Showing posts with label නාට්‍යය. Show all posts
Showing posts with label නාට්‍යය. Show all posts

Monday, 11 November 2019

ඊස්කලස්, රෝහණ දන්දෙනිය, ගෝඨාභය රාජපක්‍ෂ සහ රසික සූරියආරච්චි - Aeschylus, Rohana Dandeniya, Gotabhaya Rajapaksa and Rasika Suriyaarachchi


සමහර විට යම් විෂයයක් පිළිබඳ කරුණු සොයා බලනවිට ඒ හමුවෙන දේ අතරින් තවත් දේ පෙනේ. වෙනත් මතකයන් එයට ඈඳේ.

මෙය වයසට යෑමේ අතුරු ඵලයක් ද විය හැක.

පසුගිය දිනක ඊස්කලස් (සමහරු ඉස්කලස් කියා ද ශබ්ද කරති) නම් පැරණි ග්‍රීක නාට්‍යකරුවා පිළිබඳව විකිපීඩියාව වැනි වෙබ් අඩවිවලත්, අතට හසුවුණු තවත් පොතක දෙකකත් තිබුණු කරුණු කියවනා විට ඔහු ගැන ලියවී ඇති කරුණු නිසා වෙනත් අතුරු කතා කිහිපයක් ම සිතට ආවේ ය.

මා ඊස්කලස් ගැන ලියූ කෙටි සටහන ප/ලි කොටසට කල් තබා මුලින් ම, ඒ අතුරු කතා කිහිපයෙන් දෙක තුනක් අකුරු කරමි.

ඊස්කලස් සහ රෝහණ දන්දෙනිය
ඊස්කිලස්ගේ පුතුන් වූ යුෆෝරියන් (Euphorion) සහ යූයියන් (Euaeon) ද නාට්‍යකරුවන් වූ බවත්, ඔවුන් තම පියාගේ නාට්‍ය ද නැවත නිෂ්පාදනය කර රඟ දැක්වූ බවත් විකිපීඩියාවේ කියවේ.

මගේ සීමිත දැනුමට අනුව, තම පුතෙකු ද නාට්‍ය කලාවට යොමු වූ සිංහල නාට්‍යකාර පියෙකු ලෙස මගේ සිහියට ආවේ පරාස්ස වැනි වේදිකා නාට්‍ය නිපදවූ රෝහණ දන්දෙණිය යි. ඔහුගේ පුත් තරංග දන්දෙණිය නාට්‍යකාරයෙකු වන අතර මෙල්බන් උතුරේ පැවැත්වුණු පෙරේරලා ගේ කසාදේ දර්ශනය නැරඹීමට ද පැමිණියේ ය. ඊස්කලස්ට තරංග දන්දෙණිය ගේ ඇති තවත් සම්බන්ධයක් නම් ඔහු විසින් ඊස්කලස්ගේ අගමෙම්නොන් () නම් නාට්‍යය සිංහලෙන් නිෂ්පාදනය කිරීමයි.

හේමසිරි ලියනගේ නම් නාට්‍යවේදියාගේ පුත් සෞම්‍ය ද නාට්‍යකරුවෙකු බව මේ මොහොතේ මට සිහිපත් විය.

ඊස්කලස් සහ ගෝඨාභය රාජපක්ෂ
ශෝකාන්ත නාට්‍යයේ ප්‍රමුඛයා ලෙසත්, නාට්‍ය හැත්තෑපහකට වඩා නිර්මාණය කළ නාට්‍යවේදියකු ලෙසත් ඊස්කලස් ඉතිහාස ගත වී ඇති නමුත් ඔහුගේ සොහොන් කොතේ ඒ පිළිබඳ සටහනක් නොමැති බවත් එහි දැක්වෙන්නේ, ඔහු යුද භටයෙකු ලෙස සංග්‍රාම භූමියේදී කළ කී දේ ගැන බවත් සඳහන් වේ.

අද මෙන්ම එදා ද කලාකරුවාට වඩා යුද භටයා ඉහළ තත්වයට ලා සැලකුණු බව එයින් පෙනේ.

තමන් සාමාජිකත්වය දරන රහස් සංවිධානයක අභ්‍යන්තර කරුණු නාට්‍යයක් තුළින් ඉදිරිපත් කළ වරදට වරෙක ඊස්කලස්ව උසාවිය හමුවට ගෙන එන ලදී.

තම සොහොයුරා ද තමන් ද, යුදබිම් දෙකක සටන් කළ රණවිරුවන් බව පවසමින් ඊස්කලස් කළ අභියාචනය පිළිගත් උසාවිය ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත.

මෙයින් හැඟෙන්නේ අද ලංකාවේ පවතින රෝගයක් වන "රණවිරුගාය" පුරාණ ග්‍රීසියේ ද පැවැති බවයි.

වැරදීමකින් හෝ තමන් බලයට පත්වුවහොත්, විවිධ අපරාධ කර චෝදනා ලබා ඇති "රණවිරුවන්ව" සහ උසාවි නඩු විනිශ්චයෙන් පසු සිරදඬුවම් ගෙවන "රණවිරුවන්ව" නිදොස් කොට නිදහස් කරන බව පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ද ප්‍රකාශ කරන ලදී.

ඊස්කලස් සහ රසික සූරියආරච්චි

ශෝකාන්ත නාට්‍යයේ පළමුවෙනියා ලෙස සැලකෙන ඊස්කිලස්ගේ ජීවිතය ද ශෝකාන්තයක් ම විය. එනම්, දුක්බර ලෙස අවසාන විය. එය බොහෝ දෙනෙකුට ළඟා කරගත නොහැකි, මා වැන්නන්ට පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයේ අවසානයකි.

