Showing posts with label පුහු විස්වාස. Show all posts
Showing posts with label පුහු විස්වාස. Show all posts

Monday, 20 April 2020

කොරෝනාවෙන් පසු ලෝකය ගැන ප්‍රාර්ථනා දෙකක් - What I wish to see in the post-Corona world


නැවතත් අමුතුවෙන් කීම අනවශ්‍ය වුණත් රසිකොලොජි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගිය මා එනමින් ම යූටියුබ් නාලිකාවක් ඇරඹීමට මූලිකම හේතුව වූයේ මේ කොරෝනා වසංගතයයි.

මා මුලින් ම රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව වූයේ කොරෝනා පරිප්පු සාදන ආකාරය හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක් යන්නයි.

ඊට අමතරව මේ වනවිට මගේ යූටියුබ් නාලිකාවේ පළ කර ඇති වීඩියෝ අතරින් කොරෝනා වසංගතය හින්දා නිවසේ රැඳී සිටීම සිදුවීම නිසා උපත ලැබූ වීඩියෝ කිහිපයක් ම තිබේ.

කොරෝනා කාලයේ මා ගෙදර ඇතුළේ ඇවිදීමේ ව්‍යායාම කළ හැටි, දවස් එකොළහක් නිවසේ හිරවී සිට දොළොස්වැනි දවසේ පොඩි වෙලාවකට ෆාමසියට ගිය හැටි, ගෙවත්තෙ වැඩ කරපු හැටි, බතල පාත්ති දාපු හැටි, ලව් රොටී හදලා බිරිඳට කන්න දුන්න හැටි, බීෆ් ස්ටේක් හෙවත් මස් පෙති බැදලා කන්න දුන්න හැටි, ගෙවත්තේ වැවිලා තිබුණු ගොටුකොළ එක්ක පරීක්ෂණාත්මක ඉවුම් පිහුම් කළ හැටි යනාදී විවිධ කාරණා පිළිබඳව මා නිපදවූ වීඩියෝ අවශ්‍ය කෙනෙකුට ඕනෑම වෙලාවකට නැරඹීමට රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කර ඇත.

දැන් මාස කිහිපයක් තිස්සේ ලොවම බියපත් කර, යටපත් කරගෙන සිටින කොරෝනා වසංගතය කොයි දිනක නිම වේ දැයි කිසිවකුට නිශ්චිත අනාවැකි කීමට නොහැකි නමුත් මේ වන විට සමහරු කොරෝනා සමයෙන් පසු එළැඹෙන ලෝකය ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ.

ඒ හුඟ දෙනෙකු කතා කරන්නේ කොරෝනාවෙන් පසු ලෝකයේ දේශපාලනය කෙසේ වේද? ලෝක බලවතා කවුරුන් වෙයිද? ආපසු පෙර පැවති තත්වයට ලෝක ආර්ථිකය ගෙනි යන්න හැකිවෙයිද, කොපමණ කාලයක් යයි ද වගේ බරපතල කරුණු ය.

ඒ ගැන ම නොවුණත්, මට ද මගේ සිත තුළ ඇති වූ අදහස් ලියා තැබීමට සිත්විය.

මට කියන්නට ඇත්තේ මූලික වශයෙන් කාරණා දෙකක් ගැන පමණකි. මේවා අතිශය සරල කරුණු වේ.

ඒ එක්කම මේවා මගේ බලාපොරොත්තු පමණකි. බොහෝවිට සැබෑ නොවන සිහින වීමට ඉඩ ඇත.

පළමුවෙනි කාරණය ලෝකයේ සම්පත් බෙදී ගිහින් තියෙන ආකාරය පිළිබඳවයි.
මා සිතන ආකාරයට මේ වන විට රාජ්‍යයන් වශයෙන්, ජාතීන් වශයෙන්, කණ්ඩායම් වශයෙන්, පවුල් වශයෙන් සහ තනි පුද්ගලයින් වශයෙන් අප සියලු දෙනාම අවබෝධ කරගෙන සිටිය යුතු කාරණයක් වන්නේ අප සතුව කෙතරම් වත්කමක්, වස්තු සම්භාරයක් හෝ රටක් වශයෙන් කෙතරම් යුද ශක්තියක් හෝ තිබුණත් මේ වෛරයස හමුවේ අප සියලු දෙනාම අසරණ බවයි.

ඒ සමගම, බටහිර දක්‍ෂිණාංශික ආණ්ඩුවලට පවා ඉතාමත් උග්‍ර ලෙසින් සුබසාධන කටයුතුවලට යොමුවෙන්නට වී තිබේ.

උදාහරණයක් ලෙස මා වසන ඕස්ටේ‍ර්ලියාවේ බලයේ සිටින දක්‍ෂිණාංශික ආණ්ඩුව පවා කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් ෆෙඩරල් රජය විසින්, ප්‍රාන්ත රාජ්‍යවලද සහයෝගය ඇතුව, රටේ වැඩකටයුතුවලට කළ සීමා පැනවීම් නිසා රැකියා අහිමි වූ මිලියන හයක ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ඩොලර් බිලියන තුන්සීයක පමණ මුදලක ප්‍රතිපාදන මේ වන විට වෙන් කර ඇත.

එනිසා මේ කාරණය සම්බන්ධයෙන් මගේ අපේක්‍ෂාව වෙන්නේ පශ්චාත් කොරෝනා සමයේ දී ලෝකයේ ඇති සම්පත් බෙදීයාමේ අද පවතින විෂම තත්වය වෙනස් වී වඩාත් සාධාරණ සම්පත් බෙදී යාමේ වැඩ පිළිවෙළකට ලෝක දේශපාලනය සීරුමාරු වේ ය යන්නයි.

ඒ කියන්නේ මීට වඩා සාධාරණ, සමාජවාදී ලෝකයක් උදාවේය යන්නයි.
දෙවෙනි කාරණය අද ලෝකයේ බහුතරයක් දෙනා ගිලී සිටින මේ මිථ්‍යා විශ්වාස සහ ආගම් කියන මඩ ගොහොරුව පිළිබඳවයි.
මා සිතන්නේ මේ වන විට මේ ලෝකයේ ජීවත්වෙන ඇස් කන් ඇති ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යෙන් වැටහී ගොස් තිබිය යුතු කාරණයක් වන්නේ මිථ්‍යා විශ්වාස සහ ආගම් ය, දෙයියා ය කියන බොරු දේ ලෝකෙට බරක් මිස කිසිදු ප්‍රයෝජනයක් ඇති දේ නොවන බව ය. ඒ සමගම, පහුගිය දවස්වල පෝය දා පන්සල් යෑම ද, සිකුරාදා හෝ ඉරිදා හෝ පල්ලි, කෝවිල් යෑම ද නොකීරීමෙන් මිනිසුන්ට සත්‍යවශයෙන් ම වූයේ කාලය ඉතුරුවීමක් බවයි. ලොව වසන මිනිසුන් සියලු දෙනාම අසරණ වී සිටින මේ මොහොතේ ඔවුන්ව බේරා ගැනීමට කුමන හෝ අදෘශ්‍යමාන බලවේගයක් හෝ නැති බවයි.

එනිසා මේ කාරණය සම්බන්ධයෙන් මගේ අපේක්‍ෂාව වන්නේ පශ්චාත් කොරෝනා සමයේ දී මිනිසුන් මේ දෙයියා, ආගම් බහුබූත සහ අනිකුත් මිථ්‍යා විශ්වාස සියල්ලම අතහැර දා, තම ස්වාධීන චින්තනය සමග තමන්ගේ පාඩුවේ ජීවත් වීම අරඹාවිය යන්නයි.
මා ආරම්භයේ දී ප්‍රකාශ කළා සේ ඉහත දැක්වූයේ පශ්චාත් කොරෝනා ලෝකයේ දී මා දකින්නට බලාපොරොත්තු වෙන වෙනස් කම් දෙකකි. ඒවා හුදෙක්ම ප්‍රාර්ථනා පමණක් වෙන්නට ඉඩ ඇත.

නමුත්, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකය තරමක් හෝ වෙනස් වෙලා හොඳ අතට හැරුණා සේ අද පවතින මේ කොරෝනා වසංගතයට එරෙහි යුද්ධයෙන් පසුවත් යම් ධනාත්මක වෙනසක් වේවිය කියා බලාපොරොත්තු වීමේ වරදක් නැත.

එහෙම නේද?

ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
මේ අදහස සහිත කෙටි වීඩියෝවක් මගේ රසිකලොජි යූටියුබ් නාලිකාවේ පළ කර ඇත.



ඔබට හැකි නම්, එහි ගොස්, මගේ නාලිකාවට සම්මාදම් වෙන ලෙස, එනම් සබ්ස්ක්‍රයිබ් (SUBSCRIBE)කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි.

එසේම මගේ නාලිකාවේ ඇති තිහක පමණ වීඩියෝ සඳහා ඔබේ කැමත්ත ප්‍රකාශ කිරීමට, එනම් ලයික් (LIKE) කිරීමට මෙන්ම, ප්‍රතිචාර දැක්වීමට, එනම් කමෙන්ට් (COMMENT) කිරීමට ද ඔබට හැක.

නැවතත් ස්තුතියි.

Monday, 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

Wednesday, 31 May 2017

ගංවතුරේ හොඳ පැත්තක් - Excellent by products of flood disaster


"හැම කළු වලාකුළක ම රිදී රේඛාවක් තිබේ!" යැයි කියමනක් ඇත. ඉන් අදහස් කෙරෙන්නේ, කෙතරම් නරක දෙයකින් වුව, යම් ආකාරයක හොඳ ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි.

"පර්සි මහෙන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියොත් හොඳය!" කියා 2015 අප්‍රියෙල් මාසයේ දී ම, එනම් ජනාධිපති ඡන්දයෙන් ඔහු පැරදී පලා ගොස් මාස තුනක් ගත වෙන්නටත් පෙර, සටහනක් ලියා පළ කළේ ද, මේ කරුණ ම, එනම් කළු වලාවේ ඇති රිදී රේඛාව මා දුටු, නිසා ය.

සිය ගණනක් ජීවිත අකාලයේ නැතිවීම පිළිබඳවත්, දේපල හානි නිසා ජීවත්වෙන අයට සිදුවෙන පාඩු සහ අපහසුතා ගැනත් දුක් වෙන අතරතුර, මා මේ ගංවතුර ව්‍යවසනය නිසා ඇති වී තිබෙන යහපත් අතුරුඵල ලෙස දකින්නේ මේවා ය.

1. කේන්දරකාර හොරුන් ගේ පුකත්වය හෙළිදරව් වීම


2. මිත්‍යාදෘෂ්ඨික දෙයියන් අදහන බයියන් ගේ ඉච්ඡාභංගත්වයට සිනාවිමට හැකිවීම


3. දේශපාලුවන් ගේ සැබෑ ජනතාවට සේවය කිරීමේ අභිලාෂය හෙළිදරව් වීම


එක් පින්තූරයකින් වචන දහසක් පැවසෙයි යන්න සත්‍යයක් නිසා, වැඩිදුර නොලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අවාසනාවට මෙන්, මීට වසර දෙක හමාරකට පෙර මා සිඩ්නි නගරයේ දී දුටුවේ මීට වඩා වෙනස් තත්වයකි. එනම්, අනතුරු අතරේ තවදුරටත් දෙයියංට ස්තුති කිරීමයි!
https://rasikalogy.blogspot.com/2014/12/sydney-siege-and-our-greatest-weakness.html


(images: facebook, Mirror, Divaina and http://www-evasion.imag.fr/~Fabrice.Neyret/gallery/color_and_light/silverlining/catalog.html)

Friday, 26 August 2016

මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God


ඉනික්බිති දෙයියා විසින් මිනිසා මවන ලදී යයි බයිබලයේ ලියා ඇත.

මා නම් සිතන්නේ එය සිදුවූයේ ඒ ආකාරයට නොව එහි ප්‍රතිවිරුද්ධ ආකාරයට කියා ය.

එනම්, ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී!

විශ්වය සෑදුණේ කෙසේද, පෘථිවිය සෑදුණේ කෙසේද, මිනිසුන් සතුන් බිහිවූයේ කෙසේද, අපේ ශරීර ක්‍රියාත්මකවන්නේ කෙසේද, කුරුල්ලන් පියාඹන්නේ කෙසේද, අපට පියාඹන්න බැරි ඇයි, ලෙඩ රෝග සෑදෙන්නේ කෙසේද, අප මිය යන්නේ ඇයි, අප වසනා මේ ලෝකයේ වර්ෂාව, ගංවතුර, භූමිකම්පා, ගිනිකඳු, අකුණු, සුනාමි, හිරු, සඳු පෑයීම, බැසයාම යනාදී විවිධ දේ ඒ ඒ ආකාරයට සිදුවන්නේ කෙසේද යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකි වූ කල්හි ඒ ස්වාභාවික සංසිද්ධීන් විස්තර කිරීම සඳහා මිනිසා විසින් දෙයියා නමැති සංකල්පය නිර්මාණය කර ගත්තා යැයි සිතිය හැක.

එසේ සිතීම, නොපෙනෙන දෙවියෙකු විසින් ඒ සියල්ල කරනවා ය කියා සිතීමට වඩා තර්කානුකූල සිතුවිල්ලක් වේ.

ශිෂ්ටාචාරයේ මුල් කාලයේ දී එසේ නිර්මාණය කරගත් දෙයියා දඩමීමා කරගෙන මිනිසුන්ගෙන් සුළු කොටසක්, මිනිසුන් අති බහුතරය මර්දනය කර ඇති බව ද ඉතිහාසය දෙස් දෙයි.

දෙයියෙකු හෝ දෙයියන් යනුවෙන් පිරිසක් හෝ සිටින බව ද, දෙවියෙකු විසින් මිනිසා ද අනෙකුත් සත්වයින් ද මවන ලදී යන්න ද විශ්වාස කළ යුතුම නම්, එය විශ්වාස කළ හැක්කේ එක්තරා සුවිශේෂී උපකල්පනයක් සමග පමණක් බව මගේ අදහසයි.

ඒ උපකල්පනය නම්, මේ කියන දෙයියා යනු පිට සක්වල ජීවියෙකු බව සහ ඔහු හෝ ඇය පෘථිවියට පැමිණි ශිෂ්ටාචාරය වනාහී ජාන තාක්‍ෂණයේ ද, ක්ලෝනීකරණ තාක්‍ෂණයෙන් ද ඉතා දියුණු තත්වයක පැවති එකක් ද බවයි.

නමුත්, එවිට නිසැකයෙන් ම ඇති වෙන අතුරු ප්‍රශ්නය නම්, ඒ පිටසක්වල දෙයියාව මැව්වේ කවුරුන් ද යන්නයි!

එයට උත්තර නැත.

සර්වබලධාරී එකම එක දෙයියෙකු ඇතැයි අදහන ඒබ්‍රහාමික ආගම්වලින් ද, මහා බ්‍රහ්මයා සහ තවත් දුසිම් කිහිපයක දෙයියලා අදහන හින්දු ආදී ආගම්වලින් ද සහමුලින් ම වෙනස් වූ කිසිදු දෙයියා මාක් පරාණයක් හෝ ගෑවී නොමැති බුදු සමයට අයත් අපේ අයියලා සහ අක්කලා ද විවිධ අවස්ථාවල දෙයියන් සරණ යෑම මට නම් හරිම ලොල් සහගත තත්වයකි.

