Showing posts with label සාහිත්‍ය මාසය. Show all posts
Showing posts with label සාහිත්‍ය මාසය. Show all posts

Saturday, 21 September 2019

පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?





මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.

එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.

ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.

පොත් ලියන්නේ ලේඛකයින් ය.

එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.

එහෙත් යථාර්තය ඊට වෙනස් ය.

පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.

මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.

මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.

එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.

මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය

ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.

නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.

චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.

හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.

අහෝ ඛේදයකි.

-රසික සූරියආරච්චි

Friday, 20 September 2019

සුනිල් සෙනෙවි යෝජනා කරන සිංහල කවියේ ඉම පැනීම - A paradigm shift is needed?


ලංකාවේ සිංහල සාහිත්‍ය වසන්තය එළැඹ ඇති මේ සැප්තැම්බරයේ, සිසිර නිද්‍රාවක ගිලී සිටි මගේ රසිකොලොජි බ්ලොගය ද පුබුදුවාගෙන, විවිධ සාහිත්‍යමය කාරණා ගැන සටහන් තබමින් මා මේ කරන්නේ සතත අභ්‍යාසයකි.

ඒ අභ්‍යාසයේ අද ඉලක්කය වන්නේ පසුගිය සිකුරාදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවති ආරියවංශ රණවීර ගේ ඉම තව දුරය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයේ දී, විශ්වවිද්‍යාල සේවයේ නියුතු විද්වතෙකු වන හිනිදුම සුනිල් සෙනෙවි විසින් කළ දේශනය පිළිබඳව මගේ මතකය අවදි කිරීමයි.

නූතන කවීන් සියයක් දෙනාගේ නිර්මාණ ඇසුරු කරමින් තමන් විසින් තවමත් කරගෙන යනු ලබන පර්යේෂණයක් ඇසුරෙන් කෙරුණු මූලික නිගමනයක් ද ඇතුළු කොටස් කිහිපයකින් යුතු අති දීර්ඝ (මා හිතන පරිදි එය මිනිත්තු හැත්තෑපහකට වඩා දිගු විය) කථාවක් කළ හිනිදුම සුනිල් සෙනෙවි ඒ අතරතුර රසවත් ප්‍රකාශ කිහිපයකින් ම ශ්‍රාවක රසිකයින් කුල්මත් කළේ ය.

ඒ අතරින් වඩාත් ම වැදගත් ප්‍රකාශය වූයේ සිංහල භාෂාවේ සාහිත්‍යමය ඉරණම ගැනයි. ඔහු දැක්වූ උදාහරණ ද එකතුකර ගනිමින් පැවසුවහොත්, හිනිදුම සුනිල් සෙනෙවි කීවේ වීරවංශ, ගම්මන්පිල (සහ තවත් නොවැදගත් නම් කිහිපයක් කියවිණි) වැනි දේශපාලුවන් තම ජඩ අරමුණු සඳහා සිංහල භාෂාව භාවිතා කළ පසු (ඒ වචන, යෙදුම්, භාෂා ප්‍රයෝග යනාදිය නැවත) අපට සාහිත්‍යමය කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි තරම් ජරාජීර්ණ වන බවයි.

ඒ ප්‍රකාශය සත්‍යයකි.

නමුත් මගේ අදහස නම්, ඒ තත්වය අද ඊයේ ඇතිවූවක් නොවන බවයි. සිංහල ජඩ දේශපාලුවන් විසින් සිංහල භාෂාව තම ජඩ අරමුණු සඳහා යොදා ගත් සෑම අවස්ථාවක දී ම පාහේ සිදු වී ඇත්තේ එයයි.

පස් අවුරුදු සැලැස්ම, වගා සංග්‍රාමය වැනි දේ හැත්තෑවේ දශකයේ එළිබට හුදු පුහු වෙඩි සඳහා අවභාවිතා වූ යෙදුම් ය. ඒ නිසාම ඒ වචන පසුගිය දශක කිහිපය තිස්සේම නැවත භාවිතා කිරීමට නොහැකි අයුරින් දුෂිතව තිබුණි. නමුත් මේවන විට නම් ඒ කතා බොහෝ දෙනෙකුට අමතක වී ඇතුවාට සැක නැත.

හැත්තෑවේ දශකයේ අගභාගයේ දී එවකට ජනාධිපති ජයවර්දෙන විසින් ධර්මිෂ්ඨ සමාජයක් යන යෙදුම ගණිකා වෘත්තියේ යෙදවූ අතර, අද වෙනතුරුත් ඒ උත්තර සමාජය උදා නොවීම කෙසේ වෙතත්, ඒ යෙදුම නම් තවමත් වෙනත් කටයුත්තක් සඳහා භාවිතා කළ නොහැකි තරමට කිලිටි ය.

සුබ අනාගතයක්, ආශ්චර්යය මෙන්ම යහපාලනය වැනි යෙදුම් ද නැවතත් අපේ ජීවිතකාලයේ දී නම් කිසිදු නිර්මාණාත්මක කටයුත්තකට ඒවායේ නිසි අර්ථයෙන් යොදා ගත නොහැකි ආකාරයට විනාශ වී ඇත.

මා මුලින් සඳහන් කළ පරිදි, සිංහල කවිය පිළිබඳව තමන් කරමින් සිටින පර්යේෂණයක් ආශ්‍රිතව හිනිදුම සුනිල් සෙනෙවි පැවසූ වැදගත් කාරණය, මට වැටහුණු ආකාරයට නම්, සිංහල කවියේ විකාශය පිළිබඳව සලකා බලන කල, අද අප සිටින්නේ එක්තරා සංධිස්ථානයක බවයි. එනම් ආකෘතියෙන් ද, අන්තර්ගතයෙන් ද අද සිංහල කවියේ ප්‍රගමනය අඩාල වී යම් ආකාරයක එක තැන කැරකීමක් සිදුවෙන බවයි. එනිසා, මේ තත්වයෙන් මිදී කොයි ලෙසකින් හෝ සිංහල කවිය අද ළඟා වී ඇති ඉම පැනිය යුතු බවයි. සිංහල කවියේ තත්කාලීන සුසමාදර්ශකයේ හෙවත් පැරඩයිමයේ විතැන් වීමක් අද අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ පිළිබඳව මගේ ය කියා අදහසක් පළ කිරීමට තරම් ප්‍රමාණයික දැනුමක් මට නැති නමුත්, එවැනි සුසමාදර්ශී වෙනසක් කාලයත් සමගම ඉබේ සිදුවෙන්නක් සහ එලෙස සිදුවූ පසු අපට හැඟී යන්නක් මිස, අවශ්‍යතාවය මත, ක්‍ෂණිකව කළ හැක්කක් නොවන බව නම් මට හැඟේ.

එසේ වෙතත්, එවැනි සුසමාදර්ශී වෙනසක් වෙනුවෙන් කටයුතු කරන ලෙස සුනිල් සෙනෙවි විසින් ආරියවංශ රණවීරගෙන් කළ ඉල්ලීමට එකඟ වීමට නම් මට හැකිය. ආරියවංශ රණවීර යනු ඒ සඳහා අවශ්‍ය ශක්‍යතාව සහ ප්‍රතිභාව ඇත්තෙකු බව මා අමුතුවෙන් කිව යුතු නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ලියා පළ කළ ලිපි.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness
6. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
7. සම්මාන නැති කතාවක් - Awardless
8. "ඉම තව දුර ය" - A note about a book launch
9. කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


(image: Facebook)

Thursday, 19 September 2019

කාන්තා හඬ සහ "ඉම තව දුර ය" - Book launch events and female speakers


මේ සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූ කිවියර ආරියවංශ රණවීරගේ "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයේ දී ලේඛකයින් විසින් කළ ප්‍රධාන කතා ත්‍රිත්වය අතරින් මා සිත වඩාත් ම ඇද ගත්තේ ප්‍රධාන දේශන ද්වයට අමතරව පෙර දැනුම් දීමකින් තොරව ක්‍ෂණිකව මෙන් ඉදිරිපත් කෙරුණු (නමුත් පෙර සූදානමක් තිබුණා යැයි මට නිකමට මෙන් සිතුණු) සුහර්ෂණී ධර්මරත්න කිවිඳිය විසින් කළ ඉදිරිපත් කිරීමයි.

එයට මූලික හේතුව වූයේ, ඇය ඒ කථාවේ අන්තර්ගතය ලෙස තමන් කිවිඳියක ලෙසත්, කවි රස විඳින රසිකාවියක ලෙසත්, තමන් ලැබූ අත්දැකීම් එකතු කර රසවත්ව ඉදිරිපත් කිරීමයි. එහි රසවත්බව මට හොඳින් දැනුණේ, මා ලියන කියන දෙයින් අති බහුතරයේ ද අන්තර්ගතය ඒ අච්චුවේ, එනම්, මුළුමනින්ම පාහේ අත්දැකීම් පාදක කොට ගත්, ඒවා වීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

එය එසේ වූයේ නැතත්, තම කතාව ආරම්භ කිරීමට වේදිකාවට ගොඩ වූ මොහොතේ සිට සුහර්ෂණී ධර්මරත්න විසින් එදින මහවැලි ශාලාවේ රැස් වී සිටි ඒ සාහිත්‍යකාමී සභාවට එක් කළේ සුවිශේෂී වූ ආකර්ෂයකි. ඒ කුමක්දැයි අමුතුවෙන් සිතන්නට අපට අවශ්‍ය වූයේ නැත. ඊට පෙර ම, මම කාන්තා පක්‍ෂයේ හඬ මේ සාහිත්‍ය සභාවේ නියෝජනය කරනවා යැයි පැවසූ සුහර්ෂණී අපට එතෙක් නොතේරුණු ඒ සුවිශේෂී කාරණය, ඒ සභාවේ පමණක් නොව අප දැක ඇති අති මහත් බහුතරයක් සාහිත්‍ය සභාවල දී ද පැවති බව අපරදෘෂ්ටියෙන් දැන් අප දන්නා ඒ සුවිශේෂී කාරණය, එනම් අති බහුතරයක් සාහිත්‍ය උත්සව සභාවල ලේඛිකාවන් නිසි ලෙස නියෝජනය නොවන බව, අපට වටහා දුන්නී ය.

දින කිහිපයකට ඉහත මා ලියා පළ කළ, 2018 දී මා අත්විඳි සැප්තැම්බරයේ දිගු දවස් ලිපියේ මා සඳහන් කළා වූ, මා සහභාගී වූ පොත් එළිදැක්වීම් පහේ පැවති විදග්ධ සභාවල කාන්තා නියෝජනය අතිශය අවමය විය. වසරක් පැරණි මගේ මතකයට අනුව එයින් කාන්තාවන් තම අදහස් පළ කළේ චාමර අකලංක පොල්වත්තගේ ගේ ආදරේ රත්නපුර වගේ කවිපොත එළිදැක්වීමේ දී සහ හෙන්රි වර්ණකුලසූරියගේ කී නොකී කතා කතන්දර පොත එළිදැක්වීමේ දී පමණි. මුල් අවස්ථාවේ දී, අමන්දා අබේසූරිය සහ නදීෂා චන්ද්‍රසේන වේදිකාප්‍රාප්ත වූ අතර, දෙවෙනි අවස්ථාවේ දී පුෂ්පා රම්ලනී තම අදහස් දැක්වූවා ය.

ගද්‍ය පද්‍ය ලේඛනයෙන් කාන්තාවන් සම්මාන ලබන සමාජයක, එම ලේඛිකාවන් ගේ කෘති එළිදක්වන උත්සවවල දී පවා කාන්තා අදහස් දැක්වීම අතිශය අවම වීම ද කනගාටුවට කරුණකි.

විදග්ධ සාහිත්‍ය සභා ඉම කාන්තා හඬට තවත් දුර බව පැහැදිලිය.

සුහර්ෂණී ධර්මරත්න එදා උත්සවයට එකතු කළේ නාම මාත්‍රික කාන්තා නියෝජනයක් පමණක් නොවේ. සම්මානලාභී ලේඛිකාවක වන ඇය ඒ බව මනාව විදහා පාමින් තම අදහස් ඉදිරිපත් කළා ය. ගලේවෙල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක වන ඇය, විද්‍යාව වැනි කර්කශ විෂයයක් වුව ද, ආකර්ෂණීය ලෙස උගන්වනවා විය යුතු යැයි මට සිතුණි.

තම කෙටි දේශනයේ දී සුහර්ෂණී ධර්මරත්න විසින් පවසන ලද කරුණු කිහිපයක් ම මගේ මතකයේ ඇත. එයින් පොදු වැදගත්කමක් ඇති කරුණක් වන්නේ විශ්වවිද්‍යාලවලින් සිංහල භාෂාව පිළිබඳ උපාධි ලබා රජයේ පාසල්වල සිංහල උගන්වන්නට යන අයගේ සාහිත්‍ය දැනුමේ ඇති ඌනතා ගැන ඇය සරදම් බසින් කළ සඳහනයි.

විවාහයේ දී සිදුවන පිරිමියා සහ ගැහැනියගේ ඒකල භූමිකා නිමවී පොදු භූමිකාවක් නිර්මාණය වීමේ දී සිදුවන ප්‍රායෝගික අසාධාරණය ගැන තමන් ලියූ කවක් ද, එම මාතෘකාව පිළිබඳව ම ආරියවංශ රණවීර ලියූ කවක් ද සංසන්දනය කරමින් සුහර්ෂණී ධර්මරත්න කළ සඳහන ද, එහි රසවත්බව නිසා ම, සදාකාලිකව රැදෙන ලෙස මතකයේ කෙටුණි.

මේ නිර්මාණ ද්වයේ ම, රූපක ලෙස නිර්මාණකරුවන් යොදාගෙන තිබුණේ ගංගාවක ජලය මුහුදට එක් වීමේ දී, ගඟ නැති වී, මුහුද පමණක් අවසානයේ ඉතිරි වීම ය. ගඟ විවාහප්‍රාප්ත ගැහැනියයි, මුහුද පිරිමියා ය.
මා මුල්වරට ඇසූ ඒ කවි යුගල සහ එහි අරුත් පිළිබඳ විවරණයක යෙදීම පස්සට කල් තබා මට කිව හැක්කේ, ඒ මොහොතේ මට දැනුණේ නම් සුහර්ෂණී ධර්මරත්න සමස්තයක් ලෙස පැවසූ දෙයින් ඇගේ කවියේ අරුත, ගංගාවක ජලය මුහුදු ජලයට එක්වී අහෝසි වී යන්නාක් සේ, ආරියවංශ රණවීරගේ කවිය හේතුවෙන් නැති වී ගිය බවයි.

මෙහි දී මගේ අදහස වන්නේ එය එසේ නොවිය යුතු බවයි. කෙසේ වෙතත් ඒ කවි ද්වය ම, මා ම, කියවා ඒ ගැන නැවතත් ලිවීමට අදහස් කරමි.

ඊට අමතරව, ඇය කළ කථාවේ දී, ඇය විද්‍යා ගුරුවරියක් බව කියවුණු අතර, පසුව ඇගේ සැමියාගේ වෘත්තීමය කාර්යබහුලත්වය පිළිබඳ ඉඟියක් ද පිටවුණු නිසා, සුහර්ෂණී ධර්මරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් අයෙකු යැයි මම එක එල්ලේ නිගමනය කළෙමි. පසුව ඇගෙන් විමසා මා නිවැරදි බව තහවුරු කර ගත්තෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන සිව්වන ලිපියයි.

1. සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September
2. සම්මාන නැති කතාවක් - Awardless
3. "ඉම තව දුර ය" - A note about a book launch

ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ නමවෙනි ලිපිය ද වේ.

1. බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" Novel
2. කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව - Bon Voyage Carlo Fonseka
3. ඇදහිල්ල සහ මෝඩකම - Faith and fools
4. බිරිඳව පරිවර්තනය කළෙමි! - Nothing lost in translation
5. පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitiveness

(image: From Facebook)

Tuesday, 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.

Monday, 16 September 2019

සම්මාන නැති කතාවක් - Awardless


මේ සැප්තැම්බරයේ දිගු දවස් ය. මේ සමය කොළඹ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ උණුසුම් ම කාලය වෙන්නේ පොත් ප්‍රදර්ශන ද, පොත් එළිදැක්වීමේ උත්සව ද පමණක් නොව පසුගිය වසරේ ලියවුණු කෘති සඳහා සම්මාන පිරිනැමීම ද සිදුවෙන නිසා ය.

ඒ ආකාරයෙන් සම්මාන ලැබූ කෘති සම්මානිත කෘති ලෙස ද, ඒ කෘති නිපදවූ ලේඛකයින් සම්මානිත ලේඛකයින් ලෙස ද සම්මානිත හැඳින්වේ.

"අසම්මානී" යනුවෙන් වචනයක් තිබේ නම් අප එය අර්ථ දක්වා ගත යුත්තේ ඒ අනුසාරයෙනි.

දැන් මා මේ සැරසෙන්නේ මාස කිහිපයක් පැරණි කතාවක් ලියන්නටයි. මෙය කතාවක් ගැන කතාවක් හෙයින් කතා වර්ගයක් ලෙස ද සැලකිය හැක.

මා පුද්ගලිකව නොහඳුනන අයගෙන් මට ෆේස්බුක් මිතුරු ඉල්ලීම් ලැබී, ඔවුන්ගේ ඒ ඉල්ලීම පිළිගත් විගස මා කලක සිට කරන එක් කාර්යයක් වන්නේ මගේ රසිකොලොජි බ්ලොගය පිළිබඳව පවසා ඔවුන්ට කෙටි පණිවිඩයක් යැවීමයි. මුල් කාලයේ දී මේ පණිවිඩයට රසිකොලොජි බ්ලොගයට සබැඳියක් ද ඇතුළත් වූ නමුත් දැනට වසරකට පමණ පෙර සමයක මාර්ක් සකර්බර්ග් ගේ බොට් බලකාය මට ඒ එකතු කිරීමට ඉඩ නොදේ. එනිසා, පසුකාලීනව ඒ සඳහා වෙනත් විවිධ උපක්‍රම අනුගමය කිරීමට මට සිදු වූ අතර, ඒ සඳහා ගතවෙන කාලය නිසා, මිතුරු පොරොත්තු ලේඛනය පන්සියය ද ඉක්මවා ගියේ ය.

ඒ කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පණිවිඩයක් යැවීමේ එක් වැදගත්කමක් වන්නේ පසු කලෙක දී ද සොයා ගත හැකි වෙන පරිදි එය සයිබර් අවකාශයේ රැඳී තිබීමයි.

මා 2016 අගෝස්තුවේ දී යවන ලද එවැනි පණිවිඩයක් මෙසේ ය.



එලෙස ෆේස්බුක් මිතුරුකමක් ඇරඹුණු පසු, සාමාන්‍යයෙන්, සිදුවන්නේ අලුත් මිතුරා/මිතුරිය තම කාල රේඛාවේ පළ කරන දෑ, ඔබට දර්ශනය වීමට පටන් ගැනීමයි. එතරම් හැඳුනුම් කමක් නැති අය තම මුතු දත් පෙන්වා සිනාසෙමින් ගෙන පළකරන ඡායාරූප සඳහා බියුටිෆුල් යැයි ලියන්නට මට අවශ්‍යතාවයක් නොමැති නමුත් ගද්‍යපද්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් තත්වය එය නොවේ.

මගේ මේ ෆේස්බුක් මිතුරිය පළ කර තිබුණු නිර්මාණයක් මා නෙත ගැටී කියවූ මට ඒ ගැන මගේ ප්‍රතිචාරය දැක්වීමට සිතුණේ පසුගිය මැයි මාසයේ දී ය.

කුඩා ළමුන් සඳහා ලියවුණු කුඩා ගැමි කතන්දරයක් වූ එහි සාරාංශය මෙසේ ය.
ගමක වෙසෙන දුප්පත් මිනිසෙකි. ඔහු බඩගින්න නිසා ම ගමේ පොහොසතාගේ වත්තේ වැවුණු දෙයක් සොරකම් කිරීමට ගොස් අයිතිකරුට අසුවෙයි. අයිතිකරු ඔහුට සමාව දී නිදහස් කර හරින්නේ සොරකම් නොකරන ලෙසත්, ඒ වෙනුවට අවශ්‍යතාව දන්වා ඉල්ලන ලෙසත් අවවාද කරමිනි.

ඒ දුප්පත් මිනිසාට පසු දිනයක ද කෑමට යමක් නොතිබුණු නිසා, පොහොසතාගේ නිවසට ගොස් වී ස්වල්පයක් ඉල්ලා සිටී. බිස්සේ වී ඇටයක්වත් නැති යැයි මුසාවක් පවසන පොහොසතා කිසිත් නොදී දුප්පතා පලවා හරියි. එදින රාත්‍රියේ දුප්පත් මිනිසා, පොහොසතාගේ වී බිස්සෙන් වී සොරකම් කරයි.

පසුදින ගමේ කඩමන්ඩියේ දී පොහොසතා තම වී බිස්සට හොරු පැන ඇති බව කණගාටුවෙන් පවසන විට එහි සිටින සොරා කියන්නේ හොරු පැන්නාට මොකද ඉතිං වී බිස්සේ වී ඇටයක්වත් නෑ නේ කියායි.
මේ කතන්දරය කියවා ස්ටිකර් නොව, ලිඛිත ප්‍රතිචාර දක්වා තිබූ සැම දෙනාම පවසා තිබුණේ එය කුඩා දරුවන්ට ආදර්ශ රැසක් දෙන කතාවක් බවයි. සමහර අම්මලා එය තම දරුවන්ට කියා දෙන බව ද පවසා තිබුණි.

කළ යුතුව තිබුණු පරිද්දෙන් ම, මා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙස ය.

මේ කතාව කුඩා දරුවන්ට ලබා දෙන්නේ, බොරුවක් කියූ අයෙකුගෙන් හොරකම් කිරීම වරදක් නැතිය ආකාරයේ වැරදි ආදර්ශයකි. අවසානයේ හොරා වීරයා වී, මුල් හොරකමට සමාව දුන් තැනැත්තා දුෂ්ටයා වී ඇත.

මගේ ඒ ප්‍රතිචාරයට ෆේස්බුක් මිතුරියගෙන් ක්‍ෂණිකවම වගේ ලැබුණේ රතු පැහැති හදවත ලකුණ දරන ආදරෙයි ප්‍රතිචාරයකි. ඉන් දිරිමත් වූ මම, තවත් තරමක් දිගු මේ කතාවේ අවසානය වෙනස් කරන ලෙසයි. ඒ සඳහා මම විකල්ප දෙකක් ද ලබා දුන්නෙමි.

ඉන් පළමු විකල්පය වූයේ ගමේ කඩමණ්ඩියට ගමේ පන්සලේ හාමුදුරුවන්ව එවෙලේම ගෙන්වා, සොරකම සහ බොරු කීමේ ආදිනව පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

ඒ අවසානය සම්ප්‍රදායානුකුල මෙන්ම, ඒක ආගමික නිසා දෙවන විකල්පය ලෙස මා යෝජනා කළේ, දුප්පත් මිනිසා නිවසට පැමිණ තම හපන්කම කියද්දී, ඒ තාත්තාගේ දියණිය ලවා, ඔහුට සොරකමේ වරද පිළිබඳව පෙන්වා දෙන ලෙසයි. තාත්තලාට අවවාද දිය හැකි දියණියන් ලොව සිටින බවට මා කළ උපකල්පනය සැම විටම සත්‍යයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

මට යළිත් ඒ කතන්දරය සහ මගේ ප්‍රතිචාර පිළිබඳව සිහිවූයේ, ඉන් සති කිහිපයකට පසුව, මිතුරෙකු හා සාහිත්‍යමය කරුණු පිළිබඳව සාකච්ඡාවක යෙදෙමින් සිටිය දී ය. මා යළි කියනවාට වඩා ඔහුටම එය කියවීමට දෙනු පිණිස මම ජංගමයෙන් අදාළ කතන්දරකාර ෆේස්බුක් මිතුරියගේ අඩවියට ගොස් අදාළ කතන්දරය සෙව්වෙමි.

කතාව තිබුණි. නමුත් මා දැක් වූ මුල් ප්‍රතිචාරය මෙන්ම, දෙවනුව කළ යෝජනා ද අතුරුදහන් වී තිබුණි. එසේම, මා තවදුරටත් එකී තැනැත්තාගේ ෆේස්බුක් මිතුරෙකු නොවන බව ද, එනම් මා අන්ෆ්‍රෙන්ඩ්කරණයට බඳුන් වී ඇති බව ද මට පෙනුණි.

එසේ මිස මා බ්ලොක්කරණය කර නොතිබුණු නිසා, පහත සඳහන් ප්‍රතිචාරය පණිවිඩ සේවය මගින් යවන්නටත්, ඊට අමතරව, ඊයේ රාත්‍රියේ හදිසියේ සිහි වී, අද මෙලෙස අකුරු කරන තුරු මේ සිදුවීම මතකයේ රඳවා ගැනීමටත් මට හැකි විය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඇත්තටම මට මේ කතාව නොලියා ඉන්නට තිබුණි. එහෙත් ඊයේ ෆේස්බුක් හි පළවුණු වෙනත් සටහන් දෙක තුනක් කියවන විට සිහියට නැගුණු නිසා ඔන්න ඔහේ ලියා දාන්නට සිත්විය.

(image: https://www.abc.net.au/radionational/programs/booksandarts/winning-awards-as-an-emerging-writer/3959746)

Sunday, 15 September 2019

සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September


වසර කිහිපයකට පෙර මා මිලට ගත්, නමුත් තවමත් කියවන්නට අවකාශයක් නොලද ආකර්ෂණීය නමකින් යුතු නවකතාවක නම මදක් වෙනස් කර එය භාවිතා කරමින් මා මේ සැරසෙන්නේ, මේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව තවත් වැඩි කරවන සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් මාලාවක් ලියන්නයි.

වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ දී ඇරඹුණු මගේ විගාමික ජීවිතයේ දී සාමාන්‍යයෙන් මා ලංකාවට පැමිණියේ මහජන නිවාඩු දින රාශියකින් ද, දිගු පාසල් නිවාඩුවෙන් ද සමන්විත දෙසැම්බර්-ජනවාරි කාලයේ දී ය. නමුත්, 2012 වසරේ දී මුල්වරට සැප්තැම්බර් මාසයක දින කිහිපයක් හෝ ලංකාවේ ගත කරන්නට මට අවකාශය ලැබුණි. එවර පොත් ප්‍රදර්ශනයේ ආස්වාදය ලබා ගැනීමටත්, එහි පැවති සාහිත්‍ය සාකච්ඡාවක කොටසක් ශ්‍රවණය කිරීමටත් මට ඉඩ ලැබුණු නමුත් වෙනත් සාහිත්‍ය කටයුතුවලට සහභාවී වීමට අවස්ථාවක් තිබුණේ නැත.

ඒ සියල්ල වෙනස් වූයේ පසුගිය වසරේ දී ය. මා 2018 සැප්තැම්බරයේ ලංකාවේ ගත කළ සති දෙක ඇතුළත සාහිත්‍යමය අවස්ථා රාශියකට, විශේෂයෙන් ම පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයකටම සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.

ඒ විස්තරය මෙසේ ය.

චමල් අකලංක පොල්වත්තගේ ලියූ ආදරේ රත්නපුර වගේ කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 16 දින දියත උයනේ දී (චමල් යනු සහෘද බ්ලොග්කරුවෙකි).


දමිත් විලේගොඩ ලියූ එහෙ මෙහෙ යන අතර කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 17 දින බොරැල්ලේ පුංචි තියටර්හි දී (දමිත් යනු සහෘද බ්ලොග්කාරියක වූ නිනී සෙනෙවිරත්න ගේ සැමියා ය).


නුවන් හෙට්ටිආරච්චි විසින් පුවත්පතක් සඳහා කළ සම්මුඛ සාකච්ඡා මාලාවක එකතුවක් වූ සොඳුරු රස්තියාදුව නම් කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 18 දින මහවැලි කේන්ද්‍රයේ දී.


තිඹිරියාගම බණ්ඩාර ගේ ගිනිගත් දේශයක කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 19 දින බොරැල්ලේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාල භූමියේ පිහිටි ශාලාවේ දී.


හෙන්රි වර්ණකුලසූරිය විසින් රචිත කී නොකී කතා කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් මස 22 දින විජේරාම මාවතේ පිහිටි ඉංජිනේරු ආයතනයේ ශාලාවේ දී (හෙන්රි වර්ණකුලසූරිය යනු සහෘද බ්ලොග්කරුවෙකි).


මීට අමතරව, සැප්තැම්බර් 15 දින පැවැත්වුණු ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය නැරඹීමට ද මට හැකිවිය. ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘත වූ ඒ අවස්ථාව සඳහා මට ඉඩකඩ ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශක ජනක ඉනිමංකඩ විසිනි.


ඒ 2018 සැප්තැම්බරයේ දිගු දවස් කිහිපයක විස්තරයයි.

දැන් 2019 සැප්තැම්බරයේ ද එවැනි දිගු දවස් අත්විඳින්නට මට අවස්ථාව ලැබී ඇත. ඒ විස්තර ඉදිරි දිනවල සටහන් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පොත් එළිදැක්වීමේ උත්සව පැවැත්වෙන්නේ සැප්තැම්බරයේ පමණක් ම නොවේ. මා 2015 දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති දෙකක කාලයේ දී මට පොත් එළිදැක්වීම් දෙකකටම සහභාගීවීමට ඉඩ ලැබුණි.

1. යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ ඉතා කෙටි කළබළ සිහින කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 12 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

2. නිරාශ ගුණසේකර ලියූ මැරිලින් මොන්රෝ, ඔබ සහ මම කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 16 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

(image: https://ladymud.wordpress.com/2014/09/01/welcome-september/)

Thursday, 31 January 2019

නිර්නාමිකයෙකු ලියූ 2018 ස්වර්ණ පුස්තක ග්‍රන්ථ විචාරය - Anonymous book reviews



මා 1995 වසරේ අප්‍රියෙල් මස ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කළ පසු පහළොස් වරක් ලංකාවට ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයක ලංකාවේ සිට ඇත්තේ දෙවරක් පමණි. ඒ 2012 වසරේ දී සහ 2018 වසරේ දී ය.

