Showing posts with label අතීතකාමය. Show all posts
Showing posts with label අතීතකාමය. Show all posts

Thursday, 2 January 2025

ඇතුලත්මුදලි සහ කොබ්බෑකඩුව ගැන තහවුරු කළ නොහැකි කතාවක් - Useless story


සාමාන්‍යයෙන් පැවසෙන්නේ මියගිය පුද්ගලයින් පිළිබඳව කතා ලිවීම එතරම් හොඳ යි දෙයක් නොවන බවයි. එයට හේතුව කතාවේ වරදක් තිබුණොත් මළවුන්ට එයට විරුද්ධ වී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නොහැකිවීමයි.

නමුත් අවාසනාවකට මෙන් මට මේ කතාව සිහියට නැගුණේ මෙහි සඳහන් චරිත තුනෙන් ප්‍රසිද්ධ චරිත දෙක ඇර තුන්වැන්නා ගේ මරණය පසුගිය සතියේ ආරංචි වූ නිසා ය.

කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධියක් නැති පුද්ගලයාගේ නම සඳහන් නොකර ප්‍රසිද්ධ පුද්ගලයින් දෙදෙනාගේ නම් සඳහන් කරමින් මේ කතාව කීමේ අවුලක් නැතැයි සිතමි.

පසුගිය සතියේ මිය පරලොව ගිය නම එතරම් නොදන්නා පුද්ගලයා මා හඳුනා ගත්තේ මීට අවුරුදු තිහකට පමණ පෙර මා සේවය කළ ස්ථානයකට ඔහු සේවයට පැමිණි විටය. නමුත් ඔහු නවකයෙකු නොවිණි.

මා සිතන විදිහට ඔහු උසස් පෙළ කරන්නට ඇත්තේ හැටේ දශකයේ අග භාගයේ දී ය. ඒ මක්නිසාදයත් 1970 පැවති මහ චන්දයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයකු ලෙස සහභාගි වූ බව මා සමග පවසා ඇති නිසයි.

එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි එදා පැවති ඡන්දයෙන් එවකට ද ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු වූ චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඔවුනට අනුභව කිරීම සඳහා මාලු පාන් වැනි ද්‍රව්‍යයක් ද සමග තේ රැගෙන දුන් බව ඔහු මා සමග පැවසීය.

මෙකී චන්ද්‍රසිරි නම් මන්ත්‍රීවරයා ඊට අවුරුදු හතරකට පමණ පසු මිය ගිය අතර, එනිසා ඒ ප්‍රදේශයේ අතුරු මැතිවරණයක් ද පැවැත්වුණු බව ඔහුගේ නම සඳහන් නොකර මෙහි සටහන් කරමි.

මෙන්න අපේ කතානායකවරයා මා සමග පැවසූ මේ ලිපිය ලිවීමට මූලික වූ කරුණ.

තරුණ කාලයේ සිට ම එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධව කටයුතු කළ බව පෙනෙන මේ පුද්ගලයා වරෙක මා සමග පැවසූයේ ඔහු යූඑන්පී ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි ගේ චරිතාපදානය ලිවීම සඳහා කොන්ත්‍රාත්තුව ලැබ සිටි බවක් ඒ සඳහා තොරතුරු ලබා ගැනීම පිණිස ඇමතිවරයා හමුවීමට නිරන්තරයෙන්ම සවස් යාමයේ ඔහුගේ නිවසට කාලයක් මුළුල්ලේ ගිය බවත් ය.

මේ 1989 වර්ෂයට පෙර, ජයවර්දෙන ජනාධිපති සමයේ දී විය යුතුයි.

මක්නිසාදයත් පසුව ඊට පසුව ර. පේමදාස ජනාධිපති සමයේ දී ජාතික ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ 1991 දී බෝම්බයක් වැදී මිය ගිය රන්ජන් විජේරත්න නම් පුද්ගලයා වීමයි.

එක්තරා දිනයක අපේ කතානායකයා ලලිත් ඇතුලත්මුදලිගේ නිවසට ගොස් ඇතුලත්මුදලිගේ ජීවන චරිතය ප්‍රශ්න අසමින් සටහන් කර ගනිමින් සිටයේය.

කතානායකයා මට පැවසූ ආකාරයට, ඒ මොහොතේ එවකට රජයේ හමුදාවේ උසස් නිලධාරියෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් ඉහළ නිලයක සිටි ආමිකාරයා ඇතුලු කිහිපදෙනෙකු එහි පැමිණ ඇත. තම චරිතාප්‍රදාන රචකයා සමඟ සාකච්ඡාව මඳකට නතර කරන ලලිත් ඇතුලත්මුදලි ආමිකාරයා සමඟ සාකච්ඡාව ඇරඹීය.

එහි දී ඔවුන් සාකච්ඡා කර ඇත්තේ යුද සැලසුමයි.

මෙහිදී ඇමතියා විසින් යම් යම් උපදෙස් එහි සිටි කොබ්බෑකඩුව ඇතුළු පිරිසට ලබා දී ඇත.

ඒ නියෝග ඇසූ කොබ්බෑකඩුව පවසා ඇත්තේ සර් එහෙම කළොත් විශාල මනුෂ්‍ය විනාශයක් වීමට නියමිතයි කියාය.

මෙහිදී ඇමතිවරයාගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ “සෝ වට්?” යන්නයි. “We have to expect some casualties in any war” යයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙය අසා කොබ්බෑකඩුව ආමිකාරයා දුක්බර වූ බව පෙනුණු බවත් ඇමති ඇතුලත්මුදලි තම ස්ථාවරේ ම සිටි බවත් මා දන්නා හඳුනන පුද ගලයා චරිතාප්‍රදාන ලියන්නා මා සමග පැවසීය.

ඔහු එයින් අදහස් කරන්නට ඇත්තේ කොබ්බෑකඩුව යනු සංවේදී සිතක් ඇති අයෙකු බව සහ ඇතුලත්මුදලි යනු අසංවේදී සිතක් ඇති පුද්ගලයකු බව යැයි සිතමි.

මක්නිසාද යත්, ඔහු මේ කතාව මා සමග පවසන කාලය වන විට කොබ්බෑකඩුව බිම් බෝම්බයකින් මියගොස් සිටි අතර, ඇතුලත්මුදලි නම් ඇමතියා එවකට පැමිණි පැවති යූඇම්පී ආණ්ඩුවෙන් වෙන් වී යූඑන්පී ආණ්ඩුවේ නායක ජනාධිපති ර පේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් දේශපාලන පක්ෂයක්ද අටවාගෙන මහා දේශපාලන ව්‍යාපාරයක යෙදී සිටියේය.

අපේ කතා නායකයා තවදුරටත් උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයකු ලෙස සිටියේ යැයි සිතමි.

එනිසා, මේ කතාව ඔහු අල්ලේ පැළ කළ එකක් වීමට ද ඉඩ ඇත. ඒ හා සම්බන්ධ කතාවක් ඊළගට ලියමි.

ඒ සමගම ඔහු ලලිත් ඇතුලත්මුදලි ගේ ඔය කියන චරිතාපදානය ලියා අවසාන කළ බවක් කීවේ නැත.

මෙයින් තවත් ටික කලකට පසු ලලිත් ඇතුලත්මුදලි ද වෙඩි පහරක් වැදී මිය ගියේ ය.

- රසික සූරියආරච්චි

(image: Created using Mirosoft Copilot)

Saturday, 16 November 2024

ඡන්ද කාලෙ මතකයක් - Colouring the electoral map


ඊයේ එනම් 2024 නොවැම්බර් 15 දා, ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදය උදෑසන හතට එනම් ලංකාවේ වේලාවෙන් එක හමාරට පමණ අවදි වී ම දැන් පැය දොළහක කාලයක් තිස්සේ පාර්ලිමේන්තු චන්දයේ ප්‍රතිඵල යූ-ටියුබ් නාලිකා ඔස්සේ නරඹමින් සිටිය දී පැරණි මතකයක් අවදිවිය.

ඒ කුඩා ළමයෙකු ලෙස මා 1977 පැවති මහ ඡන්දයේ ප්‍රතිඵල රේඩියෝවෙන් ඇසූ ආකාරයයි.

ඒ දිනවල අප සිටියේ ගනේමුල්ලේ කුලී නිවසක ය. එම නිවස පිහිටා තිබුණේ, නිවසේ හිමිකරුගේ නිවස පිහිටා තිබූ පරිශ්‍රයේ ම ය. ඔහු ඒ ප්‍රදේශයේ ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උග්‍ර සාමාජිකයකු වූ ගමේ සමිතියේ නිලයක් ද දැරූ අයෙකි. මා හිතන විදිහට ඒ කාරණය නිසා අපේ තාත්තා ඡන්දය පැවැත්වුණු දින රාත්‍රියේ අම්මා සහ දරුවන් තිදෙනා නිවසේ රැඳී සිටීම අන්තුරුදායක බව සිතු අතර අප ඥාති නිවසකට යැවීමට කටයුතු කළේය.

අම්මා, මා සහ මගේ බාල සොහොහොයුරන් දෙදෙනා ද කැටුව ඡන්දය පැවති දිනයේ දහවල් කෑමෙන් පසුව නිවසින් පිටත් වූවාය. කලින් ලිපියක් මගින් දන්වා තිබුණ ද නිවසෙන් පිට වූ අප බස් රථ තුනක පමණ ගමනින් පසුව අපේ ඥාති නිවසට ළඟා වන විට එම නිවස වසා දමා නිවැසියන් වෙනත් ඔවුන්ගේ ඥාති නිවසකට ඡන්දය ඇසීම සඳහා ගොස් තිබුණි. අපට ද එහි පැමිණෙන ලෙස පවසන පණිවිඩයක් තබා ගොස් තිබුණු නිසා රාත්‍රිය ළඟාවන විට ඒ ඥාති නිවසට අපට යාමට හැකි විය.

ඊට කලින් සතියේ එවකට පළවුණු ඉරිදා පුවත්පතක් වූ රිවිරැස පත්‍රය සමඟ ලැබුණු මැතිවරණ කොට්ඨාස වෙන්කර දක්වා තිබුණු විශාල ලංකාවේ සිතියමක් සහ පාට පැන්සල් පෙට්ටියක් මම මේ ගමනේ දී රැගෙන ගියෙමි. එම සිතියම එකී පුවත්පත සමග බෙදා හැර තිබුණේ ගුවන්විදුලියෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කළ විට දිනන පක්ෂයේ වර්ණයෙන් සිතියම ක්‍රමක්‍රමයෙන් පාට කිරීමටයි.

මෙවර අවසානයට ලැබුණු සමන්තුරේ ආසනයේ ප්‍රථිඵලය එදා ලැබුණේ මුල්ම ප්‍රථිඵලය ලෙසය. එතැන් සිට මම මගේ කාර්යය කරමින් ටිකෙන් ටික සිතියම වර්ණ ගන්වමින් පසුදා දවල් වෙනතුරු අවදිව සිටියෙමි.

එක්සත් ජාතික පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනන ආසන කොළ පාටිනි.

රතු, දුඹුරු සහ කහ පැහැති පැන්සල් ද සූදානම් කරගෙන සිටියෙමි.

මගේ මතකයට අනු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේ ආසන අටක් වැනි ප්‍රමාණයක් පමණි. ඒවා නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමි. උතුරු සහ නැගෙනහිර සියලුම ආසන පාහේ, මතයට අනුව ආසන දහ අටක් පමණ, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට හිමි විය. ඒවා දුඹුරු පැහැයෙන් වර්ණ ගැන්වීමි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හෝ ලංකා සමසමාජ පක්ෂය හෝ නව සමසමාජ පක්ෂය හෝ එකදු ආසනයක් දිනුවේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනූ ආසන සංඛ්‍යාවෙන් එකක් හෝ දෙකක් ද එකල පැවති බහුමන්ත්‍රී ආසන විය. එනිසා ඒවා නිල් සහ කොළ යන දෙවර්ණයෙන්ම සැරාසුවෙමි.

කෙසේ හෝ අවසානයේ ගේ ශ්‍රී ලංකා සිතියමේ උතුරු නැගෙනහිර හැරුණු විට අන් සියලුම කොටස් කොළ පැහැයෙන් බැබැලෙන්නට විය.

ඡන්දය අසමින්, සිතියම පාට කරමින් මා සතුටින් පිනා යමින් සිටිය ද, මේ ඡන්දය ඇසීමේ අවස්ථාවේ පොඩි අවුල් සහගත තත්ත්වයක් විය.

එයට හේතුව වූයේ අපේ මේ ඥාති නිවස පාරම්පරික වාමාංශික නිවසක් වීමයි.

එනිසා අපේ අම්මා සහ මා ප්‍රතිඵල අසමින් සතුටුවූව ද නිවැසියන්ට නම් එහි කිසි සතුටක් නොතිබුණි.

අගලවත්ත ආසනය කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා පරාජය වූ ප්‍රතිඵලය ඇසූ ඔවුන්ගෙන් අයෙකු “කොල්වින් වගේ මනුස්සයෙකුත් පැරදුනා නම් ඉතින් මේ රට ගැන, මිනිස්සු ගැන කියල වැඩක් නැහැ” යැයි පවසමින් කණගාටු වෙනු මගේ මතකයේ හොඳින් ම රැඳී ඇත.

ඊටත් පසු දින ඒ ප්‍රදේශයෙන් පිටත් වූ අප සිව්දෙනා නැවතත් බස් රථ තුනක් ඔස්සේ අපේ කුලී නිවස වෙත පැමිණියෙමු. ඒ වන විට ඒ සියලුම බස්රථවල ඉදිරි වීදුරුවේ මෙන් ම පැති වීදුරුවල ද ජේ.ආර් ජයවර්ධනගේ ඡායාරූප අලවා තිබුණි.

නිවසට පැමිණි පසු අපි වටහා ගත් පරිදි ඒ ප්‍රදේශයේ කිසිදු පශ්චාත් මැතිවරණ කලබලයක් ඇති වී නොතිබුණි. සමහරවිට එයට හේතුව වන්නට ඇත්තේ අප සිටි ගම්පහ ආසනය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය නොකළ නිසා විය යුතුයි.

කෙසේ වෙතත්, ඉන් පසුව ඇරඹුණේ එක්සත් ජාතික පක්ෂයේ හොඳම කාලයයි.

එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භය 1994 දී ඇරඹුණු අතර මහා අවසානය මීට අවුරුදු හතරකට පෙර 2020 මැතිවරණයේ දී උදාවිය.

- රසික සූරියආරච්චි

(images: Ada Derana)

Wednesday, 30 October 2024

උපන්දින මතක - Happy birthdays were not there at the begining!


ඔක්තෝබර් 27 දින මේ බ්ලොගයේ ද, මගේ ද උපන්දිනයයි. නමුත් මේ කෙටි සටහන නම් ජීවිතයේ මුල් කාලයේ මගේ උපන්දින සංවත්සර දිනය ගෙවුණු ආකාරය ගැනයි.

මා කුඩා කාලයේ උපන්දින යනු සාමාන්‍ය දින ම වූවා මිස කිසිදු විශේෂත්වයක් තිබුණු බවක් මගේ මතකයේ නැත.

අප නිවසට නුදුරින් පිහිටා තිබුණු නිවසක විසූ මගේ ඥාතියකු ද වන මට වඩා මාස හයක් පමණ වයසින් වැඩිමහල් මිතුරෙකු වූ ආනන්ද ජයතිලකට නම් ඒ දිනවල ඔහුගේ උපන්දිනය දා කොස්සින්න පන්සලේ මල් පූජා පින්කමකට සහභාගී වීමට සිදුවිය. මේ බව මට මතක තියෙන්නේ අප කුඩා කාලයේ එක් වසරක, අප්‍රේල් 28 වෙනිදාවක් වැනි දිනයක, පන්සලට ගෙනියාම සඳහා අරලියමල් කැඩීමට මා ද ඔහු සමග ගිය බැවිනි.

පසු කලෙක අපේ අම්මා කේක් හදන්නට ඉගෙන ගත් පසු ඇය තම දරුවන් තිදෙනාගේ උපන් දිනවල අනිවාර්යයෙන්ම කේක් බේක් කළාය. අපේ ප්‍රියතම කේක් වර්ගය වූයේ රටඉඳි යොදා සාදන ඩේට් කේක් එකයි.

කේක් සාදා, කපා, කෑව ද "හැපි බර්ත් ඩේ" ගීය ගායනා කිරීම හෝ විශේෂ තෑගි දීම යනාදිය අපට හුරුපුරුදු වූයේ නැත.

අතීතය ගැන කල්පනා කර බැලීමේදී සාමාන්‍යයෙන් තරුණ ජීවිතයේ වැදගත් ලෙස සැලකෙන දහඅටවෙනි උපන්දිනය දින, ඒ වන විට උසස් පෙළ විභාගයෙන් පසු ඉසුඹුළමින් සිටි මා ගත කළේ මගේ මව් පාර්ශයේ මහ ගෙදර බව පෙනේ. එලෙසම වැදගත් වයස විසි එකේ උපන් දිනය මා ගත කරන්නට ඇත්තේ නුවරඑළියේ බෝඩිමක ය. ඒ වනවිට මා පෙම්වතෙකි.

විශේෂ වැදගත්කමක් නැති වයස විසිතුනේ උපන්දනය දා මා තව සති දෙකකින් පමණ පැවැත්වෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කඩඉමට සූදානම් වෙමින් සිටියෙමි. වයස විසිහතරේ උපන්දනය දා, සෙකන්ඩ්-අපර් උපාධිය ද සහිතව රස්තියාදුවෙමින් සිටියෙමි. උපන්දිනය යනු තවමත් මගේ ජීවිතයේ වැදගත් දෙයක් නොවීය

මගේ මතකයේ හොඳින් රැදී ඇති එක් උපන්දිනයක් නම්, මගේ 27 වෙනි උපන්දිනයයි. එදින ජීවිතයේ මුල්වරට මට මිතුරන්ගෙන් සුබපැතුම් පණිවිඩ ලැබුණි. අප කිහිපදෙනෙකු බැංකොක් තදාසන්නයේ ආසියානු තාක්ෂණ ආයතනය නුදුරේ පිහිටි "පපා" ෂොප් එකට ගොස් "සිංහ" බියර් බොමින් "මමා" නූඩ්ල්ස් කෑවෙමු. එනිසා එය මා උපන්දිනයක් සැමරූ මුල් ම අවස්ථාව විය යුතුය.

