Showing posts with label බණ. Show all posts
Showing posts with label බණ. Show all posts

Thursday, 1 February 2018

ෂතෙක්, සහෝදරයා ෂතෙක් - සතුන් මැරීම ගැන තවත් කතා : An ant in the loo


"පල්ලෙහා තට්ටුවේ ආච්චීගේ මකුළුවා" ගැන ඊයේ මා ලියා පළකළ සටහනේ නිමිත්ත වූයේ හිතා මතා සතෙකු මැරීමට මා ඇතුළු බොහෝ දෙනෙකුගේ ඇති අකැමැත්තයි.

මෙය පින් සහ පව් නම් සංකල්ප සමඟ පමණක් සම්බන්ධ තත්වයක් නොවේ.

ඒ බව පැහැදිලිවන්නේ සතාගේ ප්‍රමාණය විශාල වීමත් සමගම ඒ අකැමැත්ත වැඩිවීම නිසා ය. හරියටම කියනවා නම්, හොරකම් දුෂණ වංචා කළ සමාජයේ පොඩි ස්ථරවල මිනිසුන් සටස්-පටස් ගා අත් දඩංගුවට පත් වී හිරේ විලංගුවේ වැටෙද්දී, ඊට වඩා සිය දහස් ගුණයක් හොරකම් කර ඇතැයි චෝදනා ඇති ලොකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කිරීමක් පවා සිදුවීම ඉතා කලාතුරකින් සිදුවීම හා සමාන ය.

ජවිපෙ හිතවාදී ජනප්‍රිය ගායක ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඔහුගේ පෙර ආත්මයේ දී ම, "අයි ඩොන්ට් නෝ වයි?" කියා ගැයූවේ මේ කතාවයි.

මේ මා මේ වසරේ ජනවාරි පළමුවෙනි දා ලද අත්දැකීමකි.

එදා පෝය දිනයකි.

මා ඒ බව දැන ගත්තේ එදින දිවා භෝජනය සඳහා මිතුරෙකුගෙන් නිවසට පැමිණීම පිණිස ලැබුණු ආරාධනයක් නිසා, ඔහුට ත්‍යාගයක් ලෙස ගෙන යන්නට වයින් බෝතලයක් ගන්නට කඩයකට ගොඩ වැදුණු වේලාවේ ය.

නමුත්, වාසනාවකට මෙන් මා මිතුරා ළඟ ලෝකල් කෙසේ වෙතත් ෆොරීන් බඩු තිබුණි.

සුමට මිදියුෂ පානයෙන් සැනසෙමින් සිටින අල්ල පනල්ලේ අංක එකේ ශරීරකෘත්‍යය සඳහා මට වැසිකිළියට යාමට සිදුවිය.

අදාළ පරිදි ස්ථාන ගත වී කලිසමේ සිපරය පහළට අදිනවාත් සමගම මා දුටුවේ කොමඩයේ වතුර මත දඟලන දිමියෙකු ප්‍රමාණයේ කෘමි සතෙකි.

මා ඌ මත සුලු දියර හැලුවේ නම් ඌ දියේ ගිලෙන්නට ඉඩ ඇත.

ඒ නැතත්, කෘත්‍යය අවසානයේ මා කොමඩ්ඩුව ෆ්ලෂ්කරනා විට දිමියා වෝර්ටෙක්සුව දිගේ පහළට ඇදී ගොස් තුසිත දිව්‍යලෝකයේ යන්නට ඉඩ ඇත.

ඉතින් මා කළේ, කැතයි කියා නොසිතා, පහතට නැවී ඇඟිල්ලකින් කුහුඹුවාව රැගෙන ඒ නාන කාමරයේ වෙනත් කොනකට විසිකර දැමීමයි.

එය පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

නමුත් මිතුරු සමාගම අවසානයේ නිවසට පැමිණ රාත්‍රිය ගෙවන අතරතුර කණ ළඟ වීණා වාදනය කරන්නට ආ ඩෙංගිවාහකයින් කිහිප දෙනෙකුව ම චටස්-පටස් හඬින් තලා දමන්නට මට කිසිදු පැකිළීමක් ඇති නොවුණි.

එය ද පෝය දිනය නිසා හෝ පාණාතිපාතා සිල් පදය මත පදනම්ව හෝ මා කළ ක්‍රියාවක් නොවේ.

