Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

Thursday, 10 December 2020

ජීවිතයේ අවංක සතුටක් දැනුණු දවසක් - One of the happiest days of my life

මීට වසර කිහිපයකට පෙර මට ලංකාවේ ජීවත්වන අයෙකු විසින් කරන කතාවක් සයිබර් අවකාශයේදී අසන්නට ලැබුණි.

යම්කිසි ආගමික පසුබිමක් සහිත වූව ද, ඒ දේශනයේ අන්තර්ගතය වූයේ ලංකාවේ සාමය සංහිඳියාව පිළිබඳ ඉතා වැදගත් අදහස් ගොන්නකි. ඒ කතාව ඇසූ මට ඒ දේශකයා පිලිබඳව කෙතරම් ගෞරවයක්, ඒ දේශනය පිළිබඳව කෙතරම් පැහැදීමක් ඇතිවුණා ද කියනවා නම්, ඒ පිළිබඳව වෙනම ම ලිපියක් ලියා මගේ රසිකොලොජි බ්ලොග් අඩවියේ පළ කළෙමි.

එයින් වසර දෙකහමාරකට පමණ පසු දිනයක මට සිනුවර දී ඒ මා ගරු කරන දේශකයා හමුවීමට අවස්ථාවක් ලැබුණි.

එතැනදී කෙරුණු කණ්ඩායම් සාකච්ඡාවෙන් පසුව දහවල් කිස ද නිමකර, දේශකයා පිටව යාමට සැරසුණු මොහොතේ දී, මා හඳුන්වා දී වචන කිහිපයක් කතා කළ මම, මගේ රසිකලොජි බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රණය කර තිබෙන කාඩ් පතක් ද ඔහු අත තැබුවෙමි.

එය දුටු විගස ඔහුගේ මුවෙන් පිටවුණේ මා කිසි දිනක නොසිතූ වචන කිහිපයකි.

"ආ! රසිකොලොජි බ්ලොගය ලියන්නෙ ඔබ ද? ඊට කලින් කතන්දර නම් බ්ලොගය ලිව්වේත් ඔබ නොවේ ද?"

මා ගරු කරන උතුම් මිනිසකු එලෙස මගේ බ්ලොග් පඩංගු පිළිබඳව තැන සිටීම පිළිබඳව මම පුදුමයට පත්වීමි.

ඒ සමගම මට දැඩි සතුටක් ද ඇති වුණේ ඔහු ඊළඟට කියූ කරුණ නිසා ය.

"මාත් කාලෙකට කලින් බ්ලොග් එකක් ලිව්වා. ඒ ලිපි කිහිපය පළකර මා ලැබූ අත්දැකීම් ඉතාමත් වටිනවා."

මා එදා ලැබුවේ බ්ලොග්කරුවෙකු වීම පිළිබඳ අවංක සතුටකි.

මා බ්ලොග්කරුවෙකු වී දැන් මේ ගෙවෙන්නේ දාසයවෙනි වසරයි!

-රසික සූරියආරච්චි

Monday, 29 October 2018

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?


ඔව්, එය සත්‍යයකි!

කලකට පෙර සශ්‍රීකව වැජඹුණු සිංහල බ්ලොග් කෙත අද පුරන්වී යාමට ආසන්න ය. ඒ අවගමනය මගේ රසිකොලොජියේ වාර්තාවෙන් ම පෙනේ.

රසිකොලොජිය ඇරඹුවේ මීට වසර හතරකට පෙර 2014 ඔක්තෝබර් මස 27 වෙනිදා ය. ඒ මගේ උපන් දිනයයි.

එතැන් සිට ලිපි පන්සියයේ කඩ ඉම පසුවන තුරු ම මම ඉතා උනන්දුවෙන් ලිපි ලියා පළ කළෙමි. ඒ වන විට බ්ලොගය අරඹා ගත වී තිබුණේ දින 1012 ක් පමණක් නිසා ලිපි 500 පළ කිරීම යනු ඉතා සශ්‍රීක අස්වැන්නකි.

කඩඉම පසු කළ පසු, බ්ලොග් ලිපි ලිවීමේ වේගය තරමක් අඩු කර වෙනත් ලියවිලි සඳහා කාලය වැඩියෙන් මිඩංගු කරන්නට අදහසක් තිබුණ ද, එය වසරකට ලිපි සියයක් පමණ අඩු කළ ඉලක්කයකි, මෙතරම් ඉඩෝරයකට මුහුණ දෙන්නට වෙතැයි මම එදා නොසිතුවෙමි.

කෙසේ වුවද, සිදුවූයේ එයයි.

මා සරදම් බසින් ඇස්වහක් හෝ කටවහක් යැයි කියූවද, මෙය මගේ ජීවිතයේ ද සිදු වූ වෙනස්කම් හා සමාන්තරව සිදු වූ කාලකණ්ණි තත්වයක් විය.

මගේ 500 ලිපිය පළ වී මාස පහළොවක් ගෙවී තිබුණ ද, මේ කාලය ඇතුළත ලිපි පළ වී ඇත්තේ 30 ක් පමණි.

බ්ලොය අරඹා, පළමුවෙනි සංවත්සරය, දෙවැන්න සහ තෙවැන්න සමරමින් ලිපි ලියා පළ කළ මට සිව්වැනි සංවත්සරයට ලිපියක් පළ කරන්නට නොහැකි විය.

මෙය කාලකණ්ණි තත්වයක් යැයි මා කීවේ, බ්ලොග් ලිපි නොලියූ හිලව්වට කළ වෙනත් ලියවිල්ලක් ද නැති නිසා ය. ගත වී ගිය කාලය නම් වූ හොණ්ඩර සියයක් බරැති ඒ රත්තරන් නගට්ටුව නැවත ඇද ගන්නට ඇතෙක් සොයා ගැනීමට ද නැත.

අන් අය කියවූවේද නැති ද යන කාරණය කෙසේ වෙතත්, ආත්ම ප්‍රකාශනයක් ලෙස තවමත් බ්ලොග් කලාවේ වැදගත්කමක් මම දකිමි. එය විවිධ හේතු නිසා ෆේස්බුක් අවකාශයට වඩා පහසුකම් ඇති ප්‍රකාශන මාධ්‍යයක් බව අලුතෙන් කිව යුතු නැත.

සෙනසුරාදාට යෙදී තිබුණු මගේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මම පසුගිය සමයේ තිබුණු කාලකණ්ණි තත්වයෙන් මිදීමට අධිෂ්ඨානය කළෙමි. ඒ අනුව, ඊයේ දිවා කාලයේ දී, කාලයක් තිස්සේ මා නොවරදවා කළ ද, මාස හයක් පමණ තිස්සේ අතපසු වී තිබුණු, ශාරීරික ව්‍යායාමයක් ලෙස ඇවිදීම යළි අරඹා පියවර 8,000 ක් ගමන් කළෙමි.

එදිනට ම යෙදුණු මගේ රසිකොලොජි බ්ලොගයේ උපන් දින සංවත්සරය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නම්, අඩු වශයෙන් සතියකට එක බැගින් හෝ රසිකලොජියේ ලිපි පළ කිරීමටයි.

සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනයට නැවතීමේ තිත තැබීමේ යුගයේ අවශ්‍යතාවයට මගේ සම්මාදම එය යි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න හොඳ ගීතයක්.



[image: (c) Rasika Suriyaarachchi]

Thursday, 10 August 2017

මොන රෙද්දක් ද මන්දා? - Shut eyes, shut mouth, shut or!


මගේ බ්ලොග් ලිවීමේ වැදගත් සන්ධිස්ථානයක් වූ ලිපි 500 කඩ ඉම පසුවුනේ පසුගිය සතියේ සිකුරාදා ය.

එදින වන විට බ්ලොගය අරඹා ගතවී තිබුණේ දින 1012 ක් පමණි. එනම් සෑම දෙදිනකට ම වරක් මා ලිපියක් ලියා පළ කර ඇත.

මගේ වාර්තාව දැක කවුරු ඇස් වහගත්තා ද, කට වහගත්තා ද (සහ ගිය සතියේ මුල්වරට මා උගත් පරිදි - තෑන්ක්ස් සුජීව කොකාවල) හෝ වහගත්තාදැයි නොදනිමි. මා දන්නේ එදින සිට අද වෙන විට සතියක පමණ මට සාපේක්‍ෂව දිගු කලක් ගත වී ඇතත් රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවූ බව පමණි.

ඇත්තට ම කියනවා නම් අගෝස්තු මාසයේ මේ දක්වා පළ වී ඇත්තේ ලිපි දෙකෝ ම දෙකකි.

මොන රෙද්දක් ද මන්දා?

මෙය රයිටර්ස් බ්ලොක් එකක් හෙවත් ලේඛකයින්ට වැළදෙනවා යැයි කියනු ලබන භයංකාර රෝගය නම් නොවේ. මම සන්නස සඟරාවේ මගේ කොලමට මාසික ලිපිය සකසා යැව්වෙමි.

ඒ අතරතුරේ කවියක් ද ලියා වෙනත් සඟරාවකට යැවීමි. වෙනත් අයෙකුගේ ලිපියක් සංස්කරණය කළ අතර, ළඟඳී පළවීමට යන පොතක් සඳහා තවත් ලිපියක් ලියමින් සිටිමි.
එසේනම්, ඇත්තට ම සිදුවූයේ මොන රෙද්දක් ද?

රසිකොලොජිය ලියන්නට සාමාන්‍යයෙන් මා පාවිච්චි කරන, සතියේ දිනවල දුම්රිය ගමනට ගතවෙන කාලය, මේ සති දෙක තුනේ පෙර කී ආකාරයේ වෙනත් ලේඛන වැඩවලට යොදන්නට සිදුවීම එක් හේතුවකි.

ඒ වෙනත් ලේඛන කටයුතුවලට සාමාන්‍යයෙන් ගත කරන නිවසේ ඉන්නා විවේක කාලය, මගේ තවත් විනෝදාංශයක් වූ නාට්‍යය වැඩ කටයුතු සඳහා ගත කරන්නට සිදුවීම ඒ හේතුවට හේතුවයි.

කල් වේලා ඇතුව රසිකොලොජිය සඳහා කෙටුම්පත් කළ ලිපි කිහිපයක් ම තිබුණ ද, ඒවා පණ ගස්සා ගැනීමට හිත නොදීම අනෙක් හේතුවයි.

ඒ මොන රෙද්ද වුණත්, අවසාන ප්‍රතිථලය වුණේ, රසිකොලොජි බ්ලොගයේ කිසිවක් පළ නොවීමයි.

එසේ වූ නමුත් දැන් අඩ පැයකට පමණ පෙර, කාර්යාලයේ වැඩ අවසන්ව බ්ලොග් රෝලට ගොඩවුණු වෙලේ ඇස ගැටී මා කියවූ "මොන (සෙද්ද/මගුල/රෙද්ද)ක් ද?" යන මැයෙන් ලියවුණු ලිපි කිහිපය නිසා ගලා යන රැල්ලට මට ද එක්වන්නට සිතුණි.

මේ රැල්ල ඇරඹූ කල්‍යාණ මිත්‍රයාටත්, රැල්ලට අසු වූ ඉයන් සහ හැලපේටත් කිය වූ සැමටත් ජයවේවා.

මගේ "මොන රෙද්දක් ද මන්දා?" සටහන දැන් අවසන් ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පින්තූරයේ දැක්වෙන්නේ අපේ නිවසේ වැවෙමින් තිබුණු ගස්ලබු ගස් දෙකට සිදුවී ඇති නස්පැත්තියයි.

Thursday, 27 July 2017

ෆේස්බුක් අවකාශය, බ්ලොග් ලෝකය සහ මගේ ලෝකය - Facebook, blogging and I


ටෙලිවිෂනය සිනමා ශාලාවේ මාරයා වූයේ යම් සේ ද, ෆේස්බුක් අවකාශය වනාහී බ්ලොග් ලෝකයේ මාරයා බව අපට වැටහෙන්නට පටන් ගත්තේ මීට කලකට පෙර ය. ඒ, බ්ලොග් ලෝකයේ එකල වැඩ පෙන්නමින් සිටි කිහිප දෙනෙකු, මුලින් ෆේස්බුක් අවකාශයට පොඩ්ඩක් හොම්බ දමා, එය රස විඳ, තලුමරමින් රස විඳ, ඉන්පසු ක්‍රම-ක්‍රමයෙන් එයට ඇබ්බැහී වී, අවසානයේ බ්ලොග් ලෝකයට බූට් එක තබා ෆේස්බුක් අවකාශයේ බින්න බැසීම ඇරඹූ අවදියේ ය.

මේ සඳහා හොඳම උදාහරණය නම් "රියර්-ගේට්" නමින් බ්ලොගයක් ලියූ චාර්මි සෑම් ය.

ඒ කාලයේ මා ලියූ බ්ලොගයේ, මේ බ්ලොග්කරුවන් ෆේස්බුක් පැණි හැලියට වහ වැටී බ්ලොග් ලොවට පිටුපෑම සම්බන්ධව සටහනක් තැබූ බව ද, එකී බ්ලොග් සහෘදයින්ට නැවතත් බ්ලොග් ලෝකය පිළිබඳ සිතා බලන මෙන් එහි දී ඉල්ලීමක් කළ බව ද මගේ මතකයේ ඇත.

නමුත් චාර්මි සෑම්ලා ආපසු පැමිණියේ ම නැත.

මහ මාරයා පමණක් නොව දස බිම්බර මාර සෙනග සහ තණ්හා, රතී, රඟා ද පරදා ජයගත් අය මෙලොව සිට ඇතැයි පැවසෙන නමුදු, අප වැනි පෘථග්ජනයින් ඒ ලොකු හපන්කම් කළ හැකි ද?

අන් බොහෝ දෙනෙකු මෙන් ම, ඒ දිනවල සිට ම මා ඇරඹුවේ ද ෆේස්බුක් මාරයා සමග ගේම ඉල්ලීම නොව, උගෙන් වැඩ ගැනීමයි.

එනම්, ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය යි.

සිංහල නවකතා මිලට ගෙන කියවන පිරිස, නවකතා ලියන පිරිසට වඩා ඉතා විශාල නමුත්, සිංහල කවි පොතක් මිල දී ගන්නා පිරිස සංඛ්‍යාවෙන් නිරතුරු කවි ලියන පිරිසට වඩා ඉතා අඩු බව අප දනිමු.

සිංහල බ්ලොග් පිළිබඳව ද, මේ ආකාරයේ සංසන්දනයක් කළහොත්, සිංහල බ්ලොග් සටහනක් කියවන පිරිස, සාමාන්‍යයක් ලෙස, සිංහල බ්ලොග් ලියන පිරිසට වඩා වැඩි නමුත්, ඒ අති විශාල ලෙස නොවේ යැයි මම සිතමි.

නමුත්, ෆේස්බුක් පාවිච්චි කරන සිංහල දන්නා පිරිස පිළිබඳව සංඛ්‍යාත්මකව පැවසිය යුත්තේ ඔළු ගෙඩි මිලියන්වලිනි.

ඒ ඔළු ගෙඩි මිලියන් කිහිපයෙන් අංශු මාත්‍රයක ප්‍රතිශතයක් හෝ බ්ලොග් කියවීමට ගෙන්වා ගැනීමට ඇති නම්, එය සංඛ්‍යාවෙන් විශාල පාඨක පිරිසක් බව නිසැක ය.

රසිකොලොජි බ්ලොගය ආරම්භයේ සිට ම, මම මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ බ්ලොග් ලිපි සඳහා සම්බන්ධතා බෙදා හැරීමට පටන් ගත්තෙමි. බ්ලොග් ලිපි ගැන සම්බන්ධතා බෙදා හැරීමට ම වෙන් වූ ෆේස්බුක් කණ්ඩායම් ද රාශියක් ඇත. මම පුරුද්දක් ලෙස ඒ අවකාශයන් ද රසිකොලොජිය ප්‍රවර්ධනය සඳහා භාවිතා කරමි. ඒත් ඒ කණ්ඩායම්වල සිටින බහුතරයක් දෙනා ද බ්ලොග් ලියන්නන් ම නිසා, ඒ මහන්සියෙන් එතරම් ප්‍රතිඵලයක් ඇති ද යන්න සැක සහිත බව කිව යුතු ය.

බ්ලොග් ලිපිවලට පාර කියා දෙන සටහන් ෆේස්බුක්හි යෙදීමේ දී මා කරන්නේ අදාළ වෙබ් ලිපිනය කෙටි කර සාදා ගැනීමයි. මේ සදහා bitly වැනි සේවා කිහිපයක් ම ඇත. එවැන්නට ගිණුමක් සාදා ගැනීමෙන් පසු, අප බෙදා හරින සටහන ඔස්සේ කී දෙනෙකු බ්ලොගය පැමිණියේ ද යන්න සහ ඔවුන් ආවේ කවර රටේ සිට ද යන්න ද සොයා ගත හැක.

ෆේස්බුක් හරහා බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සෑහෙන්න සාර්ථක කටයුත්තක් යැයි යන්න මගේ ද අත්දැකීමයි. ඇත්තටම කියනවා නම්, මගේ බ්ලොගයට පිවිසෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක් දැන් එන්නේ ෆේස්බුක් හරහා ය.