මට වයස තිහ සම්පූර්ණ වූ උපන්දිනය වන විට මා විවාහකයෙකි. එදින අප කුමක් කළේදැයි මගේ මතකයේ සඳහන්ව නැත. නමුත් අප දෙදෙනා කාමර දෙකක් කුලියට ගෙන පදිංචිව සිටි ගම්පහ ශාන්ති පාරේ නිවසට නුදුරින් පිහිටි සතොස වෙළඳ සැලේ තිබූ මග් එකක්, එහි මුද්‍රණය කර තිබුණු වැකිය නිසා මගේ සිත් ගත් අතර ඇය කැමති නම් මට උපන්දින ත්‍යාගයක් ලෙස එය ලබා දෙන ලෙස මම බිරිඳගෙන් ඉල්ලුවෙමි.

ඇය එය මට මිළට ගෙන දුන් අතර තවත් වසර තුනකට පමණ පසු අප ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන විට මම එය ලංකාවේ අමතක කර දමා ආවෙමි.

රුපියල්වලින් ගණං බැලුවොතින් නම් මම අද බහු-මිලියනපතියෙක් මි.

ඩොලර් මිණුමෙන් මිලියනපතියෙකු වීම සඳහා මේ සතියේ බ්‍රහස්පතින්දා ලොතරැයියක් මිල දී ගැනීමට අදහස් කරමි.

- රසික සූරියආරච්චි

(image: created using AI)

Sunday, 19 November 2023

සිස්සස්ස විභාගේ - How are your grade five results?


බොහෝ දෙනෙකු තමන්ගේ පහේ පන්තියේ තරග විභාග ප්‍රතිඵල ගැන සටහන් තබන නිසා, මට ද කලින් කීප වතාවක ම විවිධ තැන්වල ලියා තිබුණු කරුණු නැවත ලියන්නට සිත් විය.

පස්වැනි ශ්‍රේණියේ දී අපට ශිෂ්‍යත්ව විභාගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ හයවැන්නේ සිට ඉහළට ඉගෙන ගැනීම සඳහා විශේෂ පාසැලක් තෝරා ගැනීම පිණිස තරග විභාගයකි.

මේ ගැන මා ඇතුළු පන්තියේ ළමුන් දැනගත්තේ එක් දිනක පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් කළ විස්තරයකිනි. විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර තුනක් ඇති බව ඇය කීවාය. එකක් ගණිතයයි. දෙවැන්න සිංහල භාෂාවයි. ඒ දෙකම බමුණුසිංහ ටීචර් විසින් පන්තියේ ඉගැන්වූ විෂයන් විය.

තුන්වෙනි නම පිළිබඳව අප බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවුණි. ඇත්තටම අපට එහි නම මුලින් ඇසුණේ “බුඩ්ඩි” පරීක්ෂණය කියාය. නිවැරදි නම බුද්ධි පරීක්ෂණය බව පසුව දැන ගත්තෙමු. එසේ වුව ද, මෙය පන්තියේ විෂය මාලාවේ කොටසක් නොවූ නිසා එය කුමක්දැයි යන්න පිළිබඳ අපට අදහසක් ඇති වුණේ ම නැත.

දින කිහිපයකට පසු බමුණුසිංහ ටීචර් රෝනියෝ කරන ලද A4 ප්‍රමාණයේ තරමක් මහත පොතක් පංතියට රැගෙන ආවාය. ඇට්ල්ස් හෝල වැනි අධ්‍යාපනික ප්‍රකාශන සමාගමකින් සකසා තිබුණු මේ පොත ඇය මිල දී ගෙන තිබුණේ අනිවාර්යෙන්ම බමුණුසිංහ ටීචර්ගේ මුදල් වලිනි.

එය බුද්ධි පරීක්ෂණ ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතකි. එහි ඇතුළත් වුණු ප්‍රශ්න වල ප්‍රධාන වශයෙන්ම තිබුණේ කොටු, ත්‍රිකෝණ, වෘත්ත, තරු යනාදියෙන් පිරී තිබුණු රූ සටහන් ය. අප කළ යුතුව තිබුණේ ඊළඟට නියමිත රූසටහන කුමක්දැයි තේරීමයි. ඒ ආකාරයෙන් ම ඉලක්කම් සහිත ප්‍රශ්න ද තිබුණු බවට යාන්තමට මතකයක් ඇත.

ටීචර් අපට ඒවා විසඳන හැටි කියා දුන්නා ද කියා මට ලොකු මතකයක් නැත. මගේ මතකය රැඳි ඇති ප්‍රධානතම කරුණ නම් මේ පොත පන්තිය ළමයින්ට දිනකට එක් අයකු බැගින් හවසට ගෙදර යන විට රැගෙන ගොස් පරිශීලනය කළ හැකි බව ටීචර් පැවසූ බවයි.

පොත ගෙදර ගෙන යාමේ අනුපිළිවෙල වූයේ පන්තියේ පළමුවැනියාට මුල් දිනය, දෙවෙනියාට දෙවැනි දිනය ආදී වශයෙනි.

ඒ ආනුභාවයෙන් මුල් දිනය දී ම, කිරි කිරියේ “බුඩ්ඩි” පරීක්ෂණය පොත නිවසට ගෙන යාමට මට වරම් ලැබුණි. ඊට අමතරව එදින සිකුරාදාවක් වූ නිසා රාත්‍රී තුනක්, දින දෙකක් පොතේ පිටු පෙරළා බැලීමට මට අවස්ථාව උදා විය.

මගේ මතකයට අනුව පංතියේ දෙවැනියා වූයේ ගෑනු ළමයෙකි. ඇගේ නම පුෂ්පමාලී වැන්නක් බව මට යාන්තමට සිහිවේ. ඇය විසූවේ පාසැලේ සිට අපේ නිවස පිහිටි පැත්තේ නොව අනිත් පැත්තේ ය.

පන්තියේ සිටි සිසුන්ගෙන් අපේ ගෙදර පැත්තේ සිටි එක් අයකු නම් ආනන්ද ජයතිලකයි. ඇත්තටම නම් ඔහු කෙලින්ම මගේ අසල්වැසියා විය. අපේ නිවෙස් සහිත ඉඩම් දෙක දිගු වැටකින් වෙන් වී තිබුණු අතර, අප පාසැල් යාම සඳහා භාවිතා කළ කෙටි මාර්ගය වැටී තිබුණේ ද, ඔවුන්ගේ ඉඩම හරහා ය.

මගේ මතකය නිවැරදි නම් ආනන්ද ජයතිලක පන්තියේ තුන්වෙනියා විය. එදින ඔහු මා අමතා ඉල්ලා සිටියේ “රසික ඔය පොත දෙවනියට පුෂ්පමාලීට දෙන්න කලින් ඔයා කියවා ඉවර වුණොත් සති අන්තයේ දිනක මට දෙන්න!” කියාය. නිවැරදිව මතක නැති උනත් මා ඔහුට ඒ පොත ඉරිදා හවස දෙන්නට ඇතැයි සිතමි.

නිවරදිව මගේ මතකයේ ඇති කරුණක් නම් මාස කිහිපයකට පසුව පැවැත්වුණු තරග විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ තිබූ එක් ප්‍රශ්නයකි.

ඉලක්කම් පහක්, හයක් දී ඒවා අවරෝහණ ක්‍රමයට සකසා ලියන ලෙස එම ප්‍රශ්නයේ සඳහන්ව තිබුණි.

කර්ණිකාව-කෝෂිකාව, ලවය-හරය, ආරෝහණ-අවරෝහණ වැනි කිනෙකට ප්‍රතිවිරුද්ධ සංකල්ප දෙකක් එකට ඈඳී තිබෙන විට එයින් කුමක් කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීම එකල බොහෝ දෙනෙකුට මෙන් මට ද ප්‍රශ්නයක් වී තිබුණි. හරය සහ ලවය කුමක්ද යන්න හඳුනා ගැනීම සඳහා නම් හරකා පිට ළමයා නමින් කෙටි ක්‍රමයක් අප කොහෙන්දෝ ඉගෙන ගෙන තිබුණි. නමුත් කර්ණිකාව තිබෙන්නේ හදවතේ උඩ කොටසේ ද නැතිනම් එහි ඇත්තේ කෝශිකාව ද යන්න පිළිබඳව අදත් මට ස්ථිර ව කිව නොහැක.

සමහරවිට අවරෝහණ සහ ආරෝහණ හඳුනාගන්නට හරකා පිට ළමයා මෙන් කෙටි ක්‍රමයක් එකල තියෙන්නට ඇත. එසේ තිබුණා හෝ නැතා හෝ පෙර කී ප්‍රශ්නයේ අඩංගු වූ ඉලක්කම් කිහිපය විමසා බැලූ මට පෙනී ගියේ එය දැනට ම තිබෙන්නේ අවරෝහණ ක්‍රමයට බවයි.

එනම්, පිළිතුර ලෙස අප ලිවිය යුත්තේ ද ප්‍රශ්නයේ ඇති පිළිවෙළටම ය. ඒ කියන්නේ මෙය අප රැවටීමට යොදා තිබුණු ප්‍රශ්නයක් විය යුතුයි.

එසේ නොමැති නම් මා ආරෝහණ සහ අවරෝහණ ටපලාගෙන ඇත.

විභාගය අවසාන වීමෙන් පසු මා දැනගත්තේ මා සිතූ ආකාරය නිවැරදි බවයි. එනම් ඒ ප්‍රශ්නය අප රවටන්නට සාදා තිබූ ප්‍රශ්නයකි!

ඒ කෙසේ වෙතත් තවත් මාසයකට දෙකකට පසු ප්‍රතිඵල නිකුත් වූ විට මට පෙනී ගියේ එම ප්‍රශ්නයට මා නිවැරදිව පිළිතුරු දී තිබුණ ද, තවත් ප්‍රශ්න කිහිපයකට මා ලබා දුන් පිළිතුරු නිවැරදි නොවන බවයි. මට ගණිතය සඳහා ලැබී තිබුණේ ලකුණු 87 ක් පමණි.

සිංහල විෂයට ඊට ලකුණක් අඩුවෙන් ද, අප මුලින් බුඩ්ඩි පරීක්ෂණය ලෙස හඳුනාගත් බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණක් වැඩියෙන් ද ලැබී තිබුණු නිසා මේ විභාගයේ දී මා ලබා තිබුණු මුළු ලකුණු සංඛ්‍යාව 261 ක් විය. එනම් සාමාන්‍ය ලකුණු ප්‍රමාණය 87 % කි.

ඒ මා මගේ පාසල් දිවියේ ලැබූ හොඳම විභාග ප්‍රතිඵලය විය.

එතැන් සිට එළැඹුණේ පල්ලම් බැසීමේ සමයකි.

කොටින්ම උසස් පෙළ විභාගයේ මගේ ප්‍රතිඵලවලට අනුව එම සාමාන්‍ය අගය 69.25 % දක්වා පල්ලම් බැස තිබුණි.

- රසික සූරියආරච්චි

Sunday, 12 November 2023

අවුරුදු විසි හතරක් පැරණි ටී ෂර්ට් එකක කතාව - Old and gold...!!!


ඒ 1999 වසරයි.

ඒ කාලයේ සාමාන්‍යයෙන් ඉරි සහිත ටී ෂර්ට්වල ඉරි තිබුනේ හරහට ය. ඒවා ඇන්ද විට, දෘෂ්ටි ප්‍රයෝගයක් නිසා, තමන්ගේ ප්‍රමාණයට වඩා මහතට පෙනෙන බව රහසක් නොවේ.

උඩ සිට යටට ඉරි තිබෙන ටී ෂර්ට් තිබුණේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි.

එනිසා ඒ වසන්තයේ (සැප්තැම්බර්) ටාගට් නම් සාප්පුවේ ඔබ මොබ ඇවිදින මගේ නෙතට මේ ටී ෂර්ට් එක රසඳුනක් විණි.

නමුත් එක් විශාල ප්‍රශ්නයක් විය.

එහි විකුණුම් මිල ඩොලර් 39.90 කි.

ටී ෂර්ට් එක කොච්චර ලස්සන වුණත් එතරම් මුදලක් වියදම් කිරීමට කිසිසේත්ම නොසිතූණි. කොහොමටත් මේ කියන කාලයේ ඩොලර් හතළිහක් යනු විශාල මුදලකි. එනිසාම මම එය මිලට නොගත්තෙමි.

එයට තවත් වැදගත් කාරණයක් ද හේතු විය.

එනම්, සාමාන්‍යයෙන් මේ කඩසාප්පුවල කෙරෙන පරිදි වසන්ත කාලය අවසාන වී, ගිම්හානයේ ද අඩක් පමණ ගෙවෙන විට, එනම් දෙසැම්බර් ක්‍රිස්මස් කාලය නිම වූ පසු අත් කොට කමිස සහ කොට කලිසම් වැනි ග්‍රිස්ම කාලේ අඳින ඇඳුම්වල මිල විශාල ලෙස අඩු වීමයි. මේ ටී ෂර්ට් එක මා මිල දී ගන්නවා නම් ඒ මිල දී ගන්නේ මට අඳින්නට ඇඳුමක් නැති නිසා නොව, එහි ඇති පියකරු බව හේතුවෙන් නිසා කිසිම හදිසියක් ද නැත.

ඉතින් මම ඉවසා සිටියෙමි.

ජනවාරි මාසයේ මුල් සතියේ පමණ සාප්පුව පිහිටි ප්‍රදේශයෙන් යන විට ගොඩවැදී බැලුවෙමි. ටී ෂර්ට් එකක මිල ඩොලර් 10 කින් අඩු වී තිබුණු අතර තවත් ටී ෂර්ට් සෑහෙන ප්‍රමාණයක් විකිණීමට තිබුණි.

මේ ටී ෂර්ට් එක හිමිකර ගැනීම සඳහා ඩොලර් තිහක් පමණ ගෙවීම ද අනවශ්‍ය යයි මට සිතුණි.

තව කල් බලමි.

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය යැයි කියවේ.

එයින් කුමක් අදහස් කෙරුණේ වුව ද තවත් මසකට පමණ පසු මා දුටුවේ ටී ෂර්ට් කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවත් ඉන් එකක අලුත් විකුණුම් මිල ඩොලර් 19.90 බවත්ය.

මේ මා ඇඳගෙන සිටින්නේ එදා මිල දී ගත් ටී ෂර්ට් එකයි.

මට ටී ෂර්ට් දුසිම් හතර පහක් ඇති නිසාත්, ටී ෂර්ට් අඳින්නේ ගිම්හාන කාලයේ සහ ශ්‍රී ලංකාවේ දී පමණක් නිසාත්, අවුරුදු විසි තුනකට පසුව ද එය සාපේක්ෂව ඉතා හොඳ තත්ත්වයේ පවතී.

ඇත්තටම කියනවනම් සාමාන්‍යයෙන් මා ටීෂර්ට් එල්ලා තබන ස්ථානයේ නොව, වෙනත් කාමරයක කබඩ් එකක උඩ තට්ටුවේ මුල්ලකට වී තිබුණු මේ ටී ෂර්ට් එක මගේ ඇස ගැටී සේදීමෙන් පසුව මා අද මේ ඇන්ඳේ අවුරුදු හතරකට පමණ පසුව යයි සිතමි.

මගේ සිරස් ඉරි ඇති මේ ටී ෂර්ට් එක තව දිගු කලක් දිනේවා!

- රසික සූරියආරච්චි

ප/ලි
ඔය කාලෙන් පසු උඩ සිට යටට සිරස් අතට ඉරි තිබෙන ටීෂර්ට් බහුල ලෙස වෙළඳපලට පැමිණුනි.

Monday, 22 November 2021

බලධරයා විසින් උලා කන ලදී - Down with censorship



මා කුඩා කාලයේ අපේ නිවසට ඉරිදා පුවත්පත් කිහිපයක් ම මිලට ගත් අතර ඒවායේ පළ වූ විවිධාකාර දේ අතරින් මගේ මතකයේ රැඳී ඇති එක් සුවිශේෂී විශේෂාංගයක් වන්නේ ගුරු-ගෝල තරගයයි. එය සමන්විත වූයේ, ජයසිරි සේමගේ නම් සුප්‍රකට චිත්‍ර ශිල්පියා විසින් නිමවන ලද, බැලු බැල්මට එක හා සමාන, රේඛා චිත්‍ර ද්වයකිනි. ඉන් එකක් ගුරා විසින් අඳින ලද බව සඳහන් වූ අතර එනිසා ම එය පරිපූර්ණ විය. අනෙක ගෝලයා විසින් අඳින ලද්දක් නිසා එහි වැරදි දහයක් තිබෙන බව කියවුණි. පාඨකයින් විසින් කළ යුතුව තිබුණේ ගුරාගේ මූලකෘතිය සහ ගෝලයාගේ කොපිය සසඳා බලා, ගෝල චිත්‍රයේ ඇති වැරදි දහය සොයා ඒවා සලකුණු කර, ගෝල චිත්‍රය පුවත් පතෙන් කපා, පෝස්ට්කාඩයක අලවා පත්තර කන්තෝරුවට තැපැල් මගින් යැවීමයි.

ගෝලයා කර තිබෙන වැරදි දහය සොයා ගැනීම එකල කුඩා අපට පවා කළ හැකි දෙයක් විය. ඒ වැරදි එතරම් ම පැහැදිලි ඒවා විය. නමුත් ඒ වැරදි දහය ලකුණු කර අප යවන විසඳුමේ වැරදි ඇති තැන් සඳහා 1 සිට 10 දක්වා අංක යෙදිය යුතු විය. වසර කිහිපයකට පසුව මා ශුද්ධ ගණිතය පාඩමක දී ඉගෙන ගත් පරිදි මෙසේ අංක යෙදිය හැකි ආකාර සංඛ්‍යාව 3,628,800 ක් තිබේ. තරගයෙන් ජය ගැනීමට නම් පාඨකයින් යවන විසඳුම ගෝලයා ඇඳි චිත්‍රයේ වැරදි සොයා ගත් ගුරා ඒවාට අංක යෙදූ ආකාරයටම විය යුතු වූ නිසා මෙය ජයගැනීමට නම් ලේසි පහසු තරගයක් නොවීය.