ඊස්කලස් මියගොස් ඇත්තේ රාජාලියකු විසින් ගුවනේ සිට පහළට හෙළන ලද ඉබ්බෙකු හිසමත වැටීම නිසා හටගත් අභ්‍යන්තර සහ බාහිර තුවාල නිසා බව කියවේ. ඉබි මස් කෑමට ප්‍රිය කරන රාජාලීන් ඉබ්බන්ගෙ කටුව පුපුරවා මස් එළියට ගැනීම සඳහා භාවිතා කළ උපක්‍රමය නම් ඉබ්බන් ව ඉහළ අහසේ සිට බිම ඇති කළු ගල් මතට අතහැරීමයි.

කෙස් නොමැති ඊස්කිලස්ගේ තට්ට හිස රාජාලියා දැක ඇත්තේ තම අවශ්‍යතාවයට ගැලපෙන ගලක් ලෙස ය.

ඒ අනුව, ශෝකාන්ත නාට්‍යයේ පළමුවැන්නායි කියවෙන ඊස්කිලස්ගේ ජීවිතය ශෝකාන්තයක් වූයේ තම තට්ට හිස නිසා බව පෙනේ.

මේ කතාව අසා ඔබට හිනා යන්නට ඉඩ ඇති නමුත් එය කිසිසේත්ම සුඛාන්තයක් හෝ ප්‍රහසනයක් හෝ යැයි නොසිතන්න.

එය ශෝකාන්තයක් ම වේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
දැන් මෙන්න ඊස්කලස් ගැන කෙටියෙන්.

  • ඊස්කලස් යනු පුරාණ ග්‍රීසියේ විසූ (ක්‍රිපූ 525 සිට ක්‍රිපූ 456) නාට්‍යකරුවෙකි. ඔහු සැලකෙන්නේ ශෝකාන්ත නාට්‍යයේ පියා ලෙසයි. නාට්‍ය හැත්තෑපහකට (අනූවක් යැයි ද කියවේ) වඩා රචනා කොට නිෂ්පාදනය කළැයි සැලකෙන ඔහු තුන් ඈඳුතු නාට්‍ය නිපදවූ පළමුවැන්නා ලෙස ද සැලකේ.

    ඉතා තරුණ අවධියේදී ම, මා සැක කරන පරිදි භින්නෝන්මාද රෝග ලක්ෂණයක් ඇති වූ පසු (එනම් එක් දිනක දවල් හීනයක් දකිමින් සිටි ඔහුට දෙවියන් පෙනී නාට්‍යය රචනා කරන්නට යැයි පැවසීම), ඊස්කලස් නාට්‍ය ලියන්නට පටන් ගත්තත් ඔහු, එකල ග්‍රීසියේ නිරතුරුවම පැවති නාට්‍ය තරගයකින් ජයග්‍රහණය කර ඇත්තේ බොහෝ කලකට පසුවයි. නාට්‍ය හැත්තෑපහකට වඩා ඔහු ලියා නිෂ්පාදනය කළ බව කීවත් ඉතිරි වී ඇත්තේ නාට්‍ය හතක් පමණක් වීමට හේතුව, ඒවා ජයග්‍රහණය කළ නාට්‍ය වූ නිසා නැවත නැවතත් පෙන්වූ හේතුවෙන් විය යුතුයි.
  • නාට්‍ය කලාවට ඔහුගෙන් සිදුවුණු අනෙක් ප්‍රධාන සම්මාදම වන්නේ එතෙක් පැවති එක් වරකට වේදිකාවේ සිටින එක් නළුවෙකු එහි සිටින ගායක කණ්ඩායම හෙවත් කෝරසය සමග කෙරෙන ප්‍රසාංගික ගනුදෙනුවලට පමණක් සීමා වූ නාට්‍ය ආකෘතිය එයින් වෙනස්කර නළුවන් දෙදෙනෙකු එක්වර වේදිකාවට ගෙන්වා නළුවන් නිරූපණය කරන චරිත අතර ගැටුම් වේදිකාවේ ඉදිරිපත් කිරීමයි.
  • ඊට අමතරව ඊස්කලස් නාට්‍යයක දර්ශන පසුතල පිළිබඳවත්, රංගවස්ත්‍ර පිළිබඳවත් සාධනීය වෙනස්කම් සිදුකළ බව කියවේ. විශේෂයෙන්ම ඔහුගේ නාට්‍යවල ගායක කණ්ඩායමේ හෙවත් කෝරසයේ රංගවස්ත්‍ර සහ රඟපෑමට ඔහු කළ වෙනස්කම් නිසා, ඔවුන් වේදිකාව මතට ආ විට, කුඩා දරුවන්ට කලන්තය සෑදීම, පුරුෂයින්ට මුත්‍රා යෑම සහ ගර්භණී මාතාවන්ට විලිරුදාව සෑදීම නිරතුරුවම සිදුවූ බව පැවසේ.
  • ඔහුගේ නාට්‍යයක ඇතුළත් සදාකාලික වැදගත් කමකින් යුතු රුවන් වැකියක් මෙසේය.
    "යුද්ධයක දී පළමුවෙන් ම මියයන්නේ සත්‍යය යි"

(images: https://www.britannica.com/biography/Aeschylus-Greek-dramatist, https://pbs.twimg.com/media/DCsUEnXXoAAOlBl.jpg)

Monday, 17 October 2016

කොමිසාර් හුන් කෙන්, පොල්, පොට්, මාවෝ තූන් සහ නොම් පෙන් ගේම්ස් - A turning point? Lets hope so!