පසුගිය සැප්තැම්බරයේ ලංකාවට ගිය මට දිගු කලක සිට අසා තිබුණු ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදාන උත්සවය නැරඹීමට හැකි විය. ආරාධිත අමුත්තන්ට පමණක් සහභාගී විය හැකි ඒ සාහිත්‍ය උත්සවය සඳහා මට අවස්ථාව ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශන ආයතනය හිමි ජනක ඉණිමංකඩ විසිනි.

එදා පැවති ස්වර්ණ පුස්තක සම්මාන උත්වයේ දී අවසන් වටයට තේරී තිබුණේ:
  • චක්‍ර (ජයතිලක කම්මැල්ලවීර)
  • යකඩ සිල්පර (විමල් උදය හපුගොඩආරච්චි)
  • අසනග වැසි (දර්ශනා ශම්මි විජේතිලක)
  • වරණ (පද්මිණී සෙනෙවිරත්න) සහ
  • අප්පච්චි ඇවිත් (සමන් වික්‍රමාරච්චි) යන නවකතා පහ ය.
ලංකාවේ නිවාඩුව ගත කර, මා ආපසු නිවසට පැමිණෙන විට ගෙන ආ කිලෝ විසි දෙකක් බරැති පොත් අතර ස්වර්ණ පුස්තක සමමාන අවසන් වටයට තේරුණු ඉහත පොත් පහ ද විය.

පහත දැක්වෙනුයේ මා ගෙනා ඒ පොත් කියවූ නිර්නාමික පාඨකයෙකු විසින් මගේ ඇරයුමෙන් ඒ පිළිබඳව තමන්ගේ අදහස් කෙටියෙන් ලියා දැක්වූ අයුරුයි.

පොත් කියූ පාඨකයා ලියා ඇත්තේ තමන්ට ඒ පොත් ගැන සිතුණු දෙය ය.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද යන්න පවසන්න.

දැන් මෙන්න ඒ නිර්නාමික පාඨකයාගේ අදහස්.


වරණ
නවකතාවක් ලෙස ඉතා සාර්ථකයි. එහෙත් ඉතිහාසය වෙනස් කිරීම ගැන සමාවක් දිය නොහැක. එනම්, ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් ගැන ඉතිහාස කතාව බොරුවක් බව පැවසීම සහ සීතාවක රාජසිංහ රජතුමා තමාගේ පිය රජතුමා වන මායාදුන්නේ රජ මැරැව්වේ නැති බවත්, මායාදුන්නේ රජතුමා සිය කැමැත්තෙන් ම රජකම රාජසිංහ රජතුමාට පැවරූ බවත් පැවසීම.

යකඩ සිල්පර
ඉතාමත් සාර්ථක නවකතාවකි. ඒ කාලයේ මිනිසුන් ගැන ගම්බද පරිසරය ගැන බොහොම අපූරුවට ලියා ඇත. මුලින්ම දුම්රිය මාර්ගයක් තැනීම ගැන විස්තරය ඒ ගැන හොඳ අධ්‍යයනයක් කර ලිවිය යුතුය. එය සාර්ථක අන්දමින් ලියා ඇත.

චක්‍ර
නවකතාවක් ලෙස පොතේ මුල් කොටස බොහොම සාර්ථකයි. අග කොටසේ දේශපලානය, රුවන් ඕස්ටේ‍ර්ලියාවේ ගතකරන විලාසය වාර්ථාවක් වගේ කිලයි මට හිතෙන්නේ.

අසනග වැසි
ඉතා සාර්ථක නවකතාවක් යැයි කිව හැක. පුරාණ කතරගම විස්තර ඉතා අලංකාර ලෙස ලියා ඇත. අපට සිදුවන හිත් නරක්වීම් අපේ පෙර අකුසල කර්මවල ඵල විපාක බව කතුවරිය පැහැදිලිව තේරුම් කර දෙයි. ආලත්ති අම්මාවරු ගැන, නොයෙක් බෙහෙත් වර්ග ගැන, ඒ පළාතේ කෑම බීම ගැන, දේවාල පෙරහැර ගැන විස්තර හොඳ අධ්‍යයනයක් කර ලියා ඇති බව පෙනේ.

අප්පච්චි ඇවිත්
කතාවේ මුල සිට මානසික ලෙඩෙක් ගැන කියැවේ. පොතෙන් හතරෙන් එකක් ම උසාවියේ නඩු ඇසීමට වෙන් කර ඇත. අනෙක් නවකතා ඒ ඒ පරිසර ගැන හොඳ අධ්‍යයනයක් කර ලියා ඇතත් මෙහි ඇත්තේ මානසික ලෙඩෙක් ගැන පමණි.

නැවතත්, මා මෙය කියවන ඔබෙන් කරන ඉල්ලීම මෙයයි.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද?

ස්තුතියි

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ පොත් පහෙන් මා මේ වන විට කියවා ඇත්තේ "වරණ" නවකතාව පමණි. මා මේ වන විට ඉන්නේ "අප්පච්චි ඇවිත්" නවකතාවේ හරි මැද ය. ඉඩ ලද පරිදි පොත් සියල්ල කියවන්නටත්, ඒ පිළිබඳ කෙටියෙන් හෝ මගේ අදහස් දක්වන්නටත් අදහස් කරමි.

Tuesday, 20 September 2016

ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading


නෑ, නෑ කලබල වෙන්නෙපා, මේ කියන්නේ ගුරු ගීතය ගැන නම් නොවේ!

ගුරු ගීතය නම් නවකතාවක් ගැන ෆෙස්බුකියේ අප්පිරියා වෙන තරමටම කතාබහ වෙනවා මා අසා ඇත. එය රුසියානු නවකතාවක පරිවර්තනයක් බව ද ඒ ඒ අවස්ථාවල දී සඳහන් වුණි.
රුසියානු පරිවර්තන කෘති බර තොගයක් මා කියවා තිබුණ ද කුමක් හෝ හේතුවක් නිසා මේ ගුරු ගීතය නම් කෘතිය (වාසනාවකට මෙන්) මට මග හැරී ඇති බව මට වැටහුණි.

වසරකට කිහිපයකට පෙර ලංකාවට ගිය දිනයක විශේෂයෙන් සොයා බලා මිලට ගෙන ගුරු ගීතය පරිවර්තන කෘතියේ ලංකාවෙන් පිටපතක් ගෙනාවේ ඒ ෆෙස්බුකියේ කරච්චලය නිසා ම ය.

නමුත් ඒ පිටපත ද පොත් රාක්කයක සැඟවී ගිය අතර මේ ළඟදී රුසියානු ගුරු ගීතය කතාව අනුසාරයෙන් නේපාලය වැනි රටක සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුතල දර්ශන සහිතව නිපදවුණු සිංහල චිත්‍රපටයක් නම් නරඹන්නට ලැබුණි.

මේ කියන්නේ ඒ ගුරු ගීතය පරිවර්තන කෘතිය ගැන නොව ගුරු තරුව නම් වේදිකා නාට්‍යය ගැන යි.

පාසලක පවත්වන්නට ගිය සාහිත්‍ය දිනයක් මුල් කරගත් ගුරු තරුව නම් ඒ වේදිකා නාට්‍යයේ විඩියෝ පිටපතක් යූ ටියුබයේ තිබී අහම්බෙන් හමු වී මම පසුගිය දා නැරඹුවෙමි. ඒ නාට්‍යය රචනා කර නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න විසිනි.

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සාහිත්‍ය ගුරුතුමා (එම චරිතය නිරූපණය කරන්නේ කවුද කියා අමුතුවෙන් කිව යුතු නෑ නේද?) පාසලේ සාහිත්‍යය ඉගැන්වීමේ දී මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්න පිළිබඳ මතු කරන සාකච්ඡාව තුළින් මේ නාට්‍යයෙන් සිංහල සාහිත්‍යයට ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ හිමි වී ඇති කනගාටුදායක තත්වය ඉස්මතු කර පෙන්වා දෙයි.

ගුරු තරුව නාට්‍යය යූ ටියුබයේ නරඹද්දී මට එක්වරම සිහිවුනේ මෙම නාට්‍යයේ පෙළ (එනම් නාට්‍ය පිටපත) රැගත් මුද්‍රිත පොත මා සතුව තිබෙන බවයි.

ඒ පිටපත එසේ මෙසේ පිටපතක් නොවේ.

ජයලත් මනෝරත්න විසින් ම, අත්සන් කර මට ලබා දුන් පිටපතකි.



ගුරු තරුව නාට්‍ය පෙළ සහිත ඒ මුද්‍රිත ග්‍රන්ථය මට එසේ ලැබුණේ, ඉව්ජිනී ෂ්වාර්ට් (Evgeny Shvarts) ගේ ඩ්‍රැගන් (Dragon) කෘතිය ඇසුරෙන් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ "මකරා" නම් වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්න විසින් කළ නව නිෂ්පාදනය සිනුවර සහ ඕස්ට්‍රේලියාවේ රඟ දැක්වීම සඳහා සූදානමක් පැවති සමයක, මා ලංකාවට නිවාඩුවක් සඳහා ගොස් සිටියදී ප්‍රචාරක කටයුත්තකට පසුව අවශ්‍ය වෙනු ඇතැයි සිතා ජයලත් මනෝරත්න නාට්‍යවේදියා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම පිණිස ඔහු ගේ බොරලැස්ගමුවේ නිවසට ගිය දිනයේ දී ඔහු ගෙන් තුටු පඬුරක් ලෙස ය.

ගුරු ගීතය පොත සැඟවී ගිය පොත් රාක්කයේ ම, ගුරු තරුව පොත ද සැඟවී තිබී මම පසුව සොයා ගතිමි.

පාඨකයෙකු ලෙස මා මුද්‍රිත සාහිතයෙන් දුරස් වී ඇති බව මට එවෙලේ හොඳින් වැටහිණි.

ඒ දුක්බර කාරණය මට වැටහීමට මූල් වූයේ ද සාහිත්‍යයේ අභාග්‍යය ගැන ම ලියවුණු ගුරු තරුව නාට්‍යය සහ එහි පෙළ රැගත් පොත නිසා වීම මෙහි ඇති උත්ප්‍රාසය දනවන කාරණයයි!

දැන් ඉතිං චිත්‍රපට සහ නාට්‍යය නරඹා ඇති නිසා මේ පොත් දෙක කියවීම තවත් කල් යනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රූපවාහිනී නාලිකාවක ගුරුතරුව වේදිකා නාට්‍යය විකාශය වූ වීඩියෝවකි.



Sunday, 18 September 2016

පැරණි ඡායාරුපයක් සහ සොඳුරු මතකයක් - A fading photo and a lasting memory


අල්විස් පොකුණ යනු පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය සැලසුම් කළ නිර්මාණ ශිල්පියා සිහිවෙනු පිණිස නම් කර ඇති විශ්ව විද්‍යාලයේ ඇති එක් ප්‍රසිද්ධ සලකුණකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූමිය හරහා දිව යන ගලහ පාරේ පිහිටා ඇති මේ අල්විස් පොකුණ අසල දී ගන්නා ලද ඡායාරූපයක් ෆේස්බුක් හි බෙදා ගෙන තිබෙනු ඊයේ දැක මගේ අතීතකාමය අවදිවිය.

ඉහත දැක්වෙන ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් විසින් තම සගයෙකුව ඒ පොකුණේ නහවන ආකාරයයි.

විශ්වවිද්‍යාල බසෙන් "පොන්ඩ් කිරීම" ලෙස හැඳින්වෙන මේ සිරිත විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ක්‍රියාවෙයි යොදවන්නේ අලුතෙන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් සගයෙකු සඳහා ය. විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති පැරණි ශාලා සැමෙකක ම පොකුණු පිහිටා ඇති වුව ද, නවක ප්‍රේමවන්තයා අල්විස් පොකුණ කරාම කැටුව විත් මෙලෙස "පොන්ඩ් කිරීම" සිරිත වේ. මෙය එක්තරා ආකාරයක බෞතීස්ම කිරීමක් සේ ද සැළකිය හැකි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව් වසරක සහ දෙමසක කාලය තුළ මා කළ කී දේ ගැන පෙර ලිපියක ලියා ඇත්තෙමි.

http://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html

ඒ වාර්තා කෙසේ වෙතත්, මට ද පළමු වසරේ එක් දිනයක මේ අල්විස් පොකුණේ සීතල වතුරෙන් නා ගැනීම සිදු විය.

මේ ඒ සිදුවීම එදා කවි බසෙන් මා සටහන් කළ ආකාරයයි.

ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴


ඒ වගත් මෙසේ ම,

-රසිකොලොජිස්ට්

ප/ලි
මගේ අතීතාවර්ජනය එසේ වුව ද, 1988-89 භීම සමයේ දී මේ පොකුණ වටා, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් ගේ යැයි පැවසෙන සිරුරෙන් වෙන් කරණ ලද හිස් ගෙඩි රාශියක් ද ප්‍රදර්ශනයේ තබා තිබුණු බව ද අසා ඇත්තෙමි.

Thursday, 8 September 2016

පොත් පිස්සුව ඉහටම ගැසීම - Best madness ever


"නානසාරලාට පිස්සුද, නැතිනම් අපට පිස්සු ද? - Are they crazy or are we crazy?" නමින් මා ලියූ ලිපියේ සඳහන් කළ ආකාරයට අපි සැවොම විවිධාකාර පිස්සෝ වෙමු.

පොත් කියවීමට ඇති කැමැත්ත ද අනිවාර්යෙන් ම පිස්සුවකි. වෙනත් වචනවලින් කිවහොත් මානසික ව්‍යාධියකි.

නමුත්, සාමාන්‍ය පිළිගැනීම නම් පොත් පිස්සුව අප පෙළෙන විවිධාකාරයේ පිස්සු අතර හොඳ පිස්සුවක් බවයි. එසේම, අනෙකුත් පිස්සු රෝගවලදී මෙන් ම, මේ පිස්සුවේ ද, ලා සිට සිරා දක්වා, විවිධ රෝගී මට්ටම් ඇත.

මගේ පොත් පිස්සුව ඇරඹුණේ කුඩා කාලයේ දී ම ය. එයට හේතුව වෙන්නට ඇත්තේ මා කියවූ මුල්ම නවකතාව විය යුතුයි. එය ගුණදාස ලියනගේ ලියූ මුලු හදින් මම ඇයට පෙම් කොට නම් පෙම් කතාවයි. ඒ මා හතරවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි කාලයේ දී ය.

එතෙක් කල් මිහිර පුවත්පත කියවමින් සිටි මම, ගුණදාස ලියනගේ විසින් ලියන ලද මුලු හදින් මම ඇයට පෙම් කොට කියවා මිහිරෙන් මිහිරට පත් වුණෙමි.

නමුත්, මගේ පොත් කියවීමේ පිස්සුව ලා මට්ටමෙන් ඔබ්බට නැග ඒමට බාධක කිහිපයක් විය. ඉන් මූලික ම බාධකය වූයේ අපේ නිවසේ මට කියවීමට පොත් නොතිබීමයි.

අම්මා ද, තාත්තා ද කියවීමට තරමක රුචියක් ඇති අය වුව ද, ඔවුන් නවකථා යනාදිය මුදල් දී මිලට ගත් අය නොවූහ. රජයේ ගුරු රැකියාවෙන් මාසිකව තාත්තා ගේ අතට ලැබෙන තුට්ටු දෙකෙන් කිරීමට වෙනත් වඩා වැදගත් දේ ඔවුනට එමට තිබුණි.

