරහා ද, මට දැන ගන්නට ලැබුණි.

පුජ්‍ය ගරු ගංගොඩවිල සෝම හිමියන් පිළිබඳ මගේ ප්‍රසාදය තවත් වැඩිවිය.

නමුත්, 1999 වසර අග භාගයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට දක්නට ලැබුණේ, බෞද්ධයින් අඳුරෙන් මුදවා ගැනීමේ තම අදේවවාදී ව්‍යාපාරය අමතක කර දමා ඔහු දේශපාලනය නම් මඩ ගොඩට බැස ඇති බවයි.

තමා දෙයියන් ඇදහීමට විරුද්ධව ගෙන ගිය ව්‍යාපාරයට සහ බුදු දහම පිළිබඳව කළ දේශනවලට පැහැදුණු අය තමන් ගේ දේශපාලන වැඩ පිළිවෙළ සඳහාත් නම්මා ගත හැකි වේදැයි සිතා දෝ, ඒ වසරේ (1999) දෙසැම්බරයේ පැවැත්වුණු ජනාධිපති ඡන්දය වර්ජනය කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් ඔහු දේශපාලන මඩ ගොහොරුවේ ගිලී කිමිදෙන්නට පටන් ගත්තේ ය.

ගංගොඩවිල සෝම පිළිබඳව මගේ සිතේ ඇතිව තිබූ ප්‍රසාදය ඒ ක්‍ෂණයකින් නැති වී ගියේ ය.

ඒ සමගම සිදුව තිබුණේ, අදේවවාදී, බුදු දහමේ අගය දන්නා අය ගංගොඩවිල සෝම කෙරෙන් දුරස් වී, ඒ වෙනුවට අති ජාතිවාදී බලවේග ඔහු වටා එක් වීමයි.

සෝම දියත් කළ ජනාධිපති ඡන්ද වර්ජනය පුස්සක් වූ අතර, අති බහුතරයක් ජනයා අපූරුවට තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කළහ. මම ද, ජීවිතයේ දෙවන සහ අවසාන වරට සිල් බිඳ ගත්තෙමි.

සෝම ගේ ඉල්ලීම නිසා නොවුණත්, තවත් අති ජාතිවාදී ව්‍යාපාරයක් වූඑල්ටීටීඊ සංවිධානය නම් ඡන්දය වර්ජනය කළ බව මගේ මතකයයි.

ඔහු ගේ ඒ අති ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයේ දී ගංගොඩවිල සෝම අවියක් ලෙස පාවිච්චි කළේ ඔහු ඕස්ට්‍රේලියාවේ සිටි අවසාන කාලයේ දී අල්ලා ගත්තා යැයි මා සිතන බංකොලොත් තර්කයකි.

බංකොලොත් වුණත්, රට එකක් නොවැ!

ඒ කතාව විස්තරාත්මකව ඊළඟට ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජූලි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු මැතිවරණය අවසානයේ දී මා ලියූ මේ ලිපියේ මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" නමින් පසුගිය සතියේ පළ කෙරිණි.

ඕස්ට්‍රේලියානු මැතිවරණයට නිසා මට ගංගොඩවිල සෝම සිහිවුනේ ඇයිදැයි ලිපියේ ඊළඟ කොටසින් කියවන්න.

(image: http://www.sbs.com.au/guide/article/2016/07/18/pauline-hanson-please-explain)

Monday, 4 April 2016

ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake


පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි.

ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්‍ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය.

මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ නීරීක්‍ෂණය, ලංකා ඉතිහාසයේ ලියවී ඇති අන්තර්ජාතික මට්ටමේ සිදුවීමක් හා කෙළින්ම සම්බන්ධ නිසා ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රාජ්‍යයන් එකමුතු වී ගොඩ නගා ගන්නා ලද සාර්ක් හෙවත් දකුණු ආසියානු කලාප සහයෝගීතා සංගමය ගැන අපි හොඳින් දනිමු.

මේ සංගමයේ රාජ්‍ය නායකයින් ගේ සමුළුවක් ඉහත සඳහන් දිනයේ දී කොළඹ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය ජාතික රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.

අප දන්නා පරිදි, ලෝකයේ සාක් රටවල් පිහිටා ඇති මුල්ලේ වෙසෙන ජනයා අතර එකිනෙකාට ආචාර කිරීමේ ප්‍රධාන ක්‍රමය නම් අත් එකිනෙක බැඳ ඉහළට ඔසවා ආයුබෝවන්, නමස්තේ, නමස්කාර්, නමොෂ්කාර්, වණක්කම් වැනි දේශීය පදයකින් සංග්‍රහ කිරීමයි.

මීට අමතරව, ගෝලීය ආචාර ක්‍රමයක් වෙන අතට අත දී අල්ලා සෙලවීම හෙවත් ෂේක් හෑන්ඩ් කිරීම ද, බහුලව සිදු වේ. විශේෂයෙන් ම දෙරටක දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඒ අන්තර්ජාතික ක්‍රමයට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

එදා සාර්ක් සමුළුවේ සංග්‍රහකාරක රටේ නායකයා වූ ජනාධිපති ර. පේ්‍රමදාස, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි (හින්දු ආගමික) අගමැති රාවෝ ද, භූතානයේ (බෞද්ධ) රජු (වැන්ග්චක්) ද, මාලදිවයිනේ එවකට ජනාධිපති ඉස්ලාම් ආගමික අබ්දූල් ගයූම් ද, පකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් ආදී විවිධ රාජ්‍ය නායකයින් පිළිගත්තේ ඒ ආකාරයට අතට අත දී අල්ලා සෙලවීමෙනි.

නමුත් මා හොඳින් නිරීක්‍ෂණය කළ පරිදි බංග්ලාදේශ අගමැතිනිය වූ, ඛලීඩා ෂියා එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කරා ළඟා වූ විට සිදුවූයේ අමුතුම ආකාරයේ දෙයකි.
  • ඛලීඩා ෂියා මෝටර් රථයෙන් බැස ඉදිරියට ආවාය.
  • ර. ප්‍රේමදාස අත් ඔසවා කෙරෙන (ආයිබෝවන් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ඛලීඩා ෂියා ද අත් ඔසවා කෙරෙන (නමොෂ්කාර් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ර. ප්‍රේමදාස අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ ද නැත.
  • ඛලීඩා ෂියා ද අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ නැත.
  • දෙන්නා ඔහේ දික්කසාද වුණු ජෝඩුවක් පසු දිනයක නඩත්තු නඩුවක් සඳහා උසාවියේ දී හමුවුණාක් මෙන් හිටගෙන සිටයහ.
ඉන් පසු එතැනට ළඟා වූ රාජ්‍ය නායකයින් ට ජනාධිපති ර. ප්‍රේමදාස පෙර මා කී පරිදි අන්තර්ජාතික ක්‍රමයට ආචාර කළේය.

අපට වටහා ගත හැකි පරිදි මෙතැන දී සිදුවෙන්නට ඇත්තේ මෙයයි.

ඛලීඩා ෂියා මුස්ලිම් කාන්තාවක්, ඇය මගේ මතකයේ හැටියට වැන්දඹුවකි, නිසා ඇය වෙනත් පිරිමියෙකු ගේ අත නො අල්ලයි.

එසේම, බංග්ලාදේශය ඉන්දියාව ගොඩ බිමෙන් සම්බන්ධ දකුණු ආසියානු රටක් වුවද, ඔවුන් කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්කරනය වී ඇති නිසා, ලංකාව ඉන්දියාව ඇතුළු රටවල කෙරෙන අත් එකතු කොට නමස්තේ/ආයුබෝවන් ආචාරය ද ඔවුන් ගේ රාජ්‍ය නායකයාට අකැප වී ඇත.

එනිසා ඛලීඩා ෂියාට සහ ර. ප්‍රේමදාසට සිදුවූයේ බකං නිලා සිටීමටයි. සමහර විට ටෙලිවිෂන් කැමරාවට අසු වෙන නොවෙන ආකාරයේ හිස සෙලවීමක් හෙවත් නොඩින් කිරීමක් ද, වචනයක් දෙකක් හුවමාරුවක් ද සිදුවෙන්නට ඇත.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික හමුවීම්වලට පෙරාතුව සිදුවෙන පරිදි ඛලීඩා ෂියා කිසිදු ආචාරයක් නොකරන බව බංග්ලාදේශයේ තානාපති කාර්යාලය විසින් ර. ප්‍රේමදාස ගේ ජනාධිපති කාර්යාලයට දැනුම් දී තියෙන්නට ඇත. එසේම, ඛලීඩාට අතට අත දෙන්නට උත්සාහ නොකරන ලෙසට, ර. ප්‍රේමදාසට උපදෙස් ලැබී තියෙන්නට ඇත. එසේ නොමැතිව පුරුද්දට මෙන් අත දිගු කරන්නට ගියා නම් සිදුවන්නේ එසේ මෙසේ අපහසුතාවක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අපහසුතාවක් හෙවත් එම්බැරේස්මන්ට් එකකි.

මට ඒ අතීත කතාව සිහිවූයේ අපේ කාර්යාලයේ සේවය කරන මිතුරු මැවිසුරුවියකගෙන් අසන්නට ලැබුණු කතා දෙක තුනක් නිසා ය.

