
අද මා පළ කරන ලිපියේ වෙනසක් ද, ඒ එක්කම පොඩි රහසක් ඇත.
වෙනස නම්, අකුරෙන් නොදමා, රූප මගින් කියවීමට යමක් එකතු කිරීමයි. එයම එක් හේතුවක් නම්, කාල වේලා හිඟයකි. තවත් හේතුවක් ද ඇත. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා යැයි මා කියු පොඩි රහසට සම්බන්ධය.
පොඩිය කියූ ආකාරයට ම පොඩි එකක් වෙනමුත් රහසක් කිවාට එය රහසක් ම නොවේ.
නමුත්, දැනට නොකියා සිටිමි.
දැන් මේ කෙටි කතාව කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
ප/ලි:
කලින් රූප මගින් පළ කළ පිටු සියල්ලම යුනිකෝඩ් ගත කිරීමට හැකි විය.
පියෙකු ගේ කතාවක්
මගේ පුංචි පුතා සරෝජ් මදෙස බලා සිටී. ඔහු වාඩී වී සිටින්නේ මා ඉදිරියේ ඇති කුඩා පුටුවක ය. ඔහු ගේ දෙනෙත් විස්මය හඟවන බැල්මක් මදෙසට හෙළයි. මුව මදක් විවර වී ඔහු ගේ ළඟදී ආ ඉදිරිපස විශාල දත් දෙක පෙනේ.
ඔහු සමග මෙතෙක් වේලා කතාකරමින් සිටි මා එක්වරම නිහඬ බූයේ ඇයිදැයී ඔහු කල්පනා කරනවා විය යුතුය. ඇත්තෙන්ම මා නිහඬ වූවා නොවේ. නිරායාසයෙන්ම මගේ මුව වැසිණි, ගොලුවිණි, කිව යුත්තේ කුමක්ද, කළ යුත්තේ කුමක් ද මට නො වැටහේ.
* * *
වෙනදා මෙන් ම අදත් මා නිවසට පැමිණියේ ඇඳිරි වැටීිගෙන එද්දී ය. සරෝජ් මා ඉදිරිපිටට දිව එනවා ඈත තියාම මට පෙනුණි. ඔහු ගේ සිඟිති මුහුණ පුළුල් සිනාවකින් ඔපවත් වී තිබුණි. සරෝජ් දිව විත් මගේ දෑතේ එල්ලුණේ "ඔන්න තාත්තේ අදත් මට තියෙනවා ගොඩාක් අමාරු වචන තේරුම් අහගන්න" යැයි පවසමිනි.
අට හැවිරිදි සරෝජ් ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ ය. ඔහු ගේ පාඩම්වල දී හමුවෙන අළුත් වචන, ඔහු කියනා විදියට අමාරු වචන, දිනපතාම මගෙන් විමසා දැන ගැනීමට ඔහු පුරුදුව සිටියේ ය. කාර්යාලයේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේ දී මා මේ කාර්යයේ යෙදුණේ බලවත් උනන්දුවෙනි.
"පොඩියක් ඉන්නකො පුතා තාත්තා ඇඳුම් මාරු කරගෙන මුණකට හෝදා ගන්නකම්" සරෝජ් සමගම පෙර මගට ආ මගේ බිරිඳ කුමාරි පැවසුවාය. මා අත තිබූ බෑගයෙන් සරෝජ් සඳහා ගෙනැවිත් තිබූ ටොෆී කිහිපය අතට ගත් මම "අම්මටත් දීලා කන්න පුතා" යැයි කියමින් බෑගය කුමාරි අතට දුනිමි.
මුහුණ කට හෝදා ගත්තායින් පසුව, කුමාරි දුන් තේ කෝප්පය ද රැගෙන මා ගියේ සරෝජ් ගේ කාමරයටයි. ඔහු ගේ පොත් සහිත කුඩා මේසය සහ ඇඳක් ද එහි විය. සරෝජ් පොත් පාඩම් කළේ මේ කාමරයේ වුව ද රාත්‍රියට නිදා ගත්තේ අප සමග ය. ඒවන විටත් ඔහු පොත් පෙරළාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ය.
ඇඳ මත වාඩිවුණු මම තේ කෝප්පය තොල ගාමින් "හා, කියන්නකෝ පුතා ඔයා ගේ අමාරු වචන" යැයි පැවසුවෙමි.
"ඔන්න එහෙනම් තාත්තේ පළමුවෙනි වචනය ව ල් ල භ යා" කී ඔහු ඉන් පසු ම දෙසට හැරී මා එහි අදහස පහදා දෙනතෙක් බලා සිටින්නට විය.
