
අරක්කු සමග එකට බිව් දවසේ මිස, වෙනත් කිසි දිනයක මා බියර් බී මත් වී නැත්තේ, නුවරඑළියේ සිටි ජර්මන් බොස් මෙන් බියර් කේස් පිටින් නිවසට ගෙනැවිත් නොබී, ජපන් තේ බීමක් මෙන් සැදී පැහැදී චාරිත්‍රානුකූලව පමණක් බිව් නිසා යැයි සිතමි.
පෙර සූදානම්, හිස් බෝතල්, ඩිපොසිට්, බයිට් ආදී කිසිවක් නොමැතිව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බියර් බොන ආකාරය නේබර්ස් නම් ටෙලි නාට්‍යයෙන් දැක මා සතුටු වුණේ කෙදිනක හෝ ඒ අත්දැකීම ද ලැබීමට හැකි නිසා ය.
බියර් යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රියතම පානය යැයි කිවහොත් වරදක් නැත. මෙරට ඒක පුද්ගල බියර් පරිභෝජනය වසරකට ලීටර් 75 පමණ වේ. ලංකාවේ එකී අගය ලීටර් දෙකක් පමණි.
මේ මගේ විසි වසරක ඕස්ට්‍රේලියානු බියර් අත්දැකීම්වලින් කිහිපයකි.
මා ඕස්ට්‍රේලියාවට පැමිණියේ අප්‍රියෙල් මස මැද හරියේ, මෙල්බර්න් නුවර සීතල හේමන්ත රාත්‍රියක් ගෙවමින් සිටියදී ය. පසුදින උදයේ මා නතර වී සිට ප්‍රේම් සහ නයනා ගේ නිවසෙන් උඩුකයට කමිසයක් පමණක් ඇඳ එළියට බට මම සීතලෙන් වේව්ලා ගියෙමි. ඒ උදේ වරුවේ ය. රාත්‍රිය ඊටත් වඩා සීතල විය.
එදින රාත්‍රියේ මා බිව් බියර්වලින් ලංකාවේ දී ලද ආකාරයේ වින්දනයක් නොලැබූ බව කිව යුතුය.
එයට ප්‍රධාන හේතුව වූයේ අප මේ සීතල බියර් බොන්නේ සීතල පරිසරයක දී වීම යැයි සිතමි. ඊට අමතරව, ලංකාවේදී මෙන් කල් යල් බලා, පෙර සැලසුම් කිරීමක් නොමැති වීම නිසා ද, බියර් බීම තේ කෝප්පයක් බීමට වඩා වෙනස් වුණේ සුළු වශයෙනි.
ලංකාවේ දී, උසැති, දුඹුරු පැහැති මිලිලීටර් 650 පමණ බියර් බෝතල් දැක පුරුදුව තිබුණු මට ඕස්ට්‍රේලියාවේ දී දක්නට ලැබුණේ, මිලි ලීටර් තුන්සිය හැත්තෑ පහේ බාග බෝතල් හෝ කෑන් ය. මේවා හය බැගින් අසුරා ඒ සික්ස්-පැක් හතරක් එකට කේස් එකක් ලෙස සාදා ඒවා හෝ විකිණීමට තබා තිබුණි. එවැනි (වික්ටෝරියන් බිටර්) බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක නියමිත විකුණුම් මිල ඩොලර් තිහක් පමණ විය. (කෑන්වල මිල තරමක් අඩු ය) මෙය, ලංකාවේ එකල බියර් මිල මෙන් දෙගුණයක් පමණ මුදලකි. මේ ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 35 ක් වූ 1995 වසරයි.
අද වසර විසි එකකට පසුව ඕස්ට්‍රේලියානු ඩොලරයක් රුපියල් 105 (35*3) ක වන අතර පෙර කී වර්ගයේ බියර් බාග බෝතල් (මිලි ලීටර් 375) විසිහතරක පෙට්ටියක නියමිත මිල ඩොලර් 50 ක් බව ඊයේ ලිකර්ලෑන්ඩ් නම් කඩේ දී මම සටහන් කර ගත්තෙමි. කෑන් මිලදී ගන්නේ නම්, තිහකින් යුතු පෙට්ටියක් ඩොලර් 56 කි.