මීට වසරකට පමණ පෙර ඇයට කාර්යාලයේ අලුත් තනතුරක් ලැබුණු දින එය දැනගත් වෙනත් ඉංජිනේරුවෙකු ඇය අසලට පැමිණ "කන්ග්‍රැජුලේෂන්ස්" කියා වචනයෙන් සුබපතා ඇත. බංග්ලාදේශයෙන් සංක්‍රමණය කළ ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ඒ සමගම පවසා ඇත්තේ, "සොරි බට් අයි වොන්ට් බී ඒබල් ටු ෂේක් හෑන්ඩ්ස් විත් යූ ඇස් අයි ඩොන්ට් ෂේක් හෑන්ඩ් විත් විමෙන්" කියා ය.

එය ඇසූ ඇය විස්මයට පත් වී ඇත. ඇගෙන් ඒ කතාව ඇසූ මම ද කරුණු කිහිපයක් නිසාම විස්මයට පත්වීමි.

ඉන් ප්‍රධාන කරුණ වූයේ, අන්තවාදී මුස්ලිම් සමාජවල කාන්තාවන්ට විවිධ පීඩාකාරී තහනම් නීති පැනවී තිබුණ ද, පිරිමින්ට මත්පැන් බීම හෝ සූකර මාංශ කෑම හැර මේ ආකාරයේ නීති තිබෙන බවක් මා නොදැන සිටීමයි.

දෙවැනි කරුණ නම්, සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගී වීමේ දී, අනිවාර්යෙන් අතට අත දෙන්නට සිදුවෙන නිසා, එවැනි අවස්ථාවක දී, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ ඉන්නා කාන්තාවකට අතට අත නොදී සිටීම යනු සාමාන්‍යයෙන් රැකියා අපේක්‍ෂකයෙකු කිරීමට නො සිතන දෙයක් වීම නිසාත් ය.

අතට අත දීම ප්‍රතික්‍ෂේප කිරීමේ මේ ආකාරයේ ම තවත් අත්දැකීමට මුහුණ දෙන්නට මගේ කාර්යාලයේ මිතුරියට පසුව සිදුවී ඇත. ඒ අලුතින් පියෙකු වූ වෙනත් ඉස්ලාම් භක්තික මැවිසුරුවෙකුට සුබ පතන්නට ගොසින් ය.

මේ අතට අත නොදීමේ ප්‍රතිපත්තිය ඉස්ලාම් භක්තිකයින් එක් කෙනෙකු දෙන්නෙකුට පමණක් අදාළ කරුණක් නොවෙන බව n=3 සඳහා ද එය සත්‍යවීම නිසා වැටහේ.

මේ තුන්වෙනි අවස්ථාවේදී සිදුවී ඇත්තේ එකම ආයතනයේ වෙනත් කාර්යාලයක සිට අපේ කාර්යාලයට සේවය සඳහා පැමිණීමට නියමිත, නැවතත් ඉස්ලාම් භක්තිකයෙකු වන මැවිසුරුවෙකු, ඔහු එසේ පැමිණීමට දිනකට පෙර ඒ කොටසේ සේවය කරන මා පෙර කී කාන්තාව සහ තවත් යෙකට, තමන් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන්ට අතට අත නොදෙන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතාවන් මග හරවා ගැනීම පිණිස ඒ බව මෙසේ දන්වන බවත් කියමින් ඊ-මේලයක් එවූ නිසා ය.

මා කලින් කීවාක් මෙන් සාමාන්‍යයෙන් ගෑනුන්ට පමණක් පීඩාකාරී නීති දමන පිරිමින් අතර මේ ආකාරයේ තමන්ට ද ඒ ආකාරයේම පීඩාකාරී නීති පනවා ගන්නා අය ඇති බව මේ සිදුවීම නිසා මම දැන ගතිමි.

මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාන්තාවන්ට පීඩාකාරී නිති දමන්නේ අන්තවාදී මුස්ලිම් සමාජවල පමණක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ ජනකොටස් අතරේ ද එවැනි මානව විරෝධී නිති ඇත.

ගුරුවරියන් සාරි ඇඳිය යුතුය යනුවෙන් නොනිල නීතියක් ඇති බව සත්‍යයකි. පිරිමි ගුරුන්ට එසේ නොනිල තහනමක් නැත. අවැසි පරිදි යුරෝපියානු කලිසම ඇඳිය හැක.

පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

අතට අත දීමේ තහනමක් ගැන පැවසුණු මේ ලිපිය අවසාන කරන්නට පෙර මෙය ද පැවසිය යුතුය. අතට අත දී ආචාර කීරීම කෙසේ වෙතත් ගැහැණු පිරිමි දෙදෙනෙකු අතිනත පටලාගෙන සිටීම, බුද්ධ ධර්මයට අවුලක් නොවුන ද, බුඩ්ඩාගං සංස්ථාවට නම් අගෝචර දෙයක් බව පෙනෙන්නට ඇති බවයි!

(image: http://www.serendib.btoptions.lk/article.php?id=1540&issueId=59)

Friday, 26 February 2016

ජාතිවාදී කාන්තාවක ගේ අති භයානක ලොමු දැහැගන්වන ප්‍රකාශයක් පිළිබඳව සටහනක් - Racism at its best


මෙය විහිළු, සරදම්, හිනා-මනා කැටගරියක කතාවක් නොවන බව පළමුවෙන් ම කිව යුතුයි.

මෙය:
සත්‍ය කතාවකි.
බරපතළ කතාවකි.
බිහිසුණු කතාවකි.
එසේම, මගේ පළමෝත අත්දැකීමකි.

මේ කතාව කියවා අවසානයේ සංවේදී සිත් ඇති ඔබට ඇති විය හැකි සෘණාත්මක මානසික තත්වයන් පිළිබඳව ද කලින් ම අනතුරු හැඟවීමක් කළ යුතුය.

කාලය:-වසර 1983 අගෝස්තු මාසය පමණ
ස්ථානය: ශ්‍රී ලංකාව

ලංකාව දශක දෙකකින් ආපස්සට ගෙන ගිය, 1983 ජූලි ජාතිවාදී කලබල අවසන් වී තිබුණත් මේ වන විටත් ලංකාව තිබුණේ සෑහෙන අස්ථාවර, අවිනිශ්චිත වාතාවරණයක ය.

මේ කාලයේ කුරුණෑගල නගරයේ තත්වය පිළිබඳ හොඳ අදහසක් ලියනගේ අමරකීර්ති ලියූ අහම්බකාරක නම් අපූරු නවකතාව කියවීමෙන් ලබා ගත හැක. ඒ තත්වය ජූලි කලබල බල පෑ රටේ අන් සෑම ප්‍රදේශයකට ම පාහේ සාධාරණීකරණය කළ හැකි යැයි සිතමි.

බොහෝ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ ගිනි ගෙන දැවුණු ගොඩනැගිලිවල සුන්බුන් ය. ගිනිගත් ගොඩනැගිලිවල නටඹුන්වලින් සැරසුණු මහනුවර, බොරැල්ල, නුවරඑළිය නගර මගේ සිහියට එයි.

ව්‍යාපාර, වතු පිටි, යාන වාහන පමණක් නොව උන් හිටි තැන් පවා අහිමි වූ දහස් ගණන් දෙමළ ජනයා විවිධ පළාත්වල පිහිටුවා තිබුණු අනාථ කඳවුරු වලට ගොනු කර තිබුණි.

ජාතිවාදී කෝලාහල දඩමීමා කර ගෙන එවකට සිටි පාලක ජනාධිපති ජයවර්දෙන විසින් තහනම් කරන්නට දෙයුණු වාමාංශික දේශපාලන පක්‍ෂ තුන අතරින් කොමියුනිස්ට් පක්‍ෂයේ තහනම ටික දිනකින් ම ඉවතට දැමුණි.

නව සමසමාජ පක්‍ෂයේ බාහු, වාසු, සිරිතුංග වැන්නෝ පක්‍ෂ තහනමෙන් පසු තම ආරක්‍ෂාව පිණිස යටි බිම්ගතව සිටියහ. ලංකාව මේ තිරශ්චීන ජාතිවාදයෙන් සහ එහි විනාශකාරී ප්‍රතිඵලවලින් ගලවා ගන්නට තමන්ට දේශපාලනිකව කළ හැක්කේ කුමක්දැයි ඔවුන් අතර සාකච්ඡාවට බදුන් වෙමින් තිබෙන්නට ඇත.

පක්‍ෂ තහනමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ද එලෙසම යටි බිම් ගත වී සිටි අතර, මට සිතෙන විදියට, ඔවුන් ගෙන් බහුතරයක් දෙනා නම් රටේ දකුණේ ඒ වෙන විට උත්සන්න වී උතුරා ගොස් තිබුණු සිංහල මහජාතිවාදය තම ප්‍රයෝජනය පිණිස යොදාගන්නේ කෙලෙස ද යන්න පිළිබඳව පිඹුරුපත් සකසමින් සිටින්නට ඇත.

රටේ උද්ගතවූ තත්වය ද, වෙනත් හේතු ද මත විධිමත් අධ්‍යාපන කටයුතු මදකට ඇණ හිට තිබුණු බැවින් මම විවිධ ස්ථානවල රස්තියාදු වෙමින් මේ කාලය ගත කළෙමි.