"වල්ලභයා කියන්නේ පුතේ" මම ඔහුට එය විස්තර කර දීමට පටන් ගත්තෙමි. "වල්ලභයා කියන්නේ කාන්තාවක ගේ විවාහ පුරුෂයාටයි, ස්වාමි පුරුෂයාටයි. පුතාට තේරුණා ද?"
"හා, හරි, හරි, ඒ විදියට තාත්තා අම්මා ගේ වල්ලභයායි, හරිද?" සරෝජ් කීවේ සිනාසෙමිනි.
"ආ! ඔය තේරිලා තියෙන්නේ අපූරුවට!"
"ඉතිං පුතා මොකක්ද ඊළඟ වචනය?" මම හිස් තේ කෝප්පය මේසය මත තැබුවෙමි.
"දෙවෙනි වචනයේ නම් තාත්තේ මහාප්‍රාණ අකුරු හෙම නෑ, ඒත් ඒක මං දැක්කේත් අදයි. සං ස ර් ග ය" මා නොසිතූ ලෙස සරෝජ් පැවසීය.
මා ගොළුවුනේ මෙවිටයි. මගේ සියොලඟම ගිනිගෙන දැවෙන්නාක් සේ එක්වරම හිරී වැටී ගියේය. කුමක් කිව යුතු දැයි මට සිතා ගත නොහැකි වුණි. නිරායාසයෙන් ම මගේ මුව අගුළු වැටුණි.
* * *
"තාත්තේ සංසර්ගය කියන්නේ මොකක්ද?" සරෝජ් යළිත් ඇසුවේ මා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි නිසා විය යුතුයි.
මා නිහඬ වුණෙමි. නිහඬ නොවී කුමක් කියන්නද, කෙසේ කියන්නද?
මම යළිත් සරෝජ දෙස බැලුවෙමි.
ඔහු ඇත්තෙන්ම ඉතා පුදුමයට පත්ව ඇත. කිසි දිනක තම පියා කිසිදු අමාරු වචනයක තේරුම කියන්නට මෙතරම් කල්ගත නොකළ බව ඔහුට සිහිවුණා විය හැක. ඊටත් වඩා කිසිදු මහාප්‍රාණ අකුරක් නැති වචනයක්? සරෝජ් එලෙස සිතනවාත් විය යුතුයි.
ආදරබර පුතණුවනි, සංසර්ගය යන්නෙහි තේරුම මම දනිමි. එහෙත් මා ඔබට එය පවසන්නේ කෙසේද? පියෙකු වශයෙන් මා ඔබට පවසන්නේ කෙසේද?
මගේ සිත අවුල්වුණු නූල් බෝලයක් මෙනි.
අවසානයේ මම මුව විවර කළෙමි.
"කෝ බලන්න පුතා ඔය පොත!" ඔහු අමාරු වචන කියවන පොත ඉල්ලා ගත්තෙමි.
"වාසනාවන්ත යුග දිවියකට මග" ඔහු කියවමින් සිටියේ එයයි.
මේ පොත සරෝජ් අතට ආවේ කෙලෙසකදැයි මට නොවැටහිණි. වසර දහයකට පෙර මිලට ගෙන කියවූවායින් පසු මේ පොත කොහේ දැම්මාදැයි මට මතක නැත. සමහරවිට මගේ පරණ පොත් සහිත පෙට්ටියේ තිබී සරෝජ්ට හමුවෙන්නට ඇත.
පොතේ ඇතැම් වචන යටින් පැන්සල් ඉරි ඇඳ තිබුණේ සරෝජ් විය යුතුයි. ඒ ඔහු ගේ අමාරු වචනයි.
"මේ තියෙන්නෙ තාත්තේ ඒ වචනය" සරෝජ් නැගිට යටින් ඉරක් අඳින ලද සංසර්ගය යන වචනය මට පෙන්වයි.
මගේ සිත එක්වරම අතීතයට ඇදී යයි.
මා අවුරුදු හත අටක කුඩා දරුවෙකුව සිටියදී......
* * *
එවිට මගේ වයස අවුරුදු අටක් පමණ වූ බව මට සිහිකර ගත හැක. කෙසේ වෙතත් ඒවන විට මට හොඳින් කියවන්නට හැකිව තිබුණි. අතට අසුවෙන ඕනෑම පොතක් පත්තරයක් කියවීමට මම පුරුදුව සිටියෙමි.