වසර කිහියකට පසු, හැත්තෑව දශකයේ මැද භාගයේ එක්තරා දිනක අපට දැන ගන්නට ලැබුණේ ගුරු-ගෝල තරගය පළ වූ රිවිරැස ඉරිදා පුවත්පත තව දුරටත් මුද්‍රණය නොවෙන බවයි. එයට හේතුව වී තිබුණේ, එම පුවත්පත ප්‍රකාශනය කළ දවස පුවත්පත් සමාගමට ආණ්ඩුව විසින් “සීල් තබා” තිබීමයි. එනම්, එම සමාගමට පුවත්පත් ප්‍රකාශනය කිරීම එවකට පැවති හදිසි නීතිය යටතේ තහනම් කර, මුද්‍රණාලය ඉබි යතුරක් දමා වසා ඇති බවයි. මෙම අවස්ථාව පසුව නිපදවුණු “සාගරයක් මැද” සහ “සත්‍යග්‍රහණය” නම් සිනමාපට ද්වයේ ම ඇතුළත් වූ බව මගේ මතකයයි.

තවත් දින කිහිපයකට පසුව අපට දැනගන්නට ලැබුණේ, එවකට පැවති රජය විසින් එම පුවත්පත් සමාගම සම්පූර්ණ වාරණයකට ලක්කිරීමට හේතුව වී තිබුණේ ඔවුන්ගේ පුවත්පතක රජය අපකීර්තියට පත්වෙන ප්‍රවෘත්ති වාර්තාවක් පළ කිරීම නිසා බවයි. මෙම ප්‍රවෘත්තිය වූයේ රජයේ සීමාකාරී ප්‍රතිපත්ති නිසා රටේ වසර කිහිපයකට පෙර ඇති වී, මේ වන විට උග්‍ර වී තිබුණු, ආහාර හිඟය නිසා කුසගින්න නිවා ගැනීමට අල වර්ගයක් තම්බා කෑ ළමුන් ඇතුළු රටවැසියන් කිහිප දෙනෙකු මිය යාමයි.

කිසියම් හෝ කරුණක් නිසා තම පුරවැසියන් එලෙස අකාලයේ මිය යන්නේ නම් රටක්, රජයක් ලෙස කළ යුතුව ඇත්තේ එම අනවශ්‍ය මරණ සිදුවූයේ කෙසේද කියා විස්තරාත්මකව සොයා බලා නැවත එවැනි මරණ සිදු නොවෙන ආකාරයට කටයුතු කිරීමයි. එසේ නමුත් ඒ ආණ්ඩුවට ප්‍රශ්නය වී තිබුණේ තම පුරවැසියන් අකාලයේ මිය යාම හෝ එය වළක්වන්නේ කෙසේද යන්න නොව, එවැනි මරණ පිළිබඳව ආරංචි පුවත්පත් වැනි ජනමාධ්‍ය හරහා පොදු ජනතාවට ලැබීම වළක්වන්නේ කෙසේද යන්නයි.

මුද්‍රිත මාධ්‍යයට අමතරව එවකට පැවති එකම විකල්ප ජනමාධ්‍යය වූ ගුවන්විදුලි නාලිකා සියල්ලම එකල රජය සතු වූ නිසා, පොදු ජනතාවගෙන් සත්‍යය වසන් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වූයේ මුද්‍රිත මාධ්‍ය පාලනය කිරීම පමණි.

එතැන් සිට අනෙකුත් රජයේ නොවන පුවත්පත් කිහිපයේ දේශපාලන ලිපි පමණක් නොව සාමාන්‍යයෙන් පුවත් පළවෙන පිටුවල බොහෝවිට කිසිවක් මුද්‍රණය නොවුණු සුදු පැහැති ඉඩ දක්නට ලැබුණි. ඒ, අකුරු අමුණා, පිටු සැකසීමෙන් ද පසු, ආණ්ඩුව විසින් පත්කර තිබුණු නිසි බලධරයා විසින් මුද්‍රණය කිරීම තහනම් කර තිබුණු කොටස් ය. සමහර පුවත්පත් කතුවරු මෙවැනි සුදු පැහැති ඉඩ වසා “බලධරයා විසින් කපා හරින ලදී” යනුවෙන් වැකියක් මුද්‍රණය කර තිබුණු අතර ඇත්ත, සියරට වැනි දේශපාලන පුවත්පත් කතුවරු මේ හිස් ඉඩ වසා හරස් අතට පළ කර තිබුණේ “බලධරයා විසින් උලා කන ලදී” යනුවෙනි.

තම වැරදි ප්‍රතිපත්ති, අතපසුවීම් සහ උවමනාවෙන්ම නොකළ දේ නිසා තම ප්‍රජාවට සිදුවෙන හානි වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ තම අවධානය යොදා කටයුතු කිරීම වෙනුවට බලයේ සිටි රජය කටයුතු කරන්නේ එවැනි දේ පිළිබඳව තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට බව කුඩා අපට පවා පැහැදිලි විය.

එකල පැවති ආණ්ඩුව පමණක් නොව ඊට පසුව බලයට පැමිණි විවිධ දේශපාලු කණ්ඩායම් ද මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වාරණ ප්‍රතිපත්තිය විටින් විට ක්‍රියාත්මක කරනු අපට දක්නට ලැබුණි. ඉදිරි කාලයේ තමන් අතින් සිදුවිය හැකි වැරදි නැතිකර ගැනීමට කටයුතු කරනු, තැත් කරනු වෙනුවට ඒ පිළිබඳ විස්තර ප්‍රජාවට වාර්තාවීම වළක්වා ගැනීම පිණිස සිදුකෙරෙන මේ වාරණය අපට පෙනුණේ, දිගින් දිගටම නිවැරදි දේ නොකර සිටීමට, වැරදි දේ ම කිරීමට බලපත්‍රයක් ලබා ගන්නවා සේ ය.

මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවක් වේවා, වෙනත් කවර ආයතනයක සීමිත කාලයකට බලය ලබාගත් කණ්ඩායමක් වේවා, මේ ආකාරයට තමන් ගේ වැරදි, අඩු ලුහුඩුකම් වසා ගැනීම සඳහා පුවත්වාරණය කිරීම යනු කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණයක් නොව, අමු අමුවේ ඒකාධිපති පාලනයක ලක්ෂණයක් ම බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

එසේ ම, කුඩා කාලයේ දී ඒ ආකාරයේ අත්දැකීම් ද, ඒ අනුසාරයෙන් පන්නරයක් ද ලද අප බොහෝ දෙනෙකු මෙවැනි අකටයුතු ඉවසා නොසිටින බව ද අමුතුවෙන් කිව යුතු නැත.

-රසික සූරියආරච්චි

ප/ලි:
මා සංස්කරණය කරන සිසිල මාසික සඟරාවේ පළ වූ ලිපියකි.
https://rasikalogy.blogspot.com/2021/08/sisila-monthly-electronic-magazine.html

Wednesday, 2 December 2020

තාත්තා එවූ ලිපිය - Nostalgic memories





















අවුරුදු දහඅටයි, මාස එකොළහයි, දින හතක් දෙමව්පියන් සමග නිවසේ ගත කර විශ්වවිද්‍යාලයට යාම සඳහා මා ඔවුන්ගෙන් ඈත්වුණු පසු තාත්තා මට එවා ඇත්තේ, මගේ මතකයට අනුව, ලිපි දෙකකි. ඉන් පළමුවැන්න, මට ලැබුණේ මා විශ්වවිද්‍යාලයේ වසර හතරක් ගත කර අවසාන විභාගයට සූදානම් වෙන කාලයේ දී ය.

මේ කෙටි සටහන ඒ ලිපිය පිළිබඳවයි.

පේරාදෙණියේ ජීවත්වීම ඇරඹූ පසු මා මුල් කාලයේ සෑම සති අන්තයේම, නැති නම් අඩු වශයෙන් මසකට දෙවරක් ම, ගෙදර ගියෙමි. ඇඳුම් සෝදා වේලා ගත්තේ ගෙදර දී ය. කටට රසට කෑමක් කෑවේ ගෙදර දී ය.

නමුත් ටික කලක් ගතවෙන විට සති අන්තයේ ද විශ්වවිද්‍යාලයේ නතර වී සිටිය යුතුම වන ආකාරයේ නොයෙකුත් වැඩ කටයුතු යෙදෙන්නට විය. එනිසා, ගෙදර යාම මසකට වරක් දක්වා සීමා විය. එලෙස මසකට වරක් කෙලෙස හෝ ගෙදර යන්නට හේතුව වූයේ මගේ වියදමට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි.

ඒ දිනවල මාසයක් විශ්වවිද්‍යාලයේ වාසය කිරීමට මට රුපියල් හාරසීයක් පමණ වැය විය. එයින් අතිබහුතර කොටස වැය වූයේ ආහාර පාන සඳහා ය.

පාන් බාගයක්, පරිප්පු දීසියක් සහ තේ කෝප්පයකින් යුතු උදෑසන ආහාරය සඳහා රුපියල් දෙකයි ශත පනස් පහක් වැය විය. දිවා ආහාරය වූයේ හරක් මස්, පරිප්පු/මුංඇට හොද්ද සහ මැල්ලුමක් සහිත බත් පිඟානකි. එහි මිල රුපියල් තුනයි ශත විසි පහකි. ඉඳිආප්ප වැනි කෑම වර්ග තිබුණ ද, ඒ සඳහා වැය කළ යුතු මුදල සාපේක්‍ෂව වැඩි වූ නිසා මගේ රාත්‍රී කෑම ද බත් පිඟානක් ම විය.

ඊට අමතරව දිනකට ඉංජිනේරු පීඨ කැන්ටිමෙන් තේ කෝප්ප දෙකක් සඳහා රුපියලයි ශත විස්සක් ද, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් රාත්‍රියේ බොන තේ කෝප්පය සඳහා ශත පනහක් ද වැය විණි. ඉස්පන්චියකට හෝ ඥානකතාවකට හෝ සිත ගිය දවස් ද එහෙන් මෙහෙන් උදා නොවූයේ නොවේ.

අධ්‍යාපන කටයුතු සඳහා වියදම් ලෙස තිබුණේ ලිපිද්‍රව්‍ය සඳහා ගිය සුළු මුදලක් පමණි. වසර හතරකම අධ්‍යයන කාලය තුළ අපට එකදු පොතක් හෝ මිල දී ගැනීමට සිදු නොවුණි. පුස්තකාලයේ තිබුණු පොත්, පොත් ආශ්‍රයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ අය සඳහා ප්‍රමාණවත් වූ බව පෙනුණි.

අමතර වියදම් වූයේ, විශ්වවිද්‍යාලයේ දී හෝ ඉඳහිට මහනුවර දී චිත්‍රපටයක් නැරඹීම සහ ඒ හා සම්බන්ධ ගමන් ගාස්තු යනාදියයි. රහමෙර පානයක් සිදුවූවා නම් සාමාන්‍යයෙන් සිදුවුණේ, වාර්ෂික විනෝද චාරිකාව අතරතුර, වසර අවසාන විභාගය අවසානයේ සහ වසර මැද ඊට කලින් වසරේ ප්‍රතිඵල එන දිනයේ දී පමණි.

මගේ වියදම් සඳහා මල්ලිකා පුංචි අම්මා මට රුපියල් සීයක් ලියුම් කවරයක දමා විශ්වවිද්‍යාලයේ ලිපිනයට එව්වා ය. එනිසා, තාත්තාගෙන් ඉල්ලා ගන්නට අවශ්‍ය වූයේ විශ්වවිද්‍යාලයේ ගත කරන මසකට රුපියල් තුන්සීයක් පමණි.

මා අනිවාර්යෙන් මසකට වරක් නිවසට ගියේ ඒ මුදල ලබා ගැනීම සඳහා ය.

අවසන් වසරේ අවසන් සමයේ දී එය වෙනස් විය.

මා බාර ගත් අවසන් පොදු කටයුත්ත වූ අපේ කණ්ඩායමේ සමූහ ඡායාරූපය (batch photo) පිළිබඳ වැඩ කටයුතු ද අවසන් කොට, අවසානයේ, මගේ මේසය අස්පස් කර, දේශන සටහන් එකතු කරගෙන විභාගයට සූදානම් වීම සඳහා වාඩි වූ මට පෙනී ගියේ විභාගයට ඇත්තේ තව හරියටම දින තිස් හයක් පමණක් බවයි. එතැන් සිට විභාගයට සති දෙකක් පමණ ගතවේ. ඉන් පසුව ද, පාඨමාලාවේ වාර්තා සියල්ල සකසා භාර දීමට තවත් දින කිහිපයක් ගතවෙනු ඇත.

ඒ අනුව ගෙදර ගොස් එන්නට දින දෙකක් ගත කිරීම කළ නොහැකි බව මට පෙනී ගියේ ය.

මම තාත්තාට ලිපියක් ලිව්වෙමි.

එහි මූලිකවම ලියවුණේ මට විභාගය අවසන් වී, ශිෂ්‍ය ජීවිතය අවසන් කර නිවසට එන්නට පෙර වෙනදා මෙන් ඇවිත් යන්නට නොහැකි බවත්, සාමාන්‍ය වියදම්වලට අමතරව කණ්ඩායම් ඡායාරූපය සහ තවත් වියදම් සඳහා ද අමතර මුදල් අවශ්‍ය බැවින් රුපියල් හයසීයක් පමණ මනි ඕඩරයකින් එවන ලෙසත් ය.

සතියකින් පමණ මට තාත්තාගෙන් ලියා පදිංචි කළ ලිපියක් ලැබී තිබුණි.

මා මුලින් සඳහන් කළ පරිදි එය මට තාත්තාගෙන් ලැබුණු මුල්ම ලිපියයි.

"මගේ ආදරණීය පුත්‍රයා වෙත" කියා අරඹා තිබුණු ඒ ලිපියේ ඉතා වැදගත් කරුණක් අඩංගු විය.

ඇත්තටම එය ඉල්ලීමකි.
"පංති සාමාර්ථයක් සහිතව විභාගය සමත්වෙන්න සිතට ගන්න."
ලිපිය සමග වූ මනි ඕඩරය හෙවත් මුදල් ඇණවුම දෙස බැලූ මගේ ප්‍රීතිය ඉහවහා ගියේ ය. තාත්තා මට රුපියල් දාහක් ම එවා තිබුණි!

පන්ති සාමාර්ථයක් සහිතව හෙවත් ක්ලාස් එකක් සහිතව විභාගය සමත්වෙන ලෙස ඉල්ලමින් තාත්තා එවා තිබුණු ඒ ලිපිය මා එදින පුස්තකාලයේ සිට නැවත දෙවරක්ම කියෙව්වෙමි.

එය ඉටු කිරීමට ලෙහෙසි පහසු ඉල්ලීමක් නොවන බව මට වැටහුණ ද, ඒ ලිපිය මට අත්‍යාවශ්‍ය දිරිගැන්වීමක් ලබා දුන් බව මට අද වැටහේ.

තාත්තා මියගොස් අදට දස වසරක් පිරෙයි.

මේ සටහන ලියන්නට සිතුණේ ඒ නිසා ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා මට එවූ ඒ පළමු ලිපිය මට ලැබුණේ ඔක්තෝබරයේ මුල් සතියේ විය යුතුයි. එයින් මාස දහයකට පමණ පසු අගෝස්තු මස නමවෙනිදා පේරාදෙණියේ තැපැල් කාර්යාලයට ගිය මම තාත්තාට විදුලි පණිවිඩයක් යැවුවෙමි.
සෙකන්ඩ් අපර් එකක් සමග විභාගය සමත්. දින කිහිපයකින් එන්නම්.
-රසික
(ඔව් මාස දහයකට පසුව. පුදුමයි, ඒත් ඇත්තයි. පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ පරිපාලනයේ කාර්යක්ෂමතාව එතරම් ඉහළ විය!)

ප/ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father https://rasikalogy.blogspot.com/2020/11/remembering-my-father.html

2. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

3. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

4. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

14. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

(image: my father when he was 36 years old)

Wednesday, 11 November 2020

තාත්තාගේ ජන්ම ශතක සංවත්සරය - Remembering my father

Mr Suriyaarachchige Jinadasa Harischandra



















ජීවත්ව සිටියා නම් අද මගේ පියාගේ වයස වසර සීයක් වෙනු ඇත.

විසිවෙනි ශත වර්ෂයේ දෙවන දශකය අවසානයේ 1920 නොවැම්බර් මස 11 දින උපත ලබා ඇති ඔහු වසර අනූවක් සහ සති තුනක් පමණ ජීවත් වී අවසන් හුස්ම හෙලුවේ 2010 දෙසැම්බර් මස දෙවෙනි දා ය.

පුතුන් තිදෙනෙකුගේ පියා වූ සූරියආරච්චිගේ ජිනදාස හරිශ්චන්ද්‍ර, වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකු විය. ඔහු තම වෘත්තීය ජිවිතය අරඹා ඇත්තේ මා අසා ඇති පරිදි වයස අවුරුදු දහනමයේ දී තලල්ල නම් ග්‍රාමයේ පිහිටි රජයේ පාසලෙනි.

පසු කලෙක මීරිගම ගුරු විද්‍යාලයෙන් ද, කාර්මික විද්‍යාලයේ ද පුහුණුව ලබා ඇති ඔහු, පසුව ස්ව-අධ්‍යයනයෙන් උසස් පෙළ සමත්ව, රජයේ සේවයේ සිටිය දී ම, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තේ ය. කාලයත් සමගම ඔහුට විදුහල්පති විශේෂ ශ්‍රේණිය නම් තනතුරක් සහ වැඩි වැටුපක් ලැබුණු නමුත්, තාත්තා කිසි දිනක පාසලක නිත්‍ය විදුහල්පති තනතුරක් භාර ගත්තේ නැත.