මා ගිය වසරේ ලියා පළ කළ "එළ හරකයි, මී හරකයි" ලිපියේ ඒ ආකාරයෙන් ලංකාවේ මහ ජනයාට කොකා පෙන්නමින් දෙයියන් සරණ යන දේශපාලුවන් පිළිබඳව ලිව්වෙමි.

මේ දෙයියා සරණ යෑමේ ලොල් ම ලොල් උච්චතම තත්වය නම්, පසුගිය දවස්වල අසන්නට ලැබුණු, විභාගයට මුහුණ දෙන්නට සැරසෙන උසස් පෙළ සිසුන්ට සෙත් පැතීම සඳහා අලියෙකු ගේ මූණත් තහඩුවක් සහ මිනිස් සිරුරක් හිමි ගණ නම් දෙයියෙකු ගේ සරණ ලබා දෙන ව්‍යාපාරයක් පිළිබඳ පැතුරුණු ආරංචියයි. එයට අනුග්‍රහය දක්වා තිබුණේ ආණ්ඩු පක්‍ෂයේ දේශපාළුවෙකු නිසා ඒ ලොල් කර්මය රජයේ වියදමෙන් පැවැත්වෙන්නේ දැයි සැකයක් ද ඇතිවුණි.

මේ මිථ්‍යා දෘෂ්ටික දෙයි රජාලාගෙන් සිංහල බෞද්ධයින් ගලවා ගැනීමට ශක්‍යතාවය සහ අවශ්‍යතාවය සහිත දේව දූතයෙකු දෙයියන් විසින් දෝ පසුගිය සියවසේ අග භාගයේ දී සිරි ලංකාවට එවන ලදී.

අවාසනාවට මෙන් ඒ දෙයි පටලැවිල්ලෙන් සිංහල බෞද්ධයින් ගලවා ඔවුන්ට මෝක්‍ෂය ළඟා කර දීම වෙනුවට ඔහුට ද අවසානයේ සිදුවූයේ දෙවියන් ගේ පිහිට ම පැතීම පමණි.
ඒ කවුද? අනුමාන කරන්නට හැකි ද?

ඔහු කවුද කියාත්, ඔහු කළේ කුමක් ද කියාත් පසුව ලිපියකින් බලාපොරොත්තුවෙන්න.

-රසිකොලොජිස්ට්

(http://loltheists.com/?attachment_id=662)

Monday, 20 June 2016

ගංජා භාවිතය, රුවන් ජයතුංග, ප්‍ර්‍රියන්ත හේවගේ සහ ඇනෝනිමස් කමෙන්ටු හෙවත් I O Sirisena mark II


ගංජා බීම හොඳඳ නැද්ද යනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ ඇරඹුණු මතවාදී අදහස් හුවමාරුවක් දැන් එකිනෙකා කෙරෙහි චෝදනා සහ ප්‍රතිචෝදනා කර ගැනීමක් දක්වා වර්ධනය වී තිබේ. මා අද පළ කරන්නට සිටි ලිපිය කල් දමා ඒ ගැන මේ ලියන්නේ, නොලියාම බැරි නිසා ය.

මා දකින ආකාරයට සිදුවී ඇත්තේ මෙයයි.

රුසියාවේ අධ්‍යාපනය ලබා, බටහිර වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ විවිධ ක්‍ෂේත්‍රවල සේවය කර, විෂය කරුණු පිළිබඳව මෙන්ම සිංහල නිර්මාණ ඇතුළත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියා ඇති දැනට කැනඩාවේ මනෝ විද්‍යාව පිළිබඳ වෛද්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරනවා යැයි මා සිතන රුවන් එම් ජයතුංග තමන් ගේ ජීවිතයේ අත්දැකීම් ගැන මෙන්ම වෘත්තීය මට්ටමේ පර්යේෂණ ගැන ලියවෙන ලිපි ද, තම සාහිත්‍යමය නිර්මාණ ද පළ කරන ට්‍රාන්ස්සිල්වේනියා බ්ලොගයේ, ගංජා හෙවත් කංසා පානය කිරීමට ඇබ්බැහි වීම නිසා මිනිස් සිරුරට සහ විශේෂයෙන් මනසට ඇති වෙන විනාශය පිළිබඳචිකිත්සක සාක්‍ෂි මත පදනම් වූ ලිපියක් නොබෝදා පළ කළේ ය.

චිකිත්සක අත්දැකීම් කෙසේ වුව ද, පුද්ගලිකව ගංජා බීම පිළිබඳ ඔහුට අත්දැකීම් ඇති යැයි මම නිවැරදිව නොදනිමි. නමුත්, මා විශ්වාස කරන්නේ ඒ අත්දැකීම් ඔහුට නොමැති බවයි. ඔහුට ඇත්තේ, ගංජා බී රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සොයා එන පිරිසක් පිළිබඳව සායනික අත්දැකීම් පමණි.

සුවිශේෂීව දේශපාලන කරුණු ගැනත්, පොදුවේ අනෙකුත් විෂයය ක්‍ෂේත්‍ර පිළිබඳවත් හාස්‍යෝත්පාදක ආකාරයට මෙන්ම ගම්භීරාකාරයට ලියවුණු ලිපි ද, ඒ සමගම අතීතකාමය අවුස්සන ලියවිලි ද, කවි සහ වෙනත් නිර්මාණ ද තම මාතලන් නමැති බ්ලොගයේ පළ කරන ප්‍රියන්ත හේවගේ විසින් ද ගංජා බීමේ ඇති ගුණාගුණ ගැනත්, අපනයන කෑෂ් ක්‍රොප් වර්ගයක් ලෙස ගංජා වගා කිරීමේ කෘෂි කර්මාන්තයක් ඇරඹීම පිළිබඳවත් කරුණු ඇතුළත් ලිපියක් ලියා පළ කළේය.

ප්‍රියන්ත හේවගේ ට ගංජා භාවිතය පිළිබඳ ස්වයං අත්දැකීම් ඇතිය යන්න සත්‍යයක් යැයි සිතමි. රුවන් ජයතුංගට ඇති, මා පෙර කී, සායනික අත්දැකීම් ප්‍රියන්ත හේවගේට නැත.

රුවන් ජයතුංග ගේ දෙවෙනි ලිපියක් තමන්ට අනියම් පිළිතුරක් ලෙස පළ කළා යැයි සිතු ප්‍රියන්ත හේවගේ කළේ කෙළින්ම රුවන් ගැන සඳහන් කරමින් ප්‍රති-පිළිතුරක් ලෙස ලිපියක් ලිවීමයි.

ඒ ලිපි හුවමාරවේ දී, ලිපිවලට ලැබුණු ප්‍රතිචාර අතර ප්‍රියන්ත හේවගේ ට අපහාස කෙරෙන ආකාරයේ ප්‍රතිචාර පළවුණු බවත්, නිර්නාමිකව පැමිණ ඒ ප්‍රතිචාර පළ කළේ රුවන් ජයතුංග ම බවත් ප්‍රියන්ත හේවගේ පවසයි. ඒ චෝදනාව රුවන් ජයතුංග ප්‍රතික්‍ෂේප කරයි.

ගංජා භාවිතය පිළිබඳ මගේ අවංක අදහස මා ඔය ලිපිවලට තැබූ ප්‍රතිචාර ලෙස සඳහන් කළෙමි. එය නැවත පවසනවා නම් මෙසේ ය.

ගංජා යනු ඖෂධීය ගුණයෙන් යුතු ශාකයකි. එය ඖෂධයක් ලෙස වෛද්‍ය නිර්දේශ සහ අධීක්‍ෂණය යටතේ භාවිතා කිරීම නීතිගත කළ යුතුය.

නමුත්, පැනඩෝල් වැඩිපුර ගැනීමෙන් පවා මරණයට පත්විය හැකි තත්වයක් ඇති නිසා, ගංජාවලට ඇබ්බැහි වීම සහ අවශ්‍ය මාත්‍රාවට වඩා ගංජා පාවිච්චිය නිසා සිදුවිය හැකි අවැඩ බොහෝය. එනිසා, පාලනයක් අත්‍යාවශ්‍ය වේ.

නැවතත්, මාතෘකාවට පැමිණියහොත්, මගේ අවංක අදහස නම්, රුවන් ජයතුංගට නිර්නාමිකව පැමිණ තමන් ගේ බ්ලොගයේ හෝ වෙනත් බ්ලොගයක හෝ ප්‍රතිචාර දැක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි. එනිසා, ඔහු තමා එසේ නොකළේ යැයි කරන ප්‍රකාශය මම පිළිගනිමි.

ඒ සමගම මේ කරුණු ද පැවසිය යුතුය.

තමාට ඇනෝනිමස් කමෙන්ටු දමන්නන්, ඔවුන් ගේ අයිපී ලිපිනය සහ කලින් ඔවුන් තම අනන්‍යතාවය සහිතව යෙදූ කමෙන්ටු හරහා හඳුනාගත හැකි යැයි ප්‍රියන්ත හේවගේ සිතයි.

තමා විසින් කරනු ලැබී යැයි චෝදනා කෙරෙන කමෙන්ටුව තමා විසින් නොදමන ලද බව පොදු අවකාශයේ ඇති දත්ත හරහා ස්ථිරව සොයා ගැනීමට හැකියාව සාමාන්‍ය පුද්ගලයින්ට ඇති බව රුවන් ජයතුංග සිතයි.

මට කීමට ඇත්තේ ඔවුන් දෙදෙනා ම නිවැරදි නොවන බවයි.

කාලවේලා ප්‍රශ්නය නිසා, මේ පිළිබඳ මගේ සරල දැනුම සහ අත්දැකීම් සහිත ලිපියක් ලියා පළ කිරීම සවස් වරුවට කල් තබමි.

-රසිකොලොජිස්ට්

ප/ලි (20 June 2016 at 23:32 Sydney Time):
මා රුවන් ගේ ගංජා ලිපිවල සහ මාතලන් ගේ මුල් ගංජා ලිපියේ මුල් හෝරාවලදීම ප්‍රතිචාර දක්වා තිබුණ ද පසුව එහි සිදුවූයේ කුමක්දැයි එතෙක් දැන සිටියේ නැත.

මේ ආරෝව ගැන කියමින් ඒ ගැන සොයා බලන ලෙස ඉල්ලූ පණිවිඩයක් රුවන්ගෙන් ලැබුණ පසුව එහි ගොස් සියල්ල කියවීමෙන් පසු, මේ උද්ගත වූ තත්වයේ දෙදෙනෙකුගේ ආරෝවකට එහා ගිය පොදුවේ සිංහල බ්ලොග් ලෝකයට වැදගත් යමක් ඇතිබව වැටහුණි.

මා මේ ලිපිය ලියන්නට පටන් ගත්තේ, ඉන් පසුවය.

මේ ලිපියේ දෙවන කොටස අද සවස් වරුවේ ලියා පල කිරීමට සිතා සිටියද, හදිසි කාර්යයන් කිහිපයක් තිබුණු නිසා එය අවසාන කළ නොහැකි විය.

ඒ කොටස හෙට පළ කරමි.

(image: http://keenetrial.com/blog/2011/04/13/no-one-makes-a-deal-on-a-handshake-these-days/)

Tuesday, 10 May 2016

ඉන්ටර්වීව් ජය මග මෙන්න - නවක මහ පොලිස් පරීක්‍ෂක කියයි - IGPs secret of interview sucess is out...!


කාලයකට පෙර සන්ලයිට් සබන් අලෙවිය පිණිස ප්‍රචාරය වුණු රේඩියෝ වෙළඳ දැන්වීමක් මෙසේ විය.

මෙය සුනිල් සහ නිමල් නම් මිතුරන් දෙදෙනෙකු අතර කවියෙන් කෙරෙන දෙබසකි.

එන්න නිමල් වාඩි වෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස්වීමට සිදුවුයෙ මොනවාදැයි අහන්න
ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනේ සිද්ධ වුණේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුණේ
මොකද, මොකද ලොක්ක කිවේ?
දක්‍ෂකම ම විතරක් මදි
උසස් ම තනතුරු ලබන්න
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න
ඒ කතාව ඇත්ත තමයි!
කතාව නම් ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොපමණ හේදුවත් නෑ නෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ
මේ විරිදු කතා බහේ, මට වචන අමතක, ඊළඟ කොටසින් හෙළිවන්නේ නිමල් ගේ මිතුරා සුනිල් ගේ රෙදි කිරි සුදෙන් බබළන්නේ ඔහු සන්ලයිට් සබන්වලින් රෙදි සෝදන නිසා බවයි.

පසුව නිමල් ද, සන්ලයිට් සබන්වලින් රෙදි සෝදා, තම උසස්වීම ලබා ගනියි.

ඒ එදා ය.

පසුගිය දා පත්වූ නවක මහ පොලිස් පරීක්‍ෂක (Inspector General of Police) පූජිත ජයසුන්දර තම උසස්වීම ලබා ගැනීම සඳහා අනුගමනය කර ඇති ක්‍ර්‍රියා මාර්ගය මෙසේ ය.



බුදු සාදුට පවා වෙනත් ආගමකට යාමට සිතෙන ආකාරයේ ඒ විහිළු-තහළු වීඩියෝව දුටු මට මුලින් ම සිතුණේ "නොදකින්!" කියා ය.

නමුත් පසුව, නවක මහ පොලිස් පරීක්‍ෂක පුජිත ජයසුන්දර ගැන අනුකම්පාවක් ද, ඒ සමගින් ම, ඇත්තටම පහන් සංවේගයක් ද ඇති විය.

ඒ මක්නිසාද යත්, මෙවැනි ධර්මරාජයෙකු මහ පුටුවේ ඉන්නා ලංකා පොලීසිය ද, තම භටයින් ගේ උරහිස පැළඳි ධර්මචක්‍ර ලාංඡනයෙන් නිරූපණය වෙන ආකාරයට, තම ආදර්ශ පාඨය වන "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" යන්නෙන් කියවෙන ආකාරයට, ධාර්මික පුන්‍ය ආයතනයක් වීමට හොඳටම ඉඩ ඇති බව වැටහුණු නිසා ය.

මීට කලින් සිටි පොලිස්, හමුදා ලොක්කන් උග්‍ර සායිබාබාවාදීන් වූ බව මම අසා ඇත්තෙමි. ලක්‍ෂ ගණන් මිනිසුන් රැවටූ හොරෙකු සරණ ගිය ඒ උන්දැලා හා සලකන කල, මේ නවකයා මට නම් හොඳ ය.

සාධු, සාධු, සාධු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
නවක මහ පොලිස්කාරයා ගේ මේ කතාව ඇසූ මා මිත්‍ර සත්‍යප්‍රසාද් ප්‍රකාශයක් කරමින්, වසර අවසානයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා ගැනීම සඳහා අද හෙටම තමන් ගේ වට වන්දනාව ආරම්භ කරන බව කියා ඇත.