එකම ප්‍රශ්නය නම්, මෙලෙස බ්ලොග් ප්‍රචාරය සහ ප්‍රවර්ධනය සඳහා වැඩි කාලයක් ෆේස්බුක්හි ගත කරන විට, බ්ලොගය සඳහා වැය කරන්නට ඇති කාලය අඩු වෙනවාට අමතරව, අප ද, ෆේස්බුක් පැණි හැලියට වැටීමට ඇති සම්භාවිතාව ද වැඩි වීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පිට පිටම ෆේස්බුක් කචල් පිළිබඳව ලිපි දෙයක් ලියූ පසු නිරායාසයෙන් ලියවුණු සටහනකි මේ. මුල් ලිපි දෙක කියවීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

1. ෆේස්බුක් ගෘප් ඇඩ්මිනියගෙන් නොසෑහෙන්න කෑවෙමි! - Oh, these Facebook group administrators
http://rasikalogy.blogspot.com/2017/07/oh-these-facebook-group-administrators.html


2. තවත් ෆේස්බුක් කචල් කතාවක් - Facebook fun
http://rasikalogy.blogspot.com/2017/07/facebook-fun.html


(image:http://blogs.sch.gr/tgiakoum/files/2011/02/blog-or-facebook.jpg)

Wednesday, 17 May 2017

සටනින් අද මා දිනුවා : self-satisfaction


"සටනින් අද මා දිනුවා" යන යෙදුම, නිමල් මෙන්ඩිස් ගේ තනුවක් සඳහා ඔගස්ටස් විනයාගරත්නම් ලියා අමරදේව ගායනා කළ නිම් හිම් සෙව්වා මා සසරේ යන ගීයේ අවසාන පදයයි. මගේ ප්‍රියතම ගීතයක් වන එය, ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වූ මනික් සන්ද්‍රසාගර ගේ "සීතා දේවී" චිත්‍රපටයේ ඇතුළත් වූවකි.

ප්‍රියතම ගීත අතරින් එකක් නොවුනද, මා කැමති තවත් ගී පදයක් නම් "සිත හීලෑ නෑ, හරිම මුරංඩුයි තැන තැන ඇවිදිනවා!" යන්නයි. ඒ මගේ "දූර ගමං, ඒක චරං" සිත පාලනය කිරීම ඇතැම් වෙලාවට මට අසීරු නිසා ය.

උදාහරණයක් ලෙස කිවහොත්, උදෑසන දුම්රියට ගොඩ වී පරිගණකය දිග හැර රසිකොලොජි බ්ලොගය සඳහා යම් කරුණක් පිළිබඳව ලිපියක් ලිවීම ඇරඹුව ද, දූරං ගමං, ඒක චරං සිත නිසා, බොහෝ විට අවසානයේ ලියවෙන්නේ මුල් මාත්‍යකාවට යාන්තමින් ගෑවෙන වෙනත් දෙයකි.

මෙය මට පමණක් නොව තවත් බ්ලොග්කරුවන්ට ඇති ප්‍රශ්නයක් යැයි සිතමි. "පදුර වටේ කොටනවා!" යන ආදරණීය වදන් පෙළින් හැඳින්වෙන්නේ මෙයයි. නමුත්, රසිකොලොජියේ සටහන් කිසි විටකත් "පදුරු කෙටීම්" නොවන්නේ මා ඒ සටහන් කොටස් වශයෙන් වෙන් වෙන්ව කියවීමට හැකි ලෙස සකසා පළ කරන නිසා ය.

ඒ එක උදාහරණයක් පමණි. සිත හීලෑ නැති විම, දෛනික ජීවිතයේ විවිධ කාරණා කෙරෙහි අනිසි ලෙස බලපෑමට ඉඩ ඇත. එනිසා, සිත හීලෑ කර ගැනීම මට නම් අත්‍යවශ්‍ය කරුණකි.

සමහරු මේ සඳහා භාවනාව සුදුසු යැයි යෝජනා කරති. වෙනත් ක්‍රම ද තිබිය හැක.

පසුගිය මාසය තුළ මම මා සමගම සටනක නිරත වුණෙමි.

එය නම්, මේ වන විට "එහෙන් මෙහෙන්" (occasional bloggers) බ්ලොග්කරුවන් වන ඉන්දික කොඩිතුවක්කු සහ දුෂාන් කරවිට විසින් ආරම්භ කර මෙවර අති සාර්ථක තුන්වෙනි වසරේ පැවැත්වුණු බ්ලොග් වසන්තය සඳහා මගේ උපරිම සහයෝගය දීම සඳහා දිනකට එක් බ්ලොග් සටහනක් පළ කරමි! යනුවෙන් මා මට ම කරගත් අභියෝගය ජයගැනීමේ සටනයි.

බ්ලොග් වසන්තය ඇරඹුණු අප්‍රියෙල් දාහත් වෙනිදා සිට අභියෝගය සමතික්‍රමණය කරමින් දිනපතා ලිපියක් පළ කළ මම, අවසාන සතියේ මගේ ම අභියෝගය මා ම සුනුවිසුනු කරමින්, දිනකට ලිපි දෙකක් බැගින් පළ කළෙමි.

සටනින් අද මා දිනුවා!

මා ලියූ ලිපි තිස් හතේ ලයිස්තුව මෙසේ ය. මේ වර්ගීකරණය මගේ ය.

මෙන්න බ්ලොග් වසන්තය 2017 සඳහා මා ලියා පළ කළ ලිපි:

1. අතීතකාමය හෙවත් කුමර දිවිය

1.1. ලොවි බිස්නස්, හොඳ බිස්නස් - A strong link in the supply chain
https://rasikalogy.blogspot.com.au/2017/04/strong-link-in-supply-chain.html


1.2. පොඩි ළමයෙකු ලියූ ලොවි කවිය! - Childish?
https://rasikalogy.blogspot.com/2017/04/childish.html


1.3. ලොවි ගහෙන් වැටීම - නොකී කතාවකි! - All revealed, nothing left untold
https://rasikalogy.blogspot.com/2017/04/all-revealed-nothing-left-untold.html


1.4. සිගරැට් බීම - Who else hates smoking?
https://rasikalogy.blogspot.com/2017/05/who-else-hates-smoking.html


1.5. තාත්තා ගේ දුරාචාරය - One bad habit
https://rasikalogy.blogspot.com/2017/05/one-bad-habit.html


1.6. මල් කුමාරයා - Oh, no!
http://rasikalogy.blogspot.com/2017/05/oh-no.html



2. එදිනෙදා ජීවන සටහන්

2.1 නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html


2.2 කොහෙන් ආපු ඉන්දියන්කාරයෙක් ද මූ? - Being a foreigner in Sri Lanka
https://rasikalogy.blogspot.com/2017/04/being-foreigner-in-sri-lanka.html


2.3 උසස් පෙළ විභාග හොර වැඩ - Exam fraud unique style
https://rasikalogy.blogspot.com/2017/04/exam-fraud-unique-style.html


2.4 ලෙක්චර්ස් කට් වීම! - Lecturer no show - First case report
https://rasikalogy.blogspot.com/2017/05/lecturer-no-show-first-case-report.html


2.5 හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts
https://rasikalogy.blogspot.com/2017/05/fatherly-thoughts.html


2.6 මටත් වෙන වැඩ නොහොත් නෝබොඩීස් ඩේ - Nobody's day
https://rasikalogy.blogspot.com/2017/05/nobodys-day.html


2.7 ඉඳිආප්ප ගෑරුප්පුවෙන් කෑවෙමි - String hoppers from Toongabie
https://rasikalogy.blogspot.com/2017/05/string-hoppers-from-toongabie.html


2.8 මිසිස් පෙරේරා සහ මිසිස් සිල්වා - Jokes apart
https://rasikalogy.blogspot.com/2017/05/jokes-apart.html



3. සමාජ විමර්ශන

3.1 තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!
https://rasikalogy.blogspot.com/2017/04/blog-post.html


3.2 කුණු සහ නොකුණු (මේ ලිපියේ අමුතු දෙයක් නැත!) - Rubbish must be garbaged
https://rasikalogy.blogspot.com/2017/04/rubbish-must-be-garbaged.html


3.3 බින්න බැහීම - වෙනස සැපක් ද, සැප වෙනසක් ද? :: A part of my family history
https://rasikalogy.blogspot.com/2017/04/part-of-my-family-history.html



4. ආගම් පිළිබඳ මගේ අදහස්

4.1 මනුසතා සහ බෝසතා - Not just about you and me, mate!
https://rasikalogy.blogspot.com/2017/04/not-just-about-you-and-me-mate.html


4.2 බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? :: Self-critisism Vs criticising others
https://rasikalogy.blogspot.com/2017/04/self-critisism-vs-criticising-others.html


4.3 ජේතවනේ කුණු කන්දල් - Freedom of expression of artistes and of those who are against them
https://rasikalogy.blogspot.com/2017/05/freedom-of-expression-of-artistes-and.html


4.4 උප්පැන්න සහතිකේ බුද්ධාගම්කාරයෝ? - What a joke?
https://rasikalogy.blogspot.com/2017/05/what-joke.html


4.5 චූ ක්‍රිස්තු සහ මතභේදයට තුඩු දුන් වෙනත් කලා නිර්මාණ - Shock art
https://rasikalogy.blogspot.com/2017/05/shock-art.html



5. සහෝදර බ්ලොග්කරුවන් පිළිබඳ සටහන්

5.1 වසන්තයේ පියඹා ආ ඇට මැස්සා - Welcome back Gadfly
http://rasikalogy.blogspot.com/2017/04/welcome-back-gadfly.html


5.2 විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!
https://rasikalogy.blogspot.com/2017/04/some-day-we-will-all-die.html


5.3 විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html



6. මෑත ඉතිහාසය

6.1 මොට්ටපාල ගේ හෝඩියේ පන්තියේ සිට පොලිස්කාරයා සමත් අටවෙනි ශ්‍රේනිය හරහා ගුරුවරුන් බිහිවූ අවසානය දක්වා කතන්දරය - It all about education, stupid!
https://rasikalogy.blogspot.com/2017/04/it-all-about-education-stupid.html



7. කාලීන සටහන් (වෙසක්)

7.1 ඔළු බක්කන් නැටවීම – අද නොවෙයි හෙට! :: Preethi Vesak
http://rasikalogy.blogspot.com/2017/05/preethi-vesak.html


7.2 අබුද්දස්ස කාලේ, වෙසක් කූඩු හදමු රාලේ :: Post modern Vesak
https://rasikalogy.blogspot.com/2017/05/post-modern-vesak.html


7.3 ඔළු බක්කන් නැටවීම තහනම් - Ban on "big headed" people
https://rasikalogy.blogspot.com/2017/05/ban-on-big-headed-people.html



8. දේශපාලන මළකෝලං!

8.1
එක පවුලේ සමාජවාදය නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ ලොකු අයියලා සහ චුට්ටං මල්ලිලා - All JVPers are equal but some JVPers are more equal (and bigger) than others
https://rasikalogy.blogspot.com/2017/05/all-jvpers-are-equal-but-some-jvpers.html


8.2 ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties
http://rasikalogy.blogspot.com/2017/05/mothers-day-messages-sent-by-lankan.html



9. සිංහල භාෂාව සහ ලේඛන කලාව

9.1 ඇත්ත කතා සහ නිර්මාණ - Can I write a novel?
https://rasikalogy.blogspot.com/2017/05/can-i-write-novel.html


9.2 "ඊ-ෆැක් මෙමොරීස්" පොතේ නිධාන කතාව - Good memories and not so good memories!
https://rasikalogy.blogspot.com/2017/05/good-memories-and-not-so-good-memories.html


9.3 වෙසක් එක? - WTH?
https://rasikalogy.blogspot.com.au/2017/05/wth.html


9.4 දද, දද, දද, දද, දද - Homonyms or synonyms?
http://rasikalogy.blogspot.com/2017/05/homonyms-or-synonyms.html


9.5 දිද්දෙණියේ දර්මදාස - Grade four memories
http://rasikalogy.blogspot.com/2017/05/grade-four-memories.html


9.6 උපන් දා සිට අවුල් වෙන දිනය දක්වා...! - Martin Wickramasinghe or Aruna Perera, the choice is mine!
http://rasikalogy.blogspot.com/2017/05/martin-wickramasinghe-or-aruna-perera.html


සැමට ජයවේවා.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මා රසිකොලොජියේ ලියා පළ කළ ඉහත ලිපි තිස් හතට අමතරව තවත් ලිපි රාශියක් 2017 බ්ලොග් වසන්තය සඳහා ලියවුණි. ඒ ලිපි කියවීමටත්, ඔබ කැමති ලිපි සඳහා මනාපය පළ කිරීමටත් පහත බ්ලොග් පිටුවෙන් ඔබට හැකිවෙනු ඇත.

http://upashantha.blogspot.com/2017/05/2017.html

ස්තුතියි.

(image: http://www.cianellistudios.com/blog/tag/abstract-art-prints/)

Tuesday, 9 May 2017

හිරිමල් වයස හෙවත් දාසයයි මාසයයි - Fatherly thoughts


මගේ ජීවිතයේ දාසයවෙනි උපන්දින සැමරුම උදාවෙන විට මා ඉගෙනුම ලබමින් සිටියේ මා "සිව් වසරක් ගත කළ මරදානේ" ආනන්ද විද්‍යාලයේ එකොළොස්වෙනි ශ්‍රේණියේ ය.

කාලයත් සමග සියල්ල වෙනස් වුව ද, ඒ දිනවල අපේ පවුල්වල උපන්දින සැමරීමට උත්සව පැවැත්වීමක් නොවුණි. මට මතක ඇති කාලයේ සිට වසරකට වරක් එළැඹෙන ඒ උපන් දිනය ද, ජීවිතයේ තවත් එක් දවසක් පමණක් විය.

නමුත්, මා අටවෙනි ශ්‍රේණියේ සිටි කාලයේ දී පමණ එකල ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ශාලාවක සති අන්තයේ සෙනසුරාදා දිනවල පැවත්වුණු කුකරි පන්තියකට ගොස් කේක් සෑදීමට ඉගෙන ගත් අපේ අම්මා, මල්ලිලා දෙදෙනාගේත්, මගේත් උපන්දින සැමරීමට ඩේට් කේක් නම්, සාමාන්‍ය බටර් කේක්වලට වඩා ඉතා රසවත්, කේක් වර්ගයෙන් කිලෝවක පමණ කේක් ගෙඩියක් සාදන්නට පටන් ගත්තා ය.

නමුත් ඉටිපන්දම් පත්තු කිරීමක් හෝ "හැපි බර්ත්ඩේ ටූ යූ!" ගීය ගායනා කිරීමක් හෝ කිසි දිනෙක සිදු නොවුණි.

මේ අතීතාවර්ජනය නිතැතින් ම සිදුවුණේ, අදට යෙදෙන අපේ පුතා ගේ උපන් දිනය සඳහා සටහනක් ලිවිය යුතු යැයි සිතට ආ මොහොතේ ය.

අද එළැඹෙන්නේ ඔහු ගේ ජීවිතයේ දහසයවෙනි උපන්දින සැමරුම යි. හෙට සිට අපේ පුත්‍රයා, ජීවිතයේ දාහත්වෙනි වසර අරඹයි.

පුතා ගේ පහළොස්වෙනි උපන් දින සැමරුම දා මා රසිකොලොජියේ පළ කළ "පුතාගෙන් අතීතය දැකීම - Back to the future" ලිපියේ මා සඳහන් කළේ ඔහු පොත් කියවීම අඩු බවයි. ඒ දියණිය සම වයසේ දී කළ කී දෑ පිළිබඳ මතකය අනුව කළ සංසන්දනාත්මක නිරීක්‍ෂණයකි. නමුත්, පුතා ගේ පරම්පරාවේ හිරිමල් තරුණ තරුණියන් අද ගත කරන්නේ මුද්‍රිත පොත් කියවන, පෑනෙන් අකුරු ලියන යුගයක් නොවන බව ද මම ඒ සටහනේ සඳහන් කළෙමි.

තමන් උපන් ඕස්ටේ‍ර්ලියානු ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට දෙමව්පියන් සමග පදිංචිය වෙනස් කරන්නට සිදුවුණු නිසා, අවුරුදු හතරහමාරෙන් 2006 ජනවාරියේ දී පාසල් යෑමට වරම් ලද, අපේ පුතා, මේ ගෙවන්නේ පාසල් දිවියේ දොළොස් වෙනි වසරයි.

එනම්, ඔහු දැන් ඉගෙනුම ලබන්නේ එකොළොස් වෙනි ශ්‍රේණියේ ය. ලබන වසර අවසානයේ ඔහු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටිනු ඇත.

අධ්‍යාපනයේ අරමුණ යනු ඉහළ විභාග ප්‍රතිඵල ලැබීම නොවන බව කට කැඩෙන තුරු විවිධ ප්‍රාඥයින් ප්‍රකාශ කළ ද, ප්‍රායෝගිකව වැදගත් වෙන්නේ කුමක් දැයි අපි හොඳින් දනිමු.

