Showing posts with label නවසීලන්තය. Show all posts
Showing posts with label නවසීලන්තය. Show all posts

Tuesday, 28 April 2015

යුද්ධය උත්කර්ෂයට නැංවීම අවැඩකි - Don't glorify evil war


පළමුවෙනි ලෝක යුද්ධයේ දී, එවකට මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සංධානය වෙනුවෙන් යුද වැදුණු ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා බල ඇණි, තුර්කියේ ගැලිපොලි නම් ස්ථානයට කඩා වැදීම සිහිපත් කරන ඇන්සැක් දිනය (ANZAC Day) නම් වූ සැමරුම අප්‍රියෙල් 25 දා ඕස්ට්‍රේලියාව පුරා නගරවලදී ද, තුර්කියේ පිහිටි ඒ ඓතිහාසික යුද බිමේදී ද පැවැත්වුණා. මේ ඇන්සැක් දිනය ඕස්ට්‍රේලියාවේ නිවාඩු දිනයක්. මෙවර පැවති මේ උත්සව මාලාව වැදගත් එකක් වූයේ, මේ වසරේ දී, ගැලිපොලි සටනට හරියටම වසර සීයක් පිරීම නිසායි.

ඒ ගැලිපොලි ආක්‍රමණයේ අරමුණ වී ඇත්තේ කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගෙන, ජර්මනිය හා පැවතුණු යුද්ධයට තවත් ප්‍රහාරක මාර්ගයක් විවර කරගැනීමයි.

නමුත්, මාස අටක් පුරා පැවති යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පිලේ බල ඇණි පසු බැස තියෙන්නේ දෙපිරිසෙන් ම ලක්‍ෂයකට වඩා මිනිස් ජීවිතවල විනාශයත් සමගයි.

බ්‍රිතාන්‍ය කොලනි කිහිපයක් ලෙස වෙනම ආණ්ඩු කෙරුණු වත්මන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත එකතු කරමින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය බිහිවී ඇත්තේ වසර 1901 දී යි. ඒකීය රාජ්‍යයක් ලෙසින් ඕස්ට්‍රේලියාව මුලින්ම සහභාගී වූ ප්‍රධානතම යුද මෙහෙයුම ලෙසින් සැලකෙන මේ ගැලිපොලි සටන නිසා එක් රටක් ලෙස ජාතිමාමතව්‍යයත්, අසල්වැසි නවසීලන්තය සමග එක පෙරමුණක යුධ වැදීම නිසා දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධයකුත්, ඇති වුණු බව සාමාන්‍ය පිළිගැනීමයි.

ඉන් පසු ඕස්ට්‍රේලියාව රටක් හැටියට, දෙවන ලෝක යුද්ධයට සහභාගී වුණා. ඒ බ්‍රිතාන්‍යයේ මූලිකත්වය තිබූ මිත්‍ර පාර්ශවයෙන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර යුද කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වී තියෙනවා. ඕස්ට්‍රේලියාවට එවැනි ගිවිසුමක් වැදගත් වුනේ ජපානය වැනි රකට ආක්‍රමණයක් හමුවේ සහාය ලබා ගැනීම සඳහායි.

නමුත් මේ දක්වා ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවුණු කොරියන් යුද්ධය, වියට්නාම් යුද්ධය, ගල්ෆ් යුද්ධය, ඉරාක යුද්ධය, ඇෆ්ගනිස්ථාන් යුද්ධය වැනි ඇමරිකාව මූලිකත්වය ගත් යුද මෙහෙයුම්වලට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට සිදුවීමයි.

වියට්නාම් යුද්ධයේ දී, එයට විරුද්ධව රටතුළ ඇති වුණු විරෝධය නිසා යුද්ධය සැමරීම කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ ඉහළින් සිදු කෙරුණු දෙයක් වී නෑ. නමුත් පසුකාලීනව සිදුවුණු ඉරාක යුද්ධය වැනි දේශපාලනික කරුණු මත සිදුවුණු යුද මැදිහත්වීම් නිසා, ඒ ගැන ඇතිවෙන විරෝධය එක් ආකාරයකට යටපත් කරන්නට දෝ, යුද කටයුතු සැමරීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩු මගින් කෙමෙන් කෙමෙන් වැඩිවෙන අවධානයක් යොමු කර ඇති බවයි පෙනෙන්නට තියෙන්නේ.

