Showing posts with label බියර්. Show all posts
Showing posts with label බියර්. Show all posts

Tuesday, 14 June 2016

ඕස්ට්‍රේලියාවේ දී බියර් බීපු හැටි - All about amber fluid


අරක්කු සමග එකට බිව් දවසේ මිස, වෙනත් කිසි දිනයක මා බියර් බී මත් වී නැත්තේ, නුවරඑළියේ සිටි ජර්මන් බොස් මෙන් බියර් කේස් පිටින් නිවසට ගෙනැවිත් නොබී, ජපන් තේ බීමක් මෙන් සැදී පැහැදී චාරිත්‍රානුකූලව පමණක් බිව් නිසා යැයි සිතමි.

පෙර සූදානම්, හිස් බෝතල්, ඩිපොසිට්, බයිට් ආදී කිසිවක් නොමැතිව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බියර් බොන ආකාරය නේබර්ස් නම් ටෙලි නාට්‍යයෙන් දැක මා සතුටු වුණේ කෙදිනක හෝ ඒ අත්දැකීම ද ලැබීමට හැකි නිසා ය.

බියර් යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම පානය යැයි කිවහොත් වරදක් නැත. මෙරට ඒක පුද්ගල බියර් පරිභෝජනය වසරකට ලීටර් 75 පමණ වේ. ලංකාවේ එකී අගය ලීටර් දෙකක් පමණි.

මේ මගේ විසි වසරක ඕස්ට්‍රේලියානු බියර් අත්දැකීම්වලින් කිහිපයකි.

මා ඕස්ට්‍රේලියාවට පැමිණියේ අප්‍රියෙල් මස මැද හරියේ, මෙල්බර්න් නුවර සීතල හේමන්ත රාත්‍රියක් ගෙවමින් සිටියදී ය. පසුදින උදයේ මා නතර වී සිට ප්‍රේම් සහ නයනා ගේ නිවසෙන් උඩුකයට කමිසයක් පමණක් ඇඳ එළියට බට මම සීතලෙන් වේව්ලා ගියෙමි. ඒ උදේ වරුවේ ය. රාත්‍රිය ඊටත් වඩා සීතල විය.

එදින රාත්‍රියේ මා බිව් බියර්වලින් ලංකාවේ දී ලද ආකාරයේ වින්දනයක් නොලැබූ බව කිව යුතුය.

එයට ප්‍රධාන හේතුව වූයේ අප මේ සීතල බියර් බොන්නේ සීතල පරිසරයක දී වීම යැයි සිතමි. ඊට අමතරව, ලංකාවේදී මෙන් කල් යල් බලා, පෙර සැලසුම් කිරීමක් නොමැති වීම නිසා ද, බියර් බීම තේ කෝප්පයක් බීමට වඩා වෙනස් වුණේ සුළු වශයෙනි.

ලංකාවේ දී, උසැති, දුඹුරු පැහැති මිලිලීටර් 650 පමණ බියර් බෝතල් දැක පුරුදුව තිබුණු මට ඕස්ට්‍රේලියාවේ දී දක්නට ලැබුණේ, මිලි ලීටර් තුන්සිය හැත්තෑ පහේ බාග බෝතල් හෝ කෑන් ය. මේවා හය බැගින් අසුරා ඒ සික්ස්-පැක් හතරක් එකට කේස් එකක් ලෙස සාදා ඒවා හෝ විකිණීමට තබා තිබුණි. එවැනි (වික්ටෝරියන් බිටර්) බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක නියමිත විකුණුම් මිල ඩොලර් තිහක් පමණ විය. (කෑන්වල මිල තරමක් අඩු ය) මෙය, ලංකාවේ එකල බියර් මිල මෙන් දෙගුණයක් පමණ මුදලකි. මේ ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 35 ක් වූ 1995 වසරයි.

අද වසර විසි එකකට පසුව ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 105 (35*3) ක වන අතර පෙර කී වර්ගයේ බියර් බාග බෝතල් (මිලි ලීටර් 375) විසිහතරක පෙට්ටියක නියමිත මිල ඩොලර් 50 ක් බව ඊයේ ලිකර්ලෑන්ඩ් නම් කඩේ දී මම සටහන් කර ගත්තෙමි. කෑන් මිලදී ගන්නේ නම්, තිහකින් යුතු පෙට්ටියක් ඩොලර් 56 කි.

බියර් බාග බෝතල් (හෝ ඒ පරිමාවේ ම කෑන්) විසිහතරක පෙට්ටියක් මිලට ගැනීම, නිතර බියර් බොන්නෙකුට, සෑම විටම වාසිදායක වේ. මේ ලිපියට දත්ත සොයා ගැනීම සඳහා මා ඊයේ කළ නිරීක්‍ෂණ චාරිකාවේ දී දුටු මිල දර්ශනය අනුව, වික්ටෝරියානු බිටර් නම් බියර් වර්ගයේ බාග බෝතලයක මිල ඩොලර් 3.80 කි. හයේ පැක් එකක් ඩොලර් 17 කි. විසි හතරක පෙට්ටියක අද මිල ඩොලර් 50 ක් නමුත්, ඔබ කේස් දෙකක් ගන්නේ නම් ගෙවන්නට වෙන්නේ ඩොලර් 92 ක් පමණි. එනම්, බාගේ බෝතලයක් වෙන්නේ ඩොලර් 1.91 ක් පමණි.

බියර් බොන්නන් නිවෙස්වලට වඩාත් ම රැගෙන යන්නේ මේ මා සඳහන් කළ බාගේ බෝතල් පෙට්ටි වුව ද, පුර්ණ ප්‍රමාණයේ මිලිලීටර් 750 බියර් බෝතල් ද විකිණීමට ඇත. ඉන් එකක් ඩොලර් හයක් වන අතර බෝතල තුනක් සඳහා අද මිල ඩොලර් 16.50 කි.

පෙට්‍රල් ද ඇතුළුව, අන් සෑම පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම බියර්වලට ද නියමිත උපරිම මිලක් මිස අවම මිලක් නැත. විවිධ කඩකාරයෝ විවිධ කාලවලදී විවිධ බියර් වර්ගවලට විවිධාකාරයේ වට්ටම් ලබා දෙති. එනම්, ලබන සතියේ මේ කඩයට ගොස් මා සඳහන් කර ඇති මිලට වික්ටෝරියානු බිටර් බියර් වර්ගය ගැනීමට නොහැකි වෙනු ඇත.