ඇත්තටම, කලකට පසු යාන්තම් ඒ ආකාරයෙන් හෝ සත්ව ඝාතනයක් කර ගන්නට මට ඉඩ ලැබුණේ සති දෙකක නිවාඩුවකට ලංකාවට පැමිණීම නිසා නොවේ දෝ කියා මට එවෙලේ සිහිපත් විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ෂතෙක්, සහෝදරයා ෂතෙක්" - ඒ කතාව දන්නා අය සිටී ද?
https://rasikalogy.blogspot.com/2018/02/as-i-have-heard.html


Sunday, 31 December 2017

වාචාල බණ - Yet another year ends......


මා මේ දිනවල නිවාඩු සමය ගත කරන ලංකාවේ නිවසේ දින කිහිපයකට පෙර සාංගීක දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි.

තමන් සතු අතිරික්ත දේ අනුන් ගේ යහපත පිණිස දීම හොඳ කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නැත. කිසිදු තර්කානුකූල පැහැදිලි කිරීමක් මා මේ වන තුරු අසා නැතත්, මේ දන්දීම් අතරින් සාංගීක දාන වඩාත් උතුම් බව බෞද්ධයින් ගේ පිළිගැනීමයි.

එදා සාංගීක දානයේ මුල් කොටසේ දී, නිවස පසුපස කාමරයට වී එකත්පස්ව මගේ පාඩුවේ සිටීමට හැකි වුවත් දානය අවසානයේ දී පැන් වැඩීමක් තිබුණු නිසා මට ඒ ප්‍රදේශයට යාමට සිදුවිය. එනිසා ම, ඒ අවස්ථාවේ දී දෙසන්නට යෙදුණා වූ, බුද්ධපුත්‍ර වචන ද මගේ සවනත ගැටුණි.

සුඛා සද්ධම්ම දේශනා නොවේ දෝ යැයි සිතමින් මම එහි තවදුරටත් රැඳී සිටියෙමි.

"අද දවසේ ඉපදෙන දරුවෙකු ගේ පරමායුෂ අවුරුදු කීයක් දැයි දන්නවා ද?" තම ධර්ම අනුශාසනාව අරඹමින් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑ වැදෑරූ දෑ ය.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න අසන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ වෙතත්, ඒ ප්‍රශ්නයට පිළිතුරක් මා අවසාන වරට බුද්ධාගම විෂයයක් ලෙස උගත් නමවෙනි ශ්‍රේණියේ දී හෝ ඉගෙන ගෙන නොතිබුණු බැවින් මම ද නිහඬව සිටියෙමි.

සමහරවිට මේ ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ මේ දිනවල සිනුවරට වඩිමින් සිටින උඩඊරියගම ධම්මජීව වැනි හිටපු ඇග්‍රෝ, වලස්මුල්ලේ අභය වැනි හිටපු ඉංජෝ විසින් විද්‍යාත්මකව පහදා දෙනවා යැයි කියවෙන, මා තවමත් නොදන්නා, අභිධර්මයේ යැයි මම මොහොතකට සිතුවෙමි.

මගේ ඒ සිතුවිල්ල ගැන මට ම ලැජ්ජාවක් ඇතිකරමින් මොහොතකින් ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට ලබා දෙන ඉඟියක් ලෙස ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ වැදෑරුවේ මෙලෙස ය.

"ඊයේ දෙරණ නාලිකාවේ චතුර අල්විස් මහත්මයාගේ වැඩසටහන නැරඹුවා නම් ඒ ප්‍රශ්නයට පිළිතුර දැන ගන්න තිබුණා."

මේ මොන මෑණියන්ගේ වස්ත්‍රයක් ද කියා සිතමින් ම මම සැදැහැවත්ව සවන යොමා සිටියෙමි.

"ඒ වැඩසටහනට සහභාගී වුණු විශේෂඥ වෛදවරයෙකු ප්‍රකාශ කළා මිනිසා ගේ පරමායුෂ ක්‍රමයෙන් අඩුවෙන බව. ඊළඟ පරම්පරාවේ ඉපදෙන ළමයින් ජීවත් වෙන්නේ අවුරුදු තිස් පහක් පමණයි! ඒ වැඩ සටහන නරඹන වෙලේ මට සිහිවුණා බුද්ධ වචනයේත් සඳහන් වෙන බව මිනිසාගේ පරමායුෂ අවුරුදු 120 ක් ව තිබී ක්‍රමයෙන් අඩු වුණු බව. දැන් ළඟඳී ම ඒ වයස අවුරුදු තිස් පහක් වෙන බවයි ඒ විශේෂඥ වෛදවරයා ප්‍රකාශ කළේ."

මට තව දුරටත් මුවින් නොබැණ සිටීමට නොහැකිවිය.