සති අන්ත පුවත්පත් මිලට ගත්ත ද, පොත් සම්බන්ධයෙන් නම් තාත්තා කළේ, මිතුරන්ගෙන් ඉල්ලා ගෙනැවිත් කියවීමයි. අවාසනාවට ඒවා ඉංගිරිසියෙන් ලියවුණු පොත් විය. මට එකල එතරම් පිස්සුවක් නොතිබුණු නිසා, මම ඒ පොත් දෙස ඇස් ඇර නොබැලුවෙමි.

වරක් තාත්තා ඔහු සුරුට්ටු මිලට ගන්නා කඩේ තිබී පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා මිටියක් නිවසට රැගෙන ආවායින් පසු වුව ද, මා ඒවායේ තිබුූ ලිපි නොව සඟරාවේ හිඩැස් පුරවන්නට යොදා තිබුණු කොමික් කෑලි පමණක් අමාරුවෙන් කියවා සතුටු වුණෙමි.

අම්මා ගේ කියවීම, මාසික ශ්‍රී සඟරාවටත්, එකල සතිපතා පළවුණු පත්තරයක් වූ රසකතා සඟරාවටත් සීමා විය. මිහිරෙන් මිහිරට පත්වූ පසු මම ද මේ සඟරා කියවීම ඇරඹුවෙමි.

රසකතා සඟරාවේ පළවී තිබී මා කියවූ කෙටිකතාවක් නිසා ලැබූ අත්දැකීමක් පදනම් කරගෙන මා ලියූ කෙටිකතාවක් සහ ඒ ගැන සටහනක් පෙර දිනක රසිකොලොජියේ පළ කර ඇත.

අපේ නිවස අසල තිබුණු මැයි සිංඤෝ ගේ නිවසෙන් අම්මා මට කියවන්නට මාර්ටින් වික්‍රමසිංහ ගේ මඩොල්දූව ඉල්ලා දුන්නා ය. එය මා කියවූ මුල්ම සම්ප්‍රදායික යොවුන් නවකතාවයි.

මේ කාලයේ කොළඹ ගුණසේන පොත් සමාගම විසින් ළමුන් උදෙසා ළමා පොත් සමාජයක් ආරම්භ කර තිබුණි. මෙහි මූලික සේවාව වූයේ, තැපැල් මගින් පොත් ගෙන්වා ගත හැකි වීමයි. පොත් සමාජයේ සාමාජිකයින්ට මාසයෙන් මාසයට වාගේ මුද්‍රිත පොත් ලයිස්තුවක් තෑපෑලෙන් ලැබේ. එයින් අවශ්‍ය පොත් තෝරා, අදාළ ගාස්තුවත් සමග මුදල් ඇණවුමක් යැවූ විට ඒවා තැපෑලෙන් නිවසට ම ගෙන්වා ගත හැකි විය.

දවස සමාගමෙන් පළකළ අම්මා ගේ ප්‍රියතම රසකතා සඟරාව හරහා මේ ගැන දැනගත් මට ද ගුණසේන පොත් සමාජයට බැඳී මටම කියා පොත් මිලට ගෙන හිමිකර ගැනීමට ඉඩ ලැබුණි.

ඒ හරහා මා මිලට ගත් බොහොමයක් පොත්, කාලයකට පෙර මුද්‍රණය කරනු ලැබූ, එහෙත් නොවිකිණී ඉතිරි වී තිබුණු, එ නිසාම විශාල වට්ටම් සහිතව පසුව අලෙවි කෙරුණු ඒවා වී ය. මුළු හදින් මම ඇයට පෙම් කොට නවකතාව ද, රසකතා සඟරාවේ කෙටිකතා ද, වැනි නිර්මාණ රසවිඳ සිටි මට මේ ගුණසේන -ළමා පොත්- මෙලෝ රහක් නොමැති වූ බව අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

හයේ පන්තියේ සිට ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඉගෙනුමට ගිය විට, එහි පුස්තකාලයෙන් මසකට පොත් දෙක තුනක් කියවීමට අපට ඉඩ ලැබුණි. ඒ පුස්තකාලයට ගොස් නොවේ. වසර මුල දී පුස්තකාලයට යන පන්ති භාර ගුරුවරයා පන්තියේ සිසුන් සංඛ්‍යාවට සමාන පොත් සංඛ්‍යාවක් තෝරා පන්තියට ගෙන එයි. ඉන් පසු අප සෑම සඳුදා දිනයකම අපේ පොත පාසලට ගෙනැවිත් අප කියවා නැති වෙනත් පොතක් සමග හුවමාරු කර ගත යුතුය.

ඒ අගනා වැඩ පිළිවෙළ නිසා අපේ පන්තියේ කිහිප දෙනෙකුටවත් ලා මට්ටමට හෝ පොත් පිස්සුව හැදෙන්නට ඇති යැයි සිතේ.

මගේ පොත් කියවීමේ දිවියේ හොඳම කඩඉම වූයේ මගේ දහතුන්වෙනි උපන්දිනයට මා කොළඹ ගුණසේන පොත් සාප්පුවට කැඳවා ගෙන ගිය සුනීතා පුංචි අම්මා, මට පොත් කිහිපයක් ම මිලට ගෙන දීමයි. මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, මැංචෝසන් චාරිකා වැනි පරිවර්තන කිහිපයක් ම ඒ පොත් අතර විය.

ඉන් පසු මගේ පොත් කියවීමේ වේගය සීඝ්‍රගාමී දුම්රියක් මෙන් ත්වරණයක් ලද අතර, පාසල සහ විශ්ව විද්‍යාලය අතර ගෙවුණු වසරකට වැඩි ගන්ධබ්බ කාලයේ ගම්සභා පුස්තකාලය ම කියවා හමාර කරන්නට මට හැකි විය.

මා කලින් කිවා සේ, පොත් කියවීමට ඇති පිස්සුව, ඇත්තටම හොඳ පිස්සුවකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කලකට පෙර ලියූ අතීත සටහනකින් කොටසකි. අද පළ කරන්නේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

(image: http://www.dailymail.co.uk/tvshowbiz/article-3073155/Mel-Gibson-arrives-Mad-Max-Fury-Road-premiere-poses-replacement-Tom-Hardy-said-awkward-meeting-actor.html)

Monday, 22 August 2016

සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the year again


මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය, වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයින් ගේ දිනය වැනි බටහිර සංකල්පවලට විරුද්ධව පොර ටෝක් දෙන සුනිල් ආරියරත්නලා(*) වැනි පිරිස් පතුරවා හරින පසුගාමී මතවාදය නම්, අපි සැම දිනම අපේ මවට ආදරය කරමු, සැම දිනම අපේ පියාට ආදරය කරමු, සැම දිනම ලෝ වැසි සියලු දෙනාට ආදරය කරමු (ඒ විතරක් යැ, මෛත්‍රී ද කරමු!) එනිසා අපට ඔය බටහිරෙන් එන අර දිනය, මේ දිනය වැනි ආගන්තුක දේ එපෝ ය, යන්නයි.

නමුත් සැම දිනම නිදහසේ ඉන්නා අපට නිදහස් දිනයක් කුමට ද, සැම දිනම සිල් රැකගෙන ඉන්නා අපට පෝය දිනයක් කුමට ද යනුවෙන් පෙර කී තර්කය දිගු වෙනවා මා නම් දැක නැත.

මගේ මතය නම්, සැම දිනකම මවට සැබෑවටම ආදරය කරන, සැම දිනකම පියාට සැබෑවට ම ආදරය කරන, සැම දිනකම ලෝ වැසි සියලු දෙනාට ම සැබෑවටම ආදරය කරන, සැබෑවටම මෛත්‍රී කරන අයට, තවත් පිරිසක් ඒ ඒ ආදරය සුවිශේෂීව දැක්වීම සඳහා වෙන් වෙන් දින යොදා ගැනීම ගැන කිසිම රුදාවක් ඇති විය නොහැකි බවයි.

සාහිත්‍යයට ආදරය කිරීම ගැන ද කතාව එලෙස ම ය. මා කොස්සින්න ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලයේ ගම්පහ අධ්‍යාපන දිස්ත්‍රික්කයේ සාහිත්‍ය දිනයක් පැවැත්වුණු බවටත්, ඒ සඳහා පහේ පන්තියේ සිටි අප අතරින් රචනා ලිවීම සඳහා වූ තරගයට මා තේරී එයට සහභාගී වෙන්නට ගුරුවරුන් සමග ගම්පහ ගිය බවත් මගේ මතකයේ ඇත.

ඉන් පසුව නම්, ඒ ආකාරයේ සිංහල සාහිත්‍ය උත්සව පැවති බවක් මතකයට නොඑතත්, එකල නාට්‍යය තරග පැවති බවට නම් සාක්‍ෂි මා කලින් දිනයක ලියූ "ජැක්සන් ඇන්තනි අයියේ, තාත්තා මට ගැහැව්වෝ..!" නම් ලිපියේ ලා සඳහන් කළෙමි.

කෙසේ වෙතත්, අද ලංකාවේ එක් සාහිත්‍ය දිනයක් නොව සාහිත්‍යය සඳහා පුරා මාසයක් ම ඇත.

සැප්තැම්බර් කිට්ටු, කිට්ටු යැයි සාහිත්‍ය මාසය එළැඹෙන බව කියමින් කොහෝ කුරුල්ලෙකු හඬ නගනු අද උදයේ මගේ සවනෙහි වැටුණි.

කොහෝ කුරුල්ලන් නාද කරන්නේ මාර්තුවේ එළැඹෙන වසන්තයේ දී බව මට නොකියන්න. ඒ උතුරු අර්ධ ගෝලයේ පිහිටි ලංකාවේ ය.

දකුණු කුරු දිවයිනේ ඉන්නා අපට වසන්තය එළැඹෙන්නේ සැප්තැම්බරයේ ය.

මෙවර බ්ලොග් වසන්තය ඇරඹීම සනිටුහන් කරමින් මා ලියූ ලිපියේ ද ඒ බව සඳහන් කළෙමි.

පැවති ශීත සිසිරය කෙමෙන් නිමවෙමින් පවතී. කප්පාදු කළ රෝස පඳුරු නව දළු මතු කරයි. උදෑසන හිරු පෑයීම ද කෙමෙන් කෙමෙන් සාමාන්‍ය වේලාවට පත්වෙමින් පවතී.

වසන්තය අත ළඟ ය.

සැප්තැම්බර් කිට්ටු කිට්ටු ය.

සැප්තැම්බරය සඳහා මගේ එකම අධිෂ්ඨානය නම්, ලංකාවේ සිටි ජනවාරියේ ද, අප්‍රියෙල් මාසයේ දී ද ගෙනා පොත් කිලෝ ගණනින් කිහිපයක් හෝ කියවීම ය. අඩු වශයෙන් අපේ සහෝදර බ්ලොග්කරුවන් ගේ පොත් ගොඩවත් කියවිය යුතුය.

හැපි සෙප්ටෙම්බර් ගයිස්!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සුනිල් ආරියරත්න ගැන සඳහන් කළේ ඔහු ලියූ "වැලන්ටයින්" ගීතය නිසා ය. මදර්ස් ඩේ හෙවත් මව්වරුන් ගේ දිනය, ෆාදර්ස් ඩේ හෙවත් පියවරුන් ගේ දිනය පිළිබඳ ඔහු ගේ අදහස නොදනිමි.

"වැලන්ටයින්" ගීතය නම්, මා කැමති ගී දහසයට තබා, කැමති ගීත දහසටවත් ඇතුළත් නොවෙනු ඇත!

Saturday, 3 October 2015

වල්ලභයා-සංසර්ගය-ගණිකාව : පියෙකු ගේ කතාවක් (පුතෙකු ගේ හඬින්) - His fathers voice


අද මා පළ කරන ලිපියේ වෙනසක් ද, ඒ එක්කම පොඩි රහසක් ඇත.

වෙනස නම්, අකුරෙන් නොදමා, රූප මගින් කියවීමට යමක් එකතු කිරීමයි. එයම එක් හේතුවක් නම්, කාල වේලා හිඟයකි. තවත් හේතුවක් ද ඇත. ඒ හේතුව මේ ලිපියේ තියෙනවා යැයි මා කියු පොඩි රහසට සම්බන්ධය.

පොඩිය කියූ ආකාරයට ම පොඩි එකක් වෙනමුත් රහසක් කිවාට එය රහසක් ම නොවේ.

නමුත්, දැනට නොකියා සිටිමි.

දැන් මේ කෙටි කතාව කියවන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.

ප/ලි:
කලින් රූප මගින් පළ කළ පිටු සියල්ලම යුනිකෝඩ් ගත කිරීමට හැකි විය.

පියෙකු ගේ කතාවක්

මගේ පුංචි පුතා සරෝජ් මදෙස බලා සිටී. ඔහු වාඩී වී සිටින්නේ මා ඉදිරියේ ඇති කුඩා පුටුවක ය. ඔහු ගේ දෙනෙත් විස්මය හඟවන බැල්මක් මදෙසට හෙළයි. මුව මදක් විවර වී ඔහු ගේ ළඟදී ආ ඉදිරිපස විශාල දත් දෙක පෙනේ.

ඔහු සමග මෙතෙක් වේලා කතාකරමින් සිටි මා එක්වරම නිහඬ බූයේ ඇයිදැයී ඔහු කල්පනා කරනවා විය යුතුය. ඇත්තෙන්ම මා නිහඬ වූවා නොවේ. නිරායාසයෙන්ම මගේ මුව වැසිණි, ගොලුවිණි, කිව යුත්තේ කුමක්ද, කළ යුත්තේ කුමක් ද මට නො වැටහේ.

* * *

වෙනදා මෙන් ම අදත් මා නිවසට පැමිණියේ ඇඳිරි වැටීිගෙන එද්දී ය. සරෝජ් මා ඉදිරිපිටට දිව එනවා ඈත තියාම මට පෙනුණි. ඔහු ගේ සිඟිති මුහුණ පුළුල් සිනාවකින් ඔපවත් වී තිබුණි. සරෝජ් දිව විත් මගේ දෑතේ එල්ලුණේ "ඔන්න තාත්තේ අදත් මට තියෙනවා ගොඩාක් අමාරු වචන තේරුම් අහගන්න" යැයි පවසමිනි.

අට හැවිරිදි සරෝජ් ඉගෙන ගන්නේ දෙවන ශ්‍රේණියේ ය. ඔහු ගේ පාඩම්වල දී හමුවෙන අළුත් වචන, ඔහු කියනා විදියට අමාරු වචන, දිනපතාම මගෙන් විමසා දැන ගැනීමට ඔහු පුරුදුව සිටියේ ය. කාර්යාලයේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව රාත්‍රියේ දී මා මේ කාර්යයේ යෙදුණේ බලවත් උනන්දුවෙනි.