මම පසුගිය සිකුරාදා ඉහළ තනතුරක ඇබෑර්තුවක් සඳහා අයැදුම් පතක් යොමු කළෙමි. මට ඒ තනතුර ලැබුණොත්, ලබන සතියේ සිට අඩුවීමට නියමිත ගමන් කාලය පෙරටත් වඩා වැඩිවෙනමුත්, පඩි පැකට්ටුව නම්, 30% කින් පමණ වැඩිවේ.

එ නිසා, මට අදාළ සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීමක් ලැබුණොත්, ග්ලෙන්මෝ පාර්ක් හි පිහිටි අපේ නිවසේ සිට, සිනුවර ලංකාරාමය දක්වා පා ගමනින් වන්දනාවක යෙදීමට මගේ සිතේ අදහසක් ඇතිවිය.

ඔය තනතුර සඳහා අයැදුම් කර ඇති අන් අය, එවැනි වන්දනාවක යෙදීමට ඇති ඉඩකඩ අවම නිසා, මට උසස්වීම ලබා ගැනීමට හොඳටම අවස්ථාව ඇති බව පෙනේ.

අයැදුම්පත යොමු කිරීමට පෙර මේ ආකාරයේ වන්දනාවක් කළා නම්, සම්මුඛ පරීක්‍ෂණය සඳහා කැඳවීම ද අනිවාර්යෙන් ම ලබා ගැනීමට ඉඩ තිබුණා නොවේ දෝ යි කියා ද මට සිතේ.

දැන් ඉතිං, සම්මුඛ පරීක්‍ෂණයක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව සායිබාබාටවත් භාර කළ යුතුය!

(image: http://www.police.lk/index.php/vision-a-mission)

Monday, 4 April 2016

ජනාධිපති ර. ප්‍රේමදාස සහ අගමැති ඛලීඩා ෂියා ගැන පරණ කතාවක පුනරුත්පත්තිය! - To shake or not to shake


පසුගිය දිනවල කාර්යාලයේ දී අසන්නට ලැබුණු සිදුවීම් දෙක තුනක් නිසා එයට යම් ආකාරයක සම්බන්ධයක් ඇති මේ අතීත සිදුවීම මගේ සිහියට නැගුණි.

ලංකාවේ ජනාධිපති ර. ප්‍රේමදාස සහ බංගලාදේශයේ අගමැති ඛලීඩා ෂියා සම්බන්ධයෙන් මේ විස්තර කරන්නට යන නිරීක්‍ෂණය මා කළේ 1991 වසරේ, දෙසැම්බර් මාසයේ, විසිඑක්වෙනිදා ය.

මෙහිදී එතරම් පැහැදිලිව ඒ දිනය මට පැවසිය හැක්කේ මගේ අතිශය නිරවුල් මතකයක් නිසාම නොව, මේ අදාළ නීරීක්‍ෂණය, ලංකා ඉතිහාසයේ ලියවී ඇති අන්තර්ජාතික මට්ටමේ සිදුවීමක් හා කෙළින්ම සම්බන්ධ නිසා ය.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සහ භූතානය යන රාජ්‍යයන් එකමුතු වී ගොඩ නගා ගන්නා ලද සාර්ක් හෙවත් දකුණු ආසියානු කලාප සහයෝගීතා සංගමය ගැන අපි හොඳින් දනිමු.

මේ සංගමයේ රාජ්‍ය නායකයින් ගේ සමුළුවක් ඉහත සඳහන් දිනයේ දී කොළඹ දී පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවය ජාතික රූපවාහිනිය මගින් සජීවීව ප්‍රචාරය කරන ලදී.

අප දන්නා පරිදි, ලෝකයේ සාක් රටවල් පිහිටා ඇති මුල්ලේ වෙසෙන ජනයා අතර එකිනෙකාට ආචාර කිරීමේ ප්‍රධාන ක්‍රමය නම් අත් එකිනෙක බැඳ ඉහළට ඔසවා ආයුබෝවන්, නමස්තේ, නමස්කාර්, නමොෂ්කාර්, වණක්කම් වැනි දේශීය පදයකින් සංග්‍රහ කිරීමයි.

මීට අමතරව, ගෝලීය ආචාර ක්‍රමයක් වෙන අතට අත දී අල්ලා සෙලවීම හෙවත් ෂේක් හෑන්ඩ් කිරීම ද, බහුලව සිදු වේ. විශේෂයෙන් ම දෙරටක දෙදෙනෙකු මුණ ගැසුණු විට, ඒ අන්තර්ජාතික ක්‍රමයට ආචාර කිරීම සාමාන්‍ය සිරිතයි.

එදා සාර්ක් සමුළුවේ සංග්‍රහකාරක රටේ නායකයා වූ ජනාධිපති ර. පේ්‍රමදාස, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි (හින්දු ආගමික) අගමැති රාවෝ ද, භූතානයේ (බෞද්ධ) රජු (වැන්ග්චක්) ද, මාලදිවයිනේ එවකට ජනාධිපති ඉස්ලාම් ආගමික අබ්දූල් ගයූම් ද, පකිස්ථාන් අගමැති නවාස් ෂරීෆ් ආදී විවිධ රාජ්‍ය නායකයින් පිළිගත්තේ ඒ ආකාරයට අතට අත දී අල්ලා සෙලවීමෙනි.

නමුත් මා හොඳින් නිරීක්‍ෂණය කළ පරිදි බංග්ලාදේශ අගමැතිනිය වූ, ඛලීඩා ෂියා එදින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව කරා ළඟා වූ විට සිදුවූයේ අමුතුම ආකාරයේ දෙයකි.
  • ඛලීඩා ෂියා මෝටර් රථයෙන් බැස ඉදිරියට ආවාය.
  • ර. ප්‍රේමදාස අත් ඔසවා කෙරෙන (ආයිබෝවන් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ඛලීඩා ෂියා ද අත් ඔසවා කෙරෙන (නමොෂ්කාර් ක්‍රමයේ) ආචාරය කළේ නැත.
  • ර. ප්‍රේමදාස අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ ද නැත.
  • ඛලීඩා ෂියා ද අතට අත දී සොලවන්නට තම අත ඉදිරියට යොමු කළේ නැත.
  • දෙන්නා ඔහේ දික්කසාද වුණු ජෝඩුවක් පසු දිනයක නඩත්තු නඩුවක් සඳහා උසාවියේ දී හමුවුණාක් මෙන් හිටගෙන සිටයහ.
ඉන් පසු එතැනට ළඟා වූ රාජ්‍ය නායකයින් ට ජනාධිපති ර. ප්‍රේමදාස පෙර මා කී පරිදි අන්තර්ජාතික ක්‍රමයට ආචාර කළේය.

අපට වටහා ගත හැකි පරිදි මෙතැන දී සිදුවෙන්නට ඇත්තේ මෙයයි.

ඛලීඩා ෂියා මුස්ලිම් කාන්තාවක්, ඇය මගේ මතකයේ හැටියට වැන්දඹුවකි, නිසා ඇය වෙනත් පිරිමියෙකු ගේ අත නො අල්ලයි.

එසේම, බංග්ලාදේශය ඉන්දියාව ගොඩ බිමෙන් සම්බන්ධ දකුණු ආසියානු රටක් වුවද, ඔවුන් කාලාන්තරයක් තිස්සේ මුස්ලිම්කරනය වී ඇති නිසා, ලංකාව ඉන්දියාව ඇතුළු රටවල කෙරෙන අත් එකතු කොට නමස්තේ/ආයුබෝවන් ආචාරය ද ඔවුන් ගේ රාජ්‍ය නායකයාට අකැප වී ඇත.

එනිසා ඛලීඩා ෂියාට සහ ර. ප්‍රේමදාසට සිදුවූයේ බකං නිලා සිටීමටයි. සමහර විට ටෙලිවිෂන් කැමරාවට අසු වෙන නොවෙන ආකාරයේ හිස සෙලවීමක් හෙවත් නොඩින් කිරීමක් ද, වචනයක් දෙකක් හුවමාරුවක් ද සිදුවෙන්නට ඇත.

සාමාන්‍යයෙන් මේ ආකාරයේ අන්තර්ජාතික හමුවීම්වලට පෙරාතුව සිදුවෙන පරිදි ඛලීඩා ෂියා කිසිදු ආචාරයක් නොකරන බව බංග්ලාදේශයේ තානාපති කාර්යාලය විසින් ර. ප්‍රේමදාස ගේ ජනාධිපති කාර්යාලයට දැනුම් දී තියෙන්නට ඇත. එසේම, ඛලීඩාට අතට අත දෙන්නට උත්සාහ නොකරන ලෙසට, ර. ප්‍රේමදාසට උපදෙස් ලැබී තියෙන්නට ඇත. එසේ නොමැතිව පුරුද්දට මෙන් අත දිගු කරන්නට ගියා නම් සිදුවන්නේ එසේ මෙසේ අපහසුතාවක් නොව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ අපහසුතාවක් හෙවත් එම්බැරේස්මන්ට් එකකි.

මට ඒ අතීත කතාව සිහිවූයේ අපේ කාර්යාලයේ සේවය කරන මිතුරු මැවිසුරුවියකගෙන් අසන්නට ලැබුණු කතා දෙක තුනක් නිසා ය.

මීට වසරකට පමණ පෙර ඇයට කාර්යාලයේ අලුත් තනතුරක් ලැබුණු දින එය දැනගත් වෙනත් ඉංජිනේරුවෙකු ඇය අසලට පැමිණ "කන්ග්‍රැජුලේෂන්ස්" කියා වචනයෙන් සුබපතා ඇත. බංග්ලාදේශයෙන් සංක්‍රමණය කළ ඉස්ලාම් භක්තිකයෙකු වූ ඔහු ඒ සමගම පවසා ඇත්තේ, "සොරි බට් අයි වොන්ට් බී ඒබල් ටු ෂේක් හෑන්ඩ්ස් විත් යූ ඇස් අයි ඩොන්ට් ෂේක් හෑන්ඩ් විත් විමෙන්" කියා ය.

එය ඇසූ ඇය විස්මයට පත් වී ඇත. ඇගෙන් ඒ කතාව ඇසූ මම ද කරුණු කිහිපයක් නිසාම විස්මයට පත්වීමි.

ඉන් ප්‍රධාන කරුණ වූයේ, අන්තවාදී මුස්ලිම් සමාජවල කාන්තාවන්ට විවිධ පීඩාකාරී තහනම් නීති පැනවී තිබුණ ද, පිරිමින්ට මත්පැන් බීම හෝ සූකර මාංශ කෑම හැර මේ ආකාරයේ නීති තිබෙන බවක් මා නොදැන සිටීමයි.

දෙවැනි කරුණ නම්, සාමාන්‍යයෙන් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගී වීමේ දී, අනිවාර්යෙන් අතට අත දෙන්නට සිදුවෙන නිසා, එවැනි අවස්ථාවක දී, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ ඉන්නා කාන්තාවකට අතට අත නොදී සිටීම යනු සාමාන්‍යයෙන් රැකියා අපේක්‍ෂකයෙකු කිරීමට නො සිතන දෙයක් වීම නිසාත් ය.

අතට අත දීම ප්‍රතික්‍ෂේප කිරීමේ මේ ආකාරයේ ම තවත් අත්දැකීමට මුහුණ දෙන්නට මගේ කාර්යාලයේ මිතුරියට පසුව සිදුවී ඇත. ඒ අලුතින් පියෙකු වූ වෙනත් ඉස්ලාම් භක්තික මැවිසුරුවෙකුට සුබ පතන්නට ගොසින් ය.

මේ අතට අත නොදීමේ ප්‍රතිපත්තිය ඉස්ලාම් භක්තිකයින් එක් කෙනෙකු දෙන්නෙකුට පමණක් අදාළ කරුණක් නොවෙන බව n=3 සඳහා ද එය සත්‍යවීම නිසා වැටහේ.

මේ තුන්වෙනි අවස්ථාවේදී සිදුවී ඇත්තේ එකම ආයතනයේ වෙනත් කාර්යාලයක සිට අපේ කාර්යාලයට සේවය සඳහා පැමිණීමට නියමිත, නැවතත් ඉස්ලාම් භක්තිකයෙකු වන මැවිසුරුවෙකු, ඔහු එසේ පැමිණීමට දිනකට පෙර ඒ කොටසේ සේවය කරන මා පෙර කී කාන්තාව සහ තවත් යෙකට, තමන් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තාවන්ට අතට අත නොදෙන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි අපහසුතාවන් මග හරවා ගැනීම පිණිස ඒ බව මෙසේ දන්වන බවත් කියමින් ඊ-මේලයක් එවූ නිසා ය.

මා කලින් කීවාක් මෙන් සාමාන්‍යයෙන් ගෑනුන්ට පමණක් පීඩාකාරී නීති දමන පිරිමින් අතර මේ ආකාරයේ තමන්ට ද ඒ ආකාරයේම පීඩාකාරී නීති පනවා ගන්නා අය ඇති බව මේ සිදුවීම නිසා මම දැන ගතිමි.

මේ පුද්ගලයින් තිදෙනාගේ බිරින්දෑවරුන්ට මීට වඩා දරුණු පීඩාකාරී නීතිවලට අනුකූලව ජීවත්විමට සිදුවී තිබෙනවා විය හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාන්තාවන්ට පීඩාකාරී නිති දමන්නේ අන්තවාදී මුස්ලිම් සමාජවල පමණක් නොවේ. ලංකාවේ සිංහල බෞද්ධ ජනකොටස් අතරේ ද එවැනි මානව විරෝධී නිති ඇත.

ගුරුවරියන් සාරි ඇඳිය යුතුය යනුවෙන් නොනිල නීතියක් ඇති බව සත්‍යයකි. පිරිමි ගුරුන්ට එසේ නොනිල තහනමක් නැත. අවැසි පරිදි යුරෝපියානු කලිසම ඇඳිය හැක.

පාසලට එන අම්මලා සාරි ඇඳිය යුතුය යනුවෙන් ද නිල වශයෙන් තහනමක් ඇති බව මා මේ ළඟදී දැන ගත්තේ එය ඉවත් කරන්නට යනවාය යන ආරංචිය සමගයි.

අතට අත දීමේ තහනමක් ගැන පැවසුණු මේ ලිපිය අවසාන කරන්නට පෙර මෙය ද පැවසිය යුතුය. අතට අත දී ආචාර කීරීම කෙසේ වෙතත් ගැහැණු පිරිමි දෙදෙනෙකු අතිනත පටලාගෙන සිටීම, බුද්ධ ධර්මයට අවුලක් නොවුන ද, බුඩ්ඩාගං සංස්ථාවට නම් අගෝචර දෙයක් බව පෙනෙන්නට ඇති බවයි!

(image: http://www.serendib.btoptions.lk/article.php?id=1540&issueId=59)

Friday, 15 January 2016

හොරෙන් මල් කැඩීම (පවුල් පන්සල් වුණු වැඩිහිටි අයට ගේ කියවීම සඳහා පමණි) - Flower robber


මල් කැඩීම යනු තව දුරටත් මල් කැඩීම නොවේ.

සාමා ලා, අමර ලා, සල් මල් කැඩුවේ ඉස්සර ය. දැන් කියවෙන මල් කැඩීමට සල් මලවල තියා බගන්දරා මල්වලවත් කෙළින් ම සම්බන්ධයක් නැත.