බියර් බාග බෝතල් (හෝ ඒ පරිමාවේ ම කෑන්) විසිහතරක පෙට්ටියක් මිලට ගැනීම, නිතර බියර් බොන්නෙකුට, සෑම විටම වාසිදායක වේ. මේ ලිපියට දත්ත සොයා ගැනීම සඳහා මා ඊයේ කළ නිරීක්‍ෂණ චාරිකාවේ දී දුටු මිල දර්ශනය අනුව, වික්ටෝරියානු බිටර් නම් බියර් වර්ගයේ බාග බෝතලයක මිල ඩොලර් 3.80 කි. හයේ පැක් එකක් ඩොලර් 17 කි. විසි හතරක පෙට්ටියක අද මිල ඩොලර් 50 ක් නමුත්, ඔබ කේස් දෙකක් ගන්නේ නම් ගෙවන්නට වෙන්නේ ඩොලර් 92 ක් පමණි. එනම්, බාගේ බෝතලයක් වෙන්නේ ඩොලර් 1.91 ක් පමණි.
බියර් බොන්නන් නිවෙස්වලට වඩාත් ම රැගෙන යන්නේ මේ මා සඳහන් කළ බාගේ බෝතල් පෙට්ටි වුව ද, පුර්ණ ප්‍රමාණයේ මිලිලීටර් 750 බියර් බෝතල් ද විකිණීමට ඇත. ඉන් එකක් ඩොලර් හයක් වන අතර බෝතල තුනක් සඳහා අද මිල ඩොලර් 16.50 කි.
පෙට්‍රල් ද ඇතුළුව, අන් සෑම පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම බියර්වලට ද නියමිත උපරිම මිලක් මිස අවම මිලක් නැත. විවිධ කඩකාරයෝ විවිධ කාලවලදී විවිධ බියර් වර්ගවලට විවිධාකාරයේ වට්ටම් ලබා දෙති. එනම්, ලබන සතියේ මේ කඩයට ගොස් මා සඳහන් කර ඇති මිලට වික්ටෝරියානු බිටර් බියර් වර්ගය ගැනීමට නොහැකි වෙනු ඇත.
බියර් වර්ග තුන හතරක් පමණක් විකිණීමට තිබුණු එකල ලංකාවේ සිට මෙරටට පැමිණි මා දුටු අනිත් වෙනස වූයේ ඕස්ට්‍රේලියාවේ විවිධ සමාගම්වලින් මෙන් ම, කුඩා කර්මාන්ත ලෙස ද නිපදවෙන බියර් වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙන බවයි. ඊට අමතරව, ලෝකයේ සෑම රටකින් ම පාහේ ආනයනය කෙරෙන බියර් වර්ග ද මෙහි මිලට ගැනීමට ඇත. අද මා ගොඩ වැදුණු කඩයේ ඉතාලියේ පෙරෝනි, මැක්සිකෝවේ කොරෝනා සහ තවත් වර්ග රාශියක් තිබුණි.
කොරෝනා ප්‍රිය කරන්නන් සඳහා සටහන් කරනවා නම්, බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් 57 කට ද, පෙට්ටි දෙකක් ඩොලර් 88 කට ද ඊයේ විකිණීමට තිබුණි.
දෙසතියකින් ආපසු ලංකාවට යන්නට සැලසුම් කර සිටි මුත්, මා කලින් කියා ඇති කරුණක් නිසා, මට මෙල්බර්න් නගරයේ සති හයක් පමණ නතරවන්නට සිදුවුණි. ඒ ඉතිරි කාලය මා ගත කළේ වෙනත් දෙදෙනෙකු සමග කාමර තුනක නිවසක් බෙදා හදා ගෙන, එකට උයාගෙන කමිනි.
ඒ කාලයේ එක් සිකුරාදා දවසක, මම නිවසට ගියේ බියර් භාගේ බෝතල් හයක මිටියක් (සික්ස්-පැක්) රැගෙනයි. මට මතක ආකාරයට එය ටූහීස් රෙඩ් නම් වූ වර්ගයක් විය.
සීතලේම සිටිමින් සීතලේ ම ඒ බියර් පානය කරද්දී මට දැනුණේ ඉතා කටුක තිත්තකි. කෙසේ නමුත්, මම ඒ සුලු කාරණාවලින් අධෛර්යමත් නොවී, බාගේ බෝතල් තුනකටම වග කිව්වෙමි. කටේ තිත්ත රස පමණක් නොව පසුවදා වන විට තරමක හිසරදයක් ද මට හිමි වී තිබුණි. ඒ රතු පැහැති ලේබල් දෙස මා ඉන් පසු දෙවරක් බලා නැත!