"පොඩියක් ඉන්නකො පුතා තාත්තා ඇඳුම් මාරු කරගෙන මුණකට හෝදා ගන්නකම්" සරෝජ් සමගම පෙර මගට ආ මගේ බිරිඳ කුමාරි පැවසුවාය. මා අත තිබූ බෑගයෙන් සරෝජ් සඳහා ගෙනැවිත් තිබූ ටොෆී කිහිපය අතට ගත් මම "අම්මටත් දීලා කන්න පුතා" යැයි කියමින් බෑගය කුමාරි අතට දුනිමි.

මුහුණ කට හෝදා ගත්තායින් පසුව, කුමාරි දුන් තේ කෝප්පය ද රැගෙන මා ගියේ සරෝජ් ගේ කාමරයටයි. ඔහු ගේ පොත් සහිත කුඩා මේසය සහ ඇඳක් ද එහි විය. සරෝජ් පොත් පාඩම් කළේ මේ කාමරයේ වුව ද රාත්‍රියට නිදා ගත්තේ අප සමග ය. ඒවන විටත් ඔහු පොත් පෙරළාගෙන නොඉවසිල්ලෙන් බලා සිටියේ ය.

ඇඳ මත වාඩිවුණු මම තේ කෝප්පය තොල ගාමින් "හා, කියන්නකෝ පුතා ඔයා ගේ අමාරු වචන" යැයි පැවසුවෙමි.

"ඔන්න එහෙනම් තාත්තේ පළමුවෙනි වචනය ව ල් ල භ යා" කී ඔහු ඉන් පසු ම දෙසට හැරී මා එහි අදහස පහදා දෙනතෙක් බලා සිටින්නට විය.

"වල්ලභයා කියන්නේ පුතේ" මම ඔහුට එය විස්තර කර දීමට පටන් ගත්තෙමි. "වල්ලභයා කියන්නේ කාන්තාවක ගේ විවාහ පුරුෂයාටයි, ස්වාමි පුරුෂයාටයි. පුතාට තේරුණා ද?"

"හා, හරි, හරි, ඒ විදියට තාත්තා අම්මා ගේ වල්ලභයායි, හරිද?" සරෝජ් කීවේ සිනාසෙමිනි.

"ආ! ඔය තේරිලා තියෙන්නේ අපූරුවට!"

"ඉතිං පුතා මොකක්ද ඊළඟ වචනය?" මම හිස් තේ කෝප්පය මේසය මත තැබුවෙමි.

"දෙවෙනි වචනයේ නම් තාත්තේ මහාප්‍රාණ අකුරු හෙම නෑ, ඒත් ඒක මං දැක්කේත් අදයි. සං ස ර් ග ය" මා නොසිතූ ලෙස සරෝජ් පැවසීය.

මා ගොළුවුනේ මෙවිටයි. මගේ සියොලඟම ගිනිගෙන දැවෙන්නාක් සේ එක්වරම හිරී වැටී ගියේය. කුමක් කිව යුතු දැයි මට සිතා ගත නොහැකි වුණි. නිරායාසයෙන් ම මගේ මුව අගුළු වැටුණි.

* * *

"තාත්තේ සංසර්ගය කියන්නේ මොකක්ද?" සරෝජ් යළිත් ඇසුවේ මා කිසිවක් නොකියා නිශ්ශබ්දව සිටි නිසා විය යුතුයි.

මා නිහඬ වුණෙමි. නිහඬ නොවී කුමක් කියන්නද, කෙසේ කියන්නද?

මම යළිත් සරෝජ දෙස බැලුවෙමි.

ඔහු ඇත්තෙන්ම ඉතා පුදුමයට පත්ව ඇත. කිසි දිනක තම පියා කිසිදු අමාරු වචනයක තේරුම කියන්නට මෙතරම් කල්ගත නොකළ බව ඔහුට සිහිවුණා විය හැක. ඊටත් වඩා කිසිදු මහාප්‍රාණ අකුරක් නැති වචනයක්? සරෝජ් එලෙස සිතනවාත් විය යුතුයි.

ආදරබර පුතණුවනි, සංසර්ගය යන්නෙහි තේරුම මම දනිමි. එහෙත් මා ඔබට එය පවසන්නේ කෙසේද? පියෙකු වශයෙන් මා ඔබට පවසන්නේ කෙසේද?

මගේ සිත අවුල්වුණු නූල් බෝලයක් මෙනි.

අවසානයේ මම මුව විවර කළෙමි.

"කෝ බලන්න පුතා ඔය පොත!" ඔහු අමාරු වචන කියවන පොත ඉල්ලා ගත්තෙමි.

"වාසනාවන්ත යුග දිවියකට මග" ඔහු කියවමින් සිටියේ එයයි.

මේ පොත සරෝජ් අතට ආවේ කෙලෙසකදැයි මට නොවැටහිණි. වසර දහයකට පෙර මිලට ගෙන කියවූවායින් පසු මේ පොත කොහේ දැම්මාදැයි මට මතක නැත. සමහරවිට මගේ පරණ පොත් සහිත පෙට්ටියේ තිබී සරෝජ්ට හමුවෙන්නට ඇත.

පොතේ ඇතැම් වචන යටින් පැන්සල් ඉරි ඇඳ තිබුණේ සරෝජ් විය යුතුයි. ඒ ඔහු ගේ අමාරු වචනයි.

"මේ තියෙන්නෙ තාත්තේ ඒ වචනය" සරෝජ් නැගිට යටින් ඉරක් අඳින ලද සංසර්ගය යන වචනය මට පෙන්වයි.

මගේ සිත එක්වරම අතීතයට ඇදී යයි.

මා අවුරුදු හත අටක කුඩා දරුවෙකුව සිටියදී......

* * *

එවිට මගේ වයස අවුරුදු අටක් පමණ වූ බව මට සිහිකර ගත හැක. කෙසේ වෙතත් ඒවන විට මට හොඳින් කියවන්නට හැකිව තිබුණි. අතට අසුවෙන ඕනෑම පොතක් පත්තරයක් කියවීමට මම පුරුදුව සිටියෙමි.

මෙ පරිද්දෙන් මගේ පියා ද මගේ ඉගෙනීමේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්වීය. ඔහු ද මට නොතේරෙන වචන විමසන ලෙස පවසා තිබුණි. ඇතැම්විට ඔහු ඉතා සැර පරුෂ වුවත් මා ඔහුට ඇලුම් කළේ ඉතා ආදරයෙන් මගේ අවශ්‍යතාවයන් ඉටු කළ නිසයි. ඒ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ නිසා විය හැක. කෙසේ වතුදු සරෝජ් ගේ ඉගෙනීමේ කටයුතු කෙරෙහි මා මෙතරම් උනන්දුවක් දක්වන්නේ මගේ පියා ගේ ආදර්ශයෙන් බව මට පැහැදිලිය.

දිනක් මා කියවමින් සිටියේ සතිපතා පළවෙන කුමක් දෝ පත්‍රයකි. එහි තිබුණු එක්තරා වචනයක් මට අලුත් එකක් විය. මම එවෙලේම පියා සොයා දිව ගියෙමි.

"තාත්තේ, තාත්තේ ගණිකාව කියන එකේ තේරුම මොකක්ද" කියා ඇසූ බව මට හොඳින් මතකයි. පියා ඔහු කරමින් සිටි කාර්යය නවතා මා දෙස බැලීය.

"මොකක්ද ඔය වචනේ?"

මා මුලින් කී දේ ඔහුට නෑසුණු බව වටහා ගත් මම යළිත් වරක් එය කීවෙමි.

"තාත්තේ ගණිකාව කියන්නේ කාටද?"

මා පුදුමයට පත් කරවමින් පියා නිහඬ විය. ඔහු අසුනින් නැගිට මා ත තිබූ ඒ පත්‍රය ඉල්ලා ගති. ඒ දෙස බැලූ සැණින් ඔහු කෝපයට පත්වූ බව පෙනුණි. කොහෙමටත් ඔහු ඉක්මනින් ම සුළු දෙයකට පවා කෝපයට පත්වෙන්නෙකි.

"උඹ පලයන් යන්න මෙතනින්!" පියා මට සැර වී රැව්වේ කෝපයෙන් වෙව්ලමිනි. මම බිරාන්ත වූයෙමි. තාත්තාට කෝප වෙන්නට කිසිම හේතුවක් නැහැ නේද මට සිතුණි.

ඒ දිනවල සුළු දෙයකින් පවා කම්පනය වන මා ඇතැම් විට අඬමින් ඇඳට යන්නට ඇත.

තාත්තා වේගවත් ගමනින් ගියේ මුළුතැන් ගෙටයි. ඉන්පසු ඔහු ගේ වේගවත් කටහඬ නිවස පුරා රැව්දිනි.

මම වහා මුළුතැන්ගෙය දෙසට ගියෙමි.

"ගේනව මෙතන කුණුහරුප පත්තර! ගෙදර පොඩි එවුං ඉන්න බව ඔයාට තේරෙන්නේ නැද්ද?" ඔහු කෑ ගසයි. ඒ පත්තරය මගේ මව විසින් මිලට ගන්නා ලද එකක් බව මට මතක් විය.

"කුණුහරුපයක්, එහෙනම් ගණිකාව කියන්නේ කුණුහරුපයක් වෙන්න ඇති!" මගේ සිතට නිරායාසයෙන් ම සිතුණි.

මම මුළුතැන් ගෙයි දොර අසලටම ගියෙමි. පත්තරය ගිනිගෙන දැවෙමින් තිබුණි. පියා ඒ අසලට වී මවට බණිමින් සිටියේ ය.

"හැදෙන දරුවන් ඉන්න තැන්වල මෙහෙම පත්තර පොත් හංගන්නවත් ඕනෑ. පොඩිකමට උන් මොනවා දන්නවද? අපෙන් එක එක වචනවල තේරුම් අහනවා. අපි ඔව්වට කටක් ඇරලා උත්තර දෙන්නේ කොහොමද? ඔයා ඕව හිතන්න ඕනෑ!"

"ඉතිං අනේ ඔයා කිව්වට, දරුවෝ ඕවා දැන ගන්නත් ඕනෑ නේද?" අම්මා සෙමෙන් කියයි.

* * *

මම කල්පනා කළෙමි. එදා තාත්තා මුහුණ දුන්නේ අද මා මුහුණ දෙන ප්‍රශ්නයටම නොවේද? ඔහු පත් වූ අසීරු තත්වයටම අද මා පත්ව ඇත.

මට මඩොල්දූව සිහිවෙයි.

උපාලි ගිනිවැල්ලේ, ඉස්කෝලෙ මහත්තයාගෙන් කාමේසු මිච්ඡාචාරා යන්නෙහි තේරුම විමසූ කල ඉස්කෝලේ මහත්තයා ද මේ තත්වයට මුහුණ දුන්නා නොවේද?

භෞතික වශයෙන් යම් කිසි දියුණුවක් ලෝකය අද ලබා ඇත. අප ද ලබා ඇත. භෞතික දියුණුව ද සමග අධ්‍යාත්මික වශයෙන් ද දියුණු විය යුතු බව අපි හඬ නගා පවසන්නෙමු.

අධ්‍යාත්මික දියුණුව යනු කුමක්ද? අප සත්‍යය අවබෝධ කරගත යුතුයි. සංවර විය යුතුයි. එපමණක් ද නොව නීතිගරුකව, සත්‍යයට ගරු කරමින් ජීවත්විය යුතුයි. එනිසා නිවැරදි තත්වය, සත්‍යය පැවසීමට අප මැලිවිය යූතු නැත.

සත්‍යය කිසි කලෙකත් සැඟවිය නොහැක. එය වසන්කර බොරු ගෙතමින් අතීතයේ දෙවියන්, භූතයින්, දේව රහස් යැයි කියමින් අප රැවටුනද, නැවතත් ඒ නොදියුණු තත්වයට පත්විය හැකිද?
මේ සියල්ල මා වටා හොල්මන් කරයි.

එහෙත් සංසර්ගය යනු කුමක්දැයි සරෝජ්ට මා ඔවසන්නේ කෙසේද? තවත් බර වචන යොදා මට එය විස්තර කළ හැකි වුවද, එය යළිදු ඔහුට ප්‍රශ්නයක් වනු ඇත.

මගේ පියාගෙන් මා ගණිකාව යනු කුමක්දැයි විමසූ විට ඔහු එයට පිළිතුරු නොදී ප්‍රශ්නයෙන් මග හැරියේය. පසුව හෝ කිසි දිනෙක ඔහු එහි තේරුම මට කියා දී නැත. ඒ මොහොතේම එය කිසියම් අසභ්‍ය වචනයක් යැයි මට සිතිණි. එයින් සිදුවූයේ මගේ සිත දුෂ්‍යවීම නොවේ ද? ඉන්පසු පියාගෙන් මා වචනයක තේරුම විමසූයේ ඉතාමත් කල්පනාකාරීවයි.

ලිංගික අධ්‍යාපනය ළමයින්ට දිය යුත්තේ කුඩා කාලයේ සිටම බව මම බොහෝ කලක සිට විශ්වාස කළෙමි. මේ පිළිබඳව මා මිතුරන් සමග වාද කළ අවස්ථා බොහෝ ය.

"නිසි කල ලිංගික කරුණු පිළිබඳ තොරතුරු ළමයාට ලැබිය යුත්තේ දෙමව්පියන්ගෙනි. එසේ නොවුණි නම් විෂමසමාජයෙන් මේ කරුණු ඉගෙන නො මගට යොමුවිය හැක!" එකල මගේ තර්කය එය විය.

නමුත් අද මා එම තත්වයට මුහුණ දුන් අවස්ථාවේ කුමක් කළ යුතුදැයි මට නොතේරේ. ඇත්තෙන්ම කුමක් කිව යුතුදැයි මා වහා තීරණය කළ යුතුය.

මා කළ යුත්තේ, මීට වසර විසි ගණනකට පෙර මා පියා කළාක් මෙන් මේ පොත විනාශ කර පුතුට තරවටු කිරීමද? එසේ නොමැති නම් අවස්ථානුකූලව මුසාවක් කියා ප්‍රශ්නය යටපත් කර මඩොල්දූවේ ඉස්කොලේ මහත්තයා මෙන් ඉවත්ව යෑමද?

මට එය කළ නොහැක. සමහරවිට එසේ කළහොත් සරෝජ් ගේ ඉදිරි අනාගතය අඳුරු වීමට ද ඉඩ ඇත.

නැතිනම් මා කළ යුත්තේ සියල්ල ඔහුට පැවසීමයි, යථාවබෝධය ලබා දීමයි. එහෙත් මා හැදුණු වැඩුණු පරිසරය අනුව එයට මගේ සිත නම්මා ගැනීම අපහසු සේ හැඟේ.

* * *

සරෝජ් පෙරසේම මදෙස බලා සිටී.

අවසානයේ, විනාඩි ගණනාවක් තිබූ නිහඬතාවය බිඳිමින් මම කතා කළෙමි.

"පුතේ..."