මගේ පාසල් ජීවිතයේ දී මුහුණ දුන් විභාගවලදී මා හොඳම ලකුණු ලබ ගත්තේ පහේ පන්තියේ දී ය. එතැන් සිට උසස් පෙළ දක්වා මා කළේ 87% සිට 69.25% දක්වා මහා පල්ලම් බැසීමකි.

මා මුහුණ දුන් ඒ පහේ පන්තියේ විභාගයට සමාන විභාගයේ දී අපේ පුතා ලබා ගත්තේ ලකුණු 69.67% පමණකි. නමුත්, එතැන් සිට ඔහු කළේ තාත්තා මෙන් පල්ලම් බැසීමක් නොව මහා කන්දක් නැගීම ඇරඹීමයි.

ඒ ගමනේ විවිධ සලකුණු දැන් දැන් විද්‍යාමානවෙමින් පවතී.

ඊයේ ලැබුණු පුවතකින් කියවුණේ ඔහු ඉගෙන ගන්නා එක් විෂයයක් සඳහා පසුගිය දිනවල පැවති වාර පරීක්‍ෂණයේ දී පුතා ශ්‍රේණියේ ඉහළම ලකුණු ලබා ඇති බවයි.

ඒ ඇසූ මගේ දෙනෙත පවා සංවේදී විය!

-රසිකොලොජිස්ට්

Wednesday, 5 April 2017

ගුණරත්නම්, වීරවංශ සහ වර්ණකුලසූරිය නොහොත් පරණ, නොවැදගත්, පුද්ගලික කතාවක් - Political agenda of Nelum Yaya organisers


මුලින් ම මා මේ සටහනේ මාතෘකාවට යොදා ඇති වියාචන (ඩිස්ක්ලේමර්) වර්ගයේ විශේෂණ පද කිහිපය පිළිබඳ කරුණු තුනක් පවසමි.
පරණ කතාවලින් වත්මනට ප්‍රයෝජන තිබේ.

යම් අයෙකුට නොවැදගත් කතාවක වෙනත් අයෙකුට ප්‍රයෝජනයක් තිබිය හැකි ය.

පුද්ගලික අත්දැකීම්වලද පොදු වින්දනයට ඉඩ ලැබෙන කාරණා අඩංගු විය හැකි ය.
දැන් මෙන්න ඒ පරණ, නොවැදගත්, පුද්ගලික කතාව කෙටියෙන්.

මීට වසර නමයකට පමණ ඉහත 2008 නොවැම්බරයේ දී නිවාඩුවකට ලංකාවට ගිය මට මා නොදැන සිටි අලුත් ඉරිදා සිංහල පුවත්පතක් දැක ගන්නට ලැබුණි. එහි නම වූයේ "හෙළදිව" ය.

එහි පළ වී තිබුණු ලිපි අතරින් දෙකක් මගේ මතකයේ ඉතා හොඳින් රැඳී ඇත. ඉන් එකක් නම්, නොකී කතා බ්ලොග්කරු, හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියන ලද තම සරසවි සගයෙකු වූ ආනන්ද ඉඩමේගම පිළිබඳ නොකී කතා සටහනකි. දෙවැනි ලිපිය වූයේ එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි අභ්‍යන්තර නායකයා ලෙස සැලකුණු ප්‍රේමකුමාර් ගුණරත්නම් පිළිබඳව විවිධ චෝදනා සහ මඩ අඩංගු වූ කිසිදු විශ්වාසනීයත්වයකින් තොර වූ එකකි.

කරුණු සොයා බැලීමේ දී මා දැන ගත්තේ, "හෙළදිව" පුවත්පත ප්‍රකාශනය කරන්නේ ඒවන විට ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී වෙන් වී මරා ගේ දෑත ශක්තිමත් කරන්නට කරණමක් ගසා තම සෑබෑ දේශපාලු ගමන අරඹා තිබුණු විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංශ ගේ කණ්ඩායම විසින් බවයි. මේ පුවත්පත මුද්‍රණය කෙරෙන්නේ මත්තේගොඩ පිහිටි සයුර නම් ප්‍රකාශන ආයතනයකින් බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයෙන්නේ ජපානයේ වාසය කරන හිටපු ජේවීපීකාරයෙකු විසින් බවත් කියවුණි.

විශ්වවිද්‍යාල සිසුන් ගේ නිර්මාණ සහ වෙනත් ලියවිලි සඳහා වෙන්වූ හෙළදිව පුවත් පතේ අතිරේකයක් විය. එය නම් කර තිබුණේ "නිෂ්මි පිටුව" නමිනි.

මේ කාලයේ වන විට, මා විසින් ලියන ලද අපේ කාලයේ විශ්වවිද්‍යාල තොරතුරු අඩංගු ලිපි කිහිපයක් සුමති ප්‍රකාශනයක් වන "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණි.

මාස දෙක තුනකට පසු, 2009 මාර්තුවේ දී මට ඊ-මේලයක් එවූ හෙන්රි වර්ණකුලසූරිය කියා සිටියේ පෙර කී "නිෂ්මි පිටුව" සඳහා මා ලියා "ඉරිදා ලක්බිම" පුවත් පතේ පළ වී තිබුණු රංජිතන් ගුණරත්නම් (එනම් ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ මියගිය වැඩිමහල් සොයුරා) පිළිබඳ ලිපිය උපයෝගී කර ගත හැකිදැයි, "හෙළදිව" පුවත්පතේ සංස්කාරකයෙකු විමසන බවයි.

"හෙළදිව" පුවත්පතේ පසුපස ඇති විමල් වීරවංශ දේශපාලනය පිළිබඳව සහ එහි පල වී තිබූ මා මුලින් සඳහන් කළ දේශපාලන ලිපිය පිළිබඳව මා සිත තුළ වූ පිළිකුල නිසා මගේ පෙර කී ලිපිය හෝ එයින් උපුටා ගත් කොටසක් හෝ එවැනි තැනක පළ කිරීම පිළිබඳ මට කිසිදු ප්‍රසාදයක් ඇති නොවුණි.

මා මේ පිළිබඳව ඔහුට කියූ විට හෙන්රි වර්ණකුලසූරිය මට අප හොඳින් දන්නා පහත කාරණය සිහිපත් කර දුන්නේ ය.
හැම පුවත්පතකටම අයිතිකරුවන් ඇත.

ඒ ඒ අයිතිකරුවන්ට ඔවුන් ගේ දේශපාලනයක් ඇත.

අප ලියන්නේ අපට අවංකව අපට අවශ්‍ය දේ නම්, අප ඒ ලියන දේ පුවත්පත්වල ඒ ආකාරයට ම පළවෙනවා නම්, ඒ පුවත්පත්වල අයිතිකාරයින් ගේ පැටිගිරිය හෝ දේශපාලනය ගැන හෝ අනවශ්‍ය පරිදි සිතීම අවශ්‍ය නැත.
මේ අතීත සිදුවීම මගේ සිහියට ආවේ, පසුගිය දිනවල පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළ මාධ්‍ය ආයතනයේ දේශපාලනය නිසා සිංහල බ්ලොග් කලාව අවරට යාවි යැයි ඇතැමුන් කළ මතය පිළිබඳව කල්පනා කරද්දී ය.

-රසිකොලොජිස්ට්

ප/ලි
හෙන්රි වර්ණකුලසූරිය ගේ පැහැදිලි කිරීම කෙසේ වුව ද, මම නිෂ්මි පිටුව සඳහා රංජිතන් ගුණරත්නම් පිළිබඳව මා ලියූ ලිපිය ලබා නොදුන්නෙමි.

Tuesday, 28 March 2017

දේශපාලුවන් සම්මාන දුන් අපි නොදන්නා සයිබර් සම්මාන උළෙලක් - Cyber Awards 2016 (Blogs, Vlogs, Twitter, Instagram and all included)


දේශපාලුවන් පැමිණ සම්මාන ප්‍රදානය කළ නමුත්, ඒ ගැන කිසිදු කචල්-බචල් ඇති වූ බවට ආරංචියක් නැති සම්මාන උළෙලක් ගැන විස්තරයක් පසුගිය දා මට අසන්නට ලැබුණි.
මේ සම්මාන උළෙල බ්ලොග් සඳහා පමණක් පැවැත්වූ එකක් නොවේ.

මෙය බ්ලොග්වලට පමණක් නොව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ව්ලොග් හෙවත් වීඩියෝ බ්ලොග් ඇතුළු සයිබර් අවකාශයේ සමස්ත සමාජ මාධ්‍ය සියල්ලට ම වාගේ සම්මාන පිරිනැමූ අප නොදන්නා සම්මාන උත්සවයකි.

සම්මාන පිරිනැමීම සංවිධානය කර තිබුණේ ලංකාවේ රාජ්‍ය ආයතනයක් වන ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය (National Youth Development Bureau - NYDB) විසිනි.

ඒ කටයුත්ත පිළිබඳව මා දැන ගත්තේ ෆේස්බුක් හි සහෘද බ්ලොග්කරුවෙකු විසින් පළ කර තිබුණු පහත රූ සටහන නිසා ය.



මෙය ඒ ඒ කාණ්ඩවල හොඳම සයිබර් නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමක් නොව ජනප්‍රිය ම නිර්මාණකරුවන් සඳහා සම්මාන දීමකි. ජනප්‍රියත්වය නීර්ණය කරනුයේ වෙබ් අඩවියක ඡන්ද විමසීමක් මගින් බව පැවසුනි.

ෆෙස්බුක් හි ඉහත ඡායාරූපය සමග පළ කර තිබුණු පෙර කී ජාතික තරුණ සංවර්ධන කාර්්‍යාංශයේ වෙබ් අඩවියට ගිය විට දක්නට ලැබුණේ ඒ අදාළ පිටුව ක්‍රියාත්මක නොවන බවයි.



එසේම මේ සම්මාන ලබා දීමට නිර්දේශ වී තිබුණු ඒ ඒ සයිබර් නිර්මාණ කෙසේ කවුරුන් කෙලෙසක තෝරා තිබුණේ ද යන්න පිළිබඳව දැන ගැනීමට ක්‍රමයක් ද ඒ වෙබ් අඩවියේ අනෙක් ස්ථානවල හෝ නොතිබුණි.

කෙසේ නමුදු මෙකී සම්මාන උත්සවය පැවැත් වී තිබේ.

ඒ අවස්ථාවේ දී රූපගත කරන ලද තත්වයෙන් බාල වීඩියෝවක් පහත දක්වා ඇත.

විඩියෝව අපහසුවෙන් නරඹා මා දැනගත් පරිදි, සම්මාන උළෙලේ දී ප්‍රකාශ කෙරී ඇත්තේ ඔවුන් වෙබ් ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් කර තිබූ දත්ත ගබඩා පද්ධතිය විනාශ වූ බවයි.

සම්මාන ප්‍රධාන දිනයට පෙර එය යථා තත්වයට පත්කර ගැනීමට නොහැකිවුනු නිසා ඔවුන් කර ඇත්තේ, ජනප්‍රියතම නිර්මාණකරුවා තේරීම නොව අවසන් වරට දකින විට ඡන්ද ලයිස්තුවේ සිටි ඒ ඒ කාණ්ඩයේ තිදෙනෙකුට සම සම්මාන ප්‍රදානය කිරීමයි.

කෙසේ වුවද, මේ සම්මාන සඳහා නිර්දේශිත නිර්මාණකරුවන්ට උත්සවය ගැන දන්නවා ආරාධනා කිරීමට නම් සංවිධායකයින්ට අමතක වී තිබුණු බව පෙනුණි!

මේ සම්මාන ප්‍රදානය කෙරුණේ ඇමතියෙකු නොවුන ද, පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලුවෙකු අතිනි. එනිසා ම දෝ, මේ උත්සවය පවත්වා තිබුණේ නෙළුම් පොකුණ රඟහලේ නොව ඒ අසල භූමියේ ය.

සිංහල බ්ලොග් අංශයේ ජනප්‍රියතම සම්මාන ත්‍රිත්වය හිමිවී ඇත්තේ, අලුත්, මාතලන් සහ අමා ගේ හීන සාප්පුව නම් බ්ලොග්වලටයි.

මෙන්න ඒ කොටස පමණක් නැරඹීමට සබැඳියක්.

https://youtu.be/SFK21lh3kyQ?t=891

මෙන්න සම්පූර්ණ යූටියුබ් වීඩියෝව.



-රසිකොලොජිස්ට්

ප/ලි:
ලිපියේ ඉහලින් ඇති දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීෙම් අර්ශනය ගැන මට කිය හැක්කේ මෙපමණකි.

"කෝණ මානයක් තිබේ ද?"

ප/ප/ලි:
මෙන්න තවත් දේශපාලුවෙකු අතින් සම්මාන ගැනීමක්. කෝණ මාන අවශ්‍ය නැත. කශේරුකා ලබ්බකව තිබේ!



(image: http://dailynews.lk/2016/12/19/features/102247)

Wednesday, 22 March 2017

කව්ද ඇත්ත කියන්නේ - නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පාදක කොට පැවැත්වුණු ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු - ITN Television Program on Sinhala bogging


ඊයේ, 2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ පිටපතක් මේ වන විට ඒ නාලිකාවේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/

අපට යූටියුබ් හරහා ද ඒ වැඩ සටහන කොටස් වශයෙන් නැරඹිය හැකිය.

මුල් කොටස:



දෙවෙනි කොටස:



තුන්වෙනි කොටස:



මගේ මූලික නිරීක්‍ෂණය නම් සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාම ද, විශේෂයෙන් ම වැඩසටහන මෙහෙය වූ රූපවාහිනී මාධ්‍යකරුවා ද හොඳින් තම කාර්යය ඉටු කළ බවයි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක මේ ආකාරයෙන් බ්ලොග් ගැන සාකච්ඡා වීම ඉතා වැදගත් බව මගේ අදහස යි.

ස්තුතියි.

මෙවර නෙළුම් යාය සම්මාන සඳහා නිර්දේශ වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ට මගේ සුබ පැතුම්!

-රසිකොලොජිස්ට්

ප/ලි
අදාල වෙනත් ලිපි කිහිපයක්:
  1. මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol
  2. සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!
  3. නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony
  4. "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017

Friday, 3 February 2017

තම නිර්මාණ සම්මාන සඳහා ඉදිරිපත් කීරීමෙන් ලේඛකයින් තත්වයෙන් බාල වෙනවා ද? - There is nothing demeaning about self nominating your creative work for awards!


පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී ඇතිවාට සැක නැති මා මිත්‍ර අර්ධකාලීන ගත්කතුවරයෙකු මෙන්ම, "නීල චන්ද්‍ර" බ්ලොග්කරුවෙකු නිසා දෝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ පොත් එළිදැක්වීම් වැනි වැදගත් අවස්ථාවල දී ඒ තොප්පිය හිස ලෑම අමතක කරන සහෘද බ්ලොග්කරුවෙකු ද වන හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර මෑත දවසක දී ෆේස්බුක් හි ඇති වූ කතාබහක් නිසා මේ ලිපිය ලිවීමට සිත්විය.

අපේ ඒ කතාබහට මූලාශ්‍රය සැපයූවේ 2016 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීමට සලකා බැලීම සඳහා, ඒ අදාළ කෘතිවලින් පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොත් ප්‍රකාශකයින්ගෙන් මෙන් ම ලේඛකයින්ගෙන් ද කෙරුණු ඉල්ලීමක් සහිත පුවතකි.

මෙතෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සලකා බැලීම සිදු කෙරුණේ, අයිඑස්බී අංකයක් ලබාගෙන මුද්‍රණය කළ පසුව එයින් රාජ්‍ය ලේඛණාගාරයට පිටපත් යැවූ ග්‍රන්ථ බව පොත් හතක් අටක් ලියා දා නැති අපි ද දනිමු. එසේ සලකා බැලෙන ග්‍රන්ථ ලයිස්තුව දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනු ද මා දැක ඇත.

පෙර කී පුවතට අනුව මෙවර මෙසේ ප්‍රකාශකයින්ගෙන් සහ ලේඛකයින්ගෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථ පිටපත් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කර ඇත්තේ සමීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම කිරීමේ අරමුණෙනි.

මා දැක ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මූලාශ්‍ර පුවත් නිවේදනය නොව, ඒ ගැන ලියවුණු පුවත් වාර්තාවක් පමණක් නිසා, තවමත් අපැහැදිලි කරුණක් නම්, මෙවර සම්මාන සඳහා ඔවුන් සලකා බලන්නේ මේ ඉල්ලීමට අනුව ලැබෙන ග්‍රන්ථ පමණක් ද, නැතහොත් වෙනදා අනුගමනය කළ ක්‍රියා මාර්ගය අනුව තව දුරටත්, ජාතික ලේඛණාගාරයට පිටපත් එවා ඇති පොත් ලයිස්තුව ද ඇතුළත් කරගන්නේද යන්නයි.

කෙසේ වෙතත්, වෙනදා සමීක්‍ෂණයට පොත් පිටපත් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට වැයවුණු මුදල (හෝ ඉන් කොටසක් හෝ) ඔවුන්ට මෙවර ඉතිරි කර ගැනීමට ලැබෙන බව නම් පෙනේ.

