Showing posts with label පොත්. Show all posts
Showing posts with label පොත්. Show all posts

Friday, 29 May 2026

තහනම් කළ පොතක් - and Tango makes three



මම හැම සතියකම වරක් හෝ දෙවරක් යන නගර සභා පුස්තකාලයේ සතිපතා විශේෂ පොත් වර්ග ප්‍රදර්ශනය කරන තැනක් තියෙනවා.

පසුගිය දිනක එහි ප්‍රදර්ශනය කර තිබූ පොත් එකතුව වූයේ ලෝකයේ විවිධ රටවල විවිධ හේතු නිසා තහනම් කරන ලද පොත්.

මේ එයින් එක පොතක්.

and tango makes three

මෙය පින්තූර සහිත ළමා පොතක් නිසා තහනම් වූයේ කවර හේතුවක් නිසාද කියා දැනගන්න මට එය කියවා බලන්න හිතුණා.

එය කෙටියෙන් කියන්නට පෙර නොදන්නා අයගේ දැනගැනීම පිණිස කියනවා නම් මේ පොතට දී ඇති නමේ අඩංගු ටැංගෝ යන වචනය අදහස් කෙරෙන්නේ දෙදෙනෙකුවේ විසින් කරන ශෘංගාරාත්මක චලනයන්ගෙන් යුතු නැටුමක්. එය තනියම කළ හැකි නැටුමක් ද නොවේ. එනිසාම, It takes two to Tango යනුවෙන්ද කියමනක් තිබෙනවා එහි තේරුම සමාන වෙන්නේ අප්පුඩි ගහන්න අත් දෙකක් ඕනේ යන කියමනටයි.

ඇන්ඩ් ටැන්ගෝ මේක්ස් ත්‍රී ළමා පොතේ අන්තර්ගතය කෙටියෙන් මෙලෙසයි.

එක්තරා සත්වෝද්‍යානයක පෙන්ගුයින් කණ්ඩායමක් ඉන්නවා. මේ අය අතරින් තරුණ පෙන්ගුයින්ලා දෙදෙනෙකු හොඳ මිතුරන්. ඔවුන් හැම විටම පිහිනන්නේ, ඇවිදින්නේ, විවේක ගන්නේ එකට.

මේ දෙදෙනා නිරීක්ෂණය කරනවා තමන් සේම පෙන්ගුවින් දෙදෙනා බැගින් එකතුව සැරි සරන බවත් අවසානයේ ඔවුන්ට පෙන්ගුයින් පැටවුන් එකතු වෙන බව සහ එසේ වන්නේ ඒ පෙන්ගුයින් ලා යම්කිසි ස්ථානයක නොසෙල් වී දින ගණනාවක් සිටීමෙන් පසු බවයි.

මේ දෙදෙනා ද එසේ ම එක් ස්ථානයක නොසෙල්වී දින ගණනාවක් සිටියද එලෙස පැටවුන් ලැබෙන්නේ නැහැ.

මේ පිරිමි පෙන්ගුයින් දෙදෙනාට නොතේරෙන කාරණය තමයි ඒ අනිත් පෙන්ගුයින් යුගල ගෑනු පිරිමි පෙන්ගුයින් ජෝඩු බවත්, ඔවුන් එය කරන්නේ බිත්තර දමා ඒවා රැකීම බවත්.

මේ හැසිරීම නිරීක්ෂණය කරන සත්ව උද්‍යාන පාලකයා කරන්නේ මවක නැති පෙන්ගුයින් බිත්තරයක් මේ දෙදෙනා ස්ථානයේ තැබීමයි.

අවසානයේ පෙන්ගුයින් පැටියෙකු ඉපදෙනවා, and Tango makes three.

- රසික සූරියආරච්චි

Wednesday, 21 May 2025

“පාදර ඇරා” ගේ “සූදුරු අබා” කෙටි කතා එකතුව පිළිබඳ මගේ සටහන - My take on Ajith Perakum Jayasinghe's short story collection "Suduru Aba"


මෙය විචාරයක් ලෙස සලකන්න එපා. මේ අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියා 2024 විදර්ශන අත්පිටපත් තරගයේ දී හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස සම්මානයක් දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහය කියවීමෙන් පසු මගේ සිතට ආ අදහස් කිහිපයක් විතරයි.

සාමාන්‍යයෙන් මං කෙටිකතා කියවන්න කැමතියි නවකතා කියවනවාට වඩා. මේ දිනවල නම් ඒකට මූලික හේතුව තමයි කෙටිකතාවක් කියැවීමට යන කාලය අඩුවීම සහ එකම ලේඛකයෙකු ගේ වුණත් කෙටිකතා දෙකක් අතර කිසිම සම්බන්ධයක් නැති නිසා දිග නවකතාවක් කියවන කොට වගේ අවධානය යොමු කිරීමට අවශ්‍ය නොවීම.

ඒ සමඟම පසුගිය අවුරුදු හතරක පමණ කාලය තුළ මට විශාල කෙටිකතා සංඛ්‍යාවක් කියවන්න සිදුවුණා. මුලින්ම මං සංස්කරණය කරන “සිසිල” මාසික සාහිත්‍ය ය සඟරාවේ පළකිරීම සඳහා ලැබෙන කෙටිකතා. ඒවා කියවීම පමණක් නොව අවශ්‍ය පරිදි සංස්කරණය කිරීම ද මා සිදුකරනවා. ඊට අමතරව ජගත් ජේ එදිරිසිංහ විසින් සම්බන්ධීකරණය කරන ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගාවලියේ ඇගයීම් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තුන්වරක්ම ක්‍රියාකර ඇති නිසා ඒ සඳහා ලැබුණු කෙටිකතා විශාල සංඛ්‍යාවක් ද පසුගිය අවුරුදු කිහිපය තුළ මට කියවන්නට සිදුවුණා. මේ නිසා, කෙටිකතා සඳහා වූ මගේ රසිකත්වය වැඩිවුණා.

කාලයේ ඵලදායිතාව ගැන හිතන කොට කෙටිකතාවක් කියවීම අගනා කාර්යයක්. ඒ ඉතාම කෙටි කාලයකින් සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලැබීමයි. නමුත් ඉතිං එහෙම මතක හිතෙන ආකාරයේ සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් පාඨකයාට ලබා දෙන්න හැකි ආකාරයේ කෙටිකතාවක් ලියනවා කියන එක නම් ලේසි පහසු වැඩක් නොවෙයි.

කොටින්ම, මං යොවුන් කාලයේ, විශ්වවිද්‍යාලයට යාමට පෙර, කෙටිකතා විස්සක් පමණ ලියලා ඒවායින් අත්පිටපත් දෙකක්ම හැදුවත් එදායින් පස්සේ තාමත් කෙටිකතා තුනහතරකට වැඩිය ලියලා නැති තරම්. මං ඒ ශානරයට වඩා කැමති විත්ති කතා යැයි සමහරු කියන “කතන්දර” ලියන්නටයි.

අජිත් පැරකුම් ජයසිංහ ලේඛකයාව මං දන්නේ මීට අවුරුදු පහළොවකට පමණ පෙර සිටයි. ඒ අපි දෙදෙනාම විනෝදාංශයක් ලෙස බ්ලොග් ලිවීම ඇරඹූ කාලයේ. මගේ බ්ලොග් එකේ නම වූයේ “කතන්දර”. මං මාව හඳුන්වා ගත්තේ “කතන්දරකාරයා” කියයි. බ්ලොග් ලියන මුල් කාලයේ “එඩිටර” කියා තමන්ව හඳුන්වා ගත්තු අජිත් පැරකුම් ජයසිංහ තමන්ව දැන් හඳුන්වා ගන්නේත් “කතන්දරකාරයා” කියා බව ඔහුගේ “සූදුරු අබා” කෙටිකතා එකතුවේ පෙරවදන ලෙස ඔහු ලියා ඇති අමුතු ආකාරයේ සටහනෙන් පැහැදිලි වෙනවා. ඒ විතරක් නොවෙයි අජිත් ලියූ “අරුණෝදාකරුවෝ” නම් නවකතාව ගෙන්වා ගන්න ගිහින් බලනකොට තමයි මට තේරුණේ ඒ නවකතාව ප්‍රකාශ කර තිබෙන්නේ අජිත් ද සම්බන්ධ “කතන්දර ප්‍රකාශන” සමාගමෙන් බව. වෙබ් ලිපිනය මොකක් වුණත් අජිත් ලියූ පොත් විකුණන ඔන්ලයින් කඩේට අජිත් දීලා තියෙන නමත් “කතන්දර ඩොට් කොම්”.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ පිටු හැට අටක් තිස්සේ දිව යන කෙටිකතා නමයක් තියෙනවා. ඒ කියන්නේ මේවා වචනයේ අර්ථ පරිසමාප්තාරයෙන්ම කෙටිකතා, ඉහළ ඵලදායීතාවයෙන් යුතුව කෙටි කාලයකින්, කෙටි කැප කිරීමකින් ලොකු සාහිත්‍ය රසයක්, වින්දනයක්, කම්පනයක් ලබාගන්නට හැකි නිර්මාණ.

මං හිතන්නේ මේ කෙටිකතා එකතුව කියවන අති බහුතරයක් දෙනාගේ වැඩි ආකර්ෂණය අවධානය දිනා ගන්න කෙටිකතාව තමයි පොතේ නමටත් යොදා ඇති “සූදුරු අබා” නම් නිර්මාණය. අප්‍රකාශිත, කාන්තා සමකාමී, එසේ නොමැති නම් ලෙස්බියන්, ආදරයක් පදනම් කරගෙන සිත් ඇදගන්නා ආකෘතියකින් ලිය වී ඇති ඒ කෙටිකතාව ඇත්තටම අපූරු නිර්මාණයක්. මෙහි දී මා භාවිතා කළ “අප්‍රකාශිත” කියන වචනය ඉතා වැදගත්. මක් නිසා ද යත් මෙය කිසිදිනක නිශ්චිතව ප්‍රකාශ කෙරුණු ආදරයක් හෝ සම්බන්ධයක් හෝ නොවේ.

මේ වගේ අප්‍රකාශිත මෙන්ම ප්‍රකාශිත කාන්තා සමකාමී ආදර සම්බන්ධතා ලංකාවේ තිබෙන බව පැහැදිලියි. නමුත් ඒවා අවබෝධ කරගන්නා පරිණත සමාජයක් නම් අපේ ජීවිත කාලවල නම් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ඉතිං ඒ බොහෝ සම්බන්ධතා අපරාදේ වියැකී යනවා.

දෙයියෝ මිනිහෙක් මැව්වා ය, ටික දිනකට පසුව ඒ මිනිහා වෙනුවෙන් ගෑනියෙක් මැව්වා ය කියා විශ්වාස කරන්නේ ඒ්බ්‍රහමික ආගම් අදහන මිනිසුන්. ඒ නිසා තමයි ඔවුන් පිරිමි හෝ ගැහැණු හෝ සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ. නමුත්, මැවුම්කාර දෙයියෙකු නැති, අදේවවාදී බුද්ධාගම්කාරයින් සමකාමී සම්බන්ධතාවලට විරුද්ධවන්නේ මක්නිසා ද කියා හොයාගන්න නම් ආපහු මධ්‍ය විද්‍යාලයට ගිහින් පොදු සහතික පත්‍ර විභාගයේ බුද්ධාගම විෂයය පාස් වෙන්න වෙනවා වගේ. දශක ගණනකට කලින් මං බුද්ධාගම විෂය සඳහා ලබාගත්තු ඩිස්ටින්ෂන් එක අද පවතින “බුඩ්ඩාගමට” අදාළ නැහැ පේන විදියට.

“සූදුරු අබා” කෙටිකතාව ගැන තවත් කිව යුතු කරුණක් තමයි පිරිමියෙකු විසින් කාන්තා දෘෂ්ටිකෝණයකින් යුතුව සහ ප්‍රථම පුරුෂ ආඛ්‍යානයකින් මෙය ලියා තිබීම. එනම් මෙහි “මම” කියා අදහස් කරන්නේ මේ ආදර සම්බන්ධයේ එක් පාර්ශවයක් වෙන අනූ නමැති කාන්තාව. සාමාන්‍යයෙන් කාන්තාවන් ලියන නවකතා, කෙටිකතාවල ප්‍රථම පුරුෂයෙන් මම කියා හඳුන්වා ගන්නේ කාන්තා චරිතයක්. පිරිමින්ගේ නිර්මාණවල ඒකේ අනිත් පැත්ත. අජිත් පැරකුම ජයසිංහ මේ කතාව ලිවීමේ මම සඳහන් දකින විශේෂත්වය ඒකයි.

“සූදුරු අබා” කෙටිකතා එකතුවේ එන අනිත් කෙටිකතා අට පිළිබඳව මට හිතෙන දේ සංක්ෂිප්තව සඳහන් කරන්නම්.

පියා මියගිය පවුලක කුඩා දැරියක් තමන්ගේ පවුලේ සිදුවෙන විපර්යාසය අත්විඳින අයුරු කියවෙන කෙටිකතාවක් “ස්වර්ණ හංස” මං හිතන්නේ මේක අර “මැජික් රියලිසම්” කියන ක්‍රමවේදය උපයෝගී කරගෙන ලියූ එකක්. ජාතක කතාවක එන සුරංගනා කෑල්ලක් මේ නිර්මාණයට සම්බන්ධයි. ජාතක කතා කියන්නේ ඉතිං බොහෝ විට මැජික් සහිත කතා නේ.

“සමූල ඝාතනය” කියන කෙටිකතාවට අජිත්ට අත්දැකීම් හම්බවෙන්න ඇත්තේ ඔහු කලකට පෙර ගුරු සේවය කරන කාලයේ විය යුතුයි. මහ ජාතියේ ජාතිවාදය මෙන්ම ගුරු හොරුන්ගේ ජඩකම් මේ නිර්මාණයේ පදනමයි.

“අත් පොරව” කෙටිකතාව මෙන්ම “පිරිත් කියනවා, මිනිත් මරනවා” යන කෙටිකතා ද්වය මිනීමැරුම් හා සම්බන්ධ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයෙකුගේ හිතට කම්පනයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. “අත් පොරොව” කතාවේ එන ඒ අත්දැකීම අමු අමු එකක්. හොඳ වෙලාවට ඉඟියක් මිස කෙළින් කීමක් මෙහි නැහැ. මේ කතාවට ළඟින් යන අදහසක් ඇති කෙටිකතාවක් මං මීට පෙර කියවලා තියෙනවා වගේ හැඟීමක් ලාවට ආවා. සමහරවිට ඩෝසන් ප්‍රීති ලියූ එකක් විය හැකියි.

“පිරිත් කියනවා, මිනිත් මරනවා” නම් නිර්මාණය නම් භයානක චරිත සහ අපරාධ සම්බන්ධ වුණත් ඒ මාතෘකාවෙන් ම පෙනෙන පරිදි උපහාසය කැටි වූ එකක්. මෙහි එන නෑබොඩ සිල්වතා නම් උපාසකයා මට සිහි කළේ මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ “ඇඩ්රස් නෑ” කියන සිනමා නිර්මාණයේ කමල් අද්දරආරච්චි කළ චරිතය. නෑබොඩ කියන්නේ නම් කළුතර දිස්ත්‍රික්කයේ පස් දුන් කෝරළේ ගමක්. අජිත් පැරකුම් ජයසිංහලා ගේ ගෙවල්වලටත් කිට්ටු ඇති.

“ගංවතුරේ නයනා” කියන්නේ අර්ධනාගරික ජීවිතවල දුක්ඛ දෝමනස්සයේ එක පැතිකඩක් කියවෙන කතාවක්. මං හිතන්නේ ලේඛකයා මේක ලිව්වේ ඔහු එක්සත් ජාතීන්ගේ ඒජන්සියක සේවය කරන කාලය විය යුතුයි. ඒ දවස්වල ලංකාවේ විවිධ පළාත්වලට ගංවතුර ගලළා තිබුණා. මට මතකයි මේ කතාව ෆේස්බුක් එකේ මං කියෙව්වා.

“පුංචි පැදුර” කියන්නේත් කාන්තා දෘෂ්ටිකෝණයකින්, ඇත්තටම මෙහි දී නම් පොඩි ගැහැණු දැරිවියක ගේ, ලියවුණු කෙටිකතාවක්. කියවගෙන යනකොට නම් අතීතකාමී, ග්‍රාමීය සුන්දර පරිසරය ගැන සහ ඒ සුන්දරත්වය යටින් ජීවත්වෙන දුක්බර චරිත පිළිබඳ ලියවුණු සරල කතන්දරයක් කියා සිතුනත් කියවලා අවසානවුණාට පස්සේ තමයි මට හිතුණේ මේකෙ ඊට වැඩිය ලොකු බරක් තියෙනවා ය කියා. නැවත වරක් කියවන්න ඕනේ.

අවසාන කෙටිකතාව වෙන “හකුරු වෙහෙර” මං හිතන්නේ අජිත් අධිතාත්වික රීතියකින් ලියා තිබෙන්නේ ලංකාවේ සංඝ සමාජයේ මෙන්ම බුද්ධ ශාසනයයි කියාගන්නා සංස්ථාවේත් පරිහානිය ගැන කියන්න විය යුතුයි. පිටු තුන හමාරයි, ඉතා සංශිප්තයි. හැබැයි රසිකයාට පෙනෙන්නේ ලේඛකයා අදහස් කළ දේ නම් නොවෙන්න පුළුවන්.

කෙටිකතා සංග්‍රහයේ එන හයවෙනි කතාව තමයි “චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට්”. දෙපාරක්ම කියෙව්වත් තේරුණේ නැහැ. ඒ නිසයි ඒ ගැන කතාකිරීම මේ සටහනේ අන්තිමට තියාගත්තේ.

චීලා කියන්නේ උකුස්සෙක්. ඒ උකුස්සා සහ කතාව කියන්නා හෙවත් නැරේටර් අතර සංවාදය තමයි කෙටිකතාව.