හෙන්රි වර්ණකුලසූරිය තමන් ගේ ඉරිදා පුවත්පත් කොලම් ලිපිවල අවසානයේ කීවාක් මෙන් - සෙස්ස පස්සට!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිනුවර සිංහල ලේඛකයෝ ලිපියේ දෙවන කොටස පසුව පළ වෙනු ඇත. මුල් කොටසට පාර මෙන්න.
http://rasikalogy.blogspot.com/2015/10/sydney-based-sinhala-writers.html

(image: http://english.binus.ac.id/2015/05/13/a-token-for-mrs-ray-the-2nd-winner-of-national-short-story-writing-competition_part-1/)

Thursday, 1 October 2015

සිඩ්නි නගරයේ සිංහල ලේඛකයෝ - Sydney based Sinhala writers


වසර සීයකටත් වඩා ඉහත කාලවල පවා, ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සිංහලුන් ගැන ඓතිහාසික තොරතුරු ඇතත්, සිංහල සම්භවයක් ඇති පිරිස් බහුලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම ඇරඹී ඇත්තේ අසූවේ දශකයේ අගභාගයේ දී ය. මා පෙර ලිපියක සඳහන් කළ ආකාරයට, මේ වන විට රට පුරා විසිරී සිටින සිංහල සම්භවයක් ඇති පිරිස පනස් දහසක් පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ සිංහල අග නගරය මෙල්බර්න් නුවර යැයි සැලකිය හැක. ඒ ඔළු ගෙඩි සංඛ්‍යාව ගැන සිතීමෙනි. මම ද වසර හයක් මෙල්බර්න් හි වාසය කළෙමි. නමුත්, සිංහල ලේඛකයින් ගැන සැලකීමේ දී නම්, සිඩ්නි නගරය හෙවත් සිනුවර ලෙහෙසියෙන් ම මෙල්බර්න් නුවර අභිබවා යයි.

මේ සටහනේ මූලික අරමුණ සිඩ්නි නගරබදව වාසය කරන සිංහල ලේඛකයින් හැකි පරිදි ඔබට හඳුන්වා දීමයි.

ලයිස්තුව දිගු නිසා අද පලවෙන්නේ එයින් කිහිප දෙනෙකු ගැන විස්තර පමණි.


කුඩාගල කෝවිද

සිඩ්නි නගරය අවට ගම් දනව්වල වෙසෙන ලේඛකයින් අතරින් පොත් පත් විශාලතම සංඛ්‍යාවක් ලියා පළ කර ඇත්තේ කටුම්බා ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන කුඩාගල කෝවිද හාමුදුරුවන් විසින් යැයි මම සිතමි.

කෝවිද හිමියන් ලියා පළ කර ඇති පොත් සියල්ලම පාහේ බණ දහම් කරුණු ඇතුළත් සරල කාව්‍ය ග්‍රන්ථ වේ. ඒවා බහුතරය කුඩා දරුවන් සඳහා ලියූ කුඩා පොත් බව ද පෙනේ.

පන්සලේ දායකයින් ගේ අනුග්‍රහයෙන් මුද්‍රණය කර ඇති මේ පොත් හාමුදුරුවෝ විසින් පන්සලට යන එන අයට දහම් පඬුරු ලෙස පරිත්‍යාග කරති.

මේ පහත දැක්වෙන්නේ කෝවිද හිමියන් විසින් ලියූ පොත් විශාල සංඛ්‍යාව අතරින් පොත් කිහිපයකි.



මීගහකුඹුරේ ධම්මගවේෂී

සිනුවර පිහිටා ඇති ලංකාරාමයේ අධිපති පූජ්‍ය මීගහකුඹුරේ ධම්මගවේෂී හාමුදුරුවෝ ද ග්‍රන්ථ විශාල සංඛ්‍යාවක් ලියා පළ කර ඇති අයෙකි. ධම්මගවේෂී හාමුදුරුවෝ දෙවසරකට පමණ පෙර ඕස්ටේ‍ර්ලියාවේ සංඝ නායක පදවියක් ලංකාවේ දී ලදහ.

ධම්මගවේෂී හාමදුරුවන් විසින් ලියා පළ කර ඇති පොත් සියල්ල ම බුදු දහම ගැන වැඩිහිටියන් සඳහා සැකසුණු ඒවා ය. ඉන් පොත් කිහිපයක් ලියා පළ කර ඇත්තේ ඉංගිරිසි භාෂාවෙනි.

ලංකාරාම පන්සලේ දායක සභාව විසින් ප්‍රකාශනය කර ඇති මේ ධර්ම ග්‍රන්ථ වලින් මා සතුව ඇත්තේ එකක් පමණි.



සේනාධීර පියසේන

සේනාධීර පියසේන පිළිබඳව මා මීට පෙර රසිකොලොජියේ ලිපියක් ලියා ඇත. දීර්ඝ කාලයක් සිනුවර විසූ ඔහු මේ දිනවල ලංකාවේ ජීවත් වෙයි. තවමත් පුවත්පත්වලට නිතිපතා ලිපි සපයන අනූ තුන් වියැති ඔහු අද ලංකාවේ ජීවත්වන ජ්‍යෙෂ්ඨතම සිංහල මාධ්‍යවේදියා වේ.

ඔහු මෑතදී ලියූ ග්‍රන්ථ අතර "ඡන්ද ඝාතනය" (1992), "තට්ටු මාරුව", "පවුල් වාදය සහ විනාශය" (2001), "අන්ධානුකරණයෙන් විනාශයට" (2001), "කසාය බීපු ගොළුවෝ" (2003), "රටවල් තුනක මාධ්‍ය සමග දශක හතක්" (2007), "කළු ජූලියේ රිදී ජුබිලිය සහ ජේමිස් ගේ නිදහස" (2009), "දුර රූපයේ ආවර්ජන" (2013) සහ "හුදකලාවේ ආවර්ජන" (2014) වේ.



සමන් මහානාම දිසානායක

දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති නවකථා රාශියක කතුවරයා වන සමන් මහානාම දිසානායක සිනුවර වෙසෙන ප්‍රමුඛ ලේඛකයෙකි.

සමන් දිසානායක ලියා ඇති නවකථා නම්: "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "දුරුතු සිහිනය", "රන්දෙනිගල වලව්ව", "ලංසි කෙල්ල", "සුරඟන කුමරිය" සහ මෑතකදී ප්‍රකාශනය වූ "අහස් ඉම" වේ. මීට අමතරව සමන් මෙල්බර්න් නුවර පළවෙන පහන සඟරාව සඳහා ද කොටස් වශයෙන් පල වූ නවකථාවක් ලියූවේය.

සමන් දිසානායක ගේ නවකථා සියල්ලම ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් ගෙතූ සංකීර්ණ කතා රැගත් තරමක් දුරට රහස් පරීක්‍ෂක නවකථා ගණයේ ලා සැලකිය හැකි ඒවා වීම විශේෂයකි.



පාලිත ගනේවත්ත

පාලිත ගනේවත්ත කවියෙකු, කෙටිකතාකරුවෙකු මෙන්ම නවකතාකරුවෙකු ද වේ.

ඔහු මුලින්ම ප්‍රකාශයට පත් කළේ "බොඳ වූ ලොව" නම් කාව්‍ය සංග්‍රහයයි. ඉන් අනතුරුව 2005 දී "ඇසිපිය" නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත්විය.

ඔහු ලියා පළකර ඇති ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රයන් වන්නේ "ලේ හුරු සුවඳ" (2001) සහ "තුන් පෙර නිමිති" (2015) ය. මීට අමතරව පාලිත ගනේවත්ත ඇන්ටන් චෙකොෆ් ගේ කෙටිකතා සංග්‍රහයක් මුල් රුසියානු බසෙන් සිංහලට පරිවර්තනය කර 2004 දී පළ කළේය.

පාලිත ගනේවත්ත ගේ නවකථා නම් "ඇවිත් නොරටක" (2006) සහ "මාවත අබියස" (2009). මෙයින් "ඇවිත් නොරටක" කෘතිය ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ සිංහල පවුලකගේ ජීවන අරගලය ගැන ගෙතුණු එකකි.

මීට අමතරව පාලිත ගනේවත්ත විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ නම්, "ගුණදාස අමරසේකර සංවාද" (2013) සහ "දොස්තර චෙකෝෆ්" (2013) වේ.



ලක්‍ෂ්මන් කොඩිතුවක්කු

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි. ඔහු 2005 දී "පැය අටේ මිත්‍රයෝ" නමින් සිය ප්‍රථම කෘතිය ලෙස කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වීය. ලක්‍ෂ්මන් ලියූ කෙටිකතා ලක්බිම වැනි ඉරිදා පුවත්පත්වල නිතර පළවෙයි.

ඔහු මේ වන විට "පරමේෂ්වරී සහ වෙනත් රටක්" සහ "හුස්ම" යන කෙටිකතා සංග්‍රහ ද්වය ලියා පළ කර ඇති අතර තුන්වෙනි කෙටිකතා සංග්‍රහයක් ද මුද්‍රණයේ පවතින බව සැලයි.

ලක්‍ෂ්මන් කොඩිතුවක්කු ලියූ "පරාරෝපණය" නම් යොවුන් නවකතාව ද පසුගිය දා සුරස ප්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. ඔහු "පුංචි ටොමී සිඩ්නි ගියා" නමින් ළමා කතාවක් ද ලියා පළ කර ඇත.



හෙන්රි කුමාරප්පෙරුම

වසර 1995 දී "සමනල දූතය" නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළ කළ හෙන්රි කුමාරප්පෙරුම මූලිකව ම කවියෙකි. පුරාණ සිංහල සන්දේශ කාව්‍ය සම්ප්‍රදාය අනුව යමින් නිර්මාණය වී ඇති "සමනල දූතය" සිඩ්නි නගරයේ සිට ලංකාවට සමනළයෙකු මගින් යවනු ලබන සන්දේශයකි.

ඉන් පසු නවකථාකරණයට බට හෙන්රි "ගම් සරණිය" නවකතාව ද, "නිහඬ කල්පනා" සහ "සුදු සඳ රැස්" යන කෙටි නවකතා පළ කළේය. ඔහු පංචතන්ත්‍රය ඇසුරෙන් "වන රජ දහන" නම් පරිවර්තන කාව්‍යයක් ද ලියා පළකර ඇත.

හෙන්රි කුමාරප්පෙරුම දකුණු කුරු දිව් කව් - Australia: Sinhala poetic impressions නම් ඕස්ට්‍රේලියාව පිළිබඳ ලියවුණු සිංහල කාව්‍ය සංග්‍රහයේ සම සංස්කාරකයා ද වේ.

සිඩ්නි නගරය සඳහා නිමවුණු "සිනුවර" නම් වචනයේ නිර්මාතෘවරයා ද හෙන්රි කුමාරප්පෙරුම ය.




සිනුවර වාසී සිංහල ලේඛකයින් තවත් කිහිප දෙනෙකු ගැන විස්තර මේ ලිපියේ දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය පලවෙන්නේ ඊයේ දිනයෙන් ගෙවී ගිය 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya
9. W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ

Sunday, 27 September 2015

W3Lanka අජිත් පැරකුම් ජයසිංහ ගේ "ශාස්තෲ" නවකතාව ගැන පසුවදනක් - HBD2U APJ


ඩබ්ලිව් ත්‍රී ලංකා දේශපාලන බ්ලොග් අඩවියේ හිමිකරු, කතෘ සහ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ හෙවත් අපේ පැරාව නොදන්නා අයෙකු සිංහල බ්ලොග් පාඨකයින් අතරින් සොයා ගත හැකි වේ යැයි මම නොසිතමි. එසේ වුවද, තම බ්ලොගය සඳහා වෙහෙස නොබලා නිතිපතා දේශපාලන ලිපි ලියන පැරා, නවකතාවක් ද රචනා කර මුද්‍රණද්වාරයෙන් එළිදක්වා ඇති සාහිත්‍යකරුවෙකු බව නොදන්නා අය නම් බ්ලොග් පාඨකයින් අතර එමට සිටිනවා විය යුතුය.

අජිත් පැරකුම් ජයසිංහ 2010 දී ලියූ ඒ නවකතාව ශාස්තෲ නම් වේ.

ශාස්තෲ නවකථාව ලෝකයේ උස් තැන්වලට ගිය එකකි. මේ ලිපියේ ආරම්භයේ එකතු කර ඇති ඡායාරූපයෙන් ඒ බව හොඳින් පැහැදිලි විය යුතුය.

මා ඒ ඡායාරූපය ලබා ගත්තේ ඕස්ට්‍රේලියාවේ උසැතිම කඳු ශිඛරයවන මවුන්ට් කොසියෙස්කෝ හි දී සීතලේ ගැලෙමින් සිටිය දී ය!

එහි දී ශාස්තෲ නවකථාව ලබා ඇත්තේ, ඒ පොතේ පිටපතක් ලංකාවේ සමනොල කඳු මුදුනට ගෙන ගිය විට ලබාගත හැකි තරමේ ම උසස් තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ සරදම් බස් කෙසේ වෙතත්, එදා වසර පහකට පෙර කියවද්දී මට මහත් සාහිත්‍ය රසයක්, ආස්වාදයක් මෙන්ම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඇතුළත පිළිබඳව මා නොදැන සිටි දැක්මක් ද ලබාදුන් අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව, සත්‍ය වශයෙන්ම ඉහළ පැසසුමක් ලැබිය යුතුව තිබුණු නිර්මාණයක් බව අවංකව කිව යුතුය.

වාමාංශික දේශපාලනයේ යෙදෙන කුඩා කණ්ඩායම්වල සංවිධානය, චර්යාවන් ඇතුළු මා නොදැන සිටි අංශයක් ගැන ද ශාස්තෲ නවකතාවේ විස්තර කෙරෙයි. ඒ කතාංග ගොඩනැගී ඇත්තේ කතෘගේ පුද්ගලික අත්දැකීම් ආශ්‍රයෙන් බව පැහැදිලි නිසා ඒ විස්තර අපූරු සුන්දරත්වයක් ද ජනිත කරයි.

ලංකාවේ වාම දේශපාලනය හා සම්බන්ධව ගෙතී තිබුණු මූලික කතා වස්තුවෙන් ඔබ්බට, ශාස්තෲ නවකතාවෙන් මා මූලිකවම ආස්වාදයක් ලැබුවේ එහි අඩංගු වූ ශෘංගාරාත්මක ලේඛන කොටස් නිසා ය.

ඔබේ රස වින්දනය පිණිස ඒ ආකාරයේ කොටසක් පහත උපුටා දක්වමි.
(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.

මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.

මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.
ඒ ශෘංගාරාත්මක ලේඛන සහ ප්‍රධාන කතාව හා සම්බන්ධ විවිධාකරායේ පරිසර වර්ණනාවලින් කුල්මත් වූ මගේ සිතට, ශාස්තෲ නවකතාවේ මූලික හරය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ඉදිරිපත් කරන දේශපාලන කරුණු නම් එක එල්ලේ ඇතුළු නොවූ බව කිව යුතුය.

එයින් හැඟෙන්නේ, මේ නවකථාව දේශපාලන සත්වයින්ට මෙන් ම, අප බොහෝ දෙනෙකු වැනි සාමාන්‍ය ක්‍ෂීරපායින්ට ද එකසේ කියවා රස විඳිය හැකි එකක් බවයි!

එයට අමතරව පැවසිය යුතු කාරණයක් වන්නේ සාහිත්‍ය විචාරක ඔස්තාද් ලා සමහරවිට සඳහන් කරන මැජික් රියලිසම් යන සංකල්පය (හෝ එවැන්න) සිංහල නවකථාවකින් මා ප්‍රථමවරට දුටුවේ ශාස්තෲ නවකතාවේ අවසානයේ දී බවයි. නවකථාවේ ආරම්භයේ සිට යථාර්තවාදී යැයි බොහෝ දුරට සිතෙන කතාවක් කියවමින් එන පාඨකයා ගේ හිසට මෙහිදී පොල්ලකින් ගසා අහසින් පොළවට බස්සවනු ලැබේ. එය ශාස්තෲ නවකථාවේ මා සිත් ගත් ලක්‍ෂණයකි.