වැඩිහිටි පිරිසක් අතර කෙරෙමින් තිබුණු යම් කතාබහකට ඇහුම් කන් දෙන්නට මට ඉඩ ලැබුණේ මේ ආකාරයේ එක් රස්තියාදුවක අතරතුර දී ය.

එතැනදී මගේ කණ වැටුණු කතා බහෙන්, වසර තිස් තුනකට පසු මට අද මතක ඇත්තේ එක් පුද්ගලයෙකු කළ ප්‍රකාශයක් පමණි.

එය මෙසේ ය.
"අපේ ගෙවල් ළඟත් දාලා තියෙනවා දෙමළ අනාථ කඳවුරක්. මං දැක්කා ඒකේ ඉන්නවා පොඩි පොඩි දෙමළ පැටව් රොත්තක් ම.

එවුනුත් විෂඝෝර නයි පැටව් වගේ.

මට හිතෙන්නේ ඒ දෙමළ පැටව් රොත්තම මරලා දාන්න ඕනෑ. නිකං නොවෙයි, අපේ පොඩි එවුන් දාලා ටොකු අන්නලා මරලා දාන්න ඕනෑ!"
මේ ප්‍රකාශය පිළිබඳ කළ යුතු බිහිසුණුම අනාවරණය මෙන්න.

මේ කතාව කී වැඩිහිටියා ගැහැනියකි.

එසේම, ඇය නිකම්ම නිකං ගැහැනියක නොව වයස අවුරුදු පහක පමණ කුඩා දරුවෙකු සිටි මවකි.

මා පසුව දැන ගත් පරිදි, ඇය එවකට මාස කිහිපයක පමණ ගැබිණියක් ද වූවා ය.

මේ කතාව අසා මා මුලින් ම වික්‍ෂිප්ත වීමි. එහි ගැබ්වුණු මිනීමරු චින්තනයේ සැබෑ බැරෑරුම්කම මට නිසි අයුරින් වැටහෙන්නට පටන් ගත්තේ කාලයත් සමගයි.

එකල මා පොඩිහිටියෙකු ම නොවුණත්, ඒ මොහොතේ මේ වැඩිහිටියන් ගේ කතාවට හොම්බ දමන්නට මට තත්වයක් තිබුණේ නැත.

එනිසා වික්‍ෂිප්ත වූ සිතින් ම මුවින් නොබැණ සිටීමට මට සිදුවිය.

දැන් තම ජීවිතයේ හත්වෙනි දශකය ගෙවන මේ කාන්තාව මට තවමත් ඉඳහිට මුණ ගැසුන ද, අද දක්වාම මේ කතාව සිහිකර ඒ සම්බන්ධයෙන් ඇයව ප්‍රශ්න කිරීමකට ලක්කරන්නට මට ඉඩකඩ නොලැබුණි. කිසි දිනෙක එවැනි අවස්ථාවක් උදා නොවෙන්නට ද ඉඩ ඇත.

එය මගේ ජීවිතයේ ඇති එක් දුක්බරම පශ්චාත්තාපයකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ අති භයානක ජාතිවාදී ප්‍රකාශය ගැන මේ සටහන ලියන මොහොතේ, ඇගේ එදා උපමාවම සහිතව මගේ සිතට නැගුණේ, මේ කාන්තාව ගේ සියොළඟ පිරි ජාතිවාදී නයි විෂ, ඇගේ දරුවන්ට බිඳුවක් හෝ උරුම වී නොතිබේවා යන ප්‍රාර්ථනයයි.

(image: http://olocomeu.com/wp-content/uploads/2009/01/cruela-300x221.jpg)

Monday, 28 December 2015

දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...!


මා ලියූ ලිපියේ අද අවසන් කොටස.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

පස්වන කොටස.
ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana
https://rasikalogy.blogspot.com/2015/12/iusf-expels-daya-pathirana.html

අද අවසාන කොටස.

තම ජීවිතයේ අවසන් දිනයේ ද දයා පතිරණ ගත කර ඇත්තේ තම හදවතට එකඟ දේශපාලනයේ ම ය. පසුව ආරංචි වූ පරිදි, 1986 දෙසැම්බර් මස 14 දින හවස් භාගයේ ඔහු, තම සගයෙකු වූ සෝමසිරි ද සමග විරුද්ධ දේශපාලන කණ්ඩායමක ආරාධනයෙන් ඔවුන් හා සාකච්ඡුාවක් සඳහා පිටත්ව ගොස් තිබේ. තියුණු ආයුධ වලින් කපා කොටා ගෙල සිඳ දැමූ දයා පතිරණ ගේ අඩ නිරුවත් මළ සිරුර ද, ගෙල කපා තිබුණද ප‍්‍රානය නිරුද්ධ නොවී තිබී පසුව දිවි ගලවාගෙන මේ සිදුවීම් විස්තර කරන්නට වාසනාව තිබූ සෝමසිරි ගේ සිහි මූර්ඡුා වූ සිරුර ද පසුවදා, එනම් උදුවප් පුර පසළොස්වක දින, හිමිදිරියේ හොරණ ප‍්‍රදේශයේ දී හමුවිය. මෙම ආරංචිය, ඊටත් පසු දින දිවයින පුවත්පතේ ප‍්‍රධාන පුවත ලෙස කියවූ හැටි අද ද මට මතකය.

සතියකට පමණ පසු මා වෙනත් ගමනක අතරතුර කොළඹ සරසවියට ගොඩ නැගුනෙමි. එය ස්වාධීන ශිෂ්‍ය සංගමයේ එකම බලකොටුවක් බවට පෙරළී තිබුණි. ඔවුන් ප‍්‍රදර්ශනය කරමින් සිටි එක් බැනරයක මට සුපුරුදු කවියක් දිස්විය. එය නම්, පෙර සඳහන් කළ පරිදි, මා 1983 දී විශ්ව විද්‍යාල කුරුටු ගීයක් ලෙස ලියූ, එකල ජ.වි.පෙ. මතවාදයට ප‍්‍රතිවිරුද්ධ වූ, පසුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ඝාතන සමරු කලාපයේ කතුවැකිය සැරසූ, ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා මුළු ලෝකය එළිය කිරීම” පිළිබඳව වූ විප්ලවවාදී කවියයි.
අසාධාරණයෙ අඳුර බිඳින්නට
හිරු පායන තෙක් සිටි කාලය ඇති
බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
හෙට මුළු ලෝකය එළිය කළ යුතුය
මා පසුව ධර්මසිරි ගෙන් අසා දැනගත් පරිදි, 1985 සමරු කලාපයෙන් මෙය උපුටාගත් ස්වාධීන ශිෂ්‍යයෝ, මා නොදැන සිටිය ද, එය ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රචාරක පාඨයක් ලෙස වසරකටත් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරමින් සිට ඇත. ”බලහත්කාරෙන් හෝ හිරු පිබිදීමේ” සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වක් නොතිබුණා සේ ය.

මේ කථාවේ උත්ප‍්‍රාසය උපදවන අවසාන කොටස නම්, පසුව 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීමත් සමගම ජ.වි.පෙ. ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදුවන” ආකාරයේ මහා සිවිල් සටනකට බැස මහා ජීවිත හානියක් කරගැනීමත්, දයා පතිරණ මරණයේ පලිය ගන්නට දෝ, ”හිරු පිබිදවීම” පසෙක තබා, 1989 අවසානය දක්වාම පැවති ජ.වි.පෙ. සංහාරයට ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම ද එක්වීමත් ය.

මා මිතුරු නාකන්දලගෙන් ඉල්ලා ගත් "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය ඔහු කියවා අවසන් කර තිබූ එකක්දැයි නො දනිමි. එය මා කියවීම ඇරඹූ විගසම වාගේ දයා පතිරණ අතට පත්වීම නිසා මට ද ඒ අවස්ථාව අහිමි විය. දයා පතිරණ ද ඒ කෘතිය කියවූවායැයි මම නො සිතමි.

ඒ කෙසේ වෙතත්, එදා ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ සමාජවාදී ශිෂ්‍ය සංගමය අතර ඇතිවුණු මත ගැටුමට අදාළව මට අද ද වටහාගත නොහැකි එක් කරුණක් ඇත.

එය නම්, පවතින සමාජ දේශපාලන ක‍්‍රමයේ අසාධාරණ කම් නිසා රජයට විරුද්ධව සටන් කර බලය ලබා ගැනීම සඳහා දාමරික වූ දේපල නාශක සහ මිනිස් ඝාතන කි‍්‍රයාවලියක නිරත වීම සිංහලූන් අතරින් පැන නගින කණ්ඩායමක් කරන විට එය සාධාරණ වන්නේත්, එයම දෙමළ කණ්ඩායමක් විසින් කරණ විට ප‍්‍රතිගාමී මිනීමරු ත‍්‍රස්තවාදයක් වන්නෙත් කෙසේද යන්නයි.

-රසිකොලොජිස්ට්

Sunday, 27 December 2015

ජවිපෙ ජාතිවාදය සහ සටන් පාඨ - IUSF expels Daya Pathirana


කැමති අයගේ කියවීම සඳහා මා රාවය පුවත් සඟරාවේ පල වූ ලිපියක් කොටස් වශයෙන් බ්ලොගය හරහා මෙලෙස මුදා හරිමි.

