Showing posts with label කාලෝ ෆොන්සේකා. Show all posts
Showing posts with label කාලෝ ෆොන්සේකා. Show all posts

Monday, 2 September 2019

කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage, Carlo Fonseka!


මේ දිගු කලකට පෙර වූ සිදුවීමකි. අනුමාන වශයෙන් කියනවා නම් 1993 හෝ 1994 වසරේ දී පමණය. කලින් වෙනත් තැනක ලියා පළ කර තිබුණු මේ රසවත් කතන්දරය නැවත ලියා අද මෙලෙස රසිකොලොජියේ ද පළ කරන්නට හිතුණු හේතුව ඔබ සැම දනී.

ඒ කාලේ මා පදිංචිව සිටියේ ඇතුල් කෝට්ටේ බංගලා හන්දිය අසල නිවසක ය. එක සති අන්තයේ දිනයක අපරභාගයේ දී මම බොරැල්ල බලා යන පුද්ගලික බසයකට ගොඩ නැගුනෙමි. ඒ බංගලා හන්දියෙන් බස් නැවතුමෙනි. ජයවර්දෙනපුර රෝහල ප්‍රදේශයෙන් ඇරඹෙන මේ බසය ඒවන විට මගීන්ගෙන් පිරී තිබුණු අතර ඉතිරි වී තිබුණු එකම ආසනයේ මම හොඳින් හරි බරි ගැසී වාඩි වුණෙමි.

බස් රථයේ ඊළඟ නැවතුම කොටු බැම්ම පාර හෙවත් රැම්පට් රෝඩ් අසල ය. එතැනින් මගීන් කිහිප දෙනෙකුම බසයට ගොඩ වූ අතර ඒ කිසිවෙකුට ආසන නොලැබුණි.ඒ අය අතුරෙන් එක පුද්ගලයෙකු පැමිණ මා අසුන්ගෙන සිටි ස්ථානයට නුදුරෙන් සිට ගත්තේ ය.

මැදි වයස ද පසුකරමින් සිටි ඒ පුද්ගලයාට තිබුණේ තරමක් දැක පුරුදු මුහුණකි. නමුත් ඒ කවුදැයි මට එක්වරම සිතා ගත නොහැකි විය.

ඔහුගේ මුහුණ ගැන සිතමින්ම දෙනෙත් එහා මෙහා කරන අතර මා දුටුවේ මේ පුද්ගලයාගේ අතේ තිබූ පොඩි ප්‍රමාණයේ ඉංග්ලිෂ් සඟරාවකි. "සිලෝන් මෙඩිකල් ජර්නල්" යනුවෙන් එහි සඳහන් විය.

මට එක් වරම මේ කවුදැයි වැටහිණි.

මේ වෙනින් කවුරුත් නොව කාලෝ ෆොන්සේකා ය!

එදින හැරුණු විට මා කාලෝ ෆොන්සේකාව දැක ඇත්තේ දින තුනක දී පමණි. ඉන් එක් දිනක් වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග ප්‍රතිඵල අනුමත කරන පරීක්‍ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණු දිනයකි. ඔහු එදා එහි පැමිණ සිටියේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ලෙස ය. මා කාලෝ ෆොන්සේකාව දැක ඇති දෙවෙනි දිනය නම් 1994 මහ මැතිවරණයේ දී පොදු පෙරමුණට සහාය දීම සඳහා කලාකරුවන් නොහොත් නළාකරුවන් විසින් පිහිටුවාගත් සංවිධානක් මගින් නුගේගොඩ දී පැවැත්වූ ජන රැළියේ දී ය.

ඒ රැස්වීමේ දී කාලෝ ෆොන්සේකා සිත් ඇදගන්නා කතාවක් කළ බව මගේ මතකයේ ඇත. එහිදී ඔහු ගිනි ගන්නා ගෙයක් පිළිබඳව බුදුන් විසින් කියූවා යැයි පැවසෙන කතාවක් උදාහරණයට ගත්තේ ය පැවති යූඇම්පී ආණ්ඩුව වහා පලවා හැරිය යුතු යැයි පෙන්වා දීම සඳහා ය. තම මිතුරන් තමන්ව සරදමට හඳුන්වන්නේ ධම්මස්-සවන කාලෝ කියා බව ද එදා කාලෝ ෆොන්සේකා ම පැවසුවේ ය.

කාලෝ ෆොන්සේකා තරම් බණ දහම් මා නොදනිතත් මංගල සූත්‍රයේ එන පූජාච පූජනීයං වගේ යමක් කමක් මා ද දැන සිටි නිසා, මා කළේ අසුනෙන් නැගිට "වාඩි වෙන්න සර්" කියා අසුන ඔහුට පූජා කිරීමයි.