බියර් වර්ග තුන හතරක් පමණක් විකිණීමට තිබුණු එකල ලංකාවේ සිට මෙරටට පැමිණි මා දුටු අනිත් වෙනස වූයේ ඕස්ට්‍රේලියාවේ විවිධ සමාගම්වලින් මෙන් ම, කුඩා කර්මාන්ත ලෙස ද නිපදවෙන බියර් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙන බවයි. ඊට අමතරව, ලෝකයේ සෑම රටකින් ම පාහේ ආනයනය කෙරෙන බියර් වර්ග ද මෙහි මිලට ගැනීමට ඇත. අද මා ගොඩ වැදුණු කඩයේ ඉතාලියේ පෙරෝනි, මැක්සිකෝවේ කොරෝනා සහ තවත් වර්ග රාශියක් තිබුණි.

කොරෝනා ප්‍රිය කරන්නන් සඳහා සටහන් කරනවා නම්, බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් 57 කට ද, පෙට්ටි දෙකක් ඩොලර් 88 කට ද ඊයේ විකිණීමට තිබුණි.

දෙසතියකින් ආපසු ලංකාවට යන්නට සැලසුම් කර සිටි මුත්, මා කලින් කියා ඇති කරුණක් නිසා, මට මෙල්බර්න් නගරයේ සති හයක් පමණ නතරවන්නට සිදුවුණි. ඒ ඉතිරි කාලය මා ගත කළේ වෙනත් දෙදෙනෙකු සමග කාමර තුනක නිවසක් බෙදා හදා ගෙන, එකට උයාගෙන කමිනි.

ඒ කාලයේ එක් සිකුරාදා දවසක, මම නිවසට ගියේ බියර් භාගේ බෝතල් හයක මිටියක් (සික්ස්-පැක්) රැගෙනයි. මට මතක ආකාරයට එය ටූහීස් රෙඩ් නම් වූ වර්ගයක් විය.
සීතලේම සිටිමින් සීතලේ ම ඒ බියර් පානය කරද්දී මට දැනුණේ ඉතා කටුක තිත්තකි. කෙසේ නමුත්, මම ඒ සුලු කාරණාවලින් අධෛර්යමත් නොවී, බාගේ බෝතල් තුනකටම වග කිව්වෙමි. කටේ තිත්ත රස පමණක් නොව පසුවදා වන විට තරමක හිසරදයක් ද මට හිමි වී තිබුණි. ඒ රතු පැහැති ලේබල් දෙස මා ඉන් පසු දෙවරක් බලා නැත!

එකල අප වැන්නන් අතර ජනප්‍රියම බියර් වර්ගය වූයේ වික්ටෝරියා බිටර් ය. සෑහෙන්න පසු කාලයක ක්‍රව්න් ලාගර් නමැති ලංකාවේ ඒ දිනවල තිබුණු පිල්ස්නර් හැඩ රුවැති සහ රසැති වර්ගයට මාරු වීමි. හයිනකන් ද නරකම නැත.

ඕස්ට්‍රේලියාවේ ගත කළ මුල් කාලයේ දිනක් මා, වූල්වර්ත්/සේෆ්වේ කඩයක් අසලින් යන විට දුටුවේ බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් දාසයකට මිලට ගත හැකි බවයි. එහි වර්ගය ටූහීස් හෝ ෆොස්ටර්ස් විය. මම වහාම එයින් පෙට්ටියක් මිලට ගත්තෙමි.

සති අන්තයේ මිතුරෙකු ද සමග ඒ බියර් රස විඳින්නට ගිය විට දැනුණේ තරමක තනුක ගතියකි. මේ උඹ ගෙනැවිත් තියෙන්නේ ලයිට් බියර් ජාතියක් නේ යැයි, එදා ප්‍රේම් මට පහදා දුන්නේ ය. මද්‍යසාර ප්‍රමාණයෙන් අඩක් පමණ අඩු වූ ලයිට් බියර් වර්ග ද ඇති බව මා දැන ගත්තේ එදා ය. ගෙනා පෙට්ටිය අමාරුවෙන් ඉවර කරගත් පසු, ඒ ඇල්වතුර බියර් වර්ග දෙස නැවත ඇස් ඇර බැලුවේ මා නොවේ!

තවත් දිනයක, කඩයක් අසලින් යන මා දුටුවේ අප ප්‍ර්‍රිය කළ වික්ටෝරියන් බිටර් බියර් වර්ගයේ බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් විස්සකට විකිණීමට ඇති බවයි. මෙහි සාමාන්‍ය මිල ඩොලර් තිහක් වූ අතර, මසකට පමණ වරක් වට්ටම් සහිතව විකුණුනේ ද ඩොලර් විසි පහකට ය. මම වහාම පෙට්ටියක් මිලට ගත්තේ, ඒ සතියේ අප පවුල් කිහිපයක් එකතුව දින කිහිපයක චාරිකාවක් සැලසුම් කර තිබුණු බැවිනි.

මේසය වටේ හිඳගෙන බෝතල් අතට ගත් සැනින්ම මිතුරන් පැවසුවේ, මා මිලට ගෙන ඇත්තේ බියර් බාගේ බෝතල් නොව, ග්‍රෙනේඩ් නම් සුරතල් නමින් හැඳින්වෙන මිලි ලීටර් 250 ප්‍රමාණයේ කුඩා බෝතල් වර්ගයක් බවයි!

මගේ බියර් අත්දැකීම් තවත් බොහෝ තිබේ.

එසේ වුව ද, පිටකොටුව වෙළඳ පොළේ තොග මිල දර්ශකය වුවද, ටිකක් වේලා අසාගෙන සිටින විට එපා වෙන බව මම හොඳින් දන්නා නිසා මෙතැනින් නවතිමි.

අවසාන වශයෙන් කිව යුත්තේ, මා දැන් බියර් බොන්නේ ඉතාම කලාතුරකින් පමණක් බවයි. සමස්ත ඕස්ට්‍රේලියාවේ බියර් බීම ද ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කියවේ!

එසේ වෙතත්, මේ ලිපිය සඳහා දත්ත සොයා ගැනීමට ලිකර්ලෑන්ඩ් කඩයේ රස්තියාදු වීමට අමතරව ඡායාරූපයක් ද අවශ්‍ය නිසා, සවස් වරුවේ යමක් කිරීමට සිදුවිය. සිංහල බ්ලොග් කලාව සඳහා මගේ කැපවීම කෙතරම් ද යන්න එයින් මොනවට ඔප්පු වේ.