මේ කතාව දෙවැනි පාරට කියවද්දී මට මතක්වුණේ මීට දශකයකට පමණ කලින් ලියනගේ අමරකීර්ති ලියූ “අළු පැහැති ආරංචි” කියන කෙටිකතා එකතුවේ ආ ඒ නමින්ම යුතු කෙටිකතාව.

ඔය කතා දෙකම කියවලා තිබෙන අය මගේ ඒ ප්‍රකාශයට කලබල වෙන්න එපා. ඒ ලියනගේ අමරකීර්තිගේ කතාවයි, මේ ලියනගේ ජයසිංහගේ කතාවයි අතර අන්තර්ගතයේ නම් කිසිම සමානත්වයක් නැහැ තමයි. නමුත් පුද්ගලිකව මට මේ කතා දෙකේ ඇති සමානකම වන්නේ කෙටිකතා දෙක ම, දෙපාරක් ම, කියෙව්වත් මට ඒ දෙකේම අදහස තේරුණේ නැති එකයි.

පසුගිය වසරේ හොඳම කෙටිකතා එකතුවේ අත්පිටපත ලෙස විදර්ශන සාහිත්‍ය සම්මානය දිනූ “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ ප්‍රකාශනය විදර්ශන සමාගමයි. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඇණවුම් කරන්න හැකියි. මං හිතන්නේ මට ගියේ රුපියල් හාරසිය ගාණක්.

පොත් ඔන්ලයින් ඇණවුම් කරන කොට, පොත් කඩේකදී පොතක් ගන්න කලින් කරනවා වගේ පෙරවදන, පසුපිට, පිටු දෙකතුනක් කියවන්න බෑ නේ. රෙදි කඩේක දී වගේ ඇඳුම් ෆිටෝන් කරලා බලන්නේ නැතුව, ඔන් ලයින් ඇඳුම් ගන්නවා වගේ.

ඉතිං “සූදුරු අබා” කෙටිකතා සංග්‍රහයේ සාම්පලයක් අවශ්‍ය කෙනෙකුට අජිත් පැරකුම් ජයසිංහගේ ෆේස්බුක් අඩවිය හරහා එයින් කෙටිකතා කීපයක් ම කියවන්න පුළුවන්. මාත් අවුරුදු දෙක තුනක පමණ සිට මේ කෙටිකතා මුල්වරට කියෙව්වේ එහෙමයි.

- රසික සූරියආරච්චි

ප/ලි:
ෆේස්බුක් එකේ මං කලින් දවසක දාපු පොඩි සටහනකට ප්‍රතිචාර දක්වපු මේ කෙටිකතා පොත බස් එකක යන එන ගමන් කියවපු අයෙක් ලියා තිබුණා “සූදුරු අබා” හා සම්බන්ධ අපූරු සසම්භාවී අත්දැකීමක් ගැන.

ඊටත් වඩා අපූරු අත්දැකීමක් මට තියෙනවා “සූදුරු අබා” කෙටිකතාවට සමාන කතාවක් ඇති වෙනත් පොතක් කියවීම ගැන. ඒ කතාව ෆේස්බුක් එකේම ලියන්නම්.

(image: )

Tuesday, 20 December 2022

බිරිඳ ලියූ ගීතය - මල් වැස්සේ :: The song she wrote


මා ප්‍රිය බිරිඳ, (රණවක තන්ත්‍රිගේ) පුෂ්පා කුමාරී සූරියආරච්චි, පදපෙලක් ලිව්වා ය.

යමෙකු ලියන කවිපද කිහිපයක් ගීතයක් වන්නේ ඒවාට තනුවක් සම්පාදනය වී, සංගීතය නිමැවී, වැයී, ගායනය වූ විට ය. මේ ගීතය එලෙස බිහිවී දැන් මාස කිහිපයකි.

එය පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුබිම් කරගත් ගීතයකි. එහි අන්තර්ගතයේ, ඇය 2019 දී ලියා පළ කළ Lost in Floral Rain නවකතාවට සම්බන්ධයක් ඇත. එසේම, ඇය ලියූ පළමු ගීතය ද මෙය වේ.

නමුත් අද වන විට ගීතයක් යනු සංගීතය සහ ගායනය පමණක් නොවේ. ගීතය සහිත වීඩියෝ පටයක් ද තිබිය යුතු ය. බොහෝ දෙනා ගී අසනවා පමණක් නොව නරඹනවා ද වන බැවිණි.

එලෙස නිපදවනු ලැබූ ගී වීඩියෝව පෙරේදා යූටියුබයට එකතු විය.

ගේයපද: පුෂ්පා සූරියාරච්චි
සංගීත නිර්මාණය: විශාරද රුක්මලී කුලතිලක
ගායනය: රුවී නිම්නදී

වයලීනය: රවි කුලතිලක
ගිටාරය: අර්ජුන ද සිල්වා
තාල තරංග: දිනේෂ් පෙරේරා


පදමාලාව මෙසේ ය.

තුරුලිය සරසන කුසුමින් නැහැවුණ
රෝස පාට මල් වැසි වැස්සා
රොබරොසියා තුරු පාමුල මල් වැසි
මල් වැසි, මල් වැසි, ඇද හැලුණා

ශිල්ප කරන්නට නවකයින් ඇවිත්
මල් වැස්සේ මංමුළා වෙලා
පාද තබා කඩිසර ගමනින්
මල් වරුසාවේ සිනාසෙමින්
මල් වැස්සේ මංමුළා වෙලා

මල් පිරි පාවඩ පලස් එළාලා
සුමට සුමුදු මල් ඇතිරිල්ලේ
සෙමින් සෙමින් පරිස්සමින්
ඇවිද ඇවිද යමු සිතින් දරාගෙන
රොබරොසියා මල් මල් සිහිනේ


ගේයපද: පුෂ්පා සූරියාරච්චි පෙර සඳහන් "Lost in Floral Rain" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.


බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/



-රසික සූරියආරච්චි

(image: edited from an PeraBeats image)

Sunday, 14 August 2022

සල්මන් රුෂ්ඩි සහ මට හමුවුණු ජාත්‍යන්තර අයියලා තුන් දෙනෙකුගේ කතා - Salman Rushdie and other stories


සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය ලැබුණු විට මට ඒ හා සම්බන්ධ මගේ අත්දැකීම් කිහිපයක් ම සිහියට නැගුණි.

එයින් මුල් සිදුවීම 1989 දක්වා ඈතට දිව යයි. සල්මන් රුෂ්ඩි යන නම අප බොහෝ දෙනකු මුල්වරට ඇසුවේ ඒ කාලයේ දී ය. එයට හේතුව වූයේ ඔහු විසින් ලියන ලද “සැටනික් වර්සස්” නමැති නවකතාව නිසා ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මොහොමඩ්ට අපහාසයක් සිදුවුවා යයි පවසමින් ඉරානයේ එවකට (ආගමික) නායකයා වූ අයතොල්ලා කොමේනි විසින් සල්මන් රුෂ්ඩි මරා දමන ලෙස ආඥාවක් හෙවත් ෆට්වාවක් නියම කිරීමයි.

අයතුල්ලා කුමේනි ගේ එම නියෝගය අනුව ක්‍රියාත්මක වී, කිසියම් ආගමික උන්මත්තකයෙකු විසින් සල්මන් රුෂ්ඩි මරා දැමීමට ඉඩ ඇති බව පෙනී යාම නිසා මේ ලේඛකයාට සිදුවූයේ අන්වර්ථ නාමයකින් සැඟ වී දිගු කාලයක් ජීවිතය ගත කිරීමටයි. ඔහු යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේ, මට මතක ආකාරයට දිගු කලකට පසුව ය.

මේ සිදුවීම් ඇතිවූ කාලයේ, එනම් 1989 දී, මා සිටියේ ලංකාවේ නොව වෙනත් රටක ඉගනුම ලබමිනි. මා සමග එකම පාඨමාලාව හැදෑරූ පිරිස් අතර එක්තරා බංග්ලාදේශ ජාතිකයෙකු ද විය. පසු කලෙක මා ඒ ගැන සිතා බලන විට ඔහු අන් අයට වඩා, කොටින් ම අන් බංග්ලාදේශ ජාතිකයින්ටත් වඩා, වෙනත් හැසිරීම් තිබුණු අයෙකි. උදාහරණයක් ලෙස ඔහු තමන් හදාරන්නේ නැති විෂයන්ගේ පවා දේශන සටහන් නිබන්ධන යනාදියේ ඡායා පිටපත් ලබා ගනී. තමන්ගේ දේශන සටහන්, පරිශීලනය කරන පාඨ ග්‍රන්ථ යනාදියේ වැදගත් තැන් වර්ණ පෑන් භාවිතයෙන් හයිලයිට් කිරීම එකල අප කාගේත් සිරිත විය. අපේ බංගලි මිතුරාගේ එවැනි සටහන් සහ පොත්පත් ගැන අප කළ නිරීක්ෂණය නම්, ඒවායේ ඕනෑම පිටුවක සියයට අනූපහක් පමණ ම විවිධ වර්ණයෙන් හයිලයිට් කර ඇති බවයි.

සල්මන් රුෂ්ඩි ගේ කෘතියට විරුද්ධව පෙර කී පරිදි අයතොල්ලා කුමේනි විසින් නිකුත් කළ මරණ ආඥාවේ උණුසුම තිබූ කාලයේ, මට මේ බංගලියා සමග යම්කිසි කාර්යයක් සඳහා බස් රථයක නැගී යාමට සිදුවිය. එහිදී අප අතර ඇති වූ සාකච්ඡාවේ දී මට පෙනී ගියේ ඔහු එක හෙළා ම එම මරණ ආඥාව අනුමත කරන බවයි.

අප දෙදෙනාම හදාරමින් සිටි පාඨමාලාව මූලිකව ම ගණිත සංකල්ප සහ විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වූ එකක් වූ නිසා ඒ අනුව තර්ක කරමින් මා මේ පුද්ගලයාට පහත ප්‍රශ්නය ඉදිරිපත් කළෙමි.

“දැන් ඔබ හෝ අයතුල්ලා කුමේනි හෝ ඔය පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ කියවන්නේවත් නැතුව එහි අන්තර්ගතය වැරදි බවත්, එනිසා ලේඛකයාට මරණ දඬුවම හිමි විය යුතු බවත්, ඔබ කියන්නේ කවර පදනම මත ද?”

ඒ සඳහා ඔහු ලබාදුන් මට සාපේක්ෂව අසාර්ථක පිළිතුර අනුව මට පෙනී ගියේ, ආගමික උන්මත්තකයෙකුට මේ වැනි කාරණයක දී වත්, කිසිදු තර්කයක් හෝ සොයා බලා වටහා ගැනීමක් හෝ අනවශ්‍ය බවයි.

දැන් මෙන්න මගේ දෙවෙනි අත්දැකීම.

මුල් සිදුවීමට වසර හයකට පසු මම වෙනත් විශ්වවිද්‍යාලයක වෙනත් අධ්‍යයන කටයුත්තක නිරත ව සිටියෙමි. එහිදී මා සමග විශ්වවිද්‍යාලයේ එකම කාමරය බෙදාගනිමින් සිටියේ පෙර කී අයතොල්ලා කොමේනි ගේ දේශයේ ම වැසියෙකි, එනම් පර්සියානු හෙවත් ඉරාන ජාතිකයෙකි.

මේ දිනවල දී ම, අපේ ගමේ පුස්තකාලයෙන් ලබාගෙන මා කියවූ එක් නවකතාවක් වූයේ ඇමරිකානු ජාතික බෙටී මහමුඩී නම් ලේඛිකාව විසින් තම අත්දැකීම් අනුසාරයෙන් රචනා කර තිබුණු “Not without my daughter" නම් කෘතියයි.

මෙම නවකතාව කියවා නැති අයට එහි අන්තර්ගතය පිළිබඳව ඉතා සැකවින් කියනවා නම්, එහි අඩංගු වන්නේ ඉරාන ජාතික වෛද්‍යවරයකු හා විවාහ වන ඇමරිකානු කාන්තාවක්, ඔවුන්ගේ කුඩා දියණිය ද සමග, ඉරාන විප්ලවයෙන් පසු (එනම් අයතුල්ලා කුමේනි බලයට පැමිණීමෙන් පසු) ටික කලකට පදිංචිය සඳහා තම සැමියා සමග ටෙහෙරාන් නුවරට යන ආකාරයත්, එහි දී ඇය තම සැමියා ආපසු ඇමරිකාවට යෑමේ කිසිදු අදහසක් නොමැති බව වටහා ගන්නා නමුත් දියණිය නොමැතිව තනිව ම ආපසු යාමට අකමැති ව දිගු කාලයක් දුක් විඳිමින් සිට පසුව කෙසේ හෝ දියණිය ද සමඟ එයින් මිදී පලා යන ආකාරයත් ය.

මෙම නවකතාවේ එක් තැනක, ඉරානයේ කුකුල් මස් ව්‍යංජනයක් සාදන ආකාරය පිළිබඳව සඳහන් වේ. මගේ සිත ගත් විස්තරයේ වූයේ ඒ කුකුල් මස් කරිය සඳහා ලූනු විශාල වශයෙන් ද, ඊට අමතරව "සැෆ්රන්" යනුවෙන් හැඳින්වෙන කුළුබඩු වර්ගය ද භාවිතා කරන බවයි. සැෆ්රන් යනු ඉතා මිලාධික කුළුබඩු වර්ගයක් නිසා, ඉරානයේ සැෆ්රන් භාවිතය පිළිබඳව මගේ ඉරාන ජාතික මිතුරාගෙන් මම විමසුවෙමි.

ඒ කතාව ආරම්භ කිරීමේ දී, මට ඉහත නවකතාව පිළිබඳව සඳහන් කිරීමට ද සිදු විය. සැෆ්රන් ගැන මට පැවසීම කෙසේ වෙතත් මගේ ඉරාන ජාතික මිතුරා මුලින් ම කළේ, එම නවකතාවේ ඇත්තේ අමූලික බොරු බවත් එය ඉරානයේ තහනම් කර ඇති බවත් පැවසීමයි.

මා ඔහුගෙන් ද විමසා සිටියේ, මුලින් සඳහන් කළ බංග්ලාදේශ ජාතික මිතුරාගෙන් ඇසූ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි.

“උඹ මේ පොත කියවා තිබෙනවා ද? නැහැ නේද? එසේ නොමැති නම්, මෙහි ඇති අන්තර්ගතය පිළිබඳව උඹ නිවැරදිව දන්නේ කෙසේද?”

ඔහුට ද එයට සාර්ථක තර්කානුකූලව පිළිතුරක් දිය නොහැකි විය.

දැන් මෙන්න තුන්වෙනි අත්දැකීම.

මේ මා සඳහන් කළ දෙවන සිදුවීමෙන් වසර 14 කට පසුව 2010 දී වූවකි. මෙයට සම්බන්ධ විදේශිකයෙකු නොව අපේ ම ශ්‍රී ලාංකික මිතුරෙකි.

අපේ යම්කිසි සංවත්සරයක් හා සම්බන්ධව සමරු කලාපයක් සකස් කර මුද්‍රණය කිරීමට ඒ දිනවල කටයුතු කෙරෙමින් තිබුණු අතර ඒ සඳහා අතීතකාමී සටහනක් ලියා දෙන මෙන් මට ඇරයුමක් ලැබුණි.

මට සාපේක්ෂව ඉතා වැදගත් කරුණු කිහිපයක් ඇතුළත්, සියලු දෙනා ම කිය කිය විය යුතු යැයි මා සිතන ආකාරයේ සටහනක් ලියූ මම එය මේ තුන්වෙනි මිතුරාට ලබා දුන්නෙමි.

එය කිය වූ ඔහුගේ ප්‍රතිචාරය වූයේ මෙය මෙලෙස ය.

“මේක නම් පළ කරන්න බැහැ මචං. මේක පළ කළොත් ගුටි කන්න තමයි වෙන්නේ!”

ඒ වදන් අසා අන්දුන්කුන්දුන් වූ මම ඔහුගෙන් මෙසේ අසා යැව්වෙමි.

“ඒ ලිපිය පළ නොකළාට කමක් නැහැ. මං ඒක වෙන තැනක පළ කරන්නම්. මට මෙන්න මේ ප්‍රශ්න කිහිපයට උත්තර දීපං.”
  1. ලිපිය පළ කළොත් කව්ද උඹට එහෙම ගහන්නේ?
  2. එහෙම ගහන්නේ මා ලියූ ලිපියේ වැරදි තියෙන නිසා ද? එසේ නම්, ඒවා මොනවාද?
  3. වැරැද්දක් තිබේ නම් එය පෙන්වා දෙනු වෙනුවට කිසියම් අයෙකු එය පළ කරන උඹට පහර දෙන්නේ ඇයි?”
ඒ ප්‍රශ්නය අසා දැන් වසර 12ක් පමණ ගත වී ඇතත් මට තවමත් පිළිතුරක් නම් ලැබුණේ නැත.

ස්ටැන්ලි තම්බයියා ලියූ බුඩිසම් බීට්‍රේඩ් නම් කෘතිය මෙන් ම, ඩෑන් බ්‍රව්න් ගේ ඩා-වින්චි කෝඩ් නවකතාව ද ලංකාවේ තහනමට ලක් වූ බව ම මෙවෙලේ සිහි වේ. ඒ තීරණ ගත් එවුන් එසේ කළේ ඒ පොත් කියවීමෙන් පසු යැයි මම කිසිසේත් ම නොසිතමි.

හොඳයි දැන් අපි නැවතත් මේ සටහන ඇරඹූ තැනට යමු.

සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ ආරංචිය........................

- රසික සූරියආරච්චි

(image: https://www.salmanrushdie.com/)

Saturday, 2 April 2022

ඇළ කණ්ඩියේ සුනිල් - This was published in Sisila Sinhala Monthly Magazine in April 2022


සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.

මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.

නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.

නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.

සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.

ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!

ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.

හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.

කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.

පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි. කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.

වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.

සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.

චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.

අවසානයේ මෙය ද කිව යුතු ය.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.

- රසික සූරියආරච්චි
ප/ලි:
ඇළ කණ්ඩියේ සුනිල් - සමන් මහානාම දිසානායක
සුරස (ෆාස්ට් පබ්ලිෂින්), 2019
මිළ රුපියල් 450

Friday, 25 March 2022

නයා ඇරීමේ උපත - Some do, some don't


නයා අරිනවා යන යෙදුම නොදන්නා අය සිටී යැයි මම නොසිතමි.

එසේ වෙතත් කෙටියෙන් කියනවා නම් එයින් අදහස් කෙරෙන්නේ පම්පෝරි ගැසීම යන්නය්. විශේෂයෙන් ම, යමෙකු තමන් ගේ වත්කම, තරාතිරම ගැන කයිවාරු ගැසීම නයා ඇරීමයි.

නයාගේ ලොකුම එකා, අප දන්නා සාහිත්‍යට අනුව, මුචලින්ද වේ. ලොකුම පම්පෝරි ගසන්නෝ ද ඒ අනුව මුචලින්දලා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

"නයා ඇරීම" යන යෙදුම ජනවහරට එකතු වී ඇත්තේ ඉරිදා පුවත්පතක පළවූ හාස්‍යජනක තීරු ලිපියකින් බව කිව හැක.

මේ මා ඒ කතාව දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී ජීඒකිව් විභාගයට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙකු සමග අම්මලාගේ මහ ගෙදරට, එනම් කලවානේ, යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. නමුත් ගමන නම් අපුල ය. බස්රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරළුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන ජල ප්‍රවාහෙයෙන් ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතුවලින් ද වට වූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේ ය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

අපි රත්නපුර බසයට ගොඩ වුණෙමු. මට එක් අසුනකත්, මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුණේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිලට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ “රිවිරැස” නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නවීන ගජබින්නාලංකාරය හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

නයා අරින කතාව තිබුණේ ඒ පොතේ ය.

පසුකලෙක චන්ද්‍ර අනගිරත්න විසින් තමන් ලියන ලද ඒ තීරු ලිපි “නරලොව හොල්මන්” නමින් නැවත පළ කරන ලදී.

පහත පළ වෙන්නේ ඒ පොත්මාලාවේ තුන්වැන්නේ අඩංගු වූ “මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත්” නම් උපහාසාත්මක රචනයයි.


මම ද, කලකට පෙර, මේ බ්ලොගයේ ම පොඩි පහේ නයෙකු ඇර ඇත්තෙමි. එය කියවා නැති අය සඳහා මෙන්න සබැඳියක්.
https://rasikalogy.blogspot.com/2016/09/size-depends-on-you.html

-රසික සූරියආරච්චි

(image: https://www.dinamina.lk/2020/11/05/)

Friday, 21 August 2020

ජුකී කෙල්ල හෙවත් සුරඟන කුමරියගේ වාසනාව - Rasika Suriyaarachchi reviews Surangana Kumariya, a novel by Saman Mahanama Dissanayake
























"සුරඟන කුමරිය", පලපුරුදු නවකතාකරුවෙක් වන සමන් මහානාම දිසානායක ගේ හත්වන ප්‍රකාශිත නවකතාවයි. මෙය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. ඔහු මින් පෙර රචනා කළ "බඹරැන්දේ කඟවේනා", "කැන්ගරු නිම්නය", "පුංචි සර්", "රන්දෙනිගල සිංහයා", "දුරුතු සිහිනය" සහ "ලන්සි කෙල්ල" යන නවකතා ලංකාවේ පාඨකයින් අතර ජනප‍්‍රි‍්‍රයත්වයට පත්වූ අතර එමගින් සිංහල සාහිත්‍යයට වැදගත් සම්මාදමක් ද කෙරුණු බව මගේ අදහසයි. ඒ සමන් දිසානායක විදේශ රටක වෙසෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු වීම නිසා, තමන් ගේ කෘතිවල අන්තර්ගතය මගින් ඔහුට පාඨකයා වෙත ඉදිරිපත් කරන්නට හැකි සුවිශේෂී කරුණු නිසා ය.

"සුරඟන කුමරිය" නවකතාව ගෙතී ඇත්තේ ගම්බද දුප්පත් තරුණියක වූ තේලණී ගේ විවිධ හැලහැප්පීම්වලට බඳුන් වුණු ජීවිතය වටා ය. පවුලේ කරදර මැද අධ්‍යාපනය කඩාකප්පල් වීම නිසා රැකියාවක් සොයා යන ඇයට අවසානයේ නොසිතූ ලෙස වාසනාව උදාවෙන අයුරු මේ නවකතාව තුලින් සමන් දිසානායක තම සුපුරුදු භාෂා විලාසයෙන් සහ ඔහුට ආවේණික වූ ඇඹරුම්-පෙරළුම් සහිත රටාවෙන් පාඨකයාට ඉදිරිපත් කරයි.

සමන් දිසානායක ගේ සුරඟන කුමරිය නවකතාවට ලූනු ඇඹුල් ඇතුලත් කරන අනෙකුත් අංග අතර කලක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිට පසුව ශ‍්‍රී ලංකාවේ ධනපති කර්මාන්තශාලා හිමියෙක් බවට පත්වෙන්නෙක්, ඔහු ගේ අනියම් සම්බන්ධතාවයක් සහ අවජාතක දරු දෙදෙනෙක් මෙන්ම එවැන්නෙක් ඇත්දැයි එතෙක් නොදැන සිටියද, තම සැබෑ පියා සමග තේලනී අවසානයේ එකතුවන අයුරු ද වේ. මේ සියල්ල ජනප‍්‍රිය නවකතාවක සාමාන්‍ය වට්ටෝරුව සමතික‍්‍රමණය කරන්නා වූ අංග වේ යැයි මම සිතමි.

සමන් දිසානායක මට පැවසූ පරිදි "සුරඟන කුමරිය" නවකතාව ඔහුගේ ලේඛක දිවියේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. එයට හේතුව නම් ඔහු අතින් මෙතෙක් කල් නිරායාසයෙන් කෙරුණු ප‍්‍රභන්ධකරණයෙන් මදකට බැහැර වී සමන් දිසානායක මේ "සුරඟන කුමරිය" කෘතිය ශ‍්‍රී ලංකාවේ සිංහල නවකතා පාඨක පිරිසේ වැදගත් අනුඛණ්ඩයක් වන තරුණ වැඩිහිටි වයසේ කාන්තාවන් ඉලක්කකොට ගෙන සුවිශේෂයෙන් නිර්මානය කිරීමයි.

ගම්බදව ගෙවෙන තේලණී ගේ ළමා ජීවිතය, ඇගේ නගරාගමනය සහ රැකියාව මේ පාඨක පිරිසට කෙලින්ම සමීප විය හැකි ඒවා බව පෙනේ. එසේම, වඩාත් සාර්ථක, ආර්ථික වශයෙන් සුඛිත මුදිත ජීවිතයක් පිළිබඳ සදාකාලීක අපේක්‍ෂාවෙන් කාලය ගතකරන එකී පාඨක පිරිස ගේ ඒ දැඩි අපේක්‍ෂාවන් දිගින් දිගටම නොනැසී පවත්වාගෙන යාමට අවශ්‍ය මානසික ශක්තියද මෙවැනි නවකතාවක් කියවීම තුලින් ලැබීමට ඉඩ ඇත. එය පවතින තත්වය තුල එක්තරා සමාජ සේවයක් ලෙස සැළකිය හැක.

එපමණකුදු නොව ඒ අහිංසක යුවතියන් ගේ ශ‍්‍රමය සූරා කන ධනපතියන්ද, ඔවුන් ගේ රූකඩ ලෙසින් රට කරවන පාලකයින් ද අපමණ සතුටට පත්වෙනු නිසැක ය.

මේ නවකතාව පෙර කී පාඨක අණුඛණ්ඩය ඉලක්ක කොට ගෙන අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකාශයට පත්වන අනෙකුත් නවකතා අතර තරගකාරී එකක් වෙන බවට සැකයක් නැත. "සුරඟන කුමරිය" ලිවීමෙන් සමන් දිසානායක අදහස් කළේ මල් කතාවක් ලිවීමට නම් ඔහුගේ උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුයි.

මේ නවකතාව සඳහා සමන් දිසානායක යොදා ඇති "සුරඟන කුමරිය" යන්නෙන් ඔහු අදහස් කළේ නවකතාවේ අන්තර්ගතය තුල අඩංගුව ඇති පරිදි "ෆෙයරි ප‍්‍රින්සස්" යන අරුත දීමට නම් එය "සුර කුමරිය" ලෙස නම් කළ යුතුව තිබුණේ යැයි මට සිතේ.

සමන් දිසානායක නවකතාකරුවෙක් පමණක්ම නොවේ. ඔහු ලියූ කෙටිකතා සිංහල සඟරාවල පලවී ඇති අතර, ඕස්ටේ‍්‍රලියානු සිංහල සංක‍්‍රමණික අත්දැකීම් රැගත් "තිරස තරණ" කෙටිකතා සංග‍්‍රහයේ ද ඇතුලත් වුණි. සමන් ගේ කාව්‍ය නිර්මාණයන් ඕස්ටේ‍්‍රලියාව පිළිබඳ සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග‍්‍රහයේ පලවිය. ඔහු ගේ ගී රචනා සිඞ්නි නුවර වෙසෙන ගායකයින් ගේ හඬින් ගැයෙනු ඇසේ. විවිධ ඓතිහාසික කරුණු ගැන ද සමන් සඟරාවලට ලිපි රචනා කර ඇත. ඔහු නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කෙරෙන "සිංහල" සඟරාවේ හිටපු සංස්කාරයෙකු ද වේ. මෙලෙස සිංහල ලේඛන කලාවේ සියළුම අංගයන් හි තම දස්කම් දක්වා ඇති සමන් දිසානායක වැනි පුරෝගාමී ලේඛකයින් ඕස්ටේ‍්‍රලියාව තුලින් බිහිවෙන නවක ලේඛකයින්ට මහත් වූ ශක්තියක් බව මගේ අදහසයි.

සිඞ්නි මහ නවකතාකරු සමන් දිසානායක අතින් තව තවත් නිර්මාණ බිහිවේවා යැයි අවසාන වශයෙන් පතමි.

-රසික සූරියආරච්චි ප/ලි: සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව https://rasikalogy.blogspot.com/2020/08/2007-rasika-suriyaarachchis-review-of.html

සමන් මහානාම දිසානායක ගේ දුරුතු සිහිනය (2007) නවකතාව පිළිබඳ විචාරයකි - Rasika Suriyaarachchi's review of Duruthu Sihinaya novel written by Saman Mahanama Dissanayake
























නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන් ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන් ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ය. එනමුත්, නවකතාවක අන්තර්ගතය කෙතරම් සංකීර්ණ වුවද නවකතාවේ ආකෘතිය සරල වේ නම් එය පාඨකයාට නීරස කෘතියක් වීමට ඇති ඉඩ කඩ ද බොහෝ ය.

සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට නවකතා කිහිපයකින් ම දායක වී ඇති සමන් මහානාම දිසානායක ඉහත කරුණු හොඳින් වටහා ගත් ලේඛකයෙක් බව මගේ හැඟීමයි.

දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් ලෙස වසර 2007 දී එළිදැක්වුණු "දුරුතු සිහිනය" සමන් මහානාම දිසානායකයන් ගේ පස්වන නවකතාවයි. ඔහු මීට පෙර බඹරැන්දේ කඟවේනා, කැන්ගරු නිම්නය, පුංචි සර් සහ රන්දෙණිගල වලව්ව නමින් සිංහල පාඨකයින් අතර ජනප්‍රිය වූ නවකථා හතරක් රචනා කොට ඇත.

"දුරුතු සිහිනය" සමන් දිසානායක විසින් ලියා අවසාන කර ඇත්තේ වසර කිහිපයකට කලිනි. එය පාඨක ආදරය දිනා ගනිමින් "රැජින" කාන්තා සඟරාවේ සතිපතා කොටස් වශයෙන් පළවී ඇත. "මල් කතා" යන නමින් පොදුවේ හැදින්වෙන සරල පෙම්කතා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති යුගයක, සිංහල පාඨක රස වින්දනය එයින් ඉහළ මට්ටමකට නංවන කෘතියක් ලෙස "දුරුතු සිහිනය" හඳුන්වා දෙනු කැමැත්තෙමි.

නවකතාකරුවෙකු ලෙස සමන් ගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට සිය නවකතා මගින් දක්වා ඇති ඔහු ගේ හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල සුදු කළු ඒවා නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන ඒවා වෙති. මේ විශ්වාසනීය චරිත සහ ඔවුන්ගේ අපූරු අත්දැකීම් ඇතුළත් අන්තර්ගතයට ම අනුකූලවන පරිදි ආකෘතියක් තෝරා ගැනීම ද සමන් හොඳින් සිදු කරයි. "දුරුතු සිහිනය" නවකතාව සමන් දිසානායක සතු ඉහත සඳහන් සියලුම නිර්මාණාත්මක හැකියාවන් හොඳින් විදහා දක්වන කෘතියක් බව පෙනේ.

"දුරුතු සිහිනය" කතාව ගෙතී ඇත්තේ ළදරු සමයේ තම නිවුන් සොහොයුරා සහ මෑණියන් අහිමිව පිය සෙවණේ හැදී වැඩුණු මිහිඳු ගේ ජීවිතය වටා ය. ඔහුගේ පියාණන් වන ආනන්ද හෙවත් වෙස්සන්තර මුදලාලි ද දෛවෝපගත අවාසනාවන්ත සිදුවීම් මාලාවක අවසානයේ තනිවී වෙසෙන්නෙකි. වයස එකොළහක දරුවෙකු ලෙස කෙදිනක හෝ තම මව සහ සොහොයුරා සොයා ගැනීමට හෝ ඔවුන් පිළිබද සත්‍යය එළිදරව් කර ගැනීමට අදිටන් කරන මිහිඳු ගේ එම ප්‍රයත්නය ඔහු ලංකාවේ විවිධ නගරවලට පමණක් නොව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයටත් රැගෙන යයි. අවසානයේ තම ප්‍රාර්ථනා සපුරා ගැනීමටත්, සිය පියාගේ අස්ථානගතවූ ඥාතීන් සොයා ගැනීමෙන් ඔහුගේ ජීවිතයට යම් සහනයක් ලබාදීමටත් ඒ සමගම තම අනාගත සහකාරිය හඳුනා ගැනීමටත් මිහිඳුට හැකිවේ.

මේ සියල්ල සිදුවන්නේ මනා ලෙස ගලපා ඇති උද්වේගකර සහ නාට්‍යමය සිද්ධීන් මාලාවක් හරහා වන අතර සමන් දිසානායක සරල දෙබස්, කාලානුරූප අතීතාවර්ජන, සිත් ගන්නා ස්වයං-භාෂණ සහ හොඳින් පබැඳුණු විස්තරයෙන් යුතු ආකෘතියක් තුළින් පාඨකයා නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇද බැඳ තබා ගැනීමට සමත් වෙයි.

"දුරුතු සිහිනය" නවකතාව සර්ව සම්පූර්ණ සුඛාන්තයක් නොවේ. නවකතාව අවසානයේ පාඨක හදවත් තුළ සතුටක් සමගම ඇතිවන්නේ දැඩි සංවේගයකි. එය කතුවරයා ගේ තවත් දස්කමක් යයි හඟිමි.

මෙම නවකතාවේ එන ආනන්ද මුදලාලි ගේ අනියම් බිරිය වන කුසුමලතා හෙවත් රුවන්පුර රූමතිය ගේ චරිතය අති සංකීර්ණ එකකි. ඇගේ හැසිරීම්, සිතුවිලි සහ ක්‍රියාකාරකම් සීමාසහිත මට්ටමකින් පමණක් විස්තර කරන කතුවරයා එමගින් පාඨකයා නවකතාවේ අන්තර්ගතය පිළිබඳ යම් ආකාරයක පශ්චාත් විශ්ලේෂණයක ට යොමු කරයි.

"දුරුතු සිහිනය" නවකතාවේ අන්තර්ගතව ඇති සුවිශේෂිත කරුණක් නම් සිංහල-දෙමළ ජනවාර්ගික දෙපිරිස අතර අද පවතින අනෝන්‍ය අවිශ්වාසයේ ඇති ශූන්‍යතාවයයි. කතුවරයා වරෙක මෙය එක එල්ලේ දෙබස් මගින් ද, තවත් වරෙක සූක්ෂම ලෙස කතා වස්තුව තුළ අන්තර්ගත කරමින් ද පාඨකයා ඉදිරියේ ගෙන හැරපායි.

මිහිඳු ගේ ඕස්ට්‍රේලියා ගමන විස්තර කිරීමේදී එහි වෙසෙන ජනයාගේ ජීවන රටාව ගැන, ඉඩ ලැබී ඇති මද ඉඩකඩේ දී වුව, යම් යම් තොරතුරු සහ විවරණයක් ගෙන ඒමට කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. එය ශ්‍රී ලාංකික පාඨකයන් ලබන අතිරේක ප්‍රතිලාභයකි.

දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස්ථ ව තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසියෙන් දොඩමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල සමතික්‍රමණය කර මේ වන විට (2013) නවකථා දහයක් පමණ රචනාකර ඇති සමන් දිසානායක සියලු අංකුර නවකතා රචකයන්ට ආදර්ශයක් බව නොපැකිලව පවසමි.

-රසික සූරියආරච්චි

Saturday, 11 January 2020

විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"



එච්. එච්. කරුණාරත්න ලියූ "හෙළ දම් පැදි වැල" කවි එකතුව පිළිබඳ රසික සූරියආරච්චි විසින් 2011 දී ලියූ විචාරයකි. මෙය 2011 මාර්තු සන්නස කළාපයේ පළ විය.