"ඒ විදියට අවුරුදු තිස් පහක් පරමායුෂ තියෙන පරම්පරාව එන්නේ කොයි කාලෙ ද ඇත්තටම?" මම විමසුවෙමි.

සමහරවිට අපේ ජීවිත කාලය තුළ නොවෙන්න පුළුවන් අද ඉපදෙන දරුවන් යැයි වදාළ තම මුල් වදන් දෙවන වරටත් වෙනස් කරමින් ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ පැවසූ දෑය.

කිසිම පදනමක් නැති බව පෙනෙන මෙහෙම කතා කියන කොට ඒ සියලු අතුරු කතා මුලින් කියන්න ඕනෑ නේදැයි මා අසා සිටියත් එයින් නොසැලුණු ශ්‍රාස්ත්‍රපති විහාරධිපති වහන්දෑ තවදුරටත් තම කෙප්පංග ජාතකය ම තවත් විනාඩි කිහිපයක් නාස්ති කරමින් වදාළ දෑය.

මගේ අභද්‍ර වචන පිළිබඳව එහි සිටි වැඩිහිටි අවිද්‍යාවේ සර්ධාවෙන් වෙලී සිටින ඥාතී වර්ගයාට මළ පැනීමට ඉඩ තිබුණු නිසා, මා වැඩිදුර කතාවට නොපැටලවී සිටියෙමි.

වෙනත් අවස්ථාවක දී නම්, මා ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑගෙන් අසන්නට ඉඩ ඇති ප්‍රශ්න යුගල මෙසේ ය.
  1. සංඝයාගේ යුතුකම වන්නේ ගිහියන් දෙන දානය පිළිගෙන ඔවුන්ට බුද්ධ වචනය දෙසීම නොවේ ද?
  2. එසේ නොමැතිව දහදුරා රූපවාහිනී නාලිකාවල වාචාල නිවේදකයින් මෙහෙයවන වෙළඳ වැඩසටහන්වල කියවෙන ප්‍රකාශ එහි පසුබිම හෝ අදාළ වෙනත් තොරතුරු නොමැතිව ධර්මදේශනා ලෙස දේශනා කරන්නේ ඇයි?
කෙසේ වෙතත් වසර අවසානයට පෙර තවත් ලිපියක් රසිකොලොජියට එකතු කිරීමට මට අවස්ථාව සඃසා දීම ගැන ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මම ස්තුතිවන්ත වෙමි.

ඒ කරගත් පිනෙන් ශ්‍රාස්ත්‍රපති විහාරාධිපති වහන්දෑට මොහදුර දුරු කර ඥානාලෝකය පහළ කර ගැනීමට ඉඩ ලැබේවා යැයි ද වැඩි දුරටත් පතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
එදා ඒ දෙරණ නාලිකා සාකච්ඡාවේ දී චතුර අල්විස් සමග කතා කළ වෛද්‍යකාරයා පවසා ඇත්තේ පරිසර දුෂණය නිසා මිනිස් ආයුෂ අඩුවෙනවාය වැනි කතාවක් බව පසුව නිල නොවන ආකාරයකින් දැන ගතිමි.

Monday, 10 July 2017

අපොයි මෙහෙම බණ - Be warned, human race is doomed


ගෑනු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහපිය
මරා දාපිය

පිරිමි ජාතිය
උතුම් ජාතිය
කන්න දීපිය
මල් පුදාපිය


ඒ මා කුඩා කාලයේ අසා තිබුණු උපහාසාත්මක කවියකි. ඒ සමග ජන කතාවක් ද ඇඳී තිබුණු නමුත්, මේ මොහොතේ එය සිහියට නොවේ.

ඒ උපහාසාත්මක කවිය සිහියට ආවේ දින දෙකකට පමණ පෙර ෆෙස්බුකියේ හුවමාරු වී තිබුණු අපූරු බණ දේශනාවකින් උපුටා ගත් කොටසක් ඇසීමෙනි.

මෙන්න එය.



මේ බණ දෙසන රාජගිරියේ අරියඥාන නම් සාදුට අනුව, ඔබ කාමයේ වරදවා හැසුරුණොත් ඊළඟ ආත්මයේ නපුංසකයෙකු වී උපදී. ඉන් පසු වෙනත් විවිධ තිරිසන් ආත්මවල ඉපදී, දඩුවමේ ම කොටසක් ලෙස ස්ත්‍රියෙකු වී ද උපදී.

වෙනත් වචනවලින් කියනවා නම්, මෙලොව වසන සියලුම කාන්තාවන් කලින් ආත්මවල කාමයේ වරදවා හැසිරීමේ වරදට දඬුවම් ලෙස මේ ආත්මයේ කාන්තාවන්ව ඉපිද ඇති අයයි.