තාත්තා විශ්‍රාම ගියේ ඔහුගේ පනස්අටවෙනි උපන් දිනය දා, එනම් 1978 දී ය. එවකට එකොළොස්වෙනි ශ්‍රේණියේ සිසුවෙකුව සිටි වයස දාසයයි සති දෙකක ගැටවරයෙකු වූ මට ද එදින තාත්තා සේවය කළ බොල්ලත පාසලේ පැවති උත්සවයට සහභාගීවිමට අවස්ථාව ලැබුණි.

ඇත්තටම උත්සව සභා තුනක් පැවැත්වුණි. මුල් උත්සවය පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙනි. පාසල අවසන් වීමෙන් පසු ගුරු මණ්ඩලය විසින් භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. හවස තුනට පමණ ගුරුදෙගුරු සංගමය මගින් වැඩිහිටියන් සහභාගී වූ උත්සවයක් සංවිධානය වී තිබුණි. මේ අවස්ථා තුනේ දී ම තාත්තා කතා පැවැත්වීය. මා ඔහු ප්‍රසිද්ධ සභාවක කතා කරනු දැක ඇත්තේ එදින පමණි. තමන් විශ්‍රාම යන විට ද පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින බව දන්නා තාත්තා, විශ්‍රාම දිවියෙන් පසු නිරත වීමට වෘත්තියක් සොයා ගෙන ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ද ඒ වන විට සපුරාගෙන තිබුණි. ඒ ටියුෂන්කාරයෙකු වෙන්නට නම් නොවේ. නොතාරිස්වරයෙකු වීමට ය.

පවුලේ වැඩිමලා වූ මා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ආරම්භ කරන කාලය වෙන විට ඔහු ගනේමුල්ල නගරය කිට්ටුව මිතුරෙකුගේ නිවසේ සිටි නොතාරිස් රැකියාව අරඹා සුළු මුදලක් උපයා ගැනීම අරඹා තිබුණි. පිළියන්දල නැන්දාගේ නිවසේ සිට මොරටුව විශ්වවිද්‍යාලයට යාම වෙනුවට සාපේක්‍ෂව අධික වියදමක් සහිත විකල්පය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට මට අවශ්‍ය බව මා පැවසූ විට "උඹ පේරාදෙණියට පලයං, මං වියදම් කරන්නම්!" යනුවෙන් නිර්භයව පවසන්නට තාත්තාට හැකිවුණේ ඒ නිසා ය.

එසේම, තාත්තාගේ අවසාන කටයුතු සඳහා මා ලංකාවට යන විට නිවෙස අසල එල්වා තිබූ බැනරයේ ඔහු විශ්‍රාමලත් විදුහල්පති සහ ප්‍රසිද්ධ නොතාරිස් යනුවෙන් හඳුන්වා දී තිබුණේ ද ඒ නිසා ය.

තාත්තා චරිතවත්, යහපත් පුද්ගලයෙකි. ඔහු මත්පැන් පානය නොකළේ ය. තමන්ට මව් උරුමයෙන් ලැබුණු ඉඩකඩම් ද, තම මුදලින් මිල දී ගත් ඉඩකඩම් ද තම දරුවන් වෙනුවෙන් ඉතිරි කළා සේ ම, ඔහු තම මත්පැන් කෝටාව ද දරුවන් වෙනුවෙන් ඉතුරු කර තැබුවේ ය.

තාත්තාගේ ඥාති සොහොයුරෙකු ද වන, දැන් විශ්‍රාමික ඉංජිනේරුවෙකු, මේ ළඟදී දිනක ෆේස්බුක් හි දී මා සමග තාත්තා ගැන කීවේ මෙසේ ය.

"In our very young days we went to your ancestral home to learn arithmetic from your dad, Mr. Harischandra, who was a true gentleman.

As I saw, he was always a thorough gentleman."

රසික සූරියආරච්චි

ප/ලි:
තාත්තා සම්බන්ධ වෙනත් සටහන් කිහිපයක්.

1. ස්තුති පත්‍ර දැක තියේ ද? - Remembering my father on the seventh anniversary of his demise
https://rasikalogy.blogspot.com/2017/12/remembering-my-father-on-seventh.html

2. අපේ තාත්තා ඉංග්ලිෂ් උගත් හැටි - Matriculation examination was a botheration to the young generation whose main occupation was cultivation by irrigation
https://rasikalogy.blogspot.com/2016/03/matriculation-examination-was.html

3. මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html

4. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html

5. අපි දකුණේ, හරිය? – මහා සූරියආරච්චි සංක්‍රමණය :: Roots
https://rasikalogy.blogspot.com/2016/11/roots.html

6. අපි ඔක්කොම ගුරුවරු, ඔක්කොම සිසුවෝ - All them teachers!
https://rasikalogy.blogspot.com/2016/11/all-them-teachers.html

7. දත් වහල්ල මැදීම - Show me your teeth please!
https://rasikalogy.blogspot.com/2016/06/show-me-your-teeth-please.html

8. හුරුබුහුටි තම්ෂර් සුරුට්ටු සහ හුරුබුහුටි රීඩර්ස් ඩයිජෙස්ට් - Once again down the memory lane
https://rasikalogy.blogspot.com/2016/05/once-again-down-memory-lane.html

9. ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..! - A chapter from my dramatic life
https://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

10. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
https://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

11. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
https://rasikalogy.blogspot.com/2015/09/such-is-life.html

12. හිටං විහිළු නොහොත් "කුණුහරුප සහ අමාරු වචන" - Stand up!
https://rasikalogy.blogspot.com/2016/12/stand-up.html

13. වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice
https://rasikalogy.blogspot.com/2015/10/his-fathers-voice.html

Wednesday, 30 September 2020

අපේ කාලේ කතන්දර - ටැලිගිරැං එක

University of Peradeniya












මේ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබන අවධියේ වූ සිදුවීමකි.

දිගු කලක් තිස්සේ ඇදී ගිය විරෝධතා ව්‍යාපාරයක් අවසානයේ ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ ශිෂ්‍යයින් කිහිපදෙනෙක් මාරාන්තික උපවාසයක් ඇරඹූහ. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් වහාම විශ්වවිද්‍යාලය වසා දමන ලද අතර ශිෂ්‍යයින් සඳහා විශ්වවිද්‍යාල භූමිය තහනම් කලාපයක් ලෙස නම් කර සියලු දෙනාටම ඉවත් වන ලෙස අණ කරන ලදී.

මාරාන්තික උපවාසය සහ විරෝධතා ව්‍යාපාරය නොනවත්වා පවත්වාගෙන යාමටත්, විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් නොවීමටත් පොදු එකඟතාවක් ශිෂ්‍යයන් තුළ ඇතිවිය.

දෙවන වසරේ ඉගෙනුම ලබන පිරිමි සිසුන්ට විශ්වවිද්‍යාලය තුල නවාතැන් පහසුකම් නොලැබෙන නිසා ඒ වන විට මා ඇතුළු පිරිසක් පදිංචිව සිටියේ ඊරියගම බෝඩිමක ය. එනිසා විශ්වවිද්‍යාල භූමියෙන් පිටත්ව යාම යනු අපට අදාල වූ කරුණක් නොවී ය.

කෙසේ වුවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමූ බව සහ සිසුන්ට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් බවට නම් කළ බව ගුවන් විදුලියෙන් සහ පුවත්පත් හරහා නිවසට ආරංචි වෙන බව දන්නා නිසා, මා දිගටම බෝඩිමේ නතර වී සිටීමට අදහස් කරන බව නිවසට දැන්විය යුතුවිය.

මා කළේ, පේරාදෙණිය තැපැල් කාර්යාලයට ගොස් තාත්තාට විදුලි පණිවිඩයක් යැවීමයි.

"දිගටම බෝඩිමේ ඉන්නවා. සති දෙකකින් ගෙදර එන්නම්.
-රසික"

මා සමඟම එහි ගිය, එකම බෝඩිමේ සිටි මගේ මිතුරෙකු ද තම පියාට විදුලි පණිවිඩයක් යැවීය.

දින දෙකක් ගත විය.

විශ්වවිද්‍යාල භූමියේ උපවාසය පැවැත්වෙන ස්ථානය අසල දවස පුරාම රැඳී සිට සවස බෝඩිමට ගිය අප දුටුවේ මිතුරාගේ පියා එහි පැමිණ සිටින බවයි.

"ඇයි තාත්තා ආවේ?" මිතුරා විමසීය.

"අර ට්‍රෙලිග්‍රෑම් එක ලැබුනහම නෑවිත් පුලුවන්ද?" පියා ද ප්‍රශ්නයකින් ම උත්තර දුන්නේ ය "මං හිතුව උඹට ලොකු කරදරයක් වෙලා ඇති ය කියලා!".

මොහොතකින් අප දැනගත් පරිදි අප මිතුරා තම පියාට යැවූ විදුලි පණිවිඩයේ ලියා ඇත්තේ මෙලෙස ය.

"විශ්වවිද්‍යාලය වසා දැම්මා. මට කිසි කරදරයක් නැහැ.
-රෝහණ"

-රසික සූරියආරච්චි

(image: https://arts.pdn.ac.lk/)

Friday, 11 September 2020

ප්‍රගතිය ද, අගතිය ද – හයේ පන්තියේ කතාවක් :: Dux or dud


සාමාන්‍යයෙන් පාසල් වාර පරීක්ෂණ පවත්වා, එහි ප්‍රතිඵල ඇතුළත් කර සකසන වාර්තාව හැඳින්වෙන්නේ "ප්‍රගති වාර්තාව" ලෙසිනි.

මෙය ද එවැන්නකි.

මේ 1973 දී හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ ප්‍රගති වාර්තාවකි.

ඒ කාලයේ අධ්‍යාපනය පිළිබඳ මගේ මූලික නිරීක්‍ෂණ මෙසේ ය.
  • වසරේ වාර පරීක්‍ෂණ තුනක් ඇත.
  • විෂයයන් දොළහකි.
  • චිත්‍ර, නැටුම් සහ සංගීතය යන සෞන්දර්ය විකල්ප විෂයයන්ගෙන් එකක් තෝරා ගත යුතුව තිබී ඇත.
  • ස්වභාවික සම්පත් යනු වෙනමම විෂයයකි!
  • ජ්‍යාමිතික හා යාන්ත්‍රික ඇඳීම ද වෙනමම විෂයයකි!
  • මෙහි ඇති ලී වැඩ නම් විෂයය සඳහා විකල්ප වූයේ ලෝහ වැඩ, මැටි වැඩ, කෘෂිකර්මය යනාදියයි.
  • සත්ව පාලනය සඳහා විකල්පයන් වූයේ වාණිජ්‍යය වැනි විෂයයන් ය.
  • සිසුවාගේ ලකුණු ප්‍රතිශතය මෙන්ම, පන්තියේ පළමුවෙනි ස්ථානය ලබා ගත් සිසුවාගේ ලකුණු ප්‍රතිශතය ද, පන්තියේ සියලුම සිසුන්ගේ ලකුණු ප්‍රතිශතයේ සාමාන්‍ය අගය ද දක්වා ඇත.
මෙය ප්‍රගති වාර්තාවක් ලෙස අප හඳුනා ගත්තද මේ සිසුවා අති බහුතරයක් විෂයයන් සඳහා වාර පරීක්‍ෂණ තුනේ දී ලබා ඇති මෙහි දැක්වෙන ලකුණු දෙස බලන විට එක්වරම පෙනී යන කාරණයක් නම්, මෙය මෙම හයවෙනි ශ්‍රේණියේ සිසුවාගේ ප්‍රගතිය පෙන්වන වාර්තාවක් නොව අගතිය පෙන්වනන්නක් බවයි.

තවත් හොඳින් පරීක්ෂා කර බැලුවොත් මේ පන්තියේ සිටි ප්‍රමාණයෙන් හතළිස් දෙනෙකු පමණ වූ සමස්ත සිසුන් පිරිසකගේම අගතිය මෙම වාර්තාවෙන් පෙන්නුම් කරන බව ද පෙනී යනු ඇත.

පන්තියේ පළමුවෙනියා වීම යනු අධ්‍යාපනයේ ප්‍රගතිය මැනීමට කිසිසේත්ම අදාළ නැති නිර්ණායකයක් බව මේ වාර්තාව අපූරුවට විදහා දක්වයි.

මේ වීඩියෝව ද නරඹන්න.


-රසික සූරියආරච්චි

ප/ලි
පාසල් විෂයය මාලාවේ අද තත්වය කෙසේ ද?
තවමත් පාසල් වාර පරීක්‍ෂණ පවත්වා සිසුන් මුළු ලකුණු අනුව පෙළ ගස්වා ඒ තත්වය වාර්තා කෙරෙනවා ද?

(image: )

Saturday, 18 July 2020

"පිං අංකේ" හෙවත් බැංකු කතාවේ කඩඉමක් - Wow, what a feeling!


මා කුඩා කාලයේ අම්මා ඇරඹූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් ගිණුමේ තිබුණු සුළු මුදළ ආපසු ගෙන උසස් පෙළ අවසාන වූ පසු සමයේ මගුල් ගෙදරකට කළිසම් කමිස ගත් හැටි සහ ඉන්පසුව දිගු කාලයක් බැංකුවලින් බේරී සිටි මට අවසානයේ ගිණුමක් ඇරඹීමට සිදු වූ හැටි මීට කලින් පළ කළ සටහන් දෙකේ මම ලිව්වෙමි.

නොකරම බැරිවුණු නිසා සිකුරාදාවක එලෙස ලංකාවේ බැංකුවක ගිනුමක් අරඹා, ඉන් පසුදාම පශ්චාත් උපාධියක් සඳහා විදෙස් ගත වූ මට ඊළඟ සඳුදාම නැවත බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සිදුවිය.

මගේ බැංකු ගිණුම් ඉතිහාසයේ කඩඉමක් ලෙස සැළකිය හැකි ඒ අවස්ථාව පිළිබඳ අතුරු කතාවක් මෙලෙස කෙටියෙන් ලියන්නට සිත්විය.

එලෙස මා විදේශයක දී ඇරඹූ ගිණුම කඩඉමක් වන්නේ මා මුලින්ම ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ලැබුවේ ඒ ගිණුම සඳහා වූ නිසා ය.

මේ 1988 වසර විය. එවැනි කාඩ් ලබා දෙන බැංකුවක් එකල ලංකාවේ ද තිබුණු බව මම දැන සිටියෙමි. ඒ විදෙස් බැංකුවක් වූ හොංකොං සහ ෂැන්හයි බැංකුවයි. ඔවුන්ගේ ශාඛා පිහිටියේ එකක් පමණක් නිසා සහ එය ද පිහිටියේ කොළඹ කොටුවේ නිසා අප වැනි ගම්බයියන්ට එවැනි සීමිත වූ පහසුකමක අවශ්‍යතාවක් එකල නොතිබුණි.

නමුත්, මේ විදේශයේ දී මට මෙලෙස බැංකු ගිණුමක් ඇරඹීම අනිවාර්ය වූයේ පශ්චාත් උපාධිය හදාරන කාලයේ දී මට ලැබෙන ශිෂ්‍යත්ව මුදල ගෙවන්නේ ගිණුමකට පමණක් වීම නිසා ය.

මා සමග ඒ උපාධිය හැදෑරීමට ගොස් සිටි පිරිස අතර ලංකාවේ වෙනත් සිසුන් තිදෙනෙකු ද විය. අප තිදෙනා සඳුදා ඇරඹූ බැංකු ගිණුමට අපට එදින ම හෝ පසුදා පෙර කී පරිදි ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද ලැබුණි.

මේ සටහන කියවන සෑම දෙනෙකුට ම අද මෙය අති සරල කරුණක් ලෙස පෙනී ගිය ද, එය අප ලැබූ නවමු අත්දැකීමක් විය. ඒ සමගම අපට කාඩ් එක සමග භාවිතා කිරීමට පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් හෙවත් රහස්‍ය "පිං අංකයක්" ද ලැබුණි.

ඒ රහස්‍ය අංකය ඉලක්කම් හතරකින් සමන්විත විය.

එය මතකයේ තබා ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ ලියා නොතබන ලෙසත්, අන් කිසිවෙකුට ලබා නොදෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.

මෙහි දී මා ලද විනෝදජනක අත්දැකීමක් මෙසේ ය.

අප ලාංකික සිසුන් සිව්දෙනා මේ කාඩ් එක ගැනත් පිං අංකය ගැනත් කතාබහ කරමින් සිටියෙමු. මේ සිව් දෙනාම ගණිතය හැදෑරූ මැවිසුරු උපාධිය ලද අය වූහ.

දැන් මේ "පිං අංකයේ" තියෙන්නේ ඩිජිට්ස් හතරයි නේ. එතකොට කොච්චර කම්බිනේෂන් තියෙන්න පුළුවනි ද එකෙකු ඇසීය.

ගණිතයේ කෙල පැමිණි සිටි අනෙකෙකු වහා ගණං හැදීම ඇරඹීය.

"පළමුවෙනි ඩිජිට් එකට බින්දුවේ ඉඳලා නමය වෙනකං ඔප්ෂන්ස් දහයක් තියෙනවා. දෙවෙනි තැනටත්, තුන්වෙනි සහ හතරවෙනි තැන්වලටත් එහෙමයි, එතකොට දහය වැඩිකිරීම දහය වැඩිකීරීම... .... ....."

"මොනවද මචං ඔච්චර ගණං හදන්න තියෙන්නේ, බින්දුවේ ඉඳලා 9999 දක්වා තියෙන්නේ හරියටම දහ දාහයිනේ!" මම කියා සිටියෙමි.

ඊට තත්පර කිහිපයකට පසු මගේ මිතුරා ද, තම කම්බිනේෂන්ස් සහ පර්මියුටේෂන්ස් ගණනය කිරීම මගින් ඒ පිළිතුර සොයා ගත්තේ ය!

හදිස්සියට කොරහේ අත දාන්න බැරිවෙනවාය කියන්නේ එවැනි අවස්ථාවලට යැයි සිතමි.