මුල් කොටස:
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at midnight
http://rasikalogy.blogspot.com/2015/12/forcing-sun-to-rise-at-mid-night.html


දෙවන කොටස:
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students
http://rasikalogy.blogspot.com/2015/12/jvp-vs-independent-students.html


තුන්වෙනි කොටස:
ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony!
http://rasikalogy.blogspot.com/2015/12/what-irony.html

සිව්වන කොටස:
දයා පතිරණට එරෙහි ජවිපෙ කුමන්ත්‍රණය - Beginning of JVP bloody politics : Stage 2
http://rasikalogy.blogspot.com/2015/12/beginning-of-jvp-bloody-politics-stage-2.html

අද පස්වන කොටස.

පෙර සඳහන් කළ උසස් අධ්‍යාපන නව සංශෝධන පනත ට විරුද්ධව කෙරුණු සටන, මාර්තු මාසයේ පරාජිතව අවසාන වීමෙන් පසු මුළු 1985 වසර පුරාම පොදු ශිෂ්‍ය සටන් නොතිබුණි. ඒ අඩුව පිරිමහන්නට දෝ, විශ්ව විද්‍යාල මට්ටමෙන් ශිෂ්‍ය ප‍්‍රශ්න මතුවෙන්න ට විය.

මින් ප‍්‍රධාන තීරණාත්මක සටනක් වූයේ දයා පතිරණ ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම සහ ජ.වි.පෙ. අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය කණ්ඩායම අතර කොළඹ විශ්වවිද්‍යාලය තුළ පැන නැගුණු අරගලයයි.

ඒ වන තෙක්ම කොළඹ විශ්වවිද්‍යාලය තුළ ජ.වි.පෙ. නියෝජනයක් නැති තරම්ම විය. අවිශිබමය තුළ කොළඹ විශ්වවිද්‍යාලය නියෝජනය වූයේ තඹරලූවේ ජිනානන්ද වැනි, කෙළින්ම ජ.වි.පෙ. නොවේ යැයි පෙන්වූ අයගෙනි. පේරාදෙණියේ තත්වය ද එ ලෙසම විය. මෙම 1985 වසරේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කි‍්‍රයාකාරී කමිටුව තුළ ද ජ.වි.පෙ. කි‍්‍රයා කළේ පසු පෙළ සිට ය.

කෙසේ වෙතත් මේ දෙපිරිස අතර පැවති සටනින් පසු පැවති අවිශිබම රැස්වීම අති තීරණාත්මක එකක් විය. එදින කොළඹ සරසවිය නියෝජනය කිරීමට පොදු ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජිත තඹරලූවේ ජිනානන්දට අමතරව ජ.වි.පෙ. නියෝජනය කරමින් සරත් එදිරිසිංහ වැනි නමක් තිබූ ශිෂ්‍යයෙකු ද පැමිණ සිටියේ ය. ඔවුන් ගේ අති උද්වේගකාරී කථාවන් හි පොදු ඉලක්කය වූයේ දයා පතිරණ සහ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමයි.

මෙම රැස්වීමේ කැඳවුම්කරු වූයේ පසු කලෙක ජ.වි.පෙ. මධ්‍යම කමිටු සාමාජිකයෙකුව සිට මරණයට ලක් වූ, රංජිතන් ගුණරත්නම් ය. දයා පතිරණ තව දුරටත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයෙකු නොවේය යන තර්කය ඔස්සේ මෙදින ඔහු අවිශිබම නියෝජිතකමෙන් නෙරපුනි.

එම තීරණයට හිස නැමූ දයා පතිරණ, කොළඹ විශ්වවිද්‍යාලයේ රීඞ් මාවතේ ශිෂ්‍ය මධ්‍යස්ථානයේ පැවති එම රැස්වීමෙන් ඉවත්ව ගිය ආකාරය මට දැනුදු මැවී පෙනේ. එය එසේ සිදු වූවද, සභාවේ මුලාසනය දැරූ රංජිතන් ද එවකට ලියාපදිංචි ශිෂ්‍යයෙක් නොවී ය. එකම වෙනස වූයේ රංජිතන් තම ශිෂ්‍යභාවය තහනමකට ලක් වී සිටි අයෙකු වීමයි.

මේ සිදුවීම් මාලාවේ මීළඟ වැදගත් සිද්ධිය වන්නේ 1985 වසරේ සැප්තැම්බරයේ පමණ දේශපාලන කටයුත්තක් සඳහා මහනුවර පැමිණි දයා පතිරණ සහ තවත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ ධර්මසිරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රැයක් නවාතැන් ගැනීම ය. මෙම කාරණය නිසා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ කෙතරම් සලිත වූවා ද යත්, ඉන් ටික දිනකට පසු පැවති කි‍්‍රයාකාරී කමිටු රැුස්වීමේ දී, මේ පිළිබඳව මහා කලබගෑනියක් කරන්නටත්, ඔවුන්ට තම කාමරයේ නවාතැන් දුන් ශිෂ්‍යයාට විරුද්ධව අභූත චෝදනා නගන්නටත් ඔව්හූ පෙළඹුණහ.

එහිදී, ජ.වි.පෙ. අනුබද්ධ ඒ ශිෂ්‍යයන් ගේ ප‍්‍රධාන තර්කයක් වූයේ, දයා පතිරණ ඇතුළු පිණිස අන්ත රැඩිකල්වාදී පිරිසක් බවත්, ඔවුන් ගේ දේශපාලනය විශ්වවිද්‍යාලය සතු දේපල, සම්පත් විනාශ කරන ආකාරයේ එකක් නිසා ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළට වැද්දා ගත නොයුතු බවත් ය.

මෙම තර්කය මට එක් වරම සිහි කරවූයේ, ඉහත සඳහන් කළ මගේ කවියේ එන ”බලහත්කාරෙන් හෝ හිරු පුබුදා හෙට මුළු ලෝකය එළිය කළ යුතුය!” යන යෙදුම සහ එයට ජ.වි.පෙ. දැක්වූ ප‍්‍රතිචාරයයි.

තර්ක විතර්ක කෙසේ වූවද, මේ සියල්ලටම මුලික හේතුව වූයේ විශ්වවිද්‍යාල තුළ බල අරගලයට වඩා ඒ වන විට ජ.වි.පෙ. විසින් උතුරේ ප‍්‍රශ්නය මුල් කරගෙන ගෙන ගිය දේශපාලන මතවාදය හා වැඩ පිළිවෙළ සහ උතුරේ ජනතාවගේ ස්වයංනීර්ණය වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණලා ගේ දේශපාලනය අතර තිබූ මත අරගලය බව මම සිතමි.

මින් සුළු කාලයකට පසුව මා විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය නිම කල අතර හුදු ශිෂ්‍ය ප‍්‍රශ්න ගැන සටන් කළා මිස කිසි කලෙක කිසිදු පිටස්තර පක්‍ෂ දේශපාලනයක නිරත නොවුන බැවින් මගේ කි‍්‍රයාකාරී දේශපාලනය එතැනින් අවසන් විය.

ඊළඟ වසරේ දී (1986) ජ.වි.පෙ., ඔවුන් ට අනුබද්ධව සමාජවාදී ශිෂ්‍ය සංගමයට සමාන්තරව, දේශපේ‍්‍රමී ශිෂ්‍ය පෙරමුණ පිහිටුවන ලදී. අද දක්‍ෂිණාංශික දේශපාලනයක යෙදෙන ඇමතිවරයෙකු වන චම්පක රණවක ද මේ දිනවල සහ ඉන් පසුව එළැඹුණු භීෂණ සමය තුළ මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස කි‍්‍රයාකාරී ශිෂ්‍ය දේශපාලනයේ යෙදුණු බව 1990 දී ඔහු දිවයින පුවත් පතේ පළ කළ ලිපි මාලාව මගින් එළිදරව් කළේ ය.

දේශපේ‍්‍රමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පොදු සටන් පාඨය වූයේ බෙදුම්වාදීන්ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු! සහ ඊට සමගාමී වූ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබඳව ජ.වි.පෙ. මතවාදයයි.

මේ කාලය වන විට, ලංකාවේ අනෙකුත් වාමාංශික පක්‍ෂ වට මේස සාකච්ඡා යනාදිය තුලින් පොදුවේ යොමුවෙමින් තිබුණේ බලය බෙදා හැරීම මත පදනම් වූ විසඳුමක් කරා ය. දයා පතිරණලා ට අමතරව, මේ රේඛාවෙන් අනිත් පස අන්තයේ මත දැරූ වෙනත් දේශපාලන කණ්ඩායම් ද තිබුණි. මෙයින් එක් කණ්ඩායමක් වූ විප්ලවවාදී කොමියුනිස්ට් පක්‍ෂය මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ යම් පදනමක් ගොඩ නංවාගෙන තිබුණි.

අවසාන කොටස: දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? - Daya Pathirana, the end...! :: https://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html

-රසිකොලොජිස්ට්

(image: source unkown, copied from w3lanka.com)

Thursday, 24 December 2015

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students


මා මේ ලියාගෙන යන්නේ අතීත සිදුවීම් කිහිපක් පිළිබඳව මගේ මතකයයි. රාවය පුවත් පතේ පළවූ මෙහි මුල් කොටස මෙතැනින් කියවන්න.