මේ බණ කෑල්ල අසන නිරවුල් සිතකින් යුතු ඕනෑම අයෙකුට ඒ බණ දෙසන රාජගිරියේ අරියඥාන සාදු ගේ අම්මා මතක් වීම අනිවාර්යෙන් ම සිදුවේ.

එයට හේතුව නම්, අම්මාට තම මෑණියන්ට මේ සාදු කරන අපහාසය නිසා ඒ අසරණ කාන්තාව ගැන ඇතිවෙන අනුකම්පාව නිසා ය.

ඊළඟ ආත්මයේවත් උතුම් වූ පිරිමි ආත්මයක් ලබා ගැනීම පිණිස නිකං එසේ මෙසේ පින්කම් නොව මහා පරිමාණයේ පින්කම් රාශියක් සිදු කරන ලෙස ද, ඒ බණ කෑල්ල දෙසා දමන සාදු බණ අහන කාන්තාවන්ට උපදෙස් දෙයි.

ඒ පින්කම් අතරට සාංගීක දානමය පින්කම් ද අයිතිදැයි කියා ද, ඇස් ඉස් පමණක් නොව මස් ද දන්දිය යුතුදැයි කියා ද මේ බණ කෑල්ල ඇසූ කිසිවෙකු බණ දෙසූ සාදුගෙන් ඇසුවාදැයි මම නොදනිමි.

කෙසේ වෙතත්, මට නම් සිතුණේ මෙයයි.
මේ බණ අසන පිරිමින් ඊළඟ ආත්මයේ අර පාපකාරී කාන්තා ආත්ම ලැබීම ගැන බිය වී කාමයේ වරදවා හැසිරීම නොකරන්නට ඉඩ ඇති නිසා ද, ඒ අසන කාන්තාවන් මෙලෝ සිහියක් නැතුව පින්කම් කර, මරණින් පසු උතුම් පිරිමි ආත්ම ලබන්නට ඉඩ ඇති නිසා ද, මතු දිනක මේ ලොවේ කාන්තාවන් අඩු වී ගොස් උතුම් මව් පදවි ලබන්නට කිසිවෙකු නොමැති නිසා මිනිස් වර්ගයා තුරන් වී යාමට ඉඩ ඇත!
දැන් අප කළ යුත්තේ කුමක් ද?

විවාහ සංස්ථාවල ආදරයෙන් බැඳී ඇති මා වැන්නන්ට නම්, කාමයෙහි වරදවා බැදෙන්නට හැකියාවක් නැත.

එනිසා, ඒ යුතුකම බාර ගන්නට වෙන්නේ, මේ බණ දහම් අපට දෙසන, ආගමික හේතු නිසා විවාහ නොවී සිටින, අයට ම බව පෙනේ.

-රසිකොලොජිස්ට්

ප/ලි:
බුදු සාදු පාරිලෙය්‍ය වනයේ!

(image: https://www.buddhistdoor.net/features/honey-offering-festival-commemorating-service-of-animals-to-the-buddha)

Thursday, 27 April 2017

මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!


ඇට මැස්සා ගේ අඩවිය බ්ලොගය නැවත ඇරඹීම යනු පුනරුත්පත්තියක් ද නැතිනම් පුනරාගමනයක් ද යන කාරණය ඒ බ්ලොගයේ ම සාකච්ඡා කර තිබුණි.

අප බොහෝ දෙනෙකු කුඩා කල සිට ම අසා දැන ඇති පරිදි, "පුනරුත්පත්තිය" යනු මේ ජීවිතය ගෙවා අවසන් වී මිය ගිය පසු නැවතත් මෙලොව ඉපදීම යි. එලෙස ම, අප මේ ගෙවන ජීවිතය ද, පෙර ආත්මයක පුනරුත්පත්තියක් ලු.

ඉපදීම, මියයාම, නැවත ඉපදීම යන නොනවතින චක්‍රයෙන් අපට ඇති එකම ගැලවීම නිවන් යෑම යැයි කියවේ.

අනෙත් අතට, "පුනරාගමනය" යනු පිටව ගිය අයෙකු හෝ යමක් නැවත පැමිණීමයි, නැවත පහළ වීමයි.

"බුදුනේ, බුදු පියාණනේ, පුනරාගමනය කළ මැනවී!" යනුවෙන් ෂෙල්ටන් පෙරේරා ගායනා කළේ නිවන් ගිය, එනිසා පුනරුත්පත්තියක් නැති, බුදුන්ට නැවත ඉපදීම කළ නොහැක්කක් නිසා පුනරුත්පත්තිය කළ මැනවි කියා ගායනා කිරීම නිෂ්ඵල හෙයිනි.

