මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Thursday 31 October 2024
අනුර-හරිනි ආණ්ඩුව පිළිබඳ ලොකුම පරීක්ෂණය - The first litmus test on the NPP government
මගේ දැක්මට අනුව, අනුර-හරිනි ආණ්ඩුව පිළිබඳ ලොකුම පරීක්ෂණය නම් මේ අල්ලා ගන්නා පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට කුමක් සිදුවේ ද යන්නයි.
කලින් පැවති මිනීමරු ආණ්ඩු කිහිපයක කාලයේ සිදුවූයේ මේ සැකකරුවන් නීතිය ඉදිරියට නොගෙනවිත් ඔවුන් හොර රහසේ මරා දැමීමයි. ඉන්පසු ඔවුන් තමන් සඟවා ඇති අවි-ආයුධ පොලිසියට පෙන්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවත්, ඒ සඳහා ඔවුන් රැගෙන යන් අතරතුර දී ඔවුන් පළායාමට තැත් කළ බවත්, එහි දී සිදු වූ වෙඩි හුවමාරුවක දී ඒ සැකකරුවන් මිය ගිය බවත් යනාදී අතේ පැළවෙන බොරු සමග පොලිස් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම යි.
අනුර-හරිනි ආණ්ඩුව යටතේ එවැනි දේ නැවත ඇති නොවේ යැයි සිතමි. මක්නිසා ද යත්, ඒ ඒ සැකකරුවන් එකල අතඩංගුවට ගැනීම මෙන්ම, මරා දැමීම ද, පොලීසිය විසින්, දේශපාලන අවශ්‍යතාවක් මත මිස, ස්වේච්ඡාවෙන් කළා යැයි නොසිතෙන් බැවිණි. ජාතික ජනබලවේගයට එසේ හොරුන්, දූෂකයින්, මිනීමරුවන්, නීතිවිරෝධී කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට හෝ විනාශ කිරීමට උවමනාවක් නැත.
ඇත්ත වශයෙන්ම තව සති තුනකින් පමණ ජාතික ජනබලවේගයේ සම්පූර්ණ ආණ්ඩුව පිහිට වූ පසු ඔවුන් කළ යුතු ප්‍රධානතම කාර්යයක්වනුයේ පසුගිය කාලයේ නීති විරෝධීව මරා දමා, ආයුධ පෙන්වීමේ බොරුවෙන් වසා දැමූ මිනී මැරුම් පිළිබඳව නිසි පරීක්ෂණ කිරීමයි.
- රසික සූරියආරච්චි
(image: A news item from the Divaina newspaper as shown in Derana TV)
Wednesday 30 October 2024
උපන්දින මතක - Happy birthdays were not there at the begining!
ඔක්තෝබර් 27 දින මේ බ්ලොගයේ ද, මගේ ද උපන්දිනයයි. නමුත් මේ කෙටි සටහන නම් ජීවිතයේ මුල් කාලයේ මගේ උපන්දින සංවත්සර දිනය ගෙවුණු ආකාරය ගැනයි.
මා කුඩා කාලයේ උපන්දින යනු සාමාන්‍ය දින ම වූවා මිස කිසිදු විශේෂත්වයක් තිබුණු බවක් මගේ මතකයේ නැත.
අප නිවසට නුදුරින් පිහිටා තිබුණු නිවසක විසූ මගේ ඥාතියකු ද වන මට වඩා මාස හයක් පමණ වයසින් වැඩිමහල් මිතුරෙකු වූ ආනන්ද ජයතිලකට නම් ඒ දිනවල ඔහුගේ උපන්දිනය දා කොස්සින්න පන්සලේ මල් පූජා පින්කමකට සහභාගී වීමට සිදුවිය. මේ බව මට මතක තියෙන්නේ අප කුඩා කාලයේ එක් වසරක, අප්‍රේල් 28 වෙනිදාවක් වැනි දිනයක, පන්සලට ගෙනියාම සඳහා අරලියමල් කැඩීමට මා ද ඔහු සමග ගිය බැවිනි.