අද පළවෙන්නේ දෙවෙනි කොටසයි. කැමැත්තෝ කියවත්වා.

වසා දමා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ වන විට පෙර කී කූප‍්‍රකට පොලිස් ස්ථානය රජය විසින් ඉවත් කර ගෙන තිබුණි. අබේසේකර සොයුරා මරා දැමූ දින රාති‍්‍රයේ ඉබේම වාගේ ඇරඹුණු ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව (අප මෙය ඇක්ෂන් කමිටී හෙවත් ඒ.සී. කියා හැඳින්වූ අතර අනෙක් බොහෝ විශ්වවිද්‍යාලවල එය ප‍්‍රසිද්ධ වූයේ ඇක්ෂන් එක කියා ය) විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සමග යම් සුහදතාවයක් ද ඇති කර ගනිමින් 1983 ජූලියේ සිට තහනම් කර දමා තිබූ මහා ශිෂ්‍ය සභාවේ අඩුව පිරිමැසී ය.

මේ පේරාදෙණිය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිතයෙකු ලෙස අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ රැුස්වීමට සහභාගී වෙන්නට මට නැවත සිදුවූයේ 1984 වසරේ අග භාගයේ දී ය.

පේරාදෙණියේ සිට කොළඹ බලා අප කළ බස් ගමනේ දී කියවීම පිණිස මා රුසියානු පොතක සිංහල පරිවර්තනයක් වූ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොත රැගෙන ගියෙමි. මේ පොත මා කියවීම පිණිස ඉල්ලා ගෙන තිබුණේ කෘෂි විද්‍යා ශිෂ්‍ය සුමිත් නාකන්දලගෙනි. කොළඹ රාජගිරියේ ආයුර්වේද ශිෂ්‍ය නේවාසිකාගාරයේ පැවති මේ රැස්වීමට පොලිසියෙන් කඩා වැදීමක් සිදු වේ යැයි ඇතිවුණු සැකයක් නිසා අපට හදිසියේ රැස්වීම අවසාන කරන්නට සිදුවිය. මා ආපසු පේරාදෙණිය බලා ගියේ "සමාජවාදය නම් කුමක්ද?" කෘතිය රාජගිරියේ අමතක කර දමා ය.

ශිෂ්‍ය සභා වෙනුවට උප කුලපති ගේ සභාපතිත්වයෙන් යුතු ශිෂ්‍ය සම්බන්ධතා කමිටු ද, උප කුලපති පත් කිරීම ආචාර්වරුන්ගේ ඡුන්දයෙන් නොව උසස් අධ්‍යාපන ඇමති විසින් සිදු කිරීම ද නීතිගත කරන උසස් අධ්‍යාපන සංශෝධන පනත 1985 ජනවාරියේ රජයෙන් සම්මත කෙරිණි. මෙයට විරුද්ධව අවිශිබම මගින් විශ්වවිද්‍යාල පුරාත්, රට පුරාත්, මහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී.

මේ කාලයේ දී පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ මා සහභාගී වුණු රැස්වීම්වල දී විටින් විට දයා පතිරණ මට හමුවිය. මා කොළඹ අමතක දමා ආ "සමාජවාදය නම් කුමක්ද?" නම් පොතේ පිටපත ඔහු ළඟ ඇති බවත්, ඔහු ගේ නේවාසිකාගාරයට පැමිණ එය ලබාගත හැකි බවත් දයා පතිරණ ඒ මුල් වාරයේ දී ම මට පැවසීය. පොත කියවා හෝ සමාජවාදය යමක් ඉගෙන ගත්තාදැයි ඔහුට මා සරදමක් කළ ද අවාසනාවකට මෙන් එය ආපසු ලබාගැනීමට මට ඉඩක් නොලැබුණි!

කෙසේ වෙතත් ඒ අවිශිබම රැස්වීම්වල දී දයා පතිරණ හා කතා බහ කරන්නටත්, ඔහු ගේ දේශපාලය කුමක් දැයි තරමක් දුරට හෝ වටහා ගන්නටත් මට හැකිවිය.

දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණ ට සම්බන්ධ වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් කරුණු කිහිපයක් නිසා වෙනස් වූ බව මට පෙනුණි.

සමාජවාදී ශිෂ්‍ය සංගමය මුළු රට පුරා ව්‍යාප්ත වී තිබුණු අතර ස්වාධීනයෝ කොළඹ විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ කුඩා කණ්ඩායමක් වූහ. එසේ වූව ද, සමහර විට එ නිසාම, නයි-මුගටි සටනින් කොළඹ දී එවකට ජයගත්තෝ මුගටියෝ වූහ.

මේ නයි-මුගටි වෛරයට පාදක වූ මූලික දේශපාලන වෙනස් කම වූයේ මේ දෙපිරිස ජනවාර්ගික ප‍්‍රශ්නය සහ උතුරේ සටන පිළිබඳ දැක්වූ ප‍්‍රතිවිරුද්ධ අන්ත දෙකේ මතවාදයන් විය.

ස්වාධීන කණ්ඩායම දෙමළ ජනතාවගේ ස්වයංනීර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ප‍්‍රවාහය නියෝජනය කළේ ය. ජ.වි.පෙ. මතවාදය මීට ඉඳුරාම වෙනස් එකක් විය. ශිෂ්‍ය දේශපාලනයට මෙය කෙළින් ම සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවූයෙන් බොහෝ පොදු කරුණු අරභයා යම්තාක් දුරකට එකට වැඩ කිරීම මේ දෙපිරිසට ප‍්‍රශ්නයක් නොතිබුණුමුත් රටේ සෑම සංසිද්ධියකටම කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ බලපෑ උතුරේ යුද්ධය නිසා ඒ දේශපාලන වෙනස්කම විටින් විට ඉස්මතු විය.

තුන්වෙනි කොටස: ජවිපෙට අජීර්ණය හැදෙන කවියක් - What an irony! :: https://rasikalogy.blogspot.com/2015/12/what-irony.html.

-රසිකොලොජිස්ට්

(image: http://www.cmb.ac.lk/index.php/university-of-colombo/)

Wednesday, 23 December 2015

දයා පතිරණ පිළිබඳ මතකය - Forcing the sun to rise at mid-night


පසුගිය ඉරිදා රාවය පුවත් සඟරාවේ මගේ ලිපියක් පළවිය. එය මගේ විශ්වවිද්‍යාල ජීවිතය හා බැඳුණු එකකි. හැබැයි එහි ප්‍රධාන නළුවා මා නොව, ජනතා විමුක්ති පෙරමුණ / සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මරා දැමූ බවට සැක කෙරෙන කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ දයා පතිරණ ය.

මගේ ලිපිය දිග වැඩි වීම නිසා එහි අවසාන පරිච්ඡේද කිහිපය රාවයෙන් හැලී ගොස් තිබුණු බැවින් මුළු ලිපියම (කොටස් කිහිපයකින් යුතුව) රසිකොලාජියේ පල කිරීමට සිතුවෙමි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයේ ඉතිහාසය ගැන උනන්දුවවක් ඇති ඇත්තෝ කියවත්වා!

-රසිකොලොජිස්ට්

දයා පතිරණ සහ බලෙන් හිරු නංවීම
දයා පතිරණ ඝාතනයේ විසිනමවෙනි සංවත්සරය නිමිත්තෙනි

අසූව දශකයේ මැද භාගයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා ලෙස කටයුතු කළ දයා පතිරණ සහෝදරයාව කපා කොටා ඝාතනය කර දමා තිබුණේ අදින් වසර විසි නමයකට පෙර 1986 දෙසැම්බර් මස 15 වන දිනට යෙදුණු උදුවප් පුර පසළොස්වක පොහෝ දා ය.

ඉන් වසර දෙකහමාරකට උඩ 1984 ජූනි මාසයේ දී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පද්මසිරි අබේසේකර සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රෝහණ රත්නායක ශිෂ්‍යයන් දෙදෙනා රාජ්‍ය සේවයේ වෙඩි උන්ඩයෙන් මිය ගොස් තිබුණු බැවින් තවත් සරසවි සිසුවෙක් මරා දමා තිබීම එවකට රටේ මහජනතාව අතර විශාල කලබගෑනියක් ඇතිවීමට හේතුවක් නොවීය. නමුත් දයා පතිරණ ගේ මරණය එසේ සතුරු වෙඩි උණ්ඩයකින් සිදුවූවක් නොව මිතුරු ලෙසින් පැමිණි මාරයාගෙන් ලැබුණු පිහි පහරින් සිදු වූ එකක් වීම විශේෂයකි.

දයා පතිරණ ඝාතනයට මුලික ම හේතුව ලෙස මතුපිටින් පෙනුණේ කොළඹ සරසවියේ ශිෂ්‍ය නායකත්වය පිළිබඳ බල අරගලය වූව ද, සැබෑ වූ හේතුව වූයේ උතුරේ යුද්ධය සහ ජනවාර්ගික ප‍්‍රශ්නය පිළිබදව වූ වඩා පුළුල් මතවාදී ගැටුමක් ඔඩුදුවා යෑම බව මගේ හැඟීමයි. එ නිසා ම මෙම ඝාතනය, පසු කාලයේ ලංකාව තුළ උතුරු නැගෙනහිරින් බාහිරව සිදු වූ මහා ජීවිත විනාශයේ සමාරම්භක මිනිස් බිල්ල ලෙස කෙරෙන හඳුන්වා දීම ඉතා වැදගත් වේ.