අසමසම නාට්‍ය ජීවිතයක් ගැන රේඛීය කාල රේඛාවක ලියවෙමින් තිබුණු කතාංග මාලාව මදකට නවතා, පසුගිය සෙනසුරාදා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, සිඩ්නි තදාසන්න ඩියුරල් ග්‍රාමයේ රංග ශාලාවක දී පැවැත්වුණු සිඩ්නි සිංහල කෙටි නාට්‍ය උත්සවයේ එක් නාට්‍යයක් වූ "නොම් පෙන් ගේම්ස්" පිළිබඳව සටහනක් තබන්නට සිත්විය.

මා ලියා පළ කළ "පෝස්ටර් නිහාල්" නම් ලිපියෙන් රසිකොලොජියට හඳුන්වා දුන් සහ පසුව ලිපි දෙක තුනකම නම සඳහන් වුණු මා මිත්‍ර නිහාල් රූපසිංහ විසින් රචනා කරන ලදුව, නිහාල් රූපසිංහ ගේ සහ තිලක් රණසිංහ ගේ සම අධ්‍යක්‍ෂණයෙන් වේදිකාගත වුණු නොම් පෙන් ගේම්ස් හි අන්තර්ගතය කෙටියෙන් මෙසේ ය.

කාම්බෝජය නම් රටක "නොම් පෙන්" නුවරක වාසය කළ, එහි නීති සම්පාදක මණ්ඩලයේ කොමිසාර්වරයෙකු වන "හුන් කෙන්" වෙඩි වැදී මරණයට පත් වී ඇත. ඔහු ගේ මරණ පරීක්‍ෂණය භාර වී ඇත්තේ කාම්බෝජයේ සීඅයිඩී හි "පොල්" සහ "පොට්" නම් නිලධාරීන් දෙදෙනාට ය.

මූලික සාක්‍ෂි කැඳවීමේ දී, නොම් පෙන් සිද්ධස්ථානයෙන් අධිපති තැන මියගිය කොමිසාර් හුන් කෙන් ගේ සිල්වත්කම වර්ණනා කළ ද, හුන් කෙන් ගේ දියණිය, "සෝන්", පවසන්නේ ඇය කුඩා කල ඇගේ මව ද මෙලෙස මිය ගිය බවත්, එහි රහස ඇය හෙළි කරාවි යැයි සැක කළ ඇගේ පියා ඇයව බිය කර, මානසික රෝහලකට පවා යැවූ බවත්, ඉන් පසු නිවසේ කලින් කලට මෙහෙකාරියන් රැසක් සිටි බව සහ ඔවුන් බොහෝ දෙනෙකු ද නතර වූයේ රෝහල්වල බවත් ය.

නිවසේ මෙහෙකාරිය වූ "චණ්ඩා" පවසන්නේ ඇය මේ මරණය වූ දින කුස්සියේ වැඩ කරමින් සිටියදී, කොමිසාර් හුන් කෙන් පැමිණ, අධික ලෙස මත්පැන් පානය කර, ඇයට කාමරයට යාමට කතා කළ බවත්, ඇය එයට එකඟ නොවූ බවත් ය.

ඔවුන් ගේ සාක්‍ෂිවලින් කොමිසාර් හුන් කෙන් ගේ මරණය සිදු වූ ආකාරය හෙලිවීමට ඉඩ ඇති බව පොල් සහ පොට් ඔවුන් ගේ ලොක්කා ට දුරකථනයෙන් දන්වති. ලොක්කා ගෙන් උපදෙස් ලැබෙන්නේ හුන් කෙන් ගේ නිවසේ මෙහෙයකාරීය වන චණ්ඩා ගේ සැමියා වන මිනීමැරුම් චෝදනාවලට වරදකරුව සිරගත වී සිටින "මාවෝ තූන්" නම් පුද්ගලයා හිරෙන් පන්නාගෙන මේ මිනීමැරුමට පාපෝච්චාරණයක් ලබා ගන්නා ලෙසයි.

කොච්චි මිරිස් සාත්තුව, ධර්ම චක්‍රය සහ තවත් නොයෙකුත් දස වධ සහ පහරදීම්වලට ලක්වුණද මාවෝ තුන් තමන් නොකළ මිනීමැරුමක් සඳහා පාපෝච්චාරණය නොකරයි.

අවසානයේ ලොක්කා උපදෙස් දෙන්නේ මාවෝ තූන් ගේ බිරිදවන හුන් කෙන් නිවසේ මෙහෙකාරිය චණ්ඩා අත්අඩංගුවට ගෙන ඇය මරණ බවට තර්ජනය කර අවශ්‍ය පාපෝච්චාරණය ලබා ගන්නා ලෙසයි.

චණ්ඩා සහ මාවෝ තූන් වධකාගාරයේ දුක් විඳිද්දී ආණ්ඩු පෙරළියක් සිදු වේ. තම ස්ථාවරය වෙනස් කරන ලොක්කා සිරකරුවෙකුට දසවද දෙන බව තමන්ට ආරංචිවූ බව පවසමින් පොල් සහ පොට් පරීක්‍ෂකයින් දෙදෙනාට බැණ වැදී ඔවුන්ට අණ කරන්නේ සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමටයි.