ඒ කාලයේ කාලෝ ෆොන්සේකාගේ වයස අවුරුදු හැටක් පමණ වෙන්නට ඇත. එය එතරම් නොහැකි” වයසක් නොවේ. එනිසා ම, මා ඔහුට මගේ ආසනය දීම ගැන ඔහුට තරමක ලැජ්ජාවක් ද ඇති වෙන්නට ඇත. කෙසේ හෝ කාලෝ ෆොන්සේකා මා දුන් ආසනය පිළිගත්තේ නැත. ඔහු එහි වාඩි නොවී පසෙකට විය.

එවිට ලැජ්ජා සිතුණේ මට ය. ඒ නිසා මා කළේ ආපසු අසුන් නොගෙන බසයේ ඉදිරියට යෑමයි. වෙනත් අයෙකු මා සිටි ආසනයේ වාඩි වෙනු මට ඇස් කොනකින් පෙනුණි.

තවත් ස්වල්ප මොහොතකින් අපේ බස් රථය කොට්ටේ පාරෙන් පාර්ලිමේන්තු පාරට අවතීරණ විය. සති අන්තයේ ඒ මාර්ගයේ තදබදයක් නොමැති අතර රියැදුරා රථය වේගයෙන් බොරුල්ල දෙසට ධාවනය කරන්නට විය.

වේගයෙන් ධාවනය වෙන රථවාහන තිරිංග තද කරන්නේ ද ඒ හා සමාන වේගයෙනි. ඊළගට එළැඹුණේ එවන් මොහොතකි. තරුණ මා ජාම් බේරා ගත්තෙමි. නමුත්, එක අතකින් ආසනයක කොනක් අල්ලා ගෙන අනිත් අතින් සිලෝන් මෙඩිකල් ජර්නලය රඳවාගෙන සිටි කාලෝ ෆොන්සේකා විසිවී ගොස් කාගේ දෝ ඔඩොක්කුවක ඉන්ද වෙනවා පෙනුණි.

අනේ පව්!

"පොර වෙන්නෙ නැතුව මං දුන්නු සීට් එකේ වාඩි වුණා නම් ඉවරයි නේද සෑර්?" කියා මට හිතුණි. පොඩි හිනාවක් ද මගෙ මූණට නාවෙමත් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
කාලෝ ෆොන්සේකා මුලින් සේවය කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, භෞතවේදය දෙපාර්තමේන්තුවේ ය. අප දන්නා කාලේ සිටම ඔහු මහාචාර්යවරයෙකි. ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එක යැයි එකල සාමාන්‍යයෙන් හැඳින්වුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන එහි කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව වෛද්‍ය පීඨයක් පිහිට වූ අවස්ථාවේ කාලෝ ෆොන්සේකා එහි පීඨාධිපති ලෙස සේවය ඇරඹුවේය.

පසු කලෙක, වයසට මොළේ කුරුවල් වීම නිසාත්, තමන්ගේ දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රතිපත්ති නිසාත්, කාලෝ ෆොන්සේකා දේශපාලනිකව නන්නත්තාර වූව ද, කොළඹ විශ්වවිද්‍යාලයේ සිට කැලණිය විශ්වවිද්‍යාලයට ගිය තවත් මහාචාර්යවරයෙකු වූ නලින් ද සිල්වා හා සසඳන විට දී නම් කාලෝ ෆොන්සේකා වීරයෙකි.

පදාර්ථය වගෙ විද්‍යා විෂයය නිර්දේශයේ තිබෙන පාරිභාෂික වචනයක් යොදා ගීතයක් ලිවීම ම කාලෝ ෆොන්සේකාගේ එක් වීරකමකි. අම්මා ගැන කියවෙන "පදාර්ථයට" පණ පොවා යන ඒ ගීතය අඩංගු වූයේ කාලෝ ෆොන්සේකා ලියූ ගී සහිත "කාලෝ-චිත" ගී කැසට් පටයේ ය. අවාසනාවකට මෙන් "පදාර්ථයට" පණ පොවා ගීතය ජනප්‍රිය නොවුණි. එසේ නමුත්, ඒ ගී එකතුවේ ම අඩංගු වූ "රත්තරං දුවේ" ගීතය නම් ඉතා ජනප්‍රිය විය.

බයි බායි කාලෝ ෆොන්සේකා.

බොන් වොයාජ්!

(image: https://kathandara.blogspot.com/2009/07/blog-post_11.html)

Thursday, 9 March 2017

ලෙලුම්ලා ගේ, කාලෝලා ගේ සහ අපේ අංකල්ලා ගේ "බෝධි පූජා" පිළිබඳ කතා දෙක තුනක් - Neo-Rationalists or anti-rationalists?


පසුගිය දින කිහිපය තුළ බෝධි පූජා පිළිබඳ ජොලි කතා කිහිපයක් ම අසන්නට ලැබුණි.

ඒවාට එක් මුලාශ්‍රයක් වූයේ, හදිසියේ ඇතිවුණු, නමුත් කාලයක් තිස්සේ පැවත ඇති, ආබාධයක් නිසා සැත්තකමට මුහුණ දෙන්නට සිදුවුණු මිතුරෙකුට සුවය පතා සිනුවර ලංකාරාමයේ දිනපතාම වාගේ පැවැත්වුණු බෝධි පූජා මාලාවකි.