පළමු ලෝක යුද්ධයේ ගැලිපොලි සටනට වසර සියයක් සැමරුණු මේ වසරේ එලෙස යුද්ධය උත්කර්ෂයට නැංවීම උපරිමව කෙරුණු බව හොඳින් පෙනුණා.

මෙහි සෘණාත්මක කූටප්‍රාප්තිය වුණේ, තම ට්විටර් ගිණුම හරහා යුද්ධයට සහ "සෝ-කෝල්ඩ්" රණ විරුවන්ට දැඩි ලෙස සරදම් කෙරුණු සටහන් කිහිපයක් තමන්ගේ 30,000 ක පරිජනයාට බෙදා හැරි රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු සේවයෙන් පහ කිරීමයි.

ඒ නාලිකාව රජයෙන් යම්කිසි ප්‍රමාණයක වාර්ෂික ආධාර ලබන, නමුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් මුදල් උපයන, ස්වාධීනව පවත්වාගෙන යන ආයතනයක්. එසේ වෙතත්, ඒ ට්විටර් පණිවිඩ ගැන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සන්නිවේදන ඇමති, අදාළ බලධාරීන්ට පැමිණිලි කළ බවත්, සේවයෙන් පහ කිරීම සිදුවුණේ ඉන් පසුව බවත් කියායි කියවෙන්නේ.

මෙය හොඳ පෙරනිමිත්තක් නොවන බවයි අද මේ ගැන පැවති වෙනත් නාලිකාවක සාකච්ඡාවක දී කතා කළ කිහිප දෙනෙකුම පැවසූයේ. මගේ අදහසත් එසේමයි.

යුද්ධය යනු උත්කර්ෂයට නැංවිය යුතු දෙයක් නොවේ. රටක් යුද වැදිය යුත්තේ, එය නොකර සිටීම කළ නොහැකි ම නම් පමණයි.

-රසිකොලොජිස්ට්

ඕස්ට්‍රේලියාවේ එස්බීඑස් සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී ස්කොට් මැකින්ටයර් ගේ සේවය අහිමි කළ ඒ ට්විටර් පණිවිඩ මෙසේය.

1. The cultification of an imperialist invasion of a foreign nation that Australia had no quarrel with is against all ideals of modern society (ඕස්ටේ‍ර්ලියාව සමග කිසිදු ආරවුලක් නොතිබුණු විදේශික රටක් අධිරාජ්‍යවාදීන් ලෙස ආක්‍රමණය කිරීමේ ක්‍රියාව වන්දනාමාන කිරීම නූතන සමාජයේ ඇති සියලුම පරමාදර්ශයන්ට එරෙහිව යන්නකි!)

2. Wonder if the poorly-read, largely white, nationalist drinkers and gamblers pause today to consider the horror that all mankind suffered (පොතක් පත්තරයක් කියවා නැති, මුළුමනින්ම වාගේ සුදු හම ඇති, ජාතිකවාදී බේබද්දන් සහ සූදු අන්තුවන් පිරිස අද සමස්ත මිනිස් ප්‍රජාවටම මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීම ගැන අද එක මොහොතක් හෝ නැවතී සිතා බලාවිද?)

3. Remembering the summary execution, widespread rape and theft committed by these "brave" Anzacs in Egypt, Palestine and Japan (මේ අභීත ඇන්සැක් ලා ඊජිප්තුවේ දී, පලස්තීනයේ දී සහ ජපානයේ දී සිදු කළ නඩු නැති දිවි තොර කිරීම්, සැමතැනපතල ස්ත්‍රී දූෂණ සහ සොරකම් සිහිකරමු!)

4. Not forgetting that the largest single-day terrorist attacks in history were committed by this nation & their allies in Hiroshima & Nagasaki. (එක් දිනක් තුළ සිදුවුණු ඉතිහාසයේ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාර සිදු කරන ලද්දේ මේ රට සහ ඔවුන්ගේ මිත්‍රපක්‍ෂ විසින් හිරෝෂිමාවේ දී සහ නාගසාකි හි දී බව අමතක නොකරමු!)