චණ්ඩා ගේ සාක්‍ෂිය ලෙස වේදිකාවේ දිග හැරෙන ජවනිකාවේ තමන් මාවෝ තූන්ව බොරු චෝදනා මත සිරගෙට නියම කළේ, චණ්ඩා මෙහෙකාර සේවයට ගෙන ලිංගික ප්‍රයෝජන ලබාගැනීමට බව කොමිසාර් හුන් කෙන් හෙළි කරන අයුරුය. ඔහු පිස්තෝලයක් රැගෙන චණ්ඩා බිය ගන්වා ඇය දුෂණය කිරීමට සැරසෙද්දී ඇයව බේරා ගැනීමට එහි දිව එන තම දියණිය සෝන්ට පහර දෙන කොමිසාර් සෝන් ගේ මව ද මරා දැමුවේ තමා බව වෙරිමතින් පවසයි.

එහිදී ඇති වෙන පොර බැදීමේ දී පිස්තෝලය පත්තු වී කොමිසාර් හුන් කෙන් මරණයට පත්වෙයි!

විනාඩි පහළොවක් පමණ වේලාවක් රඟ දැක්වුණු මේ නොම් පෙන් ගේම්ස් කෙටි නාට්‍යයේ කොමිසාර් හුන් කෙන් ලෙස සුජීව මුදළිගේ ද, පොල් සහ පොට් ලෙස භාෂිත හෙට්ටිගොඩ සහ ඉසුරු කළුබණ්ඩාර ද, චණ්ඩා ලෙස ශ්‍රියා රණසිංහ ද, සෝන් ලෙස මිහිරි ප්‍රනාන්දු ද රඟ පෑහ.

මා රඟපෑවේ මාවෝ තූන් නම් සිරකරු ගේ චරිතයයි. ඊට අමතරව, තිරයෙන් පිටුපස සිට නොම් පෙන් සිද්ධස්ථානයේ අධිපති ලෙස ද, පොල් සහ පොට් ගේ ලොක්කා ලෙස ද, මම හඬ සැපයූවෙමි.

මේ මා විශ්ව විද්‍යාලයකින් පිටත, ප්‍රසිද්ධ වේදිකාවක කළ මුල් ම රංගනයයි.

"මරල දාපියව් මාව! මං නොකළ දෙයක් මං පිළිගන්නේ නෑ යකෝ!! මට දැන් නැතිවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!!"

-රසිකොලොජිස්ට්

(Photo by Vijitha Thalpavila)

Tuesday, 11 October 2016

ජැක්සන් ඇන්තනි රඟ පෑ නාට්‍යයක් (චූට්ටක් විතර) කොපි කළෙමි - Rasika Suriyaarachchi, the dramatist, director and actor, confesses...!


පාසලේ දී හතේ පන්තියේ දී සිංහල පාඩමේ කොටසක් ලෙස රඟ දැක් වූ එක්තරා කෝලමක, කච්ඡපුට බෝසත් චරිතය නිරූපණය කර ඇති මම පසු කලෙක, කෙටි නාට්‍ය දෙකක් රචනා කර, නිෂ්පාදනය කර ඇත්තෙමි. ඒ මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගන්නා කාලයේ පළමු වසරේ දී සහ තෙවන වසරේ දී ය.

කෙටිය කී ලෙසින් ම කෙටි වූ නමුත්, නාට්‍ය කීවාට ඒවා නාට්‍ය ම දැයි නිසැකව ම කිව නොහැක. වන් ඇක්ට් ප්ලේ හෝ ස්කිට් කියා කීම වඩාත් යෝග්‍යවේ යැයි සිතමි.

එසේ වුවද, නිසැකවම කිව හැකි එක් කරුණක් නම් ඉන් මුල් නාට්‍යයේ එන ජවනිකා දෙකම මා ඊට වසර පහකට පෙර නැරඹූ පාසල් කෙටි නාට්‍යයක ජවනිකාවකින් සොරා ගත් සංකල්පයක් මත පදනම් වූ බවයි!

ඒ පාසල් නාට්‍යය වූයේ 1976 දී පමණ මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේ ලොකු පන්තිවල සිසුවෙකු වූ උපතිස්ස බාලසූරිය ලියා අධ්‍යක්‍ෂණය කළ, ජැක්සන් ඇන්තනි, කුමාරි මුණසිංහ, උපතිස්ස බාලසූරිය සහ තවත් මට නමින් අමතක නළුවන් කිහිප දෙනෙකු රඟ පෑ කෙටි නාට්‍යයකි.

මේ නාට්‍යය ඉදිරිපත් කළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නාට්‍ය තරගාවලියේ පූර්ව අවසාන වටය නැරඹීමට නැරඹීමට පාසලේ නතර වී මට සිදු වූ ඇබැද්දිය ගැන මා මින් පෙර දිනයක ලියා ඇත.

ඒ නාට්‍යයේ කතා වස්තුව මගේ මතකයේ හැටියට කෙටියෙන් මෙසේ ය.

පිරිමි දරුවන් දෙදෙනෙකුගෙන් සහ මවගෙන් පමණක් සමන්විත පවුලකි. මේ දුප්පත් පවුලේ අම්මා කුමාරි මුණසිංහ ය. අම්මාගේ සහ මල්ලී ගේ උපදෙස්, ආයාචනා නොතකා දුසිරිතට යොමුවෙන අයියා රංජිත් නමැති නළුවෙකි. පවුලේ හොඳ ළමයා වූ මල්ලී ගේ චරිතය රඟපෑවේ, නාට්‍ය පිටපත රචනාකර එය නිෂ්පාදනය කළ උපතිස්ස බාලසූරිය යි.