විගාමික සිංහල සාහිත්‍යයට සඳහම් සුවඳක් - "හෙළ දම් පැදි වැල"

මා, එච්. එච්. කරුණාරත්න කවියා මුලින් ම දුටුවේ වසර 2005 අග භාගයේ දී ස්කැට්ස් (SCATS) සංවිධානය විසින් සිඩ්නි නුවර එපින් හි දී පවත්වන්නට යෙදුණු "සාහිත්‍ය චින්තා" කවි සමුළුවේ දී ය. එදින ඔහු ලියූ සාහිත්‍යමය ලිපියක් කියවූ බව ද, ඔහු විසින් රචිත කවි පන්තියක් රස විඳි බව ද, මගේ මතකයේ ඇත.

එතැන් පටන් පසුගිය පස්වසර තුළ කරුණාරත්නයන් විසින් පබැඳුණු කවි පන්ති කිහිපයක් ම අසා, කියවා, රස විඳින්නට මට ඉඩ කඩ ලැබුණි.

"හෙළ දම් පැදි වැල" නමින් පසුගිය දා ප්‍රකාශයට පත්වුණු එච්. එච්. කරුණාරත්න කවි එකතුව පිළිබදව මා මේ කෙටි සටහන තබන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි.

තමා කවියෙකු නොවන බව නිරහංකාර ලෙස පෙරවදනේ සඳහන් කළ ද, එච්.එච්. කරුණාරත්නයෝ දීර්ඝකාලයක් තිස්සේ කාව්‍ය රචනාවෙහි යෙදුණු පළපුරුදු කවියෙකු වෙති. මේ කාව්‍ය සංග්‍රහයේ අඩංගු කර ඇති විවිධ විරිතින් පබැඳුණු සඳැස් කවි මෙන් ම සැහැලි වර්ගයේ රචනාවලින් ද ඒ බව මනාව සාධනය වේ.

ගණනින් එකුන් සැටක් වූ මේ කාව්‍ය පන්තීන්ගෙන් බහුතරයක් ම බෞද්ධ චින්තනය මත පදනම්ව, බොහෝ විට ධර්ම කරුණු පිළිබඳව රචිත ඒවා වීම ජීවිතයේ සැඳෑ කාලයේ පසුවෙන අප වැඩිහිටි පරපුරට මෙන් ම, මැදිවිය පසුකරමින් සිටින අපේ පරම්පරාවේ බණට, දහමට නැඹුරු වූ සිත් ඇත්තන්හට ද සතුට දනවන කරුණක් වෙනු ඇත.

පන්සල කේන්ද්‍රකොට ගත් බුද්ධාගම නමැති සංස්ථාව වෙත අප බැඳ තබා ගන්නා ආමිස පූජාවන් හි ප්‍රධාන තැනක් ගන්නා ගස් වන්දනාව සහ පිළිම වන්දනාව යන වන්දනා ද්වයේහි දී ම, සුගම විරිතට පබැඳිව, සුමුදු හඬින් ගැයෙන සිංහල කවි සහ පාලි ගාථා සාර්ථකව යොදා ගන්නා බව අප හොඳින් දන්නා කරුණකි.

ඒ අනුව බලන කල, "හෙළ දම් පැදි වැල" කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කාව්‍ය නිර්මාණ බොදු චින්තනය මත පදනම් වූ දිවි මගකට පාඨකයා යොමු කරවන ආකාරයේ ප්‍රබල විභවයක් ඇති රචනා බවට සැකයක් නැත.

ඇතැම් ගැඹුරු දහම් කරුණු පවා කරුණාරත්නයන් ගේ කාව්‍යමය හැකියාව හමුවේ සුගම පදවැල් බවට පෙරළී ක්‍රමිකව ගලා යයි. මා මේ කෘතියේ දුටු තවත් එක් සුවිශේෂී ලක්ෂණයක් නම්, බුදුගුණාලංකාරයේ අප කියවා ඇති ආකාරයේ කෙටි මාත්‍රාවෙන් යුතු කවි ප්‍රබල අරුත් හුවා දැක්වෙන අයුරින් පබැඳී ඇති ආකාරයයි.

උපන් බිමේ දිගු කලක් තිස්සේ කළ මෙහෙය නිමවා, විශ්‍රාමික සංක්‍රමණිකයෙකු ලෙස මේ "දකුණු කුරු දිවයින" ට පැමිණ තමා ලද ඒ විප්‍රවාසී අත්දැකීම් ද කවි බසට පෙරළා, හෙල දම්පැදිවැල කෘතියෙහි එන පදවැල් අතරට එක් කිරීමට කරුණාරත්නයෝ උත්සුකවීම ද පැසසිය යුතු කරුණකි. විගාමික සිංහල සාහිත්‍යයක පිබිදීමට ඉන් ලැබෙන රුකුල මම මෙහි ලා බෙහෙවින් අගය කරමි.

දේශපාලන කසළ ගොඩට සහ එහි ඉහඳ තබන නිලමැස්සන් ට වන්දිබට්ටකම් කෙරෙන "යුග පෙරළිය" නම් වු කවි පෙළ හමුවේ කිලිටි කර නොගෙන මා දෙනෙත වසාලමින්, "හෙළ දම් පැදි වැල" නමැති මේ කිරි කළය, කිරි කළයක් ලෙස ම හුවා දැක්වීමට මම කැමැත්තෙමි.

"හෙළ දම් පැදි වැල" කෘතියෙහි අඩංගු දම් පැදිවැල් කියවන, අසන, සෑම සිතක ම දම් සිතුවිලි පහළ වේවා, ඒ සිත් නිවේවා, සුවපත් වේවා යන්න මගේ පහන් පැතුමයි.

උපත සහ විපත අතර දුකෙහි ගැලෙමින්, සැපත සොයමින් අප ගෙවන මේ කෙටි ජීවිත කාලය අවසානයේ දී යම් ප්‍රයෝජනවත් වැඩක් කළා යයි සතුටු වීමට නම් "ගසක් වවා, පුතෙක් හදා, පොතක් ලියා තිබිය යුතුය" යනුවෙන් වැඩි දෙනෙකු නොදන්නා කියමනක් වේ.

සිනුවර අප අතර වෙසෙන කරුණාරත්නයන් තම දිගු ජීවිත කාලය තුළ අනේක සංඛ්‍යාවක් ගස් වවා ඇතැයි මම සිතමි. ඔහු රටට වැඩදායක දූ පුතුන් හදා ඇති බව ද අපි මැනවින් දනිමු. "හෙළ දම් පැදි වැල" නමින් මේ කෘතිය නිර්මාණය කිරීම තුළින් ඉහත කී තෙවැනි විවරණය ද එච්. එච්. කරුණාරත්නයන් ලබා ඇති බව කරුණා සිතින් යුතුව ඔබ සැමට මෙලෙස ලියා දන්වමි.

රසික සූරියආරච්චි

ප/ලි
මෙම කාව්‍ය ග්‍රන්ථයේ නිර්මාපකයා අවුරුදු 95 ක තම දිවිසැරිය පසුගිය දා නිම කර හෙට අවසන් ගමන් යයි. සුබ ගමන් කවියාණෙනි.

Thursday, 26 December 2019

නවකතාවක් ගැන කතාවක් - Once upon a time in Paris


මේ නවකතාවේ නම අමුතු එකකි. නමේ ඇත්තේ ඉලක්කම් පමණි. අකුරු නැත. නම 12.12.12 වේ. රචකයා මංජුල සේනාරත්න ය.

මා මංජුල සේනාරත්න ගැන දැන ගත්තේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හි ඇති පොත් කියවන අය නම් කණ්ඩායමේ ඔහු ලියූ සටහන් කිහිපයක් සංසරණය විය.

ඉන් එකක ප්‍රංශයේ පැරිස් නගරය මැදින් ගලා බසින සේන් ගංගාව ගැන ද, ඒ අඩවියේ ඇති පැරණි පොත් කඩ ගැන ද සඳහන් වී තිබුණි. මා ද දින දෙක තුනක් ම ඒ අඩවියේ රස්තියාදු වී ඇති නිසා මම ඒ ලිපිය උනන්දුවෙන් කියවීමි. ඒ ලිපියේ ද, ඔහු ලියූ අන් ලිපිවලද අන්තර්ගතය මෙන්ම රචනා විලාසය ද මා සිත් ගත්තේ ය.

මංජුල සේනාරත්න යනු ලේඛකයෙකු බවත් ඔහු ලියූ නවකතා පිළිබඳවත් මට දැන ගන්නට ලැබුණේ ඉන් පසුවයි.

පසුගිය සැප්තැම්බරයේ අම්මාගේ උපන් දිනය අල්ලා ලංකාවට ගිය දිනවල පොත් ප්‍රදර්ශනයට ගොඩවෙන්නට ද අවස්ථාවක් ලැබුණු නිසා, මංජුල සේනාරත්න ලියූ ඉහත සඳහන් 12.12.12 නම් පොත ද, තවත් නවකතාවක් ද මිලට ගන්නට ලැබුණි.

දැන් වසර කිහිපයක සිට වසරක් පාසා ලංකාවට යෑමට මට අවස්ථාව ලැබුණු නිසාත්, ගුවන් සමාගම් විසින් මුල් කාලයේ අප රැගෙන යන ගමන් මල්ල සඳහා පනවා තිබුණු කිලෝ විස්සක සීමාව දැන් කිලෝ තිහ, හතළිහ දක්වා වැඩි කර ඇති නිසාත්, පසුගිය වසර කිහිපය තුළ මා ගමන් මල්ලේ ද, මුහුදු තැපෑලෙන් ද ලංකාවෙන් ගෙනා පොත් ප්‍රමාණය කිලෝ අසුවක් ඉක්මවයි.

එනිසා, ලංකාවෙන් පොතක් ගෙන ආවා යන්නෙන් එය වහා කියවෙන බව අදහස් නොකෙරේ. ඇත්ත වශයෙන් ම මා 2015 දී ගෙන ආ සමහර පොත් තවමත් කියවා නැත. ඒවා කියවීමට පෙර, යළිත් ලංකාවෙන් පොත් ගෙන ඒම ද, ලංකාවේ මුද්‍රිත පොත්වලට අමතරව වෙනත් පොත් කියවීම ද එයට හේතුවයි.

ඒ අනුව සිතන කළ මා 12.12.12 කියවීමට නියමිතව තිබුණේ සමහරවිට තව වසරකින් දෙකකින් වන්නට ද ඉඩ තිබුණි.

නමුත්, මංජුල සේනාරත්න ගැන ද, ඔහු ලියූ පොත් ගැන ද මා දැන ගත් ෆේස්බුක් තුළින් ම ඔහුගේ මේ 12.12.12 පොත ගැන යම්කිසි විවාදාත්මක සාකච්ඡාවක් කෙරෙනු මට දැක ගත හැකි විය.

පොරොත්තු ලේඛන සුනඛයින්ට දමා වහාම 12.12.12 පොත වහා ම කියවීමට මට සිතුණේ ඒ නිසා ය.


මේ නවකතාව අප කියවා හුරුපුරුදු සිංහල නවකතාවට වඩා කිහිප අතකින් වෙනස් වේ.

එය ලියවී ඇත්තේ ලංකාවේ ගමක් හෝ නගරයක් හෝ නොව ප්‍රංශයේ පැරිස් නුවර පසුබිම් කරගෙන ය. එම පසුබිම පාඨක සිත තුළ මවන්නේ මා කලින් දවසක හඳුන්වා දුන් ආගන්තුක චමත්කාරයයි.

පැරිසියේ සිදුවීම් පිළිබඳව විස්තර කෙරුණ ද, ප්‍රංශුවන් ප්‍රධාන චරිත කිහිපයක් ම නිරූපණය කළ ද, 12.12.12 නවකතාවේ ප්‍රධාන චරිතය සහ තවත් චරිත කිහිපයක් ම සිංහල කතා කරන සංක්‍රමණිකයින් වෙති. එනිසා, පාඨක සිත් තුළට අපේ කමක් ද ඇතුළු වේ.

නවකතාව ගෙතී ඇත්තේ අභිරහස් මිනීමැරුමක් පිළිබඳව ය. එය විසඳීමට ප්‍රංශ පොලිසියේ නිලධාරීන් පියවරෙන් පියවර හැකිතාක් දුරට නීතිය නොනමමින් දරණ උත්සාහය පිළිබඳව ය. කොනන්ඩොයිල් කෘති පරිවර්තන ප්‍ර්‍රිය කරන සිංහල පාඨකයින්ට පමණක් නොව සාමාන්‍ය රුචිකත්වයක් ඇති අයට ද මේ පොත ආකර්ෂණීය එකක් වෙනු නොඅනුමාන ය.

මංජුල සේනාරත්නගේ 12.12.12 පොත ලියවී ඇති විලාසය මට සිහි කළේ මා ප්‍ර්‍රියතම මේ ශානරයේ නවකතාකරුවන් දෙදෙනෙකු වන ජෝන් ග්‍රිෂෝම් සහ ජේම්ස් පැටර්සන්ගේ මා කියවා ඇති නවකතා ය. පොතේ අවසානය දක්වාම පාඨක කුතුහලය රඳවා තබා ගැනීම ද, පාඨකයාට ද සිතන්න යමක් සැමවිටම ඉතුරු කරමින් රහස් පරීක්‍ෂණ ක්‍රියාවලියේ කොටසක් කර ගැනීම ද, කතාව ගලා යාමේ දී සිදුවෙන විවිධාකරයේ පොට පෙරළීම් ද, ඒ කතා කීමේ කලාවේ මූලික ලක්‍ෂණ වේ.

මංජුල සේනාරත්න මේ ශානරයේ ලේඛකයෙකු අභිමුඛව ඇති ඒ සාර්ථකත්වයේ නිර්ණායක සියල්ල සමතික්‍රමණය කර ඇත.

නවකතාවේ ඇති මා දුටු එකම දොස නම්, එය ප්‍රමාණයෙන් පිටු 400 ඉක්මවා යාමයි. එය සිංහල නවකතාවක සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ය. සිංහල පාඨකයාට හුරු පුරුදු ලංකාවේ ජවනිකා (පියා අසනීප වීම වැනි) ඉවත් කරන්නට හෝ සංක්‍ෂිපත්ක කළ හැක. එසේ ම, පැරිසියේ සිංහල පුවත්පත් වාර්තාකරු පිළිබඳ අතුරු කතාව ප්‍රමාණයට වඩා උපහාසයට බරවී දිග් ගැසුණේ ද කියාත් සිතේ. එය ඉවත් කළ ද, 12.12.12 මිනීමැරුම් අභිරහසේ රසයට බාධාවක් නොවෙනු ඇත.

ඇත්තටම කියනවා නම්, මෙම නවකතාවේ මුල් කොටස, එනම් මේ යුවල පිළිබඳ මරණයට පෙර කතා කොටස් සියල්ල, ඉවත් කර ඔවුන්ගේ නිවෙස සහිත ගොඩනැගිල්ල බලාකියාගන්නා පුද්ගලයා විසින් මිනීමැරුම පිළිබඳව තොරතුර පොලිසියට ලබාදෙන ස්ථානයේ සිට නවකතාව අරඹා, පොලිසිය විසින් කරුණු සියල්ල සොයා ගන්නා ආකාරයට ලියුවේ නම් නවකතාවේ ඇති රහස් පරීක්ෂකභාවය (එසේ වචනයක් ඇත්නම්) මීට වඩා තීව්‍ර වෙන්නට ඉඩ තිබුණි.

මංජුල සේනාරත්න ලියූ "ප්‍ර්‍රියා සමග ඉරිදාවක්" ළඟඳීම කියවීමට අදහස් කරමි.

-රසික සූරියආරච්චි

Saturday, 21 September 2019

පොත් ප්‍රදර්ශනය සහ ලේඛකයෝ - Writers? Who are they?





මේ දිනවල කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වේ. මම ද එය ඇරඹුණු සිකුරාදා එහි ගියෙමි.

එහි දී මා නොදන්නා ලේඛකයෙකුගේ පොත් එළිදැක්වීමක අවසන් පැය කාලට සහභාගී වීමට මට ඉඩකඩ ලැබුණි.

ප්‍රදර්ණය කෙසේ වෙතත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී විකිණෙන්නේ පොත් ය.

පොත් ලියන්නේ ලේඛකයින් ය.

එනිසා පොත් ප්‍රදර්ශනයේ දී ලේඛකයින් යනු ඉහළින් ම සැළකුම් ලබන පිරිස යැයි නොදන්නා අයට සිතෙනු ඇත.

එහෙත් යථාර්තය ඊට වෙනස් ය.

පොත් ප්‍රදර්ශනයේ නොවැදගත් ම පිරිස පොත් ලියූ ලේඛකයින් බව මට පැහැදිලි වීය. ඒ සඳහා හොඳම උදාහරණය නම් පොත් එළිදැක්වීම සඳහා ලබා දී ඇති මෙම ඡායාරූපවල දැක්වෙන හරක් මඩුවක් වැනි ස්ථානයයි.

මෙම ස්ථානය, පොත් එළිදැක්වීම සඳහා භාවිතා කිරීම යෝජනා කර අනුමත කළ අය නම් පොත් ලියන අය හෝ පොත් කියවන අය හෝ පොත් අගය කරන අය හෝ විය නොහැකි ය.

මෙම මඩුව අවට විවිධ ශබ්ද විකාශන පණිවිඩ සහ සංගීතයෙන් පරිසරය පිරී පවතී.

එහි බිමට ඇත්තේ තණකොළ නිසා අවශ්‍ය නම් උලාකෑම ද කළ හැක.