නැවතත් ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද සහිත ගිණුම පිළිබඳ කතාවට යතොත්, මේ ගිණුමේ මාසික සුළු අය ප්‍රමාණයට සමානවම මාසය පුරා වැය සිදු වූ නිසා, එහි රැඳුණු මුදලක් නැති වුව ද, උදේ පාන්දර, සවස් කාලය, රාත්‍රිය, මැදියම කියා වෙනසක් නොමැතිව ද, බැකුවේ විශ්වවිද්‍යාල ශාඛාව, අසල කඩ මංඩියේ ශාඛාව හෝ මහ නගරයේ ඇති විවිධ ශාඛා ද කියා වෙනසක් නොමැතිව තියෙන තුට්ටු දෙක අපට ඉතා පහසුවෙන් ආපසු ලබා ගත හැකි වීම අප ලැබූ විශාල පහසුකමක් විය.

මා ඒ ගිණුමට මෙන්ම, බැංකු කාඩ් එකට ද කෙතරම් ඇළුම් කළේ ද යත්, අධ්‍යාපනය නිමවා, පශ්චාත් උපාධිය ලැබ, ආපසු ලංකාවට ඒමට පෙර ගිණුමේ ඇති මුදල් සියල්ල රැගෙන එය වසා දැමීමට මට නොසිතුණි. ඒ, එවිට මගේ බැංකු කාඩ් එක ද බැංකුවටම ආපසු දෙන්නට වේ යැයි සිතුණු නිසා ය.

එනිසා ගිණුමේ ඉතා සුළු මුදලක් ඉතුරු කර මගේ සිහිවටනය වූ බැංකු කාඩ් එක ද රැගෙන ලංකාවට පැමිණියෙමි.

මෙයින් වසර හතර හමාරකට පසු, මා වෙනත් ගමනක අතර මැද මේ නගරයේ ද දින දෙකක් ගත කිරීමට සිදුවෙන බව දැන මගේ සිහිවටන බැංකු කාඩ් එක ද රැගෙන ගියෙමි.

අහෝ!

ගිනුමේ ගණුදෙනු කටයුතු සිදු නොවන බැවින් අවම ශේෂය නැති මාස සඳහා සුළු මුදලක් බැගින් කපා ගෙන, ඒ වන විට ඔවුන් මගේ ගිණුම අහෝසි කර දමා තිබුණි.

-රසික සූරියආරච්චි

Thursday, 16 July 2020

පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම - Do we need banks?


පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.

ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ මුදලින් කොටසක් රැගෙන පුංචි අම්මාගේ මංගල උත්සවය සඳහා මයුරා (ජිල්) සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිසයක් මිලට ගත් බව මට අද ද හොඳින් මතකයේ ඇත්තේ එතෙක් ටේලර්-මේඩ් කලිසම් සහ කමිස ඇඳී මා මුලින් ම මිලට ගත් රෙඩි-මේඩ් ඇඳුම් ගත්තේ එලෙස නිසා ය.

විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ද, ඉන්පසුව, පළමුවෙනි, දෙවෙනි තුන්වෙනි රැකියාවේ නිරතවෙන කාලයේ ද මට බැංකු ගිණුමක අවශ්‍යතාවක් ඇති නොවුණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමයේ නිවසෙන් ද, ඥාතීන්ගෙන් ද ලැබුණේ මුදල් ය, තැපැල් ඇණවුම් ය. භාවිතා කළේ සල්ලි කොළ සහ කාසි ය. අතට ලැබෙන තුට්ටු දෙකට බැංකු ගිණුම් අවශ්‍ය නොවුණි.

රැකියාවට ගිය පසු ද, අපට මාසික පඩි ලැබුණේ මුදල් කොළවලින් ලියුම් කවරයක බහා පඩි-පැකට් එකක් ලෙසිනි. ඒවා නැවත බැංකුවට දැමීමට යෑම කාලේ කා දැමීමක් විය.

ඒ දිනවල මා මගේ ආදායම කළමනාකරණය කළේ මෙලෙසයි.
පඩි දිනයේ දී ලැබෙන පඩි පැකට්ටුව කමිසයේ උඩ සාක්කුවේ දා ගනිමි.

එයින් රැගෙන වියදම් කරමි.

මාරු කාසි පර්ස් එකට දමමි.

නවාතැනට ගිය විට, පඩි පැකට්ටුව මේසය මතට දමමි.

පසුවදා සේවයට යන විට එදින අඳින කමිසයේ රුවා ගනිමි.

ඇතැම් මාසවල සීයේ කොළයක් දෙකක් ඉතිරිවේ. ඒ වන විට පඩි පැකට්ටුව හෙවත් ලියුම් කවරය ද නැමී, ඉරී, කල් ඉකුත් වී ඇත. එසේ ඉතිරිවන මුදලක් වෙහොත් එය ඊළඟ මාසයේ පැකට්ටුවට එකතු කරමි.

ජරාජීර්ණ වූ පසුගිය මාසයේ පඩිය බහා තිබුණු ලියුම් කවරය කාර්යාලයේ කුණු බක්කියට දමමි.
මා කළ තුන්වෙනි රැකියාවේ දී, මා සමග මැවිසුරුවන් දහ දෙනෙකු සේවය ඇරඹූහ. ඔවුන්ගෙන් සමහරෙකුට බැංකු ගිණුම් තිබෙන්නට ඇත. එලෙස නොතිබුණු අයගෙන් මා හැර අන් අය සේවා ස්ථානය නුදුරින් තිබුණු අතුරුගිරියේ ලංකා බැංකුවට ගොස් ගිණුම් ඇරඹූහ.

ඒ පඩියෙන් කොටසක් ඉතුරු කිරීම සඳහා විය යුතුයි. මක් නිසා ද යත්, අපට පඩි ලැබුණේ මුදලින් බැවිනි.

එසේ නමුදු මගේ ඒ බැංකු රහිත සරල ජීවිතය වෙනස් කිරීමට වසර එකහමාරකට පමණ පසුව සිදුවිය.

එයට හේතුව වූයේ, මට පශ්චාත් උපාධියක් හැදෑරීම පිණිස, විදෙස්ගතවීමට අවස්ථාවක උදා වීමයි. මා සේවය කළ ලංකා වානේ සංස්ථාව රාජ්‍ය ආයතනයක් වූ නිසා ඒ කාලය සඳහා පඩි සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට ද මට ඉඩකඩ තිබුණි.

මගේ පාඨමාලාව ඇරඹීමට නියමිතව තිබුණේ සඳුදාවක ය. මට ඒ අධ්‍යාපන ආයතනයට යාමට ගුවන්ටිකට් පත් ලැබී තිබුණේ ඉන් දින දෙකකට පෙර සෙනසුරාදා ය. කල් තියාම අයැදුම් කළ නමුදු, පඩි සහිත නිවාඩු අවසරය මට ලැබුණේ බ්‍රහස්පතින්දාවක දිවා කාලයේ ය. මේවන විට සංස්ථාව අසල තිබුණු ලංකා බැංකු ශාඛාව දේශප්‍රෙමී කඩතුරාවකට මුවා වී ජනතාව අතර ජාතිවාදය ඇවිස්සූ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ගිනිබත් කර තිබුණු අතර මට අධ්‍යයන නිවාඩු කාලයේ වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පරිපාලන අංශයට තොරතුරු ලබා දීම සඳහා බැංකු ගිණුමක් එදින ආරම්භ කළ නොහැකි විය.

දැන් ඉතිං මක් කරන්නද?

පසුදා නවාතැන අතහැර නිවෙසට යා යුතුය. සෙනසුරාදා උදේ පාන්දරින් ගුවන් තොටුපොළට යෑමට සිටියේ නිවසේ සිට දෙමව්පියන් ද සමග ය.

ළඟම බැංකුව පිහිටියේ කඩුවෙල නගරයේ වූ අතර අපේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වූ සුමනසිරිගේ බිරිඳ සේවය කළේ එහි නිසා, පසුදා උදෑසන එහි ගොස් ඇයගේ ද උපකාරයෙන් එහි ගිණුමක් ඇරඹුවෙමි. මට මතක ආකාරයට ඒ දිනවල (1988) ගිණුමක් ඇරඹීමට නම් වෙන අයෙකුගේ ද අත්සනක් අවශ්‍ය විය. මා උදක් ම කඩුවෙල ගියේ ඒ නිසා ය.

ඒ මාසයේ සිට තවත් මාස විස්සක කාලයක් පුරා මගේ පඩිය සංස්ථාව විසින් ඒ ගිණුමට බැර කරණ ලදී.

මගේ බැංකු ගනුදෙනුවල ආරම්භය එලෙස විය.

-රසික සූරියආරච්චි

ප/ලි
බැංකුවක සිද්ධියක් ගැන මා ලියූ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, මගේ බැංකු ඉතිහාසය ද, බැංකු අත්දැකීම් ද, ඒ හා සම්බන්ධ වෙනත් දේ ද, ලියා රසිකොලොජියේ පළ කිරීමට සිතුණි.

මේ ඒ ලිපි මාලාවේ දෙවෙනි ලිපියයි.

මෙන්න මුල් ලිපිය:
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා - Know your rights
https://rasikalogy.blogspot.com/2020/07/know-your-rights.html


(image: )

Tuesday, 26 May 2020

මෙරිටොක්‍රසි පන්ති නායක පත්වීම (ගලහිටියාව මතක VI) - How I became the class monitor of 6A


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් පහක (1, 2, 3, 4, 5) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියෙන් අපේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹුණු සතියේම මා සිටි 6A පන්තිය භාර කුලරත්න සර් විසින් පාසලට උදෑසනම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක පන්ති නායක තනතුරු සඳහා පත් කළේ ය.

සතියක් පමණ ගත විය.

අලුත් අධ්‍යයන වර්ෂය සඳහා ජනවාරියේ පාසැල පටන් ගත් දින හයවෙනි ශ්‍රේණිය සඳහා ඇතුළත් වුණු සිසු සිසුවියන් පිරිසට අමතරව තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකු පසුව පාසලට ඇතුළත් වූ අතර ඔවුන් සඳහා 6D නමින් අලුත් පන්තියක් ආරම්භ කරන ලදී.

ඒ අලුත් පන්තියේ සිටියේ කිහිප දෙනකු පමණක් නිසා, හයේ පන්ති හතරේ ශිෂ්‍ය සංඛ්‍යාව සමතුලිත කිරීමට දෝ, මා සිටි 6A පන්තියේ සිසු සිසුවියන් අතරින් පිරිසක් එම පන්තියට අනුයුක්ත කරන ලදී. මේ සඳහා තෝරා ගත්තේ පන්තියේ ශිෂ්‍ය නාමලේඛනයේ අගින් සිටි පිරිස ය.

අධ්‍යාපනයේ නිසි පල ලැබෙන්නට නම් ගුරු සිසු අනුපාතය අඩුවිය යුතුය, එනම්, එක් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව අඩුවිය යුතුය යනුවෙන් අධ්‍යාපඥයින් පවසන සත්‍යයට අමතරව, කොරිඩෝරයක සිරවී සිටි අපේ 6A පන්තියේ සිසුන් සංඛ්‍යාව මෙලෙස හෝ අඩුවීම ධනාත්මකව සාකච්ඡා කළ යුතු කරුණක් නමුත් එහි ලොකු අවුලක් තිබුණි.

අපේ පන්තියෙන් ඉවත් කර අලුතෙන් අරඹන ලද පන්තියට අනුයුක්ත කරන සිසුන් පිරිසගේ නම් ලයිස්තුව කුලරත්න සර් කියවූ මොහොත අවුරුදු හතලිස් හතකට පසුව ද අද මෙන් මගේ මතකයේ හොඳින් රැඳී ඇත. ඒ නම් අතරට, ඊට දින කිහිපයකට පෙර, හුණු කූරු සහ වාර්තා පොත් විදුහල්පති කාමරයේ සිට පන්තියට ගෙන ඒම සහ පාසල නිම වූ පසු ඒවා නැවත ගෙන ගොස් තැබීමේ රාජකාරිය කිරීම සඳහා, උදෙන්ම පාසලට පැමිණීමට ඇති හැකියාව නමැති නිර්ණායකයට අනුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී පන්තිය භාර ගුරුවරයාගේ අනුමැතියෙන් අභිෂේක කරන ලද, පිරිමි ළමුන්ගේ පන්ති නායක සමන්ගේ නම ද ඇතුළත් වී තිබුණි.

සමන්ට අපේ පන්තිය අත හැර අලුත් මිතුරන් පිරිසක් අතරට යන්නට සිදු විය.

"දැන් ඉතින් අපිට පිරිමි ළමුන් අතරින් අලුත් පන්ති නායකයෙකු පත්කර ගන්ට වෙනවා" කුලරත්න සර් නිවේදනය කළේ ය "කවුද වෙන ඉන්නේ උදෙන්ම ඉස්කෝලේ එන්න පුළුවන් ළමයෙක්?"

මේ මතක සටහනේ පෙර කොටසක මා සඳහන් කළ පරිදි නිවසේ සිට පාසල් බසයෙන් ගමන් කරන මා පාසලට පැමිණෙන වේලාව මට තීරණය කළ නොහැක්කකි. එනිසා, අත ඔසවා ස්වෙච්චාවෙන් මෙම පන්ති නායක තනතුර සඳහා ඉදිරිපත් වීමට හැකියාවක් මට කිසිසේත් ම නොවිණි.

නමුත් වහාම "මට පුළුවන්" යයි හඬක් නැගුණි. අතක් එසවිණි.

ගණේමුල්ල නගර මධ්‍යයේම පිහිටි තම සීයාගේ නිවසේ සිට පාසලට පයින්ම පැමිණි පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන එදින සිට අපේ පන්තියේ නායක ලෙස කුලරත්න සර් විසින් පත්කරන ලදී.

එදින සිට පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන උදෑසනම පාසලට පැමිණ හුණු කූරු ද, නාමලේඛනය ද, ගුරු සටහන් පොත ද, විදුහල්පති කාමරයේ සිට කොරිඩෝරයේ අඩුක් කර තිබුණු අපේ 6A පන්තියට ගෙන එන ලදී. පන්තියට පැමිණෙන ගුරුවරු එම හුණු කූරුවලින් කළුලෑල්ලේ ලියූහ. ගුරු සටහන් පොතේ කළ පාඩම් පිළිබඳ කෙටි සටහන් තැබූහ. කුලරත්න සර් නාම ලේඛනය ලකුණු කළේය. හවසට නාමලේඛනය ද සටහන් පොත ද පුණ්‍ය උදය ජයසේකර ලොකුවිතාන විසින් විදුහල්පති කාමරය වෙත ගොස් තබන ලදී.

මාස තුනක් ගෙවී ගියේ ය.

අලුත් පාසලේ පළමුවෙනි වාර විභාගය පැවැත්වුණි. ප්‍රගති වාර්තා නිකුත් විණි. මට මගේ ප්‍රගති වාර්තාව ලැබුණේ පාසල් අවසන් දිනයේ දී ප්‍රධාන ගොඩනැගිල්ලේ මැද මිදුලේ දී පැවැත්වුනු විශේෂ රැස්වීමේ දී විදුහල්පති අතින් ය. අප්‍රේල් නිවාඩුව ද ඒ සමගම එළැඹුණි.

දෙවන වාර සඳහා පාසල ඇරඹි මුල් දිනයේ දී ම අපේ පන්තියට පැමිණි කුලරත්න සර් විශේෂ ප්‍රකාශයක් කළේය.

"අද අලුත් වාරය සඳහා මම අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත්කරනවා. ඒ සඳහා තෝරා ගන්නේ මුල් වාරයේ විභාගයෙන් පන්තියේ පළමුවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා වුණු ආකාරයටයි."

ඔහුගේ ම, පාසලට උදෙන්ම පැමිණීමේ නිර්ණායකය වෙනුවට කුලරත්න සර් විසින් අලුතෙන් හඳුන්වාදුන් මේ නිර්ණායකයට අනුව රසික හරිශ්චන්ද්‍ර සූරියආරච්චි වන මා, 6A පන්තියේ පන්ති නායකයා ලෙස නම් කෙරිණි. මගේ මතකය නිවැරදි නම්, අප්‍රියෙල් මාසයේ පැවැත්වුනු පළමුවෙනි වාර විභාගයේ දී සිසුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාවට අනුව අනුපිළිවෙලට සැකසූ විට පංතියේ දෙවැනියා වූයේ ද පිරිමි ළමයෙකු නිසා, පන්ති නායිකාව ලෙස තුන්වැනි ස්ථානයේ සිටි සිසුවියක නම් කෙරිණි. එලෙස, පන්ති නායිකාව ලෙස පත්වූයේ, මානෙල් කරුණානායක බව, එදා සිවුවැනි ස්ථානයේ සිටි රංජනී ශ්‍රියාලතා දිසානායක මා සමඟ නොබෝදා පැවසුවා ය.

අලුත් පන්ති නායකයා සහ නායිකාව එලෙස පත් කළ කුලරත්න සර් අපට කියා සිටියේ, අගෝස්තු මස පැවැත්වෙන වාර විභාගයේ ප්‍රතිඵල අනුව තුන්වන වාරය සඳහා නැවතත් අලුතෙන් පන්ති නායකයෙකු සහ නායිකාවක පත් කරන බවයි. පන්ති නායක නායිකා තනතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිව පන්තියේ පළමුවෙනියා හෝ දෙවෙනියා වීමට අදිටන් කරගෙන, ඔහුගේ සිසු සිසුවියන් ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරනු ඇතැයි කුලරත්න සර් බලාපොරොත්තු වුණු බව නිසැක ය.

ගුරුන්ටත් අකුරු වරදී!

නමුත් ඇත්තටම සිදුවූයේ, පන්ති නායකයා පත් කිරීමේ තම නව නිර්ණායකය මගින් කුලරත්න සර් විසින්, ඔහු නොදැනුවත්වම, සදාකාලික පන්ති නායකයකු පත්කර තිබීමයි.

මෙය මෙරිටොක්‍රසි ආකාරයේ පත්වීමක් නිසා, මගේ නායකත්වය සමාන කළ හැක්කේ රොබට් මුගාබේට නොව ලී ක්වාන් යූ වැන්නෙකුට යයි සිතමි.