-රසිකොලොජිස්ට්

Thursday, 9 June 2016

ලංකාවේ බියර් බීම සහ ඕස්ට්‍රේලියාවේ බියර් බීම - Its all in water


මා මුලින් ම බියර් බිව් ආකාරය ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි. මුලින් ම අරක්කු බිව් දිනයේ දී, ඇත්තටම හෝ බොරුවට හෝ මත් වුවද, බියර් නිසා මත් වී ඇත්තේ කලාතුරකිනි. ජර්මන්කාර බොසා සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුූ දිනයේ දී නම්, බියර් බෝතලයක් ම බිව් නිසා තරමක මත්වීමක් ඇති වුණද, එදා රාත්‍රියේ නුවරඑළිය ටවුමේ සිට හාවා එළියට ඇවිද ආ පසු, ඒ බියර් මත හිරු දුටු පිනි බිඳුවක් සේ වාෂ්ප වී ගියේය.

ලංකාවේ දී මා කළ බියර් බීම යනු අර ජපානයේ මිනිසුන් තේ බොන්නට අනුගමනය කරන ක්‍රියා මාර්ගය මෙන් මහා චාරිත්‍රානුකූල කර්තව්‍යයකි.

නිවසේ දී බියර් බොන්නට නම්, මුලින් ම කළ යුත්තේ, එම්ටීස් හෙවත් හිස් බියර් බෝතල් සොයා ගැනීමයි. මේ බෝතල් යනු මිලිමීටර් 750 ධාරිතාවේ වීදුරු බෝතල් විය.
මා ලංකාවේ දී අවසාන වරට කඩෙන් බියර් මිලට ගෙදර ගෙනැවිත් බිව් කාලයේ දී, එනම් 1995 දී, ලංකාවේ බියර් කොම්පැනි දෙකක්, ලංකා බෘවරීස් සහ මැකලම්, තිබුණු අතර හිස් බෝතල් එයින් කවර කොම්පැනියේ ද යන්න බියර් මිලට ගැනීමේ දී වැදගත් කරුණක් නොවුණි.

හිස් බෝතල් නොමැති නම්, ඒ වෙනුවට අරක්කු විකුණන කඩේට ඩිපොසිට් එකක් තබා, එනම් බෝතල් සඳහා මුදල් තැන්පතුවක් කර, බියර් මිලට ගත හැකි විය. මා මෙහිදී අරක්කු විකුණන කඩේ යැයි කියන්නේ එකල ඔය කියන කුඩා කඩවලට වයින් ස්ටෝර්ස් යැයි කියනු මතකයේ නැති නිසා ය. අද වුව ද, ඒ වයින් ස්ටෝරස් යැයි බෝඩ් ලෑලි ගසා ඇති කඩවල එක වයින් බෝතලයක්වත් විකිණීමට තිබේ යැයි මම නොසිතමි.

මා ඒ දිනවල පදිංචිව සිටියේ පිටකෝට්ටේ බංගලා හන්දිය අසලය. බියර් මිලට ගැනීටම නුගේගොඩ දක්වාම යා යුතුව තිබුණි. ඒ දිනවල නුගේගොඩ අරක්කු කඩෙන්, (මේ කියන කඩය තිබුණේ නාවල පාර පටන් ගන්නා හරියේ බව මගේ මතකයයි) මේ තැන්පතුව ලෙස එක් බෝතලයක් සඳහා රුපියල් දහයක් අය කෙරිණි.

එකල බියර් බෝතලයක මිල ප්‍රමාණය මට නිවැරදිව මතකයේ නැති වුවත්, රුපියල් දහයක් යනු බියර්වල මිලෙන් 25% පමණ වූයේ යැයි සිතමි.

සමහර විට නුගේගොඩ යන විට හිස් බෝතල් ගෙනියන්නට සිහියට එන්නේ නැත. සමහර විට බියර් බීම ගැන අදහස පහළවෙන්නේ ම නුගේගොඩට ගිය පසුව ය. එවිට, හිස් බෝතල් ගෙනෙන්නට ආපසු පිටකෝට්ටේ පිහිටි නිවසට යෑම කිසිසේත් ම ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. මේ හේතු නිසා, නුගේගොඩ අරක්කු කඩේට මා අතින් සෑහෙන්න ඩිපොසිට් තැබුණු බව කිව යුතුය.

අනිත් කාරණය වූයේ, එදා වේල ටුවර්ස් මෙන් බියර් බීවා මිස, අද කරනවා මෙන් බීම වර්ග කලින් මිලට ගෙන නිවසේ රැස්කර තබා ගැනීම එදා මට අවශ්‍ය යැයි නොසිතුණු දෙයක් වීමයි.

ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා සංක්‍රමණය කරන දා, කුස්සියෙන් එපිට එළිමහන් ගරාජ කොටසට ගිය මට සෑහෙන දුකක් දැනුණේ, හිස් බියර් බෝතල් හරියටම දාහතරක් එහි ගොඩ ගැසී තිබෙනු දැකීමෙනි.

එයින් අදහස් කෙරෙන්නේ මා විශාල වශයෙන් බියර් බිව් බවක් නොවේ. වසර 1993 ජනවාරියේ සිට 1995 දෙසැම්බරය දක්වා අප ඒ නිවසේ පදිංචිව සිටි කාලයේ පස් හය වතාවකට වඩා නිවසේ බියර් බොන්නට අවස්ථාව නොලැබුණි.

මා ප්‍රිය කළේ පිල්ස්නර් නමැති බියර් වර්ගය බීමටයි. එය නුවරඑළියේ සිලෝන් බෘවරීස් සමාගමේ නිෂ්පාදනයක් විය. ඔවුන් ගේ නිෂ්පාදනයන් අතර ලයන් නම් වූ තද දුඹුරු පැහැති ස්ටවුට් වර්ගයක් ද විය. මා බී නොමැති වුවත්, මැකලම් බියර් වර්ග අතර සැන්ඩෝ ස්ටවුට් නම් වූ බීමක් තිබුණු බවට යාන්තම් මතකයක් මට ඇත.

හිස් බෝතල ඇතුව හෝ නැතුව නුගේගොඩ අරක්කු කඩෙන් එදිනට අවශ්‍ය බෝතල් ප්‍රමාණය පමණක් මිලට ගෙන නිවසට ගෙනා පසු ඒවා ශීතකරණයේ බහාලමි. අද මෙන් කුඩා ප්‍රමාණයේ කෑන් නොව මේ බියර් බෝතල් ප්‍රමාණයෙන් විශාල නිසා, ඒ සඳහා අපේ සාමාන්‍ය ප්‍රමාණයේ ශීතකරණයේ ඉඩකඩ සොයා ගැනීම ද සාමාන්‍යයෙන් ප්‍රශ්නයකි.
ඊළගට බියර් බොන අතර කන්නට දෙයක් ද අවශ්‍යය. මෙපමණ මහන්සි වී, නුගේගොඩ සිට රැගෙන විත්, ශීතකරණයේ ලා ප්‍රවේශමෙන් රැකබලා ගත් බියර්වලට නිසි ලෙස සලකන්නට නම් ඒ සඳහා ඩෙවල්ඩ් බීෆ් හෝ චිකන් වැනි යමක් අත්‍යාවශ්‍ය වේ.