මඩුව තුන් පසකින් විවෘත නිසා වැස්සොත් අබ සරණ ය

ගිය වසරේ ඔහු සහභාගි වූ දෙල්පචිත්‍ර නම් නාට්‍යකරුවාගේ පොත් එලිදැක්වීමේ උත්සවෙය් දී මේ පිළිබඳ විරෝධය පෑ මා මිත්‍ර ලේඛක හෙන්රි වර්ණකුලසූරිය ඒ සති අන්තයට නියමිත වූ ඔහුගේ පොත් එළිදැක්වීමේ උත්සවය විජේරාම මාවතේ ඉංජිනේරු ආයතනයට තැන් මාරු කළේය.

නමුත් මේ වසරේ ද වෙනසක් සිදුවී නොමැති හැඩයි.

චීන පොත් එළිදැක්වීමක් නම් මීට වඩා හොඳ ශාලාවක සිදුවෙනු පෙනුනි.

හෙට ඉරිදා, හවස, මෙම ස්ථානයේ දී ම, මා මිත්‍ර පාලිත ගනේවත්තගේ ඇනා ගෙළ පැළඳ කෘතියේ එළිදැක්වීමට සහභාගී වීමට මට සිදුවේ.

අහෝ ඛේදයකි.

-රසික සූරියආරච්චි

Tuesday, 17 September 2019

"ඉම තව දුර ය" - A note about a book launch



දිගු දවස් ඇති සැප්තැම්බරයේ මා සහභාගී වූ මුල්ම සාහිත්‍යමය කටයුත්ත වූයේ පසුගිය සිකුරාදා සවස් වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වුණු ආරියවංශ රණවීර නම් ප්‍රවීණ කවියාගේ පහළොස්වෙනි(?) කාව්‍ය ග්‍රන්ථය වන "ඉම තව දුරය" කෘතියේ දොරට වැඩීමේ උත්සවයයි.

එදින මගේ මව වාසය කරන නිවසට පැමිණ, පාන්දර දෙකහමාරේ සිට උදෑසන හතහමාර දක්වා පස් පැයක නින්දක් ලැබුව ද, සිනුවර සිට කොළොම්තොට දක්වා සංක්‍රමණයට ගත වූ පැය විසි හතරක නිදිවර්ජිත කාලයේ විඩාව තවමත් පහව ගොස් නොතිබුණි. නමුත් ශාලාවට පැමිණ විනාඩි දහයකින් සවස 3:15 ට ඇරඹී රාත්‍රී 6:30 පමණ දක්වා පැවැත්වුණු දොරට වැඩීමේ උත්සවයේ දී ඒ මා නොලැබූ නින්දට මට කරදර කරන්නට එහි දී කතා කළ ලේඛකයින් හය දෙනා කිසිසේත්ම ඉඩ නොතැබූ බව මුලින් ම සඳහන් කළ යුතුය.

ඒ වෙනුවට එහි දී මා අත් වින්දේ මා සිත තුළ කවිය පිළිබඳව අති මහත් උනන්දුවක් ඇති කළ වටිනා පැය තුන හමාරකි. මේ කාලයෙන් බිඳක් හෝ පොල්තෙල් ගිනි තබා පිච්චීමට තබා පොත් පිලිගැන්වීම් සඳහා මිඩංගු නොකිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

එදින මයික්‍රෆෝනය හිමි වූ ලේඛකයින් වූයේ:

මූලිකව
මුල්ම දීර්ඝ දේශනය පැවැත්වූ හිනිදුම සුනිල් සෙනෙවි
දෙවන දීර්ඝ දේශනය පැවැත්වූ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල
තෙවෙනුව සාපේක්‍ෂව කෙටියෙන් කතා කළ සුහර්ෂණී ධර්මරත්න

ඒ සමගම
මුලසුනේ සිටි කීර්ති වැලිසරගේ
කෘතියේ කතෘ ආරියවංශ රණවීර සහ
සභාව මෙහෙය වූ අසංක සායක්කාර යන සය දෙනා ය.

මේ එක් එක් ලේඛකයින් විසින් පැවසූ සියලු දෑ පිළිබඳව විශ්ලේෂණය කිරීම කෙසේ වෙතත්, ඒ පැය කිහිපයේ දී මා උකහා ගත් කරුණු කිහිපයක් ඉඩ ලැබෙන අයුරින් කෙටියෙන් ලියා පළ කිරීමට මම අදහස් කරමි.

ඒ අවස්ථාව සොයා ගන්නා තුරු, සඳහන් කළ යුතු එක් වැදගත් කරුණක් ඇත.

පොත් එළිදැක්වීමේ උත්සව යනු සංගීත සංදර්ශන නොවේ. අප බොහෝ දෙනෙකු එහි යන්නේ සාරගර්භ සාහිත්‍ය දේශනවලට සවන්දීමට බව නොරහසකි. එය එසේ වී නමුත්, ආරියවංශ රණවීරගේ ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේ දී ප්‍රධාන දේශන පැවැත්වූ ලේඛකයින් දෙදෙනාට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගත කළ කාලය 25% කින් පමණ අඩු කළ හැකිව තිබුණු බව මගේ අදහසයි. මෙහි වරද දේශකයින්ගේ පමණක් නොවේ. සංවිධාකයින් ද මෙයට වග කිව යුතුය. දේශකයින්ට ආරාධනා කිරීමේ දී ඔවුන්ට ලැබෙන උපරිම කාල සීමාව නිශ්චිතව විනාඩි කීයක් ද යන්න (ඔව් විනාඩි මිස පැය නොවේ!) දැනුම් දී ඉන්පසු උත්සවය පැවැත්වෙන වේලාවේ දී එය ඒ ආකාරයෙන් ම නියාමනය කිරීමයි.

එසේ නොවුණු කල සිදුවන්නේ, මුල් කථිකයින් ගත් අමතර කාලය සඳහ අවසාන කථිකයින්ට වන්දි ගෙවීමට වීමයි.

ඉම තව දුරය කාව්‍ය ග්‍රන්ථය උත්සවයේ දී කාල නියාමනය ක්‍රමවත්ව සිදු වූවා නම්, අපට ආරියවංශ රණවීර කවියාගේ ගද්‍යමය අදහස් ද මීට වඩා දැන ගැනීමට ඉඩ තිබුණි. එසේම, කාලවේලාව හරස් නොවුනේ නම්, මුලසුනේ සිටි කීර්ති වැළිසරගේට ද, තවත් දේ පවසන්නට අවශ්‍යතාව තිබුණු බව මට පැහැදිලි විය.

පුද්ගලිකව මට අලුතෙන් සාහිත්‍යකාමීන් කිහිප දෙනෙකු හෝ හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබෙන්නට තිබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ සැප්තැම්බරයේ මා ගෙවන දිගු දවස් පිළිබඳව මා ලියන තෙවන ලිපියයි. ඒ සමගම මෙය සැප්තැම්බරයේ නැවත ඇරඹුණු මගේ රසිකොලොජියේ අටවෙනි ලිපිය ද වේ.

මීළඟට සුහර්ෂණී ධර්මරත්නගේ කළ කතාව පිළිබඳ මගේ අදහස.

Sunday, 15 September 2019

සැප්තැම්බරයේ දිගු දවස් - Long days of September


වසර කිහිපයකට පෙර මා මිලට ගත්, නමුත් තවමත් කියවන්නට අවකාශයක් නොලද ආකර්ෂණීය නමකින් යුතු නවකතාවක නම මදක් වෙනස් කර එය භාවිතා කරමින් මා මේ සැරසෙන්නේ, මේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍යය පිළිබඳව ඇති උනන්දුව තවත් වැඩි කරවන සිදුවීම් කිහිපයක් පිළිබඳව සටහන් මාලාවක් ලියන්නයි.

වර්ෂ 1995 අප්‍රියෙල් මාසයේ දී ඇරඹුණු මගේ විගාමික ජීවිතයේ දී සාමාන්‍යයෙන් මා ලංකාවට පැමිණියේ මහජන නිවාඩු දින රාශියකින් ද, දිගු පාසල් නිවාඩුවෙන් ද සමන්විත දෙසැම්බර්-ජනවාරි කාලයේ දී ය. නමුත්, 2012 වසරේ දී මුල්වරට සැප්තැම්බර් මාසයක දින කිහිපයක් හෝ ලංකාවේ ගත කරන්නට මට අවකාශය ලැබුණි. එවර පොත් ප්‍රදර්ශනයේ ආස්වාදය ලබා ගැනීමටත්, එහි පැවති සාහිත්‍ය සාකච්ඡාවක කොටසක් ශ්‍රවණය කිරීමටත් මට ඉඩ ලැබුණු නමුත් වෙනත් සාහිත්‍ය කටයුතුවලට සහභාවී වීමට අවස්ථාවක් තිබුණේ නැත.

ඒ සියල්ල වෙනස් වූයේ පසුගිය වසරේ දී ය. මා 2018 සැප්තැම්බරයේ ලංකාවේ ගත කළ සති දෙක ඇතුළත සාහිත්‍යමය අවස්ථා රාශියකට, විශේෂයෙන් ම පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයකටම සහභාගී වීමට මට අවස්ථාව ලැබුණි.

ඒ විස්තරය මෙසේ ය.

චමල් අකලංක පොල්වත්තගේ ලියූ ආදරේ රත්නපුර වගේ කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 16 දින දියත උයනේ දී (චමල් යනු සහෘද බ්ලොග්කරුවෙකි).


දමිත් විලේගොඩ ලියූ එහෙ මෙහෙ යන අතර කවි පොත එළිදැක්වීම, සැප්තැම්බර් 17 දින බොරැල්ලේ පුංචි තියටර්හි දී (දමිත් යනු සහෘද බ්ලොග්කාරියක වූ නිනී සෙනෙවිරත්න ගේ සැමියා ය).


නුවන් හෙට්ටිආරච්චි විසින් පුවත්පතක් සඳහා කළ සම්මුඛ සාකච්ඡා මාලාවක එකතුවක් වූ සොඳුරු රස්තියාදුව නම් කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 18 දින මහවැලි කේන්ද්‍රයේ දී.


තිඹිරියාගම බණ්ඩාර ගේ ගිනිගත් දේශයක කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් 19 දින බොරැල්ලේ කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාල භූමියේ පිහිටි ශාලාවේ දී.


හෙන්රි වර්ණකුලසූරිය විසින් රචිත කී නොකී කතා කෘතියේ එළිදැක්වීම, සැප්තැම්බර් මස 22 දින විජේරාම මාවතේ පිහිටි ඉංජිනේරු ආයතනයේ ශාලාවේ දී (හෙන්රි වර්ණකුලසූරිය යනු සහෘද බ්ලොග්කරුවෙකි).


මීට අමතරව, සැප්තැම්බර් 15 දින පැවැත්වුණු ස්වර්ණ පුස්තක සම්මාන උත්සවය නැරඹීමට ද මට හැකිවිය. ආරාධිත අමුත්තන් සඳහා පමණක් විවෘත වූ ඒ අවස්ථාව සඳහා මට ඉඩකඩ ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශක ජනක ඉනිමංකඩ විසිනි.


ඒ 2018 සැප්තැම්බරයේ දිගු දවස් කිහිපයක විස්තරයයි.

දැන් 2019 සැප්තැම්බරයේ ද එවැනි දිගු දවස් අත්විඳින්නට මට අවස්ථාව ලැබී ඇත. ඒ විස්තර ඉදිරි දිනවල සටහන් කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පොත් එළිදැක්වීමේ උත්සව පැවැත්වෙන්නේ සැප්තැම්බරයේ පමණක් ම නොවේ. මා 2015 දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති දෙකක කාලයේ දී මට පොත් එළිදැක්වීම් දෙකකටම සහභාගීවීමට ඉඩ ලැබුණි.

1. යශෝධා සම්මානී ප්‍රේමරත්න ලියූ ඉතා කෙටි කළබළ සිහින කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 12 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poetry-is-not-for-everyone.html

2. නිරාශ ගුණසේකර ලියූ මැරිලින් මොන්රෝ, ඔබ සහ මම කාව්‍ය සංග්‍රහයේ එළිදැක්වීම, 2015 දෙසැම්බර් 16 දින මහවැලි කේන්ද්‍රයේ දී
https://rasikalogy.blogspot.com/2015/12/poem-dedicated-to-hashitha-abeywardana.html

(image: https://ladymud.wordpress.com/2014/09/01/welcome-september/)

Thursday, 5 September 2019

පොත් වට්ටම් ප්‍රශ්නය පිළිබඳව මගේ සත පහ - Consumer rights and anti-competitive behaviour


ලංකාවේ සාහිත්‍ය මාසය නිසා සිංහල සාහිත්‍යකාමීහු පිබිදෙමින් සිටිති. මකුළු දැල් බැඳෙමින් තිබුණු මගේ රසිකොලොජි බ්ලොගය ද නැවත පණ ගැහුණේ මේ සාහිත්‍ය මාසය නිසාම ය.

මේ දිනවල සමාජජාලාවල පැතිර යන උණුසුම් පුවතක් නම් ප‌ොත් ප්‍රකාශකයින්ගේ සංගමය නම් සංවිධානය මගින් තමන්ගේ ප්‍රකාශන සඳහා ලබාදෙන උපරිම වට්ටම සියයට විස්සක් බව තීරණය කර එය ක්‍රියාත්මක කිරීම සහ එම සංගමයේ සාමාජිකයින් නොවන විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි.

පොත් ප්‍රකාශකයින් තමන් විසින් ප්‍රකාශනය කරන පොත් සඳහා සිල්ලර මිල නියම කරන්නේ තමන්ම බැවිනුත් සඳහා වට්ටම් ලබා දෙන නොදෙන බව සහ වට්ටම් ප්‍රමාණය තීරණය කරන්නේ ද තමන් ද බැවිනුත් මේ වට්ටම් යනු කෘතිම දෙයක් බව පැහැදිලිය.

එසේම, මගේ අදහස නම් වැඩි වට්ටමක් යනු ප්‍රෝඩාවක් බවයි එනම් සෑම පොතකම මිල රුපියල් දහදාහකට නියම කළහොත් ඔවුනට පාරිභෝගිකයින්ට 95% ක වට්ටමක් දිය හැක.

කෙසේ වෙතත්, පොත් ප්‍රකාශන සංගමයේ සාමාජිකයින් විසින් මේ ක්‍රියාත්මකවන්නේ කතිපයාධිකාරයක (oligopoly) ආකාරයට බවත් එය පාරිභෝගික ආරක්ෂක පනත සහ වෙළඳ නීතිවලට අනුව තරඟකාරී-විරෝධී (anti-competitive) නීති විරෝධී කටයුත්තක් බවත් නිසැකවම කිව හැක. එපමණක් නොව ඔවුන් විසින් තමන් නියම කරන මිලට භාණ්ඩ විකුණන ලෙස පොත් ප්‍රකාශකයින් නොවන වෙනත් වෙළඳුන්ට කරන බලපෑම ද නීති විරෝධී එකක් වේ

මගේ යෝජනාව නම් පාරිභෝගිකයින් ලෙස අප මේ පිළිබඳව සාධාරණ වෙළඳ කොමිසමට සහ වෙනත් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පෙනී වෙනුවෙන් පෙනී සිටින ආයතනවලට පැමිණිලි කළ යුතු බවයි.

එසේම ධනවාදී වෙළෙඳපොළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒකාධිකාරීත්වය (monopoly) ද්වි අධිකාරීත්වය (duopoly) සහ පෙර සඳහන් කළ කතිපයාධිකාරීත්වය (oligopoly) නොමැතිව වෙළෙන්දන් අතර හොඳ තරගයක් තිබිය යුතු වන අතර ඒ සමගම පාරිභෝගිකයින් සහේතුක (rational) ආකාරයට තීරණ ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව තොරතුරු නිසි පරිදි ලැබී තිබිය යුතුයි.

සාධාරණ වෙළෙඳ කොමිසම සහ තවත් රජයේ ආයතන පිහිටා තිබෙන්නේ මේ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය.

මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ මා පෙර සඳහන් කළ පරිදි පාරිභෝගිකයින් විසින් සහේතුකව තීරණ ගැනීමයි. යම්කිසි වෙළෙන්දෙකු හෝ වෙළද සංගමයක් විසින් පාරිභෝගිකයින්ට නොමනා අන්දමින් සලකන විට ඔවුන් තවදුරටත් වෙළඳාම කරනවද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විශාල බලපෑමක් කළ හැකියි.

පොත් ප්‍රකාශන සංගමයේ කතිපයාධිකාරී ක්‍රියාකාරීත්වය ගැනත් වෙනත් වෙළඳුන්ට කරන බලපෑම් පිළිබඳව පාරිභෝගිකයින් වශයෙන් අප සාධාරණ වෙළඳ කොමිසමට පැමිණිලි කළ යුතු යයි මම නැවතත් යෝජනා කරමි.

ලංකාවේ සේවය කළ සමයේ පාරිභෝගිකයින් විසින් කරනු ලැබූ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව ඔවුන් විසින් නිසි පරීක්ෂණ පැවැත්වූ බව ඒ සමහර කටයුතු වලට උපදේශකයෙකු ලෙස සහභාගි වූ මම හොඳින් දනිමි.

-රසිකොලොජිස්ට්

(image: https://blog.ipleaders.in/anti-competitive-agreements/)

Sunday, 1 September 2019

බිරිඳ ලියූ පොත - Introducing "Lost in Floral Rain" novel


මා ප්‍රිය බිරිඳ පසුගිය දා පොතක් ලියා පළ කළා ය.

එය නවකතාවකි. එහි නම "Lost in Floral Rain" ය. එයින් හැඟෙන පරිදි මෙය ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන ලද ග්‍රන්ථයකි.

පසුගිය අප්‍රියෙල් මාසයේ දී, සරසවි පොත් සමාගමේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වුණු "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථයේ පිටපත් රට පුරා විහිදී ඇති එම සමාගමේ පොත්හල්වලින් මිලට ගත හැක.

