
මෙය පැරණි කතාවකි.
වසර කිහිපයකට පෙර තමා එතෙක් ඇදහූ හෝ නොඇදහූ ආගම මාරු කර වෙනත් ආගමක් ඇදහීම අරඹන මිනිසුන් පිළිබඳ ලොකු කතාවක් ඇති වී තිබුණා ඔබට මතක ඇතැයි සිතමි.
ආගම යනු උපතින් අපට ලැබෙන රට, ජාතිය, ජාන, ලෙඩ රෝග වැනි දෙයක් නොවේ. උප්පැන්න සහතිකයේ ආගමක් ගැන සඳහනක් නැත්තේ ද ඒ නිසා ය.
ආගම යනු අප අඳින සරමක් හෝ කලිසමක් වැනි දෙයකි. තමන් කැමති දෙයක් ඇඳීමට, සරමෙන් කලිසමට මාරු වීමට සහ කලිසමෙන් සරමට වැසීමට නිදහස තිබිය යුතු ය. එය මූලික ප්‍රජා අයිතියකි.
ආගම් මාරු කිරීමට විරුද්ධව නීති ගේනවා යැයි කියා පාර්ලිමේන්තු ගිය උන්දලා ද, පසුව ඒ කතා අමතක කර දැමුවේ ඒ නිසා ය.
මීට දස වසරකටත් වඩා ඉහත ඒ සමයේ දී, මිතුරු නිවසක පැවති සුහද සාදයකට සහභාගී වීමට අපට සිදුවිය.
පිරිමින් පිරිස මද පමණින් දෂ්ඨ කරමින් සිටිය දී, "අයෑම් එ බුඩිස්ට්, අයි ඩොන්ට් ඩ්‍රින්ක්!" වර්ගයේ කාන්තාවන් පිරිසක් විසිත්ත කාමරයේ අසුන්වලට බර දී ලොකු කතා බහක නිරතවෙමින් සිටියහ.
"ඉතිං අනේ එයා දැන් මුළුමනින් ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" ඒ මහා විස්සෝපයකින් යුතුව කතා කරමින් සිටියේ මයුරී ය. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ එයා දවසක් ෂොපින් යනකොට අඳුනන්නෙවත් නැති එක්කෙනෙක් එක්ක කතා කරලා යි. ඊට පස්සෙ දෙන්නා කතාවට වැටිලා. පස්සේ ගෙදරත් ඇවිල්ලා දෙගොල්ලෝ හොඳම හිතවත් වෙලා. අන්තිමේ දී, දැන් ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"
එතැන සිටි අනෙක් කාන්තාවන් කිහිප දෙනා ද හූමිටි තබමින් මයුරිට සවන්දෙමින් සිටියහ.
"මාත් අහල තියෙනවා ඔය විදියෙම ආගම මාරු කරපු කතාවක්” එතැන නැවතුණු මම කියූවෙමි.
කාන්තා පිරිස ගේ අවධානය මට යොමුවිය.
"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".
"ඉතිං?"
"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුනන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".
"ආනේ!" මයුරි ඇස් දෙක ද විශාල කොට ඉතා පුදුමයෙන් යුතුව කීවා ය "කවුද අනේ ඔය තිස්ස කියන්නේ? කොහේ කෙනෙක්ද ඔය ඔයා ගේ යාළුවා? පේරාදෙණියෙ කෙනෙක් ද?"
"මේ මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන හරි පරණ කතාවක්".
"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".
"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම පාඩම ඉගෙන ගත්තෙ නැද්ද?"
"රසික, ඔය අඹ කතාව හැර වෙනත් අඹ කතා තියෙනවා ද?" කරුණු වටහා ගත් වෙනත් අයෙකු සිනාව අතරින් ම පවසනවා මට ඇසුණි.
-රසිකොලොජිස්ට්
(image: http://wallpaperswide.com/buddha_buddhism_blue_calm_digital_art-wallpapers.html)