පසු කලෙක අපේ අම්මා කේක් හදන්නට ඉගෙන ගත් පසු ඇය තම දරුවන් තිදෙනාගේ උපන් දිනවල අනිවාර්යයෙන්ම කේක් බේක් කළාය. අපේ ප්‍රියතම කේක් වර්ගය වූයේ රටඉඳි යොදා සාදන ඩේට් කේක් එකයි.
කේක් සාදා, කපා, කෑව ද "හැපි බර්ත් ඩේ" ගීය ගායනා කිරීම හෝ විශේෂ තෑගි දීම යනාදිය අපට හුරුපුරුදු වූයේ නැත.
අතීතය ගැන කල්පනා කර බැලීමේදී සාමාන්‍යයෙන් තරුණ ජීවිතයේ වැදගත් ලෙස සැලකෙන දහඅටවෙනි උපන්දිනය දින, ඒ වන විට උසස් පෙළ විභාගයෙන් පසු ඉසුඹුළමින් සිටි මා ගත කළේ මගේ මව් පාර්ශයේ මහ ගෙදර බව පෙනේ. එලෙසම වැදගත් වයස විසි එකේ උපන් දිනය මා ගත කරන්නට ඇත්තේ නුවරඑළියේ බෝඩිමක ය. ඒ වනවිට මා පෙම්වතෙකි.
විශේෂ වැදගත්කමක් නැති වයස විසිතුනේ උපන්දනය දා මා තව සති දෙකකින් පමණ පැවැත්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කඩඉමට සූදානම් වෙමින් සිටියෙමි. වයස විසිහතරේ උපන්දනය දා, සෙකන්ඩ්-අපර් උපාධිය ද සහිතව රස්තියාදුවෙමින් සිටියෙමි. උපන්දිනය යනු තවමත් මගේ ජීවිතයේ වැදගත් දෙයක් නොවීය
මගේ මතකයේ හොඳින් රැදී ඇති එක් උපන්දිනයක් නම්, මගේ 27 වෙනි උපන්දිනයයි. එදින ජීවිතයේ මුල්වරට මට මිතුරන්ගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණි. අප කිහිපදෙනෙකු බැංකොක් තදාසන්නයේ ආසියානු තාක්ෂණ ආයතනය නුදුරේ පිහිටි "පපා" ෂොප් එකට ගොස් "සිංහ" බියර් බොමින් "මමා" නූඩ්ල්ස් කෑවෙමු. එනිසා එය මා උපන්දිනයක් සැමරූ මුල් ම අවස්ථාව විය යුතුය.
මට වයස තිහ සම්පූර්ණ වූ උපන්දිනය වන විට මා විවාහකයෙකි. එදින අප කුමක් කළේදැයි මගේ මතකයේ සඳහන්ව නැත. නමුත් අප දෙදෙනා කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටි ගම්පහ ශාන්ති පාරේ නිවසට නුදුරින් පිහිටි සතොස වෙළඳ සැලේ තිබූ මග් එකක්, එහි මුද්‍රණය කර තිබුණු වැකිය නිසා මගේ සිත් ගත් අතර ඇය කැමති නම් මට උපන්දින ත්‍යාගයක් ලෙස එය ලබා දෙන ලෙස මම බිරිඳගෙන් ඉල්ලුවෙමි.
ඇය එය මට මිළට ගෙන දුන් අතර තවත් වසර තුනකට පමණ පසු අප ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන විට මම එය ලංකාවේ අමතක කර දමා ආවෙමි.
රුපියල්වලින් ගණං බැලුවොතින් නම් මම අද බහු-මිලියනපතියෙක් මි.
ඩොලර් මිණුමෙන් මිලියනපතියෙකු වීම සඳහා මේ සතියේ බ්‍රහස්පතින්දා ලොතරැයියක් මිල දී ගැනීමට අදහස් කරමි.
- රසික සූරියආරච්චි
(image: created using AI)
Friday 18 October 2024
ඊළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය සඳහා සුදුසු ම දේශපාලන පක්ෂය “ජන අරගල සන්ධානය” යි - The need of the hour for Sri Lanka
ලංකාවේ පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මහ ඡන්දයෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නේ කොයි දේශපාලන කණ්ඩායම ද යන්න පිළිබඳව සැකයක් කිසිවෙකු තුළ නැති බව පෙනේ.