දයා පතිරණ (ඔහු ගේ මුළු නම හේවා පතිරණගේ දයානන්ද පියසිරි විය) මට මුලින්ම හමුවූයේ 1984 අගෝස්තු මාසයේ දිනයක කඩවත සූරිගම පන්සලක පැවැත්වුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මංඩල (අවිශිබම) රැස්වීමේ දී ය. ඔහු ගේ මරණයෙන් පසුව මා දැනගත් පරිදි දයා පතිරණ මාතර ප‍්‍රදේශය තම නිජබිම කරගත්තෙකි. ඔහු පාසැලේ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක් වූ බව ද කියවුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අප "අවිශිබම"ය හැදින්වූයේ "අයි.යූ.එස්.එෆ්." යන මුලකුරු වලින් වුවද එය අනෙකුත් විශ්වවිද්‍යාලවල ජනපි‍්‍රය වූයේ "අන්තරය" යන නමිනි. අවිශිබමයේ කැඳවුම්කරු ලෙස එවකට කි‍්‍රයා කළේ පසුව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු වූ උපාලි ජයවීර ය. ඔහුට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයෙන් මෙම රැස්වීමට මහජන පක්‍ෂයට, ශී‍්‍රලනිපයට සහ නව සමසමාජ පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය සංගම් නියෝජනය කරන නියෝජිතයන් ද, එදින කුමන පක්‍ෂයක් නියෝජනය කළේ දැයි මා අදත් නොදන්නා, පසුව 1994 දී ශී‍්‍ර.ල.නි.ප.යෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු, ඩිලාන් පෙරේරා ද සහභාගී විය.

ඩිලාන් එවකට ජ.වි.පෙ. හිතවාදියෙකු වූ බව මම අනුමාන කරමි. මා ඔහු අවසාන වරට සජීවීව දුටුවේ 1985 මැයි දිනයේ කොළඹ නව නගර ශාලාවේ පැවති නිල නොවන ජ.වි.පෙ. මැයි දින රැලියේ දී සිය පියාත්, නැගණියත් සමග සිටිය දී ය.

රැස්වීමට සහභාගීවූවන් බහුතරය එක්කෝ ජ.වි.පෙ. කි‍්‍රයාකාරිකයින් හෝ නැතිනම් ජ.වි.පෙ. අනුගාමිකයින් (එනම් විශ්වවිද්‍යාලයට පරිබාහිර ජ.වි.පෙ. දේශපාලනයට ද යම් ලෙසකින් දායක වෙන්නන්) හෝ නැතිනම් ජ.වි.පෙ. හිතවාදීන් (එනම් එවකට ශිෂ්‍ය දේශපාලනය තුළ ජ.වි.පෙ. කි‍්‍රයාකාරීත්වය පිළිබඳ බරපතල ප‍්‍රශ්න නැත්තන් - සමහරවිට ඩිලාන් පෙරේරා මේ ගොඩට වැටුණා විය හැක) බව කැපී පෙනුණි. කොළඹ, මොරටුව, ජයවර්ධනපුර, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල ද අඩු වැඩි වශයෙන් නියෝජනය වී තිබුණු අතර යාපනය සහ නැගෙනහිර සරසවිය ප‍්‍රායෝගික කරුණු මත අවිශිබමයේ කොටසක් නොවී ය.

එදා රැුස්වීමට පැමිණ සිටි අය අතර සිහින් සිරුරකින් ද බොකුටු කොණ්ඩයකින් ද යුතු කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ කැපී පෙනුණි. ඔහු ජ.වි.පෙ. හිතවාදියෙක් නොවන බව ක්‍ෂණයකින් පැහැදිලි වූයේ ඔහු කවුරුදැයි රැස්වීමේ කැඳවුම්කරු ද ඇතුළුව සභාවෙන් ප‍්‍රශ්න නැගුණු විට ය. තමා කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායම නියෝජනය කරන බවත්, පසුගිය දිනක පැවති ජල බදු විරෝධී රැුලියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නියෝජනය කරමින් කතා කළ තමා ට මෙම අවිශිබම රැස්වීමට සහභාගීවීමට අයිතියක් තියෙන බවත් දයා පතිරණ ස්ථිරසාරව ප‍්‍රකාශ කළේ ය.

කූප‍්‍රකට භීෂණ සමය මේ වන විට ලංකාවේ තවමත් ආරම්භ වී නොතිබුණ ද මෙම අවිශිබම රැස්වීම පැවැත්වූ කාලය ද විශ්වවිද්‍යාල සිසුන් ට නම් එක්තරා ආකාරක භීම සමයක් විය. පෙර සඳහන් කළ පරිදි පද්මසිරි අබේසේකර සහ රෝහණ රත්නායක ශිෂ්‍යයින් වෙඩි තියා මරා දමා ඒ වන විට ගතවී තිබුණේ යාන්තම් මසක් පමණ කාලයක් පමණි. මේ රෝහණ රත්නායක ශිෂ්‍යයා දයා පතිරණ නායකත්වය දුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වී යැයි සිතමි.

මේ වන විට විශ්වවිද්‍යාල සියල්ල ම වසා දමා තිබුණු අතර අප එදා රැස්වුණේ ශිෂ්‍ය විරෝධය ඉදිරියට ගෙනයාමත්, විශ්වවිද්‍යාල නැවත විවෘත කරගැනීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ එවකට පිහිටුවා තිබූ පොලිස් ස්ථානය ඉවත්කරවා ගැනීමත් පිළිබඳ සාකච්ඡා කිරීමටය. මගේ මතකයට අනුව රැස්වීම අවසාන වූයේ, පොලීසිය එතැනින් ඉවත් කරන ලෙස රජයට බල කිරීම පිණිස, පොදු ජන පෙත්සමක් අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග ය.

දෙවෙනි කොටස: කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති නයි-මුගටි සටනක්! - JVP vs Independent Students :: https://rasikalogy.blogspot.com.au/2015/12/jvp-vs-independent-students.html.

-රසිකොලොජිස්ට්

Friday, 16 October 2015

මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර සහ ජාතිවාදී මැර සම්බන්ධකම් - Obscure Observations


මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවා මා දැන උගත් කරුණු කිහිපයක් සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි.

දහනමවන ශත වර්ෂයේ වසර 1890 දී උපන් මාර්ටින් වික්‍රමසිංහ ස්වෝත්සාහයෙන් උගත්තෙකි. විවිධ දුක් ගැහැට මැද ජීවිතය අරඹා පසුව පුවත්පත් කතුකම සහ ලේඛකත්වය නිසා සිංහල සමාජයේ පොත් පුවත්පත් කියවන පිරිස අතර ඉහළ ප්‍රසිද්ධියක් ලද්දෙකි.

මාර්ටින් වික්‍රමසිංහ ගේ වඩාත් ජනප්‍ර්‍රිය වැඩි දෙනෙකු කියාවා ඇති කෘතිය "මඩොල්දූව" බව නිසැක ය. "ගම් පෙරළිය" ද, සිංහල භාෂාව පිළිබඳ විභාගවලට නියමිත පොතක් නිසා වැඩි පිරිසක් කියවා තිබේ යැයි සිතමි. ඔහු ගේ වඩාත් ආන්දෝලනයට ලක්වූ කෘතිය වූයේ "බව තරණය" යි.

සිද්ධාර්ථ ගෙෘතම ගේ ජීවන චරිතය ආශ්‍රයෙන් ලියවී තිබුණු "බව තරණය", එ නිසා ම, පොත කියවූ, නොකියවූ පිරිසක ගේ විරෝධතාවයට ලක් විය. එවකට, ලංකාවේ බෞද්ධ තලිබාන්කරනය අද තරම් පැතිර නොතිබුණු නිසා, ඒ විරෝධය අකුරු මගින් කෙරෙන ප්‍රහාරයන්ගෙන් ඔබ්බට නොගියේ ය.

අද දවසේ ඒ කෘතිය ලියවුණා නම්, බොඩු බාල සෙන්නා වැනි අන්තවාදී පිරිස් තම වාලධි ඔසවා ගෙන, මාර්ටින් වික්‍රමසිංහ එල්ලුම් ගහට යැවිය යුතු යැයි විරෝධතා නගනු ඇති බවට නො අනුමානය!

දැන් මෙන්න මාර්ටින් වික්‍රමසිංහ ගේ "උපන්දා සිට" නම් වූ ස්වයංචරිතාපදානය කියවීමෙන් මා දැන උගත් දේ ලයිස්තුව.

  1. පොඩි කාලේ සිට අපි කතන්දරවල ගමරාල නමින් හැඳින්වෙන චරිත ගැන අසා ඇත්තෙමු. නමුත්, සාමාන්‍යයෙන් ගරුසරු සහිතව වෙද මහත්තයා හෝ එවැනි අයුරකින් ඇමතුම් ලබන ගමේ වෙදාට, මාර්ටින් වික්‍රමසිංහ උපන් දා සිට කෘතියේ අමතන්නේ වෙදරාල කියායි. මඩොල්දූවේ ද, වෙදරාල යන්න යෙදුණු බවට මතකයක් ද මට ඇත.
  1. අද ලියන භාෂාවේ භාවිතා වෙන "විය" යන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇත්තේ වී ය යනුවෙන් බවද මම නිරීක්‍ෂණය කළෙමි.