මෙම කෘතියේ ශ්‍රී ලාංකික දොරට වැඩුම 2019 අප්‍රියෙල් මස 20 දා, සෙනසුරාදා, රාත්‍රියේ පිළියන්දල මඩපාත තොටුපල හෝටලයේ දී, ආරාධිත ඥාතී හිත මිතුරන් සමූහයක් අභිමුඛයේ දී පැවැත්විණි.

"ලොස්ට් ඉල් ෆ්ලෝරල් රේන්" ග්‍රන්ථය සහ එහි කතුවරිය පිළිබඳව ලියවුණු සාකච්ඡාමය ලිපියක් ඩේලි නිවුස් පුවත්පතේ ඉන් දින කිහිපයකට පසුව පළ විය. https://lostinfloralrain.blogspot.com/2019/05/feature-article-in-daily-news-of.html

පුෂ්පා සූරියආරච්චිගේ නවකතාව පිළිබඳව මුල්ම විචාරය ලියවුණේ එහි අත්පිටපත කියවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්ලිෂ් භාෂා අංශයේ මහාචාර්ය කාමන් වික්‍රමගමගේ අතිනි. එම විචාරය ද ඩේලි නිව්ස් පුවත් පතේ පළ විය. http://www.dailynews.lk/2019/05/29/tc/186812/fond-memories-childhood

ඩේලි නිව්ස් පුවත් පතට තවත් විචාරයක් සපයා තිබුණේ, "ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතියේ මුද්‍රිත පිටපතක් කියවූ කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය කමණී ජයසේකර විසිනි. http://www.dailynews.lk/2019/07/17/tc/191278/petal-reading-experience

මෙම කෘතියේ ඕස්ටේ‍ර්ලියානු දොරට වැඩුම පැවැත්වුණේ 2019 ජූලි 14 දින දී ය. නමුත් ඊට පෙර පුෂ්පා සූරියආරච්චි සේවය කරන ස්ථාන ද්වයක (හොක්ස්බරි රෝහල සහ මින්චින්බරි රෝහල) ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සව සංවිධානය කර තිබුණි.

ඒ එක් උත්සවයක් පිළිබඳව සිඩ්නි තදාසන්න ප්‍රාදේශීය පුවත්පතක පළවුණු විස්තරයක් දුටු සිනුවර වෙසෙන ශ්‍රී ලාංකික පුවත්පත්කලාවේදියෙකු වන නුවන් ගන්කන්ද විසින් සති අග අරුණ පුවත්පතට ලිපියක් ද සපයා තිබුණි. http://epaper.aruna.lk/Home/ShareArticle?OrgId=90e0ce3f

"ලොස්ට් ඉන් ෆ්ලෝරල් රේන්" කෘතිය පිළිබඳ සියළු තොරතුරු රැගත් බ්ලොග් අඩවියක් සහ ෆේස්බුක් පිටුවක් ද ඇත.

මෙන්න ඒ විස්තර නැවතත්.

බ්ලොග් අඩවිය: https://lostinfloralrain.blogspot.com/

ෆේස්බුක් පිටුව: https://www.facebook.com/Lost-in-Floral-Rain-1298502120314539/

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

ප/ලි
අකර්මන්‍ය වී තිබූ මගේ බ්ලොග් කෙරුවාව, අද 2019 සැප්තැම්බර් පළමුවෙනිදා, මෙසේ යළි ඇරඹේ.

(image: )

Thursday, 31 January 2019

නිර්නාමිකයෙකු ලියූ 2018 ස්වර්ණ පුස්තක ග්‍රන්ථ විචාරය - Anonymous book reviews



මා 1995 වසරේ අප්‍රියෙල් මස ලංකාවෙන් ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කළ පසු පහළොස් වරක් ලංකාවට ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයක ලංකාවේ සිට ඇත්තේ දෙවරක් පමණි. ඒ 2012 වසරේ දී සහ 2018 වසරේ දී ය.

පසුගිය සැප්තැම්බරයේ ලංකාවට ගිය මට දිගු කලක සිට අසා තිබුණු ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදාන උත්සවය නැරඹීමට හැකි විය. ආරාධිත අමුත්තන්ට පමණක් සහභාගී විය හැකි ඒ සාහිත්‍ය උත්සවය සඳහා මට අවස්ථාව ලබා දුන්නේ විදර්ශන ප්‍රකාශන ආයතනය හිමි ජනක ඉණිමංකඩ විසිනි.

එදා පැවති ස්වර්ණ පුස්තක සම්මාන උත්වයේ දී අවසන් වටයට තේරී තිබුණේ:
  • චක්‍ර (ජයතිලක කම්මැල්ලවීර)
  • යකඩ සිල්පර (විමල් උදය හපුගොඩආරච්චි)
  • අසනග වැසි (දර්ශනා ශම්මි විජේතිලක)
  • වරණ (පද්මිණී සෙනෙවිරත්න) සහ
  • අප්පච්චි ඇවිත් (සමන් වික්‍රමාරච්චි) යන නවකතා පහ ය.
ලංකාවේ නිවාඩුව ගත කර, මා ආපසු නිවසට පැමිණෙන විට ගෙන ආ කිලෝ විසි දෙකක් බරැති පොත් අතර ස්වර්ණ පුස්තක සමමාන අවසන් වටයට තේරුණු ඉහත පොත් පහ ද විය.

පහත දැක්වෙනුයේ මා ගෙනා ඒ පොත් කියවූ නිර්නාමික පාඨකයෙකු විසින් මගේ ඇරයුමෙන් ඒ පිළිබඳව තමන්ගේ අදහස් කෙටියෙන් ලියා දැක්වූ අයුරුයි.

පොත් කියූ පාඨකයා ලියා ඇත්තේ තමන්ට ඒ පොත් ගැන සිතුණු දෙය ය.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද යන්න පවසන්න.

දැන් මෙන්න ඒ නිර්නාමික පාඨකයාගේ අදහස්.


වරණ
නවකතාවක් ලෙස ඉතා සාර්ථකයි. එහෙත් ඉතිහාසය වෙනස් කිරීම ගැන සමාවක් දිය නොහැක. එනම්, ඇහැලේපොළ කුමාරිහාමි සහ දරුවන් ගැන ඉතිහාස කතාව බොරුවක් බව පැවසීම සහ සීතාවක රාජසිංහ රජතුමා තමාගේ පිය රජතුමා වන මායාදුන්නේ රජ මැරැව්වේ නැති බවත්, මායාදුන්නේ රජතුමා සිය කැමැත්තෙන් ම රජකම රාජසිංහ රජතුමාට පැවරූ බවත් පැවසීම.

යකඩ සිල්පර
ඉතාමත් සාර්ථක නවකතාවකි. ඒ කාලයේ මිනිසුන් ගැන ගම්බද පරිසරය ගැන බොහොම අපූරුවට ලියා ඇත. මුලින්ම දුම්රිය මාර්ගයක් තැනීම ගැන විස්තරය ඒ ගැන හොඳ අධ්‍යයනයක් කර ලිවිය යුතුය. එය සාර්ථක අන්දමින් ලියා ඇත.

චක්‍ර
නවකතාවක් ලෙස පොතේ මුල් කොටස බොහොම සාර්ථකයි. අග කොටසේ දේශපලානය, රුවන් ඕස්ටේ‍ර්ලියාවේ ගතකරන විලාසය වාර්ථාවක් වගේ කිලයි මට හිතෙන්නේ.

අසනග වැසි
ඉතා සාර්ථක නවකතාවක් යැයි කිව හැක. පුරාණ කතරගම විස්තර ඉතා අලංකාර ලෙස ලියා ඇත. අපට සිදුවන හිත් නරක්වීම් අපේ පෙර අකුසල කර්මවල ඵල විපාක බව කතුවරිය පැහැදිලිව තේරුම් කර දෙයි. ආලත්ති අම්මාවරු ගැන, නොයෙක් බෙහෙත් වර්ග ගැන, ඒ පළාතේ කෑම බීම ගැන, දේවාල පෙරහැර ගැන විස්තර හොඳ අධ්‍යයනයක් කර ලියා ඇති බව පෙනේ.

අප්පච්චි ඇවිත්
කතාවේ මුල සිට මානසික ලෙඩෙක් ගැන කියැවේ. පොතෙන් හතරෙන් එකක් ම උසාවියේ නඩු ඇසීමට වෙන් කර ඇත. අනෙක් නවකතා ඒ ඒ පරිසර ගැන හොඳ අධ්‍යයනයක් කර ලියා ඇතත් මෙහි ඇත්තේ මානසික ලෙඩෙක් ගැන පමණි.

නැවතත්, මා මෙය කියවන ඔබෙන් කරන ඉල්ලීම මෙයයි.

මේ කෙටි සටහන් කියවා ඒවා ලියූ පාඨකයාගේ වතගොත පිළිබඳව ඔබට අනුමාන කළ හැක්කේ කවර කරුණු ද?

ස්තුතියි

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ පොත් පහෙන් මා මේ වන විට කියවා ඇත්තේ "වරණ" නවකතාව පමණි. මා මේ වන විට ඉන්නේ "අප්පච්චි ඇවිත්" නවකතාවේ හරි මැද ය. ඉඩ ලද පරිදි පොත් සියල්ල කියවන්නටත්, ඒ පිළිබඳ කෙටියෙන් හෝ මගේ අදහස් දක්වන්නටත් අදහස් කරමි.

Monday, 12 November 2018

"ඔසී රටේ අපේ කතා" ග්‍රන්ථයේ සිනුවර දොරට වැඩුම උත්සවයේ දී රසික සූරියආරච්චි විසින් කළ දේශනය - For those who were not there


සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කළ "ඔසී රටේ අපේ කතා” ග්‍රන්ථයේ 2018 නොවැම්බර් 11 දින පැවති සිනුවර දොරට වැඩුම උත්සවයේ දී ලේඛක සංසදය වෙනුවෙන් රසික සූරියආරච්චි විසින් කළ දේශනය

දීර්ඝකාලීන ව්‍යාපෘතියක අවසානයේ යම්කිසි නිමාවක් සනිටුහන් කරන මේ මොහොතේ මේ ව්‍යාපෘතිය සමග මුල සිටම අද දක්වාම සම්බන්ධව සිටි සම්බන්ධීකාරක හැටියට අදහස් දැක්වීමට ලැබීම ඉතාමත් සතුටක්.

මට ලැබී තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමින්, අසා සිටින ඔබ හැමටත් පීඩාකාරී නොවන ආකාරයට, ඉතාම කෙටියෙන් මා කරුණු තුනක් පිළිබඳව අදහස් දැක්වීමට මෙහිදී බලාපොරොත්තු වෙනවා. මා මේ කියන්නට යන ඇතැම් කරුණු සිංහල සංස්කෘතික හමුව සහ ලේඛක සංසදය සමග දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කටයුතු කරන මගේ සහෘදයින් බොහෝ දෙනෙකු දන්නා නමුත් අද මෙම උත්සවයට සහභාගි වෙන සියලූ දෙනාගේම දැන ගැනීම පිණිසයි මා කතා කිරීමට අදහස් කරන්නේ.

අද දොරට වඩින මෙම "ඔසී රටේ අපේ කතා" කෙටි කතා එකතුව සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය ලෙස අප සලකන්නේ 2012 මාර්තුවේ දී සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් පැවැත්වූ කෙටිකතාකරණය පිළිබඳ වැඩමුළුවයි.

ඒ වැඩමුළුව පිළිබඳව පසුව පැවැත්වූ සාකච්ඡාවක දී ලේඛක සංසදය විසින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංහල ලේඛකයින් විසින් රචනා කරන කෙටිකතා එකතුකර ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බවට තීරණයක් ගත්තා.

අපි 2013 මුල්භාගයේ දී මාධ්‍ය නිවේදන මගින් මේ යෝජිත කෘතියට තමන් විසින් රචනා කරන ලද කෙටිකතා එවන ලෙස ඉල්ලා සිටියා. අපේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානුවාසි සිංහල ලේඛකයින් විසින් තමන්ගේ සංක‍්‍රමණික අත්දැකීම් මත පදනම් රචනා කරන ලද කෙටිකතා මෙම යෝජිත කෙටිකතා සංග‍්‍රහයට ඇතුළත් කිරීමටයි. අඩු වශයෙන් ඕස්ට්‍රේලියාවේ දී යමෙකු ගෙවන ජීවිතය ගැන යම් හෝ සඳහනක් මේ නිර්මාණ වලට ඇතුළත් විය යුතු බව අපේ අදහස වුණා.

එයට හේතුව තරමක් පැහැදිලි කරනවා නම්, ලේඛකයින්ගේ වෙනත් පරිසරයක දී ලබන ලද අත්දැකීම් මත පදනම් වූ නිර්මාණ අපට ශ‍්‍රී ලංකාව මූලික කොටගත් සිංහල සාහිත්‍යයේ ඇති තරම් දැකීමට ලැබෙන අතර එවැනි නිර්මාණ බිහි කිරීමට හැකියාව ඇති විශාල පිරිසක් ද ශ‍්‍රී ලංකාවේ වෙසෙනවා. නමුත් නිසැකවම ඕස්ට්‍රේලියාව පසුබිම් කරගත් නිර්මාණ බිහි කළ හැකි පිරිස සිටින්නේ අප අතර පමණයි. ඕස්ට්‍රේලියාවට කෙටිකාලීන සංචාර සඳහා පැමිණි අය යම්යම් නිර්මාණ බිහි කළත්, ඒවායේ අන්තර්ගතය තුළින් සංක‍්‍රමණික අපේ ජීවිත එතරම් හොඳින් නිරූපණය වෙනවා යැයි සිතන්නට බැහැ.

එසේම මේ වන විට සිංහල සාහිත්‍යයේ මධ්‍යස්ථානය වන ශ‍්‍රී ලංකාවෙන් පරිබාහිරව විදෙස් රටවල සිටින සිංහල ලේඛකයින් විසින් කරන සාහිත්‍යමය නිර්මාණ, විගාමික සිංහල සාහිත්‍යය නම්, වෙනම සුවිශේෂී ශානරයක් ලෙස සැලකීමට තරම් දියුණු වී තිබෙනවා. මේ කෘති කියවීමෙන් ලංකාවේ වෙසෙන සිංහල පාඨකයාට ලැබෙන්නේ, අප එදා රුසියානු ඇතුළු වෙනත් විදේශීය රටවල් පසුබිම් කරගෙන නිර්මාණය වුණු කෘති කියවීමෙන් ලැබූ මා ”ආගන්තුක චමත්කාරය” ලෙස හදුන්වන සුවිශේෂී රසාස්වාදයට සමාන රසයක්.

අපේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස මෙම යෝජිත කෘතියේ අඩංගු කිරීම පිණිස අපට කෙටිකතා විසි අටක් ලැබුණා. අපේ නිර්නායකයට අනුකූලව අප එයින් කෙටිකතා විසිතුනක් මේ කෘතිය සඳහා තෝරා ගත්තා.

ඒ ලැබුණු කෙටි කතා සංස්කරණය කර මෙම කෘතිය සම්පාදනය කිරීම සඳහා අප තෝරා ගත්තේ ඉතාමත් කල් ගතවෙන නමුත් ලේඛක සංසදයේ සාමාජිකයින්ට ප‍්‍රයෝජනවත් වෙතැයි සිතන ක‍්‍රමවේදයක්. එනම්, සංසදයේ සාමාජිකයින් රැස්වී කෙටිකතා එකිනෙක සාමූහිකව කියවා ඒවා පිළිබඳ සාකච්ඡුා කොට ඒත් සංස්කරණය කිරීමේ ක‍්‍රමවේදයයි. අපේ ව්‍යාපෘතියේ මේ අදියර ඇරඹුණේ 2013 සැප්තැම්බර් මාසයේදී යි.

මේ සංස්කරණ ලෙසින් සඳහා මුලදී ලේඛක සංසදයේ සාමාජිකයින් හත් අට දෙනෙකු පමණ සහභාගී වූවා. මගේ මතකයට අනුව අප මූලික සංස්කරණ රැුස්වීම් දොළහක් පමණ පැවැත්වූවා. පාලිත ගනේවත්තගේ නිවසේ රැස්වීම් හතරකුත්, ඊළ`ගට පුෂ්පා සූරියආරච්චිගේ නිවසේ දීත්. මේ කර්තව්‍යය සඳහා අපට වසර එකහමාරක් පමණ කාලයක් ගත වුණා.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කාරණයක් නම්, ලේඛක සංසදයේ සාමාජිකයින් විශාල පිරිසක් ද මෙම කෘති සඳහා තමන්ගේ කෙටිකතා නිර්මාණ ඒවා තිබුණ නිසා අප සංස්කරණය රැස්වීම්වලදී භාවිතා කළේ රචකයාගේ නම නොමැති පිටපත් බවයි. ලේඛක සංසදය විසින් ගන්නා ලද තීරණයක් අනුව එක් එක් කෙටි කතාවේ රචකයා කවුදැයි දැන සිටියේ මේ ව්‍යාපෘතියේ ආරම්භක සම්බන්ධීකාරක වූ මා පමණයි.

කෙටිකතා සංස්කරණයේ දී අප සැලකිල්ලට ගත්තේ, ”නණලළ” ඇතුළු අක්ෂර වින්‍යාසය, පද බෙදීම, පද යෙදීම සහ කෙටිකතාවේ අන්තර්ගතය පාඨකයින්ට සම්පේ‍්‍රෂණය වීම වැනි කරුණු පමණයි.

මේ ආකාරයෙන් කඩදාසි පිටපත් මත සංස්කරණය කරන ලද කෙටිකතා ඊළ`ගට මෘදු පිටපතට නංවා, ලේඛකයින්ගේ අනුමැතිය පිණිස යැවීම කළ යුතුව තිබුණා. මේ කර්තව්‍යය ආරම්භක සම්බන්ධීකාරක වූ මගේ වගකීමක් වූ නිසා, ඒ සඳහා අවාසනාවන්ත ලෙස ඉතා දීර්ඝ කාලයක් ගත වුණා. කෙතරම් දීර්ඝ කාලයක් ගත වුණේ ද යත්, මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මන් කිරීම සඳහා ඥානතිලක හේවාගමගේ ද සම සම්බන්ධීකාරකයෙකු ලෙස ලේඛක සංසදය විසින් පත්කරනු ලැබුවා.