අජිත් පැරකුම් ජයසිංහ ගේ ශාස්තෲ නවකතාව එය දොරට වැඩි දිනම මිලට ගත් ටැබූ නමින් එවකට නිර්නාමික බ්ලොග්කරනයක යෙදුණු පුද්ගලයා නවකථාව පිළිබඳව නිර්දය විචාරයක් කළේ ය.

ටැබූ ගේ ඒ "දෙඤ්ඤං බැටේ" විචාරය හා සසඳන විට මා සත්‍ය වශයෙන් ම ශාස්තෲ නවකතාව කොසියෙස්කෝ කඳු මුදුනත් වඩා ඉහළ මට්ටමක ගෙන ගොස් ඇති බව පෙනී යා යුතුය!

ශාස්තෲ නවකතාව සාහිත්‍යයට ප්‍රිය, දේශපාලනට ලැදි අප සැම දෙනා විසින් කියවිය යුතු කෘතියක් ලෙස හඳුන්වමි.

http://shasthru.blogspot.com/2010/12/blog-post.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ලිපිය මා ලියූවේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය නිමිත්තෙනි.

එය මෙලෙස රසිකොලොජියේ පලවෙන්නේ අදට (සැප්තැම්බර් 27) යෙදෙන අජිත් පැරකුම් ජයසිංහ ගේ පනස් වෙනි ජන්ම දිනය නිමිතේතෙනි.

අජිත් පැරකුම් ජයසිංහ සහෘද බ්ලොග්කරුවාට සුබ උපන් දිනයක් වේවා, මා ද මා සම්බන්ධයෙන් ප්‍රාර්ථනා කරන ආකාරයට, ජීවිතයේ ඉදිරි වසර පනහක කාලය නීරෝගීව ගත කර වේදනාවකින් තොරව චුත වීමට ලැබේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි!

ප/ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු ලිපියකි.

සාහිත්‍ය මාසයේ පළවුණු අනෙකුත් ලිපි මෙසේ ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia
8. ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya

Thursday, 24 September 2015

ආගන්තුක චමත්කාරය යනු කුමක්ද නොහොත් හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය - Henry Warnakulasuriya's Villarawadiya


වෘත්තියෙන් ඉංජිනේරුවෙකු සහ හිටපු නැවියෙකු වන හෙන්රි වර්ණකුලසූරිය, මීට පෙර "ඝාතනයට පෙර" නමින් නවකතාවක් ද, "තිරිසන් රාත්‍රිය", "සරණාගත කඳවුරේ යුවතියක ගේ මල්වර මගුල", "නගරාන්තර ප්‍රේමය" සහ "නෙත්මා දකිනු පිණිසය" යන කෙටිකතා සංග්‍රහ ද, සිනමා විචාර සහ සමාජ විචාර පොත් කිහිපයක් ද ලියා පළ කර ඇති පළපුරුදු ලේඛකයෙකි. ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කර ඇති (මේ මගේ සඳයි), කෙටි චිත්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කර ඇති, සිනමාවේදියෙකු ද වේ.

ඒ සියල්ලටම වඩා වැදගත් කාරණය නම් හෙන්රි වර්ණකුලසූරිය අපේ සහෘද බ්ලොග්කරුවෙකු වීමයි.

විල්ලරවාඩිය නවකතාව ගැන ලියන්නට අරඹන විටම මගේ මතකයට ආවේ මා කියවා ඇති වෙනත් සුවිශේෂී නවකථා කිහිපයකි.

එයින් මුල් නවකථා ත්‍රිත්වය වන්නේ දකුණේ පැරණි සිංහල ගැමි සමාජය, නාගරික දේශීය ධනපති සමාජය දක්වා වර්ධනය වීමේ කතන්දරය හුදී ජන පහන් සංවේගය සඳහා සටහන් කිරීම පිණිස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යි.

දෙවෙනුව මා සිහියට නැගුණේ ලංකාවේ සිංහල බහුතර මැද පන්තියේ කතන්දරය ලේඛන ගත කරමියි සිතා, ගුණදාස අමරසේකර විසින් ලියා ඇති "අ.පො.ස. වර්ගයේ" ගමනක මුල, මැද, අග වාර්තා පොත් පෙළයි.

අප කියවා ඇති අති බහුතරක් නවකථා පොත් ලියවී ඇත්තේ එකී සිංහල ගැමි පසුබිමකින් යුතු සමාජයෙන් උපන් වස්තු බීජ මුල් කරගෙන බව නොරහසකි. වරදත්ත වැනි ඓතිහාසික පසුබිමකින් යුතු ග්‍රන්ථ දෙක තුනක් හැරුණු විට, ජී.බී. සේනානායක විසින් ලියන ලද සියලුම නවකථා ද මේ සමාජ ස්තරය මත පදනම්ව ගෙතුණු ඒවා ය.

ඒ සම්මත සමාජ කඩතුරාවෙන් ඔබ්බට ගිය ගිය මා කියවූ මුල්ම නවකතාව වූයේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට කෘතියයි. එහි සමාජ පසුබිම, සිදුවීම් සහ චරිත මට ඉතා ආගන්තුක වූ අතර එනිසා ම, මා පාලම යට කියවා ලැබුයේ අපමණ වින්දනයකි.

ඒ වින්දනය තවත් තීව්‍ර ආකාරකින් මා ලද්දේ මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව කියවීමෙනි. ඒ කතාව පසුබිම් වී තිබුණු පරිසරය, සමාජ කණ්ඩායම, එහි ආ චරිත, ඔවුන් ගේ චර්යාවන් යනාදී සියලු දේම මට ආගන්තුක විය. මංජුල වෙඩිවර්ධන ගේ කාව්‍යමය භාෂා හැසිරවීම තුළින් මැවෙන චමත්කාරය ද මුසු කරගෙන මා බත්තලංගුණ්ඩුව රස වින්දේ තලු මරමිනි.

ගමයි, පන්සලයි, කුඹුරයි, හන්දියේ කඩයයි ගැන ලියවුණු නොස්ටැල්ජික් හැඟීම් දනවන නවකථා කියවා හුරු පුරුදු මගේ සිතේ බත්තලංගුණ්ඩුව නවකතාවට ඇති වුණු කැමැත්ත විස්තර කළ හැක්කේ, අපට වෙනස් වූ පරිසරය, සමාජය, චරිත පසුබිම් කරගෙන ලියවුණු රුසියානු, ඉංගිරිසි ඇතුළු විදේශීය නවකථා කියවීමට අදටත් සිංහල පාඨකයින් තුළ ඇති නොනිමි ආශාව හා සසඳමින් පමණි.

බත්තලංගුණ්ඩුව කියවා මා ලද ආකාරයේ ම යම් ප්‍රමාණයක වින්දනයක් මම හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලරවාඩිය කියවා ලදිමි. ඒ වින්දනය ආගන්තුක චමත්කාරය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

විල්ලරවාඩිය නවකථාවේ කියවෙන්නේ ලංකාවේ වයඹ දිසාවේ ගමක වාසය කරන ප්‍රධාන වශයෙන් කතෝලික ආගමිකයින් පිරිසක ගේ එදිනෙදා ජීවිතය හැලහැප්පීම් සහිතව ගෙවී යන ආකාරයයි.

ඒ විස්තර මගින් මා වැන්නන්ට ආගන්තුක චමත්කාරය ලබා දෙනවාට අමතරව හෙන්රි වර්ණකුලසූරිය තම විල්ලර වාඩිය කෘතිය හරහා ලංකාවේ සමාජ දේශපාලන වාතාවරණය 1947 සිට 1967 දක්වා වෙනස් වූ හැටි පිළිබඳ ඔහුගේ කියවීම අපට විස්තර කරයි. එය මේ නවකතාවේ ඉතා වැදගත් අංගයක් වන්නේ, නැවතත්, ඒ විපර්යාසයන්ට මුහුණ දෙන ජන කොටසේ ඇති සුවිශේෂීත්වය නිසා ය.

අනියම් සබඳකම්, තහනම් ආදර කතා ඇතුළු විල්ලරවාඩියේ එන ශෘංගාරාත්මක සිදුවීම් ද, විශේෂයෙන් ම ඒවා විස්තර කර තිබෙන සරල ආකාරය ද මා සිත ගත්තේ ය.

නවකතාවක් ලෙසට විල්ලරවාඩියේ ඇති එක දුර්වලකමක් ලෙස විචාරකයින් විසින් පෙන්වා දී තිබුණේ එහි චරිත රාශියක් විස්තරාත්මකව දක්වා ඇතිමුත්, ඒ චරිත සෑහෙන සංඛ්‍යාවකින් කථාවේ ගලායාමට හෝ කථාවේ මූලික කොටස්වලට එතරම් බලපෑමක් නොමැති වීමයි. ඊට අමතරව, මේ චරිත සියල්ලේම ආගන්තුක වූ නම් කතාව කියවන අතර මතකයේ රඳවා ගැනීම ද අසීරු බව කියවිණි.

මේ චරිතවල නම් පිළිබඳ ප්‍රශ්නය නම් රුසියානු නවකථා කියවද්දී මට ද ඇති වන්නකි. එහිදී තත්වය වඩාත් දරුණු වෙන්නේ මුල් නම සහ මුලු නමට අමතරව, සුරතල් නම්වලිනුත් රුසියානු චරිත විවිධ තැන්වල දී හැඳින්වෙන නිසා ය.

චරිත වැඩිවීමද ප්‍රශ්නයක් මුත්, දැනටමත් හෙන්රි වර්ණකුලසූරිය විල්ලරවාඩියෙන් ඇරඹුවේ ඈදුතු නවකථා කිහිපයක් බවට සාධක පහළ වී ඇති නිසා, විල්ලරවාඩියේ එන සුලු චරිත පසු නවකථාවල දී ප්‍රධාන භූමිකා ගනු ඇතැයි සිතමි.

මා මේ ලිපියේ මුල් කොටසේ සඳහන් කළ ගමනක නවකථා මාලාවේ දී එහි කතෘ ගුණදාස අමරසේකර, ලංකාවේ මධ්‍යම පන්තියේ ඉතිහාසය අපට කියන්නේ ලංකා ඉතිහාසයට තම ප්‍රලාප හිතුමතේට ඔබ්බවා විකෘති කරමිනි. ඒ කතා මාලාවේ ඇතැම් නවකථා හුදෙක් වාර්තා පමණක් ම වේ.

විල්ලරවාඩිය නවකථාවෙන් ආවරණයවන කාල වකවානුව තුළ ලංකා දේශපාලනයේ සිදුවෙන දේ විස්තර කිරීමේ දී, හෙන්රි වර්ණකුලසූරිය, මට වැටහුණු පරිදි නම්, ගුණදාස අමරසේකර කර ඇති ආකාරයේ විකෘති කිරීම් සිදුකර නොමැති බව කිව යුතුය.

අප දන්නා ඉතිහාසය තුළ දිවයන විල්ලරවාඩියේ දෙවන කොටස වන දඬ කඳවුර අන්තර්ගතයේ ද ඒ සීලය රැකීමට හෙන්රි වර්ණකුලසූරියට හැකි වී තිබෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් පළවෙන ලිපියකි.

සාහිත්‍ය මාසය වෙනුවෙන් මේ දක්වා ලියවුණු අනෙකුත් ලිපි මේවා ය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!
6. ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!
7. ඕස්ට්‍රේලියානු සිංහල බ්ලොග්කරුවෝ - Sinhala bloggers domiciled in Australia

Friday, 18 September 2015

ස්වයං ඝාතක පොත් පිට කවර නිර්මාණය - You may judge these books by their covers...!!!


පොත්වලට පිට කවර දැමීම අප කුඩා කාලයේ ඉතා කැමැත්තෙන් සිදුකළ කර්තව්‍යයකි. මේ පිටකවර දැමීම සැමවිටම පාහේ කෙරුණේ පාඩම් පොත් යනුවෙන් හැඳින්වුණු පාසල් පෙළ පොත් සහ සටහන් සඳහා භාවිතා කළ ඇක්සයිස් පොත් වශයෙන් හැඳින්වුණු අභ්‍යාස පොත් සඳහා ය.

ඒ සඳහා අප උපයෝගී කර ගත්තේ බ්‍රව්න් පේපර්, බිස්කට් පැකට් කොළ, සඟරාවල වර්ණයෙන් මුද්‍රිත පිටු යනාදියයි. එසේම, ඒ කවර නිසි පරිදි සැකසීම සඳහා අපි ගම් හෙවත් මැලියම්, සෙලෝටේප් මෙන් ම, ස්ටේපල් කටු ද භාවිතා කළෙමු.

මා එලෙස ඇක්සයිස් පොත්වලට සහ පාඩම් පොත්වලට පිටකවර දැමුයේ කුඩා කාලයේ දී ය.

එසේ වුවත්, අපේ සමහරු ලොකු ළමයි වූ පසුව ද නවකථා, කෙටිකතා, කවි පොත් මෙන් ම අනෙකුත් විවිධ ග්‍රන්ථවලට ද මෙසේ පිටකවර දමා තිබෙනු මා දැක ඇත.

සාමාන්‍යයෙන් අඳුරු පැහැ කොළයක, ඉදිරි පස කළු පැහැයෙන් යුතු මෙලෝ රහක් නැති චිත්‍රයක් ද, පසු පැත්තේ චක්කරේ හෝ යාර-අඩි-අඟල් යනාදිය මෙට්‍රික් ක්‍රමයට පෙරළන වගු ද මුද්‍රණය කර තිබූ ඇක්සයිස් පොත් නම් පිට කවරයකින් වසා දැමීමේ යම් තේරුමක් තිබුණ ද, ඕෆ්සෙට් වෛවර්ණයෙන් මුද්‍රිත, අගනා සිතුවමින් සමන්විත වූ, බොහෝ විට තුනී ප්ලාස්ටික් ආලේපනයකින් ද සංරක්‍ෂණය වූ නවකථා කෙටිකතා කවි යනාදී මුද්‍රිත පොත්වලට මේ ආකාරයේ පිටකවර දැමීමෙන් සිදුවෙන්නේ ඒ මුද්‍රිත පිටකවරය එක්කෝ සම්පුර්ණයෙන් වැසී යාමයි, නැතිනම්, විනිවිද පෙනෙන ප්ලාස්ටික් කොළවලින් පිට කවර යොදන අවස්ථාවල දී, මුද්‍රිත පිටකවරයේ අලංකාරය මැකී යාමයි.

පොත් පිටකවර යනුවෙන් මා අද කතා කරන්නට අදහස් කරන්නේ එලෙස වැසී යන පොත් පිට කවර ගැන ය. ඇත්තම පොත් පිටකවර නම් ඒවා ය!

තරමක බරපතල පණ්ඩිත ගතියක් ඇති වචනයක් වූ කංචුකය ලෙසින් ද පොත් පිටකවර හැඳින්වේ.