පසුගිය මාසයේ ලංකාවේ නිවාඩුව ගත කරන විට, අපේ වත්තේ පිපෙන මල් නිරතුරු අනවසරයෙන් කඩන අය සිටින බව මගේ මලයා නිකමට මෙන් කියනු ඇසුණේ වුව ද, මගේ දෙ ඇසින් ම එවැනි උවැසියක් සැබැවින් ම දකින තුරු මට ඒ හොරෙන් මල් කැඩීමේ ක්‍රියාවේ ඇති සරදම් ස්වභාවය වැටහුණේ නැත.

මේ පහත පලවෙන්නේ ඒ අත්දැකීම ගැන මා පොල් උයනක හිඳ ලියූ විප්‍රලාසී කවියයි!

මල් නෙළන උවැසිය

දහසක් බුදුවරු බුදුවෙති පැවසෙන
හිමිදිරි උදයේ
අපේ ගෙදර වත්තේ
වැටෙන් එහා පැත්තේ
පාර අයිනෙ ඉඳලා
හොරෙන් හොරෙන් වටපිට නෙත් යොමලා
පැල ඉනි අස්සෙන් අත දිගු කරලා

උදේ ම පිපිච්ච ලස්සන රතු මල්
පිපෙන්න තියෙනා පොහොට්ටු මල්
නිකං හෙම නොවෙයි කිනිති පිටින්
කිසිම දුකක් සිත නැති විලසින්
කඩා ගන්න හිතුණේ ඇයි කියපං?

උදේ පාන්දර පන්සල් යන්නද?
ගෙදර ම ඉඳගෙන බුදුන් වඳින්නද?
පූ-ජේ-මී බූද්ධං මතුරන්නද?
ලොව අනියතබව සිහියට ගන්නද?

ඒත් ඉතිං බං ඕක කොරන්නට
අපේ වත්තෙන් ම මල් ඕනැද බොට?

බොලෑ වත්තෙ මල් ගහක් හිටෝගෙන
මලක් දෙකක් පූදිනකං හිටියොත්
නිවන් යන්න බොට පරක්කු වේවිද?

ඊයේ හවසත් මල් ගස් වනසා
ගාථා කියමින් කළ මල් පිදුමෙන්
වටහා ගත් ඒ ලොව අනියතබව
මේ පැය දොළහට අමතක වුණා ද?

වරුවකට වරක් සෑම දිනයක ම
පූ-ජේ-මී බුද්ධං මතුරන්නට
ලොව අනියතබව සිහිපත් කරනට
මදි ද එක මලක්?
නැතිනම් තුන හතරක්?
ඔය පීරිසිය ම පුරෝල ඕනැද?
නැතිනම් ඒකේ අඩුවක් වේවිද?
ලොව අනියතබව නොම වැටහේවිද?

මේකත් කියපං!

ඔය පුජාවට
පිපිච්ච මල් ටික
කඩන්න ඕනැ ද?
ගහේ ම තිබුණොත් මල් පරවෙන්නට
වැඩිපුර දවසක් දෙකක් යන නිසා
ලොව අනියත්‍ය බව වටහා ගන්නට
පරක්කු වෙනවද?

අද හැන්දෑවට මටත් මලක් ගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාලා
ලොව අනියතබව මෙනෙහි කරන්නට
බුදු පිළිමය ළඟ තියන්න හිතුණොත්
කෝ බං ඒකට මලක් දෙකක් හෙම
මල් පොහොට්ටු ටික උඹ කඩලා නොවැ?
මට පිං කරන්න අකැප ද එතකොට?

අපේ ගහේ මල් ටික සූරාගෙන
පූ-ජේ-මී බුද්ධං මතුරාගෙන
ලොව අනියතබව සිහිපත් කරගෙන
එහෙනං උඹවත් නිවනට පලයං

මං එන්නං තව ටිකක් පහුවෙලා!




-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය විප්‍රලාසී විප්‍රලාපී කවියක් යැයි සිතමි!.

එසේ නොමැතිව, මෙය කිසිසේත් ම විප්‍රවාසී කවියක් නම් නොවේ. විප්‍රවාසී කවියක් කියවීමට අවශ්‍යනම් මෙන්න පාර.
http://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

විප්‍රලාසී විප්‍රලාපී කවි යනු කවරේදැයි දැන ගැනීමට යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහයට මංජුල වෙඩිවර්ධන ලියූ පෙරවදන කියවන්න. නැතිනම්, "ඉතා කෙටි කලබල සිහින" කාව්‍ය සංග්‍රහය දොරට වැඩුමේ උත්සවයේ දී, රසවතිය බ්ලොගය ලියන හෂිත අබේවර්ධන කළ දේශනයට සවන් දෙන්න.

(image: http://www.touchtalent.com/artist/445950/harinder-sethi)

Saturday, 20 June 2015

අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ - I am a Buddhist, I don't drink, Thank you


තැන:මිතුරෙකු ගේ නිවසක්
දිනය:සති අන්තය
කාලය:සන්ධ්‍යා යාමය, සවස අටට පමණ
අවස්ථාව:  සුහද සාදයක්

මිතුරු සමාගම තරම් වෙනත් සුහද සමාගමක් ලොවෙත් නැත!

ඕනෑම සමාජයක මිතුරු මිතුරියන් එක් වී විනෝද වීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත්වෙන අයගෙන් අප වැනි බොහෝ දෙනෙකුට තමන් ගේ ඥාතීන් වෙනුවට දුක සැප බෙදා ගැනුමට ඉන්නේ ද මිතුරන් ය.

තමන් ගේ, තම දරුවන් ගේ උපන් දින හෝ අනෙකුත් විශේෂ අවස්ථා සමරන්නට මිතුරන්ට ද ආරාධනා කර සාද පවත්වන්නන් බොහෝ ය. එසේම, දුර පළාතක වෙසෙන දන්නා හඳුනන අයෙකු තම ප්‍රදේශයට පැමිණි විට, අන්‍යෝන්‍ය මිතුරන් කැඳවා සාදයක් පැවැත්වීම ද සාමාන්‍ය දෙයකි. ඊට අමතරව, කිසිදු නිශ්චිත හේතුවක් නොමැතිව වුවද, විවින් විට තම මිතුරන් නිවසට කැඳවා බතින්-බුලතින් සංග්‍ර කරන්නනෝ ද බොහෝ සිටිති.

ඔතන බතින් යැයි කීම බොහෝ අවස්ථාවල දී නිවරැදි වුව ද, බුලතින් කියා කීම නම් කිසිසේත් ම නිවැරදි නොවේ. බුලත් කොළ නම් බේතකට හේතකට අවශ්‍ය වූවහොත් සොයා ගත හැකි වුණත්, බුලත් කන්නන් නම් දැන් අපේ වයසේ අය අතර විරලය. එනිසා බුලතින් සංග්‍රහ මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ නම් ඇත්තේ ම නැතැයි සිතේ.

ඒ වෙනුවට, ඒ යුග පදයේ දෙවන කොටස විය යුත්තේ "සින්දු වතුර" යන්නයි. එනම්, මෙහි නිවරැදි යෙදුම "බතින්-සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම වේ.

"සින්දු වතුර" කියන්නේ කුමකට ද යන්නත්, ඒ නම යෙදීමට හේතුව කුමක්දැයි යන්නත් දන්නෝ දනිති!

ඇතැම් සාද වලදී ඇතැමුන්ට මේ "සින්දු වතුර" වෙනුවට "වාද වතුර" හෝ "පණ්ඩිත වතුර" හෝ පෙවී තිබෙනු දක්නට ලැබේ. එය වෙනම විස්තරාත්මකව ලිවිය යුතු එක් කතාවකට නොව කතා මාලාවකට සුදුසු ප්‍රස්තූතයකි.

ඒ කෙසේ වෙතත්, මිතුරු සමාගම පිණිස පවත්වනු ලබන සුහද සාදයක දී "සින්දු වතුරෙන්" සංග්‍රහ කිරීම සාමාන්‍ය සිරිතයි.

මා සහභාගී වී ඇති, අප විසින් සංවිධානය කර ඇති සාදවලදී "සින්දු වතුර" සම්බන්ධයෙන් මා නිරීක්‍ෂණය කර ඇති දේ මෙසේය.

සාමාන්‍යයෙන් "සින්දු වතුර" පානය කරන ලාංකික කාන්තා පක්‍ෂය ඉතා සුළුතරයකි. ඔවුන් ප්‍රිය කරන්නේ සුදු පැහැති වයින් වැනි "සින්දු වතුර" වර්ගවලටයි. මේවා ප්‍රණීත රසයකින් යුක්තය. පලතුරු යුෂ මුසු කළ සැර අඩු වොඩ්කා හෝ අඩුතරමින් බියර් හෝ බොන ලාංකික කාන්තාවන් මා දැක නැති තරම් ය. සමහර විට මට මුණ ගැසෙන කාන්තාවන් ගේ වයසට අඩු වයස් සීමාවල සිටිනවා විය හැක.

පිරිමින් බොහෝ දෙනා ප්‍රිය කරන්නේ විවිධ විස්කි වර්ග පානයටයි. නැතිනම්, වොඩ්කා වැනි වෙනත් සැර වැඩි "සින්දු වතුර" වර්ග ද, අවස්ථානුකූලව රතු (හෝ ඇතැම් විට සුදු) වයින් බොන්නෝ ද සිටිති. බියර් නම් බොහෝ විට අලෙවි වෙන්නේ දිවා කාලයේ පැවැත්වෙන සාදවල දී ය. නමුත් දිවා රෑ නොබලා බියර් බොන්නෝ ද සුළුතරයක් හෝ සිටිති.

මා මෙතෙක් සහභාගී වී ඇති ශ්‍රී ලාංකික මිතුරු සමාගම් සුහද සාදවලට සහභාගී වූ අයගෙන් අති බහුතරය බෞද්ධාගමිකයින් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ ආකාරයේම තවත් වැදගත් කාරණයක් වනුයේ බුදු දහමේ ඉගැන්වීම් සහ "සින්දු වතුර" පානය අතර ඇති නොගැලපීමයි.

අපේ බුද්ධාගම්කාරත්වය මැනීම සඳහා මා ඉදිරිපත් කළ පන්සිල් අනුසාරයෙන් සැකසුණු මිනුමට අනුවට සින්දු වතුර බී සුරාමේරය සිල් පදය කැඩුුණු පසු වුවද, 80% ක බුද්ධාගම්කාරත්වයක් පවත්වා ගත හැකි වේ. එය බෙෘද්ධයෙකු ලෙස විශිෂ්ට සම්මානලාභී, පළමු පන්තියේ සාමාර්ථයකි.

බුද්ධාගම්කාරයෙකු "සින්දු වතුර" බීමේ ලොකු වරදක් නැති බව එයින් පෙනේ.

දැන් නැවත කතාවට යමු.

මේ කියන සාදයට ආරාධනා ලැබ සිටියේ අඹු-සැමියන් ජෝඩු කිහිප දෙනෙකු පමණි. මුලින් නොදන්නා අය එකිනෙකාට හඳුන්වා දීමත් සමග සතුටු සාමීචියකින් සාදය ඇරඹුණි.

ඊළඟට සිදුවූයේ කෙටි කෑම සහ "සින්දු වතුර" පානය කිරීමේ අවස්ථාවයි. මුලින්ම කාන්තාවන්ට සැලකිය යුතුය යන සුද්දා ගේ රීතිය අනුව, කාන්තා පක්‍ෂය සඳහා සුදු පැහැති වයින් පිරවූ දිදාල රැගෙන එන ලදී.

එක් කාන්තාවක් තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළිගත්තාය.

ඊළඟට සිටි ඇත්තී එක්වරම කීවේ මෙයයි.

"අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක් තෑන්ක් යූ!"

ඇය තමන් වෙත දිගු කෙරුණු මීවිත පිළි නොගත්තා ය.

ඒ සිද්ධිය ගැන ඇසූ විට මගේ සිතේ විශාල ප්‍රශ්නයක් පැන නැගිණි. ඒ කිසිසේත් ම දෙවෙනි කාන්තාව වයින් නො බීම ගැන නම් නොවේ. එය අගය කළ යුත්තකි. ප්‍රශංසනීය කාරණයකි.

ප්‍රශ්නය ඇති වූයේ ඈ කළ ඒ ප්‍රකාශයේ ය.

එක්කෝ "නෝ තෑන්ක් යූ!" හෝ නැතිනම්, "අයි ඩොන්ට් ඩ්‍රින්ක්, තෑන්ක් යූ!" හෝ නොකියා එයට "අයෑම් එ බුඩිස්ට්" යනුවෙන් කෑල්ලක් එකතු කිරීමෙන් ඇය කළේ යම් අධිපතිවාදයක්, පුරාජේරුවක්, ලොකුකමක් ප්‍රදර්ශනය කිරීමක් බව මගේ අදහසයි.

මා එසේ කියන්නට හේතුව නම්, එතැන සිටි අනෙක් අය අති බහුතරය ද "බුඩිස්ට්" ලා වීමයි.

බුද්ධාගම්කාරත්වයක් නිසා යමෙකු රහමෙර පානය නොකරන්නේ නම්, එය සැමට ම පොදු තහනමක් විය යුතුය. එසේ තහනමක් ඇතැයි අන් බුද්ධාගම්කාරයින් සලකන්නේ නැති තැනකදී, එය ඉස්මතු කිරීමෙන් ලැබෙන්නේ පොඩි අධිපතිවාදී කික් එකක් මිස අන් කවර අමුතු පිනක් ද?

මේ ආකාරයටම, හරක් මස් නොකන එග්ටේරියන් ලා සහ චිකන්ටේරියන් ලා මෙන්ම කිසිදු මාශයක් නො බුදින වෙජිටේරියන් ලා බොහෝ දෙනෙකු තමන් ගේ රුචිකත්වය අනුව තමන් ගේ පාඩුවේ තම එළවළු ජීවිත ගෙවූවද, ඒ අස්සේ, ඉතා ටික දෙනෙකු පමණක් මාංශ භක්‍ෂකයින්ට හැකි සෑම විටෙකම ඇනුම් පද කියනු මා දැක ඇත.

ඉහත කී කාන්තාව ගේ අයෑම් එ බුඩිස්ට්, අයි ඩෝන්ට් ඩ්‍රින්ක් යන ප්‍රකාශය ද ඒ ආකාරයේ අධිපතිවාදී, මං සුදනා මොඩලයේ අන් අය හෙළා දකින ආකාරයේ ඇනුම් පදයක් බව කිව හැක.

ඇයට ඇති එකම සමාවට කාරණය නම්, බෞද්ධ නොවන පිරිස් සහභාගී වෙන උත්සව අවස්ථාවලදී වයින් යනාදිය පිරිනැමෙන විට ඒවා ප්‍රතික්‍ෂේප කිරීමේදී එයට හේතුව වැඩිදුර විස්තර කිරීම සඳහා ඇය නිතර යොදාගන්නට ඇති අයෑම් එ බුඩිස්ට් යන කියුම එදා ඇය සිටියේ අති බහුතර බෞද්ධයින් පිරිසක් මැද බව අමතකව ඇගේ කටින් නොදැනුවත්වම වාගේ පිටවුණාය යන්නයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අයෑම් එ බ්ලොගර්, අයි ඩෝන්ට් ලයි!