ඥානතිලක හා මා දින කිහිපයක් ම මුණ ගැසී, වැඩකටයුතු බෙදාගෙන, එක්වත්, වෙන්වෙන්වත් කටයුතු කළා. අවසානයේ, 2017 ජූලි මාසය වනවිට අපට මේ කෘතියේ අත්පිටපත සම්පාදනය කරගත හැකි වුණා.

කෙටිකතා නිර්මාණය කළ ලේඛකයින්ගේ දෙවන වටයේ අදහස් ද අඩංගු කර ගනිමින් නැවතත් අත්පිටපත සංස්කරණය කර සරසවි ප‍්‍රකාශනයක් ලෙස මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට ලැබුණේ මෙම වසරේ ජූලි මාසයේදී යි.

සිඞ්නි නගරයට මෙම කෘතියේ පිටපත් ගෙන්වාගැනීමට අප කටයුතු කරන අතරේ ශ‍්‍රී ලංකාවේදී ඔසී රටේ අපේ කතා කෘතිය ජනගත කිරීමේ උත්සවයක් පැවැත්වුණු බව ඔබ සමහර දෙනා දන්නවා. ඒ කටයුතු සංවිධානය කළේ නිහාල් රූපසිංහ සහ කලක් අප අතර සිට දැන් ශ‍්‍රී ලංකාවේ වෙසෙන ප‍්‍රියන්ත ෆොන්සේකා විසිනුයි.

ඒ උත්සවය පැවැත්වුණේ පසුගිය අගෝස්තු මාසයේ 17 වෙනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ආරියපාල ශ‍්‍රවණාගාරයේ දී යි. එහිදී වියත් පිරිසක් විසින් විගාමික සාහිත්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථයෙහි ඇති සුවිශේෂීත්වය පිළිබඳ කරුණු දක්වන්නට යෙදුණා. අපේ කෘතියේ වැදගත්කම පිළිබඳව ධනාත්මක විචාර කිහිපයක් ද මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ ලේඛිකාවක සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන සංජීවනී රූපසිංහ සහ සම්මානලාභී කෙටිකතාකරු කමල් පෙරේරා විසිනුයි.

මා කලින් සඳහන් කළ විගාමික සිංහල සාහිත්‍ය ශානරයට ඔසී රටේ අපේ කතා කෘතිය තුළින් යම්කිසි ප‍්‍රමාණවත් සම්මාදමක් කිරීමට අපට හැකි වූවා තියා මට සිතෙනවා. ආරම්භයේ සිටම මේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේ කටයුතුවලට සහ සංස්කරණයට සහභාගි වූ සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ සාමාජිකයෙකු ලෙස මට ඒ කාරණය පිළිබඳ ඇත්තේ දැඩි සතුටක්.

දැන් මා කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙන දෙවැනි කාරණය දෙස යොමු වෙන්නම්.

අද මෙහි දී එළිදක්වෙන ”ඔසී රටේ අපේ කතා” කෘතිය සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් ප‍්‍රකාශිත මුල්ම කෘතියයි. නමුත් අද මේ සිටින බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙය සංස්කෘතික හමුව මගින් ප‍්‍රකාශනය කරන්නට යෙදුණු තුන්වැනි කෘතිය වෙනවා.

සංස්කෘතික හමුව වශයෙන් අප විසින් ප‍්‍රකාශයට පත් කළ මුල් කෘතිය වූයේ ”තිරස තරණ” නම් කෙටිකතා එකතුවයි. ”ඔසී රටේ අපේ කතා” කෘතිය ආකාරයෙන්ම සංක‍්‍රමණික සිංහල ලේඛකයින් විසින් තමන්ගේ ඕස්ට්‍්‍රලියානු අත්දැකීම් අළලා ලියැවුණු කෙටි කතා පහළොවකින් යුතු ”තිරස තරණ” කෘතිය එළිදැක්වුණේ 2008 වසරේ පෙබරවාරි මාසයේදී යි. සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරක ලෙස තිරස තරණ කෘතිය සම්පාදනය කිරීමට මට අවස්ථාව ලැබුණා.

ඊළ`ගට සිංහල සංස්කෘතික හමුව මගින් සම්පාදනය කෙරුණේ ඕස්ට්‍්‍රලියාව පිළිබඳව සම්මත ආකෘතියෙන් ලියැවුණු සඳැස් කවි සහිත ග‍්‍රන්ථයක්. සර්ග අටකින් ද, සිව් පදයෙන් යුතු සඳසෙන් බැඳුණු කවි හාරසිය අනූ පහකින් ද, යුක්ත වූ දකුණු කුරු දිව් කව් නම් මෙම කෘතිය දොරට වැඩියේ 2010 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

ඒ මහා කාව්‍යය සඳහා කවියන් තිස්තුන් දෙනෙකු ගේ සම්මාදම ලබා ගන්නට අපට හැකි වුණා. ”දකුණු කුරු දිව්” කව් ග‍්‍රන්ථය සංස්කරණය කළේ හෙන්රි කුමාරප්පෙරුම සහ මා විසිනුයි.

ඕස්ට්‍රේලියාව පිළිබද තත්කාලීන සහ ඓතිහාසික තොරතුරු අඩංගු ගද්‍ය කෘතියක් ද සිංහලෙන් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡුාවක් ඇති වුණ ද එය ක‍්‍රියාත්මක වුණේ නැහැ.

කෙසේ නමුත් ඉදිරි කාලයේ දී සංස්කෘතික හමුවේ ලේඛක සංසදයට තවත් විවිධාකාරයේ ග‍්‍රන්ථ සම්පාදනය කිරීමට ලැබේය කියා මා විශ්වාස කරනවා. ඒ සඳහා මා දැනට දෙවරක් ම, යෝජනා කර තිබෙන්නේ අපේ ලේඛකයින් විසින් රචනා කරන ලද ප‍්‍රශස්ත සිංහල කෙටිකතා ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් සහ මූලිකව ම ඉංග්ලිෂ් භාෂාවෙන් ලියවෙන ලාංකික සංක‍්‍රමණිකයින්ගේ නිර්මාණයක එතුවක් බිහි කිරීමේ ව්‍යාපෘතියකුයි. මේ යෝජනා සඳහා තවමත් ලේඛක සංසදයේ අනුමැතිය ලබාගැනීමට නොහැකි වුවත්, තව වසරකින් හෝ දෙකකින් පමණ ඒ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වේ යැයි මා සිතනවා.

අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අද මේ පැවැත්වෙන උත්සවය වැනි පොත් දොරට වැඞීමේ උත්සව පිළිබඳවයි.

පොතක් ප‍්‍රකාශයට පත් වුණු පසු, එම කෘතිය ජනගතකිරීම, දොරට වැඞීම, එළිදැක්වීම, යනාදී විවිධාකාරයෙන් හැඳින්වෙන මේ ආකාරයේ උත්සවයක් හරහා, පාඨකයින් වෙත ප‍්‍රදානය කිරීම ලොව දසතම සිදුවෙන කාර්යයක්.

සිංහලෙන් ලියැවුණු ග‍්‍රන්ථයක් මුලින්ම සිඞ්නි නගරයේ දී ඒ ආකාරයට දොරට වැඞීමක් සිදු වුණේ කවදාදැයි මා නිශ්චිතවම දන්නේ නැහැ. මා අනුමාන කරන විදිහට, අප අතර සිටින ලේඛකයෙකුගේ කෘතියක් ඒ ආකාරට සිඞ්නි නගරයේ දී මුලින් ම එළිදක්වනු ලැබුවේ 2004 වර්ෂයේ දී විය යුතුයි. නමුත් ඒ සඳහා සිංහල සංස්කෘතික හමුවේ සම්මාදමක් තිබුණා යයි මා සිතන්නේ නැහැ.

අප අතර වෙසෙන ලේඛකයින් විසින් ප‍්‍රකාශයට පත් කෙරෙන ග‍්‍රන්ථ මෙන්ම අනෙකුත් කලාකරුවන් විසින් නිර්මාණය කරන සංයුක්ත තැටි වැනි කලා කෘති දොරට වැඞීම සඳහා සංස්කෘතික හමුව විසින් සෘජුවම මැදිහත් වී සහයෝගය දිය යුතු යැයි 2006 වසරේ අගෝස්තු මස පැවති සිංහල සංස්කෘතික හමුවේ ඉදිරි ගමන පිළිබඳ වූ වැඩමුළුවක දී මා යෝජනා කළා. ඉන්පසු සංස්කෘතික හමුවේ කමිටු සභා රැස්වීමකට ඉදිරිපත් වුණු ලිඛිත යෝජනාවක් සාකච්ඡුාවේ සභා සම්මත වීමෙන් පසුව මුල්වරට මෙවැනි පොත් එළිදැක්වීමක් සංවිධානය කෙරුණේ 2006 වසරේ දෙසැම්බර් මස පැවති සංස්කෘතික හමුවේ වාර්ෂික සාමාජික සාදය සහ නත්තල් උත්සවය අතරතුරයි. එහිදී දොරට වැඩියේ පාලිත ගනේවත්ත විසින් රචනා කරන ලද ”ඇවිත් නොරටක” නම් නවකතාවයි.

පසුව, 2009 වසරේ නොවැම්බරයේ දී සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ව ලේඛක සංසදය ආරම්භ කළ පසු මේ ආකාරයේ ග‍්‍රන්ථ එළිදැක්වීම් වලට සහයෝගය දී සංවිධානය කිරීම ලේඛක සංසදය විසින් ඇරඹුවා. පසුගිය වසර හත අටක කාලය තුළ එවැනි උත්සව විශාල සංඛ්‍යාවකට සහභාගි වීමට අපට අවස්ථාව ලැබුණා.

අද මෙම පැවැත්වෙන උත්සවයේ සුවිශේෂිත්වය වන්නේ මෙය පෙර අප සංවිධානය කළ ආකාරයේ අපේ එක් සාමාජිකයෙකුගේ ග‍්‍රන්ථයක් දොරට වැඞීමේ උත්සවයක් නොව, අපේ සාමාජිකයින් විශාල පිරිසකගේ සම්මාදමෙන් යුතු ග‍්‍රන්ථයක දොරට වැඞීමේ උත්සවයක් වීමයි.

ඔසී රටේ අපේ කතා ග‍්‍රන්ථය පිළිබඳව කිවයුතු තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙහි එන කෙටිකතා අතරින් කිහිපයක් ම, ඒ ඒ රචකයින් ගේ ග‍්‍රන්ථයක් ලෙස එළි දැක්වෙන මුල්ම කෙටිකතා නිර්මාණ වීමයි. එය ලේඛක සංසදයේ පිහිටුවීමේ අපේ මුඛ්‍ය අරමුණක් සාක්ෂාත් කරගැනීමක් ද වෙනවා.

ඔබ සැමට ස්තුතියි.

-රසික සූරියආරච්චි

ප/ලි:
සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 වසරේ ජූලි මාසයේ දී වෙළඳපොළට නිකුත්වුණු ඔසී රටේ අපේ කතා කෘතියේ සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 450 කි. වට්ටම් සහිතව සරසවි පොත්හල ශාඛාවකින් රුපියක් 390 කට පමණ මිලට ගත හැක.

ප/ප/ලි
මෙන්න වීඩියෝව. පිටපතට වඩා එහෙන් මෙහෙන් වෙනස්.



(image: By Pushpa Suriyaarachchi)

Saturday, 10 November 2018

දොරට වැඩුම් සම්ප්‍රදාය - A benchmark and a template for book launch ceremonies


නවකතාවක්, කෙටිකතා එකතුවක් හෝ ගීත සමුච්චයක් වැනි නිර්මාණයක් රසික ප්‍රජාවට ඉදිරිපත් කිරීම සඳහා දෙරට වැඩුම් උත්සව පැවැත්වීම අද ලංකාවේ මෙන්ම අප වසන ඕස්ට්‍රේලියාවේ ද සම්ප්‍රදාය වී ඇත.

මෙවැනි උත්සවයක සාමාන්‍ය වැඩ පිළිවෙළ වන්නේ සිංහල චාරිත්‍රානුකූලව පහන් දැල්වීමෙන් කටයුතු අරඹා, කෘතියේ පිටපතක් විශේෂ ආරාධිතයෙකුට පිළිගන්වා, ඉනික්බිති, කෘතිය පිළිබඳව සහ එහි නිර්මාතෘ පිළිබඳව කතා කීපයක් පැවැත්වීමයි. අවසානයේ තේ පැන් සංග්‍රහයක් පැවැත්වෙන අතර අවශ්‍ය අයට අදාළ කෘතිය මිල දී ගැනීමේ අවස්ථාව ලැබේ.

උත්සවයක් ආරම්භයේ පහනක් දැල්වීමේ මූලාරම්භක හේතු කුමක් වුවද, අද පවතින පිළිගැනීම අනුව ඉන් අදහස් කරනුයේ මෝහන්ධකාරය දුරු වී ඥානාලෝකය පැතිරේවා යන්න යැයි සිතමි.

ටවුමේ මාළු මාකට් එක අසල ගොඩ නැගෙන වෙසක් තොරණ රාජයා ගේ විදුලි බුබුළු දල්වා විවෘත කිරීමේදී මෙන්ම නිර්මාණයක් දොරට වැඩීමේදී ද පහන් දැල්වීම සඳහා ප්‍රභූවරුන් ට ආරාධනා කිරීම අපේ සිරිතයි. මේ අනුව යමින් අද ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන දොරට වැඩුම් උත්සවවලදී කොන්සල්වරුන්, සංගම් සභාපතිවරුන් මෙන්ම නිර්මාණකරුවා ගේ ජීවන ගමන හැඩ කළ විවිධ පුද්ගලයෝ ද පහන් දැල්වීම සඳහා ආරාධනා ලබති.

ප්‍රශ්නය ඇතිවන්නේ නිර්මාණය දොරට වැඩුම සනිටුහන් කරමින් එහි පිටපතක් පිළිගැන්වීමේ දී ය. උත්සවයට ගාම්භීරත්වයක් එක් කිරීම සඳහා ඉහළ නිලධාරියෙකුට ආරාධනා කර ඔහු හෝ ඇය ලවා සම්ප්‍රදායානුකූලව පහන් දල්වා උත්සවය ආරම්භ කොට ඇත. ඉන්පසු, උත්සව සංවිධාකයන් නිරුත්සාහයෙන් ම සැලසුම් කරන්නේ මේ ආරාධිතයාටම මුල් පිටපත පිළිගන්වා කෘතිය දොරට වැඩුම සනිටුහන් කිරීමටයි.

මගුල් මේස, මාළු කඬේ තොරණ යනාදිය විවෘත කිරීමට ප්‍රභූවරයෙකුට හෙවත් යමක් කමක් ඇති ලොක්කෙකුට ආරාධනා කරන්නේ ඒ සඳහා වැඩි මුදලක සම්මාදමක් ලබා ගැනීමටයි. ග්‍රන්ථයක් දොරට වැඩීමේ උත්සවයක දී එහි පිටපතක් මෙලෙස ලබා දෙන්නේ මා දන්නා පරිදි නොමිලේ ය. එය ලේඛකයාට සිදුකරන්නේ ඩොලර් දහයක පමණ ආවස්ථිත පිරිවැයක් හෝ ඇත්ත වශයෙන්ම සලකතොත් පාඩුවකි. එම නොමිලයේ දෙන පිටපතේ පිරිවැය ද දරන්නේ උත්සවය අවසානයේ දී නියමිත මුදල ගෙවා පිටපත් ලබා ගන්නා පිරිස යැයි ද සැලකිය හැක.

ඒ කරුණු කෙසේ වුවද, නිර්මාණයක පිටපතක් රාජ්‍යතන්ත්‍රය නියෝජනය කරන නිලධාරියෙකුට පිරිනැමීම වනාහී ඒ නිර්මාණයේ අගය අඩු කරවන්නක් බව මගේ අදහසයි. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථා දකින්නට ලැබීම තබා ඒ ගැන අසන්නට ලැබීම පවා උපදවන්නේ පිළිකුල් සිතුවිලි ය. එයට හේතුව කිසිසේත්ම මෙලෙස පිලිගැන්වීම් ලබන්නන් ගේ පෞද්ගලික අඩු ලූහුඬුකමක් නොව ඔවුන් නියෝජනය කරන්නේ කවරක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයකි.

ඕස්ට්‍රේලියාවේ සිංහල ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය කෙරුණු සාකච්ඡාවක (2011) එක කොටසකදී ඉතා බුද්ධිමත්, උගත් යැයි මට නිසැකවම වැටහුණු පුද්ගලයෙක් තමන් ලියූ ග්‍රන්ථ දෙකක් පිළිබඳව සඳහන් කළේය. මෙහිදී එහි අන්තර්ගතය හෝ කෘතියේ තත්කාලීන වැදගත්කම ගැන කතාකරනවාට වඩා ඉතා වැඩි යැයි මට හැඟුණු උනන්දුවකින් සඳහන් කෙරුණේ, දොරට වැඩීමේ උත්සවයට පැමිණ එහි මුල් පිටපතෙන් පිදුම් ලද ලාංකික මැර දේශපාලඥයෙකු ගැන සහ සුපිරි දේශපාලන ආර්යාවක ගැනයි.

මේ හාස්‍යජනක මෙන්ම කනගාටුදායක තත්වය පිටු දකිමින් පසුගිය සිව් වසර (2008-2011) තුළ සිඩ්නි නුවරදී පැවැත්වුණු නිර්මාණ එළිදැක්වීමේ උළෙල හතරක් මගේ මතකයට එයි.

මින් අවස්ථා දෙකකදී ම මුල් පිටපත් පිළිගැන්වුයේ එම කෘතිවල සංස්කාරකවරුන් විසින් කෘති ප්‍රකාශනය කළ සිංහල සංස්කෘතික හමුව නියෝජනය කළ සභාපතිවරුන්ට ය.