මේ කරුණ අරභයා හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර ඇතිවුණු අදහස් හුවමාරුවේ තිබුණු විවාදාත්මක කරුණ වූයේ ලේඛකයින් සම්මාන ඉල්ලා පාලකයින් පස්සෙන් යා යුතුව ඇතැයි ඔහු මෙය අර්ථ දැක්වීම ය. මෙසේ සම්මාන සඳහා අයැදුම් කිරීම යනු ලේඛකයින් විසින් කළ නොයුතු සහ එසේ කළහොත් ලේඛකයින් පීචං වෙනවා ය (වචන මගේ ය) වැනි අදහසක් ද හෙන්රි වර්ණකුලසූරියගෙන් ප්‍රකාශ වී තිබුණි.

ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකු වන මනෝරම වීරසිංහ ද, ඒ හා සමාන අදහස් මෙහි දී ප්‍රකාශ කර තිබුණි.

මේ ගැන මා එහි දී දැක්වූ (සහ අදාළ වෙනත්) අදහස් මෙසේ ය.

අප වැනි සාමාන්‍ය වැසියන්ට-
  • උප්පැන්න සහතිකයට අයැදුම් කළ යුතුය. උපත ලබා තිබුණු පමණින් සහතිකයක් ඉබේ පහළ නොවේ.
  • පාසල් අධ්‍යාපනය ඇරඹීමට අයැදුම් කළ යුතුය. නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.
  • ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට අයැදුම් කළ යුතුය. පාසල් ගිය පමණින් ඒවා ඉබේ සිදු නොවේ.
  • උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත් නැත. විශ්වවිද්‍යාලයට යැමට අයැදුම් කළ යුතුය.
  • විවිධ ශිෂ්‍යත්ව සඳහා සහ අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා ද අයැදුම් කළ යුතු ය.
  • අයැදුම් නොකර කිසිවක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින් සුවිශේෂී තත්වයන් යටතේ ය. ඒ සඳහා වුව ද, වෙනත් අයෙකු ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කර තිබිය යුතු වේ.
ඒ අප වැනි සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙනි.

කලාකරුවන් ගැන සලකා බලමු.
  • සිනමා නිර්මාණයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අයැදුම් කළ යුතුය.
  • එසේම සිනමා නිර්මාණ දේශීය/විදේශීය චිත්‍රපට උලෙළකට ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • රාජ්‍ය නාට්‍ය උලෙළට හෝ තරුණ නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • ඩී.ආර්. විජේවර්ධන, දයාවංශ ජයකොඩි, ගොඩගේ යනාදී නවකථා අත්පිටපත් තරගවලට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතු ය.
ඉතිං, රාජ්‍ය සාහිත්‍ය උලෙළේ සම්මාන සඳහා සලකා බැලීමට තමන් ගේ කෘතියක් ඉදිරිපත් කිරීමේ ඇති වරද කුමක් ද?

එයින් ලේඛකයාට සිදුවෙන අවමානය කුමක් ද?

මා යම් දවසක වැරදීමකින් හෝ නවකථාවක් රචනා කළහොත් එය ඕනෑම සම්මාන උත්සවයක් සඳහා ඉදිරිපත් කිරීමට නොපැකිළෙමි.

තමන් කිසිදා සාහිත්‍ය සම්මාන පසුපස නොයන බව හෙන්රි වර්ණකුලසූරිය ගිය වසරේ ප්‍රකාශ කර තිබුණි. නමුත්, ස්වර්ණ පුස්තක සම්මානය වැන්නක් තමන්ට ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ඔහු මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේ ය.

ගිය වසරේ ඔහු ලියූ "ඳඩ කඳවුර" නවකතාව රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කිරීම හෙන්රි විසින් නොකරනු ඇතැයි සිතමි. නමුත්, එය ඔහු කළ යුතු දෙයක් නොවේ. ඒ "ඳඩ කඳවුර" යනු කතෘ ප්‍රකාශනයක් නොවන බැවිනි. එය සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශක ගේ වගකීමයි.

එසේ ම, තමන් ගේ නොකී කතා බ්ලොගය නෙළුම් යාය සම්මාන සඳහා සලකා නොබලන ලෙස ද ඔහු ඉල්ලා තිබුණි.

ඇත්තටම නෙළුම් යාය සම්මාන සඳහා විවිධ තේමාවල බ්ලොග් ලිපි යෝජනා කිරීමට මේ කාලයයි. මෙහි දී, පාඨකයින් විසින් තමන් කැමති බ්ලොග් ලිපි සම්මාන සඳහා යෝජනා කරන විට, ලේඛකයින්ට ද තමන් ලියූ ලිපි ඉදිරිපත් කිරීම කළ හැකි විය යුතු ය.

ඒ සඳහා ළඟදී ම ආරම්භයක් දීමට මම අපේක්‍ෂා කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි

මෙන්න තවත් ජාතික මට්ටමේ සම්මාන උත්සවයක්. මේකටත් අයැදුම් කරන්න වෙනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා ගේ තත්වය අඩුවෙයි ද?


(imageL http://nokieekatha.blogspot.com.au/2015/09/blog-post.html)

Tuesday, 31 January 2017

"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017


"නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල මේ වසරේ මාර්තු මස පැවැත්වෙන බව එහි එක් සංවිධාකයෙකුවන අජිත් ධර්මකීර්ති විසින් නොබෝදා ප්‍රකාශයට පත් කළ පසු ගිය වසරේ පැවැත්වුණු උත්සවයේ අඩුපාඩු තම නැණ පමණින් පෙන්වා දෙමින් හෙන්රි වර්ණකුලසූරිය විසින් ලිපියක් පළ කොට තිබුණි.

ඒ සමගම "නෙළුම් යායේ" කෙටි ඉතිහාසය පුරා ම මේ කර්තව්‍යයට හූල්ලමින්, ශාප කරමින්, ඇනුම් පද කියමින්, අපහාස කරමින්, ගේම ඉල්ලමින් කල්ගත කළ පිරිස් ද, තම නමින් ද, නිර්නාමිකව ද සුපුරුදු ක්‍රීඩාව අරඹා ඇති බව පෙනේ.

සිංහලෙන් බ්ලොග් ලිවීම පිළිබඳ මගේ අත්දැකීම වසර දොළහක අතීතයට, එනම් 2005 අප්‍රියෙල් දක්වා ඇදී යන නමුත්, මා දන්නා පරිදි මුලින් ම සිංහල බ්ලොග් සඳහා සම්මාන උලෙළක් සංවිධානය කෙරුණේ වසර 2009 දී කොළඹ රාජකීය විද්‍යාලයේ සාහිත්‍ය සංගමය මගිනි. තෙවසරකට පසුව අහෝසි වී ගිය ඒ උත්සවයට, ජනාධිපති කාර්යාලය, මයික්‍රොසොෆ්ට් ආයතනය, ජාතික තොරතුරු තාක්‍ෂණ ආයතනය වැනි ප්‍රමුඛ පෙළේ අනුග්‍රහය ලැබී තිබුණි.

"නෙළුම් යාය" උත්සවය පිළිබඳව ලියවුණු විවේචනාත්මක ලිපියකින් ඇරඹුණු සාකච්ඡාවේ දී සඳහන් වීී තිබුණු එක්තරා අසත්‍ය, අපහාසාත්මක චෝදනාවක් පිළිබඳව ද සඳහන් කෙරෙමින් ලියවී කිහිප දෙනෙකු අතරේ සංසරණය වුණු ඊ-මේලයකට පිළිතුරු ලෙස මා ලියූ සටහනක සඳහන් කළ කරුණු කිහිපයක් පොදු පරිභෝජනය සඳහා ද යෝග්‍ය යැයි සිතුණු බැවින්, මේ ලිපිය මෙලෙස සකසා පළ කරන්නට සිත්විය.

සිංහල බ්ලොග් ලියන පිරිස මෙන්ම කියවා අදහස් දක්වන පිරිස ද, වයස දහසයේ සිට අසූව දක්වා ද, උතුරු ඇමරිකාවේ සිට දකුණු ඕස්ටේලියාව දක්වා ද, දහයේ පන්තියේ සිට පීඑච්ඩී දක්වා ද, ගෝත්‍රවාදී වහල් බයියා ගේ සිට කූල්ටූර් නිරාගමික ටොයියා දක්වා ද, එක් එක් මානයන් හි විශාල පරාසයක විසුරුණු පිරිසක් බව පැහැදිලි සත්‍යයකි.

ඒ වෙනස්කම් නිසා සහ ඊට පරිබාහිර වෙනත් හේතු නිසා ද, තමන්ට වඩා විරුද්ධ අදහස් දරන අය සමග මත ගැටුමක පමණක් නොයෙදී ඒ විරුද්ධවාදීකම් පුද්ගලික මට්ටමට ගෙන ඒමට ද ඇතමුන් පෙළඹීම ආරම්භයේ සිටම සිංහල බ්ලොග් අවකාශයේ දක්නට ලැබුණු තත්වයකි.

මා 2005 දී පළ කළ "පෙම් ගී" බ්ලොගයේ දී කෙසේ වෙතත් පසුව 2009 දී පමණ වෙනත් බ්ලොගයක් ලියන අවදියේ මුලින් ම මේ විරෝධතා නැගුණේ මා දුටුගැමුණු ගැන කළ සඳහනක දී, ඔහුට පොර කියා දෙතුන් තැනක ලිවීම නිසා ය. එය දුටු රටේ සහ ජාතියේ ස්වයං පත්වීම් ලබා ඇති අයිතිකරුවෝ මට එරෙහිව අවි අමෝරා ගත්හ.

මා එවිට කළේ දුටුගැමුණු පොරක් නොවේ කියා දෙවෙනි ලිපියක් ලිවීමයි.

කෙසේ වෙතත්, එයින් පසු අද භාෂාවෙන් බයියන් යැයි හැඳින්වීමට හැකි පිරිසක් මා හා පුද්ගලිකව වෛර බැඳගත් බව පෙනුණි.

එදා සිට මා හා වෛර බැඳගත් අන් අය අතර, ටෙම්පල් ඔෆ් ද ටූත් යන්න සිංහලෙන් දතේ පන්සල කියා ලිවීම වැනි දේ නිසා උරණ වූ තලේබාන් බෞද්ධයින් ද, මා සිව් වසරක් ගත කළ ආනන්ද විද්‍යාලය ගැන ලියූ සටහනකින් පාසලට අපහාස වුණා යැයි කියා කෝපවුණු ස්වයං පත්වීම් ලබා සිටින පාසලේ අයිතිකරුවන් ද, මා බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය ගැන ලියූ නිසා තැතිගත් සිංහල ජාතිවාදීන් ද වෙති.

මීට අමතරව, රසිකොලොජිය ඇරඹුණු මුල් දිනවලම සිට මා ලියා පළ කළ ලංකාවේ දේශපාලනය පිළිබඳව වූ විවිධාකාරයේ ලිපිවල අන්තර්ගතය නිසා මා හා පුද්ගලිකව වෛර බැඳගෙන ඇති පිරිසක් ද ඇති බව පැහැදිලිවම පෙනේ.

මේ සියලු දෙනා විවිධ අවස්ථාවල දී මට විරුද්ධව නොයෙකුත් අපහාස කළ ද, මා තවමත් අනුගමනය කරන වාරණ විරෝධී ප්‍රතිපත්ති නිසා, ඒ ගැන අනවශ්‍ය ලෙස කරදර නොවුණෙමි.

ඒ සමගම එලෙස අපහාස කරන කිසිවෙකු පිළිබඳව කෝපයක් ද ඇති කර නොගත්තෙමි.

එසේ ම සඳහන් කළ යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ මොනාකාරයේ මත ගැටුම් සිදු වුව ද, මා කිසි දිනක, කිසිදු ආකාරයකින්, නිර්නාමිකව හෝ ආරූඪ නමකින් හෝ කිසිම පුද්ගලයෙකුට අපහාසාත්මක දෙයක් ලියා නැති බවයි.

ඒ සත්‍යය පිළිගැනීමට සමහරුන් අසමත් වීම නම් කනගාටුවට කරුණකි.

අජිත් ධර්මකීර්ති සහ "නෙළුම් යාය" සම්බන්ධයෙන් ද සිදු වී ඇත්තේ මෙවැනි තත්වයකි.

රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි.

දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය.

ඔවුන්ගෙන් සමහරෙකු සංවිධානාත්මකව හෝ තනි තනිව, මරා විරෝධී බ්ලොග්කරුවන්ට විරුද්ධව කටයුතු කරන බව පැහැදිලි ය. මරා විරෝධීන් එකිනෙකා හා කෙටවීම ද ඒ ව්‍යාපාරයේ කොටසක් යැයි, පසුගිය වසරේ සිංහල බ්ලොග් අවකාශයේ සිදුවූ යම් යම් දේ නිසා මට හැඟී ගියේ ය.

සිරිලංකා, යූඇම්පී, ජේවීපී, පෙසපෙ වැනි කුමන පක්‍ෂයකට වුව ද වහල් වී ජීවත් වෙන අයගෙන් තමන්ට ප්‍රතිවිරෝධී අදහස් දරන අයට එරෙහිව මේ ආකාරයේ වෛරයක් ඇති වීම අපේක්‍ෂා කළ යුත්තකි. ඒ අයගෙන් සමහරෙකු එළිපිට හෝ නිර්නාමිකව විවිධ අපහාස කිරීම ද එලෙස ම අපේක්‍ෂා කළ යුත්තකි.

"ලංකානිව්ස්වෙබ්" හා "නෙළුම් යාය" හා ඔහු ගේ ඇති සෘජු සම්බන්ධය නිසා අපහාසකරන්නන්ට අමතරව, පාසල් සමයේ මොන්ටිසෝරි වලි නිසා අජිත් ධර්මා (සහ සමාන පිරිසක්) සමග පුද්ගලිකව පොදුවේ වෛර බැඳ ගෙන සිටින අය ද සිටින බව මට පෙනී ගොස් ඇත. මා ඒ බව හොඳින් ම දන්නේ එවැනි එක් පුද්ගලයෙකු මා අහම්බෙන් මුණ ගැසුණු දිනයේ දී කෙළින් ම ඒ බව මා සමග කී නිසා ය.

සත්‍යය කවදා හෝ ජය ගනී, යුක්තිය ඉටුවේ යනුවෙන් අප කුඩා කල සිට විශ්වාස කරගෙන ඇති දේ සහමුලින් ම ප්‍රතික්‍ෂේප කිරීමට තවමත් මට නොහැකි නිසා මට සියලු මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ මඩ ප්‍රහාර හමුවේ තවදුරටත් නොසැලී සිටින ලෙසයි.

මාර්තු මස පැවැත්වෙන තුන්වෙනි "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උත්සවයට මගේ සුබ පැතුම් එක් කරමි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය වසරේ පැවති නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙළ පිළිබඳ කෙටි වීඩියෝ වාර්තාවක් මෙන්න.



(image: http://nelumyaya.com/?p=7272)

Saturday, 24 September 2016

අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward?


දින දෙක තුනකට ඉහත දී මම ජයලත් මනෝරත්න විසින් ලියා, අධ්‍යක්‍ෂණය කර, ප්‍රධාන චරිතය ද රඟ පෑ "ගුරු තරුව" නම් වේදිකා නාට්‍යය ගැන ලියූ ලිපියක "ගුරු ගීතය" නම් පරිවර්තන කෘතිය ගැන යන්තමින් සඳහනක් කළෙමි.

"ගුරු ගීතය" පරිවර්තන කෘතිය පිළිබඳව මම ඊට පෙර ලිපියක ද සඳහන් කර ඇති බව ඒ මොහොතේ මට සිහිවිය. ඒ පෙර අවස්ථාව වූයේ හිටපු පාසල් ගුරුවරයෙකු වන සමන්ත විද්‍යාරත්න නම් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරු ගීතයේ ආ ප්‍රධාන චරිතයේ පුද්ගල නාමය උපයෝගී කර ගෙන ඇරඹූ "දුයිෂෙන් ගේ අඩවිය" නම් බ්ලොගය හඳුන්වා දීම උදෙසා රසිකොලොජියේ පළ කළ ලිපියයි.

සමන්ත විද්‍යාරත්න යනු මා සිත දිනා ගත් දේශපාලන චරිතයක් බව මුළින් ම කිව යුතුය. මා කිසි දිනෙක ඔහුව සැබැවින් දැක නැති නිසා, ඒ පැහැදීමට හේතුව මුළුමණින් ම සයිබර් අවකාශය හරහා මා දැක ඇති ඔහු ගේ කතා, දේශන සහ විවාද ආදිය බව පැහැදිළිය.

පසුගිය මහ ඡන්ද සමයේ තවත් බොහො දෙනෙකු ගේ මෙන්ම මගේත් අපේක්‍ෂාව වූයේ මේ අපූරු මිනිසා පාර්ලිමේන්තුවට තේරී පත් වේ ය කියායි.

http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

එය එසේ නොවූ කළ, අන් අය මෙන් ම, මා ද දුක් වීමි.