ප/ප/ලි:
මට බුද්ධාගම්කාරත්වය ගැන ලිපි කිහිපයක්ම ලියන්ට වුනේ මේ කතාව කියන්නටයි. කලින් ලිපි නොකියවූ අයට මෙන්න විස්තර.

1. අපේ තාත්තා බුද්ධාගම්කාරයෙකු ද? How to be a Buddhist?
http://rasikalogy.blogspot.com/2015/06/how-to-be-buddhist.html

2. උප්පැන්නේ බුද්ධාගම? - Religion has nothing to do with your birth!
http://rasikalogy.blogspot.com/2015/06/blog-post_16.html

3. ඔබේ බුද්ධාගම්කාරත්වය මැනිය හැකිද? - Measuring Buddhistness
http://rasikalogy.blogspot.com/2015/06/measuring-buddhistness.html

(http://techgnotic.deviantart.com/journal/Abstract-Art-495660574)

Monday, 20 April 2015

හදිසියේ සිහි වූ අතීත සිදුවීම් යුගලක් - Random memories


අප අත්විඳින ඇතැම් සිද්ධීන් එකෙනෙහි ම සිත තුළට කිඳා බසී. ඉනික්බිති, සිත ඇතුලේ කාලාන්තරයක් තිස්සේ නිහඬ මතකයන් ලෙස සැඟවී පවතී.

නොසිතු මොහොතක, නොසිතු අයුරින්, ඒ මතක ගොන්නෙන් බිඳක් සිත පතුළේ සිට සිත මතු පිටට ගලාගෙන එන්නේ කිසිම සරල සමීකරණයකින් හෝ සංඛීර්ණ ශ්‍රිතයකින් හෝ විස්තර කළ නොහැකි අහඹු ආකාරයට ය.

ඊයේ සවස් යාමයේ සීතල සුළගින් ගත වෙලී ගිය මොහොතක, කෙලින්ම එකිනෙක සම්බන්ධයක් නොපෙනෙන, එසේම කාල පරාසයෙන් එකක් අනිකෙන් දශක කිහිපයක් දුරස්ථ වූ, ඒ ආකාරයේ අතීත ස්මරණ ද්වයක් මගේ මතකයේ ඉහල ස්තරයට ඉලිප්පුනේ, අවට පරිසරයෙන් කාන්දු වූ සීතල ද අවම කරමිනි.


ඉන් මුල් කතාව මෙසේ ය.

මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ, පළමුවෙනි වසර අවසානයේ දී, අපට තුන් මසක පමණ කාලයක් තිස්සේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ විධායක ඉංජිනේරු කාර්යාලවලට අනුයුකත්ව කාලය ගත කරමින් එකල කාර්මික පුහුණුව නමින් හැඳින්වුණු අභ්‍යාසයක නිරත වෙන්නට සිදුවිය.

මේ කාලය අවසාන වූ විට, අපට ඒ පුහුණුව පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලියා ඉදිරිපත් කරන්නට නියමව තිබුණි. ඒ දක්වා ගත වූ අධ්‍යයන වසරේ දී අප සිදුකළ විද්‍යාගාර පරීක්‍ෂණයන්ට වඩා කාල පරිමාවෙන් සළකා බලන කල මේ පුහුණුව ඉතා විශාල එකක් වූ නිසා, පෙර කී වාර්තාව ද ප්‍රමාණයෙන් ඉතා විශාල එකක් විය යුතු යැයි අපට අසන්නට ලැබුණි.

මේ පුහුණුව සංවිධානය කිරීමේ පටන්, ඒ වාර්තා කියවා බලා, වාචික පරීක්‍ෂණ පවත්වා, අපේ පාඨමාලාවේ මෙම කොටසින් සිසුන් ඇගයීම පිණිස ඉංජිනේරු පීඨයේ සුවිශේෂී අධ්‍යයන අංශයක් ද පිහිටුවා තිබුණි.

මේ අංශයේ ප්‍රධාන ආචාර්යවරයා සිසුන් විසින් ලියා යොමු කරන වාර්තා පිරික්සා ලකුණු ලබා දෙන ක්‍රමවේදය, අපේ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පැවසූ අයුරින් මෙලෙස වේ.

වාර්තා මිටියක් රැගෙන කොරිඩෝවක බිම තබන ආචාර්යවරයා, ඉන් පසු ඈත සිට දිවගෙන විත් මේ වාර්තා ගොන්නට පාපන්දු පහරක් එල්ල කරයි. ඉන්පසු එක් එක් වාර්තාව සාපේක්‍ෂව කොතරම් දුරකට විසි වූයේ ද යන්න නිරීක්‍ෂණය කර මැන බලනු ඇත.

වැඩිම දුරක් විසිවුණු වාර්තා අසමත් ඒවා සේ නම් කෙරේ. විසි වී නො ගිය වාර්තාවලට විශිෂ්ඨ සාමාර්ථ ලැබේ. අන් වාර්තාවලට ලකුණු ලැබෙන්නේ වාර්තා මිටිය තැබූ තැන සිට ඒවා විසිවුණු දුරට ප්‍රතිලෝමව සමානුපාතිකව ය.

මෙයින් හැඟෙන්නේ ඔහු වාර්තා පරීක්‍ෂණය කර ලකුණු දුන්නේ ඒවා කියවා බලා නොව, වාර්තාවේ පිටු ගණන (බර) අනුව තීරණය කොට බවයි.

කෙටියෙන් කිවහොත්, බර දේ විසි නොවේ. සැහැල්ලු දේ ඉතා ලේසියෙන් විසිවී යයි.


දැන් මෙන්න මගේ සිතේ උඩ ස්තරයට ඉලිප්පී ආ දෙවන මතකය.

මින් වසර කිහිපයකට පෙර මා අපේ ආයතනය විසින් සංවිධානය කරන ලද එක්තරා අධ්‍යයන වැඩ මුළුවකට සහභාගී වීමි.

දේශණ, සාකච්ඡා, සංවාද, අභ්‍යාස, කණ්ඩායම් ක්‍රියාකාරම් යනාදී සුපුරුදු අංගයන්ගෙන් සමන්විත වූ මේ වැඩමුළුවේ එක් අවස්ථාවක, විසි දෙනෙකුගෙන් පමණ සමන්විත වූ අප කණ්ඩායම සිටියේ විශාල ශාලාවක පේලි දෙකකට සෑදී එකිනෙකාට මුහුණ ලා සිටගෙන යම් වාචික අභ්‍යාසයක නිරතවෙමිනි. මේ සඳහා අප භාවිතා කරමින් සිටි මේ පාඨමාලාව සඳහා මුද්‍රණය කරන ලද අත්පොත ඒ මොහොතේ අප අත රැඳී තිබුණි.

ඒ අභ්‍යාසය අවසානයේ දී, අප පිරිස ඊලඟ අංගයට යොමු කරවීම සඳහා, වැඩමුළුව මෙහෙයවූ සම්පත්දායිකාව මෙලෙස කීවා ය.

"හා, දැන් හැමෝම ඔය අතේ තියන පොත් ඔතනම බිමට දාන්න!"

මා හැර අන් සියළු දෙනාම, උපදේශිකාව ගේ ඒ ඉල්ලීම අනුව මුද්‍රිත අත්පොතේ තමන් ගේ පිටපත් බිමට අත හැරියහ.

ඒ වෙනුවට මා කළේ, එම පොත මගේ අමාරුවෙන් මගේ කලිසම් සාක්කුවේ රුවා ගැනීමයි.

එය දුටු උපදේශිකාව නැවත මා අමතා, "නෑ! නෑ!! මං කිව්වේ පොත බිමට දාන්න කියලයි" කියා පැවසීය.

"ඇයි මං එහෙම කරන්නේ? මං එහෙම කරන්නේ නෑ!" මම ස්ථිරව පැවසුවෙමි.

ඒ මගෙන් මතුවූයේ, කුඩා කල සිටම අසා දැන අනුගමනය කළ, පොත්වලට හොඳින් සැලකිය යුතුය යන අදහසයි.


දැන් මේ අතීත ස්මරණ ද්වයේ එකිනෙකට යම් සම්බන්ධයක් තිබේද නැද්ද, තිබේ නම් එය කුමක්ද යනාදිය ගැන සෙවීම, අද සහ හෙට දිනයේ හෝ ඉන් පසුව වුවද මේ ලිපිය කියවන අයට කිසිසේත්ම ප්‍රයෝජනයක් ඇති කාර්යයක් නොවන බව කිව යුතුයි.

ඊට වඩා සිතා වෙහෙස වෙන්නට අවැසි දේ අප අතර අනේකව සිදුවේ!

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: http://agnes-cecile.deviantart.com/art/lines-hold-the-memories-196429806)

Sunday, 12 April 2015

පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title


මේ ලිපිය ලියන්ට පටන් ගතා වේලේ මා ඒ සඳහා මුලින් දුන් මාතෘකාව වූයේ පිං, කුසල් සහ සංඝනායක ලා යන්නය. නමුත්, ස්වල්ප මොහොතකට පසු, එය ඉහත මාතෘකාව ලෙසට වෙනස් කෙරුවෙමි.

මා කියන්ට යන දෙයට මූලය සැපයුනේ බ්ලොග් වසන්තයේත් නිදා සිටින (එනිසා ම හිටපු?) බ්ලොග්කරුවෙකු වන හසිත චාමිකර ගුරුසිංහ ෆේස්බුක් අවකාශයේ තබන ලද කෙටි සටහනකි.

පසුගිය දිනවල ලංකා බුද්ධ සාශනයේ, සියම් නිකායේ, අස්ගිරි පාර්ශවයේ මහා නායක ධුරය හෙබවූ හාමුදුරුවන් අපවත් වූ පුවත නොදන්නා අයෙක් බ්ලොග් කියවන්නන් අතර නැතියැයි කිව හැක. සාමාන්‍ය සිදුවීමක් වන මෙය ලෝක විනාශයට ලඟින් යන එකක් යැයි සිතන්නෝ ද සිටිති.

මගේ අදහස නම්, ඔය සංඝනායක ලා නායකයින් වන්නේ සංඝ සමාජයට පමණක් බවයි. ඔවුන් ගේ නායකකම් ගිහියන් වන අපට වැදගත් නැත. මට නම්, ගමේ පන්සලේ සාදුත්, නායක හාමුදුරුකෙනෙකුත් අතර වෙනසක් නො පෙනේ.

කෙසේ වෙතත්, හසිත චාමිකර ගුරුසිංහ සැපයූ වස්තු බීජය මෙලෙස විය.

තමන් උදෑසන සේවා ස්ථානයට බස් රථයෙන් යමින් සිටියදී, පරලොව සැපත් මහ නායක හාමුදුරුවන් ගේ මෘත ශරීරය රැගත් වාහනය යනු දුටු බවත්, එවිට තමන් හුන් අස්නෙන් නැගිට එයට ආචාර කළ බවත්, ඒ කුමක් සඳහාද යන්න නොදත්, බසයේ සිටි බොහෝ දෙනෙකුට ඒ නැගිටීම පුදුමයක් වූ බවත් හසිත පවසා තිබුණි.

මෙය ප්‍රතිචාර දක්වන හාමුදුරු කෙනෙකු පවසා තිබුණේ, හසිතට පින් සිදුවෙන බවයි.

ඒ අදහස දුටු මට ආ ප්‍රශ්ණය වූයේ හසිත කළ පරිදි, "අසුනෙන් නැගීටීමෙන් සහ මළ සිරුරකට ආචාර කිරීමෙන් පින් සිදුවෙනවා ද?" යන්නයි.

අසුනෙන් නැගීටීම ගැන කියනවා නම්, තමන් බස් රථයේ බොහෝ විට ගමන් ගන්නේ හිටගෙන බව හසිත ඔහුගේ බ්ලොගයේ ලියා තිබුණු නිසා, මෙ දිනද ඔහු හිටගෙන සිටියා නම්, ඒ පින කරගන්නට ඔහුට ඉඩක් නොලැබෙන බව පැහැදිළි ය. එසේ නැතිනම්, බස් රථවල හිටගෙන යන අය, තමන් දැන හෝ නොදැන, නිරතුරුවම පින් සිදු කරගනිමින් යනවා විය යුතුය.

"මියගිය අයෙකුගේ සිරුරට ආචාර කිරීම පිනක් ද? එය අයත්වෙන්නේ දස කුසලයෙන් කවර නම් කුසලයට ද?" යනුවෙන්, ෆේස්බුක් අවකාශයේ මා නැගූ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස මුලින් ලැබුනේ, පින් කිරීම ඉතා පහසු වැඩක් බවත්, පව් නොකර සිටීමෙන්ම පින් ලැබෙන බවත් ය.

"පව් නොකර සිටමෙන් පින් ලැබෙනවා නම්, ණය නොවී සිටීමෙන්, එනම්, රිම් එකෙන් යෑමෙන්, ධනවතෙකු විය හැකි නොවේ ද?" යැයි මම ඇසුවෙමි.

සුපුරුදු පරිදි "රේනුකානේ" කියවන ලෙස මට උපදෙස් ලැබුණි.

මේ සංවාදයෙන් මා උකහා ගත් දෙයක් වේ නම් එය දක්වා තිබුණේ හසිත චාමිකර ගුණසිංහ විසින් ම ය.

එය නම්, පින් සහ කුසල් යනු දෙවර්ගයක් බවයි!

සරලව කියනවා නම්, ඒ වෙනස මෙයාකාරය කියා මට සිතුනි.

පින් යනු ද්‍රව්‍යමය දෙයක් සේ ය. එක් ගිනුමකින් තවත් ගිනුමකට මුදල් මාරු කරනවාක් මෙන් අපට වෙනත් අයෙකුට පින් ලබා දිය හැක.

නමුත් කුසල් යනු, තමන්ම එක් රැස් කරගත යුතු දේ ය. හරියට හොඳ මිතුරන් මෙනි. (බොක්කක බොක්කක් බොක්කක් ය යනාදී තර්ක අමතක කරන්න!)

හසිත උපුටා දක්වා තිබුණු පරිදි, දස කුසල් සහ දස පුන්‍ය ක්‍රියා යනු මේ ලෙස වේ.