ජපනුන් ගේ තේ බීමේ චාරිත්‍රය සේ යැයි මට සිතෙන අපේ බියර් බීමේ ක්‍රමවේදයේ ඊළඟට ඇත්තේ එදින රාත්‍රියේ ආහාරය සැලසුම් කිරීමයි. බොහෝ විට මේ බියර් බොන්නේ එක්කෝ මස්සිනා හෝ නැතහොත් මිතුරෙකු හෝ සමග නිසා, අප කළේ චීන කඩයකින් කෑම පාර්සල් ගෙන ඒමයි.

මේ සඳහා ජුබිලි කණුව හන්දියේ තිබුණු හෝටලයකට මා දෙතුන් වරක් ගොස් ඇත. පිටකෝට්ටේ හන්දියෙන් තරමක් ඔබ්බෙන් පිහිටා තිබුණු කාර් සර්විස් ස්ථානය අසල ද තරමක් හොඳ චීන කෑම කඩයක් තිබුණි. පසුව, අපේ නිවස අසලම කුෂ්මි නම් ස්ථානයක් ද, කොටුබැම්ම හන්දියේ තවත් කඩයක් ද ඇරඹුණි.

දෙදෙනෙකුට නම් අවශ්‍ය වෙන්නේ බියර් බෝතල් දෙකකි. තිදෙනෙකු සිටී නම් සමහර විට බෝතල් හතරක් වුවමනා වේ.

වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී!

කා බී අවසාන වූ පසු, ඇත්තටම, බී කා අවසාන වූ පසු, හිස් බෝතල් කිහිපය කුස්සියෙන් එපිට තිබුණු විවෘත ගරාජයේ පසුපස තැන්පත් කරන්නේ, යළි දිනක බියර් ගැනීමට නුගේගොඩ යන විට රැගෙන යන්නට ය.

වසර තිස් එකක් තිස්සේ විකාශය වෙන "නේබර්ස්" නම් වූ ඕස්ට්‍රේලියානු ටෙලිවිෂන් මාලා නාට්‍යයේ් කොටස් කිහිපයක් අපේ නිවසට මුලින් ම ටෙලිවිෂන් යන්ත්‍රයක් ගෙනා 1991 දී පමණ මා නැරඹූවෙමි.

එහිදී මා දුටු දර්ශනයක් වූයේ, අසල්වැසියෙකු නිවසට පොඩි කතාබහකට හෝ පැමිණි විට, "යූ වොන්ට් එ බියර් මේට්?" යැයි අසන නිවසේ වැසියා කෙළින් ම ශීතකරණයේ දොර හැර කුඩා බියර් කුප්පි දෙකක් හෝ කෑන් දෙකක් ගෙන එකක් අසල්වැසියා වෙත විසි කරන ආකාරයයි. ඉන් පසු ඔවුන් දෙදෙනා ඒ කුප්පි හෝ කෑන් විවර කර ගෙන, කට තියා බොති.

හිස් බෝතල් රැගෙන නුගේගොඩ අරක්කු කඩේ යෑම් නැත. කට ගැසුම් සෑදීමක් නැත. වීදුරු භාවිතයක් නැත.

"මරු නේ!" ඒ දර්ශන දුටු මට සිතුණි.

ඒ දිනවල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කිරීම මා අයැදුම් පතක් ඉදිරිපත් කර තිබුණු නිසා, කෙදිනක හෝ එහි ගිය පසු, බියර් බොන ආකාරය මා නෙත් ඉදිරියේ මැවී පේන්නට පටන් ගත්තේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
අනතුරු හැඟවීමයි. බියර් පමණ ඉක්මවා බීමෙන් බඩ වැඩිවීමටත්, ශරීර සෙෘඛ්‍යය පිරිහීමට් ඉඩ ඇත.

(image: https://en.wikipedia.org/wiki/Beer)

Monday, 16 May 2016

මුලින්ම අරක්කු බීපු දවසේ වෙරි වුණේ බොරුවට ද? - A question I ask myself


ඒ ප්‍රශ්නය, මේ ලිපිය ලියන මා එය කියවන ඔබෙන් අසන ප්‍රශ්නයක් නොව, මා මගෙන් ම අසා ගන්නා ප්‍රශ්නයකි.

මගේ අතීතකාමය සන්තර්පනය කර ගැනීමට ලියවෙන, එසේම කියවන්නන්ගෙන් බහුතරයක ගේ ද අතීතකාමය ඇවිස්සීමට හේතු කාරක විය හැකි, මේ ලිපියේ මුඛ්‍ය කතාවට ඒමට පෙර මගේ සිතට ආ අතුරු කතා කිහිපයක් ලියවෙනු ඇත.

මා මුලින් ම, මද්‍යසාර බිඳක් තොල ගෑවේ උසස් පෙළ සහ විශ්ව විද්‍යාලය අතර ගන්ධබ්ක කාලයේ දී බව පෙර ලිපියක ලියූවෙමි. ඒ දිනවල මගේ වයස අවුරුදු දහඅට ඉක්මවා තිබුණි. නමුත්, මා දැන සිටි පරිදි පාසල් යන කාලයේ ද සමහර සිසුහු බියර් පානය කළහ.

අප එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේ පැවති ආනන්ද නාලන්ද වාර්ෂික ක්‍රිකට් තරගයේ අවසාන දිනයේ දී මා නිවසට යන්නට මරදාන දුම්රිය පොළට පැමිණියේ මගේ පන්තියේ සගයෙකු සහ අපට වඩා වසරක් පහළ පන්තියක සිටි ඔහු ගේ කඳානේ දුම්රිය මිතුරෙකු සමගය.

එකල, මරදාන දුම්රිය ස්ථානයේ වේදිකා අංග 5-6 ප්‍රදේශයේ ආපන ශාලාවක් පිහිටා තිබුණි. අපි එහි ගියෙමු.

මගේ මිතුරා බියර් බෝතලයක් ඇණවුම් කළ අතර, ඔහු ද, අනෙකා ද එයට වග කීවෝ ය. මම තේ එකක් ඇණවුම් කළෙමි. ඒ කාලේ ටින්කිරි දමා සාදන තේ කෝප්පයක මිල, මරදානේ දුම්රිය පොළේ ම ඉහළ මාලයේ පිහිටා ඇති ආපන ශාලාවේ නම්, ශත විසි පහකි. නමුත්, මෙදින මගෙන් රුපියල් දෙකයි ශත පනහක් අය කෙරුණු අතර, ඒ හිලව්වට මේසයට ම ලැබුණේ තේ ජෝගුවක්, කුඩා කිරි කෝප්පයක්, සීනි බඳුනක් සහ හැන්දක් තැබූ බන්දේසියකි.