එකල අප වැන්නන් අතර ජනප්‍රියම බියර් වර්ගය වූයේ වික්ටෝරියා බිටර් ය. සෑහෙන්න පසු කාලයක ක්‍රව්න් ලාගර් නමැති ලංකාවේ ඒ දිනවල තිබුණු පිල්ස්නර් හැඩ රුවැති සහ රසැති වර්ගයට මාරු වීමි. හයිනකන් ද නරකම නැත.
ඕස්ට්‍රේලියාවේ ගත කළ මුල් කාලයේ දිනක් මා, වූල්වර්ත්/සේෆ්වේ කඩයක් අසලින් යන විට දුටුවේ බියර් බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් දාසයකට මිලට ගත හැකි බවයි. එහි වර්ගය ටූහීස් හෝ ෆොස්ටර්ස් විය. මම වහාම එයින් පෙට්ටියක් මිලට ගත්තෙමි.
සති අන්තයේ මිතුරෙකු ද සමග ඒ බියර් රස විඳින්නට ගිය විට දැනුණේ තරමක තනුක ගතියකි. මේ උඹ ගෙනැවිත් තියෙන්නේ ලයිට් බියර් ජාතියක් නේ යැයි, එදා ප්‍රේම් මට පහදා දුන්නේ ය. මද්‍යසාර ප්‍රමාණයෙන් අඩක් පමණ අඩු වූ ලයිට් බියර් වර්ග ද ඇති බව මා දැන ගත්තේ එදා ය. ගෙනා පෙට්ටිය අමාරුවෙන් ඉවර කරගත් පසු, ඒ ඇල්වතුර බියර් වර්ග දෙස නැවත ඇස් ඇර බැලුවේ මා නොවේ!
තවත් දිනයක, කඩයක් අසලින් යන මා දුටුවේ අප ප්‍ර්‍රිය කළ වික්ටෝරියන් බිටර් බියර් වර්ගයේ බාගේ බෝතල් විසි හතරක පෙට්ටියක් ඩොලර් විස්සකට විකිණීමට ඇති බවයි. මෙහි සාමාන්‍ය මිල ඩොලර් තිහක් වූ අතර, මසකට පමණ වරක් වට්ටම් සහිතව විකුණුනේ ද ඩොලර් විසි පහකට ය. මම වහාම පෙට්ටියක් මිලට ගත්තේ, ඒ සතියේ අප පවුල් කිහිපයක් එකතුව දින කිහිපයක චාරිකාවක් සැලසුම් කර තිබුණු බැවිනි.
මේසය වටේ හිඳගෙන බෝතල් අතට ගත් සැනින්ම මිතුරන් පැවසුවේ, මා මිලට ගෙන ඇත්තේ බියර් බාගේ බෝතල් නොව, ග්‍රෙනේඩ් නම් සුරතල් නමින් හැඳින්වෙන මිලි ලීටර් 250 ප්‍රමාණයේ කුඩා බෝතල් වර්ගයක් බවයි!
මගේ බියර් අත්දැකීම් තවත් බොහෝ තිබේ.
එසේ වුව ද, පිටකොටුව වෙළඳ පොළේ තොග මිල දර්ශකය වුවද, ටිකක් වේලා අසාගෙන සිටින විට එපා වෙන බව මම හොඳින් දන්නා නිසා මෙතැනින් නවතිමි.
අවසාන වශයෙන් කිව යුත්තේ, මා දැන් බියර් බොන්නේ ඉතාම කලාතුරකින් පමණක් බවයි. සමස්ත ඕස්ට්‍රේලියාවේ බියර් බීම ද ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කියවේ!
එසේ වෙතත්, මේ ලිපිය සඳහා දත්ත සොයා ගැනීමට ලිකර්ලෑන්ඩ් කඩයේ රස්තියාදු වීමට අමතරව ඡායාරූපයක් ද අවශ්‍ය නිසා, සවස් වරුවේ යමක් කිරීමට සිදුවිය. සිංහල බ්ලොග් කලාව සඳහා මගේ කැපවීම කෙතරම් ද යන්න එයින් මොනවට ඔප්පු වේ.
-රසිකොලොජිස්ට්