මේ නාට්‍යයේ ආ දෙබස් අතරින් එක් ඛණ්ඩයක් පමණක්, වසර හතළිහකට පසුව ද මගේ මතකයේ ඇත.

තම වැඩිමල් සොහොයුරාට, හිතන්න කෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ ආකාරයේ උපදෙස් දෙන මල්ලී අමතා අයියා මෙසේ කියයි.

"උඹ මොනවද මිනිහෝ මං ගැන දන්නේ? උඹ මොනවද මිනිහෝ මං තරම් ලෝකෙ ගැන දන්නේ?"

උපදෙස් නොතකන අයියා ජීවිතයේ අඳුරු අගාධයකට වැටෙන ආකාරය නාට්‍යයේ නිරූපණය කෙරුණේ යක්‍ෂයන් සිව් දෙනෙක් හූ තියාගෙන හතර පැත්තෙන් කඩා පැන, වියරු සිනා නගමින් වැඩිමහල් සොහොයුරාව ගොදුරු කරගන්නා භයානක දර්ශනයකිනි.

ඒ එක් යක්‍ෂයෙකුගේ චරිතය රඟපෑවේ, පසු කලෙක බෙර හඬ නාට්‍යයේ ද යක්‍ෂ චරිතයක් රඟ පෑ, ජැක්සන් ඇන්තනි ය.

ඒ යක්‍ෂයින් හතර දෙනාගෙන් කිසියම් විෂ ඝෝර බලවේග හතරක් නිරූපණය කෙරුණේ ද යන්න මට නිවරැදිව මතක නැත. එසේ ම, අද කවුරුත් හොඳින් දන්නා මත් කුඩු වැනි දේ ගැන මා නම් එකල අසා තිබුණේ ද නැත.

කෙසේ වෙතත්, මා විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී ලියා නිෂ්පාදනය කළ කෙටි නාට්‍යයේ ජවනිකාවකට ඒ යක්‍ෂයින් සිව් දෙනා වේදිකාවේ හතර දෙසින් කඩා පනින දර්ශනය උපයෝගී කර ගත්තෙමි.

මගේ නාට්‍යයේ පිටපත සැකෙවින් මෙසේ විය.

උසස් පෙළ අසමත්ව උකටලීව "විශ්ව විද්‍යාලයට යන්න කොතරම් කැමැත්ත තිබුණත්, මට නම් ආපහු උසස් පෙළ විභාගෙ කරන්න බැරියෝ!" යනුවෙන් වේදිකාව මත කොලුවෙකු මරහඬ තලන දර්ශනයකින් නාට්‍යය ඇරඹේ.

ඔහු ගේ සහයට වේදිකාව දෙපසින් දෙවියන් දෙදෙනෙකු මතු වේ. එක දෙවියෙකු "අධිෂ්ඨානය" නම් වෙන අතර අනෙකා "ධෛර්යය" නම් වේ.

මේ දෙවියන් දෙදෙනා ගෙන් අධිෂ්ඨානය සහ ධෛර්ය ලබන කොලුවා ඒ අත් වැලේ පිහිටෙන් නැගී සිටියි. තිදෙනාම වේදිකාව මත වටයක් කැරකී ඉනික්බිති පිවිසෙන්නේ විශ්ව විද්‍යාලයට ය.
එහි ළඟාවෙත්ම හතර අතින් කඩා පනින යක්‍ෂයින් හතර දෙනෙකු ගේ තර්ජන හමුවේ බියවෙන දෙවිවරු දෙදෙනා පලා යන අතර, කොලුවා යකුන්ට බිය වී බිම ඇද වැටේ. දර්ශනය අවසාන වෙන්නේ, යක්‍ෂයින් සිව් දෙනා විසින් කොලුවාව ගිල ගැනීමෙනි.

යක්‍ෂයින් හතර දෙනා නම් කෙරුණේ කැන්ටින් යකා, කෝස්වර්ක් යකා, හෝල් යකා සහ කඩු යකා යනුවෙන් පළමු වසරේ සිසුන් වූ අපට මුහුණ පාන්නට සිදුවී තිබුණු විවිධ කරදර කම්කටොලු නිරූපණය කිරීමට ය.

නාට්‍යය පිටපත ලියා අධ්‍යක්‍ෂණය කළ මා රඟපෑවේ අධිෂ්ඨානය නම් දේයියා ගේ භූමිකාවයි. අනෙත් දෙයියා ලෙස පසු කලෙක ගායකයෙකු ලෙස රටේ ජනප්‍ර්‍රිය වුණු සමන් ජයනාත් ජිනදාස රඟපෑවේ ය. ශිෂ්‍යයාගේ චරිතය රඟපෑවේ පියතිස්ස බණ්ඩාර තෙන්නකෝන් ය.

යකුන් හතර දෙනාගෙන් කැන්ටින් යකා, කෝස්වර්ක් යකා සහ හෝල් යකා ලෙස රඟපෑවේ කවුදැයි අද මට අමතකව වී ගොස් ඇති නමුත් කඩු යකා ලෙස සුමනරත්න බණ්ඩාර වෑත්තෑවේ රඟ පෑ බව නම් හොඳින් මතකය.

මේ නාට්‍යය රඟ දැක්වීම පිළිබඳව මගේ මතකයේ ඇති තවත් කරුණු දෙකක් වේ.