පොත් ලියන්නෝ ලේඛකයෝ ය. ඒ පොත්වල මුද්‍රිත පිටපත් සාදන්නෝ මුද්‍රණකරුවෝ ය. ඒ සඳහා බරපැන දරන්නෝ පොත් ප්‍රකාශකයෝ ය. මීට අමතරව, පොත් බෙදාහරින්නෝ ද, පොත්හල් හිමියෝ ද, තවත් විවිධ වෘත්තිකයෝ ද, ලේඛකයා ගේ මනසේ බිහිවී අතින් නිමවෙන අකුරු පාඨකයා ගේ දෙනයන හරහා ඔවුන් ගේ මනස කරා ගෙන යාමේ සැපයුම් දාමයේ සිටිති. පොත් පිටකවර නිර්මාණකරුවෝ ඒ සැපයුම් දාමයේ වැදගත් කර්තව්‍යයක් කරන්නෝ වෙති.
අතුරු කරුණක් කිවහොත්, ලංකාවේ පොත් ප්‍රකාශන කර්මාන්තය, බටහිර රටවල මොඩලය හා සසඳන විට පෙනී යන වැදගත් කරුණක් නම්, ඒ සැපයුම් දාමයේ සිටිය යුතු සංස්කාරකවරුන් සහ සෝදුපත් කියවන්නන් ලංකාවේ බොහෝ විට නො සිටීමයි. එය පාඨකයාට මෙන්ම ලේඛකයාට ද අහිතකර ලෙස බලපාන්නකි.
ඉංගිරිසි බසින් පොත් ලියන්නෝ අත් අකුරෙන් අත් පිටපත් ලිවීම අත හැර දමා බොහෝ කල් ය. මේ වන මුලින් යතුරුලියනය භාවිතා කළ අය ද, පරිගණකයට මාරු වී ඇත.

එහෙත් පොත් නිමවා ඇති සිංහල ලේඛකයින් අතරින් තවමත් කොම්පියුටරයක සිංහලෙන් අකුරු සැකසිය හැක්කේ කිහිප දෙනෙකුට පමණක් යැයි මම සිතමි.

අකුරු වලින් වචන ලියූවද, වචන එකතු කර වාක්‍ය සෑදූවද, වාක්‍ය මගින් ඡේද, පරිඡේද, සර්ග සහ සම්පූර්ණයෙන් ම ග්‍රන්ථය සැකසූවද, පිටපත යතුරු ලියනය කෙරුවද, ලේඛකයෙකු තමන් ගේ කෘතිවල පිටකවරය සාදා ඇති අවස්ථා මා දැක ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. එයට හේතුව, චිත්‍ර, ඡායාරූප සහ ග්‍රැෆික් නිර්මාණකරණය යන්න ලේඛන කලාවෙන් බොහෝ දුරට පරිබාහිර වූ වෙනනම ලෝකයක් වීමයි.

පොතත් ලියා, එහි පිට කවරයත් සැකසූ ලේඛකයෙකු වශයෙන් මා දැන සිටියේ මහගම සේකර ගැන පමණි. අප කුඩා කාලයේ ඉතා හොඳ පොත් පිටකවර සැකසූ අයෙකු වූ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳවට රන් තරු" නම් නවකතාවේ පිටකවරය නිර්මාණය කර ඇත්තේ වෙනකෙකු බව දැක මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. මගේ පොත් එකතුවේ තමන් ගේ පොතකට තමන් ම කංචුකයක් නිර්මාණය කළ ලේඛකයෙකුට සිටියේ ඉසුරු ප්‍රසංග නම් කවියා පමණි.

ඉහත සියලු විස්තර ලියුවේ මූලිකව ම මා ලියූ පොත් දෙකේ පිටකවර ගැන සඳහනක් කරන්නටයි.

වසර දාසයේ සිටම විවිධාකාරයේ කවි, කෙටිකතා ලියූවද, ඒ නිර්මාණ ඇක්සයිස් පොත්වල ලියා මුද්‍රණද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් එළි දැක්වූ මට ඉන් සෑහෙන කාලයකට පසුව මුද්‍රණද්වාරයෙන් ද පොතක් එළි දක්වන්නට කැමැත්තක් ඇති විය.

ඒ කවි පොතකි. විවිධ සඟරාමය ප්‍රකාශනවල සිව් වැදෑරුම් නමින් පළ වූ, සිව් ආකාරයක කාව්‍ය නිර්මාණවලින් සමන්විත ඒ කාව්‍ය සංග්‍රහය මා එය නම් කළේ "සිව් සිත් කව්" යනුවෙනි.

ඒ 2008 නොවැම්බරයේ දී ය.

බොහෝ කාලයක සිට මුලින් මගේ අතින් ලියවුණු, පසුව මගේ අතින්ම පරිගණක ගතවුණු, එයිනුත් පසුව පොතක් ලෙස සෑදුණු ඒ කවි එකතුව සඳහා කංචුක නිර්මාණය ද මා ම කළ යුතු යැයි මට සිතුණි.

"සිව් සිත් කව්" යන නමට ගැලපෙනවා යැයි මට සිතුණු ඒ කංචුකය ලැප්ටොප් පරිගණකයයේ ඇති අති සරල පේන්ට් මෙවලම උපයෝගී කරගෙන මා නිර්මාණය කළේ සිනුවර සිට කොළොම්පුර බලා යද්දී සිංගප්පූරු ගුවන් තොටුපලේ විවේකාගාරයේ දී ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් සිත් කව්" ප්‍රකාශක ජනක ඉනිමංකඩ කිසිවක් නොකීවේ ය.

නමුත්, මගෙන් තැපැල් මගින් පොතේ පිටපතක් ලද, කවි, කෙටිකතා, විචාර සහ (පසුව) නවකථා යනාදී පොත් රැසක කතුවරයෙකු වන මා මිතුරෙකු ඊ-මේල් මගින් මට දන්වා සිටියේ ඒ කවරය මෙලෝ රහක් නැති බවත්, කවි පොතකට කිසිසේත් ම නොගැලපෙන එකක් බවත් ය.

මිතුරා ගේ කතාව ඇසූ මා, නැවත පොතක් මුද්‍රණය කළ හොත් වෘත්තීමය නිර්මාණ ශිල්පියෙකු ගේ සේවය ලබා ගැනීමට එදා සිතුවෙමි.

නමුත්, 2012 සැප්තැම්බරයේ දී මගේ "සිව් වසරක් මරදානේ" කෘතිය ඉතා හදිසියේ ප්‍රකාශ කිරීමට සිදුවුණු නිසා එවැනි වෘත්තීමය සේවයක් ලබා ගැනීමට මට කාලයක් නැති විය.

ලංකාවට පැමිණ දිනම නින්දෙන් ඇහැරී හවස් වරුවේ මරදානට ගොස් කැමරාවේ සටහන් කරගන්නා ලද ඡායාරූපයක් උපයෝගී කරගෙන එදින රාත්‍රියේ ම, මා ඒ පිටකවරය සැකසුවේ ද පරිගණකයේ ඇති පේන්ට් මෙවලම උපයෝගී කරගෙන ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව "සිව් වසරක් මරදානේ" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

එසේ නමුත් පොතේ කවරය දුටු කිහිප දෙනෙකුම මට කීවේ කවරය නම් මෙලෝ රහක් නැති බවයි!

ඉහත පොත් දෙකට අමතරව මා සම සංස්කරණයෙන් සම්මාදම් වූ "දකුණු කුරු දිව් කව්" නම් ඕස්ටේ‍ර්ලියාව පිළිබඳ සිංහල කාව්‍ය සංග්‍රහයේ කවරය ද මා සැකසූවේ පෙර සඳහන් කළ ආකාරයට ම ය.


මා නිමැවූ ඒ කවරය පිළිබඳව ද "දකුණු කුරු දිව් කව්" ප්‍රකාශක දයාවංශ ජයකොඩි කිසිවක් නොකීවේ ය.

තමන් ගේ සිතුවිලි තමන්ම යතුරු ලියනය කර, තමාම පොත් පිටපත සකසනවාට අමතරව, තමන් ම ඒ පොතේ පිටකවරය නිර්මාණය කිරීමෙන් ද ලබා ගත හැකි ආත්ම තෘප්තිය ඉතා ඉහළ බව මම දැන් අත්දැකීමෙන් ම දනිමි.

පොත් ප්‍රකාශනය කර්මාන්තයක් ලෙස සලකන කළ වැදගත් වෙන වෘත්තීමය පෙනුම, අලංකාරය, පාඨක සිත එක එල්ලේ ඇද බැඳ ගැනීම යනාදී කාරණා මා ලියා ප්‍රසිද්ධ කළ "සිව් සිත් කව්", "සිව් වසරක් මරදානේ" වැනි මූලිකවම ආත්ම තෘප්තිය පිණිස නිමැවූ කෘතිවලට එතරම් අදාළ නොවේ!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!
5. වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!

(image: http://lifeofafemalebibliophile.com/2013/11/11/dont-judge-a-book-by-its-cover/)

Monday, 14 September 2015

වෙන්ඩ බ්ලොග්කරුවෙකු විසින් හස්තද්වාරයෙන් පළ කළ පොත් - Sweet eighteen....!!!


මිනිසුන් ලෙස අප කළ යුතු වැදගත්ම කාර්යයන් ත්‍රිත්වය වනුයේ පොතක් ලිවීම, පුතෙක් සැදීම සහ ගසක් හිටුවීම ය යන පඬිවදන ගැන හාංකවිසියක්වත් නො දැන වුව ද, මා අටවන ශ්‍රේණියේ දී ම පොතක් ලියූ වග මින් පෙර ලිපියක ලියූවෙමි.

ඒ පොත මා එදා ප්‍රකාශයට පත් කළෙමි. නමුත් ඒ මුද්‍රණද්වාරයෙන් නම් නොවේ, හස්තද්වාරයෙනි. එය ද එක පිටපතක් පමණි.

එනම්, මා එදා කළේ පොතේ අත්පිටපත නොහොත් මැනුස්ක්‍රිප්ට් එක සෑදීමයි. ඒ සඳහා උපයෝගී කර ගැනුණේ කොටුරූල් අභ්‍යාස පොතක පිටු කිහිපයකි. ඒවා දෙකට නවා, මැදින් නූල් පොටකින් හොඳින් බැඳ මෙකී අත්පිටපත සෑදුවෙමි.

එය මගේ දෙමව්පියන්ට අමතරව දුටුවේ, පවුලේ ඥාතීන් එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් යැයි සිතමි.

ඒ පොත සෑදීමෙන් සිතට ලැබුණු සතුට ටිකෙන් ටික වියැකී ගියේ ය. තවත් පොතක් ලිවීමේ අදහසක් මට ඇති නොවිණි. ඒ කෙසේ වෙතත්, පොතකට ඇතුළත් කරන්නට මා අතින් අලුතෙන් කවි හෝ කෙටිකතා ලියවුණේ ද නැත!

මේ තත්වයේ යම්කිසි වෙනසක් ඇති වුණේ, වයස දාසයි මාසයේ දී ය.

හරියටම ඒ මාසයේ දී මම මගේ ප්‍රථම පෙම් කවිය ලියූවෙමි. ඒ සමවයසේ යුවතියක ගැන ය. මගේ ඒ මුල් පෙම් කවියේ වස්තු බීජය අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන්නේ යැයි අනුමාන කරමි.

එතැනින් මගේ සිතේ ඇරඹුණු කවි උන්මාදය, හදවතේ උපන් ප්‍රේම උන්මාදය ද සමග ඔඩු දුවා ගොස්, උසස් පෙළ විභාගයට සූදානම් වෙන කාලය වෙන විට දවසකට පෙම් කවි මෙන් ම සෙම් කවි ද තුන හතරක් වෙන තරමට බලවත් පිළිලයක් සේ මගේ ජීවිතය වසා ගත්තේ ය.

උසස් පෙළ විභාගයෙන් පසු මා කළේ ඒ කවි එකතු කර හස්තද්වාරයෙන් එළිදැක්වීමයි, එනම්, අත් පිටපත් තැනීමයි.

ඒ අතර මම කෙටිකතා ලියන්නට ද පටන් ගත්තෙමි. පිටු අසූවේ අභ්‍යාස පොතක් පිරෙන්නට කෙටිකතා හත අටක් ලියවුණු පසු ඒවා කෙටිකතා සංග්‍රහයක් ලෙස සැකසී හස්තද්වාරයෙන් දොරට වඩම්මන ලදී.

අටේ පන්තියේ දී මා සැකසූ පොතේ අඩංගු නිර්මාණ වර්ග අතරින් මා නැවත නොකළේ මොට්ටපාල කාටූන් ඇඳීම පමණි.

ඒ වෙනුවට මා කළේ, මා ලියන පෙම් කවිවල වස්තු බීජ හමුවේ මොට්ටපාල චරිතය රඟපෑමයි!

මේ ආකාරයට, මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පා නගන දින වෙන විට, මා හස්තද්වාරයෙන් කවි පොත් තුනක් ද, ගී පදමාලා එකතුවක් ද, කෙටිකතා සංග්‍රහ දෙකක් ද පළ කර තිබුණි.

එපමණක් නොව මම කෙටි නවකතාවක් ද ලියූවෙමි. එය අද භාෂාවෙන් මල් කතාවක් ලෙස වර්ගීකරණය කළ හැකි එකකි!

මෙන්න ඒ හස්තද්වාරයෙන් දොරට වැඩි පොත් ලයිස්තුව
  1. සිහින සිතුවිලි (පද්‍ය)
  2. පියෙකු ගේ කතාවක් (කෙටිකතා)
  3. සය දිනක සටහන් (පද්‍ය)
  4. ගී පදමාලා 25 ක්
  5. ගමන (කෙටිකතා)
  6. වාසනා සහ සැබෑ වුණු සිහිනය (පද්‍ය)
  7. රනුක-නිසංසලා සමනල වර්ණ (නවකථාව)
අද මගේ දරුවෙකු මේ අයුරින් කටයුතු කළහොත් මට ඉතා විශාල සතුටක් දැනෙනු ඇත. එදා මගේ දෙමව්පියන් ද එසේ සතුටුවෙන්නට ඇත.

නමුත් අවංකවම කිවහොත් මේ කටයුතුවල මට ඒ දිනවල එතරම් වැදගත්කමක් හැඟුණේ නැත. ඉහත හස්තද්වාරයෙන් ප්‍රකාශිත ග්‍රන්ථ ලයිස්තුවෙන් පොත් දෙකක් ම අද මා සතුව නැත්තේ ද ඒ නිසා ය.

අද නම්, මා එදා අවුරුදු දහ අටක කොලු ගැටයෙකු ලෙස කළ කී දේ ගැන මට තරමක හෝ ආඩම්බරයක් ඇති වේ.

මේ සටහන මා ලියූුවේ ඒ නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ 2015 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් ලියවුණු තවත් ලිපියකි.

මීට පෙර ලියූ ලිපි මෙසේය.
1. කුරුලු හදවතේ හිලක් - Hole in the heart
2. කතෘ අත්සන් කළ පොත් ඔබ ළඟ තිබේද? - Autographed books
3. අහවල් පොත ලිවීම සහ පොත පෙරළීම පිළිිබඳ මගේ කතාව - Such is Life
4. අටේ පන්තියේ ළමයා ලියූ පොත් පිංච - Write a book, make a child and plant a tree!