එලෙස යාවජීව නායකයා ලෙස පත්වුණු මගේ ආධිපත්‍යය, වසර එකහමාරකට පමණ පසු හදිසියේ ම නිමා කිරීමට හේතු කාරණා සැපයුවේ ද තවත් අගමැතිවරයෙකි.

ඒ පිළිබඳ විස්තර මේ දීර්ඝ මතක සටහනේ පසු කොටසකින් බලාපොරොත්තු වන්න.

-රසික සූරියආරච්චි

(image: https://en.wikipedia.org/wiki/Asian_water_monitor)

Sunday, 24 May 2020

ගලහිටියාවේ පන්තිනායක තනතුරේ තතු - Class monitorship at Galahitiyawa Central College


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් හතරක (1, 2, 3, 4) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.

අලුත් පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ඇරඹා දිනකින් දෙකකින් පමණ පන්තිය භාර ජේ. ඒ. කුලරත්න ගුරුවරයා (කුලරත්න සර්) අප අමතා වැදගත් නිවේදනයක් කළේ ය.

"මේ පන්තියට පන්ති නායකයකු සහ නායිකාවක පත් කරගත යුතුයි."

කුලරත්න සර් විස්තර කළ පරිදි පන්තියේ පිරිමි ළමුන් අතරින් පත් කරගත යුතු වුණු පන්ති නායකයාගේ මූලික කාර්යභාරය වන්නේ උදෑසනම පාසලට පැමිණ විදුහල්පති කාමරයේ තබා ඇති දින සටහන් පොත සහ පැමිණීමේ ලේඛනය ද, අවශ්‍ය පරිදි හුණු කූරු ද පන්තියට ගෙන ඒමයි. දිනය අවසානයේ දී ඉතිරි වන හුණු කූරු කෙසේ වෙතත් පෙර කී සටහන් පොත් දෙක ආපසු ගොස් සුරැකිව විදුහල්පති කාමරයෙන් තැබීම ද පන්ති නායකයාගේ වගකීම විය.

මීට අමතරව, ඒ ඒ දිනයේ පන්තියේ සිටින සිසුන්ගේ සංඛ්‍යාව නිවැරදිව දන්වා, දිවා ආහාරය සඳහා ඇදිහැස බිස්කට් ලබා දෙන කාමරයෙන් පන්තියට නියමිත බිස්කට් ප්‍රමාණය ගෙනැවිත් සිසු සිසුවියන් අතර බෙදාදීම ද පන්ති නායකයාගේ වගකීම විය. ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමානව) බිස්කට් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ සහනාධාර ව්‍යාපෘතියක් යටතේ, පාසල් සිසුන් අතර මන්දපෝෂණය අඩුකිරීම පිණිස ලබාදුන් දිවා ආහාරය යි. එක් සිසුවෙකුට දිනකට බිස්කට් තුනක් ලැබුණි. වසර දෙකකින් පමණ මේ ව්‍යාපෘතිය අවසන් විය. දැන් මංචී ලෙස හැඳින්වෙන්නේ ඇදිහැස බිස්කට් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාව යැයි සිතමි.

පන්ති නායක තනතුර යනු මම කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී දැරූ වගකීමකි. එනිසා එය මට කළ හැකි සරල කටයුත්තක් ලෙස මගේ සිතේ ඇඳුණි.

ඇත්තටම, පෙර වසරේ පස්වැනි ශ්‍රේණියේ පන්ති නායකයා ට පැවරී තිබුණු වගකීම් මීට වඩා වැඩිබව කිව යුතු ය.

පිරිමි ළමුන්ට නියමිත කාර්යය වූ, පන්ති කාමරයේ දෙපස පිහිටි කැනස් මල් පාත්ති ඇතුළු මිදුළ කොටස් දෙකේ වල්පැල යනාදිය වෙතොත් ගලවා සුළඟින් එකතු වන කොළරොඩු ඉවත් කර පිරිසිදුව තබා ගැනීම සහ පන්තියේ මැටි කළයට උදෑසනම අල්ලපු වත්තේ ලිඳෙන් වතුර පුරවා ගෙනැවිත් සෝදා පිරිසිදු කරන ලද පොල් කටුව ද සමග පන්තියේ පසෙක තැබීම යන ප්‍රධාන කර්තව්‍යද්වය ඉටුකිරීම සඳහා සතියේ දින පහට ළමුන් දෙදෙනා බැගින් සිවුදෙනකු නම් කර ඔවුන් එම කාර්යය ඉටු කරනවා දැයි අධීක්ෂණය කිරීම පන්ති නායකයා ගේ වගකීම විය. පන්ති නායකයා ද සතියේ දින දෙකක එම කාර්යය සිදුකල අතර, කිසියම් සිසුවෙකු පාසලට නියමිත දිනයේ නොපැමිණියේ නම් එම අඩුව පිරවීම ද ඔහුගේ නායකත්ව වගකීම විය.

ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ නල ජල සැපයුමක් තිබුණු අතර කම්කරුවෙකු ද සේවය කළ බව මගේ මතකයයි.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී පන්ති නායකයා ලෙස මට පැවරී තිබුණු තවත් වගකීමක් වූයේ පන්තියට අයිති ලීවලින් සාදන ලද අල්මාරියේ භාරකාරීත්වයයි.

පැරණි පොත්පත් කිහිපයක් ද, මගේ මතකය නිවැරදි නම් මිනී ඔළුවක් වැනි යමක් ද, තවත් ලට්ට ලොට්ට කිහිපයක් ද තිබුණු මෙම අල්මාරිය සුරක්ෂිත කර තිබුණු ඉබ්බාගේ යතුර, මා පන්තියේ පිරිමි ළමුන්ගේ වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පහේ පන්තියේ පන්ති නායක ධුරය ලද දිනයේ ම මට බමුණුසිංහ ටීචර් ගෙන් ලැබී තිබුණු අතර මා පාසැලට ගියේ නූලක අමුණන ලද ඉබි යතුර මාලයක පෙන්ඩන්ටුවක් ලෙස පැළඳ ගෙනයි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ මා සිටි කිසිදු පන්තියට එවැනි අල්මාරියක් නොතිබුණි. එවැන්නක් තිබුණේ වුව ද, ගණේමුල්ල ජාඇල ප්‍රධාන මාර්ගයට සමාන්තරව පිහිටි පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජාඇල අන්තයේ කොරිඩෝරයේ කොනක අඩුක්කර පවත්වා ගෙන ගිය අපේ පන්තියේ අල්මාරියක ට කිසිසේත් ඉඩ නොතිබුණි. එනිසා කුලරත්න සර්ගේ 6ං පන්තියේ නායකයා ලෙස පත්කර ගැනීමට නියමිතව සිටි සිසුවාට මාලයක පෙන්ඩන්ටුවක් ලෙස ආඩම්බරයෙන් ගෙල වටා පැළඳ ගෙන ඒමට යතුරක් හිමිවෙන බවක් නොපෙනුණි.

පන්තියේ සිටි සිසුවියන් අතරින් පත් කර ගත යුතු වූ පන්ති නායකාවගේ වගකීම වූයේ කුමක්දැයි මට නිවැරදිව මතකයෙන් කිව නොහැකි නමුත් එය පන්තිය පිරිසිදුව තබා ගැනීම විය යුතුය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දී මගේ අත්දැකීම වූ ආකාරයට පන්ති නායකයා සහ නායිකාව තෝරා ගැනීම සඳහා සිසුන් අතරේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවැත්වේ යැයි මගේ සිතට නිකමට හෝ සිතිවිල්ලක් පැමිණියේ නම් එය පැවතුණේ තත්පර කිහිපයකට පමණි. ඒ සමගම කතා කළ පන්තිය භාර ගුරු කුලරත්න සර් කියා සිටියේ, මෙම තනතුරු සඳහා පත් විය යුත්තේ පාසලට නොවරදවා උදෙන්ම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක බවයි.

"උදෙන්ම ඉස්කෝලෙට එන්න පුළුවන් අය අත උස්සන්න!" ඔහු පැවසීය.

යාගොඩ පැත්තේ සිට දුම්රියෙන් ගනේමුල්ලට පැමිණ එතැන් සිට පා ගමනින් පාසලට එන සමන් නමැති සිසුවෙකු අත එසවීය. සිසුවියන් අතරින් මෙම වගකීම භාර ගැනීම සඳහා අත එස වූයේ, පෙර දිනක, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිසුවියනට නියමිත නිල ඇඳුම වෙනුවට, තමන් පස්වෙනි ශ්‍රේණියේ උගත් පාසලේ දී ඇඳි හතරැස් කර ඇති සුදු ගවුමක් ඇඳ පැමිණ කුලරත්න සර්ගේ උදහසට ලක් වූ ශ්‍රීපාලි නම් සිසුවිය යයි මගේ මතකයයි.
එදින සිට සමන් සහ ශ්‍රීපාලි දෙදෙනා සමහරවිට වෙනදාටත් වඩා උදෑසනින් පාසලට පැමිණ ඔවුනට පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කරන්නට ඇත.

මතු සම්බන්ධයි

-රසික සූරියආරච්චි

(image: )

Wednesday, 20 May 2020

ගලහිටියාව මතක IV : ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - Life changes for a ten year old boy


මා මේ සටහන් කරන්නේ හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ලද අත්දැකීම් ය. මීට කලින් කොටස් තුනක් (1, 2, 3) පළ වී ඇත. එනමුදු පෙර කොටස් කියවීම අත්‍යාවශ්‍ය නොවන ආකාරයට මේ ලිපි සකසා ඇත.


හයවෙනි ශ්‍රේණියේ සිට ඉහලට අධ්‍යාපනය ලැබීම සඳහා පුරා පස් වසරක් මා ඉගෙනුම ලැබූ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට පැමිණි මගේ ජීවිතයේ එතැන් සිට වෙනස්කම් කිහිපයක් ම සිදු විය.

ඉන් එකක් නම්, එකම ගම්පියසක අය නොව වෙනත් දුර බැහැර පළාත්වල ජීවත්වෙන මා මෙන්ම බසයේ හෝ නොමැතිනම් දුම්රියේ හෝ පාසලට පැමිණෙන සමවයසේ පිරිසක් ඇසුරු කිරීමට ලැබීමයි. කණිෂ්ඨ විද්‍යාලයේ සිට මධ්‍යම විද්‍යාලයට පැමිණීමට වරම් ලැබූ අය අතුරින් මා අයත් වූ 6A පන්තියේ සිටියේ සිසිර ප්‍රේමකුමාර සහ ඩබ්ලිව් ඒ දයාසිරි පමණි. මගේ අල්ලපු වත්තේ මිත්‍රයා වූ ආනන්ද ජයතිලක මෙන්ම සන්ධ්‍යා අබේවීර, පුෂ්පකාන්ති (මේ නම නිවැරදි නැත) ද, මේ වන විට මගේ මතකයෙන් නම් ගිලිහී ඇති තවත් අය ද අයත් වූයේ එක්කෝ 6B එසේ නැතිනම් 6C පන්තියට ය. අලුත් පන්තියේ දී මට අලුතෙන් මුණ ගැසුනු මිතුරන් අතර පාසලට නුදුරින් ම ගණේමුල්ලේ විසූ පුන්‍ය උදය ජයසේකර ලොකුවිතාන වැන්නන් ද, එකම බස් රථයේ වුවද මට වඩා කිලෝමීටර් දෙක තුනක් දුර සිට පැමිණි නිමල් රත්නසිරි කරුණාසිංහ ද, උඩුගම්පල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි ශාන්ත සහ තිස්ස ජයවර්ධන වැන්නන් ද වූහ.

දෙවනුව, වෙනදා මෙන් පයින් මංගච්චනවා නොව දැන් පාසල් ගමන බස් රථයේ නිසා මුල් දිනවල දී දිනපතාම ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමටත්, පසුව වාර ප්‍රවේශ පත්‍රය නොහොත් සීසන් එක ලබාගත් පසුව වුව ද, දහවල ලැබෙන විවේක කාලය නොහොත් ඉන්ටවල් එකේ දී කුමක් හෝ දෙයක් කෑමටත් නිවසෙන් මාරු සල්ලි ලබාගැනීමටත්, ඒවා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පුරුදු වීමටත් සිදුව්ය. මේ කාර්යය මා විසින් දැඩි සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් යුතුව කළ ද, වරක් දෙවරක් අමාරුවේ වැටුණු අවස්ථා නැත්තේ ද නොවේ. ඒ පිළිබඳ එක් රසවත් මතකයක්, මේ කාල රේඛාවේ නිසි ස්ථානයේ දී ලිවීමට අදහස් කරමි.

තෙවනුව, පොප්ලින් කලිසමේ සිට ඉදිරිපස බොත්තම් සහ දෙපසින් බකල් ඇති ටසෝ කලිසම දක්වා ද, සමනලයින් "ඇප්ලික් කළ" ගෙල වටා නොව දෙවුර වටා දිවෙන කොලර් ඇති පුංචි අම්මලාගේ බ්ලවුස් පතරොම අනුසාරයෙන් කපා මැසූ කමිසයේ සිට, සාමාන්‍ය අත්කොට කමිසය දක්වා ද, බාටා කුට්ටමේ, පටි සපත්තු ජෝඩුවේ සිට කළු සපත්තු දක්වාද, විවිධ හැඩයෙන් විවිධ වර්ණයෙන් යුතු ඇඳුමෙන් පැලඳුමෙන් සැරසී කනිෂ්ඨ පාසලට ගිය මට, එතැන් සිට සුදු අත්කොට කමිසය සහ සුදු කොට කලිසමෙන් ද, සපත්තු සහ මේස් වලින් ද සැරසී පිළිවෙළකට පාසලට යන්නට සිදුවිය. මට කමිස කීයක් තිබුනේද කලිසම් කීයක් තිබුණේ ද යන්න පිළිබඳ නිවැරදි මතකයක් නැති නමුත්, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ දී ද මා ඇතැම් දිනක බාටා සෙරෙප්පු වලින් සැරසී පාසලට ගිය බව නම් මතකයේ ඇත. එසේම ඇතැම්විට සුදුපැහැති නොවන කලිසම් ද ඇන්දෙමි. ඒ කිසිවක් නිසා විනය තකන පිරිසගේ දඬුවමට මා ලක්වූ බවක් නම් මතකයේ නැත.

පිරිමි ළමුන්ට එසේ වුව ද ගැහැනු ළමුන් සඳහා නම් තත්වය දරුණු විය. මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිව් වසර තුළ කිහිපවිටක් ම දැක මතකයේ රැඳී ඇති දර්ශනයක් නම්, ගැහැනු ළමුන්ගේ ගවුම් වාටියේ සිට දනහිස දක්වා ඇති දුර ශිෂ්‍ය නායිකා කෙල්ලන් ගේ උදව්වෙන් මැන වාටි ගලවා දික් කිරීමට අණ කරන කරුණාරත්න නමැති ගුරුවරියයි. ඒ වනවිටත් අන්තිම නූල දක්වාම ගවුමේ වාටිය දික් කර තිබුණු සිසුවියන්ට ඒ ගවුම් ඉන්පසු පාසලට ඇඳීම තහනම් වූවා යැයි සිතමි. මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ මේ 1973 වර්ෂය බවත්, මේ වන විට රටේ ආර්ථික අහේනියක් මෙන්ම රෙදිපිළි වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වල දැඩි හිඟයක් පැවතුණු බවත්, ලංකාවේ තරුණියන් අතර මිනි ගවුම්, ෂෝට් ස්කර්ට් සහ කොට්ට උර නම් සරදම් නමකින් හැඳින්වුණු ශිෆ්ට් නැමැති ගවුම් වැනි ඇඳුම් ජනප්‍රිය වී තිබුණු බවත්, එහෙන් මෙහෙන් සරදම් මිස ඒ කිසිදු ඇඳුමකට අද මෙන් තහනම් පැණවීමට තලේබාන් වර්ගයේ සිංහල බුඩ්ඩාගම්කාරයින් නොසිටි බවත් ය.

පාසල යෙත් ගැහැණු ළමයින් සඳහා නියමිත නිල ඇඳුම වූයේ ගෙල වටා දිව ගොස් ඉංග්ලිෂ් වී අකුරක හැඩයෙන් ඉදිරිපස දී එක්වන කොලරය සහ රැලි සහිත සාය සහිත සුදු ගවුම, සපත්තු මේස් සහ නිල් පැහැති ටයිපටියයි. සපත්තු ලෙස බොහෝදෙනා පැළැන්දේ කැන්වස් වර්ගයේ සුදු පැහැති ඒවා බව මගේ මතකයයි. මීට අමතරව කළු පැහැති බැලරිනා නම් වර්ගය ද භාවිතා විය.

මගේ ගලහිටියාව මතක සටහනේ සිව්වන කොටස පාසලට ගිය මුල් සතියේම සිදුවී අද ද මතකයේ රැඳී ඇති පහත සිද්ධියෙන් අවසන් කරමි.

ජයසිංහ ආරච්චිගේ කුලරත්න නම් ගණිත ගුරුවරයාට භාර වී තිබුණු අපේ 6A පන්තියේ රාගම ප්‍රදේශයේ සිට පැමිණි ශ්‍රීපාලි (මේ නම නිවැරදි නැති විය හැක) නම් ගැහැනු ළමයෙකු සිටියා ය. මුල් දිනයක ම ඇය පාසලට පැමිණ සිටියේ, පසු කලෙක මගේ සිතට හොඳින් කා වැදුණු කාන්තා පාසල් නිල ඇඳුමක් වූ බොරැල්ල දේවි බාලිකාවේ සිසුවියන් අදින ආකාරයේ කොළරයක් නැති හතරට කපන ලද කර සහිත සුදු පැහැති ගවුමකින් සැරසීය. මෙය දුටු අපේ පන්තිභාර ගුරුවරයා ඇයගෙන් ප්‍රශ්න කළ අතර ඇය පවසා සිටියේ ය ඈ මීට පෙර උගත් පාසලේ දී ඇඳි ගවුමක් බවයි. එදින ඇයට සමාව ලැබුණ ද, ඉන්පසු නිවැරදි පාසැල් නිල ඇඳුමෙන් සැරසී එන ලෙස ඇයට උපදෙස් ලැබුණි.