පුනරුත්පත්තිය, එනම් නැවත ඉපදීම, සත්‍යයක් යැයි විශ්වාස කරනන් අතර බහුතරයක් දෙනා බෞද්ධයන් බව සිතමි. ඔව්හූ මේ පුනරුත්පත්තිය මිනිසා නොහොත් මනුසතාට පමණක් නොව සෑම සත්ව කොට්ඨාශයකට ම අදාළ යැයි සිතති.

විශේෂයෙන් ම, පුනරුත්පත්තියට බොහෝ සේ ලක් වී ඇති සත්වයා ලෙස අප දන්නේ බෝධිසත්වයා පිළිබඳවයි.

පන්සිය පනස් ජාතක පොතේ එන කතන්දර පන්සිය හතළිස් හයේ සැම එකක ම සඳහන් වෙන්නේ බෝධිසත්වයා, සිදුහත් ලෙස අවසන්වරට මෙලොව ඉපදෙන්නට කලින්, පෙර ආත්මවල දී ගත කළ ජීවිත පිළිබඳ විස්තර වේ.

නලපාන ජාතකයේ දී බෝධිසත්වයා වඳුරු රජෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා හාවෙකි.

තවත් ජාතකයක බෝධිසත්වයා වටු කුරුල්ලෙකි.

මගේ ප්‍රියතම නලිනි ජාතකයේ නම් බෝධි සත්වයා මනුසතෙක් ලෙස උපත ලබා බමුණෙකු ලෙස කල් ගෙවූ අයෙකි.

පුනරුත්පත්තිය වැන සංකල්ප, තමන් ම අත්විඳ පසක් කළ නොහැකි, එනිසා ම විශ්වාස කර ඇදහිය යුතු ආකාරයේ ඒවා ය.

බුද්ධ ධර්මය වනාහී "ඒහි පස්සිකෝ" ගුණයෙන් යුතු දහමක් නිසා, ඇදහීම වැනි කාරණා බුද්ධ ධර්මය සමග පරස්පර දේ යැයි මම සිතමි. එනිසා, පුනරුත්පත්තිය වැනි දෙයක් බුදු දහමට ගැළපේ යැයි මට නොසිතේ.

ඒ මගේ අදහසයි.

නමුත්, මා දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩි නිසාත්, ඒ බව මා හොඳින් දන්නා නිසාත්, මේ ගැන වඩා දන්නා අය ගේ අදහස් දැන ගැනීමට රිසියෙමි!

-රසිකොලොජිස්ට්

(image: http://thusithsoftsolution.blogspot.com.au/)

Monday, 23 January 2017

"කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forward

Bay of fire, Tasmania, Australia
උදා වූ නව වසර සමරමින්, සතියකටත් වඩා දිගු නිවාඩුවක් නිවසෙන් බැහැරව, පරිගණකයෙන් දුරස්තව, දැහැමෙන් සෙමෙන් ගත කර නැවතත් පියවි ලොවට ගොඩ බට දිනයේ ම, ඇස ගැටුණේ අපූරු ප්‍රවෘත්තියකි.


(http://www.divaina.com/2017/01/23/news11.html)

කරුණාකර, අනං-මනං නොකියන්න.

ඔව්, කාන්තාවන්ට තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට සම අයිතිය තිබිය යුතුයි.

ඒ අයිතිය සිල්ගත් කාන්තාවන්ට ද එක සේ හිමි ය. ඔවුනට ද, සසර කෙටිකර ගැනීමට බවුන් වැඩීම අමතක කර දේශපාලන මඩගොහොරුවට බැසීමට, සිවුරු පොරවාගත් පිරිමින්ට ඇති අයිතියම ඇත.

දිවයින වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
සිංහලයාගේ සුරක්‍ෂිතතාව අහිමිකරගෙන යන වත්මන් රජය තවදුරටත් පැවතුණහොත් සිංහලයා තුරන්වී යනු ඇතැයි ස්‌වකීය නම් ගම් ආදී පෞද්ගලික තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්‍ෂේප කරමින් තුරුණු වියේ පසුවන සිල් මෑණියෝ මාධ්‍යයට පැවැසූහ.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ භාවනා කුටියක බවුන් වඩමින් සිටින තමා සිංහල රටේ සිංහලයාගේ අනාරක්‍ෂිත අනාගතය සම්බන්ධයෙන් දැඩි සංවේගයට පත්වන බවත් තමන්ට සිදුවන විපතට වත්මන් රජය වගකිව යුතු බව සිංහලයාට අවබෝධ වී නැති බවත් මෑණියෝ පවසති.