5. Innocent children, on the way to school, murdered. Their shadows seared into the concrete of Hiroshima (පාසල් යමින් සිටි කුඩා දරුවන් මරා දමන ලදී. ඔවුන් ගේ සෙවනැලි හිරෝෂිමාවේ කොන්ක්‍රීට් තුලට කා වැදී ගියේය.) https://pbs.twimg.com/media/CDa-S6MUEAESLXV.jpg


(image: http://www.peace-calendar.org/)

Friday, 30 January 2015

ආනන්දය, "කළු හංසයා" දුටුවෙහි ද? එසේය ස්වාමීනී! - Warning, warning, beware of "Black Swans"!


ලෝකයේ සර්වජන ඡන්දබලය පාවිච්චි කර රට ආණ්ඩු කරන්නට ජනතා නියෝජිතයින් තේරූ රටවල් අතරින් ලංකාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ඡන්දය දීම ඇරඹී ඇත්තේ ලංකාව එංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සමයේ දී, වර්ෂ 1931 දී ය.

ඒ කාලයේ රටේ ජනතාව ගේ සාක්‍ෂරතාවය, එසේ නැති නම් අකුරු කියවා වටහා ගැනීමේ හැකියාව, අඩු වූ නිසා එක් එක් ඡන්ද අපේක්‍ෂකයින් සඳහා වෙනස් වර්ණයෙන් යුතු ඡන්ද පෙට්ටි භාවිතා වී ඇත. ඡන්දදායකයින් කළ යුතුව තිබුණේ තමන් ගේ ඡන්ද පත්‍රිකාව තමන් කැමති අපේක්‍ෂකයා ගේ වර්ණය සහිත ඡන්ද පෙට්ටියට දැමීමයි.

මේ ඡන්දයේ දී සිල් පාට (එනම් සුදු) හෝ සිවුරු පාට (එනම් කහ) වර්ණය සහිත අපේක්‍ෂකයින් ඒ වර්ණවලට ආකර්ශණීය අරුත් සපයමින් බෙෘද්ධ ඡන්දදායකයින් ගේ ඡන්දය ඉල්ලා සිටියේ යැයි පැවසේ.

පසු කලෙක රටටම සාපයක් වූ, කූප්‍රකට කුරහන් වර්ණය ගැන ඇත්තේ ද (1936) මෙ වැනිම වූ කතන්දරයකි.

ඡන්ද අපේක්‍ෂකයින් සඳහා විවිධ සලකුණු භාවිතා කරන්ට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය. එයට හේතුව ද අපේ කලින් පරම්පරාවල තිබුණු සාක්‍ෂරතාවයේ අඩුපාඩුය.

පසුව දේශපාලන පක්‍ෂ ලංකාවේ බිහි වීමත් සමගම, ඒ ඒ පක්‍ෂ සඳහා ඡන්ද සලකුණු ලියාපදිංචියේ දී ම වෙන් කරන්නට යෙදුණි. යූඇම්පීයට අලියා ලකුණත්, සිරිලංකා එකට අත ලකුණත් සින්නවී ඇත්තේ ඒ ආකාරයටයි.

මීට අමතරව, ප්‍රධාන පක්‍ෂ දෙක විසින් අප දන්නා පරිදි කොළ පැහැය සහ නිල් පැහැය තමන්ම අයිති කරගෙන ඇත.

මෙහිදී විහිළුවට කාරණයක් වන්නේ, අද අඩ සියවසකට පසුව ලංකාවේ සාක්‍ෂරතාවය ඉතා ඉහළට නැග ඇති සමයක දී ද තවමත් අර සලකුණු සහ වර්ණ ඡන්දය හා අදාළ කටයුතු සඳහා භාවිතා වීමයි.

එපමණක් නොව, ප්‍රතිපත්තිමය කරුණු ගැන කෙරෙන සාකච්ඡාවලට වෙන් විය යුතු, ඡන්දය හා සම්බන්ධ කතා බහෙන් සෑහෙන කොටසක් වැයවන්නේ මේ විවිධ වර්ණ සහ සංකේත ගැන පල් හෑලි සඳහා ය.