සමහර විට මා ඒ තේ කෝප්පයකට වැය කළ මුදලෙන් එදා අඩු වශයෙන් බියර් බෝතල් භාගයක්වත් මිලට ගන්නට හැකිකම තියෙන්නට ඇත!

මගේ මුල් ම අරක්කු අත්දැකීම මට ලැබුණේ, ඉන් වසර දෙක හමාරකට පමණ පසු මා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ඇරඹුවායින් පසුවය.

නවකවද සමයේ අවසානයත් සමගම මා පදිංචිව සිටි මාර්කස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ ජ්‍යෙෂ්ඨ සිසුවෝ අප පිළිගැනීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිත උත්සවයක් සංවිධානය කළෝය.

ඒ උත්සවය සම්බන්ධයෙන් අමතක නොවන කාරණා තුනක් කීමට ඇත.

ඉන් එකක් නම්, එදා අපට ලැබුණු කෑම පාර්සලය දිග හැර එහි තිබුණු කුකුල් මස්, බිත්තරය, අච්චාරු, පරිප්පු සහ සම්බා කහ බත් දුටු, එතෙක් කල් ලොකු ඇට හාල්, මුං ඇට, කොළ ගෝවා මැල්ලුම සහ හරක් මස් හම් කෑලි කමින් සිටි අප අතර සිටි උඩුගම නම් මිතුරා විසින් "අද නම් ගෙදර වගේ!" යැයි ප්‍රකාශයක් කිරීමත්, අප වහාම ඔහු "බුරියානි නයා" ලෙසින් බෞතීස්ම කිරීමත් ය.

නවක සිසුන් වෙනුවෙන් අප ඉදිරිපත් කළ ප්‍රහසනයේ මා චරිතයක් නිරූපණය කිරීම ද වැදගත් මතකයකි. ඒ ප්‍රහසනය වනාහී අර අමාරිස් අයියලා ගේ ප්‍රසංගයක එන ආ යූ මෑඩ් ඕ ඈම් අයි මෑඩ් කියා සුද්දෙකු අසන විට බෝත් කියා පිළිතුර දෙන කතාවේ අනුවර්තනයකි. අප කළ එක් වෙනසක් නම් සුද්දා වෙනුවට පරංගියෙකු ඇතුළත් කිරීමයි. එයට හේතුව පරංගියා යැයි අන්වර්ථ නමෙන් හැඳින්වුණු කළා පීඨ අවසාන වසර ශිෂ්‍යයෙකු මාකස් ප්‍රනාන්දු ශාලාවේ ඒ දිනවල නේවාසිකව සිටීමයි. මා රඟපෑවේ ඒ පරංගියා ගේ චරිතයයි.

මගේ දහනමවෙනි උපන් දිනයට දින හතරකට පසුදින පැවති අපේ වෙල්කම් පාටියේ මගේ මතකයන් අතරින් අද මේ ලිපියට අදාළ සිදුවීම වන්නේ, එදින මා මුල්වරට අරක්කු පානය කිරීමයි.

වෙල්කම් පාටිය දා යමක් කරමු යැයි අප අතරේ සිටි කිහිප දෙනෙකු ගේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත වී තිබුණි. වෙල්කම් පාටියේ දී ද, යම් කිසි පානයක් අපට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් ලැබෙන බවට රාවයක් තිබුණ ද, අපට අවශ්‍ය වූයේ ඒ තනුක මිශ්‍ර බීම නොව කෙළින් ම අහවල් වර්ගයේ පානයක් කිරීමටයි.

සම්මාදම් වීමට කැමති අයගෙන් රුපියල් කිහිපයක් බැගින් සම්මාදම් කෙරුණු අතර, එකල පේරාදෙණිය අවට ගම් හතකවත් බෝතල් කඩයක් හෙවත් අද භාෂාවෙන් වයින් ස්ටෝරුවක් නොතිබුණු නිසා, අපේ අයෙකුට මහනුවර කොළඹ වීදියට ම යාමට ද සිදුවිය.

එදා නවක සරසවි සිසුන් ගේ තේරීම වූයේ, මගේ ආතා ද (මව ගේ පියා) පානය කරනවා යැයි මා දැන සිටි අරක්කු වර්ගය වූ සංස්ථා පොල් අරක්කු ය. අවර්ණ බෝතලයක් ද, සුදු කළු ලේබලයක් ද මෙහි දී මගේ සිහියට නැගේ. මෙය අද සිංහල බ්ලොග්කරුවන් ගේ ප්‍ර්‍රියතම පානය ලෙස හැඳින්වෙන, කොළ පැහැති ලේබලයකින් යුතු වර්ගයට වඩා රුපියල් කීපයක් මිලෙන් වැඩි අරක්කු විශේෂයක් විය.

මාකස් ප්‍රනාන්දු නේවාසිකාගාරයේ එක් කාමරයක රැස් වුණු අපි, භෝජනාගාරක් නොමැති අපේ ශාලාවේ තිබුණු කුඩා ආපන ශාලාවෙන් සොයා ගත් අඬු කැඩුණු කෝප්ප කිහිපයක් උපයෝගී කොටගෙන, සම්මාදමෙන් ගෙනා පොල් අරක්කු රස බැලුවෙමු. එක් අයෙකුට කෝප්ප භාගයක් පමණ හිමි වුණු බව මගේ මතකයේ ඇත.

ඉන්පසු අප කළේ, නවකවදය සමයෙන් පසු අප ලද නිදහස උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින්, මහ හඬින් ගී ගයමින්, නටමින් මාකස් ප්‍රනාන්දු ශාලාව පුරා යාමයි.

මේ අතරතුර මට නැගුණු ප්‍රශ්නය නම්, මගේ මුව තුළින්, මගේ උගුර හරහා, මගේ ම ආමාශය කරා ඇදුණු, පොල් අරක්කු අඬු කැඩිච්ච කෝප්ප භාගයෙන් මා සිතූ ආකාරයට මත් වීමක් කිසිසේත් ම ඇති නොවීමයි.

අයියෝ සල්ලි!

දැන් ඉතින් කුමක් කරන්නද?

ඇත්ත මත් වීමක් සිදු නොවෙයි නම්, මත් වූ බවට රඟ පෑමක්වත් කළ යුතු යැයි මට ඒ මොහොතේ ඇත්තට ම සිතුණි.