සිංහලයා බලන්නේ බඩ ගැන පමණයි. ඔවුන් තමන්ගේ සිංහලකම ගැන හිතන්නේ නැහැ. ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්‌කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි. මේ තත්ත්වයට වගකිව යුතු මේ රජය 2017.01.22 වැනිදායින් පසුව ඉල්ලා අස්‌විය යුතු යෑයි සිල් මෑණියෝ පැවැසූහ.
ඇයට ජයවේවා!

-රසිකොලොජිස්ට්

නූතන ථෙරි ගාථා
සසර කෙටි කෙරුමට
නිවන අත්විඳ ගැනුමට
නොහැක මට තව දුරටත්
භාවනාවේ ඉන්නට

එපා සඝමිත්තා
එපා උප්පලවණ්ණා
කඩුව සේදූ දිය බිව්
වෙහෙර දේවිය මග යමි මම්

Monday, 29 August 2016

විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail


මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.
1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.
මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර මේ ගැන මගේ අදහස ලියන්නට සිතුවෙමි. විශේෂයෙන් මා මට කියන්නට අවශ්‍යව ඇත්තේ විශ්වාසය යන පදය පිළිබඳ මගේ නිරුක්තිය සහ එය බුදු දහමට කෙසේ අදාළ වේද යන්නයි.

විශ්වාසය යන වචනයේ අදහස් දෙකක් ඇතැයි (ශබ්දකෝෂ නොබලා) මම සිතමි. මට ඔබ විශ්වාසයි කියා කියූ විට ඉන් අදහස් කෙරෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් ට්‍රස්ට් යන අරුතයි. එසේ වුව ද, මූලිකවම ආගම් හා ඒ ආකාරයේ දේ සම්බන්ධයෙන් යෙදෙන බීලීෆ් යන තේරුම දීමට සඳහා ද සමහර විට විශ්වාසය යන්න යොදා ගැනේ.

බිලීෆ් යන තේරුම දීම සඳහා වඩාත් සුදුසු සිංහල වචනය ඇදහීම යන්න බව මම (මෙවරත් (ශබ්දකෝෂ නොබලා) සිතමි.

ආගම් ආදී විවිධ සංකල්ප, මතිමතාන්තර ගැන සලකන විට අප යමක් විශ්වාස කළ යුතු වේ ද, බිලීව් කළ යුතු වේ ද, එසේත් නැතිනම් ඇදහිය යුතු වේ ද, ඒ නම් අනිවාර්යෙන් ම අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ම ය. එනම්, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, වෙනත් ඉන්දී්‍රයන්ට සංවේදී නොවන දේ ම ය.

මම ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිනොගනිමි. එනම්, විශ්වාස නොකරමි, එනම් නොම අදහමි.

ඒ ආකාරයෙන් අද මා පිළිනොගන්නා, විශ්වාස නොකරන, නොම අදහන දේ ලයිස්තුව ඉතා දිග ය. එයට අනිවාර්යෙන් ම අයිතිවන සංකල්ප අතර, දෙවියන්, යකුන්, පෙරේතයින්, වෙනත් ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින්, කේන්දර, පලාපල, කර්මය, පරලොව, පුනරුත්පත්තිය, නිර්වාණය ආදිය වේ.

මා සිතන ආකාරයට අප අතර පවතින බුද්ධාගම යනු බුදුන් දෙසූ ධර්මය හෙවත් බුදු දහම නොවේ. බුද්ධාගම යනු අර්ධ සංවිධානාත්මක සංස්ථාවකි. බුදු දහම යනු බොහෝ දුරට තාර්කික සංකල්ප එකතුවකි.

මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත!

ඕනෑම අයෙකුට බුද්ධාගමට අයත් නොවී, බුදු දහමේ එන කරුණුවලින් තමන්ට වැටහෙන, තමන්ට ප්‍රශ්න නැති දේ පිළිගත හැක. ඒ අනුව කටයුතු කළ හැක. මම එවැන්නෙක් මි.

ඇත්තටම බුදු දහමේ ඇති අතිශය වැදගත් ගුණය නම් එකී තම තම නැණ පමණින් දැන ගත යුතු, එව බලව නම් ලක්‍ෂණයි. මම ඒවා ප්‍ර්‍රිය කරමි.