    එනම්, "එය එසේ සිදුවිය" හෝ "එය එසේ සිදු විය" කියා අප ලියන වාක්‍යයක් මාර්ටින් වික්‍රමසිංහ ලියන්නේ "එය එසේ සිදු වී ය" යනුවෙනි.
  1. සැතපුම යන මිනුම දක්වන වචනය වෙනුවට මාර්ටින් වික්‍රමසිංහ යොදා ඇත්තේ "මයිල" යන වචනයයි. මයිල් යන ඉංගිරිසි පදයෙන් වාත්තු කරගත් මයිල යන්න අද කාලයේ සිහි කරවන්නේ සමෙන් මතුවෙන රෝමකූප පමණි.

    මේ ආකාරයෙන් ම වාත්තු කරගෙන ඇති මිනිත්තුව, පනිට්ටුව, බිස්කට්ටුව, පෙරෙට්ටුව වැනි වචන නම් අද ද භාවිතයේ පවතී.
  1. "තාන් රෙදි" නමින් යෙදුමක් උපන් දා සිට කෘතියේ කීප වතාවක් යොදා තිබෙනු දුටුවෙමි. මෙයින් අදහස් වෙන්නේ තුනී රෙද්දක් යැයි මා මුලින් සිතුවත්, එහි නිවරැදි තේරුම අලුත් රෙද්දක් බව පසුව වටහා ගතිමි.
  1. තමා උපන් දා සිට වසර පනහකට වඩා ජීවිත කාලය ගැන ලියවී ඇති මේ කෘතියේ මාර්ටින් වික්‍රමසිංහ සඳහන් කර ඇති එක් නොවැදගත් යැයි පෙනෙන සිදුවීමක් මට මුලින් ගෙන දුන්නේ පුදුමයකි.

    ඒ සිදුවීම මෙසේ ය.

    මාර්ටින් වික්‍රමසිංහ තම ඥාතියෙකු ගේ මඩකලපුවේ පිහිටි සිල්ලර බඩු කඩයක සේවය කරන සමයේ එහි විත් බඩු තෝරමින් සිටින එක්තරා ඉංගිරිසි ජාතික කාන්තාවක ගේ අතක යමක් ගෑවෙයි. මෙය දුටු මාටින් වික්‍රමසිංහ කරන්නේ තාන් තුවායක් ගෙන ඇගේ අත පිස දැමීමයි.

    දශක ගණනාවකට පසු තම ස්වයංචරිතාපදානය සකසන විට මෙලෙස විස්තර කර ලියන්නට මාර්ටින් වික්‍රමසිංහ පෙළඹවූ ඉහත සිදුවීමේ වැදගත්කම කුමක්ද?

    ස්වදේශිකයින් සහ විදේශිකයින් අතර යටත් විජිත සමයේ තිබුණු විශාල පරතරය නිසා ඉහත සිදුවීම තම ජීවිත කතාවට ඇතුළත් කිරීමට තරම් ඉතා වැදගත් එකක් සේ මාර්ටින් වික්‍රමසිංහට සිතුණා විය හැක.

    නමුත්, මට සිතෙන්නේ ඒ නොවැදගත් සිදුවීම විස්තර කිරීමට හේතුව මාර්ටින් වික්‍රමසිංහ ගේ කුමර බඹසර බිඳුනේ ඒ ඉංග්‍රීසි ජාතික කාන්තාව ගේ අත ඇල්ලූ මොහොතේ නිසා බවයි!
  1. උපන් දා සිට කෘතියේ මගේ අවධානය යොමු වූ තවත් වැදගත් කොටසක් නම් 1915 බෞද්ධ-මුස්ලිම් කෝලාහලය පැන නැගුණු මොහොතේ මාර්ටින් වික්‍රමසිංහ හැසිරුණු ආකාරයයි.

    අනිවාර්යෙන් ම මාර්ටින් වික්‍රමසිංහට මැරයින් සමග සම්බන්ධතා තිබී ඇත. තම මැර මිතුරන් කරත්තයක නැගී, කඩු කිනිසි මුගුරු රැගෙන, ගාල්ල බලා යද්දී මාර්ටින් වික්‍රමසිංහ ඒ පිරිස හා එකතුවන්නේ කිසිදු ප්‍රායෝගික විරෝධතාවක් නොදක්වමිනි. ඔහු ඒ ගමන නිහඬතාවයෙන් අනුමත කළා පමණක් නොව සහභාගීත්වයෙන් සහයෝගය ද දක්වා ඇත.

    රෑ බෝ වී ගාල්ලේ මුස්ලිම් ප්‍රජාව සිටින ප්‍රදේශයට මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස ළඟාවන විට ඔවුන් එහි එන බව දැන ඔවුන් පිළිගන්නට එහි රැඳී සිටින්නේ පොලිස් නිලධාරීන් සහ ගම්මුලාදෑනී පිරිසකි.

    පසුව ආණ්ඩුවේ ඒජන්ත ද එහි පැමිණේ.

    සිදුවී ඇත්තේ මෙයයි.

    කඩුූ කිනිසි මුගුරු රැගෙන කරත්තයකින් කොග්ගල සිට ගාල්ල බලා පිටත් වූ ඒ මැර පිරිසේ ජාතිවාදී පරමාර්ථය දැන ගත් ගමේ ඥාතීන් මේ ගැන සඳහන් විදුලි පණිවිඩයක් පොලිසියේ ලොක්කාට එවා ඇත.

    ජාතියේ වාසනාවකට, මාර්ටින් වික්‍රමසිංහ සහ මැර පිරිස රැගත් කරත්තය ගමනාන්තයට ළඟාවෙන විට ඔවුන්ගේ ආගමනය පිළිබඳ පුවත රැගත් විදුලි පණිවිඩය ආරක්‍ෂක අංශවලට ලැබී තිබුණි.

    ජාතිවාදී අපරාධ ක්‍ර්‍රියාවක් මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස අතින් සිදුවෙන්නට පෙර එය වළක්වාගැනීමට හැකි වුණු නිසාත්, විවිධ දැන ඇඳුනුම්කම් නිසාත්, චෝදනා නො ලබා, අත් අඩංගුවට පත් නොවී නිරුපද්‍රිතව ආපසු තම ගම් පෙදෙස බලා යන්නට ඔවුනට ඉඩ ලැබේ.

    පෙර කී විදුලි පණිවිඩය නොවන්නට එදා මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු මැර පිරිස මුස්ලිම් කඩ කඩන්නට සහ මුස්ලිම් වැසියනට පහර දෙන්නටත්, අප දන්නා මාටින් වික්‍රමසිංහ නම් මහා ලේඛකයා වෙනුවට, හෙන්රි පේද්‍රිස් ආකාරයේ තවත් ජාතික වීරයෙක් බිහිවීමටත් ඉඩ තිබුණු බව පෙනේ.
කෙසේ වෙතත්, මාර්ටින් වික්‍රමසිංහ ජාතිවාදියෙකු බවට ස්ථිරවම පැවසිය හැකි වෙනත් කරුණු ඔහු ගේ ලියවිලි තුළින් මට හමුවී නොමැති බව ද කිව යුතුය.

-රසිකොලොජිස්ට්

(image: http://archives.dailynews.lk/2009/07/31/fea27.asp)

Tuesday, 19 May 2015

එක් සැමරුමක් සහ ගීත ද්වයක් - One country, two languages


මුවන්පැලැස්ස යනු, මා කුඩා කාලයේ ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයකි. ඉංගිරිසි පාලන සමයේ කෑලෑබද නොදියුණු ගම්මානයක වාසය කළ චරිත සමූහයක ගේ ජීවිත ආශ්‍රයෙන් ගොඩ නැගුණු ඒ නිර්මාණය එකල ලංකාවේ සාමාන්‍ය ජනතාව ගේ ජීවන ප්‍රශ්ණ ගැණ සාකච්ඡා නොකළ ද, සතියකට අඩ පැයක් හෝ නව නළු රසයෙන් සැනසීමට අවස්ථාවක් ලබා දුන් බව කිව යුතුය.

මුවන් පැලැස්ස නාට්‍යයේ දුෂ්ඨ චරිතය වූයේ ගම පාලනය කළ ආරච්චිලයි. ගමේ චණ්ඩි වීරයා වූ කදිරාට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහුට අවශ්‍ය වූ අතර ඒ සඳහා වෙනකෙකු ලවා පැමිණිල්ලක් ලබා ගැනීමට ආරච්චිල වැඩ පිළිවෙලක් සැකසුවේ ය.

මේ පැමිණිල්ලේ මුල් වාක්‍යය අරඹුණේ "කදිරා වනාහී..." කියාය. නමුත් එතැණින් පසු කුමක් ලිවිය යුතුදැයි ගලපා ගැනීමට ආරච්චිලට නොහැකි විය. මෙහිදී, ආරච්චිල ගේ ලියන්නා ලෙස කටයුතු කළ උක්කු බණ්ඩා නම් ගමේ පෙම්වතා, ආරච්චිලට මතක් කර දුන්නේ ඔහු පාසලේ ඉගෙන ගත් "වනාහී" යන වචනය යෙදුණු එකම වාක්‍යය වූයේ "පොල් ගස වනාහී තාල වර්ගයට අයත් ගසකි" යන්න බවයි.