මගේ රඟ පෑමට අයත් වූයේ මත් වුණු හඬින් කතා කිරීමත්, උස් හඬින් ගායනයත්, ඇවිදින විට තරමක් ඇදට ඇවිදීමත් ය.

ඒ මොහොතේ අපේ කැරොල් කණ්ඩායමේ මා අසලින්ම වාගේ සිටියේ මාරස්සනින් පැමිණි විද්‍යා පීඨයේ සිසුවෙකි. ඔහු එදා මත්පැන් පානයට සම්මාදම් නොවුණු අයෙකි. "මචං රසිකට පොඩ්ඩක් වැඩියි වගේ!" යැයි මාරස්සන මිතුරා පවසනවාත්, ඒ අසා මට කට කොනකින් සිනා යනවාත්, මගේ රඟපෑමේ සාර්ථකත්වය දැනී, මා එය දිගටම පවත්වාගෙන යනවාත්, මාරස්සනයා මා වත්තම් කර ගන්නවාත් මගේ මතකයේ ඇත.

හැබැයි, එතැනින් පසුව පසුවදා උදෑසන වෙනතුරු සිදුවුණු දේ පිළිබඳව නම් මගේ මතකය එපමණ පැහැදිලි නැත!

කෙසේ වෙතත්, යළිත් මුදල් සම්මාදම් කර නුවර ගොස් පොල් අරක්කු ගෙනැවිත්, නේවාසිකාගාරයේ භෝජනාගාරයෙන් ගෙනා අඩු කැඩුණු කෝප්පවලින් රහ බලන්නට මට ඉඩ ලැබුණේ නම් අක්බාර්-නෙල් නම් නේවාසිකාගරයේ දී මුල් අත්දැකීමෙන් මාස නමයකට පමණ පසු අපේ පළමු වසර විභාගය අවසන් වූ දිනයේ දී බව නම් මට නිසැකව ම කිව හැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මගේ අවවාදය නම්, මත්පැන් පානය යනු හැකි තරම් දුරස් කළ යුතු දෙයක් බව සහ නිරතුරු මත්පැන් පානය ඇබ්බැහියකට පෙරළීමට ඉඩ ඇති බවයි.

දිනපතාම අනුමත වුව ද, එමගින් බීමට ඇබ්බැහි නොවී සිටින්නේ කෙලෙසද යන්න ගැන උපදෙස් ගැනීමට අවශ්‍ය නම් මෞර්ය රාජ් බ්ලොග්කරුවා අමතන්න.

(image: http://www.panoramio.com/photo/2972580)

Friday, 13 May 2016

ජර්මන්කාරයෙකු සමග නුවර එළියේ දී බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවෙමි...! - Beer bottle bet


අරක්කු හා සසඳන විට වතුරවලට වඩා සුළු ප්‍රමාණයක් පමණක් මද්‍යසාර ඇති බියර් බීමට අපේ කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් නොපෙළඹුනේ, බියර් බීමෙන් රුපියලකට ලැබෙන මත්වීම අරක්කුවලට සාපේක්‍ෂකව ඉතා අඩු නිසා බව මම ඊයේ පළ කළ ලිපියේ ලීවෙමි.

සිව් වසරක් පේරාදෙණියේ ගත කර, මුල් රැකියාව ලෙස නුවර එළියට ගිය පසු, ඒ පරිසරය නිසාත්, අතේ මුදල් ගැවසුණු නිසාත්, ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් විය.

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුවේ ඒ දිනවල ය.

මේ ඒ කතාවයි.

මා මුල්ම රැකියාව කළේ, නුවර එළියේ පිහිටි, එකල ඇඩ්ලර් නම් වූ ජර්මන් සමාගමකට හිමිව තිබුණු ඉන්ටර් ෆැෂන් නම් ඇඟලුම් කම්හලේ ය. මේ කතාවේ මා ජර්මන්කාරයා යනුවෙන් හඳුන්වන්නේ ෂීරා නමැති ඒ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කළමනාකරුවා ය. සහකාර නිෂ්පාදන කළමනාකාර පුහුණුවන්නෙකු ලෙස සේවය අරඹා තිබුණු මගේ බොසා ද ඔහු විය.

ජර්මානුවො බියර් බීමට රුස්සෝය. ඔවුන් බියර් බොන්නේ පයින්ට් එකේ හෝ ඊටත් වඩා විශාල විදුරු වලිනිි. ඔක්ටෝබර්ෆෙස්ට් නමින් හැඳින්වෙන ජර්මානු බියර් උත්සවය ලෝක ප්‍රසිද්ධ එකකි.

මා මීට වසර තුනකට පමණ පෙර ජර්මනියේ දී දුටු පරිදි, සෑම සිල්ලර කඩයක ම පාහේ බියර් (වයින් සහ අනෙකුත් මත්පැන් වර්ග) විකුණන්නට තිබෙන අතර, ඒවායේ මිල ද, ඕස්ට්‍රේලියාවට සාපේක්‍ෂව ඉතා අඩු විය.

නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෲවරියේ බියර් කඩෙන් කරාමයෙන් වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට අප ඉඳහිට ගිය විට, අපේ කර්මාන්ත ශාලාවේ සේවය කරන ඇතැම් ජර්මානු ජාතිකයින් ද එහි පැමිණ බියර් බොනවා පෙනේ. ඇතමෙකු ආපසු නිවසට යන්නේ බියර් බෝතල් විසි හතරකින් යුතු ක්‍රේට් එකක් මිලට ගෙන එය තම වාහනයේ පටවාගෙන ය.

මගේ කළමනාකරණ පුහුණුවේ සති හතරක් පිරීමටත් කලින්, හදිසියේම මා පුහුණුවෙන් ඉවත් කර, කර්මාන්ත ශාලාවේ රෙදි කපන අංශයේ නිත්‍ය තනතුරකට පත් කරන ලදී. එයට හේතුව වූයේ, මගේ සුපිරි දක්ෂකමකටත් වඩා, මා ඒ අංශයේ මා සති දෙකක් පමණ පුහුණවක් ඒ වන විට ලබා සිටීමත්, එහි කෝඩිනේටර් නම් තනතුරේ කටයුතු කළ තිලක් නම් පුද්ගලයා, සති අන්තයේ නිවාඩුවට කොළඹ පිහිටි තම නිවසට ගොස් ආපසු පැමිණ නොසිටීමත් ය. එහි කලින් පුහුණුව ලැබූ අයට සාපේක්‍ෂව මා ඒ තනතුරට සුදුසු බව ෂීරාට වැටහී තිබෙන්නට ඇත. අපට "වර්ක් ස්ටඩි" නම් ක්‍රමවේදය උගන්වන්නට ජර්මනියෙන් පැමිණ සිටි වෙයිස් නම් පුහුණුකරුවා ගේ පැසසුමට මා ලක් වී තිබීම ද බොහෝ විට හේතු වන්නට ඇත.