තම තම නැණ පමණින් දැනගත යුතු යන කියමන ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථයේ එන්නකි. ඒ කවි පදය මා අගය කළ ද, ඒ කවියේ ම අවසාන පදය වන මම නමදිම් සදහම් පහදා සිතු යන්න මට ගෝචර අදහසක් නොවේ.

එනම්, බුදු දහමේ බොහෝ දේ ගැන අපට අවුලක් නැති වුව ද, දහමක් යනු වැඳිය පිදිය යුත්තක් යැයි මා නොසිතන බවයි.

කර්මය, පරලොව ගැන සලකන විට, ලෝවැඩ සඟරාවේ ම එන මා සිත ගත් තවත් කවියක් සඳහන් කළ යුතුය. එය මෙසේ ය.

ඇතත් නැතත් පරලොව සුදනෙි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මා සම්මත පව් වැඩ නොකරන්නේ ඒ තර්කයට අනුව ය. එසේ නොමැතිව, කර්මයක්, පරලොවක්, අපායක් ගැන බියකින් නොවේ.

ස්තුතියි අජිත් ධර්මකීර්ති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය සෙනසුරාදා සිට මට විරුද්ධව සයිබර් අවකාශයේ අතිශය පරුෂ වචනයෙන් බැණ වදිමින් අභූත චෝදනා එල්ල වෙමින් පවතී.

මා කිසි දිනක නොකළ, නොසිතූ, අනාගතයේ ද කිසි දිනක නොකරන දේ ගැන ඒ ආකාරයෙන් චෝදනා කීරීම සිත රිදවන අත් දැකීමකි.

නමුත්, අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

චිංචි මානවිකාව ගේ බඩ බැඳි දරමිටිය ද ලෙහී ගියේ ය. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ සත්‍යය ද හෙළිවිය.

මේ වැනි අවස්ථාවල දී බුදු දහමේ (ධම්ම පදය, යමක වග්ගය) එන පහත ආකාරයේ තාර්කික ධර්ම කරුණු අඩංගු කවි ද අපට ප්‍රයෝජනවත් වේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ යැයි වෛර නොබඳින්නා ගේ වෛරය සංසිඳේ.

ඒ ආකාරයේ තර්කානුකසළ ධර්මය පිළිබඳව විශ්වාස කිරීමක්, බිලීව් කිරීමක් හෝ ඇදහීමක් කිසිසේත් ම අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදාළ පරිදි ගලපා ගැනීම පිණිස, ඒ යමක වග්ගයේ ම මුල් කවිය සහ එහි අරුත මෙලෙස ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

(image: https://www.flickr.com/photos/23404069@N07/8353743960)

Sunday, 14 February 2016

ඉංජිනේරු හාමුදුරුවරු ගැන අසා නෑ නේද? - Fake monks and the real ones


මා දින දින කිහිපයකට පෙර ලියා පල කළ "නානසාරලාට පිස්සු ද නැතිනම් අපට පිස්සු ද?" යන ලිපිය සඳහා භාවිතා කළ ඡායාරූපය මතක ද?

ඒ මා එක්තරා දවසක සිවුරක් පෙරවූ හෝරාවක දී ගන්නා ලද එකකි.

නමුත්, එය නිකම්ම නිකං විහිළුවට කළ සිවුරු පෙරවීමක් නොවේ. උපන් භුමිය හෙවත් ශ්‍රී ලංකාව හෙවත් සිංහ-ලේ හෙවත් සිව්-හෙළය හෙවත් මව්බිම හෙවත් සිරි ලංකාව වෙනුවෙන් කළ සිවුරු පෙරවීමකි.

මෙහි ඇත්ත ම ඇත්ත කතාව මෙසේය.

මා තායිලන්තයේ පිහිටි ආසියානු තාක්‍ෂණික ආයතනය නම් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි සමයේ අපට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි පැවැත්වුණු විවිධ ප්‍රසංගයකට සහභාගී වීමට සිදුවිය. අප එදා ඉදිරිපත් කළ ග්ලිම්ප්සස් ඔෆ් ශ්‍රී ලංකා නම් කෙටි විචිත්‍රාංග රංගනයේ මට පැවරුණේ බෞද්ධ භික්‍ෂුවක ගේ චරිතය නිරූපණය කිරීමයි.

ඒ මා සහජයෙන් ලබා ඇති මගේ ශාන්ත දාන්ත අහිංසක සුපේශල ශික්‍ෂාකාමී පෙනුම නිසා යැයි සිතමි.