දස කුසල්
  1. පාණාතිපාතය නොකිරීම
  2. අදත්තාදානය නොකිරීම
  3. කාමමිත්‍යාචාරය නොකිරීම
  4. මුසාවාදය නොකිරීම
  5. පිශුනාවාචය නොකිරීම
  6. පරුෂාවාචය නොකිරීම
  7. සම්ඵප්ප්‍රලාපය නොකිරීම
  8. අභිධ්‍යාව නොමැතිවීම
  9. ව්‍යාපාදය නොමැතිවීම
  10. මිථ්‍යාදෘෂ්ඨිය නොමැතිවීම

දස පුණ්‍ය ක්‍රියා
  1. දානය - තමන් සතු වස්තුව ( ද්‍රව්‍යමය හෝ අද්‍රව්‍යමය ) අන් අයගේ යහපත, සුබ සිද්ධිය උදෙසා පරිත්‍යාග කිරීම
  2. සීලය - සිත, කය, වචනය තමන්ටත් අනුන්ටත් පීඩාවක් නොවන පරිදි සංවර කරගැනීම
  3. භාවනාව - ප්‍රඥාව, සමාධිය දියුණු වන සුදුසු අරමුණක සිත හැසිරවීම තුලින් කුසල් දහම් වඩවා ගැනීම
  4. පත්තිදාන - තමන් විසින් කල පින්කම් පින් බලාපොරොත්තුව සිටින අයට අනුමෝදන් කිරීම
  5. පත්තානුමෝදනා - වෙනත් අයකු කරන ( හෝ අතීතයේ කළ) පින්කම් දැක / අසා ඒ පිළිබඳව සිත පහදවාගෙන සතුටු වීම
  6. වෙය්‍යාවච්ච - පිදිය යුතු උතුමන්ට හා පුජනිය වස්තුන්ට වත් පිළිවෙත් කිරීම
  7. අපචායන - පිදිය යුතු උතුමන්ට සිතෙන් කයෙන් වචනයෙන් වන්දනා කිරීම
  8. ධම්ම දේසනා - ලාභ සත්කාර කිර්ති ප්‍රසංසා ආදිය බලාපොරොත්තු නොවී ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම හෝ කරවීම
  9. ධම්ම සවන - චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හොඳින් සවන් යොමුකොට ධර්මශ්‍රවණය කිරීම
  10. දිට්ටිජුකම්ම - බුදුන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය පිලිබඳ නිවැරදි වැටහීමක් ඇති කරගැනීම


ඔබ සැම ගේ සිත් පහන් වේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: shared in Facebook)

Thursday, 2 April 2015

පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!


හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට එන බව අනුමාන කළ හැක.

ඔහු ඒ බව කෙලින්ම කියා නැති නමුත්, විමලසේන ඇතුළු හෙන්ච්මන් ලා කරන ගෝෂාව නිසාත්, එනවාදැයි අසන විට නැතියැයි කෙලින් නොකියන නිසාත්, ඔහු යළි නොඑනවා යැයි සිතීමට වඩා, එනවා යැයි සිතීම වඩා ප්‍රායෝගික බව පෙනේ.

මගේ අවංක අදහස නම් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියහොත් වඩාත් හොඳ බවයි.

එයට හේතු කිහිපයකි.

ඔහු බලයේ සිටි කාලයට හෝ ජනාධිපති ඡන්දය පැවැත්වුණු කාලයට හෝ වඩා හොඳින්, පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිසා, අද වන විට මට මා දන්නා හඳුණන අය අතරින් ජාතිවාදීන් යනු කවුරුන්දැයි වෙන්කර හඳුණා ගැනීමට හැකි වී තිබේ. ඡන්දය පැරදුණු දිනට පසු ඒ ආසන්න කාලයේ දී, දුකෙන් තැවෙන රාජපක්‍ෂවාදීන් කෙරෙහි මගේ සිත තුල ඇති වූයේ සැබෑ දුකකි. සන්තාපයකි. ඒ ඔවුන් ඒ දිනවල නැගූ හද කකියවන විලාපය නිසා ය.

අද වන විට ඒ විලාපය, එකම ජාතිවාදී උඩු බිරුමක් බවට පත් වී තිබේ. මිතුරන් ද, මිතුරන් නොවන අය ද අතරින් ජාතිවාදීන් කවුරුන්දැයි මට හඳුනා ගැනීමට ඉතා පහසු වී ඇත්තේ ඒ උඩු බිරුම නිසා ය.

මීට කලකට පෙර මා ලැබූ අත්දැකුමක් ගැන සිහි කරනවා නම්, කුරිරු මිනී මැරුමක ඡායාරූපයක් දුටු විට, ඒ ගැන කම්පාවන්නෝ ද, නිහඬව සිටින්නෝ ද එක සේ සිටිති. ඒ නිහඬව සිටින්නන්ගෙන් බහුතරයක් එසේ ඉන්නේ විස්සෝපයෙන් තුෂ්නිම්භූත වී හෝ මුව ගොළු වී හෝ නොවේ. ඔවුන් නිහඬව සිටින්නේ ඒ අදාල මරණය නිහඬව අනුමත කරමිනි.

මේ අතර තව පිරිසක් කරන්නේ මිනී මැරුම සනාථ කෙරෙන ඡායාරූප ගත් කැමරාවේ වර්ගය හෝ නාභිදුර හෝ වැනි තාක්‍ෂණික කරුණු මතු කිරීමයි.

පශ්චාත් ජනාධිපති ඡන්ද වාතාවරණය තුල ද එළෙස නිහඬව සිටින්නන් ද, කැමරාවේ පිරිවිතර සොයන්නන් ද එමට ය.

රාජපක්‍ෂ නැවත ඡන්දයකට ඉදිරිපත් වුවහොත්, දැනට හඳුණාගෙන ඇති ජාතිවාදීන් පිරිසට අමතරව තවත් කීප දෙනෙක් හෙළිදරව් වෙන්නට ඉඩ ඇති බව පෙනේ.

මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන අයට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්.

තම නීත්‍යානුකූල සේවා කාලය නිම වෙන්නට තව වසර දෙකක් ම තිබිය දී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හදිසි ජනාධිපති ඡන්දයක් ජනවාරි අටවෙනි දින පැවැත්වූයේ ඇයි ද කියා දන්නවා නොවේද?

ඒ, පසුගිය දෙසැම්බර් මාසය සහ ජනවාරි මාසයේ අටවෙනිදා දක්වා කාලය ජ්‍යෝතිශ්‍යානුකූලව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ගේ ජීවිතයේ උච්ඡතම අවස්ථාව නිසා ය.

ඡන්දයක් දිනනවා නම්, ජ්‍යෝතිෂ්‍යයට අනුව, දිනන්න තිබුණේ ඒ කාලයේ දී ය.

එතැනින් ඔබ්බට ඇත්තේ පල්ලම් බැසීමේ කාලයයි!

(image: http://evil.gua-le-ni.com/)

Wednesday, 18 March 2015

කාර්තු අවසාන තරගය නැරඹීමට යමි! - Quarter final time in Sydney


"ෆයිනල් මැච්" එක යනු අවසාන තරගය යි. ඒ අනුව "සෙමි-ෆයිනල්" යනු අර්ධ අවසාන තරගය වේ. නමුත් මේ සඳහා සිංහලෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අවසාන පූර්ව එනම් අන්තිමට-එකට-කලින්-එක කියා ය.

ඒ අනුව නම්, "ක්වාටර් ෆයිනල්" යනු අන්තිම-එකට-කලින්-එකට-කලින්-එක, අවසාන ද්වි පූර්ව විය යුතුයි. නමුත් භාවිත යෙදුම වන්නේ අර්ධ අවසාන පූර්ව යන්නයි.

ඒ මොනවා වුනත්, මේ සුලබ මාතෘකාවට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කරනු වස්, "ක්වාටර් ෆයිනල් මැච්" එකට කාර්තු අවසාන තරගය කීවාට මොන වරදක්ද කියා මට සිතුනි. ක්වාටර් කියන්නේ කාර්තුව බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් අද කාර්තු අවසාන තරගය නැරඹීමට යාමට මම අර්ධ දින නිවාඩුවක් ගන්නෙමි. උදේ පාන්දර ම උතුරු සිඩ්නි නගරයේ පිහිටි කාර්යාලයට ගොස් හදිසි රාජකාරියක් තිබේ නම් ඒ පිළිබඳව කටයුතු කර, දිවා ආහාරයෙන් පසුව නගරයේ දකුණේ පිහිටි සිඩ්නි ක්‍රිකට් පිටිය වෙත යමි.

සතියේ දිනයක් නිසා, මෙවර මා තරගය නරඹන්නට යන්නේ කලින් දිනයේ මෙන් කණ්ඩායමක් සමග නොව තනිවම ය. මේ සඳහා, ප්‍රධාන ලකුණු පුවරුව අසලම, පිටියට යාබද කොටසක, පුටුවක් සඳහා ටිකට්පතක් වෙන් කර ගත්තෙමි.

තරගය ඇරඹෙන්නේ පස්වරු දෙක හමාරටය. එතැන් සිට රාත්‍රී දහය දක්වාම එහි රැදී සිටිමින් ඉතා තරගකාරී තරගයක් නැරඹීමට අවස්ථාව ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

නමුත් ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

අද තරගයේ වැඩි වාසිය ඇත්තේ දකුණු අප්‍රිකා පිළට බව ඕස්ට්‍රේලියාවේ බුකිකාරයින් ගේ අදහස බව පෙනේ. ඒ නිකම්ම නිකම් වැඩි වාසියක් නොව හතර ගුණයක වැඩි වාසියකි.

එනම්, දකුණු අප්‍රිකාවේ දිනුම වෙනුවෙන් තබන ඩොලරයක ඔට්ටුවක් සඳහා ඩොලරයක් සහ ශත හතලිස් පහක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ දිනුම වෙනුවෙන් තබන ඩෙලරයක ඔට්ටුවක් සඳහා ඩොලර් දෙකයි ශත හැත්තෑ හයක් ගෙවීමට බුකිකාරයින් සූදානම් ය. මීට කලින් මා නැරඹීමට ගිය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවෙ අතර තරගය සඳහා ද බුකිකාරයින් ලබා දුන්නේ ද මේ හා සමාන අගයන් බව මගේ මතකයයි.

බුකිකාරයින් බිස්නස් කරන්නේ පාඩු ලබන්නට නොවේ. ඔවුන් ඔය අගයන් තීරණය කර ඇත්තේ, ක්‍රීඩකයින් ගේ තත්වය, පිටිය, කාලගුණය, සංඛ්‍යා ලේඛන යනාදී සියළුම සාධක සළකා බලා ආයුගණක ක්‍රමවේදයන් අනුව ය.

ඒ කෙසේ වෙතත්, කවුරුත් කියන පරිදි, ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

මගේ පක්‍ෂග්‍රාහී පුරෝකතනය නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට, බුකිකාරයින් ගේ නිගමනයට වඩා වැඩි, ඉහල සම්භාවිතාවක් ඇති බවයි!

ලංකාවේ විශ්වාස කෙරෙන විදියට නම්, ශ්‍රී ලංකා පිලේ තරග ජය සඳහා වැදගත්ම සාධකයක් වෙන්නේ ජනාධිපති තරගය නැරඹීමට යෑම හෝ නොයෑමයි.

අළුත් ජනාධිපති මෛත්‍රීපාල ක්‍රිකට් පිළට සුභ පතා ඇත්තේ ස්කයිප් මගින් බව දුටුවෙමි. එය අපේ ක්‍රීඩා ලෝලි ටොයියන් ගේ මෙන්ම, මොනවා කිව්වත්, ක්‍රීඩා ලෝලී බයියන් ගේ ද සතුටට කරුණක් බවට කිසිදු සැකයක් නැත!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිඩ්නි නගරය සඳහා වූ කාලගුණ අනාවැකිය මෙසේය.


ප/ප/ලි:
අළුත්ම අනාවැකිය සඳහා:
http://www.bom.gov.au/nsw/forecasts/sydney.shtml


(image: http://www.worldcup2015updates.com/)

Sunday, 1 March 2015

ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness


  Aren't we all getting fat?

පෙරේදා ලියා පළ කළ මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk! යන සටහනෙන් කීමට මා අදහස් කළේ, එදත් අදත් අපේ බුද්ධාගංකාර දේශපාලුවන්, අපේ ඡන්දයෙන් තනතුරුවලට පත්වෙන්න කලින්, ඒ සඳහා නොපෙනෙන අන්‍යාගමික දෙවිවරුන්ට බාර හාර වෙන්නටත්, ඉන්පසු ඒ බාර ඔප්පු කිරීමටත් අපේ ම සල්ලිවලින් කෝවිල් ගානේ රස්තියාදුවීමේ තියෙන අශික්ඛිතබවයි.

අද මේ මා කියන්නට යන්නේත් ඒ ආකාරයේ ම කතාවකි.

මේ වසර 1982 ඔක්තෝම්බරයේ පැවති ලංකාවේ පළමුවෙනි ජනාධිපති ඡන්දයේ මුල් දින කිහිපයයි. මේ ජනාධිපති ඡන්දය සඳහා, යුඇම්පීයෙන් එවකට බලයේ සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්දෙනත්, සිරිලංකා එකෙන්, එහි පාරම්පරික නායිකාව වූ සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක ගේ ප්‍රජා අයිතිය ඇය කලින් අගමැතිව සිටි සමයේ බලය අයුතු ලෙස භාවිතා කිරීමේ වරදට දඬුවම් ලෙස තහනම් වී තිබුණු නිසා, හෙක්ටර් කොබ්බෑකඩුව නම් හිටපු ඇමතියෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයින් වශයෙනුත්, ඔවුන් සමග නොව එකිනෙකා හා තරග වදින්නට තවත් අපේක්‍ෂකයින් පස් හය දෙනෙකුත් ඉදිරිපත් වී සිටියහ.

පොඩි කාලයේ සිටම යූඇම්පීකාරයෙකු වුණත්, මේ වන විට මම ඒ මෝඩකම් අතහැර දමා සිටියෙමි. එයට ආසන්න ම හේතුව වූයේ 1980 ජූලි වැඩ වර්ජනය හා ඒ කාලයේ සිදුවෙමින් පැවතුණු තවත් විවිධ දේ පිළිබඳව මට ඇතිවී තිබුණු ප්‍රශ්න රාශියකි. ඒ කතා පසුවට තබමි.

ඡන්දය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී දින කිහිපයකට පසු ගම්පහ පැවති සිරිලංකා එකේ ඡන්ද රැස්වීමක් බලන්නට මා ගියේ, ඔවුන් බලයේ සිටි සමයේ නොදකින් යන ධනාත්මක චින්තන ප්‍රාර්ථනයෙන් නිරතුරු පිදුම් ලබමින් සිටි පක්‍ෂයක් වුණත්, පසුගිය වසර තුන හතරක කාලය තුළ ඔවුන් ගේ කිසියම් හෝ වෙනසක් හොඳ අතට වී ඇතිදැයි දැන ගැනීම පිණිසය.

රැස්වීම පැවැත්වුණේ ගම්පහ නගර සභා පිටියේ ය. වේදිකාව සාදා තිබුණේ නගරය සහ දුම්රිය මාර්ගය පැත්තේ කොනට වෙන්නට බව හොඳින් මගේ මතකයේ ඇත. මේ පිටියේ ම මා නරඹා ඇති වෙනත් සිරිලංකා රැස්වීමක වේදිකාව සාදා තිබුණේ නගරයෙන් විරුද්ධ කොනේ චිත්තානන්ද ලා පදිංචිව සිටි නිවස පැත්තට වෙන්නටයි. ඒ රැස්වීමේ දී සූරියප්පෙරුම කළ කතාව ගැන ද මට හොඳ මතකයක් ඇත. එය ද පසුවට තබමි.