කිසිවෙකු තුළ යැයි කියන්නේ පසුගිය ජනාධිපති ඡන්දය ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාගේ පාක්ෂිකයින් තුළ පමණක් නොව, ඡන්දයේ දී පැරදුනු අපේක්ෂකයින් නියෝජනය කරන බොහෝ කණ්ඩායම්වල පිරිස් පවා විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම මහ ඡන්දය දිනන බව ය. ඔවුන් සටනක් දෙන්නේ හොඳ විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව නිසිමග යැවීමට බව ද ඔව්හූ කියති.
ජනාධිපති චන්දයේ දෙවෙනි තැන ලැබූ සමගි ජනබලවේගයේ අපේක්ෂකයාගේ පිළේ සමහරුන් නම් ඔවුන් ආණ්ඩුබලය ලබා ගැනීමට සටනක් දෙන බව පැවසුවත්, එය හුදෙක්ම තමන්ගේ සහ තම “කැපුවත් ප්‍රේමදාස” පාක්ෂිකයින්ගේ ස්වයං අභිප්‍රේරණය සඳහා භාවිතා කරන සටන් පාඨයක බවට සැකයක් නැත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිගේ දේශපාලන කණ්ඩායම නොවැම්බර් මහ ඡන්දයෙන් පසු පාර්ලිමේන්තුව තුළ හරිනි අමරසූරිය අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවන විට එහි විපක්ෂය ලෙස පත්වීමට සුදුසුම කණ්ඩායම වන්නේ කවර කණ්ඩායම ද?
මගේ අදහසට අනුව, ඒ සඳහා හොඳම කණ්ඩායම වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළත් සන්ධානය, එනම්, “ජන අරගල සන්ධානය” බවයි.
මෙය සරදමට කියන කතාවක් නොවේ.
ඇත්තටම පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ විපක්ෂ කණ්ඩායම ලෙස කටයුතු කිරීමට වඩාත් සුදුසුවන්නේ ඔවුන් ය.
මෙන්න මා දකින හේතු:
- ආණ්ඩු පක්ෂය සමන්විතවන්නේ නව නියෝජිතයින්ගෙනි. විපක්ෂය ද එසේවීම හොඳය.
- පැරණි යූඇම්පී, සිරිලංකා, රාජපක්ෂ වහල් වැනි කණ්ඩායම්වල දූෂිතයින් තවදුරටත් පාර්ලිමේන්තුවේ සිටිය යුතු නැත.
- ජන අරගල සන්ධානයේ අරටුවවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගයේ අරටුවවන ජනතා විමුක්ති පෙරමුණ යන කණ්ඩායම් දෙක, එකට සිට වෙන්වූ සහ එනිසාම එකිනෙකා හා පසමිතුරු කණ්ඩායම් නිසා ඔවුන්ට සැබෑ පක්ෂ-විපක්ෂ අරුතෙන් කටයුතු කිරීමට හැකි වෙනු ඇත.
ජනාධිපති ඡන්දයේ දී ජයග්‍රහණය නොකළ අපේක්ෂකයින්ට ඡන්දය භාවිතා කළ, සජිත් ප්‍රේමදාස පාක්ෂිකයින්, රනිල් රාජපක්ෂ පාක්ෂිකයින්, සහ නාමල් රාජපක්ෂ පාක්ෂිකයින් විසින් තමන්ගේ ඡන්දය නොවැම්බර් මහ ඡන්දයේදී “ජන අරගල සන්ධානය” වෙනුවෙන් පාවිච්චි කළහොත් මේ ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සුසංයෝගය සැබෑවක් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.
- රසික සූරියආරච්චි
(images: Wikipedia )
Thursday 17 October 2024
එදා පාසල්, එදා සිසුන් සහ දෙමව්පියන් - System changed?
මිතුරෙකු සමග ෆේස්බුක් සංවාදයක පැටලීම නිසා මට සිහිවුණු කරුණු කිහිපයක් වෙනම ලියන්නට සිත්විය. මෙහි ඇති වැදගත්කම නම් කාලය සමඟ කොයි තරම් දේ වෙනස් වන්නේ ද යන්නයි.