කඩු යකා ගේ චරිතය රඟ පාන්නට වෑත්තෑවේ තෝරා ගැනුණේ ඔහු අප අතර සිටි කඩු කාරයා වීම නිසා ය. අප ඉංජිනේරු පීඨයට ගිය මුල් දිනයේ ම පැවැත්වුණු ඉංග්ලිෂ් පරීක්‍ෂණයෙන් සමත්වී ඉංග්ලිෂ් පන්තිවලින් නිදහස් කරනු ලැබූ අතළොස්සක් දෙනාගෙන් වෑත්තෑවේ එක් අයෙකි.

කඩු යකාගේ චරිතයට සිංහල මෙන්ම ඉංග්ලිෂ් දෙබසක් ද ඇතුළත් වී තිබුණි.

පීඨයේ කටයුතු වලදී කළ යුතු, කඩුව භාවිතය ගැන නවක ශිෂ්‍යයා බිය ගන්වන වැකි ගණනාවක් කියා අවසානයේ උඹ දැනගනින් මිනිහෝ මම තමයි කඩු යකා. අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් යැයි පිටපත ලියවී තිබුණි.

අප නාට්‍යය පුරුදු වුණු කිහිප වතාවෙන් දෙතුන් සැරයක ම, වෑත්තෑවේට ඒ අවසාන වැකිය කියවුණේ අයෑම් ද ඩෙවිල් ඔෆ් ඉංග්ලිෂ් කියා නොව අයෑම් ද ඩීන් ඔෆ් ඉංජිනියරිං කියා ය!
වේදිකාවේ දී ද එලෙස කියවෙතැයි මා බිය වී සිටිය ද, වාසනාවකට මෙන් වෑත්තෑවේ ජාම් බේරා ගත්තේ ය.

මගේ මතකයේ රැඳී ඇති දෙවන සිදුවීම නම් මෙයයි.

හත් දෙනෙකුගෙන් යුතු අප නාට්‍ය කණ්ඩායම අපේ වාරය එනතුරු වේදිකාව පිටුපස පසෙකින් ඇති කාමරයේ සිටියදී, එදා නිවේදක කටයුතු ද කළ, නවකයින් පිළිගැනීමේ උත්සවයේ ප්‍රසංගය සංවිධානය කළ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති තනතුර දැරූ තුන්වෙනි වසරේ ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය වෙතට ගිය මම අපේ නාට්‍ය කණ්ඩායමේ නළුවන් ගේ නම් ලයිස්තුව ලබා දෙන්නට සැරසුණෙමි. ඒ අපේ අංගය හැඳින්වීමේ දී නිවේදනය විස්තර කරන්නයි.

නම් අනව්‍යයි කියා එවේලේ කී නමුත් අපේ අංගය ඉදිරිපත් කිරීමේ දී හෙන්රි මෙසේ කීවේ ය.

"දැන් මෙන්න රසික හරිශ්චන්ද්‍ර සොයුරා ප්‍රමුඛ පළමු වසරේ සිසුන් සමග ඉදිරිපත් කරන නාට්‍යය."

"අපේ කොල්ලෝ එක්ක නාට්‍යයක් කරලා, උඹ හෙන්රියට කියලා උඹේ නම විතරක් කියවා ගත්තා නේද?" කියා ඊළඟ සතියේ මා මිතුරු විජේදාස කෝණාරගෙන් චෝදනාවක් එල්ල වූ විට, නිහඬව සිටීම හැර මට කළ හැකි වෙනත් දෙයක් නොතිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල කෙටි නාට්‍ය උළෙල සාර්ථක තුන්වෙනි වරට ඔක්තෝබර් 15 සෙනසුරාදා ඩියුරල් හි දී පැවැත්වේ.

සැමට සාදර ආරාධනා!

Wednesday, 17 August 2016

කලාකරුවෙකු වෙන්නේ කෙසේද? - A pipe dream?


යමෙකු කලාකරුවෙකු වෙන්නේ කෙසේ ද? ඒ සඳහා උපතින් ම ලද හැකියාවක් තිබිය යුතු ම ද? ඒ හැකියාව පමණක් ප්‍රමාණවත් ද? හැකියාවක් ඇති අයෙකුට එතැනින් ඔබ්බට යාමට අවශ්‍ය ජවය හෝ උත්තේජනය හෝ වරම හෝ මොකක්ද එක හෝ ලැබෙන්නේ කෙසේද?

ඉහත ප්‍රශ්න මාලාව මගේ සිතට ආවේ, පසුගිය දා සිනුවර දී ලූෂන් බුලත්සිංහල සමග පැවති සුහද සාකච්ඡාවේ දී ඔහු මුලින් පැවසූ දෙයටත්, නිහාල් රූපසිංහ ගේ ප්‍රශ්නයකට ලූෂන් බුලත්සිංහල දුන් පිළිතුරටත් ඇහුම් කන් දී සිටි අවස්ථාවේ දී ය.

නිහාල් රූපසිංහ විසින් විමසන ලද ඒ ප්‍රශ්නය වූයේ, නාට්‍යවේදියෙකු, ගීත රචකයෙකු ලෙස ලූෂන් බුලත්සිංහල පැමිණි ගමනේ මූලාරම්භය කෙසේ වූයේ ද යන්නයි.