කෙසේ වෙතත්, ඒ ඇති වුණු ක්‍ෂණික වෙනසෙන් මම ඉතා සන්තෝෂයට පත් වීමි. මූලික පඩියේ වැඩි වීමක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අටේ-පහේ (එනම් දිවා කාලයේ) රැකියාවක් වුව ද, එය කාර්ය බහුල එනිසාම, අතිකාල දීමනා බහුලව ලැබෙන රැකියාවකි. නිවසෙන් පිට බෝඩිමක ජීවත්වෙන, කළ යුතු වෙනත් කාර්යක් නැති අවුරුදු විසි තුනක තනිකඩයෙකු වූ මට කාලය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබුණි!

දින දෙකකින් පමණ ගමේ ගිය තිලක් ආපසු වැඩට පැමිණියත්, ඔහු සමග මටත් දිගටම ඒ අංශයේ සේවය කරන ලෙස ෂීරා පවසා සිටියේ ය. තවත් සති කිහිපයකින්, අප දෙදෙනාට දිනකට පැය දොළහ බැගින් දවසේ පැය විසි හතර ආවරණය කරන ලෙස නියම විය. මේ කර්මාන්ත ශාලාව සතියේ දින හයක්, දවසේ පැය විසි හතරම නොනවත්වා නිෂ්පාදන කටයුතු කෙරෙන තැනකි.

තවත් මාසයක් පමණ ගෙවී ගිය පසු නැවතත් සති අන්තයේ කොළඹ ප්‍රදේශයේ තම නිවසට ගිය තිලක් සඳුදා සේවයට පැමිණියේ නැත. මා එහි සිටි නිසා, විශාල ප්‍රශ්නයක් ඇති නොවුණි.

දෙවෙනි දිනය ද උදාවිය. තිලක් එදින ද පැමිණියේ නැත.

මගේ මේසය අසලට පැමිණි ෂීරා "අයි ඩොන්ට් තින්ක් තිලක් විල් කම් ඇට් ඕල් දිස් ටයිම්, අයි විල් ගෙට් යූ සම් හෙල්ප්!" යැයි කීවේය.

"නෝ, හී විල් කම් ප්‍රොබබ්ලි ටුමාරෝ" මම කීවේ, තිලක්ට කලින් වාරයේ මෙන් අසනීපයක් වැළඳි ඇතැයි සිතමිනි.

"නෝ, හී වෝන්ට් කම් දිස් ටයිම්. හී ප්‍රොබබ්ලි ගොට් අනදර් ජොබ්" ෂීරා නැවත කීවේය.

තමන් නොදන්වා සේවයෙන් ඉවත්ව වෙනත් රැකියාවකට යන බවට ඉඟියක්වත් තිලක්ගෙන් මට ලැබී නොතිබුණු නිසා, මම මුරණ්ඩු ලෙස මගේ මතයේ ම සිටියෙමි.

ෂීරා සහ මා අතර ඒ කතාබහ අවසාන වූයේ තිලක් ගේ පැමිණීම නොපැමිණීම ගැන අප දෙදෙනා බියර් බෝතලයක ඔට්ටුවකට එකඟ වීමෙනි.

පාසලේ දී අෂාඩ් පෙරේරා සමග මා ඇල්ලූ ඡන්ද ඔට්ටුවෙන් දිනුවා මෙන් මෙවර ද මට ජය ලැබේ යැයි මම සිතුවෙමි.

නමුත් තිලක් යළි අපේ කම්හලේ සේවයට පැමිණියේ නැත.

සතියකට පමණ පසු, තමන් රැකියාවෙන් අස්වෙන බව කියා තිලක්ගෙන් විදුලි පණිවිඩයක් ලැබී තිබුණි. මා ද පසුව වටහා ගත් පරිදි, ඒ දිනවල සාමා්‍යයෙන් විදුලි පණිවිඩයක් කොළඹ සිට නුවර එළියට ඒමට දින තුන හතරක් ගතවේ!

විදුලි පණිවිඩය රැගෙන මවෙත පැමිණි ෂීරා ජයග්‍රාහී විලාසයෙන් "යු ලොස්ට් ද බෙට්!" රසික කියා කීවේ ය.

මම පරාජය භාර ගත්තෙමි.

එදින හවස, අරවින්දනාදන් ද සමග නුවර එළියේ හරස් විදියක පිහිටා තිබුණු සිලෝන් බෘවරියේ බියර් කඩේට ගිය මම, ඔහු සමග චීස් සහ ක්‍රීම් ක්‍රැකර් කමින් පිල්ස්නර් බෝතල් දෙකක් ද හිස් කොට, තවත් බෝතලයක් මිලට ගෙන, පයින් ම හාවා එළියේ පිහිටි කම්හල වෙත පැමිණ, ඒ වන විටත් කම්හල තුළ සේවය කරමින් සිටි ෂීරා පිටත්ව යන මොහොතේ දී ඔහු ගේ මෝටර් රථය ගේට්ටුව අසල නවත්වා ගෙන, බෝතලය ඔහුට දී, ඔට්ටුවේ කොන්දේසිය ඉටු කළෙමි.

අපට ගේට්ටුව අසල රැඳී සිටින්නට සිදුවූයේ, මත්පැන් කිසිවක් කම්හල් පරිශ්‍රය තුළට ගෙන යාමේ තහනමක් තිබුණු බැවිනි!

මා ජර්මන්කාරයෙකු සමග බියර් බෝතලයකට ඔට්ටුවක් අල්ලා පැරදුණු කතාව එසේ ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. නොබී සිටීමට අපහසු ම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. කිසිදාක මත්පැන් නොබී සිටියොත් එය වඩා හොඳ ය.

(image: Google street view)

Thursday, 12 May 2016

බියර්, බියර්, බියර්!!! (බියර් මතක කිහිපයක්) - Beer, beer, beer


මා මුලින්ම බියර් බිඳක් තොල ගෑවේ උසස් පෙළ අවසන්ව විශ්ව විද්‍යාලයට යාමට කල් මරමින් සිටි ගන්ධබ්බ සමයේ එක් දිනක ඥාතී නිවසක පැවති වැඩිහිටියන් ගේ සාදයක් අතර මැද දී ය. ඒ වන විට මා වයස දහ අටක් සම්පුර්ණ කර තිබුණු බව හදිසියේ දෝ මතක් වූ කරුණාවන්තයෙකු විසින්, බියර් බිඳක් කුඩා වීදුරුවකට දමා හොරෙන් මෙන් මට දෙන ලදී.