කරුණු එසේ හෙයින්, ගුරු ගීතය නවකතාවේ ප්‍රධාන චරිතයවන දුයිෂෙන් ගේ නම ආරූඪ කර ගෙන සමන්ත විද්‍යාරත්න බ්ලොග් ලොවට පිවිසෙන බවට ලැබුණු ආරංචිය සිත තුළ ඇති කළේ සතුටකි.

බ්ලොග් ලියමින් සිට පූර්ණකාලීන දේශපාලනයට ගිය අජිත් පී පෙරේරා, කරුණාරත්න පරණවිතාන වැන්නන් ගැන මා දැන සිටිය ද, දුයිෂෙන් ගේ ආගමනයේ දී සිදු වුණේ එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියයි, එනම්, පූර්ණකාලීන දේශපාලකයෙකු බ්ලොග් ලොවට පිවිසීමයි.

එනිසා මා ලියන මේ ලිපිය දැකිය යුත්තේ ද, බ්ලොග්කරුවෙකු ගැන ලියවෙන්නක් ලෙස නොව මූලිකව ම දේශපාලකයෙකු ගැන ලියවෙන්නක් ලෙසිණි.

සමන්ත විද්‍යාරත්න ඇරඹූ දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගය ගැන ඇති වූ මා පෙර කී ඒ සතුට සමගම මගේ සිතේ යම් කිසි ආකාරයක කුකුසක් ද ඇති විය.

එනම්, කුමක් හෝ දේශපාලන පක්‍ෂයට බැඳී තම හෘද සාක්‍ෂිය ඒ පක්‍ෂයට පාවා දී පක්‍ෂයේ මතය අකුරට ම අනුගමනය කරමින් ජීවත්වීමත්, සාහිත්‍යමය කර්තව්‍යයක් වන බ්ලොග්කරනයේ නිරතවීමත් එකට කළ හැකි කාර්යයන් ද්වයක් නොවන බව මට එදා ම සිතුණි.

දුයිෂෙන් ගේ අඩවිය බ්ලොගයේ පළ කළ මුල්ම ලිපිය වූ "දුයිෂෙන් ගේ පන්නරය ලැබූ ගුරු ජීවිතය" නම් සටහනෙන් සමන්ත විද්‍යාරත්න තමන් ගේ වෘත්තීය ජීවිතය ඇරඹුණු හැටි අපූරුවට විස්තර කළේ ය.

මේ ඒ ලිපිය කියවා එදා මා තැබූ තැබූ ප්‍රතිචාරයයි. ඇත්තෙන් ම, ඔහු ගේ බ්ලොගයේ ප්‍රතිචාරයක් තැබූ මුල් ම පාඨකයා මම ය.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.

මගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
පසුව ඔහු කවුදැයි හොඳින් දැන ගත් පසු මෙසේ පැවසුවෙමි.
දැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.

ඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.

දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.

නමුත් මේ ටිකත් කිව යුතුයි. මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්ෂිය පාවා දෙන්න වෙනවා. පක්ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්ෂියක් නැතුව යනවා.

කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්ෂයේ ප්‍රකාශය නිසායි.

ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

එසේම, ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.

ජයවේවා!
මේ ඔහු එදා එයට දුන් පිළිතුරයි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
මා මෙන් ම, ඒ ආකාරයේ සහ ඒ හා සමාන ප්‍රශ්න නැගූ අය බොහෝ දෙනෙකු වූහ. මේ ලියන්නේ පක්‍ෂයෙන් අවසර අරගෙනදැයි සමහරු කෙලින්ම ඇසූහ.

දුයිෂෙන් ඒ සැම දෙනාටම ලබා දුන්නේ එක සමාන ඇල්වතුර (එනම් සංවර) පිළිතුරකි.

සමන්ත විද්‍යාරත්න ගේ බ්ලොගයේ ඒ මුල් ම ලිපියට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. බ්ලොග් අවකාශයේ ධනාත්මක වෙනසක් සිදු වී ඇතැයි බොහෝ දෙනෙකු මෙන් ම මම ද සිතුවෙමි.

ඔහු ගේ දෙවෙනි ලිපිය ගම්බද දිළිඳුකම තුරන් කිරීමට ක්‍රියාත්මක කළ හැකි බොහෝ දුරට සිල්ලර වුවත් කෙටි කාලීනව ප්‍රායෝගික විය හැකි එක් විසඳුමක් පිළිබඳව විය.

මා හිතන පරිදි දුයිෂෙන් ගේ අඩවියේ අවගමනය ඇතිවුණේ බ්ලොගය අරඹා මසකට පමණ පසු එහි සිව්වෙනි ලිපිය ලෙස පළ වූ ඌව පළාතේ තිබුණා ය කියවෙන අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ලියවුණු ලිපියත් සමග ය. මෙය සමන්ත විද්‍යාරත්න විසින් ජනතා විමුක්ති පෙරමුණේ සහ මහින්ද රාජපක්‍ෂගේ මධුසමය පැවති 2005-2009 කාලයේ ලියවුණු එකක් විය යුතුය යනුවෙන් විවිධ හේතු මත මා පසුව නිගමනය කළෙමි.

ඒ ලිපිය කියවන විට මට සිතුණේ, මා කියවා නැති, ප්‍රව්ඩා, ගැන්මා සහ පීපල්ස් ඩේලි පුවත්පත්වල ලිපි මේ ආකාරයේ ඒවා විය යුතු නේද කියායි!

ලස්සන වචනවලින් වසා තිබුණද, කිසිදු වැදගත් ප්‍රගතිශීලි අන්තර්ගතයක් නොතිබුණු එය එතරම්ම පුස් ලියවිල්ලක් විය.

ලිපියේ අන්තර්ගතය පිළිබඳ පාඨකයින් නැගූ එකදු ප්‍රශ්නයකටවත් සාධනීය පිළිතුරක් සැපයීමට සමන්ත විද්‍යාරත්න අපොහොසත් විය. ඒ වෙනුවට ඔහු, අන්තර්ගතය වර්ණනා කරමින් අලගපත් තැබූ අයගේ ප්‍රතිචාරයෙන් ඔකඳ වෙමින් සිටිනවා දෝ යි මට සිතුණි.

මගේ අදහස වූයේ සමන්ත විද්‍යාරත්නලා කළ යුත්තේ කැප්පෙටිපොළ, කුඩහපොළ, කීර්ති විජබාහු වැනි චරිත සහ ඒ අදාල ඉතිහාසයේ ඇලී ගැලී සිටීම නොව, රටේ ප්‍රශ්නවලට ජාතික මට්ටමේ විසඳුම් ලබාදෙන සැළසුම් ඉදිරිපත් කිරීම බවය.

මා ඒ බව මෙසේ ප්‍රතිචාරයක් මගින් කීවෙමි.
ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!

ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය....

ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිට ම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!
සමන්ත ගේ පිළිතුර මෙසේ විය.
ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.

ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව.
කෙසේ වෙතත්, දැන් සෑහෙන කාලයකින් දුයිෂෙන් ගේ අඩවිය යාවත්කාලීන වී නැත. නැගගෙන ආ තරුව බැසගෙන ගොස් දැයි මට සැක සිතේ.

එසේ නොවන්නේ නම් හොඳ ය.

මා ගුරු ගීතය පරිවර්තිත නවකතාව කියවා නැති වුණත්, එනමින් යුතු චිත්‍රපටය නරඹා ඇති බව මුළින් සඳහන් කළෙමි. එය නරඹද්දී මට හිතුණේ, අවසානයේ දුයිෂෙන්ට හෝ අල්තීනාට අත් වූ සුගතියක් නෑ නොවේ ද යන්නයි.

චිත්‍රපටයේ දැක්වුණු ආකාරයට නම් අවසානයේ අල්තීනා වියපත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කල් යවයි. දුයිෂෙන් නම් ආගිය අතක් නැත.

එහි නම් උත්ප්‍රාසයක් නැත. ඇත්තේ අභාග්‍යයක් පමණකි!

-රසිකොලොජිස්ට්

ප/ලි (28 September 2016, 01:25pm AEST):
කල් දැමිය නොහැකි පුද්ගලික වැඩකට කාලය ගත කිරීමට නොහැකි වුණු නිසා, මේ ලිපියට පසුව ලැබුණු ප්‍රතිචාරවලට නිසි ලෙස පිළිතුරු ලිවීමට නොහැකි විය.

මේ සැමට පොදු පිළිතුරකි.

ජවිපෙට සහ සමන්ත විද්‍යාරත්නට දේශපාලන සතුරන් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නමුත්, මේ ලිපිය ලිවීම ගැන මට දෝශාරෝපනය කරන ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න ගේ මිතුරන් වටහා ගත යුතු කාරණය නම්, මා ඒ කණ්ඩායමේ අයෙකු නොවන බවයි.

වාමාංශිකයින් වටහා නොගන්නේ ද මෙයම ය. තමන් හා සමාන අදහස් ඇති, නමුත්, තමන් සමග එක කණ්ඩායමේ නොමැති අය ඔවුන්ට පෙනෙන්නේ ප්‍රධාන සතුරාට වඩා දරුණු ලෙස ය.

මට ජවිපෙ සමග හෝ සමන්ත විද්‍යාරත්න සමග හෝ අවුලක් නැත. වෙනත් කිසි කණ්ඩායමක් සමග සම්බන්ධයක් නැත.

මගේ ගුරුවර, ශාස්තෘ, පිළිම වන්දනා නැත. මම මගේ අවංක මතය ලියමි.

එය ඒ ඒ පිළිම වන්දනා කරන්නන්ට අජීර්ණ විය හැක. ඒ සඳහා මම වග නොකියමි!

ස්තුතියි!

(https://en.wikipedia.org/wiki/Pied_Piper_of_Hamelin)

Monday, 29 August 2016

විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්ගයේ කවි - The truth will eventually prevail


මගේ දෙයියා සහ උඹේ දෙයියා යන මැයෙන් මා රසිකොලොජියේ පළ කළ පසුගිය ලිපියට ප්‍රතිචාර දක්වන අජිත් ධර්මකීර්ති මෙසේ පවසා ඇත.
1. රසික දෙවියන් විශ්වාස කරන්නේ නැත.
2. රසික බුදු දහම දර්ශනයක් ලෙස විශ්වාස කරයි.
මගේ ප්‍රශ්නය? රසික බුදු දහමේ කර්මවාදය , පුනරුත්පත්තිය සහ නිවන යන අදහස් විශ්වාස කරනවාද?
එසේ විශ්වාස කරන්නේ නම් රසික (....) දෙබිඩ්ඩෙකි.
මා අද පළ කරන්නට සිතා සිටි ලිපිය තරමක් ප්‍රමාද කර මේ ගැන මගේ අදහස ලියන්නට සිතුවෙමි. විශේෂයෙන් මා මට කියන්නට අවශ්‍යව ඇත්තේ විශ්වාසය යන පදය පිළිබඳ මගේ නිරුක්තිය සහ එය බුදු දහමට කෙසේ අදාළ වේද යන්නයි.

විශ්වාසය යන වචනයේ අදහස් දෙකක් ඇතැයි (ශබ්දකෝෂ නොබලා) මම සිතමි. මට ඔබ විශ්වාසයි කියා කියූ විට ඉන් අදහස් කෙරෙන්නේ ඉංග්ලිෂ් භාෂාවෙන් ට්‍රස්ට් යන අරුතයි. එසේ වුව ද, මූලිකවම ආගම් හා ඒ ආකාරයේ දේ සම්බන්ධයෙන් යෙදෙන බීලීෆ් යන තේරුම දීමට සඳහා ද සමහර විට විශ්වාසය යන්න යොදා ගැනේ.

බිලීෆ් යන තේරුම දීම සඳහා වඩාත් සුදුසු සිංහල වචනය ඇදහීම යන්න බව මම (මෙවරත් (ශබ්දකෝෂ නොබලා) සිතමි.

ආගම් ආදී විවිධ සංකල්ප, මතිමතාන්තර ගැන සලකන විට අප යමක් විශ්වාස කළ යුතු වේ ද, බිලීව් කළ යුතු වේ ද, එසේත් නැතිනම් ඇදහිය යුතු වේ ද, ඒ නම් අනිවාර්යෙන් ම අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ම ය. එනම්, අපේ ඇසට නොපෙනෙන, කනට නොඇසෙන, වෙනත් ඉන්දී්‍රයන්ට සංවේදී නොවන දේ ම ය.

මම ඉන්ද්‍රිය ගෝචර නොවන දේ පිළිනොගනිමි. එනම්, විශ්වාස නොකරමි, එනම් නොම අදහමි.

ඒ ආකාරයෙන් අද මා පිළිනොගන්නා, විශ්වාස නොකරන, නොම අදහන දේ ලයිස්තුව ඉතා දිග ය. එයට අනිවාර්යෙන් ම අයිතිවන සංකල්ප අතර, දෙවියන්, යකුන්, පෙරේතයින්, වෙනත් ඇසට නොපෙනෙන අමනුෂ්‍යයින්, කේන්දර, පලාපල, කර්මය, පරලොව, පුනරුත්පත්තිය, නිර්වාණය ආදිය වේ.

මා සිතන ආකාරයට අප අතර පවතින බුද්ධාගම යනු බුදුන් දෙසූ ධර්මය හෙවත් බුදු දහම නොවේ. බුද්ධාගම යනු අර්ධ සංවිධානාත්මක සංස්ථාවකි. බුදු දහම යනු බොහෝ දුරට තාර්කික සංකල්ප එකතුවකි.

මා දන්නා බුදු දහමේ ඇදහිල්ලක්, විශ්වාස කිරීමක්, බීලීව් කිරීමක් නැත!

ඕනෑම අයෙකුට බුද්ධාගමට අයත් නොවී, බුදු දහමේ එන කරුණුවලින් තමන්ට වැටහෙන, තමන්ට ප්‍රශ්න නැති දේ පිළිගත හැක. ඒ අනුව කටයුතු කළ හැක. මම එවැන්නෙක් මි.

ඇත්තටම බුදු දහමේ ඇති අතිශය වැදගත් ගුණය නම් එකී තම තම නැණ පමණින් දැන ගත යුතු, එව බලව නම් ලක්‍ෂණයි. මම ඒවා ප්‍ර්‍රිය කරමි.

තම තම නැණ පමණින් දැනගත යුතු යන කියමන ලෝවැඩ සඟරාව නම් කාව්‍ය ග්‍රන්ථයේ එන්නකි. ඒ කවි පදය මා අගය කළ ද, ඒ කවියේ ම අවසාන පදය වන මම නමදිම් සදහම් පහදා සිතු යන්න මට ගෝචර අදහසක් නොවේ.

එනම්, බුදු දහමේ බොහෝ දේ ගැන අපට අවුලක් නැති වුව ද, දහමක් යනු වැඳිය පිදිය යුත්තක් යැයි මා නොසිතන බවයි.

කර්මය, පරලොව ගැන සලකන විට, ලෝවැඩ සඟරාවේ ම එන මා සිත ගත් තවත් කවියක් සඳහන් කළ යුතුය. එය මෙසේ ය.

ඇතත් නැතත් පරලොව සුදනෙි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

මා සම්මත පව් වැඩ නොකරන්නේ ඒ තර්කයට අනුව ය. එසේ නොමැතිව, කර්මයක්, පරලොවක්, අපායක් ගැන බියකින් නොවේ.

ස්තුතියි අජිත් ධර්මකීර්ති.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පසුගිය සෙනසුරාදා සිට මට විරුද්ධව සයිබර් අවකාශයේ අතිශය පරුෂ වචනයෙන් බැණ වදිමින් අභූත චෝදනා එල්ල වෙමින් පවතී.

මා කිසි දිනක නොකළ, නොසිතූ, අනාගතයේ ද කිසි දිනක නොකරන දේ ගැන ඒ ආකාරයෙන් චෝදනා කීරීම සිත රිදවන අත් දැකීමකි.

නමුත්, අපට කුඩා කල සිටම කියා දී ඇති පරිදි සත්‍යය දිනක ජය ගනු ඇතැයි මම සිතමි.

චිංචි මානවිකාව ගේ බඩ බැඳි දරමිටිය ද ලෙහී ගියේ ය. සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ සත්‍යය ද හෙළිවිය.

මේ වැනි අවස්ථාවල දී බුදු දහමේ (ධම්ම පදය, යමක වග්ගය) එන පහත ආකාරයේ තාර්කික ධර්ම කරුණු අඩංගු කවි ද අපට ප්‍රයෝජනවත් වේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං න සම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ ය යැයි වෛර බඳින්නා ගේ වෛරය නොසංසිඳේ.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති
වෙරං තෙසූපසම්මති

ඔහු මට බැන්නේය, ඔහු මට හිංසා කළේ ය, ඔහු මා පැරදවූයේ ය, ඔහු මා සතු දේ පැහැර ගත්තේ යැයි වෛර නොබඳින්නා ගේ වෛරය සංසිඳේ.

ඒ ආකාරයේ තර්කානුකසළ ධර්මය පිළිබඳව විශ්වාස කිරීමක්, බිලීව් කිරීමක් හෝ ඇදහීමක් කිසිසේත් ම අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

අදාළ පරිදි ගලපා ගැනීම පිණිස, ඒ යමක වග්ගයේ ම මුල් කවිය සහ එහි අරුත මෙලෙස ය.

මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං

කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

(image: https://www.flickr.com/photos/23404069@N07/8353743960)

Sunday, 28 August 2016

අසව්, අසව්, අසව්! - Hear ye, hear ye, hear ye!


රසිකොලොජි බ්ලොගය කියවන සියලුම පාඨකයින්ට කෙරෙන කාරුණික දැනුම් දීමයි.
  1. මා බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හතරකි. මේවන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව සියලු දෙනා වෙත මෙයින් අවධාරණය කොට පවසා සිටිමි.

  2. ඒ ප්‍රතිපත්තිය මතු කිසි දිනයක වෙනස් කිරීමට ද අදහස් නොකරමි.

  3. මගේ රසිකොලොජි බ්ලොගයේ ලිපිවලට ප්‍රතිචාර දැක්වීමේ දී කරුණාකර අදාළ මාතෘකාව ගැන පමණක් කතා කරන්න.

  4. සිකුරාදා රාත්‍රියේ සිට තාවකාලිකව ප්‍රතිචාර පළ වීම සිදු වෙන්නේ අනුමැතියෙන් පසුවයි. සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර පළ නොවෙනු ඇත. මේ තාවකාලික අනුමැතිය දීමේ ක්‍රමය පසුව ඉවත් කෙරෙනු ඇත.

  5. ඉන් පසුව වුවද, සම්මත කුණුහරුප සහිත ප්‍රතිචාර වෙතොත් ඒවා හැකි විගස ඉවත් කරනු ලැබේ. නිතර සෝදිසියෙන් සිටීමට නොහැකි කාර්යබහුල දිනයක් වෙතොත්, ඒ දිනවල තාවකාලික අනුමැති ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන අතර සියලුම ප්‍රතිචාර පළ කෙරෙනු ඇත්තේ සෝදිසියකින් පසුව ය.

  6. කරුණාකර වෙනත් පුද්ගලයනි් සමග ඇති ප්‍රශ්න ඔවුන් සමග සමග ඔවුන් ගේ බ්ලොග්වල දී හෝ ෆෙස්බුක් හි දී හෝ විසඳා ගන්න. රසිකොලොජිය ඒ සඳහා ස්ථානය නොවේ!

  7. විවිධාකාර හේතු නිසා අසනීපව පසුවන අයට ඉක්මන් සුවය පතමි.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

(image: https://nocrunners.com/2015/06/26/hear-ye-hear-ye-hear-ye/)

Thursday, 18 August 2016

ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද? - What is the best selection criteria?


ඔබේ පෙම්වතියන් අතරින් හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරිය හැකිද?

බැහැ නේද? මට නම් බැරි ය.

මට එසේ මගේ හොඳම පෙම්වතියන් දාසය දෙනා තේරීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් ඇත.

එය නම්, දාසය වෙනි වියේ සිට දුම්රියේ යනෙන විට නෙත ගැටුණු සම වියේ සිටි දේවි බාලිකාවියක, ආනන්ද බාලිකාවියක, යශෝදරාවියක, විශාකාවියක, ඒ අනු පිළිවෙලින් එකිනෙක ඈඳුණු කාල පරාසයන් හි දී දැක, ප්‍රේමයෙන් කුල්මත් වී, පෙම් කවි ලියන්නට පටන් ගත් අයෙකු වුව ද, පසු කාලයේ මට මේ දක්වා ජීවිතයේ පෙම්වතියන් දාසය දෙනෙකු සිට නොමැති නිසා ය.

මට සිට ඇත්තේ පෙම්වතියන් දහතුන් දෙනෙකු පමණි.

ඒ මදිවාට ඒ දහතුන් දෙනාගෙන් වැඩි දෙනෙකු සහ මා අතර තිබුණේ ද අර මොන්ටිසෝරි ප්‍රභේදයේ ආදර සම්බන්ධතා ය.

පෙර කී වයස දාසයේ දී නෙත ගැටුණු දේවි බාලිකාවිය, ආනන්ද බාලිකාවිය, යශෝදරාවිය, සහ විශාකාවිය වැනි සියයට පනහක් හරි ගිය පෙම්වතියන් හෙවත් සිතෙන් පමණක් පෙම් කළ යුවතියන් ද, ඒ දහතුන් දෙනා අතරට එකතු කර ගත හැකි නම්, ඔන්න මගේ කවුන්ටරය විසි පහක් පමණ දක්වා වැඩි කර ගත හැකිය.

ඉයන් ලින්තොට (ප්‍රනාන්දු) විසින් බ්ලොග් ලෝකයට බෝ කළ කැමතිම ගී දාසය රැල්ලට කර මුලෙන් ම අහුවුණු මා මගේ මතක ගබඩාවේ සදාකල් රැඳී ඇති ගී අතුරෙන් වඩාත්ම කැමති ගී දාසය තෝරන්නට පටන් ගත්තෙමි. මේ උගුලේ වැටුණු අන් සියලු දෙනාට සේ ම, මට ද වැටහුණේ, ඒ ආකාරයට ගී දාසයක් තේරීම ඉතා අසීරු කාර්යයක් බවයි.

එනිසා, මේ කාර්යය සඳහා යම් කිසි නිශ්චිත තේරීම් පටිපාටියක් වෙවත් සිලෙක්ෂන් ක්‍රයිටීරියාවක් අවශ්‍ය බව මට වැටහුණි.

මුලින් ම, මගේ සිහියට ආවේ මගේ හිටපු පෙම්වතියන් ගේ ද, සියයට පනහේ යුවතියන් ගේ ද ලයිස්තුවක් සාදා, එයින් දාසය දෙනෙකු තෝරා, ඒ එක් එක් යුවතිය ගේ නමට සම්බන්ධව ගීතයක් තේරීමයි. සිංහල ගීත බොහොමයක් ලියවී ඇත්තේ ගෑල්ළමුන් ගේ නම් ආශ්‍රිතව නිසා මෙය ඉතා හොඳ ක්‍රමයක් බව වැටහුණි.

නමුත් අවාසනාවකට මෙන් දැන් දශක දෙක හමාරකට පසුව අදාළ නම් කිහිපයක් ම, දහතුන් දෙනාගෙන් තිදෙනෙකු ගේ ද, සියයට පනහේ ගොඩෙන් වැඩි දෙනෙකු ගේ ද, සිතෙන් ගිලිහී ගොස් ඇති නිසා ඒ ක්‍රමෝපාය ද අතහැර දමන්නට සිදුවිය.

ඊළඟට මා සිතුවේ, මගේ ජීවිතයේ මතකයේ රැඳී ඇති කාල වකවානුව, වසර දෙකේ, තුනේ කුට්ටිවලට වෙන් කර, ඒ ඒ කුට්ටිය සඳහා ගැලපෙන ගීතයක් තෝරා ගැනීමයි.

එය ද එතරම් සාර්ථක නොව බව වැටහුණේ, පසුගිය දශකයේ, එනම් අවුරුදු තුනේ කුට්ටි තුනක් තුළ ම, ජීවිතයේ ගැයෙන්නේ එකම එක ගීතය වීම නිසා ය. එනම්, දශකයකට ඉහත එලොව ගොස් මෙලොව විත් ඉන්පසු අයිරාවකින් දිග්ගස්සවා ගත්තාට පසු, ජීවිතය වැඩි හැලහැප්පීමක්, වෙනසක් නොමැතිව සාමකාමීව, ඔහේ වේගයෙන් ගලා යෑමයි.

ඉන්පසු මා සිතුවේ, කුට්ටි කිරීම අමතක කර, ජීවිතයේ වැදගත් සිදුවීම් සිහියට නංවා ගනිමින් ඒ අනුසාරයෙන් ගී තේරීම කරන්නටයි.

එය එනම් තරමක් හෝ සාර්ථක එකක් විය.

තරමක් තටමා ගීත දාසයක් තෝරාගත් මම, ඒ පිළිබඳව විස්තර ලියන්නට පටන් ගත්තෙමි. නමුත් ගී දෙකක් පිළිබඳව ලියා අවසන්වන විට මට වැටහුණේ, ඒවන විටත් මගේ ලිපිය අනවශ්‍ය තරමට දිගු වී ඇති බවත්, මේ සියල්ල එක්වර පළ කිරීම කිසිවෙකුට ඵලදායක කාර්යයක් නොවන බවත් ය.

එනිසා, ඒ ගී දාසය පිළිබඳ විස්තර සති දාසයක් පමණ කාලයක් තිස්සේ කල් බැඳගෙන ලියා පළ කරන්නට සිතාගෙන, අදට මේ විස්තරය පමණක් ලියන්නට සිතුවෙමි.

වසර කිහිපයකට ඉහත මේ ආකාරයේ ම, රැල්ලක් සිංහල බ්ලොග් අවකාශයේ පැතුරුණි. ඒ "අපිට පිස්සු ඕයි" යැයි කියා එකම මාතෘකාව ද, එකම රූපය ද සහිතව පෝස්ටු පළ කිරීමයි.

මේ වත්මන් රැල්ලේ ඇති වෙනස නම්, අපේ මාතෘකාවේ පිස්සු යන වචනය එක එල්ලේ නැතිවීම පමණි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දාහත්වෙනි ගීයක් ද තේරීමට හැකි නම්, එය අනිවාරයෙන් ම පිස්සන් පිළිබඳ ලියවුණු එකක් වෙනු ඇත!

(image: http://magesanda.blogspot.com.au/2013/02/blog-post.html)

Wednesday, 3 August 2016

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද? - Long title but one important point for bloggers and blookers?


ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ඩ් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.

ලංකාවේ වේලාවෙන් උදෑසන 8:30 යනු සිනුවර මගේ වේලාවෙන් දහවල් 1:00 ය. ඒ මා නිතිපතා කරන්නා වූ දිවාකල ඇවිදීමේ වේලාවයි.

වහා සැන්ඩ්විචය ගිල දැමූ මම, මගේ අහවල් ජංගම දුරකථනයට හිස කුඩුච්චිය නොහොත් හෙඩ් සෙට් එක ද සවි කරගෙන කාර්යාල ගොඩනැගිල්ලෙන් නික්මී අපේ පා ගමන් මාර්ගයට වැටුණෙමි.

මුලින් මහපාරේ පදික මං තීරුවේ ද, ඉන්පසුව පැරමටා ගඟ අසබඩ ඇති පා ගමන් මගේ ද, වේගයෙන් ගමන් කරමින්, වෙනදා මෙන් අවට සිරිය නොවිඳ, මගේ ගමන් සගයා සමග ද වැඩි කතා බහක නොයෙදී, විනාඩි විසි අටක පමණ කාලයක් තිස්සේ විකාශය වුණු ඒ සල්මල් යාය නම් සඟරාමය වැඩ සටහනෙන්, වෙළඳ දැන්වීම් අතහැර ඉතිරි විනාඩි විස්සක පමණ කාලයේ සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි.

පසුගිය සති කිහිපය තුළ, පුවත්පත් සමග ද, රූපවාහිනී නාලිකා සමග ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් හෙන්රි වර්ණකුලසූරිය මේ සැරසෙන්නේ ඔහු ගේ නවතම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නයි. ඒ උත්සවය හෙට, එනම් 2016 අගෝස්තු හතර (4) වෙනිදා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී දී පැවැත්වීමට නියමිත ය.

ස්වාධීන රූපවාහිනීයේ සිත්මල් යාය වඩසටහන වෙනුවෙන් ඉඳුනිල් දිසානායක විසින් හෙන්රි වර්ණකුලසූරිය සමග කරන්නට දෙයුණු ඒ සාකච්ඡාවේ අන්තර්ගත වූ කරුණුවලින් මා සිත් ගත් කාරණා තුනක් මෙහි සඳහන් කිරීම මගේ මේ ලිපියේ මුල් අරමුණයි.

  1. කලකට පෙර මා මුලින් ම ඔහු හඳුනා ගත්තේ තරුණ කවියෙකු ලෙසින් වුවද, මා ද පසුව වටහා ගත් පරිදි හෙන්රි වර්ණකුලසූරිය යනු තව දුරටත් කවියෙකු නොවේ. ඇත්තටම මා අවසාන වරට ඔහු ලියු කවියක් මුද්‍රිත මාධ්‍යයක දුටුවේ 1990 වසරේ දී පමණ ය. ඒ තරුණි පුවත් සඟරාවේ පළ වූ පැන්ෂොන් යන යුද සෙබළෙකු පිළිබඳව ලියවුණු එකකි.

    මේ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය තමා තව දුරටත් කවියෙකු නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළේ ය.
  2. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මට වඩා වසර දෙකකින් ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය යනු එනිසා ම මගේ පරම්පරාවේ සමකාලීනකයෙකු ලෙස මා මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බව මට මේ සාකච්ඡාවේ දී වැටහිණි. ඔහු පැරණි පරම්පරාවේ අයෙකි.

    එසේ තීරණය කිරීමට හේතුව වන්නේ, අනෙකක් නොව, හෙන්රි වර්ණකුලසූරිය යනු කෙළින් ම තමන් ලියන දෑ යතුරු පුවරුව හරහා පරිගණකයට එක් නොකරන, ඒ වෙනුවට තවමත් පැරණි ක්‍රමයට පෑනෙන් කඩදාසි කොළවල ලියා, ඉන් පසු ඒවා අතින් සංස්කරණය කරන, අපට කලින් පරම්පරාවේ පුඟුලෙකු බවට ඔහු මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කිරීමයි!
  3. ඊළඟ වැදගත් කරුණ වනුයේ තමා විසින් ලියන ලද නවතම කෙටිකතා ඇතුළත් නිරුවත් ජීවිත කෙටිකතා සංග්‍රහය එළිදැක්වෙන දිනයේ, විද්වතුන් විසින් පැවැත්වෙන දේශන ඒ අදාළ ග්‍රන්ථය පිළිබඳව ගොනු නොකර, ඒ වෙනුවට තමා විසින් මීට පෙර ලියන ලද නවකතා ද්වය ගැන කතිකාවක් ගෙන ඒමට හෙන්රි වර්ණකුලසූරිය විසින් ගෙන ඇති තීරණයයි.

    මා ද විශ්වාස කරන ආකාරයට, එදින එළි දැක්වෙන පොතක් පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් ඒවන විට ඒ පොත කියවා නැති අයට එතරම් ප්‍රයෝජනයක් නැති දෙයකි. අප කළ යුත්තේ පොත එළි දක්වා එය පාඨකයින් විසින් කියවූ පසු, ඒ ගැන කතිකාවක් කිරීමයි.

    මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වුණ ලබන පොත් එළිදැක්වීමේ උත්සවවලට අමතරව, පසුගිය ඔක්තෝබරයේ දී අප රස විඳුම නමින් සාහිත්‍ය වැඩසටහනක් ඇරඹුවේ ද මේ කාරණය (තවත් අරමුණු) නිසා ය.
දැන් මේ ලිපිය ලිවීමේ දෙවන අරමුණ වෙත යොමුවෙමු.

හෙන්රි වර්ණකුලසූරියගේ ස්වාධීන රූපවාහිනී සිත්මල් යාය සාකච්ඡාවේ අන්තර්ගත විය යුතු වූ නමුත් අවාසනාවට මෙන් එසේ නොවූ කරුණුවලින් මෙහි සඳහන් කළ යුතු ම වන එක් වැදගත් කාරණාවක් වේ.

ඉඳුනිල් දිසානායක හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහුට අප සියලු දෙනා සම්බන්ධ සිංහල බ්ලොග් පිළිබඳව සඳහන් කළ හැකි වූ අවස්ථා අඩු වශයෙන් දෙකක් තිබුණි. නමුත් අපේ අවාසනාවට මෙන් ඒ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහී ගියේ ය.

ඉන් මුල් අවස්ථාව වූයේ හෙන්රි වර්ණකුලසූරිය විසින් මීට පෙර රචනා කළ "නොකී කතා" නම් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා වුණු මොහොත ය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ ලිපි පෙළ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙස ලියවුණු ආකාරය හෙන්රි වර්ණකුලසූරිය විස්තර කළ නමුත්, තමන් තව දුරටත් "නොකී කතා" මාලාව බ්ලොගයක් ලෙස දිගටම ලියන බව පැවසීම ඔහුට අතපසු විය.

දෙවෙනි අතපසු වීම ඊට වඩා කනගාටුදායක එකකි.

සාකච්ඡාවේ අවසාන භාගයේ දී ඉඳුනිල් දිසානායක, ප්‍රවීන ලේඛකයෙකු ලෙස අලුත් පරම්පරාවේ ලේඛන කටයුතු ඔහු දකින්නේ කෙලෙසදැයි හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසුවා ය.

අවාසනාවට මෙන් ඒ මොහොතේ දී ද, අලුත්ම ලේඛන මාධ්‍යය වූ බ්ලොග් ගැනත්, එයින් බිහි වෙමින් පවතින අලුත් ලේඛක පරපුර ගැනත්, බ්ලුක් ගැනත් කියනු වෙනුවට මෙහිදී හෙන්රි වර්ණකුලසූරිය ගේ කටට ආවේ ඊ-බුක් නමැති සිංහල ලේඛනය ගැන සලකන විට ලොවෙත් නැති තවමත් මනස්කල්පිතයක් පමණක් වන ලේඛන ප්‍රවර්ගයක් ගැන පමණි.