ලෙක්හවුසියේ සරසවිය සිනමා සඟරාව හෝ සති අන්ත පුවත්පතක් සමග ලැබෙන වෙනත් ඒ ආකාරයේ සඟරා අතිරේකයකින් කලාකරුවෙකු සමග කෙරෙන සම්මත අච්චුවේ සම්මුඛ සාකච්ඡාවකදී නිරතුර ඇසෙන්නා වූ ප්‍රශ්නයක් වූ එය, බැලු බැල්මට වැදගත්කමක් නැති එකෙකැයි සිතුණ ද, ඇත්තටම කලාකරුවා ඇතිවීම හෝ නැතිවීම පිළිබඳ තීරණාත්මක තොරතුරු ලබා දෙන ප්‍රශ්නයක් බව හොඳින් විශ්ලේෂණය කර බලන කල පෙනේ.

නිහාල් රුපසිංහ ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස එදා ලූෂන් බුලත්සිංහල පැවසූ ඔහු ගේ ජීවිතය පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ය.

වේදිකා නාට්‍යයට ඇති ඔහු ගේ ඇල්ම ආරම්භ වී ඇත්තේ, කුඩා කාලයේ රත්මලාන ප්‍රදේශයේ පෙන්වූ ටීටර් නාඩගම් නිසා ය. නමුත් ඔහුට ඒ නාටක රිසි සේ නරඹන්නට මුදල් තිබී නැත. කුඩා ලූෂන් බුලත්සිංහල කර ඇත්තේ වෙරළබඩ පොල් අතුවලින් වට කළ තාවකාලික වේදිකාවේ නාට්‍යය පුහුණු වන ආකාරය, පොල් අතු අස්සෙන් හොරෙන් බලා රස විඳීමයි.

වරක් මේ ආකාරයට තමන් නාට්‍යයක් පුහුණු වන ආකාරය හොරෙන් නරඹමින් සිටිනවා දුටු නාට්‍යයේ සංවිධායකයෙකු තමන්ව කණෙන් ඇද එළවා දැමූ බව ද ලූෂන් බුලත්සිංහල අප සමග පැවසී ය.

කුඩා කල සිට ම චිත්‍ර ශිල්පයට දක්‍ෂ සිසුවෙකු වූ ලූෂන් බුලත්සිංහල සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු හේවුඩ් ආයතනයේ ශිෂ්‍යයෙකු ලෙසින් චිත්‍ර කාලව වැඩිදුර ඉගෙනීම අරඹා ඇත. නමුත් ඒ අධ්‍යාපනය දිගටම කරගෙන යාම සඳහා වියදම් කිරීමට ඔහු ගේ පියාට මුදල් නොතිබුණු නිසා, ඔහු චිත්‍ර කලාව ඉගෙනීම අත හැර යළිත් පාසලට ගොස් උසස් පෙළ හදාරන්නට පටන් ගෙන තිබේ.

එදා එය එසේ නොවුණා නම්, අද සමහර විට ලූෂන් බුලත්සිංහල නම් නාට්‍යකරුවෙකු නොසිටින්නට ද ඉඩ තිබුණි.

ඒ හැටේ දශකයේ මුල් කාලයයි.

ඉන්පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බැඳී අධ්‍යාපනය හදාරන්නට වරම් ලබන ලූෂන් බුලත්සිංහලට ඒ කාලයේ ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ලිපිකරුවෙකු ලෙස පූර්ණකාලීනව රැකියාවක නිරතවෙන්නට ද සිදු වී ඇත. ඒ පිළිබඳව ද රසවත් කතාවක් ඔහු අප සමග පැවසූ අතර එය පසුව ලිපියක ලියන්නට අදහස් කරමි.

කෙළින් ම ඒ බව නොකියවුණ ද, මට වැටහුණු ආකාරයට, විශ්ව විද්‍යාලයට යන්නට පෙර සිටම වේදිකා නාට්‍යවලට සම්බන්ධව සිටියද, ලූෂන් බුලත්සිංහල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නාට්‍යවලට සම්බන්ධ වූ අයෙකු නොවන බව පෙනුණි.

කෙසේ නමුත්, තමන් වේදිකා නාට්‍යවේදියෙකු වීමට මූලිකවම බලපෑවේ, කුඩා කාලයේ අමාරුවෙන් දැක බලා ගත් ඒ ටීටර් නාටක නිසා බව ලූෂන් බුලත්සිංහල එක හෙළා පැවසී ය.

නමුත් කුඩා කාලයේ නාට්‍යය නැරඹීමෙන් පමණක් නාට්‍යකරුවෙකු වීමට නොහැකි බව පැහැදිලි ය. උදාහරණයක් ලෙස මා නැරඹුූ මුල්ම වේදිකා නාට්‍යය වූයේ (ලූෂන් බුලත්සිංහල ගේ ම නිෂ්පාදනයක් වූ) රතු හැට්ටකාරී නාට්‍යයයි. ඒ මා අටවෙනි ශ්‍රේණියේ පමණ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ දී ය.

එසේ වෙතත්, මට නම් තවමත් නාට්‍යකරුවෙකු වීමට හැකි වුයේ නැත. එදා සුහද සංවාදය අවසානයේ තේ බොන අතර දී මම ලූෂන් බුලත්සිංහල සමග ද මේ බව පැවසූවෙමි.

එයින් මා කියන්නට අදහස් කළේ, කලාකෘතියක් නැරඹීමෙන්, රස විඳීමෙන් පමණක් කලාකරුවෙකු වීමට හැකියාව නොලැබෙන බවයි.

සිනුවර සිංහල සංස්කෘතික හමුවෙන් කෙටි නාට්‍ය උලෙළක් ඇරඹුණේ මින් වසර තුනකට ඉහත දී ය. ඒ මුල් ම උත්සවය සඳහා නාට්‍යයක් ලියා නිෂ්පාදනය කරන්නට මම ඉටා ගත්තෙමි.