මේ බෝධි පූජා මාලාව පැවත්වීම ඇරඹුණේ, මගේ මතකයේ හැටියට ඒ මිතුරා ගේ ශල්‍යකර්මයට පෙර දිනයේ සිට ය. ඒ සිනුවර දැඩි උෂ්ණත්වය නිසා පීඩා විඳි කාලයකි.
දැන් සති තුනකට පසු, අපට උදා වී ඇත්තේ දැඩි වැසි සහිත අඳුරු අහසෙන් යුතු සමයකි.

දිනයක් වැස්ස නිසා අපේ පොදු කටයුත්තක් කල් දමන්නට සිදුවුණු විට, පෙර කී බෝධි පූජා මාලාවට සම්බන්ධ වී තිබුණු මිතුරෙකු මෙලෙස කීවේ ය.

"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතුර දැම්මා. දැන් මේ මොර සූරන වැස්සේත් වතුර දාන්න ඕනැ ද මන්දා?"


මේ බෝධි පූජා මාලාව සංවිධානය කෙරුණේ, රෝගාතුරව ශල්‍යකර්මයකට භාජනය වුණු මිතුරා ගේ කළ්‍යාන මිත්‍රයෙකු විසිනි. මේ දෙදෙනා ම හොඳින් පිනට දහමට සිතැති සත්පුරුෂයින් ය.

ඒ සංවිධායක මිතුරා මට සති අන්තයේ මුණ ගැසුණි.

"රසික දන්නවද කතාවක්?" ඔහු මට කීවේ ය. "ඊයේ බෝධි පූජාව වෙලේ අපේ යාළුවෙක් මගෙන් අහනවා මචං දැන් අර වික්ටර් රත්නයාක ගේ කේස් එකත් උඹ ද මැනේජ් කරන්න යන්නේ කියලා!"

"මං ෆුල් හොල්මං වුණා ඒ හතර බීරි කතාව අහලා!!"

"පස්සේ තේරුම් කරලා දුන්නාමයි මං දැන ගත්තේ ඒ පවුල කඩන්න බෝධි පූජා තියන්න කියලා වික්ටර් ගේ පුතා කරපු ඉල්ලීම ගැන!!!"


බෝධි පූජා ගැන තුන්වෙනි කතාව කියවන්නට ලැබුණේ අද උදැසන ෆේස්බුක් සංචාරයක දී ය.

ඒ කතාවට අනුව, පසුගිය සති අන්තයේ කැලණිය විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් විසින් කැලණි පන්සලේ මහා බෝධි පූජාවක් සංවිධානය කර ඇත.

ඒ කාගේ හෝ විවාහයක් කඩාකප්පල් වෙන්න කියා ප්‍රාර්ථනා කිරීමට නොවේ.

එසේ ම, සයිටම් ආයතනය නැති කුජීත වී, භංගස්ථාන වී යන්නැයි කියා ප්‍රාර්ථනා කිරීමට ද නොවේ.

මේ බෝධි පුජාව පැවැත්වී ඇත්තේ එකී වෛද පීඨ ද්වයේ භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්යවරයෙකු වූ ද, පීඨාධිපතිවරයෙකු වූ ද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (හිටපු?) සභාපති වූ ද, මේ දිනවල අසනීප වී සිටින කාලෝ ෆොන්සේකාට සුවය පතා ය.

එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
රෝගාතුර අයට සුවය පතා කෙරෙන බෝධිපූජා පිළිබඳව මගේ අදහස වනුයේ, ඒවා කෙරෙන්නේ ඒ කටයුතු සංවිධානය කරන සහ සහභාගී වන අයගේ හිත සුව පිණිස බවයි.

එනම්, ඒ බෝධි පූජාවලින් ඔවුන් ගේ සිතට සහනයක් ලැබෙන්නේ, රෝගාතුරව සිටින තම ඥාතියා හෝ මිතුරා හෝ ගුරුවරයා හෝ සුව කිරීම පිණිස තමන්ට වෙනත් කිරීමට දෙයක් නොමැති වීමේ දුකට ය.

කසාද කඩා, පවුල් විසුරුවා හැරීම පිණිස සංවිධානය වෙන බෝධිපූජා වලින් නම් කවරෙකුට සහනයක් ලැබේදැයි මම නොදනිමි.

ප/ප/ලි:
අජිත් පැරකුම් ජයසිංහ විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔහු පහත අදහස දෙන පැණයක් අපට ඉදිරිපත් කර ඇත.

බෝධි පූජා ඔතරම් ගුණදායක නම්, බෝ ගස් ඔතරම් අගනේ නම් බෞද්ධයින් සැම දෙනාම තමන් ගේ ගෙවත්තේ බෝ ගසක් හිටුවා නොගන්නේ ඇයි?

(image: https://www.staff.uni-giessen.de/~gk1415/kovoor.htm)