මා 1982 සැප්තැම්බර යේ ගම්පහ නගර සභා පිටියේ පැවති ඒ ඡන්ද රැස්වීම නැරඹීමට ගොස් මද වේලාවක් යන විට ප්‍රධාන කථිකයා, එනම් හෙක්ටර් කොබ්බෑකඩුව, එහි පැමිණි අතර තවත් මද වේලාවකට පසු ඔහු ගේ වාරය පැමිණියේ ය.

"ගම්පහ ආසනයේ වෙසෙන නෝනාවරුනි මහත්වරුනි", කොබ්බෑකඩුව සුපුරුදු අවසර ගැනීම් යනාදියෙන් අනතුරුව තම කතාව ඇරඹීය.

"මා පසුගිය දාහත්වෙනිදා ජනාධිපති ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමෙන් පසු කෙළින්ම ගියේ කතරගමටයි. ඒ යන අතරතුර දී මට හමුවුණා විශාල පිරිසක්. කතරගම දී මා, කතරගම දෙවියන් ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඒ කටයුත්තෙන් පසු මට ස්ථිරව වැටහුණා ලබන මස විසිවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දයෙන් මට ජයග්‍රණය ලැබෙන බව."

"ආ, ඇත්තද, එහෙනං ඉතිං අපේ ඡන්දේ ඕනෑ නෑනේ, ඔහේ දෙයියං ගේ පිහිටෙන් දිනන්නකෝ!" මට සිතුණි.

ගම්පහ ආසනයේ කෙසේ වෙතත්, රට පුරාම බහුතරයක් ඡන්දදායකයින් එලෙස සිතන්නට ඇත. කොබ්බෑකඩුවට ලබාගන්නට හැකි වූයේ ප්‍රකාශිත වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 40%කටත් වඩා අඩුවෙනි.

සමහර විට දෙවියන් ගේ පිහිටෙන් හෝ බොහෝ විට එසේ අමනුෂ්‍ය පිහිටාධාරයක් නැතුව, ජේආර් ජයවර්දෙන පහසුවෙන් ජනාධිපති ඡන්දය ජය ගත්තේ ය.

ඒ අතර, සුළු අපේක්‍ෂකයින් එකිනෙකා හා කළ තරගයෙන්, ජේආර් ජයවර්දෙන ගේ වචනවලින් කියනවා නම් "ජාතික විමුක්ති පෙරමුණේ" අපේක්‍ෂක "රොහාන් විජේවීර" ජයගත්තේ ය.

මනුෂ්‍යයින් නියෝජනය කිරීම පිණිස ජනාධිපතියෙක් හෝ මන්තිරිලා හෝ තෝරාගන්නට පැවැත්වන ඡන්දවලින් තමන්ට ජය ලැබේවායි පතමින්, මනුෂ්‍යයින් නොවන, දෙවියන් වැනි අමනුෂ්‍යයින් ගේ පිහිට පතන දේශපාලුවන්ට පාඩමක් උගන්නවන්නට අපේ බහුතරයට කවදා හැකිවේද?

-රසිකොලොජිස්ට්

(image: http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_1982#mediaviewer/File:Sri_Lankan_presidential_election_1982.png)

Friday, 27 February 2015

මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!


දැන් මෙය තරමක් පරණ කතාවකි. නමුත් කාලීනබව ගැන නොතකා ලියන්නට සිත් විය.

ලංකාවේ හිටපු ලොක්කා සහ අළුත් ලොක්කා දේවාලයක තප්ලම් ලා ගෙන මිත්‍යා බලවේගයක පිහිට පතන අයුරු දැක්වෙන ඉහත ඡායාරූප ද්වය සංසන්දනය කෙරුණු සටහන් අන්තර්ජාලයේ සහ විශේෂයෙන් ෆේස්බුක් අවකාශයේ සංසරණය වී දැන් සතියක් පමණ වේ.

ඒ ඡායාරූප දුටු විට මට ඉබේම කියවෙන්නේ, ප්‍රතිචාරය ලෙස ලියවෙන්නේ, "නොදකින්" කියා ය.

"නොදකින්" යනු, නරක වචනයක් නොවේ. එහි තේරුම (මෙවැනි අප්‍රසන්න දර්ශනයක් යලිත් වරක්) දැකීමට නොලැබේවා යන්නයි. එය ධනාත්මක ප්‍රාර්ථනයකි!

මා ඒ දිනවල ෆේස්බුක් අවකාශයේ දුටු ඒ ආකාරයේ සංසන්දනාත්මක ඡායාරූප ද්වය පසුබිම් කරගෙන "එකම පසුගාමී සමාජ ක්‍රමයේ එකට තෝම්බුවේ බැඳපු එළ සහ මී හරක් දෙන්නා" යන සටහන ද සහිතව සැකසුණු රූපයක් සුපුරුදු "නොදකින්" යන ප්‍රතිචාරය ඇතුලත් කර මගේ මුහුණු පොතේ මිතුරන් අතරේ බෙදා හැරියෙමි.


එයට ප්‍රතිචාරයක් දක්වන මගේ එක් මිතුරෙකු කියා තිබුණේ "අං තට්ටුවක් විතරයි අඩු!" කියා ය.

එය දැක මට අවවාදාත්මක පිළිතුරක් දෙන වෙනත් මිතුරෙකු මෙසේ ලියා තිබුණි.
"මේ දෙමල සංස්කෘතියේ කොටසකි. උඹලා ගේ මේ අසංවේදී කමෙන්ටු නිසා දෙමල මිනිසුන් ගේ හැඟීම්වලට ගැරහීමක් වෙනවා යැයි සිතෙන්නේ නැතිද?

මේ මිනිසුන් දෙන්නා කවුරු වුනත්, අපේ රටේ ජනතාව ගේ බහුතර ඡන්දයෙන් පත්වූ අයයි. මිනිසුන් සිතුම් රටාව වෙනස් කිරීම එකකි, නමුත් හැම දේටම ඇඟිලි ගසා සිනාසීම වෙනත් දෙයකි."
ඉංගිරිිසියෙන් ලියා තිබුණු, ඉහත අවවාදාත්මක ප්‍රතිචාරයේ දෙවෙනි කොටස මට නම් තවමත් අප්‍රභංශයකි. පැහැදිලි මුල් කොටස ගැන සිතා මම පහත පිළිතුර ලියූවෙමි.
"මේ දෙමල සංස්කෘතියයි කීම නොමග යවන ප්‍රකාශයකි. මේ හින්දු ආගමික ස්ථානයකි. මේ මිනිසුන් නිරත වෙන්නේ හින්දු ආගමික කටයුත්තකයි.

මට මේ ගැන ඇති ප්‍රශ්න මෙසේ ය.
  1. මේ හාදයෝ දෙන්නා, කෛයිරාටිකයෝ ය. මුං ලංකාවේ දී දෙවියන් ඇදහීමක් නැති තෙරුවන් සරණ ගිය බෞද්ධයින් ය. නමුත් ඉන්දියාවේ දී මෙලෙස දේවාලවලට ගොස් දෙවියන් සරණ යති.
  2. මුං නිසැකවම මේ ගමන් ගොස් ඇත්තේ ලංකාවේ බදු ගෙවන්නන් ගේ මුදලිනි. ඉන්දියාවේ මිනිසුන්ට ද මේ සඳහා (ආරක්‍ෂාව වැනි කටයුතු) පිරිවැය දැරීමට සිදුවී ඇත.
  3. කෝවිල්වලට ගොස් බාර හාර වීමෙන්, පූජා පැවැත්වීමෙන් ඡන්ද දිනිය හැකිය යන මිත්‍යාව මුං අදහති.
  4. රජය සහ ආගම යනු එකට ඈඳිය යුතු නොවන සංස්ථා ද්වයක් ලෙස මම දකිමි. එනිසා, දේශපාළුවන්ට පුද්ගලිකව තමන්ගේ ආගම් ඇදහිය හැකි නමුදු, ප්‍රසිද්ධියේ කිසිදු ආගමකට හෝ ආගම් කිහිපයකට වැඩි ඇල්මක් ලැදියාවක් නොදැක්විය යුතුය."
ඉහත ඡායාරූප දකින විට "නොදකින්" ධනාත්මක ප්‍රාර්ථනය මගේ මුවට නැගෙන්නේ ඇයි දැයි ඉහත සටහනෙන් පැහැදිලිවෙනු ඇත.

-රසිකොලොජිස්ට්

(images: http://www.prokerala.com/news/photos/tirupati-president-of-sri-lanka-mahinda-rajapaksa-248520.html and http://www.newswala.com/India-National-News/Sri-Lankan-President-M.Sirisena-visits-Lord-Venkateswara-temple-in-Tirumala-137555.html)

Friday, 20 February 2015

ඉන්දියානු අගමැති මෝදි ගේ බිරිඳ අමු මෝඩියක් ද? - Is Indian Prime Ministers wife a real "Modi"?


නිදහස ලැබූ දිනවල සිට ඉන්දියාවේ බලයේ සිටි ඉන්දියන් ජාතික කොන්ග්‍රසය සහ එහි අගමැති ඉන්දිරා ගාන්ධි පරදවා 1977 දී ජනතා පක්‍ෂය බලයට පැමිණ එහි නායක මොරාජි දේශායි අගමැති වීම එවකට ලංකාවේ විපක්‍ෂයේ සිටි යූඇම්පීයට ඉතා ආශ්වාදයක් ගෙනදුන් සිදුවීමක් විය.

එයට මූලික හේතුව, අසල්වැසි රටක කලක් තිස්සේ පැවතුන රජයක බිඳ වැටීම යන කරුණ ලංකාවේ විපක්‍ෂයට විශාල ජවයක් ගෙන දීම වූවද, ඉන්දිරා ගාන්ධි නම් ගැහැණිය ලැබූ පරාජය සහ ඇගේ කලෙක සිට පුද්ගලික මිතුරියක් ද වූ ලංකාවේ අගමැති සිරිමා බණ්ඩාරනායක නම් ගැහැණිය නුදුරු අනාගතයේ දී ලැබීමට නියමිත පරාජය සමාන කරමින් දේශපාලන කතාවලදී යම් කුරිරු සතුටක් ලබාගන්නට, කාන්තා නායකත්වයක් පැත්ත පළාතකවත් නො තිබුණු යූඇම්පීයට, හැකිවීම ද වැදගත් කාරණයක් විය.

නැවතත් 2014 දී සෑහෙන දුරට මේ ආකාරයේම තත්වයක් ඉන්දියාවේ උදාවුණි. එනම් දශකයකට වැඩි කාලයක් බලයේ සිටි කොන්ග්‍රස් පක්‍ෂය සහ අගමැති මන්මෝහන් සිං පරදා භාරතීය ජනතා පක්‍ෂයේ නරේන්ද්‍ර මෝදි බලයට ඒමයි.

ඒ ඉන්දියානු දේශපාලන පෙරලිය, ඒ දිනවල ලංකාවේ බලයේ සිටි, ඉදිරියේත් පරම්පරා ගණනාවක් බලයේ සිටීමට ලැබේයැයි සිතා සිටි, සිරිලංකා පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණට පොඩි කණේ පහරක් එල්ල කළේ ය.

මෙයින් රිදුණු අපේ සමහරු ඉන්දියන් අගමැති මෝදිට හිතාමතා ම "මෝඩි" යැයි අමතමින් මෝඩ සොමියක් ලබන්නට පටන් ගත්හ.

ඉන්දියානු අගමැති තනතුරට පත්වී දින සියය පන්නා දැන් දින දෙසිය පනහක් පමණ ගතවී තිබුණත් මෝදි තවමත් ඉතා ජනප්‍රිය නායකයෙකි. පසුගිය නොවැම්බරයේ ඕස්ටේ‍ර්ලියාවේ පැවති රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වෙන්නට පැමිණි අගමැති මෝදි ඉන් පසුව සිඩ්නි නගරයේ ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී කතා කරනු අසන්නට මෙරට වසන ඉන්දියානුවෝ 20,000 පමණ සහභාගී වූහ.

මෝදිට හිතාමතා ම "මෝඩි" කීම හුදෙක් විහිළුවක් ම වුණත්, පසුගිය දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ කියවන්නට ලැබුණු ආරංචිවලට අනුව, මෝදි ගේ බිරිඳට නම් "මෝඩි" කියා කීම සුදුසු යැයි මට සිතිණි.

නරේන්ද්‍ර මෝදි ඔහුගේ නීත්‍යානුකූල බිරිඳවන ජශෝධාබන් සමග විවාහ වී ඇත්තේ වර්ෂ 1968 දී දෙදෙනාම වයස දහ හතේ, දහ අටේ නව යොවුන් වියේ දී ය. නමුත් මෝදි, තම බිරිඳ සමග විවාහ දිවිය ගත කර ඇත්තේ තෙවසරක් පමණි. ඒ වසර තුන තුල දී ද ඔවුන් අතර එක්ව වීසීමක් නොවූ බවද කියවේ.

ඉන් පසු ඔහු කර ඇත්තේ එක්තරා ආකාරයක අභිනිෂ්ක්‍රමණයකි. එනම්, උග්‍ර හින්දු භක්තිකයෙක් සේ අනගාරික ජීවිතයක් ගත කරන්නට අදිටන් කරගත් මෝදි, බිරිද හැර දමා හින්දු නිකායක සේවකයෙකු වෙන්නට හිමාලයට ගොස් ඇත. ඔහු ගේ දේශපාලන දිවියට අඩිතාලම වී ඇත්තේ ඒ ආගමික සේවාවයි.

පසුගිය වසර හතලිස් ගණනට ම ඔවුන් දෙදෙනා හමුවී හෝ කතාබහ හෝ කර නැති නමුත්, නීතියෙන් ද වෙන්වී නැති නිසා, නීත්‍යානුකූලව ජශෝධාබන් යනු මෝදි ගේ බිරිඳ වේ. නමුත් ප්‍රායෝගිකව එය විහිළුවක් පමණි.

ඊටත් වඩා විහිළුවක් වනුයේ, තමන් තවමත් මෝදි වෙනුවෙන් හින්දු බිරිඳක් විසින් කළ යුතු යැයි සැලකෙන චාරිත්‍ර විධි අනුගමනය කරන බවටත්, ඔහු ගේ දේශපාලන ජයග්‍රහණයන් පතා දෙවියන් අයැදින බවටත්, කෙදිනක හෝ ඔහු තමා හමුවට පැමිණ කතා කරනු ඇතැයි බලා සිටින බවටත් ජශෝධාබන් කරන ප්‍රකාශයි.

ඒ අසා මට නම් හිතුණේ, අගමැති මෝදි කෙසේ වෙතත්, මේ අගමැති බිරිඳ නම් සැබෑ මෝඩියක් බවයි.

නිකම්ම නිකම් මෝඩියෙක් නොව මැටි මෝල් අමු ම අමු මෝඩියෙක් බවයි!

ඇය දැන හෝ නොදැන හෝ කරන්නේ සමස්ත ලෝක කාන්තා බලවේගයට අපහාසයක් බවයි.

-රසිකොලොජිස්ට්
(මෝදිලා ගේ විස්තර අන්තර්ජාලයෙනි
ඒ විස්තර සිංහලෙන් පරිවර්තනය කර ලියන ලද ලිපියක් මෙන්න.)