අඩු වශයෙන්, හෙට අගෝස්තු හතරවෙනි දා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන හෙන්රි වර්ණකුලසූරිය ගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය වන "නිරුවත් ජීවිත" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ "නොකී කතා" බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිත්මල් යාය සම්මුඛ සාකච්ඡාව මෙතැනින් නැරඹිය හැක.
http://www.itn.lk/2016/08/02/salmal-yaya-2016-08-02/


ඔහෙලාත් ඇහැක් නම් හෙට ඒ අහ යන්න!

Thursday, 23 June 2016

කවුද, කොහේද, මොනවාද? - Who, where, what of Rasikology


මේ සටහන තබන්නට සිතුණේ, පෙරේදා මගේ මේ රසිකොලොජි බ්ලොගය යම් කිසි වැදගත් කඩඉමක් පසු කළ නිසා ය. මා ලියන්නට යන්නේ මූලිකවම රසිකොලොජි බ්ලොගය ගැන නමුත්, ලියවීමට නියමිත කරුණුවල පොදු වැදගත්කමක් ද තිබේ යැයි හඟිමි.

මා රසිකොලොජිය ඇරඹූයේ මගේ උපන්දින සංවත්සරය යෙදී තිබුණු 2014 ඔක්තෝබර් 27 වෙනිදා ය. බ්ලොගයක් අරඹන්නේ අත ලෙව කන්නට නොවේ. තමන් ලියන ලිපි හෝ වෙනත් නිර්මාණ එහි පළ කර, ඒවා අනෙක් අය හා බෙදා ගැනීමටයි. එය ලිවීමට දැඩි ආශාවක් ඇති මා වැන්නෙකුට ඉතාම වැදගත් කාරණයකි. මා ලියූ දේ කියවන අය ද එයින් යම් සතුටක්, වින්දනයක් ලබයි නම් එය සැම විටම මට ප්‍රසාද දීමනාවක් නොහොත් බෝනසයක් ම වේ.

තමන් ගේ බ්ලොගය වැඩි පිරිසක ගේ නෙත ගැටීමට සැලැස්වීම, ලේඛකයාගේ වගකීමයි. ඒ ආකාරයට කරන ප්‍රචාරය කිසිසේත් ම ලැජ්ජාවට කාරණයක් නොවේ.

නමුත්, අප සියලු දෙනාම, ජීවිත අරගලයට උර දී ඉතිරිවෙන කාලයේ බ්ලොග් කෙරුවාව කරන නිසා, පෙර කී ප්‍රචාරය සඳහා වැය කළ හැකි කාලය ඉතා අවම වේ. අපේ පාඨකයින් යනු කවුරුන් ද, ඔවුන් හා සම්බන්ධ කාරණා කවරේ ද යන්න ගැන දත්ත සොයා ඉඳහිට හෝ යම් විශ්ලේෂණයක් කිරීම වැදගත් වන්නේ එනිසා ය.

බ්ලොගයට අදාළ විශාල වපසරියක විහිදුණු මූලික දත්ත සෑහෙන ප්‍රමාණයක් බ්ලොගර් සේවාව විසින් ලබා දේ. වර්ඩ්ප්‍රෙස් සේවයේ ද, මේ පහසුකම තිබේ යැයි සිතමි. බ්ලොගර් සේවාව සපයන ගූගල් සමාගම මගින් ගුගල් ඇනලිටික්ස් නම් බ්ලොග් පිළිබඳ දත්ත සපයන සේවයක් ද ඇති නමුත්, මා රසිකොලොජිය සඳහා එය යොදා ගෙන නැත.

පහත විශ්ලේෂණය මුළුමනින් ම පදනම් වී ඇත්තේ, බ්ලොගර් සේවාවෙන් සැපයෙන මූලික දත්ත අනුසාරයෙනි.

"ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද?" යන මැයෙන් ලියවුණු පසුගිය රසිකොලොජි ලිපියත් සමගම මා පසු කළේ රසිකොලොජියේ තුන්සියවෙනි ලිපිය පළ කිරීමේ කඩඉමයි.

මෙන්න මුලික දත්ත.

ලිපි සංඛ්‍යාව = 300
පිටු නැරඹීම් = 304,652 (සාමාන්‍යය 1015)
ප්‍රතිචාර සහ පිළිතුරු = 12.515 (සාමාන්‍යය 42)

රසිකොලොජිය කියවන්නට වැඩිම පිරිසක් (52%) පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙනි. රුසියාවෙන් පැමිණ ඇත්තේ නම්, සයිබර් බොට්ලා විය යුතුය. සමස්ත බෙදීයාම පහත දැක්වේ. මේ දත්තවල නිවැරදිකම ගැන කුඩා කුකුසක් ද ඇති බව කිව යුතුය.



බ්ලොග් සින්ඩිකේටර් සහ වෙනත් සේවා පිළිබඳව සැලකුවහොත් පාඨකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ෆේස්බුක් හරහාය. ලාංකීය සින්ඩිය ඊළඟට එයි. මාතලන් ගේ සින්ඩිය ද, මගේ බ්ලොගයට පාඨකයින් ගෙන ඒමෙන් මහත් සේවාවක් සපයයි. හැලපකඩේ බ්ලොගයෙන් මෙහි එතැයි දැක්වෙන සංඛ්‍යාව හැලපේ ගේ කියවීම් පමණක් නොවේ යැයි සිතමි.



රසිකොලොජියේ පිටු නැරඹීම් වැඩිම ප්‍රමාණය ලැබෙන්නේ එක්කෝ තම තමන්ගේ රීඩර් හරහා කෙළින්ම මෙහි එන, නැතිනම් මෙහි පැමිණි පසු රසිකොලොජිය සිසාරා ලිපි කියවන අය නිසා විය යුතුයි.

බ්ලොගර් සේවාව විසින් මේ සංඛ්‍යා පිටු නැරඹීම් ලෙස හැඳින්වූවද, මේවා ඇත්තටම මවුස් ක්ලික් සංඛ්‍යාව කියා ද, පාඨකයෙකු මා කියවන බ්ලොග් හරහා වෙනත් තැනකට යන විටද එය පිටු නැරඹීමක් ලෙස සනිටුහන් වෙතැයි ද සිතමි.

පාඨකයින් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය පිළිබඳ බැලීමේදී පෙනී යන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම ඒ අතින් කෙතරම් පසු පසින් සිටින්නේ ද යන්නයි.



නමුත් මෙහෙයුම් පද්ධති ගැන සලකන විට ලිනක්ස්ලා, යුනික්ස්ලා සිටින්නේ මයික්‍රොසොෆ්ට්ලාට ගව් ගණනක් පසු පසිනි.



මෑතකදී මා ලැබූ අත්දැකීමක් නම්, බ්ලොග් කියවීමට ෆේස්බුක් හරහා පැමිණෙන පිරිස ක්‍රමයෙන් වැඩි වෙන බවයි. ඒ තත්වය උදාවෙන්නේ මා විසින් ෆේස්බුක් ජාලයේ යොදන සටහනකින් පසු එය දකින අය එය තමන් ගේ මිතුරන් අතරේ බෙදා ගෙන බෝ කිරීම නිසා ය. එසේ බෝවන්නේ මා වැඩි පිරිසක් කියවතොත් හොඳයැයි සිතන ලිපි නොවේ. මා ලියා පළ කළ ලිපි තුන්සීයෙන් ජනප්‍රියතම ලිපි දහය දෙස බැලීමෙන් පමණක් ඒ බව පැහැදිලි වෙනු ඇත.

-රසිකොලොජිස්ට්

Tuesday, 21 June 2016

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? - I know only a little


මා මේ පහත ලියා ඇති කරුණු මෙලෙස ගොනු කරන්නට ආසන්නතම හේතුව වූ සිංහල බ්ලොග් ලෝකය නම් තේ කෝප්පයේ පැවති චූට්ටං සුළි සුළඟ දැන් පහව ගොස් ඇති බව, මා ඒ ගැන ලිපියක් ලියා පළ කළ පසු, අදාළ පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ කමෙන්ටු මගින් මට (සහ අනෙකුත් පාඨකයින්ට) දැනුම් දී ඇත. පසුව ඊමේල් මගින් ද මා ඒ බව සැක හැර දැන ගත්තෙමි. ඒ වුවත්, මේ පහත සඳහන් කරුණුවල කොයි කාට හෝ කිසියම් වැදගත්කමක් තියෙන්නට ඇතැයි සිතෙන නිසා, පැය දෙකක් පමණ වැය කර මේ ලියූ දේ, ඕ.පු. කියා පළ කරන්නට සිතුවෙමි.

ඇනෝනිමස් කමෙන්ට්කරුවන්ව නිශ්චිත ලෙස හඳුනා ගැනීමට සාමාන්‍ය ජෝ බ්ලොග්ලාට හැකිද? යන ප්‍රස්තූත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර නම් නොහැකි ය යන්නයි.

දැන්, දිගු කලකට කලින් වසර දෙක තුනක කෙටි කාලයක් වෙබ් අඩවි නිපදවීම පිළිබඳව රැකියාව ලෙස අණ්ඩර දුන් කාලයේ මා දැන සිටි කරුණු අරික්කාලෙන් දැන් මතකයේ ඇති හින්නිකිත්තර ද, මීට වසර එකොළහකට පෙර බ්ලොග් ලෝකයට පිවිස, විශේෂයෙන් පසුගිය වසර හත තුළ දී මා ලැබූ අත්දැකීම් ද අනුසාරයෙන් එසේ නොහැක්කේ ඇයි දැයි යන්න සාමාන්‍ය ලෙස පැහැදිලි කරන්නට මම මෙහදී අදහස් කරමි.

ඕනෑම පරිගණකයක් හෝ වෙනත් එවැනි උපකරණයක් ඉන්ටර්නෙටයට සම්බන්ධ වී ඇති නම්, ඒ සඳහා අයීපී ඇඩ්රස් නමින් හැඳින්වෙන අසමසම (එනම් යුනීක්) අංකයක් පැවරී ඇත. ඒ උපකරණයේ සිට ඉන්ටර්නෙටයට කෙරෙන සෑම උඩුගත කිරීම් සහ බාගත කිරීම් සම්බන්ධතාවයක ම ඒ ඉන්ටර්නෙට් ලිපිනය හෙවත් අයීපී ඇඩ්රසය ලියවෙනු ඇත.

එසේම, අපේ බ්ලොගයකට කිසිවෙකු පැමිණෙන හැම විටකම ඒ පුද්ගලයා ඒ සඳහා භාවිතා කරන උපකරණයට පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපේ බ්ලොගය දිවෙන සර්වරයේ සනිටුහන් වේ. ඒ ලිපිනයන් බ්ලොගර් සේවාව අපට ලබා නොදුන්නත් (වර්ඩ්ප්‍රෙස් හි තත්වය කුමක්දැයි නොදනිමි), ස්ටැට්කවුන්ටර් වැනි තෙවන පාර්ශවයක මෙවලමක් භාවිතාවෙන් අපට මේ ඉන්ටර්නෙට් ලිපිනයන් බොහෝ විට සොයා ගත හැක.

උදාහරණයක් ලෙස මා නිවසේ සිට හෝ ජංගම දුරකථනය හරහා කාගේ හෝ බ්ලොගයක කමෙන්ටුවක් දැමූ විට එය පෙන්වනු ඇත්තේ නිවසේ දී නම් ටෙල්ස්ට්‍රා සමාගම කියා ජංගමය හරහා නම් ඔප්ටස් සමාගම කියා වන අතර අදාළ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කර බැලීමෙන් ද මේ බව තහවුරු කර ගත හැකි වෙනු ඇත.

දැන්, එලෙස අපේ බ්ලොගයකට පිවිසෙන්නෙකු ලිඛිතව එහි ප්‍රතිචාරයක් දැක්වූ විට, එනම් කමෙන්ට් කළ විට, එසේ කර ඇත්තේ නිශ්චිතව නම් කළ අනන්‍යතාවයක් සහිතව (ප්‍රොෆයිල්) නම්, ඒ අනන්‍යතාවය හිමි පුද්ගලයා භාවිතා කරන උපකරණයට ඒ මොහොතේ පැවරී ඇති ඉන්ටර්නෙට් ලිපිනය අපට බොහෝ විට සොයා ගත හැක.

මෙන්න ඒ සඳහා උදාහරණයක්.



මා පෙර පරිච්ඡේදයේ දී බොහෝ විට යනුවෙන් අදහස් කළේ, ස්ටැට්කවුන්ටර් වැනි සේවාවකින් වුව ද, සෑම විටම අදාළ ඉන්ටර්නෙට් ලිපිනය සොයා ගත නොහැකි අතර, එසේ සනිටුහන් කරගත් විස්තර වුව ද, වැඩි වේලා තබා නොගන්නා නිසයි.

දැන් ඒ මොහොතේ ම හෝ අදාළ ඉන්ටර්නෙට් සබැඳිය නොකැඩී තිබෙන කාලය ඇතුළත, මේ පුද්ගලයා අපේ බ්ලොගයේ ම ඇනෝනිමස් කමෙන්ටුවක් යෙදුවොත්, එවිට ඒ දෙවන කමෙන්ටුව යෙදුවේ පෙර කමෙන්ටුව ද යෙදූ නම් කළ අනන්‍යතාවය ඇති (ප්‍රොෆයිල්) පුද්ගලයා බව අපට සිතා ගත හැක.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා භාවිතයේ දී, අප පාවිච්චි කරන උපකරණයට මා පෙර කී ඉන්ටර්නෙට් ලිපිනය පැවරෙන්නේ ඉන්ටර්නෙට් සේවය මගිනි. මෙලෙස පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය බොහෝ විට ගතික හෙවත් වෙනස් වන එනම් තාවකාලික එකක් වේ. එනිසා, පසුදා හෝ මුල් සම්බන්ධය සිඳ නැවත මොහොතකට පසු හෝ සම්බන්ධ වූ විට හෝ අපේ උපකරණයට පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පෙර අවස්ථාවේ දී පැවරී තිබුණු ලිපිනය නොවීමට සෑහෙන ඉඩක් ඇත.

ඒ සමගම, අප භාවිතා අද කරන උපකරණයට ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් පැවරෙන ඉන්ටර්නෙට් ලිපිනය පසු හෝරාවක වෙනත් ග්‍රාහකයෙකුට පැවරෙන්නට ඉඩ තිබේ.

මා දන්නා පරිදි අපට අවශ්‍ය නම් වෙනස් නොවෙන ඉන්ටර්නෙට් ලිපිනයක් අපේ සේවා සපයන්නා ගෙන් ලබා ගත හැකිවේ. ඇතැම් කේබල් ඉන්ටර්නෙට් සේවාවල මේ පහසුකම අමතර ගෙවීමකින් තොරව සාමාන්‍ය සේවයේ කොටසක් ලෙස තිනෙබ බව පෙනේ. එනම් අපේ සමහර පාඨකයින්ට එක්කෝ ස්ථිර ඉන්ටර්නෙට් ලිපින තිබේ නැතිනම් එකම ලිපිනය බොහෝ විට පැවරේ.

එසේ නොමැති විට, අද අපට ලැබෙන කමෙන්ටුවක් ලැබී ඇත්තේ මෙන්න මේ ඉන්ටර්නෙට් ලිපිනය හිමි මෙන්න මේ අනන්‍යතාව සහිත පුද්ගලයාගෙන් බව දැන ගත්ත ද, එය තාවකාලික දැනුමක් පමණක් ම වේ.

ඊළගට අප සොයා ගන්නා අයිපී ඇඩ්‍රසයක් හෙවත් ඉන්ටර්නෙට් ලිපිනයක් කොයි භූගෝලීය ස්ථානයේ සිට පැමිණියේ ද යන්න අයිපී ට්‍රැකර් සේවාවක් මගින් සොයා ගත හැකි වුව ද, එහිදී අපට ලබා දෙන්නේ අදාළ ඉන්ටර්නෙට් සමාගමේ නිල ලිපිනයයි, නැතහොත් ඔවුන් ගේ සර්වරය හෝ දුරකථන හුවමාරුව පිහිටා ඇති ස්ථානයේ ලිපිනයයි.
අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග් කෙනෙකුට එතැනින් නතර වීමට සිදුවේ.

ලංකාවෙන් රසිකොලොජියට පාඨක පිරිස් පැමිණෙන ඉන්ටර්නෙට් සේවා ලෙස මා හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ඇක්සියාටා පීඑල්සී සහ මොබිටෙල් වැනි සමාගම් ය. සත්‍යය නම් මේවායේ සම්බන්ධතා ඕනෑම අයෙකුට ලබා ගත හැකි බවයි. මේ ආකාරයේ ඉන්ටර්නෙට් ලිපිනයක් පිළිබඳ සොයා බැලු විට එහි භූගෝලීය ලිපිනය ලෙස ලැබෙන්නේ එක්කෝ කොළඹ කොටුවේ තැනකි, නැතිනම්, වැලිමඩ වැනි ප්‍රදේශයක කඳු මුදුනක් බව මගේ සීමිත අත්දැකීමයි.