මතු සම්බන්ධයි.

රසික සූරියආරච්චි

(image: http://www.galahitiyawappa.com/user/getSchoolGallery)

Monday, 18 May 2020

ගලහිටියාව මතක (III): පාසල් ගමනේ විස්තර - School, a bit far away



මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක තෙවන කොටසයි.

පළමුවෙනි කොටස: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html

දෙවන කොටස: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html


අපේ ගම වූ පරකන්දෙනිය මෙන්ම අල්ලපු වැටෙන් ඇරඹෙන කොස්සින්න හරහා ද ධාවනය වෙන්නේ කඩවත සිට ගණේමුල්ල දක්වා දුවන මාර්ග අංක 218 නැමැති බස් රථයයි. ගනේමුල්ලේ සිට කඩවත දක්වා වැටී ඇති කෙලින් පාරේ දුවන මාර්ගයේ ධාවන අංකය වූයේ 223 ය. එම මාර්ගයේ බස් පහක් හයක් ධාවනය වුවද අපේ 218 මාර්ගයේ උඩට පහලට ගමන් කළේ එකම බස් රථයක් පමණි.

අපේ බස් රථයේ දවසේ ගමන ආරම්භ වෙන්නේ උදෑසන 5.30 ට කඩවත සිට ය. එය අපේ නිවස පසුකර ගණේමුල්ල බලා යන්නේ උදෑසන 5.45 ට ය. ගණේමුල්ලේ සිට නැවතත් කඩවත බලා ගොස් ආපසු ගමන එන්නේ උදෑසන හතට පමණ ය. එය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් බසය ද වූ හෙයින් සාමාන්‍යයෙන් ගනේමුල්ලෙන් ගමනාන්තය ලබන බස්රථය එවර ගලහිටියාව මධ්‍යම විද්‍යාලය අසලට ම ධාවනය වී ය.

අපරභාගයේ දී දහවල් 1.45 ට පමණ මෙම බස් රථය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිට 218 මාර්ගය ඔස්සේ කඩවත දක්වා ගමන් ඇරඹුණි.

වර්ෂ 1973 ජනවාරියේ සිට 1976 දෙසැම්බර් දක්වා දිව ගිය මගේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ පාසල් දිවියේ මුල් භාගයේදී මට ප්‍රවාහනය සැපයුනේ මෙම බස් රථයෙනි. මා පමණක් නොව මා සමගම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ඇරඹූ අල්ලපුවත්තේ සිටි ආනන්ද ජයතිලක, අපේ නිවෙසට තරමක් දුරින් සිටි සන්ධ්‍යා අබේවීර, කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ ගුරු නිවාසයේ සිටි ව.ආ. දයාසිරි, කොස්සින්නේ සිසිර ප්‍රේමකුමාර පමණක් නොව ඉඳිගහමුල වෑබඩ පාරේ සිටි ප්‍රියන්ත විජයරත්න සහ රම්මුතුගල පදිංචිව සිටි ගුණතිලක පින්තු / නිමල් රත්නසිරි කරුණාසිංහ මිතුරන්ද මෙම බස් රථයේ ගමන් ගත්හ.

අපේ නිවස ප්‍රදේශයේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලය දක්වාම මගේ ටිකට්ටුවක බස් ගාස්තුව වූයේ ශත 15 ක් පමණි. කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලය අසල බස් නැවතුමේ සිට නම් ගාස්තුව බාගේ ටිකට් එකකට ශත දහයකි.

අපේ පාරේ ධාවනය වන බස් රථය එක්කෝ කැඩුණු දිනවල හෝ නැතහොත් සේවකයින් නොමැති නිසා ධාවනය නොවන දිනවල අපට නිවසේ සිට කඩවත ගනේමුල්ල ප්‍රධාන 223 මාර්ගයේ කොස්සින්න හන්දිය දක්වා (මෙය අපේ වැඩිහිටියන් හැඳින්වූයේ චාරප්පු කඩේ හංදිය කියා ය) පයින් ගොස්, එතැන් සිට සත පහක භාගයේ ටිකට් එකක් සඳහා බස් ගාස්තුවක් ගෙවා බසයකින් ගනේමුල්ලට ගොස් පාගමනින් පාසල වෙත යා යුතු විය.

පාසල් බසය ගමන් කළේ ගණේමුල්ලේ ඉහල ප්‍රදේශයේ ඇති බස් නැවතුම පසුකර රේල් ගේට්ටුව පන්නා පහළට ගොස් ජාඇල පැත්තට දිවෙන මාර්ගයට හැරී ය. නමුත් 223 බස් රථයක පැමිණ ගණේමුල්ල ඉහළ ප්‍රදේශයේ බස්නැවතුමෙන් බසින අපට පයින් යෑමට කෙටි මාර්ගයක් තිබුණි. ඒ, එවකට එතැන තිබුණු අම්බලමේ සිට රේල් පාර දක්වා දිවයන ගුරු පාරේ ය. මගේ මතකයේ හැටියට එය එවකට ගම්සභා පාර නමින් හැඳින්වුණි.

එවකට මෙම මාර්ගයේ තිබුණු ප්‍රධාන මං සලකුණු අතර වම්පසින් ආණ්ඩුවේ ඩිස්පැන්සරිය සහ පාවිච්චියට නොගන්නා ගම්සභා ගොඩනැගිල්ලක් ද, මාර්ගයේ දකුණු පසින් ට්‍රාන්ස්ෆෝමරයක් ද, නැවතත් වම්පසින් "Private Road. To Mr. Perera's Residences" නමින් පුවරුවක් සවි කළ ගුරු පාරක් ද විය. එසේ වුව ද, මගේ පියාගේ හොඳම මිතුරෙකු වූ සයිමන් මාමා ගේ නිවෙසට යාමට තිබුණේ ද මේ පාර ය. පාරේ අනෙක් පසින් සුවිසල් ගේට්ටුවක් සවි කළ නිලමේ නමැත්තෙක් විසූ නිවසක් ද විය. මාර්ගය රේල් පාරෙන් අවසන් වූයේ ගලගෙදර නමින් අප හැඳින්වූ නිවස අසලින් ය. අද මෙම පාරේ මා ගමන් ගතහොත් මට දකුණු පසින් රංජනී ජයසූරිය යුවළගේ නිවස ද, ශ්‍රියා අක්කා ගේ නිවස ද, වම්පසින් ගාමිණී මාමා සෑදූ නිවස ද දිස්වනු ඇත.

පයින් යන්නම් සඳහා කිසිදු ආරක්ෂාවක් නොතිබුණ ද, මාර්ගයේ අවසානයේදී අප කළ යුතු වූයේ රේල් පාරවල් දෙක හරහා ගොස් අනිත් පැත්තේ ඇති ගුරු පාරට පිවිසීමයි. ඒ මාර්ගයේ මීටර් සීයක් පමණ ගමන් ගත් පසු අප පිවිසෙන්නේ පෙර කී ගණේමුල්ල-ජාඇල මාර්ගයේ හේමමාලි මහා විද්‍යාලය අසලටයි. එතැන් සිට ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇත්තේ හූවක දුරකි.

මෙලෙස පයින් ගමන් කිරීමට සිදුවූයේ පාසල් බස් රථය ධාවනය නොවුනු දිනවල පමණකි. ඒ දිනවල අප පාසලට යන විට අනිවාර්යෙන්ම පෙරවරු 7.30 පසුවී තිබුණු නමුත් ප්‍රමාදය පිළිබඳව දඬුවම් ලබන්නට සිදු වූ බවක් මගේ මතකයේ නැත.

මුල් වසර තුනේ මගේ පන්තිය භාර ගුරුවරයා වූ ජේ. ඒ. කුලරත්න ද, ඊළඟ වසරේ පන්තිභාර ගුරුවරයා වූ ඒ පී පෙරේරා ද, සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණ වූ බවට කිසිදු මතකයක් මට නැත. සමහරවිට දැන් අවුරුදු හතළිස් හතරකට පසු මගේ මතකයේ සමහර දැන් මැකී ගොස් ඇතිවා විය හැක. කෙසේ වෙතත් මගේ මතකයේ හොඳින් රැඳී ඇති කාරණයක් වන්නේ එකල අපේ සිත්වල බියක් ඇති කළ එකම පුද්ගලයා වූයේ කොන්ස්ටන්ටයින් නම් අංශභාර පාලකයා බවයි.

මතු සම්බන්ධයි:
ලොකු ඉස්කෝලේ දි වූ වෙනස්කම් - https://rasikalogy.blogspot.com/2020/05/iv-life-changes-for-ten-year-old-boy.html

රසික සූරියආරච්චි

(image: My season ticket from 1974)

Saturday, 16 May 2020

මගේ ගලහිටියාව මතක (II) - Sisira Premakumara and Ananda Jayathilaka


මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක දෙවන කොටසයි.

පළමුවෙනි කොටස සඳහා: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html


කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලය පිළිබඳව මුලින් ම ඇසූ හැටි සහ හයවෙනි ශ්‍රේණිය සදහා එහි යාමේ අරමුණ ඇතුව විභාගයකට මුහුණ දුන් හැටි මෙම ෆේස්බුක් කණ්ඩායම සඳහා ලියන මගේ මතක සටහනේ මුල් කොටසේ ලිව්වෙමි.

අප මුහුණ දුන් විභාගයේ ලකුණු මත කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් කිහිප දෙනෙකුට ම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට තේරුණු බව කියැවෙන ලිපි ලැබුණු නමුත්, සෑහෙන්න හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්, මට මතක විදිහට ඔහු පාසලෙන් දෙවනියට වැඩිම ලකුණු ලබාගත් සිසුවා විය, සිසිර ප්‍රේමකුමාරට එම ලිපිය ලැබුණේ නැත.

එය මහා අවාසනාවන්ත තත්වයක් විය. පාසලෙන් ඒ පිළිබඳව කිසිවක් කළේ දැයි මා හරි හැටි නොදන්නා නමුත් සිසිර ප්‍රේමකුමාරගෙන් අම්මා ගම්පහ අධ්‍යාපන කාර්යාලයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර අවසානයේ සියල්ල යථා තත්ත්වයට පත්කර ගත්තා ය. මට මතක විදිහට සිදුවී තිබුණේ ප්‍රේමකුමාරට ලැබිය යුතු එම ලිපිය කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට නොව ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් පාසැලකට යැවූ ලිපි ගොන්න අතරට එකතු වී තිබීමයි.

ප්‍රේමකුමාර ද මා සමගින් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වූ අතර අපි දෙදෙනා වසර හතරක් ම එකම පංතියේ සිසුවන් වීමු.

මගේ මතකය නිවැරදි නම්, ප්‍රේමකුමාර ගේ සම්පූර්ණ නම අක්මීමන ගේ දොන් සිසිර ප්‍රේමකුමාර විය. මීට සති කිහිපයකට පෙර ඔහු ප්‍රේම් ප්‍රේමකුමාර් වැනි නමකින් ෆේස්බුක් ඔස්සේ මා හා සම්බන්ධ විය. නමුත් ඔහු පිළිබඳ වැඩි විස්තරයක් එම ෆේස්බුක් ප්‍රොෆයිලයේ හොයා ගත නොහැකි විය.

ගලහිටියාවේ අධ්‍යාපනය ඇරඹීමට පෙර දින, දෙමවුපියන්ගේ යෝජනාවකට අනුව, මම මගේ පස්වෙනි ශ්‍රේණියේ පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් ගේ නිවසට බුලත් අතක් ද රැගෙන ගියෙමි. බමුණුසිංහ ටීචර් විවාහ වී සිටියේ කොස්සින්නේ ජම්පි ගුරුන්නාන්සේ නමින් ජෝතිර්වේදියෙකු ලෙස එවකට ප්‍රකටව සිටි මල්ලව ආරච්චි නම් විශ්‍රාමික ගුරුවරයා ගේ පුත්‍රයා සමඟ ය.

මගේ අල්ලපු වත්තේ අසල්වාසියා මෙන්ම පස්වැනි ශ්‍රේණියේ එකම පන්තියේ උගත් ආනන්ද ජයතිලක ද, එම කර්තව්‍යය සඳහා එම මොහොතේම බමුණුසිංහ ටීචර් ගේ නිවසට තම පියා සමඟ ගොස් සිටියේ ය. ඔහු බමුණුසිංහ ටීචර්ට ත්‍යාගයක් ලෙස ගස්ලබු ගෙඩියක් ගෙන ගොස් තිබුණි. අප ගෙන ගොස් තිබුණේ බුලත් අතක් පමණක් වීම මගේ ලැජ්ජාවට හේතු විය.

මා ආපසු එනවිට බමුණුසිංහ ටීචර් මට half sheet හෙවත් A4 ප්‍රමාණයේ කොළ සීයක් පමණ ත්‍යාගයක් ලෙස දුන්නා ය. මේවා පසු කලෙක මා උසස් පෙළ හදාරන සමයේ halfsheet වල සටහන් ලිවීමට ඇරැඹූ පසු ව භාවිතා කළ කොළ වර්ගයටද වඩා ඉහළ ප්‍රමිතියේ, සාමාන්‍යයෙන් කඩයකින් මිලදී ගැනීමට නොහැකි ආකාරයේ, ඒවා විය.

මේ 1973 වසරේ ජනවාරි මාසයයි. ලංකාවේ ආර්ථිකයේ තරම් හොඳ එකක් නොවී ය. පාසලට ඇතුල්වෙන සිසුන් සඳහා පුටුවක් සහ ඩෙස්ක් එකක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් රුපියල් තිස් පහක් ගෙවන ලෙසත් දන්වා පාසලෙන් ලිපියක් එවා තිබුණි. එය පාන් ගෙඩි සීයක, නොඑසේ නම්, සීනි රාත්තල් පනහක වටිනාකම ය. නිවසේ සිට පාසල දක්වාම මගේ බස් ගාස්තුව වූයේ සත පහලොවකි. වැඩිහිටියකුට සත තිහකි.

නියමිත දිනයේ අම්මා ද තාත්තා ද සමඟ මම ගලහිටියාව මධ්‍යම විද්‍යාලය වෙත මුල්වරට පා තැබුවෙමි. මා අයත් වූයේ 6A නම් පංතියටයි. අපේ පංති භාර ගුරුවරයා වූයේ ජයසිංහ ආරච්චිගේ කුලරත්න හෙවත් ජේ. ඒ. කුලරත්න ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා විය. එපමණක් නොව ඊළඟ වසර දෙකේදී ද අපේ පන්තිය භාර ගුරුවරයා මෙන්ම ගණිත ගුරුවරයා ද වූයේ ඔහු ම ය.

මතු සම්බන්ධයි.

-රසික සූරියආරච්චි

එතැන් සිට කතාව තෙවැනි කොටසින්: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-iii.html

(image: http://wwa.you2repeat.com/watch/?v=be9bOgE0xw4)

Thursday, 14 May 2020

ගලහිටියාව මතක (I) : My Galahitiyawa Central Collage memories


මා හයවෙනි ශ්‍රේණියේ සිට නමවෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ය. මෙය පිහිටියේ ගණේමුල්ල නගරට නුදුරින් ගණේමුල්ල ජා-ඇල මාර්ගය යාබදව ය. ගණේමුල්ල යනු කොළඹ සිට උතුරට දිවෙන දුම්රිය මාර්ගයේ රාගම සහ ගම්පහ අතර ඇති නගරයකි.

කොරෝනා වසංගත තත්වය නිසා සති ගණනක් ලංකාවේ ජනතාව නිවෙස් තුළ සිරවී සිටි පසුගිය කාලයේ මෙකී ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදී විද්‍යාර්ථීන්ට සම්බන්ධ විය හැකි ෆේස්බුක් කණ්ඩායමක් බිහිවුණු අතර එයට එකතු වූ මා, මගේ පාසල හා සම්බන්ධ මතක සටහන් ලිවීම ඇරඹුවෙමි.

මේවන විට එහි කතාංග තුනක් ලියා අවසාන ය.

ෆෙස්බුක් කණ්ඩායම් යනු තාවකාලික නවාතැන් පොළවල් බඳු ය. ඒ හා සාපේක්‍ෂව බ්ලොග් යනු තරමක් හෝ ස්ථිර ස්ථාන වේ. එනිසා, මගේ ඒ සටහන් කොටස් වශයෙන් රසිකොලොජියේ ද බෙදා ගැනීමට සිතුවෙමි.

අද පළමුවෙනි කොටස.


ගලහිටියාව මධ්‍යම විද්‍යාලය හෙවත් ගලහිටියාව Central College යන නම මා මුලින්ම ඇසුවේ කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ දී ය. එම විදුහලේ පන්ති පැවැත්වුනේ අටවැනි ශ්‍රේණිය දක්වා පමණි. එම වසර අවසානයේ දී පැවැත්වෙන භාගයේ ඉන්පසු පාසලේ ඉගෙනුම ලබන සියළුම සිසුන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය හැදෑරීම සඳහා වෙනත් පාසලකට යා යුතු විය.

ඒ සඳහා අපේ පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ජනප්‍රියතම තේරීම වූයේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයයි. එයට එක් හේතුවක් වූයේ ගමේ සිට තිබුණු කෙටි දුර සහ පාසල් බස් සේවාවක් තිබීමයි. ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ පැවති අනිත් ජනප්‍රිය පාසල වූයේ ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය වූ අතර අප ගම් ප්‍රදේශයේ සිට එහි යාම සාපේක්ෂව දුෂ්කර කාර්යයක් විය.

මා පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විභාගයක් පවත්වන ලදී. මේ සඳහා විෂයයන් තුනක් යටතේ ප්‍රශ්න පත්‍ර ඇති බව අපේ පන්තිභාර ගුරුවරිය වූ, මා මුල් නම නොදන්නා, බමුණුසිංහ ටීචර් අපට පැවැසුවා ය. එම ප්‍රශ්න පත්‍ර අතරෙන් ගණිතය සහ සිංහල විෂයයන් අපට හුරුපුරුදු ඒවා වුවත් තුන්වැන්න වූ බුද්ධි පරීක්ෂණය යන්න අප කළින් අසා තිබූ එකක් නොවේ.