(image: http://farzana-versey.blogspot.com.au/2014/05/to-mrs-modi-first-lady.html)

Saturday, 24 January 2015

මහින්ද රාජපක්‍ෂ කෙරෙහි ඇති අන්ධ භක්තියෙන් තවමත් දුක් විඳින අපේ අංකල්ලා ගේ සහ ඇන්ටිලා - They deserve our sympathy!


මේ ලිපිය ලියන්නට ආසන්නම හේතුව වූ ඉහත චිත්‍රණය පසුගිය දිනයක ෆේස්බුක් අවකාශයේ හුවමාරු වූවකි. එහි නිර්මාතෘ හෝ මුලින් ම බෙදාහැරිය පුද්ගලයා "පොඩි එකා" නම් වේ.

ඒ කතාව කියන්නට පෙර යම් කරුණක් විස්තර කළ යුතුය.

"මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා", "කැපුවත් ලේ කොල පාටයි", "කැපුවත් ලේ නිල් පාටයි" ආකාරයේ දේශපාලනික සත්වයින් බහුලව ලක් දෙරණේ සිටියේ කාලෙකට පෙර බව මගේ අදහසයි. පසු කලෙක දේශපාලුවන් කරන්නට පටන් ගත් ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පක්‍ෂ මාරු නිසා එකී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද වල ගහණය මදින් මද අඩුවෙන්නට පටන් ගෙන ඇති වුව ද තවමත් උන් එන්ඩේන්ජර්ඩ් තත්වයට පත් වී නැත.

මේ අතර ඉහත කී "මැරුවත් යූඇම්පී", "මැරුවත් සිරිලංකා" සත්ව ප්‍රභේද දෙකේ දෙමුහුමකින් ඇති වූවා යැයි සැක කළ හැකි අළුත්ම සත්ව කොට්ඨාශයක් බිහි වී ඇති බව මට 2010 ජනාධිපති ඡන්දය කාලයේ සිට මදක් වැටහෙමින් තිබී මෙවර ජනාධිපති ඡන්දයේ දී ස්ථිර විය.

මේ නව ප්‍රභේදයේ දේශපාලන සත්වයින් හඳුනා ගත හැකි නිවැරදි ක්‍රමය නම් ඔවුන් අන්ධ භක්තියෙන් යුතුව තම නායකයා කරන වැඳුම් පිදුම් වේ.

පෙර කී පරිදි 2010 ජනාධිපති ඡන්දයේ දී මා මුලින් දුටු පරිදි මේ දේශපාලන සත්වයින් ගෙන් එක් පිරිසක් "අපේ රට ගලවා ගත් මහින්ද රාජපක්‍ෂට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්නට පටන් ගෙන සිටියහ. අනෙක් පිරිස, "අපේ රට ගලවා ගත් යුධ විරුවා සරත් ෆොන්සේකාට" අන්ධ භක්තියකින් වන්දනා මාන කරන්ට පටන් ගෙන සිටියහ.

මේ දෙවන සත්ව කොට්ඨාශය වසර පහකට පසුව වුවද තවමත් අඩු ගහණයකින් වුවද ජීවත් වෙති. ඒ අතර, පෙර කී මුල් සත්ව කොට්ඨාශය ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවක් නොවී පසුගිය ජනාධිපති ඡන්දය දක්වාම ජීවත් වූහ.

* * *

ජනාධිපති ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී අළුත් ජනාධිපති දිවුරුම් දීමෙන් පසු දිනක මම හිටපු ජනාධිපති ගේ රැව රුගත් චිත්‍රණයක් වත් පොතේ දැක එය මගේ මිතුරන්ට දැක ගන්නට බෙදා හැරියෙමි. එහි දැක්වුණේ වශී බෝල කරකවමින් ඡන්ද පොලේ සරණ මහින්ද රාජපක්‍ෂ ය.



ගුත්තිලයෙන් කවි ද උපුටා දක්වමින් මගේ එක් අංකල් කෙනෙක් එයට පිළිතුරු දෙමින් කියා තිබුණේ කෙලෙහි ගුණ නොදන්නා අය ගැන ආඬපාලියකි.

ඒ කවි මෙසේය.
කෙළෙහි ගුණ සින්දේ
මූසිල අන්ද මන්දේ
ජයෙහි ලොබ බැන්දේ
තමන් වීනා තත ද සින්දේ

අනුුවණ කම් කළේ
ගුරුන් ගුණ සිහි නොකළේ
නද ඉන් නොපතළේ
අයසමය මුළු දියත පතළේ
"අංකල් මොකක් ද මේ කියන්නේ? ගුත්තිල කාරයාත් වශී බෝල දෙකක් දෑතින් අරගෙන, මූසිල ගේ රූඩකයක් එක්ක ද වීනා වාදන තරගයට ගියේ?" මම විමසුවෙමි.
"The contention was to stress on the malicious and the vindictive manner in which some of the propaganda against national leaders, was disseminated, in the electronic media in recent times. It is very convenient to criticise. Some seem to be in the opinion that they are hearing and seeing human weaknesses and l lapse for the first time in history. The question is who will cast the first stone at the sinner!"

කා හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන දන හට නිතර වරදී
අංකල් පවසා තිබුණි.

පසුගිය සමයේ රූපවාහිනිය සහ අයිටීඑන් එක පමණක් බලමින් සතුටු සිතින් සිටි අපේ අංකල් කෙළෙහි ගුණ සලකා ලද පරාජයෙන් දුක්ඛිතව සිටින බව පෙනුණු නිසා මම තුවාලය නො පාරවා නිහඬ වුණෙමි.

වත් පොත් දැක මා ඊලඟට මිතුන් අතරේ බෙදා ගත් මේ ආකාරයේ ම ඡායාරුපය ඒ දිනවල පරාජිත ජනාධිපති විසින් කරමින් තිබූ ජාතිවාදී ප්‍රකාශවලට යම් පිළිතුරක් සපයා තිබුණකි.



එය දුටු අපේ ඇන්ටි කෙනෙක් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
"නිදහස් අධ්‍යාපනය ලබා දුන් කන්නංගර මැතිඳුන්ටත් පරාජය සහ අවලාද දුන් අපේ ම සිංහලයින් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා නිදහස දුන් වීරයින්ට මොනවා නොකියයි ද?"
මේ ඇන්ටී ද, පසුගිය දිනවල රූපවාහිනිය සහ අයිටීන් එක බලමින් සිට කෙළෙහි ගුණ සලකන්නට ඡන්දය දී පරාජයේ තුවාල සහිතව දුකෙන් සිටින අයෙකි.

මගේ පිළිතුර වූයේ මෙයයි.
"කන්නංගර කියන්නේ ජාතිවාදී, දූෂිත, ජනඝාතක, වශී බෝලකාර, චෞරයෙක් කියා මා නම් විශ්වාස කරන්නේ නෑ!"
මේ පැන්ෂන්ලාභී, බණ දහමින් දැහැමෙන් සෙමෙන් කල් ගත කරන, ඇන්ටිලා ගේ අංකල් ලා ගේ සිතුම් පැතුම් මට තරමක් හෝ තේරුම් ගත හැක. අන්ධ භක්තියක ගැලී සිටින ඔවුන්ට මම අවංකවම අනුකම්පා කරමි.
නමුත් ඊලඟට සිදුවූයේ නම් මා නොසිතූ දෙයකි.

ඒ මේ චිත්‍රණය සම්බන්ධයෙනි.



එයට ප්‍රතිචාරක් දක්වන මගේ සම වයස් ප්‍රමාණයේ පසුවන ඇන්ටි කෙනෙක් මෙසේ කීවාය.
"What is the purpose of doing this type of things dear Rasika? To whom you are working for?"
මා ඇයට ලියූ පිළිතුරේ සිංහල අනුවාදය මෙලෙස දැක්විය හැක.
"ඔබ සිතුවේ මේ චිත්‍රණය මා නිමවූ එකක් කියාද? එය මා වත් පොතේ දැක අන් අය සමග බෙදා ගත්තේ යම් කිසි හේතුවක් ඇතිවයි.

පසුගිය දශවසරක මහින්ද රාජපක්‍ෂ සාප කාලය තුල ලංකාවේ ඔඩු දුවා ගිය පිළිකා දෙකක් වේ. එහි බලපෑම තව සෑහෙන කාලයක් සමාජයේ පවතිනු ඇත.

ඉන් පළමුවන්න නම්, මහින්ද රාජපක්‍ෂ විසින් රටේ පැවැත්මට අදාල තීරණ ගැනීමේ දී නීර්ණායකයක් ලෙස භාවිතා කළ යන්තර, මන්තර, හදි හූුනියම්, වශී බෝල සහ ජ්‍යෝතිශ්‍යයවැනි දේ ය. දෙවැන්න නම් කාල්පනික ලෙස දේශාභිමානී ලෙස පෙනෙන නමුත් තර්කාන්විතව බලන කළ මුග්ධත්වයේ ප්‍රතිමූර්තියක් බඳුව වූ ලෝකයේ අනෙකුත් රටවල්වලට ඇති කළ විරුද්ධාකල්පයයි.

විමලසේන යනු ඒ දෙවැන්න ප්‍රවර්ධනය කරමින් හැසිරුණු මුගටියා ය.

ඉහත චිත්‍රණය පසුගිය රජය විසින් ගෙන ගිය පෙර කී නින්දිත ක්‍රියා ද්වයම කදිමට සමච්චලයට ලක් කරයි."
එයට ඇයගේ පිළිතුර වූයේ මෙයයි.
"I don't know what to say but I totally disagree with you Rasika. You have left this country about 20 years now. Actually you people don't know what is going on here and what has happened to this country politically during last 20 years. Anyway I don't want to argue with you in this manner but I must say that we live in our country with proud, happy and peacefully after 2009 because of our President Mahinda Rajapaksa and country lovers (Upan Bimata Adaraya Karana) like Minister Wimal Weerawansa (Not Wimalasena)."
බඩගින්නේ සිටින කෙනෙකුට බණ කියා වැඩක් නැතුවා සේ ම, අන්ධ භක්තියෙන් තවමත් චෙෘරයින් වන්දනාමාන කරන අයෙකු සමග තර්ක කර පළක් නැත. සත්‍යාවබෝධය යනු තමන් ම වීර්යයෙන් කර ගත යුත්තකි.

එනිසා, "ස්තුතියි මිතුරිය" කියා මම නිහඬ වුණෙමි.

අන්ධභාවය සමච්චලයට ලක් කිරීම අමානුශික ක්‍රියාවකි. මේ අංකල්ලා ඇන්ටිලා සෑම දෙනාටම අපේ අනුකම්පාව හිමිවිය යුතුය.

-රසිකොලොජිස්ට්

Friday, 21 November 2014

ජනාධිපතිවරණයේ නැකත් බැලිල්ල නොහොත් රටට එදිරිව මම - Country Vs I


ඉහත ඡායාරූපය මා දුටුවේ අද උදයේ අන්තර්ජාලයේ සැරිසරද්දී ය.

එයින් දැක්වෙන්නේ ලංකාවේ ජනාධිපතිවරණය (නියමිත කාලයට කලින්) කැඳවීම සඳහා වූ ගැසට් නිවේදනයට අත්සන් තැබීම සඳහා සුභ මොහොත හෙවත් නැකත එලැබෙන තුරු සිය අත් ඔරලෝසුවලින් වේලාව බලමින් සිටින ජනාධිපති සහ ජනාධිපති ලේකම් ය.

මේ දර්ශනය දුටු විට මගේ හිතට නැගුණේ දැඩි දුකකි, කණගාටුවකි, අපුලකි.

එයට හේතුව නම්, ලංකාවේ සිදුවෙන දේ තීරණය වෙන්නේ කොහේවත් ඉන්නා නක්‍ෂත්‍රකරුවන් ගේ කැමැත්ත අනුව නොවේද කියා සිතට නැගුණු සිතුවිල්ලයි.

මේ ගැන මා මගේ ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කළෙමි.
ලංකාව දියුණු රටක් වීමට නම් (රාජ්‍යය සහ ආගම් පමණක් නොව) රාජ්‍යය සහ නක්ෂත්‍රය (ද) වෙන් විය යුතුය.
A country where the State is separated from (religion and) astrology is a developed country...!
මේ පුද්ගලික කටයුත්තක් නොවේ. රටටම බලපාන රාජකාරී කටයුත්තකි. ඔය ආකාරයට නැකතක් බැලිය යුතු යැයි කියා ව්‍යවස්ථාවේ කිසිසේත්ම සඳහන් නොවෙන බව අමුතුවෙන් කිව යුතුද?

මම නක්‍ෂත්‍රය විශ්වාස නොකරමි. බිරිඳ ද එසේම ය. අප තීරණ ගන්නා මගේ හෝ අපේ පවුලේ වෙනත් අයගේ කටයුතුවලට නැකැත් කිසිසේත්ම අදාල නොවේ.

මගේ අදහස අනුව නැකත එළැඹෙන තුරු ජනාධිපතිවරයා සහ ලේකම්වරයා කරන මේ විනාඩි කීපයක් හෝ කාලය මැරීම යනු මහා නාස්තියකි. මේ අයගේ සහ පිරිවර සේනාවේ පඩි නඩි සලකා බලන විට ඒ නාස්තිය රුපියල් ලක්‍ෂ ගණනක් වෙනු ඇත.

එසේ නැතුව නක්‍ෂත්‍රය නිවැරදි විද්‍යාවක් යැයි මොහොතකට සිතමු.

එසේ නම් මේ ජනාධිපතිවරයා කරන්නේ තමා ද අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනය කෙරෙන තමන්ට වාසිදායක පාක්‍ෂික ක්‍රියාවක් නොවේද? ඒ මේ නැකත සාදා ඇත්තේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා ගේ පුද්ගලික කේන්දරයට අනුව ඔහුට වාසිදායක වෙන පරිදි නිසාය.

සමහරවිට විරුද්ධ පක්‍ෂයෙන් ඉදිරිපත්වීමට නියමිත අයෙක් නිවරදිව දන්නේ නම් ඒ පුද්ගලායා ගේ කේන්දරයට අපල කාලයක්ම තෝරා ගන්නටද ඉඩ ඇත.

මා මිතුරෙකු සමග අද දවල් කාලයේ දී කතා බහ කරද්දී මේ ගැන සඳහන් කළෙමි.

"නැකත් කියන ඒවා නිවරදි විද්‍යාවක් නම්, ඔය අත්සන ගහන්න තිබුණේ ලංකාවේ කේන්දරය බලා, ඒ කේන්දරයට සුභ නැකතක් හොයා, ඒ අනුව නොවේද?" මම ඔහුට කීවෙමි.

"මෝඩ කතා කියන්න කියවන්න එපා රසික!" මිතුරා කීවේය. "රටට සුභ නැකතකින් අත්සන් කරන්න තරම් මෝඩ මොන ජනාධිපතිද? එහෙම ලංකාවට සුභ නැකතකින් අත්සන් කළොත් රට දිනනවා කියන්නේ මිනිහා පැරදෙනවා කියන එකනේ!"

මට කට උත්තර නැතිවිය.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි:
රට දිනවමු!