උදාහරණයක් දැක්වුවහොත්, පසුගිය ජනාධිපති ඡන්දයේ දී යූඇම්පී පාක්‍ෂිකයින් ට අලියා ලකුණ සහ කොළ පාට අහිමි වී ඇතැයි වඩාත් දුක් වුණේ සිරිලංකා පාක්‍ෂිකයින් ය. නමුත් පුටුව හෝ බුලත් කොළය මිස, සිරිලංකා එකට හිමි අත ලකුණ වසර විසි පහකින් මෙහා භාවිතා වී නැති බව ඔවුන්ට අමතක වී තිබුණි.

පක්‍ෂ සලකුණු නිසාම ගොඩ නැගෙන මේ ආකාරයේ තවත් කතන්දර බොහෝ ඇත.

රනිල් වික්‍රමසිංහව කාටූන්කාරයින් අඳින්නේ හෙණ්ඩුවක් සහිතවය. ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගීත, විකට කතා මෙන්ම අපහාස, උපහාස ද ඇසේ. හංසයින් ගේ ශ්වේත වර්ණය නිර්මලත්වයේ සංකේතයක් ලෙස ද, හංසයා කිරි, දියෙන් වෙන්කර බොන්නට ඇති යැයි කියන ජනප්‍රවාදිත හැකියාව ඉහළ කොලිටියක් ලෙස ද, දේශපාලනික අරුත් දැක්වීම් කෙරෙනු මා අසා ඇත.

ජනාධිපති ඡන්ද උණුසුම ඉහළට නැග තිබුණු 2009 දෙසැම්බරයේ මා ලංකාවේ ගත කළ කාලයේ, අපේ එක් නෑදෑ නිවෙසක දී මහින්ද රාජපක්‍ෂ ගේ යම් යම් ක්‍රියා පිළිබඳව මා දෝෂාරෝපණය කරනු අසා සිටි අපේ ඥාතියෙක් "ආ! රසික පුතා හංසයෙක් වගේ?" යැයි පැවසීය.

මෙලෙස මා හංසයෙකුට සමාන කරන්නේ ඇයි දැයි මට වැටහුණේ සාමාන්‍ය තරමේ ටියුබ් ලයිට් ප්‍රමාදයකින් පසුවයි.

"අපොයි, හමුදා පාලනයක් වෙනුවෙන් නොවෙයි මං කතා කරන්නේ!" කියා මම වහා පැවසූ විට, මගේ ඥාතියා නැවතත් සලකුණුවලින් කතා කරමින් ඇසුවේ, "එහෙනං ඇයි ඔහේ බුලත් කොලේට විරුද්ධව කතා කරන්නේ?" කියායි.

ඔය පරණ කතා මට සිහිවූයේ පසුගිය දිනවල නවසීලන්තයේ දී දුටු එක්තරා සත්වයෙක් නිසා ය.


මේ කළු හංසයෙකි.

නිකං කළු හංසයෙක් නොව "කළුම කළු, කට්ට කළු, ලිපේ තියෙන දැලි අඟුරු, අහසේ පාවෙන කළු වලාකුළු" මෙන් කළු හංසයෙකි.

මේ ආකරයේ කළු හංසයින් නවසීලන්තයේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ ද සිටිති. ඕස්ට්‍රේලියාවේ ඔවුන් වැඩියෙන්ම ඇති ප්‍රදේශය නම් බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර අසලින් ගලා බසින ස්වෝන් ගංගාධාරයයි. පර්ත් වාසී සිංහල කවියෙකුවන සුනිල් ගෝවින්නගේ ගේ කවිවල මේ කළු හංසයන් නිබඳව සරති!

දැන් අර හංසයින් යනු ශ්වේත හංසයින් පමණක් ය කියා හිතමින් ඡන්ද සමයේ හංසයින් ගැන කවි, ගී, කතා ගෙතු, කාටූන් ඇඳි අය, මේ කළු හංසයින් කෙලෙස අර්ථ නිරූපණය කරයිද?

ලංකාවේ ද කළු හංසයින් දුටුවොත් පුදුම නොවෙනු මැනවි!

-රසිකොලොජිස්ට්

(image: http://www.divaina.com/2015/01/13/news26.html)