තිසල් පාදුක්ක විදාන ළමා ගායකයා තම සංයුක්ත තැටියේ මුල් පිටපත ඔහුගේ දෙමව්පියන්ට පිළිගන්වා දණ ගසා වැඳි දර්ශනය එහි රැස්වූ සැම ගේ නෙතට කඳුළක් නැංවූ දසුනක් විය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු තමන්ගේ පරමේෂ්වරී සහ වෙනමු රටක් කෙටිකතා පොතේ මුල් පිටපත මුල් කාලයේ සිටම තම නිර්මාණ අගය කළ රසිකයෙකුට ද, ටොමියා සිඩ්නි ගියා ළමා කතා පොතේ මුල් පිටපත තම ආදර දියණියට ද පිළිගැන්වීය.

මේ සියලු කරුණු මට නැවත සිහිවූයේ පසුගිය 2011 ඔක්තෝම්බරයේ දී සිඩ්නි නගරයේ පැවැත්වුණු මෛත්‍රී පනාගොඩ ගේ ගී පදමාලා ඇතුළත් ”සුදු වැලි” සංයුක්ත තැටිය දොරට වැඩීමේ උලෙළේ දී ය. ඒ උත්සවය වනාහී මෙවැනි කෘතියක් එළි දැක්වීමේ අවස්ථාවක තිබිය යුතු ගරුත්වය, නැවුම්බව, ප්‍රශස්තබව මෙන්ම හරවත්බව ද කැටිකොට ගත් සම්භාව්‍ය ගණයේ උත්සවයක් වූ බව නොපැකිලව පැවසිය හැක.

උත්සවය ආරම්භ කෙරුණේ, ජයමංගල ගාථා හඬ පරිසරය සන්සුන් කරමින් විසිරී යද්දී ශාලාව හරහා ගාම්භීර ගමනින් වේදිකාව බලා ගමන් ගත් දැල්වූ පහන් අත දැරූ කුඩා දැරිවියන් පිරිසක් ඉනික්බිති ඇරඹුණු මගුල් බෙර හා සක් නද හඬ මැද වේදිකාවේ සකසා තිබූ සම්ප්‍රදානුකූල පහන දැල්වීමෙනි. එය මා ලද නවමු අත්දැකීමක් විය.

දොරට වැඩුණු සංයුක්ත තැටිය නාමමාත්‍රිකව පිළිගැන්වුණේ පනාගොඩ පවුලේ ලාබාලම සාමාජිකයා වූ දෙසති වයසැති මුනුබුරා වෙතයි. එය අතීතයෙන් අනාගතයට කෙරෙන අපූරු දායාදයක් සනිටුහන් කළේය.

සංයුක්ත තැටියේ අඩංගු ගීත සමුච්චයෙන් විශාල සංඛ්‍යාවක් සජීවීව ද, රූගත කරණ ලද්දාවූ දර්ශන ආධාරයෙන් ද ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා කළ හැඳින්වීම් මෙන්ම මුළු උත්සවයේ ම විස්තර කථනය අති විශිෂ්ට මට්ටමේ භාෂා රචනාවෙන් අලංකෘත වී තිබුණි.

මේ ගීත මාලාවෙන් බහුතරය මින් දශක හතරකට ඈත අතීතයක දී නිමවුණු සදාහරිත ගී වූ හෙයින් රචකයාගේ ජීවිතයේ මුල් කාලයේ විවිධ අවස්ථා නිරූපණය වූ රූප රාමු පෙළ ඒ හා අපූරුවට ගැළපුණි.

අකුරට සැලසුම් කොට සිදු කෙරුණු උත්සව කළමනාකරණය ද මොනවට කැපී පෙනුණි.

අවසාන වශයෙන් කිව යුත්තේ දොරට වැඩීමේ උත්සවයක් පැවැත්විය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳව අගනා මිනුම් ලකුණක් (බෙන්ච්මාක්) මෙන්ම අච්චුවක් (ටෙම්ප්ලේට්) ද එදා සිට සිනුවරවාසී අප සතුව ඇති බවයි!

-රසික සූරියආරච්චි

ප/ලි:
මෙම ලිපිය 2011 නොවැම්බරයේ දී ලියූ එකකි. සන්නස සඟරාවේ 2011 දෙසැම්බර් කලාපයේ පළවිය. හෙට සිනුවර දී පැවැත්වෙන "ඔසී රටේ අපේ කතා" කෙටිකතා එකතුවේ දොරට වැඩීමේ උත්සවය සඳහා සූදානම් වෙද්දී සිහිපත් වී නැවත පළ කරන්නට සිත්විය.

(image: Roy Gunaratne)

Sunday, 12 August 2018

ප්‍රිසිලා ගොඩහේ්වා ගේ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නම් නවකතා ද්වය එළිදැක්වීමේ උත්සවය - A note about the launch of two Sinhala novels in Sydney


මේ සටහන ලියන්නට පරිගණකය ඉදිරිපිට අසුන් ගත් මොහොතේ පැරණි උපදේශාත්මක කියමන් ද්වයක් මගේ සිහියට නැගුණි.

"කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙකු කරයි" යන්න ඉන් පළමුවැන්නයි.

මෙහි දී කියවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ, පොත්, පත් යනා දී ලිඛිත, මුද්‍රිත ලේඛන කියවීම බව අපට වැටහේ. එලෙස, කියවීමට නම්, ඒ ආකාරයේ පොත්, පත්, ලේඛන ලිය වී තිබිය යුතු ය. එනිසා, සම්පූර්ණ මිනිසුන්ගෙන් පිරි ලෝකයක් ඇතිවීමට නම්, මේ ලෝකයේ ලේඛකයින් සිටිය යුතු බව නිගමනය කළ හැකි ය.

මගේ සිතට නැගුණු දෙවන කියමන වූයේ, "ජීවිතය සම්පූර්ණවීමට නම් පොතක් ලියා, ගසක් සිටුවා, දරුවෙකු සාදා තිබිය යුතුය" යන්නයි. ජීව විද්‍යාත්මක කොන්දේසියක් ද අඩංගු බැවින් මෙම කියමන තරමක ආන්දෝලාත්මක එකක් බව කිව යුතු ය. එසේ නමුත්, එය එහි එන අසීරු ම කරුණ නොවුන ද, අපේ වැඩි දෙනෙකු තම දීර්ඝ ජීවිත කාලය තුළ දී ඉහත කොන්දේසි තුන අතරින් සපුරා නොගන්නා කොන්දේසිය නම් පොතක් ලිවීම යැයි මම සිතමි.

මීට දොළොස් වසරකට පෙර දිනයක, ඉන්නවා ද, යනවා ද යන තීරණය හදිසියේ ගැනීමට සිදුවුණු අවස්ථාවේ දී, නොයා රැඳී සිටිය යුතු යැයි තදින් ම අධිෂ්ඨාන කර ගැනීමට මට පිටුවහලක් වූ එක් කරුණක් වූයේ එකී පොතක් තවමත් ලියා නොතිබීමේ අඩුපාඩුවයි.

ඉන් වසර දෙකකට පමණ පසුව, වදෙන් පොරෙන්, ඒ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට මට හැකිවිය.

ඔව්, එය මගේ සිතට විශාල සතුටක් ලබාදුන් ජයග්‍රහණයක් ම විය!

ජයග්‍රහණයන් යනු සැමරිය යුතු අවස්ථාවන් වේ. බොහෝ ලේඛකයින් තමන් පොතක් ලියා ලබන ඒ ජයග්‍රහණය "පොත් එළිදැක්වීමේ උත්සව" හරහා සමරන්නේ ඒ අනුව ය.

මේ ආකරයේ එළිදැක්වීමේ උත්සව හැඳින්වීමට සඳහා "දොරට වැඩුම", "ජනගත කිරීම" යන පර්යාය පද ද යොදා ගනු ලැබේ.

පසුගිය දස වසරක පමණ කාලය තුළ, සාහිත්‍ය ලෝලියෙකු, රසිකයෙකු සහ සහෘදයෙකු ලෙස මම පොත් එළි දැක්වීමේ උත්සව විස්සකට පමණ සහභාගී වී ඇත්තෙමි. සිඩ්නි, මෙල්බර්න් සහ කොළඹ යන නගරවල දී පැවැත්වුණු, ඒ සමහර උත්සවවල දී අදාළ ලේඛකයා විසින් ලියන ලද, පොත් දෙකක් හෝ තුනක් එළිදැක්වුණු අවස්ථා ද විය.

ඒ සමහර උත්සව සඳහා මා සහභාගී වූයේ හුදු රසිකයෙකු හෝ සහෘදයෙකු ලෙස ය. එසේම, "ලූලා නැතිවලට බට කණයෙකු" සේ, උත්සව කිහිපයක දී ම, ආරාධිත දේශන පවත්වන්නට මට අවස්ථාව ලැබුණු අතර, මෑතක දී සිනුවර පැවැත්වූණු සිංහල පොත් එළිදැක්වීම් හැමෙකක දී ම පාහේ, උත්සවය මෙහෙයවන්නාගේ හෙවත් මගේ ම උදාහරණයකට අනුව "ආඳා ගේ භූමිකාව" රඟ දැක්වීමට ද මට අවස්ථාව ලැබුණි.

දීර්ඝ හැඳින්වීමක් ද සහිතව මේ සටහන ලිවීමේ අරමුණ වන්නේ මා තෙසතියට පෙර සහභාගී වූ එවැනි එක් පොත් එළිදැක්වීමක දී අත්දුටු සුවිශේෂී අසිරිය පිළිබඳව මගේ අවංක අදහස් සයිබර් අවකාශයට මුදාහැරීමට ය.


මෙන්න මූලික විස්තරය ලුහුඬින්.

මේ උත්සවය පැවැත්වුණේ 2018 ජූලි මස විසිවෙනි සිකුරාදා සන්ධ්‍යායාමයේ දී, සිනුවර තදාසන්නයේ රෝඩ්ස් හි දී ය.

එහි දී "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයක් ම එළිදක්වන්නට යෙදුණි.

ඒ කෘති ද්වය සිනුවර ලේඛිකා ප්‍රිසිලා ගොඩහේවා නම් ලේඛිකාව ගේ නිර්මාණ විය.

ඒ පොත් එළිදැක්වීමේ වැඩකටයුතු මෙහෙයවීමේ අවස්ථාව මට හිමි වී තිබුණි.


දැන් මෙන්න තරමක පසුබිම් විස්තරයක්.

දැන් දශක තුනක පමණ කාලයක් තිස්සේ, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ වාසය කරන අපේ සිංහල ප්‍රජාවේ සංස්කෘතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රශංසනීය සේවාවක් ඉටු කරන සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධව ලේඛක සංසදයක් මීට වසර නමයකට පමණ පෙර ආරම්භ කරන ලදී. ඒ සංසදය පිහිටුවීමේ මූලික අරමුණු වූයේ පොදුවේ ඕස්ට්‍රේලියාව තුළත්, සුවිශේෂීව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළත් සිංහල භාෂාව සහ සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීම සහ සිංහල ලේඛකයින්ට ඔවුන්ගේ ලේඛක කටයුතු සඳහා අත්වැලක් සැපයීමයි. මේ අනගි කටයුත්ත සඳහා මූලිකත්වය ගත්තේ එවකට සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍ය අංශය භාර උප සභාපති වූ සිසිල් ෆොන්සේකා සහ සිංහල සංස්කෘතික හමුවේ සභාපති ලෙස කටයුතු කළ සමන් මහානාම දිසානායක බව ද සඳහන් කළ යුතු ය. විශේෂයෙන් ම සිඩ්නි නගරාශ්‍රිතව වාසය කරන ග්‍රන්ථ ලියා පළ කර ඇති සහ වෙනත් විවිධාකාර ලිපි ලේඛන ලියා ඇති ලේඛකයින් සෑහෙන පිරිසක් ද, ලේඛන කටයුතු සඳහා උනන්දුවක් දක්වන පිරිසක් ද මේ සංසදයට එක්වූහ.

"නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය" ලෙසින් හැඳින්වෙන එම සංවිධානය විසින් පසුගිය වසර නමයක පමණ කාලයක් තිස්සේ කරන ලද සියලුම කර්තව්‍යයන් ලේඛනගත කිරීම මේ සටහනේ අරමුණ නොවන නිසා, අපට වැදගත් එක් කාරණයක් පමණක් පවසමි. එනම්, ලේඛක සංසදය විසින් පසුගිය කාලය තුළ අපේ සාමාජික ලේඛකයින් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සව රාශියක් ම සංවිධානය කළ බවයි.

මට "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වයේ රචිකාවිය වන ප්‍රිසිලා ගොඩහේවා මුණ ගැසුණේ ඒ ලේඛක සංසදය නිසා ය. එසේ ම, ඇගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ වැඩකටයුතු මෙහෙයවීමට මට අවස්ථාව ලැබුණේ ද ඒ නිසා ම ය. ඒ අවස්ථාවේ දී ලේඛිකාව පිළිබඳවත්, ඇය රචනා කර ඇති ග්‍රන්ථ පිළිබඳවත් තම අදහස් දැක්වූ ෂෙල්ටන් පීරිස්, සිසිල් ෆොන්සේකා සහ පාලිත ගනේවත්ත දේශකයින් තිදෙනා ද අපේ ලේඛක සංසදයේ ක්‍රියාකාරිකයෝ වෙති.

මා සහභාගී වී ඇති අන් පොත් එළිදැක්වීමේ උත්සව සමග සසඳා බලන කළ පසුගිය දා පැවැත්වුණු ප්‍රිසිලා ගොඩහේවාගේ මේ උත්සවය සුවිශේෂී එකක් ම වේ. ඒ පහත විස්තර කෙරෙන කාරණා නිසා ය.

මා රසිකයෙකු, සහෘදයෙකු, ආරාධිත දේශකයෙකු හෝ වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස මෙතෙක් සහභාගී වී ඇති සිඩ්නි සහ මෙල්බර්න් නගරවල පැවැති පොත් එළිදැක්වීම් පහළොවම, එකක් නෑර, ලේඛකයින් ගේ, එනම් පිරිමින් ගේ, කෘති සම්බන්ධ උත්සව විය. මේ මා දන්නා පරිදි සිඩ්නි නගරයේ දී නම්, ලේඛිකාවකගේ සිංහල කෘතියක් එළිදැක්වුණු ප්‍රථම අවස්ථාවයි. එනිසා ම මේ උත්සවය ඓතිහාසික වැදගත්කමකින් යුතු, සිඩ්නි සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය යුතුය.

එසේ ම, ප්‍රිසිලා ගොඩහේවා, තමා රචනා කළ "ජැෆ්නාදරය" සහ "ගිමන් හරිමි" නමින් නවකතා ද්වය එදා එළිදැක්වූයේ ඇගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක්වන ජීවන මගේ පනස්වරක් ගතවීම සැමරීම පිණිස, ඒ ජන්ම සංවත්සර උත්සවය හා සමගාමීව වීම ද සුවිශේෂී කාරණයකි. මේ ආකාරයට තම පනස්වෙනි ජන්ම දිනය සැමරීම සඳහා තමා ලියූ පොතක් එළි දැක්වීම ද සැම අයෙකුටම කළ නොහැකි සුවිශේෂී කාර්යයක් ම වේ!

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය පිළිබඳව ද කිවයුතු සුවිශේෂී කරුණක් ඇත. මේ නවකතා දෙකම, මුලින් සිංහල භාෂාවෙන් ලියා පසුව වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු විසින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කරන ලදුව, එකම ග්‍රන්ථයේ ද්විභාෂා කෘතියක් ලෙස පළ කර තිබීමයි. මා වෙනත් භාෂාවලින් ඉංග්ලිෂ් භාෂාවට පරිවර්තනය කළ කෘති ද, ඉංග්ලිෂ් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘති ද කොතෙකුත් දැක ඇතත්, එකම ග්‍රන්ථයේ මුල් කෘතිය ද, එහි පරිවර්තනය ද, භාෂා දෙකකින් මුද්‍රණය වූ ප්‍රබන්ධයක් මීට පෙර දැක නැත. මෙය සිංහල සාහිත්‍යයේ නවතම පෙරළියක් ලෙස මම දකිමි.

"ජැෆ්නාදරය සහ ගිමන් හරිමි" නමින් නවකතා ද්වය කියවා අවසන් කළ පසු ඒ කෘති පිළිබඳව විවරණයක් ලිවීමට ද අදහස් කරමි.

ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් අතින් තවත් පොත් ලියවේවා, කෙමෙන් කෙමෙන් පුළුල්වන විගාමික සිංහල සාහිත්‍යය තව තවත් වර්ධනය වේවා, මේ ආකාරයේ පොත් එළිදැක්වීම් විශාල සංඛ්‍යාවකට සහභාගීවන්නට අපට අවස්ථාව ලැබේවා යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා සමගින්,

සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය විසින් සම්පාදනය කරන ලද, ඕස්ට්‍රේලියානුවාසී සිංහල ලේඛකයින් විසිතුන් දෙනෙකුගේ නිර්මාණ රැගත් කෙටිකතා එකතුවක් ඔසී රටේ අපේ කතා නමින් දැන් මුද්‍රණය වී ශ්‍රී ලංකාවේ නිකුත් වී ඇති බව ද,

ඒ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දී එළි දැක්වීමේ උත්සවය අගෝස්තු 17 සිකුරාදා සවස 300 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ආරියපාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව ද,

ග්‍රන්ථයේ ඕස්ට්‍රේලියානු දොරට වැඩුම සැප්තැම්බරයේ දී පමණ පැවැත්විය හැකි වෙනු ඇති බව ද පවසමින් මේ සටහන අවසන් කරමි.

-රසික සූරියආරච්චි

(images: Book covers - Susantha Moonamalpe, Photos - Roy Gunaratne)