අසල හන්දියේ බාබර් සාප්පුවකින් සල්ලි සල්ලි කියා නොබලා බාට් දහයක් දී කොණ්ඩය කොටට කපා ගත් මම, හොඳ වර්ගයේ තායි සිවුරක් ද පොරවා ගෙන සියම් රටේ දී මම මා ම, මහණ වීමි.

මගේ අභාග්‍යයට සහ බුද්ධ ශාසනයේ භාග්‍යයට ඒ ඉංජිනේරු විද්‍යාවේදී බක පණ්ඩිත පරකන්දෙනියේ රසිකාභිධාන ස්ථවිර නම් සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂූ චරිතය මෙලොව පැවතුණේ පැය කිහිපයක්, එනම් විවිධ ප්‍රසංගය අවසාන වෙනතුරු, පමණි.

ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති වැනි කලා උපාධි නාමධාරී භික්‍ෂූන් ගැන නිරතුරු අසා ඇතිමුත්, ඉංජිනේරු විද්‍යාවේදී භික්‍ෂුවක ගැන කෙරෙන සඳහනක් ඔබ මීට පෙර අසා නැහැ නේද?

නමුත් මා දන්නා පරිදි එවැන්නෝ, එනම් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිධාරී බෞද්ධ භික්ෂූන්වහන්සේලා, දෙනමක් ම අද ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරති.

මේ ඉන් පළමුවැන්නා ය.


ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් 1981 දී සිවිල් ඉංජිනේරු උපාධිය ලබා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කලක් සේවය කිරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කර, මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරුපති පශ්චාත් උපාධියක් ද, වික්ටෝරියානු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද ලබා, ඕස්ට්‍රේලියාවේ විවිධ ආයතන කිහිපයක ම කලක් සේවය කළ සුනිල් දයාරත්න ය.

මා දන්නා තරමින් පසුගිය වසරේ දී, මාකොළ ධම්මදින්න නමින් ශ්‍රී ලංකාවේ දී පැවිදි බව ලැබූ උන් වහන්සේ දැන් මීතිරිගල ආරණ්‍යයේ වැඩ වාසය කරයි.

මේ දෙවැන්නා ය.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ම යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස සුදුසුකම් ලැබූ සංජීව නම් වූ ඔහු, දශකයක් පමණ කාලයක් ලංකාවේ සේවය කිරීමෙන් අනතුරුව උඩුදුම්බර කාශ්‍යප නමින් පැවිදි බව ලබා මහව ඉහළගම ගල්ලෑවවෙහෙර ආරණ්‍ය සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරයි.

එසේ ම උන්වහන්සේ ලංකාවේ ද, විදේශයන් හි ද ප්‍රචලිත සුමධුර ධර්ම දේශකයෙකි. උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ පසුගිය ජනවාරියේ ඕස්ට්‍රේලියාවේ දී ද ධර්ම දේශනා පැවැත්වූවේය.

රට, ජාතිය, ආගම වැනි බැටළුහම්වලට මුවා වී, ජාතිවාදය, ආගම්වාදය, ගෝත්‍රවාදය යනාදී වෛර චේතනා, ක්‍රෝඩ චේතනා වපුරන, ජඩ, අවලං, මැර ක්‍රියාවෙහි යෙදෙන සිවුරු දරාගත් පඩත්තලයින් පිළිබඳව නිබඳව අසන්නට ලැබෙන මෙවන් කාලයක, දීපයක, දේශයක මාකොළ ධම්මදින්න සහ උඩුදුම්බර කාශ්‍යප වැනි භික්‍ෂුන්වහන්සේලා ගැන අසන්නට ලැබීම පමණක් වුවද සිත සන්සුන් කරන්නේයැයි පැවසීම කිසිසේත් ම අතිශයෝක්තියක් නම් නොවේ!

ඔබ සැමට යහපතක් ම වේවා!!

සාධු, සාධු, සාධු!!!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඉංජිනේරු විද්‍යාවේදී, විනයාචාර්ය, කම්මට්ටනාචාර්ය, විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප භික්‍ෂූන්වහන්සේ ගේ ධර්ම දේශනාවකට දැන් සවන් දෙමු.



මේ උන්වහන්සේ ගේ වත්පොත් පිටුවයි.
https://www.facebook.com/u.kashyapa

ප/ප/ලි:
මාකොල ධම්මදින්න හිමියන් බරපතල ලෙස රෝගාතුර වුණු බවත්, එනිසා උපැවිදි වීමට සිදුවුණු බවත් දැන ගන්නට ලැබුණා.
ඒ ගැන දැන්වූ සමන්ට මගේ ස්තුතිය.