තුන්වෙනි වරට පැවැත්වෙන නාට්‍ය උත්සවය සඳහා අත් පිටපත් භාර ගැනීම පසුගිය ජූලි 15 දා අවසන් විය. පසුගිය වසර කිහිපය තුළ දී විවිධ නාට්‍යකරුවන් ඇසුරු කළ ද, මට තවමත් එක් වචනයක් හෝ ලියා ගැනීමට නොහැකි විය.

කලාකරුවෙකු වීම ලේසි පහසු වැඩක් නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
හදිසියේ ම මෙන් සංවිධානය වූ ලූෂන් බුලත්සිංහල හමුව නිසා රසිකොලොජියට සෑහෙන්න කාර්ය බහුල කාලයක් එළැඹුනි. එදා මා ලද අත්දැකීම් ආශයෙන්, පසුගිය සතිය තුළ මා රසිකොලොජියේ ලියා පළ කළ ලිපි ලයිස්තුව මෙසේ ය.

1. ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


2. පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල හෙළි කළ වගයි! - A tale from the past
http://rasikalogy.blogspot.com/2016/08/blog-post.html


3. තවත් හූවක් - One more yarn
http://rasikalogy.blogspot.com/2016/08/one-more-yarn.html


4. ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - Lucien Bulathsinhala trapped in a vicious circle
http://rasikalogy.blogspot.com/2016/08/lucien-bulathsinhala-trapped-in-vicious.html


5. ලූෂන් බුලත්සිංහල ගේ කථාවේ අතුරු කතාව - Election promises
http://rasikalogy.blogspot.com.au/2016/08/election-promises.html


(image: http://www.canstockphoto.com/pipe-dream-10179134.html)

Thursday, 11 August 2016

ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinhala, l'artiste suprême!


ඔහු ගේ ජනප්‍රියතම නිර්මාණය වූ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනය සමග මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලූෂන් බුලත්සිංහල සමග සුහද සංවාදයකයට සහභාගීවන්නට අවස්ථාවක් ඊයේ සිනුවර වසන අපට ලැබුණි.

ඒ සංවාදය සංවිධානය කෙරුණේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසිනි. ඒ අවස්ථාවේ දී ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා පිළිබඳ කෙරුණු හැඳින්වීම සහ ඔහු විසින් කරන්නට යෙදුණු කෙටි දේශනය පහත සබැඳියෙන් නැරඹිය හැකිය.



ඒ වීඩියෝවේ දැක්වෙන දේශනය අවසානයේ දී එළැඹි ප්‍රශ්නෝත්තර සහිත සුහද සංවාදයේ දී ලූෂන් බුලත්සිංහල විසින් ඉතා වැදගත් කරුණු රාශියක් පවසන්නට යෙදුණි.

ඉන් ඉතා වැදගත් කරුණක් වනුයේ කලාකරුවා යනු කවරෙක්ද පිළිබඳව ඔහු ලබා දුන් නිර්වචනයයි.

ලූෂන් බුලත්සිංහල පැවසූ අන්දමට ලංකාවේ කලා ශිල්පියෝ ද සිටිති. කලාකරුවෝ ද සිටිති. මේ දෙපිරිස වෙන් කර හඳුනා ගැනීම කලා රසිකයින්වන අපට වැදගත් වනු ඇත.

කලා ශිල්පියා යනුවෙන් ඔහු අදහස් කළේ යම් කිසි නිසජ හැකියාවක්, සතත අභ්‍යාසය මගින් ඔප් නංවාගෙන ඒ කලා නිර්මාණය ජනතාවට ඉදිරිපත් කරන පිරිසයි.

ඒ හා සංසන්දනාත්මකව ඉහළ තලයක සිටිනා කලාකරුවන් යනු, ලූෂන් බුලත්සිංහල ඝේ නිර්වචනයට අනුව, ඔවුන් සතු ඒ කලා කුසලතාව, හුදෙක් ශිල්ප දැක්වීමකට පමණක් සීමා නොකර, එය සමාජ ප්‍රගමනය, ජනතා යහපත පිණිස යොදවන්නෝ ය. කලාවෙන් අප බලාපොරොත්තු විය යුතු සැබෑ සමාජ ප්‍රතිලාභය නම් එවැනි කලාකරුවන්ගෙන් කෙරෙන ඒ ධනාත්මක සම්මාදමයි.

කලාකරුවන් පිරිසක් නළාකරුවන් වීම සහ ඉන් මට සිනුවර දී ලැබුණු ඩොලර් වාසි පිළිබඳව ලිපියක් මම පසුගිය වසරේ දිනයක ලියා රසිකොලොජියේ පළ කළෙමි.

http://rasikalogy.blogspot.com/2015/04/artistes-and-artists-vs-henchmen.html

සැබෑ කලාකරුවෙකුට කිසිදා නලාකරුවෙකු විය නොහැකි බවත්, ඒ ඉතිහාසය පුරා නළාකරුවන් වී ඇත්තේ, නළාකරුවන් බවට පත්වෙමින් සිටින්නේ සහන අනාගතයේ දී එසේ නළාකරුවන් වනු ඇත්තේ කලාකරුවන් නොව කලාශිල්පීන් බව මට ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා ගේ ඒ කතාව ශ්‍රවණය කිරීමෙන් පසු පසක් විය.

තවත් විස්තර පසුව.

-රසිකොලොජිස්ට්