ඉතින් අපේ ආදරණීය ගුරුවරිය කළේ ඇට්ලස් හෝල් වැනි ආයතනයකින් එකල පැවැති රෝනියෝ මුද්‍රණ ක්‍රමයෙන් නිපදවා අලෙවි කිරීමට තිබුණු ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහිත පොතක් මිලට ගෙන එය භාවිතා කරමින් අපට එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන ආකාරය ඉගැන්වීමයි.

සති අන්තයේ ඒ පොත නිවසට ගෙන යෑමේ අවස්ථාව ද අපට ලැබුණි. ඒ සඳහා ඇය නිර්දේශ කළ ප්‍රමුඛතා පිළිවෙල වූයේ වාර විභාගයේ ලකුණු අනුව කරන ලද "වෙනියා" යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන ස්ථානගත කිරීමයි.

අතුරු කතාවක් කියතොත්, මෙකී "වෙනියා" යන්න ඉංග්ලිෂ් භාෂාවෙන්, වැල්වටාරමකින් තොරව, එක එල්ලේ කිව නොහැකි දෙයකි.

බමුණුසිංහ ටීචර්ගේ ඒ නිර්දේශය නිසා ඇගෙන් පසුව බුද්ධි පරීක්ෂණ අභ්‍යාස සහිත පොත මුලින් ම පරිහරණය කිරීමට අවස්ථාව ලැබුණේ ඒ අනුව මටයි.

ඒ විභාග ප්‍රතිඵලයට අනුව, පළමුවෙනි ශ්‍රේණියේ සිට දොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්ති දොළහක ගත කළ වසර දහතුනකට කිට්ටු වූ මගේ පාසල් දිවියේ මා පෙනී සිටි විභාගවලින් මා ලද ඉහළම ලකුණු ප්‍රතිශතය ලබා ගැනීමට මට හැකි වී තිබුණි.

හයවෙනි ශ්‍රේණියේ සිට පාසල් අධ්‍යාපනය ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හැදෑරීමට මට අවස්ථාව ලැබුණේ එලෙස ය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලබා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන් අතර ආනන්ද ජයතිලක, සිසිර ප්‍රේමකුමාර, ව ආ දයාසිරි, සන්ධ්‍යා අබේවීර වැනි අය මේ මොහොතේ මගේ මතකයට එයි.

මගේ ගලහිටියාව මතක (දෙවන කොටස): https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-episode-ii.html

-රසික සූරියආරච්චි

ප/ලි:
මගේ සොහොයුරන් දෙදෙනා වන රුවන් සූරියආරච්චි සහ සමන් සූරියආරච්චි ඉන් පසු වසරවල මා ලෙසම කොස්සින්න ශ්‍රී සීලානන්දයේ ඉගෙනුම අවසන් කර හයවෙනි ශ්‍රේණිය සඳහා ගලහිටියාව මධ්‍යම විද්‍යාලයට ඇතුළත් වූහ.

මගේ පියා ද ගමේ පාසලෙන් පසු අධ්‍යාපනය ලබා ඇත්තේ ගලහිටියාව පාසලේ ය. නමුත් ඒ පාසල මධ්‍යම විද්‍යාලයක් ලෙස උසස් කිරීමට පෙර ය.

ප/ප/ලි:
මේ වීඩියෝ කතාව ද ගලහිටියාවේ මතකයකි. නමුත් ගලහිටියාව මධ්‍යම විද්‍යාලය ගැන නම් නොවේ. ගලහිටියාවේ මාකිලංගමුව පාරේ නැදුන ප්‍රදේශයේ පිහිටි ගම් සභා පුස්තකාලය ගැන ය.



(image: https://www.linkedin.com/company/galahitiyawa-central-college/)

Thursday, 21 November 2019

මොරටුව කටුබැද්දේ ලව් කතා අසා තිබේ ද? - History is being made


යොවුන් වියේ පාසල් අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලට යෑමට පෙරුම් පුරන සමයේ මගේ එකම සිහිනය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යෑමටයි.

එයට එකම හේතුව වූයේ ඒ වන විට මා කියවා තිබුණු විවිධ නවකතා ආදී සාහිත්‍ය නිර්මාණවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව මගේ සිතේ මවා තිබුණු අති සුන්දර හැඟීම බව අමුතුවෙන් කිව යුතු නැත. සෑබෑ ඇසින් දැක නොතිබුණ ද, හන්තාන කඳුවැටිය, මහවැලි ගඟ, ආදරවන්තයින්ගේ පටුමග, නෙක පැහැ මල් වැල් පිරි ගස්, සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය වැනි පරම සාරාත්මක පේරාදෙණි සංකේතවලින් තොර විශ්වවිද්‍යාල ජීවිතයක් ගැන මට එදා සිතා ගත නොහැකි විය.

යුවතියක හා පෙමින් බැඳීමට ඊට වඩා සුදුසු වෙනත් පරිසරයක් වේද?

රිඩ් මාවත ගැනත්, මැයි මල් ගැනත්, ග්‍රහලෝකාගාර ගැනත්, කොලේජ් හවුස් ගැනත් එහෙන් මෙහෙන් සාහිත්‍ය නිර්මාණවල සඳහන් වී තිබෙනු දැක තිබුණ ද, ගණිතය ධාරාවේ සිසුවෙකු ලෙස ඉංජිනේරවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටි මා හට තිබුණු විකල්ප වූයේ එක්කෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි, එසේ නැති නම් කටුබැද්ද නමින් අප හැඳින්වූ මොරටුව විශ්වවිද්‍යාලයයි.

නමුත්, මොරටුව විශ්වවිද්‍යාලය යනු එකල ද කිසිසේත්ම කලා නිර්මාණවල සඳහන් වූ, සෞන්දර්යාත්මක වදනින් විස්තර කෙරුණු විශ්වවිද්‍යාලයක් නොවීය. අද මේ දක්වාම ද මොරටුව යන නම ඇසෙන විට මට සිහිවෙන්නේ (මාළු) පිළී ගඳ හෝ (බොල්ගොඩ) මඩ ගඳ පමණි. එය මා අපහාසයට කියන දෙයක් නම් නොවේ. අවංකවම, මොරටුව විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ලියවුණු සුන්දර වදනින් යුතු කලා කෘති මා දැක නැත.

මා උසස් පෙළ උගත් කාලය වනාහී, කොළඹ පාසල්වලින් උසස් පෙළ සමත්ව ඉංජිනේරු විද්‍යාව හදාරන්නට වරම් ලබ සිසු සිසුවියන් බුරුතු පිටින් පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගන්නට පටන් ගෙන තිබුණු කාලයයි. එනිසා, මගේ පේරාදෙණිය තේරීම උඩුගම් බලා පීනීමක් බඳු විය.

පාසලේ අපේ පන්තිවලින් මා හැර පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන්නට කැමැත්තෙන් සිටියේ එකම එක් සිසුවෙකු පමණි. එයට හේතුව, ඔහුගේ වැඩිමහල් සොයුරා ඒවන විට තම ඉංජිනේරු පාඨමාලව අවසන් කරමින් සිටි අතර, සොහොයුරිය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නිසා මිස, මා මෙන් තකතීරු සෞන්දර්යාත්මක පෙම් සිහින දකිමින් සිටි නිසා නොවේ!

සුන්දර පෙම් සිහින කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලට යෑමට ඉල්ලුම් කිරීමට මා පැකිලීමට එක් හේතුවක් විය. එය අපේ පවුලේ ආර්ථික තත්වයයි.

ඒ වන විශ්‍රාමිකයෙකු වූ මගේ පියාට මට පේරාදෙණියේ ජීවත්වීමට වියදම් කිරීමට හැකියාවක් තිබේයැයි මට නොසිතුණි. මොරටුව තෝරා ගත්තේ නම්, පිළියන්දල නැන්දලාගේ නිවසේ සිට, සාපේක්‍ෂව අඩු වියදමකින්, ඉගෙනුම පහසුවෙන් කළ හැකිව තිබුණි.

"උඹ පේරාදෙණි පලයං, මං කොහොම හරි වියදම් කරන්නම්!" මගේ ආදරණීය පියා කීවේ ය.

මම පේරාදෙණියේ ගියෙමි!

මේ කරුණු සියල්ල මගේ සිහියට ආවේ ළඟඳී නැරඹු ටෙලිවිෂන් මාලා නාටකයට එක් කතාංගයක තිබුණු දෙබසක් නිසා ය.

මේ කතාවේ එක් චරිතයක් නගර සංවර්ධන / ඉඳිකිරීම් වැනි විෂයයක් භාර ප්‍රබල ඇමතියෙකි. එසේම ඔහු මුදල් දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ, ඒ සඳහා පාතාලයේ මැරයන් සමග ද ගනුදෙනු කරන ජඩයෙකි.

ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන යම්කිසි අදහසක් ප්‍රේක්‍ෂකයාට ලැබුණේ එම මාලා නාටකයේ 71 වෙනි කතාංගයේ අවසානයේ දී ය.

මෙන්න ඒ කොටස.


කටුබැද්දේ පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය ගැන කුමන හෝ කලා නිර්මාණයක සඳහන් වුණු ප්‍රථම අවස්ථාව මෙය යැයි මම සිතමි.

එසේ වුව ද, මෙම දෙබස් කොට, නාට්‍යයක හෝ නවකතාවක හෝ දුටුවද එදා තියා අදවත් මා පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගැනීමට පෙළඹේ යැයි මම කිසිසේත් ම නොසිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පෙර කී පරිදි මම පේරාදෙණියේ ගියෙමි. මා එහි දී කළ කී දෑ ගැන කෙටියෙන් විස්තරයක් පහත සටහනේ ඇතුළත් ය.

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?
https://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html



(image: https://i.pinimg.com/originals/84/7a/89/847a89d6b8dff2d5fd4b7ea682984e90.jpg)

Monday, 2 September 2019

කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage, Carlo Fonseka!


මේ දිගු කලකට පෙර වූ සිදුවීමකි. අනුමාන වශයෙන් කියනවා නම් 1993 හෝ 1994 වසරේ දී පමණය. කලින් වෙනත් තැනක ලියා පළ කර තිබුණු මේ රසවත් කතන්දරය නැවත ලියා අද මෙලෙස රසිකොලොජියේ ද පළ කරන්නට හිතුණු හේතුව ඔබ සැම දනී.

ඒ කාලේ මා පදිංචිව සිටියේ ඇතුල් කෝට්ටේ බංගලා හන්දිය අසල නිවසක ය. එක සති අන්තයේ දිනයක අපරභාගයේ දී මම බොරැල්ල බලා යන පුද්ගලික බසයකට ගොඩ නැගුනෙමි. ඒ බංගලා හන්දියෙන් බස් නැවතුමෙනි. ජයවර්දෙනපුර රෝහල ප්‍රදේශයෙන් ඇරඹෙන මේ බසය ඒවන විට මගීන්ගෙන් පිරී තිබුණු අතර ඉතිරි වී තිබුණු එකම ආසනයේ මම හොඳින් හරි බරි ගැසී වාඩි වුණෙමි.

බස් රථයේ ඊළඟ නැවතුම කොටු බැම්ම පාර හෙවත් රැම්පට් රෝඩ් අසල ය. එතැනින් මගීන් කිහිප දෙනෙකුම බසයට ගොඩ වූ අතර ඒ කිසිවෙකුට ආසන නොලැබුණි.ඒ අය අතුරෙන් එක පුද්ගලයෙකු පැමිණ මා අසුන්ගෙන සිටි ස්ථානයට නුදුරෙන් සිට ගත්තේ ය.

මැදි වයස ද පසුකරමින් සිටි ඒ පුද්ගලයාට තිබුණේ තරමක් දැක පුරුදු මුහුණකි. නමුත් ඒ කවුදැයි මට එක්වරම සිතා ගත නොහැකි විය.

ඔහුගේ මුහුණ ගැන සිතමින්ම දෙනෙත් එහා මෙහා කරන අතර මා දුටුවේ මේ පුද්ගලයාගේ අතේ තිබූ පොඩි ප්‍රමාණයේ ඉංග්ලිෂ් සඟරාවකි. "සිලෝන් මෙඩිකල් ජර්නල්" යනුවෙන් එහි සඳහන් විය.

මට එක් වරම මේ කවුදැයි වැටහිණි.

මේ වෙනින් කවුරුත් නොව කාලෝ ෆොන්සේකා ය!

එදින හැරුණු විට මා කාලෝ ෆොන්සේකාව දැක ඇත්තේ දින තුනක දී පමණි. ඉන් එක් දිනක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග ප්‍රතිඵල අනුමත කරන පරීක්‍ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණු දිනයකි. ඔහු එදා එහි පැමිණ සිටියේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ලෙස ය. මා කාලෝ ෆොන්සේකාව දැක ඇති දෙවෙනි දිනය නම් 1994 මහ මැතිවරණයේ දී පොදු පෙරමුණට සහාය දීම සඳහා කලාකරුවන් නොහොත් නළාකරුවන් විසින් පිහිටුවාගත් සංවිධානක් මගින් නුගේගොඩ දී පැවැත්වූ ජන රැළියේ දී ය.

ඒ රැස්වීමේ දී කාලෝ ෆොන්සේකා සිත් ඇදගන්නා කතාවක් කළ බව මගේ මතකයේ ඇත. එහිදී ඔහු ගිනි ගන්නා ගෙයක් පිළිබඳව බුදුන් විසින් කියූවා යැයි පැවසෙන කතාවක් උදාහරණයට ගත්තේ ය පැවති යූඇම්පී ආණ්ඩුව වහා පලවා හැරිය යුතු යැයි පෙන්වා දීම සඳහා ය. තම මිතුරන් තමන්ව සරදමට හඳුන්වන්නේ ධම්මස්-සවන කාලෝ කියා බව ද එදා කාලෝ ෆොන්සේකා ම පැවසුවේ ය.

කාලෝ ෆොන්සේකා තරම් බණ දහම් මා නොදනිතත් මංගල සූත්‍රයේ එන පූජාච පූජනීයං වගේ යමක් කමක් මා ද දැන සිටි නිසා, මා කළේ අසුනෙන් නැගිට "වාඩි වෙන්න සර්" කියා අසුන ඔහුට පූජා කිරීමයි.

ඒ කාලයේ කාලෝ ෆොන්සේකාගේ වයස අවුරුදු හැටක් පමණ වෙන්නට ඇත. එය එතරම් නොහැකි” වයසක් නොවේ. එනිසා ම, මා ඔහුට මගේ ආසනය දීම ගැන ඔහුට තරමක ලැජ්ජාවක් ද ඇති වෙන්නට ඇත. කෙසේ හෝ කාලෝ ෆොන්සේකා මා දුන් ආසනය පිළිගත්තේ නැත. ඔහු එහි වාඩි නොවී පසෙකට විය.

එවිට ලැජ්ජා සිතුණේ මට ය. ඒ නිසා මා කළේ ආපසු අසුන් නොගෙන බසයේ ඉදිරියට යෑමයි. වෙනත් අයෙකු මා සිටි ආසනයේ වාඩි වෙනු මට ඇස් කොනකින් පෙනුණි.

තවත් ස්වල්ප මොහොතකින් අපේ බස් රථය කොට්ටේ පාරෙන් පාර්ලිමේන්තු පාරට අවතීරණ විය. සති අන්තයේ ඒ මාර්ගයේ තදබදයක් නොමැති අතර රියැදුරා රථය වේගයෙන් බොරුල්ල දෙසට ධාවනය කරන්නට විය.

වේගයෙන් ධාවනය වෙන රථවාහන තිරිංග තද කරන්නේ ද ඒ හා සමාන වේගයෙනි. ඊළගට එළැඹුණේ එවන් මොහොතකි. තරුණ මා ජාම් බේරා ගත්තෙමි. නමුත්, එක අතකින් ආසනයක කොනක් අල්ලා ගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නලය රඳවාගෙන සිටි කාලෝ ෆොන්සේකා විසිවී ගොස් කාගේ දෝ ඔඩොක්කුවක ඉන්ද වෙනවා පෙනුණි.

අනේ පව්!

"පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුණා නම් ඉවරයි නේද සෑර්?" කියා මට හිතුණි. පොඩි හිනාවක් ද මගෙ මූණට නාවෙමත් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාලෝ ෆොන්සේකා මුලින් සේවය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, භෞතවේදය දෙපාර්තමේන්තුවේ ය. අප දන්නා කාලේ සිටම ඔහු මහාචාර්යවරයෙකි. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එක යැයි එකල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන එහි කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් පිහිට වූ අවස්ථාවේ කාලෝ ෆොන්සේකා එහි පීඨාධිපති ලෙස සේවය ඇරඹුවේය.

පසු කලෙක, වයසට මොළේ කුරුවල් වීම නිසාත්, තමන්ගේ දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රතිපත්ති නිසාත්, කාලෝ ෆොන්සේකා දේශපාලනිකව නන්නත්තාර වූව ද, කොළඹ විශ්වවිද්‍යාලයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයට ගිය තවත් මහාචාර්යවරයෙකු වූ නලින් ද සිල්වා හා සසඳන විට දී නම් කාලෝ ෆොන්සේකා වීරයෙකි.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තිබෙන පාරිභාෂික වචනයක් යොදා ගීතයක් ලිවීම ම කාලෝ ෆොන්සේකාගේ එක් වීරකමකි. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා යන ඒ ගීතය අඩංගු වූයේ කාලෝ ෆොන්සේකා ලියූ ගී සහිත "කාලෝ-චිත" ගී කැසට් පටයේ ය. අවාසනාවකට මෙන් "පදාර්ථයට" පණ පොවා ගීතය ජනප්‍රිය නොවුණි. එසේ නමුත්, ඒ ගී එකතුවේ ම අඩංගු වූ "රත්තරං දුවේ" ගීතය නම් ඉතා ජනප්‍රිය විය.

බයි බායි කාලෝ ෆොන්සේකා.

බොන් වොයාජ්!

(image: https://kathandara.blogspot.com/2009/07/blog-post_11.html)