එහෙනම්, ලියා ගනිං "කදිරා වනාහී තාල වර්ගයට අයිති ගසකි. කියලා!" ආරච්චිල කීවේය.

අප බොහෝ දෙනෙකු දන්නා පරිදි, තාල් වර්ගයට අයිති ගස් යනු, අතු නොබෙදී කෙලින්ම ඉහලට ඇදෙන ගස් ය. ලංකාවේ බහුලව වැවෙන තාල වර්ගයේ ගස් වනුයේ පොල් සහ තල් ගස්ය.

තල් ගස් සාමාන්‍යයෙන් වැවෙන්නේ රටේ උතුරුකරයේ ය. පොල් ගස යනු ප්‍රධාන වශයෙන් දකුණුකරයට අයිති ගසකි.

නාමිකව උතුර-දකුණ අතර සිදුවුණා යැයි සරලව සැලකිය හැකි ලංකාවේ පැවති සිවිල් යුද්ධය ගැන ලියවුණු මේ පහත ගීතයේ පොල් ගස් සහ තල් ගස් පිළිබඳව කියවේ.

මානුශික යුද්ධය ගැන ලියවුණු අමානුශික ගීතය

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

තිසා වැවේ, නුවර වැවේ නිල් දිය දහරේ
මාවිලාරු, ඉරණාමඩු නිල් දිය දහරේ
ඒ වතුරේ පීන පීන
මේ වතුරේ පීන පීන
දියඹුං ගැසු කොලු රංචුව අද කොහේද
භූමදානයේ

හම්බන්තොට ලේවායේ ලුනු වේලෙන්නේ
කිලිනොච්චියේ හේනේ දෙහි ඇඹුල් පිරෙන්නේ
ඒ ලුනු රස පදමට ගෙන
දෙහි ඇඹුලට මුසු කරගෙන
මුළු රට කිරිබත් කන දිනයක් ගැන
සිත විමසන්නේ

තනුව සහ සංගීතය - විශාරද ඉන්දු ප්‍රේමතිලක
ගායනය- ළමා ගායක තිසල් පාදුක්කවිදාන
පද රචනය- රසික සූරියආරච්චි

ඒ ගීතයේ පද මාලාව වසර 2009 දී ලියවුණු අතර ගීතයක් ලෙසින් නිමවූ ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ නිෂ්පාදනයක් ලෙස 2010 දී එළිදැක්වුණු රැවැත්තියේ සංයුක්ත ගී තැටියට අඩංගු විය.

මෙතනින් අසන්න.


මෙතනින් බා-ගන්න.
http://www.divshare.com/download/14815982-217

ඒ මානුෂික යුද්ධය නිමවී වසර හයක් සිපිරෙන අද දවසේ, එය සැමරීම වස් නිර්මාණය වුණු විශිෂ්ඨ ගීතයක් අද උදැසන මට අසන්නට ලැබුණි.

මේ ගීතය ෆේස්බුක් ජාලය හරහා බෙදා හැරුණු නිසා ඔබ බොහෝ දෙනෙක් දැනටමත් අසා තියෙන්නට ඉඩ ඇත. එසේ වුවද, කීප වරක් නැවත නැතව ඇසීමට සුදුසු නිසා මෙසේ බෙදා ගැනීමට සිතුවෙමි.

සහෝදරත්වයේ ගීතය - ஒற்றுமை பாடல் - Song of Unity

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

ஒரே தேசத்தில்
ஒரே நட்புத் திரள்
ஒரே வாழ்வில்
ஒரே உயிர்த்துளி

එක කඳුළු බිඳක් - එක හසරැල්ලක්
සෙනෙහස හඳුනන -එක මිනිස් කැලක්

ஒரே கண்ணீர் துளி
ஒரே புன்னகை அலை
அன்பை அறியும்
மனிதக் கடல்

එකම දුකක් - නිවන සුසුමක්
එකම හෙටක් - ගැන සුබ පැතුමක්

ஒரே துன்பத்தை
துடைத்தெறியும்
வாழ்த்து மடல்.

අපි එකම රටක් - එක මිතුරු කැලක්
එක ජීවිතයක් - එක හුස්ම පොදක්

නිර්මානය: අලුත් පරපුර කණ්ඩායම
ගායනය: ඉන්ද්‍රචාප ලියනගේ, නිලුක්‍ෂණී ජයවීරසිංහම්
පදමාලාව: චිනතන ධර්මදාස
සංගීතය: කසුන් කල්හාර

https://www.facebook.com/AluthParapura/videos/875778855827208/

-රසිකොලොජිස්ට්

(images: https://www.flickr.com/photos/gavinkwhite/4788842739/ & http://humanityashore.com/ha/archives/271)

Thursday, 2 April 2015

පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!


හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට එන බව අනුමාන කළ හැක.

ඔහු ඒ බව කෙලින්ම කියා නැති නමුත්, විමලසේන ඇතුළු හෙන්ච්මන් ලා කරන ගෝෂාව නිසාත්, එනවාදැයි අසන විට නැතියැයි කෙලින් නොකියන නිසාත්, ඔහු යළි නොඑනවා යැයි සිතීමට වඩා, එනවා යැයි සිතීම වඩා ප්‍රායෝගික බව පෙනේ.

මගේ අවංක අදහස නම් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියහොත් වඩාත් හොඳ බවයි.

එයට හේතු කිහිපයකි.

ඔහු බලයේ සිටි කාලයට හෝ ජනාධිපති ඡන්දය පැවැත්වුණු කාලයට හෝ වඩා හොඳින්, පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිසා, අද වන විට මට මා දන්නා හඳුණන අය අතරින් ජාතිවාදීන් යනු කවුරුන්දැයි වෙන්කර හඳුණා ගැනීමට හැකි වී තිබේ. ඡන්දය පැරදුණු දිනට පසු ඒ ආසන්න කාලයේ දී, දුකෙන් තැවෙන රාජපක්‍ෂවාදීන් කෙරෙහි මගේ සිත තුල ඇති වූයේ සැබෑ දුකකි. සන්තාපයකි. ඒ ඔවුන් ඒ දිනවල නැගූ හද කකියවන විලාපය නිසා ය.

අද වන විට ඒ විලාපය, එකම ජාතිවාදී උඩු බිරුමක් බවට පත් වී තිබේ. මිතුරන් ද, මිතුරන් නොවන අය ද අතරින් ජාතිවාදීන් කවුරුන්දැයි මට හඳුනා ගැනීමට ඉතා පහසු වී ඇත්තේ ඒ උඩු බිරුම නිසා ය.

මීට කලකට පෙර මා ලැබූ අත්දැකුමක් ගැන සිහි කරනවා නම්, කුරිරු මිනී මැරුමක ඡායාරූපයක් දුටු විට, ඒ ගැන කම්පාවන්නෝ ද, නිහඬව සිටින්නෝ ද එක සේ සිටිති. ඒ නිහඬව සිටින්නන්ගෙන් බහුතරයක් එසේ ඉන්නේ විස්සෝපයෙන් තුෂ්නිම්භූත වී හෝ මුව ගොළු වී හෝ නොවේ. ඔවුන් නිහඬව සිටින්නේ ඒ අදාල මරණය නිහඬව අනුමත කරමිනි.

මේ අතර තව පිරිසක් කරන්නේ මිනී මැරුම සනාථ කෙරෙන ඡායාරූප ගත් කැමරාවේ වර්ගය හෝ නාභිදුර හෝ වැනි තාක්‍ෂණික කරුණු මතු කිරීමයි.

පශ්චාත් ජනාධිපති ඡන්ද වාතාවරණය තුල ද එළෙස නිහඬව සිටින්නන් ද, කැමරාවේ පිරිවිතර සොයන්නන් ද එමට ය.

රාජපක්‍ෂ නැවත ඡන්දයකට ඉදිරිපත් වුවහොත්, දැනට හඳුණාගෙන ඇති ජාතිවාදීන් පිරිසට අමතරව තවත් කීප දෙනෙක් හෙළිදරව් වෙන්නට ඉඩ ඇති බව පෙනේ.

මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන අයට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්.

තම නීත්‍යානුකූල සේවා කාලය නිම වෙන්නට තව වසර දෙකක් ම තිබිය දී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හදිසි ජනාධිපති ඡන්දයක් ජනවාරි අටවෙනි දින පැවැත්වූයේ ඇයි ද කියා දන්නවා නොවේද?

ඒ, පසුගිය දෙසැම්බර් මාසය සහ ජනවාරි මාසයේ අටවෙනිදා දක්වා කාලය ජ්‍යෝතිශ්‍යානුකූලව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ගේ ජීවිතයේ උච්ඡතම අවස්ථාව නිසා ය.

ඡන්දයක් දිනනවා නම්, ජ්‍යෝතිෂ්‍යයට අනුව, දිනන්න තිබුණේ ඒ කාලයේ දී ය.

එතැනින් ඔබ්බට ඇත්තේ පල්ලම් බැසීමේ කාලයයි!

(image: http://evil.gua-le-ni.com/)