එතැනින් එහාට විමර්ශනය කිරීමට නම්, අදාළ ඉන්ටර්නෙට් සේවා සපයන්නා විසින් ඒ ඒ මොහොතේ කවර පාරිභෝගිකයාට කවර ඉන්ටර්නෙට් ලිපිනයන් ලබා දුන්නේදැයි විස්තර ඒ ආයතනයෙන් ලබා ගත යුතුවේ. එවැන්නක් කිරීමට අප වැනි සාමාන්‍ය ජෝ බ්ලොග්ස්ලාට නොහැකිය.

අපේ පුද්ගලික ඉන්ටර්නෙට් සේවා මගින් අපේ උපකරණවලට පවරන්නේ ගතික ඉන්ටර්නෙට් ලිපිනයන් මගින් සොයා ගත හැක්කේ ඒ සේවා සමාගම කවරෙක් ද යන්න පමණක් වුවද, විශාල පරිමාණයේ සමාගම්, රජයේ දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල වැනි ආයතන මගින් ලබාගෙන ඇති ඉන්ටර්නෙට් සම්බන්ධතා හරහා ඒ ආයතනවල සේවය කරන පිරිස් බ්ලොග් අඩවිවලට පිවිසෙන විට, ඔවුන් ගේ ඉන්ටර්නෙට් ලිපිනයේ ටෙලිෆෝන් සමාගමක නම නොව ආයතනයේ නම පෙන්වනු ඇත.

උදාහරණයක් ලෙස මා කාර්යාලයේ ඉන්ටර්නෙට් සම්බන්ධතාව භාවිතා කළහොත් අදාළ ලොග් සටහනේ අපේ සමාගමේ නම සඳහන් වෙනු ඇත හෝ සොයා ගත හැකි වෙනු ඇත. එසේ වෙතත්, ඒ ඒ අවස්ථාවලදී, එකම සමාගම් නම යටතේ වුවද, මට ලැබෙන්නේ විවිධ උපජාල (subnet) ලිපිනයන් සහ ස්ථාන නාම බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.

තවත් උදාහරණයක් ලෙස දේශකයා නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන්නේ ඔහුගේ අන්වර්ථ නමින්ම කියවෙන පරිදි ලංකා ඇකඩමික් සහ රිසර්ච් නෙට්වර්ක් නම් විශ්ව විද්‍යාලවලට අදාළ අන්තර්ජාල සබ්න්ධතාවය හරහා ය. ඒ ඉන්ටර්නෙට් ලිපිනය පරීක්‍ෂා කිරීමෙන් ඔහු සේවය කරන්නේ කවර විශ්ව විද්‍යාලයෙන් ද කියා සොයා ගත හැක. නමුත්, ඒ විශ්ව විද්‍යාලයේ ම වෙනත් අයෙකු සඳහා ද ඒ ඉන්ටර්නෙට් ලිපිනයම වෙනත් අවස්ථාවක තිබිය හැකි බව මගේ අදහසයි. රාජ් නම් සහෘද බ්ලොග්කරුවාගේ කමෙන්ටු ලැබෙන රජයේ ඉන්ටර්නෙට් ජාලයෙන් පසු කලෙක යකා නමැති අයෙකුගේ කමෙන්ටු ලැබෙන්නට පටන් ගත්තේ ඒ ආකාරයට ය. යකා (නොහොත් මධ්‍යස්ථ මතධාරියා) ද සේවය කරන්නේ රජයේ පරිපාලනයට අදාළ ආයතනයක බව මම ක්‍ෂණයකින් තේරුම් ගතිමි.

දැන්, ඒ අනන්‍යතාවය සහිතවම නිර්නාමික කමෙන්ටුවක් මට ලැබුණා නම් (එසේ ලැබුණු බවක් මා කිසි දිනක දැක නැත!) ඒ රජා ද, යකා ද, මොකා ද කියා මට දැන ගන්නට කිසිදු ක්‍රමයක් නැත.

මගේ බ්ලොගයේ නිර්නාමික කමෙන්ටු යෙදුවේ කව්රුදැයි මා නිශ්චිතවම දැනගෙන ඇත්තේ දෙවතාවකි. මුල් වාරයේ දී අදාළ පුද්ගලයා මා ඔහුට කළ උදව්වක් ගැන ඉඟියක් කර තිබුණු බැවින්, මදක් කල්පනා කළ පසු ඒ කවුදැයි සිතා ගත හැකි විය. ඔහුම ඉන්පසු වෙනත් නිර්නාමික කමෙන්ටු යොදන්නට ඇත. නමුත් මා ඒ ගැන නිශ්විතවම නොදනිමි. ඒ පෙර සේ ඉඟි නොතිබුණු නිසා ය.

දෙවෙනි අවස්ථාවේ දී, අදාළ කමෙන්ටුව යෙදූ පුද්ගලයා එයම මට පුද්ගලිකව පණිවිඩයක් මගින් දැන්වීය. ඔහු තවමත් කලාතුරකින් එවැනි කමෙන්ටු යොදන අතර සෑම විටකම පාහේ මට දන්වයි. ඒ කමෙන්ටුවල වැඩි වරදක් මා නොදකින නිසා, ඒවා නිරුපද්‍රිතව පවතී.

ඒ හැර අන් සෑම අවස්ථාවක දී ම මට කළ හැක්කේ උපකල්පන පමණකි.

මීට අමතරව මා õ තරමක් දන්නා කරුණු කිහිපයක් ද මගේ පෙර ලිපියේ කමෙන්ටු ලෙස අජිත් ධර්මකීර්ති දක්වා තිබුණි. මේ කරුණු ගැන මා අසා තිබුණද, කිසි දිනෙක ඒවා භාවිතා කරන්නට මට අවස්ථාවක් උදා වී නැත.

1. මරා රෙජීමය යටතේ ලංකාව තුළ ඇතැම් ඉන්ටර්නෙට් හි දිවෙන ලංකානිවුස්වෙබ් වැනි ප්‍රවෘත්ති සේවා තහනම් කර තිබුණු සමයේ, ප්‍රොක්සි සර්වර් නමින් සරලව හැඳින්වුණු සේවා භාවිතයෙන් අදාළ ප්‍රවෘත්ති අඩවියේ සැබෑ අනන්‍යතාවය හෙවත් ඉන්ටර්නෙට් ලිපිනය ලංකාවේ සේවා සපයන ආයතනවලින් හංගා එහි පිවිසීමට ලංකා වැසියන්ට හැකියාව තිබුණි. තමන්ගේ අනන්‍යතාවය සැඟවීමට මෙවැනි සේවයක් මිල දී ගත හැකි යැයි සිතමි.

2. අපේ ජංගම දුරකථනවල ඇති සාමාන්‍ය බ්‍රව්සරයේ පවා, හඳුනාගත නොහැකි ආකාරයට (incognito) ඉන්ටර්නෙට් හි සැරිසැරීමට ක්‍රම සකසා ඇත.

3. ටොර් ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන සේවය මගින් අපට වෙනත් තෝරාගත් රටකයැයි හැඟෙන පරිදි ඉන්ටර්නෙට් ලිපිනයක් භාවිතා කළ හැකිය.

අවසාන වශයෙන් කිව යුත්තේ, මේ කරුණු සහ මා නොදන්නා නිසාම මෙහි සඳහන් නැති කරුණු ද අප දැනගැනීම වැදගත් බවයි. එහි බ්ලොග්කරුවන් දෙදෙනෙකු අතර ඇතිවෙන, පැය විසිහතරකින් නැතිවෙන තාවකාලික ආරෝවකට ඔබ්බෙන් වැදගත්කමක් ඇති බව මගේ හැඟීමයි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
දිවයිනේ සියල්ල දත් මාජ්ජවේදී වර්ණකුලසූරිය මේ ලිපිය කියවූවොත්, මෙහි මාතෘකාවේ මා සඳහන් කර ඇති ජෝ බ්ලොග් (Joe Bloggs) නමැත්තා බටහිර රටක බ්ලොග් කියන්නෙකු ලෙස හඳුනා ගනු ඇත!

ප/ප/ලි:
දේවදත්ත විසින් ඇනෝනිමස් කමෙන්ට්කරුවන් ැගන කියන ලද ට්වින් ගාථා සැට් එක මෙසේ ය.

1.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝනං ශ්වෙත මංවේතී
චක්කංච වෑනෝ පදං

ඒ කියන්නේ කොහොම පුම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

2.
ඇනෝ පුබ්බංගමා ආමා
ඇනෝ සෙට්ටා ඇනෝමයා
මනසා චෙ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මංවේතී
ඡායාව අනපායිනී

ඒ කියන්නේ කොහොම පුබම්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලාම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

අද කමෙන්ටු පල වෙනු ඇත්තේ පරීක්‍ෂා කිරීමෙන් පසුවය.

(Image: From Google - Cannot visit site)

Saturday, 11 June 2016

මේ උදා වී ඇත්තේ බ්ලොග් ලොව වසන්තය ද, සිසිරය ද? - Who is Sachin Jayanetti?


සිංහල බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු ම වාසය කරන ඕස්ට්‍රේලියාවට මේ උදා වී ඇත්තේ සිසිරයයි. සිසිරය හෙවත් ශිශිරය යනු ඉංග්ලිෂ් භාෂාවෙන් වින්ටර් යනුවෙන් හැඳින්වෙන සෘතුව වේ. සමහරු මෙයට වින්ටරය කියා ම කියති. මීට පෙර, අර මා ලිපි විසි හතරක් ලියූ බ්ලොග් වසන්තය සමයේ ඕස්ට්‍රේලියාවේ අප නම් සිටියේ හේමන්තයේ ය.

එසේ නම්, සිංහල බ්ලොග් ලොව දැන් ඇත්තේ ගිම්හානයේ නොහොත් ඉංග්ලිෂ් භාෂාවෙන් සමර් යනුවෙන් හැඳින්වෙන සෘතුවේ විය යුතුය.

දැන් සිසිරයේ පසුවෙන ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග් ලියන්නෙකු වන රයිගම් හන්දියේ චන්ද්‍රකුමාර බ්ලොග්කරුවා ඔහු ගේ ගිය මාසයේ ලියූ ලිපියක මෙලෙස පවසා තිබුණි.
"මා කැමති බ්ලොග් ලියපු අය ටික දෙනා මේකෙන් අයින් වී යන වග මා දුටුවේ කලක සිට. සමහරුන්ට අයින් වෙන්න මාත් එන්කරේජ් කර තියනවා. එයට හේතු මෙහි ලියන්න යන්නේ නැහැ. අපේ පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වය බ්ලොග් ලිවීමට වඩා ගොඩක් වැදගත්. එයිට එහා යමක් මා ලියන්නේ නැහැ."
ඉන්පසු ඔහු මෑත ලිපියක මෙලෙස ද ලියා තිබුණි.
මා දින කිහිපයකට කලින් ලියා ඇති මා කැමති සිංහල බ්ලොග් ලියන අය මේකෙන් අයින් වෙන වග. කණගාටුවකට වගේ ඒ ලැයිස්තුවට තවත් එකතු වෙනවා.
මේ දැක මම ඔහුගෙන් මෙලෙස විමසුවෙමි.
කවුද මේ සිංහල බ්ලොග් අත හැරලා යන ලේඛකයින්? මට නම් හිතා ගන්නත් බෑ.
මට නං පෙන්නේ ඒකේ අනිත් පැත්තයි. තව තවත් පිරිස් බ්ලොග් ලියන්න එකතු වෙනවා!
ඔහු එයට පිළිතුරක් දුන්නත් එලෙස අයින් වූ අය කවුරුන්දැයි පවසා තිබුණේ නැත. කොහමටත් රයිගම හන්දිය බ්ලොග්කරුවා ක්‍රිප්ටික් ආකාරයට ලියන්නට කැමැත්තෙකි. එසේත් නැතිනම්, බොක්කේ ඇති දේ ලෙහෙසියෙන් හක්කෙන් එළියට දාන්නෙකු නොවේ.

ඉතිං මා කළේ, මා කියවන බ්ලොග් ලයිස්තු පිරික්සා බලා, මෙලෙස ලිවීමෙන් ඉවත් වූ හෝ ඉවත්වෙමින් සිටින බ්ලොග්කරුවන් කවුදැයි සොයා බැලීමේ ප්‍රයත්නයක නිරත වීමයි.

බ්ලොග්කාරියන් අතුරින් මල්මී මාස තුනකින්ද, ඔමායා මාස හතරකින් ද, පොඩි කුමාරිහාමි මාස හයකින් ද, නීරෝ මාස හතකින් ද, හැඩදල සහ ජනූ මාස අටකින් ද, සංජු මාස නමයකින් ද ලියා නැත.

මේ අතරතුරේ ඒ මියුරු, නෙළුම් විල වැනි බ්ලොග් නැවත ලියන්නට පටන් ගෙන ඇති බව ද දුටුවෙමි.

බ්ලොග්කරුවන් අතරින්, ලංකාප්‍රිය, මගේ සඳ, රසවතිය, ගයිජින්, දුමී, බස්සා, රෙපා, බ්ලොග් සඟරාව වැනි බ්ලොග් තෙමසක් හෝ වැඩි කලකින් යාවත්කාලීන වී නැත.

මගේ ඩෙනිම, ඉවාන් පවුලූෂා සහ බීට්ල් වැනි බ්ලොග්වලද දෙමසකින් පමණ වෙනසක් සිදුවී නැති නමුත්, ඒ තාවකාලික තත්වයකැයි සිතමි. අරූ ගේ අඩවිය පිළිබඳ තත්වය වෙනස් එකක් විය යුතුයි.

දෙවසරකට පෙර නවතා දැමූ කතන්දර වැනි බ්ලොගයක් ගැන රයිගම හන්දිය දුක් වෙනවා ද විය නොහැක!

එසේ සමහර බ්ලොග් නතර වී ඇති බව කිව හැකි නමුත්, අප හොඳින් දන්නා පරිදි පසුගිය කාලයේ අලුතෙන් බ්ලොග් ලියන්නට පැමිණි පිරිස ද බොහෝ ය. මෙහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නේ වෙනත් ක්‍ෂේත්‍රවල නිපුණයින් ගේ බ්ලොග් ආගමනයයි.

මම සති දෙකකට පමණ පෙර දුයිෂෙන් ගේ ආගමනය ගැන ලියූවෙමි. ඒ ගැන කවිඳු, මාතලන් ඇතුළු කිහිප දෙනෙකුම ලියූහ. මාතලන් විසින් ශාන්ත කේ හේරත් සහ තවත් චිත්‍ර බ්ලොගයක් ද හඳුන්වා දී තිබුණි. අජිත් පැරකුම් ජයසිංහ සුදු කුකුළා බ්ලොග් අඩවිය ගැන ලියා තිබුණි.

එලෙස ම, මා අප්‍රියෙල් මාසයේ දී ජගත් එදිරිසිංහ ගේ මානව බ්ලොගය ගැන ලියූවෙමි.

මේ ආකාරයට මේ මෑත කාලයේ සිංහල බ්ලොග්කරණයට බට පිරිස බොහෝ ය.

මට නම් පේන්නේ මේ බ්ලොග් වසන්තය ම ය කියා ය. ඇත්තට ම මේ වෙනත් ලෝකවල ලේඛක ඩයිනෝසර් ලා, බ්ලොග් ලොව උපදින කාලයයි.

අද ද මා සැරසෙන්නේ අලුතෙන් බ්ලොග් ලියන්නට පටන්ගත් කාලයක් තිස්සේ වෙනත් මාධ්‍යවල ලිපි ලියූ අයෙකු ඔබට හඳුන්වා දෙන්නයි.
  • මට ඔහු රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු ලෙස හඳුන්වා දී පිරිසක් කුල්මත් කරවීමට හෝ කෝප ගැන්වීමට හැකි ය.
  • මට ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු ලෙස හඳුන්වා දී තවත් පිරිසක් උනන්දු කරවිය හැකි ය.
  • මට ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දී තවත් මානයකට මෙය ගෙන යා හැක.
  • එසේත් නැතිනම්, මට ඔහු කැනේඩියාවේ වෙසෙන සංක්‍රමණිකයෙකු ලෙස හඳුන්වා දී තවත් කරුණු රාශියක් ඉස්මතු කළ හැක.
නමුත්, මා ඔබට කියන්නේ ඔහු ලියන දේ කියවා ඔහු හඳුනා ගන්නා ලෙසයි.

මක් නිසා ද යත්, මා "සචින් ජයනෙතත්ති"ව හඳුනා ගත්තේ ඔහු ලියූ දෙයින් පමණක් නිසා ය. ඒ හැර, මා ඔහු මුණ ගැසී හෝ දුරකථනයෙන් කතා කර හෝ නැත.

මෙන්න ඔහු ගේ බ්ලොගයට පාර: https://sachinscorner.wordpress.com/

-රසිකොලොජිස්ට්

(image: https://www.facebook.com/sachin.jayanetti)