ඒ බියර් උගුරු එක හමාරේ අමුතු රසයක් හෝ නීරසක් හෝ මට දැනුණා යැයි දැන් මගේ මතකයේ නැත. නමුත්, කිසිමාකාරයක මත් වීමක් නම් ඉන් ඇති නොවුණු බව ඉඳුරාම කිව හැකිය.

විශ්ව විද්‍යාල සමයේ දී, නවකවද සමය අවසාන වූ දිනයේ, වසරවසාන විභාගයේ අවසන් දිනයේ, ප්‍රතිඵල නිකුත් වූ දිනයේ, වාර්ෂික චාරිකා දිනයේ වැනි අතළොස්සක් දිනවලදී, රහමෙර බිඳක් එහෙන් මෙහෙන් තොල ගෑවුණද, බියර් නම් ඇස නොගැටුනා හා සමාන විය.
එයට මූලිකම හේතුව වූයේ, අපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව බව අමුතුවෙන් කිව යුතු නැත.

එක රුපියලකට වැඩිපුර මත් වෙන්නේ අරක්කු බීමෙන් වූ කළ, දරිද්‍රතාවයේ ගිලුණු විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් බියර් බීමට පෙළඹෙතොත් එය පුදුමයකි. බියර්වල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය 5%ක් පමණ වූ අතර, අරක්කුවල එය 30%-35%ක් පමණ වූයේ යැයි සිතමි.

විශ්ව විද්‍යාල දෙවන වසරේ අග භාගයේ දී, මාස දෙකහාමරක් පමණ කාලයක් නුවර එළියේ ඉඳිකිරීමේ වැඩ බිමක කල් ගෙවන කාලයේ, නගරයේ එක් විදියක පිහිටි සිලෝන් බෲවරියේ කඩයට ආශාවට මෙන් දෙවරක් පමණ මම ගොඩ නැගී ඇත්තෙමි. ඒ කඩයේ තිබුණු ලොකුම ආකර්ෂණය වූයේ, බෝතලයක් කඩා නොව, කරාමය හැර වීදුරුවට වත්කර දෙන ඩ්‍රාෆ්ට් බියර් බොන්නට හැකි වීමයි.

මේ කාලයේ එක් දිනක්, මා කුරුණැගල බස් නැවතුම අසල පිහිටි, ගෙඩි සහිත බිලිං ගසක් වටකර සාදා තිබුණු, හෝටලයේ පොඩි පහේ ප්‍රේම සල්ලාපයක යෙදෙමින් සිටියෙමි. මට නුදුරු මේසයක සිටියෙකු කෑමට පෙර පාවිච්චිය සඳහා බියර් බෝතලයක් ද, සෝඩා බෝතලයක් ද ගෙන්වා ගෙන ඒවා මිශ්‍ර කර බොනු දැක මම පුදුමයට පත්වීමි. යාන්තම් මද්‍යසාර 5% අඩංගු (එනම් 95% වතුර සහිත) බියර් තවත් කුමකට තනුක කරන්නේ ද යන්න මට ඇති වූ ප්‍රශ්නයයි.

ඇත්තටම කියනවානම් බියර් හොඳ වන්නේ අරක්කු තනුක කිරීමටයි!

එහෙත්, මත්පැන් පානයේ දී බියර් සහ අරක්කු කවලම් වුණොත් සිදුවෙන ඩෝප් වීම, ඒ ද්‍රව්‍ය වෙන වෙනම පානය කළ විට සිදුවෙන ඩෝප් වීමට වඩා බොහෝ වැඩි බවට ඒ දිනවල අප අතර කතාවක් පැතිර තිබුණි. නමුත්, එවැන්නත් ප්‍රායෝගිකව එය අත්විඳ තිබුණු අයෙකු නම් අප අතර නොවීය.

එක් දිනක් මට ම ඒ කතාව සත්‍යයක් බව අත්දැකීමෙන් ම වටහා ගැනීමට ඉඩ ලැබුණි. හොඳ වෙලාවට මට එදා ඒ ආකාරයෙන් මුදලට වඩා වෙරි වීමට තරමක අවශ්‍යතාවක් ද ඇතිවී තිබුණි. ඒ පුද්ගලික ජයග්‍රහණයක් තනිව ම සැමරීමටයි.

නමුත්, එදා මා කොයි තරම් මත්වූයේ ද කිවහොත්, අර පුද්ගලික ජයග්‍රහණය පසුවදා ම මට අහිමි වෙන්නට ගොස්, යාන්තම් ජාම් බේරා ගත්තේ ඉතා අසීරුවෙනි!

ඒ වසර අග දී මගේ මුල්ම රැකියාව ලෙස දෛවා්පගත අයුරින් නැවතත් නුවර එළියටම යාමට සිදුවුණු සඳ, මට නවාතැන් ගන්නට ලැබුණේ සිලෝන් බෲවරියට අල්ලපු වැටේ පිහිටි මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නිල නිවසක ය. එපමණක් නොව කාලයක් තිස්සේ ආහාර ගත්තේ ද, බ්‍රෘවරියේ නිල නිවාසක ජීවත් වූ පවුලක සාදර අනුග්‍රහයෙනි.

දවසේ තුන් තිස් පැයම බියර් මල් සුවඳ දරා ගනිමින් ඒ කාලයේ අපි ජීවත් වීමු. ඉඳහිට දවසක පෙර කී කරාමයෙන් වීදුරුවට දැමෙන ඩ්‍රාෆ්ට් බියර් බීමට හැකි කඩයට ගොඩ වැදී, කරාමයෙන් ද, සාමාන්‍ය බෝතලයෙන් ද බියර් රස වින්දෙමු.

මේ ආකාරයට ටිකෙන් ටික බියර් ගැන යහපත් අදහසක් සිත තුළ ඇති කර ගැනීමට හැකි විය. අපේ ආර්ථික තත්වය ද යහපත් වී තිබීම එයට ප්‍රධාන හේතුවක් විය.

මගේ ජර්මානු ජාතිකයෙකු සමග බියර් බෝතලයක ඔට්ටුවක් ඇල්ලුවේ ඒ මගේ ජිවිතයේ නුවර එළිය දිනවල දී ය.

ඒ කතාව පසුව ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මත්පැන් ඇබ්බැහියක් වීමට ඉඩ ඇත. අවශ්‍යම අවස්ථාවල පමණක් ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. මත්පැන් නොබී සිටින්නට හැකි නම් වඩාත් හොඳය.

(image: http://www.alamy.com/stock-photo/crates-of-beer-shop.html)