මම පාසල් තුනක අධ්‍යාපනය ලබා ඇත්තෙමි.
මා පළමුවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා වසර පහක් අධ්‍යාපනය ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කනිෂ්ඨ විද්‍යාලයට මගේ පියා හෝ මව හෝ කිසි දිනයක පැමිණ නැත. පාසල් ගුරුවරයෙකු වූ මගේ පියා උදේ පාන්දරම නිවසෙන් පිටත්වී ගොස් ආපසු පැමිණෙන්නේ හවස හතරට පමණ වන අතර මගේ බාල සොහොයුරාගේ වයස අවුරුදු තුනටත් අඩු නිසා මා මුල් දවසේ පාසලට ගියේ ද ආච්චි සමග ය. ඉන්පසු අහල පහල සම වයසේ සිසුන් සමග මම පාසලට ආවෙමි, ආපසු ගියෙමි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල නොවුණි.
මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට මා ගිය මුල් දවසේ මගේ මව සහ පියා දෙදෙනා ම මා සමග වූහ. එයට එක් හේතුවක් වූයේ එදින පුටුවක් සහ මේසයක් ගැනීමට පාසලට මුදලක් ගෙවීමට තිබීමයි. එය අවසානයේ තාත්තා බසයක නැගී සැතපුම් කිහිපයක් දුරින් තිබුණු ඔහු සේවය කළ පාසලට ගිය අතර, අම්මා එදින යෙදී තිබුණු වෙනත් ගමනක් ගියාය. දෙවෙනි දිනයේ සිට අපේ පදිංචිය වෙනස් වෙනතුරු මම ගමේ සිට බස් එකේ පාසලට ගියෙමි. ගනේමුල්ලේ පදිංචියට පැමිණීමෙන් පසුව පා ගමනින් පාසල් ගියෙමි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි.
දහවෙනි ශ්‍රේණියේ සිට ඉහළට අධ්‍යාපනය ලැබීම සඳහා මා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කිරීමට තාත්තා තීරණය කළ අතර ඒ සඳහා වූ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔහු මා කැටුව එක්තරා සෙනසුරාදා දිනයක කොළඹ මරදානේ පාසැලට පැමිණියේය. ඔහු වැනි දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් එදින පැමිණ සිටියහ. පාසල් යෑම ඇරඹුණු පසු මම මගේ පාඩුවේ පාසැල් ගියෙමි. තාත්තාට පාඩුවක් වූයේ නැත. එකල මගේ වයස අවුරුදු දාහතරයි මාස පහකි.
පාසලේ උගන්වන්නේ සිසුන්ට පමණක් නිසා දෙමව්පියන්ට පාසලට පැමිණීමේ අවශ්‍යතාවක් එකල ද නොවුණි. එනිසා මම මගේ පන්තියේ සිටි සහෝදර සිසුන්ගේ දෙමව්පියන් ලෙස දැක ඇත්තේ හදිසි අවස්ථාවල දී දරුවන් හමුවීමට පැමිණි තාත්තලා දෙදෙනෙකු පමණි.
පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වෙනි ශ්‍රේණියේ අවසානය දක්වා අවුරුදු දොළහයි මාස අටක් මා පාසල් ගොස් තිබුණ ද, මගේ අවාසනාවට මෙන්ම දෙමව්පියන්ගේ වාසනාවට, ඒ කාලය තුළ ඒ පාසල් තුනෙන් එකකවත් ත්‍යාග ප්‍රදානෝත්සවයක් හෝ පැවැත්වුණේ නැතිවීම ද මගේ දෙමව්පියන්ට පාසලට පැමිණීමට අවශ්‍යතාවක් නැතිවීමට තවත් හේතුවක් විය.
අද තත්ත්වය කෙතරම් වෙනස් ද?
මාසයකට අඩු වශයෙන් දිනයක් හෝ කුමක් හෝ කාරණයක් සඳහා දෙමව්පියන්ට පාසලට යාමට සිදුවන බව කියැවේ.
- රසික සූරියආරච්චි
(image: generated using meta.ai)
Subscribe to:
Posts (Atom)