මෙ පරිද්දෙන් මගේ පියා ද මගේ ඉගෙනීමේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ද මට නොතේරෙන වචන විමසන ලෙස පවසා තිබුණි. ඇතැම්විට ඔහු ඉතා සැර පරුෂ වුවත් මා ඔහුට ඇලුම් කළේ ඉතා ආදරයෙන් මගේ අවශ්‍යතාවයන් ඉටු කළ නිසයි. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ නිසා විය හැක. කෙසේ වතුදු සරෝජ් ගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි මා මෙතරම් උනන්දුවක් දක්වන්නේ මගේ පියා ගේ ආදර්ශයෙන් බව මට පැහැදිලිය.
දිනක් මා කියවමින් සිටියේ සතිපතා පළවෙන කුමක් දෝ පත්‍රයකි. එහි තිබුණු එක්තරා වචනයක් මට අලුත් එකක් විය. මම එවෙලේම පියා සොයා දිව ගියෙමි.
"තාත්තේ, තාත්තේ ගණිකාව කියන එකේ තේරුම මොකක්ද" කියා ඇසූ බව මට හොඳින් මතකයි. පියා ඔහු කරමින් සිටි කාර්යය නවතා මා දෙස බැලීය.
"මොකක්ද ඔය වචනේ?"
මා මුලින් කී දේ ඔහුට නෑසුණු බව වටහා ගත් මම යළිත් වරක් එය කීවෙමි.
"තාත්තේ ගණිකාව කියන්නේ කාටද?"
මා පුදුමයට පත් කරවමින් පියා නිහඬ විය. ඔහු අසුනින් නැගිට මා ත තිබූ ඒ පත්‍රය ඉල්ලා ගති. ඒ දෙස බැලූ සැණින් ඔහු කෝපයට පත්වූ බව පෙනුණි. කොහෙමටත් ඔහු ඉක්මනින් ම සුළු දෙයකට පවා කෝපයට පත්වෙන්නෙකි.
"උඹ පලයන් යන්න මෙතනින්!" පියා මට සැර වී රැව්වේ කෝපයෙන් වෙව්ලමිනි. මම බිරාන්ත වූයෙමි. තාත්තාට කෝප වෙන්නට කිසිම හේතුවක් නැහැ නේද මට සිතුණි.
ඒ දිනවල සුළු දෙයකින් පවා කම්පනය වන මා ඇතැම් විට අඬමින් ඇඳට යන්නට ඇත.
තාත්තා වේගවත් ගමනින් ගියේ මුළුතැන් ගෙටයි. ඉන්පසු ඔහු ගේ වේගවත් කටහඬ නිවස පුරා රැව්දිනි.
මම වහා මුළුතැන්ගෙය දෙසට ගියෙමි.
"ගේනව මෙතන කුණුහරුප පත්තර! ගෙදර පොඩි එවුං ඉන්න බව ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු කෑ ගසයි. ඒ පත්තරය මගේ මව විසින් මිලට ගන්නා ලද එකක් බව මට මතක් විය.
"කුණුහරුපයක්, එහෙනම් ගණිකාව කියන්නේ කුණුහරුපයක් වෙන්න ඇති!" මගේ සිතට නිරායාසයෙන් ම සිතුණි.
මම මුළුතැන් ගෙයි දොර අසලටම ගියෙමි. පත්තරය ගිනිගෙන දැවෙමින් තිබුණි. පියා ඒ අසලට වී මවට බණිමින් සිටියේ ය.
"හැදෙන දරුවන් ඉන්න තැන්වල මෙහෙම පත්තර පොත් හංගන්නවත් ඕනෑ. පොඩිකමට උන් මොනවා දන්නවද? අපෙන් එක එක වචනවල තේරුම් අහනවා. අපි ඔව්වට කටක් ඇරලා උත්තර දෙන්නේ කොහොමද? ඔයා ඕව හිතන්න ඕනෑ!"
"ඉතිං අනේ ඔයා කිව්වට, දරුවෝ ඕවා දැන ගන්නත් ඕනෑ නේද?" අම්මා සෙමෙන් කියයි.
* * *
මම කල්පනා කළෙමි. එදා තාත්තා මුහුණ දුන්නේ අද මා මුහුණ දෙන ප්‍රශ්නයටම නොවේද? ඔහු පත් වූ අසීරු තත්වයටම අද මා පත්ව ඇත.
මට මඩොල්දූව සිහිවෙයි.
උපාලි ගිනිවැල්ලේ, ඉස්කෝලෙ මහත්තයාගෙන් කාමේසු මිච්ඡාචාරා යන්නෙහි තේරුම විමසූ කල ඉස්කෝලේ මහත්තයා ද මේ තත්වයට මුහුණ දුන්නා නොවේද?
භෞතික වශයෙන් යම් කිසි දියුණුවක් ලෝකය අද ලබා ඇත. අප ද ලබා ඇත. භෞතික දියුණුව ද සමග අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතු බව අපි හඬ නගා පවසන්නෙමු.
අධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? අප සත්‍යය අවබෝධ කරගත යුතුයි. සංවර විය යුතුයි. එපමණක් ද නොව නීතිගරුකව, සත්‍යයට ගරු කරමින් ජීවත්විය යුතුයි. එනිසා නිවැරදි තත්වය, සත්‍යය පැවසීමට අප මැලිවිය යූතු නැත.
සත්‍යය කිසි කලෙකත් සැඟවිය නොහැක. එය වසන්කර බොරු ගෙතමින් අතීතයේ දෙවියන්, භූතයින්, දේව රහස් යැයි කියමින් අප රැවටුනද, නැවතත් ඒ නොදියුණු තත්වයට පත්විය හැකිද?
මේ සියල්ල මා වටා හොල්මන් කරයි.
එහෙත් සංසර්ගය යනු කුමක්දැයි සරෝජ්ට මා ඔවසන්නේ කෙසේද? තවත් බර වචන යොදා මට එය විස්තර කළ හැකි වුවද, එය යළිදු ඔහුට ප්‍රශ්නයක් වනු ඇත.
මගේ පියාගෙන් මා ගණිකාව යනු කුමක්දැයි විමසූ විට ඔහු එයට පිළිතුරු නොදී ප්‍රශ්නයෙන් මග හැරියේය. පසුව හෝ කිසි දිනෙක ඔහු එහි තේරුම මට කියා දී නැත. ඒ මොහොතේම එය කිසියම් අසභ්‍ය වචනයක් යැයි මට සිතිණි. එයින් සිදුවූයේ මගේ සිත දුෂ්‍යවීම නොවේ ද? ඉන්පසු පියාගෙන් මා වචනයක තේරුම විමසූයේ ඉතාමත් කල්පනාකාරීවයි.
ලිංගික අධ්‍යාපනය ළමයින්ට දිය යුත්තේ කුඩා කාලයේ සිටම බව මම බොහෝ කලක සිට විශ්වාස කළෙමි. මේ පිළිබඳව මා මිතුරන් සමග වාද කළ අවස්ථා බොහෝ ය.
"නිසි කල ලිංගික කරුණු පිළිබඳ තොරතුරු ළමයාට ලැබිය යුත්තේ දෙමව්පියන්ගෙනි. එසේ නොවුණි නම් විෂමසමාජයෙන් මේ කරුණු ඉගෙන නො මගට යොමුවිය හැක!" එකල මගේ තර්කය එය විය.
නමුත් අද මා එම තත්වයට මුහුණ දුන් අවස්ථාවේ කුමක් කළ යුතුදැයි මට නොතේරේ. ඇත්තෙන්ම කුමක් කිව යුතුදැයි මා වහා තීරණය කළ යුතුය.
මා කළ යුත්තේ, මීට වසර විසි ගණනකට පෙර මා පියා කළාක් මෙන් මේ පොත විනාශ කර පුතුට තරවටු කිරීමද? එසේ නොමැති නම් අවස්ථානුකූලව මුසාවක් කියා ප්‍රශ්නය යටපත් කර මඩොල්දූවේ ඉස්කොලේ මහත්තයා මෙන් ඉවත්ව යෑමද?
මට එය කළ නොහැක. සමහරවිට එසේ කළහොත් සරෝජ් ගේ ඉදිරි අනාගතය අඳුරු වීමට ද ඉඩ ඇත.
නැතිනම් මා කළ යුත්තේ සියල්ල ඔහුට පැවසීමයි, යථාවබෝධය ලබා දීමයි. එහෙත් මා හැදුණු වැඩුණු පරිසරය අනුව එයට මගේ සිත නම්මා ගැනීම අපහසු සේ හැඟේ.
* * *
සරෝජ් පෙරසේම මදෙස බලා සිටී.
අවසානයේ, විනාඩි ගණනාවක් තිබූ නිහඬතාවය බිඳිමින් මම කතා කළෙමි.
"පුතේ..."
෴
හෙන්රි වර්ණකුලසූරිය තමන් ගේ ඉරිදා පුවත්පත් කොලම් ලිපිවල අවසානයේ කීවාක් මෙන් - සෙස්ස පස්සට!
-රසිකොලොජිස්ට්
ප/ලි:
සිනුවර සිංහල ලේඛකයෝ ලිපියේ දෙවන කොටස පසුව පළ වෙනු ඇත. මුල් කොටසට පාර මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html
(image: http://english.binus.ac.id/2015/05/13/a-token-for-mrs-ray-the-2nd-winner-of-national-short-story-writing-competition_part-1/)